Thursday, April 10, 2014

එක ගලෙන් කුරුල්ලන් හතරයි.......



එක ගලෙන් කුරුල්ලන් හතරයි....


කිත්සිරි ජයසේකර ගැයූ මගේ ගීත දෙකක්ම ගැන මවිසින් පසුගිය දින දෙකේ එක දිගට මුහුණු පොතෙහි සටහන් තැබූ නිසාත් එය දැක්මෙන් දුරු රටක සිටින කිත්සිරි ඉන් යම් සතුටක් ආශ්වාදයක් ලැබුවා යැයි සිතූ නිසාත් අදත් කිත්සිරිද ගායනයට දායකත්වය දැක්වූ ගීතයක් ඉදිරිපත් කරන්නට සිතුවා.  එහෙත් එය මුහුණු පොතේ සටහනක් ලෙස නොව බ්ලොග් සටහනක් ලෙසටම නිම කරන්නටද සිතුවා. මේ නිසා පෙර ගීත දෙක පිළිබඳව සටහන් කරමින්ම අළුත් ගීතයට එළඹීම සුදුසු යැයි හඟිනවා.
මට කිත්සිරි ජයසේකර මුණ ගැසෙන්නේ එකල කොහුවල පිහිටි පයනියර් ශබ්දාගාරයට මගේ ගීත කිහිපයක් පටිගතකිරීම සඳහා ගිය අවස්ථාවක. ඔසී නුගේරා එහි ශබ්ද ඉංජිනේරුවරයා වූ අතර ශබ්දාගාරය බාරව සිටියේ කිත්සිරි ජයසේකරයි. කෙටිම කෙටි කලකින් මේ දෙදෙනාම ගණු දෙනු කරුවන් නොව මිතුරන් බවට පත්විය. අනතුරුව එම භූමිය විවිධ වූ සොඳුරු මතයන්ට කෙම් බිමක් විය. විශේෂයෙන් එහි නිතර ගීත පටිගත කිරීමේ කාර්යයන්ට පැමිණි සිහ ශක්ති කණ්ඩායමද එහි ආනන්ද පෙරේරා, හේමපාල ගාල්ලගේ, අශෝක පෙරේරා, ජයන්ත රත්නායක, ළෙලුම් රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල්, ධනංජය සෝමසිරි ආදීන්සමග ගතකළ කාලය විනෝදයද ක්ෂේත්‍රය හා අදාල අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහාද, ඒ හා සම්බන්ධ විශේෂ රසමුසු දුක මුසු ත්‍රාසය මුසු සිදුවීම් දැනගැනීමටද වැදගත් විය.
මෙහිදී මගේ ගීත පටිගතවන අතරේ ඒ ගීත කිත්සිරිද ගයනු මට අසන්නට ලැබුණි.ඔහු හොඳින් ගැයීය. මේ නිසා ඔහුට ද ගීතයක් නිර්මාණය කරමුයි, එහි සිටි මගේ සංගීත අධ්‍යක්ෂවරයා වූ මිතුරු නවරත්න ගමගේට යෝජනා කලෙමි. ඔහු ඣට එකඟ විය. එදිනම මවිසින් ගීතය ලියැවුණු අතර, තවත් දින 2කින් නවාගේ සංගීත නිර්මාණය සූදානම් විය. එය යුග ගීයක් වූ බැවින් හේමන්ති රණසිංහ නමැති ගායිකාව ඊට සුදුසු යැයි නවාම යෝජනා කළේය. මම ඇයව දැන නොසිටියෙමි.  එහෙත් නවා ඇගේ ගායන හැකියාව ගැනද ඈ ගැනද හොඳින් දැන සිටියේය. එහෙත් ඈට සම්බන්ධ කෙනෙක් මම හොඳින් දැන සිටියෙමි. ඒ අනෙකෙකු නොව එකල ඇගේ පෙම්වතා වූ මා මිතුරු ගීත රචක නිලාර් එන්. කාසීම් ය. මේ බැඳීම් මත ගායාකාව තීරණය විය. අනතුරුව දිනක සංගීත පථ ( Music Tracks ) පටිගත වූ අතර එම ගීතය නිම විය. කිත්සිරි ජයසේකර සහ හේමන්ති රණසිංහගේ ගැයුම මගේ ගීත එකතුවට ඇතුළත් වූවා පමණක් නොව, මගේ ගීත එකතුවේ නම තැබීමටද මේ ගීතය යොදා ගැනිනි. ගීත එකතුවේ නම - කිඳුරු ගීතය - නම් විය.



කිඳුරු ගීතය ඇසීමට සුදුසු වෙලාව වුණත් බ්ලොග් සටහනක් බැවින් සටහන අසම්පූර්ණ වේවි පසුබිම් කථාව නොලිවුවහොත්. එබැවින් එය ලියමි. මට මේ ගීතය ලියන්නට හේතුවුණේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ ගීතයයි.
රත්න ශ්‍රී විජේසිංහගේ සොඳුර නුඹ ලිහිණියක නම් ගීතය ඔබට මතක ඇතිවා විය යුතුය. එහි වචන මෙසේ ලියමි.
සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි - තරු එළිය....

කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක
සොඳුර නුඹ ලිහිණියක ගීතය අසමු.


සොඳුර නුඹ ලිහිණියක ගීතයේ සිටින ලිහිණින් යුවලය, මගේ ගීතයේ කිඳුරන් වෙසින් සිටිණුයේ. ඔවුන් දෙදෙනට රත්න ශ්‍රී ගේ ගීතයේ  ලිහිණි යුවලට අත්වූ ඉරණම ම අත් වූවද මගේ ගීතයේදී ඒ ලිහිණි යුවලම කිඳුරු යුවලක් ලෙස පෙනී සිටිමින් කියනුයේ එහෙම පිටින්ම අර ගීතයේ කතාව ම නොවේ. ඒ කතාව නොවන්නෙත් නොවේ.
මෙහි කිඳුරාද කිඳුරියද අර ජාතක කතාවේ මෙන් ආදරයට ආදරයෙන් යන කිඳුරු කිඳුරියන්ය. කිඳුරිය තමන් ජීවිතය කොටගත් ආදරයෙන් පීඩිතව ඔත්පලව..... කිඳුරාද එවන්ම සිය ජීවිතය කොටගත් ආදරයකින් පීඩිතව ඔත්පලව. දෙනෙම එම ජීවන ඛේදවාචක ය ප්‍රකාශ කරන අන්දම මගේ මෙම ගිතයේ දී නිරූපනය වෙයි.
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ - අහිමු වූ
පුන් සද වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ
ඇයට අහිමි වූ අයුරින් ම, ඇයට අහිමි වූ සියල්ල ම ඔහුට ද අහිමි වී ඇත. පුන් සඳ වත අහිමි වුණා යන්නෙන් කියනුයේ එයයි. දෙදෙනාට ම තම තමන් ප්‍රිය කළ පූර්ණ චන්ද්‍රයින් අහිමිව ඇත. එසේම ඊ ළඟ පාද වලදී ඔවුන් දෙදෙනාට අහිමි වුණු තවත් දේ පෙන්වා දෙයි. ඒ අනුව දෙදෙනා මොනතරම් සමානද? එහෙත් ඒ සමාන කම මත පමණක් තවත් ආදර කතාවක් ඇරඹී වෙනත් පවුලක් ලෙස ගොඩ නැගෙන්නට හැකිවෙයිද?
මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිසිල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ
ගං දෑලද, දෑලවර මල් උයන්ද, මල් උයන්වල මල්ද සිසිලද ඈ සියල්ල මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු, අහම්බයකින් එක්වුණු, සඳකිඳුරු යුවලකි.
මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ
නිල් වියනද, නිල් විල් තලයද, සිසිල් දියද, පිවිතුරු දියෙහි නිල්ලද මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු අහම්බයකින් එක්වුණු සඳ කිඳුරු යුවලකි.

පද     : යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර  : නවරත්න ගමගේ.
ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ.

සඳ කිඳුරු ලිය ගීතය මෙතැනින් අහන්න.


කිත්සිරි මගේ ගී ගයන්නට එකතු වුණේ ඔය අයුරිනි. අනතුරුව අපි හොඳ මිතුරන් වූවෙමු. මිතුරන් වූ පලියට නිර්මාණ නොකළෙමු. එහෙත් යම් අවස්ථාවලදී නිර්මාණ එක්ව කළෙමු. මිතුරුදමදසමාන්තරවම පවත්වාගෙන ගියෙමු.
මූනු පොතට ලියූ දෙවෙනි සටහනට පාදක වූ ගීතයට අදාල සටහන මෙයයි. එය සංස්කරණයෙන් තොරව ඵළ කරමි.
මේ ගීතය මම ලිව්වේ කාටවත් නොවෙයි. කවුරුත් කිවු නිසාත් නොවේ. මෙය අළුත් අත්දැකීමකුත් නොවෙයි. විවිධ අය විසින් විවිධ විදිහට මේ ගැන ලියා තියෙනවා. මේ මට හිතට ආව විදිහ. මේ ගීතයේ තියෙන්නේ නාටිකාංගනාවක් ගැන. ඒ නිසාම මේ ගීතයේ සංගීතයත් ඊට අතිශයින් සමීප වෙන්නට නිම කරන්න කරුණාරත්න විජේවර්ධන පෙළඹෙනවා.
මේ ගීතයේ නාටිකාංගනාවක් ගැන කියවෙන නිසාමද මන්දා කිත්සිරි ජයසේකර ගීතය ගයන්න තෝරා ගන්නවා. ඒ සිය මී පැනි රහසක් ගීත එකතුව සදහා. ඔහු මේ ගීතය ගැයුවේ සිය ප්‍රිය බිරිඳ වන උපේඛා ගංගොඩවිල වෙනුවෙන් දැයි මම දන්නේ නෑ. මම ඇහැව්වෙත් නෑ. කවුරුත් දන්නවා උපේඛා ගංගොඩවිල කියන්නේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය නැටුම් ශිල්පිනියක් වූවා සේම නැටුම් පිළිබඳ කථාකාචාරිනියක්ද වූ වග. කිත්සිරිට නොදැනීම මෙය තෝරා ගැනුනේ ඒ නිසා දැයි මටත් හිතුණා.
මෙම සටහන කිත්සිරි දකීවි. ඒ ගැන ඔහු අමනාප නොවනු ඇතැයි සිතනවා.
දිනක් කිසියම් වැඩ සටහනකදී හෝ අවස්ථාවකදී ( මට හරියටම මතක නෑ ) කිත්සිරි මේ ගීතය ගායනා කළා. අදහස් දැක්වීම සඳහා මමත් එහි සිටියා. වසන්ත රෝහණ තමයි එය මෙහෙය වූයේ. වසන්ත අයියා හඳුන්වා දුන්නා මීළඟට ගයන ගීතය. එය මවිසින් රචිත අර නාටිකාංගනාව ගැන කියවෙන ගීතය. වසන්ත අය්යා කිත්තාගෙන් අහනවා.
කිත්සිරි, මම හිතන්නේ ඔබ මෙම ගීතය ගයන්නට ඇත්තේ උපේඛා ගැන හිතාගෙන වෙන්න ඕනෑ.
කිත්තාගේ කටට උත්තරය දීලා වසන්ත අයියා අහනවා. කිත්තත් එක වරම යමක් කිව යුතුයිනේ. තටම තටමා ඉන්නත් බෑ. ඒ නිසා කිත්තා කියනවා,
ඔව් වසන්ත අයියේ, උපේඛා ගැන හිතලා තමයි මම මේ ගීතය යසේට කියලා ලියවා ගත්තේ
වසන්ත අයියා ඉන් පසු හැරුනේ මා දෙසට.
එතකොට යසේ, ඔබ මෙම ගීතය ලිව්වේ කවුරුන් ගැන හිතලාද
මමත් එක් වරම උත්තරයක් දිය යුතුයි. තටම තටමා ඉන්න බෑනේ. ඒ නිසා මමත් පිලිතුරු දුන්නා.
වසන්ත අයියේ, මමත් මේ ගීතය ලිව්වේ උපේඛා ගැන හිතලා තමයි
කිත්තාගේ මූණ රතුවනු මම දැක්කා. ඒ සමගම සංගීතය වැයෙන්න පටන් ගත්තා. කිත්තාට දැන් ගීතය ගයන්නට වෙනවා. ඒ නිසා ගීතය ගයන්න පටන් ගත්තා.
සිහිනිඟ පානා දඟේ
නයනග දිලෙනා රඟේ
පිරුණා වූ උකුළේ - ලලනා සිරිය මැවේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....

ගෙල වට බඳිනා ලෙසේ - මුතු පොට ගෙනෙනා දිනේ
ගැන දසැඟිලි දෑතේ
නිදි නැති රෑ සයනේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....

වරලස ගසනා ලෙසේ - මල් දම ගෙනෙනා දිනේ
ගැන දසැඟිලි දෑතේ
නිදි නැති රෑ සයනේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - කරුණාරත්න විජේවර්ධන
හඬ - කිත්සිරි ජයසේකර
( පසුව ලියමි - වැඩ සටහන අවසන කිත්තා මගේ බෙල්ලෙන් අල්ලා තෝ කියන අවලං කතා වලට මම තෝව මරණවාකියා විහිළුවටවත් කිව්වේ නෑ )
සිහිනිඟ පානා දඟේ ගීතය අසා සිටිමු.

දැන්වත් අළුත් ගීතය අසන්නට නොදේදැයි ඔබ සිතනු ඇත. ඔව්. අපි එයට යොමුවෙමු.
මේ ගීතය සංගීතවත් කළේ සුරේෂ් මාලියැද්දේ විසින්.
ඇත්තටම මේ ගීතය හැදුවේ කිත්සිරිට නොවේ. මේ ගීතය හැදුවේ අමරසිරි පීරිසුන්ට. ඔහුගේ ස්නේහයේ නගරයයි ගීත එකතුවට. සුරේෂ්ට එහි අවස්ථාවක් ලැබුණාම ගීත රචනයක් සඳහා කතා කළේ මට. මට එය මහඟු අවස්ථාවක් වුණා. සුරේෂ්ට හා හා පුරා ලැබුණු අවස්ථාවේදී ඔහු සුදුසු ගීත රචනයක් සදහා මාව තෝරා ගත්තාම එය මට මහා පුදුමයක්ද වුණා. සුරේෂ්ගෙන් ඇසුවාම සුරේෂ් කිව්වේ, යසේ, උඹ ලියන විදිහ මට හොඳින් දැනෙනවා. ඒ නිසා එය සංගීවත් කරන්නට පහසුයි කියායි.
මෙය අප දෙදෙනාටම අභියෝගයක් වුණා. ගීත එකතුවට ජනප්‍රිය කළින් කළ ගීතද සමගින් අළුත් ගීත එකතු වෙන්නේ  ගීත  පමණයි. ඒ කුඩා  ඉඩෙන් අපට කොටසක් ලබා ගැනීම විශාල අභියෝගයක් සේම අපි දෙදෙනාටම එකල විශාල දෙයක්. අපි ඒ සඳහා උපක්‍රමයක් හැදුවා. කූට උපක්‍රම නොහොඳ නිසා හැකියාවෙන්ම උපක්‍රමය සැකසුවා. ඒ තමයි විවිධ ආරවල ගීත 4 ක් සූදානම් කිරීම.
මෙසේ හැදූ ගීත 4 න් එකක් මෙය. අමරිසිරි පීරිසුන් තෝරා ගත්තේ මෙය නොවේ. අපේ මංමුළා වේවී - සිත කෝල වූවොත් - මේ මිනිස් වනයේ කියන ගීතය. එය යුග ගීයක්. එහෙත් පටිගත කරන්නට යන අවස්ථාවේදී නිෂ්පාදනයේ ගැටළුවක් ආවා යුග ගීත සංඛ්‍යාව වැඩි යැයි. ඒ නිසා පැරණි නමුත් වඩා ප්‍රසිද්ධ ජනප්‍රිය යුග ගීත දෙක ( ස්නේහයේ නගරයයි සිත මගේ සහ සල් සමන් සුගන්ධිනී ) ඉතිරි වී මගේ ගීය ( අපේ ගීය ) ඉවත් වුණා. එසේ වූවත් අපේ අවස්ථාව ඉවත් වුණේ නෑ. අමරසිරි පීරිසුන් සෘජු මතයක සිටියා සුරේෂ් ගේත් මගේත් දායකත්වය එම නිර්මාණ එකතුවට අවශ්‍යයැයි.
අපේ සූදානම නැවත කරලියට එළ ඹුනා. ඒ අනුව නැවත අනෙක් ගීත 3 ඉදිරිපත් වුණා. අමරසිරි පීරිසුන් සෑහීමකට පත් වුණා අපේ  -මේ ආලවන්ත වීදියේ - ගීතය සුදුසු යැයි. ඒ අනුව ආලවන්ත වීදිය ස්නේහයේ නගරයට එකතු වුණා.
මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු - සල්පිල්වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ....

මේ ආලන්ත වීදියේ
සොඳුරු වුණත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරෙස්සමින් නොගත්තොතින්
සිහින බිඳෙන්නේ........

මේ ආලවන්ත වීදියේ
නුරා ළඳුන් නෙතග බැළුම්
වැඩි  දුර නෑ අතමානෙම ගන්න තියෙන්නේ
පරෙස්සමින් නොගත්තොතින්
දෑස රිදෙන්නේ......
මේ ආලවන්ත වීදියේ ගීතය අසා සිටිමු.


එසේම එහිදී අපට තවත් වාසනාවක් උදා වුණා. ඒ තමයි එදින පටිගත නොකළ ගීතය. අමරසිරි පීරිසුන් අපට කිව්වා, මම මේ ගීතය අද නොකළාට ඊට බෙහෙවින් කැමතියි. ඒ නිසා කුමන අවස්ථාවක හෝ එය පටිගත වුණොත් එහි පිරිමි කටහඬ සඳහා තමන්ට කතා කරන ලෙස. මේ අනුව අමරිසිරි පීරිසුන්ගේ එක් ගීතයක් වෙනුවට ගීත දෙකක් අපේ උත්සාහය නිසා අපට ලැබුණා. කියූ සේම ප්‍රායෝගිකවද එය ඉටු වුණා. ඒ අනුව මං මුළා වේවී ගීතය පසුව රශ්මි සංගීතා මහත්මියගේ සීත මිටියාවතේ ගීත එකතුව වෙනුවෙන් අමරසිරි පීරිසුන් සමග ගැයුනා.
මං මුළා වේවී
සිත කෝලවූවොත්
මේ මිනිස් වනයේ
ගිනිකණ වැටී ඇස - මං මුළ වේවී - මුවැත්තී
සුදත්නී -සිත බියෙන් සසැලේවී
නුඹ මුවන් විදුමට දඩයමේ යන
නිරිඳුදැයි සිත බියෙන් සසැලේවී

හී සර වෙතත් විස හී නොවේ
නුඹ විදළුවත් නැසුමට නොවේ
මුවැත්තී අත කුසුම් සර මිස විසහී නොවේ...
විස හී නොවී මල් සර වූවත්
දුනු දිය මිදී ළය විනිවිදීවි
සිත බියෙන් සසැලේවී
නුඹ මුවන් විදුමට දඩයමේ යන නිරිඳුදැයි
සිත බියෙන් සසැලේවී

කග රන්වුවත් - තුඩ නපුරු වේ
ගල මිණි වුවත් - හුපුණොත් රිදේවී
සුදත්නි - සිත කෝල බිය මිස රණ හස නොවේ

දැඩි සිත් නොවේ රජ කම් දැරුවත්
ඇවිළුනු සිතුම් නුඹ ළඟ නිවේවි
සිත  බියෙන් සසැලේවී
නෙතු පියන් පෙති මත ගිලිහිලා යන සිහිනෙකැයි නුඹ
සිතුම් සසැලේවී.....
අපි මං මුළා වේවී ගීතය අසා සිටිමු.


තුරුණු පෙම්වතෙක්හට තම පෙමවතිය කොතෙක්නම් සොඳුරු වස්තුවක්ද කියලා  කියැවෙන ගීතයක් මාතින් ලියැවුණා. ඒත් මට මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ මම ඒ ගීතය ලියා ඇත්තේ වෙනස් දෘෂ්ඨියකින් කියලා මට හිතෙන නිසා.
සාමාන්‍යයෙන් මෙවැනි ගීතතුළින් තම සිත ගත් යුවතිය වර්ණනාවෙන්නේ පරිසරයෙහි ඇති කිසියම් සුන්දර වස්තූවකට සමාන කරමින්. ඒත් මෙහි ඇත්තේ පරිසරයේ ඇති සියළු සුන්දරතාවනට හේතුවී ඇත්තේ ඇයයයි කීමයි.
මෙවැනි එක් උදාහරණයක් මතක්වෙනවා. ඒ තමයි ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ වික්ටර් රත්නායකයන්ගේ කුරුල්ලන්ට ගී ගයන්න ගීතය. එනම් ඇයගේ සුන්දරත්වය රැඳී ඇත්තේ සොබා දහම මත නොව, සොබා දහමේ සුන්දරත්වය රැඳී ඇත්තේ ඇයගේ සුන්දරත්වය  නිසාවෙන් කීමයි. නමුත් මෙය ඇය වර්ණනා කරණ ගීතයක්මත් නොවෙයි. මෙහි ඇය පිළිබඳ වර්ණනාව ගැබ්ව ඇතිවා සේම ඇයගේ වියෝගය පිළිබඳව වන වේදනාවද එකසේම ගැබ් වෙනවා.
අපි එම ගීතය අසා  මගේ ගීතය ගැන කතා කරමු.




මේ ගීතය මට අදහසක් දුන්නා එවැනි ආකාරයේ ගීතයක් නිර්මාණය කිරීම සඳහා. මම දැන් කියන්න උත්සාහ කරන්නේ කුරුල්ලන්ට ගී ගයන්න ගීතයේ රසය පරදවන ගීතයක් ලියන්න මම උත්සාහ කළා නොවෙයි. නමුත් මම ඒ ආකාරයේ නිර්මාණයක් කළා. එම රචනයත් සුරේෂ් විසින් කළ නිර්මාණ 4 ට ගැනුනා. එය පසුව දයාන් විතාරණ මහතා විසින් ගැයුවත් එය ඔහුගේ නිර්මාණ එකතුවකට ගොනු වුණේ නෑ. එය සැමට නැතත් මට තිබෙනවා. 


ප්‍රේමයේ පුර පස තුටු ගීතයට

මුදු වදන්දුන් නුඹ

ප්‍රේමයේ අවපස දුක් ගීතයට

දුක් වදන් දෙනු කෙලෙසද........



තරු කැකුළකට යුග නෙතේ කැන්පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....



තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා

සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා

පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා

හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....


අවසන අපි කතා කිරීමට සිතූ ගීතයට එමු.

මේ ගීතය කිත්තා සමග ගයන්නේ උරේෂා රවිහාරි. මම මේ ගීතයට මහත් ප්‍රියයි. බොහෝ ඇසූ අයද ප්‍රියතාවක් දැක් වූවා. එහෙත් පුංචි දුකකට ඇත්තේ කිත්තාගේ හෝ උරේෂාගේ පසුකාලීන ගීත එකතුවකට එය ගොනු නොවීම ගැනයි. කෙසේ වෙතත් සැමට නැතත්, මේ ගීතයද මට ලැබුණා.
මලට රොන් සුනු පළඳවා
අරුණු කිරණේ - තුසර බිඳුවක් දිලිසුනා.....
උදෑසන විසිතුරු බවින් මත්ව ඔහු එසේ කියන විට ඇයගේ පිලිතුර වෙනස් එකක්.
ඔබ නමින් - මා නෙතින් ගිලිහුණු
කඳුළු බිඳුවක්
මලක් මත හිඳ දිලිසුනා
තුසර බිඳකැයි රැවටුනා
ඔබ රැවටුනා.... 
ගීතය පුරා මේ සංවාදය දිවෙයි.
වෙසෙසින් කිව යුතු දෙයක් වෙයි. කවි ආකෘතියට වෙනස් ගීත ආකෘතිය යොදා ගැනීමේ උත්සාහයක් රචනය තුළට ගැබ් කරන්නට වෙහෙසුනු බවයි.
-         සිනාසෙන සඳ මලිකි නුඹ මට
සෙනෙහසේ ඇස් දිලිසෙනා
-         රිදී විසකුරු බමර තුඩගින්
හඬන මුත් නුඹ නොදකිනා
හදකි සිනා මල් සේ කියවනා.....

-         කලා පිරි සඳවතයි නුඹ මට
සිසිලසේ කැන් විහිදෙනා
-         වැසී ගණ කළු වළා රොදකින්
හඬන මුතු නුඹ නොදකිනා
සඳකි වත මල පුරා සඳ සේ අගයනා....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - කිත්සිරි ජයසේකර සමග උරේෂා රවිහාරි.





 අවසන එක අරමුණක් ජයගනු වස් අප දෙදෙනා එක්ව නිර්මාණය කළ ගීත සාම්පල 4 ම ගීත බවට පත් වුණා. 

මගේ ගී ගීපයක් ගැන මමම කතා කිරීම පිළිබඳව කමන්න. ඒ ගී නිර්මාණය වූ පසුබිම ඉදිරිපත් කිරීම වටිණවා යැයි මා සිතූ බැවිනි. කෙනෙකුගේ මතය අනෙකක් නම් ඒ මතයටද ගරු කරමි.
-         යසනාත් ධම්මික බණ්ඩාර    -