Friday, September 18, 2015

මල්, මල් සහ අමුතු අමුතු මල්.....




විස්මය සිංහල චිත්‍රපටය තිරගත වූ දිනය වූයේ 1978 මාරතු 10 දාය. එහි  කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය ජේ. කේ. චාල්ස් පෙරේරා ගේ ය.
මේ විස්මය චිත්‍රපටය මා නරඹන ලද්දේ ජාතික රූපවාහිනී ප්‍රදර්ශනයකිනි. විජය කුමාරණතුංග (ජනක) මාලිනී ෆොන්සේකා (නීතා) ප්‍රධාන චරිතය රඟ පෑ මෙම චිත්‍රපටයෙහි වැයුණු ලස්සන නම් නෑ පෙනෙන්නේ සහ අමුතු අමුතු අරුණළු මල් ගීත ද්වය අතිශයින් ජනප්‍රිය වුණි. ඒ ගී දෙකම ගායනා කරණ ලද්දේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා විසිනි.


මේ චිත්‍රපටයේ සහ ගීත වල සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සරත් දසනායක මහා චිත්‍රපට සංගීතඥයාය. 



සරත් දසනායක මහා චිත්‍රපට සංගීතඥයා යනුවෙන් කීම ගැන වෙනම ම කතා කළ යුතු බැවින් එය පසුවට තබමි.
මේ හැඳින්වීම විස්මය චිත්‍රපටය පිළිබඳව විවරණයකට මුළ පිරීමට නොවේ. එහි එන අමුතු අමුතු අරුණළු මල් ගීතය ගැන කතා කිරීමට ය.

අමුතු අමුතු අරුණළු මල්
හිතේ පිපේවා
හිතේ සුවඳ මව් දෙරණේ
නිබඳ රැඳේවා

මට මතක හැටියට මේ චිත්‍රපටයේ දී ගීතය ගයන්නේ නෙත් අඳ පුද්ගලයෙකු විසිනි. ඔහුගේ චරිතයට පන පොවන්නේ විජය කුමාරතුංග විසිනි.
චරිතයට අනුව ගත් කල ඔහු අරුණළු මල් ඇසින් නොදකී. පිපෙන්නේ සිත්හි පමණි. ඔහු තුළ ප්‍රාර්ථනයක් වෙයි.
අමුතු අමුතු අරුණළු මල් සිතේ පිපෙන ලෙසටය ඒ ප්‍රාර්ථනය. ඒ මල්වල සුවඳින් සිය මව් බිම සුවඳවත් වේවායි ඔහු සිය පැතුම උතුම් තැනකට ගෙන යයි.

මගේ පවර මව් භූමිය
සිඹින උතුම් ආශාවෙන්
නව නිවහල් පැතුම් රේණු
හිතේ නටනවා

ඔහු සිත පූදින්නේ අළුත්, වහල් බවින් මිදුනු හැඟීම් ය. සිතුවිලි ය. ප්‍රාර්ථනාවන් ය. ඒ හැඟීම්, සිතුවිලි, ප්‍රාර්ථනාවන් සිය මව් භූමිය සිඹගන්නා අදිටනින් යුතු ඒවා වෙයි.

අනාගතය දෙස පාවෙන
අතීයෛක සියුම් සුවඳ
ඉවසිලි නැති ආශාවෙන්
හිතේ නටනවා

සිනමා පටයේදී මේ නෙත් අඳ තරුණයා විසින් ගීය ගයනුයේ වීණාවක්ද වයමින් බව මට මතක් වෙයි. ගීතය ලියැවී ඇත්තේ ජවනිකාවට ගැලපෙන අයුරින්ද නැති නම් ගීතයට ගැලපෙන අයුරින් ජවනිකාව මැව්වාද යන්න මම නොදනිමි. නමුත් එහි ඇත්තේ එවන් ජවනිකාවකි. එම තරුණයාගේ නෙත් අඳ වුව ඔහු තුළ වන පිවිතුරු පැතුම තමන් ගයනා ගීය සිය මව් පොළොව පිස හමන මද සුළඟට මුසු වේවා යන්නයි.
දැන් ගීත රචකයාගේ චිත්ත සන්තානය ගීතයට සහ චිත්‍රපටයට බලපාන ආකාරය මෙහිදී සලකා බැලිය යුතුය.
මේ තරුණයා චිත්‍රපටය තුලදී තවත් ජනප්‍රියඩම ගීතයක් ගයයි. ඒ නම්,

ලස්සන නම් නෑ පෙනෙන්නේ

ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුට දේ.....

ඒ ද හොඳ ගීතයකි. ඒ ද ජනප්‍රිය ගීතයකි. එහෙත් එවන් ම වූ තවත් හොඳ ජනප්‍රිය ගීතයක් පමණක් ම නොවී එයට උත්තම ගුණයක් එක් කරණුයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාගේ ඉල්ලීම මත යැයි මම නොසිතමි. ඔහු ඉල්ලන්ට ඇත්තේ තැනට සුදුසු ගීතයක් කර දෙන ලෙසය. එහෙත් එයට සිය ආත්මය එක් කරමින් මෙවන් උත්තම ගණයේ තැනකට ගීතය ඔසවන්නේ ගීත රචකයායයි. ඒ ගීත රචකයා කවුරුන්ද? මා මෙම බ්ලොග් අඩවියේ මීට පෙර ලිපියේ කතා කරමින් සිටි ඩෝල්ටන් අල්විස් කිවිවරයාය.



පෙර කතා බහට මෙතැනින් යන්න.
http://yasanathsithuwili.blogspot.com/2015/09/blog-post.html 


වීණාවට තුරුළු වෙලා
ගයන ගීය මව් පොළොවේ
හමන සිහිල් මද පවනට
දීලා යනවා....

අමුතු අමුතු අරුණළු මල් ගීතය අසමු.



ඩෝල්ටන් අල්විස් කිවිවරයාණන් පිළිබඳව යම් තරමකින් හෝ කතා නොකර එතුමන් ගේ ගීත නිර්මාණ පමණක් පිළිබඳව කතා කිරීම නොමනා යැයි සිතමි. එබැවින් අප මදක් ඔහු ගැනද කතා කළ යුතුය.


ඩෝල්ටන් අල්විස්‌ නම් සෞන්දර්යවේදියාණෝ උපත ලැබූවේ 1928 දෙසැම්බර් 07 වැනි දින බෙන්තර ප්‍රදේශයේ දී ය. ඔහු අධ්‍යාපනය ලැබූයේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. විද්‍යා අධ්‍යාපනයට නැඹුරුව ඔහුගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරුයෙකු වීම සඳහා උසස් අධ්‍යාපනය ලැබීමය. ඒ සිය අවශ්‍යතාවට වඩා සිය පියාණන්ගේ කැමැත්ත එය වූ බැවිනි. එහෙත් සිදුවූයේ සිය උසස් අධ්‍යාපන මං පෙත කලා අධ්‍යාපනය දෙසට යොමු වීමය.

රජයේ ලලිතකලායතනයෙන් චිත්‍රකර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූ ඔහු කවිය කෙරෙහි ද ඇල්මක් දක්වන්නෙක් විය. කෙසේ වෙතත් ඔහු කවිය කෙරෙහි නැඹුරු වන්නේ උසස් අධ්‍යාපනය ලබන අවධියේදී නම් නොවේ. ඔහු සිය නිර්මාණ ඇතුළත් ඩෝල්ටන් අල්විස් කාව්‍ය හා ගීත සංග්‍රහයට පෙරවදනක් ලියමින් කියනුයේ වයස අවුරුදු 12 දී සිටම කවි ගීත රචනා කෙරෙහි නැඹුරුවක් දැක්වූ බවයි. ඔහුට ගුවන් විදුලියේ දොරටු විවර වන්නේ ලාබාල වියේදීමය. ඉතා කෙටි කලකින්ම සිය නිර්මාණ ප්‍රතිභාවයෙන් රසික සිත් සතන් සනසන්නට තරම් ඔහු භාග්‍යවන්ත විය.

ඔහු පොත පත ඇසුරින් මහත් දැනුමක් පරිචයක් ලබා ගත් කවියෙකු විය. මේ නිසාම ඔහුගේ භාෂාව පෝෂනය වූයේ සිංහලෙන් පමණක් නොවේ. පාලි සකු වැනි භාෂාවන්ගෙන් සේම ගැමි හෙළ බසින්ද එය පොහොසත් විය. කෙසේ වෙතත් ඔහු මේ එක් බසක වත් වහලෙකු නොවී අවැසි තැන අවැසි වදන් අමුණමින් ලියන්නට බුහුටි විය. ප්‍රබුද්ධ සාහිත්‍යයේ අසුරු තුළින් ලැබූ  සිය භාෂාමය මටසිලිටි බව සහ ව්‍යක්ත බව ඔහුට ආභරණයක්ම වුණි.

ඔහු කවියෙකු ගීත රචකයෙකු වූවා පමණක් නොව ඒ පිළිබඳ වෙසෙස් අදහස් දක්වන්නෙකුද විය. සියල්ලටම වඩා විශේෂත්වය ඔහුගේ දෘෂ්ඨිවාදයයි. ඒ පිළිබඳව මෙහි සාක්ච්ඡා නොකරන්නේ පෙර ලිපියේ ඒ ගැන යම් ගැඹුරකට සාකච්ඡා කළ හෙයින්ද වරින් වර ඉදිරියේදීද ඒ පිළිබඳව අදහස් දැක්වෙන බැවින් ද ය.

අප සාහිත්‍යයට සුවිශේෂම ගීත රචනා රැසක් දායාද කළ  එමෙන්ඩම වෙසෙස් සැමරුමක් වූ ඩෝල්ටන් අල්විස්‌ ශූරීන් 1988 අගෝස්‌තු මස 01 වන දින සිය ජීවින ගමනෙන් සදහටම සමුගන්නට ගත් තීරණය අප තුළ ඇති කරන්නේ කණගාටුවකි. එහෙත් ජීවත්වුනු කාලය පුරා ඔහු කළ බොහෝ නිර්මාණ ඔහුගේ මරණින් මතුද ඔහුව ගෞරවනීය චරිතයක් බවට පත් කරයි. 

ඔහු විවිධ පුරාණොක්තීන්ගෙන් සිය නිර්මාණාවේශය ලබා ගනී. එයට ජාතක කතාවීර කතාද රාජ වංශයද ඈ බොහෝ පත පොතට වැඩ තිබූ දෑ ද පත පොතට නොවැඩි ජන වහරෙහි තිබුණු දෑ ද වෙයි. එවන් නිර්මාණ රැසක්ම හමුවන්නේ වුව විමසුමට බඳුන් වනුයේ කිහිපයක් වීම ගැන උරණ නොවන්න.

නීල වරල නිල් චාමර පවන් සලන්නී
කුණ්ඩලකේශී.....

මේ කුණ්ඩලකේශී කතා වස්තුවෙහි කුණ්ඩලකේශී පිළිබඳ වැණුමකි. එය එසේ වන බව සත්‍යයක් වුව ඔහුගේ රචනා ශෛලිය විමසන කල මට මේ ඒ පිළිබඳ වැණුමක් ද වෙයි.

ගීත රචනාව කවියෙන් වෙනස් තැනක ඇති දෙයකැයි ඔහු සිය නිර්මාණ දහරාව ඔසුසේ නිදසුනක් කරණා අයුර සුවිශේෂය.

බලන්න මේ ගීත ආකෘතිය තුළ ගීතයේ ස්ථායී කොටස කොතරම් කෙටිද යන්න.

නීල වරල නිල් චාමර පවන් සලන්නී
කුණ්ඩල කේසී.....

මේ අනුව ගීතය විඳ පුරුදු ඔබ වටහා ගත යුත්තක් ඇත. එනම් ඔහු සිය කෙටි ගීත රචනාව තුළ සංගීතඥයාට දී ඇති ඉඩ ප්‍රමාණයයි. බොහෝ ගීත වලදී නිර්මාණකරණයේ වැඩි ඉඩ ගන්නේ ගීත රචකයායි. දිගු රචනාවන් කරමින් වැඩි වචන ප්‍රමාණයක් යොදා ගනිමින් වචන අතර ඇති ඉඩ කාව්‍යාකෘතිය තුළ අවහිර කරමින් තම රිද්මයක් රචනාව තුළට බහා එයින් සංගීත රචකයාට ඔහු විසින් බලපෑම් කරණු ලබන ආකාරයේ ගීතයන්ය අපට විශ්ලේෂණය කළහොත් වැඩි පුරම හමුවන්නේ.
එහෙත් මෙහිදී වී ඇත්තේ අනෙකකි. නිශ්චිත කවි ආකෘතියකට වචන නොයොදා, ගීතාකෘතියක් සාදා ගනිමින් එහෙත් නොබිඳෙන රිද්මයක් පවත්වාගනිමින් වචන අතර සංගීතඥයාට රිසි සේ සරන්නට ඉඩ හසර සලසමින් ඔහු කෙටි අර්ථපූර්ණ ගීත රචනයක් නිමවයි. ඩෝල්ටන් අල්විස් කවියාගේ බොහෝ ගීත රචනා තුළ මේ ලකුණ දැකිය හැකි වෙයි. එනම් කවියා පර යා ගීත රචකයා පෙළහර පායි. කවියක් නොව ගීත රචනයක් නිමවයි.

තවත් විදහකින් කිව හොත් ඩෝල්ටන් අල්විස් නම් කවියෙක්ද ඩෝල්ටන් අල්විස් නම් ගීත රචකයෙක්ද වන බව ඔහු අපට මනාව පැහැදිලි කර දෙයි. නැත. ඔහු පැහැදිලි නොකරයි. ඔහුගේ කවි සහ ගීත රචනා විමසූ විට පැහැදිලි වෙයි.

මේ ගීත රචනාව තුළ ඇති එකී ගුණය නිසා ගීතය ට දැවැන්ත භාවයක් දෙන්නේ සංගීතඥයා විසිනි. ඔහු ඒ කෙටි රචනය තුළ ගැබ්ව ඇති මහා අරුත උකහා ගෙන එය සංගීතයෙන් පෝෂණය කරණු ලබයි. මහා ගාන්ධර්වයාගේ හඬින් එය තවත් ඉහළට එසවෙයි.



නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහින් සිනා කැන් දහරින්
මන බැඳලන්නී...

ඔහුගේ උපමා උපමේයයන් මනරම් ය. නෙත් ඕළු මලක් බඳුය. මුව නෙළුමක් බඳුය. එවන් සුන්දරත්වයකිනි කුණ්ඩල කේසී ගේ සිරුර දිදුලන්නේ. එවන් වූ මුව නැගෙන සිහින් සිනාවෙනි ඈ අන්‍යයන්ගේ නෙත් සිත් පැහැර ගන්නේ.

කුණ්ඩල කේසී ගීතය අසමු.



ඔහු කුණ්ඩල කේසී කතාව ගැන එසේ ලියද්දී සුභා තෙරණිය ගැන ලියන මේ ගීය දෙස බලන්න.

ඔබේ නීල දෑස දිහා
සරාගයෙන් එදා බලා
පව් කළ මා සංසාරේ
නිරා දුකින් ගිනි ගැනිලා....

කතාව කුමන ආකාරයේ විසල් එකක් වුව ඉන් ඔහුගේ ගීතාකෘතිය විසල් නොවෙයි. සරල සංක්ෂිප්ත වෙයි. එහෙත් ඒ සරල සංක්ෂිප්ත රචනය අර්ථමූලික ව ලිහූ විට මතුවෙන්නේ පුළුල් වියමනකි.

මේ ස්ත්‍රියකට බැඳි ප්‍රේමයක් ගැන නොවේ. බැඳි ගිජුකමක් ගැන ගීතයකි. ඈ සාමාන්‍ය ස්ත්‍රියක ද නොවේ. තෙරණියකි. මේ තෙරණිය සුභා නම් වෙයි. සුභා තෙරණි ඉතා සුන්දර රූ සපුවකින් හෙබි තෙරණියක් වූවා යැයි කියවේ. එක්තරා සලෙලකු හට ඇය හිමි කරගැනීමේ පාප චේතනාව ඇති වීමෙන් වූ ඛේදවාචකයයි මේ කතාවෙහි ඇත්තේ.
ඈ දෑස කිඳුරු දෑසක් යැයි කියයි. කිඳුරියන් ගේ දෑස් ඉතා සුන්දර යැයි පැවසේ. එබැවින් ඈ සතුව තිබුණේ කිඳුරු දෑස් බඳු වූ දෑස් නම් ඒවා ඉතා සුන්දර වන්නට ඇත. ඔහු වඩාත් බැඳෙන්නේ ඒ දෑස් වෙතය. මේ කොටස ගීත රචකයා විසින් යොදා ගන්නා හැටි බලන්න.

නිවන් කැළුම් ඒ දෙනෙතින්
පවන් සැලූ බැව් නොපෙනී
මා කළ පව් මේ දෙනෙතින්
නිමා නොවේ භව කතරින්...

රාගයේ අඳුරු දැකුමින් අඳ නොවී ඒ දෙනෙත් දුටුවේ නම් ඒ දෙනෙතේ තිබුණේ නිවන් මහිමයේ කාන්තිය බව අවබෝධකරගත හැකිව තිබුණි. එහෙත් අඳ වුණු දෑස ඒ නිවන් මහිමයේ කාන්තිය දකින්නට මට ඉඩ දුන්නේ නැත. ඒ අනවබෝධයෙන්, රාගී සිතුවිල්ලෙන් මා කරගත් පව මේ සසර කතර තුළ දීවත් නිමා කළ හැකි වේද?

ඔබ දුටු සම්බුදු සමිඳුන්
දකින්න මට ඉඩ නොමදුන්
සුභා තෙරණි මම පුහුදුන්.....

ඈ බුදුන් දැක නිවන් දුටුවාය. එහෙත් ඈ බුදුන් දුටු දෙනෙත් ම තමන්ට බුදුන් දකින්නට ඉඩ නොදුන් බවයි ඔහු මෙහි පවසන්නේ. ඒ ඈ රූ සපුව කෙරෙහි ඔහු තුළ උපන් ගිජු බව හේතුවෙනි. ඔහු තැවෙන සිත වැලපෙන සිත ඈ කිඳුරු දෙනෙතට චෝදනා කරමිනි සිය පාපෝච්ඡාරණය කරනුයේ.

ඔබේ නීල දෑස දිහා ගීතය අසමු.



මේ අතර පුරාණෝක්තියකට සම්බන්ධයක් නැති එහෙත් ඉහත ගීතයට යම් සම්බන්ධයක් ඇතැයි හැඟුන ගීතයකි මේ. එය පෙර සුභා තෙරණිය ගැන ගැයුනු ගීයට සම්බන්ධයක් ඇති වන්නේ කෙලෙසින්ද? මේ ගීත රචනයේ ආකෘතිය විමසූ විටද, එහි තනුව විමසූ විටද එය ඔබට වැටහෙනු ඇත.

මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මේ ගීතයේත්

ඔබේ නීල දෑස දිහා
සරාගයෙන් එදා බලා

ගීතෙයේත් රචනාව විමසුවහොත් එහි ආකෘතියෙහි බොහෝ සමාන කම් දැකිය හැක. මාත්‍රා ගණන් පද බෙදීම් ආදියෙන් බොහෝ නෑ කම් කියයි. මේ ගීත දෙකෙහි තනුව විමසූ විටය එය තවත් තහවුරු වන්නේ. ඒ තනු දෙකද බොහෝ සේ සමාන වෙයි. ඒවාගේ රිද්මයන්ද බොහෝ සේ සමාන වෙයි. මේ සමඟම එම ගීත දෙකෙහි අරුත් අතරේ මහා පරතරයක් ඇතිවා වුවද ඒ ගීත දෙකෙහි භාවමය ලකුණු බොහෝ සේ සමාන වෙයි. මේ නිසා ගායකයා හා ගායිකාවගේ ගැයුමේ වර්ණයද එලෙසින්ම බොහෝ සේ සමාන කම් සහිතය.
පෙර ගීය සංගීතවත් කර ගයන්නේ ෂෙල්ටන් පෙරේරා විසිනි. 



එහෙත් ඉන්ද්‍රානි බෝගොඩ ගයන මේ ගීතය සංගීතවත් කර ඇත්තේ චන්ද්‍රදාස බෝගොඩ විසිනි. 


එය ෂෙල්ටන් පෙරේරා ගේ ම වූයේ නම්, සිය පෙර ගීතයේ මතකය මේ ගීතයේ තනුවටත් ආරෝපනය වූවා යැයි සිතිය හැකිය. එහෙත් එය අනෙකෙකුගේ වන බැවින් මේ සමානතාවයන් පැමිණෙන්නේ කොහෙන්දැයි පැහැදිලි කරණුයේ කෙලෙසින්ද? ඒ සඳහා යොදා ගත යුත්තේ ගීතයට පදනම්ව ඇති රාගාශ්‍රිත පදනම යැයි සිතමි.

සංගීතඥයින් දෙදෙනාම මේ රචනා බලා අවබෝධ කරගන්නේ ඒ රාගාශ්‍රිත පදනම සහ අවබෝධය මත යැයි හඟිමි. ඒ ඔස්සේ තනුව නිර්මාණය වන විට යෙදෙන ස්වර රටා නාද රටා ඉන් මවන හැඟීම් ආදියෙහි බොහෝ සමාන කම් මතු වෙයි. එමෙන්ම දෙනෙකු කරණ බැවින් ඒ සමාන කම් කොතෙක් තිබුණද අසමාන කම්ද පවතී. ගීත දෙකෙහි විචිත්‍රවත් බව සුරැකෙන්නේ එහිදී ය.

මේ ගීත දෙකටම පදනම් වන්නේ යම් රාගයක් යැයි වැටහුනද ඒ රාගය කුමක්දැයි කීමට තරම් මා සතුව සංගීත දැනුමක් නොමැතකි වීම ගැන කණගාටු වෙමි.

මිදුලේ නිල් බුනීල මල්
හැදෑවේ කාන්සියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා....

මේ ගීතයේ ඇති සොඳුරු බව බලන්න කොතෙක්දැයි. ඔහු ඈට කවියක් දුන්නේ ඈට කියවන්නට වුව ඒ සැඳෑවේ ඈට පෙර ඒ කවිය කියවන්නේ ඇගේ මිදුලේ ඇති නිල් බුනීල පුෂ්පයන්ය. ඒත් ඉල්ලාගෙන නොවේ. උදුරාගෙනය. නිල් බුනීල මල් සිට ඇත්තේ කාන්සියෙනි. ඇගේ කවිය උදුරාගෙන කිය වූයේ එබැවිනි.

කාන්සියේ සිටින්නේ මේ නිල් බුනීල මල් පමණක්මද? පෙමින් බැඳුනු දෙදෙනෙක් මොහොතකට හමු වී දවසකට වෙන් වන්නේ තාවකාලිකව වුව ඊ ළඟ දිනයේ හමු වන තෙක් ඔවුන් සිටින්නේ කාන්සියෙනි. සැනසුමට ඇත්තේ සොඳුරු සැමරුම් පමණි. එහෙත් ඒ සොඳුරු සැමරුම් ගෙනෙන සැනසුම පරයා නැවත කාන්සිය හිස ඔසවයි.

හඳ එළියේ කාන්සියේ
ඒ කවියේ රස වින්දේ
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දේ...

ඈතින් සඳ නැගෙයි. කාන්සිය තව තවත් වැඩෙයි. ඈ නමින් ඔහු ලියූ ඔහුගේ කවිය ( ඇගේ කවිය ) ඔහුට කියවන්නට ලැබෙන්නේ ඒ හෝරාවේ ය. ඒ කවිය ඔහු විසින් ඈ නමින් ලියූවද ඈ දෙනෙත කඳුළින් බොඳ කරයි. සිත සුසුම් ලයි. අවසන ඉකිබිඳුමක් වෙයි. එහෙත් ඒ ඉකි බිඳුම නම් ඔහු වෙනුවෙනි. ඒ කව ඒ තරම්ම සංවේදී වන්නට ඇත.

මෙන්න මේ හැඟීම්ය සංගීඥයින්ගේ පරිකල්පනය තුළ රාගාශ්‍රිත පදනමක් සහිත ගී තනුවකට ගොනු වන්නේ. ඒ නිසාම එම ගී ශක්තිමත් පදනමක් මත ඉදිවූ පවුරක් සේ ශක්තිමත්ව නැගෙන්නේ.
මගේ නීල නෙතු සඟලින් ගීතය අසමු.



තව කොටසකින් හමුවන තෙක් පමණි මේ හමාර ලකුණ.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -
තෙවන කොටසට මේ ඔස්සේ පිවිසෙන්න

9 comments:

  1. සිංහල සුභාවිත ගීතයේ එක් එක් කුලක වෙන් වෙන්ව ගෙන ඒ ඒ කුලක තුළ ගී රස විඳින්නට වල් වැදී ගිය මං පෙහෙළි කරනා වෑයමක් නොවේද යසනාත් මේ ඔබේ සිතුවිලි. එවන් සිතුවිලි වලින් මට මතක හැටියට පළමුවෙන් මා කියැවූයේ මළගිය ඇත්තෝ හා සබැඳි ගී කුළකය ගැන ලියැවුණ රස ලිවිලි පෙළයි. සඳ කිඳුරු වත හා සබැඳි ගී - වික්ටර් නැතිව වික්ටර් විඳි හැටි - රත්න ශ්‍රී විජේසිංහයින් ගැන ලියැවුණු දේද උමා ගැන ගී ගැයූ සමන් අනෝමා විවාහ කරගත් බව කියැවුණු රස කතා කියැවූ අපට ඉන්පසු ඔබ ලියුවේ වඩා ගැඹුරින් අගැයුම් කළ යුතු රස ඉසව් පෙළකි. ඒ අරිසෙන් අහුබුදුවන් පිළිබඳ ලියැවුණු වඩා ශාස්ත්‍රීය ගුණ ඇති ලිව්ලි පෙළකි. ඒ මගම අත නොහැර දැන් ඔබ තවත් එවන් විශ්ම වදනින් හරඹ පෑ ගේය පද රචකයෙකු හා ඔහුගේ නිර්මාන පිළිබඳ කරුණු සොයමින් අගයමින් ලියයි. කෙතරම් අනගිද මේ වෑයම. එය මහා පින් කමක් ලෙස හැඟේ.

    ReplyDelete
  2. ඉතාමත්ම අගෙයි.

    ReplyDelete
  3. ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතය පිළිබඳව විතරයි රස වැටී සිටියේ.. අද සිට මාත් මේ ගීත ඔක්කොගෙම රසිකයෙක්.. ස්තුති කරන්න තරම් වචන වලින් පොහොසත් නෑ..

    ReplyDelete
  4. මහා චිත්‍රපට සංගීතඥයා// යන්න චිත්‍රපට මහා සංගීතඥයා ලෙස නිවැරදි විය යුතු නොවේද..

    ස්තූතියි ඔබට අප වෙත ගෙන එන මෙවන් රස ගුලාවන් වලට ඊළග ලිපිය එනතෙක් නොයිවසිල්ලෙන්

    ReplyDelete
  5. අපුර්ව වියමනක්

    ReplyDelete
  6. අගෙයි...වටී...
    ජයවේවා..!!

    ReplyDelete
  7. අපූරුයි....... අවංකවම අපූරුයි...........

    ReplyDelete
  8. මේ ගීතය හදලා තියෙන්නේ භීම්පලාසි කියන රාගයෙන් . මේ වීඩියෝ එක අහලා බලන්න . ජා ජාරේ අපනේ මන්දිර වා කියන පේලිය හරියටම මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ කියන පද පේළියත් එක්ක මොනවට ගැළපෙනවා .

    https://www.youtube.com/watch?v=Wg91H9sD2fI

    ReplyDelete