Monday, May 30, 2016

මිදි ද ඇඹුල් වන ලොවක මෙසේ - දිගු කල් වසමුද රන් රස සේ......




අපි පසු ගිය සටහන වෙන් කළේ ගේහසිත දිවියෙහි වන විවිධාකාර වූ හැල හැප්පීම් පාදක කොටගෙන ලියූ ගී ගැන විමසුමක් කරන්නටය. ඒ උත්සාහයේදී ඒ සටහන ලියා අවසන බැලූ විට එය සම්පූර්ණයෙන්ම දයා ද අල්විස් කිවිඳිය විසින් ලියූ ගී කිහිපයක් ගැන විමසුමක් පමණක් විය. අද මෙම සටහනේදීද ඇය ඔබට හමු වනු නිසැකය.


දයා ද අල්විස්  

සේම  


ලූෂන් බුලත්සිංහල  
යන නාමය ද මේ වන් ගී ගැන කතා කිරීමේදී ප්‍රමුඛ  තැනක කියැවෙන නමකි. ඔහු විසින් ලියා ඇති එවන් වෙසෙස් ගී කිහිපයක්ම වන බැවිනි. මේ එවන් එක් ගීතයකි.

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුණේ

ගඟක් කවුරුවත් කියා දුන් මඟක නොගොස් සාදා ගත් මගක ගමන් කරයි. කොයි දෙසට ඇදෙනවාද කොයි දෙසට දිවෙනවාද කොයි හෙළින් පහළට වැටෙණවාද ආදිය ගැන ගඟ කිසිත් නොදනී. තමන් යන මං පෙතේ මුහුණ පානා කඳු හෙල් ගිරි දුර්ග වන දුර්ග තැනිතලා ආදී විෂමතාවන් පසුකරමින් ඇදෙන විට කොතැනකින් සයුරට වැටේදැයි ගඟ නොදනී. එහෙත් යම් තැනකදී එය සයුරට වැටෙයි.

ජීවන ගමනේ අප යන ගමන් ඊට වඩා යම් වෙනසක්  වේ නම් ඒ යම් සැලසුමක් අපට වන බැවින් පමණි. එහෙත් එවන් සැලසුම් සෑම විටම ඒ අයුරින්ම ඉටුවේද? ජීවන ගමනට දීර්ඝ සැලසුම් හැදුවද ඒ සැලසුම් කෙටි කාලීන සැලසුම් බවට ඉබේම පත් වෙයි. අවසන බැලූ විට සැලසුමට පිටින් සිදු වූ දේ අපමණය. ඇගේ දිවි ගමනේද ඔහුගේ හමුවීමද සැලසුමකින් තොරව සිදුවූවා බඳුය.

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ

ආදර මලක පුසුඹ ඇය නොදන්නවා විය නොහැක. එහෙත්, ඈ හදේම පතුළෙන් නැගී පිපුණු ඔහු පිළිබඳ ආදර මල ගැන ඇයට ගැටළුවක් වන්නේ ඇයි? එය පිලිතුරු සෙවිය යුතුම ගැටළුවකි. පළමු අන්තරා කොටසේ නැති පිලිතුර දෙවෙනි අන්තරා කොටසේදී හමු වනු නිසැක ය.

මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුණේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුණේ

ඈ දිවිය මල් වැලක් නම් ඒ මල් වැල ඉපදී ඇත්තේ කටු ගසක් ළඟය. ලියලා ඇදී එතී මල් පුබුදා ඇත්තේද ඒ කටු ගසෙහි ම ය. එලෙසට ම වේදනා දෙන්නටය ඈ අත් ඔහු අතැඟිලි අතරේ බැඳුනේ. වේදනාව නම් බැඳුනේ රැඳෙන්නට වුව නොරැඳී ගිලිහෙන්නට වූ බැවිනි.
ආචාර්ය වික්ටර් රත්නායක 
යන්ගේ තනුව හා සංගීතයෙනි මේ පද රචනය තවත් අර්ථ ගැන්වෙන්නේ. ඒ ගීතයට සිය හැඟුම් බර හඬ එක් කොට ගීතය ගීතයක් නොව ආත්මයක් කරණුයේ ගායන ශිල්පිනී  


නිරංජලා සරෝජිනී පීරිස්  
විසිනි.
මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතය අසමු.




රත්න ශ්‍රී විජේසිංහයන් මෙලෙස ලියයි.

හීසර සේම නැගි  තියුනු බැල්මේ
ඒ දෑස උතුරන නිලන කැල්මේ
අනුහසින් මම සැඟව ගන්නෙමි
ඔබෙ ලයේ දෑතේ ලතා ගුල්මේ

ගේහසිත ජීවිතය මේ අයුරින් දකින්නට බිරිඳකට හැකි නම් ඇයට ගේහසිත දිවිය දිනන්නටත් හැකි වනු ඇත. එහෙත් එය සුළු පටු කරුණක් නොවේ.

මනා ඉවසීම...  අවබෝධය.... මෘදු හැඟුම්.... සෙනෙහස හරිම මාත්‍රාවට මුහු කළොත් පමණක් ලැබෙන අසීරු නමුත් අපූරු ජයකි එය.

අපමණ සෙනෙහස මුදු මෙළෙක පිරුණු ඔහු දෑසම ය විටක හී සර සේ ම රුදු බැල්මෙන් ඈ දවනුයේ. එහෙත් ඔහු හදේ රළු බවට යටින් ඇති මුදු බව ඈ දන්නා බැවිනි ඈට නැවත ඒ හදේ සෙනෙහෙ සිසිලේ දැවටෙන්නට හැක්කේ, ලතාවන් වැනි යුගබාහු තුළ තෙරපෙන්නට හැක්කේ. එසේම ඒ දෑසම විටෙක රුදු බවින් දැවෙනු දැක ඇයද එලෙසම රුදු විනි නම් මේ ජය ඇයට අහිමි වනු ඇත. එම ජය ඔහුට ද අහිමි වනු ඇත.

බිරිඳක් ගේහසිත දිවිය දිනන්නේ නම් එය ඇයගේ තනි ජයක් නොවනු ඇත. එය ඔහුටද ජය ගෙනෙයි. මේ ජය යනු අනෙකක් නොව සතුටය. ගේහසිත දිවියේ සතුට වගා කිරීම් බිරිඳකට පමණක් කළ හැකි දේකැයි මා නොකියමි. එහෙත් ඇය එහිදී තීරණාත්මක සාධකය වෙයි.

පමා වී එත දොර හරින්නට
පැන නොවිමසා - මුදු සිනා සෙන්නට
නිදි මත දරා ගෙන බත බෙදන්නට
කුමරුනේ මට හැකිය තාමත්

දවසක ඔහු පැමිණෙන්නේ තරමක් රෑ බෝවී ය... තවත් දවසක එය මැදුම් රැය ඉක්මවන්නක් විය හැක. මෙහි සඳහන් නොවෙතත් සමහර විට ඔහු මුවින් ආදර සුවඳ වසාගෙන මධුපැන් සැරක් වහනය වනු ඇත. එලෙස එන ඔහු යක්ෂයෙක් කරන්නේද නැතිද යන්න තීරණය වනුයේ ඈ අතිනි. මෙහි සඳහන් වනුයේ කුමක්ද?

පමා වී පැමිණියත් දහසක් පැන නොවිමසා, චෝදනා පත්‍ර ගොනු නොකර, සැකයේ පතුළේ උපදින කුරිරු විස බුබුළු ඔහු වෙත නොහෙලා එම අවස්ථාව දරමින් උදහසින් තොරව බැලීමට ඇයට හැකි බවය. සුව නින්දේ පසුවෙමින් දවසේ වෙහෙස දිය කර හෙට උපදින කටුක දිනට සූදානම් වෙන්නට ඈට ඇති හෝරා කිහිපය අහිමි වුණැයි නුරුස්නා මුහුණු නොපා එලෙස පැමිණෙන සැමියාට බත බෙදන්නට ඇයට හැකි බවය.

හිතේ ඇමිණුනු කටු අයින් කොට
ඔබෙ දෙපා උනු දියෙන් තවන්ට
බිලිඳකුව සැතපෙනු බලා ඉන්නට
කුමරුනේ මට හැකිය තාමත්

ඔහු මෙලෙස පමා වී එන්නේ සමහර විට අතිකාල සේවය නිසා විය හැක. දිවියේ ද රාජකාරියේ ද විවිධ දුක්ඛ දෝ මනස්සයන් හිතේ ඇමිණුනු එරමිණියා බඳුය. මධු විතක්තොළ ගෑවේ නම් මිතුරන් හා..... මධුවිතෙන් අනතුරුව දොඩමළු වී නම් ඔවුන් හා.... වාද විවාදයේ පැටලී රෑ බෝවී බසය මග හැරී පයින්ම නිවසට පැමිණියේ ප්‍රමාද වී නම්.... ඔහු මෙලෙස ඒ කාලය ගත කළේ සතුට පිණිස ම නොව හිතේ යම් සැහැල්ලුවක් පිණිස බව වටහා ගන්නට ඈට හැකිය. එසේ පැමිණෙන ඔහුට මුදු මෙලකින් සංග්‍රහ කිරිමෙන් තරම් හිතේ කටු ඇනුනු තැන්වල වේදනවා සුව කරණ අන් විදිහක් ඈ නොදනී.

මෙම ගීතය ඇසෙන විට මට මතක් වන්නේ 

 රත්න ශ්‍රී 
ම ලියූ මාලිනී බුලත්සිංහල ගයන තවත් ගීතයකි. එය සංගීතවත් කළේ එච්. එම්. ජයවර්ධන සංගීතඥයින් විසිනි. එහි පද රචනය මෙලෙසය.

මට සමා වෙන්න හිමිසඳුනේ මෙහෙම කියනවට
ලෙඩ ඇඳේ ඉන්න නුඹ බිළිඳෙකු වගෙයි අහිංසක....

එම රචනයෙන් කියවෙන්නේද ආදරණීය  බිරිඳක තම ස්වාමියා දෙස හෙළන මෘදු බැල්මය. මට සමාවෙන්න හිමි සඳුනේ ගීතය ඇසූ සැනින් එය  

 මාලනී බුලත්සිංහල 
නම් බිරිඳ විසින්  


එච්. එම්. ජයවර්ධන 
නම් සිය ස්වාමිපුරුෂයාට ගැයූ ගීතයකැයි හැඟුනත් එම ගීතය තුළ වෙසෙන්නේ වෙනත් යුවලක් යැයි මට සිතුනි. ශානිකා ගේ මේ හීසර සේම ගීතයේ සිටින්නේත් ඒ යුවලමය. ඒ යුවල කවුරුන්ද?

රත්න ශ්‍රී ගේ මේ ගීත වලට පන දෙන ආකාරයේ ගැහැණියක් පිළිබඳව මම දැන සිටියෙමි. එම ගැහැණිය ගැන රත්න ශ්‍රී මට වඩා හොඳින් දැන සිටියේය. එබැවිනි මේ සා සංවේදීව ඒ ගැන ලියනුයේ. රත්න ශ්‍රී ට ඒ සා සිතගිය සංවේදී වුණු ඒ ගැහැණිය කවුරුන්ද?

ඒ අන් ගැහැණියක නොවේ. රත්න ශ්‍රී ගේ ම ප්‍රිය බිරිඳ වූ හේමමාලි අක්කාය. හේමමාලි අක්කා රත්න ශ්‍රී ට මෙවන් බිරිඳක් වූ බව මම දැන සිටියෙමි.

රත්න ශ්‍රී ලියන බොහෝ ගීත වල සැඟවී හේමමාලි අක්කා අප දෙස බලා සිටී. ඈ ගැන ඔහු ගැන දන්නා අයට එය රහසක් නොවේ.  ඈ ඔහුට එලෙස සත්‍ය වශයෙන්ම දැනුනු හෙයින්ම මිස නොදැනී සිතා මතා නම් මෙවැනි ගී ලිවිය නොහැකි බව ස්ථිරය.
විශාරද ශානිකා සුමනේකර 
 මෙම ගීතය තෝරා ගත්තේ කුමන හේතුවක් ඇතිව දැයි නොදනිමි. එහෙත් ඈ එම ගීතය තෝරාගැනීම ගැන අප ඈට කෘතඥවිය යුතුය.
මේ පදරචනයට සංගීත නිර්මාණයෙන් ඉටු වූ සාධාරණය කුමක්ද? එය ඉටු කළේ කවුද?

එය සංගීතවත් කර ඇත්තේ මේ යුගයේ සිය සංගීත නිර්මාණ ඔස්සේ වෙසෙස් සේවයක් කරණු ලබන 

දර්ශන වික්‍රමතුංග  
සංගීතඥයා විසිනි. දර්ශන ගේ එම මහඟු සේවය වෙනත් දිගු සටහනක් මඟින් වෙනම කතා කළ යුතුය.

හීසර සේම නැගි  තියුනු බැල්මේ ගීතය අසමු.


ඉහත ගීතයේ මෙන්, සිය මද මුදු බවින් අවබෝධයෙන් ගේහසිත දිවිය ජයගන්නට බැරු වුණු කල ඇති වන තත්වය කුමක්ද? නිතර අඬ දබරය. කෑ ගැසුම් ය. බැණ අඬ ගැසුම්ය. ගහ මරා ගැනීම්ය.

ගේහසිත දිවියේ වරද බිරිඳක ගේ පිටම පැටවිය නොහැක. එය සැමියෙකුගේම පිටත් පැවරිය නොහැකිය. සමහර විට ඒ දෙදෙනාගේම වරද විය හැකිය. සමහර විට එක් අයෙකුගේ වරද විය හැකිය. එහෙත්, කවුරුන් වරද කළත්, සාමය කඩවී හිත් රිදෙයි. හිත් බිඳෙයි. දත් කැඩෙයි. අඬු කැඩෙයි. ජීවිතද අහිමිවෙයි. නැති නම් යුග දිවිය අහිමි වෙයි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් ලියූ විශාරද නන්දා මාලිනිය ගයන මේ ගීතය බලන්න.

දෙතොළම පුපුරා ලේ ගැළුවා
දෙකොපුළ නිය පහරින් වැසුනා
ගත සිත පා මුළ වැඳ වැටුණා
පතිනි වරුන් ප්‍රාර්ථනා කරණා
දිව්‍ය ලෝකයද මේ.....

මේක දිව්‍ය ලෝකයක් විය හැකිද? එය අපායකි. එහෙත් ගීතයෙන් එසේ විමසන්නේ ඔවුන් දිව්‍ය ලෝකයක් වැනි යුග දිවියක් ප්‍රාර්ථනා කළ නිසාය. බලාපොරොත්තුව එකකි. ප්‍රතිඵලය අනෙකකි.

මධු පැන් ඔඩමේ පතුලේ කිමිදී
කාගේ දෝ රූපය සොයමින්
සැකයෙන් ඇයි මා ගරහන්නේ
මන්ද නිදොස් මා රිදවන්නේ.....

ඔහු ගෙදර එන්නේ හොඳටම බීගෙනය..... බීගෙන ආ විට මාතෘකාව ඇය ජීවිතේටවත් නොදත් ඔහගේ සැක සංකා ලෝකයේ ඈ සමග සැරි සරණ කිසියම් පිරිමියෙකු ගැනය. රටේ ලෝකේ අහල පහල සකල විධ පිරිමි ඇයට පාවා දෙන්නට අනතුරුව ඔහු කටයුතු කරයි. එහෙත් අන් ළඳක් සමග වෙන ඇඳක තුරුළුව සිටින ඔහු ඇගේ අතටම හසු වුනත් එය ප්‍රතික්ෂේප කරයි.

අපට අපේ යැයි රහසක් තිබුණිද
එක් කෙනෙකුන් වූ දිනේ පටන්
මිදි ද ඇඹුල් වන ලොවක මෙසේ
දිගු කල් වසමුද රන් රස සේ......



කිසිම යුවතියක් දීගෙක යන දිනයේදී මෙවන් අත්දැකීමක් සිය විවාහ ජීවිතයේදී ලබන්නට බලා පොරොත්තු නොවෙයි. ඒත් බොහෝ යුවතියන්ට වන්නේ මෙවැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට ය.
දෙතොළම පුපුරා ලේ ගැළුවා ගීතය අසමු.



මේ, ගේහසිත දිවියේ සෘජු ගොදුරක්ද? වක්‍ර ගොදුරක්ද?

මධු බඳුන් දෙතොල්
විෂ බඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි
නිල් උපුල් නුවන්
ගිනි උඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි

ඇගේ දිවියම වනසා ඇත්තේ ඔවුන් ය. ඇගේ මුදු බව ඔවුන් සොරා ගෙන ගොස් ඇත. ඒ වෙනුවට ඈට ඔවුන් දී ඇත්තේ රුදු බව ය.
ගීතයේ ඊ ළඟ කොටසින් අපට යම් ඉඟියක් දෙයි. ඒ අනුව එය ගේහසිත දිවියේ සෘජු ගොදුරක්ද? වක්‍රාකාර ගොදුරක්දැයි සිතා ගත හැකි වෙයි.

සියුමැලි මා සිත තලා පෙළා රවටා
සිවු සැට මායම් ඔබයි කියා දුන්නේ
මියුලඟනක වූ මා මුදු හද රිදවා
වෛර කරන්නට ඔබයි කියා දුන්නේ...

දැන් නම් අපට පෙනෙනුයේ ඇය යුග දිවියක සෘජු ගොදුරකට වඩා වක්‍ර ගොදුරක් බවයි. නොදන්නා ඈ ඔවුනගේ රැවටුමේ පැටළුණු බවයි. අනතුරුව අනෙකුන් රැවටීමේ මායම්ද  කියා දුන්නේ ඔවුන් ම බවයි. ආදරය පෙන්වා නොමේරූ ඇය විනාස කොට, ආදරය කරණු වෙනුවට වෛර කරන්නට ඉගැන්වූයේ ඔවුන් ම බවයි.

රුදුරු සැපින්නක සේ හද ගැබ කලඹා
ද්වේශ කරන්නට ඔබයි කියා දුන්නේ
නොමැකෙන කැළලින් නොනිවෙන ගිනි මොලවා
වරදෙ බැඳෙන්නට ඔබයි කියා දුන්නේ....

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නිර්මලා රණතුංග

මධු බඳුන් දෙතොල් ගීතය අසන්න.



තවත් කොටසකින් හමුවෙමු.



-      යසනාත් ධම්මික බණ්ඩාර   -

Monday, May 9, 2016

වැලි කැටයක් ලෙස - ඔබ මා ගැන සිතුවේ






පෙර බ්ලොග් සටහන ලියන විට මම මගේ ඊ ළග බ්ලොග් සටහන වෙන් කරන්නට හිතුවේ යොවුන් ප්‍රේමය හා බැඳුනු එක් ඉසව්වක් ගැන ලියැවුණු ගීත වලට ය. එක් ඉසව්වක් යැයි කිව්වේ එහි විවිධ ඉසව් ඇති බැවිනි.

ප්‍රේමවන්ත ඇස් දැකීම, ප්‍රේමවන්ත සිත් පහළවීම, ප්‍රෙමවන්ත සිත් ඇතිව ළංවීම, ප්‍රේමයෙන් බැඳීම, ප්‍රේමයෙන් වෙලීම, ප්‍රේමය වෙනුවෙන් හැඬීම( වෙන් වීම නිසා නොවේ, එළඹෙන බාධක හිරිහැර නිසා වන හැඬීමයි), ප්‍රේමය වෙනුවෙන් අවදිවීම, ප්‍රේමය වෙනුවෙන් නැගිටීම.....

මේ මා ඒ කී ප්‍රේමයේ ම විවිධ ඉසව් ය. ඒවා ගැන ලියැවුණු සුන්දර, හැඟුම් බර, මිහිරි ගී කොපමණක්ද?

ඊ ළඟට ප්‍රේමයෙන් පැරදීම, ප්‍රේමයෙන් දිනීම, ප්‍රේමයෙන් වෙන්වීම, ප්‍රේමයෙන් බැඳී, එහෙත් එක් වන්නට නොහී පෙම්වතුන් සේම වියපත්වීම....... මේ එහි ම තවත් පැතිකඩයන්ය. ඒ හා බැඳුනු සුන්දර, හැඟුම් බර, මිහිරි ගී කොපමණක්ද?

ඊ ළඟ දේ නම් ප්‍රේමයෙන් දිනා එක් කැදැල්ලකට කූඩු වීම ගැනයි. අනතුරුව කූඩුවේ දිවිය පිළිබඳව ඇති වන සතුට, සොම්නස, දොම්නස, ජය පරාජය ආදී දේය.

මා අද සටහන ප්‍රේමය වෙනුවෙන් වෙන් කරන්නට හිතුවත් අවසානයේ ක්ෂනික තීරණයක් මත ඒ ඉඩ වෙන් කරන්නේ කූඩු වූ පසු ඇතිවන විවිධ හැල හැප්පීම් ගැන ලියැවුණු ගීත කිහිපයක් ගැන කතා කරන්නට ය.

මේ සමහර ගී හරියටම කුමන බෙදීමකට අයත් ද යන්නද සමහර විට අපැහැදිලිය. කූඩු වූ පසු දිවිය ගැන ලියූ ඒවා වන්නටද හැකි කූඩු වන්නට පෙර දිවිය ගැන ලියූ ඒවා වන්නටද හැකි ගීතද ඒ අතරේ එයි. එහෙත් කොයි තැනකදී හෝ ඒවා කතා කළ යුතු බැවින් මෙහි කතා කරන්නට සිතුවෙමි.

ආරම්භය ගන්නේ අද දිනයේ එතරම් ප්‍රකට නැති ගීතයකිනි


දයා ද අල්විස් 
විසින් රචනා කර ඇති එම ගීතය සංගීතවත් කරණු ලබන්නේ චන්ද්‍රදාස බෝගොඩ සංගී.ඥයා විසිනි. ගැයුම  



ඉන්ද්‍රාණි බෝගොඩ
ගෙනි. හදිසියේ මා ලියන සටහනේ මැය වෙනස් වන්නට හේතුව වූයේද මේ ගීතයයි.

සති දෙකකට තුනකට ඉහත දිනක අපේ ගෙදර උදවිය සිය සොහොයුරිය බැලීමට නෑ ගම් ගොස් සිටියෙන් ද, ළඟම මිතුරන් දෙනෙකුද එවන්ම වූ නිදහසක් ලබා තිබුණෙන්ද, කලකින්, අහම්බෙන් උදාවූ නිදහස් දිනයේ එය සැමරීමට පුචි මධුපානෝත්සවයක් පැවැත්විනි. උත්සවයක් කීවේ නිකං වචනයට ය. එය පුංචි හමුවක් පමණි. ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ දිග හැර ගත්තේ වාද්‍ය වෘන්දයක් නොසිටි බැවිනි. අපි ඔක්කොම හතර දෙනෙකි. සමාන රස වින්දන පරාසයන් සහිත.

තුහිරේ ගැයුම වැයුම අසමින් පිවිසුනු මේ රස වින්දන හෝරා කිහිපයෙන් පළමු විනාඩි ගණන පමණක් එවන් ඒවා සඳහා වෙන් කළෙමු. ඒ සඳහා වෙන් කළේද මුල් බීර ඔඩම හිස් වන තෙක් පමණි.

අනතුරුව එළඹුනු කාලයද, පිරවුණු බීර ඔඩම්ද වැය කළේ 70 දශකයේ ගී වෙනුවෙනි. එදින වාදනය වුණු 70 දශකයේ ගී රැසකම අන්තර්ගතය විමසා බැලූ විට එහි තිබුණේ  ගේහසිත දිවියේ විවිධාකාර වූ ගැටුම් සහගත බව ගැන කියැවුණු ගීත ය. එයයි මේ සටහනට මා සිත ඉක්මණින්ම පොළඹවන ලද නිමිත්ත වූයේ.

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

මිනිසුන් එක් වෙයි. සමහර අය ට වෙන්වන්නට වෙයි. සමාජය තුළ ඇති සරල අර්ථකථනය අනුව දෙදෙනෙකුගේ වෙන්වීම යනු සෑම විටම එකෙකුට මහත් වූ දුකක් අත්වීමකි. අනෙකාට සතුටත් සැනසුමටත් කරුණකි. සමාජය අනෙකුන් ගේ ගැටළු දකින්නේ අනෙකුන්ගේ ම ගැටළු ලෙස පමණක් බැවින් මානව හැඟීම් සහ ගැටීම් මත ඇතිවන ප්‍රශ්ණ දෙස ඊට වඩා ගැඹුරින් දැකිමට ඔවුන් උත්සුක නොවෙයි. උත්සුක වුවද දැකිය නොහැකි වෙයි.

ඔවුන්ගේ දසුන තුළ තමාට වඩාත් සමීපතමයා වඩා නිවැරදි අය වෙයි. වඩා දුරස් පුද්ගලයා වඩා දුරස් වෙයි. ගතින් සමීප නැතත්, සිතින් සමීප නම් ඒත් එලෙසින්මය.
සමහර විට කුමන තත්වයන් යටතේ හෝ අනුකම්පාව කාන්තාවක් බැවින් කාන්තාවටම හිමිවෙයි.  ඒ අනුව පිරිමියා කාන්තාවකක නොවූ බැවින් සෑම විටම වරදකරු වෙයි. 

එමෙන්ම සෑම කාන්තාවක්ම චපලය වැනි අවර ඝනයේ මත දරන්නවුන් කාන්තාවන් වෙතම වරද පටවන අවස්ථාද හමු වෙයි. එතැනදී මතුවන තවත් අතීත කතාවක් කාන්තාවට අවාසියට හේතුවක් වෙයි. ඒ නම් ළඳුන් කොහි වෙද වරදෙ නොබැඳෙන යන්නයි. එවිට කාන්කාවක් වූ බැවින්ම ඇය වරදකාරිය වී කාන්තාවක් නොවන බැවින් පිරිමියා නිදොස් වෙයි.

 එහෙත් මේ ගැටළු දෙස වඩාත් විමසිලිමත්ව බැළුවහොත් ඒවා එකකට එකක් බැඳී අවුල් වූ ලිහා ගත හැකි සහ නොහැකි ගැට රැසකින් සමන්විතව ඇති බව පෙනී යයි.

ගැට ලිහා ගැනිමට දරණ වෑයම සහ ලිහා ගැනීමට ඇති අවශ්‍යතාව මත වෙන්වීම සමහර විට නවතී. සමහර විට ප්‍රමාද වෙයි.

මගෙ ජීවිතයම ඔබෙන් සැදුනු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී

මේ කොටසින් අන් අය මොන මොන දේ හඟිනවාදැයි මම නොදනිමි. එහෙත් මට වැටහෙන්නේ මෙලෙසිනි. 

ඔහු වෙන්ව ගිය පසුව ය ඈට දැනුනේ ඇගේ මුළු ජීවිතයම සැදී ඇත්තේ ඔහුගෙන් බව. අවමයෙන් එය හොඳින් දැනුනේ වෙන්ව ගිය පසුව යැයි වත් කියා නැත. දැනී ඇත්තේ වෙන්ව ගිය පසුවම ය.

එතෙක් ඈට ඔහුව දැනුනේ කෙසේද

මා, අපි ආදරයට කියන දයා අක්කා ගේ ගීත රචනයෙහි අඩුවක් සෙවීමට හදනවා නොවේ. එය භාවිතා කරණුයේ, අපේ ඇත්ත ජීවිතයේදී මේ තත්වය මෙසේ ම නොවේද කියා විමසීමටය. ඒ ඇත්ත ඈ රචනා කරද්දී නිරායාසයෙන්ම මතු වුණා වන්නටත් ඇත.

ඇත්තටම එකට සිටියදී මේ වටිණාකම් දැකීම කොතරම් අවම ද යන්න ඔබම සිතන්න. ඈ ඔහුගේ වටිණා කම් නොදැකීම ගැන නොවේ මම කියන්නේ. එසේ කියන්නට වූයේ කතක් විසින් කතකට ගැයීමට ලියූ ගීයක් විමසුමට ගත් නිසාය. පිරිමියෙක් මේ සිද්ධියම පිරිමියෙකුට ගයන්නට ගත්තේ නම් ඒත් මේ විදිහේම වනු ඇත.

මා කියන්නේ එකට සිටියදී එකිනෙකා ගේ වටිණාකම් නොදකින බවය. එකිනෙකා අගය කර නොගන්නා බවය. එකිනෙකා නොතකන බවය.

මේ පිළිබඳව මෑතකදී ඇති වුණු කතා බහක් මෙහි ලිවීම වටනේ යැයි සිතමි.

එය ඇති වුණේ අන් දෙදෙනෙක් අතර නොව අප දෙදෙනා අතර ය.

දරුවනට සුදුසු සහකරුවෙක් සහකාරියක් සොයා ගැනීමට ඉඩ දීමේදී ආදරය, දැන උගත්, බුද්ධිමත් කම්, වතු පිටි ධන ධාන්‍ය ඇති බව ආදී දේ වලින් යම් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසන්නට වුව හොත් මාගේ ලැයිස්තුව කෙසේ වේදැයි ඇය විමසූ විට මා කීවේ,

ආදරය වැටෙන්නේ ස්ථාන කිහිපයක් පහළට. දැන උගත් බුද්ධිමත් කම්, වතු පිටි ධන ධාන්‍ය ඇති බව, හැකියාව බලවන්ත කම  ආදී දේ ඉහළට. ඒකට හේතුව නම් ආදරය අංක එකෙහි තබා අනෙක් කිසිවක් නැති සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දුන්නොත්, අවසානයේ බැන්දාට පසුව ඔවුනට ආදරයත් මුදල් හදල් සැප සම්පත් යන කිසිවක් නැති වන නිසා බැවිනි. මින් මා කීවේ ධනය නැති තැන ආදරය නැතිව යන බව නොවේ. බැන්ද සැනින්, නැති නම් අර නිල සහතික පත්‍රෙය් අත්සන තැබූ සැනින් ආදරය කිරීම අතහරින පෙම් වතුන් ය අප යන අදහසේ පිහිටාය. එතැන් සිට සිටින්නේ ආදරවන්තයින් නොව, ලියැවිල්ලකින් බැඳුනු, ස්වාමියා සහ බිරිඳ නමැති එකිනෙකා අනෙකා තමන්ගේ යටත් වැසියෙකැයි සිතන දෙදෙනෙකි. ඒ නිසාය ආදරය ප්‍රමුඛතා ලැයිස්තුවේ පහලට වැටුණේ.

පුදුමා කාර පෙමකින් වෙලී සිට, එය අහිමි වුවහොත් දිවි පිදීමට පවා පෙළඹෙන මේ පෙම්වතුන් විවාහ සහතිකයේ අත්සන තැබූ සැනින් ප්‍රේමය අහෝසි කර ගන්නා මේ පුදුමාකාර රූපාන්තරණය අත්දැකීමකින්ම ලියුවක්ද මේ?

මේ ගීතයේ මේ ඉහත කොටසින් ඒ පිළිබඳව ඉඟියක් නොසපයයිද?

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ

හැර දා ගිය ඔහු යළි ආවේය. එබැවින් ඔහු දෙවියෙකු බව හැඟුනි. එහෙත්, හැර දා ගිය ඔහු යළි නාවා නම් සදා සතුරෙක් නොව්ද? යළි ඔහු නොආවා නම්, එවිට ගීතයේ අර දෙවෙනි කොටසේදී මුළු ජීවිතයම ලෙස වටහා ගත්තේ තව කෙටි කලකින්  සතුරෙකු ලෙස හිතන මිනිසෙකු නොව්ද?

ගිය සැනින්, තනිවූ සැනින්, සිය ජීවිතයම ඔහු වූවා නොවෙදැයි සිතන ඇය, ඔහු යළි ආ සැනින් දේවත්වයේ ලා සැලකීම වටහා ගත හැකි දෙයකි. එහෙත් වටහා ගත නොහැක්කේ එලෙස මුළු ජීවිතයම සේ හැර දා ගිය දවසේ හෝ වැටහුණු පසු ඔහු හෝ ඇය , යළිදු නොආවේ නම්, අන් කැදැල්ලක් තනා ගත්තේ නම්, මේ ගීතයේ මේ තුන්වන කොටස කෙබඳු වනු ඇතිද? යන්නය.

ඒ කොටසට වදන් ඔබම ගලපන්න. ඊට ඉඩ දී මම ගීතය පමණක් අසන්නට දෙන්නෙමි.
යූ ටියුබ් විඩිදෙකක් අමුණා ඇත්ේ සමහර අයට ගීතය අසන්නට ොහැකි වුණැයි කී බැවිනි.








පවුල් දිවියේ අවුල් අතරේමය පවුල් දිවියේ සතුටු සුවඳ මල්ද පිපෙනුයේ. නොඑසේව, කිසිදු ගැටළුවක් නැති, කිසිදු ගැටුමක් නැති පවුල් ජීවිත ඇතැයි සිතීම උගහට ය. ඇත්තේ නම් එවැන්නන් සැබෑම වාසනාවන්තයින් ය.

මහාමෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස
ඔබ මා ගැන සිතුවේ

මේ ද දයා ද අල්විස් ගේ රචනාවකි. ඇගේ බොහෝ ගීත වලට මේ ගේහසිත දිවියේ හැල හැප්පීම් නිමිත්ත වී ඇති අයුර අපට පෙනෙයි. විශේෂත්වය නම් ඒ හැල හැප්පීම් අතිශය ව්‍යක්ත ශෛලියකින් රචනා වීමයි.

විවා දිවිය යනු බරපතල වගකීමක් සේ සිතන අය මෙන්ම එහි කිසිදු බරපතල බවක් නොසිතන වගකීමක් නොගන්නා අයද සිටි. ඒ අතරමඟ අයද සිටි. එහෙත් මෙහි සිටින දෙදෙනා සිටින්නේ අන්ත දෙකේය. එබැවිනි කෙනෙක් අනෙකා ගැන මහා මෙරක් ලෙස සිතද්දී තමන් ගැන මහා මෙරක් ලෙස සිතන කෙනා ගැන ඔහු වැලි කැටයක් සේ සිතනුයේ.

මේ ගීතය පුරා ඇත්තේ මෙවන් දේ ය. වගකීම්සහගත බව සහ වගකීමෙන් තොර බව අතර වන මේ වෙනස ගැන කීමට ඇය භාවිතා කරණ යෙදුම් අතිශයින් සුන්දරය. අතිශයින් සුන්දර කතාවක් මෙහි ලිව්වාම එම සිදුවීම් වල, අත්දැකීම් වල ඇත්තේ කුමන වූ සුන්දරත්වයක් දැයි කෙනෙකු අසන්නට ඉඩ ඇත. නැත. මා කියන්නේ ඒ අසුන්දර කතාව කිමට ඈ යොදා ගන්නා යෙදුම් වල ඇති සුන්දර බවයි. ඇගේ රචනා ශෛලියේ ඇති සුන්දර බවයි.

මහා සයුර ලෙස මා සිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ සිතුදේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිණි කඳුළක් මෙනි ඔබ සිතුවේ
වැලි කැටයක් ලෙස
ඔබ මා ගැන සිතුවේ

මේ විදිහට යන ගීතය ඈ එහි දෙවන අන්තරා කොටසේදී උත්කර්ශයකට ගෙන එයි. ඒ උත්කර්ශය නිසාය මෙහි ඇති මහා ඛේදවාචකය මනාව මතුවී ඇත්තේ.

සඳ මඬලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතයම ලෙස මා පැතු දේ
එක මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස
ඔබ මා ගැන සිතුවේ

එය මීට වඩා පැහැදිලිව තවත් කුමන ආකාරයකින් නම් කිව හැකිද?

ඈ ජීවිතයම සේ සිතූ දේ ඔහුට එක් මොහොතක් පමණක් විය. ඉන් අනතුරුව ඈට ජීවිත කාලයම දුකක්ම විය යුතුය.

ගීතය සිය මියුරු සංගීත නිර්මාණයෙන් හැඩ කළේ 



ආචාර්ය වික්ටර් රත්නායක 
යන් ය. 
එය ගැයුවේ 


නිර්මලා රණතුංග 
යි.

මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි
ගීතය අසමු.


ජීවිතයම සේ පැතූ ගේහසිත දිවිය එක් මොහොතක් කළ මිනිසෙකු ගැන ලියැවුණු ඒ ගීතයෙන් අනතුරුව ඈට කුමක් වන්නට ඇතිද? ඈ කොහේ යන්නට ඇතිද? ඈ දිවියෙන් සමුගන්නට ඇතිද? නැති නම් ඈ ඒ අඳුරු මතකය අමතක කර දමා අන් කෙනෙකුට බැඳේනනට ඇතිද? නැති නම් ඒ අඳුරු මතකය දරමින්ම අන් කෙනෙකුට බැඳී එසේ බැඳුනද මැරි මැරී උපදිමින් ජීවත් වනු ඇතිද? එය පිලිතුරු නැති පැනයකි.

ඒ පැනයද ඒ ගීතයද එසේ තබා අන් කෙනෙකු වෙත යන්නට සිතුවද, අන් කෙනෙකු ළඟට යනවාට වඩා දයා ද අල්විස් ළඟම රැඳෙන්නට හිතෙන්නේ ඈ ම අර පැණයට යම් පිලිතුරක් වේ යැයි සිතෙන ගීතයක් නිමවා ඇතැයි මට හැඟුනු නිසාය. මේ බලන්න එහි ඇති ගැලපීම.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ

වරුසාව පොළොවට සම්පතකි. එහෙත් අකලට වැටෙන වරුසාව සමහර විට කරදරයකි. මේ ද එවන් වැස්සකි. සුබ පැතුම් සතුටට කරුණකි. ගමනට දිරියකි. එහෙත් ඒ සුබ දිනකයක ලැබුණෝතින් පමණකි. අසුබ දිනයක එන සුබ පැතුමින් ඵලක් නැත. තවත් එක් තැවුළක් පමණි. එලෙසින්ම යළි නොඑන්නටම ගිය පසු, හිතද හදා ගත් පසු, සමහර විට වෙනත් බැඳුම්ද මදා ගත් පසු ආයෙත් ඔහු ආවේ නම්..... බඹරයකට ගලක් ගැසුවාක් වැනි විය හැකිය. 

ඔහුගේ යළි ආගමනය කොතෙක් කරදරයක් වන්නේ වුව, ඔහු ඈ කරුණ ගැන ඇ බලන්නේ වෙනත් ඇසකිනි. ඒ බැල්මෙහි ඔහුගේ හැර යාම පිළිබඳව වෛරයක් ද්වේශයක් ගැබ් ව නැතැයි මට සිතේ.

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කඳුළු නුවනග මිදුණාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

පෙර පෙම මතක් වී යළිත් හද මල් පිපුණද,
සතුටු කඳුළු නැගී නුවනගෙහි ඒවා මිදුණද,
නටඹුන් වූ අතීතයෙහි විසිරී ගිය මතක දුහුවිල එක් කර මනෝ මන්දිර ඉදිකළද,
දැන් ඈ සිතෙහි තිබූ හිස්තැන පිරී ඇත.

අනතුරුවය ඈ දැන් ඈ සිත ඔහුට ඉඩක් නැති බව පවසන්නේ. එය මෘදු නමුදු සෘජු පැවසුමකි.

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ.




සංගීතය - නන්දා මාලිනී



ගායනය - නිරංජලා සරෝජිනී

ගීතය අසමු.


ගේහසිත දිවියෙහි අතොරක් නැති හැල හැප්පීම් ගැල ලියැවුණු මේ සටහන් නොකියවූයේ නම්, සමහර විට ඔබ සිතනු ඇත්තේ මේ දයා ද අල්විස් ගැන ලියූ සටහනක් සේය. එහෙත් අද මාතෘකාවට ගැලපෙන්නට ඈ ලියා තිබුණු වෙසෙස් ගේය පදවලින් නිම වුණු ගීත ගොන්න දෙස බැලූ විට අන් විදිහකින් සිදු වූයේද එයමය. සමහර විට ඊ ළඟ කොටස් වලදීද ඇගේ මතුවීම මට වැලැක්විය නොහැකිය. එවන් ගී රැසක් අමතක වන්නට නොදී ඇයව ඔසවා තබන බැවිනි.

මේ සියළු ගීත වල සංගීත පාර්ශ්වය ගත් විට ඒ ගැනද යමක් කිව යුත්තේම ය. මේවා ගේ ඇත්තේ ශෝකී රසයයි. ශෝකී රසය තිබූ පමණින් හොටු පෙර පෙර හඬනු නොව යටි සිතේ හැඟුම් අවදි කරවා සියම් රිදුමක් ගෙන දෙන සංගීතයක්ය නිර්මාණය විය යුත්තේ. අප අද විමසූ සෑම ගීතයකම ඇත්තේ එවන් සංගීතයකි. තනුවේ ද, රිද්මයේ ද, සංගීත සංකලනයේ ද යන සියල්ලේ ම ඇත්තේ එයයි. 

අප මෙහි කතා බහ කළ මේ බොහෝ ගීත සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණමය යුගය වූ 70 දශකයේ බිහි වූ ඒවාය. 70 දශකයේදී උත්කර්ශයට පැමිණ, 80 දශකයේදී ඒ උත්කර්ශය පවත්වා ගැනීමට වෑයම් කොට එහි අග භාගයේ සිට අද වන තෙක් ඉහළට නොව පහළටම ගමන් කරණ සිංහල ගීතයේ මේ අපි කියන සුන්දරත්වය 70 දශකය නොවුණා නම් අපට ඉතිරි වේ දැයි මට ඇති මහත් සැකයකි. අදටත් අප වැන්නන් රස විඳින ඒ බොහෝ නිර්මාණ 70 දශකයේ බිහි වූ නිර්මාණයන්ය.

මේ මැයෙන්ම ලියවුණු තවත් ගීත ගොන්නක් අතැතිව ඊ ළඟ කොටසින් ඔබ හමුවට එන තෙක්, මම,



-      යසනාත් ධම්මික බණ්ඩාර   -