Tuesday, June 16, 2015

ආදරේ දෙතොල් ඉරිලා - රෝසමල් රතුයි ප්‍රමිලා ( දස්කොන් ප්‍රමිලා ආදර අන්දරය )



යම් කලා නිර්මාණයකට නිමිත්ත වශයෙන් පුරාණ කතා පුවතක් පදනම් වූ කල්හි එය පුරාණෝක්තියක් මත නිර්මාණය වූවා යැයි කියයි. මේ පුරාණෝක්තියෙන් කියවෙන අතීත කතාව වෙනත් වදන් වලින් ගෙත්තතම් කොට ගීතයක් ලිවීමේ සිට එහි යම් සිද්ධීන්, චරිත ආදිය පදනම්කොට ගෙන වෙනත්ම නිර්මාණයක් කිරීම දක්වා පරාසයක එය විහිදී යයි.
ඉහත කී ආකාරයේ නිර්මාණයන් සඳහා විවිධ පුරාණෝක්ති යොදාගෙන ඇති බව දැකිය හැක. ජාතක කතා, වීර කතා, දේව කතා, රජ කතා ඈ බොහෝ දේ එලෙස පුරාණෝක්ති ගණයට වැටෙයි.
මෙම සටහනේදී මවිසින් විමසන්නට උත්සාහ කරන්නේ දස්කොන් - ප්‍රමිලා කතා පුවතයි.
දස්කොන් - ප්‍රමිලා කතා පුවත දිග හැරෙන්නේ රජ සමයකය. ඒ කුමන රාජ සමයේදැයි යන්නට යම් යම් මත වාද පවතී.
දස්කොන්, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ යුගයෙහි සිටි බවට සමහර ගත් කතුවරුන් ප්‍රකාශ කරණු ලබයි. එහෙත් වඩා නිවැරදි ඔහු සෙනරත් රාජ සමයේ ඉපිද හැදී වැඩී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ යුගයෙහි ජීවත් වූ බව යැයි මතයක් පවතී.
දස්කොන්, ළදරු වියෙහිදී කෝන් ගසක් යට අතහැර දමාගොස් සිටියදී සෙනරත් රජුට හමුවී පසුව පුතෙකුට සේම සෙනෙහසින් හදා වඩාගත් බව කියවෙයි. කෝන් ගසක් මුළ සිටියදී හමු වී හදා වඩා ගත් බැවින් දස්කොන් ලෙස නම් කළැයි සමහරුන් තුළ මතයක් ඇතිවා වුවද, ගැස්කන් යන්න සිංහලට දස්කොන් ලෙසින් බිඳුනු බවයි පිළිගත හැකි මතය වන්නේ.
ඊට හේතුව නම්, දස්කොන් යනු පේද්‍රෑ ගැස්කොන් නම් ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි මවකට උපන් දරුවෙකැයි සැලකෙන බැවිනි.
දස්කොන්, සෙනරත් රජුගේ පුත් වූ, පසුව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස රජ වූ, කුමරාගේ ළඟම හිතවතෙකු විය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම් ධූරය හෙබවීමට තරම් දස්කොන් රජුට විශ්විසවන්තයෙක් වෙයි.
එවිට දැන් ප්‍රමිලා කවුරුන්දැයි සිතිය යුතුය.
මහනුවර කේන්ද්‍ර කොටගත් රජ පෙළපත් දකුණු ඉන්දියාවත් සමග විවාහ සබඳතා පැවැත් වූ බව දන්නා කරුණකි. එය ඇරඹෙන්නේ දෙවන රාජසිංහ හෙවත් සෙනරත් රජ දවස සිටයි. එහිදී ඊ ළඟට රජවෙන සෙනරත් රජුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට අග බිසව ලෙස ඉන්දියාවෙන් ගෙන්වා ගත් සුරූපිනියකි ප්‍රමිලා.
සුන්දර කාන්තාවන්ට බෙහෙවින් ප්‍රිය කළ රජුට ප්‍රමිලා ට වඩා සුන්දර කාන්තාවක් බිසව කරගන්නට හැකි වුණු විට ප්‍රමිලා ව අයින් කල ගණනට වැටුණි.
මේ දස්කොන් අධිකාරම සහ ප්‍රමිලා බිසව කවියෙහි දක්ෂයින් වුණු බව ප්‍රකටය. එලෙසම ඔවුන් දෙදෙනා අසම්මත පෙමකින බැඳි සිටි බවද ඒ හා සමව ප්‍රකටය.
මේ අසම්මත පෙම්වතුන් සිය පෙම්පත් ලියුවේද කවියෙන් බව කියවෙයි. ප්‍රේමයට මුසුව අනුරාගී අදහස් පෙරදැරිව ලියැවුණු  ඔවුනගේ පෙම් කථාවේදී හුවමාරු කරගත් හසුන් වල ලියැවුනු කවි වලද ඒ අනුරාගය මුසු ප්‍රේමය වෑහුනු බව කියවෙයි.
ඔවුනගේ පෙම් හසුන් කවියෙන් හුවමාරු කරගත් බව කෙසේ ප්‍රකට වුවද, ළදරු වියේ සිටම සිංහල බස හුරු දස්කොන් ට සේ සිංහලෙන් කවි ලිවීමේ හැකියාවක් දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත් ප්‍රමිලා බිසවට ලැබුණේ කෙසේ දැයි විවාදයක් පවතී. මේ නිසා ඇය විසින් ලියුවා යැයි ප්‍රකට වූ  ඒ කව් අන් කිසිවෙකු විසින් ලියන ලදැයි කියවේ.
දස්කොන් සහ ප්‍රමිලා විසින් ලියුවා යැයි සැලකෙන සමහර කවි මෙසේය.
ප්‍රමිලාවන් හා හාදකමක් පැවැත්වුවද එය ඉතා දුෂ්කර වන්නේ ඇය රජුගේ මෙහෙසිය වන නිසාත් ඇය අන්ත:පුරයෙහි වසන නිසාත්ය. මේ පෙම බොහෝ අනතුරු සහිතය. හමුවීම දුෂ්කරය. හැබැයි පෙම අසම්මත වුව බැඳුනු පසු කුමන දුෂ්කරතා විඳ හෝ හමුවෙන්නට ගන්නා අනවරත උත්සාහය අදහාගත නොහැකි දෙයක් නොවේ.
කුමන ආරක්ෂාවක් මැද සිටියද සිය අදිටන ඉටුකරගන්නා බව දස්කොන් විසින් කියනා කවියකි මේ.

රන්මාලය පැළඳගෙන ගත                     සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත                    නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා

මෙහි,
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා
යන දෙපදයෙන් වැටහෙන්නේ කුමන අසීරුකම් අනතුරු දුෂ්කරතා තිබුණද ඔහු සිය අරමුණ කරා ළඟාවෙන බව නොවේද?
දස්කොන් ගේ මේ කවට පිලිතුර ලෙස ප්‍රමිලාවන් යැවූ පිලිතුරු නව මෙලෙස යැයි සැලකේ.

යන්නෝ මෙ මග රෑ දහවල තොර                  වෙත්ද
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා           බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා                      දෙත්ද
දන්නෝ උපා මිණි බැඳි දොර                       නාරිත්ද

දස්කොන් සහ ප්‍රමිලා අතර බැඳි  මේ අසම්මත පෙම හෙළි වීමෙන් දස්කොන් ට අත් වන්නේ මරණයයි.
මේ පෙම් පුවත හෙළිවීමෙන් දස්කොන් ට අත් වූ ඉරණම තුළ ඇත්තේ ඛේදවාචකයක් වුවද දස්කොන් - ප්‍රමිලා ගේ පෙම් පුවත රජුට සැළ වූ ආකාරය පිළිබඳව ඇත්තේ රස බර කතාවකි.
ප්‍රමිලා බිසවට ඇති යම් අපලයක් දුරුකිරීම පිණිස නැකැත් කරුවන් ශාන්තිකර්මයක් පිලියෙළ කළ අතර ඒ සඳහා කළේ ප්‍රමිලා ගේ රුවට සෑම අතින්ම සමාන නිරුවත් ප්‍රතිමාවක් නිර්මාණය කළ යුතු විය. නිර්මාණකරුවන් ප්‍රමිලා ගේ නිරුවත් රුවක් කෙසේ දකින්නද?  ඔවුන් එම නිර්මාණය කළේ මතුපිටින් බැලීමෙන් අනතරුවය. එය ප්‍රමිලා ගේ රුවට කොතරම් සමානව නිමැවීද යත්  මේ ප්‍රතිමාව දුටු දස්කොන් ඉන් මවිත වූ බව ප්‍රකටය. එහි කිසිදු අඩුවක් රජතුමන් විසින් නොදුටු නමුත් එහි අඩුවක් වන බව දස්කොන් විසින් හෙළි කරණ ලදි. ඒ අඩුව නම් ප්‍රමිලා බිසවගේ කළවයෙහි වූ උපන් ලපයක් ප්‍රතිමාවේ කළවයෙහි නොමැති බව දස්කොන් විසින් හෙළි කරණ ලදි. ප්‍රතිමා නෙළුම්කරුවන් නොදත්, රජු සහ ප්‍රමිලා පමණක් දත් ඒ ලපය පිළිබඳ රහස දස්කොන් දත්තේ කෙසේ දැයි රජුට සිතා ගැන්මට මොහොතකට වැඩි කාලයක් අවැසි නොවුනි. දස්කොන් ට මරණය හිමි වන්නේ ඉන් පසුවය.
සිරගතව සිටියදී පවා දස්කොන් විසින් කවි හසුන් යැවූ බව කියවේ. ප්‍රමිලා ද ඊට පිලිතුරු කවි ලියා ඇත. මේ එවන් කවි යුගලයකි.
මේ ප්‍රමිලා දස්කොන් ට ලියූ කවිකි.

සක්මන් කරන මළුවේ දී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
දස්කොන් මගෙ නමට ජීවය දෙනවාද

දස්කොන් ප්‍රමිලා ට මෙසේ පිලිතුරු කවක් ලියයි.

විසැස් කමලාවි රස පහස නොවිඳ මා
දසිස් දුණි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මසිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා

මේ පෙම් පුවත මෙතරම් ප්‍රකට වන්නේ ඒ මරණය නිසා යැයි විටෙක මට හිතේ. මරණයෙන් කෙළවර නොවුණා නම් මෙයට මෙතරම් ප්‍රචාරයක් ලැබෙතැයි නොසිතෙන අතර මරණයෙන් කෙළවර නොවුණු නිසාම ප්‍රකට නොවුණු තවත් මෙවැනි පෙම් පවත් තිබෙන්නට ඇතැයි ද සිතමි. ඒ අනුව වැඩි වැදගත් කමක් ලැබුණේ මේ පෙම් කතාවට ද නැති නම් ඒ මරණයට ද යන්න මසිත ඇති ගැටළුවකි. නැති නම් ඒ පෙම් කතාවට වැඩි වටිණාකමක් ලැබුණේ මරණයක් අභියස දී බව පෙනේ.
දැන් අප විමසන්නට යන්නේ මේ පෙම පුවත පාදක කොටගෙන ලියවුණු ගීත නිර්මාණයන් ගැනය.
මේ කතා පුවත වටා ලියැවුණු ගී සියල්ලම මෙහි අන්තර්ගත නොවන වග ලියමි. එසේම මේ ගී විමසුම ගැඹුරු විචාරයක් නොවන බවද ලියමි.
දස්කොන් - ප්‍රමිලා ගැන ලියූ ගී වලින් කා අතරත් වඩා ප්‍රකට වන්නේ විශාරද නීලා වික්‍රමසිංහ විසින් ගයන දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ.... ගීතයයි.



දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ......

දස්කොන් යන මේ ගමන නැවත නොඑන ගමනකි. ඇය සිටිනුයේ මහත් කම්පාවෙනි. ඔවුන් බැඳි ප්‍රේමය සක්මන් මළුවේ බැඳි තොරණක් නම් දැන් ඉන් මල්දමින් මල්දම ගිලිහෙමින් පවතී. පෙර විඳි පෙම් රස පරයා සදාකාලික කඳුළු උල්පතක් මතු වෙමින් පවතී.

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ
සිත යන යන තැන එන්නේ.
මතු දා ඔබ හමුවන්නේ
මතු දා ඔබ හමුවන්නේ....

තම හිමියන්ට - රජු ට - උරුමකරගත හැක්කේ සිය කය පමණි. හදවත ඇත්තේ දස්කොන් ළඟය. ඈ සිත දස්කොන් යන යන තැන ඔහු පසු පසින් ඇදෙයි. මරණයෙන් මතු ඊ ළඟ ආත්මෙදි හෝ හමුවීමයි ඇයගේ පැතුම වනුයේ.

ඔබ ළඟ නැති මුත් ඔබගේ සුවඳයි
පවනේ පාවී එන්නේ
සයනේ සැඟවී ඉන්නේ.......
සයනේ සැඟවී ඉන්නේ.......
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව


ගීතයට යෙදී ඇති තනුව සහ සංගීතය විමුසමේදී එය ගීතයේ අරුතට මනාව බද්ධවුණු තනුවක් බව කාටත් පසක් වනු ඇත. ගීතය ගයනුයේ ඛේදවාචකයක් අභිමුවේදීය. එබැවින් එම හැඟීම මතුකළ හැකි අඩු ළයකින් වැයෙන ළයාන්විත තනුවක් එයට යෙදී ඇත. අන්තර්ගතයේ ශෝකාකූල හැඟීමට එය මනාව ගැලපී ඇත. මුල් නිර්මාණය සලකන විට පෙරදිග සංගීතයට වඩාත් නැඹුරු සංගීත භාණ්ඩයන්ය එයට යොදා ගෙන ඇත්තේ. එමෙන්ම බටහිර හෝ පෙරදිග යන බෙදුමට හසුනොවන සංගීත භාණ්ඩ වැයුමේදී පෙරදිග ඌරුවට ඒවා වාදනයවෙයි. මේ සංගීතය ගීතයෙහි හැඟීම තීව්‍රැ කරණු වස් වැයෙයි. ඉන් අදහස් කරනුයේ සංගීතයේ වැයුම තීව්‍රැය යන්න නොවේ. හැඟිම තීව්‍රැ කරණ බවයි. සංගීතය භාවාත්මකය. ගෝෂාවෙන් තොරය. හැඟීම් බරය. ශෝකාකූලය.
ඉහත දස්කොන් සකිසඳ කේවල ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය යොදා ගනිමින් පද මාලාවේ යම් යම් වෙනස්කම් සහිතව නීලා සහ අමරදේවයන් විසින් ගයනු ලබන යුග ගීතයක්ද වන බව ඔබට මතත ඇතැයි සිතමි.



දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ
ඔබ මා යලි හමුවන්නේ.......

සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
කෙලෙස ද හද බැඳලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

දස්කොන් සිරගතය. ඔහුගේ සියොළඟ සිරකරලිය හැකිය. එහෙත් හදවත බැඳ දැමිය නොහැක. රජුගේ සිර අඩවියේ සිටින දස්කොන් ගේ හදවත සියළු රැකවල් පරයා ප්‍රමිලා ළඟය.
මෙහි ඇත්තේ දස්කොන් - ප්‍රමිලා කතා පුවතේ අවසන් දින කිහිපය හෝ අවසන් හෝරා කිහිපය බව ඔබට වැටහෙනු ඇත. ඔවුන් බැඳුනු පෙම ඉතින් තවත් ක්‍රියාවෙහි නැගිය නොහැකි වෙයි. යම් මොහොතක දස්කොන් අදිකාරම්ට මිය යන්නට සිදුවනු ඇත. එහෙත් මනු ලොව දී එලසෙ මිය යන්නට වුව, පෙම් ලොව දී ඔවුන් සදාකාලික පෙම්වතුන් ය.

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව
ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මේ ගීතයේ ද රචකයා වන්නේ මහැදුරු සුනිල් ආරියරත්නයන් ය. එය සංගීතවත් කරණ ලද්දේද ගයන අමරදේවයන්මය.


දස්කොන් - ප්‍රමිලා කතා පුවතෙන් ජනිත ගී අතර එතරම් ප්‍රකට නොවන එහෙත් සුන්දර  ගීයක් අපට හමුවන්නේ සමන් ජයනාත් ජිනදාස ගේ සඳ පහන් රැයක ගීත සංග්‍රහයෙහිය. මට මතක හැටියට එහි රචනයට හිමිකම් කියනුයේ යමුනා මාලනී පෙරේරා විසිනි. එහි සංගිතය රෝහණ වීරසිංහයන්ගෙනි. 




මේ ගීතයෙහි ප්‍රමිලා නිරෝෂා විරාජිනී ය. දස්කොන් වන්නේ සමන් ජයනාත් ජිනදාස ය.




රාත්‍රිය අපෙයි දස්කොන්
තවත් නෑ හිතේ අස්කොන්
පෙම් සිනා තෙපුල් ඇස්කොන්
පිච්ච මල් සුදුයි දස්කොන්
ආදරේ රහයි දස්කොන්

ආදරේ දෙතොල් ඉරිලා
රෝසමල් රතුයි ප්‍රමිලා
වද මලින් ගෙතූ මල් දම්
තිස් පැයේ පෙනෙයි මැවිලා
ආදරේ රුදුයි ප්‍රමිලා....

දස්කොන් - ප්‍රමිලා කතා පුවතෙහි එන කවි වල දස්කොන් මරණයට නොබියව මුහුණ දුන් සෙයක් ප්‍රකට වෙයි. ඔහු ප්‍රේමය වෙනුවෙන් සතොසින් දිවි පිදූ අයුරක් ඒ බොහෝ කවි වල සහ ගීත වල මතුවෙයි.
එහෙත් මෙම ගීතයේ ඉහත දැක්වූ කොටසෙහි ඇත්තේ ඔහු සිත තුළ කැළඹිල්ලක් වූ බවය.

ආදරේ දෙතොල් ඉරිලා
රෝසමල් රතුයි ප්‍රමිලා
වද මලින් ගෙතූ මල් දම් තිස් පැයේ පෙනෙයි මැවිලා
ආදරේ රුදුයි ප්‍රමිලා.... ලෙස කියවෙන්නේ එබැවිනි.
වඩාත් විශ්වාසනීයද එම අර්ථකථනයයි. බොහෝ විට යම් සිදුවීමක් පසුව වෙනත් නිර්මාණකරුවන් අතින් ප්‍රතිනිර්මාණය වීමේදී අතිශයෝක්තියක් ඊට එකතු වන බව අප දකින සාමාන්‍ය දෙයකි. දිවියට වඩා මරණයද සැපකැයි හැඟෙන සේ ඒවා නිර්මාණය වී ඇත්තේ එබැවිනි.

රාජ ඉසුරු රජ සැප මොන සිංහාසන
මාගෙ යහන ඔබෙ හද පෙම් මල් ආසන
කාත් තවුරුවත් නොඑනා රාත්‍රියෙ මෙම
ඒත් මගේ හිත ගැහෙනා කාරණේ කිම
ඇය ගයනුයේ ඔහුගේ පෙමින් යම් තරමකින් උමතුව මෙනි. සියළු යස ඉසුරු පසෙක ලා ඔහුගේ පෙමට ඇය බැඳී ඇත. එහෙත් ඔහු සිත ට ඒ අදහසින් ප්‍රමුදිත වන්නට බාධාවක් ඇත. ඔහුගේ සිතේ ඇති දෙගිඩියාව සම්පූර්ණයෙන්ම ඉවත ලෑමට ඒ සුපෙම් හැඟීම් සමත් නොවෙයි.
රාජ අණට වැඩි තෙද ඔබැ පෙම් භාෂණ
ආලවන්ත ඔබැ සිත මගෙ පූජාසන
රාත්‍රිය නිමයි ළඳුනේ යා යුතුයි මම
රහස් පෙමට නෑ නිවනක් තුන් ලෝකෙම

රාජ අණ නම් තේජස්ය. එහෙත් ඈට නම් ඔහුගේ පෙම් බස් පවා රාජ අණට වැඩියෙන් තේජස් ය. මේ හැඟීම සමහර විට මතුවන්නේ රජුන් විසින් ප්‍රමිලාවන් නොතකා හැරිය තැන සිට විය හැකිය. අනුරාගී කාන්තාවකැයි ප්‍රකට ප්‍රමිලාවන්රජුගේ අන්ත:පුරයෙහි තව දුරටත් තැනක් හිමි නොවන කල සමීප වුණු පෙම් වතා මෙලෙස සියල්ලටම වඩා ඇගයිය යුතු මට්ටමකට ඈ සිත්හි අරක් ගත්තේද නැති නම් සැබැවින්ම ඒ හැඟීම ඈට දැනුනිද යන්න මට යම් ගැටළුවකි. කෙසේ වෙතත් ගීතයෙහිදී ඇය එසේ කියයි.
එහෙත් මෙහිදී දස්කොන් සිත නොසන්සුන්ය. ඒ පෙම් බස් තවත් ඉවසනු වෙනුවට සැනින් නික්ම යා යුතුය. රාත්‍රිය වේගයෙන් නිම වෙමින් පවතී.  
ගීතය අසමු.


මේ ගීතයට ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් නිමවා ඇත්තේ අනගි තනුවකි. මද වේගයෙන් වැයෙන තනුව තුළ දනවන්නේ ප්‍රමිලාවන් ගේ ශ්‍රැංගාරාත්මක හැඟීමත් දස්කොන් ගේ චෛතසිකයේ වූ කැළඹීමත්ය. ගීතයේ ගායනයන් ඉදිරිපත් කිරීමේදී සමන් සහ නිරෝෂා දෙදෙනා පෙර කී චරත ද්වය තුළ ඇති දෙවිදිහක හැඟීම් මනාව නිරූපනය වන සේ නිම කොට ඇත.
මේ ගීත දෙකෙහිම ඇති රිද්මයට වෙනස් වෙමින්ද කතාවට වෙනත් අරුතක් දෙමින්ද නිර්මාණය වුණු  ගීතයක් අපට හමු වෙයි. එය රචනා කොට සංගීතවත් කරන්නේ රූකාන්ත ගුණතිලකය. එහි ගැයුම රූකා සමග ලේඛා ය.

දුකිනා වෙසෙනා
බිසවුනි ප්‍රමිලා
සතුටේ ගිළුනා - මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුනා - පහසේ මා හා
මාගේ දිවි දී - රැක ගමි සොඳිනා...

මේ නම් කතා වස්තුවේ එන දස්කොන් ම ය. ඔහු එහි සාමාන්‍ය කතාව කියයි. එය අප ඇසු කතාවෙන් වෙනස් නොවෙයි. වඩාත් සරල වචන වලින් සිදු වූ දේ කියයි. එහෙත් අනතුරුව යෙදෙන කොටස සපුරා වෙනස් වෙයි.

රජ සැප නැතතුම්
ඔබෙ පෙම මට තුම්
එය සඟවන්නට දිවි තොර කරතොත්
රජ හට වැරදේ - පෙම ලක බැබලේ

මේ ප්‍රමිලාවන්ගේ කොටසයි. ඇය අන් ගීත වලදී වෙසෙනා ස්වරූපයට වඩා  වඩා වෙනස් වෙසක් ගනිමින් මෙහිදී රජුට අභියෝග කරයි.
මොන රජ සැප තිබුණත් හිත බැඳුනු පෙම ඊට වැඩි අගනේය යැයි සිතා රජ සැප හැර ගිය කතා අප එමට අසා ඇත. මෙහදීද ඈ රජ සැප ට වඩා දස්කොන්ගෙන් ලබන ප්‍රේමයට වැඩි වටිණාකමක් දෙයි. එහි අවසන දස්කොන් ගේ මරණය බව ඈ ද දනී. ඔහුද දනී. එහෙත් මේ අසම්මත ප්‍රේමය හේතුවෙන් දස්කොන් මරා දැමුවහොත් රජුට අත්වන අපකීර්තියත් ඔවුනට ලැබෙන ප්‍රසිද්ධියත් පිළිබඳව ඇය රජුට තර්ජනාත්මකව කියයි.

රහසේ විඳගත් පහසේ මහිමෙන්
රැක ගනු හැකි වෙද හිස මගෙ වනසා

නුඹත් සමග නොමරන්නේ ඇයි මා
නම නොමියෙන්නේ
දස්කොන් ප්‍රමිලා

රජ සැප නැතතුම්
ඔබෙ පෙම මට තුම්
එය සඟවන්නට දිවි තොර කරතොත්
රජ හට වැරදේ - පෙම ලක බැබලේ

ඈ හා බැඳි අසම්මත පෙමට ඔහු දඬුවම් විඳිනු ඇත. ඒ දඬුවම තවත් අරමුණක් ඇතිවය. එනම් මේ රහස ද සඟවනු පිණිසය. එහෙත් ඒ මරණය මතින් මේ රහස් රැකිය හැකි වේද?
ඇය ප්‍රශ්ණ කරණු ලබයි. එකම වරදක බැඳුනු ඇයට දඬුවම් නොදෙනුයේ මන්දැයි. එසේම ඔහුව නැසීමෙන් රහස රැකේවිද යන්න.
සිදුවනු ඇත්තේ අනෙකකි. ඔවුන් පෙම ලොව පසිඳු වීම පමණි. රජු පිලිකුලට බඳුන්වීමය.

රහසේ බිව් මී අද විස වූවද
එහි රස නොමැරේ මා මිය ඇදුනත්

ඔබෙන් ලැබූ සුව නොකියමි කාටත්
මතු පරපුර කවි ලියාවි දහසක්

මරණය කටුකය. එහෙත් කටුක මරණයට වුව ඈ සමග රහසේ බැඳි ආලයේ මියුරු බව උදුරාගත කොහැකි බවය ඔහු පවසනුයේ. එමෙන්ම කවියෙන් බැඳුනු ඔවුනගේ පෙම ගැන අනාගත කවීන් කවි සහසක් ලියනු ඇත.

දුකිනා වෙසෙනා
බිසවුනි ප්‍රමිලා
සතුටේ ගිළුනා - මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුනා - පහසේ මා හා
මාගේ දිවි දී - රැක ගමි සොඳිනා...

රජ සැප නැතතුම්
ඔබෙ පෙම මට තුම්....
ගීතය අසමු.



දස්කොන් යනුවෙන්  පැරණි චිත්‍රපටයක්ද තිබුණි. ඒ චිත්‍රපටය මවිසින් නරඹා නැත. හර්බට් ඇම්. පෙරේරාගේ අදියරුවෙන් එහි රඟපෑවේ රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා වැනි අය බවට යම් මතකයක් ඇත. එහි ගීත කිහිපයක්ම තිබුණි. එහි ගීත මෙහි නොඇමුණුවේ අප කතාව පැහැදිලිව කියවෙන ගී එහි සෙවීම අපහසු වුණු හෙයිනි.
එහෙත් ජැක්සන් ඇන්තනි විසින් මෑතකදී නිර්මාණය කළ දස්කොන් ටෙලි නාට්‍ය තුළ ඇත්තේද සෘජුවම දස්කොන් - ප්‍රමිලා කතා පුවතයි. එහිදීද අපට  අපට ගීත කිහිපයක්ම හමු වෙයි. ඒ සියල්ල පිළිබඳව මෙහිදී අප විසින් කතා නොකළද ඒ ගැන මතක් නොකර යා නොහැකිය.

මිහිරිම වසන්තය අරන් - බග සඳ එබෙයි කවුළුවෙන්
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා
නිදිගත් කොවුලිඳුට හොරෙන් සීතල සඳ එළිය යටින්
සක්මන් මලුව සොයාගෙන මම ආවා

මේ ද දස්කොන් සහ ප්‍රමිලා අතර ගී සංවාදයකි. අවුරුදු සඳ සොඳුරු වළා පටල මෑත් කරමින් එබී බලනු ඈ දකියි. එහෙත් ඈට වෙනදාට වඩා ඔහු ප්‍රමාදයයැයි හැඟේ.
ඒ අතරෙහිදී ය ලොවට ද හොරා සඳුටද හොරා ඔහු පැමිණෙන්නේ.

සඳ වතුරෙන් පිරිලා නිල් දිය තිලක මණ්ඩපේ
මුව මී පිරි ඉතිරේ වැව් තෙර කුමුදු මල් සැලේ
වාසල මිණි බැඳී දොර නිහඬව නිදන වෙලාවේ
සෙන්කඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ

මේ දිගහැරෙන්නේ ඔවුනගේ ප්‍රේමයේ උණුසුම් හැඟුම් සොඳුරුව කියවෙන අයුරයි. පරිසරයද ප්‍රේමනීයය. ප්‍රේමනීය පරිසරයේ ශ්‍රැංගාරාත්මක පෙම් රැඟුම් සුවඳය. සුන්දරය. සියල්ල නිදන යාමයේ අවදිව සිටින ඔවුනට වසන්තය එළඹ ඇත.

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසඳුන් මගේ
කන්දෙන් ඈත රටක හිරු දෙව් නිදන යාමයේ
ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ

එම සොඳුරු පෙම් රැඟුම් කොතෙක් මිහිරිද යන්න වෙනත් වදන් වලින් කිව යුතු නොවේ. රැඳී සිටීම කොතෙක් අනතරුරක් වුව, ඈ ළඟ ගෙවෙන සුව නින්දෙන් ඇහැරී යාමට ඔහු සිත තුළ ඇති අමනාපය මින් කියවෙයි. මේ බලන්න....
ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ...
ගීතය අසමු.


මේ ගීයේ රචකයා නිෂ්චිත වශයෙන් කවුරුන්දැයි දැන ගැනීමට තොරතුරක් ලබාගත නොහැකි වුණි. එහෙත් එහි යෙදී ඇති වචන සහ ලියැවී ඇති ආර විශ්ලේෂණය කළ විට එහි රචකයා ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් විය යුතුය. 
මේ ගීතය සම්බන්ධ යූ ටියුබ් විඩියෝවේ ඇත්තේ අධ්‍යක්ෂනය - ජැක්සන් ඇන්තනි යන්නය. එහි නිර්මාණය හමුවන්නේ - දස්කොන් - තුළදීය යන්න සඳහාන් කිරීමෙන් අදහස් වන්නේ ජැක්සන් ඇන්තනි ගේ එනම් ටෙලි නාටකය තුළ මෙම ගීතය හමුවෙනවා යන්නද යන්න පිළිබඳව මට ඇත්තේ කුකුසකි. ඊට හේතුව නම් දස්කොන් හි සංගීත අධ්‍යක්ෂ මිතුරු සමන්ත පෙරේරාගෙන් විමසූ විට තමන් එවැනි ගීතයක් සංගීතවත් නොකළ බවයි. ඒ අනුව මම කල්පනා කරණුයේ ජැක්සන් ඇන්තිනි විසින්ම ස්වර්ණවාහිනිය සදහා දස්කොන් - ප්‍රමිලා කතා පුවත රැගත් ගීත ඇතුළත් වෙනම වැඩ සටහනක් නිපදවීද යන්නයි.
මගේ මතක තුළ තැනක මේ ගීතය හෝ එවැනිම වූ වෙනත් ගීතයක් ඇත. එනම් ජාතික රූපවාහිනියේ මියුරුසර වසන්තයේ ගී සඳහා නිර්මාණය කළ ගී අතර දස්කොන් - ප්‍රමිලා කතා පුවත රැගත් ගීතයක් තිබුණිය යන්නයි. ඒ මතකය නිවැරදි නම් මා සිතූ        ගීත රචකයා නිවැරදිය. ඒ වැඩ සටහන සදහා සංගීතය අධ්‍යක්ෂනය කරණු ලැබුයේ ආනන්ද පෙරේරා සංගීතඥයා විසින් බවද මතකය. 


එසේ නම් මේ එහි ගීතයක්ද?
කෙසේ වෙතත් මෙහිදී ගීතයේ සංගීත පසුතලයේ ( Music track )ඇති කොලිටිය සම්බන්ධව මට යම් ගැටළුවක් පැන නැගෙයි. එහෙත් එය කොලිටිය ට වඩා වේට් එක ( බර ) මදි කමක් නිසා දැනෙන්නක් දැයි සමහර විට මට සිතේ. එහි සමහර සංගීත ඛණ්ඩ සඳහා යොදා ගෙන ඇත්තේ ස්ට්‍රිංග්ස් නමැති භාණ්ඩයේ වර්ණය සර පුවරුවෙන් ( ඕගනයේ ) වැයීමෙනි. එමෙන්ම වෙන වෙනම සජීවීව වැයිය යුතු සමහර සංගීත භාණ්ඩ මෙහි වයා ඇත්තේ සර පුවරුවෙනුයි. එම සංගීත ඛණ්ඩ ගීතයේ ආත්මය හා බද්ධ නොවී ඇතිවා සේම ඒ නිසාම ගැඹුරු හැඟීමකට ඉඩ නොතබා මතු පිට හැඟීමක් දනවමින් ගීතයේ ආත්මය තුළට රසිකයා නොකැඳවා ගන්නා සෙයක් පෙන්වයි.
ඉහත අයුරින් ගීතයේ බොහෝ සංගීත ඛණ්ඩ මෙලෙස කී බෝඩ් සංගීත වැයුම් වලින් නිම කොට කර ඇත්තේ තුට්ටු දෙකට අශ්වයා ගෙන නේරංජනා ගඟෙන් පැන්නවීමේ උත්සාහයක් වැනි දෙයක් දැයි සැක සිතේ. වැඩසටහනේ  ගීත සඳහා වියදම් කිරීමේදි කොස්ට් කටින් ප්‍රයෝග යොදා ගන්නට පෙළඹුනේ දැයි යන්න සිතා ගත නොහැක. එහෙත් සමහර අවස්ථාවලදී ඒවා එහෙමය. වැඩසටහන් වල බොහෝ අංග වලට අත දිගහැර වියදම් කළද, සංගීතය යනු වැදගත් දෙයක් බව දැන දැන වුව, නිර්මාණ ශිල්පියා සොච්චම් බජට් එක නමැති දඬුකඳේ ගසා නිර්මාණ කරන්නට පෙළඹවීම සිදුවන්නක් බව මා අත්දැකීමෙන්ම දන්නා කරුණකි. එබැවින් මෙහිදීත් වූයේ එයමද?
දස්කොන් පිළිබඳව ප්‍රමිලාවන්ගේ වෙස් නොගෙන, නන්දා මාලිනිය විසින් ගයන සොඳුරු ගීතයක් වෙයි. ප්‍රමිලාවන් ගේ වෙන් නොගෙන යැයි සඳහන් කළේ මෙම ගීතය ප්‍රමිලාවන් වෙත වෙන යම් අයෙකු ගයන සේ එය නිර්මාණය වී තිබීම නිසාය. එහිද පද රචකයා හෝ සංගීත නිර්මාපකයා කවුරුන්දැයි නිවැරදි අවබෝධයක් මට නැත. එහෙත් එම ගීතය නම් අති සොඳුරුය.

ගීතය සඳහා youtube හි ඇති රූප රාමු නරඹන විට එහි සඳහන් වන්නේ, සංගීතය මා මිතුරු සංගීතඥ නවරත්න ගමගේ ගේ ලෙසය. එහෙත් ඒ පිළිබඳ නවරත්න ගමගේ විමසූ විට ඔහු කියා සිටිනුයේ එය ඔහුට අයිති සංගීත නිර්මාණයක් නොවන බවය. නැවතත් ජැක්සන් ඇන්තනි ගේ දස්කොන් ලෙස එහි සදහන් වුවද, දස්කොන් සංගීතඥ මිතුරු සමන්ත පෙරේරාගෙන් යළි  විමසූ විට ඔහු පැවසුවේ එය ඔහුගේ ද සංගීත නිර්මාණයක් නොව බවයි. මේ අනුව මට ඇති වුනු කුකුස තවමත් දුරු කරගත නොහැකි වුනි. දැන් සිතෙන දේ නම් නිෂ්චිතවම ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂනය කළ දස්කොන් නමින් වූ කිසියම් සංගීත වැඩ සටහනක් සදහා මේ ගී නව සංගීත සංයෝජනයට අනුව වැයුනේද යන්නය. ඒ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා නවරත්න ගමගේ වූයේද යන්නය.

ප්‍රමිලා බිසවුනි නාඬන්නේ
ආයේ මතු දා සක්මන් මළුවට
දස්කොන් කුමරා නෑ එන්නේ
පෙර ගීත වලදී

දැන් හැඬුම් වලින් පළක් නැත. කඳුළු වලිට පණ දිය නොහැකි ඉරණමකට දස්කොන් ගොදුරු වී හමාරය. සක්මන් මළුව කිසි දිනක අනෙකුන්ට පාළු නොවනු ඇත. එහෙත් ඔහු නැති සක්මන් මළුවේ ඔබට පාළුවක් දැනෙනු නිසැකය.

තහනම් ‍‍ප්‍රේමේ ගොළු වූ රෑ මේ
රජුට වරද නැත අන්ත:පුරයේ
විඳින්න සුරවමියන් සෙනෙහේ
ප්‍රමිලා බිසවුනි නාඬන්නේ

ඔබේ තහනම් පෙම මේ රෑ ගොළු වී ඇත. වෙනත් පෙමක බැඳුනු හෙයින් ලොවක් පැමිණ වරද හොයන මුත් අන්ත:පුරයේ විවිධ වූ ස්ත්‍රීන් තුරුළේ සුව විඳින රජුට වරදක් කියන අයෙක් නැත. ලෝකය එසේය. බලවතුන් ගේ වැරදි සමහර විට වෙනත් අයුරින් සාධාරණිකරණය වෙයි. ඒ වැරදිම අවශේෂ දනන් අතින් වුවහොත් ඒවා බර පතළ වැරදි වෙයි.

රජමල් පොකුණේ
රන් පියුමක් සේ
තුන්සිංහලයේ රාජාවේ
ඔබෙ නම කඳුළින් ලියවෙන්නේ

රජුන්ගේ අන්ත:පුරය රන් පොකුණක් නම් එහි පිපුණු එක් රන් පියුමකි ඔබ. එහෙත් ප්‍රමිලා නමැති ඒ රන් පියුම පිළිබඳ සිංහල රාජාවලියේ ලියැවෙනු ඇත්තේ කඳුළිනි.

ප්‍රමිලා බිසවුනි නාඬන්නේ
ආයේ මතු දා සක්මන් මළුවට
දස්කොන් කුමරා නෑ එන්නේ


දස්කොන් - ප්‍රමිලා ආදර අන්දරය අළලා ලියැවුනු ගීත තවත් එමට තිබිය හැකිය. එහෙත් මේ එම කතා පුවත හැ බැඳුනු ගී නිර්මාණ විමසන කල ලොකු අපහසුවකින් තොරව සොයා ගත හැකි වුණු ඒවාය. එම අතීත කතාවද ඒ අනුව ලියැවුනු ගී නිර්මාණද පිළිබඳව යම් අදහසක් ගැනීමට මේ ගීත එකතුව සෑහේ යැයි සිතමි.
සටහන අවසන් කිරීමට පෙර කතා කළ යුතු තවත් එක් ගීතයක් වෙයි. ඒ අනෙකක් නොව කරුණාරතන දිවුල්ගනේ - සමිතා මුදුන්කොටුව ගයන සක්මන් කරන මළුව පාළුයි දේවී ගීතයයි.
මේ ගීතයේ රචකයා වන්නේ ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ය. එහි සංගීත නිර්මාණය විශාරද ගුණදාස කපුගේගෙනි.

සක්මන් කරන මළුව - පාලුයි දේවී
මං විතරයි ඔබ - කිසි දිනෙක නො ඒවී
ඉක්මන් ගමන් එපා - පා පැකිලේවී
දස්කොන් සකිසඳ - මා ඔබේ කුමාරි

ඔවුනගේ ප්‍රේමය රහසිගත එකක් බව දැන් නොදන්නා අයෙකු නැත. රහස හෙළි වුණු තැන ප්‍රේමය කෙළවර වන්නේ මරණය් බවද නොදන්නා කෙනෙකු නැත.
පෙර දෙදෙනා නෙත ගැටුණු, හොරැහින් ආදරෙන් බලපු සක්මන් මළුව අද ඔහුට පාළු පෙතකි. ඇත්තම නම් මරු පෙතකි. එහි අද තනිව සිය අවසාන සක්මනේ යෙදෙන්නේ දස්කොන් පමණි.
දස්කොන් සිටින ඉසව්වට ප්‍රමිලාට යනු නොහැකිය අද. එහෙත් දස්කොන්ට අත්වන ඉරණම පිළිබඳව ප්‍රමිලා නොදන්නවා නොවේ. ඔහු අද යෙදෙන්නේ අවසානම සක්මනේ බව ඇයද දනී.
ඔහු මරණයට ලක් කළේ වුව ඈ සිතින් ඔහු මරා දැමිය හැකි නොවේ. එබැවින් සදා කල්හිම ඈ ඔහුගේ කුමරියයි.

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

සෙංකඩගල නුවර වට කළ පවුරු වළල්ල යනු රජුගේ අණසක උපරිමයෙන් ඇති බිමයි. ඒ බිමේ රජුගේ මෙහෙසියක් හා පෙම් ගී ගයන විහඟෙකුගේ දිවිය කුමනාකාර වනු ඇතිද? නියත වශයෙන්ම මීට පෙරද එම පවුරේ හැපුනු පෙම් ගී ගැයූ විහඟුන් සිටින්නට ඇත. මේ විහඟාටද ඉන් වෙනස් වූ ඉරණමක් අත් නොවනු ඇත.
ඈ ඔහු හමුවන්නේ තරු පවා නිදිගත් රාත්‍රියෙහිය. ඒ හමුව කොතරම් බයි ජනකද? මා පෙර ගීතයක පෙන්වූ යෙදුම නැවත සිහි වෙයි. එහි තිබුනේ
කාත් කවුරුවත් නොඑනා රාත්‍රියෙ මෙම
ඒත් මගේ සිත දැවෙනා කාරණේ කිම   යනුවෙනි. එයින් එම හමුවීම්වල ඇති අනතුරුදායක බව මොනවට පැහැදිලි වෙයි. එහෙත් ඔවුන්ට හමු නොවී සිටිය නොහැකිය.
මෙම ගීතයේදී ඇයව අත්තන මලකට උපමා කර ඇත. අත්තන මල ව්ෂ සහිත මලක් සේ සැලකේ. මලක් යනු සුන්දර වස්තුවක් වුව එහි විස රැඳි නම් එහි ඇති අනතුර යම් සේද මේ හමුවීම්ද එවැනිම ය.

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ
වාසලේ දොර හැර දස්කොන් පවුරු දොරින් එපිට කොහේදෝ තැනකට ගෙන යයි. ඒ කොහේදෝ තැන යනු ගහලයා සිටින තැනයි. එහි ඔහුට ජීවිතය හිමි නොවෙයි. ඒ මොහොතේ ඔහුට සිහිවුණේ කඳුළු නොවේ. සමහර විට ප්‍රේමණීය ඇය විය හැකිය.
අදින් පසු මේ ආත්මයේදී නැවත ඔහු හමු නොවන වග ඈ දනී. හමුවීමට වඩා වෙන්වීම ඉක්මන් විය. එහෙත් සසරේ කෙදිනක හෝ හමුවීමේ පැතුම ඉන් ගිලිහී නොයයි. සදාකාලිකවම ඒ පැතුම ඈ සිත ළැගුම්ගෙන තිබෙයි.
ගීතය අසමු.


සටහන - යසනාත් ධම්මික බණ්ඩාර  -

7 comments:

  1. එකම පෙම් පුවතට ගීත නම් කියකද?

    රූකාගේ සහ නීලාගේ ගීත අසා ඇත්තමෙි.

    මේ කතාවෙම කොටහක් නේද “ලොවීනාගේ“ කතාව?

    ReplyDelete
  2. මිහිරිම වසන්තය අරන් , මියුරුසර වසන්තයෙ ගී වලට කිවුව එක නේද?
    දස්කොන් ප්‍රමිලා කතා පුවත හැමදාම මම ආසා කළ එකක්.ස්තූතිය් ආයෙ ,මතක් කළාට
    http://lokayekonaka.blogspot.com/2012/01/blog-post_21.html

    ReplyDelete
  3. පෙමකට වටිනාකමක් ලැබෙන්නේ එය සමාජ රීති බිඳ හෙලන්නක් නම් ද? නැත්නම් ශෝකාන්තයකින් කෙලවර වන්නක් නම් ද? සමාජ වටිනාකම් අභියෝගයට ලක්වන හැසිරීම් පූජිත වන්නේද? මට නම් මේ කතාවෙන් ඇතිවෙන ගැටලු...
    ලිපියේ සුන්දරත්වය අතිමහත් ය.
    ජයවේවා..!!

    ReplyDelete
  4. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හෙවත් ‘සෙල්ලම් නිරිඳු‘ නමින් හැඳින්වූ මහනුවර රාජධානිය පාලනය කළ රජු ට සෙංකඩගල සහ කුණ්ඩසාලේ මාළිගා දෙකක් තිබූ බව කියැවෙයි. මොහුගේ රාජ්‍ය පාලනය ඉතා ම දුර්වල වූ බවත් ඔහු මත්පැන ට සහ ස්ත්‍රී සේවනය ට කල් ගතකරමින් ඉතා විනෝදකාමී ජීවිතයක් ගත කළ බවත් ප්‍රකට ය. ඉන්දියාවේ මදුරා පුරයෙන් ආනයනය කළ ප්‍රමිලා බිසව මොහුගේ සෙංකඩගල මාළිගයේ අගබිසව වශයෙන් කටයුතු කළා ය. කෙසේ නමුත් රජු වැඩි වශයෙන් කුණ්ඩසාලේ මාළිගයේ විසීම නිසා ඇය තුළ ඇතිවූ විප්‍රලම්භ ශෘංගාරී හැඟීම් ඇය බෙදා හදාගත්තේ රජ මාළිගයේ අදිකාරම් වරයෙකු ලෙස කටයුතු කළ දස්කොන් සමග බව රහසක් නොවෙයි. නරේන්ද්‍රසිංහ රජු රාජ්‍ය පාලනයේදී දුර්වල භාවයක් පෙන්නුම් කළ ද ඔහු ගේ අවධිය මෙරට ලලිත කළා ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවූ බව අවිවාදිත ය. උඩරට නර්තනය ට වන්නම් සම්ප්‍රදාය එක්වීම (ඉන්දියානු ආභාසය සහිත ව), රාජ සභාවේ කටයුතු සඳහා නර්තනය සංගීතය බහුල ව යොදාගැනීම, කවිකාර මඩු පැවැත්වීම, ඉන්දියානු සංගීත භාණ්ඩ රාජ සභාවේ කටයුතු සඳහා යොදා ගැනීම ආදිය උදාහරණ ලෙස ගත හැකි ය.
    දස්කොන් - ප්‍රමිලා කතාව පිළිබඳ බොහෝ කරුණු මෙහි ලියැවී ඇති නමුත් මෙහි සැක උපදවා ඇති එක් තැනක් පිළිබඳ ව අදහස් දැක්වීම ට කැමති ය. ඒ ප්‍රමිලා බිසව ඉන්දියානු සම්භවයක් සහිත වුවද මෙතරම් හොඳට කවි පබැඳුවේ කෙසේද යන්නයි. මෑතකදී මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද ‘ලොවීනා' ග්‍රන්ථයේ මේ පිළිබඳ හොඳ කියවීමක් තිබෙන බැවින් එය කියවන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
    රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කොට ගුණදාස කපුගේ ශූරීන් සංගීතවත් කරන ලද ‘සක්මන් කරන මළුව‘ ගීතයේ සාහිත්‍ය පාර්ශ්වය ඇති තරම් විචාරක ඇසට ගොදුරු වී ඇති බැවින් එහි සුවිශේෂී සංගීත භාවිතය පිළිබඳ ව අවධානය යොමුකරනු කැමැත්තෙමි. මෙහිදී කපුගේ ශූරීන් ගීයට යොදා ඇති තනුව තුල පෙම් යුවළගේ විප්‍රලම්භ ශෘංගාරය විදහා දක්වන, ශෝකී රසය උත්පාදනය වන පරිදි ස්වර රටා මෙහෙයවා තිබෙන බව කිව යුතුය. ආරම්භක වාදනයේ දී පසුබිමින් වැයෙන වයලීන ප්‍රතිවාදන (Counter Parts) ඇසෙන විට අපට මැවෙන්නේ දස්කොන් රතු මල් මාලා පැළඳ, දෑත් විලංගු ලා ගහලයාගේ දංගෙඩිය වෙත ගමන් කරන රිද්මයයි. එසේ ම මුළු ගීතයේ ම පිරිමියා ගේ මුවට නංවා ඇත්තේ ශෝකි, වැළපෙන ස්වභාවයේ ස්වර ඛණ්ඩයි. නමුත් අන්තරා කොටසේ ස්ත්‍රියගේ මුවට නංවා ඇති ස්වර රටා තුල යම් ප්‍රහර්ෂයක් ඇති බව පෙනෙයි. ඒ ඇය දස්කොන් ගෙන් ලද සතුට සිහිකරන සහ ඇය නැවත ඔහු පතන බව පෙන්වීමට බව පෙනෙයි. සංගීත භාණ්ඩ භාවිතාව ගත්විට මෙහිදී අපගේ හොරණෑවේ නාදරටා මතු කරන ඕබෝ(Oboe) නමැති බටහිර සංගීත භාණ්ඩය පිරිමියා ගේ ශෝකී වැළපීම දැක්වීම සදහා උච්ච ස්වරයෙනුත්, ‘කාන්තා ලාලිත්‍ය‘ සංගීත භාණ්ඩයේ හැඩයෙන් ම ඉස්මතු කරන සිතාරය කාන්තාව ගේ භාව ප්‍රකාශනය සදහාත් යොදාගෙන තිබෙයි. මෙහිදී කිව යුත්තේ හොරණෑව මහනුවර යුගයේ මෙරට පැවති ස්වර වාද්‍ය භාණ්ඩ අතරින් ප්‍රමුඛත ම භාණ්ඩය වන බවයි. එමෙන් ම ඉන්දියානු කුමරියක වූ ප්‍රමිලා ගේ ශෘංගාරාත්මක හැගීම් ඉදිරිපත් කිරීමට ඉන්දියානු සංගීත භාණ්ඩයක් වූ සිතාරය ද යොදාගෙන ඇති බවයි. කෙසේ නමුත් නරේන්ද්‍රසිංහ රජ සමයේ රාජ සභාවේ වාදනය වූයේ වීණාව වුව ද එම නාදය ට සමාන නාදයක් උපදවන ලෙස සිතාරය යොදාගෙන ඇත. එමෙන් ම හොරණෑව බොහෝ විට අවමගුල් අවස්ථා වල වාදනය වූ බැවින් එම නාදය කණ වැකෙන විට අප මනසේ දස්කොන් ගේ අභාවය, මරණය පිළිබඳ ශෝකී හැඟීම් පහළ වෙයි.
    මෙම විග්‍රහය ට අනුව කපුගේ සිය තනුව වඩාත් නාද විද්‍යාත්මක සහ අර්ථ පූර්ණ ලෙස ප්‍රබන්ධ කොට ඇති බව පෙනෙයි. ඒ අනුව දස්කොන් - ප්‍රමිලා කතාව ඇසුරෙන් නිර්මාණය වූ ගීත අතුරින් වඩාත් ම සංගීත විද්‍යාත්මක අගයක් ගන්නා විදග්ධ ගීතය ලෙස මා තෝරන්නේ ‘සක්මන් කරන මළුව‘ ගීයයි.
    අවසාන වශයෙන් යසනාත් අයියේ ඔබ මෙම රචනාව තුල ඔබ සතු සාහිත්‍ය ඥාණය මෙන් ම සංගීත ඥාණය ද විශද කොට ඇති බව කිව යුතුයි. ඒ වගේ ම අප ට සුභාවිත ගීතය පිළිබඳ සංවාද, මතවාද ඉදිරිපත් කිරීමට ඔබ නිර්මාණය ලද අවකාශය ඇගයුම ට ලක්විය යුතුයි.

    ReplyDelete
  5. අකුරක් නෑර කියෙව්වත් වැඩිය කියන්න දෙයක් නැති තරං. අර බැල විදියෙ මියුසික් ට්‍රැක් සමහර විට කවුරු හර් කරපු කවර් වර්ෂන් ද දන්නෙ නෑ.

    ReplyDelete
  6. මම ආසම ගීය අවසානයට හෝ එක් කිරීම ගැන ස්තූතිය.. :) ඉතාමත්ම අගෙයි..

    ReplyDelete
  7. ප්‍රමිලාවනට තිබූ සමාජ රෝගයක් හේතුවෙන් නරේන්ද්‍රසිංහයන් වඳ භාවයට පත්වී අවසානයේ සිංහලයේ රජ පෙළපත අවසානයක් වූයේ යැයිද අසා ඇත... තහවුරු කරගෙන නැත...
    සොයා බලන්න ඕනෑ..!

    ReplyDelete