සසර
වසන තුරු
නිවන්
දකින තුරු
පින්කෙත
හෙළ රන් දෙරණේ යළි උපදින්නට
හේතු
වාසානා වේවා
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ
මේ සසර වසන තුරු නිවන් දකින තුරු ගීතය පිළිබඳ ඔබේ
සිතේ ඇත්තේ මොන වගේ තැනක්ද? ප්‍රතිරූපයක්ද?
එය අතිශය
දැවැන්ත එකක් බව නොඅනුමානය.
මෙම ගීයද
ජාතික ගීයට හැර අන් කිසිදු ගීතයකට දෙවැනි නොවන තරම් වන එකක් යැයි මම සිතමි. ඔබද
එසේ නොසිතනු ඇතැයි නොසිතමි.
නිර්වාණය යනු සිංහල
බෞද්ධයාගේ අවසානම පැතුමයි. එහෙත් නිවන් දකින්නට සසර කොතරම් දුර යන්නට වේ දැයි අප
කිසිවෙකුදු නොදනිමු. නිවන් දක්නා තෙක් අප ගෙවන සෑම ආත්මයකම මේ සිරි ලකේම උපදින්නට හේතු වාසනා වේවා යන්නය මෙහි
ඒකායන පැතුම.
මේ දැවැන්ත
නිර්මාණය ඔබ සිත තුළ මතුකරණ උදාර තර හැඟුම් සමුදාය අති මහත්ය. සිය උපන් බිම
වෙනුවෙන් ඇති කරන භක්තිය අති මහත්ය. මේ වන් තුංග හැඟීම් මතු කරන්නට නම් මේ ගීතයේ
රචනය කොතරම් දැවැන්ත එකක් විය යුතුද? අපි එහි රචනය දෙස බලමු.
සසර
වසන තුරු
නිවන්
දකින තුරු
පින්කෙත
හෙළ රන් දෙරණේ යළි
උපදින්නට
හේතු
වාසානා වේවා....
රත්න
මාලි සෑ කිරණයි මහ බෝ
සෙවනයි
තිසා
වැවයි සීගිරියයි මගේ උරුමයයි..
මේ එම ගීයේ සම්පූර්ණ
ගීත රචනයයි. අර තරම් දැවැන්ත ලෙස එසවී පෙනෙන, දිනූ දේශය පිළිබඳ උත්තුංග හැඟුම් මතු
කරණ මේ ගීතයට ඇත්තේ කොයි තරම් නම් කෙටි කුඩා පද පෙළක්ද?
මේ අනුව ඔබට
වැටහෙනු ඇත යම් දැවැන්ත අදහසක් දීමට දිගු, මහා භාෂා හරඹ පෑ පද පෙළක්ම ඇවැසි නොවන
වග.
රත්න
මාලි සෑ කිරණයි මහ බෝ
සෙවනයි
තිසා
වැවයි සීගිරියයි මගේ උරුමයයි..
මේ ගීත කොටසේ
සිංහල බෞද්ධයාට මහා වැදගත් කමක් ඇති වන්දනීය පූජනීය ස්ථාන හතරක් ගැන සටහනක් ඇත. ඒ
ස්ථාන හතර පමණක් ගත්තද අප ශ්‍රී විභූතිය, සංස්කෘතිකමය පොහොසත්කම පෙන්වීම පිණිස එය උවමණාවටත් වඩා සෑහේ. එහෙත්
ඉන් කිසි විටක අපේ රටේ අනෙකුත් වැදගත් ස්ථාන අමතක නොකරයි. මේ ස්ථාන හතර පමණක්
සටහන් කළද ඒ මතකය තුළ අනෙකුත් සියළු ස්ථාන නියෝජනය වෙයි. රචකයා රසික සිතේ පැළ කළ
යුත්තේ බිජු ස්වල්පයකි. රසික පරිකල්පනය තුළ ඒවා ප්‍රරෝහණය වී වැඩි අස්වැනු ඔවුන්
නෙළාගනු ඇත.
මේ ගීතය රචනා
කර ඇත්තේ ඩෝල්ටන් අල්විස් කවියා විසිනි.
ඩෝල්ටන්
අල්විස් කවියා සහසක් ගී ලියා නැත. එහෙත් ඔහු ලියූ ගී වලින් බොහෝමයක්
වැජඹෙනුයේ අදහා ගත නොහැකි තරම් ඉහළ තලයකය.
සසර
වසන තුරු නිවන් දකින තුරු ගීතය අසා යමු.
වර්තමානයේ ගීත
රචකයින්ට බොහෝ විට වස්තු විෂය වන්නේ ප්‍රේමයයි. ඉන් පරිබාහිර අත්දැකීම් ඔවුනගේ
විෂය පථයෙන් බැහැරව ඇත්තේ එක් තනි හේතුවක් නිසා නම් නොවේ. ඊට බලපෑ බොහෝ හේතු තිබිය
හැකි වුව තමන්ගේ පරිසරයද පරිකල්පන වපසරියද යන කරුණු ප්‍රධාන වෙතැයි මම සිතමි.
මේ හේතුව
නිසාම වර්තමාන ගීත රචකයා වෙතින් සිය මාතෘ භූමිය (පීතෘ භූමිය ) පිළිබඳ උතුම් හැඟුම්
ගැබ් වුණු ගී ලියැවෙන බවක් දැකිය නොහැක. දේශානුරාගී හැඟීම් කෙමෙන් කෙමෙන් වියැකී
ගොස් අමුතුම අයුරකින් සිතන සමාජයක් බවට පරිවර්ථන යුගයක් අභියස සිටින ඔවුන් තුළින්ද
එම හැඟීම් ගිලිහී ගොස් නැතැයි පැවසිය නොහැක. මේ නිසාය හුදු ප්‍රේමයේ පමණක් විවිධ
ඉසවු ස්පර්ෂ කිරීමට ඔවුන් උත්සුකව ඇත්තේ. දැන් දැන් ප්‍රේමයේ වුව බාල ඉසවු මිස
සංවේදී තැන් ඔවුනට ගෝචර නොවන වග දැකිය හැකි වෙයි.
එහෙත් අතීත
කවියා ගීත රචකයා සිටියේ ඊට වඩා බොහෝ උස් අසුනකය. වන්දනීය තැනකය. ගෞරවනීය තැනකය. ඒ
හේතුව නිසාම ඔවුනගේ නිර්මාණ දහරාව තුළ විවිධ වූ දේශානුරාගී ගී හමුවෙයි. පරිසර
වැනුම් හමුවෙයි. ගැඹුරු මානුෂීය ගණු දෙනු පිළිබඳ රචනා හමුවෙයි.දැය නගන දැය වඩන
වෙහෙසෙන මිනිසුන් ගැන කියවෙන ගී හමු වෙයි. මතු පිට අතගෑම් නොව හද ගැඹුරෙහි නැගෙන
සැබෑ සංවේදනාවන් හමු වෙයි.
මේ ගීතය
බලන්න.
පෙම්බර
මා පුතණුවනේ
නුඹ
සිටි සුර ලොව කොතැනේ
හෙළ
දෙරණට පුතු ආවේ
පෙර
මහ පින් කළ බැවිනේ...
සිය අළුත උපන්
පුතු පිළිබඳ අපමණ සෙනේහයෙන් ගීයක් ලියන මේ පියා තුළ උපදින්නේ සිය පුතුට උපන් සෙනෙහස
පමණක් නොවේ. ඒ තුළින් නිරායාසයෙන්ම ඔහු
තුළ ඇති පරිකල්පන ශක්තියේ උතුම් බවද පිළිබිඹුව ඇත.
මේ පුතු පෙර
සිට ඇතැයි ඔහු හඟින්නේ කොයියම්ම හෝ දෙව් ලොවකය. එහෙත් කුමන දෙව් ලොව දැයි ඔහු
නොදනී. ඔහු නොකියයි.
කොයි දෙව් ලොව
සිට හෝ පුතු දැන් පැමිණ ඇත්තේ හෙළ දෙරණ ටය. හෙළ දෙරණ ට පැමිණීම පුතු කළ මහා පිනක් නිසාවෙන් සිදුවූවකැයි මේ පියා හිතන්නේ නම් එහි අදහස
කුමක්ද?
සිය මාතෘ
භූමිය කොහේ හෝ ඇතැයි සැලකෙන දෙව් සැප ගලා යන කුමන දෙව් ලොවටත් වඩා පින් වන්ත සැප
වන්ත තැනැකැයි සිතන වග නොවේද? ඒ නම් කුමන උතුම් හැඟුමක්ද?
මේ හැඟුම
කොතෙක් නම් උතුම් හැඟුමක් දැයි සිතෙන්නේ වත්මනේදී සිරිලක
ඉපදීම කරුමයක්ය, ලැජ්ජාවට අවමනට කරුණකැය සිතන ලක්
පුතුන් සිටින සමයකය.
බාලොලි
ලොලි බිළිඳු පුතේ
බාසුරු
වන් බුහුටි පුතේ
පායන
හිරු සදිසි පුතේ
රට
බාරයි නුඹට පුතේ....
සිඟිති පුතුගේ
මවු මුව නිබඳ මුමුණන නැළවිලි ගී පද පළමුව ඔහු මුවට නැඟෙයි. බාලොලි ලොලි බිළිඳු පුතේ යැයි ඔහු අරඹනුයේ එබැවිනි.
එහෙත්ඒ සිඟිති බිළිඳුකමට වැඩි හැඟීමක් ඔහු තුළ ජනිත වෙයි. බාසුරු වන් බුහුටි පුතේ කියන්නේ එබැවිනි.
බාසුරු යනු සිංහයාට යෙදෙන නමකි.
ඔහුට සිය පුතු තුළින් සිංහ තේජස් දකිනු රිසි වෙයි.
ඉන්ද නොනවතී.
ඔහුට සිය පුතු
තුළින් දිවා එළියේ දවන හිරු රැස් නොව උදා එළියේ මෘදු එහෙත් ප්‍රාණවත් හිරු රැස් දකිනු රිසිවෙයි.
ඉන්ද සෑහීමකට
පත් නොවෙයි. සිය උතුම් මවු බිම සිය පුතු අතින් රැකෙනු දකින්නට රිසි වෙයි.
රට
බාරයි නුඹට පුතේ යනුවෙන් කියන්නේ එබැවිනි.
වර්තමානයේ
විකෘති වී ඇති සේ රට නුඹේ සින්නයට ය භුක්තියට ය යන්න නොවේ එහි අරුත.
මහ
පැරකුම් නුඹයි පුතේ
දුටුගැමුණුත්
නුඹයි පුතේ
මගෙ
සිහිනය නුඹයි පුතේ
මද්දුම
බණ්ඩාර පුතේ
රට
බාරයි නුඹට පුතේ.....
ඔහුට සිය
පුතුගේ උපත දැනෙන්නේ සිය චිත්ත සන්තානයේ ඉහළම තැනක වැජඹෙන සිය රට සහලින් ස්වයං
පෝෂණය කළ මහා පැරකුම්බා රජු ගේ යළි උපත ලෙස ය.
ඔහුට සිය
පුතුගේ උපත දැනෙනුයේ සිය චිත්ත සන්තානයේ ඉහළම තැනක වැජඹෙන සිය රටට එල්ල වූ පරසතුරු
උවදුරු මැඩගෙන රට එක් සේසත් කිරීමට මූලික වූ දුටු
ගැමුණු රජු ගේ යළි උපත ලෙස ය.
ඔහුට සිය
පුතුගේ උපත දැනෙනුයේ සිය චිත්ත සන්තානයේ ඉහළම තැනක වැජඹෙන අතිශය කුඩා වියේදී වුව
මරණය අභිමුවේ වුව කුළුණු හස කැන් පා මරණයට නොබිය ව මුහුණ දුන් මද්දුම බණ්ඩාර ගේ යළි උපත ලෙස ය.
ඕනෑම පියෙකුට
සිය පුතණුවන් ගැන සිහින ඇත. මේ පියාටද තම සිහිනය තම පුතුය.
තම පුතු උගෙන
ලොකු වී විනිසුරෙකු වේවා...!
තම පුතු උගෙන
ලොකු වී වෙදැදුරෙකු වේවා...!!
තම පුතු උගෙන
ලොකු වී ඉංජිනේරුවෙකු වේවා...!!!
තම පුතු උගෙන
ලොකු වී ඇදුරෙකු වේවා...!!!!
තම පුතු උගෙන
ලොකු වී නයුවෙකු වේවා...!!!!!
වැනි සිහිනයන්
නොවේ ඒ පියාගේ සිහිනයන්. ඒවා ඊට වඩා උතුම් සිහිනයන්ය.
සිය පුතු අතින්
අනාගතයේ කෙදිනක හෝ සිය උතුම් මාතෘ භූමිය සුරැකෙනු ඇතිය යන සිහිනයයි එය. ඒ සිහිනය
උතුම් නැතිද....?
රට
බාරයි නුඹට පුතේ යනුවෙන් කියන්නේ එබැවිනි.
නැවතත්
කියතොත් වර්තමානයේ විකෘති වී ඇති සේ රට නුඹේ සින්නයටය භුක්තියටය යන්න නොවේ එහි
අරුත.
සිරිලක
බබලන ලෙසිනේ
මහ
විස්කම් හෙළ දෙරණේ
නුඹේ
මුතුන්ගේ පණ නළ තොටිල්ල පදවයි පුතුනේ
රට
බාරයි නුඹට පුතේ....
මේ අවසන් ගී
ඛණ්ඩය ඩෝල්ටන් අල්විස් ගී නිර්මාණ කෘතියේ ඇති
රචනයෙහි හමු නොවේ.
එහෙත් එහි පැරණී ගීතයේ එය වෙයි. අළුත් ගීත පටිගත කිරීම් වලදීද
එම කොටස හමු නොවන බව මතකය.
කෙසේවෙතත් මේ
අවසන් කොටසේ ඇත්තේ කුමක්දැයි යන්නද විමසුම වටී.
සිරිලක ලොව
බබලන ලෙස මහ විකුම් පෑ පරපුරක් අපට සිටි බව යටපත් කළ නොහැකි සත්‍යයකි. ඒ මුතුන්
මිත්තන්ගේ පන නළය අද මවක වෙසින් පුතුගේ තොටිල්ල පදවන්නේ යන්නය එහි අදහස.
සිය පුතුනු
පිළිබද නොයෙක් සිහින මවන, ඒ අවසාන සිහිනය සිය පුතු කෙදිනක හෝ දැයට මැණිකක්ව දැය
සුරකිනු ඇතිය යන්න පතන ඔහු එහෙත් සිය අතීත මුතුන් මිත්තන්ගේ ආනුභාවය පුතුට ලැබෙන
අත්වැල ලෙස තෝරා ගන්නේ පුතුගේ මෑණියන්ගේ තොටිල්ල පදවන මවු ගුණයේ අතයි. ගීත රචක
පියෙකුගෙන් පුතුන් වදන හදන වඩන මවක වෙත් ඊට වැඩි ප්‍රේමයේ වදනක් කිව හැකිද?
මේ ගීය
සංගීතවත් කොට ගයන්නේ පෙර ගීතයද සංගීතවත් කොට ගැයූ ආචාර්ය
පණ්ඩිත් අමරදේවයන්
ම ය.
මේ ගැනද යමක්
කිව යුතුය. මෙවන් උතුම් පිදුමක් අර්ථවත් වන්නේ එවන් නිමැයුම් කරුවකු අතින් සොඳුරු
වන විටය. එවන් හඬකින් ගැයෙන විටය.
මේ ගීතයද ඩෝල්ටන් අල්විස් කවියා
ගේ ම රචනයක් වීම රෝම කොතරම් සිදුවීමක්ද?
පෙම්බර
මා පුතණුවනේ
නුඹ
සිටි සුර ලොව කොතැනේ
ගීතය අසා යමු.
මේ ගී දෙකම
උතුම් මාතෘ භූමිය ( පීතෘ භූමිය ) පිළිබඳව උතුම් දේශයේ පුත්‍රයෙකුගේ හද ගැබ නැගෙන උතුම්
සෙනෙහස පෙරදැරි ගීතයන්ය. එබැවින් එවන්වූ ගීතයක්ම නැවත ඉදිරිපත් කිරීමට වටනේයැයි
සිතේ. එහෙත් අභියෝගය නම් මෙවන් තවත් තවත් සම මට්ටමක තබා අගැයිය යුතු සහ හැකි ගී සොයා ගැනුම නොවේද?
මතු සාකච්ඡාවට
බඳුන්වන ගීතයේ රූප හෝ හඬ පටයක් සොයා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය. එහෙත් ඒ ගීතය
ගැන කතා කළ යුතුම ය. මේ ගීතය මා නම් කුඩා සන්දියේ බොහෝ වාරයක් අසා තිබේ. ඒ ගුවන් විදුලියේ උදා ගී තීරයෙනි.
මේ සටහන් කියවන ඔබෙන් සමහරෙකුද මේ ගීය අසා ඇතිවා නිසැකය. එමෙන්ම මේ ගීය වරක්වත් අසා
නැති අය සිටින වගද නිසැකය. විශේෂයෙන් අසා නැතියෙකුට අසන්නට දීමට හැකි වූවා නම්
මැනැවැයි සිතුනද ගීතය සොයා ගත නොහැකි වීම මගේ අභාග්‍යයකි.
ඉරේ
මහිම ඉරු මඬලේ
සිංහල
මල් පිපීයන්
සඳේ
මහිම සඳ මඬලේ
සිංහල
මල් පිපීයන්...
නිරතුරු
මල් පිපීයන්
නිවහල්
මල් පිපීයන්....
තේජවන්ත ඉරු
මඬල සැම දිනම අපේ අහසේ සුදිලේ. එවන් ඉරුමඬලෙහි හෙළයේ නමින් මල් පිපේවායි පැතුම
නොයුතු දෙයක්ද?
මාසයේ එක්
රැයක පමණක් හැර හැම රැයකම විවිධ කලාවන්ට අයිති සඳ මඬල අපේ අහසේ සුදිලෙයි. ඒ සඳ
මඬලෙහි හෙළයේ නමින් මල් පිපේවායි පැතුම නොයුතු දෙයක්ද?
එසේ නිරතුරුව
මල් සුපිපේවායි රචකයා ප්‍රාර්ථනය කරයි. ඒ නිකන්ම මල් නම් නොවේ. නිවහල් භාවයේ මල් ය
එසේ පිපිය යුතු.
පොරණේ
පිපි මල් සුවඳයි
සුවඳයි
සුවඳයි
රට
වෙනුවෙන් දැය වෙනුවෙන්
කළ
පිං සුවඳයි
ඉතිහාසයේ මේ
පොලොවේ පිපි මල් සුවඳ විරහිත මල් නොවේ. මහා සුවඳ කඳක් විහිදවූ මල් ය. රට දැය
වෙනුවෙන් පිපුණු ඒ මල් වල හමන්නේ පිං සුවඳකි.
අනතුරුව ඔහු
මෙසේ පතයි.
ඉරේ
මහිම ඉරු මඬලේ
සිංහල
මල් පිපීයන්
නොපිපුණු
මල් පිපීයන්
ඔහුට ඇවැසි
යන්නේ මුළු ලොවම සුවඳවත් කරණ අළුත් අළුත් මල් පිපෙනු දැකීමටය. එහි සුවඳ කිත් යසස
ලොව පුරා හමනු දැකීමටය.
දියත
සුවඳ විහිදී යන
සිංහල
මල් පිපීයන්
සොඳුරු
සුවඳ විහිදී යන
සිංහල
මල් පිපීයන්...
ලෙසින් ඔහු
ලියනුයේ එබැවිනි.
මේ ගීතයද
ලියැව ඇත්තේ ඩෝල්ටන් අල්විසුන් ගේ පන්හිඳෙනි.
මේ සියල්ල සලකා බලන විට ඔහුගේ සිතුවිලි ධාරාව විහිදී ගිය අයුර කෙනෙකුට වටහා ගැනීම
අපහසු නැත.
ඔහුගේ
සිතුවිලි ධාරාව විහිදුනේ සිංහල ජාතිවාදය නමැති පටු මාවතක යැයි අළුත් පරපුරේ යමෙක් සිතන්නට පුළුවන. පටු මාර්ගයකට
වැද ළඟ බලාගෙන රේස් පදින අළුත් පරපුරට ඉන් එහා දෙයක් නොපෙනුනොත් එය අරුමයක් නොවේ.
ඔහු මෙහි යොදා
ගෙන ඇති සිංහලය... සිංහල
මල් පිපීයන් ආදියෙන් නියෝජනය කරන්නේ හෙල
දීපයයි. හෙල දිව යනු ලංකාවට යෙදුනු අතීත නම බව අමතක කරන්නට සහ කරවන්නට
හදන අයද ව්‍යාපාරද එමටය.
එදා හෙල දිව වුව පසුව සිලෝන්
රට සිරි ලංකාව ලෙස පිලිගැනීමේ ඓතිහාසික වරද
යළි නිවැරදි කළ නොහැක්කක් වුව, අතීත හෙල දිවේ තතු
දන්නෙක් ඒ අයුරින් තම හැඟුම් ඉදිරිපත් කිරීම වරදක් වන්නේ කෙලෙසදැයි මම කල්පනා
කරමි.
වර්තමාන බහු
වාර්ගික බහු ආගමික රටක අන් ජනයාට අගෞරවයක් වන දේ නොකළ යුතුය, සිත් රිදවීම් වන දේ
නොකළ යුතුය යන්න දැඩි සේ පිලිගත්තද, අතීත හෙලය
ගැන හෙලයෙකුට කතා කළ නොහැකිය යන ඊනියා නීති
රීති නොපිලිගන්නා බවද මෙහි ලා පැවසිය යුතුය.
නිවහල්
සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල්
නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන්
අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ
කැළුම් වර දෝතිය පිනින් උදාරයි
ජාතියක්
නිවහල් වන්නේ සිය සිතුවිලි නිවහල් නම් පමණි. එවන් සිතුවිලි උපදින සිත් ද උදාර ය.
ජාතියක්
නිවහල් වන්නේ අන් දෙස නිෂ්පාදනයන් මත නොරැඳී තමන්ගේම දෑ නිපදවන්නේ නම් පමණි. එවන්
නිමැවුම් මවන ශීර්ෂයෝ උදාරය.
එවන් ජාතියක්
නොපරදී. ජයම ලබයි. ලබන හැම ජයක්ම සැබෑ ජයක් නොවෙයි. සමහර ජයග්‍රහණ පරාජයන් හා
සමානය. එහෙත් පෙර කී ලෙස නිවහල්වන ජාතියක ජය උදාරය. මේ නිසාම කිත් යසස ලැබීමේ
පින් මහිමය ඔවුනට නිබඳ හිමි වේ.
නිදා
නොඉඳ යළි පිබිදී
අහස
බලන්නේ
නවෝදයේ
තෙද රැඳි හිරු
පිපී
දිලෙන්නේ
කිත් යසසින්
අනූන වූ පලියට සියල්ල සැමදා එක ලෙස යහපත්ව නොපවතී. දැයක් නිදා සිටිය හොත් ගමන අවරට
ය. එබැවින් අළුත් පරපුර දිරිමත් කිරීම යුගයේ අවශ්‍යතාවයි. මේ කොයි යුගයේද? ඒ
යුගයේය. හැත්තෑව දශකයේය. හැත්තෑව දශකය යනු සියළු අංශ වල පිබිදීමක් තිබූ දශකයකි.
එවන් පිබිදීමක් තිබියදීමය මේ අතිරේක ප්‍රබෝධමත් කිරීම්.
( හැත්තෑව
දශකයට වඩා අද වන විට සිය දහස් ගණනින් මෙවන් දිරිමත් කිරීමේ ගී අවැසි බව පමණක් ලියා
තබා නැවත ගීතයට පිවිසෙමි.).
නිඳා නොඉඳ
පිබිදී අහස බැළුවොත් තේජවන්ත හිරු දැකිය හැකි වෙයි. ඒ තේජවන්ත හිරු ගෙන එනුයේ නව
උදාවක එළියය.
යළි නොපිබිදී දිගටම
නිදා සිටියොත් කුමක් වේද? නිදා
සිටින්නවුන් නව උදාවේ අරුණෝදය නොදකී. දකිනුයේ කළු අඳුරමය. කළුම කළු නිදි අඳුරමය.
පීදෙන
හෙළ රන් ගොයමේ
සිරිය
උදාරයි
හෙළ
නෙත සිත සනහා නව
සිහිල
සදාලයි....
අප අවට පරිසරය
කොතෙක් නම් ප්‍රබෝධක ප්‍රතිචාර සපයයිද? ඉන් ප්‍රබෝධය ලබන්නේද නොලබන්නේද යන්නය ඇති
ගැටළුව.
ඈත කඳු
වැටි...සීත ගඟුළැලි.... ගං හෝ වැව් පොකුණු.... කෙත් වැටි වන පියස්..... හේන්
කොරටු..... වෙරළ...වැල්ල..... ඈත දියඹ.... මේ සියල්ල.
මෙහි ඇත්තේ
ඉන් එක් ප්‍රබෝධක ප්‍රතිචාරයකි. එනම් වැවෙන් පහළ කුඹුරු යායේ ඇති පීදෙන නිල්
ගොයමය. එහි සිරිය උදාර නොවන්නේද? පීදෙන ගොයමෙහි වන උදාරත්වය ලක් දූ පුතුන් ගේ නෙත සිත් නොපිනවයිද?
එවන් සිරි
අසිරි පිරි ජාතිය ජයගත් ජාතියක් වෙයි. ඒ ජය සියළු ජයග්‍රහණ අතරේ උදාරවත් ය.
එවන්
අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ
කැළුම් වරදෝතිය පිනින් උදාරයි
ගීතය අසමු.
ඉහත ගීතය ද
නැවත වරක් අමරදේවයන් විසින් සංගීතවත් කොට ගයනු
ලැබ ඇත. එම ගීතයේ රචකයා කවුරුන්ද? අරුමය නම් පෙර ගී වල සේම ඩෝල්ටන් අල්විස් කිවිවරයාණන්
ම වීමය.
මේ විදිහට
එකකට එකක් නොපරදින තමන්ගේම නිර්මාණ රැසක හිමි කරුවෙක් වීමට හේ කුමන භාග්‍යවන්තයෙක්ද?
මේ කවි කොතරම් උදාරද? එවන් කවියෙක් කොතරම් උදාරද?
උඩඟු
ලියන් ගොතා බඳින
නීල
වරළ සරසන්නට
මා
පිපුනේ නැත
මේ
දෙරණේ.....
නන්දා
මාලිනිය ගයන මේ ගීය නොදන්නේ කවුරුන්ද? මේ ගීයට සමහරුන් තුළ ඇත්තේ
කැමැත්තකි. සමහරුන් තුළ ඇත්තේ කැමැත්තට එහා ගිය භක්තියකි. මේ භක්තිවන්ත බව මුදුන් පෙත්තට
පිවිසුනු කාලයක්ද අපට තිබුණි. ඒ එදා ගීය ලියූ කාලයේ නොවේ. ගීය ලියා දශක කිහිපයකට
පසුව ය. ඒ සිදුවීම් වලට වඩාත් සංවේදී අයට මේ ගීතයේ දැනීම වැඩිය.
උඩඟු
ලියන් ගොතා බඳින
නීල
වරළ සරසන්නට
මා
පිපුනේ නැත
මේ
දෙරණේ.....
මේ මලක
පැතුමයි.
නැත.. මලක පරම
පැතුමයි.
කුමක්ද ඒ පරම
පැතුම....
මල් පිපෙන්නේ
කුමකට දැයි පිපුණු මල් නොදනී. මල් පිපෙන්නේ කුමකට දැයි මල් හිමිකරුවන්ද නොදනී.
එහෙත් සමහර මල් තමන් පිපෙන්නේ යම් අරමුණකින් බව දනී. මේ එවන් මලකි.
මෙහි මලක් සිය
පරම පැතුම පළ කරණා මෙන් ගීතවත් වුවද මේ මලක පැතුමම නොවන බව මගේ හැඟීමයි. මේ දේශයට
ජාතියට සැබෑ හිතැති කවියෙකුගේ හද පිරි පැතුමයි.
සියළු දැයේ
දරුවන්ගේ පැතුම විය යුතු පැතුමයි.
මේ මලේ ප්‍රාර්ථනය
දෙසට නැවත හැරුණොත්, ඈ පිපුණේ උඩඟු අහංකාර ලියක සතු, පෙනුමෙන් හැඩැති පිරිසිදු,
එහෙත්, හැබැහින් කැත අපිරිසිදු කෙස් කළඹක් සරසන්නට නොව වෙනත් උතුම් පැතුමක් සහිතව
වන බවය.
හිස්
මිනිසුන් කුස් පුරවන
සිත්
පිනවන බස් දොඩවන
බොජුන්
මේස මත
සුවඳ
හලන්නට
මා
පිපුණේ නැත
මේ
දෙරණේ....
මේ මලේ ප්‍රාර්ථනය
දෙසට නැවත හැරුණොත්, ඈ පිපුණේ හඬින්
ගම්භීර, අර්ථවත් සේ පෙනෙන, එහෙත්,
හැබැහින් හඬෙහි ඇති ගම්භීරත්වය සිත්හි නැති, සුනරුත්
වදන් හිස් අහසට මුසු කරණ, අමන දනන් කා බී තුටුවන මේස සරනසන්නට නොව වෙනත් උතුම්
පැතුමක් සහිතව වන බවය.
ඒ උතුම් පැතුම
කුමක්ද?
රට
වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ
විරුවෙකුගේ අවසන් ගමනට
යන
මහ ජනතා පා දුහුවිල්ලෙන්
තැලී
වෙලී සැනහී මිය යන්නෙම්
මගේ
පරම පැතුම එයයි
එමගට
මා විසි කරන්න...
මේ ගීතයේද
රචකයා වන්නේ ඩෝල්ටන් අල්විස් ය.
ඩෝල්ටන් අල්විස් මලක
පැතුම යැයි කියමින් නන්දා මාලිනියගේ හඬින්
කියනුයේ සිය පැතුම නොවනවා කියා කියන්නේ කෙසේද?
උතුම්
කවියෙකුගේ පැතුම මිනිසුන් සහ සිය රට දැයේ රැකවරණය අභිවෘද්ධිය දෙසටය.
මේ දීර්ඝ
පිවිසුමේ යම් පොදු සාධකයක් ඔබට හඳුනා ගත හැකිය. ඒ අනෙකක් නොව ඩෝල්ටන් අල්විස් යන පොදු සාධකයය. ඩෝල්ටන් අල්විස්
නිසා මතුවන වෙනත් සාධකයන් සමහරක් මේ ගී වලට පොදුව ඇති අයුරද අපට පසුව පෙනෙයි.
ඒ දිගු
පිවිසුමේ සිට ඉදිරියට ලියැවෙන දිගු සටහන් වල හමුවන්නේ ඩෝල්ටන්
අල්විස් කවියා කවියෙන් පෑ විකුමන් ය.
රට දැය පිළිබඳ
අනුපමේය බැතියෙන් ලියූ ගී කිහිපයක් පිළිබඳව කතා බහ කොට ශ්‍රවණය කළ හෙයින් අපි ඒ
දැහැනින් මිදී වෙනත් ඉසවුවක් වෙත යා යුතු යැයි යෝජනා කරමි. එහෙත් ඒ අර දැහැනින්
මිදී මිස ඒ දැහැන කඩා බිඳ නොවිය යුතුය. එබැවින් ඒ රසයටම මුසු වන ගී කිහිපයක් අපි
ඔහුගේ ගී පොකුරෙන් සොයා ගණිමු.
අමරදේවයන්ගේ මේ ගීය
ඊට මොනවට ගැලපෙනු ඇත.
රන්
දහදිය බිංදු බිංදු
ඉසුරු
සුවඳ රැන්ඳු රැන්ඳු
ගතිනි
හලා
ගයමු
රන් ගොයමේ සිංදු සිංදු
රන්
ගොයමේ සිංදු සිංදු
මේ රට දැය ගැන
නොවුණාට, රටේ දැයේ අසිරිය ගැන ය. එහි වැසියන් ගැනය.
අපේ රටේ
ජීවනාලිය ගොවියාය ගොවි තැනය යන්න අදටද එතරම් වෙනසක් නොවී භාවිතා කළ හැකි යෙදුමක්
නොවන්නේද? මේ ඒ ගෙවි ලියක් ගැනය.
ඇගේ වෙහෙසුනු
ගතේ නැගෙන දහදිය බිඳු නිකන්ම දහදිය බිඳු සේ කීමට ඔහු දිව නොනැමෙයි. එබැවිනි රන්
දහදිය බිංදු යැයි කියනුයේ. වෙහෙසුනු ගතින් නැගෙන දාදිය බිඳු වල ඇත්තේ සුවඳකැයි ඔහු
සිතයි.
ඒ සුවඳ
කුමක්ද? ඒ ඉසුරු සුවඳයි. රටේ ඉසුර සරි වන්නේ ඒ දහදිය මත බව කවියා දන්නා බැවිනි. ඒ
දහදිය ගතින් හලා යමක් කිරීමට ඔහු යෝජනා කරයි. ඒ රන් ගොයමේ සිංදු කීමට ය. ඒ අනෙකක්
නොව රන් දහදිය බිඳු හලමින්, රන් ගොවිතැනේ යෙදීම ම ය.
දෑතේ
රන් වළලු දඟේ
ගෙල
බැඳි රන් මාල අගේ
රන්
ගොයමේ නෙළන නගේ
සිරියාවයි
රටට මගේ
ඈ ගෙල බැඳි
මාල අගිස්සද ඈ දෑත බැඳි වළලු පොකුරද දඟ කරයි. ඒ අනෙක් දඟයක් නිසා නොවෙයි. ගොයම් නෙළනා
ඇගේ ගතේ දෑතේ චලනය නිසාවෙනි. මෙලෙස රන් ගොයමේ නෙළීමේ කාර්යයේ නියැලී සිටන ඇය මුළු
මහත් රටටම සිරියාවකි. පිරියාවකි.
බුලතේ
රත දුටිමි තොලේ
මට
නොවෙදෝ මුකුළු කළේ
රන්
ගොයමේ නෙලන කලේ
මන
බැඳුනා පබළු වැලේ
ඈ දෙතොල් රත්
පැහැය. කලාතුරකින්, නෙළුමේදී විටක් සැපූ නිසා විය හැකිය. නොඑසේ නම් ඇගේ සොඳුරු රූ
සපුවට ලැබුණු ස්වභාවික අබරණයක් වන බැවින් විය හැකිය.
නෙළුමේ යෙදෙන
විට හිත ගත නෙළුම දෙසටම වුව ඇස වෙනතක යන අවස්ථා නැත්තේ නොවේ. එවන් විට සිත බැඳි
යෞවනයෙකු දකින විට මුකුළු සිනාවක් නොපානවාද නොවේ.
ඔහු සිත ඈ
පැහැර ගනී. ඒ කුමන දේ නිසාද? බොහෝ දේ නිසා විය හැකිය. එහෙත් ඔහු සංයමෙන් එය කියයි.
ඒ ඈ පැළඳි පබළු වැල කෙරෙහිය.
අපි තව ටිකක්
හිතුවොත් ගෙල පහළින් පිනි බිඳු සේ පිපුණු දහදිය මාලයට විය හැකිය.
නැමී නෙළන ඇගේ
යන්තමින් දිස්වෙන තුණු හසඟනන් දැක විය හැකිය.
එහෙත් ගීතයේ
රචක ඩෝල්ටන් අල්විස් කවියා
එතරම් දුර නොයෑමට ප්‍රවේසම් වෙයි.
රන්
දහදිය බිංදු බිංදු ගීතය අසමු.
අමරදේවයන්ම ගයන මේ
ගීතය බලන්න.
මේවා එකිනෙකින් වෙනස් වුව එකිනෙකට සමාන වන්නේත් නොවේද?
රන්
වන් කෙත නෙලන ලියේ
රන්
ගෝමර පැළදි ලියේ
පෙර ගීතයේ සේම
මේ ගීතයේද කතා නායිකාව කෙතක නෙලන ලියකි. ඇය නෙලන්නේ කුමන කෙතකද?
රන් වන්
කෙතකි.
ඇය කුමන
ළඳක්ද?
රන් ගෝමර
පැළඳි ළඳකි.
එබැවින් අයට
රන් වන් ළඳක් කීවද වරදක් නොවෙයි.
රනේ
රුවට රන් ගොයම නෙලන්නේ
ලියේ
මහිම රන් උවන දිලෙන්නේ
ඉනේ
සේල රන් චාමර වැන්නේ
අනෙ
ළඳුනි ඇයි පිටුපා යන්නේ
ඈ නෙළන්නේ රන්
වන් රුවැති ගොයමයි. ඒ රන් ගොයම නෙලන ලියගේ වරුණ නම්, ඇගේ වත රන් වන් වීමයි. ඈ ඉන
ඇඳි සේලය ද රන්වන්ය. ඈ සැබෑ රන් සේල නොඇඳියේ වුව කවියාට ඈ කෙතේ නෙලන වෙලාවේ ඈ වන්
රන් ළඳක් නොමැත. මේ රන් ළඳ පිටුපා යනු දැක තැවෙන තරුණෙක්ද මෙහි සිටී. ඔහු සිත
වැලපෙයි.
අනේ
ළඳුනි ඇයි පිටුපා යන්නේ
මේ ඔහුගේ සිත්හි
වන වැලපුමයි. නොපළ වැලපුමේ ඇත්තේ අදිසි අයැදුමකි.
අනේ ළඳුනි ඇයි
පිටුපා යන්නේ යැයි විමසමින් ඔහු තැවෙන්නේ කුමන හේතුවකට දැයි ඈ සිත අන්තිම තිතට
කියෙව්වේ නම් ඔහුට වැටහෙනු ඇත. එහෙත් පෙමක් අයැදින පෙම්වතුන් නිබඳ සිටිනුයේ චංචල
සිතැතිවය. ඒ චංචල බව නිරර්ථකය. එදේ නිරර්ථක ඇයි? මේ බලන්න.
චන්දන
මල් නිල් වරලේ ගවසා
බැන්ද
මහිම ඔබට නේද
අංජන
දුල් රන් තිලකේ දවටා
බැන්ද
මහිම ඔබට නේද
ඈ කියනා කල අර
වැනි චංචල සිතුවිලි නිරර්ථක නොවන්නේද?
මලේ
මුකුළු වන බමරිඳු දන්නේ
සඳේ
මුකුළු පෙති කුමුදු දකින්නේ
වතේ
කැල්ම මා නෙතු බැඳලන්නේ
හිතේ
ඇල්ම නැත ඔබ හැර යන්නේ...
මලේ මුකුළුව
දන්නේ නිබඳ මල් වටා රඟදෙන බඹරිඳුන් පමණි.
රෑ සඳේ මුකුළු
දකින්නේ දිවා කල පිපෙන පියුමන් නොව රෑ කල පිපෙන කුමුදු මල් පමණි.
ඈ වතේ ඇති
සොඳුරු බව ඇරියුම් සහගත බව දන්නේ අන් අය නොව ඈ පිළිබඳව සිතන ඔහුම පමණි.
රන්
වන් කෙත නෙලන ලියේ
රන්
ගෝමර පැළදි ලියේ ගීතය අසමු.
කොමළ ළඳුන්
වැනුමට ඔහු ලියූ ගී කිහිපයකි. එකිනෙකට වෙනස් වන්නා වූ මේ ගී කොමළ ළඳුන් සේ ම
මිහිරිය.
ඔහුගේ පද
රචනාවන් ගත් විට ඉතා මට සිලිටි බසකින් ඒවා ලියැවී ඇති බව පෙනී යයි. ව්‍යක්ත බස්
වහරකි එය.
උසස් සාහිත්‍යෙයන්ද,
පැරණි ගැමි සාහිත්‍යෙයන්ද උකහා ගත් මේ බස් වහරින් ඔහු මවන මැවුම් සුන්දරය. ඒවා තුළ
ඇති දේ බොහෝ විට අසන්නට නොවේ. දකින්නටය. නොඑසේ නම් ඒවා අසන විට දකින්නට හැකි වෙයි.
ඒවා දෘශ්‍ය රචනාවන් සේ හැඳින්වීම මේ අනුව නිවැරදියැයි සිතමි.
මේ ද එවන්ම
රචනාවකි. ඒ රචනාවන්ගෙන් නිමැවුනු ගීත නොඇසුවේ වුව රචනය කියවූ සැනින් මැවෙන්නේ
ජවනිකාවකි. සිද්ධි සමුදායකි.
රං
ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි
වළලු සල සලා
කොමළ
ළන්දු ගයන සින්දු
සවන
පිනන අම මෙනා
රන් යන වදන ඔහුගේ
ගී වලට වෙසෙසින් යොදා ගෙන ඇති වල ඒවා විමසන විට පෙනී යයි. එක් එක් ගීත රචකයින්ට
සුවිශේෂ වුණු මෙවන් වදන් ඇත. එහෙත් ඒ කිසිදු තැනක ඒවා නැවුම් බවකින් තොරව
නොයෙදෙයි. රුචි, හුරු එකම වචනය වුව ඔහු භාවිතා කරණ තැන සහ විදිහ අනුව එය යෙදෙන්නේ
නැවුම් හැඩයකටය. එය රචකයාගේ ව්‍යක්ත බවයි.
ඉහත ගීතයේ ගිරි ගිරි, ගිගිරි
ගිගිරි ආදී වශයෙන් වන වචන පුනර්රුච්ඡාරණය වුව එය ගීතයට ආලෝකයක් මිස ගීතයට
හානියක් වී නොමැති බව වැටහෙනු ඇත.
රං ගිගිරි
සලමින් වයමින් ගයන කොමළ ළඳුන් සේ ම කොමළ ළඳුන් ගයන ගීතද අමයුරු ය. වඩාත් සරලව
කිව්වොත් අමෘතය සේ මධුර ය.
ඔහු ඔවුනගේ
සුරූපී මුහුණු වර්ණනා කරන කෙටි සරල ඉහළ විදිහ බලන්න.
ලවන
හසින සරසලා
එමල්
පියලි බිම හෙලා.....
ඔවුනගේ පිය
මුහුණු සිනාවෙන් සරසා ඇත. ඒ අන් සිනා නොව රන් සිනා ය. ඒ සිනා මල් අවට ගවසා ඇත.
කණේ
තෝඩු එරං තෝඩු
සැලෙන
ලෙලෙන එරං තෝඩු
ඉනේ
ඇන්ද දේදුනු සළු
රුවිනි
සල සලා
කොමළ
ළන්දු ගයන සිංදු
සවන
පිනන අම මෙනා
වරළ
මලින් සරසලා
එමල්
පියලි බිම හෙලා
ඔවුනගේ තෝඩු
මොන ලෝහෙන් සැදුවා දැයි ඔහු නොදනී. කුමන ලෝහෙන් සැදුවද ඒ වා රන් තෝඩු ය. ඇඳ ඇත්තේ
සමහර විට පැරණි චීත්ත රෙදි වන්නට පුළුවන්. අළුත් ම අළුත් රෙදි පෙරෙදි හැඳ නෙළන්නට
යන්නේ එවන් උත්සවයකට යන රජුන්, පාලකයින් පමණක් විය යුතුය. එහෙත් ඔහු දකින්නේ මේ
නෙලන ළඳුන් දේදුන්නෙන් වියූ සළු ඇඳ ඇති සේය. එවන් රුවිනාර ළඳුන්ය සොඳුරු ගී
ගයන්නේ.
රන්
ගිරි ගිරි ගිගිරි ගිගිරි ගීතය අසමු.
ඩෝල්ටන්
අල්විසුන් ගේ ගී ගැන මේ අසම්පූර්ණ සටහනකි. එය කෙසේ ලීවත් සම්පූර්ණ
සටහනක් කිරීමට මා හට හැකි වේ දැයි සැක සහිත මුත් ඉදිරි කොටස් කිහිපයකින් ම ඔහුගේ
ගී ඔස්සේ ඔබට කතා කිරීමට මම උත්සුක වෙමි. හෙට දිනෙක යළි හමුවන තෙක් මෙම කොටසට විරාමයක්
තබමි.
අගනා වටිනා විවරණයක් ස්තුතියි ඔබට. මතකද කාලයක එක්තරා ජන නායකයෙක් ලිව්වැයි පතල වු ගිතයක් ගැන ඇත්ත පත්තරේ බී ඒ සිරිවර්ධන සූරින් කතු වැකියක් ලිව්වා. සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්ය කියලා.... ඒ වැකියේ ඇත්තේ පුදුමාකාර උපහාසයක්
ReplyDeleteඔව්....
Deleteසිරිලාල් කොඩිකාර මහතා ඒ පිළිබඳව කෙටි කවියකුත් ලිව්වා.මට මතක හැටියට රංචාගොඩ ළමයා යටතේ.
ආර්. ප්‍රේමදාස හිටපු ජනපති ලිව්වාය කියන ගීයක්නේ ඔය.
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ ආදී වශයෙන්. ඉතින් මෙය ලියුවේ තමන් බව දිනක් මධු විතකින් සප්පායම්ව සිටි ඩෝල්ටන් අල්විසුන් අතින් කියැවී තිබෙනවා. අනතුරුව සිරිලාල් කොඩිකාරයන් විසින් ලියා පළ කළැයි කියන කවිය මෙසේයි.
දා ගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලිව්වෙත් ඩෝල්ටන්
නඟුලෙන් එදා වැඩ කෙරුවෙත් ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්...
මේ ගැන ඊ ළඟ කොටසක ලියන අදහසින් තමයි හිටියේ....
සෑහෙන්න වටින අදහස් ගොන්නක්...
ReplyDeleteඅපූරු ,මිල කල නොහැකි ලිපියක්.ඔබට බොහොම ස්තුතියි.ඒ වගේම මා අසා තිබෙනවා "එගොඩහ යන්නෝ " ගීය ගැන රහ කතාවක්.එහි ඔහු තොටියෙකුට උපමා කරන්නේ අපේ "ගෞතම බුදුන් වහන්සේ" උන්වහන්සේ කතා කරනවලු මේ සංසාරය නමැති ගඟ හරි චන්ඩයි.එගොඩට යන මාවත මා දන්නවා.තව කවුද එගොඩහ යන්න එන්නේ කියල.... රසවත් කතාව ඔහු මඩු විතින් සප්පයම්ව සිටි වෙලාවක ඔහු ඔහුගේ පුතනුවන් ගෙන් අහනවලු මේ ගීයේ ව්‍යංගාරථය ... ඔවුන් එය තොටියෙක් ගැන බව කී විට තමයි මේ ඔහුගේ ගීයේ යටි පෙළ ඔහු කියා තිබෙන්නේ.මෙය මමත් ඇසු කතාවක්.පසුව ඩෝල්ටන් පුත් ගයා රම්‍ය මහතාගෙන් මා මෙහි සත්‍ය බව ඇසු විට ඔහු එය සනාථ කළා. ඉතින් ඔහු වැනි පරිකල්පනයකින් හෙබි උත්තම පද රචකයෙක් ගැන කොහොම ලියල ඉවර කරන්නද ඇත්තට...? ඔබට නැවතත් තුති ඩොක්ටර්...
ReplyDeleteඔබ මා පියාණන් ගේ නිර්මාණ පිළිබඳව කළ විවරණය සෞම්‍ය ප්‍රබුද්ධ එකකි.එහි එම ගී. පිළිබඳව ඔබ දක්වන විවරණයන් ගෙන් මපියාණන් සැබැවින්ම රට ජාතිය පිළිබඳව දැක්වූ ගැඹුරු ආකල්පය ස්පර්ෂ වන බව මගේ වැටහීමයි. එතුමා ලියූ ගීත බොහොමයකට නිධන් වූ කරුනු මෙන්ම ගීත එලි දැක්වීමෙන් පසු ලද ප්‍රතිචාරයන් මගින් හෙලිවන අපූරු සමාජ දේශපාලනික හෙලිදරව් වීම් ද බොහොමයකි. ඒ පිළිබඳව විධිමත් ව ලියා පලකරන්නට මම අදහස් කරගෙන සිටිමි. විවේක බුද්ධිනේ තොර ව තරග වදින සමාජයක මෙවන් ( මපියාණන් ගේ ගීත පමණක් නොව) ගීත පිළිබඳව සියුම්ව විමසා ලියා පලකිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසා කටයුතුය. ඔබට සුබ පතමි.
ReplyDeleteගයා රම්‍ය අල්විස්
පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීගේ "පුෂ්ප් කි අභිලාෂා" 1922 කවිය සහ පී.බී. අල්විස් පෙරේරාගේ "මලක් කතා කරයි" 1944 අනුවර්තන කවියේ ආභාස ඩෝල්ටන් අල්විස්ගේ "උඩඟු ලියන් ගොතා බඳින" 1966 ගී පද රචනයට දායක වුනු අන්දම ගැන විමසුමක්
ReplyDeletehttps://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A_%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93_%22%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A_%E0%B6%9A%E0%B7%92_%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%22_1922_/_%E0%B6%B4%E0%B7%93.%E0%B6%B6%E0%B7%93._%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A_%22%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A_%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F_%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%22_1944_/_%E0%B6%A9%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A_%E2%80%9C%E0%B6%8B%E0%B6%A9%E0%B6%9F%E0%B7%94_%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%22_1966