Sunday, November 22, 2015

කඩ ඉරක් ළඟ......




ඊයේ පැවැත්වූයේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් පූර්ව වටයයි. එනම් අවසන් තරගකරුවන් 4 දෙනාගේ වටයයි. 
මා හිතවත්, ප්‍රවීන මාධ්‍යෙව්දී ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා මහතාගේ 


දියණිය වන චිත්රූ පාඨලී  


සමගින් මා හිතවතුන් නොවන මවු පියවරුන්ගේ පුතුන් දෙදෙනෙකු වන ධනුෂ්ක චන්දිමාල් 


සහ ජනිත් ඉද්දමල්ගොඩ ද, 


දියණියක් වන යශෝධා පියදර්ශනී ද 

ඊයේ සිය දස්කම් දක්වනු බලා සිටියෙමි. වරකදී දෙකකදී හැර අන් සියළු වැඩසටහන් වල මේ අය ගයනු මා දුටුවෙමි.
අද මේ සටහන ලියන වේලාව වන විට ඉන් එක් තරගකරුවෙකු ඉවත්ව අවසන් තරගකරුවන් තිදෙනා තේරීපත් වී  හමාරය. ප්‍රතිඵල නිකුත් වී නැතත්, ප්‍රේක්ෂක එස්. එම්. එස්. මේ මොහොත වන විට හමාරව ඇති බැවිනි. වැඩ සටහනේ නිවේදකයා අතින් විටින් විට කියවු‍ණේ ඔවුනගේ ඉරණම ප්‍රේක්ෂක එස්. එම්. එස්. මනාපය මත තීරණය වනු ඇති බවය. ඒ ප්‍රකාශය පිළිබිඳව නම් මා තුළ යම් විවාදයක් ඇත. තරගයේ ඉදිරිය තීරණය වුවද ඔවුනගේ ඉරණම තීරණය වන්නේ ඒ මත නොවේය යන මා තුළ ඇති අදහසයි.
මේ තරගකරුවන් හතර දෙනාම දක්ෂයින්ය. එහෙත් දක්ෂයින් හතර දෙනෙකු අතරින් විශේෂතමයින් දෙදෙනෙකු මා විසින් හඳුනා ගෙන සිටිමි. ඒ නාමයන් මෙහිදී ප්‍රකාශවීමෙන්න් අද ප්‍රතිඵලයට බලපෑමක් නොවන වෙලාවක ය මා මෙම සටහන තබනුයේ. එමෙන්ම මෙතෙක් මා මේ අය පිළිබඳ යම් යම් අදහස් තබා මිස එක් අයෙකුට හෝ එස්. එම්. එස්. මනාපයක් නොයැවූ බවද පවසමි. එය යම් ප්‍රතිපත්තිමය කරුණක් හේතුවෙනි.
කවුරු ස්ටාර් වුණත්, මේ හතර දෙනාගෙන් මගේ පළමු තේරීම් දෙක වනුයේ චිත්රූ පාඨලී සහ ධනුෂ්ක  චන්දිමාල් ය. මේ දෙදෙනාගෙන් මගේ පළමු තේරීමක් මට ඇතත් එය මම මෙහි නොලියමි.
ඊට හේතුවක් ඇත. නැත හේතූන් ඇත. එනම් සෑම දක්ෂයෙකුටම ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යා නොහැකි බව මා දන්නා බැවිනි. එමෙන්ම සෑම දිගු ගමනක් යන්නෙකුට වුව, ක්ෂේත්‍රයට අපි හිතන සේවය කළ නොහැකි වන බැවිනි.
මට චිත්රූ, ප්‍රසාංගික බව සහ විශ්වාසනීයව වේදිකාවේ හැසිරීම අතින් ගත් කල, මෙහි සිටින දක්ෂතම තරගකරුවා(කාරිය) වෙයි. එහෙත් යම් ශිල්ප ක්‍රමයක් තුළ ගැඹුරට කිමිදෙමින් එහි රසභාවයන් සොයමින්, ඒ රසය පෙරළා තමන්ම විඳිමින් අනුනට විඳින්නට දීම තුළ ඉදිරියෙන් සිටින්නේ ධනුෂ්ක චන්දිමාල් ය.
චිත්රූ, වර්තමානයට ගැලපෙමින්, අපට වඩා, නූතන රසිකයාට බර වෙමින් ගයනු පෙනේ. ඒ නූතන රසිකයා එස්. එම්. එස්. මනාප වලදී වැඩි බරක් දරණ, එහෙත් රසිකත්වය අතින් ගත කල මා මනින කෝදුවෙන් ගත් කළ ඉහළ සිට පහළට දිවෙන පිරිසකි.
චිත්රූ තරගයට ගැයූ මේ ගීය අසා යන්න.



ධනුෂ්ක ගේ උත්තර භාරතීය රාගධාරී සංගීත ඥානය මෙන්ම  ඒ ඔස්සේ වැඩී ඇති ඉව ඔස්සේ ගයන ගැයුම් නූතනත්වය ලෙස අද හදුන්වන දෙයට යම් ඈතක සිටින අප වන් රසිකයන්ට වඩා බලාපොරොත්තු ඇති කරවන සුළුය. නූතනත්වය යන අද හඳුන්වන දෙයට අප වන් රසිකයා ඈතයි යන්න තුළ ඒ රසික කැළ ගතානුගතිකත්වය තුළ සිටින්නන්යැයි මා මින් අදහස් නොකරමි. මක් නිසාද යත් නූතනත්වය ලෙස අද හඳුන්වන දෙය එය ම නොවන බැවිනි. අපට සුදුසු නූතනත්වය තවම සෑදී නොමැති හෙයින් අහුලාගත් නූතනත්වය යනුවෙන් හඳුන්වන යමකැයි අද ඇත්තේ, යන්න ය මගේ අදහසයි.
ධනුෂ්ක චන්දිමාල් ගේ රසික පිරිස මාගේ කෝදුවේ හැටියට මැද සිට ඉහළට විහිදෙන පිරිසකි. ඒ පිරිසගෙන් එස්. එම්. එස්. තරගයකදී යෙදෙන බලපෑම් අඩු.
ධනුෂ්ක චන්දිමාල් තරගයට ගැයූ මේ ගීය අසා යන්න.



අනෙක් තරගකරුවන් දෙදෙනාවන ජනිත් ඉද්දමල්ගොඩ සහ යශෝධා ප්‍රියදර්ශනී ගායනයෙහි එක සේ දක්ෂ නමුත් පෙර කී තරගකරුවන් දෙදෙනා මෙන් තමනට හිමි අනන්‍යතාවක්ගොඩ නගාගෙන  නැති තරගකරුවන් දෙදෙනෙකි. එබැවින්ම ඔවුනගේ රසික පරාසය මෙතැන් සිට මෙතැනට යැයි හඳුනා ගත නොහැකි වෙයි. කෙසේ වෙතත්, එස්. එම්. එස්. තරගයකදී සැලකිය යුතු බලපෑමක් කළ හැකි රසික පිරිසක් ඔවුනට සිටින බව නම් ඔවුනගේ ඉදිරි ගමන දෙස බලන විට පැහැදිලි වේ.
ජනිත් ඉද්දමල්ගොඩ තරගයට ගැයූ මේ ගීය අසා යන්න.



ඉතින් දැන් ඇත්තේ බලා සිටීමය. මගේ මේ වන විට ඇති නිගමනයේ හැටියට මේ එස්. එම්. එස්. තරගයේදී වෙසෙස් දස්කම් දක්වන චිත්රූ පහසුවෙන් අවසන් වටයට පිවිසෙනු ඇත. නමුත් වෙසෙස් දස්කම් ඇති ධනුෂ්ක චන්දිමාල් අවසන් වටයට පිවිසේද නැතිද යන්න එසේ පැහැදිලිව කිව නොහැකි වනු ඇත. ඊට හේතුව නම් ඔහු තරග කරණුයේ තමනට නිසි පිටියක නොවන හෙයිනි. අවසාන මොහොත දක්වාම අවසන් තිදෙනා සඳහා ඇති ඉතිරි ස්ථාන දෙක විවෘතව පවතිනු ඇත.
යශෝධා ප්‍රියදර්ශනී තරගයට ගැයූ මේ ගීය අසා යන්න.



ඊ ළඟට අවසන් වටයට ය. අවසන් වටයේදී ද එස්.එම්. එස්. වැටෙන පදනම මීට වඩා වෙනස් නොවනු ඇත. එබැවින් අවසන් තිදෙනාට තේරුන හොත් වැඩි ඉඩක් ඇත්තේ චිත්රූ ට බව හැඟේ. අවසන් තිදෙනාට තේරීම පමණක් ජයග්‍රහනයක් සේ සලකා සිය ඉදිරි මාවතේ ස්ටාර් වැඩසටහන් යනු පුංචිම පුංචි මතක සටහනක් ලෙස සිතන්නට ධනුෂ්ක හුරු විය යුතු යැයි සිතමි. සමහර විට ස්ටාර් වැඩ සටහනේ ස්ටාර් වීමට වඩා ඊට පහළ ස්ථානයක් ලැබීම ධනුෂ්කට වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයක් විය හැක. මක් නිසාද යත් ඔහු ගේ කමන මෙතැනින් නවතින්නක් නොවිය යුතු යැයි මම හඟින හෙයිනි.
එය වැටී ඇත්තේ සංගීත ක්ෂේත්‍රෙය් ඔහු ලබන උසස් අධ්‍යාපනයත්, මනා දැක්මත්, නිහතමානීත්වයත්, සතතාභ්‍යාසයත්, ප්‍රවීනයන්ගේ ආදරයත්, රසිකයින්ගේ ප්‍රාර්ථනාවනුත් මතය. මා විඳන ගීතය සැලකුවහොත් මේ හතර දෙනාගෙන් ඊට වැඩි සේවාවක් වනු ඇත්තේ ධනුෂ්ක චන්දිමාල්ගෙන් බව මම සිතමි. මම මගේ බ්ලොග් අඩවියට මීට පෙරද ඔහු ගැන යම් සටහනක් තැබුවේ එබැවිනි.
ඒ සටහනට මෙතැනින් පිවිසෙන්න.
මේ ස්ටාර් වැඩසටහන් පිළිබඳව ලියැවෙන්නක් නොවන බවද, මේ හතර දෙනාත්, වැඩිමනත් ඉන් දෙදෙනෙකු පිළිබඳව ලියවෙන්නක් බවද සැලකුව මැණවි.
ඉතින්, හතර දෙනාටම සුබ පතමි.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -

Tuesday, November 17, 2015

උස් කඳු මුදුණ වගෙයි.....




2015 සැප්තැම්බර් 26 වෙනි ශනිදා සැඳෑව කෝන්වැවේ ආරියරතන හිමියන්ට වෙසෙස් සැඳෑවක් වූ බව නිසැකය. 


මටද එය වෙසෙස් සැඳෑවක් විය. මට පමණක්මද? මා බිරිඳටද එය වෙසෙස් සැඳෑවක් විය.
කෝන්වැවේ ආරියරතන හිමියන්ට එය වෙසෙස් සැඳෑවක් වූයේ උන්වහන්සේ ගේ බෝ මළුවේ සුදු වැලි කැට ගීත සංග්‍රහය අනුරාධපුර යොවුන් නිකේතන රඟහලේදී එදින එළි දුටු නිසාවෙනි. 


එදිනම එළි දුටු තවත් ගීත සංග්‍රහයක් විය. එය නමින් පුංචි පුංචි තාරකා ය.
මේ පුංචි පුංචි තාරකා ගීත සංග්‍රහයට එම නම ලැබෙන්නේ එම නමින් ම වන ගීතය නිසාවෙනි.
ආරියරතන හිමියන්ගේ පද සංකල්පනාව සංගීතවත් වනුයේ මා මිතුරු ප්‍රවීන සංගීතඥ කරුණාරත්න විජ්වර්ධන අතිනි. එය ගයන්නේ පුංචි ජයතු ප්‍රභාෂ්වර දිසානායක පුතණුවන්ය.
ජයතු දැන් ටිකක් ලොකු දරුවෙකි. එහෙත් මේ ගීතය ගයන විට ජයතු කුඩාම කුඩා දරුවෙකි.

පුංචි පුංචි තාරකා - ලස්සනයි පිපී
රෑ පුරා ආකහේ මල් විලක් වගේ

නෙළා ගන්න මල්
තාරකා විලේ
මං ආසයි - බෑ අනේ
බෝ දුරයි වගේ

පළඳින්නට මල්
මාලයක් ගොතා
මං ආසයි - බෑ අනේ
තරු නිවෙයි උදේ....

මා මෙහි වැඩිමනත් සඳහන් කරණුයේ පුංචි පුංචි තාරකා හි ගීත පිළිබඳව ය. ඊට හේතුව මෙහි ඇත්තේ ළමා ගීත වීමය.


ළමා ගීත ලේබලය ඇලවී පැමිණේන තවත් ගී විශේෂයක්ද වෙයි. ඒ ළමයින් විසින් ගැයෙන ගීතයි. ළමයින් විසින් ගැයෙන හැම ගීයක්ම ළමා ගීයක් නොවෙයි. ළමා ගීයක් නම්, ළමයින් සදහා ගෝචර නිමිත්තක් මත, ළමයින්ට උචිත ලෙස ලියැවී, ළමයින්ට උචිත සංගීතයෙන් හැඩවී, ළමයින් සඳහා ගැයිය යුතු වෙයි. ළමා ගීතයක් ගැයිය යුත්තේ ළමයෙකු විසින්මය යන්න මා නොඅදහන දෙයකි. ළමයෙකු නොගැයුවද එය ළමා මනසට උචිත විය යුතුය.
මේ ඉහත ගීතය සැබැවින්ම ළමා ගීයකි. එහි නිමිත්ත ළමා මනසට ගෝචරය. ගීතය හා බද්ධ අනෙකුත් සැරසිලිද ළමයින්ට ගෝචර ය.
උන්වහන්සේ මෙහි කතා කරණ පුංචි පුංචි තාරකා ඕනෑ තරම් ලාංකීය ළමා ගීතයට යෙදී ඇත. එවන් නිමිත්තක් යළිත් ගීයකට යොදා ගැනීමේදී සුලබ තරු පිරි ගීතයක් නොවී නැවුම් අදහසක් දැනවීම අතිශයින් දුෂ්කර ය. එහෙත් මේ ගීතයේ රචනය හොඳින් විමසන කල පෙනී යන්නේ උන්වහන්සේ සාර්ථකව එම අභියෝගය ජයගෙන ඇති වගයි.

පුංචි පුංචි තාරකා - ලස්සනයි පිපී
රෑ පුරා ආකහේ - මල් විලක් වගේ

දරුවා තරු දකින්නේ රෑ අහසේ සැදි විලක පිපි මල් රැසක් විලසිනි. භෞතික ලෝකයේ අපි දකින සෑම දෙයම දරුවා දකිනුයේ ඒ අයුරින් නොවේ. අපිට තරු ඔවුනට මල් විය හැකිය. අපිට අහස ඔවුනට විලක් විය හැකිය.
දරුවා ලෝකය දකින මේ ඇසින් ලෝකය දැක දරුවන් වෙත යමක් දෙන්නට සෑම වැඩිහිටියෙකුට ම බැරිය. ආරියරතන හිමියන් එසේ දරුවා දකින ලෝකය දකින, ඒ දැක්ම සිය නිර්මාණ තුළට කැටි කොට යළි දරුවන්ට පුදන වැඩිහිටියෙකි.
නෙළා ගන්න මල්
තාරකා විලේ
මං ආසයි - බෑ අනේ
බෝ දුරයි වගේ

තරු මලක් නෙළා ගන්නට හැකි නම් යන මේ හැඟීම කොතෙක් නම් දරුවන්ට සමීප දැයි සිතන්න. මේ විදිහට තරුමල් නෙළා ගෙන මාල ගොතන්නට සිතූ සහ සිතන දරුවන් කොතෙක් නම් ඇතිද? එහෙත් ඒ සමගම උන්වහන්සේගේ වැඩිහිටි මනස ක්‍රියාත්මක වී මේ දරුවන් ඒ සිහිනය තුළම රඳවා නොතබන්නට වග බලා ගනී. දරුවාට ගෝචර අයුරින් එය පහදා දෙයි.
මං ආසයි - බෑ අනේ
බෝ දුරයි වගේ
යනුවෙන් කියනුයේ එබැවිනි.

පළඳින්නට මල්
මාලයක් ගොතා
මං ආසයි - බෑ අනේ
තරු නිවෙයි උදේ....

තරු මල් නෙළා මාලයක් ගොතා එය පළදින්නටත් හැකි නම් කොතරම් අගේද යන හැඟීම කොතෙක් නම් දරුවන් තුළ තිබෙන්නට ඇතිද? මතු මතුත් නූපදීද?
එහෙත් ඒ සමගම උන්වහන්සේගේ වැඩිහිටි මනස ක්‍රියාත්මක වී මේ දරුවන් ඒ සිහිනය තුළම රඳවා නොතබන්නට වග බලා ගනී. දරුවාට ගෝචර අයුරින් එය පහදා දෙයි.
මං ආසයි - බෑ අනේ
තරු නිවෙයි උදේ....
එහෙත් මේ සමගම යම් සැකයක්ද මා සිත්හි ජනිත වෙයි. 
අද දවසවන විට රාත්‍රියට අහස බලන දරුවන් කොතෙක් අප අතර ඉන්නවාද? කොතෙක් වැඩිහිටියන් සිය දරුවන්ට රාත්‍රී අහසක් පෙන්වන්නට සිතනවාද? හදිසියේවත් රෑ අහසක් දුටු විට සමහර දරුවන් පුදුම හතෙන් එකක් දුටුවන් සේ හැසිරීම කියාපාන්නේ අපේ වරදින් උන් මත පතිත වුණු ඛේදවාචකය නොවේද?
අපි දුටු ලෝකය අපි අපේ දරුවන්ට පෙන්වන්නේ නැත.
අපි දුටු රට අපි අපේ දරුවන්ට පෙන්වන්නේ නැත.
අපි දුටු ගම අපි අපේ දරුවන්ට පෙන්වන්නේ නැත.
අපි දුටු ගෙවත්, කුඹුර, පිටිය අපි අපේ දරුවන්ට පෙන්වන්නේ නැත.
එසේ නම් දරුවන් අත්විඳින මේ ඛේදවාචකයට වගකිව යුත්තේ කවුරුන්ද? කවුරුන් වගකිව යුතු වුවද අප කෝන්වැවේ හාමුදුරුවෝ ඒ වගකීමෙන් නිදහස් වෙයි. උන් වහන්සේ තමන්ගේ නිර්මාණ ශක්තිය යොදා ගනු ලබනුයේ දරුවන්ට මග හැරෙමින් යන ඒ දසුන් උන්හට පෙන්වන්නට ය.
පුංචි පුංචි තාරකා ගීතය අසමු.



එදා 2015 සැප්තැම්බර් 26 වෙනි ශනිදාවේ සැඳෑව උන්වහන්සේට වෙසෙස් වූයේ මේ ගී සරණියද ඇතුළු තවත් ගී සරණියක් එළි දැක්වූ හේතුවෙනි. එම සැඳෑව වෙසෙස් සැඳෑවක් වන්නට මට ද හේතු වූ කරුණට උන්වහන්සේ ගේ මේ නිර්මාණ සෘජුව ම අදාලය. එම සෘජු අදාලත්වය කුමක්දැයි ඔබ දැන් සිතනු ඇත.
ඒ මෙසේ ය.
ගීත රචනය කෙරෙහි, කවිය කෙරෙහි සහ වෙනත් නිර්මාණයන් කෙරෙහිත් මා කොතෙක් ඇල්මෙන් කටයුතු කරන්නේ වුවද අපගේ අටට ආසන්න වයසක සිටින පුතණුවන් තුළින් හෝ තුනට ආසන්නව සිටින දියණියන් තුළින් හෝ කවියට ගීතයට කිසිදු නැඹුරුවක් නොදැක්වීමයි.
උන්වහන්සේ ගේ ඇරියුමින් අපි එහි ගියද, දරුවන් සමග ගිය හෙයින් හෝරා කිහිපයක් එහි රැඳීම අපහසු කරුණක් වූවද එබැවින් ම යොවුන් නිකේතනයෙන් කළින් ම නික්මුණ ද අප පළමුව පුංචි පුංචි තාරුකා ගීත සංග්‍රහය ශ්‍රවණය කිරීම ඇරඹීමු.
එය කුමන ආශ්චර්යයක්ද?
පළමු ගීතය වුණු තවත් මද වෙලාවකින් ඔබට අසන්නට යෙදෙන හඳ පායනවා ගීතය ඇසූ සැනින් දරුවන් එය මුමුණන්නට වන්නේය. එය නැවත නැවත ශ්‍රවණය කරන්නට ය ඔවුනගේ ඉල්ලීම වූයේ.
නිවසට ගිය පසු බෝ මළුවේ සුදු වැලි කැට පොත අතට ගත් පුතණුවන් කිසිදු තාලයකින් තොරව වුව, තමනට හැඟෙන තාලයකින් එහි ගී කියවන්නට වුණි. අනතුරුව එහි ගීත තමනට මතක බැවින් ඒවා එකිනෙක් ශ්‍රවණය කරන්නට ඉල්ලා සිටියේය.
සිය සොහොයුරා අනුව යමින් කුඩා දියණියද මේ ගී මුමුණයි. ඔවුන් දෙදෙනාම දැන් හාමුදුරුවන්ගේ ගීවල රසිකයින් ව ඇත. ඉතින් මේ සැඳෑව අපිට සුවිශේෂ නොවන්නේ කෙලෙසින්ද?

තාන තනා තම්ඳෙ - නා තම්ඳෙනා නා
තෙතන තනා තම්ඳෙ - නා තම්ඳෙනා නා

හඳ පායනවා කොඩි ලෙළ දෙනවා
පෝයක් එනවා පන්සල් යනවා

ගාථ කියනවා අපි බුදුන් වඳිනවා
සාධු කියනවා පෙරහැර යනවා

මේ ගීතයද ගයන්නේ පුංචිම පුංචි ජයතු ය. එනම් මේ ජයතු ගේ මුල්ම ගී එකතුවේ ගීතයන් විය යුතුය.
මේ, මෙම ගීත එකතුවෙහි එන මා සිඟිති දියණිය වඩාත් කැමැති ගීතයයි.
හඳ පායනවා කොඩි ලෙළ දෙනවා ගීතය අසමු.



කෝම් පිට්ටු සෙල්ලම් ගෙවල්, සෙල්ලම් බත්, කොස් කොළ මැල්ලුම්, කුරුම්බැට්ටි මැෂින්. මේ එදා අප ළමා ලෝකයයි. අද ළමයින්ට මේ අතදැකීම් මද වුවද, ඔවුනට ද ඒ ලොවට පිවිසීමට යළිත් මං හසරක් වන ගීතයක් මෙහි එන්නේ ඉහත දේ කැටි කොටගෙනය.
හාමුදුරුවන් වහන්සේ ලියූ මේ ගීතය සංගීතවත් කරණු ලැබ ඇත්තේ විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි. එය ගයනුයේ භානුක සංතෝෂ් පැල්වත්ත නමැති පුතෙකු විසිනි. එය ඉතාමත් සුන්දර ළමා ගීතයකි.

වැලි සෙල්ලම් බත් කෝම් පිට්ටු උයලා
කොස් කොල මැල්ලුම පොල් කටුවට දමලා
හදලා සෙල්ලම් ගේ
මහ ගෙයි පිළිකන්නේ
පුංචි හපන්කම් ඉගෙන ගන්නවා
අපේ පුංචි ලෝකේ - පුංචි අපේ ලෝකේ....

ගෙයක් හැදීමට ගෙයක් නිවසක් කිරීමට නිවසක ජීවත්වීමට අපේ දිවියට උගන් වන්නේ මේ සෙල්ලම් ගෙය නොවේද? එහි අම්මාලා තාත්තලා හිඳී. දරුවන් හිඳී. තොටිලි ඔංචිලි තිබෙයි. වළං පිඟන් තිබෙයි. හරකුන් බල්ලන් සිටී. මේ සියල්ලම ආදේශක වුවද, මහ ගෙදර ඇති සියළු දෑ එහි වෙයි. මේ සෙල්ලම ජීවිතය උගන්වන පාඩම නොවේද?

වළං මුට්ටි ටින් බෙලෙක්ක අරගෙන
පොල් ලෙළි පොල් කොළ දර මිටි අරගෙන
කැන්ද කොළේ බත් මාළු බෙදා ගෙන
ඔක්කෝටම බෙදනවා
කන්න එන්න කියනවා
බෙදා හදා ගන්නවා සිරිත් ඉගෙන ගන්නවා

ජීවත් වන්නට සිරිත් විරිත්ද අවැසි වෙයි. බෙදා හදා ගැනීම්ද අවැසි වෙයි. මේ සෙල්ලම් ගෙදරින් ඒවාද උගන්වනවා නොවේද? නැත උගන්වනවා නොවේ. ඔවුන් නිරායාසයෙන්ම ඉගෙන ගනී.
මට මගේ සරසවි අධ්‍යාපනය ලැබූ කාලයේ සිදුවීමක් මතක් වෙයි. එහි මනෝ විද්‍යාව හා සම්බන්ධ යම් ක්‍රියාකාරී වැඩමුළුවකදී උපදේශිකාව වන්නේ එංගලන්තයෙන් මෙහි පැමිණ සිංහලයෙකු හා විවාහව සිටින සුදු කතකි. ඇගේ පැණය නම් දරු සංදියේ අපිට ගැහැණු පිරිමි වෙනස මුළින්ම දැනුනු ආකාරය කුමක්ද යන්නය. අපි විවිධ පිලිතුරු කියමු. එහෙත් ඇය ඒ එකක් වත් පිළි නොගනියි. ඇය අපට මෙසේ කියයි.
අවංකව පිලිතුරු දෙන්න තරුණයා, තරුණිය.... ඈ අපෙන් අවංක පිලිතුරු සොයයි. අපි ඈට අවංකයැයි සිතෙන පිලිතුරු සොයයි. අවසන විසඳුමක් නැත්තේ මම ඈට කීවේ ඈට එය දැනුනු හැටි කියන්නට කියායි. ඇගේ පිලිතුර අපට අමුතු එකකි.
දිනක් ඈ හදිසියේ මුත්‍රා කිරීම සඳහා ගොස් ඇත්තේ පිරිමි වැසිකිලියකටය. තමන්ගේ වැඩේ කරණ අතරේ ඈ අනෙක් පැත්තට එබී බැලීමටද අමතක කර නැත. එවිටය ඈට වැටහී ඇත්තේ තමන්ට වඩා වෙනස් එකක් අනෙක් පැත්තේ සිටි කෙනාට තිබෙන බව. ඒ සංඥාව ඔස්සේ පසුව කළ නිරීක්ෂණ සහ දැන ගත් දේ මතය ඈ ගැහැණු පිරිමි වෙනස ඔස්සේ සිතන්නට පෙළඹී ඇත්තේ.
මා ගත් කටටම කීවේ අපේ රටේ දරුවන්ට ගැහැණු පිරිමි වෙනස වටහා ගන්නට තමන්ට නොවන වැසිකිලියකට ගොස් අනෙක් පැත්තට එබී බැලීම අනවැසි බවයි. එය හෙමි හෙමින් කියා දෙන සංස්කෘතියක් අපට ඇතැයි ද මම ඈට මතක් කළෙමි. මම මේ සංස්කෘතික කතාව කියූ සැනින් අපට එවන් පොහොසත් සංස්කෘතියක් නැතැයි කියන්නට සැදී පැහැදී සිටින අපේම අය එමට සිටින්නට පුළුවන. ඒ අය ගැන කිව යුත්තේද අර සුද්දියට කී කරුණමය.
මේ වැලි සෙල්ලම් බත් කෝම්පිට්ටු ගීතයේ ඊ ළඟ පාදය විමසද්දී මා කියන දේ සනාථ කිරීමට යම් කරුණු මතු නොවන්නේ දැයි බලන්න.

අම්ම වගේ හැඩ සාරිය ඇඳ ගෙන
තාත්ත වගේ දැලි රැවුලක් ඇඳගෙන
බෝනික්කා ඔංචිල්ලෙ දමාගෙන
නැළවිලි ගී කියනවා
අපි සෙල්ලම් කරණවා
ලොකු වෙන්නට හදනවා
අපි ලොකු වැඩ කරණවා....

එසේ නම් සෙල්ලම් ගේ හෝ අපේ සෙල්ලම් යනු නිකංම නිකං දේ නොවන වග පැහැදිලි වනු ඇත.

වැලි සෙල්ලම් බත් කෝම් පිට්ටු ගීතය අසමු.



පුංචි කාලේ කිරි දතක් වැටුණාම අළුත් දතක් ඉලලා ලේනාට ඇවිටිලි කරමින් දත වහළයක් මතට විසි කිරීම අපේ පුරුද්දක් විය.
ලේනෝ ලේනෝ
මේ දත අරගෙන
අළුත් දතක් මට දියෝ.....!
මේ නිමිත්ත ගීතයකට පරෙළන උන්වහන්සේ එය යොදා ගනුයේ මෙසේය.

දතක් දියෝ ඉරි ලේනෝ මේ කිරි දත අරන් පලෝ
ඉරි ලේනෝ ඉරි ලේනෝ දතක් දියෝ ඉරි ලේනෝ...

මේ කොටස විතරක් ගීතයට ගොනු විනි නම් එහි අළුත් බවක් නොමැත. එහෙත් උන්වහන්සේ ඊට මෙලෙස කොටසක් එකතු කරමින් දුක්ගැනවිල්ලක් බවට ගීතය පත් කරයි.
ජම්පු හිඹුටු මා දං වාරේ
කජු පුහුළන් මී අඹ වාරේ
පේර ඉදිල රතු කැට වාගේ
හිතට දුකයි මගෙ දත නෑනේ...

දරුවාගේ දුකට හේතුව දැන් කාටත් පැහැදිලිය.
ඉරි ලේනෝ ගීතය අසමු.



දරුවන් පාට මල් වලට උපමා කරණ ගීත ද එමට ය. මතු දැක්වෙන ගීතයේ දරුවාද තමන්ද අයත් දරුවන් කැළ උපමා කරණුයේ පාට පාට මල් වලට ය.

පාට පාට මල්
අපි වෙමු සුරතල්
ඉර එළියේ සඳ එළියේ
පිපී නටන මල්

උන්වහන්සේ එය ලියනුයේ එලෙසිනි. ඉර එළියේ සඳ එළියේ පිපී නටන විවිධ මල් ගැන අපි දනිමු. එහෙත් මේ මල් තරම් ඒ කිසිදු මලක් සුන්දර වේද?
සමනලී අමා නාකන්දල දියණිය ගයන මේ ගීතය සංගීතවත්කොට ඇත්තේ යළිත් කරුණාරත්න විජේවර්ධන විසිනි.

ලස්සන වන මල්
සුවඳ හමන මල්
මුළු ලෝකෙම හැඩ කරන්න
පිපෙන සොඳුරු මල්....
උදේ පිපෙන මල්
සවස පිපෙන මල්
පෝය දාට පන්සල් යන
අපි වෙමු හොඳ මල්

දවසේ විවිධ කාල වල විවිධ මල් පිපෙයි. මේ කොයි මළුත් අප අතේ පන්සල් යයි. එහෙත් මේ කියන්නේ එලෙස අලි අතේ පන්සල් යන මල් ගැන නොවේ. පන්සල් යන හොඳ සුවඳ ළමුන් ගැනය.
පාට පාට මල් ගීතය අසමු.



මේ ගී අතුරින්, අපේ කුඩා දරුවන් වඩා කැමැති ගී මොනවාදැයි මම නොදනිමි. නමුත් මේ ගී අතුරින් මගේ ම කුඩා දරු දෙදෙනා වඩා කැමැති ගී මොනවා දැයි මම දැන් දනිමි. එහෙත් මතු ලියන්නට යන්නේ ඒ දරු දෙදෙනා කැමතිම ගීය ගැන නොවේ. ඒ ගී අතුරින් මම වඩාත් කැමැති ගීය ගැනය.
ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයට මේ ගීයද ගයන්නේ සමනලී අමා නාකන්දල දියණියයි.
උස් කඳු මුදුණ වගෙයි අප්පච්චී
මං ඒ පාමුළ විලේ පුංචි මලක්
නිල් දියවරින් ඔබේ තුරුළේ
පිපී සුවඳ දෙන්නම්
ලොවට ම පීපී සුවඳ දෙන්නම්....

මේ ගීතය කොපමණ නම් සොඳුරුද? යම් විටක එය කුඩාම ළමුන්ට නොවන නමුත් ළමුන් වෙනුවෙන් නොවන්නේත් නොවන ගීතයක් සේ යමෙකුට හැඳින්විය හැකි ගීතයකි එය.

ළා හිරු එළිය වගේ අප්පච්චී
මං සුපිපෙන පුංචි මලක්
ඒ හිරු රැසින් ඔබේ තුරුළේ
පිපී සුවඳ දෙන්නම්
ලොවට ම පීපී සුවඳ දෙන්නම්....

සීතල සුළඟ වගෙයි අප්පච්චී
මං නැළවෙන පුංචි මලක්
ඒ මදනලින් ඔබේ තුරුළේ
පිපී සුවඳ දෙන්නම්
ලොවට ම පීපී සුවඳ දෙන්නම්....

උන් වහන්සේ මවන අප්පච්චීගේ ලෝකය කොතෙක්දැයි බලන්න. දරුවනට දියවරද, හරි රැසද, මදනලද අප්පච්චිමය.
උස් කඳු මුදුණ වගේ ගීතය අසන්න.


මේ ගීත සංග්‍රහය තුළ ඇත්තේ සැබෑම ළමා ගීතයන්ය. එහි පද රචනාද සංගීත රචනාද එකිනෙකට නොදෙවෙනි සේ ගැලපී මවන්නේ මොන තරම් අපූරුවක්ද? මේ ගී ගයන්නේ නිතර ගී ගයන දරුවන් නොවේ. අත්දැකීම් ලබන විට ඔවුනගේ ගැයුම් වඩාත් ඔප් නැංවෙනු ඇත. එහෙත් ඔවුන් අතරින් කිහිප දෙනෙක් උසස් ගැයුම් ඉදිරිපත් කරයි. ළමා ළපටින් ඒ කවුදැයි කවුදැයි යන්න නොකියන්නට පරෙස්සම් වෙමි.
දැන් මම මේ සටහනට නැවතීමේ අවසාන කොටසට පිවිස සිටිමි. එහෙත් එහි ගී ඇත්තේ මෙපමණක් නොවේ. සියළු ගී ගැන මා කිව යුතු නොවේ. ඔබද සොයා ගෙන ඇසිය යුතු යැයි හඟිමි.
මගේ තෙහැවිරිදි කුඩා දියණිය වඩාත්ම කැමැති තවත් ගීයකින් සටහන නිම කිරීමට සිතමි.

අම්ම කඩෙන් ගෙනාව
බෝනික්කිගෙ හිනාව
ලස්සනයි
මංගේ චූටි නංගියා වගේ....

කරුණාරත්න විජේවර්ධන ගේ සංගීත නිර්මාණයට මෙම ගීතය ගයනු ලබන්නේ කිශෝරා නිමානී දියණියයි.

චූටි ඇස් දෙකක් තියේ
කම්මුල් දෙක හරි අගේ
දෙකට බෙදල ගෙතුව කොන්ඩෙ
නැළවෙන කොට හරි අගේ...

චූටි අක්කෙකුට තම චූටි නංගිව දැනෙන්නේ තමන් වඩාත් ප්‍රිය කරණ බෝනික්කා විලසිනි. වඩාත් ප්‍රිය කරණ පන නැති බෝනික්කීට වඩා පන ඇති බෝනික්කිට ඇය ආදරේ වුව කඩෙන් ගෙනා සුරඟනක් බඳු බෝනික්කිගේ සුන්දරතා සිය නැගණිය තුළින්ද ඇය දකී.

තෝඩු දාල කන් දෙකේ
මාලයකුත් ගෙල වටේ
බණ්ඩි ගෙඩිය වහල ඇන්ද
ගවුම් පොඩිය හරි අගේ...

අම්ම කඩෙන් ගෙනාව
බෝනික්කිගෙ හිනාව ගීතය අසමු.



මේ කෝන්වැවේ ආරියරතන හාමුදුරුවන් අපේ දරුවන්ට පුද දුන් දායාදයෙන් බිඳක් ගැන සටහනක් පමණි. එහෙත් මෙවන් සටහනක් හෝ ලියන්නට ඉඩක් ලැබීම ගැන ඇත්තේ මහත් සතුටකි.
එදා එම අවස්ථාවට සහභාගි වුවද වැඩි විස්තර කතා කරන්නට ඉඩ නොලැබුණු බැවින් හාමුදුරුවන් මට පැවසූයේ යසනාත් මහත්තයෝ ඊ ළඟට සිරිලක වැඩි විටක කතා බහ කරමු කියායි. ඒ සමගම සිය නිර්මාණ පිළිබඳව අදහස කුමක්දැයි විමසූහ. මා එවිට කීවේ කියන්නට ඇති දේ කියන්නට යම් කාලයක් දෙන ලෙසට ය.
ඉතින් නැවතත් මා කිව යුත්තේ,
2015 සැප්තැම්බර් 26 වෙනි ශනිදා සැඳෑව කෝන්වැවේ ආරියරතන හිමියන්ට වෙසෙස් සැඳෑවක් වූවා සේම මටද මා බිරිඳටද එය වෙසෙස් සැඳෑවක් වූ බව ය. මගේ දූ පුත් දෙදෙන ගීත රසවින්දනයට යොමු වුණු ඒ සැඳෑව අපට වෙසෙස් නොවන්නේ නම් ඒ කුමක් නිසාද?
හාමුදුරුවනේ, ඔබ වහන්සේට බොහෝ පිං!
-         යසනාත් ධම්මික බණ්ඩාර   -