Thursday, May 29, 2014

කඳුළක් තරම් සීතල දෙයක් නැති බව කියා දී නුඹ ගියා........








මගේ බ්ලොග් අඩවියට මා ලිවිය යුතු මී ළඟ දිගු සටහන වන්නේ සමන් ජයනාත් පිළිබඳව ලියන්නට පටන් ගත් ලිපියේ දෙවන කොටසයි. ඒ අනුව එය ලියමින් සිටින විට සමන් ගැන ලියන එම සටහන ලිවීම පසෙක ලා වෙනත් සොඳුරු මිනිසෙක් ගැන සටහනක් ලියන්නට මට මගේ හදවත බල කරන්නට විය. ඒ සමන් සොඳුරු මිනිසෙකු නොවන නිසා නොවේ. එහෙත් ඊට පෙර නැවත අප හමුවන්නට නොඑන මිතුරකු පිළිබඳව කෙටිසහ කටු සටහනක් තැබීමට සිදුවන්නේ මින් මතු ඔහු නැවත අප හමුවීමට නොඑන නිසාමය. එසේ නොවුයේ නම් ඔහු ගැන යමක් ලියන්නට සිටියේ තවත් කලක් ඇවෑමෙනි. 
කෙදිනකවත් අපට නැවත ඔහු හමු නොවනු ඇතැයි මම නොකියමි. ඔහු බැලීමට හැකි තැනකට අපටත් යායුතු දිනයක් උදාවන බැවිනි. 
ඒ දිනය කෙදිනක උදාවේවිද යන්න පමණි ගැටළුව. 
හදිසියේ, නොකියාම, සමුනොගෙනම මේ දුර ගමන ඔහු ගියේ රහසේ යායුතු ගමනක් ගිය නිසා නොවේ. 
හිතුවක්කාර ගමනක යෙදුනු නිසාත් නොවේ. 
අප සමග උරණව ද්වේශයෙන් තරහින් පුපුරමින් ගිය නිසාත් නොවේ. 
සෑම ගමනක්ම ගෙදරට කියා ගිය.... කියා ගිය වේලාවට පැමිණිය නොහැකිනම් ප්‍රමාදයට හේතු කියා පමාවී පැමිණෙන බව වරින් වර ගෙදරට දැන්විමට පුරුදුව සිටි ඔහු, එදින ගෙදරටවත් යන බව කීවේ නැත. 
මරුගේ හදිසි කැඳවීමට ඔහුට හදිසියේ එකඟවීමට සිදුවුණි. කාටවත් කියා යාමට වේලාවක් නොදීම මරුවා ඔහුව කැදවා තිබුණි. ජීවිතයේ බොහෝ දේ ඉදිරියේ මෙන්ම මෙවර මරුවා ඉදිරියේදී ද ඔහු පෙරැත්ත කිරීමට ඉදිරිපත් නොවීම ගොස් තිබුණි.

රත්න ශ්‍රී විජේසිංහයන් මාලනී බුලත්සිංහලට ලියූ ගීතයක කොටසක් මට මතක් වෙයි. ඒ ගීය ඔහු ලිවුවේ ඇගේම දියණියගේ අකල් වියෝව නිසා ඈ තැවෙමින් සිටියදීය. මතකයේ හැටියට එය කවකින් ගීයකට පෙරලා ගත් එකකි. නැති නම් ගීතය නිම වීමට පෙර නැවත සංස්කරණයට ලක් වූ එකකි. එබැවින් මුල් කවේ හෝ මුල් සංස්කරණයේ  එක් තැනක මෙසේ වෙයි. 

අකීකරු වුවා නොවේ - යා යුතු නිසා නුඹ ගියා.......

අපගේ මේ මිතුරාද ගියේ එලෙසිනි. අකීකරු වුවා නොවේ - යා යුතු නිසා නුඹ ගියා....... ඒ ගීතය මේ මිතුරාට අදාල වන්නේ එලෙසින් පමණි. එහෙත් ඒ ගීතය ඇසුවොත් හොඳයයි හිතන්නේ මේ ශෝකාකූල මොහොතට එය මනාව ගැලපෙන නිසාවෙන්ය. 

බැස ගියා - නුඹ බැස ගියා
තාරකාවියේ නිල් තාරකාවියේ
නුඹ බැස ගියා

මේ පාලු අහසේ තොටිල්ලේ
නුඹ නැළැවුණා මතකයි එදා‍
ඇල් පවන් තාමත් හමන්නේ
මා ගැයූ නැළැවිලි ගී කියා


මේ ජීවිතේ සිහිනයක් දෝ
සද තරු වලින් සරසා ගෙනා
පුර හඳ පවා කඳුළැල් වෙලා
වැගිරේවි හිමිහිට ඉකිගසා

කඳුළක් කඳුළක් කඳුළක් තරම්
සීතල සීතල සීතල දෙයක්
නැති බව කියාදී නුඹ ගියා....

ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගැයුම : මාලනි බුලත් සිංහල


අපි ඒ ගිතය අසා සිටිමු.


ඔහු හිටියානම් මේ ගීතයට ඔහුත් හෘදයංගම වනු නොඅනුමානය. 

ඔහු මගේ පාසැල් මිතුරකු නොවේ. එහෙත් ඔහු ඉගෙන ගත්තේ මා හොඳින් දන්නා පාසැලකය. ඔහු මගේ ගමේ මිතුරකු නොවේ. අපේ ගම් පිහිටා තිබුණේ එකිනෙකින් සැතපුම් 50-60 ක් ඈතිනි. ඔහු මගේ රාජකාරි ස්ථානයේ මිතුරකු නොවේ. ඔහු රාජකාරි කළේ මට වඩා වෙනස් රාජකාරි ස්ථානයකය. එහෙත් පළමු හමුවිමෙන්ම ඔහු මගේ මිතුරකු විය. අනතුරුව නිතර නොවුණත් හෘදයන්ගමව හමුවිය යුතු බොහෝ තැන් වලදී අපි හමුවීමු. ළබැඳියන් ලෙස කටයුතු කළෙමු. 
ඔහු මට හමු වූ දිනය හරියටම මතක නැත. ඔහු මට හමු වූයේ මගේ යම් නිර්මාණ කාර්යයක් අසබඩදීය. ඔහු මවෙත ඇරියුමක් කළේ ඔහු මෙහෙයවන වැඩ සටහනකදී මගේ නිර්මාණ ඉදිරිපත් කරණ ලෙසය. මෙසේ කියන විට ඔහු රූපවාහිනියක හෝ ගුවන් විදුලියක මාධ්‍යවේදියෙකු වග ඔබට පැහැදිලි වනු ඇත. 



ඔහු එකල ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා සේවයට අනුයුක්තව සේවය කළේය. ඔහු සේවය කළේ ගුවන් විදුලියට පමණක් නොවේ. ඔහු එවකට සිටි බොහෝ නවක එහෙත් ප්‍රතිභාවක් පෙන්වූ නිර්මාණ කරුවන් හට මහත් සේවයක් ඉටුකළේය. එමෙන්ම සුභාවිත නිර්මාන රසවිඳින රසිකයාගේ රසිකත්වය වෙනුවෙන් ඔහු සේවය කළේය. එමෙන්ම තම නාලිකාවේ විවිධ රසවින්දන පරාසයන් තුළ ගැවසෙන්නන් හට එම රසවින්දන පරාසය පුළුල් කරගන්නට ඔහු මහත් මෙහෙයක් ඉටු කළේය. මට ඔහු මුණගැසුනේ හා හා පුරා ගීත පොකුරක් නෙළාගෙන එය රසිකයන් වෙත පුද දෙන්නට යම් යම් කටයුතු ඉටුකරණා සමයේය. ඒ මීට වසර 25ටත් එපිටදීය. එහෙත් ඔහු මගේ හදවතට ඇතුළුවන්නේ ඊටත් බොහෝ කලකට පෙරය. එකල මම එකදු ගීතයක් වත් ලියා නැත. 
ගායක ශාලිත අබේවික්‍රම මහත් ජනප්‍රියත්වයක් ඉසිලූ යුගයක් විය. ඒ ශාලිත අබේවික්‍රම ගැයූ මේ ගීය මා වශීකල බව මට මතකය. ඒ පළමු මතකය තුළින් මගේ සිතේ ලැගුම් ගත් ඒ ගීතයේ රචකයා මට මුණ ගැසුනේ මමද ගීත රචකයෙකැයි ඔහු විසින් හඳුනාගැනීමෙන් අනතුරුවය. මුණ ගැසෙන විට ඔහු මාධ්‍යවේදියෙක්ද විය.

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කළා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කළා.....

මේ ගීතය මට මතක හැටියට පාසැලේ උසස් පෙළ කරණ සමයේ අප වැළඳගත් ගීතයකි. තාරුණ්‍යෙය් මුළ සිටි අප සැමට එය ඉතා නැවුම් සිතුවිලි එක් කළ ගීතයක් විය. එකල මේ ගීතයට අති මහත් රසික ප්‍රසාදයක් ලැබූ බව මට මතකය. මේ ගීතයේ රචකයා ලෙස හැඳින් වූයේ විපුල් ධර්මප්‍රිය ජයසේකර නම් අයෙකි.

කවුරුද ඔබ මා - ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන් වූවා අප සුසුම් දරා....

මේ ගීතයට අපි ඇළුම් කළේ ඇයිද යන්න තේරුනේ පසුව ඒ ගැන සිතද්දීය. එහි ඇත්තේ ඒ වයසට ගැලපෙන අදහසකි. කවුරු කවුරුන්දැයි නොදැන, එන්නේ කොයිබින්දැයි නොදැන, දෑසේ ඇරියුමට වසඟව, හදිසියේ ගත් තීරණ මත පෙමින් වෙලෙමින් දින ගණනක සුවයකුත් මාස ගණනක් වියෝ දුකකුත් නොවේද ඒ කාලයේ සමහර ප්‍රේම කතාවල අරුත වුණේ... ඔහු ලියා ඇත්තේ එයය.

මතකේ මැවෙනා - පෙර රූ ඡායා
හමු වේදෝ යළි සිත සනසා
ඔබ නමටයි මා - පාරමි පුරණා
ඇසේවිදෝ මේ - ගී මාලා...... 



විපුල් ගීත රචකයෙකි. එමෙන්ම මාධ්‍යවේදියෙකි. එමෙන්ම මේ චරිතයන් පණපොවන්නට පෙර හේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රෙය් විශාල මෙහෙයක් ඉටු කළ බව දැනගත්තේ මිතුරන්ගෙනි. ඔහු හොඳ වේශනිරූපන ශිල්පියෙකු වූ බව ඉන්ද්‍රනාත තේනුවර සොයුරා විසින් සඳහන් කොට තිබුණි. එය පසුව තවත් අයගෙන් දැන ගතිමි. මේ අනුව ඔහු අතින් වෙස් ගැන්වූවන් බොහෝමයකි. එහෙත් අනුන් වෙස් ගැන්වූවද තමන් වෙස්වළා නොගත් අයෙකි විපුල්
තමන් ගීත රචකයෙක් වන විට අනෙකුන්ගේ නිර්මාණ කෙරෙහි ඊර්ෂ්‍යාපරවශව බැලීමේ සාමාන්‍ය පුරුද්ද ඔහුගේ ජීවිතය තුල මා නොදුටු දෙයකි. එහෙත් සමහර ඔහුට වඩා ළඟින් ඇසුරු කරන ගීත රචක මිතුරන් තුළ ( නැවතත් කියනවා සමහර කියන වචනය ) මේ ගුණය හමු නොවන බව මම අත්දැකීමෙන් දනිමි. එයට හේතුව වන්නේ සම යුගයේ සහෝදරයින් දක්ෂතාව අතින් හෝ ජනප්‍රියතාව අතින් තමනට යම් අභියෝගයක් වෙතැයි සිතන අයත් කලා කෙත උතුම්ය කිව්වත් සිටින බැවිනි. සම්මාන සිහිනයෙන් උමතු වුවහොත් මේ රෝගය වඩාත් දරුණු වේ. විපුල් විෂයයෙහි ගත් විට මේ රෝග කාරක විෂ බීජයට ඔහු ගොදුරුවීම නැතැයි කටපුරාම කිවහැක.

1999 දී පමණි, මා ගීත කිහිපයක් රචනාකර පටිගත කර ඇති බව දැනගත්විට මට බොහෝ මාධ්‍ය ආයතනවල සිටි සමකාලීන සිතුම් පැතුම් ඇති සගයන් එහි යම් අවස්ථා දෙන්නට උත්සුක වූහ. සමහර ආයතන එවිට අතහැරුනි. නැතිනම් අවශ්‍ය සංයුක්ත තැටි ඒ ආයතන වෙත ලබාදීමට ප්‍රමාදවුණි. විපුල් එවකට සිය හඬ අවදිකළ ක්‍රීඩා සේවයද එවැන්නකි. එහෙත් ඔහු සිටි අවස්ථාවල මගේ ගී එහි වාදනය වනු මම අසා තිබුණි. ඒ කෙසේද යන්න දැන ගත්තේ පසුවය. ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සහෝදර මාධ්‍ය ආයතනවලින් එම තැටි ඉල්ලාගෙන විත් වාදනය කිරීමට තරම් ඔහු නිහතමානී අයෙකු විය. ඒ වන විටත් මා ඔහු හමුවී තබා දුරකතනයෙන්වත් කතා කර නොතිබුණු අයෙකු විය. ඔහු මට මතක හැටියට ප්‍රථමයෙන් හමුවූයේ ගී තැටිය එළි දැක්වීමේ කටයුතු ආසන්නයේ එහෙ මෙහෙ දුවන අතර ලක් හඬට ගොඩවූ විටදීය. විපුල් මටද තමන්ගේ වැඩ සටහනකට එන ලෙස ආරාධනා කළේය. ඉන් නොනැවතී ගුවන් විදුලියේ අනෙකුත් සමහර වැඩ සටහන් වලද අවස්ථාව සලසාදුනි. විපුල් මගේ මුල්ම නිර්මාණ කිහිපය එළි දැක්වීමේදී, නම් කිව යුතුම මාධ්‍ය සගයන් අතරේ ඉදිරියෙන්ම සිටි කෙනෙකි. මගේ මුල් නිර්මාණ මතු නොව මා අවසානයට කළ නිර්මාණ ගත්තද විපුල්ගේ නම ඊට ඈඳෙන්නේ ඒ ගි පළමු වතාවට මාධ්‍ය ආයතනයකින් ප්‍රචාරය කොට ඉන් නොනැවතී මාගේ අදහස්ද විමසා එහි එකතු කළ හිතහොඳ මිනිසා ලෙසය. මේ ගී මා කිසිදු මාධ්‍ය ආයතනයකට ලබා නොදුනි. දැන් ඔබ සිතනු ඇත්තේ මා කළ ඒ ප්‍රකාශය විපුල්ට හැර අන් අයට ලබා නොදුනි යනුවෙන් නිවැරදි විය යුතුයි කියාය. නැත. විපුල්ටවත් එය ලබා නොදුනි. ඔහු එම ගීත මුළින්ම අසා තිබුණේ අන්තරජාලය හරහාය. අනතුරුව ඉන් බා ගත් ගීත දෙක සිය වැඩ සටහන්වල කිහිප විටක්ම ප්‍රචාරයකර තිබුණි. පසුව ඒ හා බැඳුනු වටපිටාව පිළිබඳ ගීත ඉදිරිපත් කරමින් කතාබහකට යොමුවුනි. අනතුරුව වරක් දෙවරක් ඒ ගි තැටිය ගෙනැවිත් දෙන ලෙස ඇරියුම්ද කළේය. එහෙත්...... ඒ ගීතැටිය ඔහු අත පත්කිරීමට ඉඩ නොතබා ඔහු අප හැර ගොස් ඇත. මේ ගී දෙක මෙහි අමුණන්නේ ඔහු ඒ ගී දෙකට ඇළුම් කළ බැවිනි. ඒ හා සම්බන්ධව තව යමක් කියන්නේ ඔහු සමහර අය මෙන් කුහක නොවූ බව කීම පිණිසය. මේ ගී දෙකේ මහා සමාජ දර්ශනයක් ගැබ් නොවේ. ප්‍රේමයේ විප්පයෝගය පිළිබඳ තැවෙන සිතක සිතුම් සමුදායක් පමණක් මෙහි ඇත. ඒ හැඟුම් වලට සංවේදී බොහෝ දෙනෙක් මේ ගීත වැළඳගත් බව මම දනිමි. සමහර අයට ඒවා නොදැනුනු නිසාත්, තමන්ගේ විග්‍රහයන් අනුව තමන්ට ගෝචර නොවන නිසාත් ඒවා පෙර නිර්මාණ තරමින් ඇළුම් නොකළ අය සිටින්නට ඇත. එහෙත් ඒ අතරේ වෙනත් අරුත් ඇතිව ඒවා තලා පෙලා ඉවත ලෑමට ගත් උත්සාහයන්ද තිබුණියැයි මට සිතුනි. ඔවුනගේ අදහස වූයේ පුම්බා කොතෙක් උඩ ගැසුවත් මේ නිර්මාණ දෙක නම් ඉල්ලුම අවප්‍රමාණ වී අස්ථාන ගතවන බවයි. 




මා විපුල්ට මේ ගැන කී විට විපුල් කිව්වේ මෙසේය... මචං....... රසිකයෙක් කිව්වොත් ඒ ගැන ටිකක් හිතපං...... ක්ෂේත්‍රෙය් එකෙක් කිව්වොත්, ඔහු අපට වඩා ජේෂ්ඨයෙක් නම් ඒ ගැනත් ටිකක් හිතපං...... අපේම එකෙක් කිව්වොත් නම් ඒ ගැන හැකි තාක් අමතක කරපං..... මම නොකිව්වට උඹ දන්නවානේ අපේ වුන්ගේ තරම.....ඔන්න ඔය සී. ඩී. එක ඉක්මනට ගෙනත් දියං....... කියාය. ඔහු ක්ෂේත්‍රය පිළිබඳව සිටි අවබෝධය මේ අනුව පැහැදිලිය. එහෙත් එලෙස කිව්වේ අපේම එකෙකුත් නොවේ යැයි මට සිතේ. ඒ නිසා අපේම වුන්ට මේ කියමන අදාල නොවේ. විපුල් ඇසුරු කළ අපේ මිතුරන්ගෙන් බොහෝ දෙනෙකුත් එසේ නැත. එහෙත් සමහර අය එසේ වන්නට බැරි නැත. ඒ ගිතදෙකත් මෙහි අසන්නට දෙන්නම්. විපුල් මට කියන්නට ඇති දේ පමණක් කියවන්නට කැමති අය, උරණ නොවී ඒ ගී දෙක මගහැර යනු මැනවි.

1.රාත්‍රිය.....
උවමණා කර තිබේ - නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න....



2. නුඹ ළඟින් සිටි දා - කියන්නට බැරිවුණු....



විපුල් නිහඬ මිනිසෙකි. ඔහුගේ හඬ මතුවන්නේ සිය රාජකාරි කාලය තුලදී පමණි. ඒද මනාව පාලනය කරගත් හඬකි. ඒ හඬ ඉවක් බවක් නැති තිරිංග රහිත හඬක් නොවේ. එය මනාව හික්මුණු හඬකි. ඒ හඬ නිසා රිදුනු කෙනෙක් නැතැයි මම සිතමි. ඒ හඬ නිසා නිවුනු අය වන බව මම දනිමි. ඔහු ඔහුගේ හඬ මිනිසුන් වෙනුවෙන් මිස වෙනත් අරමුණු සඳහා යෙදවූයේ නැත. ඔහු හඬ නැගූ තවත් විදිහක් පෙර උදාහරණයකින් දැක්වුණි. එහෙත් හොඳින් කතාබහේ හුරු හොඳ කටහඬක් ඇති ඔහු තමන්ට කියන්නට ඇති සමහර දේ කියන්නට වෙනත් හඬවල් සෙවීය. ඒ අත ඊසොප්ගේ හඩ ජාකොබ්ගේ ලෙසින් නොවේ. කථනයට දක්ෂ වුව, ලිවීමේ දක්ෂවුව, ගැයීමේ දක්ෂනොවන බව වටහා ගත් ඔහු තමන් ලියනා දේ කියවිය හැකි හඬවල් සෙවීය. එඩ්වඩ් ජයකොඩි ඉන් එක් අයෙකි. නොකීරහසක් කියන්නට වෙනත් සෑම හඩකටම වඩා ජයකොඩි අයියාගේ හඬ හොඳයයි සිතෙන්නේ මේ ගීතය ඇසෙන විටය. ඒ නොකීරහස අනෙකෙකුගේ නොව විපුල්ගේය. තමන්ට කියාගතනොහැකි වූඒ රහස කියන්නට සුදුසු හඬ තමන්ගේ නොව ජයකොඩි අයියාගේ බව ඔහු ඇදහූ දේ විය. නැති නම් තමන්ම එය ගයනු ඇත. 

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා 
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා 
රැයේ ගනඳුර නැගෙන තනියට 
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා 
මං ආදරෙයි....... මං ආදරෙයි 
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........ 

විපුල්ගේ ගීත රචනාවන් තුළ බැරෑරුම් උපමා උපමේයයන් සහ රූපකාලංකෘත අඩුය. එහි බස් වහර සරලය. වක්‍රෝක්ති අවමය. එහෙත් ගැබ්වෙන හැඟීමෙහි අඩුවක් නැත. මේ හේතුව නිසා සුභාවිත ගීතාවලියේ එක් ඉමක සිටින රසිකයන්ටත් මේ ගී විඳීමේ හැකියාව ලැබීඇත. එය ඔවුන්ගේ රසිකත්වය ඔසවා තැබීමේ පාලමක්ද වන්නේය. මේ කාලයේ මෙවැනි පාලම් පාරු නැත. ඇත්තේ දෙගම්බඩය.

පැතුම් වෙරලට සිතුම් රළ පෙළ ඇදෙනවා
සිතැඟි කැළඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින් අවදිකොට මා තබනවා තබනවා.....
මං ආදරෙයි....... මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ළෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි....... මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........ 



මේ ගීය සංගීතවත් කළේ ද එසේ කොට ගායනා කලේද විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි. නොකීරහස හඬින් සැමටම කිව්වේ ඔහු විසිනි. 
ප්‍රථම හමු වීමෙන්ම අපි මිතුරන් වීමු. අනතුරුව විවිධ කලාත්මක කටයුතු අවසන පුරුදු තැනකට එක්වන කණ්ඩායමට ඔහුද ඇතුළත්වුණි. එසේ විශේෂයෙන් එක්වූ තැන්ක වූයේ එකල සමන් ජයනාත් නවාතැන්ගෙන සිටි සේනාරත්න පීරිස් (සෙනා) ට අයත්ව තිබූ කළුබෝවිල රෝහල අසල නිවසයි. ඊට නිතර එකතුවූවන් වූයේ, සමන් සහ සෙනාත්, රෝහණ ධර්මකීර්ති, වසන්තරෝහණ, නවරත්න ගමගේ( නවා) සහ මමත්, බුලිත ප්‍රදීප් කුමාර, කමලසිරි බණ්ඩාර, කුමාර ලියනගේ, දයානන්ද රත්නායක, රොහාන් ශාන්ත බුලේගොඩ, සුදත් සාගර, ජනක නවරත්න වැනි පිරිසකි. මේ එකතුවට අනිවාර්යයෙන්ම විපුල්ද පැමිණෙයි. එහි අවශ්‍ය අයට අවශ්‍ය්‍ය නම් අවශ්‍ය දේද තිබුණත් විපුල්ට ඒ දේවල් අවශ්‍ය නොවෙයි. කතා බස්, ගී ගැයුම්, අදහස් දැක්වීම් ඈ සියල්ල මදක් මත් වුණු අයද මත් නොවුණු අයද එකසේ කරයි. එහෙත් බොහෝ දුරට ඒ සියල්ල මැද විපුල් නිහඬව අසා බලා සිටී. විපුල්ගෙන්ම යමක් ඇසුවොත් හෝ විපුල්ටම අදහස්දැක්විය යුතු දෙයක් නොවුන හොත් ඔහු බොහෝ විට නිහඬව සිටී. එමෙන්ම එලෙස එම හමුවීම් වල සෑහෙන වෙලාවක් සතුටු වෙමින් සිටීමද ඔහුගේ පුරුද්දකි. 
අපි එක්ව කතා බස් කළේ එවකට අපි සියල්ල නියැලී සිටි ගීත ක්ෂේත්‍රයේ අනාගත තත්වයන් තුළ අළුතින් යමක් කරන්නට සැරසුනු අපේ පිරිසට සහායක් වෙමින් අපගේ ගමන යන ආකාරය පිළිබඳවය. ඒ ගමන සඳහා විපුල් මාධ්‍යයනගෙන් ඔවුන් වෙත ලබා දිය හැකි හැම උපතාරයක්ම කළේය. සිය ගීත සඳහා වැඩි ඉඩක් ලබනු වෙනුවට සමකාලීන අන් අයට එම අවස්ථාවන් බෙදා දීම ඔහුගේ මහත්මා ගුණයක් විය. ඔහු අමුතු මිනිසෙකු වූයේ ඒ ගුණයන් දැරූ නිසාවෙනි. 



විපුල් ලියූ ගීත සිය ගණනින් ජනප්‍රිය වීනැත. විපුල් එසේ ගී ලියාත් නැත. එහෙත් ලියූ ගී කිහිපයෙන් ඔහු රසිකයින් අතර මහත් ප්‍රසාදයක් දිනාගන්නට සමත් වුණි. මේ තවත් එවන් ශාලිත ගැයූ ගීයකි.

සුළඟේ ළෙළෙනා - මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත- වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.....

සමහර විට විපුල් මේ ගීය ලියන්නේ නිතර නිතර ඔහු සිය පාසැලට ආදි සිසුවකු ලෙස ආ ගිය අතරතුර විය හැක. විපුල් කොළඹ තර්ස්ටන් විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු බව මෙහි ලියා තබණු වටී. සරල වදන් අතරේ ඊ ළඟට ඔහු ගැඹුරු කතාවක් කියයි.
ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පන්තියෙ විලසේ
අප පොත් වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ........

පාසැලේ, පන්තියේ එකට උගෙනිද්දී පංති බේදයකින් තොරව සියල්ල එක පංතියක සිටී. ඒ සියල්ලගේම පැතුම වන්නේ අධ්‍යාපනයේ ඉහළ කඩුළු තරණය කර උසස් තැනකට ඒමටය. ඒ අනුව ගත්විට නැවතත් සියළු දෙනාම එකම පංතියකය.

සාමල අමරල පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසැල - අපේම මවගේ එදවස් අපහට නැත ආයේ...... 

එම ගීතය අසමු.



විපුල් ලියූ ගී වඩාත්ම හැඳින්විය හැක්කේ ආදරයට බර ගී ලෙසය. එහෙත් ඔහු එවන් ගී ලියා ඇත්තේ කිහිපයකි. ඒ ලියූ ගී කිහිපය තුළ ඇති ආදරයේ තරම අහස් ගැබේ තරු කැට ගණනට පොලෝ තලේ වැලි කැට ගණනට සමානය. විපුල් මේ විදිහට ඒ ආදරයේ තරම පත් ඉරුවක ලියද්දී ඒ කතාව සැමට ඇහෙන්න ගැයුවේ චරිතා ප්‍රියදර්ශනී පිරිස් විසිනි.

වදුලු සිරස පිපි මල්ගානේ - විහඟ තුඩක කිචි බිචි ගානේ
සිහින සිඹින මද නල ගානේ ආදරෙයි - මං ආදරෙයි....

එම ගීතය අසමු. 



මෙවන් කිහිපයකින් වුව ඔහු ගීත රචතයෙකු ලෙස ඇති කරගත් අනන්‍යතාව මහත්ය. ඔහු ලියූ ජනප්‍රිය වූ තවත් ගී කිහිපයකි. එහෙත් ඒ ගැන වැඩි කතා නොකර ගීත වලට යොමුවන්නට සිතමි. ආත්මා ලියනගේ ගේ සුරිඳුනේ ගීතය අති මහත් ජනප්‍රියත්වයක් ලැබූවකි. 
සුරිඳුනේ ගීතය අසමු.

https://www.youtube.com/watch?v=uVD1HaiUuX0&feature=em-upload_owner#action=share


එවන්ම ජනප්‍රියත්වයක් ලැබූ ගීයකි ලක්ෂ්මන් හිල්මිගේ බොල් පිනි වැටෙනා ගීතය. 
බොල් පිනි වැටෙනා ගීතය අසමු.
කරුණාරත්න දිවුල්ගනේ ගයන සඟවන්න එපා හසරැල් ගීතය ඔහු අතින් ලියැවුනු ගීත අතර බොහෝ අය වඩාත් ප්‍රියතාවක් දැක්වූ ගීතයකි.
සඟවන්න එපා හසරැල් - අවුලන්න එපා ගිනි දැල් කීවත් හසරැල් සැඟවීඇත. ගිනි දැල් ඇවිලී ඇත. ඒ එසේ ලියූ විපුල්, ඔබ අප හැර ගිය බැවිනි. අපව හැර යාම අදහා ගත හැක. එහෙත් සදාදරනීය දරු දෙදෙනාත්, ප්‍රිය බිරිඳත් හැර මරු හා යාමට එකඟවීම අදහා ගත නොහැක. එහෙත් උපන්නොත් යමෙක් මරණයත් අත මිට මොලවා පැමිණෙන බව අපි කවුරුත් දන්නා දෙයයි. අපි නොදන්නේ ඔහු කුමන කාලයක් අපි අතර සිටීද කෙදින යාවිද යන්න පමණි. විපුල් කොතෙක් කිව්වත්, ඔබ ගිය පසු ඔබට හිතැත්තන්ගේ මුහුණු තුළ හසරැල් සැඟව ඇත. හදවත් තුළගිනි දැල් ඇවිල ඇත. 
සඟවන්න එපා හසරැල් ගීතය අසමු. 






ේ අතර මාලනී බුලත්සිංහල ගයන ගීය විපුල් ොන තරම් නම් ජනප්‍රිය වුණු ගීයක් දැයි මට මතක් වූේ පසුව ය. සුව මතක් වුවද, එය, මා ඔහුේ ගී වලින් වඩාත්ම ප්‍රිය කරණ ගීයක් බව කිවිය යුතුම ය. එහි සංගීතය එච්. එම්. ජයවර්ගෙනි.



පෙළින් පෙළට රිය
පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි
හැඩවැඩ නැත..
හැඩට රුවට තැළි පිළිද
නැතේ මට ...
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායදය මට නැත
බුලත් හුරුළු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...


 
අතමිට සරු නැති, දායාදද හිමි නැති, එහෙත් ආදරය හදෙහි ඇති දෙපළකේ එක්වීමක් ගැනය ේ සුන්දර ගීය.
ේ විවාහය සිරිතට විරිතට, උත්සවශ්‍රිෙයන් ොවූ බව එහි පද පෙළ ොවලහා කියයි. එහෙත් සැබෑ බැදීමකට ේ උත්සව අත්‍යවශ්‍යද? උත්සව ොමැති වූ කල සැබෑ බැඳීමක් වියැකී යයිද? එොවන බව ේද ේ ගීඇත්ේ.
ේ බලන්න ඔහු එය ලියා ඇති සුන්දර අයුර.
 
නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...
 
අපි වැඩි පුර කතා නොකර එම ගීය අසමු.
 
 
 
ඉතින් මිතුර...... දැන් ඔබ නික්ම ගොස් ඇත. අප කොතෙක් අකමැති වුවත් ඔබ අපෙන් නික්ම ගොස් ඇත. ඔබ නැවත කෙදිනකවත් අප අතරට නොඑනු ඇත. එහෙත් අප ඔබ අතරට නොඑනු ඇතැයි ඉන් අදහස් කල නොහැක. අප නොදන්නේ අප ඔබ අතරට එන දිනය කෙදිනද යන්න පමණි. එහෙත් කෙදින හෝ අප ඔබ අතරට එනු ඇත. එබැවින් මින් නිහඬවන්නට තීරණය කළෙමි. 


රත්න ශ්‍රී බැස ගියා නුඹ බැස ගියා ගීතය අවසන් කරන්නේ, කඳුළක් තරම් සීතල දෙයක් නැති බව කියා දී - නුඹ ගියා ලෙසය.... එයම මෙහිදීද යොදා ගතහැක, විපුල්,  
කඳුළක් 
කඳුළක් 
කඳුළක් තරම් 
සීතල 
සීතල 
සීතල දෙයක් 
නැති බව කියා දී 
නුඹ ගියා........ 

- යසනාත් ධම්මික බණ්ඩාර -