Monday, November 13, 2017

කඳුළු දියවරක පහස.....!







දිනක් සුගත් සෝමවීර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැමිණ මගේ මුහුණු පොතේ මිතුරෙකු වුනි. ඒ පළමු හැඳිනීමයි. අනතුරුව ඔහු මට දැනෙන්නට පටන් ගත්තේ කවියෙකු සහ ගීත රචකයෙකු ලෙසිනි.
දැන් දැන් ගුවන් විදුලි මාධ්‍යයට කන් දීමට ඇති ඉඩ ඇහිරීම නිසාත්, සුගත් ලා ලියන වර්ගයේ ගීත වලට ඒවායෙහි වෙන්ව ඇත්තේ අවම ඉඩක් වන නිසාත්, නිර්මාණකරුවෙකු වශයෙන් ඔහුද, ඔහුගේ නිර්මාණද අප වෙත ගෙන ආවේ මේ මුහුණු පොතමය.
බොහෝ දුගඳ හමන වගුරක්යැයි විටෙක හිතෙන මුහුණු පොතේ, එවන් සුවඳ පියුම්ද අතරින් පතර හෝ පිපෙනා බැවින් හැර දමා යා නොහැකි තැනක් බවට දැන් පත්ව ඇත. එහි ප්‍රතිඵලයකි, සොහොයුරෙකු වශයෙන්ද සුගත් සෝමවීරව හඳුනා ගන්නට ලැබීම.


පසු ගිය දාක ඒ සොහොයුරා තවත් සොහොයුරන් දෙදෙනෙකුද සමගින් හදිසි ඇමතුමක් දී මා සේවය කරණ කුරුණෑගල මහ රෝහලට පැමිණියේ මට එතරම් විවේක දිනයක නම් නොවේ. එහෙත් තේ කෝප්පයක් තොළ ගාමින් අපි ලැබුණු කෙටි වේලාව තුළ හැකි උපරිම දේවල් කතා කළෙමු. එම කතාව මැද භාගයේදී සුගත් සෝමවීර කවි සොහොයුරා විසින් තිලිණයක් වශයෙන් සිය නිර්මාණ මල් මිටක් මා අත තැබුවේය. මා පෙරලා ඔහුට තිලිණ කළේ ස්තුතිපූර්වක සිනාවකින් පමණි.


ඔහු මට තිළිණ කළේ සැබෑ වටිණාකමක් ඇති තිළිණයකි. මක් නිසාද යත්, සිංදු වැඩි, ගීත අඩු වත්මනේ, හෙල ගීත කෙතට ඔහු ගීත ටිකක් එක් කොට ඇති බවට එය සාක්ෂි සපයන නිසාය.

අද නිර්මාණ නමින් නිර්මාණ හැර අන් බොහෝ දේ නිපදවෙයි. කවි නමින් කවි නොවන වදන් වැල් එළි දැක්වෙයි. ගීත නමින් සිංදු එළි දැක්වෙයි. සිංදු නමින් සිංදුවක්වත් නොවන දේ එළි දැක්වෙයි. කතා නමින් කතන්දර එළි දැක්වෙයි. චිත්‍රපට නමින් විසූක දස්සන ඉදිරිපත් වෙයි. එවන් වට පිටාවකය සුගත් සෝමවීර අපට ගීත ටිකක් දන් දී ඇත්තේ.

එය නම්කොට ඇත්තේ කඳුළු දියවර ලෙසිනි. මම මේ ලියන්නේ කඳුළු දියවර ගැන යැයි වරදවා වටහා නොගන්න. මම මේ කරන්නේ මම ඉහත කළ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට හේතු ටිකක් ගෙන හැර දැක්වීම පමණකි.  ගීත ගැන අදහස් දක්වනු විනා විචෑරීම සම්බන්ධයෙන් බහුශ්‍රැත දැනුමක් නොමැති බැවිනි. එවැන්නන් මෙහිද, පිටද,  බොහෝ සිටන බැවින් එම කාර්යය ඔවුනට පවරමි. මා ඉහත කරන්නට යෙදුනු,  

“ගීත අඩු හෙල ගීත කෙතට ඔහු ගීත ටිකක් එක් කොට තිබීමයි“ 
යන්න සාධාරණීකරණය කරන්නට පමණක් මට හැකි පමණින් මම වෙහෙසෙමි. 

නමින්, කඳුළු දියවර වන මේ ගීත සංග්‍රහයේ, එලෙස නම් තැබීමට හේතු සාධක සපයන, අපට හමුවන බොහෝ කඳුළු කතා වෙත්. ඒ කඳුළු වල පමණ, හැඩය, සිසිල, උණුසුම එකිනෙකට වෙනස් ය. යව්වන ප්‍රේමයේ විප්පයෝගය නිසා ඉනූ කඳුළේ සිට ඊට වැඩි ගැඹුරැති මානව දයාව නිසා කැළඹෙන හදින් හැඬවූ ඇසින් උනන කඳුළ දක්වා එය විවිධ වෙයි. මේ සෑම කඳුළකටම හේතුවක් එක්කෝ ඔහු අත්දැක තිබිය යුතුය. නැති නම් ඔහු අත්විඳ තිබිය යුතුය. නිර්මාණයක් වඩාත් සාර්ථක වනුයේ එයට නිමිති වූ දේ ඔහුට සමීප වුණු තරමටය.

දැන් ඉතින් සමුගන්න
සිනා දොතොළට ගන්න
දුක් කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

ආදරය කළ අයෙක් සමුගෙන යන මොහොතක අනෙකා තුළ ඇති විය හැක්කේ කුමණ වූ අයුරේ සිතුවිල්ලක්ද? 
සුලබම දේ නම් වෛරයයි. ක්‍රෝධයයි. 
එහෙත්, 
දුලබ දේ කරණා, දුලබ ඇත්තෝද නැතිවා නොවේ. 

නිර්මාණ අතරේද එවන් නිර්මාණ අපට හමුවේ. ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් අතින් මේ අදහස ලියැවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස් ලියා වික්ටර් රත්නායක ගයන මම තරහා නෑ ගීතය පිළිබඳව මීට පෙර මෙහි සටහනක් තබමින් මේ අරුතට ළඟින් යන අදහසක් ගැන අපි සාක්ච්ඡා කළෙමු.  

අවැසි අයට මෙහි පැමිණ එය කියවිය හැකිය.

ඒ හැර අපි, තවත් බොහෝ කවියන්ද, මේ මමද, මේ අයුරටම නොවුණත් මේ අදහස ලියා ඇත්තෙමු. එහෙත් අන් කවීන් එසේ ලියූ පමණින්ම සුගත් සෝමවීර කවියා එය නොලිවිය යුතුද? මගේ අදහස නම් නැත යන්නයි. එහෙත් ඔහු කළ යුත්තේ තම ගීතය ඒ අන් ගීත සේම නොහැඟෙන ලෙසට ඉටු කිරීමයි. මේ ගීතය තුළ ඔහු වෑයම් කර ඇත්තේ එය කිරීමටයි. සුගත් එම වෑයම නොකළේ නම් මේ සුන්දර ගීතය අපට අහිමි වනු ඇත.

මල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැම දාම හැර නොයා ළඟ රැඳුනු
මල් සුවඳ ඔබ ගන්න

ඇයට දුක නොදී යන්නට හරින පෙම්වතුන් අද අඩුය. බොහෝ විට ඈ රැගෙන යන්නේ නින්දා අපවාද අවමන් ද සමග කඳුළු කළසකි. මෙවන් ගී වටින්නේ එවන් වටපිටාවකය. මේ පෙම්වතා ඒ සියල්ල තමන්ට පවරා ගනී. යන ඇයට ගමන සතුටින් සැහැල්ලුවෙන් යන්නට හැරීම ඔහුගේ පැතුමයි.

අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරණ
වසන්තය ඔබ ගන්න

කෙනෙකු විප්පයෝගයෙන් සදා කල් ආතුර වන්නට ප්‍රධානම හේතුව වන්නේ අමතක කළ නොහැකි අතීතයක හිමි කරුවන් වීමේ සාපයයි. අතීතය හෘදයංගම වන්නට වන්නට අතීතය අමතක කිරීම දුෂ්කරය. අමතක නොවූ අතීතය වේදනාකාරීය. ඒ වේදනාව කවරාකාරදැයි හොඳින් වටහා ගත් මේ පෙම්වතා, ඒ වේදනාවට ඈ උරුමකම් කියනවාට කිසිදු ලෙසකින් වත් කැමැති නොවෙයි. එබැවින් අතීතය තමන් වෙත පවරා අනාගත වසත් සිහිනය ඈ වෙත පුද දෙන අදිටනය ඔහු සතු වන්නේ.

සුගත් සෝමවීරගේ පද මෘදුය. මෙලෙක්ය. සිසිල්ය. සංයමයෙන් යුතුය.

ඔහු නිකන්ම වදන් ලියා නැත. මහන්සියෙන් අසුලාගෙන අමුණා ඇත. සිංදු නොලියවී ගීත ලියැවී ඇත්තේ එබැවිනි.

මහේෂ් විතාන  
සංගීතඥයා විසින් ගීයේ අරුතට සාධාරණ සංගීතයක් මෙහිදී නිමවන අයුරු දැකිය හැකි වෙයි. එය අපට අපේ රස රිසි හුරු පුරුදු ගී කුලකය තුළ “අවුල“කින් තොරව වාඩි කරවිය හැකි එකක් වෙයි.

ගායක හර්ෂණ දිසානායක එය හැඟුම් බරව අරුතට සමවැද ගයයි.
දැන් ඉතින් සමුගන්න ගීතය අසමු.



ස්ත්‍රී පුරුෂ ප්‍රේමය විෂයකොටගත් ඔහුගේ ගී තුළ හමුවන තවත් සුන්දරම ගීයක් වෙයි. එම ගීතයට ගුරුකොටගත් රාගාශ්‍රිත පදනම අපව වඩාත් ප්‍රසාදජනක කරවයි. මේ සංගීත පෙළහර පාන්නේ බොහෝ හඬක් නැගිය හැකි වත් පොහොසත් කම් ළඟ තබාගෙන එහෙත් බොහෝ නිහඬව සිටි, කෙනෙක් කියා යමක් කරවා නොගත්තේ නම් දිගටම වුවත් නිහඬව සිටින්නට පවා ඉඩ තිබූ සංගීතඥයා විසිනි. ඔහු 



සුනිල් දයානන්ද කෝණාර 
ය.

අලුත් වත්සුනු සුවඳකින් සැරසී
ඔබ ආයමත් ඇවිදින්
පුරුදු සුසුවඳ තවම හිත පතුළේ ඉකිබිඳී
කඳුළකට මුවා වී

ඇත්තටම මේ සංගීතය සුගත්ගේ ගී පද ඇමුණුමට කළ සාර සංග්‍රහයකි. එය මවන විචිත්‍රත්වය 

 කිත්සිරි ජයසේකර 
ගේ ආදරණීය හඬින් තවත් ඔපවත් වෙයි. මේ ගීතය කිත්සිරිට වුවත් යහපත් ඉඟියක් දෙන්නේ කිත්සිරි ගේ සැබෑ හැකියාව මෙහෙයවා කළ යුත්තේ කුමණ ආකාරයේ නිර්මාණද යන්න ඔහුට යළි මතක් කර දෙන්නටය. කිත්සිරිට යම් තරමකට එය අමතකව ගියා දැයි මට හිතෙන බැවින් එය මට මෙහි ලියන්නට සිත් විය.

මේ ගීතයේ වුව ඇත්තේ සුලබ අත්දැකීමකි. මේ අත්දැකීම මීට බොහෝ සෙයින් සමානව ලියැවුණු ගීතද අපට හමුවෙයි. නමුත් ඒ කිසිවක් නිසා සුගත් ගේ මේ පද රචනයට ඇති වටිණාකම අහිමි නොවයි. ඊට හේතුව මෙය ඒ අනෙක්වා කොතෙක් මතකයට නැංවුවත්, සුගත් සිය ගීත රචනය තුළඳී ඒ සමාන ලකුණු ඉක්මවා ඊට වෙනසක්ද එකතු කරන්නට සමත් වෙන හෙයිනි.

උදාහරණයක් ගත හොත්,



ධම්මික බණ්ඩාර 
කවියාගේ ගීතයක් මීට බොහෝ ආසන්න බවක් පෙන්වයි. ඒ මෙම ගීතයයි.

ඔබ ආයමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයමත් ඇවිදින්

උන්නු දා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයි තරම්
ඔබ නොදැක දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

එහෙත්, එවන් අතදැකීමක් ඇති කෙනෙකුට එය කොතෙක් වෙසෙස් එකක් වන්නේද? වෙසෙස් යන්න සුන්දර යන අරුතින් නොවූවද, ඔහු සිත අරක්ගත් මහා වේදනාව මේ අත්දැකීමම විවිධ අයුරින් ලියැවුණු ගීත වැඩි වන්නට වැඩි වන්නට සමනය කර ගැනීමට ඔහුට අවස්ථාව ලැබෙතැයි මට හැඟේ. ඉන් නොනවතින ඔහු අවසානයේ ඒ දුකින්ම රසයක්ද ලබයි. එය සෝක රසයයි. 

සාමාන්‍ය මිනිසා සෝකයෙන් ආකුලව දිගින් දිගටම විඳවුවද, කලා හදක් එය රසයක් බවට පෙරලා ගෙන නිර්මාණ බිහි කරමින් සිය සිත හදා ගන්නා සේම අන් හදවත්ද සුවපත් කරයි. සුගත් සෝමවීර කවියාද සමාන අත්දැකීමක් සමාන වදන් පවා යොදා ගනිමින් එහෙත් එම ගීතයම නොවන වෙනත් අති සුන්දර ගීයක් තමන් සතු කරගන්නට සමත් වෙයි. මෙහි ඇත්තේ සෝක රසයේ “ඔරිජිනල්“ රසයයි. ඒ “ඔරිජිනල්“ රසය සපයන්නේ මේ ගීතයේ වන රාගාශ්‍රිත පදනමේ ශක්තියයි.

මතක මං කඩ බොර කරණ සුසුමේ
සෙනෙහෙ දිය තවරා
නිහඬ වූ පෙම් දැහැන බිඳගෙන
නිදන සිත හඬවා
ඔබ ආයෙමත් ඇවිදින්

සුමට පද පෙළට කෝණාර ඇදුරිඳුන් දුන් සංගීත සත්කාරයෙන් යළි ප්‍රබෝදමත්ව කිත්සිරි ගීතය රහට ගයා ඇතැයි කීවොත් එය වැරදි කියමණක් නොවනු ඇත. 

කිත්සිරිට ඇත්තේ අන් කටහඬවල් වලින් වෙනස් කටහඬකි. එය ඔහුගේමය. ඊ ළඟ දේ නම් හැඟීම් ගායනයට ඒ හඬ බොහෝ උචිතය. තවත් කරුණක් නම් පැහැදිලිවම කිත්සිරිට හැඟීම් ගායනා කළ හැකි වීමය. මම වඩාත්ම ප්‍රිය කරණ දේ නම්, ඔහුගේ හඬ පුදුමාකාර ලෙස පැහැදිලිය. කිත්සිරිගේ හඬේ ඇති මේ සුපැහැදිලිතාව සමහර ප්‍රවීන ගායකයින්ගේ හඬේ පවා, අපට දැකිය හැක්කේ මීට වඩා අවම මට්ටමකිනි. එම හඬවල් වල යම් විසිරුණු ස්වභාවයක් ඇසෙයි. එහෙත් කිත්සිරිගේ හඬ තියුණුය. පැහැදිලිය.

සිහින ඇවිලී අහිමි වූ පැතුමේ
විසිරි අළු අතරේ
සොරාගෙන ගිය සිහින අරගෙන
අතීතය පාරා
ඔබ ආයමත් ඇවිදින්

මෙවන් ගීයක් සිය ගීත සංග්‍රහයකට ඇතුළත් වීම යම් නිර්මාණ ශිල්පියෙකුගේ සිහිනයක් සැබෑ වීමක් බඳුය. සුගත් සෝමවීර සිහින එළි කරගත් කවියෙකි.
අලුත් වත්සුනු සුවඳකින් සැරසී ගීතය අසමු.


හුදු ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අතික්‍රමණය කරමින් අප වටා බැඳි වැටකඩොළු බිඳ ඉහිරවන ආකාරයේ ගීතයකි, මන්මුනෙයි කලපුවේ ගීතය.

එය ද සුනිල් දයානන්ද කොණාරයන්ගේ සංගීත රචනයක් වෙයි. ගයන්නේ හර්ෂණ දිසානායක විසිනි. 

රත්න ශ්‍රී ගේ ශාන්තිනී, සුගත් ගාමිණී බණ්ඩාරගේ ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා, නුවන් කුමාර කටුගම්පොල ගේ නළල වියලවා විගසින් ( රාජිනී ) ගීත ආරට එක් කළ හැකි ගීතයකි එය. එහෙත් ඒ එකකටවත් දෙවෙනි නොවන තැනක එය තැබිය හැකි සේ නිමකර ගන්නට ඔහු සමත්ව තිබීම ඔහු සතුව ඇත්තේ ගීත මිස සිංදු නොවේය යන මගේ ප්‍රකාශය සනාථ කෙරුමට තවත් හොඳ සාධකයකි.

මන්මුනේ කලපුවේ දොරකඩ
පිච්ච මල් හිනා හංගන කැකුළු නෙතු අගින්
පනින්නට බැරිව පොරකන කඳුළු මට දියන්
ක්‍රිශ්ණවේලි නංගියෙ මේ කවිය නුඹ ගනින්...

කවියාගේ මානව දයා ගුණය පිළිබඳව කතා කෙරුමට ඔහුගේ ගී දහර හොඳටම ප්‍රමාණවත්ය. එහෙත්, ඊට සිය ව්‍යක්තභාවය එකතු කරගනිමින් ඔහු තමන් සතුව ඇත්තේ මැණික් නොව ඔප දැමූ මැණික් බව කියා පාන්නට මේ ගීය මනා කොට ඉවහල් කර ගනී. 

ඇගේ කඳුළු ඔහු අරගන ඒ වෙනුවට තමන් ලියූ කවිය ගන්නා ලෙස අයැදින කොටසම ඒ සඳහා ප්‍රමාණවත් වෙයි. එය අර ගී මට්ටමේ එකට සිටීමට ලත් සුදුසුකමක් වෙයි.

ආදරේ නමින් උපදින
දොකොනේම නෙතින් වැගිරෙන
කඳුළු දියවලින් පැලයක් හදමු මායිමෙන්
පිපෙන මල්වලින් අහගමු අපට වාසගම්

ඔහු ආදරයේ තෙතමනය ඇති හදවත් වලට ආයාචනා කරයි. සැවොම එක් වී එකම පැලයක් ඉන්දුමට. අර තෙතමනය සහිත කඳුලින් පැලය පෝෂණය කෙරුමට. එහි පිපෙන මල් වලින් අසා ගැනුමට අපි කවුරුද යන්න ගැන.

පිපෙන කිරි හිනා අරගෙන
එන්න කෝවිලෙන් බැහැගෙන
යන්න පන්සලට දෙන්නම එකම පාරකින්
තිරුක්කුරල් කවි කියවමු එකම තාලෙකින්...

කවියා දකින වැදගත් දසුනක් වෙයි. ජාතීන් වශයෙන්ද බෙදී සිටින අප, ආගම් වශයෙන්ද බෙදුනොත් ඇති පළ විපාකයන් පිළිබඳව සිත්හි දරමින්, අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි ගරු කිරීමේ විටණා කම් පිළිබඳව ඔහු ලියයි.

අද සිදුවන්නේ එකකින් එකක් විකර්ශණය කිරීමය. එකකින් එකක් නිශේදනය කිරීමය. එහෙත් ඔහුගේ යෝජනාව ඊට වඩා පුළුල් වෙයි. 

හර්ශනගේ ගැයුම ගැන මෙහිදීද ඇත්තේ මහත් ප්‍රසාදයකි. ඔහු ගැන වෙනම දිගට ලිවිය යුතු යැයි හැඟෙන්නට තරම් දෙයක් මේ වන විට ඔහු කර ඇතැයි මට හිතේ. එහෙත් මේ එයට වේලාව නොවේ. කෙසේ වෙතත්, ඔහු ගැන ටිකක් වත් කියා යා යුතුය.

ඉරෙන් හඳෙන් ගීතය ගැයූ පැංචා ලොකු මහත් වන විට මොන වගේ හඬකින් යුතු වේදැයි මට මහත් පැණයක් විය. ලොකු මහත් වෙද්දී හඬ අහිමි කරගත් පුංචි වෙලෙන්දන් සිටි සමයක, මේ පුංචි කලා පැංචා ගේ අනාගත ඉරණම ගැන මම හිතූ වාර බොහෝය. ඔහු මට ඊට පිලිතුරු ගෙන ආවේ සිරි පැරකුම් චිත්‍රපටයෙනි. ඔහු එහි,

කුසුම් පිපෙන වසන්තේ
බිඟුන් බමන වසන්තේ

ගීතය ගයද්දී මට ඇති වුණු ප්‍රමෝදය නිසා දෑස් බොඳ වූ බැවින්, එහි ගීත සහ දර්ශන අඩංගු සී.ඩී. තැටිය මිලට ගෙන යළි යළිත් බලන්නට මට සිදු විය. 

එම ගීතය අසා යමු.

ඒ හර්ශන අද වන විට හැඟුම් ගායනයට අපට සිටින වර්තමාන ගායකයින් අතරේ පෙරමුණේම සිටි. එපමණක් නොව, රැල්ලට හසු නොවී, අපේ පාදම් මතය සිය අනාගත සැලසුම ඉදි කළ යුත්තේ කියන විශ්වාසයෙන් පසුවන ගායකයෙක් බව පෙනෙ. හර්ශණ වෙත ඊට මගේ ප්‍රණාමය මෙහි සුළුවෙන් පළ කරමින් ඔහු පිළිබඳ නිසි සටහනක් තැබීමේ අදිටන පෙදැරිව මෙතෙකින් ඊට නැවතීමේ තිත තබමි.
දැන් අපි මන්මුනෙයි කළපුවේ ගීතය අසමු.



සුගත් සෝමවීර කිවිඳුන්ගේ මානව දයා ගුණය මෙන්ම සිය කාව්‍යකරණයේ බුහුටු බව උත්කර්ශයට නැගූ ගීතය වන්නේ මල්සරා ට අමතන නැගණියක් විසින් ගයන ගීතයයි. මේ ගීතයේ හැටියට ඇය සැබැවින් මව් පදවි නොලද, එහෙත් මව් පදවිය දරණ මවකි. මව් පදවිය දැරීම මතු නොව එතෙක් මල්සරාගේ බැල්මවත් ඈ ලබා නොතිබුණි. එසේ නම් ඇය මවක් වූයේ කෙලෙසින්ද? එසේ වන්නට හේතුවූ කරුණ දිගු කතන්දරයකි. එහෙත් දිගු කතාව යම් දිනක සුගත්ටම කියන්නට ඉඩ හැර, එ් ගැන කෙටි කතාවක් පමණක් මම කියමි.

මල්සරා ඉතින් අරන් යන්න
මල්සර මල්කම්
අක්කගේ වුණත් දැන් මගෙමයි
මේ දරු පැටවුන්
මල්සරා ඉතින් අරන් යන්න
මල්සර මල්කම්


දරුවන් නැති ඇය මවක් වූයේ අක්කගේ දරුවන්ට මවක් විය යුතු වූ බැවිනි. දෝත බරට මල්කම් ගෙන වඩින ඉඟි කරණ මල්සරා හට සවන් දෙන්නට ඇයට  වේලාවක් කොහින්ද?
අක්කගේ දරු බර ඈ තුරුළට වැටුණේ කෙලෙසින්ද? එය සොයන්නට නම් අපට, ගීතයේ ඊ ළඟ පාදයේ ගැඹුරට කිමිදිය යුතු වෙයි.

ගඟ දියේ ගියපු කිරි මුට්ටිය යළි එන්නැතිකොට
මේ කිරි වෙනුවට මං පොවන්නෙ මගේ කඳුළැලි කැට
උන් බාලොලිලොලි ගී අසන්න තුරුළට එනකොට
මල්සර යහනේ නිද්නන මට දැන් නැහැ අවසර

කිරිමුට්ටිය ගඟ දියේ ගියේත්, එය කිසි දිනක යළි ආපසු නොවඩින්නේත්, අක්කා ද ගඟ දියේ පහළටම ගිය බැවිනි. එසේ ගඟ දියේ පහළට ගිය ඇය ගං පතුළටම ගිය බැවින් ඉතින් තව දුරටත් ඈට සිය දරුවන්ට මවක් වීමටද නොහැකිය. අක්කගේ දරුවන්ට මවක් වන්නට මේ ආදරණීය නැගණියට යොවුන් වියේදීම සිදුවන්නේ එබැවිනි. එවන් මවකට කෙසේ නම් මල්සර යහනක නිදන සිත් පහළ වේද?
කෙසේ වුවත්, යොවුන් වියේ නැවුම් හැඟුම් ඈ සිතට එබෙන්නට දඟලන්නේ නැතිවාම නොවේ. ඉන් ඈ සිත නොරිදෙනවාමත් නොවේ. ඒ බව ගීයෙහි පැවසීම, එවන් හැඟුම් සියයට සියයක් පළවා හැර ඒ දරුවන්ගේ වගකීම් වලට උරදුන්නායැයි ප්‍රලාපයක් වනවාට වඩා මොන තරම් නම් ස්වභාවිකද? විශ්වාසනීයද? එම වයසේ යුවතියකට ඇති වන එවන් හැඟුම් සමනය කරගැනීම කොතරම් නම් දුෂ්කරක්‍රියාවක්ද? එහෙත් ඊට නිසි භාවනාවකට ඈ සතුව කමටහනක් ඇත. ඒ අර අහිංසක දරු කැලය. මේ සියල්ල දැන දැන ම ය මල්සරා මල් හී විදින්නේ.

නුඹ මදෙස බලා හිතා මතා විදීවි මල්සර
ඒ මල් සුවඳට හැමදාමත් රිදේවි මගෙ හිත
හෙට උදෑසනින් හිරු දකින්න උන් ඇහැරෙනකොට
මං විතරයි මේ ගෙදර ඉන්නෙ දොර හැර දෙන්නට

මෙහි තවත් විමසිය යුතු කරුණක් වෙයි. මවු නැති පැලේ පියාද නැති වූයේ කෙලෙසින්ද? සමහර විට මවු මියයන්නටත් පෙර සිටම පියා මියගොස් සිටියා විය හැකිය. සුගත් සෝමවීරට කවි නිමිති දුන් බිම්වල එය එතරම් දුලබ දේ නොවේ. තනියාට මුලිච්චිව පහර කා මිය ගියා වන්නට ඇත. කළුවරේ හේන් කුඹුරු වල යන විට නයි පොලොං විසෙන් ආතුරව මිය ගියා විය හැකිය. සතුරු පිහි පාරකට ගොදුරු වූවා විය හැකිය. දරණු බැරි ආර්ථික අග හිඟකම් අභිමුවේ තව දුරටත් වෙසෙනු පළක් නැතැයි සිතා මැසි තෙල් අවුන්සයක් දෙකක් බී දිවි තොර කරගත්තා විය හැකිය. නො එසේ නම්, මව මිය යන්නට පෙර හෝ මිය ගිය පසුව අන් ළඳක් සමග අන් නිවසක වෙසෙන්නට ගියා විය හැකිය. කෙසේ වෙතත් මේ දරුවන්ට මේ අනුව නැත්තේ මවු පමණක් නොවේ. පියාද ය.

හෙට උදෑසනින් හිරු දකින්න උන් ඇහැරෙනකොට
මං විතරයි මේ ගෙදර ඉන්නෙ දොර හැර දෙන්නට

යනුවෙන් කියන්නට සිදුව ඇත්තේ එබැවිනි.

මේ ගීතයේ මේ නැගණියගේ කැපවීම මොනතරම් නම් මානව දයා ගුණයක් අප වෙත පෙන්වා අප හදවත් ප්‍රකම්පනය කරන්නේද? අප හදවත් හඬවන්නේද? 

මා අසා ඇති පරිදි සුගත් සෝමවීර කවියා තමන් ඇසූ දුටු සත්‍ය සිදුවීමක් මත ලියූ කවකින් කළ ගීතයකි. මේ අත්දැකීමෙන් ඔහු කම්පනය වූ අයුර කොතෙක්ද යන්න ගීතය ලියැවී ඇති සාර්ථක බව තුළින් ප්‍රකට වේ.

සුගත්ගේ රචනයෙහි ප්‍රබල බව කොකෙත්ද යන්න කියා පාන අන් සාධකද වෙත්. මේ ගීතයට හැඟුම් බර රසික සිත් හඬවන තරමේ සොඳුරු සංගීත නිර්මාණයකින් තවත් පෝෂණය කරන්නේ සංගීතඥ  



දර්ශණ වික්‍රමතුං 
ය.  

දර්ශණගේ මේ හැඟුම් බර සංගීතයෙන් කියා පාන්නේ ගීත රචකයා විසින් ඔහුගේ සිතට පැටවූ වේදනාත්මක බවේ බර ප්‍රමාණය ගැනය. ඒ වේදනාවෙන් මිදෙන්නට මගක් හොයනා සංගීතඥයාගේ ප්‍රකාශණයයි හැඟුම්බර තනු ස්වර රටා ලෙස යළි මතු වන්නේ.

මෙවැනි ගීයක් ගැයීමට අද දවසේ සිටින ගායිකාවන් අතරින් මට මතක් වන්නේ නම් දෙකක් පමණි. එක් ගායිකාවක් විශාරද දීපිකා ප්‍රියදර්ශණී ය. අනෙක් ගායිකාව මේ ගීය ගයන  



විශාරද ශානිකා සුමනසේකර 
ය. ඇය ගීතයට සිය හඬින් දෙන දායකත්වය පුදුමාකාර සංවේදී එකකි. මේ ගීතය ගයද්දී ඇ එම හැඟීමෙන් ආකුලව කඳුළු වැගිරුවේදැයි මම නොදනිමි. කඳුළු වැගිරුවේ නැති නම් සිතින් හෝ වැලපිය යුතුමය. නැති නම් එවන් ගැයුමක් මතුවිය නොහැකිය.

මෙය මා මෙතෙක් දුටු ඇසු සුගත් ගේ ගී අතර මට හමු වූ විශිෂ්ඨතම ගීතයයි.

මල් සරා ඉතින් අරන් යන්න ගීතය අසමු.


මෙහි කතා කළ යුතු තවත් සොඳුරු ගී නිර්මාණ රැසකි. එහෙත් මට හිමි අල්ප නිදහස් කාලය තුළ ඒ සියල්ල ගැන කතා කිරීමට ඇති අපහසුතාව වටහා ගෙන කමා කරණු ඇතැයි සිතමි. එබැවින් මා සිත් ගත් තවත් ගී කිහිපයක මුල් වදන් ඛණ්ඩ පමණක් ලියා ගීයට පිවිසුම් මග අමුණමි. ඒවා ගැන යම් අනෙක් රසවතෙක් වැඩිමනත් වශයෙන් කතා කරණු ඇත. කෙසේ වෙතත් අනතුරුව මට කතා කළයුතුම යැයි සිතෙන ගීත දෙකක් ගැන ටිකක් කතා කරන්නට ඉඩ තබා ගනිමි.

මල් පෙති පවා රළු පරළු වී
කටු තුඩු ඇනී නැති බැරි කමේ
එළිය නැතිවට පායලා හඳ හිත පුරා
දන්නෙ නෑ එය ලෝකයා.....

මේ ගීතය වසන්ත මොරගොඩගේ මවුස් චිත්‍රපටයේ තේමා ගීතයයි. සුනිල් දයානන්ද කෝණාර ගේ සුමියුරු සංගීතයට එය ගයන්නේ යසන්ත සමරවීරය. එය මට අලුත් කටහඬකි. මම වසන්තගේ මවුස් නොබැලූ අයෙක්මි. එබැවින් මේ ගීතය කුමන ජවනිකා හා සමව ගැයුනේ දැයි නොදනිමි. නමුත් එහි ඇත්තේ යම් දුෂ්කර ගම්පියසක වැසියන්ගේ දුක්බර දිවි පෙවෙතය. එහෙත් ඒ දුකම සතුටක් කර ගන්නා අන්දම මෙහි ලියැවී ඇති අයුරු සොඳුරුය. දුප්පත් මේ ගැමියන් සතුව අන් පොහොසතුන් සතු නොවන එහෙත් ලෝකයා වත්කමකැයි හැඳින නොගත් වත්කම් ගැනද එහි මැනැවින් කියැවී ඇත.

හැමදාම නියඟය නෑ වැහි පොදක් හරි වැටෙනවා
ඉරිතැළුණු බිම්වල පවා
අලුත් හුස්මක් නැගෙනවා
කඳුළු පිපිරී මලක් වනදා ඒ සුවඳ පොද විඳිනවා

හැමදාම කළුවර නෑ තරු ඇහැක්වත් ඇරෙනවා
ගිනිගැනුනු ඇස්වල පවා හීන හැංගී තියෙනවා
දරා ගෙන මහමෙරක් වාගේ
මගෙ හිතේ නුඹ ඉන්නවා

සමහර ගී ගැන කතා නොකර යන්නට හිතුණත් කතා කරන්නට ම ඇරියුම් කරණ අයුර යළිත් දෙස් දෙන්නේ සුගත් ලියා ඇත්තේ සිංදු නොව ගීත වන බවය.
මල් පෙති පවා රළු පරළු වී ගීතය අසමු.


චන්දන ලියනආරච්චි ගයන සිනා සලකුණු,

රොඩ්නි වර්ණකුල ගයන හිතා ගන්න බැරි තරමට,
කරුණාරත්න දිවුල්ගනේ ගයන වන්නි වන හිස,

හර්ශණ දිසානායක ගයන මල් පිපුණු ඇස් වලින් අහන්න


ඈ ගී ද මෙහි කතා නොකළද කතා කළ යුතුව තිබූ ගී කිහිපයකි. එහෙත් කතා නොකරන්නට හේතුව මා පෙර කී බැවින්, සමු ගැන්මට පෙර මා සිත පැහැර ගත් තවත් එක් ගීතයක් ගැන ලියනුයේ යම් චෝදනාවක්ද සමගිනි.

මේ ගීය  


ශෂිකා නිසංසලා  
ට පසුගිය වසරක වසරේ හොඳම ගායිකාව ලෙස රාජ්‍ය සංගීත සම්මාන හිමි කරදුන් ගීතය වෙද්දී එහි රචක සුගත් සෝමවීරට එහි රචනය වෙනුවෙන් නිසි තැන හිමි නොවුනේ මන්ද යන්න විමසා බැලිය යුතු එකකි. මෙයම එක්තරා වසරක අමිල තේනුවර කවියාට ද වූ අසාධාරණයකි. මම දන්නා පමණින් ගීත රචනා විමසුමට පත් කර සිටි විනිසුරන් කියා තිබුණේ තමන්ගේ මිණුම් දඬු වලට අනුව හොඳ ගීත රචනයක් ඉදිරිපත් වී නොමැති බවය. එය ඇත්තක් විය හැකිය. මක් නිසාද යත්, එවැනි රචනයක් නැත්තේ ඔවුන්ගේ මිණුම්දඬු වලට අනුව බව ඔවුන්ම කියා ඇති බැවිනි. ඔවුන්ගේ මිණුම් දඬු වලට සුගත්ගේ ගීත රචනය මණින්නට නොහැකි බව මටද හිතේ. යම් ජාතක කතාවක්වත් සංක්ෂිප්තව කවි බසින් ලියැවී තිබිය යුතුය හොඳ ගීත රචනයක් වන්නට යැයි සිතා සිටින, ගීතයේ ගීතාකෘතිය නොව කාව්‍යාකෘතිය රහසින් හොයන, එවැන්නන්ට ගී බසින්, ගී ආකෘතියෙන් එන ගීත රචනාවක් මැණිය නොහැකි බව මගේ වටහා ගැනීමය. එය ඔවුනගේ දිග පළල පිළිබඳ ගැටළුවක් මිස සුගත් ගේ කවිකමේ දිග පළල ගැන ගැටළුවක් නොවන බව දන්නෝ බොහෝමයක් වන බැවින්, සුගත්ට අහිමි වූයේ ඉල්ලුම් පත් දමා ඉල්ලා ගත යුතු සම්මානයක් පමණකැයි මට සිතේ.
ඒ වල් පල් පසෙක දමා අපි අර සොඳුරු ගීතයට යමු.

සුනිල නෙත් පොකුණේ
කඳුළු දියවර පිරී ඉතිරුණු
සුසුම් මද පවනේ
හිතේ ගින්දර නිවී සැනසුන
ඔබේ මුණිවර පෙමට පිටු පෑ
අසම්මතියයි මා...

මේ අසම්මතියක් ගැන කියැවෙන ගීතයකැයි එහි අසම්මතියයි මා යන්න නිසාවෙන් ඇඟවේ. එහෙත් මෙය සැබැවින්ම අසම්මතියක ගැන කියවෙන්නක් නොවන වග ගීතය දිගට අසන විට අපට වැටහේ.

අසම්මතිය යන වචනයෙන් තමන්ව ම හඳුන්වා ගන්නා විට ඇය සම්ප්‍රදායට අභියෝග කරමින් එයින් මිදී යම් ඊට වඩා යහපත් දෙයක් කරන්නියක විය යුතුය. එහෙත් මෙහි වී ඇත්තේ අනෙකකි. 

මේ ගීතයේ එන පෙම්වතා මුනිවරයෙකු නොවුණද එවන් ගණ යහපත් කම් ඇත්තෙක් බවද ඇඟවේ. මුනිවරුන් වැනි මිනිසුන් ලොව නොවන බව ඇත්තකි. එහෙත් යහපත් ගති ගුණ ඇත්තවුන් නැත්තේ නොවේ. එවන් ගුණ යහපත් කම් හැරදා අන් මගක යාමය ඇය මෙහිදී තමන් අසම්මතියක් වන්නට කර ඇත්තේ. ඇත්තටම නම් ඇය අසම්මතියකට වඩා අසමර්ථියකගේ තත්ත්වයටය පත්ව ඇත්තේ. මක් නිසාද යත් තමන් ගත් මග වැරදි එකක් වූ වග අනතුරුව ඇය කියන වදනක් වදනක් පාසා අපට හැඟෙන බැවිනි.

මාලතී පෙති හැලී පරවුණු ඉඩෝරේ දවසක
ඔබේ දොතොළග පිපුණු කුසුමක
සුවඳ විතරයි
සුවඳ විතරයි අදත් මගෙ ළඟ

හැර ගොස් වැරදුණු අයෙකුට පසුව හැර ගිය දේම තම පිහිට, සහනය සේ හැඟේ නම් එය ස්වභාවයෙන්ම ලැබුණු දුරුදු දඬුවමකි. කිසිවෙක් දුන් දඬුවමක් නොවේ. 

මේ ගීතය ලියූවේ පිරිමි පක්ෂයෙන් වීම නිසා සමහරුන් මෙහි අවංකභාවය පිළිබඳව ප්‍රශ්ණ කරණ බව මම දන්නා කරුණකි. එහෙත් එවන් පෙම්වතුන් පෙම්වතියන් සිටින බව ඒ අය පවා නොදන්නේ නොවේ. 

මෙහි ගැබ්වී ඇත්තේ සමහර විට රචකයාගේ පෞද්ගලිකත්වය විය හැකිය. එසේත් නොමැති නම් ඔහු අත්විඳි යම් සිද්ධියකදී ඔහු වඩා පක්ෂපාතී පාර්ශවයට වන නැඹුරුතාව විය හැකිය. කෙසේ වෙතත් ඔහු එහිදී කර ඇත්තේ සිය වැලපෙන හදේ කැළඹුම අනෙකා මුහුණ දුන් අකාරුණිකත්වයක් විලසින් මතු කිරීමයි.

මෙය දෘෂ්ඨිමය වශයෙන් පසුගාමීද? සමහරුන් එවැනි මතයක් දරණ බවද මම දනිමි. එහෙත් මම එවැන්නක් නොදරමි.

මා නම් සිතන්නේ, පොදු හැඟීමක් දිය හැකි නම්, ගීතය තුළ නිර්මාණකරුවාගේ පෞද්ගලිකත්වය ගැබ් වූවාට කම් නැත කියාය. අවුලක් වේ නම් වන්නේ එය ඔහුගේ පෞද්ගලිකත්වයම බව අන් අයට දැනේ නම් පමණි. ඔහුගේ පෞද්ගලිකත්වය මත ලියැවුණු දේ අන් අයට දැනෙන්නේ තමන් ගේ දෙයක් විලසට නම්, එහිදී නිර්මාණ කරුවා අසාර්ථක වී නැත.

තාරකා ගිනි වැදී අළු වුණු හුදකලා අඳුරක
ඔබෙන් මතු වුණු කඳුළු කැටයක සිහිල විතරයි
සිහිල විතරයි අදත් තනියම

වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටී ඇත. සිසිලසයි සිතූ සිහිල් පැන් සල උණු දිය ඌලක්ව ඇත. එදා පිටුපා ගිය සිසිලස අද යළිත් සිත නිවන සිසිලස වී ඇත. 

බිඳුනු පෙමින් ආතුර පෙම්වතා සිය අදහස ඈ ලවා කියවීම අවුලකැයි සලකන අයට මා නම් කියන්නේ එහි අවුලක් නැති බවයි. අවුල දැකිය යුත්තේ කියවන විඳින දැනෙන අයටය. නිර්මාණකරුවා සිය නිර්මාණය තුළින් ඒ රසික සමාජය තුළ සාකච්ඡාවට යමක් ඉතිරි කර ඇත. සාකච්ඡාව ඇරඹෙන්නේ ඔහු නිසාය. රසිකයාය තමන් සතු විවිධ දැක්මවල් එක තැනකට ගත යුත්තේ.

ගීතයේ සංගීත නිර්මාණයේ හිමිකරු දර්ශණ වික්‍රමතුංග මෙහිදී සිය හුරු පුරුදු රටාවන්ගෙන් ඔබ්බට ගොස් ඉතා මනරම් වෙනස් තනුවක් සහ ස්වර රටා මවා ඇති බව පැහැදිලි වේ. එය ගැයූ අයුර අනුව ශෂිකා නිසංසලා ට හොඳම ගායිකාව සම්මානය හිමි වීම අරුමයක් නොවේ. නමුත් ඒ සඳහා ගීතයේ අන් පාර්ශ්වකරුවන් දෙදෙනාගේ දායකත්වය සම මට්ටමේ නොතැබීම ගැන යම් අවුලක් හිතට දැනේ.

අපි සුනිල නෙත් පොකුණේ ගීතය අසමු.


ඉසින්, සුගත් සෝමවීර කවියා අප වෙත පුද දී ඇත්තේ සිංදු නොව ගීත බවට සනාථ කරන්නට තවත් සාධක අවැසිද?



-      යසනාත් ධම්මික බණ්ඩාර   -