Wednesday, April 13, 2016

සූරිය දෙවිඳුට රන්වන් මාලය කර ලන්නයි






සිංහල අවුරුදු ආවා ආවා
ගම හිනැහී රස වෙනවා
යව්වනියෝ පේලි සැදීලා
නටති ගයති විනෝද වී

සිංහල අවුරුදු අත ළඟ තබාගෙන ලියන මේ ලිපියේදී මම මගේ හැඳින්වීම තුළ පළමුව සිංහල අළුත් අවුරුද්ද ලෙස යෙදීම හිතා මතාම කරණ ලද්දකි. ඒ ඉහත ගීතයෙහි ඇත්තේ එලෙසින් වීමයි. එනම් සිංහල අවුරුදු ලෙස වීමයි.
අප්‍රියෙල් 14 දා උදාවන්නේ තවත් එක සිංහල අළුත් අවුරුද්දකි. එදිනම දෙමළ අළුත් අවුරුද්දද උදා වෙයි. සිංහල දෙමළ යන අපි දෙගොල්ලම මේ සිරි ලංකා දීපයෙහි එකට වෙසෙන බැවින්, වෙන වෙනම අවුරුදු සැමරුවත් අවුරුද්දට සිංහල දෙමල අළුත් අවුරුද්ද යැයි කියන්නට ද පුරුදුව සිටිමු. එහෙත් සිංහල අපි එය සිංහල අළුත් අවුරුද්ද ලෙස යම් යම් තැන වලදී හඳුන්වන විට එහි අදහස එය දෙමළ අවුරුද්දක් සේ අප පිලි නොගැනිම නිසා යැයි අදහසක් නොගත යුතුය. සිංහල අපි සමරන්නේ සිංහල අළුත් අවුරුද්දයි. දෙමළ අය දෙමළ අළුත් අවුරුද්ද සමරයි. අපි දෙගොල්ලන්ගේම අළුත් අවුරුද්ද එකට යෙදී ඇති බැවින් එය වෙනම බැඳීමකි.

සිංහල අපි සමරන්නේ සිංහල අළුත් අවුරුද්දයි. දෙමළ අය දෙමළ අළුත් අවුරුද්ද සමරයි. යන කියමනෙන් මා ගැන වැරදි වැටහීමක් ඇති කර නොගන්න. එකම දිනක අවුරුදු සැමරීම තුළින් එදින අප දෙජාතිය කරණා සියළු දේ එකම අයුරින් නොවන බැවිනි.


අපි වෙන වෙන භාෂා කතා කරමු. වෙන වෙන විදිහේ නැටුම් ගැයුම් කරමු. වෙන වෙන අයුරේ සිරිත් විරිත් පවත්වමු. වෙන වෙන විදිහේ ඇඳුම් පැළැඳුම් අඳිමු පළඳිමු. ඒ අතරේ සමාන දේද කරමු. මේ නිසා එකම රටක දෙජාතියක්, දෙවිදිහක්, සංස්කෘතීන් දෙකක් යන්න පිලිගන්නා අයෙකු වශයෙන් මා යළිත් කියන්නේ එකම මසක එකම දිනක සිංහල අපි සමරන්නේ සිංහල අළුත් අවුරුද්දයි. දෙමළ අය සමරන්නේ දෙමළ අළුත් අවුරුද්දයි.

දැන් අපි යළිත් ගීතයට යොමු වෙමු.


දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්ඩ යන සැටි බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිදුලේ සක්මන් කරයි කලූ

මේ ගීය උපදින්නේ මෙන්න මේ කවෙනි. එය ඔළිඳ කවියකි.

දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්ඩ යන හැටි බලන් කලූ

සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලූ

දහසක් දීලා වළලු තනාලා දෑතේ අතලා බලයි කලූ

දුනුකේ මල සේ උළුගෙයි ඇඳ පිට ඔළිඳ කෙළින සැටි බලන් කලූ

ඔළිඳ කෙළිය සිංහල ගැමි ජන ක්‍රීඩාවකි. එය දෙමළ ගැමියන් අතරේ ද තිබේ දැයි මම නොදනිමි. නොදන්නා කමට කමන්න. එම ක්‍රීඩාව සිංහල අපට පමණක් උරුමයක් කර ගැනීමේ අදහසින් එසේ කීවා නොවේ.

ඔළිඳ කෙළිය සිංහල ගැමි ජන ක්‍රීඩාවක් වන්නා සේම එහි වඩා නිරත වනුයේ අවුරුදු කාල වකවානුවේදීය. එබැවින් මේ ගීයට ඒ කවිය ඇසුරු කර ගැනීම කාලෝචිත ය.

අවුරුද්ද හා බැඳුනු සංස්කෘතිකමය දේද මානව විද්‍යාත්මක දේද බොහෝය. එය කැලැන්ඩරයේ තවත් එක් දවසක් නොවන්නේ එහෙයිනි.
අපට අවුරුද්ද උදාවන්නේ බක් මස දී ය. ජනවාරියේදී නොවේ. ඒ සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු අප දෙගොල්ලන්ට ය.
ජනවාරියේදී අපට උදාවන්නේ අළුත් කැලැන්ඩර් වසරයි. අන් අයගේ අවුරුදු දින ඒ ඒ ආගමට ජාතියට අනුව වෙනස් වෙයි. එහෙත් සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු දෙකොට්ඨාශය එක් වූ විට රටේ ජනතාවගෙන් අති බහුතරය  සෑදෙන තත්වයක් තුළ, සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද සමස්ථ රටේම අවුරුද්ද සේ වීම නොවැලැක්විය හැක්කකි.

සිංහල දෙමල අළුත් අවුරුද්ද නිමිති කොට ගෙන විවිධ කලා නිර්මාණ බිහිව ඇත. ක්‍රීඩා බිහිව ඇත. චාරිත්‍ර වාරිත්‍ර බිහිව ඇත. අවැතුම් පැවැතුම් බිහිව ඇත.

එහෙත් අළුත් කැලැන්ඩර් වර්ෂය නිමිති කොට ගෙන එවන් විශේෂයෙන් ගෙන හැර පෑ හැකි නිර්මාණ සාහිත්‍යයක්එහෙමට ගොඩනැගී නැත.  එයද විශේෂත්වයකි.

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්ඩ යන සැටි බලන් කලූ ගීතය අසමු.



ඒ ගීයෙන් පිවිසුම ගෙන මේ වෑයම අළුත් අවුරුද්ද ආශ්‍රිතව යම් යම කරුණු ද කතා කරණ අතරේ ඒ නිමිතිකොට ගෙන බිහි වූ ගීත කිහිපයක් ගැනද විමසීමයි.

මා දැනට මෙහි කතා බහට ගෙන ආ ගීත සිංහල අවුරුදු කාලෙට අඩු වැඩි වශයෙන් අපට ඇසුනත්, ඊට වඩා වැඩි “ජනප්‍රිය” ගීත අපට හමු වෙයි.
චිත්‍රානන්ද අබේසේකර ලියූ විශාරද දයාරත්න රණතුංග සංගීතවත් කොට ගයන මේ ගීතය එවැන්නකි.

කිරි ඉතිරේවා නව වසරේ
ප්‍රීතියෙන් සාමයෙන් පා නගා ජය මගේ
සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ

අළුත් පැතුම් වැඩෙනවා - මිහිරි දසුන් මැවෙනවා
කලඑළියට හැම නිවසක සතුටු සිනා නැගෙනවා
සාමයේ ගීතිකා සිව් දිගින් හඬ නැගේ
සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ

බත බුලතින් සරු වෙලා - නව කම්මල් ඉදිවෙලා
මුළු ගම රට මඟුල් ගෙයක සිරියාවෙන් ඔබ වෙලා.
සාමයේ ගීතිකා සිව් දිගින් හඬ නැගේ
සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ



මේ ගීතය අළුත් අවුරුදු සමයේ වැඩියෙන් වැයුනත් මට හිතෙන්නේ මෙය වඩාත් සුදුසු නව වසර ඇරඹුමේ වැයුමට බවයි. මක් නිසාද යත් අර පෙර ගීයේ සේ අළුත් අවුරුද්ද හා බද්ධ වුණු බවකට වඩා එහි ඇත්තේ නව වසරක් ඇරඹුමේ කෙරෙන ප්‍රාර්ථනාවන්හි සේයාවකි.

මේ ගීතයම මදක් ඉහළ රිද්මයකට සහ වෙනස් පද රචනයකට එච්. ආර්. ජෝතිපාල ගායන ශිල්පියා විසින්ද ගයයි. එහි පද රචනය පෙර රචකයාගේමද යන්න පිලිබඳව කරුණු සොයා යාමේදී තිස්ස ඩයස් ගීත රචකයා තැබූ සටහනක් හමු විය.

“මුලින්ම මා ජෝතිපාලයන්ට ගීත ලියූ “අම්මා” කැසට් පටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. එම කැසට් පටයේ නිෂ්පාදක හෙන්රි ප්‍රනාන්දුයි සිංහල අවුරුදු ගීතයක් ලියන්න කියා ආරාධනා කළේ. ‘කිරි ඉතිරේවා නව වසරේ’ ගීතයේම තනුවටයි ‘නව අවුරුදු දා බක් මාසේ’ ගී පද රචනය කෙරුවේ. සරත් වික්‍රම සංගීතයේ දී වෙනසක් කළා. “

කෙසේ වෙතත් ගීතය ගැයෙද්දී කිරි ඉතිරේවා බක් මාසේ යන්න කිරි ඉතිරේවා නව වසරේ ලෙස යළිත් වෙනස් ව ඇත.

කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ


මේ ජෝතිපාලයන් ගයන ගීයේ වුව ඇත්තේ බක් මහේ එළඹෙන අපට දැනෙන අපේ අළුත් අවුරුද්දට බැඳුනු බවකට වඩා ජනවාරියේ උදා වෙන නව වසරට අසිරි පතනා ගීයක් සේය. මා කියමන වටහා ගන්නට උත්සාහ කරන්න.

මේ ගීතය අවුරුදු ගීතයක් ලෙස ලියැවුණාද, නැති නම් නව වසර වෙනුවෙන් ලියැවුණාද යන්නද ගැන මට මුළින් ගැටළුවක් තිබුණි. එහෙත් තිස්ස ඩයස් ගේ ඉහත හැඳින්වීම අනුව අළුත් අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය කළ බව සඳහන්ව ඇ.. එහෙත් මට එය දැනෙන විදිහය මා කීවේ. කෙසේ වෙතත් නව වසර වෙනුවෙන් හෝ වේවා අළුත් අවුරුද්ද වෙනුවෙන් හෝ වේවා එහි ඇති ප්‍රාර්ථනාවන් ඒ දෙකටම පොදු බවක් වෙයි. එවන් ප්‍රාර්ථනාවන් අළුත් අවුරුද්දේද අපි යළි යළිත් පතන්නේ එහි ඇති වැදගත් කම හේතුවෙයනි.

දයාරත්න රණතුංගයන් ගයන ගීයේ මේ පැතුම බලන්න.

බත බුලතින් සරු වෙලා - නව කම්මල් ඉදිවෙලා
මුළු ගම රට මඟුල් ගෙයක සිරියාවෙන් ඔබ වෙලා.
සාමයේ ගීතිකා සිව් දිගින් හඬ නැගේ
සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ

ජෝතිපාලයන් ගයන ගීතයේද එය යම් වෙනස් අයුරකින් කියැවෙයි.

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ

ගීත දෙකෙහිදීම සශ්‍රිකත්වය පිළිබඳ පැතුමද, සාමය පිළිබලද පැතුමද පොදුවේ ඉදිරිපත් වෙයි. නව වසරේ වුව අළුත් අවුරුද්දේ වුව ඒ සැමගේම පැතුමයි.

එයින් සාමය වෙන් කොට ගත් විට, පැතුම සාමය වුවද අපි යන්නේ සාමය දෙසටද? සාමයෙන් ඉවතටද යන්නද අවුරුදු සමයේ සිතීම වටී. අප යන්නේ එක්වීම දෙසටද? වෙන්වීම දෙසටද යන්න සිතීම වටී.

සාමය හෝ එක්වීම වෙන්වීම යන්න ජාතීන් දෙකක් අතරේ ලෙස සිතා සංකීර්ණ කර නොගන්න. අපි අවුරුද්ද සමරණ අපේම අය අතරේ සිදුවන විදිහ බලමු.

ඉස්සර අවුරුදු උත්සව ඇත්තේ ගම් හතකට එකකි. අහල ගම් හතේම මිනිස්සු ඒ වෙනුවෙන් සංවිධානය වෙයි. වෙහෙස මහන්සි වෙයි. එක් වෙයි. එක් වී සතුටු වෙයි. ඒ නිසාම උනුනුන් දැන හැඳින ගනී. සමාජ සම්බන්ධකම් තරවෙයි.

අද අවුරුදු උත්සව පවුලට එකක් වශයෙනි. ප්‍රධාන පවුලෙස් දසත විසිරී සිටින අනු පවුල් එදිනට එක්වෙයි. ඒ අය අන් අයගෙන් වෙන්ම වෙනම අවුරුදු උත්සව පවත්වයි. ඔවුන් තනිව සතුටු වෙයි. ගම කියා ගමට ආවාට ගමේ මිනිසුන් නොහඳුනයි. ටික කලකින් ගම කීවාට එය ඔවුනගේ ගම නොවෙයි. ඔවුන් ඒ ගමේ ගැමියන් නොවයි.

දැන් දැන් පන්සල් දේවාල වල පෙරහැරවල් ගත්තද, දන්සැල් ගත්තද මෙලෙසය. ගමක් ගමක් ගානේ පෙරහැරවල්ය. ගෙයක් ගෙයක් ගානේ දන්සැල්ය. මේ නිසා හරිහමන් එක පෙරහැරක් වත් නැත. හරි හමන් එක දන්සැලක්වත් නැත.

ඒ අවුරුදු ගී වල අන්තර්ගතයට පිට පනින එක් අවස්ථාවක් ගැන ලිවිය යුතුයැයි සිතුනු නිසා ලියූවකි. එහෙත් ලිවිය යුතු එකම කරුණ එය නොවේ. ලිවිය යුතු බොහෝ දේ මෙහි නොලියා ඇති බව පමණක් ලියමි.
අළුත් අවුරුද්ද වෙනුවෙන් ලියැවුණු ගීත අතරේ වඩාත්ම ප්‍රකට නොඑසේනම් ජනප්‍රිය ගීතය කුමක්දැයි කෙනෙක් විමසුව හොත් මට එය යම් මට්ටමක අසීරු පැණයකි. එහෙත් මේ එම පැණයට පිලිතුරද?

ඇවිල්ලා ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා
වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා

වවුලා බට ලී පිබිනවා
කොට්ටෝරුවා බෙරගහනවා
එ මැද තෙයි තෙයි තාලම
අවිච්චියා හී නගනවා

කැකුම් කොකිස් මුං අලුවා
කිරිබත් වල රහ බැලුවා
ගමෙ ලදුන් කොමල පපා
උදේ රබානක් පැලුවා

අබුන් කටයි සුභ නැකතයි
දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ
කිරි ඉතිරෙයි අපට සෙතයි


මෙය ධීවරයෝ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කළ ගීතයකි.  එහි සංගීතය එම්. කේ. රොක්සාමි ගෙනි. ගීතය ගැයුවේ මොහිදින් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ මල්ලිකා කහවිට විසිනි.

එම ගීතය නොවේ නම් මේ ගීතයද වඩාත් ජනප්‍රිය?

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ

පද රචනය -- අජන්තා රණසිංහ
සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි / සුජාතා අත්තනායක
 


මගේ අරමුණ ජනප්‍රිය ප්‍රකට අදද ඇසෙන ගී වලට වඩා, අද එතරම් නොඇසෙන අවුරුද්දේ පවා අපට අමතකව ගිය සහ අමතකව යන ගීත කිහිපයක්ද මතක් කර සටහන කිරීමයි. එවන් ගීතයක් අතරේ මේ ගීතය අමතක කර යන්නේ කෙසේද?

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා


ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙණවා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේ

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

මහගම සේකරයන්ගේ පද රචනයට ස්වර වර්ණ නාද වර්ණ පළඳවමින් සිය හඬින් පොබ කරන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. මේ ගීතයේ ඇත්තේ අවුරුදු ගැන මොන මොන දේද?
ඒ පැණයට පිලිතුරු දෙනු පසෙක ලා මේ ගීතයේ අවුරුදු ගැන නැත්තේ මොන මොන දේද යන පැණය පෙරලා මවිසින් අසමි.

අවුරුදු වැණුම මෙහි ඇත.

අවුරුද්දෙන් හැඩ වුණු ගම් වැණුම මෙහි ඇත.

අවුරුද්දෙන් පිබිදෙන පරිසර වැණුම මෙහි ඇත.

අවුරුද්ද ගෙන එන සශ්‍රිකත්වයේ වැණුම මෙහි ඇත.

ඒවා සමහරක් සෟජුවම කියැවෙයි. සමහරක් තරමක් සැඟව කියැවෙයි.

නීල කොබෙයි
නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

එහි ඇති දේ විමසන විට මේ නීල කොබෙයියන් වී අහුලන නීල කොබෙයියන්ය. වී අහුලන්නේ කුඹුරෙන් නොවේ. ඉපනැල්ලෙනි. ඒ නිසා මේ කරල් හොරුන් නොවේ. ඉපනැල්ලේ වැටී තිබෙන වී කරල්ය මොවුන් අහුලන්නේ. ඉපනැල්ල යනු අස්වනු නෙළූ පසු ඉතිරි වන ගොයම් ගස්වල පාදස්ථයයි. ඉපනැල්ලේ වී කරල් තිබීමෙන් කියැවෙන්නේ අළුත අස්වැනු නෙළූ බවයි. එහිය මේ නීල කොබෙයියන් වී අහුලන්නේ.

එහි වී අහුලන්නේ නීල කොබෙයියන් පමණක්ම විය නොහැකිය. ගිරවුන්ද මයිනන්ද එහි සිටිය යුතුමය. මයිනන් ගැන නොකීවද ගිරවුන් ගැන කියැවෙයි. එහෙත් ඒ ගිරවුන් වී අහුලන බවක් නොකියවෙයි. නීල කොබෙයියන් වී අහුලන අතරේ ගිරව් රෑණ ගැයුමක් ඉදිරිපත් කරයි. ඒ නව අවුරුදු ගීතයකි.

ගිරවුන්ද, මයිනුන්ද, නීල කොබෙයියන්ද පරවියන් වැනි අන් කොබෙයියන්ද වී අහලනු නිසැකය. එමෙන්ම මේ සියොතුන් සේ හඳුන්වන්නේ කුඩා ළමුන් යැයි සිතන්නට වුව පුළුවන. සමහර විට දෙගොල්ලම ගැන රචකයාට හිතුනා වන්නටද හැකිය.

ඉතින් මේ අස්වැනු නෙලා ගෙට ගත් සශ්‍රික මසක් ගැන වැණුමක් නොවේද?

බක් මස යනු වෙසක් මසට පාවාඩ එළන මාසයයි. වෙසක් මසට මල් ඵල පළඳන්නට සැරසෙන කාලයයි. අවුරුද්දේ අති සුන්දර මාස කිහිපය ඇරඹෙන මාසයයි. බලන්න ඊ ළඟට වෙසෙසින් සිංහල බෞද්ධයින්ට එළඹෙන්නේ මොන කරම් නම් වැදගත් මාස කිහිපයක්ද කියා. බක්, වෙසක්, පොසොන්, ඇසල.

ඊට සැරසෙන පාරිසරික වැණුම නේද ඊ ළඟ පාද වල ඇත්තේ.

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙණවා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේ


මහගම සේකරයන් වඩාත් වියත්, ගීතාත්මක බසකින් සිය රචනාව කළ බැවින් එය ගීතයට වඩා බරව කෙරුණ අයුරුද, එහෙත් ඊ ළඟට අප අසන්නට යන ගීතයේදී, එහි රචක ජයතිස්ස බොරළුගොඩ සිය රචනය වඩාත් ගැමි බසින්, ගැමි නාටකීය ස්වරූපයෙන් ලිවීමෙන් ඉන් උපදින ගීතයද ගැමි නාටකීය සරල ඌරුවකට වැටෙන අයුරු වටහා ගන්න. මේ නිර්මාණ දෙකෙහි සංගීත නිර්මාණයද ඊට අනුරූපී ලෙස නිම වෙයි. නීල කොබෝ රෑණ ඇවිත් ගීතයේදී සංගීත නිර්මාණයේදී වඩා යම් අධිපතිවාදී සංගීත ධාරාවකට එහි සංගීතය බර වන අතරේ මේ ගීතයේදී ඊට වඩා නිදහස්, සරල රීතියකින් එය නිමවෙයි. ගීතය ගැයීමේදී වුව මේ වෙනස ඔබ අත්විදිනු ඇත. නීල කොබෝ ගීතය ගැයෙනුයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් හික්මීම ලැබූ ගායකයෙකු විසින් ඒ හික්මීම මතද පිහිටා එය ගැයීමෙනි. එහෙත් මේ ගීතය ඊට වඩා නිදහස්, ගැමි ඌරුවකින් ගයනු ඇසෙයි.

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

 ගායනය - ලයනල් රන්වල, රන්වල බලකාය
ගී පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීතය - ලයනල් රන්වල


මේ අතරේ, ජනප්‍රියත්වය ද සුන්දරත්වය ද එක සේම කැටිකොටගත් ගීතයක් මෙහි ඉදිරිපත් කරන්නේ වෙනත් රිද්මයක්ද එක් කරමිනි. එය සටහන අතරට වෙනත් ආකර්ශණයක්ද රැගෙන එනු ඇත. මෙය චංචල රේඛා චිත්‍රපටයේ ගිතයකි. සේන සමරසිංහ ගේ නිර්මාණයක් වූ මේ චංචල රේඛා සුන්දර ගීත කිහිපයක්ම ගෙන ආ සිතුවම් පටයක් බව බොහෝ දෙන දනී. අවුරුද්ද ගැන කියැවෙන මේ ගීතයේ ඇති සුන්දරත්වය එහි ඇති අනෙකුත් ගීත වලට නොදෙවෙනිය.

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කළ මෙම ගීතය සරත් දසනායකගේ සංගීතයෙන් හැඩ වී ඇත. එය  මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ ගේ හඬින් පණ ලබයි.

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළඳා


ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ උප දීවා
මතු මතු සංසාරේ 




එය අළුත් අවුරුද්දට වඩා සිතුවම් පටයට අදාල කතාවට ගැලපෙන්නට ලියවී තිබුණද, සිංහල අවුරුද්ද හා ඇති සුන්දරත්වයට මනාව බද්ධවූ ගීතයක් වන බව කිව යුතුය.

බක්මහ දීගේ” චිත්‍රපටයට දයානන්ද ගුණවර්ධන ලියා සෝමදාස ඇල්විටිගල ශූරීන් අතින් සංගිතවත් වූ කන්ද උඩින් හඳ පායන ලීලා ගීතය අතිශයින් මිහිරි ගීතයකි. එය ගයනුයේ ගයනුයේ අමිතා වැදිසිංහ ගායිකාව විසිනි.

කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා


දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා

මෙය හමුවන සිතුවම් පටය බක්මහ දීගේ බව යළි මතක් කරමි. ඒ අනුව මේ මඟුල් දෙකක් ගැන කියවෙන ගීතයක් නොවේද? බක්මහ මඟුලත් බක් මහේ මඟුලත් යන දෙමඟුලයි ඒ.
ළඟ ළඟ අවුරුදු එන්නේය. අවුරුදු එන බව පරිසරය පුරා ඇති වන පිබිදීමෙන් නිහඬව කියන අතරේ කොහෝ කොහෝ හඬින් හඬ නඟාද කියනු ඇසෙයි. ඈ නොසන්සුන්ය. ඒත් ඒ අවුරුද්ද එනතුරු නොවේ. අවුරුදු මහේ එළඹෙන වෙනත් නැකතක් හේතුවෙනි.



බක්මහේ මහා මංගල්‍යය ගැන ලියැවුණු ගීත මෙයින් නිම නොවේ. තවත් බොහෝ ගීත ඇත. එහෙත් මේ සටහන දැන් නිම කරන්නට සිතමි. ඒ සදහා අති මනරම් ගීතයක් යොදා ගනිමි. අරුසෙන් අහුබුදු කවියාගේ රචනයකින් සුමියුරු ගීතයක් මවන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ය.

මේ ගීතයේ පද රචනය ඔස්සේ පෙළින් පෙළට යන්න. හිය සිංහල අළුත් අවුරුද්ද හා බැඳුනු සැම දේම පාහේ ලියැවී ඇත. අතිශය චමත්කාර ජනක, කාව්‍යාත්මක බස් වහරකින් ලියා ගීතයක් බවට පත්වන්නේ අරිසෙන් අහුබුදුවන් ලියූ බැවිනි. අනෙකෙකු ලියුවා නම් මේ අවුරුද්ද පිළිබඳව වාක්‍ය රචනයකි.

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරන් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී


ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරලන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය පණවන්නී


ගමේ මෑ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී


මල් සර හට ගී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳලන්නී
දෙක දෙක එක් කැර ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී


වෙන් වූවන් සිත කලඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී


කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී


දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී


මේ සොඳුරු අවුරුදු ගී ඇසුරින් නිම කළ සටහන ඔබ වෙත පුද දුන්නේ අන් ත්‍යාගයක් ඔබ වෙනුවෙන් මා අත නැති බැවිනි. මා ලියූ ගීයකින් සටහන නිමවමි.
මේ ගීතය ගයනු ලැබුවේ ඔස්කා ආයතනයෙන් නිපදවූ සියපත් විල සී. ඩී. තැටි සඳහාය. රෝහණ බැද්දගේ, නිශ්ශංක දිද්දෙණිය සහ මර්සි එදිරිසිංහ විසින් ගයනු ලැබූ ගීය අසන්න දීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. එහෙත් කියවන්නට දිය මැකිය. මේ ප්‍රාර්ථනය අවුරුද්දේ ඔබද වෙනුවෙනි.

ඉන්ද්‍රගිරි හිසින් බැසගෙන
සූරිය දෙවි වඩින කලට
තණපත් මත පිනි පිපිලා පසල එලන්නයි
නිල්තුරු හිස මල් පිපිලා වියන බඳින්නයි
රන්වන් ඇල් කරල් නැමී පවන් සලන්නයි

ලතා මඩුළු දළු කොළ ලා
මල් පළ පළඳින්නයි
පැසී කුඹුරු හේන් කොරටු
අටු කොටු පුරවන්නයි
සූරිය දෙවිඳුට කිරිබත්
කැවිලි තනා දෙන්නයි

සිනා පොකුරු මුව රැඳිලා
දන මන තුටු වෙන්නයි
නැවුම් දිනක් ලබන පැයට
සළු පිලි පළඳන්නයි
සූරිය දෙවිඳුට රන්වන්
මාලය කර ලන්නයි

-      යසනාත් ධම්මික බණ්ඩාර   -