Saturday, December 27, 2014

ඈ.... සොඳුරු අහසේ සරන්නී....






මගේ yasanathsithuwil බ්ලොග් අඩවියට සඳ කිඳුරු දාව හා බැඳුනු ගීත කිහිපයක් පිළිබඳව විමසුමක් කරමින් සිටින අතරතුර ඒ හා බැඳුනු ප්‍රකට ගී අතර අප්‍රකට ගීතයක් අසන්නට ලැබුණේ යූ ටියුබයෙනි. එම සුන්දර ගීතයේ අයිතිකරුවන් අතර මා දන්නා නමකට තිබුණේ ප්‍රවීන ගීත රචක රවි සිරිවර්ධන ගේ නම පමණය.


සඳගිරි පව්ව උසයි.... කිඳුරා හරිම වසයි....
මෙලෙස ඇරඹෙන සුන්දර ව්‍යක්ත පද පෙළට භාවය ආත්මය කොට ගත් සංගීතය මුසු කර තිබුණේ එවකට මා හඳුනාගෙන නොසිටි දර්ශන වික්‍රමතුංග නම් වන සංගීතඥයෙකු විසිනි. 


එයට සිය හැඟීම්බර කට හඬින් ආත්මය ලබා දී තිබුණේද මා නොදැන සිටි ශානිකා සුමනසේකර නම් වන විශාරද ගායිකාවක් විසිනි. 


සඳගිරි පව්ව උසයි.... කිඳුරා හරිම වසයි....ගීතය පිළිබඳව එදින මගේ යසනාත් සිතුවිලි බ්ලොග් අඩවියේ සඳ කිඳුරුවට බැඳුනු ගී http://www.yasanathsithuwili.blogspot.com/2013/05/blog-post_4.html පෝස්ටුව සඳහා මෙසේ ලියා තැබීමි. ඒ 2013 වෙසක් මස යම් දිනකදී ය. ඒ සටහනය මතු ලියැවෙන්නේ.
මා මිතුරු රවි සිරිවර්ධන කවියා ද සඳ කිඳුරුව හා බැඳි සුන්දර ගීයක් ලියා ඇත. එහිද වෙසෙන්නේ සඳ කිඳුරුවේ කිඳුරන් ම යැයි මට සිතේ. එහෙත් මෙහි වර්තමාන කතාව තුළ ඔහු මතුකරන සංවේදීතාව හරිම හෘදයංගමය.

සඳගිරි පවුව උසයි - කිඳුරා හරිම වසයි
මම ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ

කිඳුරිය කිඳුරා සමග ගියේ සඳගිරි පවුවට ම යන අදිටනෙනි. එහෙත් යන්නට හැකිවුණේ කෙටිම කෙටි දුරකි. සඳගිරි පවුව පෙනෙන මානයට පමණි. ඒ කෙටි ගමන අතරතුරදී මේ කිඳුරා නම් සඳකිඳරුවේ කිඳුරා නොව අන් කිඳුරෙකු බව ඇයට පැහැදිලි වුණි. සඳගිරි පවුවට යන ගමන අතරමග නැවතින. අම්මේ කියා කියැවිණ.

රත්තරන් කියා කඩු තුඩ - මම ඇනගත්තේ පපුවට
නුඹ එපා කියද්දීමයි අම්මේ
ඒ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේ...

මෙම ගිතයේ අතිශය සංවේදී කොටසක් වන්නේ දෙවෙනි අන්තරා කොටසයි. එහි ඇති

සල්පිලෙන් අරන් නටවන - කිඳුරියන් රඟන සඳගිර
මට අරුමෝසම් හුරු නෑ අම්මේ
නියපහුරු වැදුණු හිත බලපන්නේ....

මෙහිදි තමන්ට මුහුණ දෙන්නට වන්නේ සිහිනෙනුදු නොසිතුව නොපැතුව දේ වලටය. කැන්දන් ආ කිඳුරිය සඳගිරට පිටුපා හැඬූ කඳුළිනි. රුදුරු කිඳුරා මිළට ගත් කිඳුරියන් හා සඳගිරෙහි අනඟ රැඟුම් දක්වමින් සිටී. මෙහි අරුත මීටත් වඩා විවෘතව කීම අනවැසිය.



දර්ශන වික්‍රමතුංග නම් මට නම නුහුරු සංගීතඥයෙකු මෙම ගීතයට හැඟීම් සහ මනුසත් බව කවා ඇත. මම අහම්බයෙන් ළඟදී හඳුණාගන්නට යෙදුණු ශානිකා සුමනසේකර නම් වන ගායිකාව මේ හැඟීම් ගායනාව ඉදිරිපත් කරන ආකාරය අති විශිෂ්ටය. ඈ තම මුල් ගීත කිහිපය තුළින් ම තමන් ගායනයෙහි ප්‍රවීනත්වය ඉක්මවා ඇති බව පසක් කර ඇත.
ගීතය අසන්න...


මේ අයුරින් ඈ ගැන දැනුමින් හැඳුනුමින් සිටින අතරේ වරින් වර මුහුණු පොත හරහා ඇගේ ගී අසන්නට ලැබුණි. ඒ ගීත වලින් බොහෝමයක ගීත රචක පුණ්‍යකර්මය සිදුකර තිබුණේ  රවි සිරිවර්ධන කවියා විසින් වූ අතර සංගීතමය පුණ්‍යකර්මය ඉටු කොට තිබුණේ දර්ශන වික්‍රමතුංග සංගීතඥයන් විසිනි.
මේ ගීත නිසා ඇය ගැන සේම සංගීතඥ දර්ශන වික්‍රමතුංග පිළිබඳව මසිත වූයේ මහත් ප්‍රසාදාත්මක හැඟුමකි. ඊට හේතුව නම් සපුරා වෙනස් ඉවක් ඔස්සේ දිව හඹා යන තරුණයන් අතරේ වෙනස් ගමනක් යන පරපුරක් ඔවුනගෙන් නියෝජනය වන බව දුටු හෙයිනි. ප්‍රවීන ගීත රචක, කිවිවර රවි සිරිවර්ධනයන්ගේ දායකත්වය මේ ගමනට මහත් පිටිවහලක් වූවේ යැයි සිතන්නේ ගීත රචනය තුළ ගැබ්වුනු අරුත ඔස්සේ ආනන්දයට වඩා ප්‍රඥාව දෙසට ඔවුන්ව සමීපකිරීමේ මුළ් අත්වැල ඔහු විසින් සැපයූවේයැයි සිතුන බැවිනි.
අර්ථපූර්ණ භාවපූර්ණ සුභාවිත ගීතයට යොමු වීම යනු පදනමක් ඇති ශක්තිමත් ගමන් මගක ගමන් ඇරඹීමක්ය. ක්ෂනික ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය සහ සංදර්ශන රිගින් ටෝන් මුදල් වැනි දේ ඉව අල්ලමින් අරුත් සුන් මිහිර සුන් ශබ්දය පමණක් මතුවුනු ගීත ආරක් සමගින් අතුරේ යනවාට වඩා මේ ගමන යහපත්ය. අතුරේ ගමන තැනකින් නැවතීමට ඇතිඉඩ බෙහෙවින් වැඩි බැවිනි.
වර්තමාන තරුණ ගායක ගායිකාවන්ගේ නිර්මාණ ( නිර්මාණ ? ) විමසන විට ඒවාගේ පද රචනය වෙනම ගතහොත් එය කවියක් ලෙස කිසි ලෙසකිනිදු රස විඳිය හැකි නොවන්නේය. අරුතක් නැති, ව්‍යක්ත බවක්නැති සක්ක පද බහුල රචනාවකට සංගීතය මුසුකොට ගැයීමෙන් සාදා ගන්නා සිංදු ය ඒවා. ගීත නොවේ. එහෙත් ශානිකා ගේ සොඳුරු අහස තුළ සංගෘහිත ගීතයන්හි පද රචනය වෙනම ගෙන කවි සේ රස විඳිය හැකිය. එබැවිනි ඒවාගේ ගීත රචනා පොහොසත් යැයි කියනුයේ.
මෙන්න මේ ගමනේ දී ඈ විසින් නෙළා ගත් වෙසෙස් නිර්මාණ කිහිපයක් මේ වන විට අපේ සවනට වැකී ඇත. එපමණක් නොව ඒ නිර්මාණ එක්වූ ගීත නිකුතුවක්ද ඈ සතුව ඇත. සොඳුරු අහස යනු එයයි.

ඔබ සොඳුරු අහසේ නිදන්න...
දල්වාගෙන සඳ පහන
මට දෙන්න ඉතින් නිදිවරන්න
සීතල
සීතල කළුවර...

ඔබ එකතුවෙලා අහසේ
හැම තරුවක් එක්කම
මට දෙන්න ඔබේ අත් දෙකින්ම
පාළුව තනිකම

ඔබ හිනාවෙන්න සඳ තාරුකා
පිරි අහස අයිතිකර
මට දෙන්න කදුළු වී හඬන්න
හැම වැහි කළුවම...

මේ එම ගීත ඇල්බමයට නම් ලැබීමට හේතු වූ ගීතයේ පද රචනයයි. මෙයද රවි සිරිවර්ධනයන් ගේ සොඳුරු පද රචනයකි.
එය විරහ දුක වැකුනු ගීතයකි. එය අසන කෙනෙකුට විරහ දුක මේ යැයි වටහාගනු හැකිය. සමහර විරහ ගී වල ඇත්තේ කඳුළු සුසුම් සහ හොටු ය. ඒවා කෙටි පණිවිඩ වැනිය. එහෙත් හොටු පෙරමින් හඬන වදන් මෙහි නැත. ගීතය තුළ සංවේදීව පෙළ ගැසූ වදන් සහ භාවයන්ය ඒ වියෝ දුක පිළිබඳ ගැඹුරු පණිවිඩය ගෙන එන්නේ. ගෙනවිත් තබන්නේ හදවතේ සියුම්ම තැනකය. දැනෙන තැනකය. සිතින් හඬන ඇසින් නොහඬන තැනකය.
මේ ගීත රචනය තුළ සංවේදීම කොටස ලෙස මා දකින්නේ එහි අවසන් අන්තරා කොටසයි.

ඔබ හිනාවෙන්න සඳ තාරුකා
පිරි අහස අයිතිකර
මට දෙන්න කඳුළු වී හඬන්න
හැම වැහි කළුවම...

ආචාර්ය රෝහණ වීරසිංහයන් සිය සංගීත සංයෝජනය මීට එකතු කරනුයේ නිර්ලෝභීවය. එමගින් ගීතය තුළ ඇති හැඟීම් මතුකරනවා සේම නැවුම් බවක් එක් කිරීමටද සමත් වෙයි. ගීතයේ පද රචනය තුළ ගැබ් වුනු වියෝ දුක නොමදව තිබෙනවා සේම කාලයට ගැලපෙන රිද්මයක්ද එහි පවතී.  


ශානිකා සුපුරුදු ලෙස හැඟීම් භාවයන් මතුකොට එය ගයයි. රහට ගයයි.
සොඳුරු අහස  අසමු.




ශානිකා යන නම කියූ විට බොහෝ අයට මතකයට නැගෙන්නේ ශානිකා වනිගසේකරයි. එහෙත් අප කතා කරන්නේ ශානිකා සුමනසේකර ගැනයි. මේ දෙදෙනා ගැන එකට කතා කරන්න වෙන්නේ ඔවුන් දෙදෙනාගේ වෙනස් කම් ගැන කීමට පමණය. වෙනස හැර එකට කතා කළ හැකි තවත් යමක් වේ නම් ශානිකා යන පොදු නම නිසාය. එහෙත් ඔවුනගේ නිර්මාණ ගැන නම් එකට තබා කතා කිරීමක් අවැසි නැත. අපට කතා කිරීමට ඇත්තේ ශානිකා සුමනසේකර ගැන පමණි. එබැවින් මේ ශානිකා සුමනසේකර සහ ඇගේ නිර්මාණ ගැන කතාවකි. 

ශානිකා සුමනසේකර ගේ මේ ගීත එකතුව සඳහා කර ඇත්තේ මහත් වූ ව්‍යායාමයකි. ඇත්තටම එය මහත් වෙහෙසකර ව්‍යායාමයක් බව මමද අත්දැකීමෙන් ම දනිමි. වෙළඳ පොල ඉල්ලුම ඇත්තේ ෆ්‍රයිඩ් රයිස් වලට බව දැන දැන රතු හාල් බත් හදා විකිණෙනතුරු බලා සිටිනවා වැනි දෙයකි එය. රතු හාලේ බත කොතෙක් ගුණදායක වුවද රසවත් වුවද එය දැන දැනත් ඉල්ලුම ඇත්තේ ෆ්‍රයිඩ් රයිස් වලටය. ශානිකාලාගේ මේ ගී කොතෙක් හරවත් වුවද සුන්දර වුවද ව්‍යාජ ලෙස ගොඩ නැගූ ඉල්ලුම ඇත්තේ අරුත් රසය පාගා ශබ්ද රසය පමණක් මත හිටගත් ගීත ධාරාවකටය. එවන් තත්වයක් තුළ මෙවැනි ගීත රැසක් සඳහා කාලය මුදල සහ ශ්‍රමය වැය කිරීම මහත්ම ව්‍යායාමයකි.

අරුතට මූලිකත්වය දෙමින් හා ඉන් නොනැවතී එම අරුතට සොඳුරු සංගීතය මුසු කරමින් අරුත් බර සොඳුරු ගීයක් නිමවන්නට සිතන ඔවුන්ට එහි මියුරු ඵල ලෙස මෙවන් ගීත ත්‍යාගයන් ලෙස ලැබෙයි.. ඒ ඵල ඔවුනට පමණක් නොවේ. අප සැමට ය.

අසංක රුවන් සාගර ලියූ දෙවොල් බෙරේ ගීතය සරුවට වැඩුනු රුකෙහි මියුරුම මියුරු ඵලයකි.



දෙවොල් බෙරේ කර තියාන
හැන්දැදුරේ ඔබ යනකොට
මගේ හිතට කළුවර එනවා
සළඹ කියා වරම් ගන්න
පත්තිනි දේවිත් නොඇසුව
මේ අවනඩු කාට කියනවා....

ඇය නැටුම් ගැයුම් බෙර වාදනයෙන් ජීවිකාව සපුරා ගන්නා පණික්කිරාළ කෙනෙකුගේ බිරිඳකි. ඔවුන් තරුණය. එහෙත් තරුණ ඔවුන්ගේ තරුණ ජීවිත ඔවුනගේ පැලේ නැතිවා සේය.

නාග දරණ ගුරුළු රාජ කැටයම් ඔප කළ
ඔබ හැදු වෙස් මුහුණ අන්න රට සල්පිල්වල
නැති බැරි කම් හතර වටින් එබිකම් දෙනකොට
පෑල දොරට අගුළු දමා මං රෑ තනියම.....

ඔවුනගේ දිවියට අග හිඟ කම් බොහෝය. නැති බැරිකම් බොහෝය. ඔවුනගේ ශ්‍රමයේ දරුවන් - නාග දරණ ගුරුළු රාජ කැටයම් සහිත වෙස් මුහුණු - සුපිරි විසිතුරු භාණ්ඩ වෙළඳ හල්වල දහසින් බැඳි පියළි වලට අලෙවි වී අලෙවිකරුවන්ට සුඛ විහරණ ගෙන එයි. එහෙත්  ඔවුනට රුපියල් ශත සොච්චමකුත් සදා දුකත් උරුම වෙයි. මේ නිසාම එදිනෙදා දිවිය සරිකර ගන්නට ඔහුට සිදුව ඇත්තේ එකම එක මගකි. දෙවොල් බෙරයත් කර තියාන සිය තරුණ බිරිඳ ගෙපැල තනි කර හැම ගොම්මනක ම පිටව යාමටය ඔහුට සිදුව ඇත්තේ.
ඇගේ දවසට රෑ වන විට ඔහුගේ දවසට එළිවෙයි. ඇගේ දවසට එළිවන විට ඔහුගේ දවසට රෑවෙයි.
තාමත් ඈ මවක් නොවේ. මවක් වීමට ගැබක් දැරිය යුතුය. ගැබ් දැරීමට තවත් දේ සිදුවිය යුතුය. එහෙත් ඒ දේ සිදුව නැත.
සවසට දෙවොල් මඩු යාතු කර්ම සිදුවන තැන්වල හේ විචිත්‍ර නැටුම් හරඹ පායි. පන්දම් විලක්කු එළි මැද කාය සම්පන්න ඔහුගේ නැටුම්, පැමිණි ඉතිරියන් පිනවයි. ඔහුගේ ඉඟි බිඟි නුරා බැළුම් නිබඳ ඔවුන් හට යොමුවෙයි. එහෙත් මහ පාන්දර කුකුළා අතින් ගෙන නිවසට පැමිණෙන ඔහු සැනින් මළ කඳක්ව නින්දට එළඹෙන මොහොතේ  ඈ නින්දෙන් පිබිදෙයි.මේ, මේ දෙදෙනාගේ දිවා රෑ ගෙවෙන පිළිවෙලයි.

පණික්කි රාලේ කරැකෙන බඹර වළල්ලට
රෑට මඩු පොලේ නටනා පෙළහර පාමිනි
මී තෙල් පන්දම් එළියෙන් නුරා මුකුළු දෙන
වාවන් නෑ මයෙ දෙයියෝ මේ ඒ ඔබමද?

තාණ්ඩව ගුණය අනූන නැටුම් පෙළහර පාන, බෙර පද වයන, නුරා මුකුළින් අන් ඉතිරියන් පිනවන ඔහුම ද මේ විදිහට තරුණ රූ සපුවෙන් හෙබි තම සිරුර දෙස බැල්මකදු නොහෙලා නිදන්නේ යන දුක මුසු වික්ෂිප්තය ඈ සතුවෙයි. පත්තිනි දෙවියන්ට වත් මේ අවනඩුව නොපෙනේ. නොඑසේ නම් පෙනී පෙනී ඈ ද නිහඬව සිටී.

මෙම ගීතයේ සංගීත නිර්මාණය දර්ශන රුවන් දිසානායකගෙනි. 


ඔහු ඊට මුසු කරනුයේ ගීතයේ අන්තර්ගත පරිසරයට උචිත සංගීතයකි. යොදා ගන්නා සංගීත භාණ්ඩ වුව ඊට මනාව සුසංයෝජනය වී ඇත. එසේම දර්ශන ගේ බොහෝ ගීත වල අපට අසන්නට ලැබෙන බටහිර සංගීත ඛණ්ඩයන් වෙනුවට මෙහි ඇසෙනුයේ පෙරදිග සංගීත ආරට අනුව වැයෙන සංගීත ඛණ්ඩයන්ය. එයද නැවුම් වෙනසකි. 

ශානිකා ගේ ගී නිර්මාණ අතරේ මා සිත වඩාත්ම පැහැරගත් ගීතය වූයේ සඳගිරි පව්ව උසයි - කිඳුරා හරිම වසයි ගීතයයි. සඳගිරි පව්ව ට ඇති ඇල්ම බිඳකින්වත් අඩු නොවූවත් අළුතින් අසන්නට ලැබුණු දෙවොල් බෙරේ ගීතයට ද එමෙන්ම සිත බැඳුනේ නිතැතිනි. මේ දෙකෙන් වඩාත්ම කැමති ගීය කුමක්දැයි යන පැනය ඇති කර ගැනීමට හෝ එවැනි පැනයකට පිලිතුරු සෙවීමට මම මේ මොහොතේ කාලය වැය නොකරමි. දෙකම සුවිශේෂ නිර්මාණ වන බැවිනි.
දෙවාල් බෙරේ ගීතය අසමු.


ජීවිතේ දිගු වන්දනාවක යන්න යන ගමනේ ගීතය ද මෙම ගීත එකතුවෙහි ඇති තවත් සුවිශේෂ ගීතයකි. මෙහි පද රචනය හිමිකාරිය වන්නී චන්දිමා ලියනගේ ය. 

ජීවිතේ දිගු වන්දනාවක යන්න යන ගමනේ
ගිමන් නිවනා නවාතැන් පළ මමද සකි සඳුනේ

නෙළා නෙක මුදු සිහින අරගෙන
තබමි නුඹ ළඟ නිවා හිත රැඳි ගිම්
මතක විතරක් තියා තනියට
උදෑසන වී යන්න හිත සතුටින්.....

මේ ගීතයේ කියවෙන්නේ අසම්මත පෙමක් ගැනද? නොමැති නම් අස්ථිර පෙමක් ගැනද?

ජීවිතය නම් දිගු වන්දනා ගමනකි. මේ දිගු දුර ගෙවමින් සිටින ඔහුට ඇය නම් තවත් එක නවාතැන් පොලක් පමණද? එම සිතුවිල්ල ඈ හටම ඇති වන කල  එය කුමන නම් ඛේදවාචකයක්ද? එය එසේ වූවද ඇගේ අභිප්‍රාය නම් ඔහුගේ සියළු දුක්ඛ දෝමනස්සයන් ඈ ගෙන ඔහුට සතුට සුවය පමණක් දීමය. එහෙත් සියල්ල අතරේ ඈ තුළද බලාපොරොත්තුවක් දැල් වෙයි.

තැවුල් සනහා දෑස එළි කළ
තාරුකා ඇස වෙන්න මට හැකි නම්
මළානික තරු එළිය නොපතා
සොඳුරු පුරසඳ වෙන්න සකි මනරම්.....

මේ නම් අතිශය සුන්දර ප්‍රේමයේ වෙනත් මානයක් ස්පර්ශ කරනා ගීතයකි. මෙහි එක්වීමේ පැතුමක් ඇත. එහෙත් වෙන්වීමට ඇති ඉඩකඩ ඊට වඩා බෙහෙවින් වැඩිය. එබැවින් බලාපොරොත්තුවක් ද බලාපොරොත්තුව වසා ගලනා තනිවීමේ අන්ධකාරයේ සෙවනැලි ද එහි වෙයි. චන්දිමා ලියනආරච්චි ගේ සොඳුරු සුමට වදන් තුළ ගැබ්වුණු අරුතට හැඟීම් දීමට සරත් පීරිස් සංගීතඥයාගේ සංගීත සංයෝජනය මොනවට සමත්ව ඇත. 


ඔහු ගීතය තුළ එහි කිවිඳියට වෙසෙස් ඉඩක් දෙයි. කිවිඳියට වෙසෙස් ඉඩක් දීම යනු අනෙකක් නොව ඇගේ රචනය තුළ ගැබ්වුණුමිනිස් හැඟීම් සෙවීමට සංගීතඥයා සමත් වූ බවයි. ශානිකා ගේ හැඟීම් බර හඬින් ගැයුනු කල එම හැඟීම් තීව්‍රැව ඇති බව හැඟේ. එහිදී රසිකයාට ඈ ගායිකාව ලෙස නොසිතෙයි. මේ ගයන්නී අදාල යුවතියම නොවේ දැයි හිතෙන තරමට ශානිකා එම හැඟිම් වලට පණ දෙයි.
ජීවිතේ දිගු වන්දනාවක ගීතය අසමු.


සංයුක්ත තැටියට යුග ගීත දෙකක් ඇතුළත් වෙයි. එම යුග ගීත දෙකෙන් වඩාත් මා සිත් ගත්තේ රෑ අහස ඔබ නම් ගීතයටයි. රවි සිරිවර්ධන කවියාගේ පද රචනයට සොඳුරු සංගීත සළු පිළි පළඳවන්නේ දර්ශන වික්‍රමතුංග විසිනි. යුග ගායනයේදී සහාය ලැබෙන්නේ හර්ශන දිසානායකගෙනි.
මේ ගීය මට මතක් කරණ වෙනත් සොඳුරු යුග ගීයක් වෙයි. එනම් බන්ධුල නානායක්කාරවසම් කවියා විසින් ලියූ, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී ගයන ගඟක් සේ ඔබ ගලා ඒ නම් ගීතයයි. සෘජු සමීපකමක් ගීත දෙක අතර නොවුනත් එම ගීත අපේ හදවත ස්පර්ශ කරණ ආකාරය එකම නිසාදෝ යම් සමාන කමක් හැඟෙයි. 

රෑ අහස ඔබ නම්
සඳක් වෙන්නම්
මුදුන් වී අඳුරේ
ඒ රැයෙට සඳ අහිමි වේ නම්
ගණ අඳුර විතරයි
මහද මැදුරේ...

වසන්තය වෙන්නම් චාරුතර
කුසුම් මහවැසි ඇදහැලෙන නිබඳේ
වසන්තය කෙටි කාලයකි සොඳුරේ
මල් සුවඳ වැළපෙයි මහද මැදුරේ....

වැව් තෙරක් වෙමි
ඔබේ පුළුලුර සිහිල් දියවර
නිලන දිවි කතරේ
වැවක් අකලට සිඳෙනවා සොඳුරේ
වැව් ඉවුර වැළපෙයි මහද මැදුරේ...

අයෙකුට සොඳුරු ප්‍රේමය තවෙකෙකුට අඳුරක් විය හැකි අයුර මෙහි මනාව කැටිව ඇත. එය එස් විය යුතුමයැයි නියමයක් නැතත් ප්‍රේමනීය වට පිටාවේ සුන්දරත්වය තුළ සැඟවුනු දුක් දොම්නසින් පීඩිත යමෙකුට අනෙකාගේ ප්‍රකාශිත පෙම පිළිබඳව යම් කුකුසක් ඇති වීම වළකාලිය නොහැක.මේ ගීතයෙන් මා වඩාත් අත්වින්දේ එයයි. තවමත් තාරුණ්‍යෙය් සිටන හර්ශන දිසානායක ශානිකා ගේ හඬට ගැලපෙන හඬකින් ගීතය ගයන්නට සමත්ව ඇත.


ගීතය අසමු.



සොඳුරු අහස තවත් හැඩ කළ දිදුළන තරුවකි පුරා පෙරුම් විය සිදුරෙන් බලා උනී ගීතය. සඳැස් කවි ආකෘතියෙන් ලිය වී ගීතයක් බවට පෙරළුනු මෙම ගීතය සංගීතවත් වන්නේ සොඳුරු අහසේ පිපුණු බොහෝ තරු වලට එළිය දුන් දර්ශන වික්‍රමතුංග සංගීතඥයා අතිනි. දර්ශන ගැන මෙහි දී විශේෂ යමක් කිව යුත්තේ ගීත රචනයක් දර්ශන අතපත් වූ විට ඔහු එහි මතු පිට රිද්මය දෙස බලා තනුව යොදනාවට වඩා එහි ගැඹුරේ ඇති ගීත රචකයාගේ හෘද කම්පනය අසා තනුව යොදන සංගීතඥයෙකු වන බවයි. මේ නිසා ඔහු සංගීතය නිමවන ගීත සහ ගීත රචකයාගේ හැඟීම් අතරේ ඇති පරතරය ඉතා අවම කරගනී. සමහර සංගීතඥයින් අතින් සංගීතය නිර්මාණය වී තම ගීතය අසන ගීත රචකයාට එය දැනෙනුයේ අනෙකෙකුගේ ගීතයක් ලෙසිනි. එහෙත් දර්ශන අතින් ඒ දෙය සිදු නොවෙයි.
මෙම ගීතයේදී දර්ශන සිය සංගීතමය භාවිතාව මොනවට ප්‍රකට කරයි. 
 
පුරා පෙරුම්.... විය සිදුරෙන් බලා උනී
අමාවකේ තරු විතරක් සිනාසුනී
දිලී දිලී විදුලිය වියැකුනා වැනී
අපේ කදුළු මගෙ විතරද සුවාමිනී

අති මානුෂික හැඟීමක් ගැබ් වෙන ගීතයක් නිකන්ම ලියැවෙන්නේ නැත. එවැනි ගී තුළ ගැබ්ව ඇති සියුම් වේදනා බර හැඟීම් රචකයෙකු අතින් ගීතයකට එක් වන්නේ නම් බොහෝ විට එය රචකයාගේ අත්දැකීමක් හෝ අත්විඳීමක් මත ලියැවුණු දෙයක් වන විටය. මා මේ ගීතය විග්‍රහ කරණුයේ මට දැනුනු ආකාරයටය.
දෙදෙනෙක් ආදරයෙන් එක් වන්නේ... එක් වී කූඩු තනන්නේ... කූඩු තනා පෙරුම්පුරන්නේ  කූඩුවට තව අමුත්තන් එක්වන දින ගැන ඇඟිලි ගැන ගැන ය. එහෙත් ඒ දිනය උදා නොවුන දෙදෙනෙකුගේඅනුවේදනීය කතාවකි ගීතයෙහි දිග හැරෙන්නේ...
ඔවුන් ඒ දිනය එළඹෙන තෙක් සිටියේ කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් සේ දුෂ්කර කලක් ගෙවමිනි. අහස අමාවක විය. සඳ නොනැගිනි. යාන්තම් තරු එළියක් පමණක් දිස්විනි. ඒ තරු එළිය යනු නොතිත් බලාපොරොත්තුව පමණක් නොවේද?
බලාපොරොත්තුවේ එළි දැල් වී නිවී යයි. යළි දැල් වී නිවී යයි. හරියටම විදුලියකොටනවා වැනිය. මේ වේදනාබර අත්දැකීම එක් ඇසකට පමණක් කඳුළු ගෙනැවිත් නවතීද? සියළු දුකට... පාපායට වගකීම කෙනෙක්මත පමණක් පැටවේද? ඒ කෙනා පමණක් හැඬූ කඳුලින් පසුවේද? ඒ හඬන කඳුළු ඒ කෙනාගේ පමණක්ද? මෙන්න මේ ප්‍රශ්ණාවලියය ගීතයේ අන්තර්ගතය තුළ ඇත්තේ.
දර්ශන පළමුකොටමේ අදහසට අවශ්‍ය ළය නැතිනම් රිද්මය  හඳුනාගෙන තෝරා ගනියි. එය අනිවාර්ය අඩු ළයකි. දෙවනුව ඒ සදහා උචිත සංගීත භාණ්ඩ සම්මිශ්‍රණය අඳුනයි. ඒ සංගීත භාණ්ඩ වලින් මේ වේදනාව හඬ ගා කිව යුතුය. ඒ අනුව ඔහු ප්‍රධාන වශයෙන් එවැනි හඬක් නැගෙන සංගීත භාණ්ඩ ඒ සඳහා යොදා ගනී. එස්රාජය මේ සඳහා බොහෝ බර දරාගනී.

රනේ රුවට පිපුනත් රන් මල සේ ම
මලේ අරුම නැතිවෙයි පෙති සැලුනා ම
දියේ ගැඹුර නොපෙනෙයි රැළි නැගුනා ම
සෙනේ තරම දැනුනේ සිත් බිදුනා ම

දර්ශන විසින් සිය සංගීතය නම් රැළි මාලාවෙන් මේ සිත ඇති වේදනාව වසා නොදමයි. දිය ගැඹර ගිලී එම වේදනාව සොයා දිය මතු පිටට ගෙන අන් අයට පායි.

නෙලා කිරි සිහින පියුමෙක සඟවාන
පැටි ඇත් රජුන් හිමියනි දුර ගොස් බෝ ම
දිඹුල් ගසක මල් නොපතන් නොසිතා ම
මම ඉකිබිඳිමි ඉර හද ඉල්ලා තාම

මෙම ගීතයේ රචකයා වැඩි වශයෙන්ම අප හඳුනන්නේ මාධ්‍යෙව්දියෙකු ලෙසටය. ඔහු ගීත ලියනවා යැයි මා මීට පෙර අසා තිබුණේ නැත. එහෙත් මාධ්‍යෙව්දියා තුළ සැඟව සිටින සංවේදී ගීත රචකයා හඳුනා ගන්නට වෙනත් ගී ඇවැසි වේයැයි මම නොසිතමි. ඔහු නමින් ජානක ලියනආරච්චි ය.
මේ ගීතය ගයන්නේ ශානිකා ම ය. එහෙත් කෙනෙකු උවමණාවෙන් මතකයට නැගුවොත් පමණකි එය මතු වන්නේ. ශානිකා මේ ගීයේ කඳුළු සලන ඇගේ වේදනාව තමන්ගේකරගෙන ගයන්නී ඈම යයි කෙනෙකුට නොසිතුනොත් පුදුමය එයය.
පුරා පෙරුම් විය සිදුරෙන් ගීතය අසමු.


ශානිකා ගේ සොඳුරු අහස යටට එදා මට යන්නට නොහැකි වුණි. එදින අත්‍යවශ්‍ය කිසි සේත් මගහැරිය නොහැකි රාජකාරියක් පැවරුණු බැවිනි. එහෙත් සිතින් එහි සරන්නට මට තහනමක් තිබුණේ නැත. මා සිතා සිටියාට වඩා ඒ අහස සොඳුරු වූ බව සාක්ෂිකරුවන් මා හා කීහ. ඒ සොඳුරු අහස යට ශානිකා ව අගයන්නට පැමිණ දෙසුවේ එසේ මෙසේ අයෙක් නොවේ. අපේ කව් ගී පරපුරේ ලොකු අයියාය. ලොකු අයියා විටෙක ගුරුවරයෙකි. විටෙක සොඳුරු මිතුරෙකි. විටෙක පියෙකි. විටෙක සොයුරෙකි. හේ පිරුණු කවියෙකි. පැසුනු කවියෙකි. ඒ අනෙකෙකු නොවේ. රත්න ශ්‍රී විජේසිංහ ප්‍රවීන කිවිවරයාණන්ය. 


ඔහුගේ දෙසුම මෙහි අමුණමින් මේ සටහනේ මුළ කොටසට වරාමයක් තබමි. මී ළඟ කොටසින් ඉක්මණින් හමු වීමේ පැතුම දරමිනි.


කාරුණික යෝජනාවක් තිබෙනවා දුෂ්කරක්‍රියාවකට පසු බිහි කළ මේ නිර්මාණ එකතුව යට ඇති දුෂ්කරතා අවම කිරීම පිණිස හැකි අය මෙයින් එක් සංයුක්ත තැටියක් තමන් සඳහාත් තවත් එකක් මිතුරෙකුට තෑගි දීම සඳහා මිළ දී ගන්නා ලෙස. මම ඔවුන්ගේ දුරකථන අංකය මෙහි ලියන්නම්. 071 5323168.
 
-        යසනාත් ධම්මික බණ්ඩාර    -