Monday, October 22, 2018

රජී..... උඹ යකෙක්!





මනුෂ්‍ය පුරුෂ බීජවල සුවඳ වෙරළු මල් සුවඳට සමාන යැයි කියමනක් තිබේ. 

මේ අරුත ගීයට එක් කරමින් රත්න ශ්‍රී විජේසිංහයන් ගීතයක් ලියනවා කුමාරි මුණසිංහට. වෙරළු මල් පිපිලා කියලා.

මේ උත්සාහය වෙරළු මල් පිපිලා ගීතය ගැන කතා කරන්න නොවේ.

නමුත් අපි වෙරළු මල් පිපලා ගීතය අසා හිඳ මේ කතාවට යොමු වෙමු.

වෙරළු මල් පිපිලා ගීතය මෙතැනින් අසන්න.



වරක් රත්න ශ්‍රී ගේ කෘතියක් ජනගත කරණ උස්සව සභාවකදී එහි පූරක වූ සමන් අතාවුද හෙට්ටි මේ වෙරළු මල් පිපිලා ගීතය ලියා ඇත්තේ අර මනුෂ්‍ය පුරුෂ බීජවල ගන්ධය වෙරළු මල් සුවඳට සමානය යනු අරුත වැකිව බව දැන් ඒ ගැන මෙවැනි සඳහනක් කළේය.

රත්නේ, උඹ නම් යකෙක්!

කියායි.

අපි රත්නේ යකෙක් වූ ඒ කතාව මදක් පැත්තකින් තියමු.

මට මෙහි කියන්නට අවැසි වන අන් කතාවට යොමු වෙමු.

රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ

මේ අලුත් ගීත නිර්මාණයක මුල් වදන් පෙළයි.

මෙහි කියැවෙන්නේ කුමක්ද? 

බැලූ බැල්මට නම් බීමත් තොටියෙකු ගැනයි. මේ තොටියා බීමත්ව සිටින්නේ මහ රාත්තිරියේය. එසේ මහ රාත්තිරියේ බීමත්ව සිටින මේ තොටියා, දකින යම් යුවතියකට ඔරු පදින්නට කතා කරයි. එහෙත්, ඔහු සිටින පදම දකින ඇය, ඔහුට තවෙකෙකු තබා තමන්ව වත් නිරුපද්‍රිතව එතෙර කළ හැකි මට්ටමක නොවන බව වැටහෙයි. එතෙර වන්නට හැකි වෙතොත් ඒ ඔහුටම පමණය. 

මේ මතුපිටින් පෙනෙන ස්වරූපයය.

එහෙත් එය තුළට ගැඹුරට කිමිද බැලුව හොත්, ඔහු තොටියෙකු නොවන්නේය. 

ඒ විලසින්ම ඔහු මේ මහ රෑ බැරි මරගාතේ පදින්නට හදන්නේ ඔරුවක්ද නොවන්නේය.

එතෙර වීම යනු ගඟකින් එතෙර වීමද නොවනනේය. 

මෙහි බැරිකම ඔරු පැදීමේ බැරිකමද නොවන්නේ. 

එහෙනම් එහි ඇත්තේ අහවල් එකක්ද?

කෙනෙකු එසේ අසන්නටත් බැරි නැත.

එහි ඇත්තේ මෙන්න මෙවැනි දෙයකි.

එහි යටි පෙළෙහි ඇත්තේ රෑ මැදියම මධු විතෙන් මත්ව සිය නිවසට වන් ස්වාමියෙකු පිළිබඳව කතාවකි. 

එවිට ඔරුව වන්නේ ඉබේටම ඔහුගේ ස්වාමි දුවණියය. 

ගංඟාව නම්, ඇය සතුව ඇති, ඔහුට හිමි කිසි යම් දෙයකි. ඒ කිසියම් දෙයෙහි නම නම් මෙහි නොලියමි. 

ඔරු පැදීම යනු ඔහුට හිමි ඈ සතු ඒ වස්තුව පරිහරණය කිරීමය. ඒ ක්‍රියාවට යෙදෙන නිසි නමද මෙහි නොලියමි.

අද මේ මත් වූ තොටියාට නම් තමනටවත් එතෙර වන්නට හැකි දැයි සැක හිතෙන තරම් වුව එකී ඔරු පැදුමට අතීතයේ දක්ෂ වූ තොටියෙකි.

මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ
ඔරුව පෙරළුනත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුළට
එතෙර කළා මතකයි තොටියෝ

මාස් වැස්ස යනු මාස් කන්නයේ ගොවිතැන සඳහා වහින වැස්සය. 

කලකට ඉස්සර, ඒ වර්ෂාවට පසුව එන අලුත් දියේ, ඔරු පදිමින් මල් නෙළමින් ගෙවූ කාලයක් ඔවුනට විය. යම් හෙයකින් යම් දිනයක ඔරුව ගඟ මැද පෙරළුනහොත්, අත නොහැර ඇයව ගෙන එතෙර කළ පුතයෙකි ඔහු.

දැන් මෙහි ඇති මේ සංඛේතද අපට අප දන්නා වෙනත් සංඛේතයන් බවට පත් කරගෙන විඳින්නට වෙයි. එහෙත් එය කළ යුත්තේ තමන්ගේ මනසින් විනා පවතින සංඛේත පැහැදිලි වෙනත් සංඛේත බවට කොලේක ලියා නම් නොවේ.

මෙවන් වෙනත් සංඛේත භාවිතයෙන් යටි පෙළෙහි සැඟවූ කතාවක් වෙනත් සංඛේතයන්ට පෙරලා ලියූ විට අර විලසින් මහත් වූ වෙර වෑයමක් කර යටි පෙළෙහි සැඟවීමට ගත් උත්සාහයේ ඵලයක් නැත. එහෙත්  නිර්මාණවල ගැඹුරෙහි සැඟවූ අරුත් සෙවීමේ හුරුව පැහැරගෙන පොලොවේ ගසා පොඩි කළ සමාජයක, එවන් පුරුදු යළි ඇති කරලීමට නම් එවන් දේ කළ යුතු වෙයි. 

නොඑසේව, 

බහුතරයක් රසවිඳිනුයේ බේබදු තොටියෙකු සහ සිය බිරිඳ අතර ගොඩනැගෙන සිද්ධි දාමයක් පමණක් ලෙස විය හැකිය.

ඒ අනුව යළි ඒ සංඛේත මේ සංඛේත බවට මාරු කළහොත්, 

මේ මාස් වැස්ස මහ කන්නයේ වැස්ස නොවන්නේය. 

අලුත් වතුර ඒ වැස්සෙන් පසු ගඟ ගැබ්බර කළ දිය කඳද නොවන්නේය. 

ඔරු පැදීම යනු ඔරු පැදීමද නොවන්නේය. 

ගඟ මැද ඔරුව පෙරලීම යනු ගඟ මැද ඔරුව පෙරලීමද නොවන්නේය.

මා පෙර සඳහන් කළ ඔරු පැදීමක් නොවන ඒ ඔරු පැදීම අතරමග, යම් හෙයකින් ගමනාන්තයට ළඟාවීමට පෙර මේ තොටියෙකු නොවූ තොටියා කෙළවරට පැමිණියේ වුව, වෙහෙස කර වූයේ වුව, එක්ල් හි නම් ඇයව කරමත තබා ගෙන හෝ එතෙර කළෙහිය. 

ඔරුව නැතිව කරමත තබා ගෙන හෝ එතෙර කිරීම යනු ඔරු පැදීමක් නොවූ ඔරු පැදීමක ඔරු පැදීමක් නොවූ අන් ක්‍රමයකින් ඇයව ගමනාන්තයට කැඳවා යාමය. ගමනාන්තය යනු ඒ ඉවුරෙන මේ ඉවුරට යාම නොවන බවද වටහා ගතයුතු මනාය.

දැන් ඔබ කවුරුත් මේ කුමන අයුරක ඔරු පැදීමක්දැයි වටහා ගෙන සිටී. එය ඊට වඩා පැහැදිලිව ලියුව හොත්, වැඩිහිටියන්ට පමණක් වන ක්‍රියාවක විචාරයක් වැනි දෙයක් වනු ඇත.

ඒ වගත් එසේම සිත්හි තබාගෙන මේ වග බලන්න.

මේ ගේහසිත දිවියේ මිහිර රැක ගැනීමේ නොගැනීමේ කඩඉම් පැණයකි. එනම්, මෙවන් තත්ත්වයකට පත් වුණු ස්වාමි දුවක්, යම් දිනයක අන් පුරුෂයෙකුගේ අනියම් බිරියක් වනවාද නොවනවාද යන කඩඉමයි. එහෙත් මේ බිරියට තාම ඒ වගක් නැත.

රුවල් නඟා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නඟින්න හිත නෑ තොටියෝ
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුනු හඳ එළියක
එතෙර වෙන්න ආසයි තොටියෝ

වඩා සාර්ථක ශක්තිමත් පුරුෂයින් මේ කතාවට අනුව නැව්පතියන්ය. රුවල් නගා යන නැව් දකිද්දී ඔහු සිත සලිත වන්නේ යම් හෙයකින් එවන් නැව් දෙස ඇගේ සිත යොමුවේද යනුවෙන් වන සැකයත් නිසා විය යුතුමය. එහෙත් ඇය නම් කියනුයේ එවන් නැව් දැක දැක වුව, ඒවායින් එතෙර වීමෙහි කැමැත්තෙන් තමා තොර වගය. මෙහි එවන් කැමැත්තක් නැති වග කීවේ වුව, එය මතක් කිරීම තුළ, අනාගත දිනයක එවන් දෙයක් වීමේ හැකියාව බිංදුවකැයි සිතීමේ අපහසුවද ඒ හා සමගම ඇති වග මට සිතේ.

ඊ ළඟට ඈ කියනුයේ,

නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුනු හඳ එළියක
එතෙර වෙන්න ආසයි තොටියෝ

යනුවෙනි.

ඈ තුළ අන් පුරුෂයින්ට තවමත් ඉඩක් සැදී නැත ඇයට තවමත් අවැසි ඔහු විසින්ම ගමනාන්තය තෙක් ඇයව කැටුව යනු දැකීමය.

එහෙත්, එසේ ඇයව කැටුව යාම මේ විදිහට ඔහු පැහැර හරින්නේ නම් අතපසු කරන්නේ නම්, එය වීමේ අනතුරු නැතුවා නොවන වගද කිව යුතුය.

ඉතින් මේ නම් කුමන අරුමැසි ගීතයක්ද? මේ ජීවිතයේ එක් ගැඹුරුම ගැඹුරුම වැදගත්ම වැදගත්ම දෙයක් ගැන යමෙකුට හිතා ගන්නට පවා අපහසු මට්ටමේ නිර්මාණයක් නොවේද?



රජී වසන්ත වෙල්ගම  
මෙය ලියන්නට කුමන වෙහෙසක් ගත්තා දැයි මම කල්පනා කරමි. ඒ වෙහෙසට යම් ගෞරවයක් කරණු පිණිසය ගීතය නිකුත් වී මෙතරම් සුළු කාලයකින් මගේ මේ දුප්පත් වෑයම.

අද අප පරපුරේ ගීත රචකයින් අතුරින් මතුව පෙනෙන ගීත රචකයින් කිහිප දෙනෙකු වෙතත්, බොහෝ කතා බහ කරණ ඒ අන් අයට වඩා, අර තරමින් කතා බහට බඳුන් නොවුනු රජී වසන්ත වෙල්ගම මෙවන් රචනාවන් තුළින් අපට පෙන්වන්නේ අපට බලාපොරොත්තුවක් තැබිය හැකි වඩාත්ම උසස් පරිකල්පන ශක්තියකින් හෙබි ගීත රචකයා තමන් බවය. 

මේ ගීතයේ පද රචනය කළ හාස්කම ඉදිරියේ යම් සංගීත රචකයෙකු යම් මට්ටමකට දුර්මුඛ විය හැකිය. හේතුව එහි සංගීත නිර්මාණය විසල් අභියෝගයක් වන බැවිනි. එහෙත් ඉන් දුර්මුඛ නොවී එහි උච්ඡත්වය රැක දීමට  


සංගීතඥ අරුණ ගුණවර්ධන   
සොහොයුරා දන්වා ඇති සමර්ථභාවය ප්‍රසාද ජනකය. 

පුරුදු ලෙසින්ම එවන් ගීතයකට සිය භාවමය හඬ ගුණය දෙමින් එය වර්ණවත් කරන්නට 


සම්මානනීය ගායිකා ඉන්දිකා උපමාලි 
සොහොයුරිය සමත්ව ඇත. මෙවන් හැඟීම් ගායනයක් සඳහා තමන් හැර අන් නමක් යමෙකු සොයන්නේ නම් ඒ ගැන දෙවරක් හිතන්න යැයි මෙවන් ගීත වලින් ඇය අපට සන් කරණවා වැනිය.

ඒ සියල්ල එසේ වත්දී යලිත් මට මතක් වන්නේ රජී මය.

මත් වූ තොටියෝ ගීතය අසා සිටිමු.



රත්න ශ්‍රීසමන් අයියා කියූවා සේම,
මමද උඹට එයම කියමි.

රජී..... උඹ යකෙක්!
මම,


-      යසනාත් ධම්මික බණ්ඩාර     -

11 comments:

  1. Nice and logical explanation. I listened to the song at the very moment it was launched. But wasn't able to get such a hidden meaning as I focused my attention on the melody and singing. Only a handful of lyricists like you can get it.

    ReplyDelete
  2. ඉතා හොඳ විවරණයක් වගේම එම කලාකරුවන්ව ඇගයීමක්..!!

    ReplyDelete
  3. එකම මගක යන තවත් නිර්මාණකරුවකු අගයන්නට තරම්වූ ඔබගේ පොහොසත්කම පළමුව අගයමි. දෙවනුව මගේ පාසැල් මිතුරා...රජී ඔබදෙස බලා මම මහත්සේ සතුටුවෙමි.

    ReplyDelete
  4. වෙනදා වගේම ඔබේ විවරණය අපුරුයි . රජී ගේ පද ලාංකික සමාජයේ නිතර කතා නොකෙරෙන පැතිකඩක් . ඒවගේම කුහක බහුතරයක් අස්සේ අවංකව ඔබ අනෙක් අයගේ නිර්මාණ ප්‍රසිද්දියේ අගය කිරීම ලොකු දෙයක්

    මේ කොටස ගේ ගීයට අදාල නැහැ නමුත් ඔබ ජයතිලක බණ්ඩාරයන්ගේ ගීත අගය කර ඇති නිසා අහන්නේ . එතුමාගේ මෙවන් ගීයක් තියෙනවාද ?
    මේ පොලොව පුරා මල් පිපුනේ අපට මල්ලියේ
    අතු රිකිලි නවා පල සැදුනේ අපට නංගියේ
    මේ පොලොව බෙදූ මායිම් පැන එන්න මල්ලියේ
    අපිට හිතේ පිපුණු මල් දෝතක් දෙන්න නංගියේ

    ReplyDelete
  5. A better explaination on this creation. That insisted me to listen the song.

    ReplyDelete
  6. මේ ලිපියට පින් සිදුවන්නට මේ සුන්දර ගීතය අහන්න ලැබුණා. බොහොම ස්තුතියි.
    නමුත් ඔබතුමාගේ මෙම කියැවීම නම් 100%ක් සාර්ථක නැති සදොස් කියැවීමක් බවයි මගේ අදහස. මේ පදවැල ගැන මගේ කියැවීම නම් මේ අයුරුයි ;
    ඔබ කියූ පරිදිම මෙයින් නිරූපණය කෙරෙන්නේ අඹු-සැමි යුවලක් නිදියහනේ රතිසුව විඳින අවස්ථාවක්. නමුත් "මත් වූ" යන්නෙන් අදහස් කෙරෙන්නේ මධුවිත සප්පායම් වූ කියන එකද? මට හිතෙන්නේ එහෙම නෙමෙයි. රැයේ සියල්ලන් නිදිගත් මොහොතක නුරාවෙන් මත් වී සිය බිරිය සමඟ රතිසුව විඳීමට සැරසෙන ස්වාමියෙක් ගැන කියයි මට හැඟෙන්නේ. බිරිය එම ආරාධනාව ආදරයෙන් පිළිගත්තද, ඇගේ සිත පවසන්නේ අවසානයේ සතුටට පත්වී 'එතෙරට' යනුයේ නුරාවෙන් මත්වූ සැමියා පමණක් බවයි. එම සිතුවිල්ල ඔස්සේ ඊට හේතු වන අතීත සිදුවීමකට ඇගේ සිත දිවයනවා.

    "මාස් වැස්ස ඉවර වෙලා
    අලුත් වතුර ගලන ගඟේ
    මල් නෙළුවා මතකද තොටියෝ
    ඔරුව පෙරළුනත් ගඟ මැද
    මාව අරන් නුඹෙ තුරුළට
    එතෙර කළා මතකයි තොටියෝ"

    මේ කියන්නේ විවාපත් අළුත ඔවුන් දෙදෙනා දහසක් බලාපොරොත්තු සමඟින් සතුටින් පෙම් කෙළියේ යෙදුණු අතීතයක් ගැන බවයි මගේ අදහස. ඔවුන් එම ගංගාවේ මල් නෙළුවාලු.! නමුත් හදිසියේ ඔරුව ගඟ මැද පෙරලුනාලු.!! ඒ කියන්නේ අය ගැබ්බර වීමකුත් අනපේක්ෂිත අයුරින් එම දරුගැබ අහිමි වීමකුත් ගැන නොවේද? (ඇතැම් විට බිහිකළ දරුවා උපතේදී හෝ පසු කලෙක මිය යාමක් ගැනද විය හැකියි). - (තවත් වෙනත් අරුතක් ඊළඟ කොටසින් ගම්‍ය වීමක්ද නැතුවා නොවෙයි. ඒ ගැන පසුව කතා කරමු).
    නමුත් එම අනපේක්ෂිත ව්‍යසනයේදී ඇයට ගිලී මියයාමට නොදී කර තබන් එගොඩ කෙරෙව්වේ ඇගේ ආදරණීය සැමියා බවද ඇය පවසයි. ඇයට ඇගේ සිත නැවත හදාගන්නට හෙවනැල්ලක් මෙන් පිහිට වෙලා තියෙන්නේ ඇගේ සැමියා බවයි...

    "රුවල් නඟා යන නැව් දැක
    සසල වෙලා බැලුවත් නුඹ
    නැව් නඟින්න හිත නෑ තොටියෝ
    නුඹෙ ඔරුවෙන් යළි දවසක
    කුමුදු පිපුනු හඳ එළියක
    එතෙර වෙන්න ආසයි තොටියෝ"

    රුවල් නගා යන නැව් වලට මෙහි සමාන කරන්නේ වෙනත් ධනයෙන් බලයෙන් පිරි වෙනත් පිරිමින්ට වඩා දරුමල්ලන් පිරිවරාගත් වෙනත් පවුල් බව මගේ අදහසයි. පළමු අන්තරා කොටසේ මම පෙර කියූ දෙවෙනි අරුත ගැන අදහසක් එන්නේ මෙතැනදීය. ඇතැම් විට එම ස්වාමියා දරුඵල නොමැති අයෙක් ද? ඔවුන් දෙදෙනා කෙතරම් පෙම්සුව වින්දත් සැමියා පමණක් එතෙරට යන බවක් බිරිඳ ට සිතෙන්නේ එම නිසාද? වෙනත් පිරිමින් දකිනවිට සැමියාගේ සිත සසල වන්නේ එම නිසාද? එසේ නැතිනම් පෙරකී අනපේක්ෂිත සිදුවීම නිසා ඔවුන් නැවත දරුඵල ලැබීම අවිනිශ්චිත බවක් නිසා ඔහු සසල වන්නේද?
    කෙසේ නමුත් බිරිඳ සහතික කොට ශපත කරන්නේ ඇගේ සිත කිසිදා වෙනතක නොයන බවයි. කෙදිනක හෝ තම සමියාගෙන්ම දරු සුරතල් දකින බලාපොරොත්තුවක් පමණක් ඇගේ සිත තුළ පැළපදියම් වී ඇති බවයි. එම බලාපොරොත්තුව කිසිදිනෙක ඉටුනොවුනද, තමන් පෙම් බැඳී කුඩා ඔරුව තමන්ට සැපයක් බවයි...

    මෙම ගී පද රචනාව මෑත කාලයේ මා දැක්ක සුන්දරම එකක්... ඔව්, රජී වසන්ත වෙල්ගම නම් යකෙක්..! ඒ වගේම ඉන්දිකා උපමාලි ගේ ලයාන්විත, හැඟුම්බර ගායනය එම පද රචනාව උත්කර්ෂයට නගා තියෙනවා... ඇත්තටම පද රචකයාගේ සිතේ තිබුණ අරුත ඔබ දුටු එකද, එහෙම නැතිනම් මා දුටු එකද කියා කියන්න අදහසක් මට නෑ. රසවින්දනය පුද්ගලානුබද්ධ බව මා හොඳින්ම දන්න දෙයක්. කොහොම නමුත් දෙදෙනෙක්ට දෙආකාරයකට රසවිඳින්න හැකි පදපෙළක් රචනා කර රජී වසන්ත වෙල්ගම මහතා ට මගෙන් තුති මල් මිටක්...!

    ReplyDelete
  7. සුරාවෙන් මත් නොවුනු,
    නුරාවෙන් මත්වුනු කියා ඔබ දරණ අදහසද අගනේය. සමහර විට එය මම දරණ අදහසටත් වඩා අගනේයැයි කිව හැකිය. එය පිළිගනිමි.
    එහෙත්, නමුත් හදිසියේ ඔරුව ගඟ මැද පෙරලුනාලු.!! ඒ කියන්නේ අය ගැබ්බර වීමකුත් අනපේක්ෂිත අයුරින් එම දරුගැබ අහිමි වීමකුත් ගැන නොවේද? යන ඔබගේ අදහස මට දැනෙන්නේ එලෙසින් නොවේ. සිය ක්‍රියාවේ අග්‍රයට එළඹීමට පෙර ඔහුගේ වෑයම නිම වීම පිළිබඳව විය යුතුය. ගීතයේ ස්ථායී කොටස අප වෙත ඉඟි කරන්නේද එයයි.
    රුවල් නගා යන නැව් වලට මෙහි සමාන කරන්නේ වෙනත් ධනයෙන් බලයෙන් පිරි වෙනත් පිරිමින්ට වඩා දරුමල්ලන් පිරිවරාගත් වෙනත් පවුල් බව මගේ අදහසයි. යන ඔබගේ අදහසට ගරු කරමි. එහෙත් මට නම් එය හැඟුනේ කාම ශක්තියෙන් හෙබි යන අයුරින්. මොකද මා මෙම ගීතය දුටුවේ ඒ දේ කියන්නට අති සංයමයෙන් යුතුව ඔහු මේ ගීතය නිමවන්නට ගත් උත්සාහය එළියට ගනිමින් වීමයි.
    කෙසේ වෙතත්, අපි එකම නිර්මාණයකින් විවිධ දේ දකිමු. එය අපගේ රස වින්දන පරාසයයි. බොහෝ අය මෙහි,ථ ඔබ දුටු දේ වත් මා දුටු දේ වත් නොදකී. නමුත්, දැන් එවන් යටි අරුතක් සොයන්නට උත්සාහ ගනී.
    මගේ අරමුණ වූයේ එයයි.
    අවසන, මේ ගීත විවරණය කියවා රජී මට කතා කර කිව්වේ, මේ ගීතය ගැන මමම කියන්නට ගියා නම් කියනවාට වඩා සාර්ථකව යසනාත් අයියා එය කියා ඇති බවයි. මම එය එසේම පිලි නොගනිමි. ඒ ඔහුගේ නිහතමානීත්වයයි.
    කෙසේ වෙතත්, විවරණයේ ඇත්තේ ඔහුගේ අදහස නොවුණි නම් එය එසේ නොවේ යැයි කියන්නට ඔහුට හැකියාව හා ශක්තිය ඇති බැවින්, මා ලියා ඇත්තේ ඔහු තුළ වූ හැඟීම යැයි හඟිමි.
    රජී කළ කතාවේ ඉතිරි හරය වූයේ, පෞද්ගලිකව දැන හඳුනන, ඇසුරු කරණ, කන බොන මිතුරෙකු නොවූ ඔබ මේ වැන්නක් ලිවීම එක්තරා අයුරකින් මාව ඔබට කතා නොකර බැරි තැනට පත් කළා. ඒ නිසා අසීරුවෙන්, අන්තර්ජාලය විමසා යම් තැනක දුටු අංකයන් ඔබේ යැයි සිතා කතා කළා. එවිට ඒ ඔබ තමයි.
    ස්තුතියි යසනාත් අයියේ.... යන කිවමනටය.
    මටද එය සතුටකි.

    ReplyDelete
  8. රෑ මැදියම මත් වූ තොටියෝ ගීය ගැන යමක් (විචාරයක් නොවේ)
    මේ අරුම පුදුම පද වැල ගැන නම් මට නොලියා ම බැරි ය. එය එසේ වන්නේ එකී පද වැලට යශනාත් ධම්මික බණ්ඩාරයන් සිය යශනාත් සිතුවිලි බ්ලොග් අඩවිය මඟින් ලබා දී ඇති විචාරය හා එය කියවීමට පෙර මා අත්විඳි රසය එකිනෙකින් සපුරා ප්‍රතිගාමී වීම තුළ මම මේ ලිපිය ලිවීම අනිවාර්යය වන තරමට ම මා පොළඹවන ලද හෙයිනුත්, දර්ශන රසික අබේසිංහ සහෘදයා සමඟ කෙටි කාලයක් තුළ දොඩමළු වී ඒ හරහා ඔහු විසින් මා මෙය ලිවීමට උත්ප්‍රේරක ලබා දීම තුළ මා මෙය නොලියා සිටීම නිශේධනය වීමත් නිසා ය.
    මා ගී රස විඳීමට මිස විචාරීමට නොයන්නේ, ගී විචාරීමට මා සමතෙකු නොවීමත්, සම්මත විචාරයන් හා විචාර කලාවට මා පෞද්ගලිකව ප්‍රිය නොකීරීමත් නිසාවෙන් ය. ඇතැම් විට රචකයා ද නොදුටු මහා ගැඔුරු රසයක් පද වැල තුළ අන්තර්ග විය හැක. එය උකහා විඳ ගැනීම සම්පූර්ණ අයිතිය දිය යුත්තේ එය රස විඳන රසිකයාට ය. තමා ගීතය ලියන ලද්දේ මෙවන් වූ පසුබිමක සිට යන්න හෝ පදරුත මෙය යයි යන්න කියා දී එය රසවින්දනයට යොමු කිරීම මම පෞද්ගලිකව ප්‍රිය නොකරමි. බුදුන් වහන්සේ දෙසා වදාළ සේ ම යමක් හදාරා දැනගත යුත්තේ "තම තම නැණ පමණින්" ම ය. ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ හැක.
    යශනාත් ධම්මික බණ්ඩාරයන් හා එක් දිනක් දුම්රියේ දී, රෑ මැදියම මත් වූ තොටියෝ ගීතය පිළිබඳ දොඩමළු වූ විට මා සිත මහත් සේ සලිත වූ අතර යම් දුකක් ද මා තුළ ජනිත විය. එසේ ම විචාරයන් තුළ සිරගත වන, මා ද නියෝජනය වන රසිකත්වය පිළිබඳව ද මා තුළ දුකක් ඇති විය. මා නොදන්නා මේ ගීතයේ රචකයා යශනාත් ධම්මිකයන්ගේ වචනයෙන් ම "යකෙකු" බව නම් සැබෑ ය. යකුන් යනු ලොව සාර්ථක ම මිනිසුන් බව වෙනත් අවස්ථාවක සාකච්ඡා කරමු.
    මේ ගීතය තුළ වූ ආමිස රසය යශනාත් ධම්මිකයන්ගේ විචාරයන් තුළන් හුවා දක්වා ඇති අතර මා මුල සිට මේ ගීතයේ දුටු නිරාමිස රසය ද මා හට ලියා දැක්වීමට සිතූයේ දර්ශන රසික අබේසිංහයන්, මාගේ ආදරණිය බිරිඳ නිර්මලා මෙන් ම ගීතයක රසය මටත් වඩා විඳින මගේ ආදරණීය දියණී සෙනුමි සහ පුතණු සෙතික් ඇතුළු සහෘදයන්ගේ ද ඉල්ලීම අනුව ය.
    රෑ මැදියම මත් වූ තොටියෝ
    ඔරු පදින්න මා කැඳවන
    නුඹ විතරක් එතෙරට යන
    රෑ මැදියම මත් වූ තොටියෝ
    එහි ඇති ශෘංගාරය මා එම අරුතින් ම විඳන්නට සිතූ කල එය මගේ සිත ප්‍රිය නොකරන රසයක් දනවයි. මත්වීම තුළ ඇතිවන වියවුල මා කිසිසේත් පෞද්ගලිකව ප්‍රිය නොකිරීම ද ඊට හේතු වූවා විය හැක. ගීතය තුළ නම් ඊට මං පෙත් පාදන්නේ මෙම ගීතයට යොදා ඇති සංගීතයයි. එහි සංගීතය තුළ මා හට දැනෙනුයේ ලෝකෝත්තර නිහැඬියාවක් මිස ශෘංගාරය උලුප්පන ගතියක් නොවේ. (විචාර කලාවේ එන වචන මෙහි නොවන්නේ නම් මා හට සමාවන්න) මා කියන දේ මැනැවින් අත්විඳන්නට ඇවැසි නම්, හිම දියවී හිමාලයේ යමුනා ගඟ නඟයි තරංගා ගීතය හා එහි සංගීත සුසංයෝගය රස විඳින ලෙස ද කාරුණිකව ඉල්ලනු කැමැත්තෙමි. (මා ඇසූ ලොව ශෘංගාරයේ අතිකෘත සංගීත සංගායනාව එම ගීතයයි.) එහි ශෘංගාරය දනවන අපූරු සංගීත සංධ්වනිය වචන මාලාව හා ගැලපෙන අපූරුව දකින්න. රෑ මැදියන ගීතයේ එවන් ශෘංගාරාත්මක සංගීත සංධ්වනියක් ඇතුළත්ව නැති බව මාගේ පෞද්ගලික මතයයි. එහෙයින් මේ ගීතය "යශෝධරා දුටු සිහිනයක්" සේ මම දකිමි.
    රෑ මැදියම ලොව නිහඬ ම කාල වකවානුව මගේ සිතට ගෙන එයි. ගීත රචකයා අපව ගෙන යන්නේ ගඟක් වෙත ය. එහි ඇති නිහැඬියාව නිරාමිස ඇසකින් දුටු විට මා දකින්නේ නිර්වානය ලෙසයි. රෑ මැදියම යශෝධරාව දකින්නේ තමන් අතහැර ගොස් මේ මහා නිහැඬියාවේ රසය තනිව අත්විඳින මහා ශාන්තිවරයානෝ ය. නිර්වානයේ ප්‍රීතියෙන් මත් වී සිටින හේ, ඒ වෙත තමන්ව ද කැඳවන බව ඇය සිතයි.

    ReplyDelete
    Replies
    1. ////එහි ඇති ශෘංගාරය මා එම අරුතින් ම විඳන්නට සිතූ කල එය මගේ සිත ප්‍රිය නොකරන රසයක් දනවයි. මත්වීම තුළ ඇතිවන වියවුල මා කිසිසේත් පෞද්ගලිකව ප්‍රිය නොකිරීම ද ඊට හේතු වූවා විය හැක. ගීතය තුළ නම් ඊට මං පෙත් පාදන්නේ මෙම ගීතයට යොදා ඇති සංගීතයයි. එහි සංගීතය තුළ මා හට දැනෙනුයේ ලෝකෝත්තර නිහැඬියාවක් මිස ශෘංගාරය උලුප්පන ගතියක් නොවේ. ///
      ඇත්ත. මේ ගීතය ශ්‍රැංගාරාත්මක එකක් නොවේ. මෙහි ඇත්තේ යම් ජීවන ඛේදවාචකයකි. සංගීතයේ ඇත්තේ එයයි.
      කෙසේ වෙතත්, ගීතය ඔබට අවැසි වන අයුරින් දකින්නට ඇති ඉඩට මං නොඅහුරමි.
      මේ ගැන රජී වසන්ත වෙල්ගම මා හට කතා කර කියූ දෙයක් පමණක් කියමි. මේ ගීතයෙහි මා අදහස් කළ දේ පැහැදිලි කරන්නැයි යමෙක් කීවේ නම් එය මවිසින් කරණවාට වඩා හොඳින් යසනාත් අයියා කර ඇතැයි මට හිතෙනවා යන්නය ඔහු කීවේ.
      /// ඇතැම් විට රචකයා ද නොදුටු මහා ගැඔුරු රසයක් පද වැල තුළ අන්තර්ග විය හැක. එය උකහා විඳ ගැනීම සම්පූර්ණ අයිතිය දිය යුත්තේ එය රස විඳන රසිකයාට ය./// ඒ අනුව ඔබ අප විසින් ලීවාටත් වඩා එහා ගොස් වෙනත් විදිහකින් දැකීම අප අගය කරමි. මක් නිසාද යත්, අපට ගැඹුරු රසිකයින්ගේ අඩුව ලොකුවට දැනෙන නිසාය.
      /// තමා ගීතය ලියන ලද්දේ මෙවන් වූ පසුබිමක සිට යන්න හෝ පදරුත මෙය යයි යන්න කියා දී එය රසවින්දනයට යොමු කිරීම මම පෞද්ගලිකව ප්‍රිය නොකරමි. බුදුන් වහන්සේ දෙසා වදාළ සේ ම යමක් හදාරා දැනගත යුත්තේ "තම තම නැණ පමණින්" ම ය. ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ හැක.///
      යන්නට මම පූර්ණව එකඟ නැත. එසේ නම් අප යමක් ලියා කියා තබනවා මිස පැහැදිලි කිරීම් ඉගැන්වීම් අනවැසි වනු ඇත. බුදුන් වුව, ගැඹුරින් දහම දෙසනවා මිස ඒ ඒ අයට වැටහෙන අයුරින් නොදෙසා ඉන්නට තිබුණි. නමුත්, ඒ ඒ අයට තේරෙන විදිහට දහම් දෙසූ බව අපට ධර්මයට අදාල සාහිත්‍යය ඇසුරු කරණ විට පෙනී යයි.
      මේ සටහන් කෙසේ වත් ඔබ වැනි තමන්ට තනිව විඳ ගත හැකි සමහර විට රජීටත්, මටත් වඩා එහා දැකිය හැකි ඔබ වැනි අයට නොවේ. ඉන් මෙහා රසයකින් නවතින අයටමය. ඔවුන් හට එම රසය නොලැබිය යුතුය යන්නක් මම නොඅදහමි.
      අදහස් වලට ස්තුතිය. ජය වේවා!

      Delete
  9. මාස් වැස්ස ඉවර වෙලා
    අලුත් වතුර ගලන ගඟේ
    මල් නෙළුවා මතකද තොටියෝ
    ඔරුව පෙරළුනත් ගඟ මැද
    මාව අරන් නුඹෙ තුරුළට
    එතෙර කළා මතකයි තොටියෝ
    මාස් වැස්ස නම් සශ්‍රීකත්වය කැඳවන මහා වැස්සයි. එහෙත්, එය වසින සමය ඉතා අසීරු ය. කටෝරය. අකුණු අනතුරු, ජල ගැලීම් ආදී කොට ගත් මහා ගැටුම් බහුල ය. ලේන කුලයේ සිට සංසාරයේ මහා කාලයක් තිස්සේ සශ්‍රීකත්වයේ ආත්මය දක්වා මහා කටෝර දුක් විඳිමින් තමන් සමඟ ආ මේ දුක්ඛදායක ගමන මාස් වැසි සමයයි. එය අවසන් මේ ආත්මභාවය අලුත් වතුර ගලන ගඟ තුළින් මම දකිමි. එ් අවසන් ආත්මයේ දී ද තමා ලං කර ගත් බෝ සතානෝ විටින් විට තමන් වෙත පෑ ආදරය ලෞකිකව දකින්ට ගීතය තුළ එන "නෙළු මල්" මා කුළු ගන්වයි. ගඟ මැද පෙරළුන ඔරුව, අභිනික්මන තුළින් තමා විනාශ කළ බව සිතන යශෝදරාගේ චින්තාව කියාපාන අතර ලෞකික සිහිනය තුළ ඇයව ඉන් බේරාගන්නට ඔහු පැමිණෙනු ඇතිය යන හැඟීම "මාව අරන් නුඹෙ තුරුළට එතෙරෙ කළා මතකයි" යන්නෙන් හගවයි. බෝසතුන් තමන් තුරුළට ගෙන ඔහු නිවුන අයුරුන් තමන් ද නිවනු ඇති බව ඇය සිහිනය තුළ විශ්වාස කරන්නී ය.
    රුවල් නඟා යන නැව් දැක
    සසල වෙලා බැලුවත් නුඹ
    නැව් නඟින්න හිත නෑ තොටියෝ
    නුඹෙ ඔරුවෙන් යළි දවසක
    කුමුදු පිපුනු හඳ එළියක
    එතෙර වෙන්න ආසයි තොටියෝ
    ලෞකික සිහිනය තුළ, සරු යැයි සිතමින් අඳුර කරා යන සැපයන් "රුවල් නඟා යන නැව්" ලෙස දකින යශෝදරාව ඒ තුළ නො ඇලෙන බව කියන්නී "නැව් නඟින්න හිත නෑ තොටියෝ" යන්නෙනි. එහෙත්, ලෞකික චින්තනය තුළ ඈ අවසන් වරටත් සිතත්නී තමන්ගේ ප්‍රේමය තුළ තමා කෙරේ බැඳී සිටි සිද්ධාර්ථයන් සසල වී තමන් වරදක පැටලේවි යැයි කියා ඔහු බිය වන්නේ යැයි කියා ය.
    අලෞකික නිරාමිස බවින් එතෙර වී සිටන මහා ශාස්තෘවරයානෝ, සොයාගත් මහා නිරාමිස සංතෘශ්ටිය ගං තෙරේ කුමුදු මල් හා සඳ එළියෙන් මා දකින අතර ඒ මහා නිවනින් එතෙර වන්නට මේ මහා පිනැත්තිය දක්වන කැමැත්ත මම ගීතයේ අවසන් පද වලින් දකිමි.
    මා විචාරකයෙක් නොවන නිසාවෙන් ම මෙහි මා සිතන බොහෝ දේ නොලියවුණු බව නම් කිව යුතු ම ය. එහෙත් භාවාත්මක විචාරය වචනාර්ථයෙන් ගත් කල රාගය දනවන අර්ථකථයෙන් ඔබ්බට ගොස් මහා නිරාමිස සතුටක් මෙම ගීතයෙන් මම විඳිමි.
    සමා වෙන්න......... ගීතයකට වචාර්ථයෙන් අර්ථකථන ලබා දීම ඒ ගීතයේ රසය මැරීමක් නොවන්නේ දැයි මට කියා දෙන්න.....අනිල් රණසිංහ

    ReplyDelete
  10. කදිම විවරණයක් යසනාත්...අප සිත් ගත්තා

    ReplyDelete