Sunday, October 12, 2014

අනුත්තරා, උමා සහ මහේෂිකාට පෙම් බැඳ අනෝමා ව සරණපාවා ගත් සමන් ජිනදාස.....3 වන සහ අවසාන කොටස



 




පසුගිය සටහන අවසන් කළේ නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී ගීතය ඇසීමෙන් පසුවයි. එම ගීතය පිළිබඳ කතාවේදී මා කී දෙයක් වුණේ එය නවරත්න ගමගේ ( නවා ) ගේත් මගේත් ජනප්‍රිය තලයට ගිය පළමු ගීතය බවය. ඒ අප විසින් මේ ක්ෂේත්‍රය තුළ තබන ලද පළමු බර අඩියයි. නාට්‍ය සංගීතයේ නමක් දිනා සිටි නවා ගැන සරල ගී රසිකයින් සහ ගායක ගායිකාවන් කතා කරන්න පටන් ගත්තේ ඉන් අනතුරුවය. ඒ හා සමගම ගීත රචකයෙකු ලෙස මා පිළිබඳවද කතා කරන්න පටන් ගත්තේය. ඒ නිසා කළින් ඇසුවා කියා තව වරක් ඇසීමට අකමැති නොවෙතැයි සිතා නැවත වරක් එම ගීතය වෙත යන දිගුව මෙහි රඳවමි.
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවි ගීතය.


උමා නිසා ජනප්‍රිය ව සිටි සමන් ජයනාත් ට අනතුරුව ඒ හා සමග කරට කර ගමනක් ඇති ගීතයක් නොතිබුණි. එහෙත් මේ ගීතයට ලැබුණු ප්‍රතිචාරයත් සමග ඒ අඩුව මැකුණි. ඒ නිසාම අප තිදෙනාටම විවිධ තැන් වලට වැඩ සටහන් වලට ඇරියුම් ලැබුණි. ඒ සමගම මගේ අනාගත නිර්මාණ එකතුවටද එය මහත් අත්වැලක් වුණි. සමන් ට ද අළුත් නිර්මාණ එකතුවක් පිළිබඳ අදහස් ඉදිරිපත් වුනි. නවා ඉතා ඉක්මණින් ක්ෂේත්‍රෙය් ස්ථාවර වන ලකුණු මතු වුණි.
මගේ නිර්මාණ එකතුව සිංග් ලංකා ලේබලය යටතේ එළි දක්වන්නට අවස්ථාව ලැබුණේ නවසිය අනූ අටේ මැද භාගයේ යම් දිනක සිංග් ලංකා හි කුලරත්න ආරියවංශයන් විසින් දුන් සංඥාවක් හේතුවෙනි. ඔහු මට කීව්...
මල්ලී.... ලබන ජනවාරි 23 වැනිදා වගේ දවසක එය එළි දක්වන්න ලැහැස්ති වෙන්න..... කියායි.
ඒ බලාපොරොත්තුව සමගින් ඉදිරි කටයුතු කරගෙන ගියත් දින කිහිපයක් යන විට ඒ අදහස වෙනස් වී තිබුණි. මේ නිසා ගීත එකතුව එළි දැක්විය යුතු විදිහ පිළිබඳ අවිනිෂ්චිත බවක් ඇති වින. කිත්සිරි ජයසේකර සිය ගිනි මලක් ගීත එකතුව ගැන කතා කරන්නට ටොරානා ආයතනයට ගොඩ වූ අවස්ථාවක මගේ ගීත එකතුව ගැන පණිඩිඩයක් එහි අධිපති සරත් කොතලාවල මහතාට කියා තිබුණි. 


දිනක් මා මහරගම පිලිකා රෝහලේ සායණික පුහුණුවීම් වල යෙදී සිටියදී සරත් කොතලාවල මහතා ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ ගීත ටික කැසට් පටයකට පිටපත් කර ඔහු වෙත ලබා දෙන ලෙසය. ඔහු පසු දින නුවරඑළිය ප්‍රදේශයට යන බවත් ඒ එන යන අතරතුර ගීත අසා ප්‍රතිඵල කියන බවත් ඉන් කියවිණි.
කෙසේ වෙතත් දින 4-5 ක් යන්නට මත්තෙන් ටොරානා ආයතනය මගින් එය එළි දක්වන්නට අවස්ථාව මා හට ලැබෙන බවට වන ප්‍රතිඵලය ලැබුණි. මා ඉන් මහත් ප්‍රමෝදයට පත් වුනෙමි. මක් නිසාද යත් ඒ වන විට ඔවුන් ක්ෂේත්‍රෙය් හොඳ නමක් දිනා සිටීමත් හොඳම බෙදාහැරීමේ ජාලය තිබුණේ ඔවුනට වීමත් නිසාය.
සමන් ජයනාත්ගේ ගීත එකතුවද ඒ අනුව එම ආයතනයෙන්ම කර ගත හැකි තත්වයක් ද ඒ සමගම ඇති විනි.

අහිංසකාවී ප්‍රමෝදයත් සමග සමන් ට වෙනත් අළුත් ගීත එකතු කරන්නට සිදු වුණේ මේ අළුත් ගීත ඇල්බමය සඳහා ය. මේ අනුව මා ලියූ ගීත කිහිපයක්ම ඔහු විසින් නිතර නිතර විමසන්නට වුයේ ඒවා එහි තිබිය යුතුද නැතිද යන්න විමසිමට ය.
දිනක් සමන් ජයනාත් මට කතා කළේ එක්තරා පොහෝ දිනක ගුණදාස කපුගේ මහතා හමුවීමට යමුද යන්න අසමිනි. යන හේතුව අනිවාර්යයෙන් ම ගීතයක් හෝ කිහිපයක් හදවා ගැනිමට බව සිතුනි. ගීත කිහිපය තුළ මගේ එකක් වෙත්දැයි ඇසිය නොහැක. එහෙත් බලාපොරොත්තුවක් තිබුණි.
කපුගේ හමුවීමට පොහෝ දිනයක් තෝරා ගත්තේ හේතුවක් ඇතිව බව පසුව දැනගත හැකි විය. ඒ නොඑසේ නම් නිර්මාණකරණය කෙටි වේලාකින් මධු සාදයක් බවට පත්වන්නට ඉඩ ඇති බැවිනි. ඒ සුන්දර හමුවට ලොබ බඳිමින් ම එහෙත් කලාතුරකින් ලැබෙන විවේකයේදී අදාල වැඩේ ද කරගත යුතු නිසා මධු සාදය අද නොවේ හෙට යන අදහස තුළ පිහිටන්නට සිදු විය.


පළමුව කපුගේ ගේ විමසුමට ලක් වූයේ ශාන්ත කුමාර විතාන විසින් රචිත දඹුළු විහාරෙට ගියාද යමුණා යන ගීතයයි. ඒ ගීතයට අදාල සංගීත නිර්මාණයට මුළ පිරීමට කපුගේ ට වැඩි වේලාවක් ගත නොවුනි.  එහි මූලික තනුව හැඩ කෙරූ ඔහු සංගීත ප්‍රස්ථාර පසුවට ලියන බව කියා ඊ ළඟ ගීතය අතට ගත්තේය. ඊ ළඟ ගීතය ගැන කියන්නට පෙර දඹුළු විහාරෙට ගියාද යමුනා ගීතය අසා සිටියොත් මැනවැයි සිතේ.
එහි පද ඇරඹෙන්නේ මෙසේය

දඹුළු විහාරෙට ගියාද යමුණා
අගුළු දැමූ නෙත් බලන්න හැරලා
ගල මතුවට විත් වැටෙන්නෙ සැමදා
ඔබ මා හැඬ වූ කඳුළුද කියලා....

දඹුළු විහාරෙට ගියාද ගීතය අසන්න.

කපුගේ දෙවන පද පෙළ අතට ගත්තේ පුංචි සිනහවක් මුවග ගවසමිනි.
මේක මම දෙවෙනියට ගන්න තියාගත්තේ.... යසනාත්ගේ එකක් නිසා.... එතකොටනේ අගේ තියෙන්නේ
දැන් කපුගේ ගේ ඇඟිලි තුඩු සර්පිනාව මත එහෙ මෙහෙ දුවන්නේ ගීතයට සුදුසු තනුවක් සොයමිනි.

ලල ලාල ලල ලලේ
ලා ලලලේ ලා ලලලල  ලලල ලලලලේ
ලල ලාලාලලේ ලාල ලලා ලලල ලලලලේ.....
වරක් දෙවරක් ලලලල වලින් සර්පිනාව හඬවන කපුගේ ටික වෙලාවකින් වචන වලට එයි...
කිරි කෝඩු සමනලී - ලල ලාල ලල ලලේ
කිරි කෝඩු සමනලී - ලල ලාල ලල ලලේ
ආදරයේ මහ ගිරි දඹ - ලා ලලලේ ලා ලලලල 
ලලල ලලල ලේ - නගින සුන්දරී....
ඔය වන්දනාවෙ නඩේ ගුරා - ලල ලාලාලලේ ලාල ලලා
ලලල ලලලලේ - කවුද සුන්දරී.....
ඔන්න ඔය විදිහට තමයි දොස්තර මහත්තයෝ ආවෙ..... මොකද කියන්නේ....
හොඳයි කපුගේ අයියේ..... මගෙන් අහන්න දෙයක් නෑ.... කපුගේ අයියා කරගෙන යන්න.....
නෑ... උඹල ඉතින් අපේ බාප්පලානේ.... නැතිනම් බැණුම් අහන්න වෙනවානේ පත්තර වලින්....
මේ ඔහු මතක් කරන්නේ වරක් මවිසින් මට මතක හැටියට රාවය පුවත්පතට ලියන ලද ලිපියක් ගැනය. ඔහුගේ මිරිවැඩි සඟලක් ගීත සංග්‍රහය පිළිබඳව මවිසින් ලියනලද එම ලිපියේ හෙඩිම වූයේ දෙපයට නොගැලපෙන මිරිවැඩි සඟලක් ලෙස ය. එය දුටු ඔහු කිව්වේ එකම එක දෙයකි.
උඹල ඉතිං අපේ බාප්පලානේ... හා... හා... යන්නය.
මේ මතක් කරණුයේ ද එයම ය. අවසන බක බක යනුවෙන් මහා හිනාවකි.
ඔහු නැවත සර්පිනාව හඬවයි. අවසන ගීතයට මියුරු තනුවක් නිමවෙයි.
නෙක පාට පාට මල්පෙති මෙන්
තටු පාට කරන් සමනළියන්
සැමදාමත් මහගිරි දඹ කන්ද නගිනවා
නොදැනගියොත් මග වැරදී තටු ගිලිහෙනවා....
මේක ටිකක් අල්ලා යයි සමන්. අපි අතර මැදින් වොයිස් පාට් එකකුත් දාමු සිරීපාදේ ගමන මතක් වෙන්න..... ආනන්ද ට ( ආනන්ද පෙරේරා ) වගේ කියමු.
දළ වසන් කරන් හස කිරණින්
සදනලුන් සදිසි කළු දෙඹරුන්
කිරිකෝඩුට වන්දවන්න නිති සැරසෙනවා
මුළා වුණොත් පින් මද වී නෙතු බොඳ වෙනවා...

අපි එම ගීතය මෙතනින් අසමු.

මේ සටහනේදී ඔබ දැන් ඇසූ ඒ ගීතයේ කටු තනුව පමණි එදා ඔහු යෙදුවේ. එම කටයුත්ත නිම වුණු සැනින් ඔහු, ඔහු වාඩි වී සිටි පුටුව පිටු පසට අත යවමින් යමක් සෙවීය. එය හෙමිහිට එළියට ගන්නට විය.
බණින්න එපා... ඔන්න වැඩේ ගොඩ දාලා ඉවරවෙලා තමයි මේ වැඩේට බැස්සේ.
අද පෝය බව දන්න නිසා මම කළින්ම අරගෙන තිබ්බා.
මට තේරුනා කට්ට කමට තමයි අද දවස ( පෝය දවස ) යොදා ගත්තේ කියා.
සමන්ට නම් මේකෙන්ම ටිකක් ගත්තැහැකිනේ. දොස්තර මහත්තයාට මම බීර බෝතලයක් ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ.
එතැන් සිට තනු දැමීම කුඩා සාදයකට පෙරළින. ටික ටික ගෙනැවිත් තියා ගත්තා කිව්වාට ඒ මුළු සැඳෑවම සතුටින් ගතකිරීම සඳහා ඔහු සියළු කටයුතු සූදානම් කර තිබුණි.
මදක් සප්පායම් වූ ඔහු සර්පිනාව ගෙන ගීතයක් වයන්නට විය. ඇරඹුම ඔහුගේ ගීයකින් නොවේ. ඔහු ඔහුගේ ගීත වයන්නට ගත්තේ ගීත කිහිපයකින් ඉක්බිති අපගේ ඉල්ලීම මතය.ඔහුගේ සහයට කෙනෙක් තබ්ලාව වයන්නට එකතු විය. ඔහුගේ නම මට මතක නැත. කෙසේ වෙතත් කළුවර වැටෙන තෙක්ම මේ සාදය පැවැක්වින. අවසන අපේ වැඩකට ගොස් වැඩේ ද කරගෙන ඔහුගෙන් ම කා බී එදින ආපසු එන්නට සමන් ටත් මටත් සිදු විය. ඒ කපුගේ ගේ හැටිය...
අළුත් ඇල්බමයට ගීත එකිනෙක එකතු වෙයි. ඒ අතරේ මගේ ගීත දෙක තුනක් වන බවට ඉව වැටී තිබුණි. මා ඉන් සෑහීමකට පත් වූයේ එකල අතිශය ජනප්‍රිය ඔහුගේ ගීත එකතුවක් තුළ එතරම් නම් නොදැරූ මා වැනි අයෙකුගේ ගීත 3 ක් ඇතුළත් වීම මගේ භාග්‍යයක් ම වන බව මා සිතූ බැවිනි.
මේ අතර සමන්ගේ ගමනේ මුළ් ම බර අඩිය තියන්නට ගීත රචනය සැපයූ සුදත් ගාමිණී බණ්ඩාර ගේ ගීත රචනයක් ගැන සමන් නිතර කතා කරන්නට විය. 


එය රෝහණ වීරසිංහයන්ට හෝ නවරත්න ගමගේට දී සංගීතවත්කර ගැනීමට ඔහුට ඇවැසි විය. කෙසේ වෙතත් අවසන එය නවරත්න ගමගේ වෙත පැවරීමට තීරණය වුණි.  ඒ අනුව එය එක්තරා රාත්‍රියක කළුබෝවිල රෝහල ඉදිරිපිට සමන් නවාතැන්ගෙන සිටි සේනාරත්න පීරිස් ( සෙනා ) ට අයත් නිවසේදී සිදු කිරීමට නියමිතවිය. නවාත් මමත් එක්ව එහි ගියද මා හට කළුබෝවිල රෝහලේ අවසන් වසර සායනික පුහුණුවේ යම් වැඩක් හේතුවෙන් පැයක් හමාරක් රෝහල වෙත යන්නට සිදුවිය. ඒ අතර හැකි ඉක්මණින් පැමිණියේ ගීතයට තනුව දැමීමේ සුන්දර අවස්ථාවෙන් මගහැරුණු කොටස ගැන සිතමිනි. එහෙත් ඒ පැමිණෙන විටද එය තවමත් ස්ථායී කොටස තුළ ම විය.
සඳ පහන් රැයක ඇවිදින්
මුදු සීත සුළඟ සමගින්
මගෙ කණට හෙමින් පවසන්
මට ආදරේද කොතරම්....
නවා සර්පිනාව වයමින් තනුව නිමවයි. තනුව සුන්දරය. යම් ජනප්‍රිය ලකුණු ඊට මුසුවෙමින් පවතින බව මට හැඟුනි. එය සුන්දර බව සමන්සෙනා ද මම ද නවා ට කීවත් නවා සෑහීමකට පත් නොවෙයි. 

යසේ මදි නේද? කියහංකො.... ඇත්ටම අහන්නේ... මදි නේද?
නවා අසයි...
නෑ බං... ඒ ආව විදිහ හොඳයි. ඊ ළඟ කොටස ගනින්...
මගේ පිළිතුර වෙයි.
ඒත් නවා තවමත් ඒ කොටස ගැනම වෙහෙසෙයි. ඔහු ඊ ළඟ කොටසට යන්නේ මිතුරු බස ඉක්මවූ බසකින් මිතුරන් ඔහුව ඇමතූ පසුවය. ඒ නවා ගේ හැටිය. අනෙකා තමන්ගේ වෑයමින් සතුටු වුණැයි එක හෙලා පිළිගන්නට නවා තුළ මැළි කමක් මුළ සිටම පැවතිනි.
ඔබ එන්න සුළඟ සමගින්
මල් සුවඳ රැගෙන රහසින්
අපි විමසමු වන වදුලෙන්
මල් පිපුනෙ කිමද මෙතරම්.....
පෙර කොටසට වඩා පහසුවෙන් ඔහු දෙවන කොටස නිමවයි. දැන් දැන් ඔහුගේ විශ්වාසය තහවුරු ව ඇති බැවින් හොඳට ආ කොටසින් ඔහුද සෑහීමකට සතුටකට පත් වෙයි.
ඔබ එන්න සුළග සමගින්
සඳ කැළුම් රැගෙන රහසින්
අපි විමසමු සඳ මඬලින්
සීතල ඇයි රැය මෙතරම්
ඇයි සීතල රැය මෙතරම්
නවා අවසාන පේළියේදී වචන ටිකක් එහෙට මෙහෙට කරයි.
ආයෙමත් ඔහු කනස්සළු වෙයි.
මචං... සුදත්ගෙන්අහන්න වෙයිද?
නෑ මචං... ඌ ලියල තියෙන විදිහනේ...
අපි අහන්නෙ නැතිවනේ වෙනස්කළේ... අහමුද උගෙන්?
විශේෂයෙන් ඇසීමට තරම් අප වෙනසක් නොකළත් ඔහු එසේ අසයි...
ඒ කෑල්ල නම් හොඳට ආවා... නැද්ද සමන්... නැද්ද යසේ...
ඔහු ගයයි. රහ කර කර ගයයි.
ඒ ගයන ගැයුමේ හැටියට එය නවා විසින් ගැයිය යුතුයැයි කෙනෙක් සිතුවොත් එය වැරදි අදහසක් නොවේ. නවා නොගැයුවාට නවා ට රහට ගැයිය හැකිය. එහෙත් කුමන හෝ හේතුවක් නිසා ඔහු ගැයුමට මැළිය. එ බැවින් ඔහු ගැයූ ගීයක් මෙහි එකතු කරමි. මේ ගීය මගේ රචනයකි. එය සංගීතවත් කළේ වින්දක වීරසිංහ විසිනි.
මේ කඳුළු ගීතය.

මේ අනුව සමන් ගේ ගීත ඇල්බමයේ ඊ ළඟට ජනප්‍රිය වන ගීතය නිම වී යැයි හැඟීමක් අප තුළ ඇති විය. ඒ හැඟීම නිවැරදි බව පසු කලෙක ඔප්පු විය. ඒ නිසාම එම ගීත ඇල්බමයට නම යෙදුවේද එම සඳ පහන් රැයක ලෙසය.
සඳ පහන් රැයක ගීතය අසමු.

එම ගීතය නිමවීමෙන් අනතුරුව සමන් කී කතාවෙන් හැඟුනේ දැන් ඉතින් මී විතක් තොල ගාමින්සතුටු සාමීචියේ යෙදෙන කාලය එළඹ ඇති බවකි.
යසේ Final Exam එක අත ළඟ තියාගෙන ආවාම හිස් අතින් යවන්නත් බෑනේ. ඒ නිසා දෙවන අදියරය අරඹමු.
මේ දෙවන අදියරය යනු සාමාන්‍යයෙන් පෙර මා කී සුහද කතා බහයි. එහෙත් එදා ඔහු තවත් ගීත රචනයක් අඩංගු කොළයක් නවා අත තැබීය.
නවා විමසයි.
සමන් මේක ඩුවට් එකක් නේද? කවුද ෆීමේල් වොයිස් එකට ගන්න හිතාගෙන ඉන්නේ....?
අපි මෙලඩි එක දැම්මහම තීරණය කරමු කාටද යන්නේ කියලා.... සමන් කියයි.
යන්නේ කාටද කියන එකේ තේරුම එය ගැලපෙනුයේ කාටද කියන එකයි.
නවා ඊට එකඟ වෙයි. තනුව දැමීමට සැරසෙයි. ඒ අනුව ඔහු වචන මුමුණයි.
ඉන්දීවරි - මල නුඹයි
පෙම් ගී ගැයූ බමරිඳු මමයි.....
එය මා ලියූ ගීයකි. සමන් අයියා මා සමග තෝරා ගන්නා බව කියූ ගීත තුනට අඩංගු නොවූ ගීතයකි එය. මට දැන් කුකුසක් ආවේ පෙර තෝරා ගත් ගීත වලට වෙන දේ ගැන ය. මොකද තවම නිම නොකළ වඩා සිත් ගත් රචනයක් ඒ අතර වන බැවිනි.
ඒ තුනට අමතරවයි මේක. කළින් කරන්න හිතපු ගීතයක් මට කියවද්දී ඇල්ලුවේ නෑ එතරම්. ඒ නිසා ඔයාගේ මේ ගීතයත් ගත්තා...
එය බෝනස් ගීතයකි. එවිට එම ඇල්බමය තුළ මගේ ගීත 4කි. එය සතුටට කරුණක්නොව්ද?
ඉන්දීවරි - මල නුඹයි
පෙම් ගී ගැයූ බමරිඳු මමයි.....

බමරිඳු නුඹයි - ඒ මල මමයි
බමර ගීය අසනු බැරි වු ඒ මල මමයි
බමරිඳු නුඹයි.....
මේ මෙලඩිය වැටෙන විදිහට කාටද මේක යන්නේ.... යසේ මොකද කියන්නේ.... මට නම් කෙනෙක් ගැන හිතෙනවා.... බලමු අනෙක් අයගේ අදහස....
මට එක් සැනින් සිතුනේ මීට ප්‍රදීපා ධර්මදාස ගායිකාව සුදුසු බවයි.
මට නම් ඔළුවට එන්නේ ප්‍රදීපා අක්කා.....
ඔව් ප්‍රදීපාට තමයි ගැලපෙන්නේ... සමන් ද අනතුරුව සෙනා ද කියයි.
ඇත්තටම කියනවානම් මටත් එක වරම හිතුනේ ප්‍රදීපාව තමයි. මම ඒක නොකියා තමයි අදහස් මොනවද කියා බැළුවේ.


අනතුරුව ගායිකාව කවුද යන ගැටළුව ලෙහෙසියෙන් නිරාකරණය විය.
ඒ අනුව ගීතයේ ඉතිරි කොටස නිම කරන්නට යෙදුනි. ඇරඹුමට පදනම දමා තිබුණු නිසාත්.... සාදය තව දුරටත් කල් දැමිය නොහැකි නිසාත් වැඩේ යන අතරේම සාදයත් ඇරඹිනි.
සත් පියුම් විල
නෙක් පියුම් හැර  //
නුඹ වෙත ම පෑ තුමුළ සනහස
නුඹ වෙතම කී බමර ගී  සර
අසනු මැළි වු - ඒ මල නුඹයි
බමරිඳු මමයි....
මේ කොටස ගයන්න වෙන්නේ සමන්ට... කොහොමද සමන් මේ විදිහට පහසුද?
නවා සාදන තනුව සමන්ට ගැයුමට පහසු දැයි ඔහු ගයා බලයි. යම් යම් අවැසි තැන් නැවත සකසයි....
ඊ ළඟ කොටස ගයන්න වෙන්නේ ප්‍රදීපාට. ප්‍රදීපාගේ වොයිස් එක ගැනත් හිතලා තමයි කොහොමත් මම මෙලඩි එක දාන්නේ..
මත් බිඟුන් කැළ - පෑ රැඟුම් දැක
මා වෙතම පෑ තුමුළ සනහස
මා වෙතම කී බමර ගී සර
අසනු බැරි වු - ඒ මල මමයි
බමරිඳු නුඹයි....
මචං..... යසේ...... දැන් උඹ මේ ගීය ලියල තියෙන විදිහට නතර කරන්නේ කොතනින්ද කියන ගැටළුවක් එනවා. මොකද ගීතයේ යටින් යන්නේ පෙම් ගීය ඇසුවේ නෑ කියන චෝදනාවත්..... පෙම්ගීය ඇසුනේ නෑ... එහෙම  නැති නම් අසන්නට ඉඩක් ලැබුණේ නෑ කියන උත්තරයත්නේ. ඒ නිසා දෙන්නටම සාධාරණයක් වෙන්න හදල දියං....
ඒකට මට සරල පිලිතුරක් තිබුණි. හේතුව වූයේ ඒ විදිහට ගීතය නිම කළ යුතු අයුර ගැන මමද සිතමින් සිටි බැවිනි.
බමර ගීය අසනු මැලි වු - ඒ මල නුඹයි
බමරිඳු මමයි....

බමර ගීය අසනු බැරිවු - ඒ මල මමයි
බමරිඳු නුඹයි....
මේක කීප සැරයක් රිපීට් කරලා ගිතය නිම කරමු.
ඔව්.... ඒ විදිහ හොඳයි. 
කාගේත් සතුට ඵල විය. අනතුරුව ගී තැනීම නිම කර අනෙක් වැඩේ නිදහසේ කරගෙන යන්නට හැකි විය.
ඉන්දීවරී මල නුඹයි ගීය අසා සිටිමු.

ඇල්බමයට තෝරා ගත් ගීත අතරින් තවත් ගීත හත අටක්ම නිම කළ යුතුව ඇත. මේ ගීත ඉක්මණින් පටිගත කළ යුතුව ද ඇත. එහෙත් සමන් ගේ රාජකාරි ස්වරූපය මත ගී තනු සෑදීමට සංගීතඥයින් සමග එක්වීමටත් පටිගත කිරීමට කාලය සෙවීමත් තරමක් දුෂ්කර එකක්විය. ඒ නිසා මා ලියූ ගී දෙකක තනු නිර්මාණ කටයුතු සුදුසු අය සමග එක්ව නිමවා සමන් ට ඇසීමට සලස්වන ලෙස මා අත පත් කළේය. ඒ අනුව ඒ රචනා දෙකෙන් එකක් කරුණාරත්න විජේවර්ධන ට දුන් අතර අනෙක නැවතත් නවාටම ලබා දෙනු ලැබිණි. මේ විදිහට ගණන් හැදුවාම අවසානයේ මගේ ගීත 5ක් එහි අඩංගු වෙන්නත් ඉඩ ඇත. එහෙත් සාදන ගී දෙකම පටිගත කරණ බවක් හෝ ඇල්බමයට යොදා ගන්නා බවක් කියැවුණේ නැත.
වෙනත් ගායකයින් සඳහා ලබා දෙන ගීත රචනා වෙනත් ප්‍රවීන සංගීතඥයින් ලවා සංගීතවත් කරගැනීමේ හැකියාව තිබුණත් මට එකල අවැසි වුණේ නැගී එන අති දක්ෂ සංගීතඥයින් සමග එම නිර්මාණ කටයුතු ඉටු කිරීමටය. මේ නිසා මුළ් යුගයේ මගේ ගී වලින් සියයට අසූවක් පමණම සංගීතවත් කළේ නවා විසිනි. පසු කලෙක ඉන් කොටසක් කරු ට ද යොමු විණි.


කරුට ලබා දුන් ගීතයට කරු ලස්සන තනුවක් යොදා තිබුණි. කරුගේ සංගීත සංයෝජන නවාට වඩා වෙනත් වර්ණයක් පෙන්වීය. නමුත් ඔහුද සරල පද මාලා තුළ පවා ඇති අරුත් හැඟිම් සොයමින් සංගීතවත් කිරීමට පුරුදුව සිටි අති දක්ෂයෙකි. ඔහුට දුන් පද පෙළ මෙසේ විය. එය සමන්ට තනිව ගැයීම සඳහා දුන් ගීතයකි.
අපි වාගෙම අවිහින්සක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමී දෝ ගොඩ රැල්ලේ.....

බුර බුරා නැගෙන හිරු රැස් යට
කළු කුඩේ හෙවන යට හිඳගෙන
ඉකි ගසා හඬන හිත මුමුණා
ලියු ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ.....

හඹ හඹා ඇදෙන නෙත් සහසක
බැල්මෙනා සැඟව එක් සැනෙකට
හොර හොරෙන් දෙඩූ වැකි අමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ....

කරු මේ ගීතයේ තනුව මට අසන්නට දුන්නේ මා නිවසේ සිටි දවසක දුරකථනයෙනි. එකල ජංගම දුරකථන අප සතුව නොතිබිණ.
එය ඉතා ළගන්නා සුළු තනුවක් විය. එහි වෙනස්කම් අවැසි දැයි ඇසුවද වෙනස් කමක් ඇවැසි බවක් මට නොසිතුණි. තනුව ඉතා සොඳුරු ලෙස නිම වූ පසු වෙනස් කම් අවැසි නොවේ. අනතුරුව ඔහු යෝජනාවක් කරන්නට ඒ ගැන සිතා බලන ලෙස ඉල්ලීය. එනම් ගීතය තනි ගීතයක් ලෙස නොව යුග ගීතයක් ලෙස කරමුද යන්නය ඒ යෝජනාව.
මේ යෝජනාව ගැන මුළින් ම සමන්ගේ අවසරය ගන්නා ලදි. අනතුරුව ඒ ගැන කරු ට දන්වන ලදි.
අවසරය ලැබුණාට මදි. දැන් උඹ යුග ගීයකට හරි යන විදිහට පද බෙදපං....
කරු ගේ ඉල්ලීම විය. ඒ අනුව අතිරේක කරදරයක් දැයි සිතුනත් එය එතරම් කරදරයක් නොවිණ. එහි පද මෙලෙස බෙදූ විට එය සොඳුරු යුග ගීයක් වන බව පැහැදිලි විය.
අපි වාගෙම අවිහින්සක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමී දෝ ගොඩ රැල්ලේ..... කොටස දෙනොටම ගයන්නට නියම විය.

බුර බුරා නැගෙන හිරු රැස් යට ( සමන් )
කළු කුඩේ හෙවන යට හිඳගෙන  ( නිරෝෂා )
ඉකි ගසා හඬන හිත මුමුණා
ලියු ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ..... මේ කොටස නැවත දෙනොටම ගැයීමයට.
මේ අනුව ඊ ළඟ කොටසද එලෙසටම බෙදා දෙන ලදි. ඒ අනුව ඒ ගැටළුව නිරාකරණය විය. මේ ගීතය යුග ගීතයක් වූ පසු එහි අගය වැඩි විනැයි සිතමි. ඒ සඳහා කරු ට ගෞරවය හිමිවිය යුතුය.
ගීතයේ සංගීත පසුතලය විජේරාම හන්දියේ සොනික් ශබ්දාගාරයේදී නිම විය. එයට හඬ මුසුව යෙදුනේ අමුතු දිනකය. එනම් මගේ අවසන් වසර විභාගයේ ශල්‍ය වෛද්‍ය විද්‍යා ( Surgery ) විෂයය සඳහා වන අවසාන විභාගය හෙට කියා අද රෑ ය. අද රෑ විභාගය සඳහා විශේෂ උත්සාහයක් යෙදිය යුතු විය. දැනටද මේ ගීත කෙරුවාව නිසා අවම වශයෙන් පාඩම් වැඩ නිමකර සිටි මට එම රැය ඉතා වැදගත්විය.
සමන් අයියා ඇතුළු පිරිසගේ ඉල්ලීම වූයේ මෙම ගීතය හදිසියේ නිම කළ යුතු නිසා එය ඔවුන් විසින් ඉටු කරණු ලබන බවත් මට එය ඇසීමට විභාගය නිම කර පසු දා එන ලෙසත්ය. එහෙත් පාඩමක් සදහා හිත එකඟ කරගත නොහැකි වින. විභාගය අතිශයින් වැදගත් ය. එහෙත් මගේ රචනයක් ඇසුරින් නිමවන ගීතය වැදගත් නැතිද?
සමන් අයියලා සොනික් ශබ්දාගාරයට ගොස් මද වේලාවකට පසුව කෙනෙක් එහි සිටි අය හඳුනා ගත්තේ නම් මගේ නමද කියැවෙනු ඇත.
මුළින්ම නිරෝෂාගේ හඬ ද පසුව සමන් ගේ හඬ ද ඊට මුසු විය. මේ කාර්යය ඉතා සාර්ථකව නිම වුණි. එහෙත් ඒ වන විට මැදුම් රැය එළඹ තිබුණි. අනතුරුව සුළු සාදයයි. විභාගය හෙට වුවද බීර බෝතලයක් හිස් කිරීමට මට ද සිත් වුණි.
දැන් ගීතය නිමය. එහෙත් එය ඇසීමට පෙර අවසන් විභාගයේ අර විෂය ගැන යමක් කිව යුතුය. වෙනදාට වඩා ඉතා පහසුවෙන් ඊට මුහුණ දෙන්නට මට හැකි වුණි. එය අප කාටත් සැනසීමක් වුණි.
දැන් අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ ගීතය අසමු.


ඉතිරි ගීතයට නවා සහ සුරේෂ් මාලියැද්දේ එක්ව තනුව සහ සංගීත නිර්මාණය කරණ බව මට දැන්වීය. එය මට විශේෂයක් වූයේ එකල මම සුරේෂ් සමග ගීතයක් නිර්මාණය කර නොතිබීමය. ඒ නිසා මම වඩාත් මනාප වුණි. විශේෂයෙන් ගීතයේ සංගීතයට පරිගණක සංගීත ආභාසය යම් අයුරකින් ලබා දීමට ඔවුනගේ උත්සාහයක් විය. ඒ අනුව ඒ ගීය නිර්මාණය වුණි.

අනුරාගිනී
නොබලන්න මා දෙස
මා හද දැවෙයි
ඔය රාග ගිනි වැද
ආලය නැසෙයි
අනුරාග හද ළඟ
අනුරාගිනී
නොබලන්න මා දෙස....
මේ ගීතයේ තනුව සංගීතය යොදන අතරතුර ගීතය තනි ගීතයක් වුවත් එයට ඉන්දිකා උපමාලි ගේ හඬ ප්‍රබලව මුසු කර ගැනීමට තීරණය විය. 

ගීතය යටින් අනුරාගිනියකගේ හඬක් බඳු කාන්තා හඬක් යොදා ගැනීමෙන් එය වඩාත් අරුත් ගැන්වෙතැයි අපගේ බලාපොරොත්තුව විය. ඉන්දිකා ගේ හඬ මුසුව ඊට මහත් ආලෝකයක් ගෙන ආවැයි සිතේ.

අනුරාගිනී
ළැම නීල දිය විල
මන මොහිනී
තුණු පූර්ණ රණ හස
මා කළඹවයි
හද විලම බොර කර
ඒ බොර දියේ
සුදු ආල දිය නැත
අනුරාගිනී
නොබලන්න මා දෙස....

අනුරාගිනී
යස තාල සිහිනිඟ
අති සෝබනී
පුළුලුකුල රිය සක
මා කළඹවයි
සමවැදුනනු දම් බිඳ
කැඹුනු හදේ
මුදු ආල දම් නැත
අනුරාගිනී
නොබලන්න මා දෙස....
මේ ගීතයටද සමන්ගේ එකඟතාව ඵලවීමෙන් අනතුරුව එම ඇල්බමය තුළ මගේ ගීත ගණන 5 ක් දක්වා ඉහළ ගියේය.
අනුරාගිනී ගීතය අසමු...


මෙම ගීතය නිසා මට මහඟු අවස්ථාවක් එළඹිනි. ඒ අනෙකක් නොවේ. සුරේෂ් මාලියැද්දේ සමග එක්ව ගීත නිර්මාණ 4 ක් කරන්නට ලැබීමයි. ඒ අනුව අමරසිරි පීරිසුන් ගේ ස්නේහයේ නගරයයි ගීත ඇල්බමයට නිමවුණු අළුත් ගීත 5 න් එකක් සංගීතවත් කිරීමට සුරේෂ්ට අවස්ථාව ලැබින. සුරේෂ් එහි ගීත රචනය වශයෙන් තෝරා ගත්තේ මගේ ගීතයකි. ඇත්තටම මගේ රචනා 4 ක් සංගීතවත් කර එයින් එකක් තෝරා ගැනීමට අමරසිරි පීරිසුන්ට ඉඩ සැලැස්වීය. ඔහු තෝරා ගත්තේ මේ ආලවන්ත වීදියේ නමැති මේ ගීතයයි.



සමන් දිනක් මටත් නවාටත් ඇමතුමක් දෙමින් පැවසුවේ එක්තරා සොඳුරු හමුවක් සදහා පැමිණෙක ලෙසය . එනම් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීත රචනයකට තනුව නිර්මාණය කිරීම සඳහා කාලෝ විජේසිරි සංගිතඥයා කළුබෝවිල සමන් නැවතී සිටින සෙනා ගේ නිවසට එන බවය. ඒ මොහොතට සහභාගි වන ලෙස අපටද ඇරියුම ලැබුණි. මේ කාලෝ විජේසිරි ගැන මට තිබුණේ දැවැන්ත මතකයකි. ඒ කුඩා නිර්මාණයක් නිසාවෙනි. මාලනී බුලත්සිංහල ගායනා කළ සඳ මෝරා උඩු ගුවනට - එන කලට ගීතය නිසාවෙනි. කුඩා නිර්මාණයක් කිව්වාට එහි සංගීත භාෂාව හා ගත් විට මට එය දැනුනේ මහා නිර්මාණයක් ලෙසය. ඊට වඩා ඔහු සංගීතය නිර්මාණය කළ වෙනත් ගී මට නුහුරුය. එහෙත් ඒ නිසාම ඔහු මට මහා සංගීඥයෙක් විය.
සමන්ගේ ගිතයක් නොවුණත් මාලනී ගේ සඳ මෝරා උඩු ගුවනට ගීතය අසමු.


කාලෝ විජේසිරි යනු අමුතු මිනිසෙකු යැයි මට සිතුනි. ඔහුගේ කතා බහ ඉතා අඩුය. ඔහු එතැන හැසිරුනේ නුහුරු නුපුරුදු රටකට පැමිණි පුදගලයෙකු ලෙසිනි. එහෙත් සංගීතමය කාර්යය සඳහා අතගසන විට ඔහු එලෙස නුහුරු නුපුරුදු පුද්ගලයෙකු ලෙස නොපෙනිනි. එහෙත් ඔහුගේ එම ක්‍රියාව අන් අයට වඩා වෙනස් විය.
ඔහු සංගීත සටහන වෙනත් අය මෙන් පිළිවෙලට නොලියයි. ඔහු කරණුයේ නිර්මාණ කටයුත්ත පමණි.  ඔහුට ඇවැසි නිර්මාණය අනෙක් අයට කියා දී ඒ අයට වාදනය කිරීමට සලස්වයි. මේ නිසා පසෙකින් සිටි නවරත්න ගමගේ විසින් සංගීත සටහන ලියා තැබීය. එය පටිගත කිරීමේදී පහසුවක් වන බැවිනි. රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ එම ගීතයට සුන්දර තනුවක් අවසානයේ නිර්මාණය වුණි.

තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්න
හඳපානා ගල මුදුණින් වැවට බසින්න
කන්ද උඩින් ගෝමරියේ වැවට බසින්න
වැවට බසින්න.....
මේ ගීතයේදී රත්න ශ්‍රී යොදා ඇත්තේ ඌව පලාතේ තණමල්විල ග්‍රාම නාමය සඳහා යෙදෙන “ ණ ”නොවේ.  යන්න ය. ඒ අනුව ඒ ඌව පලාතේ තණමල්විල ගැන කියවෙන්නක් නොව තනමල්විල හෙවත් ළමැද ගැන කියවෙන්නකි.
ඉරිඟු යාය මල්වර වෙන
මල්වර නැකතේ
පැලට වෙලා මං තනියම
ඉන්නද මැණිකේ
වැවෙන් ගොඩවෙලා සක්මන් කරන්න දෙවැටේ...
ගීතය අසමු.

මේ අතර රෝහණ වීරසිංහයන්යමුණා මාලිනී පෙරේරා විසින් රචනා කරණ ලද ගීතයකට සංගීතය සපයා පටිගත කිරීමේ කාර්යය නිම කර තිබුණි. එයද ඉතා සුන්දර ගීතයකි. නැත. සුන්දර යුග ගීතයකි.








රාත්‍රිය අපෙයි දස්කොන්
තවත් නෑ හිතේ අසකොන්
පෙම් සිනා තෙපුල් ඇස්කොන්
පිච්ච මල් සුදුයි දස්කොන්
ආදරේ රහයි දස්කොන්...

ආදරේ දොතොල් ඉරිලා
රෝසමල් රතුයි ප්‍රමිලා
වද මලින් ගෙතූ මල් දම
තිස් පැයේ පෙනෙයි මැවිලා
ආදරේ රුදුයි ප්‍රමිලා....

රාජ ඉසුරු රජ සැප මොන සිංහාසන
මාගෙ යහන ඔබෙ හද පෙම් මල් ආසන
කාත් කවුරුවත් නො එනා රාත්‍රියෙ මෙම
ඒත් මගේ හද දැවෙනනා කරණේ කිම...
රාජ අණට වැඩි තෙද ඔබෙ පෙම් භාෂන
මාගෙ යහන ඔබෙ හද පෙම් මල් ආසන
රාත්‍රිය නිමයි ළඳුනේ යා යුතුයි මම
රහස් පෙමට නෑ නිවනක් තුන් ලෝකෙම....

යුග ගායනය නිරෝෂි විරාජිනී විසිනි. 


 ගීතය අසමු....


මේ ගීතයෙ සේම බන්ධුල නානායකකාර විසින් රචිත තවත් ගීයක් සමන්ගේ ගී  අතර සුවිශේෂ තැනක වෙයි. එය නිම වූයේද අප ඉදිරියේදි ම වීම මතක සතුට ගෙන එයි.

එදින ද හමුවීම කළුබෝවිල සෙනා ගේ නිවසේදී ය. පිරිස පුරුදු පිරිසම ය. සමන්...සෙනා... නවා සහ මම....
නවා සර්පිනාව සමග අභ්‍යාසයකය. ගීත රචනය ඔහු අත තියන්නේ ඒ අතරේය.
නවා මදක් ඒ දෙස බලාගෙන සිට
තර තරක් තප්ත රා රා රා රා...
තර තරක් තප්ත රා රා රා රා...
එහෙම ආලප් කෑල්ලක් මුළට දාලා පටන් ගනිමු.
ඔහු දැන් තනුව සොයා සිය ඇඟිලි තුඩු සර්පිනාවේ යතුරු අතරේ එහෙ මෙහෙ දුවවයි..
බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
සසල කරයි හද මානනියේ
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් හද
බඳිනු තදින් හිත දේහිනියේ.
තර තරක් තප්ත රා රාරාරා...//
එහෙම ගත්තම කොහොමද?
එය ඉතා සිත් ඇද ගන්නා සහ කතාබහට ලක්වන ගීතයක් වන බවට ලකුණු පෙනෙනන්ට තිබින. ස්ථායි කොටස සාර්ථක වූ බැවින් වඩ වඩාත් උනන්දුවෙන් එහි අන්තරා කොටස් නිමවන්නට නවා උත්සුක වුණි. අවසානයේ ලැබුණු ගීතය සඳ පහන් රැයක වටිණාකම් වැඩි කර තිබුණි.
බිසරු ලියන් ගිතය...


මේ සඳ පහන් රැයක් සඳහා නිර්මාණය වන ගී එකතුවේ අවසන් ගීතයයි. මේ ගීතය පටිගත කිරීමෙන් අනතුරුව එහි සියළුම ගීත නිමවා ඇත. එවිට ඇත්තේ සුදුසු දිනයක් තැනක් තෝරාගෙන එහි එළිදැක්වීමේ උළෙල සංවිධානය කිරීමයි. එය යෙදුනේ මට මතක හැටියට වසර 2000 මැයි මස 13 වන දිනයේදීය.












මා එම කාලයේ මීගමුව මහ රෝහලේ ළමා රෝග අංශයේ සීමා වාසී වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නියුතු වුණි. මගේ අධීක්ෂන විශේෂඥ වෛද්‍යවරිය වූයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ති මාලා මහත්මියයි. මේ අවස්ථාව සඳහා ඇගේ අවසරයෙන් තොරව හොරෙන් සහභාගි වීමේ හැකියාව තිබුණත් අවසරය නොලබා යාමට මට හිත නොදුන් බැවින් ඇගේ අවසරය පැතුවෙමි. එහෙත් ඈ ඊට කිසිලෙසකින් වත් අවසරය නොදුන්නාය. මා එම අවස්ථාව මට වටින්නේ කෙසේ දැයි ඇයට කොතෙකුත් පැහැදිලි කළද එය නිෂ්ඵල විය. මට එදින කිසිදු රාජකාරියක් නොමැති වුවද, ඇගේ අවසරය නොලැබුණු නිසා එහි යාමට අවස්ථාව නොලැබුණි. එම අවසරය නොදී ඈ ලද සතුට කුමක්දැයි මම තවමත් සිතමි. ඈ සය මසක් මවෙත ලබා දුන් ශිල්පයේ ගෞරවය මේ නිසා ඇය අහිමි කරගත්තාය. ඒ ඈ මගෙන්, එදින මට ලැබෙන්නට තිබූ සතුට උදුරාගෙන, ලැබූ සතුට නිසාවෙනි.
සඳ පහන් රැයෙක ගීත එකතුවෙන් අනතුරුව එහි ගී වලින් සමහරක් යම් ජනප්‍රියතාවක් ලැබීය. එහෙත් එළඹෙමින් තිබුණේ එවන් ගී යට ගසා වෙනත් ආරක ගී රැසක් ඔසවන්නට කැස කැවූ යුගයකි. මේ යුගයේදී මටද රාජකාරිමය හේතු නිසා යම් මට්ටමකට ක්ෂේත්‍රෙයන් දුරස්වන්නට සිදුවිය. සමන්ද මේ පරිවර්තනය නොදැක විදෙස් ගතවන්නට සිතීය.
අනුත්තරා, උමා සහ මහේෂිකාට පෙම් බැඳි සමන් විවාහ වූයේ අනෝමා සමගය. අනෝමා හා විවාහ වූ ඔහු අනතුරුව විදෙස් ගත විය. මේ නිසා සමන් හා කතා බහ අනතුරුව ඊ-මේල් පණිවිඩයකට...මුහුණු පොතේ ඇමතුමකට... මෙරටට පැමිණි යම් විටෙක අහඹු හමුවීමකට පමණක් සීමා විය. ඔහු එහි හොඳින් වෙසෙන බව දැන ගන්නට ලැබීම සතුටකි. ඔහු මෙහි සිටියා නම් ඉංජිනේරුවකු වශයෙන් සහ ගායකයෙකු වශයෙන් සතුටින් සිටින්නට හැකි වට පිටාවක් මෙරට වේ දැයි මටද සිතෙන නිසා ඔහු ගිය එක ගැන කණගාටුවක් ඇතත් එයට වරදක් කිව නොහැකි යැයි සිතමි. ඔහු නොගියා නම් අද අපි සිටින කලකිරීමේම ඔහු ද ගිලෙනු ඇත. එහි නොගිළුනු මිතුරෙකු ව සිටිම සතුටකි. ඒ සතුට සමග මේ දිගු සටහන නිමා කරමි. එහෙත් සමන් ජයනාත් ජිනදාස තව දුරටත් මෙහි සිටියා නම් අපට අසන්නට කැමති ගීත ටිකක් අපට පමණක් අසන්නට හෝ කළ හැකිව තිබිණැයි නැවත මෙනෙහි කරමි. ඒ හැර දුකේ දී සැපේ දී වැඩිමහල් සොහොයුරෙකු සේ සිටි මිතුරෙකුය දුරස් වී සිටින්නේ යන සිතුවිල්ලද වරින් වර මතුවන බව නොකියා බැරිය.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -