Sunday, December 2, 2018

සහෝදරත්වය මැන්නද ඉඩම් මනින යන්තරේ





වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන                              
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන

මේ වෙරළු ගෙඩිය ගීතය ගැන සටහනක් නොවන බව පළමුවෙන්ම කියා සිටිමි. එහෙත් ඒ ගැන කියැවෙන මේ අදහසුත් කියවාගෙනම ඉදිරියට යන ලෙස ආරාධනා කරමි.



විශාරද සුනිල් එදිරිසිංහ
යන් ගයන මේ ගීතයේ පද රචනයට හිමිකම් කියන්නේ  

වසන්ත කුමාර කොබවක 
ගීත රචකයාය.  


සංගීත නිර්මාණය  

ආචාර්ය වික්ටර් රත්නායක  
යන්ගේය.



මේ මුල්පද කිහිපය කියවා ගත් සැනින් යමෙකුට එහි අරුත වටහා ගත හැකි වෙයි. ඊට හේතුව මේ බිම්කඩක අයිතිය වෙනුවෙන් පවුල් අතර හෝ පවුලේ අයම අතර ඇති වන ආරවුල් අපේ සමාජයේ සෑහෙනට දැක ගත හැකි බැවිනි.

මේ, මේ මාත්‍රෘකාව ඔස්සේ රචිත ගීත ගත් විට මගේ අංක එකේ ගීතය නොවේ. එහෙත්, මා එසේ පැවසූ පමණින් මෙය අංක දෙකට පහළ දැමිය හැකි ගීතයක්ද නොවන බව කිව යුතුය. කෙසේ නමුත් මට වඩා ඉහළින් දැනෙන ගීතය ගැන මී ළඟට කතා කරන්නට තබා මේ ගීතය ගැන මදක් විමසමු. මේ ගීතයත්, මී ළඟ ගීතයත්, ඊ ළඟට අප කතා කරන්නට හිතෙන වෙනත් එවැනිම අපූරු ගීතයකට අබරණ ලෙසිනි.

වෙරළු ගෙඩියක ප්‍රමාණය කවුරුත් නොදන්නේ නොවේ. එය සෑහෙනට කුඩා ප්‍රමාණයේ ඵලයකි. එහිද වැඩි ප්‍රමාණය ඇටය වන බැවින් කෑමට ගත හැකි මාංශලය තවත් කුඩා ප්‍රමාණයකි.
වෙරළු ගෙඩියක් හරි අටකට කපා ගත් විට එහි ඇත්තේ කුමක්දැයි කෙනෙකු හිතනවා වන්නට පුළුවන. ගීතයක පද සෘජුව එකිනෙක හරියටම විමසීම සමහර විට ඔබ තුළ ඉතිරි කරන්නේ අභව්‍ය සිතුවිලි එකතුවක් විය හැකිය. එබැවින් සමහර ගීතයකදී අප ගත යුත්තෙහි එහි ඇති අරුත් ගුණය මිස සත්‍ය අරුත නොවේ.
මෙහි එතරම් කුඩා දෙයක් වුව, බෙදා හදා නොගෙන තනිව හිමි කරගැනීම කිසිදා නොකරණ බව තුළ වන පවුලේ සමගියේ ඇති ගුණයයි එයින් කියන්නට උත්සාහ කර ඇත්තේ.

මේ වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කන පවුල වෙරළු ගෙඩිය මෙන් කුඩා එකක් නොවේ. ඒ කාලේ හැටියට ලොකුම පවුලක් නොවුණත් මේ කාලේ හැටියට පුංචි පවුලක්ද නොවේ. එහි සාමාජිකයන් අට දෙනෙකි. ඒ අනුව දුවා දරුවන් හය දෙනෙක් විය යුතුය.

ලොකු පවුලක් සතුව ලොකු හයියක් වෙයි. මේ ගීතයේ

උන් අපි එදා සත්කුළු පව් විලාසෙන

යන පදයෙන් එය මනාව කියවෙයි. එකා වන්ව සිටින පවුලක ශක්තිය සත්කුළු පව්වක ශක්තිව වැන්න. එහෙත් ඒ සාමය සමගිය භේද භින්න වූ කල, පවුල නැති කරන්නට පිටින් සතුරන් අනවැසිය. ඒ සන්තෑසිය මේ පවුලටද වී ඇති බව ඒ පළමු පාදයේම අවසන් පදයෙන් කියැවෙයි.

අද ඔවුන් මහ ගෙදර ඉඩම කැබැලි කොට ගැසූ වැට මායිම් වලට හබ කර ගන්නා ඇණ කොටා ගන්නා විනාස වුණු පවුලක් වෙයි.


පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසා ගෙන
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

පුංචි සන්දියේ මේ සියල්ලටම මහ ගේ ලොකු වුණාට, උස් මහත් වූ විට මහ ගෙයි කුඩා වෙයි. එබැවින් අන් අයගෙන් තොර තැනක් වනු දකින්නට බොහෝ අය උත්සාහ ගන්නා හැටි අපි සමහර තැනෙක දකිමු.

බාලයාට මහ ගේ හිමිවන යම් සම්ප්‍රදායක් අපේ රටේ විය. එය දිගටම පවත්වා ගත යුතුද නැතිද යන්න මම මෙහි නොකියමි. සමහර විට ඉඩමක් කඩමක් නැතිව, ඒවා උපයා ගන්නට හරි හමං මගකුත් නැතිව වැඩෙන බාලයාට වඩා අසරණ ලොකු උන් සිටිය හැකිය. එවිට මේ සම්ප්‍රදාය උගේ කටට පස් වැටෙන දෙයක් විය හැකිය. එහෙත් ඒවා වෙනස් කර ගත යුත්තේ උස් සමගිය මිටි නොවන අයුරිනි.

සම්ප්‍රදායක් වශයෙන් මෙහි ප්‍රායෝගික වටිණාකම ප්‍රශ්ණකාරී වූවද, එයම ප්‍රායෝගිකව මොන තරම් සහනයක් සිතට දෙන්නේද යන්න දන්නේ අත්දැකීමෙනි.

කුමණ දුක් ගැහැට ඉසිළුව පවුලක් වුව, බාලේ මතකය මල් සුවඳමය. ඒ දරු සංදියේ තිබුණු ඇයි හොඳයි කම් මේ ඉඩ කඩම් වලට ඇති මෝහය කීතු කීතු වශයෙන් ඉරා දමන බව අපි නොදන්නා දෙයක් නොවේ.

තිරිසන් උනෝතින් කිසි හවු හරන නැතී
ලන්දක කකා ලන්දක කල් යල් අරිතී
එක මිහි සයන කාටත් නිති සුවය දෙතී
බිම් පංගුවට ලොල් වී මල ගම නොයතී

මේ සන්තෑසියේ යම් යම් අවසන් ඵලයන් අවසාන පාදයේ ලියැවී ඇත. එහෙත් එවන් කතාවක අවසානම ඵලය එය නොවේ. ඒ සමහර කතාවල අවසානම ඵලය සමහර විට ආනන්තරීය පාපකර්මයක් වුව විය හැකිය. ඒ කුමණ වූ ආනන්තරීය පාපකර්මයදැයි මම මෙහි නොලීවාට ඔබට වටහා ගත හැකිය.

වෙරළු ගෙඩිය ගීතය අසමු.



* * * * * *
නාගොල්ලාගම නිමල් ආනන්ද 



විශාරද ගුණදාස කපුගේ 
ට ලියූ සුවිශේෂ ගීතයක මතකය අපේ ලෙයට මසට මුසුව ඇත්තේ වසර තිහ හතලිහකටත් පෙර සිටමය.

අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු අද දවසේ

එදා එක් කුසින් මෙලොව එළිය දැක, එකට හැදී වැඩී, එකපත බෙදා‍ගෙන එකට අනාගෙන කෑ මෙහි අයියණ්ඩි අද වන විට රජෙකි. රජෙකි යනු, උසස් නිල තල දරණ ධනය බලය හිමි කරගත් යන්නයි. නිවසේ කැණ මඬලට ගිනි ඇවිලුකේ ඔහු පැමිණ ගිය දාය. පැමිණ ගිය බැවින් ඔහු දැන් ගම නොවසන බව පැහැදිලිය. ඔහු සමහර විට වසන්නේ කොළඹ රටේ විය යුතුය. කොළඹ රටේ නැතත්, ගමෙන් බොහෝ ඈත ලොකු නගරයක විය යුතුයි. එහෙත්, මේ මලණුවන් තවම වසන්නේ ගමෙහිමය. උපන් ගෙදරමය. ඔහු සිය අයියණ්ඩිය රජ වී ඇතැයි කීමෙන් ඔහු රජ වී නැති බවද නොකියා කියයි. එසේනම් සමහර විට ඔහු ගමට වී ගොවිතැනක් බතක් කරගෙන කුලියක් යලියක් කරගෙන සිටිනවා විය යුතුය. එසේම අද වන විට රජවූ සිය සොයුරාට තමන්ව අමතක ව ඇත. එසේ වීම අයියණ්ඩියට අවුලක් නැති විය යුතුය. එහෙත්. මලණුවන්ට එය වේදනාවක් විය යුතුය.

මං අමතකද නුඹ රජ වූ අද දවසේ යන විමසුම තුළ ඇත්තේ උඹට හරි ගිය නිසා මටත් සලකපං යන්න යැයි මට නොසිතේ. එහි ඇත්තේ අයියණ්ඩියගේ ඉවසාගත නොහැකි වෙනස පිළිබඳව වේදනාවය යන්නය මට හිතෙන්නේ.

අම්මා එක්‌ක දබරව පැන ගිය වැත්තේ
ළැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පැලකට ඇයි නුඹ විරසක වෙන්නේ

ඔහු අම්මා සමග යම් හේතුවක් මත අඬ දබර කරගන්නා විට මේ මළණුවන්ගේ පපුව පැලෙන තරමේ කැක්කුමක් ඇවිලේ. කකා ඉන්නා බත හිරවේ. අනතරුව කෑමට හිතක් නැතිව කුස ගින්නේ හූල්ලයි. රණ්ඩුවට හේතුව වී පෑලක වපසරියෙන් යුත් කුඹුරකි.

මේ වී පෑල යැයි කී විට අද නම් නොදන්නෝ සිටිති. හේතුව ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වීමයි. ග්‍රාමීය ඇසුර නැති වීමයි. ගමේ මතකය අමතක වීමයි.

ඉස්සර මඩ ඉඩම් මැනීමේ ඒකකයක් ලෙස භාවිතා කළේ එහි වැපිරෙන වී ප්‍රමාණයයි. වී ලාස් අටයි. වී බුසලයි. වී පෑලයි. කිව්වාම ඒ වී ප්‍රමාණයක් නොවේ.කුඹුරු ඉඩම් ප්‍රමාණයකි. මෙහි වී පෑලක කුඹුරක් යනු සාමාන්‍යෙයන් ගොඩ ඉඩම් නම් පර්චස් 100ක පමණ ප්‍රමාණයකි.

මේ ගීයේ මේ මේ ධන බල හිමි අයියණ්ඩිය අම්මා සමග ඔට්ටු වෙන්නේ ඒ පර්චස් 100ක ප්‍රමාණයේ නැති නම් වී පෑලක ප්‍රමාණයේ කුඹුරු ඉඩමක අයිතිය වෙනුවෙනි.

ඉරට සැපක්‌ දෝ නියගය දළු ලෑම
සඳට සැපක්‌ දෝ ගනඳුර පිදීම
නුඹට සැපක්‌ දෝ අපි තනිකර යෑම
මහපොළවකට නඩු හබ ඇයි ගතු කීම

නියගය දළු ලා වැඩී මහ පොළොව දැවුවාම ඉරට සතුටුදැයි රචකයා කල්පනා කරයි. ලොව හාත් පස ගණඳුරින් වැසුනාම සඳ ඒ ගැන සතුටු වේදැයි රචකයා කල්පනා කරයි. එහෙත්, තමන්ව මේ විදිහට අසරණ කර යෑම සිය අයියණ්ඩියට සැපක් වේ දැයි ඔහු කෙසේ සිතන්නද? මහ පොළොවකට සහෝදරයින් සමග නඩු හබ කියන්නේ කුමකටද?

මේ තැනි ඔබ්බේ වූ කිසිවක් රචකයා අපට නොකියයි. අර පැණය පමණක් ඉතිරි කරයි. අනතුරුව සිය අයියණ්ඩියටම අර ඉඩම ලියා ගන්නට ඉඩ දී ඔහු නිහඬ වූවා විය යුතුමය. මේ ගීයේ ස්වරය අනුව වඩාත් වන්නට ඉඩ ඇත්තේ එයයි.
ධන බල නිල ඇති අයියණ්ඩිය අර අයුරින් සිතද්දී කම්පිත මේ මළණුවන් කිසි දා ඒ වෙනුවෙන් සිය සොහොයුරා සමග නඩු හබ රණඩු සරුවල් වල පැටලෙතැයි අපට නොසිතේ.

මේ ගීතය ලියන්නට ඇත්තේ සත්‍ය අත්දැකීමක් මත වන්නට ඇත. නැති නම් අතිශය සමීප අත්විඳීමක් නිසා වන්නට ඇත. බිමේ අයිතිය වෙනුවෙන් ඇති වුණු එවන් අනන්ත අරගල අපට මේ පොලොවේ නුහුරු ඒවා නොවේ. මේ දෙවිදිහේම අයියලා මල්ලිලාද අප නොදැක ඇති චරිත නොවේ.
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගීතය අසමු.


 * * * * * *

මේ ගීය මෙසේ වෙද්දී මට ටික කලකට පෙර ඇසුනු අලුතින් බිහි වූ අපූරු ගීතයක් මතක් වෙයි. නැත. එසේ කීවොත් වරදකි. ඒ අලුත් ගීතය නිසා මට දැන් නිතර නිතර මේ අයියණ්ඩියේ ගීතය මතකයට නැගෙයි.

ඒ ගීය ඇසූ සැනින් මට එක් වරම මේ ඉහත සඳහන් අයියණ්ඩියේ ගීතය මතක් වන්නේ එය අයියණ්ඩියේ ගීතයේ කොපියක් වන නිසා නොවේ. නමුත් යම් සමාන සමීප අත්දැකීමක් අර සේම සාර්ථකව ලියැවුණු තවත් අවස්ථාවක් වන බැවිනි.

නුඹේ කොටහ මැනගත්තද
මිනින්දෝරු මල්ලී
වැරදීමක් හෙම උනාද
තුන්පාදය හෙල්ලී
යන්තරයෙන් අපව බෙදයි
නුඹේ ඇහැට නොපෙනී

මේ ගීතය ඇසන විට මගේ ඇඟ හිරි වැටෙන්නේ එය මගේ ජීවිත අත්දැකීමක් වන නිසා නොවේ. එය එලෙස නොවුණේ ඇයදැයි මා පෙරද කෙටියෙන් ලියා ඇත. අපිත් නිසි ලෙස කලමණාකරණය නොගත්තේ නම් යම් දවසක මේ අත්දැකීම වින්දේ නම්, එය කවර අයුරක වේදනාකාරී අත්දැකීමක් වන්නට ඇතිද යන්නය. අප නම් එය විසඳා ගත්තේ අතිශය සරල ආකාරයකටය.

දිනක් අප පියා මගෙන් විමසූයේ දැන් මේ ගෙදර ඉඩම සහ වාහන ආදය සම්බන්ධව යම් තීරණයක් ගත යුතුයි. කොහොමද කෙරන්න ඕනෑ කියා. එවිට මට කියා ඉඩමක් නොතිබුණි. මට මගේ නොවන වාහනයක් තිබුණි. ඒ කියන්නේ සියයට සියයක ලීසිං පහසුකම මත ගත් එකකි. එහෙත් මට මහ ගෙදර ඉඩමෙන් හෝ ඊට අයත් වාහනයෙන් සහ වෙනත් දේ වලින් කොටසක් ගන්නට හිත් නොදුන්නේ මගේ කොටහ ප්‍රතික්ෂේප කළෙමි. මගේ ඊ ළඟ මලණුවන්ගේ වස්තු හිමි කම් මගේ මෙන්ම වූවද, ඔහුද එය මා මෙන්ම ප්‍රතික්ෂේප කරණ ලද්දේ, කිසිදු ආරවුලක් නොමැතිව අපේ කොටස් පොඩි මල්ලිට හිමි විය. පොඩි මල්ලි ගේ දහස වූයේ අයියලාටත් කොටසක් දෙන ලෙසයි. එහෙත්, අපට එය ඒ මොහොතේද අනවැසි වූ බැවින් තිදෙනෙකුට බෙදී යන්නට දෙයක් නැති ඒ ඉඩම් කඩම් තවම නොබෙදී පවතී.

මගේ ඇඟ මේ ගීතය ඇසෙද්දී හිරි වැටී යන්නේ අප ඉන් ගැළවුණු ආතාරය සිහිපත් වීමෙනි. ඉන් ගැලවෙන්නට නොහැකි වූ අයියලා මල්ලිලා මේ ගීතය අසා හිරි වැටී පමණක් නොනවතිනු ඇත.

දැන් යළි ගීතයට පිවිසුනහොත්,

නුඹේ කොටහ මැනගත්තද
මිනින්දෝරු මල්ලී
වැරදීමක් හෙම උනාද
තුන්පාදය හෙල්ලී
යන්තරයෙන් අපව බෙදයි
නුඹේ ඇහැට නොපෙනී

මේ ගීතයේදී ඉඩමට ලොබ බඳින්නේ අර ගීතයේ මෙන් ධන බල නිල ඇති අයියණ්ඩියෙක් නොව ධන බල නිල ඇති මලණ්ඩියෙකි. ඔහු රැකියාවෙන් මිනින්දෝරුවෙකි.

මේ රැකියාව මත චර්යාවන් වෙනස් වන සමහර අවස්ථා අප දැක ඇත්තෙමු. එහෙත් ඒවා අසවල් අසවල් රැකියාය, අසවල් අසවල් චර්යාවන්ය කියා මා මෙහි නොලියමි. ඔබටත් සිතන්නට සිත් ඇත. එබැවින් ටිකක් සිතා වටහා ගන්න.

බොහෝ කාලයක සිට නූලට රූලට ඉඩම් මැණ හුරු මේ මල්ලිට මහ ගෙදර ඉඩමෙන් තමන්ට මැණ ගන්නට හදන කොටසත් නූලට රූලටම මණින්නට සිත් වූවොත් එය අරුමයක් පුදුමයක් නොවේ. සමාජය එදාට වඩා අද බොහෝ සේ විපරීත වී ඇත්තේ එය බලාපොරොත්තු විය යුතු දේකි.

මිනින්දෝරු මහත්වරු ඉඩම් මණින්නේ තුන්පාදයක් මත නැගුණු උපකරණයක් තුළින් නිරීක්ෂනය කර යම් යම් පාඨාංක ලබා ගැනුමෙනි. මේ තුන්පාදය අසමතුලිත වී නම්, මණින අවස්ථාවේ සෙලවී ගියේ නම් යම් වෙනස් කම් විය හැකිය. ඒ කුමන අයුරේ වෙනස් කම් දැයි තාක්ෂනයෙන් විස්තර කරන්නට මා අපොහොසත්මි. එහෙත් එය එසේ විය හැකි බව පමණක් දනිමි.

මේ ගීතයේ අයියණ්ඩිය අසරණව බලා සිටී. මලණුවන් නූලට රූලට මණිමින් සිටී. අයියණ්ඩිය සිත වේදනවාක් මුහු වන්නේ ඔහුගේ නීතියට රූලට අනුකූල, එහෙත් සහෝදරත්වයට මනුස්ස කමට අනුකූල නොවුණු හැසිරීම කෙරෙහිය.

මායිම වැටෙන්නේ වසර සියයකට ආසන්න මහ කොස් ගස මැද්දෙන් නම්....
මායිම වැටෙන්නේ ගෙදරත් දෙකට බෙදීගෙන නම්....
මායිම වැටෙන්නේ මෙතෙක් කලක් නා පිරිසිදු වූ වත්ත පහළ මහ ළිඳ මතින් නම්.....
එහෙත් මේ නූලට රූලට මැණ හුරු මළණුවන්ට ඒවා එතරම් ගෝචර නොවෙයි.

තුන් පාදය හෙල්ලී මැණුම වැරදුණාදැයි අසන්නේ තමන්ට පාඩුවක් වේ යැයි සිතන නිසා නොවේ. මළණුවන්ට පාඩුවක් විනි දැයි ඇසීමටය.

යන්තරයෙන් ඉඩම් මතු නොව මිනිස්සුත් බෙදන මේ විදිහ ඔහුට මහත් කලකිරීමකි.

අමතකවී ගියාවත්ද
සිරිත් විරිත් මන්තරේ
සහෝදරත්වය මැන්නද
ඉඩම් මනින යන්තරේ

බොහෝ යන්ත්‍රාණුකූල ජීවිත ගෙවන අයට සිරිත් විරිත් මන්තර අමතකය. ඒ අය අත යන්තරයක් ඇති කල, සහෝදරත්වය නොමැණෙයි. ඉඩ කඩම් ධන ධාන්‍යය පමණක් මැණෙයි.
එවිටය මෙය සිදුවන්නේ.

අයියා මලෝ දෙපසට කර
සිමෙන්ති කනු යාවුනේ
මොණර රැඟුම් පිරි දෝතින
මනුස්සකම ගිලිහුනේ...

මේ ගීතයේ රචකයා මේ එතරම් ගී ගණනක් රචනා කළ අයෙකු නොවේ. මා මෙතෙක් අසා ඇත්තේ ඔහු ලියූ ගීත දෙකක් තුනක් ගී වූ අවස්ථා පමණි. එහෙත් ඒ ගීත දෙක තුනින් කියැවෙන්නේ ඔහු තුළ සැඟව ඇති බුහුටි කවියෙකු පිළිබඳ කතාවයි.

ඔහු නමින්  



දර්ශන රසික අබේසිංහ  
යි.

මේ ගීතයේ අර්ථය මනා කොට ඉස්මතු කරණ සංගීත නිර්මාණය වර්තමානයේ අතිශය ප්‍රසාදවත් වැඩ කොටසක් කරණ, විශේෂයෙන් අලුත් රචක පරපුරත් සමග නිරන්තර නිර්මාණාත්මක ගනුදෙනුවක් කරණ  


විශාරද දර්ශන වික්‍රමතුංග  
ය.
ගීතය ගයන්නේ  


සමන් ලෙනින්  
ය. සමන් ලෙනින් යනු වර්තමාන ජාතික හඬ පෞරුෂයක් ලෙස වරින් වර මවිසින් හඳුන්වන්නට යෙදී ඇත. මේ ගැයුම තුළින්ද ඔහු සනාථ කරන්නේ ඒ බව නොවේද?

මේ තුන්දෙනාම සම අයිතිය දරන්නේ මා අර පෙර කී ගීත දෙක වැනිම වූ තවත් විශිෂ්ඨ ගීතයකට නොවේද?

මිනින්දෝරු මල්ලි ගීතය අසමු.




මම

-      යසනාත් ධම්මික බණ්ඩාර    -