Sunday, January 18, 2015

FERNANDO.........



මෙම ගීතය අපට අසා පුරුදු ABBA සංගීත කණ්ඩායම විසින් ගයනු වුවද මෙහි පළමු ගැයුම ABBA සංගීත කණ්ඩායම විසින් නොවේ. 



එය කේවල ගීතයක් වශයෙන් Anni-Frid Lyngstad විසින් ගැයූවකි. 



මුළින්ම ස්වීඩන් භාෂාවෙන් රචනා වී ගයා ඇති ගීතය පසුව ඉංග්‍රීසි බසින් ගයනු ලැබින. එමෙන්ම මෙය ස්පාඤ්ඤ බසින්ද ගයා ඇත.



 ABBA කණ්ඩායම විසින් මෙම ගීතය නිර්මාණය කළේ 1976 දී වන අතර මෙය  ABBA කණ්ඩායමේ වැඩිම අලෙවියක් සහිත තනි ගීතයක් ලෙස නිකුත් වූ ගීතයයි. 1976 දී පමණක් එහි පිටපත් 6,000,000 ක් අලෙවි වීඇත.
ගීතයේ නිර්මාණය Benny Andersson සහ Björn Ulvaeus විසිනි.
 


මෙම ගීතය මුළින් නම් කර තිබුණේ "Hernandez" ලෙසිනි. එහෙත් පටිගතකිරීමට මොහොතකට පෙර එය "Fernando" ලෙස නම් කළේ ඔවුනගේ මෝටර් රථ රියදුරාගේ යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙසිනි.
මෙහි අන්තර්ගතය වන්නේ විසල් පරාජයන් අත් වූ යුද්ධයකදී  ඊට ක්‍රියාකාරී සහය නොදුන් අයෙකු විසින් එම සටනට දිවි නොතකා දායක වූ විරුවෙකු අභියස කරන පාපෝච්ඡාරණයකි.
මෙම යුද්ධය එක්දහස් අටසිය ගණන්වලදී රියෝ ග්‍රෑන්ඩ් ගංගාව දේශසීමාව ලෙස පවතින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය හා මෙක්සිකෝව අතර ඇති වූ ආරවුලක් නිසා ඇමරිකානුවන් විසින් මෙක්සිකෝව ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇරඹුනු එකකි. 



"Fernando" නම් චරිතයෙන් සංඛේතවත් කරණුයේ එම යුද්ධයට දිවි දෙවෙනි කොට සහභාගී වූ අතීත යුධ විරුවෙකි. ඔහු මෙක්සිකානුවෙකි.

මේ  ABBA කණ්ඩායමේ FERNANDO ගැයුමයි.


මෙම ගීතය ස්පාඤ්ඤ බසින්ද ගැයුනු බවට මා කී බව ඔබට මතක ඇත. එබැවින් එම ගීතයද මෙහි අමුනමි.



මතු දිග හැරෙන්නේ මේ ලෝක පූජිත ගීතය සිංහලයට නගන්න මා ගත් දුප්පත් උත්සාහයයි. 


FERNANDO

==================
විරුව......සකිසඳ...

අර ඇසෙන රණ බෙර හඬ

නුඹටත් ඇසෙනවද........?



මට මතකයි,

බෝ ඈත දවසක

රැයක්

මේ වගෙම තරු පිරුණු

අහසක්

ගිනි එළි මැද දිළුණු.....



විරුව..... සකිසඳ.....

ඔබ,

ගිටාරයෙ තත් මෘදුව පිරිමදිමින්

ගීතයක් සෙමින් මුමුණමින්

සිටියා....සන්සුන්ව....



ඇසුනේ දුරින් එන

රණ බෙර හඬ.....

බියුගල් නද....

ඒ හඬ මදින් මද ළං වෙමින්...

සෑම පැයක්..... සෑම මිනිත්තුවක් ම

කල්පයක් ලෙස දැනවූවා....



විරුව......සකිසඳ...

ඒ හඬ මට රැගෙන ආවේ බියම ය

සිටියද යෞවනේ දොරකඩ

පිරී තිබුණද තරුණ ජීවයෙන්...

දිරිමත් වුණේ නෑ  සිත

දිවි පිදුමට....

මදි කමක් නොවෙයි එය කීමට,

කාල තුවක්කු සහ

ගිනි අවි වල ගිගුම් නද

බියෙන් හැඬවූ බව මා...



එදා ඒ රැයේ

ඒ අහසේ

අඳුර පරදා

අමුතු එළියක් තිබුණා

තරු වෙනදාට වඩා දිළුණා

විරුව.... සකිසඳ....

ඒ තරු දිලිසුණේ

ඔබ  නමින්

මා නමින්

දේශයේ උතුම් වූ

නිදහස නමින්

විරුව.... සකිසඳ....

පැරදුමක් පිළිබඳ

සිතුවිල්ලකුදු නොවුණද,

පසුතැවීමක් නෑ.....

දිනක් එළඹුනහොත්

නැවත එය කෙරුමට

මම ද එහි ගොනුවෙමි

විරුව..... සකිසඳ......



අපි ඉතින් දැන් මහළුයි....

විරුව..... සකිසඳ......

වසර ගණනකම සිට

දුටුවේ නෑ මම

රැඳුණු අවියක් නුඹෙ අත....

නුඹුට ඇසෙනවද ඒ රණ බෙර හඬ....

මතකයේ ඇති තාමත්.....

උද්වේගකර රාත්‍රිය

අපි රියෝ ගඟ තරණය කළ......

නුඹේ ඇස් මට කියන්නේ

දේශය වෙනුවෙන් සටන් කළ

උතුම් මිනිසෙකුට හිමි

නිහතමානී ආඩම්බරය ගැන කතාවයි....



එදා ඒ රැයේ

ඒ අහසේ

අඳුර පරදා

අමුතු එළියක් තිබුණා

තරු වෙනදාට වඩා දිළුණා

විරුව.... සකිසඳ....

ඒ තරු දිලිසුණේ

ඔබ  නමින්

මා නමින්

දේශයේ උතුම් වූ

නිදහස නමින්

විරුව.... සකිසඳ....

පැරදුමක් පිළිබඳ

සිතුවිල්ලකුදු නොවුණද,

පසුතැවීමක් නෑ.....

දිනක් එළඹුනහොත්

නැවත මම එය කළ යුතු

මම ද  ගොනුවෙමි

විරුව..... සකිසඳ......

ඔවු මම ඊට ගොනු වෙමි...

ඔවු මම ඊට ගොනු වෙමි...

අනුවාදය : යසනාත් ධම්මික බණ්ඩාර.



Tuesday, January 13, 2015

එන්න...තරු පිරි අහසේ, සොඳුරු බව විඳගන්න... ( සොඳුරු අහස 2 )





අද අප ජීවත් වනුයේ දිනෙන් දින පරිහානියට පත්වෙමින්පවතින සමාජයකය. මේ සමාජ පරිහානියට ලක් නොවූ ක්ෂේත්‍රයක් සොයාගත නොහැක. අධ්‍යාත්මික වර්ධනය සඳහා වන ආගමික ස්ථාන, එහි සිටින පූජක පක්ෂය සහ ඔවුනගේ ක්‍රියාකාරකම් පවා මේ ඉරණමෙන් නොමිදුනු බව දැකගත හැක.
මෙවන් වූ සමාජයක උසස් රස වින්දනයක් ඇති නිර්මාණ බිහිකිරීමට බිහිවීමට සහ ඒවා සමාජගත කිරීමට ඇති ඉඩ කඩ දින දින අවම වෙමින් පවතී. එබැවින් දිනෙන් දින සමාජයට එක්වන අළුත් පරපුර උසස් රස වින්දනයෙන් තොරවූවන් බවට පත්වෙමින් පවතී.
අප කුඩා කල ඇසූ ගීත සහ අද අපේ දරුවන් අසන ගීත කෙබඳුද? අපේ කුඩා කල ඇසූ එක් ගීතයක් පමණක් මතක් කරමි. ඒ ඔස්සේ ඛේදවාචකය හඳුනාගමු.
රෝස ගසින් මල් අවලා
තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා
දෑස කුමට මෙය නොබලා

ලොල් වඩමූ
මල් කඩමූ
වැල් ගොතමූ
බෙල්ලෙ ලමූ

මාගේ නංගිගෙ කම්මුල
වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල
කාගේ සිත නොකෙරෙද ලොල

මෙන්න මෙහොර මී මැස්සා
පැන්නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා
යන්නට දෙමු මල ගස්සා
-        අරිසෙන් අහුබුදු ශූරීන් ගේ  පබැඳුමකි   -
(උපුටාගැනීම හඳහාමී කැසට් ළමා ගීක සංග්‍රහය )




රෝස ගස ගීතය අසමු

 මේ අක්කා කෙනෙක් හෝ අයියා කෙනෙක් පරිසරයේ සුන්දරත්වය  සහ සිය කුඩා නැගණියගේ සුන්දරත්වය අතර දකින යම් සමානත්වයක් ගැනයි. එහෙත් අද මෙය මේ විදිහට දකීද? දකින්නට පොළඹවාවිද?
මගේ කුඩා දියණිය ඉපදෙන විට මගේ කුඩා පුතුට වසර 5කි. ඔහු පළමු වසර සිසුවෙකු ලෙස උදය සවස කි. මී. 56 ක් පාසැල් බසයේ ගමන් කරුණු ලබයි. මේ බසයේ ලොකු ඉස්පීකර දෙකෙන් අනන්ත ගී ඇසෙයි. ඒවා ගී මද යන්න පිළිබඳ මට සැකයක් ඇති වුණේ ඔහු සිය නංගීට ඇති ආදරය පාසැල් ගොස් නිවසට පැමිණි සැනින් මෙලෙස ප්‍රකාශකරණ බැවිනි.

නොදැක ඉන්න බෑ මට නම්
මගෙ ආදරී.....

ඔහු මෙයම නැවත නැවත කියන්නට පුරුදුව සිටියේය.
මේ ඔහුට උදේ හවහා ඇහෙන ගී යැයි කියන දේ වලින් එකකි. එක අතකට ඔහුට මතක හිටි ගීත ඛණ්ඩය මෙය වීම ගැන මම සතුටු වුණෙමි. මක් නිසාද යත් ගී යැයි අද ඇහෙන දේ අ තර බහුලව ඇත්තේ මෙවැනි දේත් වත් නොවේ. අතිශය අවර ඝනයේ දරුවනට ඇසීමට දෙනවා තබා වැඩිහිටියන් පවා ප්‍රතික්ෂේප කළ යුතු දේය.


ශානිකා සුමනසේකර අර්ථ මූලික ගීතයට ප්‍රධානත්වය දෙමින් කළ නිර්මාණ සංග්‍රහය අප විසින් අනිවාර්යයෙන් අගය කළ යුතුම යැයි කීමට මෙයම ප්‍රමාණවත් යැයි සිතමි.
ශානිකා ගේ සොඳුරු අහසේ පිපුණු තරු අතරේ විවිධ අයුරින් දිදුලන තරු කැට අපට හමුවේ. ඒවා එලෙස දිදුලන්නේ ඒවා සතු විවිධ යහ ගුණ නිසාය.
ගීයක මිහිරට හේතුව පද රචනයේ අරුත පමණක්ම නොවේ.... තනුවද, රිද්මයද සංගීත නිර්මාණය තුළින් මතුවන හැඟීම් සහ භාවයන්ද, කතා කරණ හඬන සිනාසෙන සංගීත වැයුම්ද මේ විවිධ වූ ගුණ අතර වෙයි. ඒ ගැනද අප විමසිය යුතුමය. එහෙත් තවමත් මේ නිර්මාණ එකතුවේ අරුත් බර ගීතයටම වැඩි බරක් දී කතා කිරීමට සිතමි.  
ඒ මමද යම් තරමකට ගීත ලියන්නෙක් වන නිසා නොවේ. සමහර ගීත වලදී සංගීතඥයාට මූලික සංඥාව දෙන්නේ පද රචකයා වන නිසාවෙනි. එබැවින් පද රචනය විමසා එහි ගැබ් වූ හැඟීම් මතු කිරීමට සංගීතඥයා ගෙන ඇති වෙසෙස් වෙහෙස කතා කරනු රිසියෙමි.
රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ගීත දෙකක් මෙහි සංගෘහිතය. 


රත්න ශ්‍රී වැනි ප්‍රවීන ගීත රචකයෙකුගේ නිර්මාණ දායකත්වය ලැබීම මේ සොඳුරු අහසට මොනතරම් නම් එළියක් වී ඇතිද?
රත්න ශ්‍රී විජේසිංහයන් මෙලෙස ලියයි.

හීසර සේම නැගි  තිවුනු බැල්මේ
ඒ දෑස උතුරන නිලන කැල්මේ
අනුහසින් මම සැඟව ගන්නෙමි
ඔබෙ ලයේ දෑතේ ලතා ගුල්මේ
ගේහසිත ජීවිතය මේ අයුරින් දකින්නට බිරිඳකට හැකි නම් ඇයට ගේහසිත දිවිය දිනන්නටත් හැකි වනු ඇත. එහෙත් එය සුළු පටු කරුණක් නොවේ.
මනා ඉවසීම...  අවබෝධය.... මෘදු හැඟුම්.... සෙනෙහස හරිම මාත්‍රාවට මුහු කළොත් පමණක් ලැබෙන අසීරු නමුත් අපූරු ජයකි එය.
අපමණ සෙනෙහස මුදු මෙළෙක පිරුණු ඔහු දෑසම ය විටක හී සර සේ ම රුදු බැළුමින් ඈ දවනුයේ. එහෙත් ඔහු හදේ රළු බවට යටින් ඇති මුදු බව ඈ දන්නා බැවිනි ඈට නැවත ඒ හදේ සෙනෙහෙ සිසිලේ දැවටෙන්නට හැක්කේ, ලතාවන් වැනි යුගබාහු තුළ තෙරපෙන්නට හැක්කේ. එසේම ඒ දෑසම විටෙක රුදු බවින් දැවෙනු දැක ඇයද එලෙසම රුදු විනි නම් මේ ජය ඇයට අහිමි වනු ඇත. එම ජය ඔහුට ද අහිමි වනු ඇත.
බිරිඳක් ගේහසිත දිවිය දිනන්නේ නම් එය ඇයගේ තනි ජයක් නොවනු ඇත. එය ඔහුටද ජය ගෙනෙයි. මේ ජය යනු අනෙකක් නොව සතුටය. ගේහසිත දිවියේ සතුට වගා කිරීම් බිරිඳකට පමණක් කළ හැකි දේ කැයි මා නොකියමි. එහෙත් ඇය එහිදී තීරණාත්මක සාධකය වෙයි.

පමා වී එත දොර හරින්නට
පැන නොවිමසා - මුදු සිනා සෙන්නට
නිදි මත දරා ගෙන බත බෙදන්නට
කුමරුනේ මට හැකිය තාමත්

දවසක ඔහු පැමිණෙන්නේ තරමක්රෑ බොවී ය... තවත් දවසක එය මැදුම් රැය ඉක්මවන්නක් විය හැක. මෙහි සඳහන් නොවෙතත් සමහර විට ඔහු මුවින් ආදර සුවඳ වසාගෙන මධුපැන් සැරක් වහනය වනු ඇත. එලෙස එන ඔහු යක්ෂයෙක් කරන්නේද නැතිද යන්න තීරණය වනුයේ ඈ අතිනි. මෙහි සඳහන් වනුයේ කුමක්ද?
පමා වී පැමිණියත් දහසක් පැන නොවිමසා, චෝදනා පත්‍ර ගොනු නොකර, සැකයේ පතුළේ උපදින කුරිරු විස බුබුළු ඔහු වෙත නොහෙලා එම අවස්ථාව දරමින් උදහසින් තොරව බැලීමට ඇයට හැකි බවය. සුව නින්දේ පසුවෙමින් දවසේ වෙහෙස දිය කර හෙට උපදින කටුක දිනට සූදානම් වෙන්නට ඈට ඇති හෝරා කිහිපය අහිමි වුණැයි නුරුස්නා මුහුණු නොපා එලෙස පැමිණෙන සැමියාට බත බෙදන්නට ඇයට හැකි බවය මෙහි කියවෙන්නේ.

හිතේ ඇමිණුනු කටු අයින් කොට
ඔබෙ දෙපා උනු දියෙන් තවන්ට
බිලිඳකුව සැතපෙනු බලා ඉන්නට
කුමරුනේ මට හැකිය තාමත්

ඔහු මෙලෙස පමා වී එන්නේ සමහර විට අතිකාල සේවය නිසා විය හැක. දිවියේ ද රාජකාරියේ ද විවිධ දුක්ඛ දෝ මනස්සයන් හිතේ ඇමිණුනු එරමිණියා බඳුය. මධු විතක්තොළ ගෑවේ නම් මිතුරන් හා..... මධුවිතෙන් අනතුරුව දොඩමළු වී නම් ඔවුන් හා.... වාද විවාදයේ පැටලී රෑ බෝවී බසය මග හැරී පයින්ම නිවසට පැමිණියේ ප්‍රමාද වී නම්.... ඔහු මෙලෙස ඒ කාලය ගත කළේ සතුට පිණිස ම නොව හිතේ යම් සැහැල්ලුවක් පිණිස බව වටහා ගන්නට ඈට හැකිය. එසේ පැමිණෙන ඔහුට මුදු මෙලකින් සංග්‍රහ කිරිමෙන් තරම් හිතේ කටු ඇනුනු තැන්වල වේදනවා සුව කරණ අන් විදිහක් ඈ නොදනී.
මෙම ගීතය ඇසෙන විට මට මතක් වන්නේ රත්න ශ්‍රී ම ලියූ මාලිනී බුලත්සිංහල ගයන තවත් ගීතයකි. එය සංගීතවත් කළේ එච්. එම්. ජයවර්ධන සංගීතඥයින් විසිනි. එහි පද රචනය මෙලෙසය.

මට සමා වෙන්න හිමිසඳුනේ මෙහෙම කියනවට
ලෙඩ ඇඳේ ඉන්න නුඹ බිළිඳෙකු වගෙයි අහිංසක....

එම රචනයෙන් කියවෙන්නේද ආදරනීය  බිරිඳක තම ස්වාමියා දෙස හෙළන මෘදු බැල්මය. මට සමාවෙන්න හිමි සඳුනේ ගීතය ඇසූ සැනින් එය මාලනී බුලත්සිංහල නම් බිරිඳ විසින් එච්. එම්. ජයවර්ධන නම් සිය ස්වාමිපුරුෂයාට ගැයූ ගීතයකැයි හැඟුනත් එහි ඇත්ත නම් හම ගීතය තුළ වෙසෙන්නේ වෙනත් යුවලක් බව යැයි මට සිතුනි. ශානිකා ගේ මේ හීසර සේම ගීතයේ සිටින්නේත් ඒ යුවලමය. ඒ යුවල කවුරුන්ද?
රත්න ශ්‍රී ගේ මේ ගීත වලට පන දෙන ආකාරයේ ගැහැණියක් පිළිබඳව මම දැන සිටියෙමි. එම ගැහැණිය ගැන රත්න ශ්‍රී මට වඩා හොඳින් දැන සිටියේය. එබැවිනි මේ සා සංවේදීව ඒ ගැන ලියනුයේ. රත්න ශ්‍රී ට ඒ සා සිතගිය සංවේදී වුණු ඒ ගැහැණිය කවුරුන්ද?
ඒ අන් ගැහැණියක නොවේ. රත්න ශ්‍රී ගේම ප්‍රිය බිරිඳ වූ හේමමාලි අක්කාය. හේමමාලි අක්කා රත්න ශ්‍රී ට මෙවන් බිරිඳක් වූ බව මම දැන සිටියෙමි.

රත්න ශ්‍රී ලියන බොහෝ ගීත වල සැඟවී හේමමාලි අක්කා අප දෙස බලා සිටී. ඈ ගැන ඔහු ගැන දන්නා අයට එය රහසක් නොවේ.  ඈ ඔහුට එලෙස සත්‍ය වශයෙන්ම දැනුනු හෙයින්ම මිස නොදැනී සිතා මතා නම් මෙවැනි ගී ලිවිය නොහැකි බව ස්ථිරය.
ශානිකා මෙම ගීතය තෝරා ගත්තේ කුමන හේතුවක් ඇතිව දැයි නොදනිමි. එහෙත් ඈ එම ගීතය තෝරාගැනීම ගැන අප ඈට කෘතඥවිය යුතුය.
මේ පදරචනයට සංගීත නිර්මාණයෙන් ඉටු වූ සාධාරණය කුමක්ද? එය ඉටු කළේ කවුද?
මේ නිර්මාණ එකතුවේ වැඩිම ගීත ගණනක් සංගීතවත් කර ඇත්තේ දර්ශන වික්‍රමතුංග සංගීතඥයා විසිනි. 


එකට එකම කෙනාගේ නිර්මාණ රැසක් එක් වූ කල අපට සාමාන්‍යෙයන් දක්නට ලැබෙන ඒකාකාරී බව දර්ශනගේ සංගීත නිර්මාණයන් තුළ නොමැතිවීම ගැන අප ඔහුට කෘතඥ විය යුතුය. එසේම නැවතත් දර්ශනට අප ස්තුතිවන්ත විය යුත්තේ ගීතය තුළ රත්න ශ්‍රී ව අපට පෙන්වීමය. රත්න ශ්‍රී අපට පෙන්වනවා යන්නෙන් අදහස් කළේ රත්න ශ්‍රී ගේ සිත තුළ තිබෙන්නට ඇති හැඟීම් දර්ශන සිය සංගීතය තුළ බහා අප වෙත පාන බැවිනි. සුපුරුදු ලෙස ශානිකා සිය මිහිරි හැඟුම්බර හඬින් එය මනාව ගයා ඇත.
ශානිකා ගයන ගීත වලදී ඈ පන දෙන්නේ ශානිකාට නොවේ. එම රචනයේ සිටින කතා නායිකාවටය. ගායිකාවක ලෙස ඈ වැජඹෙන්නේ කතා නායිකාව ඒ ගීතය තුළ සිය කටහඬින් ජීවත් කරවීම තුළිනි. ගායකයෙකු හෝ ගායිකාවකගීතයක් ගයනවා කියා කළ යුත්තේ මෙන්න මේ කාර්යයි.
හී සර ේම ගීතය අසා සිටිමු.


රත්න ශ්‍රී ම ලියූ මෙහි එන ගීතයක් මට මතක් කරනුයේ ඔහුම ලියූ මේ ගීතයයි.
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
ඒ මිහිරි දේවල් නුඹටමයි....
ඒ ගීතයේ අන්තර්ගතය ඒ ලෙසම නැතත් ඒ ගීතයේ පදනම සහ හැඟීම පාදක කර ගනිමින් රත්න ශ්‍රී මේ ගීතයත් ලියා ඇතැයි මට සිතෙයි.
යොමා කණනඩි කැඩපතට මුව
රුව බලන දෝනී
මුදු මන්දහාසි
නොවී රන්වන් පියාපත් එහි
පෙර හුරුපුරුදු දළඹු රුව පමණී
නොවැලපෙන් දෝනී.....

වන ගුල්ම හා මල් උයන්වල අයිති කාරිය ඇය තමයි
අහස් ගැබ විසිතුරු රටාවට දේදුන්න ඇන්දේ ඇයයි
නිහඬ වී නිසසලව ඉන්නා දෝනියේ ඈ මිහිකතයි

අහස සූරන ගිරි මුදුන් මහ වනස්පති මැව්වේ ඇයයි
නදී සාගර රුවන් ආකර ඇය සතුයි ඈ මිහිකතයි
සමනලිය මැව්වෙත් ඇයයි ඇගෙ තරම අය දැන ගතයුතුයි...
මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතයේදී සොබා දහමේ අපූරු සුන්දරත්වය පිළිබඳ හැඳින්වීම සිය දියණියට කරණ ඔහු මෙම ගීතයේදී සොබා දහමේ අපූර්වතා ඒ සොබා දහම තුළ ගැබ් වුණු වෙසෙස් ශක්තිය සරු බව සේම සොබා දහම තුළ සැඟවුනු යථාර්ථය ගෙනහැර පෑමටද උත්සාහ කරයි.
මෙම ගීතයටද දර්ශන සිය සුපුරුදු සංගීත ප්‍රතිභාවෙන් මනාකොට සංග්‍රහ කරයි. ශානිකා ද සිය මියුරු කට හඬින් ඊට නොදෙවෙනි සංග්‍රහයක් කර ඇති බව පසක්වෙයි.
ගීතය අසමු.


මේ ගීත ගොන්නේ මද රිද්මයෙන් වැයෙන අරුත් බර ගීතයන් ය මා මෙම පළමු කොටස් දෙකෙන්ම ඉදිරිපත් කළේ.
එලෙසම මද රිද්මයෙන් වැයෙන, එහෙත් බටහිර ඌරුවට සංගීතය නිම වුණු ගීතයක් මෙහි වෙයි. එම ගීතයේ සංගීත නිර්මාණයේ හිමිකරුවා ද දර්ශන වික්‍රමතුංග ය. දර්ශනට මෙම සොඳුරු අහස පුදුමාකාර ඉඩ හසර ලබා දුන් වේදිකාවක් වූවා යැයි කීම යුක්ති සහගතය. මට මෙහිදී මතක් වන්නේ මා මගේ කිඳුරු ගීතය නිර්මාණ එකතුව කරණ විට මා මිත්‍ර නවරත්න ගමගේගේ දායකත්වය ඊට ලබාගත් ආකාරයයි. නවරත්න එහි ගීත 16 න් 9 කටම දායක වුනි. එය ඔහුට සිය දස්කම් විස්කම් පාන්නට මහඟු වේදිකාවක් වුණු බව පසු කලෙක සංගීත ක්ෂේත්‍රෙය් ඔහු පෑ පෙළහර ගැන ඔහුට කතා කරන්නට ලැබෙන සෑම අවස්ථාවකම පාහේ මතක් කරන්නට යෙදෙන විට මට සියුම් සතුටක් ආඩම්බරයක් ඇති වෙයි. මා ඔහුගේ සුවිශේෂ හැකියාවන් සඳහා මට කළ හැකිව තිබූ උපරිමය කළා පමණි. එනම් ඔහුට වේදිකාවක් මගේ ගීත සංග්‍රහට තුළ ඉදිකරදීමය. එය අප දෙදෙනාටම දෙපසට ම යහපත ගෙන ආ එකක් විය. එයම මෙහිදී ශානිකා ලා විසින්ද ඉටු කර ඇති වග දකින්නේ අපමණ සතුටකිනි. දර්ශන නිදහසේ සිය විවිධ සංගීතමය බුහුටිකම් මේ වේදිකාව මත පා ඇති අන්දමය මේ අප අත්දකින්නේ. එමෙන්ම ඒ දස්කම් විස්කම් වල ආලෝකය ශානිකා ගේ සොඳුරු අහස බබලවන්නට හේතුවක් ව ඇති බවද කිව යුතුය.
මේ ගීතය ලියා ඇත්තේ බන්ධුල නානායක්කාරවසම් ප්‍රවීන ගීතරචකයාණන් විසිනි. සංගීතඥ දර්ශනගෙන් අසා දැනගත හැකි එහෙත් අසා දැන ගන්නට අදහසක් නැති ඒ ගීතය සම්බන්ධ අනුමානයක් මා සතුව ඇත. මෙහි එන අනෙකුත් සියළු ගීත යම් ගීත රචකයෙකුගේ පද රචනයකට සංගීතඥයෙක් විසින් තනු නිර්මාණය කර ස්වර නිර්මාණය කිරීමෙන් ගීතයක් බවට පත්වූවත් මෙම ගීතය පෙර නිර්මාණය කරන ලද තනුවකට බන්ධුල නානායක්කාරවසම් විසින් පද ගලපන ලද්දකැයි මා තුළ ඇති අනුමානයයි.
බන්ධුල නානායක්කාරවසම් යනු පෙර නිර්මාණය කරණ ලද තනු වලට අපූරුවට පද ගෙත්තම් කිරීමේ හැකියාව ඇති ගීත රචකයෙකි. ඔහු එවන් බොහෝ නිර්මාණ වලට, කළින් වචන ලියා පසුව සංගීතවත් කිරීමෙන් නිම වූ ගීතයන්ට නොදෙවෙනි ලෙස පද ගෙත්තම්කර ඇති වග එවැනි ගීත විමසන කල දැක ගතහැකිය. මේ ද එවන්නකැයි මට සිතේ. හරියටම සෙව්වොත් එය එසේ වීමට ඇති ඉඩ බොහෝය.... එහෙත් නොවිමසමි.
නීලාකාසේ  - නීල වළාවේ
හීන විමානේ - හීන නිමාවේ
රන් සඳ වාගේ - ඔබ පෑයූවේ
ගෙන ආලෝකේ - මා ජීවිතේ මේ....

නින්දෙන් මුදා මා මේ රෑ
මගෙ පාළු යහනේ
ඔබමයි සරන්නේ මේ විමනේ
මගෙ හිස සිඹින්නේ
ඔබමයි සුළගක් විලාසේ....

පින්නෙන් පිපී ආ අරුණෝදේ
නිල් සීත පොකුණේ
ඔබමයි පිපෙන්නේ මගෙ දිවියේ
සුවඳින් වසන්තේ
ඔබමයි පියුමක් විලාසේ....
මේ  ගීතයේ  සංගීත සංයෝජනයේදී යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ප්‍රමාණය සීමා සහිතය. එහෙත් එය මධුරතර ය. සංයමයකින් යුක්තය. සිත් ඇදගන්නා සුළු යැයි කීම ප්‍රමාණවත් නොවේ. සිත් පැහැරගන්නා සුළුය......
ගීතය අසමු.


මේ අතර කතා කළ යුතු ම තවත් ගීතයක් වෙයි. මුළින් ම එම ගීතය මසිත වසඟ කර ගත්තේ එහි ප්‍රමුඛව යෙදෙන සංගීත ඛණ්ඩයේ දැකිය හැකි රාගධාරී සංගීත රූපය නිසාය. එය හරියටම ගීතය ඇසීමට කරනු ලබන ඇරියුමක් බඳුය. ගීතයේ පද පෙළ අසන්නට කැඳවාගෙන යන්නේ එම සංගීතමය පිළිගැනීම විසිනි. සංගීතය නැවත වරක් දර්ශන වික්‍රමතුංගට අයත් එකක්වෙයි. අනතුරුව අප පද රචනය තුළට යොමු වෙයි. මෙම ගීතමය සංග්‍රහයේ එන තවත් ප්‍රනීත සංග්‍රහයකි මේ ගිතය.
නමක් නැති තරුවක් වගේ මම
හැංගිලා ඉන්නම්
සඳට පෙම් බැඳි ඔබේ වතදැක
සෙමින් බැසයන්නම්......
මේ නමක් නැති තරුවක් වගේ පෙනී නොපෙනී ඉන්නේ පෙර කල පහන් තරුව සේ  ඉරබටු තරුව සේ දිස්නයෙන් බැබලෙමින් සිටි තරුවකි. එහෙත් ඈ දැන් නමක් නැති තරුවක් තරමට.... දිස්නයක් නැති තරුවක් තරමට අවධානයෙන් ගිලි හී ඇත.
මෙය ප්‍රේමයේ විප්පයෝගය කැටිකොට ගත් අපූරු ගීතයකි. එහිද රචකයා ප්‍රවීන ගීත රචක සහ කිවිවර රවි සිරිවර්ධනයන් ය.

ප්‍රේමයේ සද මඬල සැඟවුනු ‍
අමාවක රෑ පාළු අහසක
ඔබට දැල්වෙන්නම්
ආයෙමත් සඳමඬල දවසට
හිතහදාගන්නම්....
මේ නමක් නැති තුරව තවමත් සඳට පෙම් බැඳි ඔහුට සෙනෙහස පායි. දිනක යම් විදිහකට සඳ ඔහුට පිටුපෑවොත් අදිනට සඳ සේ නැතත් සිය එළියෙන් ඔහු දිවිය එළිය කිරීමට ඈ තුළ ඇති සෙනෙහස එහි මැනවින් කියා පායි. යම් දිනක නැවත සඳ ඔහුගේ අහසේ පායයි නම් සඳට ඉඩ දී සෙමෙන් බැස යාමට ඇය මැලි නොවෙයි. සෙනෙහසේ හැටි එහෙමය.
ආකහේ වැහි වළා වැතිරුනු
පුරා සඳවත වැසුනු දවසක
සුළඟ වී ඉන්නම්
අදුරු වැහිකළු  දුරක රඳවා සඳුට ඉඩදෙන්නම්...


ගීත සංග්‍රහයේ ගීතයක් දෙකක් ගැන පමණක් කතා කර සටහන නිම කිරීමට සිත් නොදෙන්නේ එහි ඇති ගීත වලින් වැඩි කොටසක් අවංකවම කතා කළ යුතු තත්වයේ ඇති බැවිනි. තුන්වන කොටසක්  දක්වා කතා බහ දික් වන්නේ එබැවිනි. එබැවින් ළඟදීම තුන්වන කොටසින් හමුවෙමු.
-        යසනාත් ධම්මික බණ්ඩාර   -