Wednesday, January 2, 2013

වංකගිරියට මාරුවීම හෙවත් රැකියා මාරුවක් ලැබුණු වගයි


"රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය හා ගේයපද සුසංයෝගය"


රත්න ශ්‍රී විජේසිංහ කවියා ක්‍රියාකාරීව දේශපාලනය කළේ හෝ නොකළේ වී නමුදු සිතින් ඔහු ප්‍රගතිශීලී අදහස් දැරූවෙකි. ( එසේ නැතිනම් ඔහු කවියෙකු නොවනු ඇත.). 
ඒ 1977 යි. තිබුණු සිරිලංකා ආණ්ඩුව පෙරලී ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැගීම ඇරඹුණු යුගයයි. ධර්මිෂ්ඨ සමාජයකට සිරිලංකාකාරයින් සහ ප්‍රගතිශීලීන් කරදරයක් විය හැකි නිසා හෝ නොගැලපෙන නිසා හෝ ඔවුන්ට ධර්මිෂ්ඨ සමාජය උදා වූයේ විවිධ තාඩන, පීඩන, මැරකම්, අනතුරු, දිවි හානි කිරීම්, රැකියා අහිමි කිරීම් හා  ස්ථාන මාරුකිරීම් මධ්‍යයේය. එකල ගුරුවෘත්තියේ සිටි රත්න ශ්‍රී විජේසිංහයන්ටද මේ ඉරණම ම අත්විය. ඒ අනුව ඔහුට තණමල්විල ප්‍රදේශයට රැකියා මාරුවක් ලැබිණ. ඒ පිළිබඳව අප එකළ රජයට ස්තුතිවන්ත වියයුතුවෙයි. මක්නිසාදයත් එම කාල පරිච්ඡේදය තුළ මරා දැමුණු අය අතරට ඔහුව එක් නොකිරීම පිළිබඳවය. අනෙක නම් තණමල්විල ප්‍රදේශයට මාරුකිරීම තුළින් මිනිසෙකු, සැමියෙකු හා පියෙකු වශයෙන් ඔහුට මහත් දුක් ගැහැට විදින්නට සලස්වා කවියෙකු වශයෙන් මහත් ජීවිත අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට ඉඩකඩ සැලසීම පිළිබඳවය.

ඔහුගේ මේ අළුත් දුෂ්කර දිවිය සම්බන්ධයෙන් ඔහු ඔහුගේ ඇසින් බොහෝ කවි ලිවීය. එසේම එය අන්‍යයන් දකින අයුර මේ යැයි සිතා ඒ ගැනද ඔහුම කවි ලිවීය. ඔහු ඔහුගේ ප්‍රිය බිරිඳවූ හේමමාලාවන් (හේමමාලි), ඔහුට ඇරඹීමට සිදුවූ මේ දුෂ්කර කාල වකවානුව පිළිබඳව සිතනු ඇත්තේ මේ අයුරිනැයි සිතා ඇය ලියන අයුරින් ලියූ කවිය ඉතා අපූරුය. ඇත්තටම ඇය කවියෙන් ඒ දේ නොලීවද ඔහුවෙත යැවූ ලියුම් කරදාසිවල, කියූ කියුම්, හෙළූ බැළුම් වල මේ දේ ගැබ් වෙන්නට ඇත. මෙහි හෙඩිම වූයේ “ රත්නේ ඔබ ” යන්නයි.



මිදුලේ කුරු අඹ ගහ යට 
තනමල්විල මල් ගෝමර පොකුරු සිඹින
හරි කෑදර හීත සුළඟ
හැම ගහ වැලකම අතකර
පාදගම් පබළු මුතු පොට
ඒ වුණාට රත්නේ මේ කිසි දේකට
බෑ මගෙ හිත කිතිකවන්න.....


රත්නේ ඔබ මේ වනවිට
දුර කතරක වන්නි වනන්තරෙන් එපිට

එකමත් එක රැකියාවක......



මට මතකයි, ඡන්දය පැරදුණු දවසේ

කළුවරේම ඔබ ආවා
කමිසය වත් නොගලවා ම
හේමමාලි මහත්මිය
සුසුමක්වත් නොම හෙළා ම
මිටි පුටුවේ දිගා උනා නිශ්ශබ්දව.....

ඇඳුම් මල්ල අතට අරන්
පහුවෙනිදා පාන්දරම ඔබ කීවා,
“ මම යන්නම් - ඔයා පරෙස්සමින් ඉන්න”....

රත්නේ මේ හැමතැනකම
ඇඳ වියලේ පුටු ඇන්දේ
ගඳයි කියා කියන්න මගෙ හිත නොනැමෙන
ඔයාගේ ඇඟේ දාඩිය.....

පහුගිය මේ ටික දොහේම
රත්නේ මට හරියට වැඩ
පපුව රිදෙනවා ආයෙත්
අත්වල කරගැට පිරිලා
ඔයා පාර බලාන ඇති ආරංචියකුත් නැතිවට......

මහන්සි වී දුවත් එක්ක
යන්තම් ඇහැ පියවෙනවිට
කවියක් වාගේ ඇවිදින් කියන්න මට
තරහ නැහැයි ලියුමක්වත් නේව්වාට.....

රත්නේ අපි සංසාරය බෙදා ගනිමු
දුක වැඩිපුර මගෙ කොටසට
කෙට්ටු අතට එක මිටකට
ඕන බරක් මට සෑහෙයි
පුංචි දුවට බත් දෙකටට
මගේ සතුට.....

ඇයි රත්නේ කවදාවත්
මේ අහසට වඩා පුංචි
එක වහලක් නැද්ද අපට
මේ ලෝකෙට වඩා පුංචි
එක ගෙදරක් නැද්ද අපට
ඔයා කතා නොකර ඉඳියි ඒ ප්‍රශ්නෙට
ඒත් ඉතින් රත්නේ ඔබ
රත්නේ ඔබ......
( වස්සානේ - රත්න  ශ්‍රී විජේසිංහ - රත්නේ නුඹ - 45-46 පිටු )

මේ එම සිදුවීම් අළලා ඇයගේ දෘෂ්ටියෙන් ඔහු ලියූ කවියයි. මෙහි ඇති හෘදයංගම භාවය කොතෙක්දයත්  කෙනෙක් පහදා නොකිවුවත් කෙනෙකුට වැටහෙන තරමට සංවේදී ලෙස එය ලියා ඇත.
මිදුලේ කුරු අඹගහයට ඇය කල්පනාවේ නිමග්නව සිටී. තරුණ ඇය ඇගෙන් බොහෝ දුර ඈතකට යන්නට සිදුවූ තම ස්වාමියා පිළිබඳව කණස්සළුය. ඇය අළුත උපන් දියණියද සමග තනිවම කුලී නිවෙසකය. තනිවම සිටින ඇයට කෑදර සුළං රොදක් හමාවිත් කරදර කරයි. මෙහි “තනමල් විල මල් ගෝමර පොකුරු පිපෙන - හරි කෑදර සීත සුළඟ” යන කොටසෙහි කියවෙන්නේ අන්‍යයක්ය. තනමල්විල යනු තණමල්විල නම් වූ ගම නොවේය යන්නය මගේ අදහසයි. තණමල්විල යනු තෘණ මල්විලයි. ඒ සඳහා යෙදෙන්නේ “ණ” යන්නය. එහෙත් මෙහි යෙදී ඇත්තේ යන්නය. එනම් මේ තනමල්විල අනෙකකි. මල් ගෝමර ඇත්තේ තණමල් විල නොවේ. තනමල්විලය. ඉතින් සීත සුළඟ සිඹින්නට කෑදර වන්නේ තනමල්විල මල් ගෝමරය. මෙහි 

හැම ගහ වැලකම අතකර
පාදගම් පබළු මුතුපොට
ඒ වුණාට රත්නේ මේ කිසි දේකට
බෑ මගෙ හිත කිතිකවන්න....  

ඇගේ තුරුණු හිත කිතිකවන්නට සමත්වනු ඇතැයි සිතිය හැකි දේ වටපිටාවේ එමටය. මිදුලේ කුරු අඹ ගහයට ඇය ඔහු ගැන කල්පනාවෙන් ඉන්න අතරේම, කෑදර සුළං රොදක් අවුදින් ඇගේ ළය මඩල සිපගන්නට දඟ කරයි. අවට පරිසරයෙහි ගහ කොළ සිය හිස්මත මල් පළ අභරණ පළඳා ඇයවෙත නුරා ඇරියුම් කරයි. එහෙත් ඇය කියණුයේ මේ කිසිදෙයක් ඔහුට වෙන්වුණු  ඇගේ සිත කිතිකැවීමට සමත් නොවන බවයි. මේ කියවෙන්නේ තනිවුණු තරුණ බිරිඳක් සිටින නිවසක් අසල පරිසරයේ නොසන්සුන් බවයි. නොඑසේනම් ඇයට ඇති පෙළඹවීම්ය.
රත්න ශ්‍රී ප්‍රිය බිරිඳ හේමමාලී ලියන ලෙස මේ කව ලිවුවද මේ කව ඇත්තටම ලියන්නේ රත්න ශ්‍රී ම නිසා නිවසේ තනිව සිටින සිය බිරිඳ පිළිබඳ ඔහුගේ සිතතුළ ජනිත වන අනාරක්ෂිත බව පිළිබඳ නොසන්සුන් සිතුවිල්ල මතු වීම  මැඩ පවත්වාගත ඔහුට නොහැකි වී ඇත. ඇත්තටම එය මැඩ පැවැත්වීම අත්‍යවශ්‍යම කරුණක්ද නොවේ. ඒ ඔහුගේ චිත්ත සන්තානය තුළ මතුවන සිතුවිලි දහරාවේ ස්වභාවික ප්‍රවාහයයි.
මෙහි හැම පාදයක්ම විග්‍රහ කිරීම අවශ්‍ය නොවන්නේ ඒ සමහර කොටස් තුළ ඇති අදහස් එතරම් සැඟවුණු අදහස් නොවන බැවිනි. එහෙත් මෙහි ඇති වඩා සංවේදී කොටස් කිහිපයක් උපුටා දැක්වීම වටී.

රත්නේ මේ හැමතැනකම
ඇඳ වියලේ පුටු ඇන්දේ
ගඳයි කියා කියන්න මගෙ දිව නොනැමෙන
ඔයාගේ ඇඟේ දාඩිය.....



ඔහු නැති නිවසේ ඔහු සිටිනවා සේ ඇයට හැඟෙන්නේ ඔහුගේ දහඩිය “සුවඳ” නිසාවෙනි. ඔහු කවියෙහි “ගඳයි කියා කියන්න මගේ දිව නොනැමෙන - ඔයාගේ ඇඟේ දාඩිය... ලෙස නොකියා කියන්නේ ඒ සඳහා “සුවඳ” යන වචනය හිතා මතාම නොයොදා සිටින්නට ඇති බවයි. මෙහිදී දහදිය සුවඳ යයි කීවා නම් එහි වරදක් නැත. දාඩියෙහි පෙරෝමෝන නමැති ජෛව රසායණිකයක් වෙයි. ප්‍රියයන්ගේ දහදියෙහි ඇති පෙරෝමෝන ප්‍රියයන්ට සුවඳය. ප්‍රියයන්ව ආකර්ශනය කරවන සුළුය. ඇත්තටමනම් ප්‍රියයන් වන්නේ දහදිය සුවඳනම් පමණි. දහදියට සුවඳ දෙන්නේ පෙරකී පෙරෝමෝනය. නැතිනම් ඔවුනට එකට ඉන්නට බැරිය. ඉතින් රත්න ශ්‍රී මෙහි කියන්නේ ඇයට ප්‍රිය ඔහුගේ දහදියෙහි සුවඳ ගැනය.
මෙහි එන තවත් අති සංවේදී කොටසක් වෙයි. එය කවියේ හදවත බඳුය. පටන් ගත්දා සිටම ඔවුන්ගේ දිවිය කටුකය. අභ්‍යන්තර සාධක වලට වඩා බාහිර සාධක නිසාය. ඔවුන් එකතුවූයේ පුංචි කැදැල්ලකට කූඩු වීමටය. එහෙත් ඔවුන්ට සිදුවූයේ මහ පොලොව තරම් පුළුල් බිම් කඩක වසන්නටය.  නොඑසේ නම් ඇරඹුමේ සිටම ඔවුන් සිටියේ දෙතැනකය. ඔවුන්ගේ පැතුම ඒ පුංචි කැදැල්ලේ පුංචි වහළේ සෙවනයි. ඒත් ඔවුනට ඉන්නට සිදුවූයේ අහස  තරම් විශාල වහළක් යටය.

ඇයි රත්නේ කවදාවත්
මේ අහසට වඩා පුංචි
එක වහලක් නැද්ද අපට
මේ ලෝකෙට වඩා පුංචි
එක ගෙදරක් නැද්ද අපට
ඔයා කතා නොකර ඉඳියි ඒ ප්‍රශ්නෙට
ඒත් ඉතින් රත්නේ ඔබ
රත්නේ ඔබ......

කවියාම මෙහි කතානායක වෙයි. මේ පැනය ඉදිරියේ ඔහු අසරණය. නිහඬය. මතුපිටින් නිසලය. යටි සිතින් සසලය.
රත්න ශ්‍රී ගේ මේ කවිය මා යොදා ගත්තේ ගීත දෙකක් පිළිබඳව කිරීමට කැමති කතාබහකට පෙරවදනක් ලෙසිනි. මේ අත් දැකීම් ගොන්න මූලික කර ගනිමින් ඔහු තවත් කවක් ලියයි. පසුව එය ගීතයක් බවට පත්වෙයි. එම කවිය ඔහු නම් කරණුයේ
“ වංකගිරියට මාරු වීම” ලෙසය. මේ එම කවියයි.

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ඩ නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ.......

පොඩි උන්ව බලා ගන්ඩයි
ඉස්කෝලෙ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැණුම් අසා ගන්ඩයි
රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන්
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසවු නගරේ
මේ කුලී මාලිගාවේ.....

කිරි ශිරා සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත්මැයි
පියයුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත්මැයි
ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදෙරුන්
රක්ෂා කෙරෙත් මැයි.......

මට යන්න දෙන්න දේවී
ඒ දුෂ්කර පලාතේ
බෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන්ද වැඩවසන්නේ....

බෝ ප්‍රවේසම්ව ඉන්නෙම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනත් දෙන්නෙම්.......

නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වහල් කමටා
ඇඟ මස පුදා රකිම් මැයි
නොපුරමි එහෙත් පෙරුම් දම්
බුදුවන්ට ඕන නුඹලා
මට නිවන් මග කියල්ලා......

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිම වතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ......
( වස්සානේ - රත්න  ශ්‍රී විජේසිංහ - වංකගිරියට මාරුවීම - 21-22 පිටු )

මෙය මා මුළින්ම දැක්වූ “රත්නේ ඔබ”  කවියට පාදක වූ සිදුවීම ම මුල්කොටගෙන නමුත් රත්න ශ්‍රී ගේම ඇසින් එය දකින අයුරින් ලියූ කවකි. රත්න ශ්‍රී තම කවියේදී ලබන නිදහස මේ සිදුවීම් වලින් ඔහු තුළ ඇති කළ කම්පනය සේම සිය බිරිඳට, දරුවනට ඇති බැඳීම මනාව කවි කිරීම සඳහා ඔහුට සුවිශේෂ අවස්ථාවක් ලබාදෙයි. ඔහු ඇයව අස්වසාලීමට උත්සාහ කරන්නේ ඒ දුෂ්කර පළාතට ඇයව රැගෙන යාමට ඇති නොහැකියාව කීමෙන් නොවේ. එම දුෂ්කරවු පළාතේ ජීවිතය කොතෙක් කටුකද යන්න පහදා දීමෙනි. දරුවන් වෙනුවෙන් නගරයෙහි, තමන් නමට නැති කුලී නිවසෙහි දුකින් වුවද ජීවත්වීමට යුතු කරුණු කියාපෑමෙනි. මෙම කවිය වදනින් වදන විග්‍රහ කරමින් දැක්විය යුත්තක් නොවේ. සාමාන්‍ය රසිකයෙකුට වුව එහි ඇති අන්තර්ගතය සේම එය විසින්  මතු කරණු ලබන සමාජ යථාර්ථය වැටහෙන සුළුය. එබැවින් මෙම කව පිළිබඳව දිගු විග්‍රහයක් කිරීමට අරමුණු නොකරමි. මට  පිවිසෙන්නට අවශ්‍ය වන්නේ එනමටම සමාන නමක් සහිත ගීතයකටය. ඇත්තෙන්ම නම් එම කවෙන්ම බිඳී ආ ගීතයකටය. එහෙත් මා මුළින්ම කථාවට පිවිසුණු කවෙහි අරුතටද ඒ සඳහා නිමිති වූ සිදුවීම් වලටද මෙම කව සහ ගීතය දැඩි සබඳ කමක් දක්වයි. එබැවිනි මා, පිවිසුම සඳහා මෙම ගීතය ඉන් බිඳී නොආවත්, “රත්නේ නුඹ නැමති කව යොදා ගනු ලැබුවේ.
“වංක ගිරියට පිටත් වීම නැමති රත්න ශ්‍රී විසින් රචිත, විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර ගායනා කළ ගීතය අප පසුව සටහන් කළ වංකගිරියට මාරු වීම නමැති කවෙන් බිඳී ආවකි. මේ පිළිබඳව ඇති මත විවිධ විය හැක. මා එවැනි සමහර මතයක් මෙහි දක්වන්නේ මා එම මත අනුමත කරණ නිසා නම් නොවේ. ඒ මත පළකිරීම් මගේ කථාබහට  උදවුවක් ලෙස සිතූ බැවිණි.
රත්න ශ්‍රී ගේ සමහර කවිවල ගීතමය ගුණය අන් කවියන්ට සාපේක්ෂව සුලබව දැකිය හැකි ගුණයකි. එසේම රත්න ශ්‍රී ගේ කවි රැසක් ම පසුව කලෙක ගීත වී ඇති බවද අප මතකයට නගාගත යුතුය. මේ කරුණු දෙකම නිසා රත්න ශ්‍රී ට නැගෙන චෝදනාවක්ද වෙයි. එනම් කවිය සහ ගීතය යම් සමීපතාවකින් තබා ගනිමින් මුළින් කවිය ඉදිරිපත් කර පසුව එයම ගීතයක් ලෙසින් එළි දක්වන බවයි.
දැන් මෙම චෝදනා පිළිගත යුතුද නැතිද යන්න විමසා බැලිය යුතුය. රත්න ශ්‍රී ගේ සමහර කවි නිර්මාණ වල ගීතමය ගුණය බහුල බව ඇත්තකි. එහෙත් එය එසේ වූ පලියට ඒවා කවි නිර්මාණ නොවේයයි බැහැර කළ නොහැකිය. ඒවා කවිමය. සමහරුන් ගීතමය ගුණය බහුල කවි, කවි ලෙස ඉදිරිපත් කර පසුව එයම නැවත සංගීතවත් කර ගැයීමට සලස්වනු අප එමට දැක ඇත. එහෙත් රත්න ශ්‍රී ඔහුගේ සමහර කවි වලින් ගීතයක් බිඳ ගත්තද ඔහුගේ එම කවිය කවියම ය. එයින් බිඳගන්නා ගීතය වෙනම නිර්මාණයකි. මෙහිදී ලේ නෑකමකින් තොර නමුත් සමීප අත්දැකීමෙන් නිර්මිත කවක්ද අනතුරුව එම අත්දැකීම් සම්භාරයම මත ලියැවුණු කවියක්ද එයින් බිඳගත් ගීතයක්ද ඉදිරිපත් කළේ නොඑසේ නම් මේ චෝදනාවන් සත්‍යයකැයි කෙනෙකුට සිතෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. මෙසේ චෝදනා කරන්නවුන්ගේ පැටිකිරියද සෙවීම වටින්නේ සමහර විට මොවුන් අතර ගීත ලියන්නට අතගසා එය ‍නොහැකි වූවන්ද වන බැවිනි. එවිට මේ චෝදනා වල අරමුණ පැහැදිලිවනු ඇත.
වංක ගිරිය කව සැලකූවිට එහි ඔහු ඔහුට කීමට අවැසි දේ ලිවීම සඳහා යොදා ගන්නා පාද සංඛ්‍යාව වැඩිය. එහි යම් ගීතමය ගුණයක් ගැබ්ව ඇත්තේවී නමුදු අවස්ථාවෝචිතව ඔහුම සමහර තැනිහිදී එය බිඳිනු ලබයි. එසේම සංයමයෙන් ලිවීමට භාවනාවකින්ම නැගිටිය යුතුවූ පෞද්ගලික අත්දැකීම විටක මහා සංයමයකින්ද, විටක පාලනය කරගත් ආවේගයකින්ද ලිවීමේ නිදහස ඔහුට කවියේදී හිමිව ඇත. එසේම කවියේ ගීතමය ලකුණු කොතෙකුත් ඇතත් එහි සමහර පාදවල එම ගීතයමය ගුණය මුළුමනින්ම පාහේ අතහැර වෙනම ආකෘතියක් යොදාගෙන ඇත. කවියේ මූලික ආකෘතියෙන් මිදුණු,

කිරි ශිරා සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත්මැයි
පියයුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත්මැයි.........

යන කොටස මෙයට හොඳම උදාහරණයයි. අමතරව ඔහු ඔහුගේ දුෂ්කරතාව ප්‍රකාශ කිරීමට යොදාගන්නා කරුණු ප්‍රමාණාත්මකව කවියේදී වැඩිය. එහිදී ඔහු ඒ සඳහා වැඩි නිදහසක් හිමි කරගනී. එහෙත් ගීතයේදී කවියා ඊට වඩා බුහුටි වෙයි. එය එසේ විය යුතුමය. දීර්ඝ කවක් ගීතයකට පෙරලීම විවේචකයින් හිතන තරම් සුළුපටු දෙයක් නොවෙයි. ඔවුන් බොහෝ දෙනෙක් සිතනුයේ කවියේ යම් යම්  කොටස් ඉවත් කර ගීතමය ගුණය දරණ කොටස් 3 ක් 4 ක් පමණක් භාවිතා කර සංගීතවත් කර ගැයූ සැනින් එම කවියම ගීතයක් වෙන බවකි. එහෙත් මෙම කවියද මතු දැක්වෙන ගීත රචනාවද සැලකූවිට එය එවැනි සරල සකස් කිරීමක් නොවන බව පැහැදිලි වනු ඇත.
ගීත රචනාවේදී ඔහු කවියේ දුටු බොහෝ කොටස් වලින් සුදුසුම කොටස් තෝරා මුතු පොටක් සේ අමුණා ඇත. කවියේ අරුත එලෙසම රැකෙන ලෙසත් එහෙත් ගීතයක් බැවින් ගීතමය ගුණය මනාකොට රැකෙන ලෙසත් සංක්ෂිප්ත වන ලෙසත් මේ වියමන කර ඇති බව දැකගතහැකි වනු ඇත. මධ්‍යස්ථ විමර්ශකයා රත්න ශ්‍රී ගේ කවියද, රත්න ශ්‍රී ගේ ගීතයද වෙනම දකිනු ඇත. රත්න ශ්‍රී තුළ සිටින කවියාත් රත්න ශ්‍රී තුළ සිටින ගීත රචකයාත් වෙන වෙනම දකිනු ඇත. ඒත් සමහර අයෙකුට මොන විග්‍රහයන් ඉදිරිපත් කළද එලෙස නොපෙනෙනු ඇත. එය බලෙන් පෙන්විය හැකි දෙයක්ද නොවේ. ගීතයට සහ කවියට සමහර රීතීන්, භාෂා ප්‍රයෝග, ආකෘතිය ආදියේ වෙනස් සීමාවන් දැක්විය හැකිවුවත් ඒවා එකක්වත් ගලේ කෙටූ අකුරු නොවන්නේය. මෙම නිර්මාණ දෙක වෙනම ම අනන්‍යතා දක්වන නිර්මාණ දෙකකි. එකම අරුත, සමහර සමාන වචන, යෙදුම්, උපමා, රූපකාලංකෘත සමහර තැනහි යෙදී ඇත්තේ වී නමුදු ඒ දෙක වෙනම ම නිර්මාණ දෙකකි.

මගෙ බිසවුණේ අසාපන් - නුඹ මන්ත්‍රි දේවි නොවුනේ
දුෂ්කරවු ඒ පළාතේ - මට යන්න දෙන්න දේවී
මේ කඳුළු ඇයිද දෑසේ - බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුළී නිවසේ - විෂ ඝෝර සර්ප භවනේ.....                


නුඹ චන්ද්‍ර මඬල වැන්නේ - සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ -  නවතින්න බිසවු නගරේ
නුඹ නොදී එතෙර රටටා - දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම් - නොපුරා එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඬලවැන්නේ - සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන් - සිත සඳුන් තවරපන්නේ....
( වංක ගිරිය අරණේ - රත්න ශ්‍රී විජේසිංහ - පිටු 21 - වංක ගිරියට මාරුවීම.  )
ගීතය මෙතැනින් රස විඳමු






මෙහි අරුතෙහි වුවද යම් වෙනසක් වෙයි. කවියේදී ඔහු ඇයට කියනුයේ 



බෑ යන්ට නුඹට හිමයේ

විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ......ලෙසයි. 

ගොර රුදුරු සපුන් පිරි වනයේ විසුම ඇයට නොහැක්කකි. එබැවිනි කටුක වූ නගරයේ පිහිටි කුළී නිවසෙහි ඇයට නවතින ලෙස ඔහු ඇයද සිටින්නේ. එහෙත් ගීතයේදී  මේ පාදය මීට වඩා වෙනස් අදහසක් දරයි.

බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ.......

කවියේදී නගරයේ ඇති කුලී නිවසේ දරුවන් හා නවතින්ට ඇයට අයැදුම් කරන ඔහු ගීතයේදී මහා වනන්තරෙන් එපිට දුෂ්කර වූ ගමක කුලී නිවසක ඇයට නැවතීමේ ඇති අපහසුව ප්‍රකාශ කරයි. මේ අනුවද ඉතා සංයමයෙන් හොඳින් විමසුවොත් කවියෙන් ගීතයට එනවිට එහි පද ද අරුතද යම් යම් වෙනස්කම් සහිතව නිර්මාණය වී ඇති බව දැකගත හැකි වෙයි. එයින්ද මේ නිර්මාණ දෙකක් මිස එකක් නොවන බව කියාපායි.
මෙම නිර්මාණ දෙකම වෙන වෙනම සලකා බලන විට විශිෂ්ට කවියක් සහ ගීතයක් ලෙස හැඳින්විය හැකි වෙයි. තම ආත්ම පීඩනය සහ ඒ හා බැඳුණු තම පවුලේ සාමාජිකයින්ගේ දුක් ගැහැට ඔහු මෙම නිර්මාණ තුළට කැටි කරන්නේ ඉතා සංයමයෙන් වුවද රසිකයා තුළ චිත්ත කම්පනයක් ඇති කරවමින් එකී සමාජ දේශපාලන වටපිටාව කෙරෙහි සියුම් විරෝධතාවක්ද මතු කරමිනි. ඔහුගේ භාෂාව අති පොහොසත් එකකි. එය භාෂාවේ ප්‍රධාන ධාරාවෙන් මනාව පෝෂණය වූවා සේම භාෂාවේ විවිධ ප්‍රාදේශීය ගති ලක්ෂණ වලින්ද පොහොසත් එකක් වෙයි. එසේම විවිධ පැරණි සම්භාව්‍ය කලා කෘතීන්ගේ භාෂාවෙන්ද අලංකරණය වී ඇත. ඔහුගේ උපමා උපමේයයන් සහ කාව්‍යෝචිත සහ ගීතෝචිත යෙදුම් ඉතා හෘදයංගමය. මේ නිසා මේ කවි ගීත කියවන අසන අයට ඒ අත්දැකීම් තමන්ගේ අත්දැකීම් සේ දැනෙන්නට පටන්ගනී. ඉන් පහන් සංවේගයක් ඇතිකරගනී. එලෙසටම අසන්නා කියවන්නා තුළ වූ සීමාවන් අතික්‍රමණය කර ඔහුගේ මනස පෝෂණය කරණු ලබයි. ඔහුගේ කවි ගීත තුළින් සිදුවන මෙහෙවර මෙයයි. නොඑසේ නම් ආනන්දයද ප්‍රඥාවද ළඟා කරදෙයි.
ගීතය වශයෙන් වෙනම ගත් විට ඔහු මෙම ගීතය ගැයුම සඳහා තෝරා ගන්නේ විශාරද ගුණදාස කපුගේය. ඒ කපුගේගෙ ම සංගීතයටය. ඒකට හේතුවක් ඇත. එකක් නම් සාහිත්‍ය හොඳින් හැදෑරූ, විමසූ කපුගේට තරම් නිර්මාණයේ වචන වල ගැඹුර සොයාගොස් එහි ආත්මයට ගැලපෙන සංගීතයක් නිමවන්නට වෙනත් අයෙකුට නොහැකිවේය  යන්න ඔහු ඇදහූ බැවිනි. රත්න ශ්‍රී ගේ බොහෝ ගී  ගයන්නට සංගීතවත් කරන්නට කපුගේ තෝරාගන්නේද, තම නිර්මාණ කාර්යයන් වලදී ගීත රචකයෙකු ලෙස රත්න ශ්‍රී ව තෝරා ගැනීමට කපුගේ පෙළඹෙන්නේද යම් අහම්බයක් නිසා නොවන බව ඔවුන් එක්ව කළ නිර්මාණ වලින් පැහැදිලි වෙයි. එය ගැඹුරින් සොයා බැලිය යුතුය. එහෙත් එය වෙනම කළයුතු දුෂ්කර ව්‍යායාමයකි. එය පසුවට තබනුයේ එබැවිනි.
විශාරද ගුණදාස කපුගේ
රත්න ශ්‍රී මෙම ගීතයට කපුගේම තෝරා ගන්නට යෙදුණු අනෙක් කරුණ වනුයේ කපුගේගේ පැසුනු ගැඹුරු පිරිපුන් පිරිමි කටහඬයි. මෙහි ගැයෙන්නේ කෙනෙකුගේ චිත්තාභ්‍යන්තරයේ කැකෑරෙන වේදනාවකි. රත්න ශ්‍රී ට මතු නොව ඕනෑම මිනිහෙක් කියාගන්නට බැරි දුකක් සිතේ නිධන්ගත කරගෙන සිටීය යනුවෙන් කිවහොත් එය වැරදි කියමණක් නොවනු ඇත. යම් දිනක එය ලෝකය ඉදිරියේ කියන්නට සිදුවුවහොත් විශේෂයෙන් ගයන්නට සිදුවුව හොත් ඒ දුක ගයන්නට සුදුසුම හඬ ඇත්තේ කපුගේට යන්න රත්න ශ්‍රී සිතන්නට ඇත. මෙම හේතුව නිසාමය පසු කළෙක කපුගේ රත්න ශ්‍රී ම සොයන්ටත් රත්න ශ්‍රී කපුගේව ම සොයන්ටත් පෙළඹුනේ. එනිසාම වඩා අරුත් පූර්ණ ගීත රැසක් ශ්‍රී ලාංකික ගීත රසිකයින්ට පුද දෙන්නට ඔවුනට අවස්ථාව ලැබින. එලෙසම අර්ථ මූලික ගීතයකට මනා සංගීතයක් කැටිකොට ඉතා ඉහළ රසික ජන ප්‍රසාදයක් ලබා ගැනීමට මේ සුසංයෝගයට හැකි විණි. මේ නිසාම පසුකාලීන කවියන් අර්ථ මූලික ගීත රචනා නිමවන්නටත්, පසු කාලීන ගායක ගායිකා පරපුර අර්ථ මූලික රචනා තෝරාගෙන අර්ථ මූලික ගීත නිමවන්නටත් යොමු විය. 70 දශකයේ සෞන්දර්යයෙන් පිරිපුන් සිංහල ගීතයේ ස්වර්ණමය යුගය තවත් දශකයක් දෙකක් පෙරට ගෙන යාමට රත්න ශ්‍රී - කපුගේ ශ්‍රමදානය ඉවහල් විය. එහෙත් එක්තරා බක් මසක කපුගේ ගේ කොවුල් හඬ ගොළුවීමෙන් අනතුරුව අර්ථ මූලික සිංහල ගීතයට කණකොකා හඬන්නට පටන් ගැණින. සටන අත නොහරින හිතුවක්කාර නිර්මාණ කරුවෙක් දෙදෙනෙක් තවමත් වරින් වර අර්ථමූලික ගීතය ශබ්ද මූලික  ( සංගීත රසයෙන් හෝ තොර ) ගීතයෙන් බේරාගැනීමට හුදෙකලා සටන් මෙහෙයවුවද ප්‍රවාහයට එරෙහිව උඩු ගං බලා පිහිනන්නන්නට එම වෑයම නොසෑහෙන සුළුය. එබැවින්ම අද දිනය වන විට අර්ථ මූලික ගී නිර්මාණය වීමද අල්පය.                                                          
කළෙක පිළිතුරු ගී ලෙස ගීත රැල්ලක් මතුවිනි. රැළි පැමිණී බැස යාම සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයක් විය. ජනප්‍රිය ගීතයක් තෝරාගෙන එහි තනුවම යොදා ගනිමින් මුල් ගීතයට පිලිතුරක් ලෙස යන්තම් වචන එහා මෙහා කරමින් එම ඊනියා පිළිතුරු ගී නිර්මාණය විය. ප්‍රබුද්ධ විචාරක සහ ප්‍රබුද්ධ රසික යන දෙපාර්ශවයේ ම විවේචන වලට එම ගී දහර ගොදුරු විය. වාසනාවට එම ගී රැල්ල කෙටි කලකින් යටපත් විය. මා මෙම පෙර වදන ලියමින් සිටින්නේ රත්න ශ්‍රී විසින් ලියන ලද පිලිතුරු ගීයක් ගෙනහැර පෑමටය. එය එසේ මෙසේ ගීතයකට පිලිතුරු දුන් ගීයක් නොවේ. එය පිලිතුරු ගීයක් වූයේ අප මුළින් කතාබහ කළ මගේ බිසවුනේ අසාපන් ගීතයටය. මේ මම මෙම සටහන තැබීම ඇරඹීමට යොදාගත් “රත්නේ නුඹ කවියට සේම මෙම වංක ගිරියට මාරු වීම ගීතයට නිමිත්ත වූ නිමිත්තම රත්න ශ්‍රී ගේ ප්‍රිය බිරිඳ වූ හේමමාලි දකින ඇසින් ලියූ ගීතයකි. කපුගේ ගේ එම මහා ගීතයට ගැලපෙන පිළිතුරු ගීයක් වීමට නම් එම ගීතය කවුරුන්නම් ගැයිය යුතුද? ඔබ සිතන්නට ඇතිවා සේම එම ගීතය ගැයුවේ විශාරද නන්දා මාලිනිය විසිනි. ඒ සරත් දසනායක ගේ සංගීතයටයි.
විශාරද නන්දා මාලනී


වන වංක ගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී......

දුස්-ස්වප්න දෑස රිදවා
කඳුලින්ම යාවි සේදී
එන රෝග ව්‍යාධි පලවා
දරු රකිම් ධෛර්ය පේවී....


බර අදිම් බෑයි නොකියා
සංගීතවේදී සරත් දසනායක
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී.....

ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී......
 ( වංකගිරිය අරණේ - රත්න ශ්‍රී විජේසිංහ - පිටු 22 - ජය ශ්‍රී සුරම්‍ය ස්වාමි. )
ගීතය මෙතැනින් රස විඳමු
 

 
මෙම ගීතයේ අරුත සහ රත්නේ නුඹ කවියේ අරුත හරියටම සමපාත නොවෙයි. එහෙත් ඒ එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට බද්ධ වී තිබෙයි. පළමුව කවිය ලියා දෙවනුව ඉන්ම ගීතය හදා ගන්නා බවට චෝදනා කරණ ගී ලිවිය නොහැකි නමුත් තමන්ටද ගී ලියන්ට හැකි නම් යෙහෙකැයි හොරෙන් සිතන කුහකයින් හට මෙය හොඳ පිලිතුරක්ද වෙයි. ඊ ළඟට මෙහිදීම කීමට මතක්වන තවත් දෙයක් වෙයි. එනම් කවියෙන් ගීතය හදා ගත් කවියන් අතර මහගම සේකරයන්ද සිටින බවය.
දැන් ඔහු වන්නි වනන්තරෙන් එපිට එකමත් එක ඉස්කෝලෙක පුංචි උන්ට අකුරු කරමින්... ඔහුගේ වර්තමාන කටුක දිවි පෙවත පිළිබඳව අපමණ දුක් වුවද එම දුෂ්කර සේවයට නිවසෙන් අසීරුවෙන් හිත හදාගෙන පියමණින්නට සැරසෙන ඔහුට දුක්බර මුහුණක් පෙන්වා දුක් දීමට ඇය අකමැති වෙයි. එබැවින් ඇය ඒ බවක් නොඅඟවා ඔහුට දිරි වදන්ම කියයි.
එය එසේ වුවද තවත් වරෙක ඇය සිතන්නේ කොපමණ ආර්ථික අහසුකම් තිබුණද, ණය තුරුස් වලින් බැට කෑවද ඔහු සමග දිවිය ඊට වඩා වටිනා බවයි. මේ නිසා ඔහු රැකියාව දමා ආවද කම් නැතැයි විටෙක ඇය සිතයි. ඒ බරට ඇය උරදෙන්නට සිතයි. ඇගේ ගත කෙසේ වුවද සිත ඒ තරම්ම ශක්තිමත්ය. එහෙත් නැවතත් ඇයට සිතන්නට වන දෙයක්වෙයි. රැකියා විරහිතව දරු පවුලක් රැකීමේ අවදානම කෙසේ දරන්නද යන්නයි. මේ දෙගිඩියාව මැද අවසානයේ  ඇයට සිදුවන්නේ ඔහු සිත නොතලා ගමනට ආශිරිවාද කිරීම පමණි. එහෙත් වනාන්තර ගමේ වෙසෙන රුදුරු රැය ඇය පිළිබඳ මතකයෙන් හැඩ වේවා, ඈ ගැවසෙන සිහිනවලින් පිරී ප්‍රේමයේ සුවඳ නිබඳව ඔහුට දැනේවා යන්න ඇයගේ පැතුම වෙයි.

ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී......

- යසනාත් ධම්මික බණ්ඩාර -
  



  

17 comments:

  1. රත්න ශ්‍රී විජේසිංහ සර් මගේ ගුරුවරයෙක් වෙනව .ඒ මීට වසර 22 කට පෙර .අදටත් එදා ඔහු පිළිබඳ අපතුල තිබූ ආදරනීය ගෞරවය ඒලෙසමයි .වස්සානය කවි පොත ලියවුනේ ඒ කාල වකවානුවෙ මයි .මෙහි තිබුණ කවි සිංදු විතරක් නෙවෙයි කිරි ශිරා සියක් ඉල්පී , කෘෂ ලැමට ඇදී එත්මැයි .... කියන වස්සානය පොතේ පිදුමත් මට තවම පාඩම් .අපි එච්චරට ඒකට ආස කළා . මේක දැක්කම නැවත ඔහු බලන්න යන්න හිතුණ .එතුමා රටට සම්පතක් . එතුමාටත් මෙම පිටුව අන්තර්ජාලයට එක්කල මහත්මාටත් නිදුක් නිරෝගී දීරිඝායුශ ලැබේවා ..

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රී ඔබට ගුරුවරයෙක් වෙනව වගේම මටද ගුරුවරයෙක් වෙනවා. ඔහු මට අකුරු හෝ විෂයයක් උගන්වා නෑ. එහෙත් ඔහුගේ නිර්මාණ අපට ගුරුවුණා. ආධුනික අපට ඔහුව ඇසුරුකරන්න ලැබුණා. උපදෙස් යෝජනා ලැබුණා.කවි ගීත පමණක් නොව ඔහුගේ වෙනත් අත්දැකීම් ද අපට ගුරුවුණා...ලොක්ම දේ අරුථ මූලික ගීතයකට මුළ පිරීමට ඔහු ගත් නිර්භය උත්සාහය. හැබැයි අරුත මූලික කරගත්තත් ඒවගෙන් සෞන්දර්යය වෑහුණා. තවත් දෙයක්..... ක්ෂේත්‍රෙය් විවිධ කුහකයින් අප වැන්නවුන් දුර්මුඛ කිරීමට උත්සාහ කළ අවස්ථාවල ඔහු අප වෙනුවෙන් පෙනී සිට රැකවරණයක් ලබා දුන්නා. ඒ අනෙකක් නිසා නොව ඔහුගේ ගී මග අප අගය කළ බව පමණක් දැනසිටි නිසා.මෙහෙම ලියාගෙන යන්න ගියොත් මෙය තවත් ලිපියක් වෙනවා. ඒ නිසයි මේ අදහස් මෙතනින් නවත්වන්නේ...

      Delete
  2. රත්න ශ්‍රීගේ කවිය සහ ගිතය ලංකාවේ කවීන්ගේ නව මාවතත්, ගීතයෙන් ආනන්දයේ කෙළවරෙහි වූ ප්‍රඥාවත් එකට කැටි කොට ගත් අවස්ථාවක්.ආයේ ඒ ගැන කියන්න දෙයක් නැහැ.

    මට රත්න ශ්‍රී අන්තිමට හමුවුනේ මිට මාස 03කට පෙර ඔහුගේ ප්‍රියාදර බිරිඳ හේමමාලියගේ අවසන් කටයුතු සිදුවූ දවසේ.ඔහු වෙනකක් කීවේ නැහැ ඇයගේ නිසල දේහය දෙස බලා "මේ තමා මගේ කවිසිත " කීවා. එයින්වැටහෙනවා නේද කවියෙකුගේ අත්දැකීමමේ ගිතවත් බව.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමෙන් මට සතුටුවිය නොහැක්කේ හැම වෙලාවෙම හිතට වදදෙන දෙයක්නිසා. එ නම් මට ඇගේ දෙහයට අවසන් ගරු බුහුමන් දැක්වීමට කායිකව එතනට යන්න බැරිවුණ නිසා. නමුත් මනසින්මම එහි ගියා. ඇයට ගෞරව කළා. මේ වෙලාවෙ මට මේ කවු - ගී ගැන ලියන්න පෙළඹවුවේත් ඒ චෛතසිකයම වෙන්න ඇති.
      ඔබට රත්න ශ්‍රී කිවූ දේ මොනතරම් නම් සංවේදීද? ඇත්තටම ඒ ඔහුගේ කවි සිතයි.එහෙම කියපුවාම මහා කමිපාවක්දැනෙනවා.

      Delete
    2. රත්න ශ්රියන්ගේ ප්‍රිය බිරිඳ (ඔහුගේ කවි හිත ) වියෝ වූ පසු මට හිතුණු හැටි,

      ආදර රත්නේ ,

      සත් දිනක් ගෙවා.
      තවත් අවදියෙන් නම් ඔබ.
      මහ රැයේ.........

      ඇවිත් එළියට
      නුහුරු ලෙස නොබලන්.
      සඳ දෙසේ.........
      සිනාසෙනු මැන එකවරක්.
      දුටු නිසා මා සඳ වතේ.

      වෙවුලනා දෑඟිලි තුඩින්.
      සිරකරන් ඔබෙ පන්හිඳේ.

      ලියනු මැන රත්නේ.......
      මතක මං පෙත.
      සොඳුරු වූයෙද?
      සුරං ලොව සිට.
      කියවන්නට හැකි ලෙසේ.......

      (මෙය ආදරණිය හේමමාලි සොයුරියට උපහාරයක් වේවා !)

      Delete
  3. එකක් නම් සාහිත්‍ය හොඳින් හැදෑරූ, විමසූ කපුගේට තරම් නිර්මාණයේ වචන වල ගැඹුර සොයාගොස් එහි ආත්මයට ගැලපෙන සංගීතයක් නිමවන්නට වෙනත් අයෙකුට නොහැකිවේය යන්න ඔහු ඇදහූ බැවිනි.

    ReplyDelete
  4. රත්න ශ්‍රී අපි හැමගේම - විශේෂයෙන් මගේ ද යාවජීව මිතුරෙක්... මෙය මහත් භක්තියෙන් කළ අර්ථවත් අගයකිරීමක්. විචිත්‍රයි වියමණ. ඊටත් වඩා ඔබද සිනමාව රූපවාහිනිය කෙටිකතාව හා සෙසු කලා මාධ්‍යන් පිළිබඳවද උනන්දුවක් දක්වන්නෙකු බව දැනගන්නට ලැබීම සතුටකි. ඔබේ කලාකාමී දිවිපෙවෙත, දිවිකෙත සරුසාරවේවා !!!
    විපුල සුමනසේකර
    28-04-2013

    ReplyDelete
  5. රත්න ශ්‍රී ගේ මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය,
    දුවෙක් විදියට පිය සෙනෙහස දකින්න දොරගුළු විවර වුණු
    ගීතයක් . ඒ ගීතය ඇසුරෙන් මේ නිරමාණය බිහි වුණේ
    මා අතින් එම ගීතයේ ඇති අප්‍රමාණ පිය සෙනෙහස නිසාමයි.

    මෙය ඔහුට උපහාරයක් වේවා !!
    http://www.youtube.com/watch?v=1rGYJUBEfMM


    ReplyDelete
  6. රත්න ශ්‍රී ගේ මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය,
    දුවෙක් විදියට පිය සෙනෙහස දකින්න දොරගුළු විවර වුණු
    ගීතයක් . ඒ ගීතය ඇසුරෙන් මේ නිරමාණය බිහි වුණේ
    මා අතින් එම ගීතයේ ඇති අප්‍රමාණ පිය සෙනෙහස නිසාමයි.

    මෙය ඔහුට උපහාරයක් වේවා !!
    http://www.youtube.com/watch?v=1rGYJUBEfMM

    ReplyDelete

  7. "රත්නේ ඔබ"

    කළුවරට හීතලට
    හිත ගැස්සුනාට
    අත ළඟම අහුවෙන්නේ
    ඔයා නිදා ගත්ත කොට්ටෙ
    රත්නේ ...
    එකේ සුවඳට හැමදේම යටයි
    රත්නේ......

    ඉස්සර හවසට හවසට
    බූන්දී ගෙනත් දූට දුන්නට
    බූන්දි කන්න ආස මම විත්තිය
    ඔයාගේ හිතේ පැල පදියම් වෙලා
    නේද රත්නේ ....

    එක බස් එකක් වරදිනවා කියන්නේ
    බලන් ඉඳල මහන්සියටම දු පැටියට
    නින්ද යන එකයි
    මාසේ අන්තිමට ගෙදර එන දවසට
    බූන්දි එපා රත්නේ ....

    හවසට වැඩ ඇරිලා ඇවිත් මම තේ හදනකම්
    බලන් ඉන්නවද රත්නේ .....
    මට නම් හවසට තේ බොන්නත්
    අමතක වෙනවා රත්නේ... .

    දු අහන දේවල් වලට උත්තර දෙන්න
    ඔයත් ලෑස්ති වෙලාම එන්න
    දැන් එයා හරිම හුරතල් රත්නේ .......

    ReplyDelete

  8. "රත්නේ ඔබ"

    කළුවරට හීතලට
    හිත ගැස්සුනාට
    අත ළඟම අහුවෙන්නේ
    ඔයා නිදා ගත්ත කොට්ටෙ
    රත්නේ ...
    එකේ සුවඳට හැමදේම යටයි
    රත්නේ......

    ඉස්සර හවසට හවසට
    බූන්දී ගෙනත් දූට දුන්නට
    බූන්දි කන්න ආස මම විත්තිය
    ඔයාගේ හිතේ පැල පදියම් වෙලා
    නේද රත්නේ ....

    එක බස් එකක් වරදිනවා කියන්නේ
    බලන් ඉඳල මහන්සියටම දු පැටියට
    නින්ද යන එකයි
    මාසේ අන්තිමට ගෙදර එන දවසට
    බූන්දි එපා රත්නේ ....

    හවසට වැඩ ඇරිලා ඇවිත් මම තේ හදනකම්
    බලන් ඉන්නවද රත්නේ .....
    මට නම් හවසට තේ බොන්නත්
    අමතක වෙනවා රත්නේ... .

    දු අහන දේවල් වලට උත්තර දෙන්න
    ඔයත් ලෑස්ති වෙලාම එන්න
    දැන් එයා හරිම හුරතල් රත්නේ .......

    ReplyDelete
  9. කියන්න වචන නෑ,යසනාත්! ඔහොම යන්!

    ReplyDelete
  10. හරිම අගෙයි...දිගු ගමනක් යන්න සු'පැතුම් ....

    ReplyDelete
  11. හරිම අගෙයි....දිගු ගමනකට සු'පැතුම්...

    ReplyDelete
  12. මෙම ලිපිය කෙතරම් අනගිද, බොහෝ දේ උකහා ගතිමි. මෙවන් ගේය පද රචකයන් ගෙන් පසු අපට කාගේ සරණක්ද, නව පරපුරට මෙවන් නිර්මාණ කලහෙකිද?

    ReplyDelete
  13. මෙම ලිපිය කෙතරම් අනගිද, බොහෝ දේ උකහා ගතිමි. මෙවන් ගේය පද රචකයන් ගෙන් පසු අපට කාගේ සරණක්ද, නව පරපුරට මෙවන් නිර්මාණ කලහෙකිද?

    ReplyDelete