Monday, February 6, 2017

විලෙන් පුදසුනට.....





සමහර සංගීතඥයින් තුළ සිය සංගීත නිර්මාණ හැකියාව සේම ගායන හැකියාවද එක සේම වෙයි. එවැනි සමහර සංගීතඥයන් තමන් විසින් සාදා ගන්නා ගී රහට ගයයි. එවැනි උදාහරණ ටිකක් කිව්වොත්,

ආචාර්ය පණ්ඩත් අමරදේව
ආචාර්ය වික්ටර් රත්නායක
විශාරද ගුණදාස කපුගේ
රෝහණ බැද්දගේ
සිසිර සේනාරත්න
මර්වින් පෙරේරා
රූකාන්ත ගුණතිලක

වැනි නම් අපට මතක් වෙයි. කෙසේ වෙතත්, මේ, එවැන්නන්ගෙන් ටිකකි.

එහෙත් ගායන හැකියාවෙන් යුතු සමහර සංගීතඥයින් ගීත ගැයීමට මැලි කමක් දක්වනවාදැයි මට සිතුණු අවස්ථා එමටය. 

මේ සඳහා එක් හොඳම උදාහරණයක් වන්නේ අචාර්ය රෝහණ වීරසිංහයන්ය. ගැඹුරු මධුර කටහඬකින් ගයන ඔවු තමන් විසින් නිර්මාණය කළ ගීත ප්‍රමාණයේ හැටියට ගයා ඇත්තේ ගීත  ඉතා ස්වල්පයකි. ඔහු සංගීතඥයෙක් විදිහට ක්ෂේත්‍රය තුළ ගමන් කරන්නට සිතුවා මිස ගායකයෙකු වශයෙන් මතුවන්නට නොව සැඟවෙන්නට උත්සාහ කළා දැයි මට සිතේ.

මෙවන් තවත් බොහෝ උදාහරණයන් වෙයි.

මා සමග බොහෝ සමීපව ඇසුරු කර ඇති සංගීතඥයින් වන නවරත්න ගමගේ සහ කරුණාරත්න විජේවර්ධන නාමයන් දෙකද එවැනි හැකියාවක් ඇති මිනිසුන් දෙපළක් හඳුන්වන පුද්ගල නාමයන් වෙයි.

නවා සහ කරු සමග එක්ව අපි කළ නිර්මාණ පටිගතකිරීමේදී මට වැටහී ගිය කරුණක් වූයේ සමහර විට එය ගයන්නට සිටින ගායකයාට වඩා හොඳිනුත් හැඟුම්බරවත් තම මධුර තනු තමන් විසින්ම ගයන බවයි. එහෙත් ඔවුන් ගැයූ ගී ප්‍රමාණය ඉතා අඩුය. 

මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් අයෙකි සංගීතඥ සමන්ත පෙරේරා. ඔහුද සිය තනු එය සාදා දෙන ගායකයාට හෝ ගායිකාවට වඩා හොඳින් ගයන අයුරු මම ඇත්තෙමි.

එවන් අය තවත් බොහෝමයක් සිටිනු ඇත. මේ කෙටි සටහනකට මුල පිරුමක් ලෙසට කෙටි එක වරම මතක් වූ සහ මා සමීපව ඇසුරු කළ කිහිප දෙනෙකුගේ නම් පමණි.

අරුණ ගුණවර්ධන නම් සංගීතඥයෙකු ගැන මම දැන ගන්නේ අමරදේවයන් විසින් ගැයූ ගිමන් හරින දියඹ දිගේ ගීතය සහ අමරදේවයන් සහ උමාරියා ගයන හන්තාන සිහිනේ ගීත දෙක නිසාවෙනි. 

මේ කතාවට සෘජුව අදාල නොවුණත් අපි හන්තාන සිහිනේ ගීතය අසා යමු.





 අරුණ ගුණවර්ධන  
විසින් සංගීතවත් කළ අත්තම්මා ටෙලි නාට්‍යයේ තේමා ගීතයට මා ප්‍රිය කළත් එය ඔහුගේ නිර්මාණයක් බව දැන ගත්තේ කලකට පසුවය.
මට මෙහිදී අරුණව මතක් වන්නේද සටහනෙහි මා කියාගෙන ආ, සිය මධුර තනු වඩාත් හැඟීම්බරව ගයන්නට හැකි සංගීතඥ ගායකයෙකු වශයෙනි.

 ආචාර්ය පණ්ඩිත් අමරදේව 
යන් ගැයූ ගිමන් හරින දියඹ දිගේ ගීතය සීමිත සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් පමණක් යොදා ගෙන අරුණ ගැයූ විට මට ඔහු කෙරෙහි ඇති වූයේ මහත් සෙනෙහසකි. එම ගීය මුහුණු පොත ඔස්සේ මිතුරන් හා බෙදාගන්නට මා තැබූ සටහනෙහි සාරාංශය වූයේ ගීතයේ නියමය හැඟීම මතුවන්නේ අරුණගේ ගැයුමෙහි බවයි.

කෙසේ වෙතත්, අරුණ ගේ ඇති නිහතමානිත්වය හේතුවෙන් ඔහු එම අදහස බැහැර කරන්නට සූදානම් වුවද, එම ගීතයෙහි ගැබ්විය යුතු හැඟීම නම් අරුණ ගේ ගැයුමෙහි සේ ගැයීමමය.

මෙම ගීය අති මහත් සේ ජනප්‍රිය එකක් වන හෙයින් සහ, අමරදේවයන් විසින් සිය ගායන පෞරුෂය වැහැරී යන වෘධ අවස්ථාවක සිට ගැයුවා වුව,  අමරදේවයන් එතෙකුදු රසික සිත්සතන් තුළ වැහැරුණු පෞරුෂයක් නොවනු හෙයින්, බොහෝ දෙනෙකු මගේ අදහසට එකඟ නොවන්නට ඉඩක් ඇත. එහෙත් මා මගේ යසනාත් සිතුවිලි තුළ ඉදිරිපත් කරන්නේ මගේ සිතුවිලි ම වන බැවින් මා ලියන්නේ මට ඇත්තටම දැනුනු දේ ය. එබැවින් අමරදේවයන් වැනි මහා චරිතයක් ළඟ දැනට අරුණ සිඟිත්තෙකු බව ඇත්තක් වුව, ගීතයේ හැඟීම මම විඳින්නේ අරුණ ගේ ගැයුමෙහිමය.

ගිමන් හරින දියඹ දිගේ ගීතය අමරදේවයන් ගයද්දී එහිද මහත් රසක් ඇති බවද මේ අතර නොකියාම බැරිය. වයස දශක 7ක් අභිමුව ඔහු එය ගැයූ ආකාරය, යම් රෝගී තත්වයකින් කලක් බොහෝ සේ අඩපණව සිටි මේ මහා පුරුෂයා යළි නැගී සිට ගැයූ අයුර ආදී දේ ගැන මේ ගීය ඇසූ මුල්ම දවස් වල මට ඇති වුණේ ඇසට කඳුළක්ද නංවන ආකාරයේ සිතුම් සමුදායකි. ඔහු සිටි වයස සහ තත්ත්වය අනුව ඒ ගැයුම කොතරම් නම් හහළද? ඒ රස එලෙසින්ම තබාගෙන එහෙත් සිඟිති අරුණ ගේ ගැයුම මට ලොකුවට දැනෙන විට, එය නොකියා සිටීම මට නොරිසිය. මෙහිදී අරුණ සිඟිති යැයි කිව්වේ අරුණ දරුවකු නිසා නොවේ. දැවැන්ත අමරදේවයන්ගේ ප්‍රතිරූපය අබියස ඔහු දැනට සතු කරගෙන සිටින ප්‍රතිරූපයේ ප්‍රමාණය ගැන සලකා ය.

කෙසේ වෙතත්, අරුණ ගේ ගැයුමට පෙර අපි අමරදේවයන්ගේ ගැයුම අසා සිටිමු.



මේ සටහන තුළදී අමරදේවයන්ගේ ගැයුම අසන්නට දෙනවාදැයි මෙය පළ කිරීමට පෙර මෙය දුටු මගේ මිතුරෙක් ඇසුවේ එයින් අරුණ ට පාඩුවක් වනු අතැයි කියමිනි. මේ අරුණ ට වාසියක් කොට අමරදේවයන්ට අවාසියක් කිරීමේ සටහනක් නොවේ. නැති නම් අරුණ ගේ ගැයුම අමරදේවයන්ගේ ගැයුමෙන් වැසීමේ වෑයමක් නොවෙයි. මෙය රසභාවයන් පිළිබඳව කෙරෙනා සාකච්ඡාවකි. කෙනෙකු ගීතයක් රස විඳීමේදී ඔහු එහි සොයන සමහර දේ ගැන අන් අයට ඉඟි කරණු වස් ලියන සටහනකි.

වරකුත් කීවාක් සේ, අමරදේවයන්ගේ ගැයුමේ වන යම් යම් අඩුපාඩු, ඔහු එතෙක් සාදා ගෙන සිටි දැවැන්ත ප්‍රතිරූපයෙන් වැසී ගොස් අපට ඇසන්නේ අමරදේවයන්ගේ පෙර ගැයුම් සේ ම ය. එනිසා අරුණ ගේ ගැයුම සසඳද්දී රසිකයින් අමරදේවයන්ගේ මේ ගැයුමට පමණක් සීමා නොවී ඔහුගේ අර ප්‍රතිරූපයේ රැස් වළල්ල ද ඊට වැද්ද ගනී. ඒ මත ඒ බොහෝ දෙනෙකු අරුණ ගේ ගැයුමෙහි අරුමයක් නොදකින්නේ නම් එය ස්වභාවිකය. මේ ක්ෂේත්‍රෙයේ සමහර ගනු දෙනු වල ස්වභාවයට අතීත ප්‍රතිරූපය මහත්ව බලපාන බව මම දන්නා කරුණකි. එ් අතීතය නිර්ණායකයක් සේ ගෙන මැනීමේදී අරුණ ට යම් අවැඩක් විය හැකි වුවත්, අරුණ ගේ හැඟුම් බර ගැයුම නිසි පරිදි රසික සිත් සතන් තුළ තැන්පත් කිරීමට නම් සැසඳුමක් අවැසිම ය. එබැවිනි අප එම ගීතය අසා සිටියේ.
දැන් අප අරුණ ගේ ගැයුම වෙත යොමු විය යුතුය. අරුණ එහි ගයන්නේ අමරදේවයන් වෙත සාදා දුන් සංගීත පසුතලයෙහි සිටම නොවේ. ඔහු එහි ළය මදක් අඩු කර, සුපැහැදිලි සංගීත පසුතලයක් මැවීම සඳහා සංගීත භාණ්ඩ අවමයක් පමණක් යොදා ගෙන ය. අවමය යන්න තවත් විස්තර කළොත් භාවිතා කොට ඇත්තේ ගිටාරයක් පමණකි. එහෙත් ගිටාරය එහි විවිධ ස්වරූප වලින් හඬ තල කිහිපයක් නිමවා ඇත.

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරල ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා

මේ ගීතය ආදරය ගැන කියැවෙන ගීතයකි. මතු පිට ආදරයක් නොව හදවත ගැඹුරේ තැන්පත්ව කකියවන ආදරයක් පිළිබඳව ලියැවුණු ගීතයකි. ආදර ගීතයක් වුව එහි ඇත්තේ ආදරයේ ප්‍රමෝදයට වඩා එහි වේදනාව යැයි එහි පෙළ කියවන විට අපට වැටහේ. අරුණ ගුණවර්ධන සංගීතඥයෙකු සේ අල්ලා ගන්නේ ඒ නොහඬන හැඬුමේ දෝංකාරයයි. ඔහුට ගීතය තුළින් අවශ්‍ය වන්නේ ම අදහස මතුපිටින් කියා නිම කිරීම නොවේ. අසන හදවත තුළටම කිඳා බැසීමට සැලැස්වීමටය.

දැන් මෙහි දී මට යම් ගැටළුවක් මතු වේ. මේ ගැටළුවට පිලිතුරක් අරුණගෙන් ඇසුවොත් අරුණ ඊට නිසි පිලිතුර නොදෙනු නිසැකය. ඒ අරුණ ගේ වරදකට නොවේ.  නිහතමානී කමටය. එමෙන්ම ඔහු තුළ අමරදේවයන්ට ඇති අති මහත් සෙනෙහස නිසාය. 

මට ඇති ගැටළුව නම් ගීතය තවමත් ඉහළ ජනප්‍රියත්වයක තිබෙන වාතාවරණයකදී අරුණ ට මෙලෙස එහි සංගීතයද, එහි ළය ද, වර්ණයද, ගැයුමද වෙනස් කරන්නට සිත් වූයේ කුමන හේතුවක් නිසාද යන්නය. මේ පැණය රසිකයින්ගෙන් විමසූවොත් දෙනු ඇතැයි සිතෙන පිලිතුරක් දෙකක් මෙහි ලියන්නටද මට සිතෙයි. කෙනෙක් මෙසේ කියනු ඇත.

අමරදේවයන් නිසා ජනප්‍රිය වූ ගීතයේ ප්‍රභාව අරුණ විසින් ආරෝපනය කර ගැනීම සඳහා කළ උත්සාහයක්.

තවෙකෙක් මෙසේ කියනු ඇත.

තමන් හැදූ අමරදේවයන් වැනි මහා ගායකයෙක් ගැයූ ගීය තමන්ටත් කියා බලන්නට අරුණට ආශාවක් ඇති වූ නිසා.

නමුත් මට නම් හිතෙන්නේ ඒ දෙකටම වැඩි වෙනස් දෙයක්. ඇත්තටම මා තුළද ඒ ගැන අදහස් දෙකක් ඇත.

ඉන් පළමු වැන්න නම් 


ජානක සිරිවර්ධන  
ගේය පද රචකයාගේ රචනයන් අරුණ ගේ සංගීතයෙන් හැඩවී ගැයුනු ආදරයද මේ ( ගිමන් හරින දියඹ දිගේ ) ගීතයත්, බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ගීතයත් අති මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටයේ වුව, එය විවිධ මාධ්‍ය ආයතන වල විවිධ වැඩ සටහන් වලදී වෙන වෙන අය නිතර ගායනා කළේ වුව, ඔවුන් දෙදෙනාට මෙතෙක් කිසිදු වැඩසටහනකට ඇරියුම් නොකිරීම සහ ඔවුන් පිළිබඳව කතා බහ නොකිරීම තුළ  එම ගීත වලට අන් මවු පිය නාමයන් ලැබීමට ඇති වැඩි ඉඩ ගැන සිතා වන්නට ඇත. 

එවැනි කැත දේ මේ ලස්සන කලා ලෝකයේ එමට සිදුවන බව අප හොඳාකාරවම දනිමි. කෙනෙක් අනෙකුගේ නිර්මාණ කිසිදු හිරිකිතයකින් තොරව තමන්ගේ සේ සලකා ක්‍රියා කරණ අවස්ථා එමටය. එබැවින් එසේ සිතුවේ නම් එහි අසාධාරණයක් නැත.

එහෙත් මට දැඩිව හිතෙන ඊට වඩා වැඩි සාධාරණත්වයක් ඇති හේතුවකුත් ඇත. මතු දැක්වෙන්නේ එයයි.

මට හිතෙන්නේම ගීතය කොතරම් ජනප්‍රිය වුවද, අරුණ ගුණවර්ධන සංගීතඥයා පැතූ හැඟීම එහි ගැබ් නොවූ නිසා තමන්ගේ පෞද්ගලික රසය පිණිස හෝ එහි ඒ හැඟීම ගැබ් වන පරිදි ප්‍රති නිර්මාණය කළ යුතුය යන අදහස ඔහු තුළ උපන් බැවිනි යන්නයි. 

එහිදී ඔහු පෙර ගැයුමේ ලුහුඬුකම් මතු නොව සිය සංගීත පසුතලය පවා ඔසවා තබා ඇතැයි මට සිතේ. එහි ඇත්ත හැඟුම ඇත්තේ දැන්ය. රචකයෙකු වශයෙන් රචකයාගේ සිත්හි වන කම්පනයත්, සංගීතඥයෙකු වශයෙන් තමන් එයට නොමසුරුව මහන්සියෙන් එක් කළ කම්පනයත් තවත් එසවෙන අයුරින් ගැයෙන්නේ දැන්ය. පෙර ගීය එසේ නොවන්නට සාධාරණ හේතූන් මා පෙර ඉදිරි පත් කළෙමි.

අර තරම් උස් අමරදේවයන් ගැයූ ගීයට වඩා එය නූස් අරුණ ගුණවර්ධන විසින් ගයන විට මට දැනුනේ එබැවිනි. ඔබටත් එසේ දැනුනේ නම් ඒත් ඒ නිසාමය.

සිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැළුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසින් කියා දුන්නු ආදරයද මේ

ගීතයේ සංගීත පසුතලය තුළ ගිටාර් පථ 5ක් වෙයි. ඒ සියළු ගිටාර් පථ 


මහී පැස්කුවෙල් 
විසින් රහට වැයූ ඒවාය. අර හැඟීම උද්දීපනය කරණුයේ ඒ මියුරු හැඟුම් බර පැහැදිලි වැයුමෙනි. අරුණ ගුණවර්ධන විසින් පරෙස්සමින් තෝරා ගත් රිද්මයට ගොනු කළ පරෙස්සමින් තෝරා ගත් ස්වර පද්ධතිය ඔහු ඉතා උවමණාවෙන් වයා ඇත. ඒ සංගීත පසුතලය මතටය අරුණ සිය ළ ගන්නා කටහඬින් යළි යළිත් තට්ටු තට්ටු හැඟුම් තවරා ඇත.

නිල් කටරොළු නිල නැහැවුනු
මල් දළ මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

අපි දැන් අරුණ ගුණවර්ධන ගැයූ ආදරයද මේ ( ගිමන් හරින දියඹ දිගේ ) ගීතය අසමු.


අරුණ ගේ ගීතයට පසුව මේ කතාවට තවත් ගීතයක් එකතු කළ යුතුම වන්නේ එයද එ් අයුරින්ම යළි පටිගත වුණු ගීතයක් වන බැවිනි. එම ගීතයද යළි පටිගත වන්නේ තවමත් ගීතයේ ජනප්‍රියත්වය ඉහළම තලයක තිබියදීය. එය සංගීතවත්කොට ගයන්නේ  


අමිල දිල්හාන්  
විසිනි.

මේ ගීතයේ මුල් ගැයුම  

උමාරා සිංහවංශ 
ගෙනි. ගීතය වන්නේ 

වස්සානයට අත වනල ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ ගීතය උමාරා ගේ සංගීත දිවියේ කඩඉමක් සේ මට හිතුණත් උමාරා එය එවැනි කඩඉමක් සේ සිතන්නේදැයි මම නොදනිමි. උමාරා එතෙක් නියෝජනය කරණු ලැබුවේ වෙනත් සංගීත ආරකින් නිමැවුණු ගීත ධාරාවකි. එවැනි ගී වත්මන් තරුණ පරපුරේ යම් කුලකයක් අතරේ අතිශය ජනප්‍රිය වූවද, ඒ ගී වල පැවැත්ම පිළිබඳව මට නම් ඇත්තේ ලොකුම ගැටළුවකි. ඒවා හරියටම හතු සේ ය. ආයු කාලය කෙටි ය. මේ වස්සානයට වැනි ගීත ස්මාරකයන් බඳුය. බොහෝ කල් පවතිමින් අපගේ මතකය අවදි කරණු ලබයි.

එහෙත් යළිත් පවසනුයේ ඒ මගේ වැටහීමය. උමාරා ගේ වැටහීම කුමක්දැයි තවමත් මට එතරම් පැහැදිලි නැත.

වස්සානයට අත වනල ගීතයේ පද පෙළ අයිති එස්. මාධවටය. එය සරල ලස්සන හැඟුම් බර පද පෙළක් බව කිව යුතුය. වැඩිමනත් වශයෙන් තුරුණු සිත් ස්පර්ෂ කරන්නට සමත් අදහසක් එහි වෙතත් තුරුණු විය ඉක්මවූ අපටද දැනෙන දෙයක් එහි වීම ප්‍රසාද ජනකය. ඒ පද පෙළ මත සිය සංගීත හරඹ පාන අමිල ගේ මැදිහත්වීම ඉතා ළගන්නා සුළුය. පද රචනයෙහි ඇති හැඟීම තවත් උද්දීපනය කර ගායිකාව අත පත් කරන්නට ඔහු එහිදී සමත් වෙයි. 

උමාරා ගේ මෙ ගැයුම ප්‍රශස්ථ එකකි. ගැයුමටත් වඩා මෙවැනි ගීයකට ඈ පෙළඹීම මගේ ප්‍රසාදයට හේතුවෙයි. ඈ එය ඉතා හැඟුම්බරව ගයනු ලබයි. එය මිහිරිය. සුමටය. සිත් කාවදින සුළුය. එහෙත් ඒ අතරේම ඇගේ සිංහල උච්ඡාරණයේ ඇති යම් වෙනස අර හැඟීම මතු කරන්නට යම් බාධාවක් ව ඇතැයි මට සිතේ. ඇගේ සිංහල උච්ඡාරණය හොඳින් ඉංගිරිසි දත්, සිංහල එතරම් නුහුරු අයෙකුගේ වැනි එකකි. එහෙත් එය එසේ තිබියදී පවා එය හොඳ ගැයුමක් බව යළිත් කිව යුතුය.

උමාරා ගැයූ වස්සානයට අත වනල ගීතය අසමු.



මේ ගීතය ලැබූ අතිශය ජනප්‍රියත්වය කියා පාන්නේ ගීතය මිස ගයන්නා ගැන රසික සමාජය නොතකන බවය. උමාරා ගේ මේ ගීතය සමග ඇගේ වෙනත් ගීත නොඅසන රසික කුලකයකගේ සිත් සතන් තුළට පිවිසෙන්නට ඈ සමත් වෙයි. ඒ නිසා ඇය මේ ගීතය හරහා සිය රසික පරාසය පුළුල් කරගනී. එම පුළුල්වීම ඇගේ අවශ්‍යතාවක් වී දැයි විමසිය යුත්තේ අනතුරුව ඒ පුළුල් රසික සමාජයට මේ සා ගැලපෙන නිර්මාණයක් තිලිණ කරන්නට ඈ සමත් නොවන වටපිටාවකය.

අමිල දිල්හාන් ඈ ගැයූ මේ ගීය ඔහු විසින් ගැයුවේ ඇයිද යන්නට, අරුණ ගුණවර්ධන ආදරයද මේ ගීතය ගයන්නට හේතුවන්නට ඇතැයි රසිකයින් අනුමාන කරතැයි මා අනුමාන කළ හේතු දෙකම වලංගු විය හැකිය. එහෙත් එ් සඳහා මා පෞද්ගලිකව මට හැඟෙතැයි දැක්වූ හේතු දෙක සැලකුවහොත් ඉන් පළමුවැන්න මේ ගීතය ගැයුම සඳහා අමිල තුළ වුණු පෙළඹීමට අදාල නොවෙතැයි මට සිතේ. එහෙත් මා දැක්වූ ඊ ළඟ හේතුව ඊට වඩාත් ගැලපෙතැයි මට මෙහිදීද සිතේ. 

එනම්, එය අමිල ට ගැලපෙන සේ වෙනස් කර ගතහොත්,

මට හිතෙන්නේම ගීතය කොතරම් ජනප්‍රිය වුවද, අමිල දිල්හාන් සංගීතඥයා පැතූ හැඟීම එහි නොවූ නිසා තමන්ගේ රසය පිණිස හෝ එහි ඒ හැඟීම ගැබ් වන පරිදි ප්‍රති නිර්මාණය කළ යුතුය යන අදහස ඔහු තුළ උපන් බැවින් ඔහු එය ගයන්නට පෙළඹුනා යන්නයි. එහිදී ඔහු පෙර ගැයුමේ ලුහුඬුකම් මතු නොව සිය සංගීත පසුතලය පවා ඔසවා තබා ඇතැයි මට සිතේ. එහි ඇත්ත හැඟුම ඇත්තේ දැන්ය. රචකයෙකු වශයෙන් රචකයාගේ සිත්හි වන කම්පනයත්, සංගීතඥයෙකු වශයෙන් තමන් එක් කළ කම්පනයත් තවත් එසවෙන අයුරින් ගැයෙන්නේ දැන්ය. පෙර ගීය එසේ නොවන්නට සාධාරණ හේතූන් මා පෙර ඉදිරි පත් කළෙමි.

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

උමාරා ගේ ගීතය ඇරඹෙන්නේ එසේ වුවද අමිල සිය ගීතයේදී එය අරඹන්නට සිතන්නේ එහි පළමු අන්තරා කොටසෙනි. එය වටෙන් ගමන් නොගොසින් එක වරම එහි ආත්මයට ගමන් කරණ සේ හැඟුන වෙනසකි. ගීතය තුළ සිටින පෙම්වතාගේ කම්පනය සෘජුවම රසිකයා ළඟ තබන්නට ඒ නිසා ඔහු සමත් වෙයි. රසික හදවත් එක වරම කම්පා කරන්නට ඔහු ඒ අනුව සමත් වෙයි. ඔහු ගීතයේ ස්ථායී කොටස ගැයුමට පිවිසෙන්නේ ඉන් අනතුරුවය.

හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ ගීය සරල සුන්දර වුව, එහි ඇති හැඟුම් සරල නොවන්නේ එහි කියැවෙන්නේ ඇත්ත හැඟුම් වන බැවිනි. ඔහුගේ පැතුම නම්, හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ ඈ තුරුලටම වී පා වෙන්නටය. එහෙත් සිදු වන්නේ එය නොවී අනෙකකි.

ඔහු ඇගේ ඇස් වල ඔහුගේ රුව ඇඳුනු හැටි දකින විට තිබූ සිතුවිල්ල නම් මුළු සසරෙදීම ඔහු ඇගේ වනු ඇතිය යන්නය. එහෙත් අද වන විට එය වෙනස් ව ඇති දැයි ඔහුගේ සිත දවයි. අමිල ගීතයේ එක වරම පිවිසෙන්නේ මෙතැනටය. ඉන් එය වඩාත් ප්‍රබල වී යැයි මට සිතේ.

අපි ගීයක් කරද්දී සම්ප්‍රදායිකව ස්ථායී කොටස, අන්තරා කොටස් ආදී වශයෙන් බෙදාගෙන කරණ ආකෘතිය පිපිරෙව්වොත් සමහර විට ඊට වඩා ප්‍රබල ගීයක් තිබෙන ගීයෙන්ම නිමවා ගත හැකි බවට හොඳ නිදසුනකි මෙය.

වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ හැඟුම් අප වෙත පාන්නට අමිල ම පෙර යොදා ගත් විදිහ අමිල අතින්ම අභියෝගයට ලක්ව ඇතැයි මට සිතේ. අර අරුණ ගේ ගීයේ ද එයම වී ඇතැයි මට එහි සඳහන් කරන්නට නොහැකි වුණද එහිදී වී ඇත්තේද එයමය. 

විය යුත්තේ එය නොවෙද? 

තමන්ගේම නිර්මාණයක් තමන් අතින්ම අභියෝගයට ලක් කරන්නට පෙළඹෙන්නේ තිබෙන දෙයින් වඩාත් හොඳ දෙයක් කරන්නට සිතන අයෙක් පමණි. එහෙත් එහි ඵලය කොතරම් නම් මියුරුද? අරුණවත්, අමිලවත් තමන් විසින්ම තමන්ව අභියෝගයට ලක් නොකළේ නම් මේ මියුරු ඵල දෙක අපට කොහින්ද?

අපි දැන් අමිල ගැයූ වස්සානයට අත වනල ගීතය අසා අදට මේ කතා බහට සමු දෙමු.







-  යසනාත් ධම්මික බණ්ඩාර -

Tuesday, December 27, 2016

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 4





ආචාර්ය ප්‍රේමසිරි කේමදාසන් විසින් පණ්ඩිත් අමරදේවයන්ට සාදා දුන් ගීත ගොන්න විමසමින් අප කරණ කතා බහේ හතරවන කොටස අරඹන්නට මත්තෙන් එහි පෙර කොටස් තුනට යන මං පෙත් සලකුණු කිරීම වටී යැයි සිතමි. නොකියවූ කියවීමට රිසි අයෙක් වේ නම් එහි ගොඩ වී කියවනු මැන.


කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 2
කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 3


 ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 
යන් හා  

ආචාර්ය පණ්ඩිත් අමරදේව 
යන් සම්බන්ධ කරමින් ලියන්නාවූ මේ ලිපි පෙළෙහි 4 වන කොටස අරඹන්නේ කොතැනින්දැයි සිතාගත නොහැකිව දින  කිහිපයක් ගත කළෙමි. එය ඇරඹිය යුත්තේ මෙසේ යැයි සිතමි.

අමරදේවයන්ට බොහෝ දෙන කියූවේ හෙළයේ මහා ගාන්ධර්වයා කියාය. එබැවින් ගාන්ධර්වයා යන්නෙහි අරුත ගිහාගෙන යන්නට උත්සාහ කිරීම හොඳ ඇරඹුමකැයි සිතේ. ගාන්ධර්වයා යන්නට ඇති ඉංගිරිසි තේරුම් ගතහොත් සරලවම Musician යන්න ගත හැකිය. Musician යන්න ඉතා සරලව සංගීතඥයා වෙයි. Musician යනු, noun- A composer, conductor, or performer of music ලෙසින් ඉංගිරිසියෙන් එය තව දුරටත් විහිදුවා කියයි. ඒ අනුව ඔහු,

Composer - සංගීත රචකයෙකු,

Conductor - සංගීත මෙහෙයවන්නෙකු සහ 
 
Performer - නිර්මාණාත්මක ඉදිරිපත් කරන්නෙකු විය යුතුය.

මේ පිළිබඳව මේ කෙටි ඉංගිරිසි හැඳින්වීම තුළින් තවත් පැහැදිලි වෙයි.

A composer (Latin compōnō; literally "one who puts together") is a person who creates or writes music, which can be vocal music (for a singer or choir), instrumental music (e.g., for solo piano, string quartet, wind quintet or orchestra) or music which combines both instruments and voices (e.g., opera or art song, which is a singer accompanied by a pianist). The core meaning of the term refers to individuals who have contributed to the tradition of Western classical music through creation of works expressed in written musical notation (e.g., sheet music scores).

Many composers are also skilled performers, either as singers, instrumentalists, and/or conductors. Examples of composers who are also well known for their ability as performers include J. S. Bach (an organist), Mozart (violin and piano), and Beethoven, Liszt and Chopin (all skilled pianists). Involvement in practical music-making provides a composer with insight into the diverse musical elements needed for a good piece of music and it can give them practical guidance with their compositions.

මේ අනුව, ඉහත Composer - සංගීත රචකයා,Conductor - සංගීත මෙහෙයවන්නා සහ Performer - නිර්මාණාත්මක ඉදිරිපත් කරන්නා යන තේරුම් ඉක්මවා යන ගැඹුරක් ඒ වදන් වලට ඇති බව ඔබට වැටහෙනු ඇත. ඉහත හැඳින්වීම තුළින් වුව එහි නියම ගැඹුර දැකිය නොහැක්කේ සැබැවින්ම එය ඊටත් වඩා ගැඹුර අරුත් සහිත දෙයක් වන බවය. එහෙත්, මේ සටහනෙහි අරමුණ ඒ පිළිබඳව සවිස්තරාත්මතකව කතා කිරීම නොවන බැවින්, මේ දැනවුම සෑහේ යැයි සිතමි.

දැන් මේ ගාන්ධර්වයා යන වචනය තුළට ඇතුළත් කළ හැකි මිනිසුන් වෙසෙස් කලා කරුවන් වෙයි. ඒ අරුතින් ගත් කල අමරදේවයන් ගාන්ධර්වයෙකි. මක් නිසාද? ඔහු Composer, Conductor, Performer යන හැඳින්වීම් තුනටම ඇතුළත් කිරීමේ ගැටළුවක් පැන නොනගින නිසාය. ගැටළුවක් පැණ නගින්නේ නම් ඒ අන් හේතුවක් නිසාය.

අමරදේවයන් Music Composer - සංගීත රචකයා යන නාමය යටතට ඇතුළත් කළ හැක්කේ ඔහු නිර්මාණාත්මකව සහ ප්‍රමාණාත්මකව අදාල කාර්යයේ නියැලී සිටි බැවිනි.  ඔහු මේ මැය යටතේ, ගීත සඳහාද, නාට්‍ය සඳහාද( වෙස්සන්තර / ලෝමහංස), මුද්‍ර නාට්‍ය සඳහාද ( කරදිය, නළ දමයන්ති ), චිත්‍රපට ( රන්මුතු දූව, අදට වැඩියෙන් හෙට හොඳයි, සිකුරු තරුව, ගම්පෙරළිය, ගැටවරයෝ, සාමා, ළා දළු, සාරවිට, ආදරයයි කරුණාවයි, දෙළොවක් අතර, වෙසතුරු සිරිත ) සඳහාද ආදී වශයෙන් එම කාර්යයේ නිරත විය. එහෙත්, මා දුටු එක් විශේෂ ලකුණක් නම්, මුල් කාලයේදී ඔහු ගීතය හැර අන් ක්ෂේත්‍ර දක්වා ද සිය වපසරිය පතුරුවන්නට උත්සාහ කළද පසුව ඔහු ගීතය තුළටම සීමා වුණු බවයි.

ඊ ළඟට, Conductor, Performer යන දෙවදනට ද ඔහු මනාව ගැලපෙයි. ඒ එහිද ඔහු සිය කාර්යභාරය මැනැවින් ඉටු කළ බැවිනි. මේ හේතුවෙන් කිසිවෙකුටත් ඔහු හෙළයේ ගාන්ධර්වයෙකිය යන්න බැහැර කළ හැකි නොවේ. එහෙත් ගැටළුවක් පැණ නගී. ඒ ගැටළුව මතු කරන්නේ ඔහුට පට බැඳි, හෙළයේ මහා ගාන්ධර්වයා යන නාමය විසිනි.
අමරදේවයන්ට හෙළයේ මහා ගාන්ධර්වයා යැයි කිව නොහැක්කේ ඔහු පසු කලෙක සිය ශඛ්‍යතාවයන් ගීතය තුළටම ගොනු කොට කෙමෙන් කෙමෙන් ඒ තුළම සිර ගත වුණු බැවිනි.

මගේ පෙර සටහන් කිය වූ වෙසෙස් මිතුරන් කිහිපදෙනෙකු මා වෙත පෞද්ගලිකව යම් යම් අදහස් දැක් වීම් කළ විට ඒවාගේ යම් සමාන සහ අසමාන කම්ද, ඔවුනගේ අදහස් හා මගේ අදහස් අතරේද යම් සමාන සහ අසමාන කම්ද හඳුනාගත හැකි විය. ඉන් දෙදෙනෙකුගේ අදහස් මෙහි ඇතුළත් කරන්නට සිත් විය. 

අපි තිදෙනා අතරේ වුණු පොදු අදහස නම්, හෙළයේ මහා ගාන්ධර්වයා යන නම යමෙකුට පුදන්නේ නම්, එහි නියම සුදුස්සා විය යුත්තේ ආචාර්ය කේමදාසයන් බවය.

එක් මිතුරෙකු කියා සිටියේ මෙසේය. ඒ මිතුරා

අමිත් ලියණගේ 
ය. යම් නව්‍ය සහ ගැඹුරු වෙනස් පදනමක සිට සිය විග්‍රහයන් ඉදිරිපත් කිරීමට පුරුදුව සිටින ඔහුගේ අදහස් මෙසේ ගොනු කරමි.

ඔහුට අනුව,

අමරදේවයන්ට වඩා කේමදාසයන් වෙනස් වන්නේ ඔවුන් දෙදෙනාගේ සංගීත භාවිතාවන්ගේ ඇති වෙනස් ස්වරූප නිසායි. අමරදේවයන් සිය කලාත්මක ප්‍රකාශනයේදී ප්‍රධානම මෙවලම කරගනු ලබන්නේ ගීතයයි. කේමදාසයන් ව්‍යවහාරික සංගීතඥයෙක් (Applied Musician) හැටියට ගීතය, වේදිකා නාට්‍ය සංගීතය, චිත්‍රපට සංගීතය, සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, සොනාටා, වර්ණකාව්‍ය වැනි විශාල වපසරියක සිය ප්‍රතිභාව පතුරුවාලූවේය, ඔහුගේ සංගීත ජීවිතය ම පර්යේෂණාත්මකය. ඔහු සතුව, සාහිත්‍යය, දේශපාලනය, කලාව පිළිබඳ ඔහුට ම අනන්‍ය දර්ශනයක් තිබුණෙි. එ් සමග අපට එකඟ විය හැකිවුවත් නැතත් එවැනි පුළුල් සංගීත දර්ශනයක් තිබුණු සංගීතඥයෙක් හැටිය ට හඳුනාගන්නට හැකි එක ම සංගීතඥයා කේමදාස බවයි සමහර විචාරකයන් පැවසූයේ. ඒ අනුව ගත් විට විනාඩි තුනක 'ගීතය' යනු කේමදාසයන් ට සිය සංගීත වපසරිය තුළ ඉතා කුඩා මෙවලමක් පමණි. ඔහුගේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වන්නේ ඊට වඩා බොහෝ ඉදිරියින්. ඊට වඩා බොහෝ ගැඹුරිනි. කේමදාසයන් සංගීතයෙන් පෑ පෙළහරත් සමග අමරදේවයන් ට හැරෙන්නවත් බෑ කිව්වොත් එය නිවැරදිය.

මේ අමරදේවයන්ගේ ප්‍රධාන මෙවලම සහ කේමදාසයන්ගේ වෙසෙස් මෙවලම් වල වෙනස සැලකිල්ලට ගෙන වුව මහා ගාන්ධර්වයා කවුදැයි වටහා ගත හැකිය.

මා පෙර කළ දීර්ඝ හැඳින්වීම අවසන, අමරදේවයන්ගේ ගමන් මග පටු වෙමින් ගීතය තුළට සිරගත වූ බව කීම මෙහිදී වඩාත් තහවුරු වනු ද, කේමදාසයන් අත ගීතය කොතරම් කුඩාද, ඔහු ග්‍රහණය කරගන්නට උත්සාහ කළේ ඊට වැඩි කොතරම් විසල් දේද යන්න ද පැහැදිලිව කියැවෙයි.

මගේ අදහස නම් ඇත්තටම නම් වූයේ අමරදේවයන් ගේ ගීතයට ලැබුණු වැඩි ප්‍රසාදයට ලොබ බැඳ අමරදේවයන් උවමණාවෙන්ම එහි සිරගත වූ බවයි. අනතුරුව ඒ සිරගෙයින් මිදීමට අනෙකුන්ද ඔවුනට ඉඩ නොදුන්හ.

ලංකාවේ ප්‍රධාන රස විඳුම් ක්ෂේත්‍රය ගීතය යැයි මා පැවසුවහොත් එහි වරදක් නැත. ඒ නිසාම අනෙක් රසවින්දන ක්ෂේත්‍රයන් දින දින කෘෂ විය. කෘෂවන ඒ ක්ෂේත්‍ර අතහැර අමරදේවලා පුළුල් වූ ගීත ක්ෂේත්‍රය තුළට කොටු වුවද, කේමදාසයන් උත්සාහ කළේ කෘෂවන සැබෑ රස වින්දන ක්ෂේත්‍රයක් තනිව හෝ පුළුල් කරන්නටය. ඔහුගේ එම ව්‍යායාමයට සහාය දුන්නෝ කවරහුද? ලංකාවේ ගීත සඳහා සංගීතය සැපයීම නොව සංගීතයෙන් නිර්මාණ කරන්නට උත්සාහ ගත්තෝ ඉතා අඩුය. එහෙත් කේමදාසයන් ඒ විෂයයෙහි අනවරත උත්සාහයක් ගත් මිනිසෙකි.

කේමදාසයන්ගේ බොහෝ නිර්මාණ තුළ අනන්‍යතාවක් රැඳී ඇත්තේ එබැවිනි. සංගීතය පිළිබඳව අවබෝධයක් ඇති අයෙකුට කේමදාසයන්ගේ සංගීත නිර්මාණයක් ඇසුනේ නම් ඒ කේමදාසයන්ගේ එකක් බව හඳුනාගත හැකි වෙයි. එහෙත් අමරදේවයන්ගේ නිර්මානයක් ඇසුනහෝත එය අමරදේවයන්ගේම යැයි කීමට පැහැදිලිව හඳුනාගතහැකි ලකුණු මද වෙයි. එය තවත් කාගේ හෝ ද විය හැකිය. එබැවින් වැඩි අනන්‍ය කේමදාසයන් බව ඔබට වැටහෙනු ඇත.

අමරදේවයන්ද මහා අනන්‍යතාවකට හිමිකම් කියන අයෙකි. එහෙත් ඒ සංගීතයට නොව කට හඬටය. ගායනයට ය. 

අමිත් ලියනගේ සොහොයුරා මේ ගැන මෙවැනි දෙයක් මට ලියා එවා තිබුණි. මේ කොටස නම් පළ කරණුයේ ඔහුගේ අවසරයකින් තොරවය. ඔහු ඊට කමා කරණු ඇත.
කේමදාස අතින් මොනවහරි භාංඩයක් වදිද්දිම පාරෙ යන මිනිහෙක් උනත් දන්නව මේක කේමදාසගෙ මෙලඩියක් කියල.

මම මේ අනන්‍යතාවය හඳුන්වන්න කේමදාසියානු සංගීතය කියා වචනයක් භාවිතා කරනවා. නමුත් අමරදේවියානු සංගීතය කියා එකක් අපිට එහෙම වෙන්වෙලා ඇහෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕන. පාරෙ යන මිනිහෙක්ට මේක  අමරදේවග‍ෙ වැඩක් කියල අහපු ගමං අයිඩියා එකක් එනවද? කියන එක පොඩ්ඩක් හොයන්න ඕන.

අනන්‍යතා ගැටලුවක ඉන්නවා අමරදේව.

අමරදේව, සංගීතය ඇතුලෙ අයිඩෙන්ටිටි එකක් නැහැ.. ගායනය ඇතුලෙ තිබුනට. කේමදාසට තියෙනව අයිඩෙන්ටිටි එක.

කතාව හොඳටෝම දිගු වුණු බැවින් ගීතයක් ඇසීමට කල එළඹ ඇත.

බලන්න කේමදාසයන්ගේ සංගීතයේ අනන්‍යතාව සහ අමරදේවයන්ගේ කටහඬෙහි අනන්‍යතාව.

දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා පූජා වේවා

මේ ගීතය අපට හමුවන්නේ පූජා චිත්‍රපටයෙහි ය. එහි ඉතා සංවේදී මොහොතකය මේ ගීතය වැයෙන්නේ. කෙසේ වෙතත්, එය ඒ අවස්ථාව සඳහාම සැදූ ගීකයකැයිද කිව නොහැකිය. චිත්‍රපටය පුරා අදාල සංගීත ඛණ්ඩය වරින් වර වැයෙන්නට සලස්වා වචනයෙන් කිව නොහැකි සංකීර්ණ හැඟුම් කියා පෑමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇති වග අපට දැක ගත හැකිය.

මෙයද අර කීවාක් වගේ ඒ කේමදාසියානු සංගීතයේ අනන්‍යතාව නොවේ දැයි මට හිතේ. අන් බොහෝ අය චිත්‍රපටයකට සංගීත නිර්මාණය කරද්දී එය අලංකරණය සඳහා වූ භාණ්ඩයක් සැරසුමක් බඳුය. ආභරණයක්, මල් වාස් එකක් බඳුය. එහෙත් කේමදාසයන් එයට සංගීතය සපයන විට අධ්‍යක්ෂවරයාට වචන හෝ දෙබස් පොහොසත් මදි යැයි සිතෙන, එමෙන්ම ගීතයක් වුව නොසෑහේ යයි සිතෙන තැන් හිදී එම සංකීර්ණ අදහස් කියා පෑමේ මාධ්‍යය සංගීතයබවට පත් වෙයි. එයින් කම්පනය වන රසිකයා එහි හැඟීම අරුත වටහා ගනී. එවන් රසිකයා සංගීත රසිකයින් නොවුනේ මා අර තැනක සඳහන් කළ ගීතය විසින් රසිකත්වය ආක්‍රමණය කිරීම නිසා නොවේද? ඒ ඔස්සේ වඩා සරල, දිරවා ගත හැකි රසයක් විඳින්නට පෙළඹි හේතුවෙන් නොවේද? කේමදාසයන් යළිත් සිය පෙරළිකාර ජීවී සංගීතයෙන් ගැඹුරු කරන්නට හදන්නේ ඒ සරල නොගැඹුරු ගීතයයි.

මිනි මැරුමකට වැරදිකරු වන සිය පුතණුවන් ගේ එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුවන අළුගෝසු වෘත්තියේ නියැලි පියෙකුගේ වේදනාවයි පූජා පූජා වේවා ගීතයේ කියැවෙන්නේ. 
 
ගීතය  


ධර්මසිරි ගමගේ  
ශූරීන්ගේ රචනයකි. 

මේ රචනයේ මේ ස්වරූපය අනුව ගීය නොඇසූ කෙනෙකු වෙතින් එහි තනුව කුමණාකාර වනු ඇතිදැයි විමසුවහොත් නිකමට මෙන් පවසනු ඇත්තේ ජන ගී ආශ්‍රිත තනු හා සංගීත නිර්මාණයක් වනු ඇත යන්නයි. යමෙක් ඒ අදහස කිවහොත් මට ද ඉන් මිදිය නොහැකිය. අප බොහෝ දෙනෙකුගේ මනසේ එවැනි හැඟීමක් ජනිත වනු ඇත. එබැවින් සංගීත නිර්මාපකයාටද ඒ හැඟීම සපුරා බැහැර කළ නොහැකිය. එබැවින් ඔහු නිමවනු ඇත්තේද ඊට ආසන්න වන සංගීත නිර්මාණයකි.

මේ චිත්‍රපටයට සංගීතය සපයන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයෙහි වැයෙන්නේ ජන සංගීතයද නැතිද යන්න වටහා ගත නොහැකි තරමේ සම්මිශ්‍රණයක් එහි වෙතැයි මට හිතේ. එහෙත් ඒ එකකින් එකක් වෙන්ව නොපවතී. එපමණද? 

මා පෙර කී ලෙස මෙහි ඇත්තේ ඒ ජවනිකාව විස්තර කරමින් කියන දුක නොවේ. වෙනත් කතාවකි. ගීතය තුළ ඇති ඒ වෙනත් කතාව චිත්‍රපටයේ අවස්ථාවට ගලපන්නේ කේමදාසයන් ගේ සංගීතය මගිනි.

එහි සංගීත ඛණ්ඩ තනි තනි භාණ්ඩයෙන් නැවත නැවත වැයෙන විට, හිතට අතපොවා සුසුම් එළියට අදින්නාක් සේ හැඟෙයි. ඇස අස්සේ නැති කදුළු පවා මිරිකා ඇද ගන්නාක් සේ හැඟෙයි. 

එම සංගීතය අපට ගීතය අස්සවන්නේ  අචේතනිකවය. දසුන, දසුන කරවන්නේ සචේතනිකව ය.

මහමෙර වැනි බර
සිතින් උහුලනා
කදුළැළි සමුදුර
නෙතින් සගවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා පූජා වේවා

මව් ඇති දාටත්
සෙනෙහස පුදලා
මව් නැති දාටත්
තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු
දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා පූජා වේවා

ගීතය අසමු.


මේ ගීතය කේමදාසයන්ගේ සංගීතයෙන් නිම නොවුණා නම් එහි මේ හැඟීම ගැබ්වෙතැයි මම නොසිතමි. මම කියන්නේ අන් කාටවත් එය හැඟුම් බර නිර්මාණයක් කළ නොහැකි බව නොවේ. මේ අපි එහි විඳින හැඟීම ගැනයි. ඒ අමුතු හැඟීම අප ලබන්නේ කේමදාසයන්ගේ වෙනස් සංගීතය නිසායි. කේමදාසියානු සංගීතය යන නමකින් එම අනන්‍යවූ සංගීතය තමන් විසින් හඳුන්වන්නේ යැයි අමිත් ලියනගේ පැවසුවේ එබැවිනි.

එසේම මේ ගීතය අමරදේවයන් විසින් නොගැයුවේ නම් මේ හැඟීම එහි වෙතැයි මම නොසිතමි. මම කියන්නේ අන් කාටවත් එය හැඟුම් බරව ගායනා කළ නොහැකි බව නොවේ. මේ අපි එහි විඳින හැඟීම ගැනයි. ඒ අමුතු හැඟීම අප ලබන්නේ කේමදාසයන්ගේ අනන්‍ය වූ සංගීතය නිසා සේම, අමරදේවයන්ගේ හඬද  වෙසෙස් ගැයුමද නිසායි. ඒ හඬ සහ වෙසෙස් ගැයුම යනු, අමරදේව අනන්‍යතාවයි. ඔහුගේ විශිෂ්ඨත්වය ඇත්තේ හඬෙහිය. ගැයුමෙහිය.

අදහස් දැක් වූ මගේ අනෙක් මිතුරාගේ අදහසයි මේ.

ඔබ විසින් “කේමදාසයන්ගේ සංගීත ආර හා අමරදේවයන්ගේ සංගීත ආර” ගැන මෙම ලිපි තුනේම සැසඳීමක් කර තිබෙනවා. එය ඉතා හොඳයි. අමරදේවයන් කියන්නේ ඉතා හොඳ සංගීත නිර්මාපකයෙක්; ඒ ගැන වාද විවාද නැත. නමුත් ඔබට ඔහුව කේමදාස සමඟ සැසඳිය නොහැකියි කියලයි මට හිතෙන්නේ.... මොකද කේමදාස කියන්නේ ශ්‍රී ලංකික සංගීත කලාවේ පතාක යෝධයෙක්. අමරදේව කියන්නේ සංගීත නිර්මාණ සඳහා ඔහු අභිමුව සිටිනා අඟුටුමිට්‌ටෙක්.... මම හිතන්නේ එම දෙදෙනාව සංසන්දනය කිරීම ම අමරදේවයන්ට කරන ලොකු හානියක් කියලා.... “කේමදාසයන්ගේ සංගීත ආර සමඟ අමරදේවයන්ගේ සංගීත ආර සසදන්න බැරිතරම් වෙනස් පමණක් නොවේ එය හරියට මහාචාර්යවරකුව, ඉස්කෝලේ අටේ පන්තියේ ළමයෙකු හා සංසන්දනය කරනවා වගේ! එය හරියට අහසට පොලොව වගෙයි ”

මේ මිතුරා කවුදැයි දැන් ඔබගෙන් සමහරෙකු ඔහුව සොයනු ඇත. ඔහු මොකෙක්දැයි දැන් ඔබගෙන් සමහරෙකු ඔහුව ප්‍රශ්ණ කරණු ඇත. මම ඔහුගේ නම හෙළි කරන්නට අකමැති වෙමි. එහෙත් ඔහු කවර තරාතිරමේ අයෙකුදැයි සඳහන් කරමි. ඔහු විශ්ව විද්‍යාල ආචාරයවරයෙකි. හොඳ රසිකයෙකි. අමරදේවයන්ගේද හොඳ රසිකයෙක් බව කිව යුතුය. එහෙත් නොකියා බැරි දෙය නම්, අමරදේවයන්ගේ ගැයුමට ප්‍රමුඛව ඇළුම් කරන්නෙක් වන බවයි. ඔහුගේ ගීත වලට මහත් කැමැත්තක් දක්වන්නෙක් බවයි. එහෙත් ඔහු නිදහස් මනසකින් යුතු මිනිසෙකි. එබැවින් සිතුවිලි ධාරාව වඩාත් පුළුල්ව මෙහෙයවන්නෙකි. එමෙන්ම හැකිතාක් මනුෂ්‍යත්වයේ සීමාව තුළ සිටින්නට උත්සාහ කරන්නෙකි.

දැන් ඔහුගේ අදහස මදක් විමසා බලමු. ඔහු මෙහි අදහස් කරන්නේ කේමදාසයන් අභිමුව නොව, කේමදාසයන්ගේ සංගීතය අභිමුව අමරදේවයන්ගේ සංගීතය අඟුටුමිට්ටෙකු බවයි. එය එසේම කියන්නට මගේ දිවද නොනැමුණත් එය සෑහෙන ඇත්තකි. මා වෙනත් වචන වලින් පෙන්වා දෙන්නට උත්සාහ කළේ ද එයයි. මේ පරතරයේ විශාලත්වය ගැන මිණුමකින් මට ප්‍රකාශ කළ නොහැකි වුවත්, සංගීතය නිර්මාණාත්මකව සහ අපූර්වත්වයෙන් භාවිතා කිරීම විෂයයෙහිදී කේමදාසයන් අති දැවැන්තයෙකි. පතාක යෝධයෙකි. එවිට අමරදේවයන්ට ඇත්තේ කුමන මට්ටමේ කාය ස්වරූපයක්ද? මම ඔහුට අඟුටුමිට්ටෙකැයි නොකියමි. එහෙත්, සංගීතඥයෙක් වශයෙන් කේමදාසයන් දැවැන්ත බව නොකියා බැරිය.

මේ අතර ඇනකොන්ඩා නම් බ්ලොග් අඩවියකින් මතු උපුටා දක්වන මේ අදහස හමුවුණි. එය වෙනත් අරමුණකින් ලියැවුණු සටහනකි. එහෙම් මා මේ කතා කරණ මැයට අදාල කොටසකුත් එහි වෙයි.

අපේ මුළු රටම මෙරට උපන් විශිෂ්ටතම සංගීතඥයා හැටියට හඳුන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ඒ බව සියල්ලෝම ගිරා පෝතකයන් සේ දොඩවති. පාසල් දරුවෝ එය වනපොත් කරමින් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයති. අමරදේව ඇගයීමට ලක් කළ යුතු සංගීතවේදියකු බව ඇත්තකි. එහෙත් මේ රටේ මෑත ඉතිහාසයේ උපන් උසස්ම සංගීතඥයා නොතකා හැර, ඔහු පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකර, ඔහුට අලගු තැබීමට වත් නොහැකි අමරදේව පිම්බීම බරපතල වරදකි.

පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගාන්ධර්වයා: උස්තාද් ඩේවිඩ් පොඩිඅප්පුහාමි. ( ඇනකොන්ඩා බ්ලොග් අඩවිය. සම්පූර්ණ සටහන සඳහා පිවිසුමhttp://anacondavit.blogspot.com/2012/12/blog-post.html )

මෙම කොටස මා හට උපුටා ගන්නට අවැසි වූයේ, පොඩි අප්පුහාමි මහතා පිළිබඳව වන වැණුමකට නොවේ. ඇත්තටම නම් ඔහු ගැන තොරතුරු මා දන්නේ ස්වල්පයකි. ඔහුගේ නිර්මාණ ඉදිරිපත්කිරීම් මා දැක අසා විඳ නැත. එබැවින් ඒ ගැන සොයන්නට හිතේ ඉඩක් තබාගෙන මේ සටහන දිග හැරීම සඳහා ඉන් මට සහායක් ලබා ගැනීමටය.

මා සිතන්නේ පොඩි අප්පුහාමි මහතා සංගීතය උගෙන ජීවත්ව සේවය කොට ඇත්තේ ඉන්දියාවටය. එබැවින් ඔහු ලංකාවේ උපන්නත් අපට ඔහු ගේ සේවය සැලසී නැත. අප ඔහු සැලකිය යුත්තේ ලංකාවෙන් ඉන්දියාවට ලැබුණු විශිෂ්ඨයෙකු ලෙසය. අප මෙහි කතා කරණුයේ ලංකාවේ සිට ලංකාවට සිය නිර්මාණ දායකත්වය සැපයූ ප්‍රධාන චරිත දෙකක් ගැනය.

කෙසේ වෙතත් ඉහත කොටසෙහි මට වැදගත් වනුයේ එය ලංකාවේ මහා ගාන්ධර්වයා අමරදේවයන්ය යන්නට අභියෝගකොට ඇති තවත් අවස්ථාවක් වන බැවිනි.

මේ ලිපිවල අරමුණ අමරදේවයන්ගේ නාම විශේෂණ ගලවා ඉවත් කිරීම නොවේ. ඔහුට සුදුසුම නාම විශේෂණය වෙනුවට ඔහුට පළඳවා ඇත්තේ වෙනත් නාම විශේෂණයක් වන බව කීමට ය. අමරදේවයන්ට පළඳවා ඇති ඒ නාම විශේෂණයට ලංකාව තුළ උරුම කම් කියන්නට ළඟම හිටියේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් බව කීමට ය.

කේමදාසයන් කුමන අන්දමේ සංගීතඥයෙකුදැයි කීමට මී ළඟ ගීතය අප වෙනුවෙන්  තවත් සාක්ෂි දෙන්නට ඉදිරිපත් වෙයි.

රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි

මෙහි පද රචනය මෙය වුව මේ පද රචනය කේමදාසයන්ගේ සංගීත ඥානය තුළ යළි මෙසේ ලියැවෙයි.

රෑ..........ඈ..........ඈ..........ඈ............
රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි
සී පද ඇහුනයි
හී…........ඊ..........ඊ............ඊ..............
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

මෙහිදී වනුයේ අන් දෙයකි. ජන කවියේ හැඩ හුරුව ඇති ගීත රචනය දකින ආචාර්ය කේමදාසයන් එය සැබෑ ජන කවියක් තුළටම ඇද දමීමයි. නමුත් ඇද දමා ෂේප් සංගීතයක් සපයා ඉන් ගැලවීමට උත්සාහ නොදරයි. 

මා දන්නා දෙයක් නම්, ගීත රචනා සමග හරඹ කරමින් වෙනස් වෙනස් විදිහට හිතමින් තනු නිර්මාණයේ යෙදෙන්නේ අප දන්නා සංගීතඥයින්ගෙන් අතලොස්සකි. අන් අය කරණුයේ දකින පළමු ආකෘතිකමය රූපයට සංගීතමය සළු පෙරවීමයි.

එලෙස වැඩිම හරඹ කරන්නන් අතර ඉදිරියෙන්ම සිටි සංගීතඥයා ආචාර්ය කේමදාසයන් බව දන්නෝ දනිති. එබැවින් සරල එහෙත් රසවත් ජන සංගීතයේ ආකෘතියට ඒ ගීතය ඇද දමා සංගීතය සපයන්නට සිතුවත් එයින් පමණක් සියළු සළු ගෙන පොරවා හැඩ කිරීමෙන් නොනවතින්නේ. ඔහු එහි නිර්මාණාත්මක සාරයය උරා ගනු ලබන්නේ.

ඒ නිසා ඊ ළඟ පාදයේදී ඔහු වෙනත් රිද්මයක් සොයයි. ඒ ඔස්සේ අර මාල පබළු වැල් ගීතයේදී මෙන්ම නාටකීය සංවාදරූපී ස්වභාවයක් මවයි.

රෑන බමරු වටකරගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුනා සී පද මට කියන්න සිත දෙන්නේ

මී…. ඊ....... ඊ........ ඊ.......... 
මීරකින් කීවොතින් ගී කවි සින්දු
ගී කවි සින්දු
ආ….. ආ..... ආ....... ආ.......
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්ඳු
රූබර ලන්ඳු

ගීතය පුරා මේ නාටකීය බව රැක ගනිමින්, යොවුන් පෙම් ජවනිකාවක් ගැන කතා පුවතට සංගීතයෙන් ජීවයක් දෙයි.

හව්හරනෙට පැල ඉණි වැට විතරයි කල එළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ

පා….... ආ......ආ........ආ.......
පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
කිමද තැවෙන්නේ
ගම්….....ම්.........ම්........ම්.......
ගම් ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
කැන්දන් එන්නේ

නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

රෑ..........ඈ..........ඈ..........ඈ............
රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි
සී පද ඇහුනයි
හී…........ඊ..........ඊ............ඊ..............
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

යුග ගැයුම පණ්ඩිත් අමරදේව සහ නිරංජලා සරෝජිනී වෙතිනි. 


ආචාර්ය අජන්තා රණසිංහ 
පද රචනයකි එය.

ගීතය අසමු.


ඇත්තටමත් ජන කවිය ජන ගීය එක රාමුවක ගැයෙන්නක් නොවේ. එහෙත්, ජන කවිය හෝ ගීතය නිර්මාණ කාර්යට යොදා ගැනීමේදී බොහෝ විට අප කර ඇත්තේ එහි නාටකීය ස්වරූපය, නැති නම් සජීවී බව නසා, එම නාද මාලාවන්ගෙන් අච්චුවක් සාදා ගැනීමයි. කේමදාසයන් මෙහිදී කරණුයේ එම අච්චුව ඉවත ලා, අර නාටකීය බව නැති නම් සජීවි බව ගීතය තුළට යළි කැඳවාගෙන ඒමයි. කොහොමත් ඔහුගේ සංගීත නිර්මාණයන් තුළ ඒ ජීවය ගැබ් කිරීමට ඔහු උත්සුක ව ඇත. ඕනෑම මද රිද්මයෙන් වැයෙන ඔහුගේ තනුවක වුව ඒ සජීවී බව හමුවෙයි. ඔහු රසිකයින්ගේ සිත් සැනසිල්ලේ සතපනු විනා නිද්‍රාවට පත් නොකරයි.

ඉහත මා කී ලකුණට මැනැවින් ගැලපෙන ගීතයකි. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ  
රචනා කළ මේ ගීතය හමුවන්නේ සීතල වතුර චිත්‍රපටයෙහිය. ඔබ මේ අසන ගීතය මුල් පටිගතකිරීමෙන් උපුටා ගත්තක් බැවින් එහි ශ්‍රවණ තත්වයෙහි අඩුවක් ඇතිවා වුවද, 1966දී කරණ ලද පටිගත කිරීමකදී කෙරී ඇති මේ සංගීත නිර්මාණයන්හි ජීවය පිළිබඳව අදහසක් ලබා ගැනුමට එය බාධාවක් නොවන බව මගේ හැඟීමයි.

සීතල වතුර ගලයි
සිතුවිලි තරඟ නඟයි

මේ ආරම්භක කොටස වැයෙන්නේ ඉතා අඩු ළයකිනි. ගීතයේ අදහසත් සමඟ එක්ව ශ්‍රවණය කරණ සඳ එය ඉතා සිහින් ජල දදහරාවක ආරම්භය සේ ද, සිතුවිලි සමුදායක ඉපදුම සේද අප මනසට නැගෙයි. එහි ඇත්තේ සෙමෙන් ගමනකි. සෙමෙන් නමුත් පහළට යාමේ අදිටනින් නොනවතින ගමනකි. මුල් කොටස වැයෙන අයුර මේ ගමනට ඉතා කදිමට ගැලපෙයි.

ජල දහරක් තවත් ජල දහරා හා එක්ව යද්දී යම් වේගයක් ලබයිද, උපන් සිතුවිලි යම් වේගයකින් ගලයිද, උචිත අයුරින් ගීතයේ සංගීතයෙහි සැර වෙනස් වෙමින් ඒ හැඟුම අප වෙත ලබා දෙන්නට එය සමත් වන බව පරෙස්සමින් අසන අයෙකුට වැටහෙනු ඇත. මතු කොටසෙහි දැක්වෙන අළුත් වැසි ලැබ නව ජීවයක් ලැබ ගලන දිය දහරක සතු ගමන මේ යැයි හැනෙ සේ නිරූපනය කරණය අන්තර් සංගීත ඛණ්ඩය අපව සූදානම් කරයි.

නාඹර මල් පෙති මාල පළන්දා
දියරැළි සේලෙන් හැඩ වෙනවා
ආයෙත් ලැබිලා වැහි ජය පානේ
සුපුරුදු ගමනින් දිව යනවා

මී වද ඉසිරි ගී හඬ පැතිරී
මංගල සිරියෙන් සරු වෙනවා
ජීවන ගමනේ දුක සැප මෙලෙසේ
සමබර විලසේ පල දෙනවා

සීතල වතුර ගලයි ගීතය අසමු.



කේමදාසයන් තුළ ඇත්තේ මෙන්න මේ, වටහා ගැනීමත්, වටහා ගැනීම මත ඔහු චෛතසිකයේ පෙරළි කරණ නිර්මාණාවේශයත්, ඒ නිර්මාණාවේශය නිර්මාණය කරණ සංගීතයත්ය. 

අප දන්නා බොහෝ නිර්මාණ බිහි කරණවාට වඩා බිහි වෙන ඒවාය. ඒවායේ බිහිවීම අචේතනිකය. එහෙත් කේමදාසයන් නිර්මාණය බිහි කිරීමට පෙර ඒ සඳහා මහත් වූ වෙහෙසක් ගනී. විවිධාකාරව නිර්මාණය කර හොඳම දේ තෝරණු ලබයි. දන්නෝ දන්නා දේ නම්, කොතරම් ඒ සඳහා වෙහෙසුනත්, ඔහු ශබ්දාගාරයට යද්දීත් යන්නේ තවත් වෙනස් කම් වලට ඉඩ ඇතිවය. අනෙක් අය මෙන් නිමා කළ ස්වර සටහන් ගෙන ගොස් බෙදා දී පටිගත කිරීමට නොවේ.

ඔහු සිතට එන යම් සංගීත ඛණ්ඩයක් එහිදී විවිධ භාණ්ඩවලින් වයා ශ්‍රවණය කර වඩාත් සුුදුසු එක තෝරණු ලබයි. ඒ වැයුමද විවිධ හැඩයන්ට වාදනය කර බලනු ලබයි. එකම භාණ්ඩය විවිධ වාදකයින්ට කියා වාදනාය කරවා බලයි. ඔහුට නිර්මාණය යම් නිශ්චිත කාලයක් තුළ නිමා කිරීමට අවැසි නැත. දවසට නිර්මාණ 5-6ක් බදා ගෙන නිම කරන්නට අවැසි නැත. නිර්මාණය කෙරෙහි පූර්ණව සතුටු වෙන තෙක්, ඔහුගේ පටිගත කිරීම් සිදුවෙයි. ඒ අනුව ඔහු නිර්මාණ කිරීම සචේතනිකව කරණු ලබන දෙයකි.

එහෙත්, මේ බව දන්නේ එවන් විවිධ පටිගතකිරීම් දැක ඇති අය පමණි. මේ වෙනස දන්නා බොහෝ අය වුව, සමහර විට අර කේමදාසයන් යටපත් කරන්නට ඇවැසි වූ කුලකවලට වැඩි සමීපතා දැක්වූවන් බැවින් එය නිර්මාණයේ ප්‍රශස්ථ බව ඇති කිරීම සඳහා ය යන මතයෙන් බැහැරව වධයක් සේ සලකුවේ දැයි මට සිතේ. බොහෝ අය සරලව වැඩේ කොට ගතමනාව සඳහා වඩා කැමැතිය. ගතමනාව දෙවෙනි තැනට ලා, නිර්මාණ තෘප්තිය පළමු තැනට ලා කටයුතු කරන්නෝ අල්ප ය.

අර පෙර කොටස් වල අප විමසූ 


සුජිත් රත්නායක 
ගේ හැඩ සහ හැඩතල ලිපියේ මතකය යළිත් අවදි කරවනු කැමැති වන්නේ, එලෙස සරලව යමක් කොට හැඩ මතු කරණ ගන්නා අතරේ අර විදිහට වෙහෙස කර නිර්මාණ ව්‍යායාමයන් කරණු ලබන්නා හැඩතල මතුකර ගනී.

අපි මේ කතාව නවතන්නේ කොතැනින්ද? තවත් ටිකක් කතා කළ යුතු නොවේද? එබැවින් ඒ කතා බහෙන් හමුවන තෙක්,
නවතිමි.


-      යසනාත් ධම්මික බණ්ඩාර    -