Friday, March 27, 2020

මාර්ග කිහිපයක් ඔස්සේ - COVID - 19 - 3



රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක හමුදාව කිසිවක් නොදැන වැඩ කරණවා. දන්නා අපි ඔවුනට සියළු දේ ගැන කියා දිය යුතුයි වගේ තමයි ගෙදරට වෙලා ආරක්ෂා වෙලා ඉන්න සමාජ මාධ්‍ය ජාලවල අකුරු කොටන බොහෝ අයගේ අදහස් විදිහට  පෙනෙන්නේ.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වුණේ රට ලොක් ඩවුන් කරන්න කියා රෝගය ගැන දැනගත් වහාම. නැති නම් පළමු රෝගියා හමුවූ වහාම.

එය කිරීමෙන් රෝගය වලක්වාගත් රටවල් අරවාය. මේවාය. ඒ නායකයින් එසේ කර සිය රට ජාතිය ගලවා ගත්තාය. අප රට එසේ නොකිරීමෙන් අනතුරක හෙළුවාය. ආදී වශයෙන් බොහෝ කතාය. ( ගලවා ගත් බව කියන එවන් රටවල්

මේ කතා වල ඇත්ත තත්ත්වය කුමක්ද? මේ කතා කියන අයගේ ඇත්ත තත්ත්වය කුමක්ද?

මේ සමහර අය එසේ කියන්නේ නොකළ දේ කියන අදහසිනි. එනම් රජය සහ මේ සම්බන්ධව වැඩ කරණ බොහෝ අය ගන්නා පියවරයන්ගේ සාර්ථකත්වය නොකතා ඔවුන් නොකළ යම් දෙයක් කියමින් විවේචනය කරන්නන්ය. එහි අරමුණු දෙකකි. එකක් නම් හුදු පාණ්ඩිත්‍යය කියාපෑමය. තමන් ක්ෂේත්‍රය කුමක්ද ඒ සියළු ක්ෂේත්‍රවල වෙසෙස දැණුම් සමභාරයකින් යුක්තය වැනි අදහසක් අනෙකා තුළ පැටවීමටය. මෙය අසන කියවන අනෙකාස ඒ කතාවේ යම් යම් තැන් පිලිගණිමින් තමන්ගේ සංශෝධන එකතු කරන්නේ තමන්ද එහි මනා දැණුමින් හෙබි අයෙකු සේය. තමන් මෙය කළේ නම් මිස මේ කරණ අය කළොත් නම් වැඩේ හබක් ය වැනි අදහසකි ඒ තුළ ඇත්තේ.

අනෙක නම් විවිධ දේශපාලන වාසි ලබා ලැනීමේ අරමුණින් යම් දේශපාලන පක්ෂයකට බලවේගයකට සමීප අයවලුන් ය.

සමහරුන් තමන් යමක් කොතැනකින් හෝ අස්නනේද කියවන්නේද එය එකම හරිම ක්‍රමයය කියා හිතන ඉන් එහා ඒ පිළිබඳ හැදෑරීමක් නැති අයය. මේ බොහෝ අය මෙරට දේ ගැන අගය නොකරණ විශ්වාස නොකරණ විදෙස් රටක් කළේද ඒ ගැන අගය කරණ විශ්වාස කරණ අයය.

මේ හැර මෙහි ( රෝගයේ ) හැසිරීම් රටාව ක්‍රියා කලාපය නොදන්නා, නමුත් මෙහි යහපතක් වේය යන අදහසින් ලියන්නන්ය.

මේ වෙලාව මේ අය කවුරුන්ද යන්න මීට වඩා දිගට විග්‍රහ කරන්නට වේලාව නොවේ.
රෝගය ලෝකයේ පැතිරේ. වඩ වඩා.් වේගයෙන් පැතිරේ.

සමහර රටවල වසංගතයක් ලෙසද, සමහර රටවල අධිවසංගතයක් ලෙසද පැතිරේ.

ලෝකය පුරා පවතින වසංගතයකදී එය රටකින් රටකට ඇතුළුවීම පාලනය කිරීම ලැප්ටොප් එකකින් ෆේස් බුක් එකේ අදහස් ලියනවා තරම් පහසු එකක් නොවේ. එහෙත් බොහෝ දෙනා එය ඊටත් වඩා පහසු දෙයක් සේ හිතනවාද යන්න මට ඇති කුකුසයි. මේ රෝගය රටට ුැතුළු විය හැකි ක්‍රම මොනවාද? කොරෝනා නම්, දැනට දන්නා තොරතුරු අනුව රෝගියෙකුගේ ඇතුළුවීමක් සමගය. එහෙත් අදාල කාලය තුළ ළඟවන ජීවානුහරණය නොකළ පෘෂ්ඨයත් මකත වැටුණු රෝගියෙකුගේ බිඳිති මගින්ද එසේ වීමේ අවදානමක් ඇත. එහෙත් අප මෙහි යම් යම් තීරණ ගත්තේ රෝගියෙකු හමුවන අවස්ථාවට සාපේක්ෂවය.

රෝගීන් ඇතුළු වන්නේ චීන්නුන්ගෙන් පමණි වැනි අදහසක් තමයි අප හට මුළින්ම තිබුණේ. මේ අදහසට හේතු බොහෝ විය. 

පළමු හේතුව එය චීනයේ වූහාන් වලින් ඇරඹීමයි. දෙවැන්න අපි චීනය සමගින් සමීපව ගනුදෙනු කරණ රටක් වීමයි. මේ නිසා චීන්නුනන් මෙහි නිතර ගැවසෙන බැවින් ඔවුන් රෝගය රැගෙන එනු ඇතැයි විශාල සැකයක් තිබීම.

ඊ ළඟ ප්‍රබලම කරුණ වන්නේ මෙරටින් හමු වුණු පළමු රෝගියා චීන ජාතික කතක් වීම.
ඊ ළඟට හේතු වුණු තවත් විශේෂම හේතුවක් වූයේ අප රට රටත් වශයෙන් දේශපාලිනිකව බෙදී සිටීමයි. චීනය රාජපක්ෂවරුන්ට උදව් කළේය යන අදහසින් චීනයේ සකලවිධ දේට එරෙහි විශාල ජනතාවක් මෙහි වාසය කිරීමත්, ඔවුන් කොන්දේසි විරහිතව චීන්නුන් හා නයි වෛරයෙන් පැවිතීමත්ය.

මේ සටහනට අදාල නොවනුණත් අදාල නොවන්නෙත් නොවන බැවින් මේ බෙදීම ගැන තවත් යමක් කෙටියෙන් හෝ ලිවිය යුතුයැයි සිතමි. අපට රටට වඩා මේ දේශපාලනික බෙදීව මූලිකය. මා එසේ කියන්නේ ඇයි?

මේ දේශපාලනික් බෙදීම නිසා සමහරුන්ට රටට වඩා එක සිය දේශපාලනයයි. යුද්ධය උත්සන්නව පැවැති සමයයි එය වඩාත් ප්‍රකට වන අවස්ථාවක් වූයේ. යුද්ධයේ ජයග්‍රහණය සිය දේශපාලන බලවේගය තවත් බොහෝ කලක් බලය රහිතව තබාවිය යන අදහස ඇති ඒ සමහරුන් කොයි මොහොතේ හෝ ප්‍රභාකරන්ට යෝඡ බල යෝධ වෙර ලැබී ප්‍රති ප්‍රහාර එල්ල කරමින් හමුදා සාමාජිකයන් දස දහස් ගණනින් මරා දමමින් යළි බලය තහවුරු කර ගනිත්වාය යන පැතුමිනි සිටියේ.

මෙන්න මේ අදහසින් සිටින පිරිසක් මේ කෝවිඩ් - 19 උවදුර හමුවේද සිටින බව යම් යම් අදහස් උදහස් හා හැසිරීම් වලන් ඔබට නොදැනෙනවා නොවිය යුතුය.

ඉතින් ඒ ගැන ඇති.

කෙසේ වෙතත්, චීන්නුන්ගෙන් රෝගය පැතිරී එයින් ආණ්ඩුවටද කෙළ වේවාය යන සමහරුන් තුණ පැවැති කුරිරු අදහස ඔසවා පොලොවේ ගමන තත්ත්වයකට පත් කරමින් අපට රෝගය සෑදෙන්නට ගන්නේ අපේම අය පිරිසකගෙනි. ඒ විශේෂයෙන් ඉතාලියේ සිට රෝගය සාදාගෙන දැන හා නොදැන පැමිණි අපේම පිරිසකගෙනි. ඔවුන් තුළ ප්‍රකට වූ දැඩි වගකීම් විරහිත බව නොවන්නට ඔවුන් රෝගී වී පැමිණීම අපට අනතුරක් නොවන්නට තිබුණි. මක් නිසාද යත් ඔවුන් එවිට අපට හමු වන්නේ අප ළග සිටින අතරේදීය. එවිට වෙන්කොට තැබීම, පරීක්ෂා කිරීම සහ සුව කොට සමාජයට ආරක්ෂාකාරී පුද්ගලයෙක් ලෙස යළි එකතු කිරීම සාර්ථකව කළ හැකි බැවිනි. එවිට රෝගය සමාජය තුළ සංසරණය වන ඉඩ ඇහිරෙන බැවිනි.

දැන් මේ මූලික හැඳින්වීමත් සමග මේ රෝගය යම් යම් තත්ත්ව යටතේ හැසිරෙන ආකාරය ගැන උපකල්පන ටිකක් කරමු.

රෝගය තිබෙන බව දැන් ගත් සැනින් හා නැති නම් පළමු රෝගියා මෙරටින් හඳුනා ගත් සැනින් ඔය කිටන ෂට් ඩවුන්, ලොක් ඩවුන් රවා මේවා කළා කියමු. එවිට ඉල් පසු රෝගය සාදාගෙන ආ කිසිවෙක් නිසි මාර්ගයකින් ලංකාවට එන්නේ නැත.

දැන් ගුවන් තොට වසා ඇත. වරාය වසා ඇත. සියයට අනූවක් රට අකර්මණ්‍යය. රෝගීන් රට තුළ නැත.

වත්ත තුළ රෝගීන් නැති වුව, වැට අයින වටේටම, ගේට්ටුව අසල පිටතින් රෝගීන් ඇති පදමිනි.

අපි කොයි කාලයක් මේ ගේට්ටු වසා වැට ආරක්ෂා කරන්නද? ලොව කිසියම් රටක එන්නත්ක් නිදපදවා එය අපටද ලැබී සමස්ථ ජනගහණයෙන් අති විශාල ප්‍රමාණයකට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් සිදුවන තෙක්, අර ගේට්ටු හැරිය ඕනෑම වෙලාවක රෝගියෙක් අප රටට ආවොත් වසංගතයක් ලෙස රෝගය පැතිරේ. මක් නිසාද යත් සමාජය තුළ ඊට කිසිදු ප්‍රතිරොධීතාවක් හෙවත් සමාජ ප්‍රතිශක්තියක් නැති බැවිනි.

අර කීවාක් වැනි එන්නතක් කවදා සාදන ඇතිද, එය අප රටට එන විට කමණ කාලයක් ගතවනු ඇතිද? ආවත් ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙලක් සාදා මා කී ලෙස සමාජයම එන්නත් කිරීමට කොයි තරම් කාලයක්, මුදලක් වැය වනු ඇතිද?  ඒ සඳහා අප ශක්තිමත්ද?

මේ ගැටළු වලට පිලිතුරු ලැබෙන තෙක් අප කුමක් කළ යුතුද?

ඊ ළඟ රටාව නම් රෝගය රටට ඇතුළු වී ඇති බැවින් උපරිම ආරක්ෂිත පිලිවෙලක් ක්‍රියාත්මක වේ නම් රොගය අපේ සෞඛ්‍ය අංශ වලට දරන්නට හැකි මට්ටමින් සෙමෙන් සංචරණය වන සේ පාලනය කර ගැනීමය. එවිට රෝගීන් සංඛ්‍යාව අඩු අංක වලින් දවසින් දවස වැඩි වනු ඇත. දිනකට 10ක් යැයි අපි සිතමු. එවිට සති දෙකකට 140කි. මේ හා සමගම මුළින් රෝගය සෑදුනු යම් පිරිසක් සුවපත් වී යනු ඇත. ඒ අතරට අලුත් රෝගීන් එකතු වනු ඇත. 
 
 ලංකාවේ තත්ත්වය

මේ තත්ත්වයේදී යම් රෝගී පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇත. දැඩි සත්කාර සේවාවන් අවශ්‍ය වනු ඇත. එහෙත් ඒ පිරිස අප රටේ දැඩි සත්කාර සේවාවන්ගෙන් කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කළ හැකි ප්‍රමාණයට වඩා නොඉක්මවා යා යුතුය. 

මෙහිදී කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කළ හැකි ප්‍රමාණය යනුවෙන් සඳහන් කළේ එම පහසුකම් වලින් සියයට සියයක් කෝවිඩ් රෝගීන් සඳා වෙන් කළ නොහැකි බැවැනි. එසේ කළ හොත් වෙනත් රෝග වලින් අසාධ්‍ය ව දැඩිසත්කාරයන් අවශ්‍ය වන අය එම රෝගවලින් මිය යනු ඇත. මේ නිසා අපට යම් මැද අගයක් පවත්වාගැනීමට සිදුවනු ඇත.
අප එම සංඛ්‍යාව 250-300 වශයෙන් සිතුව හොත් අසාධ්‍ය වන කොවිඩ් රෝගීන් කිසිම අවස්ථාවක එම සංඛ්‍යාව ඉක්මවා නොයා යුතුය.

එවිට දැඩි සත්කාර සේවාවන් අවශ්‍ය පිරිසෙන් ලොකු ප්‍රමාණයක් යළි සුවපත් කරගත හැකි වනු ඇත. මරණ සිදුවේ නම් ඒ ඉතා ස්වල්පයක් පමණි.

මේ රෝගය හෙමින් හෙමින් සෑදෙන විට සමාජ ප්‍රතිශක්තිය ඇති වීම ප්‍රමාදය. එවිට සමාජය තුළින් මෙතෙක් රෝගය සෑදී නැකි අයට ආවරණයක් නොසැලසේ. එබැවි අප කළ යුත්තේ දැඩි වසංගත තත්ත්වයකට පත් නොවී රෝගය අඩු අගයනික් පවත්වාගෙන යමින් සමාජ ප්‍රතිශක්තිය ඇති වන තෙක් රෝගයට යන්නට හැරීමය. එවිට රෝගය පාලනය කර ගැනීමට අප දක්වන දැඩි සීමාවන් සමහර වඅට අවුරුද්දක් පමණ කාලයක් වුව පවත්වා ගතයුතුව ඇත. මා මේ ලිපි මාලාවේ දෙවැනි කොටසින් ඒ ගැන දක්වා ඇත. එබැවින් එම පළමු සහ දෙවැනි ලිපි වලට පිවිසුම් මෙහි අමුණමි.

මේ මට්ටමට පාලනය කරගත නොහැකි වුවත් අතරමැදි පාලනයක් ගෙන ගියොත් රොගය අතරමැද වේගයකින් පැතිරී තරමැදි රෝගීන් සංඛ්‍යාවක් පිහි වේ. යම් යම් අවස්ථාවල මේ නිසා අසාධ්‍ය වන රෝගීන් සංඛ්‍යාව පවකින සෞඛ්‍ය සේවාවේ සීමාවන්ගෙන් එහා තැනක තිබෙන්නට පුළුවන්. එවන් තත්ත්වයක් ඇති වුවහොත් දැඩි සත්කාරයන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාවකට එය නොලැබී යාමෙන් මරණ සංඛ්‍යාව වැඩි විය හැකිය. කෙසේ වෙතත්, දැඩි පාලනයනකට යටත්ව තිබෙන අවස්ථාවට වඩා රෝගය වේගයෙන් පැතිරෙන අතර ඊට සාපේක්ෂව සමාජ ප්‍රතිශක්තියද වර්ධනය වී රෝගයේ වසංගත ස්වභාවය අතරමැද කාලයකදී නිමා වේ.

ඊ ළඟ අවස්ථාව වන්නේ අතිශයන් දුර්වල පාලනයක් පවත්වාගෙන ගියහොත් වන දේය. එයඅ වසානයේ පාලනයක් නැති මට්ටමට වැටෙන අතර මාසයක් දෙකක් වැනි කෙටි කාලයකින් දරන්නට බැරි තරම් රෝගීන් සංඛ්‍යාවක් ලැබී අපගේ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් පවා පවත්වා ගන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇත. එවිට ක්ෂනයකින් රෝගීන් ගණන ඉතා වැඩි වී ඒ සේම මරණ සංඛ්‍යාවද ඉතා වැඩි වේ. දැන් ඉතාලියේ ස්පාඤ්ඤයේ සිදු වන්නේ මෙයයි. එහෙත් මේ ජූලි මාසය අගෝස්තු මාසය වන විට ඔවුන්ගේ වසංගත තත්ත්වය කෙළවර වේ. 

මෙන්න මේ ක්‍රම 4න් අපි ඉන්නේ දැන් රෝගය දැඩිව පාලනය කරගනිමින් මෙහි හෙමින් රෝගය සෑදෙන තත්ත්වයේය. එම පාලනය දැඩිව ගෙන ගියහොත් අඩු රෝගීන් ගණනක් බැගින් වැඩි කාලයක් වසංගත තත්ත්වය පවතින අතර මරණ සංඛ්‍යාව අතිශය අවම මට්ටමක පවත්වා ගත හැකිය. 

ගැටළුව ඇත්තේ මේ පාලනය අපට කොතෙක් කලක් ඒ මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා ජනතා සහයෝගය හිමි වේද යන්නය. එසේ නොමැති වූ සැනින් නැවත දැඩි වසංගතයක් බවට පත්ව අවසනට කී තත්ත්වයට ඇද වැටේ. එසේම වසංගත තත්ත්වය පහව යන්නට ඒ ක්‍රමයේදී දිගු කාලයක් ගත වන බැවින් ආර්ථික බාධක අපහසුකම් විශාල වශයෙන් එළඹෙනු ඇත.

ඉතාලිය, ස්පාඤ්ඤය සහ වෙනත් බටහිර රටවල් වල ක්‍රියා කලාපය දකින විට ඔවුන් හිතාමතාම රෝගය පාලනයකින් තොරව යන්නට හැර ඇතිදැයි සමහරුන් තුළ සැකයක් ඇත. එවිට රෝගය ඉතා විශාල හානියක් කරමින් නමුත් ඉක්මණින් පාලනය වනු ඇත. ඒ රටවල සිටින සමහරු කියන තවත් කතාවක් නම් මේ මිය යන අය ඉතා වැඩි ප්‍රමාණය මහළු වියේ අයවලුන් වන බැවින් ඔවුන් ඒ මරණ සංඛ්‍යාව පිළිබඳව ලොකු තැකීමක් නොකරන්නේද යන්නය. රජයට ඇති බරක් හෑල්ලු වෙන අතරේ ඉක්මණින් රෝගය නිම වීමෙන් සිදුවන ආර්ථික හානිය ඉන් අවම කර ගත හැකිය යන්න ඔවුන් උපකල්පනය කරයි. එහෙත් සිරිලක අප, එැවැනි අයුරකින් රෝගයෙන් ගැලවෙන්නට නොසිතන්නේ එහි ආගමින සංස්කෘතික වටපිටාව නිසාවෙනි. එබැවින් අප අවම මරණ සංඛ්‍යාවක් ඇතිව රෝගය නිම වෙනු දකින ලෙසින් යන දිගු ගමනකි මේ.
ඒ ගමනට ශක්තිය ඉවසීම ලැබේවා!



-      යසනාත් ධම්මික බණ්ඩාර    -

නුඹම සියුමැලි අතින් ගෙන කග - මගේ හදවත සිදුරු කළ සඳ


 Maname and Sinhabahu at Nelum Pokuna: | Buddhist Art News

ජරමර අස්සේ බරකරත්ත වැනි ඇසකින් නොබලා මේ සටහන කියවන්නට සහ එහි යම් රසයක් වේ නම් විඳින්නට මා ඔබට ඇරියුම් කරන්නේ, උවදුරු සමයක වුව, ඒ පීඩනයෙන්ම සිටිය යුතු නොවන බැවිනි. දැඩි මානසික පීඩනයෙන් සිටීමෙන්ද ශාරීරික ප්‍රතිශක්තිය අවප්‍රමාණ විය හැකි බැවින් වරින් වර ඒ පීඩනය දැරූවද මේ පවතින තත්ත්ව යටතේ වුව මෙවන් නිර්මාණ හා සබැඳි අදහස් කියවීමෙන්, ගීත වලට සවන යොමු කිරීමෙන් සහ ඒ මත මනස මෙහෙයවීමෙන් එකී පීඩනයට යම් හෑල්ලුවක් ද දිය යුතුය. දිය හැකිය. එබැවින් මෙවන් සටහනක් මේ මොහොතේ කළාට කම් නැත.

ඇත්තටම මේ සටහන මාද ලියන්නේ රකුසා ගැන මේ බ්ලොග් අඩවියටම ලියන 3වන දිගු සටහන ලියනා අතරමැදමය. මගේ හිසද අවුල්ව ඇත්තේ ඒ අවුල ලිහන්නට මෙය මටද වැදගත් වන බැවිනි.


අචාර්ය නන්දරි කීඹියහෙට්ටි  
දස්කම් දක්වන්නේ සිය ආචාර්ධූරය උසුලන ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොවන බව කවියට පෙම් කරණ රසික පිරිවර හොඳින් දන්නා කරුණකි. ඔහු කවියේ සිය ප්‍රතිභාව මතින් ගීත රචනයටද පිවිස ඇත්තේ දැන් යළිත් ගීත රචකයෙකු සේ සිය ප්‍රතිභාව දක්වන නිර්මාණයක් සමග අප හමුවට පැමිණ ඇත.

ගීත රචකයෙකු සේ ඔහුගේ ප්‍රතිභාව මීට පෙර පෙන්වූ නිර්මාණය ලෙස වඩාත් මගේ සිත් ගත්තේ, 

දිසාපාමොක් ඇදුරු තුමණී
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මගහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

ගීතයයි. 

එය 
Samantha Perera Songs MP3 | Samantha Perera Sinhala Songs ~ songhub.lk 
විශාරද සමන්ත පෙරේරාන්ගේ 
සංගීත නිර්මාණයකින් හැඩ වුණු අතර ගයන ලද්දේ  



විශාරද ශානිකා සුමනසේකර 
විසිනි. 

මගේ මේ යසනාත් සිතුවිලි බ්ලොග් අඩවියේ පළ කරන්නට යෙදුනු අමල්බිසෝ දොර හැරියේ විනාසෙට නම් සටහනේ ගීත කිහිපයක් ගැන දැක්වූ අදහස් අතරේ එදා මම එම ගීතය ගැන මෙසේ සටහනක් තැබුවෙමි.

මේ දේ සිදුවන්නේ කලාවේදී පමණක් නොවේ. අන් බොහෝ තැන වලදීද සිදුවේ. ඒ නිසා මේ ගීතය ඇසීමට සුදුසුම අවස්ථාවේ අන් ගීතයක් අසන්නට සලස්වන්නම මට හිතේ. ඒ ගැන කමත්වා.

ඒ අන් ගීතය ලියා ඇත්තේ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසිනි. එහි සංගීත නිර්මාණ කාර්යය ඉටු කර ඇත්තේ සංගීතවේදී සමන්ත පෙරේරාය. ගීතය ගයන්නේ  විශාරද ගායිකා ශානිකා සුමනසේකර ය.

දිසාපාමොක් ඇදුරු තුමණී
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මගහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

මෙහි කියන්නේ කුමක්ද? මේ සමහර වර්තමාන දිසාපාමොක්ලා තෝරා ගන්නා යම් සිසුවියක් සිය හොඳම සිසුවිය කර ගැනීමට නම් සිසුවියකගෙන් බලා‍පොරොත්තුවෙන කෙසෙල් ඇවරි, කිරි හට්ටි, පැණි මුට්ටි ආදිය ගැන නොවේද?

ඊට වැඩි පැහැදිලිව කිව්වොත් රුවන් පළඳනා ( ගෝල්ඩ් මැඩලයක් ), පළමු පංති සාමාර්ථයක් සඳහා යුවතියක නම් පිදිය යුතු දොළ පිදේනි පිළිබඳවය.

කෙසේ වෙතත් අර ගීත වල, කොළොඹ වේදිකාවේ රඟපෑමේ අවස්ථාවට, වේදිකාවෙන් සිනමාවට වරම් ලැබුමට, සිනමාවේ ප්‍රධාන නිලි භූමිකාවට, ප්‍රධාන නිලි සම්මානයට බඳුන් වීමට දොළ පිදේනි පිදූ සේ මේ සිසුවිය එසේ කර නැත. එබැවින්ම අර පෙර කී පංති සාමාර්ථ රන් පදක්කම් ලැබී ද නැත. එහෙත්, ඇය ඊට වැඩි අගයකින් සැලකූ දෙයක් යළි ගමට යන විටද රැගෙන යයි. ඒ නම් සිය පිරිසිදු කමයි.

මේ විදිහට කිව්වාම කඩු පොලු අරන් එන ඊනියා කලාකරුවන් පිරිසකුත් අද දවසේ ඉන්නට බැරි නැත.

යුවතියකගේ පිරිසිදු කම රැකගන්නවා යනු, ඈ සිය හැඟීම් සිර භාරයට පත් කර අසීරු කාලයක් ගත කරණවාය වැනි අදහසක් දරණ කලාකරු යන නාමය යටතේ වර්ගීකරණයට ලක්වුණු පිරිසක්ද අප අතරේ සිටින බැවිනි. එහෙත්, එසේ නොවන අයගේ අදහසට අනුව නම් ඇය අගය කළ යුතු යුවතියකි. වටිණාකම් රැක ගත් යුවතියකි.

පුරා සූසැට කලාභූෂණ
රන් පදක්කම් දිනා ගෙළ පළඳන්න
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවන් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන්

අය සිය ශිෂ්‍ය කණ්ඩායමේ දක්ෂම යුවතියකි. පළමු පංති සාමාර්ථයක් හිමි විය යුතුම මට්ටමේ යුවතියකි. එහෙත්, හැකියාව විනා, එය ලැබුමට, ඇඳි වත උනා දමන්නට ඇය සූදානම් නැත. එලෙස පංති සාමාර්ථ රන් පදක්කම් දිනා උජාරුවට කළු උපාධි ලෝගුව පැළඳ ගියත්, අකල්හි ඇගෙන් නික්මෙන රුධිරයේ අපකීර්තිමත් පැල්ලම් සිය සිත්හි හොල්මන් කරණු දක්නට ඈ කැමැති නැත. එබැවින් එවන් ගෞරව සාමාර්ථ රහිතව, සිය වටිණා කම් රැකගෙන පිටව යාමයට ඇගේ කැමැත්ත.

උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම් කරණ බව දෙවියන්
දේවතා එළියෙන්

කෙසේ වෙතත්, ඈ සිත ඉපදෙන විසල් පැණයක් නම්, මෙවන් ඇදුරන් මොන හිතකින් මේ දේවල් කරන්නේද යන්නය. එය හරියටම පහන් අතැතිව දොවොලට එන යදියන්ගේ පහන් සොරකම් කරණා දෙවියෙන් වේ නම් එලෙසිනි.

මෙම ගීතයේ මෙය සිදු නොවුණත්, එය සරසවි වල නිතර සිදුවනව දෙයක් බවට පත්ව ඇත. එහෙත්, උසස් සාමාර්ථ ලබන සෑම සිසුවියක්ම එය ලබා ගන්නේ එලෙසිනැයි යන්නද මින් අදහස් නොකෙරේ.

මෙහි රචනය සරසවි ඇදුරිඳු කෙනෙකුගේම වීම සිය පාර්ශ්වයේ ගැටළුවක් දැක එයම විවේචනාත්මකව බැලීමේ හැකියාව සහිත මනසක් සහ කොන්දක් ඔහුට හිමි බව මනාව ප්‍රකට කරන්නකි. එහි සංගීතය හදවත් කම්පා කරවන සුළුය. ගීතය ගයන්නේ එවන් හැඟීම් ගයන්නට වර්තමානයේ සිටින හොඳම හඬක් සහ හැකියාවක් සතු ශානිකා සුමනසේකර ය.

අරුත් බර ගීත ගයන්නට හඬවල් සොයා ගොස් හති වැටී සිටි අයට, ශානිකාගේ හඬ දායකත්වය මහෝගයකි.

අපි ගීතය අසමු.


මේ ගීතයේ කතා තේමාව අප බොහෝ වර ගීත තුළින් රස විඳ ඇති මනමේ කතා වස්තුවය. නමුත් ඔහු එය මෙතෙක් කිසිවෙකු නොදුටු ඇසකින් බලනු දැකිය හැකි වෙයි. එකම නිමිත්ත වුව, බොහෝ කවියන් අතපත් වූ විට අවසන නිමවෙන්නේ විවිධ නිර්මාණයන්ය.

මෙහි යම් අරුමැසි දෙයක්ද වෙයි. එනම් ගීත දෙකම අරඹා ඇත්තේ
දිසාපාමොක් ඇදුරු තුමණී 
යනුවෙනි. එහෙත් එතැන් පටන් ඒ දෙක සැබැවින්ම දෙකක් වෙයි.

කෙසේ වෙතත්, මේ මනමේ කතාව පදනම් වූ බොහෝ නිර්මාණයන් අපට හමුවෙයි. එහෙත් මේ වචන ටිකම යොදා ගෙන ඇරඹූ තවත් ලස්සන ගීතයක මතකය මෙහි ලියා තබමින් අදාල ගීතය වෙත යොමු වෙමි.

දිසාපාමොක් ඇදුරු තුමනි
දුටුව දා සිට මනමේ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි
තක්සලාවෙන් ඉවත යන්නෙමි..

තුරුණු ළැම හස  වැසුණු වරළස
පොතට නොව වෙන අතක යයි සිත
ඇයද කිවිඳුන් කියන සුරලිය
සිතුම් විහඟුන් සොයති නිදහස..

ලියන අටුවා කථා විවරණ
සැලෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යමි
වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට.


උපාලි ධනවලවිතාන  
රචනා කළ මේ ගීතය සංගීතවත්  කරන්නේ  

ප්‍රවීන ශ්‍රෙෂ්ඨ සංගීතවේදී සරත් දසනායකයන්ය
ගයන්නේ 

 
ටී. එම්. ජයරත්නයන්ය
එය අතිශය සුන්දර ගීතයකි. 

මේ ටී. එම්. ගේ ගීතය සෑම විටම මගේ පාසැල් කාලය වෙත මා සිත රැගෙන යයි. ඒ අපේ උසස් පෙළ විද්‍යා අංශයේ අංශාධිපතිව සිටි දිසානායක සර් සහ ඔහුගේ දුවණිය නිසාය. දිසානායක සර් අංශාධිපති වෙනවා සේම ඉගැන්වූයේ කෙමිස්ට්‍රි ( රසායන විද්‍යාව ) ය. අපි එදා මේ ගීතය අපට අවැසි විදිහට වෙනස් කර ගැයූ අවස්ථා බොහෝය.

දිසානායක ඇදුරුතුමනී
දුටුව දා සිට ඔබගෙ දියනී
ඇගේ රුව මා මනස කළඹයි
මලියදේවෙන් ඉවත යන්නෙමි

පිරුණු ළැම හස නටන ඉඟ සුඟ
සැලෙන හදකට මොන කෙමිස්ට්‍රිද
ඉතින් ගුරුසිත නොරිදවා යම්
වෙනත් පෙදෙසක ශිල්ප උගෙනට

මේ ගීතය විභාගයට ඔන්න මෙන්න කියා ලැබුණු අවසන් නිවාඩුව ලබන දින ඔහුට ඇහෙන්නම ගැයූ බවද මතකය.
ගීතය අසමු.


ඒ මතකය එලෙස තබා යළි මේ සටහන වෙත පිවිසෙමු.

දැන් ඒ පෙර ඇසූ ගීතයද ඇරඹෙන්නේ 
  
දිසාපාමොක් ඇදුරු තුමණී  

යනුවෙන්මය. එහෙත් එතැන් සිට කතාව වෙනස්ම එකකි.

අපගේ කීඹියහෙට්ටි කිවිඳුන්ද අර විදිහටම එය අරඹන්නේ

දිසාපාමොක් ඇදුරු තුමණී  

ලෙසිනි. එහෙත් එතැන් පටන් කතාව වෙනස්ම එකකි.

කෙසේ වෙතත්, මේ කිවිඳුන්ගේ මේ ගීතයේ මේ කතාව අප මේ ගැන අසා ඇති සියළු කතා වලට වඩා වෙනස් වෙයි.



එදා වැදිරජු සමග යුද වැද
මළා සේ බිම බදාගෙන හිඳ
පලා ආ පෙම්බරාණන් මම
මගේ මනමේ කුමරියේ

මෙහි මනමේ රජුන් මැරී වැටුණා යැයි ඇඟෙව්වේ වුව, නොමැරී ජීවත්ව ඇත. රඟපෑමෙන් මලා යැයි පෙන්වා පසුව ඔහු පළා විත් ය මේ කතාව කියන්නේ. ඔහු ගීතය තුළ එසේ ජීවත් කළ බැවිනි මේ වෙනස්ම කතාව අපට අසන්නට ලැබන්නේ.

කඩුව දුන්නද උදුරගත්තද
දෙනෝදාහක් පිළිවිසින සඳ
එකී ජාතක කතාකරුටත්
නොකීවෙමි මම සැබෑ වතගොත
ඇඟිලි සලකුණු මකා කඩු මිට
සේදුවා මං කුමරියේ ............

මෙහි වී ඇත්තේ සපුරාම වෙනස් දේකි. වුණේ කුමක්දැයි දෙනෝ දහක් අහන්නේ දැන් ජීවත්ව සිටින ඔහුගෙනි. ඔහු අන්‍යයන් එසේ අසන බව කියන්නේ අනෙකෙකුට නොව එදා එතැන සිටි කුමරියටය. එහෙත් ඔහු දන්නා සත්‍ය කතාව පසුව තමන් සත්‍ය ලෙසින් සිතා කතාව පබඳින කතාකරුටවත් කියන්නේ නැත. ඒ මදිවාට කඩු මිටේ වන ඇඟිලි සලකුණු පිරික්සීමට යම් ක්‍රමයක් වේ නම් එසේ නොකළ හැකි පරිද්දෙන් ඔහු ඒවා සෝදා හැර ඇත.

මරණයෙන් බේරුණු රජ මෙසේ කරණුයේ කුමක් උදෙසාද? එය බලන්නට අපට ඊ ළඟ කොටසට යන්නට වෙයි.

නුඹම සියුමැලි අතින් ගෙන කග
මගේ හදවත සිදුරු කළ සඳ
ළතෙත් වී ඔබ කෙරෙහි වැදී රජ
විත්තිකරු සේ පෙනී සිටි වග
අදත් රහසක් සේ තබාගෙන
ඉන්නවා මං කුමරියේ

කඩුව ගෙන ඇන ඇත්තේ කුමරියමය. කුමාරිය ලෝකාපවාදයෙන් බේරණු පිණිසය වැදි රජුන් එය තමන් කළ දෙයක් බවට ඉදිරිපත් වී ඇත්තේ. මේ අනෙකෙකු වෙනුවෙන් වෙනකෙකු ඉදිරිපත්වීම අපරාධ කතාවල නොසිදුවන දෙයක් නොවේ.

කෙසේ වෙතත්, මනමේ කතාව වෙනස් කර ලියද්දී මේ නම් අමුතුම පරිකල්පනයකි.
ගීතයට සුදුසු නාටකීය සංගීතය විශාරද දර්ශන වික්‍රමතුංගගෙනි. එයට සිය ගැඹුරු හඬ පළඳනාව කරනු ලබන්නේ 

ගායන ශිල්පී ඉන්දික ලියනගේය

මේ ඉන්දික ගැන මගේ නොමද ප්‍රසාදයක් ඇත්තේ ඔහු තමන්ට ලැබෙන ගීත හොඳින් හැඟුම්බරව ගයනු ලබන අතර, දුෂ්කරතාවයන් මධ්‍යයේ වුව හොඳ ගමනක් යන අදහසින් සෙමෙන් සෙමෙන් නිර්මාණකරණයේ යෙදෙන ගායකයෙකු වන බැවිනි. ඔහු ක්ෂේත්‍රෙය් යම් ඉඩක් හදාගෙන සිටී. බොහෝ මාධ්‍ය ආයතන අන් අයගේ ගීත ඔහුගේ හඬින් බොහෝ විට ඉතාම සුන්දරව ගායනා කරවා ගනු දැකිය හැකිය. එහෙත් ශහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි ලබා දෙන් අවස්ථාව ඊට සාපේක්ෂව අඩු ය. එය ඔහුගේත් අපගේත් අවාසනාවේ කොටසකි.

දැන් එම අලුත් ගීතය අසමු.




පද - නන්දසිරි කීඹියහෙට්ටි
ස්වර - දර්ශන වික්‍රමතුංග
හඬ - ඉන්දික ලියනගේ

-      යසනාත් ධම්මික බණ්ඩාර    -