Thursday, September 24, 2015

සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්





දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

මේ එකල අති මහත් ජනප්‍රියත්වයක් ඉසිලූ ගීතයකි. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගැයූ ගීතය ලියා තිබුණේ එසේ මෙසේ කෙනෙක් නොවේ. එවකට ජනපති හෝ අගමැති ( මොන තනතුරේ සිටියදී දැයි මතක නැති) ආර්. ප්‍රේමදාස ශූරීන්ය. 



ඔහු මේ ගීතය මතු නොව ජීවන සුවඳ නම් වූ නව කතාවක්ද ඇති තතු නමින් තවත් කෘතියක්ද කර තිබූ බව මට මතක් වෙයි.

මේ නම් වෙසෙස් ගීතයකි. එහි රචනාවය ගීතයෙහි මූලිකම වගකීම ඉටු කොට ඇත්තේ.

රජවරුන්ගේ නමින් වැව් දා ගැබ් ඉදි ව ඇත.
රජවරුන්ගේ නමින් කලා මණ්ඩප ඉදි ව ඇත.
රජවරුන්ගේ නමින් කෙත් යාය වල් අසවැද්දී ඇත.
රජවරුන් ගේ නමින් මෙකී නොකී බොහෝ දේ ඉදිව ඇත.

එහෙත් ඒ සඳහා දහදිය හෙලූවෝ කවුරුන්ද? අවශේෂ ජනතාවයි.

ඒ ජනතාව වෙනුවෙන් නම් කළ යමක් වේද? ඒ ජනතාව සිදු වූයේ ලැබුණු යමකින් කුස පුරවා ගෙන පැලේ පිලේ පැදුරේ නිදියන්නට ය.

රටක රාජ්‍ය නායකයෙකු විසින් මෙවැනි ශ්‍රේෂ්ඨ රචනාවක් කළේ නම් හේ කොතරම් පැහැදිලි මනසකින් සිය රාජ්‍යයේ දුක් විඳින රාජ්‍යය ගොඩ නගන අවශේෂ මිනිසුන් දෙස බලන්නේද? හේ වන්දනීය රාජ්‍ය නායකයෙකු වන්නේමය.
ගීතය ශ්‍රවණය කරණ වාරයක් පාසා ඒ රාජ්‍ය නායකයා කෙරෙහි ඇති වූයේ අපමණ ගෞරවයකි. කෙසේ වෙතත් එතුමන්ගේ අනෙකුත් හැසිරීම් කතා බස් රාජ්‍ය කෙරුවාව දකින විට ඔහු මෙවන් ගීයක් පබැඳීම ගැන මට ඇති වූයේ මහත් විමතියකි.
ඇත්ත පත්තරේ රංචාගොඩ ළමයා දේශපාලන ප්‍රහසන කවි පන්තිය එකල  ලියූවේ  සිරිලාල් කොඩිකාර මහතා විසිනි. 


දිනක් එහි මෙසේ ලියා තිබුණි.

දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්

දැන් කාරණාව ඉතා පැහැදිලිය. රහස හෙළි වුණි. මෙවන් රචනයක් කළ හැක්කේ ඩෝල්ටන් අල්විසුන් වැනි කවියෙකුටම මිස පෙර කළා යැයි කියූ ආකාරයේ අයෙකුට නොවන බවට මසිත තුළ වුණු කුකුසට පිලිතුරු ලැබී හමාරය.


රහස හෙළි වන්නේ මෙසේය.
එදින අල්විසුන් මධුවිතක් තොළ ගාමින් කොඩිකාරයන් හා පිළිසඳර කතාවේ යෙදී සිටි දවසකි. යම් මොහොතක මේ ගීතය පිළිබඳව කතා බහක් ඇති වුණි. කොඩිකාරයන් තුළ දිගින් දිගට ම වූ සැකය තවත් වරක් අල්විසුන් ඉදිරියේ ගෙන හැර පෑවේය. මෙතෙක් රහසක් ව තබා ගෙන සිටි කාරණාව තව දුරටත් රහසක් ව තබා ගැනීමට අල්විසුන් අපොහොසත් වුණි. ඒ අනුව මේ ගීය තමන්ගේ රචනයක් බවත් නම පමණක් පෙම්දසුන්ගේ බවත් හෙලි කරණු ලැබිණි.

ඒ හරුපයේ අරුත කුමක්ද? ගීතයෙන් කියවෙන දේ මය. නිර්මාණයේ නම පෙම්දසුන්ටය. නිර්මාණය කිරීමේදී හම ගියේ අල්විසුන් ගේ ය. ගීතයේ ඊ ළඟ පාද ඈත අතීතයට ද ඒ අතීතයට ද මනාව ගැලපෙන්නේ මේ කරුණු දැන ගත් විට ය.

අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා
මහජනයාට වැදි බණ කියමින බොළඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

පෙම්දසුන් අල්විසුන් ට ගීයක් ලියන්නට බල කරන්නට ඇත. බල නොකළත් ඉල්ලූ විට අනුන්ගේ නමින් වුව එය නොකර සිටිය නොහැකි වට පිටාවකි තිබුණේ. එබැවින් එය කරදෙන්නට ඇත.
අල්විසුන් සිය හැකියාවද බුද්ධියද වෙහෙසා කළ රචනය පෙම්දසුන් වටහා ගත් අයුර වෙන එකක් වූවාට මේ කරුණු කාරණා දන්නා පසුබිමක එය අපට දනවන්නේ අන් අරුතකි. එනම් ගීතයේ සැබෑම අරුත ය. එය ලිව්වේ ඒ අතීත රජවරුන් සහ ඔවුනගේ ක්‍රියා පිළිවෙත ගැන මෙනෙහි කරමින් වනවාටත් වඩා පෙම්දසුන් ගැනම සිතා දැයි හිතෙන තරමට දෙවැනි පාදය ඔහුට ගැලපෙයි.

ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ
හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
ඔවුනගෙ දහදියයි  ලද උත්තම සරණේ

තෙවන පාදය සිහි කැඳවන්නේ වර්තමානයේ එසේ වුව අතීතයේ එය එසේ නොවුණු බවයි. අදට අපට කියා යමක් වේ නම් ඒ අතීත හෙළයින්ගේ දහදියේ මල් ඵල බවයි ඉන් කියවෙන්නේ.
මේ ගීතයේ රචකයා පිළිබඳ මේ කතාව දන්නා අය ඉන්න පුළුවන්. නමුත් එවන් නිර්මාණ මංකොල්ලයක් දැනුවත්වම සිදුවෙත්දී මංකොල්ල කරුවාට නොදැනෙන සේ එහෙත් ගැඹුරින් දකින රසිකයාට පමණක් වැටහෙන සේ ගැසූ සියුම් පහර ඒ තතු දත්තෝ වටහා ගත්තා දැයි මට ඇති සැකයකි.
බලෙන් කරවා ගත්තද, අකමැත්ත සඟවා ගෙන කර දෙන්නට වූයේ වුවද, අල්විසුන් එහි දී සිය පරිකල්පනය මෙහෙයවා පෙම්දසුන් ට ගැසූ පහර වටහා ගන්නට තරම් පෙම්දසුන්ගේ කල්පනා ශක්තිය මෝරා නොතිබූ බව මින් වටහා ගත හැකිය.

දා ගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ ගීතය අසමු.


පද රචනය - ඩෝල්ටන් අල්විස්
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක.





ඩෝල්ටන් අල්විසුන් රචිත ගී නිර්මාණ පිළිබඳව විමසන සටහන් පෙළේ තුන්වන සටහන කියවන ඔබ පළමු කොටස් දෙක කියවා නැති නම් පහත මං පෙත් ඔස්සේ ඊට පිවිසිය හැකිය.
පළමු කොටස -

දෙවන කොටස -




දැන් අහන්න යන්නේ බණ්ඩාර අතාවුද ගේ ගීතයක්. 


මම හිතන්නේ කතා කරන්නත් වටිණාම ගීතයක්. හරිම සුන්දර හැඟීමක් ජනිත කරවන ගීතයක් එය.
මේත් ඩෝල්ටන් අල්විසුන් ගේ තවත් සුන්දරම ගී පබැඳුමක්. ගීතයේ සංගීතය ගුණදාස කපුගේ ගේ.



ආශාවේ මල් වැටෙන් එබී
නිළුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

බොහෝ අය ආදර ගීත වලට යොදා ගන්නේ සුදු කෙල්ලන්. කළු කෙල්ලන් යොදා ගත් අවස්ථා හරි අඩුයි. හැබැයි නැතුවා නොවෙයි.

කළු උක්ගස විලසා කළු - කළු නංගියේ
දර කඩලා බිම තියලා කොහිදෑ ගියේ....

මේ වික්ටර් රත්නායක මහතාගේ ගීතයක කොටසක්. මට එහි රචකයා නම් මතක නෑ. සුනිල් ආරියරත්නයන්ද කියාත් හිතෙනවා.

ඉතින් කළු උක්ගස වන් ඒ කළු යුවතිය සේ ම මෙහි දීත් මේ ගීතයට පන දෙන යුවතිය කළු එකියක්. ඈ කළු වුණත් ඇගේ නෙත් වශීකෘතයි. අන් නෙත් පැහැර ගන්නා සුළුයි. ඒවා හරියට නිල් මහනෙල් මල් වැනියි.
මේ යුවතිය එදින ඔහු දෙස බලන්නේ ආශාවේ මල් වැටෙන් එබිලායි. ආශාවේ මල් වැට යන්න ගැන විවිධ අය විවිධ ලෙස අරුත් ගන්වා තිබෙනයුරු මා දැක තිබෙනවා. ඒත් මම නම් හිතන්නේ මෙතැන මේ ආශාවේ මල් වැට යනු, මේ යුවතිය සිය සිත් ගත්, එහෙත් ඔහුට හෙළි නොකළ සිය හැඟීම් තව දුරටත් සඟවා ගත නොහී ඔහු දෙස හෙළන එකඟතාවයේ පළමු බැල්ම ලෙසටයි. ඒ බැල්මෙන් බලන කල උහුට ඈ පෙනෙනුයේ තවත් වශීකෘතව ය.

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලේ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ – මට කියනු කළූ

සඳවතිය නිදන්නේ රෑ අහසෙහිය. නිදනවා යනු මෙහි හිඳිනවා යන්න විය යුතුය. ඈ සිය සළු රැළි විදා ලයි. ඇගේ සළු රැළි යනු සඳ කිරණයි. අඳින සළු මිදුලේ එළුවා යැයි කියන්නේ සඳ කිරණ මිදුලෙහි දෝරෙ ගලා ඇති වගයි. ඒ දසුන ඒ මොහොත කොතරම් සුන්දරද? ඔහු සිතනවා ඈ ඒ සුන්දර මොහොතේ අවදිව ඇති කියා. මේ සුන්දර මොහොතේ ඔහු ගේ සිතේ වැඩ ඉන්නේ ඇයයි. මේ සුන්දර මොහොතේ ඇයගේ සිතේ ඔහු පිළිබඳ අදහස් ලියලනවා දැයි දැන ගැනීමට ඔහු සිතේ ඇත්තේ අපමණ කැමැත්තක්.

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වේලූ නයන කළූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ – මට කියනු කළූ

සුන්දර සිනාවෙන් හැඩවුණු ඈ වත පායන පුර සඳ සේ යැයි ඔහුට සිතේ. ඒ සුන්දර මොහොතේ  ඈ වත ද එවන් ම සුන්දර සිනාවකින් හැඩ වී ඇතැයි ඔහුට සිතේ. නැවතත් ඔහුගේ සිතේ ඇති කුකුස ඔහුට සේ ම ඇයටද මේ සුන්දර මොහොතේ ඇගේ මතකයෙහි සිටින්නේ ඔහු පිලිබඳ මතකය ද යන්නයි.
ආශාවේ මල් වැටෙන් එබී ගීතය අසමු.



ඩෝල්ටන් අල්විස් වැනි කවියන් ගී ලියනා යුගයේ ඒවා සංගීතවත් කරන්නට සිටියේ ශාස්ත්‍රීය සංගීතයේ හික්මීම ලත් සංගීතඥයින් පිරිසකි. මේ නිසා ම යම් ගීත රචනයක් දුටු සැනින් ඔවුනගේ නිර්මාණයට රාගාශ්‍රිත පදනමක් වැටෙන්නට ඇතැයි කිව හැකිය. ඒ නිසා ම රචකයා තුළ වූ හැඟීම් රසිකයා දක්වා යන ගමන ස්ථිර අරමුණක් පදනමක් සහිත එකක් විය.
මතු දැක්වෙන ගීය බලන්න. ඇසූ සැනින් එය රාගාශ්‍රිත හික්මීමකින් තනුව සහ ස්වර ඇමිණුම කළ එකක් බව වැටහෙනු ඇත. මේ ගීතය සංගීතවත් කොට ගයන්නේ සෝමරත්න පෙරේරා සංගීතඥයා විසිනි. මේ ගීතය තුලදීත් ඩෝල්ටන් අල්විස් කවියාගේ බොහෝ ගීත සේම සංගීතඥයාට රිසි සේ එහි සරන්නට නිදහස සපයා ඇත. ඔහු නිමවන්නේ කෙටි ම කෙටි රචනාවකි.

නයන කඳුලේ
ගී ලියන්නේ
කාටදෝ

ළසඳ බලනා වෙලාවේ
මහද සැලෙනා වෙලාවේ

ඔබ දන්නා පරිදි ගීතයක ස්ථායී කොටසකුත් අන්තරා කොටස් දෙකක් හෝ තුනකුත් සේ සාමාන්‍යයෙන් තිබුණද මේ ගීත වල එලෙස හඳුනා ගත හැක්කේ ස්ථායි කොටස පමණි. අනෙක් කොටස් පළමු අන්තරා සහ දෙවන අන්තරා සේ හඳුනා ගත නොහැකි වෙයි. එහෙත් එය සුන්දර රචනයක් වෙයි. මේ නිසා සමහර විට අන්තරා යැයි හිතෙන කොටස් ස්ථායී කොටසට ම එක් කරමින්, ස්ථායී යැයි හිතෙන කොටස් අන්තරා වලට එකතු කරමින් නිදහසේ සිය නිර්මාණය කිරීමට සංගීතඥයා ස්වාධීන වී ඇත.
මේ ගීතයේ ඇත්තේ ස්ථායී කොටස් එකකි. එහෙත් අද කාලේ වගේ මචං....තවත් කෑල්ලක් ලියා දියං..... යැයි කී සැටියක් නොපෙනේ. සංගීතඥයා එකම පදය නැවත නැවත ගයමින් අදහස රසිකයා තුළ ධාරණය කරවන අයුරු මේ නිසා අපට දැක ගත හැකි වෙයි. එමෙන් ම දෙවෙනි තෙවෙනි අන්තරා නැතැයි ඔහුගේ එවන් කිසිදු ගීයක අපට අඩුවක් නොපෙනේ. මතු දැක්වෙන්නේ මේ ගීයට ඇති එකම අන්තරා කොටසයි.

තාරකා ඇස් අකුරු වාගේ
මා ලියූ ඒ පෙම්පතේ
කඳුළු මුසු නෙත් වලින් ඔබ එය
කියෙව්වද මුතු තලාවේ



නයන කඳුලේ ගී ලියන්නේ කාටදෝ ගීතය අසමු.



මල් ගීත රැල්ලක් ආවේ මේ යුගයේ වුණාට මල් ගීත ලිවීම ඇරඹුනේ අද ඊයේ නොවේ. ඩෝල්ටන් අල්විස් කවියා විවිධ මල් වල මලක නම් වලින් ලියූ ගී රැසකට හිමිකම් කියයි.

සමහර මල් වල නම් ගීත වල යොදා ගැනීමෙන් මලට වත් ගීතයටවත් දෙකටම ගරුත්වයක් නොලබන අප්‍රසන්න ඒවා වෙයි. විවිධ වූ මල් අතරේ නියඟලා මලට, සියඹලා මලට මතු නොව කෙහෙල් මලටවත් මල්ගීත කරුවන්ගෙන් බෙරී සිටීමට නොහැකි වට පිටාවකි අද උදා වී ඇත්තේ. ඒවා කිසිදු නැවුම් බවකින් නොයෙදී බලෙන් ලියූ ගී සේ අපට ඇසේ. එහෙත් ඩෝල්ටන් අල්විසුන් ගේ එවන් කිසිදු ගීයක් එලෙස නොඇසෙයි.

අරුනළු මල්...
තුඹ මල්...
නිශා මල්...
අත්තන මල්...
සිංහල මල්...
නිල් බුනීල මල්...
චන්දන මල්....
බකිනි මල්...
සූරිය මල්....
සපු මල්...
දුනුකේ මල්...

මේ ඔහුගේ ගීතයන්ට සුවඳ දුන් මල්ය. මේ සමහර සුවඳ මල් ඇත්තෙන් ම මල් ම නොවේ.

අරුනළු මල්...
නිශා මල්...
සිංහල මල්...

මේ එවැනි මල් නොවන මල් කිහිපයකි. එහෙත් ඔහුගේ ගිතයේදී ද, මිනිස් හදවත් තුළදී ද ඒවා මල් යැයි හැඟෙයි.

මේ එවන් තවත් මල් වර්ගයකි. එක මලක් නොව මල් වර්ග ගොඩකි. ඒ මොන මොන මල්දැයි විමසා බැලිය යුතුම ය.

මේ පද රචනය ගීතයක් ලෙස බිහිවන්නක් නොවේ. එය ඔහුගේ මල් නමැති දිගු කවියකි. පසුව එහි කවි කිහිපයක් ගෙන ගීයක් බවට පත් වන්නේ විජේසුන්දර වේරගොඩ අතිනි.


මේ ගීතය ද යම් රාගාත්මක රාමුවක් තුළ නිර්මාණය වූවක් බව වැටහේ. රාගාත්මක රාමුවක් කී විට සමහර අය සිතනු ඇත්තේ රාමුවක් නම් කොටු වීමක් ලෙසය. ඒ කොටු වීම කොතරම් රසවත් දැයි සිතෙන්නේ රාමුවකින් තොරව කොටු වීමකින් තොරව වර්තමානයේ බිහි වන බොහෝ නිර්මාණ කොතරම් කන්දොස්කිරියාවක්දැයි සිතෙන විට ය.

හිතේ පිපෙන මල්
හිත රිදවන මල්
අනේ කුමට පිපෙනවාද
අහක බලන මල් ....

අතීතයේ මල්
ඈතට ගිය මල්
මතක සුවද යළි එවලා
දෑස තෙමන මල් ....

සපු දුනුකේ මල්
නයන ලෝල මල්
ඒ මල් පෙති තුලින්
සවන සනහන කවි මල් ...

හිතේ පිපෙන මල් ....

ගමේ පිපෙන මල්
නිහතමානි මල්
එවන් සොදුරු මල්
ලොවුතුරු බුදුන් දකින මල් ...

හිතේ පිපෙන මල් ගීතය අසන්න.



ඔහුගේ ගී නිර්මාණ දිය , සයුරක් නොව දෝතක් වුව, ඒ දෝත පිළිබඳ කතාව කෙටි කතාවකින් කෙළවර කළ නොහැක්කේ ඊ ළඟ කොටසකින් හමු විය යුතු වෙමු.
-        යසනාත් ධම්මික බණ්ඩාර  -
සිව්වන කොටසට මේ ඔස්සේ පිවිසෙන්න 

15 comments:

  1. "සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතය බිහි වූයේ 1978 දී. එකල ආර්. ප්‍රේමදාස ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විය. ඊට දෙවසරකට පසු, 1980 දී, ඔහු යුගොස්ලාවියාවේ සංචාරයක යෙදුණේ ය. එහි දී ඔහුට අසන්නට ලැබුණු යුගොස්ලාවියානු ජන ගීයක තනුවටම සිංහල ගීතයක් ඔහු විසින් රචනා කරන්නට යෙදුණු බව ගුවන් විදුලියෙන් කියැවිණි. ඒ ගීතය නිර්මාණය කෙරුණේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 74 වන උපන් දිනය වෙනුවෙනි. ඔහුගේ උපන් දිනය වන සැප්තැම්බර් 17 වන දාට දින දෙක-තුනක පෙර සිට ම මෙම ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය විණි.

    "සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතය මෙන් ම මෙම ගීතය ද වෙනත් කෙනෙක් අතින් රචනා වූ බවට සැක නැත. ගීය ගැයුවේ වික්ටර් රත්නායක සූරීහු ය. ඔබට හැකි නම් මෙම ගීය රචනා කළේ කවුද කියා සොයා බලනු මැනවි. මෙන්න එම ගීතය:


    දෙරණ සිරිලක රකින භූපතිඳේ
    ඔබ ය සිළුමිණ සුපුන් හෙළ දීපේ
    සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
    දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
    ජයෙන් ජය වේවා!
    ජයෙන් ජය වේවා!

    දැයේ ජනතා උතුම් සේවාවේ
    වරම් දුන් මට ඔබ යි ආලෝකේ
    අනාගතයේ පැතුම් සපුරාලා
    දිනූ දෙරණේ කසුන් [......] දොළොස් මාසේ පහන් තිලකෙන්
    සදා බැබලේවා!
    සදා බැබලේවා!

    උපන් දිනයේ අපේ ජනපතිඳා
    දහම් දීපේ මුදුන් මල් පිපුණා
    නායකත්වේ උදා හිරු පායා
    රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
    යසෝ ගී ගැයුවා!
    යසෝ ගී ගැයුවා!

    ඔබට ආසිරි පතන අද දවසේ
    සියළු දන හා බැඳී එක විලසේ
    ජනපතින්දේ මමත් එක් වීලා
    බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
    සලමි මල් වරුසා!
    සලමි මල් වරුසා!


    තව ද, ඔබට හැකි නම් මෙම ගීය සම්පූර්ණ ද, අඩුවක් ඇත් ද කියා සොයා බලනු මැනවි. ස්තුති යි!

    ReplyDelete
    Replies
    1. https://arugeadaviya.wordpress.com/2014/10/06/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB47-%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B6%9A-%E0%B6%B1%E0%B6%BB%E0%B7%92%E0%B6%BA/#comments

      ඔය ලිංක් එක පෝස්ට් එක්කට වැටුණ කමෙන්ටු ටිකක්
      ඕකෙ යටම කමෙන්ටුව බලන්න

      Delete
    2. අරිසෙන් අහුබුදුගේ සුවඳක් හමා යනවා වගේ දැනෙනවා.

      Delete
    3. ඉහත ලින්කුව හා සබැඳි අවසාන කමෙන්ටුවෙන් උපුටා ගතිමි.
      තිස්ස says:
      October 14, 2014 at 12:49 pm

      1980-1982 කාලේ තමයි ජේ. ආර්. ගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව. 1980 සැප්තැම්බර් 17 වෙනි දාට යෙදිලා තිබුණේ මිනිහාගේ 74 වන උපන් දිනය. ඒ දවස් දෙකේ තුනේ රේඩියෝ එකේ උදේ ඉඳන් රෑ වෙනකම් එක්තරා ගීතයක් වාදනය කළා මිනිහාගේ උපන් දිනය වෙනුවෙන්. ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක. පද රචනය කළා කියලා කිව්වේ අගමැති ප්‍රේමදාස (සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්). ඉතින් ප්‍රේමදාස කියන විදියටයි ගීතය ගැයෙන්නේ. මෙන්න ඒ ගීතය:

      “දෙරණ සිරිලක රකින භූපතිඳේ
      ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
      සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
      දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
      ජයෙන් ජය වේවා!
      ජයෙන් ජය වේවා!

      උපන් දිනයේ අපේ ජනපතිඳා
      දහම් දීපේ මුදුන් මල් පිපුණා
      නායකත්වේ උදා හිරු පායා
      රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
      යසෝ ගී ගැයුවා!
      යසෝ ගී ගැයුවා!

      ඔබට ආසිරි පතන අද දවසේ
      සියළු දන හා බැඳී එක විලසේ
      ජනපතින්දේ මමත් එක් වීලා
      බිරිඳ හා දූ පුතුන් සමගින් – මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
      සලමි මල් වරුසා!
      සලමි මල් වරුසා!”
      Reply

      aruge adaviya says:
      October 14, 2014 at 2:20 pm

      //////සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්///////

      ඕක තමයි ඇත්ත මගේ හිතේ. ලොක්කගේ නමින් ඔහොම සින්දුවකට මියුසික් එකක් දාන්න කේමදාස මාස්ටර්ට කියලා වෙච්ච කචල් එකක් ගැන මට අමරබංධු රූපසිංහ මයා කියලා තියෙනවා. අමරේ අයියා ගැන ලියනකොට ඒ ගැන ලියන්නම්.
      Reply

      Delete
    4. දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන් කියල 2009 වසරේ දිනමින පත්තරේ ලිපියක් ගියා.. ඒ ලිපිය හෙව්වෙ මෙච්චෙල්ලා පැයක් විතර හොයාගන්න බැරිවුණා.. බලන්නං හොයා ගන්න පුලුවං වුනොත් මුහුණු පොතට ඉන්බොක්ස් කරන්නම්...

      අගෙයි අද සටහනත්
      ජයවේවා

      Delete
    5. යසනාත් ධම්මික මහතාණනි, ඔබේ පිළිතුරට ස්තුති යි.
      මා ඉහතින් දැක් වූ ගීතය ද ඒ අනුව ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ නිර්මාණයක් විය හැකි බව යි පෙනෙන්නට තිබෙනුයේ. ඒ අතරම, ඒ ගීය ප්‍රචාරය වූ වකවානුව පිළිබඳ මගේ මතකයත් නිවැරදි බව එම කොමෙන්ටුවෙන් පැහැදිලි වේ.

      Delete
    6. දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
      දේශපාලන මඬ ගොහොරුවල මතකය සිරිලාල් කොඩිකාර අවදිකරයි...
      http://archives.dinamina.lk/2009/02/17/_art.asp?fn=f0902174

      Delete
  2. K. Jayathilaka knew Ranasingha Premadasa from early days. Although Premadasa loved and admired literature Jayathilaka realised that Premadasa sometimes misused the novelists and poets. Premadasa's artistic plagiarism of Dolton Alwis's song " Sigiri Gale Kavi Livve was a well known story. As a sardonic response the leftist journalist Sri Lal Kodikara wrote : Sigiri Gale Kavi Livve Dalton etc

    ReplyDelete
  3. අති විශිෂ්ඨයි

    ReplyDelete
  4. සම්පුර්ණ විස්තරයක් යසනාත් මහත්තයෝ ....
    අපි අසාවෙන් අහපු විඳපු ගීත ..විශ්ව කර්ම ගීත රචකයෝ ..මෙවැනි දේ වටින්නේ අදට වඩා හෙට පරපුරටයි .
    ජයවේවා !!!!
    (මමත් මෙතුමාගේ ගිත ගොන්නක් දැම්මා ..) මෙන්න ..
    http://sinduano.blogspot.com/2015/09/blog-post.html

    ReplyDelete
  5. එකල පාසල් පෙළ පොත් වල මුල් පිටුවේ බොහෝ විට පෙම්දසුන් ගේ කවියක් හෝ ගීතයකින් සරසා තිබුනා. ඒ හා සමානවම පැතිරගිය කතාව තමයි මේ ඔහුගේම නිර්මාණ නොවැ ඔහු මිලදී ගත නිර්මාණ බව.
    ඩෝල්ටන් අල්විස් වැනි ගේය පද රචයෙකු ගැන තැබූ මේ ලබැඳි සටහනට ස්තුතියි

    ReplyDelete
  6. මං අහල තියෙනවා කතාවක් ඩෝල්ටන් මහත්තයා දිව්‍ය ලෝකෙ ඉඳල අපායට ගිහින් එන්න ටුවර් එකක් හම්බවෙලා ! පස්සෙ අපායෙදි පේමදාස මහත්තයා යම්බවෙලා. පේමදාස මහත්තයා ඩොල්ටන්ව දැක්ක ගමන් බලනවා ඩෝල්ටන් මට වෙච්චදේ කිව්වාලු . ඒ පාර ඩෝල්ටන් මහත්තයා කිව්වලු නැ සර් ලොකු වැරද්දක් වෙලා නැ සර්මනේ ලිව්වෙ * මහජනයාට වැදි බණ දෙසමින් බොළඳා සැපවිදි එකා නිරයට නොයතිද මළදා‍‍් කියලා

    ReplyDelete
  7. මෙවන් අසහාය රචකයෙකු ගැන තැබූ හරවත් සටහනට තුති පුදමි.

    ReplyDelete
  8. ජනතාවට අන්තිමේදි ජය අත් වෙනවා
    මොන විදියෙන් හරි දුෂ්ටයො තොලොංජි වෙනවා

    ගීතය මතක් උනා

    ReplyDelete