Thursday, February 7, 2013

මළගිය ඇත්තන්ගෙන් ජීවත්වෙන ඇත්තන්ට...

මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා සහ ඒ ආශ්‍රිත ව බිහි වූ කව් ගී.....



මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් මළගිය ඇත්තෝ (1959) සහ මළවුන්ගේ අවුරුදු දා (1965) ලෙස නවකතා දෙකක් ලියා පළ කළද මේ එකම නවකතාවක් ලෙස මට සිතෙන එක වැරදි සිතුවිල්ලක් නොවේ යැයි සිතමි. මේ නව කතා දෙකෙහිම පරිසරය, වටපිටාව, සාමාජික සාමාජිකාවෝ, ගැටුම්, විසඳුම්, විඳීම්, විඳවීම්, හැඟීම්, දැනීම් සියල්ල පොදුය. කතා  දෙකකි. එක් ආත්මයකි. මේ කියන්නේ කතාවේ ආත්මය ගැනයි.

- මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නවකතා යුගලය -
මළගිය ඇත්තෝ හි ඇත්තේ දෙවෙන්දොරා සං මේ සිදුවීම් දාමය දකින අයුරයි. එයම නොරිකොසං දකින අයුරයි මළවුන්ගේ අවුරුදු දා හි ඇත්තේ.

සරච්චන්ද්‍රයන් යම් යම් කාලවල ලංකාවෙන් ජපානයට ගිය ආ බව මා අසා ඇත. එහි දි ලද අත්දැකීම් අනුසාරයෙන් මෙම නවකතා දෙක ලියවී යැයි කියැවෙයි. ඇත්තටම ඒ ඔහුගේ අත්දැකීම් දැයි මා සොයා බලා ස්ථිර කරගැනීමට  උත්සාහ නොකරමි. දිගටම එම මතය දැරීමට කැමැත්තෙමි. මක් නිසාද යත් එම අත්දැකීම ඔහු නොලැබුවා නම් මෙවැනි අත්දැකීම් සමුදායකින් මෙම නවකතා පිරවීමට ඔහුට නොහැකිවනු ඇතැයි සිතෙන බැවිනි. එය ආත්ම ප්‍රකාශනයකි.

මළගිය ඇත්තෝ පටන් ගන්නා තැනින් සහ මළවුන්ගේ අවුරුදුදා නිමවෙන තැනින්ද බිඳක් ගෙනහැර පා අනතුරුව මුඛ්‍ය අරමුණට යොමු වන්නට සිතුවෙමි. එහෙත් එක් නවකතාවක ඇරඹුම සහ අනෙක් නවකතාවේ අවසන අතර දිගු දුර තුළ අතහැරිය නොහැකි සංවේදී තැන් කොතෙක්ද? එබැවින් ඒ අතරවල් වලින් උකහා ගත් සංවේදී කොටස් කිහිපයක්ද මෙහි සටහන් කරන්නට මම තීරණය කළෙමි. ඔබගේ රසයටත් වඩා මගේ ම රස පිණිස ය. ඒත් ඒ සංවේදී කොටස් කියවූ පසු මට දැනෙන දේ ඔබටද දැනෙනු ඇත. එනම් ඔබේ උගුරද හිරවෙනවා සේ දැනෙනු නිසැකය.

මළ ගිය ඇත්තෝ මෙසේ ඇරඹෙයි. මේ දෙවෙන්දොරා සං ගේ ආත්ම ප්‍රකාශනයයි.

මා මේ වෘත්තාන්තය ලියන්නට පටන්ගන්නේ, එහි කියැවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවැනි කොටස ලියන්නට මට ඉඩ ලැබෙන්නට පුළුවන. එහෙත් අනාගතයෙහි, කියයුතු දෙයක් සිදුවේදැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කතාව අවසන් කරන්නට තිබුණි. එවිට මෙය, කරුණ රසයෙන් පිරි නිබන්ධයකැයි ඔබ කියනු නිසැකය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.

එසේ ඇරඹෙන  මළගිය ඇත්තෝ හි තැනක මෙවැන්නක් ඇත.

ඊ ළඟ දවස් කිහිපය, මා කෙබඳු සන්තාපයකින් ගතකළේ ද කියා මා හැර අන් කිසිවෙක් නොදනී. මට තෝකියෝවට ගිය නොහැකි ය. කියෝතොවල සිටිය නොහැකි ය. ආපසු ගම රට බලා යාමට ද මම සිතුවෙමි. එහෙත් කොයිබ ගියත්, මට මේ ලොව එක සේ ය. මා වටා මිනිසුන් දහස් ගණනක් සිටිය ද මම හුදකලාවෙන් පසුවෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිල්ල මට නුරුස්සයි.  කිසිවෙකුත් මට ආදරය නොදක්වතොත් මැනවැයි මට සිතේ. එය වඩා ලොකු සැනසීමකි.

දිවි නසාගැනීමේ සිතුවිලි මා තුළ උපන්නේය. මේ පරිසරයෙහි එය නින්දාවක් ලෙස නොගැණේ. මෙහි ජීවිතය මෙන් ම මරණය ද රමණීය ය. දිවි නසා ගැනීම නිවට බයාදු ක්‍රියාවක් නොවේ. දසයි ඔසමු තරම් හොඳට අන් කිසිවෙකු දිවි නසා ගැනිම වෙනුවෙන් තර්ක කරණු මා අසා නැත. නොරිකො මට ජීවිතයේ සෞන්දර්යය මෙන්ම මරණයේ සෞන්දර්යය ද පෙන්වා දුන්නා ය. කෙනෙකු දිවි නසා  ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනීමට ය.  කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම්, ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි.

මළවුන්ගේ අවුරුදු දා හි ඇත්තේ මළගිය ඇත්තෝ කතා වස්තුව තුළ දිගහැරුණු සිදුවීම් දාමයම පිළිබඳව නොරිකෝ සං ගේ ආත්ම කථනයයි. එහි එක් තැනක් මෙලෙසය...

දෙවෙන්දොරා සං තම ප්‍රීතිය නිහඬව භුක්ති වින්දේ යැයි මට හැඟී ගියේ ය. ඔහු මුළු දවස තිස්සේ ම වචනයකට දෙකකට වඩා දෙඩුවේ නැත. මම වරක් ඔහුගේ මුහුණ දෙස හැරී බැළුවෙමි. ඔහු මා වෙතට හිස නැඹුරු කොට මුහුණ පුරා සිනාසුණි. එහෙත් යළිත් බොහෝ වේලාවක් ඔහු නිහඬ විය. ඔහු තුළ කිසියම් අමනාපයක් හෝ කාන්සියක් ඇද්දෝ යි මම බිය වීමි. මා ඔහු සමග ආවේ ඔහු පිනවීමට ය. ඔහු තුටු පහටු වනු දැකීමෙන් මගේ මන දොළ පිරේ.

“ ඇයි කතාවක් බහක් නැතිව ඉන්නේ? අද දවස අගෙයි නෙ?”

“ ඔව්, හොඳයි. ඒ වුණත් ඒ තරම්ම හොඳ නැති පැත්තකුත් තියෙනවා.”

“මොකක් ද ඒ? කියන්න. අද සන්තෝස නැද්ද?”

“සන්තෝසයි. ඒත් සන්තෝසෙ එක්ක ම කණගාටුවකුත් තියෙනව.”

“මොකක් ද කණගාටුව?”

“කොයි දේත් එහෙමනෙ. සැප කෙළවර වන්නේ දුකෙන්.”

“ඕකමයි නිතර ම කියන්නේ. මට නම් අද ලොකු ම සතුටක් දැනෙනව.”

“මං හිතන්නේ අපි මෙහෙම සන්තෝසෙන් කාලය ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිලා තියෙනව. ඒ වුණත් වෙලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන්  හිස්වෙලා යනව නේ ද?” 

“අන්තිමට වෙන දේ ගැන හිතන්නේ නැතිව මේ මොහොත ගැන හිතලා සතුට විඳින්න බැරි ද?”

“අන්තිමට වෙන දේ කොහොමද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධවෙනව. එතකොට කොයි තරම් දුකක් ද?”

“ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගටම අපි එකට හිටියොත් අපට එක එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව.  ඒ නිසා අපි දෙන්න අන්‍යෙන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ  දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?”

දෙබස එසේය. සොඳුරු හමුවීමෙන් අනතුරුව එළඹෙන්නේ ඒ හමුවීමේ සතුට විඳගන්නවා ට වඩා හමුවීම වෙන්වීමක් බවට පත්වීම වලක්වා ගැනීමේ දුෂ්කර ක්‍රියාවයි. සතුට ද වෙන්වීමේ ශෝකය ද යන අන්තරය තුළ පවතින ඕනෑ ම හැඟීමකට ඔහු හෝ ඇය වරින් වර මුහුණ දිය යුතු වෙයි. එම කාලයේ ඇත්තේ මිශ්‍ර හැඟීම්ය. මේ මිශ්‍ර හැඟීම විඳගැනීම සමහර විට වෙන්වීමේ ශෝකය විඳගන්නවාට වඩා කටුකය.


මළවුන්ගේ අවුරුදු දා එසේ නැති නම් නොරිකො සං ගේ ආත්ම ප්‍රකාශනය අවසන් වන්නේ කුමන තැනකින්දැයි ඒ හා ජීවත් වූවෝ දනිත්. එහෙත් නොදන්නා අයෙක් වේනම් හෝ අමතක වූවෙක් වේනම් මතක් කරගනු වටී. එය මෙලෙස ය. දෙවෙන්දොරා සං මැරි මැරී ජීවත් වන මග අතහැර ස්ව කැමැත්තෙන් ම ජීවිතයට සමු දෙන්නට හිත හදාගෙන තිබිණ.

අපි ඔහු සොහොන් බිමට ඇරලූයෙමු. තමබොචි සුසානයට, ම පියාණන් ගේ වළ ගාවට. මේ වර සියළු දෙන ම ආ හ. හිදෙජි සං හා මොමොකොත්, කිමිකො චං හා වියෙකොත්. කුඩා යුකිකො චං පවා.

දෙවෙන්දොරා සං ඇරලන්ට සියලු දෙන ම ආහ.

මේ වර පිටත් වන්ට පෙර තක්සිය ගාවට මා ඇරලන්ට යැයි මම ඔහුට නොකීවෙමි. මම දිරිගෙන හුන්නෙමි. ඔහු යන තෙක්. මෙ වර ඔහු පෙරලා එන බව මම සැක නැතිව ම දනිමි. මා ඔහු ඇරලූයේ නකජිමා සොහොනට ය. මගේ පරම්පරාවේ සොහොනට ය. ඉන් ඔබ්බෙහි මගේ පියාණෝත්, ඥාතීහුත් වෙසෙති. ඔවුන්ගේ සහව්‍යතාවට ය ඔහු යන්නේ. කවදා හෝ නමුත් ඔවුන් කැටුව යළි ඔහු මෙලොවට එන්නේ ය.

එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අදත් හෙටත් දෙකම එකයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත්, කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.

මම එබඳු වියරු බස් නො දෙඩුවෙමි. එබඳු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමට ද? ඔහු නිසොල්මන් ව සිටී. සිත දැඩි කරගෙන, ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්ය ය. ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවන නියත ධර්මතාවයකි එය.

තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකොටද කල් දාලා. ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.

ඔහු දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ  මට දැනුණි. යළිත් ආ නොහැකි නිසා නොවේ ද ඔහු යන්නේ. නොගියොත් යළි ආ නොහැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද  හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.

දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණේවා කියා ය. මෙවර ඔහු රඳවාගත නො හැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙමි. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන්කොට එන බව මම දනිමි.

ඉක්මණින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළ ගිය ඇත්තන් කැටුවම

මළගිය ඇත්තෝ හි දිග හැරෙන්නේ දෙවෙන්දොරා සං නම් ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියා ජපානය තෙක් පැමිණෙන අන්දමත්, අනතුරුව ජපානයට අනුවර්තනය වන අන්දමත්, එහිදී විදේශිකයෙකු ලෙස ඔහු මුහුණ දෙන යම් යම් දුෂ්කරතා සහ එහිම සුන්දරතාවයන් ය. ඔහුට නොරිකො සං මුණ ගැහෙන්නේ මෙහි දීය. එහි විචිත්‍ර ම සහ සංවේදී ම කතා පුවත ඇරඹෙන්නේද එතැන් සිට ය. එය විචිත්‍ර බව ඇත්තකි. එහෙත් එය සුඛාන්තයක ඇරඹුමක් නම් නොවේ. එය සුඛාන්තයක් වූවේ නම් එය මෙතරම් අප සිත් නොගන්නට ද ඉඩ තිබිණ. එහෙත් එය ශෝඛාන්තයක් ම විය. එබැවින්ම එය අප සිත්හි වෙසෙස් තැනක ලැගුම් ගන්නට යෙදුනි.



එහි ම දෙවෙනි කොටස වන මළවුන්ගේ අවුරුදු දා අවසන් වන්නේ පහත අයුරින්. එහෙත් එය ලියන්නට පෙර මළවුන්ගේ අවුරුදු දා හි ඇති විශේෂත්වය  මදක් සෙවිය යුතුය. මළවුන්ගේ අවරුදු දවසේදී, තම පවුළට අයත් සොහොනේදී, මිය ගිය සමීපතමයින් නැවත මුණ ගැසිය හැකි යැයි, ඔවුන් තුළ (ජපනුන් තුළ)  විශ්වාසයක් පවතී. මේ කතාව අතරතුර දෙවෙන්දොරා සං ගේ දිවි තොරවෙයි. ඒ සියදිවි හානිකර ගැනීමකි. මරණය ස්වාභාවිකව පැමිණෙන තෙක් බලා සිටීම මැරි මැරී ඉපදීමක් බව දෙවෙන්දොරා දැන සිටියේ ය. දෙවෙන්දොරා සං මරණයට බිය නොවීය. ඔහු බිය වූයේ මැරි මැරී ඉපදීමටය. අප ඔහුගෙන් වෙනස් වන්නේ එහිදී ය. අප මරණයට බිය ය. ඒ නිසා අපි මැරි මැරී උපදින මඟ තෝරා ගෙන ඇත්තෙමු. 

දෙවෙන්දොරා සං ගේ මරණයෙන් ඉක්බිතිව නොරිකො ගේ සිතුවිලි ධාරාව ගලා ගිය ආකාරය එහි අන්තිම කොටසින් පිළිබිඹුවෙයි.

සරච්චන්ද්‍රයන් ගේ මේ නවකතා දෙක තවත් නිර්මාණ කරුවන්ට අනුභූතීන් සපයන උල්පතකි. ඒ උලපතින් දිය ගෙන තම නිර්මාණ කෙත අස්වැද්දූ නිර්මාණ කරුවන් බොහෝ ය. මම ද අයෙක්මි.

මම, දෙවෙන්දොරා සං නො වෙමි නමින් මා ලිවූ කවිය එයයි. එය එම කතාවම නොවේ. ඇසුරක් පමණකි. මේ ආශ්‍රිත ගීයක් ලිවීමේ මගේ ආශාව තවමත් නුසුන් වැ ඇත. පද පේළි දෙක තුනක් ලියැවුණද ගීයක් නො ලියැවුණි. එබැවින් අපි කවිය විමසමු.

යන්නම ඕනෑ කියා
නුඹ ම ඉගිලී යනවිට
නුඹෙ ඇහෙත් කඳුළක් දිලෙනු
ඔව්..... මට හොඳට ම පෙනුනා........

දෙදෙනාට ම තැනූ
මේ කැදැල්ල තුළ
ඉන්න ම බැරි නම් නුඹට
ඉතින් මම තනිවිය යුතු වෙම්,
මොනවා කරන්න ද
නුඹ
ඊට.......

නුඹ යනු බලා
මා නෙතු තෙමුණා පමණයි
හිත් අහස හැඬුවා
මහා වැස්සක් සේ ම
තාමත් පායා නෑ
ඒ වැස්ස
ඉස්තීරෙටම.....

ඝන මේ කුළු මුදුන්වෙයි
විදුලි අකුණු
අහස් කුස කළඹයි
කිසිවෙකුත් නොදන්නා මොහොතක
මටවත් නොකියා ම
අහස පෑරී
මහා වැසි වසීවි....

ගොම්මන
ඈත අහසේ රත පිරිබඩ කරණ විට
කෙළෙස හස කැළුම් හෙළන්නද
පෙර පුරුදු ලෙස
හඬන විට හද

පෙනෙන විට ඉරබටු තරුව
මතක් වෙන්නේ නුඹමයි
නුඹේ සෙනෙහසමයි
නුඹටත් එසේ දැයි
නොදනිමි...... මම.....


එනමුදු
යන්නම ඕනෑ කියා
නුඹම ඉගිලී යනවිට
නුඹෙ ඇහෙත් කඳුළක් දිලෙනු
ඔව් මම හොඳටම දුටුවා..

සරච්චන්ද්‍රයන්ගේ එම මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා සිත්හි තබාගෙන මා ලියුවේ වෙනම කතාවකි. මගෙ ම කතාවකි. මම දෙවෙන්දොරා සං චරිතය තුළ අංශු මාත්‍ර වශයෙන් හෝ ජීවත් වුයේ යැයි මට සිතේ. මගේ කවිය තුළ අංශු මාත්‍ර වශයෙන් හෝ දෙවෙන්දොරා සං ද ජීවත් වූවා යැයි ද මම සිතමි. 

මතු දැක්වෙන කව කවුරුන් විසින් ලියන ලද්දක් දැයි මම නොදන්නෙමි. චමිල නමැත්තෙකු විසින් මෙය අන්තර්ජාලයට එක්කොට තිබී එහිදි මට එය සොයාගන්නට ලැබුණි. මෙම කවටද මළගිය ඇත්තො, නොරිකො සං, 'යේ ලයි ෂ්‍යැං' කෝපි අවන්හල ආදී දේ සහ අය සංවේදී වී ඇත.

වකමත්සුවේ *
කෝපි හලක සිට
මළගිය ඇත්තෝ
කියවමි.
සිහින්
සංගීත රාවය මැකී
තෝකියෝවේ
වීදි අතර
තනිවෙමි.
'යේ ලයි ෂ්‍යැං'
කෝපි හලේ
අඳුරු කොණක
නොරිකො සං
මා අබියස...
කෝපි 'උගුර උගුර'
හිස් කරමින්...
'යෝගීන් කියන
අන්‍ය වේද්‍යයන්ගෙන්
කිලිටි නුවූ
නිර්මල ආශ්වාදය'.
ටක් ටක් ටක්
සිහින් අඩි හඬ
හදිසියේ මම
හිස ඔසවා
බලමි.
තරු එළි දෙකක්..
නොරිකො !!!
ඈ මා දෙස බලා
හිස නමා
ලැසි ගමන් ගියා..

(* තෝකියෝවට කිලෝමීටර් තුන්සීයකට දුරින් ඇති කුඩා නගරයක්)

ඒ ආශ්‍රිත ව ලියැවුණු කවි පිළිබඳ ව සොයා බැලීම  පසු දිනකට තබා ඒ ආශ්‍රිත ව ලියැවුණු ගීත කිහිපයක් පිළිබඳ ව වැඩි අවධානය යොමු කරමි.

මේ නවකතා දෙක නවකතා කරුවාගේ සත්‍ය අත්දැකීමක් ලෙස මා සිතන බවත් එය ස්ථිර වශයෙන් ම සොයා බලා තහවුරු කරගැනීමක් මට අනවැසි වූ බවත් තැනක මවිසින් ප්‍රකාශ කරනු ලැබිණ.

කෙසේ වෙතත් සරච්චන්ද්‍රයන් සිය ජීවිතාත්දැකීම් මත පදනම්ව ලියූ පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි මේ ගැන යම් ඉඟියක් කරයි. ඔහු මා කිවූ කරුණ පිළිබඳව සෘජු තහවුරු කිරීමක් සේ ම ප්‍රතික්ෂේප කිරීමක්ද නොකරයි. ඔහු එම කෘතියෙහි මෙවැන්නක් සඳහන් කරයි.
මළ ගිය ඇත්තෝයන නවකතාවට ඇසුරු කරගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේයයි ඔහු කීවේය.

සමහර නිර්මාණ වල සෘජුව සාකච්ඡාවනුයේ නවකථාවේ සමස්ථයේ සංක්ෂිප්තයයි. එහෙත් තවත් නිර්මාණ වල ඇත්තේ එහි ඡායාවයි. තවත් විටක එහි කිසියම් සංවේදී කොටසක මතකයයි. අනුසාරයයි.

මෙවැනි ගීත කිහිපයක් අපේ ගීත සාහිත්‍යයේ හමුවෙයි.

මා ඇසූ මේ අනුසාරයෙන් ලියූ මුල් ම ගීතවල අයිතිකරුවා රත්න ශ්‍රී විජේසිංහ යි.  ඒ ගීත මුළින්ම ඇහැව්වත් ඒ ගීත අන්තිමට ම කතාකරන්න ඉතිරි කරගැනීම සුදුසු යැයි හඟිමි. ඒකට හේතූන් ඇත. එම හේතූන් ඔබට ද වැටහෙනු ඇත.

මට මතකයි ඉවාන් පවුලුෂා ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත ඩිරෙක්ස්. මේ ප්‍රියන්ත ඩිරෙක්ස් විසින් ස්වර්ණ ගුණවර්ධනගේ රචනයකට අනුව ගීතයක් නිමැවුවා ඊට කෙටි කළකට පසුව. ඒ ගීතයේ  පද රචනය මෙසේයි.

මා මේ වෘත්තාන්තය ලියන්නට පටන්ගන්නේ, එහි කියැවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත.

සුළං රොදක් සේ නොසිතූ මොහොතක
මිදොරි අවන්හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං - අතරමං ව ඔබ ආවා
සුළං රොදක් සේ ඔබ ආවා
දෙවෙන්දොරා සං - අතරමං ව ඔබ ආවා

මා මේ කොහේද ඉන්නේ. සැබැවින්ම තෝකියෝවට ආවෙම්ද. මම මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැතිව මං මුළා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය. ඔවුන් සහ මා අතර ඇති නෑකම කුමක්ද?

තතමි පැදුර මත දණින් රැඳී
සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී
එනමුදු හඳුනා ගනු  බැරි වී
ජීවිතයෙන්
ජීවිතයෙන් පැන යන්නට ගියදා
නේඹුරු දොඩම් බිකක් තොළ රැඳවූ
මා සිහිවෙද කවදා...

ළහි ළහියේ ග්‍රහණයෙන් ගිලිහී යන, සැපතක් ලුහු බැඳ යාමේදී මා රැස් කළ දුක්ඛ සමුදාය, විසඝෝර සැපින්නක මෙන් හිස ඔසවා මා දෙස බැලීය. ඒ දුක්ඛ සමුදාය මාගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.

ඉක්මණින්ම යළි ඒ නම්
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
තමබොචි සොහොන් බිමේදී
සුබකි මලක් මත රඳවා
මළවුන්ගේ අවුරුදු දා
යළි හමුවේවා සයොනරා...... 

ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති. මා අවට වූ සත්‍යය මා වැළඳ ගතහොත් මිට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?


ගීතය මෙතැනින් රසවිඳින්න


 
 
මේ ගීතයේ විෂය පථය මේ කතා බහට අනුව පුළුල් ය. එම පුළුල් බව නිසා ම එහි ඇති වචන දිග ය. රචකයා සිය අදහස් සීමා කිරීමට අකැමැත්තේ ඔහු නවකතාවෙන් විඳි සියල්ලම නැතත් බොහෝ දේ ලිවීමට ලොබ වෙයි. මේ නිසා ඔහු රිසි වචන අදහස් යොදමින් දිගු ගීත රචනාවක් නිමවයි. එසේම ගීත රචනාව තුළ කැටිකරන්නට නොහැකි වූ දේ නවකතාවේ කොටස් උපුටා දක්වමින් ගෙන ඒමට උත්සුක වෙයි. ඒ පිළිබඳ ව මට ඇත්තේ අප්‍රසාදයක් නොව ප්‍රසාදයකි. එහි සිදුව ඇත්තේ ගීත රචකයා පරයා මෙම නවකතා යුග්මයෙහි රසිකයා මතුවීමය. එම රචනයෙහි  සංක්ෂිප්ත බව ගිලිහීම නිසා දුක් විඳින්නේ සංගීතඥයා ය. ඩිරෙක්ස් ඉවාන් පවුලූෂා ගීතයේ සංගීතය නිර්මාණය කරන විට අත්වින්ද නිදහස මේ ගීතයේදී අත්නොවිඳී. ඒ නිසාම ඔහු තනුව නිපදවන්නේ ආයාසයෙනි. ඒ නිසාම ගීතයට අපූර්වත්වයක් එක්කිරීමේදී ඔවුනට පැනයක් ඇතිබව පෙනීයයි. කෙසේ වෙතත් ගීත රචනය තුළ සංගීතඥයා වහලෙකු නොවීමට විශාල වෙහසක් ගත් බවක් පෙනේ. එහෙත් අන්තිමට ඔහු එයින් මිදෙන්නට සමත් ව ඇති බව පෙනෙයි. 

මා ඉහත ප්‍රියන්ත ඩිරෙක්ස්ලා ගේ ගීතය මේ හා සම්බන්ධ මුල්ම ගීය ලෙස කතා බහ කරන්නට හිතුවත් ප්‍රියන්ත ඩිරෙක්ස් ම ඒ පිළිබඳව දුන් හෝඩුවාවක් ඔස්සේ ගිය මට වසර ගණනකට පෙර ගැයුණු තවත් ගීයක් සොයා ගත හැකි වින. එය ඉතා පැරණි බැවින් ශ්‍රවණ තත්වය දුර්වලය. එහෙත් එහි ඇති වටිණාකම නිසාම මෙහි යොදාගන්නට සිතුවෙමි. මේ එහි පද වැලයි.

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී
සීතල අතරින් ජපානයේ
නොරිකෝ සංගේ නෙත් යුග පත්ලේ
සොඳුරු වසන්තය රැඳී තියේ

- අතුල සෝමසිරි -
කබුකි රැඟුම් නෝ රැඟුම් බැලූවෙමු
රඟ මඩලේ දී හැන්දෑවේ
සකෙ මදිරා තොල ගෑ හැටි මතකයි
අවන්හලක හිඳ රෑ යාමේ

පූජි කන්ද හා සකුරා උළෙලයි
අප ඔරු පැද ගිය ජල ධාරා
සිහි වේ එනමුත් දෙවෙන්දොරාගෙන්
නොරිකෝ සංහට සයොනාරා

ගායනය හා සංගීතය : අතුල සෝමසිරි
ගුවන්විදුලි සරල ගී - 1971
වස්දක්‍ෂුරාවේ ගීත පද මාලා සංග‍්‍රහය (1998 පිට 25)
පේ‍්‍රමදාස ශී‍්‍ර අලවත්තගේ
ප‍්‍රකාශනය : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

ගීතය මෙතැනින් රසවිඳින්න



ඇරඹුමේදී මේ සඳහා යොදාගන්නට හිතුවේ මගේ කව සහ ගීත 5 කි. එහෙත් ඉදිරියට යනවිට එයට තවත් බොහෝ දේ එකතුවිණි. එබැවින් ලිපිය දිගුවිණි. ඒ දිගු බව එහි බර වැඩි කළැයි හැඟේ.

මා මෙම ලිපිය ලියන වග දැනගත් මිතුරු මංජුල වෙඩිවර්ධන තමන් ද මේ පිළිබඳ ව ගීත රචනාවක් කර ඇති බව ප්‍රකාශ කළ අතර කුමන හෝ දේශයක සිට මා වෙත එය යොමු කරන ලදි. තවමත් මෙම රචනාව ගීතයක් බවට පත්ව නැත.

නොරිකෝ සං ගේ වේදනාව

දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තමබොචි සොහොන් ගැබේ
- මංජුල වෙඩිවර්ධන -
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා

සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ ඔබ
හිත පුරා වෙලෙන්නේ

ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ 
මංජුල වෙඩිවර්ධන ගේ ගීත රචනයකි.

මේ සියලු ගීත වලට මළවුන්ගේ අවුරුදු දා ප්‍රධාන වශයෙන් විෂයය වී ඇති බව පෙනෙයි. ජීවත්ව සිටින දෙවෙන්දොරාට අමතනවාට වඩා මිය ගිය දෙවෙන්දොරාට ඇමතීමට ඔවුන් උත්සුක වී ඇත. මළවුන්ගේ අවුරුදු දා තමබොචි සොහොන් බිමේදී දෙවෙන්දොරාව නැවත හමුවීමටත් ඔහු තමන් සමඟ මෙහි නොරැඳී ආපසු යන්නේ නම් ඔහුත් කැටුව ඇයද යන්නට සිතන කොටසටද සියල්ලම සංවේදී වී ඇති සෙයකි. එහි වරදක් නැත. එය අතිශය සංවේදී කොටසක් බවට තර්කයක් නැත.

මේ ආශ්‍රිත ගී සොයන විට සමීපවූ තවත් ගීත වෙයි. කරුණාරත්න දිවුලගනේ ගායකයාද නොරිකො සං - දෙවෙන්දොරා සං ආදර අන්දරය මත ගීතවත් වෙනු දැකිය හැකිවෙයි.

නොරිකො සං - මං නුඹේ ම දෙවෙන්දොරා සං
ඉක්මණින් ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා
නොවැරදීම නුඹ බලන්න මං එනවාමයි
නොරිකො සං - මං නුඹේ ම දෙවෙන්දොරා සං.....
- කරුණාරත්න දිවුල්ගනේ -

හැම සුබෙකි මලක් ගානෙම
ආදරේ ලියා එවුවද
එකම එක මලක පමණක්
පෙති යට සැඟවුණු රහසක්
මාත් එක්ක හිත පතුළේ ඉකි බිඳ වැලපෙයි
ඉකි බිඳ වැලපෙයි
නොරිකො සං - මං නුඹේම දෙවෙන්දොරා සං.....

හැම කබුකි රැඟුම් හලක ම
ආදරේ දුක ම දැනුනද
එකම එක මලක පමණක්
විඳින්න බැරිවුණ සුවඳක්
මගේ හිතට නුඹ දකින්න හෙමිහිට කොඳුරයි....
හෙමිහිට කොඳුරයි....
නොරිකො සං - මං නුඹේම දෙවෙනදොරා සං..... 
ගීතය මෙතැනින් රසවිඳින්න



මේ අතර තවත් මේ පිළිබඳව සොයන්නට සිත්වූයේ තවත් ගීත හමුවිය... මේ හැම ගීයකම වගේ ගැබ්වූයේ එක්කෝ නොරිකො සං ගේ දෘෂ්ටියයි. නැතහොත් දෙවෙන්දොරා සං ගේ දෘෂ්ටියයි. හරියටම නව කතා දෙකෙහි මෙනි. එහෙත් මේ ගැන දෙදෙනාම එකවර දොඩමළු වන ගීතයක්ද සොයාගත හැකි විය. එම ගීතය ගයනුයේ කසුන් කල්හාර  සමග සහේලි ගමගේය.

- කසුන් කල්හාර සමඟ සහේලි ගමගේ -

ඔබ නාවොත් හෙට උදෑසන අරං
මට රැය විතරයි අයිති නොරිකො සං
රැය හරිම දිගයි - දෙවෙන්දොරා සං
මට එන්න හිතයි - ඔබ සොයා ඉතිං...
මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්
ඒ අතීතයම හදවතේ ඉඳන්
මට රිදවූ හැටි ඇවිත් කියන්නම්.....

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතිං
හෙට උදේ ඇවිත් හැම කඳුළ ම මං
යළි ආදරයට පෙරලා දෙන්නම්....

ගීතය මෙතැනින් රසවිඳින්න



මා මිතුරු ගීත රචක රවි සිරිවර්ධන විසින් මේ හා ආශ්‍රිත  ගීත දෙකක්ම ලියා ඇත. එක් ගීතයක් නොරිකො සං වෙනුවෙන්ද අනෙක දෙවෙන්දොරා සං වෙනුවෙන්ද වෙන් ව ඇත. මේ දෙපාර්ශවය ම වෙන වෙන ම නියෝජනය වෙන ලෙස ගීත දෙකක් ලියන්නට හැකි වීම රචකයාගේ හැකියාව මොනවට කියාපෑමකි. 

ඉන් එකක් ජීවත්වෙන නොරිකො සං විසින් මිය ගිය දෙවෙන්දොරා සං ට කියන ලද්දකි. අනෙක මිය ගිය දෙවෙන්දොරා සං විසින් ජීවත්වෙන නොරිකො සං ට කියන ලද්දකි. මේ ගීත දෙක ම දෙවෙන්දොරා සං ගේ මරණයෙන් පසු යුගයේ කඳුළු සිහිවටනයන් ය.

දෙවෙන්දොරා සං
නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
මං දවසක එනවා...
ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...

ඔබත් සමග ගිය මඟ තොට
නැතිවුණා ට ඔබ පෙර ලෙස
මං තනිය ම යනවා - කෝපි අවන්හල් දුටුවම
පිට පාරෙම එනවා

ඔබේ සුවඳ තැවරීගෙන
බිම වැතිරෙන සීතල හිම
නෙතට කඳුළු දෙනවා
කබුකි නැටුම් හල් දුටුවම
දරන්න බැරි වෙනවා...
 
ගීතය මෙතැනින් රසවිඳින්න





- රවි සිරිවර්ධන, රෝහණ වීරසිංහ, නන්දා මාලනී -
මේ ගීතයෙහි සංගීත නිර්මාණය රෝහණ වීරසිංහයන්ගේ ය. ඔහු එකී සංගීත සංයෝජනයන් ඔස්සේ ජපන් සංස්කෘතිය අප ඉදිරියේ මවා තියයි. එලෙසටම නොරිකො සං ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති වේදනාව සහ නොසන්සුන්තාව එහි මනාව ගැබ්ව ඇත. මෙහි කටහඬ නන්දා මාලිනියගෙනි. අප මේ නව කතා දෙකෙහි නොරිකොගේ කටහඬ කුමක්දැයි මෙතෙක් අසා තිබුණේ නැත. එහෙත්  දැන් ඇයට කටහඬක් හිමිව තිබේ. ඇගේ කටහඬ නන්දා මාලිනියගේ කට හඬ බඳුය.

- රවී සිරිවර්ධන, සුරේෂ් මාලියද්ද,අමල් පෙරේරා -

රවි සිරිවර්ධන පාළු සුසානයක ආදරයේ මතක සටහන් සමග පමණක් සැතපෙන දෙවෙන්දොරා සං ගයන ආකාරයට ලියා ඇති ගීතයද සුවිශේෂය. එය සංගීතයෙන් සුරේෂ් මාලියැද්දේ ද හඬින් අමල් පෙරේරා ද පණ පොවා ඇත.

නොරිකො සං නිදියන්න
නොරිකො සං නිදියන්න
නිදියන්න හොඳටම රෑ වෙලා
මට පාළු නෑ මේ හතර රියනට
ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා.......

ඔබට බෑ නවතින්න මා ළඟ
යා යුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලාගෙන ඇති
යන්න ඒ වෙත
මගේ මතකය
අතීතෙට පවරා

ඔබට බෑ වැල පෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටුපා
කුබුකි රංගන අළුත් වී ඇති
යන්න ඒ වෙත
මගේ සෝ බර
කරලියෙන් බැහැලා
ගීතය මෙතැනින් රසවිඳින්න


මේ ලියන්නේ නොරිකොලා දෙවෙන්දොරාලා ගැනය. ඒත් ඇත්ත නම් මේ ලියන්නේ අපි ගැනම ය. 

මේ කොටස උපුටා ගැනෙන්නේ මළගිය ඇත්තෝ කතාවෙනි. තෝකියෝ වේ නැවතී සිටි දෙවෙන්දොරා තෝකියෝවෙන් ද නොරිකොගෙන් ද වෙන්වී කියෝතෝ නම් නගරයට යාමට සූදානම්ව, තෝකියෝවෙහිද නොරිකො සමග ද ගෙවන අවසන් දින කිහිපයෙහිදී සිදු වූ සිදුවීම් ඇසුරිනි.

මා පිටත් වීමට දෙතුන් දවසකට පෙර නොරිකො ඇවිත් , මගේ ඇඳුම් පැළඳුම් හා පොත් පත් සියල්ල ම ද අස් පස් කර පෙට්ටි වල දමා, කිලුටු ඇඳුම් සෝදා, කාමරය ද සුද්ද කළාය. මා අඳිමින් සිටි චිත්‍රය, මා පිටත්ව යාමට පෙර අවසන් කිරීමට මම අදහස් කෙළෙමි. මා වැඩ කරමින් සිටින අතර නොරිකො හදිසියෙන් මා ළඟට විත්, දණ ගසා වාඩි වූවා ය.

යන්න ඒපා, දෙවෙන්දොරා සං, යි  මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙළමින් ඈ කීවා ය.
මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන, හිස දක්වා ඇවිලී  එන්නා සේ මට දැනිණි. මම එයින් මුළුමනින් ම දැවී ගියෙමි.

කොහොමද නොගිහින්? මං ඉඳල පලක් නෑනෙ. තව කොච්චර කල් මෙහෙම තියෙයිද? අපට හැමදාම බෑනේ මේ විදිහට. කවදා හරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන් වෙන එක ලේසි නැද්ද?

ඈ නැමී, තම මුහුණ මේසය මත තබා ගත්තා ය.

යනව නම් දෙවෙන්දරා සං ගෙ සිරුරෙ සුවඳ, මේ ඇඳුම් වල සුවඳ තියලා යන්න.” යි මඳ වෙලාවකට පසු ඈ කීවාය.

ලහි ලහියේ ග්‍රහණයෙන් ගිලිහී යන සැපතක් ලුහුබැඳ යාමේදී මා රැස් කළ දුක්ඛ සමුදාය විස ගොර සැපින්නියක් මෙන් හිස ඔසවා මා දෙස බැලීය. ඒ දුක්ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.

දෙවෙන්දොරා ට එසේ සිතන්නට හේතුවක් ඇත. ඒ අනෙකක් නොව ඈ ඔහු සුවඳ ප්‍රිය කරන තරමට ම ඔහුද ඈ සුවඳ ප්‍රිය කළ බැවිනි. සරච්චන්ද්‍රයන් මෙම නව කථාවේ රකින එක භාවනාවක් වෙයි. ඒ අනෙකක් නොව මෙහි සදහන් වන සුවඳ ම මිස කිසිවිටකත් උණුසුමක් පිළිබඳව සඳහන් නොකිරීමට සංයමයක් ඇති කරගෙන තිබීමයි. අනෙකෙකු නම් මෙවැනි සමීප මිතු දමකින් බැඳුනු දෙදෙනෙකුගේ මේ ඇසුර පිළිබඳ කථනයේදී එම කතාව අනුරාගයෙන් පුරවනු නිසැකය. සරච්චන්ද්‍රයන් මෙහි කැටිකොට දෙන ශෝකී රසය වෙනුවට රාගී රසය උතුරන්නට හේ ලියනු නිසැකය. නමුත් මෙහි ඇත්තේ ඒ ශෝකය නමැති රසයම ය. එය මෙසේ රසික හදවත් තුළට කිඳා බසින්නට හේතුව ද එයම ය.

දෙවෙන්දොරා මෙහි කියන අනාගත දායාදය පිළිබඳ ඉඟිය කාටත් පැහැදිලිය. එනම් මහා දුක්ඛ සමුදායයි. ඇයට සේ ම ඔහුට ද දුකට හේතුවන දේ සමානය. ඇගේ සුවඳ තියෙන තුරු ඔහු තුළ ඇති වියෝ දුක මතු වෙවී රිදුම් දෙනු මිස සුව වීමක් නොවනු ඇත. ඈත කොහෝදෝ ගිය නොරිකොලා ඉතිරි කර ගිය සුවඳ නිසා දුක් විඳින දොවෙන්දොරාලා කොතරම් දැයි දන්නෝ දනිති. එලෙසටම ඈතින් ඈතට ගිය දෙවෙන්දොරාලා නිසා අපමණ කඳුළු ගණින නොරිකොලා කොතෙක්ද. සුවඳ තියා යන්න කියා නොරිකො කියන්නේ අනාගත වේදනාවට හේතු නොදැනය. ඈ නොපැසුනු බැවිණි. ඒත් පැසුනු දුකට හේතුව දන්නා දෙවෙන්දොරා සුවඳත් අරගෙන යන්නැයි ඇය අයැදින්නට ඇත. එහෙත් ඒ යනවාට කැමැත්තකින් නම් නොවේ. ආදරයෙන් ද ආදරවන්තියගෙන් ද දුරස් වීම දුකක් නොව පුදුමාකාර දුකකි. ඒ පුදුම දුක නිර්මාණ ශිල්පියෙකු තුළ පුදුම රසයක් මවයි. ඒ නම් ශෝකී රසයයි. 


ඒ නිසා ම රත්න ශ්‍රී විජේසිංහයන් මේ දුක ශෝකය නමැති අපූර්වත ම රසය නිමිත්ත ලෙස ගෙන නිර්මාණ කිහිපයක් ම කරණු දැක ගතහැකි වෙයි. ඒ සඳහා ඔහු ග්‍රහණය කර ගන්නේ මෙහි ඇති ප්‍රබල ම තැන යි. ඔබ යනවා නම් යන්න. ඒත් ඔබේ සුවඳ තියා යන්න යන්නයි.

 
මතු කියවෙන ගීත 3 න් රත්න ශ්‍රී මේ ගීතය ලියන්නේ අන්තිමටම ය. එහෙත් මා එය විමසන්නේ මුළටම ය. ඒ එහි එම ගීතය බිඳගත් මෙම නව කතා යුගලයේ ඇති ඔබ යනවා යන්න. ඒත් ඔබේ සුවඳ තියා යන්න නම් යන  අදහස සෘජුවම ගෙනහැර පාන හෙයිනි.
නොරිකෝ, දෙවෙන්දොරාට සුවඳ තියා යන්නට අයැදියි. රත්න ශ්‍රී ගීතය පටන් ගන්නේද එතැනිනි.

සුවඳ තියා මා ළග ඔබ අරන් යන්න මල්
නෙත නිළුපුල් වත රතුපුල්
නෙත නිළුපුල් වත රතුපුල්
කොඳ කැකුළු  සිනා මල්

මේ අහස යටම - කොතැනක හෝ
ඔබ ඉන්නව නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන්
යළි ඔබ එනකල්

ගීතය මෙතැනින් රසවිඳින්න



පෙර කතාකළ ගීත සෘජුවම එම නව කතා දෙකට අදාළය. එහෙත් මේ ගීත සෘජුව එම නවකතා දෙකට අදාළ නොවේ. නො එසේනම් ඒවායින් කියවෙන්නේ එම නවකතා දෙකෙහි යෙදෙන සිදුවීම් දාමයක් ගැන නොවේ. අනෙකකි. එහෙත් ඒ අනෙක් අදහස කියා පෑමට යොදාගනු ලබන්නේ එම නව කතා දෙකෙහි මතකයන් ය.

ඉන් ලැබූ රසය රත්න ශ්‍රී විජේසිංහයන්ට ඉහත ගීතයෙන් නවතින්නට ඉඩ නොදෙයි. එබැවින් ඔහු එයින්ම තවත් ගීතයක් සඳහා ආවේශය ලබාගනී. එම ගීතය ගයනුයේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් විසිනි.

- රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ -

මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - මේ මතකය විතරයි.....

මෙහිදී රචකයා යොදා ගන්නේ අනෙක් පැතිකඩයි. වසර ගණනක ආදරයෙන් ඉතිරි වූයේ මතකය ම පමණකි. රැගෙන යන්නට ආදරයක් ඉතිරි නොවුණි. එබැවින්ම රැගෙන යන්නට ජීවිතයක්ද ඉතිරි නොවුණි. රැගෙන යාමට ඇත්තේ මතකයක පමණි. මතකය නම් වූ දුක් කඳක් පමණි.

නුඹ සඳක් වෙලා පායා - මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේ ම බැස යයි -මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි....

හුදකලාව තුරුළු කරන් අඳුරේ සිටි ඔහුට ආදරය නමැති සුන්දර ආලෝක ධාරාව විහිදාලූයේ ඇය ය. කලක් ඔහු හිත් අහසේ ඇය පුර සඳක්ව බැබළුණි. එහෙත් ඔහු සිත පිය විප්පයෝගය නමැති අඳුරට හෙලා දිනක් ඇය පුර සඳක් බැස යන අයුරින් ම බැස ගියා ය. ආදරයෙන් වියුක්ත අමාවක ගනඳුරක ඉතින් ඔහු කඳුළු ගනිමිනි.

සද එළිය අයිති ලොවටයි - සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක් - මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි.....

රචනය සුවිශේෂය. අමුතුවෙන් නො කිවයුතු ය. එහෙත් කතා බහට ලක්විය යුතුම අනෙක් කරුණු දෙක වන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණය හා සුනිල් එදිරිසිංයන්ගේ ගායනයයි. ගීතයේ යටි අරුත් මතු කරමින් නිමවන හෘදයංගම සංගීතයට ගයන ගැයුම ගීතයට දැඩි ආලෝකයකි.

ගීතය මෙතැනින් රසවිඳින්න



රත්න ශ්‍රී එතනින්ද නොනවතී. ඔහුට එයින් උකහා ගන්නට තවත් ගී නිමිති ඇත. ඔහු එයින් තුන්වැනි ගීයද නිමවයි. නැත. මේ ඔහු එයින් උකහා ගත් මුල්ම ගීයයි. මෙම සටහනේ අවශ්‍යතාව පිණිසය එය එම ගී අතුරින් තුන්වැන්න ලෙස යොදාගනු ලැබූයේ.



මෙම ගීතය ඔහු ලියන්නේ අනෙකෙකුට නොව තම මිතුරු කපුගේටය. මෙම ගීතය මළගිය ඇත්තො සහ මළවුන්ගේ අවුරුදු දා ඇසුරු කරගත් බවට හොඳම උදාහරණය රත්න ශ්‍රී ගේ සුදු නෙළුම ගීත කෘතියේ 28 වන පිටෙහි එන මෙම ගීත රචනයට යොදා ඇති හෙඩිමයි. එය දෙවෙන්දොරා සං ගේ සමුදීම නම් වෙයි. 

ඔබට යන්නම ඕනෑනම් - ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැඳුණ සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි...

ඇය ගැවසුණු දෙවෙන්දොරා විසූ කාමරයේ දසත ඇත්තේ ඇගේ සුවඳමය. ඇත්තටම ඒ සුවඳ  ඇත්තේ කාමරයේද නොවේ. ඔහුගේ ඇට, මස්, ලේ, නහර තුළය. ඔහු එම සුවඳට එතරම් ම ප්‍රිය කළ බැවිනි. ඒත් අද ඒ සුවඳ මතකය ඔහු සිත පාරවන්නක් ම වී ඇත. එය හිත හදා ගැනීමට ඔහුට ඇති ප්‍රධානම බාධකයයි. මෙවැනි සුවඳ මතකයන් සහිතව ජීවත් වෙන කවරෙක් වුවද සදාකාලික වේදනාවක් තුරුළු කරගත්තවුන් වෙයි.

පුර හඳ දිය වෙනවා සේ කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළ ගම දා දියවක වී හිඳින්න සුදු ඇඳලා

ඈ ගැවසුනේ මේ කාමරයේ පමණක් නොවේ. අවට නගරයේ, කෝපි හල්, තේ හල්, කබුකි ශාලා, උයන් තෙරවල, මං මාවත්වල පමණක් ද නොවේ. ඈ වැඩියෙන් ම සක්මන් කළේ ඔහුගේ සිතෙහි ය. මතකයෙහි ය. ඈ ආ ගිය පා සලකුණු තවමත් සිත්හි නොමැකෙන මතකයකි. එය ඔහුට හිත හදා ගැනීමට  ඉඩ නොදෙන බාධාවකි. වදයකැයි කියන්න හිත නො නැමෙන වදයකි එය. ඒ නිසයි ඔහු අයැද සිටින්නේ තරුවක් බැස යන්නාක් සේ පා සලකුණු ඉතිරි නොකර යන ලෙස. ඔහු හරි හෝ වැරදි තීරණයකට එළඹ ඇත. ඈ නැ‍ති දිවි මග තනි ව නොයන බවට ය. ඔහු යන්නම යන්න තීරණය කර ඇත. ඇය වෙතින් ඉල්ලන අවසාන ඉල්ලීම වන්නේ මළගම දා සුදු ඇදගෙන විත් ඉහ ඉද්දරින් හිඳින ලෙසටය. 

තරුවක් බැස යනවා සේ පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා....

ගීතය මෙතැනින් රසවිඳින්න





- රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ -

පෙර කී ගීත දෙකට වඩා මෙම ගීය නවකතා දෙකෙහි අන්තර්ගතයට සමීපතාවක් දක්වයි. නොඑසේ නම් මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ගැන දන්නා අයට එය නවකතාවෙහි ම ආත්මය සේ දැකිය හැකිය. මෙහි නොරිකො සං ගැනවත් දෙවෙන්දොරා සං ගැනවත් නාමිකව කිසිවක් නොදොඩයි. එහෙත් නව කතා දෙක කියවා නැති අයෙකුට වුවද එය ඉතා සංවේදී හෘදයංගම වෙනත් පිය විප්පයෝගයකට අදාලව ලියැවුනෙකැයි සිතා විශාල රසයක් විඳිය හැකි වෙයි.

එහෙත් එම කතා යුගලය කියවූවෙකු ලබන රසය වචන වලින් විස්තර කළ නොහැකිය. ඔබ කිසිවෙක් එම කතා යුගලය මෙතෙක් කියවා නැතිනම් දැන් හෝ කියවන ලෙස ඇරියුම් කරමි. මෙම සටහනේ අන් කිසිදු සාධනීය කරුණක් නොවූවද ඔබ එම කතා යුගලය කියවීමට යොමු වේ නම්, කියවූවෙකුට නැවත කියවීමට සිතේ නම් එයම සාධනීය කරුණක් වනු ඇත.

කතාවේ හැටියට දෙවෙන්දොරා සං මිය ගියේය. ඒ ආත්ම භවයට හෝ ඔහු දුකින් මිදුනේය. දැන් දුක ඉතිරි වූයේ නොරිකොට සහ කියවන අපටය. එහෙත් සැබෑව නම් සෑම මෙවැනි කතාවක ම දෙවෙන්දොරාලා මෙලෙස මරණයේ සුව නොවිඳියි. ඔවුන් දිගු කලක් නොමැරී සිට මැරි මැරී ජීවත් වෙන අයුරු පෙනෙයි.

ස්වභාවිකව මරණය එනතෙක් සිටින්නට දෙවෙන්දොරා සං අකමැති විය. දෙවෙන්දොරා සං මරණයට බිය නොවීය. ඔහු බිය වූයේ මැරි මැරී උපදිනවාට ය. අප ඔහුගෙන් වෙනස් වනනේ එබැවිනි. අප මරණයට බිය ය. ඒ නිසා අපි මැරි මැරී උපදින මඟම තෝරා ගෙන ඇත්තෙමු.

-          යසනාත් ධම්මික බණ්ඩාර   -

52 comments:

  1. හැමදාමත් මම හිතුවෙ නොරිකො සංගෙ පැත්තෙන්.. මට දැණුනේ දෙවොන්දරා සං ගත්ත තීරණය වැරදියි කියල.. ඇයට තනියෙන්ම මහමෙරක් දුක උහුලන් ජීවත් වෙන්න ඉඩ හැරල ඔහු තනියෙන්ම නික්මී ගිය එක අසාධාරණ බවයි මට දැණුනෙ...
    ඒත් ඇත්තටම මැරී මැරී ජීවත්වනවාට වඩා සුන්දර මරණය තෝරා ගැනීම වරදක් වෙන්නෙ කොහොමද? නොරිකො සං ඒ බව තේරුම් ගන්න ඇති මට වඩා හොදින්...
    රිදිම් දෙන හිතක කඳුලක සීතලත් එක්ක ලියැවුණු සුන්දර ලිපියක්... ගීත සියල්ලම ‍වගේ ඇහුවා. ලස්සන ගීත එකතුවක්... ගොඩක් මහන්සි වෙලා හදවතින්ම ලියු ලිපියක් බව දැනෙනවා...
    මේ වගේ හිමි කර ගන්න බැරි අපූරු ආදර කතාවක් සකුරා මල් පිපෙන රටේ තියෙන්න ඇති සරච්චන්ද්රරයන්ට. එහෙම ‍නොවුණා නම් මේ තරම් සුන්දර කතාවක් බිහිවෙන්න ඉඩක් නැහැ.
    ඔබට ස්තුතියි.. දෙවොන්දරා සංගේ, ‍නොරිකො සංගේ අමරණීය ආදරය ගීත වල කැටි වෙලා තියෙන හැටි පෙන්වා දුන්නට... සුන්දර මතක සටහනක්

    ReplyDelete
  2. ජයවේවා!!!!!

    අද ලංකාවේ යෞවන බස් වහර එතරම් හුරු නැති, සිංහල අමතක වී යන්නට නොදෙන උත්සාහයේ යෙදෙනා මට මෙය ලියලා තියෙන සිංහල බස ඉතා සිත් ගන්නා සුලුයි.

    සෑහෙන උත්සාහයක් තොරතුරු ගොඩක් එකතැනකට රසවත් ආකාරයෙන් ගෙනැවිත්!

    ReplyDelete
  3. හැබෑවටම අපූරුයි. පුස්තකාලයකට ආවා වගේ හැඟීමක් දැනුනේ. මග නොහැරෙන්න ඕං එල්ලුවා බ්ලොග් රෝලට. ජයවේවා.

    ReplyDelete
  4. හදවතිම්ම සුබ පතනවා ඔබ වැනි කෙනෙක්
    මේ විදිහට සව්න්දර්යාත්මක ( IME fault ) කරුණු එක් කිරීම
    ගැන..ගොඩක් සතුටුයි..ඒ වගේම දේශකතුමටත්
    ස්තූතියි මේ ගැන දැනුවත් කරාට....

    ReplyDelete
  5. දෙවොන්දරා සං කෙනෙක් වෙන්න මටත් ආසයි..

    දොස්තර මහත්තයට අපූරු කලා හැකියාවකුත් තියෙනවනේ... මාරයි

    ReplyDelete
  6. මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා මේ කෘති දෙකම ‍ප්‍රේමයේ ශෝක රසය උපරිමයෙන් ගෙන දෙන මා කියවූ අති විශිෂ්ඨතම කෘති ද්විත්වයයි. මේ ඇසුරින් ඔබ සඳහන් කළ ගිත වලට වඩා වැඩි ගීත ගණනක් සිංහල ගීත සාහිත්‍යයට පමණක් දායාද වී ඇති බව මගේ හැඟීමයි.

    මට ගීයක නිර්මාණාවේෂය ගන්න ඕනැ වුණාම ඉඳහිට මම කරන්නේත් මේ කෘති දෙකෙන් එකක් තෝරා ගෙන එහි පරිච්ඡේදයක් දෙකක් කියවා මනසින් විඳිමයි.ඔවුන්ගේ ශෝකයේ කිමිදී ඒ දෙස බලා හිඳීමය. විටෙක එහිදී මේ ප්‍රේමයේ ශෝකය විදින ඒ පරාජිත ප්‍රේමවන්තයා මම නොවේදැයි මම ම කල්පනා කරමි.

    ඒ අනුව මා පමණක් නොව බොහෝ අවස්ථාවන්හිදී නිර්මාණකරුවන් තම නිර්මාණකරණය සදහා අත්වැලක් සපයා ගැනිමට මේ කෘති දෙක භාවිතා කරනවා විය හැකිය. අතැම් විට මා විඳින වෙනත් ගීයක් මේ කෘතින්වල එන සිද්දි සමුදායන්ට අමුණා , තවරා, පාට ගල්වා බැලිමට නොයක්විට උත්සාහ කරන විට මට දැනෙන්නේ ඒ ගියක් ‍ඊට යා කළ හැකි බවයි.

    නිදසුනක් ලෙස හුදකලාව ඉන්නා විරාමයක වික්ටර්ගේ අපි හැගුම්වලට ඉඩදී ගිතයත්, ඔහුගේම දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයත්, කපුගේ මාලනී ගැයූ දම්පාටින් ළා සඳ ගිතයත් මේ කෘති දෙකට සම්බන්ධ කර රස විද බලන්න. මේ ගීවල ඉන්නේ ඔවුන් දෙදෙනා නොවේදැයි මට අනන්ත වාරයක් නොසිතුනා නොවේ. ඒ අපගේ කල්පනා ලෝකයේ හැටිය.

    ඒ අනුව නිර්මාණ කරුවන්ට මේවා රසෝඝයේ නොසිඳී ගලන මහා උල්පත් බදුය. මගේ මතකයේ හැටියට නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියද, ටී.එම්.ද වික්ටර්ද මේ සම්බන්ධ ගිත කිපයක් ගැයූ බව ට මතකයක් ඇත. ඊටත් වඩා තවත් ශිල්පීන් ගණනාවක් සිටිනබව මතකයේ ඇතත් ඒ කවුද කියා මේ මෙහොතේ ක්ෂණිකව සිහියට නො ඒ.

    ප්‍රේමකිර්ති, බණ්ඩාර කේ විජේතුංග, කේ.ඩී.කේ., මහගම සේකර, රත්න ශ්‍රී, සුනිල් ආර් ගමගේ,වගේම අපේ සුමිතුරු රවීත් මෙයින් උපරිම පළ නෙළු රසවන්තයෝ බව ඔවුන්ගේ ගී කව් රස විදින විට හැගේ.

    වර්තමානයේ ගිතයේ මූලාශ්‍රය ඇතැම් විට රසවතුන් නොදන්නවා විය හැකිය ඇතැම් විට සිංහල විෂය හදාරන පාසල් සිසුන්ට මෙවැනි නිර්මාණවල මූලාශ්‍ර සොයාගැනිමට වෙහෙසක් ගැනිමට සිදුවේ. එවන් අවස්ථාවන්හිදී මෙවැනි ලිපි කියවීමෙන් ඔවුනේ දැනුම මෙන්නම ගිතයක සොයා මූලාශ්‍රයද දැනගෙන රස විඳීමෙන් ඒ රසවින්දනය දෙගුණ කරගෙන විදිය හැකි බව දනිමි.

    ඒ කෙසේ වුවත් රත්න ශ්‍රී මේ කෘතින්හි සිද්ධි ඇසුරින් ලියූ තම ගී නිර්මාණ සියල්ලම සබඳකම් දක්වන්නේ අපේ සිතුවිලි වලටය. එහිදී අපට දෙවොන්දරා සං හෝ නොරිකො සං සිහි නොගැන්විමට ඔහු වග බලාගෙන ඇත. ඒ ඔහුගේ විශිෂ්ඨ බස හැසිරවීමේ සලකුණය.ඔබට යන්නම ඕනෑනම් ගීයේ සංගීත නිර්මානයෙන් සහ ගායනයෙන් ඊටත් වඩා දෙවොන්දරාගේ ජීවය කපුගේගේ හඬින් ලැබී ඇති බව පසක්වේ..

    යසේ..ගීතයේ මූලාහ්‍ර සෙවූ මේ සටහන නම් ඔ‍බේ අපූරු වියමනකි..

    ReplyDelete
  7. 1960 දශකයේදී පාසල් සිසුවකු ලෙස කියවූ මේ නවකතා දෙක හද සසල කළ, ජීවිතය ගැන නැවත සිතන්නට ප්‍රබල ලෙස මා පෙලඹවූ නවකතා දෙකක් විය. මේ කතාවන්හි යටි පෙළ අරුත මා තේරුම්ගත්තේ 1970 දශකයේ අග භාගයේදීය.

    අහෝ සාහිත්‍යය නමැති අමා දහරින් පිනවෙන සිත් නැති වර්තමාන පරපුර ගැන ඇතිවන අනුකම්පාව අපමණය. උන්ගේ සිත් කා දමන අමන නිර්මාණ කරන්නවුන් කෙරෙහි ඇතිවන ද්වේශය අපමණය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. මෙ කථා දෙක දෙසම පුස්ථකාලයට ගියද මොන හේතුවකට ද මන්දා මම පසු කර යනවා.එත් අද මෙ සටහන දෙස බැලුවම මට එය කියවනකම් ඉස්පාසුවක් නැත.ස්තුතියි ඔබට.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මෙවර පුස්තකාලයට ගිය විට එම පොත් රාක්කය අසල නවතින්න. එම පුස්ථක යුගලයම තෝරාගන්න. එය කියවන විට එක හුස්මට කියවන්නට ඔබට සිතෙනු ඇත. කියවා අහවර වූ සැනින් තව වරක් කියවන්නට ඔබට සිතෙනු නොඅනුමානය. අනතුරුව හම පොත් දෙක සුරැකිව තබන්න. තව දින කිහිපයකින් ඔබට නැවත ඒවා කියවීමට සිතෙනු ඇත.නැවත නැවත කියවන්නට සිතෙනු ඇත. මේ කියවන හැම වාරයකම ඔබට වෙනස් කෝණ පෙනෙනු ඇත. වෙනස් රසයක් ලැබෙනු ඇත. ඒ එම නවකතා දෙකෙහි ස්වභාවයයි.
      මෙවර ඔබට මේ පොත් රාක්කය පසුකර යන්නට හිත නොදීමට මමද හේතුවක් විය. ඒ මම මින් ලබන සතුටයි.

      Delete
  9. මං දැන් ඉදන් වාසනාව කියන එක විස්වාස කරනවා. මොකද මට පිස්සු හැදිලා හිටියේ මගේ ආත්මයත් එක්ක මුසු වෙච්ච පොතක් (එකට පොතක් කියන්න බැහැ. මොකද එක පොතකට යන්න බැරි තරම් මාව දුර රැගෙන ගිය නිසා.) ගැන මේ වගේ සජිව් විදිහට කතා කරන්න බැරුව මං විදපු වේදනාව නිසා.

    කොහොමත් උබට මං දොස් කියනවා උබ මෙච්චර කල් මං වගේ එවුන් ගැන නොහිතා මේ වගේ බ්ලොග් ඉසවුවකට පැමිණීමට පමා වීම ගැන. මොනවා උනත් උබ දැන් ඇවිල්ලනේ ඉන්නේ.............

    මං කැමති මගේ සෙවනැල්ලත් එක මුසු වෙච්ච පොත පත්, කවි, සින්දු එක්ක මගේ ආත්මය එකතු කරලා ඒක තුල මැරී මැරී ඉපදෙන්න..........

    කොච්චර වෙලාව නැති උනත් මේකට ඇවිල්ල පොස්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
  10. බ්ලොග් කරුවන්ට අගේ ඇති ඉසව්වක් මිත්‍රයා... අපේ සුබ පැතුම් ඔබට.... දේශකයා තමා මේ ඉසව්වට පාර කිව්වෙ... ඌටත් පිං...එන්නං දිගටම..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  11. මේ චරිත වලට අදාල හැඟීම සාමාන්‍ය මිනිසුන්ට කොපමණ දුරස් වුණත් සෑහෙන දෙනක් ඒ රසවිඳින්නේ, ඒ වටා කව් ගී පබඳින්නේ ඇයි?
    හැමගේම සිත්වල කොණක ඇති හිත පහුරුගාන වේදනාවන්ට ඇති ඇල්ම නිසාද?
    මොකවුණත් ඔබතුමා ඒ සිතුවිළි හැකිපමණ පරිපූර්ණව ගොතා මාලයකට ඇමුණුවා.
    පරණ ළමා ගීයක් මතක් වුණා

    "බුබුළු බුබුළු ජලේ නැගෙන
    පබළු පබළු ලෙසින් රැගෙන
    මාලයකට අමුණාගෙන
    ආසයි මට ගෙල බඳින්න...."

    ReplyDelete
  12. බොහෝ සයිබර පත් ඉරුවල සටහන් වන අපූරුතම සටහන් රැගත් බ්ලොග් අතරින් මා වඩාත්ම සිත් ගත් බ්ලොග් කිහිපයකි.ඉන් ම0ජුල වෙඩිවර්ධන .යසනාත් ධම්මික බන්ඩාර සහ අතුල සිරිවර්ධනයන්ගේ පත් ඉරු කියවන්නේ මහත් ආශාවෙනි.
    ඉන් ඇස ගැටුනු යසනාත් දම්මිකගේ පත් ඉරුව තුළින් අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්න පොඩි ඉඟියක් දීල කියල හිතුන.නොරිකෝ ස0 .මන් මෙතෙක් සිතා හිටි ඇයට වඩා විශාල පරාසයක් ඈ තුළින් දැක්ක යසනාත්ගේ බ්ලොග් අඩවියෙන්.ම0ජුලගෙ ගීතය ඊට නොදෙවෙනි නා.ඒකයි මන් කීවෙ මගෙ ප්‍රියතම සයිබරයේ පත් ඉරු වලින් මේ අයගෙ නිර්මාණවලට වඩා කමතියි කියල
    හරියට ජීවත් වෙනව වගේ දැනුන..කිසිවක් කියාගන්න නෙවි හිතාගන්නත් බැරි තරම් ජීවමානයි කියල හිතුන මේ සටහන ඔබේ..සුබ පතනව හදවතින්ම...

    ReplyDelete
  13. මම දෙවොන්දරා සං... ඒත් නොරිකෝ වෙනස් වෙලා.. හුගක් කල්

    ReplyDelete
  14. පෙම්වතුන්ගේ දිනය , ආදරයේ ව්‍යාජය සහ සරච්චන්ද්‍රයන් නැවත කියවීම
    -------------------------------------------------------------------
    ආදරය පිළිබඳව මා තුල බොහෝ නිර්වචන තිබේ .ඒ සියල්ලටම වඩා වෙනස් දැකීමක සිට මෙය ලියමි
    .ආදරය කල හැකි විවිධ ආකාර තිබිය හැකිය .මා කියන්නට යන්නේ එය විඳිය හැකි එක් සරල ආකාරයක් පිලිබඳවය .
    ආදරයේ ප්‍රතිඵලය ලෙස හිමිවන දෑ මුළුමනින්ම යහපත්-සොඳුරු-ප්‍රීතිදායක දෑ ලෙස ගිනිය නොහැකිවාක් මෙන්ම මුළුමනින්ම -අයහපත් -දරුණු-කනගාටු දායක දෑ ලෙසද වර්ග කල නොහැකිය .එහෙයින් ආදරයේ අස්වැන්න සම්මිශ්‍රණයකි .එය දුකෙත් සතුටේත් අඩු වැඩි ලෙස
    වූ සංයෝගයක් වන නමුත් ආදරයේ "ප්‍රතිලාභ" වලට වඩා "වන්දිය" අනේක වාරයක් කම්කටොලු වලින් පිරී ඇත .
    දෙදෙනා හමුවීමෙන් ලබන ආශ්වාදයට වඩා සමුගැනීමේ වේදනාව දරුණුය. අනෙකා තමා දෙස බැලීමේදී දැනෙන සතුටට වඩා වෙනෙකෙකු දෙස එලෙසම බැලීමේදී සිතේ උපදින ඊර්ෂ්‍යාව හා වේදනාව කටුකය .
    එකඟ වීමේදී දැනෙන ආඩම්බරයට වඩා විරුද්ධ වීමේදී දැනෙන පරාජිතභාවය නින්දිතය . ඔහුගේ හෝ ඇයගේ අතීත සම්බන්ධයක් තිබූ කිසිවෙකු සිහිපත් කිරීමකදී හෝ මඟ තොට හමුවීමකදී දැනෙන ගර්වයට වඩා යටිසිත වෙලා ගන්නා හීන මානය සහ අපහසුතාවය කැක්කුම් සහගතය.
    මේ සියලු වේදනා දැනෙන්නේ ගැඹුරින් ආදරය කරන්නන්ටය .මමය ,මාගේය ,මටය ,යන මමත්වය ආත්ම කොටගත් ආදරයකදී ඉතා සුළු දෙයකින් පවා විශාල දුකක් උපදී .
    එවැනි දුක් නොලබා ,ප්‍රීතිය පමණක් අනුභවය කරමින් ආදරය කල හැකි මඟක් තිබේ .ඒ සඳහා
    ආදරයේ ගැඹුරට කිමිදෙනු වෙනුවට එහි සුන්දරත්වය පමණක් ස්පර්ශ කල යුතුය .අනෙකාගෙන් ලැබෙන ආදරය විමර්ශනයට ලක් කරමින් , වචනයක් බැල්මක්, ඉරියව්වක්,ප්‍රතික්‍රියාවක් ගානේ විභාග නොකළ යුතුය .සුන්දර සුරංගනා ලෝකයක පාවීමට උගත යුතුය .
    "සතුට" ලබා ගැනීම උදෙසා දුක් විඳිනවා වෙනුවට , අනෙකා සතුටු කිරීමටත් , ලද දෙයින් සතුටු වීමටත් උගත යුතුය .මේ වනාහී දුක් නොලබා ආදරය කිරීමේ ක්‍රමවේදයයි .එය අප දන්නා ,හඳුනන ආදරය නොවන්නට පුළුවන .නමුත් මෙය ආදරයේ ප්‍රතිරුපයයි ,ආදරයේ ව්යාජයයි ,ව්‍යාජ ආදරය නොවේ ! දුක් නොවිඳ ආදරය කරණ මාවතයි .
    හිමි කර ගැනීම අමතක කොට , අධිග්‍රහණ චේතනාවක් නොමැතිව පමණක් එමඟ යා යුතුය .
    මගේ මේ විවරණය නිසා මා අවඥාවට ලක් කිරීමේ ඉඩ කඩ වැඩිය ! එහෙයින් මම දැන් දැවන්තයෙකුට මුවාවෙමි . මා මෙසේ සිතන්නට පෙළඹවූ සරච්චන්ද්‍රයන් තම" මළගිය ඇත්තෝ " හී 77 වන පිටුවේ "ආදරයේ ව්‍යාජය "පිළිබඳව කියන අපුරුව බලන්න .

    "ආදරයේ ප්‍රතිරූපය ආදරයට වඩා හොඳය .සැබෑ ආදරය ජීවිතයේ පතුලට කිඳා බැස , එහි ඇති දුකින් තැවරෙයි .ආදරයේ ව්‍යාජය ජීවිතයේ මතු පිට පාවෙයි .එය ක්රීඩාවෙකි .එයින් ඇලුම් , බැඳුම් හටගන්නේ නැත .නළු ,නිළි දෙදෙනා නළු වෙස් වළාගෙන නටන බව අවබෝධ කටයුතුය .එකෙකු අනෙකාගේ වේශය ගලවා සැබෑ මුහුණ දෙස බලන්නට තැත් කිරීම වැරදිය .එසේ කිරීම ඒ ක්‍රීඩාවේ නියෝගයන්ට විරුද්ධය ."

    තම සයිබර් පත් ඉරුව අගනා පර්යේෂණ ලිපියක් පල කරමින්, සරච්චන්ද්‍රයන් නැවත කියවීමට මා යොමුකළ මා මිත්‍ර ප්‍රවීණ ගීත රචක යසනාත් ධම්මික බන්ඩාරයන්ට පින් !
    ---------------narada wijayasuriya------------ narad80@hotmail.com -----------------------

    ReplyDelete
    Replies
    1. මෙහි පිළිතුරක් තබන්නට ප්‍රමාද වූයේ මේ විවරණයට දියයුතු පිළිතුර කුමක්දැයි මා බොහෝ වර සිතූ බැවිනි. මක් නිසාද යත් එය මගේ සටහනට එකතු කළ අතිරේක වටිණාකම විශාල වූ බැවිනි. එය ඉතා සිතු ඇදගන්නා විවරණයකි. ඒත් ඒ සඳහා නැවත දිගු සටහනක් තැබීම තේරුමක් නැතැයි මා සිතට ආ දිනය, මම මේ කෙටි පිළිතුර ලියන්නේ. මෙහි ඔබ සටහනේ එක් කොටසක් නැවතුමට පෙර උපුටා දක්වනු කැමැත්තෙමි.
      ආදරයේ ප්‍රතිඵලය ලෙස හිමිවන දෑ මුළුමනින්ම යහපත්-සොඳුරු-ප්‍රීතිදායක දෑ ලෙස ගිනිය නොහැකිවාක් මෙන්ම මුළුමනින්ම -අයහපත් -දරුණු-කනගාටු දායක දෑ ලෙසද වර්ග කල නොහැකිය .එහෙයින් ආදරයේ අස්වැන්න සම්මිශ්‍රණයකි .එය දුකෙත් සතුටේත් අඩු වැඩි ලෙස
      වූ සංයෝගයක් වන නමුත් ආදරයේ "ප්‍රතිලාභ" වලට වඩා "වන්දිය" අනේක වාරයක් කම්කටොලු වලින් පිරී ඇත .
      දෙදෙනා හමුවීමෙන් ලබන ආශ්වාදයට වඩා සමුගැනීමේ වේදනාව දරුණුය. අනෙකා තමා දෙස බැලීමේදී දැනෙන සතුටට වඩා වෙනෙකෙකු දෙස එලෙසම බැලීමේදී සිතේ උපදින ඊර්ෂ්‍යාව හා වේදනාව කටුකය .
      එකඟ වීමේදී දැනෙන ආඩම්බරයට වඩා විරුද්ධ වීමේදී දැනෙන පරාජිතභාවය නින්දිතය . ඔහුගේ හෝ ඇයගේ අතීත සම්බන්ධයක් තිබූ කිසිවෙකු සිහිපත් කිරීමකදී හෝ මඟ තොට හමුවීමකදී දැනෙන ගර්වයට වඩා යටිසිත වෙලා ගන්නා හීන මානය සහ අපහසුතාවය කැක්කුම් සහගතය.
      මේ සියලු වේදනා දැනෙන්නේ ගැඹුරින් ආදරය කරන්නන්ටය .මමය ,මාගේය ,මටය ,යන මමත්වය ආත්ම කොටගත් ආදරයකදී ඉතා සුළු දෙයකින් පවා විශාල දුකක් උපදී .
      එවැනි දුක් නොලබා ,ප්‍රීතිය පමණක් අනුභවය කරමින් ආදරය කල හැකි මඟක් තිබේ .ඒ සඳහා
      ආදරයේ ගැඹුරට කිමිදෙනු වෙනුවට එහි සුන්දරත්වය පමණක් ස්පර්ශ කල යුතුය .අනෙකාගෙන් ලැබෙන ආදරය විමර්ශනයට ලක් කරමින් , වචනයක් බැල්මක්, ඉරියව්වක්,ප්‍රතික්‍රියාවක් ගානේ විභාග නොකළ යුතුය .සුන්දර සුරංගනා ලෝකයක පාවීමට උගත යුතුය .

      Delete

  15. II nd part
    ප්‍රේමය සහ පෙම්වතුන්ගේ දිනය ගැන ලෝකය කතා කරන අද වැනි දිනයක මම සරච්චන්ද්‍රයන් ගැන කියමි .
    ආදරය පිළිබඳව මා අසා ඇති නිර්වචන අතුරින් සරච්චන්ද්‍රයන්ගේ අදහස දෙවැනි වන්නේ ශුද්ධ වූ බයිබලයේ එන
    " ප්‍රේමය ඉවසිලිවන්තය ,කරුණාවන්තය ,
    ප්‍රේමය ඊර්ෂ්යාවන්නේ නැත ,පාරට්ටු කරන්නේ නැත.උඩඟු වන්නේ නැත .
    අවිනීත නොවේ ,ආත්මාර්ථකාමී නොවේ ,හනික නොකිපේ ,නපුර සිතේ තබා නොගනී ,
    ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවේ ;හරි දේ ගැන ප්රීති වේ ,
    ප්‍රේමය සියල්ල උසුලයි ,ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත ;
    බලාපොරොත්තුවට නිමක් නැත , ඉවසීමට අගක් නැත ,
    ප්‍රේමය සදාතනිකය " යන කියමනට පමණි !
    සරච්චන්ද්‍රයන් ප්‍රේමය පිළිබඳව මෙසේ කියයි .
    "ඈත සිට පිරි නමන භක්තිය , ගෙනත් පා මුල තබන බුහුමන ,
    මේ එකක්වත් නොවේ සෙනෙහස ,
    දිවා රෑ දෙක හද සමීපේ , දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස "
    ප්‍රේමය පිළිබඳව මෙවැනි නිර්වචනයක් දිය හැක්කේ සැබෑම ආදරණීය මිනිසෙකුට පමණි ;ආදරයේ පරතෙර දකින්නට නම් බොහෝ සෙයින් ආදරය කර තිබිය යුතුය ! එවැන්නෙකු, ප්‍රේම සම්භෝග හිමාලයේ මුදුන් තුඩ තරණය කළයුතුවා මෙන්ම ප්‍රේම විප්‍රයෝගයේ මරියානා ආගාධය පතුලේ කිමිදී තිබිය යුතුය .
    නොරිකෝ සං සහ දෙවෙන්දරා සං ගේ නමින් කියැවෙන වචනයක් පාසා
    කලක් ජපානයේ ගතකල සරච්චන්ද්‍රයන් මට මැවී පෙනේ .ආදරය පිලිබඳ අප සිත් පතුලේ පවත්නා පරස්පර මතවාදයන් ඔහු විවරණය කරයි .අපේ හදවතේ සඟවා ගත් ඉසවු ඔහු ස්පර්ශ කරයි . ඒ ප්‍රේමය පිලිබඳ ඔහුගේ උත්තුංග අත්දැකීම් ඇසුරෙන් බව ඔහු නොකියා කියයි .
    මේ අහන්න ඔහුගේම වචන ,
    "මළගිය ඇත්තෝ " යන නව කතාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දකීමක්දැයි මගෙන් පාඨකයෝ අසති . මීට පිළිතුරු වශයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍ය කරුවා කල ප්‍රකාශයක් මතක් කරදෙනු කැමැත්තෙමි . "සාහිත්‍යය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ "යි ඔහු කීවේය

    රෑ පුරා මා අවදියෙන් තැබූ "මළගිය ඇත්තෝ" මගේ සිත තුල යමක් තෙරපනු මට දැනිණි .දරුවකු පිළිසිඳගත් ගැහැනියක් සේ අපහසුවෙන් ගතකල රාත්‍රිය අවසානයේ මා අතින් ගීතයක් බිහිවිණි . ඉනික්බිති නොරිකෝ සහ දෙවෙන්දරා මට හමුවිය .
    සයොනාරා !
    තම සයිබර් පත් ඉරුව අගනා පර්යේෂණ ලිපියක් පල කරමින්, සරච්චන්ද්‍රයන් නැවත කියවීමට මා යොමුකළ මා මිත්‍ර ප්‍රවීණ ගීත රචක යසනාත් ධම්මික බන්ඩාරයන්ට පින් !
    ---------------narada wijayasuriya------------ narad80@hotmail.com -----------------------

    ReplyDelete
    Replies
    1. "ඈත සිට පිරි නමන භක්තිය , ගෙනත් පා මුල තබන බුහුමන ,
      මේ එකක්වත් නොවේ සෙනෙහස ,
      දිවා රෑ දෙක හද සමීපේ , දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස "
      මේ සා කරුණු ගෙන හැර, මේ කාර්යයේ මා උනන්දුකරවීම පිළිබඳව ඔබට ස්තුතියි...

      Delete

  16. සක්මන් කළ හැටි සොදුරු හීනයේ
    ආදර අබිමන් හිසින් දරා...
    නොරිකොට අමතක වෙලා ගියත් මා
    තාමත් ඔබගේ දෙවෙන්දරා...

    ආදරයෙන් අපි බැදුණත් පෙර දා
    බාධක කිසිවක් නොම සිතලා..
    අපගේ ලෝකය පළුදු වෙලා අද
    ඔබ හා මා දෙතැනක රැදිලා...

    සෙනෙහස නදියක් වෙලා ගලයි නම්
    ඉවුරු දෙකක් විය ඔබ හා මා...
    බලා හිදිමි මා යලි ඔබ එනතුරු
    සයුරට වී නෙතු පියෙන තුරා...

    ගී පද : චතුරoග හෙට්ටිගේ

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියා නම් මේ ගැන....ඇත්තටම මට තිබුණා මේ ගීත රචනයත් මගේ සටහනට ඇතුළත් කරන්න...

      Delete
  17. මිනිස් චිත්ත සන්තාන බොහෝ විට විචිත්‍රවත් කරන්නේ ප්‍රේමයේ අප්‍රකාශිත වදන් තුලිනි. නොරිකෝ සහ දෙවෙන්දොරා අතර ප්‍රේමයෙහි බොහෝ දේ අප්‍රකාශිතය. මිනිසුන් වශයෙන් අප ප්‍රේමය කොතෙක් අත්දැක ඇතත්, විමසා බැලුවහොත් අප අපගේ ප්‍රේමය පරිපූර්ණ ලෙස ප්‍රකාශ කිරීමට කිසිදිනෙක හැකිවී නැති බව අපට වැටහෙනු ඇති. ප්‍රේමයෙහි අප්‍රකාශිත ස්වභාවය අප සිත්හි සදාකාලික හිඩැසක් ඇති කරයි. සරත්චන්ද්‍රයන් සූක්ෂමව අපව යොමු කරන්නේ එම හිඩැස වෙතයි. එම හිඩැස තමන් කැමති ආකාරයකින් පුරවා ගැනීමට අපට ඉඩ තබා ඔහු ඔහුගේ කතාව හමාර කරයි. හිඩැස සමග විචිත්‍රත්වයෙන් බැඳුනු අප, විවිධාකාරයෙන් මේ උත්සහ කරන්නේ එම හිඩැස පුරවාගැනීමටය. නමුත් අප අසාර්ථකය. ඔබ ලියා ඇති පරිදිම මෙහිදී වඩා සාර්ථක රත්න ශ්‍රී බව මගේත් හැඟීමයි. ඔහු කිරීමට උත්සාහ කරන්නේ හිඩැස පිරවීම නොව, නැවත නැවතත් වෙනත් මාවත් ඔස්සේ එම හිඩැස වෙත අප කැන්දවාගෙන යාමයි.

    ඔබ, දයානන්ද රත්නායක වැන්නෝ බ්ලොග් අවකාශය තුලට සපැමිණ පාඨකයන් සමග සජීවී සංවාදයන්ට එළඹෙමින් ගීත රසවින්ඳනයේ නිම්වළලු පුළුල් කිරීමට දක්වන උත්සාහය අනර්ඝය. ඒවාට දායකවීමට හැකිවීම අපේ වාසනාවකි.

    ReplyDelete
  18. වැඩ කෝටියක් අස්සේ නාරද මහත්තයගේ කමෙන්ටුව ඉන්බොක්ස් එකේ දැක්කම කොහොම පිටුපාන්නද කියල හිතුණ..
    තනිව හිඳීමේ සාංකාව / කාංසිය (විරහවක් නොවුණත්) නොඅඩුව බුක්ති විඳින මට ඔබගෙ ඒ වචනයක් වචනයක් පාසා තදින්ම දැනුන...

    මම ගෙදර ඇත්තන්ට ලඟදි අතින් ලියාපු ලියමනක් යැව්ව.. කොණක මෙහෙම ලියැවුණා...
    "මට ඔයා නිසා සන්තෝස හිතෙනව, හිනා යනව, දුක හිතෙනව.. සමහරක් වෙලාවට නොසෑහෙන්න කේන්ති යනව.. ඒත් ඒ නිසාම රැයක් දවාලක් නැතිව මගේ හිත ලඟ ඉන්නව නේද?" කියල...

    කදිම සටහනක් නාරද මහත්තයෝ..

    "ඈත සිට පිරි නමන භක්තිය ,
    ගෙනත් පා මුල තබන බුහුමන ,
    මේ එකක්වත් නොවේ සෙනෙහස ,
    දිවා රෑ දෙක හද සමීපේ ,
    දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස "

    ආයේ කුමන කථාද..

    ReplyDelete
  19. ජීවිතයේ සෞන්දර්යය සේම, ජීවත්ව සිටිමින් මරණයේ සෞන්දර්යය මනසින් විඳින්නට සහ ඒ ඇසුරින් නිර්මිත කලා කෘතියක සංස්පර්ශය තවකෙකුට සංවේදනය කරන්නට හැකියාව ඇත්තේ, අධ්‍යාත්මයෙන් සිය පන්හිද හසුරුවන්නෙකුට පමණි. ඔබ තුළින් මා දකිනුයේ එවැන්නකි. ඔබ දැරූ අල්ප වෑයම අනල්පයක් සේ මට හැගේ. ඔබගේ සද්පරමාර්ථය වෙනුවෙන්, මාගේ මේ සහෘද සටහන තබනුයේ එහෙයිනි.

    මා කුඩා පාසල් දැරියකව සිටියදී ජීවිතයේ ප්‍රථම වරට සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතිය කියවා මනසින් මහත් වික්ෂිප්තයට පත් වූ බව මට දැනුදු හොඳ හැටි මතකය... ඊට වසර කීපයකට පසුවය, මා ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘතිය දයවා ඒ කෘතීන් ද්විත්වයම එකක් සේ මනසින් හඟමින්, මසැසින් කඳුලු වගරුවන්නට හුරු වූයේ... සැබැවින්ම ‘නොරිකෝ’ මා යැයි සිතා ඇතැම් උද්ධෘත නැවත නැවත කියවමින් ද, මෙනෙහි කරමින් ද ජීවිතයේ නිශ්චිත නොවන ඇතැම් දුක්ඛදායක සමයන්හි දී ජීවිතය විදවමින් විදින්නට මම පුරුදු වී සිටියෙමි.... එය මාගේ සෞන්දර්යාත්මක පිපාසය සංසිදුවන මහගු ‍‍ඔසුවක් තරම් විය.

    නමුදු ජීවිතයේ අපමණක් කාර්යබහුලතාවය නිසාම සාහිත්‍ය රසාස්වාදයෙන් මා බැහැරවී සිටි බවක් මට හදීසියේම පසක් වූයේ, ඔබේ සයිබර් පත් ඉරුව ඉතා අහම්බෙන් ම‍ගේ නෙත ගැටෙද්දී ය... (අන්තර්ජාලයේ සැරිසරන්නට, මම ආගන්තුකයෙකු බවද පැවසිය යුතුව ඇත...) මගේ අධ්‍යාත්මික හා සෞන්දර්යාත්මක පිපාසයට ප‍රෙස්සමින් යමක් සොයමින් සිටිය දී, මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ මහාර්ඝ කෘති ද්විත්වයේ මහා ‍සෞන්දර්යාත්මක ප්‍රවාහයට ඔබ මා හසු කරගත්තා යැයි කීම වැරදි නොවේ... පොත් ගුහාවේ දූවිලි ද සමග සගවා තැබූ මහාර්ඝ වස්තූන් දෙකක් සේ මම යලිදු, බොහෝ කාලයකට පසුව එම කෘති ද්විත්වයේ පිටු මත නොඉවසිල්ලෙන් යුතුව දෑසින් ඇවිද ගියෙමි...

    ඔබ එදෙස බලන තෙවැනි ඇසේ දෘෂ්ඨියෙන්ම මම ද බලමි. මට ද හැඩුම් එයි... උගුර සිරවෙයි... කුඩා දැරියකව මා ඒ හැගුම් ස්පර්ශ කළාට වඩා සිය දහස් වාරයකින් අද මම එම හැගීම් තුළ ජීවිතය විදිමින් සිටින්නේදැයි මට සිතේ. සැබෑය, දෙ‍වොන්දරාසං සහ ‘නොරිකෝ’ යනු අප අපමය... භෞතිකවාදී ලෝකයේ ප්‍රේමය වනාහී විවාහයේ කූටප්‍රාප්තිය බවට පත් විය යුතුයැයි අදහන නෛතික බැදීමක් වුවද එය සමහර විට අයිතිකර නොගෙනම මරණයෙන් කෙළවර වන මතකයක් පමණක් වන හෘද අභ්‍යන්තරයේ උපදින සෞන්දර්යාත්මක සුඛ දුක්ඛ චෛතසික ප්‍රවාහයක අග්‍රඵලය නොවේදැයි? මම ඔබෙන් අසමි.

    ඊනියා සුචරිතවාදී සමාජය විසින් ‘අසම්මත” යැයි හංවඩු ගසන, අභව්‍ය යැයි උපහාස නංවන ගැහැණියක හා මි‍නිසෙකු අතර ගොඩනැගෙන ඇතැම් හෘදය වේදනීය වූ නො‍සින්සිදෙන මානසික බැදීමක් මා නොරිකෝ සහ දෙවොන්දරාසං අතර දකිමි...

    ඔවුහු ‘මළගිය’ පෙම්වතුන් යුවළක් නොවෙති. සදාකල්හිම ජීවත්වෙමින් මිය යන පෙම්වතුන් මැද අමරණීය වන්නාහු ය. ඔබ විසින් එක්තැන් කරනු ලැබූ ගීත සමුච්චය දෙසවනින් හදවත ස්පරශ කරන මොහොතේ සැබවින්ම අප හා දොඩමලු වෙමින් සිටිති. රවී සිරිවර්ධනයන්ගේ පද රචනයෙන් ද විශාරද නන්දා මාලනියගේ හඩින් ද මේ ලියන මොහොතේ නොරිකෝ මගේ හෘද අභ්‍යන්තරයෙන් මා අමතයි.

    ‘දෙවොන්දරාසන් නිදන්න
    ළග මට‍ ඉඩ තියන්න ඉන්න
    මම දවසක එනවා...
    ඒ වන තුරු ඔබ වෙනුවෙන්
    මම ජීවත් වනවා...’

    ඉදින් මගේ මේ සටහන පන්හි‍දේ තවත් බොහෝ සිතුවිලි සිරවී තිබිය දී ‍මෙතැනින් මෙසේ අවසන් කරමි. ජාතික - විජාතික, දේශ-දේශාන්තර, සංස්කෘතික-ආගමික හා නෛතික සීමාවන් වලින් තහංචි පනවා ගත් ලෝකයක, පවතින සමාජ ප්‍රවාහයට එදිරි ‍නොවෙමින් ද එකග නොවෙමින් ද උඩුගම් බලා පිහිනීමට හැකි සහෘදත්වයේ බොහෝ දෑත් ඔබ වෙත දිගු වෙමින්, ඔබේ සයිබර් අවකාශයට තවදුරටත් ඔබේ තෙවැනි ඇසේ මා හැගි සටහන් මුදා හරින්නට ඔබට හැකි වේවා! ශුභාශිංශනය කරමි.

    මම,
    මේධා දර්ශනී මානවඩු











    ReplyDelete
  20. ගේප පද රචක යසනාත් ධම්මික බණ්ඩාරයන් විසින් අකුරු කළ “මළගිය ඇත්තන්ගෙන් ජීවත්වෙන ඇත්තන්ට...“ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා සහ ඒ ආශ්‍රිත ව බිහි වූ කව් ගී..... බ්ලොග් වියමනට ලැබුණු ප්‍රතිචාර අතර Facebook තුළ ගොඩ නැඟුණු සංවාද සමූහයක්ද විය. ඒ අතර ගේය පද රචක රවී සිරිවර්ධනයන් දැක්වූ අදහස්ද බ්ලොග් පාඨක ඔබට වැදගත්යැයි හැඟුණ හෙයින් මෙලෙස මෙහි එය අමුණමි.

    Ravi Siriwardhana මලගිය ඇත්තන් ගැන ලියන්නට සරචන්ද්‍ර උපයුක්ත කොට ඇති භාෂාව අපගේ හදවතෙහි බොහෝ සියුම් ඉසව් වෙත ගමන් කොට අප එහි ජීවමාන චරිත බවට පත් කරයි.මේහී දෙවෙන්දරා සං ගේ පලා යාමට මා කැමති නැත.පලායාම පහසුය. එහෙත් දුෂ්කර වන්නේ මේ සියලු මතක හා දිවි ගෙවීමයි.යසනාත් සඳහන් කළ සැබෑ මරණය ඇත්තේ මේ ජීවිතය තුළමය.මා නන්දා මාලිනියගේ ගීයෙහි "ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත් වෙනවා" ලෙස සටහන් කළේ ජීවිතය තුළ ඇති මරණය තෝරාගත්තියකගේ ආත්මය මතු කිරීමටය.එහෙත් සුසානයේ සිට ඇය අමතන දෙවෙන්දොරා සං මතු කරන්නේ කාලය හා අවකාශය තුළ නොරිකෝ සං අනුගත විය යුතු ජීවිතයයි.කබුකි රංගන අලුත් වී ඇති බවත් ඔහු නැත ද කෝපි හල් මග බලා ඇති බවත් මා ගීතයට එක කළේ එඒ අරුතිනි.....අප සියල්ලෝ ජීවිතය තුළ ඇති මරණය අඩු හෝ වැඩි ලෙස අත් විඳින්නෝය.එය අතීතයත් වර්තමානයත් ආරෝහන හා අවරෝහණ ලෙස ගැටෙමින් සංවේදනා ලෙස අප හදතුළ ජනිත වේ.......
    Monday at 1:29pm · like · 5

    ReplyDelete
    Replies
    1. Yasanath Dhammika Bandara ඇත්තම ඇත්ත රවි....අප සියල්ලෝ ජීවිතය තුළ ඇති මරණය අඩු හෝ වැඩි ලෙස අත් විඳින්නෝය.එය අතීතයත් වර්තමානයත් ආරෝහන හා අවරෝහණ ලෙස ගැටෙමින් සංවේදනා ලෙස අප හදතුළ ජනිත වේ.......
      Monday at 4:00pm · like · 4

      Delete
    2. Ravi siriwardhana, ආදරණිය මිත්‍රයා, මේ බලන්න. ලංකාවෙ නිසා අපි එලෙස සිතුවට ජපානයේදී හරා කිරි වගේ ක්‍රම පවා ජනප්‍රිය වෙලා තිබුණා නේද ? දිවි නසාගැනීම සඳහා. ඒ සංස්කෘතියට එය ආගන්තුක නෑ. සරච්චන්ද්‍ර වුවත් සියදිවි නසා ගැනිම අනුමත කරන්න නැතිව ඇති. නවකතාවේ කෙසේ කිවුවත්. ඔහු මහත්සේ ඇළුම්කළ ජපාන සංස්කෘතියේ විචිත්‍රවත් බව කියන්න වෙන්න ඕනෑ ඒ විදිහට ලියන්න ඇත්තේ. නව කතාවේ මේ කොටස දෙනවා නේද හොඳ උත්තරයක්......නොරිකො මට ජීවිතයේ සෞන්දර්යය මෙන්ම මරණයේ සෞන්දර්යය ද පෙන්වා දුන්නා ය. කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනීමට ය. කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම්, ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි.
      Monday at 6:23pm · Like · 3

      Delete
    3. කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනීමට ය.කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම්, ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි.

      Delete
  21. Ravi Siriwardhana Yasanath ,මට හිතෙන්නෙ ඔහු ඒ දිවි නසා ගැනීම කතාවට එක් කළේ ඒ සංස්කෘතිය මූර්තිමත් කරන්න නෙවෙයි.ඒ කතාව ඔහු ගොඩනගාගෙන ගියපු ආකෘතිය තුළ පාඨක පහන් සංවේගය උත්කර්ෂයට නගා එය නිමකළ හැකි වෙනත් මානයක් නොමැති වූ නිසයි.වෙනත් විදිහකට කිව්වොත් භාවාතිෂය මූලික කොටගත් කතා සන්දර්භයක උච්චතම අවස්තාව හැටියටයි.....අප ඉන් කම්පනයට පත් වන්නේ ජපන් සංස්කෘතියට අනුගත පාඨකයෙක් ලෙස නොවෙයි.එකී සංස්කෘතික මූලයන් අභිබවා කතා පුවත තුළ ප්‍රේමයට අදාල විශ්ව සාධාරණ භාවයන් ඉස්මතු වීම නිසයි.දිවිනසා ගන්නට යන්නේ "ජීවිතයේ සෞදර්යය රකින්නටය" කියන කතාව භාවාතිශ පෙම්වතෙකු තම නික්මයාම සාධාරණීය කිරීමට ගෙනෙන තර්කයක් විතරයි.මහාචාර්ය ගම්ලත්ට අනුව එය මායා ලෝකයක අතරමං වීමක්....සැබෑ පෙම්වතුනට ජීවිතයේ සෞන්දර්යය හමුවන්නේ ජීවත් වීම තුළයි.එය මරණය තුළින් මතුකර ගත නොහැකියි.යසනාත් ඔබ ඔබේ බිඳ වැටුන ප්‍රේමයෙහි සුඛ - දුක්ඛ වේදිතයන් කලතා අපට පිරිනමන ගී ජීවිතයේ සෞන්දර්යයි.එය ඔබට ගෙන ආ හැක්කේ ජීවත්වීමෙන් ම පමණයි.මහගමසේකර නොමියෙමි කෘතිය තුළ යළි ජීවිතය සොයන්නේත් මේ නිසාමයි. මිය යන්නට බල කෙරෙන දහසක් හේතු සාධක හාත්පස තිබියදිත් ඔහු ජීවිතයම සොයා වෙහෙසෙයි.ජීවිතයේ සෞන්දර්යය රැකිය හැක්කේ මරණයෙන් නොව ජීවත් වීමෙන් බවත් එවිට මරණය පවා සෞන්දර්යයෙන් යුතුව දැකිය හැකි බවයි මගේ අදහස.සරචන්ද්‍ර මෙතන දී කතා සන්දර්භය තුළ භාවාතිශ පෙම්වතෙක්ගේ මනෝ ලෝකය සන්තර්පනය කොට ඇති නමුත් එය සැබෑ ලොව තුළ අපට හමුවන යතාර්ථය ප්‍රතිනිර්මාණයක් හැටියට සලකන්න බෑ.......
    Monday at 10:52pm · like · 6

    ReplyDelete
    Replies
    1. Yasanath Dhammika Bandara @ Ravi Siriwardhana, මටද මතුකිරීමට ඇවැසි තැනකට ඔබ සේන්දුවිය. ඔබ එය කීමෙන් මා පුදුම නොවන්නෙම්. එසේ ඔබෙන් එය මතු නොවේනම් කිසි දින ඔබට, ඔබ එයින් උකහාගත් අර ගීත දෙක ලියන්නට නුපුළුවන. එමතු ද නොව මගේ මෙම කමෙන්ටුව පිළිබඳ කමෙන්ටුව මෙන්ම මා ලියූ මූලික සටහනට ඔබ ප්‍රතිචාර දැක්වූයේත්, යම් සංවාදයක මට්ටමකට එය ගෙන ඒමෙන් ඊට වටිණාකමක් එකතු කළේත් එබැවිනි. ඒ කුමක්ද යත් කෙනෙකු ජීවිතයේ සෞන්දර්යය විඳීමට නම් ඔහු ජීවත්ව සිටිය යුතුයි යන්නය. එය ඇත්තය. එහෙත් ඒ ඇත්ත මදකට පසෙකින් තබමු.
      සරච්චන්ද්‍රයන් එවැනි අයුරකින් කතාව ‍අවසන් කරන්නට හිතුවේ ඔබ කිවූ සේම,
      ගොඩනගාගෙන ගියපු ආකෘතිය තුළ පාඨක පහන් සංවේගය උත්කර්ෂයට නගා එය නිමකළ හැකි වෙනත් මානයක් නොමැති වූ නිසාවිය හැකියි.වෙනත් විදිහකට කිව්වොත් භාවාතිෂය මූලික කොටගත් කතා සන්දර්භයක උච්චතම අවස්තාවක් නිරූපනය සඳහා වියහැකියි. එය බැහැර කරන්න බෑ.
      විවිධ විදිහට තේරුම් ගතහැකි පමණක් නොව, කියවන විට, වරින් වර විවිධ තේරුම් දෙන කෘති දෙකක රස මානයන්ය, අප මේ කලතමින් සිටින්නේ. එක් එක් අය තම තම නැණ පමණට එක් එක් රසයන් විඳියි. සරච්චන්ද්‍රයන් ද එය දැන සිටින්නට ඇත. එබැවින් ඔහු මෙම භාවාතිශය පෙම්වතාතුළ හැඟීම් කිසියම් උත්කර්ශයකට ගෙන කකතාව නතර කරන්නට සුදුසු තැනක් සෙවූවා සේ ම සරච්චන්ද්‍රයන් ම කියන හේතුන්ද සලකා බැලිය යුතුය.
      මෙම කෘති දෙක ලිවූ හේතු සාධක පිළිබද සොයා යාමේදී සරච්චන්ද්‍රයන් සිය “ පින් ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි පිටු 171 සිට 178 දක්වා ඉඩක් මෙම කෘතිය කිරීටමේදී පාදක වූ කරුණු සඳහා වෙන්කර ඇත. එහි දී දැක්වූ අදහස් අනුව, ජපන් සංස්කෘතියට අපමණ ඇළුම් කළ පුද්ගලයෙකු වශයෙන් ඔහු, එම සංස්කෘතිය අපේ ඇසින් විවේචනයට බඳුන් නොකර, එය එම සංස්කෘතියටම අනුගත පුද්ගලයෙකු ව, එම සංස්කෘතිකාංගවලට වැදගත්කමක් ද දෙමින්, එම කතාව නිමවීමට උත්සාහ කළ බව පෙනී යයි.
      ඔහු ජපානයට ගිය අයෙකි. එහි ගොස් නැවතී සිටි අයෙකි. ඔහු නැවතුනේ එහි, එහි පාරම්පරික කලා පවුලකට අයත් නිවසක, ඔවුන් ද සමගය. ඒ ඇසුරේ ජපන් බස ද සංස්කෘතිය ද හැදෑරීමට ඔහුට ඉඩකඩ ලැබුණි. බස ඉගෙනීම සංස්කෘතියකට එබී බලන කවුළුවක් සේ ඔහු සැලකීය. කිසියම් සංස්කෘතියක් කෙටි කලකට හැදෑරූ පමණින් එම සංස්කෘතික ජීවියෙක් විය නොහැකි වුවත්, ඔහු ඒ හා මනාව බද්ධවූ වග මෙම කෘතීන් දෙක මොනවට සාක්ෂි සපයයි. මේ අනුව ඔහු මෙම නව කතා ලියන්නේ එම සංස්තකෘතියේම පුරුකක් බවට පත්විමට ගන්නා වෙසෙස් උත්සාහයක්ද මධ්‍යයේය. සිය දිවි හානිකර ගැනීම, මරණය, මරණයෙන් පසු ජීවිතය, මළවුන්ගෙන් නැගිටීම, මළවුන් හමුවීම ඈ බොහෝ දේ වලට වටිණාකමක් දිමට ඔහු එම සංස්කෘතියේ විවිධ තැන් ස්පර්ශ කරණු ලබයි. එසේ ම මළවුන්ගේ අවුරුදු දා ලිවී මට පෙර ඔහු තවත් මාස කිහිපයක් ජපානයේ වෙසීමට වාසනාව ලබයි.
      To be continued.
      Yesterday at 7:33pm · Like · 2

      Delete
    2. Comment continuing.
      දෙවෙන්දොරා නිදි පෙති අධි මාත්‍රාවක් නොගනී. ඔහුට නිදිපෙති අධි මාත්‍රාව දෙන්නේ සරච්චන්ද්‍රයන්ම ය. එහෙත් මේ පොත් ද්වය ඔහු ඉදිරිපත් කරන්නේ අප සමාජයට ය. එහිදී දෙවෙන්දොරා ලක්විය හැකි නියත අපවාදයෙන් මිදවීමටය ඔහු මරණයද රමණීය අත්දැකීමක් බවත්, දිවි හානිකර ගැනීම ජපන් සංස්කෘතිය තුළ නිවට හෝ බියගුළු දෙයක් නොවන බවටත් ප්‍රකාශකරමින් එම චරිතයට එම සංස්කෘතියේ රැකවරණය ලබා දෙන්නේ. එවැනි රැකවරණයක් ලබා දිය හැක්කේ එහි ඇත්තටම එවැන්නක් පැවති බැවිනි.
      මේ කෙටි කාලය තුළ කෙනෙක් මේ සා සංස්කෘතියකට බද්ධ විය හැකිද යන්න කෙනෙකුට සිතිය හැකිය. එසේය. මතුපිටින් කිසියම් සංස්කෘතියක් ස්පර්ෂ කර එසේ විය නොහැක. යුධ සමයේ අමෙරිකානුවන් ජපන් යුවතියන් ගණිකාවන් ලෙස ඇසුරු කොට, ඔවුන්ගෙන් අහුලාගත් ජපන් ජන ජීවිතය ප්‍රතිනිර්මාණයෙන් එය ඉටු නොවේ. එලෙස ලිවූ ජපාන ජනදිවිය ආශ්‍රිත කෘතීන් කිහිපයක් ජපනුන් විසින් පිළිකුළෙන් බැහැර කළ බව ප්‍රකටය. එවිට සරච්චන්දුයන්ගේ මෙම කෘතියට කුමක්වේද? එය මෙම වැකි කිහිපයෙන් පැහැදිලි වනු ඇත.
      “ මළගිය ඇත්තෝ ” යන්නෙහි, මා විසින් ජපන් ජන ජීවිතය යථාස්වභාවයෙන් නිරූපණය කොට ඇද්ද - එසේ නැත්නම් විකෘති කොට තිබේද කියා බියක් මා තුළ නැගුණි. එහෙත් එය කියවා ජපන් බසට පෙරළූ තදෂි නොගුචි මහතාගේ සහතිකයෙන් මා අස්වැසීමි යි සරච්චන්ද්‍රයන් “ පින් ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි 171 පිටෙහි සඳහන් කොට ඇත. මේ නිසා මෙහි ජපන් සංස්කෘතියේ කරුණු යැයි ඔහු ගෙන හැර පාන දේ විවාදාත්මක නොවී ඇත.
      කෙසේ වෙතත් කියවන ශ්‍රී ලාංකික අපට, එම සංස්කෘතියේ ඇති ආගන්තුක බව හේතුවෙන් සරච්චන්ද්‍රයන් කුමන අදහසකින් ලියුවත් එහි අප සංස්කෘතියට ගෝචර අදහස මතු විම වැලැක්වීම අපහසු දෙයකි.
      රවි සිරිවර්ධන මා මිතුරා දක්වා ඇති ලෙසද සිතිය හැක. එක් පැත්තක් එලෙසය. මෙහි තවත් පැත්තකි මෙය.
      කවුරුන් කෙසේ කීවත්, මරණයට පත්වූයේ, ඉතින් දෙවෙන්දොරාට කතාකරවීමට ඉන් අනතුරුව සරච්චන්ද්‍රයන්ට නොහැකිය. එහෙත් අපට එය කළ හැකිය. අප වෙනම ම සිතන්නවුන් ය. වෙනම ම නිර්මාණ කරන්නවුන් ය. අපේ නිර්මාණ තුළ දෙවෙන්දොරා ට තව දුරටත් ජීවිතයක් ඇත. එසේම ජීවත් වන තාක් කල් අපටද එලෙසම ය. ජීවිතයේ සියළු සුඛ දුක්ඛ අත්දැකීම්ද, පරිකල්පනයන්ද මුසු කර ඒ සෞන්දර්යය ගෙන හැර පා හැක්කේ නොමැරී ජීවත්වුවහොත් පමණි. නොමැති නම් මැරී මැරී ඉපදුනහොත් පමණි. මරණය රමණීය බව සරච්චන්ද්‍රයන්ගේ දෙවෙන්දොරාගෙන් අප උගත්තද රමණීය මරණය වැළඳ ගැනීමට එක්කෝ අප බිය ගුල්ලෝය. නැතිකම් අපට එය නුහුරු ය. එබැවින් අප තව දුරටත් ජීවිතයේ අඩු වැඩි වශයෙන් වූ සුඛ දුක්ඛ දිවි පෙවෙතේ විවිධ දේ කලතමින් හෙටද දිවි ගෙවන්නෙමු. කාලය වැය කරන්නෙමු. නිර්මාණකරණයේ යෙදෙන්නෙමු. ඒවා රසවිඳින්නෙමු. විමසන්නෙමු.
      Yesterday at 7:34pm · like · 4

      Delete
    3. Ravi Siriwardhana මගේ පුද්ගලික අදහස නම් කවර සංස්කෘතියකට අනුගතව නිර්මාණ කාර්යයෙහි නිරත වුවද එය තුළ මනුශ්‍ය සංහතියටම පොදු විශ්ව සත්‍යක් ගැබ් විය යුතු බවයි.අප උසස් විදෙස් කලා කෘතියක් රසවිඳින්නේ මනුෂ්‍ය වර්ගයාට පොදු ජීවන අරුතක් ඉන් වහනය වන බැවිනි.එසේ නොමැතිව එම සංස්කෘතිය පමණක් රසවිඳීමට නොවේ.අපගේ පසුකාලීන නවකතා කරුවන් හා සැසඳීමේදී සරචන්ද්‍රයන් මෙම කෘති දෙක තුළින් එබඳු ගැඹුරු ජීවන අරුතක් මතු නොකරයි.එහි ඇත්තේ ඔහුට පුද්ගලික වූ අද්දැකීම් හා කලපිත හා මුසුකොට රසවත් ඉදිරිපත් කිරීමකි.එය ඉදිරිපත් කෙරෙන භාෂාව වූ කලි අතිශය ආකර්ෂණීය වියමනකි.කතා පුවත ශෝකාන්තයක් වීම අප හද සසල කරවයි.ඒ අප අදාල චරිත හා බලවත් සේ තදාත්මීකරණය වීම නිසාවෙනි.එපමණක් නොව එයට පාදක වන නැවුම් සංස්කෘතික වටපිටාවද අප ඊට බැඳ තබන්නට ඉවහල් වෙයි.එහෙත් ඉන් මිදී ඒ දෙස බලන කල එකී චරිත අප වෙත පිරිණමන වෙනයම් නවමු දිවි අරුතක් නැත.කොටින්ම සරචන්ද්‍රට සමකාලීන වූ මාටින් වික්‍රමසිංහ ලියූ නවකතාවක අසලකට වත් එන්නට මෙම කෘති වලට නොහැකි වූ බව විචාරකයන් පවසන්නේයේ එබැවිනි."පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතයට අනුව සරචන්ද්‍ර මෙහිදී ජපන් සංස්කෘතියට අනුගත වීම හැර ඉන් මතු කෙරෙන ජීවන ගැඹුර පිළිබඳ එතරම් වෙහෙස වූ බවක් නොපෙනේ. එය සැබවින්ම සැමියා මියගිය පසු බිරිඳ ද ඔහුගේ දර සෑයටම පැන සියදිවි නසාගන්නා සිදුවීමකින් කෙළවර කෙරෙන ඉන්දීය නවකතාවකින් වෙනස් වන්නේ සරචන්ද්‍රයන් නිමවන රමණීය ගද්‍යාඛ්‍යානය නිසාවෙනි.සංස්කෘතිය කවරක් වුවද නිර්මාණ කරුවකුගේ පරිකල්පනය එම සංස්කෘතික සිරගෙය තුළ සිරකළ හැකි නොවේ.ඔහු හැම විටම එය බිඳ දමා විශ්ව සාධාරණ අරුතක් මතුකර ගනියි.සරචන්ද්‍ර දෙවොන්දරා සං ට වස දී එය ජපන් සංස්කෘතිය මත පටවා අනේ අපොයි කිව නොහැක්කේ එය නිර්මාණ කරුවකුගේ ආස්තානය නොවන බැවිනි.එය කරන්නට නිර්මාණ කරුවකු අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි........
      22 hours ago · like · 6

      Delete
  22. Ravi Siriwardhana "එය ඉදිරිපත් කෙරෙන භාෂාව වූ කලි අතිශය ආකර්ෂණීය වියමනකි.කතා පුවත ශෝකාන්තයක් වීම අප හද සසල කරවයි.ඒ අප අදාල චරිත හා බලවත් සේ තදාත්මීකරණය වීම නිසාවෙනි.එපමණක් නොව එයට පාදක වන නැවුම් සංස්කෘතික වටපිටාවද අප ඊට බැඳ තබන්නට ඉවහල් වෙයි" මේ මා මීට පෙර ද සඳහන් කළ පරිදි මෙම කෘතියට ඇලුම් කරන්නට හේතු වූ කරුණු ය.එම කරුණු එය ඉවත හල නොහැකි කෘතියක් බවට මා තුළ පවතින විශ්වාසය ඔබට පැහැදිලි කර දෙනු ඇතැයි.සිතමි.තවත් උදාහරණයකින් පැහැදිලි කරතොත් එච් ආර් ජෝතිපාලයන් ගැයූ බොහෝ ගී සිංහල ගීත සාහිත්‍යයේ සුවිසෙස් මග ලකුණු ලෙස නොසැලකුන ද ඒවා බැහැර කළ නොහැකිය.මන්ද ඔහුගේ හඬත් ඊට එක් වූ මධුර ගී තනුත් ජනිත කරනු ලැබූ ශබ්ධ මාධූර්යය අප ඒ වෙත ආකර්ශනය කරගන්නට හේතු වී ඇති බැවිනි. එහෙත් අප කපුගේ පිළිබඳ අප ගෙනයන සංවාදය වෙනත් තලයක පවතින්නකි......මා මෙම කෘතිය පිළිබඳ ලියූ ගී පදනම්ව ඇත්තේ දෙවෙන්දොරා සං ගේ මරණින් පසු යුගයටයි.කෘතිය තුළ දෙවෙන්දොරාගේ මරණින් පසු යුගයක් පිළිබඳ සඳහන් නොවේ.ඔහු සුසානයට ඇරලූ පසු කතාව නිමාවට පත් වේ.මා නිමවූ නොරිකෝ කෝපි හල් මෙන්ම කබුකි නැටුම් ද මගහැර යමින් වේදනාව සමග දිවි ගෙවයි.දෙවෙන්දොරා ඇය අමතන්නේ ඇය එම දිවියෙන් මුදවා අලුත් බලාපොරොත්තුවක් වෙත විතැන් කරන අදහසිනි....අප කරන නිර්මාණද හැම විටම එකම මට්ටමක නොපවතී.විටෙක ඉන් වඩා ගැඹුරු වින්දනයක් ලැබිය හැකි වුවද තවත් විටෙක එය ඉතා සරල රසයක නතර වේ.එහෙත් ඒවා බැහැර නොකෙරේ.එසේ නමුදු වඩා ප්‍රසස්ත නිමැවුමක් නිපදවා ගන්නට අප දරන වෑයම නතර නොවේ...
    11 hours ago · like · 5

    ReplyDelete
    Replies
    1. Yasanath Dhammika Bandara විවිධ නිර්මාණ මනුෂ්‍ය වර්ගයාට විවිධ රසයන් ලබා දේ. සරල රසභාවයක සිට ගැඹුරු ජීවනාවබෝධය දක්වා එම පරාසය විහිද යයි. මෙහිදී සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරණ පෙළතුළ මහා ගැඹුරක් නැත. එහි ඇත්තේ ඔහුගේ භාෂාත්මක වියමයමනේ ඇති කාව්‍යාත්මක ගුණය යැයි කෙනෙකුට අනෙකුත් නිර්මාණ වලින් බැහැර කොට තැබිය නොහැ. මිනිසා විවිධ අවස්ථාවල විවිධ රසයන් ඉල්ලයි. ඉල්ලන රස ලබාදීම නිර්මාණකරුවාගේ වගකීම නොවුනද සමහර රසයන් පරාසයක් තුළ ලබා දීම ඔහු විසින් සිදුකළ යුතුය. මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නිර්මාණ තුළින් ගැබිවෙන ගැඹුරක අහලකින්වත් තැබිය නොහැකි මෙම නොගැඹුරු කෘතිදෙක මේ නිසා කිසිසේත් අහෝසි විය නොහැක. අහෝසිකළද නොහැන. ගැඹුර කෙසේවුවද එය මටද ඔබටද යම් කළෙක එක හා රසයක් ලබා දී ඇත. නිර්මාණ ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර වෙනවා නම් හොඳටම හොඳයි. ඒත් සෑම නිර්මාණයක්ම එලෙසම නිර්මාණය වෙන්නේ නෑ. ඒ නිසා මගේ නම් අදහස යම් නිර්මාණයක් අවම වශයෙන් ආනන්දය හා ප්‍රඥාව යන සීමා දෙක තුළ හෝ තිබිය යුතුය යන්නය. ඒ අරුතෙන් ගත්විට මෙම කෘතීන් වෙසෙස් තැනකතැබිය හැකි කෘතීන් දෙකක් වෙයි.
      සමහර නිර්මාණවල පෙළෙහි සමහරවිට ඇත්තේ ආනන්දයම පමණි. එහෙත් ඇසුරු කරන්නා එය ඇසුරු කරණ ආකාරය මත ප්‍රඥාව මතුවෙයි. මෙම කෘතීන් දෙකෙහි බර හෙවත් හරය ප්‍රධාන වශයෙන් ආනන්දයයි. ශෝකයත් රසයක් වන බැවිනි. එහෙත් මෙහි මතු කරණ සමහර කරුණු අප අවිවාදයෙන් පිළි නොගනී. අපට එම කෘතීන් අවශ්‍යය. අතහරින්නට බැරිය. අතහරින්නට නොසිතේ. ඒ මෙහි ඇති ප්‍රබලම ශක්තියයි. අප අවිවාදයෙන් පිළිනොගැනීම තුළ අප අපේ තර්කානුකූල පිලිතුරු සොයයි. ඒ තුළ තාර්කික බවට අමතරව ප්‍රඥාවන්ත භාවය මතුවෙයි. ඒ මෙම කෘතිය මගින් අවදි කරණ ප්‍රඥාවයි. මතු පෙළෙහි ආනන්දයම දැවටුනද ඒ ආනන්දය අභිබවා යටින් මෙහි සියුම්ව අපව කෘතියද, එහි සංස්කෘතික වට පිටාවද, එහිම ජීවිතයද සොයාබැලීමට, ප්‍රශ්ණකිරීමට, විචෑරීමට යොමුකරයි. ඒ සියළු දේ සඳහා අපව කිතිකවන්නේ මෙහි සැඟව පවතින සෘජුව දසුන නොවන ප්‍රඥාවයි.
      11 hours ago · like · 4

      Delete
  23. Ravi Siriwardhana මට යළි කිව යුතු දෙය වන්නේ ද මා කලින් සඳහන් කළ දෙය මයි....."අප කරන නිර්මාණද හැම විටම එකම මට්ටමක නොපවතී.විටෙක ඉන් වඩා ගැඹුරු වින්දනයක් ලැබිය හැකි වුවද තවත් විටෙක එය ඉතා සරල රසයක නතර වේ.එහෙත් ඒවා බැහැර නොකෙරේ.එසේ නමුදු වඩා ප්‍රසස්ත නිමැවුමක් නිපදවා ගන්නට අප දරන වෑයම නතර නොවේ..."
    10 hours ago · Like · 3

    ReplyDelete
  24. Dilini Kaluarachchi නමින් මා අමතන, ඒත් සැබැවින් එහෙම කෙනෙක් ඉන්නවාදැයි නොදන්න, ඇය මා හට මෙහෙම කවි දෙකක් ලියා එවුවා. ඇයට මේ කවි දෙක ලියන්නට සිතුනේ මෙම ලිපිය කියවීමෙන් පසුව බව ප්‍රකාශකර තිබුණා. එය මෙහි ලියන්නැයි මා කීවිට ඇය එය ප්‍රතික්ෂේප කළා. ඇගේ නමින් මවිසින්ම එය පළ කරන ලෙස දැන්වුවා. ඒ අනුව එම කවි දෙක මෙහි පළ කරමි.

    සීත හීනයක දැවටී රැයක් පුරා
    ඈත බලා ඉමි හැබැහින් දකින තුරා
    පාත දිලෙන තරුවකි ඔබ රැයක් පුරා
    දෑත පාමි පිළිගන්නෙද දෙවෙන්දොරා

    පාන හිනාවට මුව මඬලම උතුරා
    පේන නොපෙනෙනා දුක් කඳු යයි පුපුරා
    ගේන සැනසුමට නැලවෙමි දවස පුරා
    හීනයක් තමයි ඔබ මට දෙවෙන්දොරා

    ReplyDelete
  25. ඔබ කුමන අදහසින් මෙය ලියූවද, සුවිශේෂම දේ නම්, මෙය ලියූවේ ඔබම නම්, ඔබ හොඳ කිවිඳියක වන බව මගේ හැඟීමයි. නොනවත්වා ලියන්න.

    ReplyDelete
  26. mula sita agata eka husmata saibar path iruwa pura..." mala giya aththoo" saha " malawunge awurudu daa " nawakatha yugalaya asurin oba seeruwata akuru kala devendorageth norikoogeth priya vippayogaye athul pathikadayan, oba keewa seema magee deneth maa nodanuwathwama thema damannata samath uu bawa kiyanu kamaththemi.....wadaathma hada ridum dun saha mageema hangum haa muhu wee giyaa see hangunu, hadawathima liya thabuu obee akuru peeli melesa nawathath liya thabanu kamaththemi...

    "හුවමාරු වූ බස් වල අරුත පමණක් තේරුම් නොගෙන, පිටවූ සුසුම්වැල් වල අරුත තේරුම් ගැනීමට ඔබ උත්සුක නොවුනේ මන්දැයි මට නොවැටහේ. මා බලා සිටියේ ඔබ එය තේරුම් ගන්නාතුරු ය. මා නොකියා ම දිනක ඔබ එය තේරුම්ගනීවි යැයි මා සිතා සිටියෙමි. මා බලා සිටියෙමි. එහෙත් ඔබ එය තේරුම් ගන්නට වෑයම් නොකළා ය. මමද එය තේරුම් කර දෙන්නට වෑයම් නොකළ බව මට වැටහුනි. මා එබව තේරුම් ගන්නට උත්සාහ නොකළ බවද, ඔබ එය මා හට තේරුම් නොකළ බවද පසක්විය.
    වරද කාගේදැයි කෙනෙකු සොයනු ඇත. වරද ඔබේ ද නොවේ. වරද මගේ ද නොව්. කෙනෙකු, ජීවිතයේ තීරණ කොතරම් ඉක්මණින් ගතයුතුද, කොතරම් පවමා වී ගතයුතුද යන්න, කාටවත් ම කිව නොහැකි දෙයකි. ජීවිතයේ හැඟීම් කොතරම් ඉක්මණින් කිවයුතුද, කොතරම් පවමා වී කිවයුතුද යන්නද කාටවත් ම කිව නොහැකි දෙයකි. එහෙත් පමාව අනවශ්යම කාලයක් ගෙවා දැමිය. ඒ කාලය විසින් අපව මරා නොදැමුණත් අපේ ප්රේයමය මරා දමන්නට සමත්ව තිබුණි. ලොකුම ඛේදවාචකය ප්රේපමය මරා දමා අප පමණක් ඉතිරි කිරීමය.

    ආදරණීය නොරිකෝ,

    වසර ගණනක් අප ඇසුරු කළෙමු. ඔබ කිසි දිනෙක මට, මම ඔබට ආදරේයැයි කියා නැත. එසේ කියනතුරු මා කොතෙක් බලා සිටියාදැයිවත් ඔබ දන්නේ නැත. එහෙත් පසුව මම කල්පනා කළෙමි. මම ද ඔබට, මා ඔබට ආදරේ යැයි නොකී බව මතක් විය. මා එසේ කියනතෙක් ඔබ කොතෙක් නම් බලා ඉන්නට ඇතිදැයි කල්පනා විය.
    ඉතින් අප දෙදෙනාම එකතුවී අපේ ආදරය මරා ගත්තෙමු. අනතුරුව........කතාවට නිමාවක් ඇවැසිය..... මට ඔබව මරා දමන්නට තිබුණි. එහෙත් කතාවටවත් ඔබව මරන්නට මා සිත මට ඉඩ නොදුනි. එබැවින් කතාවට අනුව මම සියදිවි නසාගන්නට තීරණය කළෙමි. කතාවට පමණක් දෙවෙන්දොරා විඳි දුක නිමා කළෙමි........

    Darshanee manawadu soyuriya wisin ithaa harawathwa hangumbarawa oba wetha liya thabuu satahanama...matada keemata awasi deya sapuray....

    ඔබ එදෙස බලන තෙවැනි ඇසේ දෘෂ්ඨියෙන්ම මම ද බලමි. මට ද හැඩුම් එයි... උගුර සිරවෙයි...
    සැබෑය, දෙ‍වොන්දරාසං සහ ‘නොරිකෝ’ යනු අප අපමය...
    භෞතිකවාදී ලෝකයේ ප්රේසමය වනාහී විවාහයේ කූටප්රාgප්තිය බවට පත් විය යුතුයැයි අදහන නෛතික බැදීමක් වුවද එය සමහර විට අයිතිකර නොගෙනම මරණයෙන් කෙළවර වන මතකයක් පමණක් වන හෘද අභ්ය න්තරයේ උපදින සෞන්දර්යාත්මක සුඛ දුක්ඛ චෛතසික ප්රෘවාහයක අග්රතඵලය නොවේදැයි? මම ඔබෙන් අසමි.


    දෙවෙන්දොරා....
    දොර අරින්න දෙවෙන්දොරා
    තමබොචි සොහොන් ගැබේ
    දොර අරින්න දෙවෙන්දොරා
    සකුරා මලින් පිරුණු
    ඇසි පිය යට
    ඉන්නට මට තුරුල්වෙලා
    ඇසි පිය හැර බලන්න
    ඇවිදින් ඔබෙ සුපෙම්බරා

    සඳ සරා හෙමින් ඇවිදින්
    නිල් ගුවන් අරා සරමින්
    කුමකුරා අරුංගල් ජෝඩුව
    දිහා බලන්නේ
    මට දරා ගන්න බෑ – ඔබ
    හිත පුරා වෙලෙන්නේ.....

    ReplyDelete
  27. http://dharaneemythoghts.blogspot.com/2013/04/blog-post.html

    ReplyDelete

  28. මා කුඩා පාසල් දැරියකව සිටියදී ජීවිතයේ ප්‍රථම වරට සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතිය කියවා මනසින් මහත් වික්ෂිප්තයට පත් වූ බව මට දැනුදු හොඳ හැටි මතකය... ඊට වසර කීපයකට පසුවය, මා ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘතිය දයවා ඒ කෘතීන් ද්විත්වයම එකක් සේ මනසින් හඟමින්, මසැසින් කඳුලු වගරුවන්නට හුරු වූයේ... සැබැවින්ම ‘නොරිකෝ’ මා යැයි සිතා ඇතැම් උද්ධෘත නැවත නැවත කියවමින් ද, මෙනෙහි කරමින් ද ජීවිතයේ නිශ්චිත නොවන ඇතැම් දුක්ඛදායක සමයන්හි දී ජීවිතය විදවමින් විදින්නට මම පුරුදු වී සිටියෙමි.... එය මාගේ සෞන්දර්යාත්මක පිපාසය සංසිදුවන මහගු ‍‍ඔසුවක් තරම් විය..මෙය මා ආශාවෙන් කියවූ ''යසනාත් සිතිවිල්ලයි'' ඔබ විසින් මෙහි රඳවා හැඩකොට තිබෙන සියළුම ගීතයන්..මේ සිතිවිලි සටහන වර්ණවත් කොට තිබේ.ඉනුත්...මගේ හදවත..තදින් අල්ලාගත් එක් ගීයක් වේ..
    ප්‍රවීන ගේය පදරචක රවි සිරිවර්දනයන් විසින් රචිත...'
    දෙවෙන්දොරා සං නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
    මං දවසක එනවා...
    ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...
    ඔබත් සමග ගිය මඟ තොට
    නැතිවුණා ට ඔබ පෙර ලෙස
    මං තනිය ම යනවා ....!!හදවතිම්ම සුබ පතනවා ඔබ වැනි කෙනෙක්
    මේ විදිහට සව්න්දර්යාත්මක කරුණු එක් කිරීම
    ගැන..ගොඩක් සතුටුයි.....යසනාත් දොස්තර මහත්තයට .....මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා මේ කෘති දෙකම ‍ප්‍රේමයේ ශෝක රසය උපරිමයෙන් ගෙන දෙන මා කියවූ අති විශිෂ්ඨතම කෘති ද්විත්වයයි. ..1970 ... දශකයේදී පාසල් සිසුවකු ලෙස කියවූ මේ නවකතාව.....කිසිවක් කියාගන්න නෙවි හිතාගන්නත් බැරි තරම් ජීවමානයි කියල හිතුන මේ සටහන ඔබේ..සුබ පතනව හදවතින්ම...

    ReplyDelete
  29. මේ තරම් ගැබුරක් දැනුන කාලෙක මම මෙ පොත් දෙකම කියෙව්වේ නැති බව මතකයි.

    නැවත කියවන්නයි හිත

    ආදරය සුන්දරයි කවියක, ගීයක, චිත්‍රයක හෝ ඕනැම නිර්මාණයක
    ඒත් යතාර්තය එසේවේද?

    නොදනිමි

    ReplyDelete
  30. රත්න ශ‍්‍රි යන්ගේ සුවඳ තියා ගීතයට මේ නවකතා යුගලය සමඟ සම්බන්ධ නැත. මා ඉතිං යන්න යනවා යන්න දෙවොන්දොරා සං ගේ ආත්මිය විලාපයේ ප‍්‍රකාශනයකි

    ReplyDelete
  31. අතුල කියන 'සිලිලාර සිත නයනා' සින්දුවත් මේ නිමිත්ත මුල් කරගෙන ලියවුනු එකක් නේද?

    ReplyDelete
  32. ප්‍රේමයේ සෞන්දර්යයට වඩා ප්‍රේමයේ වියෝව හදවත් ස්පර්ශ කරන්නා වූ කලාකෘතියෙහි තිඹිරිගෙය යැයි මා කීවොත් ඔබ මා හා අමනාප නොවෙතැයි සිතමි.මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා මා වින්දේ (කියැවූයේ යයි කීමට මා අකමැති.)උසස් පෙළ හදාරන සමයේය.මා ද චිත්‍ර ශිල්පියකු වීමට සිහින දුටුවකු නිසාම නොව මා මගේ නොරිකෝට ද පෙම් කලේ දෙවෙන්දොරා සේම නිසා දෙවෙන්දොරා ගේ දිවි නසානොගත් පුනර්භවය මායැයි සිතෙන තරමටම මට සමීපය.ඒ මටද ඕ නිසාවෙන් දිවි නසාගන්නට සිතුනු වාර අප්‍රමාණය.

    ReplyDelete
  33. ප්‍රේමය අවසග තරු කැට දෙකකි ,
    මට නුඹගේ නිල් දෙනයන
    දෙහිතක් නූවත්
    එකහිත් ලග සදා සැතපෙන්නට වරම් නැති............

    ReplyDelete
  34. ප්‍රේමය අවසග තරු කැට දෙකකි ,
    මට නුඹගේ නිල් දෙනයන
    දෙහිතක් නූවත්
    එකහිත් ලග සදා සැතපෙන්නට වරම් නැති............

    ReplyDelete
  35. මට මල් වඩම් අනවශ්‍යයි
    ඔබ ඇවිත් ගියොතින් නම් සුවයි
    හුදකලා චිතකය සීතලයි
    මට මල් වඩම් අනවශ්‍යයි

    සීත මිටියාවත් පුරා
    අපි දෑත් බැඳ ඇවිදිනයුරා
    පිරි සිහින එකිනෙක අතැර දා
    මම ඉතින් යන්නම් සයොනරා

    මීන නෙත් විල් උතුරනා
    ඔය කඳුළු කුමටද මට ගෙනා
    එක මිහිරි හසරැල්ලක් තබා
    ඔබ නික්ම යනු මැන සයොනරා.....

    ReplyDelete
  36. ඔබ කලින් ගිය නිසා මට වඩා
    කියන්න සකුරා පිපේදැයි එහිත්
    දසයි ඔසමු හමුවුණොත් ලියා තබන්න
    මා එනතෙක් කබුකි නොබලන්න

    ReplyDelete
  37. හෝඩි පොතවත් හරියකට නොකියවපු මම ජීවිතේ ආසාවෙන්ම කියවපු පොත් දෙකක් . වටිනා ලිපියක් ආයෙමත් කියවන්න හිතයි පොතක් හොයන

    ReplyDelete
  38. කමකුරාවේ පාර පුරා.. සකුරා මල් පිපිලා.. එක කුඩයක ඇවිද යන්න.. ඔබ අද නෑ දෙවෙන්දරා....(තව කවි දෙකක් තියෙනව..ලංකාදීප‍ෙන් ගත්ත‍ෙ.post එක පරණ නිසා ලිව්ව‍ෙ නෑ)

    ReplyDelete
  39. ලස්සනයි.. එ්ත් දුකයි.. එ් දුකට හේතුව කුමක්ද කියා මට තාමත් සොයා ගැනිමට බැරිය.. මළගිය අැත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නව කතා මාගේ ජීවිතයට එකතු වු වටිනා ම වස්තුව බව මට වරෙක සිතෙහි මතු වී තිබෙනවා.. එ් කොහොම උනත් දුකයි එ් දුක අදටත්.. කවදාවත් සොයා ගැනීමට නොහැකි වෙනවා නොඅනුමානයි.. යසනාත් දම්මික බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි.. මම නොදැන සිටි බොහො දෙවල් මට මෙමගින් දැනගත්තා.. මට හිතෙනවා මේ ගැන කවී ගී ලිය උනා මදි කියලා.. ස්තුතියි..

    ReplyDelete
  40. පොඩිකාලේ kiyewwata me poth sala theruma danne na. Mata asai apahu kiyawala balanna.

    ReplyDelete
  41. මේ comments කියවද්දී තේරැනේ මම රික්තයක් බව. 😑

    ReplyDelete