Friday, May 29, 2015

හන්තාන සෙවනේ රතු මල් විමානේ මොහොතක් රැදී ඉන්න සුවසේ ( හන්තානට බැඳුනු ගීත - තුන්වන කොටස )




හන්තාන සෙවනේ
රතු මල් විමානේ
මොහොතක් රැදී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //

සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවනේ...

අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවනේ... //






මෙහි රචනය පිලිබඳව මා කළ සෙවීමේදී මට ලැබුණු පිලිතුර මහින්ද අල්ගමය. එහෙත් එය වෙනත් රචිකාවකගේ යැයි තොරතුරක්ද දැනගන්නට ලැබුණි. එය මට දැන්වූයේ ගායිකා අනුපමා ගුණසේකර සොයුරිය විසිනුයි. එය ඇගේ නැන්දනියක් වන දැනට කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වන මැණිකේ වීරසිංහ නමැති මහත්මියකගේ රචනයක් බවය.එම තොරතුරු නැවත සොයද්දී ඒ බව තහවුරු විය. මා ඒ පිළිබඳව අනුපමාට ස්තුතිවන්ත වෙමි.
මේ ගීතයට සංගීත සත්කාරය කළේ කවුරුන්දැයි මුළින් මට මතක තිබුණේ නැත. එහෙත් එය විශාරද ගුණදාස කපුගේගේ නිර්මාණයකි. ඔහු වසර ගණන් පවතින සංගීත නිර්මාණයක් කර ඇති බව පමණක් පැවසිය යුතුමය.
මේ ගීතය නිතර ප්‍රචාරය නොවුනද එදා සිට අද දක්වාම සෑහෙනට ජනප්‍රිය එකකැයි හඳුන්වතොත් එහි වරදක් ඇතැයි නොසිතමි.   එමෙන්ම ස්වර්ණලතා කවීශ්වර ගේ ගීත ගොන්නේ ඇති වඩාත්ම ජනතාව ප්‍රියකරන ගී අතර මෙයද වන බව මට විශ්වාසය.
මේ ගීයෙහි මේ යුවල සොඳුරු හන්තාන අඩවියේ සැරීමට පමණක් වාසනාව ලැබූ එහෙත් හන්තාන සෙවනේ පෙමින් වෙලීමට වාසනාව නොලැබූ යුවලකි.  හන්තාන අඩවියටත් ගොස් පෙම්වතුන් වීමට නොලැබීම නම් කුමන වූ අවාසනාවක්ද?
වරෙක මට හිතෙන්නේ පෙම් කරණවා නම් හන්තාන අඩවියටම ගොස් පෙම් කළ යුතුය යන්නයි. හන්තාන අඩවියෙන් පරිබාහිර පෙමක් තිබිය හැකි වුවද, ඒ පෙමද සුන්දර විය හැකි වුවද, එය සිහිනයක් සේ සුන්දර කිරීමට හන්තාන අඩවියට ඇති හැකියාව වෙනත් කිසිදු තැනකට හෝ අඩවියකට ඇතැයි මම නොසිතමි. ඒ මට සිතෙන සැටිය.
එවන් වෙනත් තැනක් ඇත්නම් එයද දන්වනු මැනවි. ඊ ළඟ ආත්මයේ හෝ එහි යාමට.
දැන් හන්තාන සෙවනේ රතු මල් විමනේ ගීතය අසමු.


ගී පද - මැණිකේ වීරසිංහ 
ස්වර - ගුණදාස කපුගේ
ගායනය - ස්වර්ණලතා කවීෂ්වර


මෙය හන්තාන සරසවියේ කඳුළු කතාවකි.
බිඳුනු පැතුම් ඇයට අහිමි කළේ ප්‍රේමයේ සෞන්දර්යය පමණක් නොවේ. හන්තාන සරසවිය හා බැඳුනු සියළු සෞන්දර්යයද  ඈට අහිමි කර ඇත.
සුන්දර උයන තුළ පිපෙන සුන්දර මල්වල සුන්දරත්වය ඈට අහිමිය. අසලින් ගලන මහවැලි නදියේ දිය රළින් වැයෙන ගීයෙහි සුන්දරත්වය ඈට අහිමිය. ඒ සුන්දරත්වය විඳිනු නොරිසි ඈ නේවාසිකාගාරයට වී තැවුනද එය කෙලෙස නම් ඈගේ තැවුනු සිත් නිවා ඈව තුටු පහටු කරන්නද?
දහස් ගණන් තරුණ තරුණියන් සරණ, සිය ගණන් පෙම්වතුන් සරණ මේ බිම ඈට ඇත්තේ හුදෙකලාවකි. පෙර පුරුදු කලාගාරයද ඈට රිදුම් දෙවන තැනක් පමණි. එහි කොතෙක් රගංන දැක්වුණද ඒ රංගන බැළුමට කොතෙක් අය පැමිණියද ඈගේ සිත ඇත්තේ එක් තැනකය. ඒ සිතේ ඈට ඉඩ නැතිවා වුව ඒ සිත වෙතම ඈ සිත දිව යයි. එය මහත් වේදනාවකි.
කෙනෙකුගේ තුරුණු වියෙන් සිවු වසරක් යනු සුළු පටු කලක් නොවේ. ජීවිතයේ හොඳම වයසින් ලොකු කාලයක් ඈට අහිමිව ඇත.
මතු දැක්වෙන ගීතය මා මේ සටහන් පෙළ අවසනටම තබා සිටි එකකි. එහෙත් වෙනත් ගීතයක් එම තැනට ආ බැවින් මෙම ගීතය ගැන දැන් කතා කළ යුතුය. එහි රචකයා සිරිසමන් විජ්තුංග ය. එහි සංගීතය සහ ගායනය දයාරත්න රණතුංගගෙනි.

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙත කඳුළැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පබා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු හෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල්යායේ
එදා ළපලු සෙවණේ සරතැස නිවුණේ
අපේ නිවුණු හීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හලා රඟන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳෙ

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ

කිමද කුමරි නෙත කඳුළැලි පුරවන්නේ යනුවෙන් මෙසේ පැණසර වෙත්දී පැණයට පිළිතුරද එහිම වෙයි. සරසවියෙදි හෙට විතරක් නම් හමුවන්නේ කෙලෙස කඳුළැලි නොසලා සිටිය හැකිවේද?
කෙනෙකු සිතනු ඇත සරසවියෙදි හෙට පමණක් හමු වුවද අන් තැනක දී අනන්ත වාරගණනක් හමු විය හැකි නොවේදැයි. එහෙත් එහි ඉතිරි පාද ඉඟි කරනුයේ එය එලෙස ද නොවන වගයි.
මේ අවසන් පාදය ඒ අරුත පැහැදිලි කිරීම සදහා සෑහේ යැයි සිතමි.

කෝල බැලුම් හලා රඟන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳෙ

ඉතිරිව ඇත්තේ සිහිනෙන් හමුවීම පමණක් නම් කිසිදු දිනක හැබැහින් හමුවීමක් වේ දැයි සැක සහිතය. සරසවි දිවියට පමණක් පෙම්වතුන්ව සිට සරසවියෙන් පිටවූ දින සිටම දෙතැනක යන පෙම්වතුන් දුලබ නොවේ. මේ එවන් පෙමක් ගැන ගීයක්ද?
එය මෙහෙමත් විය හැකිය. වෙන්වීම ස්ථිරව නොවුනද, තාවකාලික වෙන්වීමක් වුව ඔවුනට දැනෙනුයේ ස්ථිරව වෙන්වනවා සේ විය හැකිය. 
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගීතය



මේ ගීයත් සමගම නැවත මතකය අවදිවන්නේ දයාරත්න රණතුංග ගේ ම ගීතයකටය. එහි ඇත්තේ ද සරසවි පෙමක් ගැනමය. එහෙත් ඒ සරසවිය හන්තාන අඩවියේ සරසවියමදැයි මට නිච්චියක් නැත. ගීපද විමසන අතරේම සොයා බලන අදහසින් මෙහි ලියා තබන්නේ ඒ ගීය කුමන සරසවියක බැඳුනු පෙමක් පිළිබඳව වුව එම ගීය මෙහි අමුණන අදහස දැඩිව ඈ බැවිනි. එය අන්සරසවියකදී බැඳි පෙමක් වුව මෙහි අමුණන්නේමය.
සිවු වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක අපි නොම හමුවේවා....
මෙහි ද මුල් පද පෙළ දුටු සැනින් වැටහෙන්නේ ඉහත ගීයෙහි අරුතට බොහෝ සමීප එකක් වන බවයි. ඒ අනුව මේ අවසන් සැඳෑවයි.
එහෙත් මට මෙහි ගැටළුවක් වෙයි. සිවුවසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවායි පතනුයේ කවුරුන්ද යන්නයි. එසේ පතනුයේ ඇයිද යන්නයි. ගීතයේ මියුරු තනුව, එහි උසස් ගායනයෙන් මත්ව අරුත තුළ නොකිමිදී මතුපිටින් ස්පර්ෂ කළ විට ලැබෙන විරහවේ ශෝක රසය නිසා එය කෙනෙකුට ප්‍රශ්ණකාරී නොවුනද, එහි පද පෙළ විමසන කල මට එවන් පැණයන් පැන නැගුනි. මා සිතනුයේ එබැවින්ම ගීතයේ එම  ගැටළුකාරී ස්ථායී කොටස ගීතයේ ඉතිරි පාදවල ඇති සුන්දරත්වය මුසු වියෝ වේදනාව ගව් ගණනක් පහළට ඇද දමා ඇති බවයි. කෙසේ වෙතත් එහි ඉතිරි පාද ලියැවී ඇති ආකාරය සුන්දරය. ලස්සනය.

සීතල පව්වේ කඳුරැළි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා....

හිමගිරි සෙවනේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා....

මේ ගීතයද හන්තාන අඩවියේ සරසවියම පරිසරය කොටගෙන ලියූ එකකැයි දැන් වැටහේ.

සීතල පව්ව
කඳුරැළි යාය
හිමගිරි සෙවන
දිය සීරාව
නාමල් යහන
මිහිදුම් සළුව

ආදී වදන් වලින් අපට එය සනාථ කරදෙයි.
සිවු වසරක් තුළ පෙම් සිහිවටනය ගීතය අසමු.



හන්තාන කඳුවැටිය, හන්තාන අඩවියේ සරසවිය, හන්තාන අඩවියේ සොඳරු වැව් තෙර, හන්තාන අඩවිය මැදින් ගලන මහවැලි නදිය, හන්තාන අඩවියේ සරසවිය අසලම ඇති සොඳුරු මල් උයන හන්තාන හා බැඳුනු බොහෝ සැමරුම් පාදක කොටගෙන උපන් ගී නිර්මාණ පිළිබඳව ලියැවෙන මේ සටහන ඇරඹුවේ ගීත කිහිපයක් කැන කතා කොට නවතන අදහසිනි. එහෙත් එය කොටස කොටස් දෙකකට දිගු වී මේ වන විට කොටස් තුනක් බවට පත්ව ඇතිවා වුවද තුන්වන කොටසකිනුදු නිම කළ නොහැකි තරම් ඇදෙන්නේ මේ පරිසරය නිර්මාණකරුවන්ගේ මනසට මොන තරම් සොඳුරු මතකයන් එක් කර ඇතිද  යන්න අප වෙත පසක් කරමිනි. ඉතින් හතරවැනි කොටසකට යම්ද නැති නම් තුන්වන කොටස ඇදෙන තරම් දුරකට ඇදෙන්නට ඉඩ හැර නිම කරම්දැයි සිතමි. සිත සිතා ලියමි.


හන්තාන කඳුවැටිය එදා වාගේ අදත්
මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්
සරසවියෙ තුරු වදුළු මිලිණ වී නෑ තවත්
ඒත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද

එකක් හැර සුපුරුදු සියල්ල සුපුරුදු පරිදිම සිදු වෙයි. එහෙත් නුඹ මා පමණක් එහි නැත. අප එහි නොවුනද කම් නැත. කොහේ හෝ නුඹද මා අසලින්ම සිටී නම්. එහෙත්, නුඹ එක් අතකය. මා තව අතකය.

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග එදා සිටි
අවන්හල දෙසුම් හල්
පුරුදු සේ බලාගෙන ඉන්නවා

අප නැති අඩුව පරිසරය නොදනී. පරිසරයට නොදැනේ. අප නොවුනද වෙනත් පෙම්වතුන් අප නැති අඩුව සපුරා ඇත. එදා අප පෙම් වදන් ඇසූ පෙම් රැඟුම් දුටු අවන්හල දේශණාගාරය එදා අප දෙස බැළූ අයුරින්ම කිසිවක් නොවූවා සේ හිඳී. ඔවුන්ගේ පෙම් රැඟුම් දෙස නිසොල්මනේ බලා සිටී.

මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යළි යළිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කළත්
නෙතු අගට කදුළු බිඳු නැගෙනවා..


මේ බිමේ ගෙවුනේ සිවු වසරක් වුව ඒ දිවියේ සුන්දරම කාලයෙන් ලොකු කාලයක් බව නැවත කිවයුතුය. ඒ සොඳුරුම...දීර්ඝතම සිවු වසර සොඳුරු සැමරුම් ජීවිතයට ඉතිරි වූයේ නම් කොපමණ වාසනාවක්ද? සමහර විට එම අහිමි කාලය මුළු දිවියේම සුන්දරත්වය රැගෙන පළා යාමක් විය හැක. ඒ සිවු වසරක අතීතය ඔහුට සඟවන්නට අවැසි එහෙත් සඟවන්නට නොහැකි දෙයක් ඉතිරි කර ඇත. ඒ ලොව නො ඉවසන ලොව නො තකන පිරිමි ඇහැක කඳුළුය
පද - උපාලි මල්දෙණිය
ස්වර - ඩෙනිස්ටර් පෙරේරා
හඬ - අමරසිරි පීරිස්
හන්තාන කඳුවැටිය ගීතය අසන්න.


තුන්වන කොටසකින් කෙසේ හෝ නිමකරම්යැයි සිතමින් මෙම තුන්වන කොටස අරඹන බව මා ඔබට කීවෙමි. එහෙත් මේ සොඳුරු අඩවිය නිමිත්ත කරගෙන ලියූ ගී තව කොතෙක්ද? ඒවා මෙහි කතා නොකොට අසම්පූර්ණ කතාවක් සේ මෙම සටහන් නිම කිරීමට මට නොසිතේ. එබැවින් හතරවැනි කොටසකින් හමුවන තෙක් මේ සොදුරු මතකයන් තුළ තවත් ටිකක් ගැවසෙන්නට විරාමයක් පතමි.
-        යසනාත් ධම්මික බණ්ඩාර   -

Sunday, May 17, 2015

හංසයින්ට පිහිනන්න උගන්වනු ලැබේ......





යම් කලා නිර්මාණයක් රසවිඳින කෙනෙකුට හැටි කියා දිය යුතුද? කියා දිය හැකිද?
ඒ ගැන මට තියෙන්නේ මෙවැනි අදහසක්.
කලා නිර්මාණ වලින් හැමෝම යම් රසයක් වින්දත් හැමෝම එයින් ලබනන්නේ සමාන රසයක් නොවෙයි.  විවිධ අය ඒ නිර්මාණය විවිධ කෝණ වලින් දකිමින් රස විඳිනවා. ඒ ඒ අය යම් නිර්මාණයක් දකින විදිහ අනුව එයින් ලබන රසය වෙනස් වෙනවා.
එක් එක් අය යම් නිර්මාණයකින් ලබන  රසය වෙනස්. එහෙම වෙන්නේ ඒ ඒ අයගේ රසවින්දන පරාසය වෙනස් නිසා.
මම හිතන්නේ ඒ නිසාම යම් නිර්මානයක් තුළ ගැබ්ව ඇති රස සොයාගෙන යන්නට සමහර අයට අපහසුවක් තිබෙනවා.
මැණික් ඉල්ලමක විවිධ මැණික් හමුවන්නේ විවිධ තිරිවානා ගල් ස්ථර තුලදී විවිධ ගැඹුරින්. කෙනෙක් යම් මට්මකින් නවති නම් සියළු මැණික් සොයාගත නොහැකි වෙයි. නිර්මාණයක ගැබ්වුනු රසයද මෙබඳු යැයි මට සිතේ. නිර්මාණයේ ගැඹුර නොදැන මතුපිටින් පමණක් බලන්නේ නම් ඒ රස මතුකරගත නොහැකි වෙයි. ඒ නිසායි කෙනාගෙන් කෙනාට විඳින රසයෙහි වෙනසක් තියෙන්නේ.

ඒ වගේම තමයි සමහර අය එක් නිර්මාණයක් රස විඳලා ඒ තුළින් වෙනත් නිර්මාණාත්මක දේ මතුකර ගන්නවා. සමාන නිර්මාණ හා සසඳනවා. ඒ නිර්මාණවලින් නිර්මාණාවේශය ලබමින් අළුත් නිර්මාන කරනවා. එවැන්නන් යම් කලා නිර්මාණයකින් ලබන රසය වැඩියි.

මේ කාරණය නිසා තමයි රසවින්දනය පිළිබඳ සමහරුන්ට  යම් මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ. ඒ මගපෙන්වීමත් සමගම කෙනෙකුගේ රසවින්දන පරාසය පුළුල් වෙනවා. ඔහු නිර්මාණශීලී වෙනවා. මේක උදාහරණයකින් පෙන්වන්න පුළුවන්.
මේ ගීතය අසා බලන්න. 


මේක බෞද්ධ ගීයක්. මේ ගීතය රචනා කළේ තිලක්  රත්නකාර කියන මහාචාර්යවරයා විසින්. එය සංගිතවත් කළේ ප්‍රවීන සංගීතඥ ඩී. ආර්. පීරිස් විසින්. ගයන්නේ වික්ටර් රත්නායක ප්‍රවීන ගායක හා සංගීතඥයා විසින්.

කලා වැවේ දියගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අවුකන බුදු පිලිම වහන්සේ.....

මහාචාර්යතුමා මේ ගීතය ලියන්න නිර්මාණාවේශය ලබන්නේ අවුකන බුදු පිලිම වහන්සේ දැකිමෙන් ඇති වුණු මහත් ශ්‍රද්ධාව නිසායි.එමෙන්ම කලානිර්මාණයක් වශයෙන් සැලකුවහොත් ඉන් ලද මහත් වු රසය නිසායි. එවන් ශ්‍රද්ධාවක් නොතිබුණා නම් එවන් රසයක්  නොවින්දානම් මෙවැන්නක් කිසිදා ලියවෙතැයි සිතන්නට නොහැක.


කිසිදු කවියෙකුට හැඟිමක් දැනීමක් නැතිව අවංක නිර්මාණයක් කලහැකි වන්නේ නැත.
ඇයි මා මෙම නිර්මාණය අවංක එකක් කියා කියන්නේ. එහෙම කියන්නේ අවුකන පිළිම වහන්සේ දුටු පසු දැන් මම අවුකන පිළිමය ගැන කවියක් ලිවිය යුතුයි කියා කොලයකුයි පෑනකුයි අරගෙන වාඩි වූ සැනින් නිර්මාණයක් බිහිනොවන නිසා ය. ඒ සිතුවිල්ල ඉබේ එන දෙයකි. හදවතේ ගැඹුරින් එන එකකි.
මේකට ඔය කොල්ලෝ කුරුට්ටෝ නම් වෙන වචනයක් කියතත් එය මෙවැනි වැඩ සටහනකදී භාවිතය සුදුසුද කියාත් සිතෙයි. එහෙත් මේ අවංක සිතින් නිර්මාණය කරණවා නැතිනම් හැඟීමෙන්ම නිර්මාණයකරණවා යන්න එක වචනයකින් මේ තරම් පැහැදිලිව කියන්න වෙන වචනයකුත් සෙවිය නොහැත. ඒ නිසා මම ඒ වචනය කියන්නම්. බොක්කෙන් ම ලියනවා කිව්වොත් ඔන්න හැමෝටම තේරෙයි.
මුතු බෙල්ලාගේ ඇඟමස තුළට කාවදින වැලි කැටයක් වසර ගණන් බෙල්ලාට දුක් දෙමින් තිබීමෙන් මුතු කැටයක් බිහිවනවා සේ මේ සිතුවිල්ල කවියාගේ මනසේ කැකෑරෙමින් තිබීමෙන් අනතරුවයි මෙවන් නිර්මාණයක් බිහිවන්නේ. එය අහම්බයක් සේ සමහර විට දැනෙන්නේ කොතරම් ශ්‍රෙෂ්ඨ නිර්මානයක් වුව ඒ සඳහා නිර්මාණකරුවා සිතින් අදහස් මවන කාලය අමතක කළොත් සමහර විට එය නිම කිරීමට අවශ්‍යවන්නේ මිනිත්තු කිහිපයක් පමනක් විය හැකි නිසාය. එහෙත් අපට නොපෙනෙන නොගණින කාලය ඊට වඩා බොහෝ වැඩිය.

ප්‍රඥාවේ යුග නගුලින්
ලොවේ කෙතේ සී සෑවා
ශ්‍රද්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ ඵල නෙළුවා
කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටුකැරුණා
එදා දෙසූ අමා දහම
නිහඬ මුවින් පැවසෙනවා

එම සෙල් නිර්මාණය තුළ ඇති නිර්මල ශාන්ත ගුණය දකින ගීත රචකයා තුළ මැවෙන්නේ සසල නොවූ නෙතින් ලොව බලන ජීවමාන බුදුන් වහන්සේවයි.
නිසලව හා නිහඬව  සිටින උන් වහන්සේ එසේ නිහඬ මුත් ගැඹුරු දම් දෙසුමක් දෙසන අන්දමක් තමයි ගීත රචකයා  දකින්නේ.. ඔහු අවුකන පිළිම වහන්සේ දැකීමෙන් ලද පැහැදීම තමයි මෙලෙස ගීත රචනාවක් ලෙස ලියැවෙන්නේ. දැන් රචකයා දකින්නේ නිහඬ මුවින් බණක් දෙසන අන්දමනේ. එසේ නම් උන්වහන්සේ දෙසන දහම කුමක් වියහැකිද? මේ කියවෙන්නේ ඒ ගැනයි.

ප්‍රඥාවේ යුග නගුළින් - ලොවේ කෙතේ සී සෑවා
සර්ධාවේ බිජු වටයෙන් - විමුක්තියේ පළ නෙළුවා......

කසී බමුණ මේ ගොවිතැන බුදුන් අතින් ඉටුකෙරුනා
එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා.........

මෙම අදහස මතුවෙන්නේ කොතැනින්ද?
බුදුන් දවස කසී භාරද්වාජ නමැති බමුණෙක් හිටියා. ඔහු ගොවියෙක්. දිනක් ඔහුගේ ගොවිපළ අසලින් බුදුන්වහන්සේ පිණ්ඩපාතෙ වඩිනවා. ඒ වෙලාව කසී භාරද්වාජ බමුණා සහ පිරිස සී සෑම නවතා ආහාරය සඳහා සූදානම් වෙලා හිටිය වෙලාව. බුදුන්වහන්සේ එතනට පිණ්ඩපාතෙ වැඩියාම බමුණා බුදුන් වහන්සේට මෙහෙම කියණවා.
බුදුරජාණන් වහන්ස, මම මහන්සිවෙලා බිම් සුද්දකරලා, නගුල් බැඳගෙන සී සාලා, බිජු වපුරලා, කෙත් රැකලා, අස්වනු නෙලලා ඉන් මගේ ආහාර සාදාගන්නවා. ඔබ වහන්සේ එසේ මහන්සි නොවී දහදිය නොහෙලා අනුන්ගෙන් ආහාර ඉල්ලාගන්නවා. ඒ නිසා ඔබ වහන්සේත් මම වගේ වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් බතක් කර තම ආහාරය සකසාගන්න එක සුදුසු නැද්ද?.........
මේ කථාව අසා සිටි බුදුන් වහන්සේ බමුණාට මෙසේ දේශනාකරණවා.

භ්‍රාහ්මණය මමත් ඔබ වගේම වෙහෙස මහන්සිය නොබලා ගොවිතැනක් කරණවා. ප්‍රඥාව නමැති නගුලින් මම ලෝකය නමැති කෙතෙහි සී සානවා. එසේ අස්සැද්දූ ලෝකය නමැති කෙතේ ශ්‍රද්ධාව නමැති බිජුවට වපුරණවා. ඉන් විමුක්තිය නමැති ඵලය ලබනවා.

මේ අනුව කසී බමුණා සේම බුදුන් වහන්සේද වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරණවා. කෙත් යාය වෙනස්. හාන්නේ වෙනත් ආකාරයේ නගුලකින්. වපුරන්නේ වෙනස් බීජ වර්ගයක්. ලබන්නේ වෙනස් අස්වැන්නක්. මේ අස්වැන්න තමයි විමුක්තිය හෙවත් නිවන. මේ දහම් දෙසීම ඇසූ මේ බමුණා සෝවාන් තත්වයට පත්වෙනවා. පසුව නිවන් දකිනවා. මෙය කසී-භාරද්වාජ සූත්‍රය ලෙස හඳුන්වනවා.
දැන් අප ගීතරචකයා දකින්නේ අවුකන පිළිම වහන්සේ නිහඞව දේශණාකරන්නේ එදා බුදුන් වහන්සේ දෙසූ මෙන්න මේ දහම් කරුණ කියලා.
මේ අතීත කතාව සහ අවුකන පිලිමය නැරඹිමෙන් සහ විඳීමෙන් ඇතිවුනු හැඟීම් නිසාවෙන් ලියන මේ ගීයෙන් අපට වැටහෙන දෙයක් වෙයි. එනම් මේ ගීය අවුකන පිලිමවහන්සේ දුටුවෙන්, ඒ පිළිබඳව වූ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ලියැවුනද කලක සිටම සිතේ මතුවෙමින් යටයමින් පැවති නිමිත්තකි පදනම් කතාවකි ලියැවී ඇත්තේ  යන්න ය. ඒ අනුව ගීතය ඉක්මණින්ම නිම වූවක් නොවේ. මුතු බිහිවූවා සේම බිහිවූවකි.
දැන් මේ ගීතය මේ අරුතින් රස විඳි අය කී දෙනෙක් සිටියාද? සමහර මෙවැනි සභා වලදී වැටහුණේ නියම අරුත වටහාගෙන සිටි එක් අයෙකුවත් නොවූ බවය.
රස වින්දනය පිළිබඳව මගපෙන්වීමක් අවැසි වෙන්නේ මේ නිසාය. ඒ මග පෙන්වීමෙන් අනතුරුව මේ ගීතයේ රසය වැඩිවනු ඇත. මෙවන් රසවින්දන වැඩ සටහන් වැදගත් වන්නේ එබැවිනි.
ගීතයක රස විඳින්න ඇත්තේ මොනවාද? ඉහත ගීතයේ නම් අර්ථාන්විත පද රචනයක් තිබුණි. ගැලපෙන තනුවක් සහ සංගීතයත් විශිෂ්ඨ ගායනයකුත් එයට එක්ව ඇත.
එහෙනම් බලන්න මේ ගීතයේ රසවිදින්න ඇත්තේ මොනවාදැයි කියා.

ගිං ගැං ගුලි ගුලි වොච්ෂා ගිං ගැං ගෝ
ගිං ගැං ගෝ
ගිං ගැං ගුලි ගුලි වොච්ෂා ගිං ගැං ගෝ
ගිං ගැං ගෝ
හේලා - හේලා ෂේලා - හේලා හේල ෂේලාවෝ
ෂලවල ෂලවල ෂලවල ෂලවල
වුම්බා..වුම්බා...වුම්බා....වුම්බා....

මේ ගීතයක් ද?
ඔව්...
මේක ගයන්නේ කවුද?
රොඩ්නි වර්ණකුල.
මේක රොඩ්නි වර්ණකුලගේ ගීතයක්ද?
ඔව්....
ඔව්.... නොවේ.... නෑ.
මේක අපේ ගීතයක්. අපි ඔක්කොගේම... මුළු ලෝකයේම..
මේක අපේ රටේ ජනතාවට විතරක් ගෝචර වුණු ගීතයක් නොවේ.
ජාතිය...ආගම...සංස්කෘතිය.....ආර්ථික තත්වය වැනි භේදයක් නැතිව හැමෝටම රස විඳින්න පුළුවන් ගීතයක්.


ලොව සෑම රටකම සිටින බාල දක්ෂයිනුත් මේ ගීතය ගායනා කරණවා විවිධ අවස්ථා වල. ලෝක බාලදක්ෂ ගීතය ලෙසත් මෙයට පිළිගැනීමක් තිබෙනවා.


ලෝකයම රස විඳිනවානම් අපි ඒකට විශ්වීය රසයක් කියා කියනවා.
මේ ගීතයේ ඇති වචන කිසිම රටක භෂාවකට අයත් වෙන්නේ නෑ. ඒ නිසා ඒවාට වචන කියන්නත් බෑ. ඒවාට අරුතකුත් නෑ..... ඒත් ඒ වචන වලට සංගීතය යොදා ගයන විට එයට මහත් රසයක් ගැබ්ව තිබෙනවා.....
දැන් මෙතන නිසි භාෂාවකට අයත් නොවූ ශබ්ද රසය පමණක් ඇති, අරුතක් නැති ගී පද රචනයකින් නිමැවුණු ගීතයක් තියෙනවා. එහි අතිශයින් ප්‍රබලව ඇත්තේ තනුවයි. ඒ තනුවට ලොකු බලයක් තියෙනවා.  වචන ඉක්මවා ගොස් වචන වලට අරුතක් නෑ කියන හැඟිම නොදැනෙන තරමට.
ගීතයේ වාච්‍ය අරුතක් නැති නිසාම ඊට තේරුමකුත් නෑ. එහෙත් සංගීතමය අරුතක් තිබෙනවා. සංගීතමය තේරුමක් තියෙනවා. මොනවාද ඒ තේරුම්...
එය ඇසීමට ප්‍රියයි.
තනුව ප්‍රබලයි.
සංගීතය ප්‍රබලයි.
පිරිසක් එකතු කරණ සුළුයි.
විනෝද ජනකයි.
කුල්මත් කරණ සුළුයි.
ප්‍රබෝධමත් කරණ සුළුයි.....

මම නම් හිතන්නේ මේ ගීතයේ වචන වලට අරුතක් නොමැති කමම තමයි එහි ප්‍රබලම දේ. මේ ගීතයේ වචන වලට අරුතක් දෙන්න උත්සාහ කළොත් මම හිතනවා මේ ගීතය මැරෙනවා කියා. මැරුනේ නැති වුණත් බරපතල ලෙස රෝගාතුර වෙනවා කියා.
දැන් ඔබට වැටහෙනවා ඇති ගීතයක අපට රස විඳින්න පුළුවන් අංග කිහිපයක් ඇති වග.
ඒ අනුව ගීත රචනය, තනු නිර්මාණය, සංගීත සංයෝජනය සහ ගායනය යන අංග අපට වෙන වෙනමත් රසවිඳිය හැකියි.
අද නම් ගීතයට රූප රචනයකුත් භාවිතා වන නිසා එයද රසවිඳියහැකි අංගයක් බවට පත්ව තිබෙනවා.
ඒවා එක්ව සැදුනු ගීතය රසවිඳින්නත් පුළුවන්.
සමහර ගීත තියෙනවා තනුවත් ප්‍රබල සංගීතයත් ප්‍රබල එහි ගායනයත් ප්‍රබල නමුත් අර්ථය අතින් දුර්වල නිසා ශත 5 ක වැඩක් නැති ගීත. එහෙම ගීතයක් ඕනෑ තරම් වර්තමානයේදී අපි අහනවා. නෑ නෑ අපි අහන්නේ නෑ. අපිට බලෙන් අස්සවනවා.
මා මෙම වැඩසටහනේදී වැඩිපුරම කතාකරන්නට උත්සාහ ගන්නේ ගීත නිර්මානයක අර්ථය විග්‍රහ කරමින් එය රසවිඳීමට මගපෙන්වීමට වුවත් අනිවාර්යයෙන්ම මේ ඉදිරිපත් කරණ නිර්මාණ වල දී ඒවාගේ තනුව සංගීතය හා ගායනය යන පාර්ශ්වයන්ද සුවිශේෂ මට්ටමක තිබෙන බව කිව යුතුයි.
මේ ගීතය අසා බලන්න



මේ ගීතයට කැමතිද?
මේ ගීතය ලස්සනද නැතිද?
කැමතියි. ලස්සනයි. ඔව් ඇත්තටම සුන්දර ගීයක්. මං කියන්නේ තනුව සංගීත නිර්මාණය හා ගායන පාර්ශ්වයෙන්. මේ ගීතය ඇහෙන විට ඇඬෙනවාද නැටවෙනවාද?
ඔව්... ටිකක් නැටවෙනවා. නට නට ගයන්න හිතෙනවා. ගය ගයා නටන්න හිතෙනවා. නැටුවේ නැතත් අඩුම ගණනේ ඇඟ නැටුමට වගේ සෙලවෙනවා.
පෙරුම්පුරාගෙ ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුණේ
කාටද රිදුනේ - කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතරවුණේ

ගමන් කරමින් තිබුණු දුම්රියක් නතර වෙච්ච එකක් ගැනයි කියන්නේ. ඇයි මේ දුම්රිය නතරවුණේ?
පෙරුම්පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුණේ කියන එකේ ලොකු තේරුමක් තියෙනවා.
මේ දරුවන් අහල ඇති මෙහෙම කවියක් තියෙනවා.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදුකිනි මෙසසර දුක් දුරලන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ...

පෙරුම්පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුණේ කියන්නෙ මේ විදිහට අමාරුවෙන් ලබා ගත් මිනිස් ආත්මයක් නැතිවුණා කියන එක. ඒ ගැන කාටද රිදුනේ..... කවුරුන්ද ඒ වෙනුවෙන් හැඬුවේ.... සිදුවුණු එකම දේ දුම්රිය මොහොතකට නැවතීම පමනයි.
දැන් තමයි ලොකුම ගැටළුව එන්නේ මේ ගීතය ගැන.
ඔයාලා කිව්වනේ මේ ගීතය ඇහෙන විට නැටවෙනවා කියා. එතකොට අපි නටන්නේ මොනවගේ අවස්ථාවක් ගැන කියලාද? මරණයක් ගැන කියලා. එතකොට විය යුත්තේ ඒකද?
මේ ගීතය ලස්සන ගීතයක්. හැබැයි එක් එක් අංග වෙන වෙනම ගෙන බැළුවොත්.
රචනය විශිෂ්ඨයි. එහි තනුව සහ සංගීතය ආකර්ශණීය සේම විශිෂ්ඨයි. ගායනය දෙස බැළුවත් වේරලියැද්දගේ ගායනය සුවිශේෂ එකක්. නමුත් මේ ගීතයට යෙදී ඇති තනුව එහි අර්ථයට ගැලපෙන්නේ නෑ. ඒ නොගැලපෙන නිසා තමයි හැඬිය යුතු තැනකදී අපි නටන්නේ.
මරණයක් ළඟ හඬනවා දුක්වෙනවා මිස නටන සිරිතක් අපට නෑ. ඒත් නිසි රසවින්දනය නොමැති නිසා නොවේද මේ මරණය ළඟ අපි නටන්නේ. නැතිනම් නැටවෙන විදිහේ තනුවක් සංගීතයක් යොදලා අපිව නටවන්නේ.
ගීතයක් රස විඳිනවා කියන්නේ මේකයි. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ මේ ගීතයෙන් කියවෙන්නේ මරණයක් ගැන කියා. එහෙම නොහිතෙන්න එක හේතුවක් තමයි එහි මේ යෙදී ඇති වේග රිද්ම සංගීතය. එම තනුවෙන් රිද්මයෙන් සංගීතයෙන් එහි අර්ථය මතු කරන්නේ නෑ. අරුත වහල තියෙන්නේ. ඒ නිසායි අපට නොහිතෙන්නේ එහි මරණයක් වැනි දුක්බර වේදනාකාරී අත්දැකීමක් ගැබ්ව ඇතැයි.
ඉතින් අපි මේ පැහැදිලි කරගනිමින් සිටින්නේ කලා නිර්මාණ විශේෂයෙන් ගීත රස විඳින හැටි ගැන. ඇයි අපට රසවින්දනයක් අවශ්‍ය වෙන්නේ. ඒකට තියෙන්නේ තනි උත්තරයක් නොවෙයි
විවිධ හේතු තියෙනවා. එකක් දෙකක් කිව්වොත්,
අපිට ජීවිතයේ විඩාව දුරු කරගන්නත් කලා නිර්මාණ අවශ්‍ය වෙනවා. කලා නිර්මාණවල විවිධ රසයන් තිබෙනවා. එයින් තමයි මම පෙර කී ජීවිතයේ විඩාව නිම කරලා සිත සනසන්නේ.
අපි කතාවට කිව්වම උසස් ගීත රස විඳින සමාජය සහ රසිකත්වයෙන් අවර ඝනයේ සමාජය කියලා සමහරු ඒක ගැන අවි ආයුධ අමෝරනවා.... ඔය දෙක වෙන් වෙන සීමාව අහනවා.
දිස්ත්‍රික් මායිම් වෙන් කරණවා වගේ මායිම් වෙන් කරන්න බැරි බව ඇත්ත. ඒත් එහෙම මායිමක් නැතිද?
ඔන්න දවසක් ප්‍රයිවෙට් ඒ. සී. බසයක ගමන් කරණවා අපේ වත්තේවැවේ ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ගීත රචක හාමුදුරු නමක්.
කොළඹ සිට අනුරාධපුරයට වඩින ගමන්. මෙහෙම වඩින අතරේ බසයේ ඇති ලොකු ඉස්පීකර දෙකෙන් ගීත ඇහෙනවා. ඒකේ  තියෙනවා කොත්තු රොටී ගැන ගීත. කොත්තමල්ලි ගැන ගීත. රම්බරීගෙන් නොම්බරේ අහන ගීත. ඉරිදාට පල්ලියේදී සඳුදාට හන්දියේදී කෙල්ල හමුවන ගීත... සූකිරි බට්ටාය මෙග චොකලට් කෑල්ල මගේ වගේ ගීත. ඒවා කණ පැලෙන්න ඇහෙන්නයි දාලා තියෙන්නේ.
හාමුදුරුවෝ ඒ. සී. බස් එකක නැග්ගේ ටිකක් කූල් එකේ අනුරාධපුරට එන්න. ඒත් වුණේ ඒ. සී. බස් එක ඇතුළේදී ලේ කෝප කරගෙන රත්වෙන්න. හාමුදුරුවන්ටත් එහි සිටි බොහෝ පිරිසකටත් මෙය මහත් කං කරච්චලයක්. ඒත් ගහන්නයැ. ඉවසා වදාරාගෙන වඩිනවා. වඩින අතරේ කල්පනාවක් එනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.
ඩ්‍රයිවර් මහත්තයා මේ සී. ඩී. එක ගන්න පුළුවන් කොහෙන්ද?
මල්වත්ත රෝඩ් එකෙන් හාමුදුරුවනේ.....
අනේ මට එහෙට යන්න බෑනේ. ඔය සි. ඩී. එක මට දෙන්න පුළුවන්ද?
නෑ හාමුදුරුවනේ මේක සෑහෙන කාලයක් අහපු එකක්. අළුත් එකක්ම ගමු.
නෑ... නෑ... මහත්තයෝ මට ඕක දෙන්නකෝ. මම සල්ලි දෙන්නම්. ඔයා වෙන එකක් ගන්න...
හාමුදුරුවෝ සල්ලි දීලා සී. ඩී. එක ගන්නවා. හැබැයි අරගෙන තියා ගත්තේ නෑ. උන්වහන්සේට අවශ්‍ය වුණා යම් පාඩමකුත් උගන්වන්න. ඒ නිසා අර ගත්තු ගමන් කළේ වීදුරුව ඇරලා සී. ඩී. එක එළියට වීසි කළ එක... එතනින් පසුව ඩ්‍රැයිවර්ගේ මුහුණ ඇඹුල් වුණා. අඳුරු වුණා. ස්පීකරය නිහඬවුණා. කූල් එකේ අනුරාධපුරේට වැඩියා.
දැන් ඕනෑම ගීතයක් හැමෝටම එකසේ විඳිය හැකි නම් මේ විදිහට වෙන්නේ නෑනේ. ඒ නිසා තමයි මම කියන්නේ උසස් රසිකයින් කියලා ජාතියක් ඉන්නවා කියා.
මේ අත්දැකීමම ලැබූ ගීත රචක ධම්මික බණ්ඩාර විසින් ( මම එහෙම නොවෙයි ) ගීතයක් ලියනවා.


ඔහු එන්නේ අනුරාධපුර සිට කුරුණෑගලට..... ඔහු උසස් පෙළ සිංහල පංති කරණ බව බොහෝ දෙනා දන්නවා. පංතියේදී සම්භාව්‍ය නාට්‍ය ගැන, සම්භාව්‍ය ගීත ගැන, නව කතා කෙටි කතා ගැන සොඳුරු කතාබහේ යෙදිලා පිරිසිදු හිසක් සහිතව තමයි ඔහු බසයට නගින්නේ. එහෙත් කොන්දොස්තර මලයා එකින් එක ඒ සොඳුරු අදහස් ඔහුගේ හිසින් අයින් කරලා දහ ජරා සිංදු කෑලි වලින් එය පුරවනවා. ඔහු ඔහුගේ නම ගීතයට නොයොදා සිරි සංඝදාස කියන නම යොදනවා. බලන්න අනුරාධපුර සිට කුරුණෑගලට එන විට සිරි සංඝදාස මහත්තයාට වෙන වින්නැහිය.
සිරි සංඝදාස මහත්මයා ගීතය.


කූල් වෙන්න ගිහින් හිස නැතිකර ගත්තු කතාව කොහොමද?
ජීවිතය ලෝකය නිවැරදිව දකින්නත් රසවින්දනය අවශ්‍ය වෙනවා. මම කියනවා රසවින්දනයෙන් තොර සමාජය හානිකරයි කියලා.
අපි ගීත අසන්නේ යම් උසස් රසයක් විඳින්න. රසයෙන් උසස් වෙන්න වෙන්න සමාජය දැනුවත් වෙනවා. සාමකාමී වෙනවා. සංවේදී වෙනවා. යහපත් වෙනවා.
රසයෙන් පිරිහුණු සමාජය හානිකරයි කිව්වානේ. ඒ ඇයි?
රසයෙන් පිරිහුණු සමාජය
අසංවේදීයි.
පසුගාමීයි
කුහකයි.
ආත්මාර්ථකාමීයි
ඊර්ෂ්‍යාවන්තයි
දුෂ්ඨයි...
දරුණුයි.....
මාරාන්තිකයි.
ඕනෑම නරුම ඉලක්කයක් වෙත දක්කන්න ලේසියි.
මේ හින්දා තමයි සමහර දේශපානඥයෝ බලයට ආ සැනින් සාහිත්‍යය සහ ඉතිහාසය වැනි විෂයයන් විෂය නිර්දේශයෙන් ඉවත් කළේ.
උදාහරණ එකක් දෙකක් කියන්නම් රස වින්දනයක් නැති මිනිසා සමාජයට හානි කර බවට...
ලොකු ලොකු උදාහරන නොවෙයි. සරලම උදාහරණ.... ඒකට තරාතිරමක් අවශය නෑ. නිලය බලය කුමක්ද කියා අවශ්‍ය නෑ. රසවින්දනය නැති කවුරුන් වුණත් හානිකරයි සමාජයට.

කන්ද උඩරට පැත්තේ ජනප්‍රිය සෙන්ට්‍රල් කොලේජ් එකක වුණු සිදුවීමක් මේක.
ශිෂ්‍ය නායකයෙකුද වන එක් ශිෂ්‍යයෙක් ඉන්නවා. ශිෂ්‍යාගේ නම මට මතක නෑ. ඒ පන්තියේම ශිෂ්‍යනායිකාවක්ද වන ශිෂ්‍යාවක් ඉන්නවා. ඇගේ නම ගංගා. ශිෂ්‍ය නායිකාවගේ නම ගංගා නිසා මම අර ශිෂ්‍ය නායකයාට නිස්සංක කියන්නම්.
දෙදෙනා එකම පන්තියේ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද දන්නෙ නෑ සෑම වැඩක්ම දෙදෙනා සමීපව එකතුව මැනවින් ඉටු කළා. ඔවුන් දෙදෙනා බොහෝ ගුරුවරුන්ගේ නොමද ආදරයට බඳුන් වූවා සේම සමහර ගුරුවරුන්ගේ වපරැස් බැල්මටද මේ සමීප මිතුදම නිසා ඔවුන් ගොදුරු වුණා. විදුහල්පතිතුමාද මේ නිසා මොවුන් දෙස සැකයෙන් බලන පිරිස අතරට එක්කර ගන්න අර ගුරු පිරිස සමත්වුණා. එහෙත් කිසිවෙකුට සෘජුව යම් චෝදනාවක් එල්ල කළ හැකි දෙයක් හොයාගන්න බැරි වුණා.
මේ පාසැලේ විදිහල්පති තුමා පුරුද්දක් ලෙස පන්තිවලට ගොස් ළමයින්ගේ බෑග් මළු පොත් පත් පෙරලා පරීක්ෂා කිරීමේ පුරුද්දක් තිබුණා. එදා ගියේ ගංගලාගේ පන්තියට.
විදුහල්පතිතුමා විශේෂ අවධානයෙන් ගංගාගේ සහ නිස්සංකගේ පොත් පත් පරීක්ෂා කළා. ගංගාගේ බෑග් එකේවත්, පොත් පත්වලවත් අබමල් රේණුවක දෙයක් හොයාගන්න බැරිවුණා.
ඊ ළඟට තවත් ළමුන් කිහිපදෙනෙක් පරීක්ෂාවට ලක්වුණා.
ඊ ළඟට හිටියේ නිස්සංක...
නිස්සංකගේ පත පොත බලන විදුහල්පතිතුමා එක්වරම අප සිසුවාට පහර දෙන්නට පටන් ගත්තා. පොත් පත් සීසීකඩ වීසි කළා. මෙහෙමද බොලවු තොපි මේ වයසේදී ඉගෙන ගන්නේ. මුන්ට ලොකුවෙන්නත් ඉස්සර මගුල් විසේ.... ආදී විවිධ දේ කියමින් පහර දෙමින් බණින්නට වුනා.
අධික ලෙස ලැජ්ජාවෙන් වේදනා විඳි සිසුවා පන්තියෙන් එළියට පැන දිව ගියා. එලෙස දිව ගිය නිස්සංක නැවත ආපසු ආවේ සය දෙනෙකුගේ කරපිටින්.
මේ තරම් ඛේදවාචකයකට මුළ පිරුණේ ඇයිදැයි දැන් අප විමසිය යුතුය. එයට හේතුව සෙවීමේදී අනාවරණයු වී ඇත්තේ ඔහු සිය පොත් කවරයක පිට කවරයේ ඇතුළත
ගංගා.... එන්නකෝ ගංගා....
මං බලාන ඉන්නේ....
ඔබ එනතුරු ගංගා ...
ලෙස ලියා තිබුණු නිසා බවයි. අප විදුහල්පතිතුමා අර සිසුවාට පහරදුනනේ මේ ගීත ඛණ්ඩය දැකීමෙන් අනතුරුවය.
තවදුරටත් මේ ඛේදවාචකය ගැන විමසීමට පෙර දැන් අප එම ගීතය ශ්‍රවණය කළ යුතුව ඇත.

ගංගා එන්නකෝ
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා
ගීතය අසන්න.


දැන් මෙම ගීතයේ අරුත විමසමු.

ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා.....

කියවූ සැනින් මතුපිට අරුත පමණක් අරගන්නෙකුට නම් මේ ගංගා නම් සිය පෙම්වතිය එනතුරු බලා සිටින නිශ්ශංක නම් පෙම්වතාගේ පැතුම් සහගත බව රැගත් ගීතයකැයි සිතෙනු ඇත. එහෙත් අවබෝධයක් ඇති රසිකයෙක් ප්‍රථම වතාවට ගීතය අසන්නෙකු වුවද ගීතයේ ඊ ළඟ පාදයට ගොස් පමණක් වුව එහි අරුත තේරුම්ගනු ඇත.



දිරූ ඉපත් අත්දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා ඉඳිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ.....

දැන් නම් අවබෝධයක් රසඥතාවක් සහිත රසිකයාට මේ ගීය කුමන ආරක එකක්දැයි පැහැදිලිය. මේ අනෙකක් ගැන නොව ප්‍රයෝජනයට නොගත් මහා ජල කඳක් රැගෙන ඉවත ගිය කිසියම් ගංගාවක් ගැනය. ඒ අන් ගඟක් නොව මහවැලි ගඟයි.

පිපිරුණු දෙතොළින් අහස බලාගෙන
දිය පොද රහිතව අකලට මහළුව
හඬාවැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මුහුදු ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ....

එකල මහවැලිය උතුරට සහ වියළි කලාපයට හරවන යුගයේ ඒ ගැන ලියැවුණු ගීයකුයි මෙය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනුයි ලියා තියෙන්නේ. මතක හැටියට සංගීත නිර්මාණය ආචාර්ය වික්ටර් රත්නායක ගේ. ගැයුවේ අබේවර්ධන බාලසූරිය ගායකයා විසින්. ඉතින් මහවැලිය ගැන ලියැවුණු මේ ගීය ගංගා නම් යුවතියක් ගැන ලිවූ ගීයකැයි අනවබෝධයෙන් සමහර විට අප සිසුවා තම පොතේ මේ ගීත ඛණ්ඩය ලිව්වේ තම සිත් ගත් ගංගා නම් යුවතිය වෙනුවෙන් විය හැකියි.
අප විදුහල්පතිවරයාත් දරුවාට පහර දුන්නේ මේ ගීතය ගයන්නේ නිස්සංක නම් කොළුවෙක් ගංගා නම් වන තම පෙම්වතියට යන වැරදි වැටහීමෙන්.
මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මේ ගීතය හරියට රසවිඳ තිබුණා නම් මේ මරණය වලක්වාගත හැකිව තිබින. මේ රසිකත්වය නිහීන සමාජයක ඛේදවාචකයට එක් උදාහරණයක්....
මේ ගැන තවත් දෙයක් කිව යුතුවම තිබෙනවා. ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියෙහි තිබෙන ගීත වල අරුත පිළිබඳව කතා කරණ එක් මිතුරු හවුලක දිනක් මේ ගීතය මනරම් ප්‍රේමගීතයක් ලෙස පළව තිබුණා. ගීතයේ ස්ථායි කොටසේ ( මුල් කොටසේ ) අරුත ලිහූ කෙනෙක් අන්තරා කොටස් වල අරුත් නොලිහා එය තේරුම් ගැනීමෙනුයි ඒ හදිය වන්නට ඇත්තේ.
මේ ගීය ප්‍රේමගීයක් නොවන බවත් එය මහවැලි ව්‍යාපාරය පිළිබඳව එකල ලියැවුණු ගීත අතුරින් මහවැලි යන නාමය භාවිතා නොකර ලියූ ගීතයක් බවත් මවිසින් සඳහන් කරන්නට යෙදුනා. මා සිතුවේ එවිට එහි අදහස තේරුම් ගෙන ගීතය නිසි ලෙස රස විඳිනු ඇතිය යන්නයි. එහෙත් සිදු වූයේ අනෙකක්. එම ලිපිය පළ කළ කෙනාද ඔහුට හිතවත් කිහිප දෙනෙක්ද ඉතා පහත් ලෙස මා වෙත ඇණුම් බැණුම් එල්ල කිරීමයි. අවසානයේ එම පුද්ගලයින් එකී සමූහයෙන් ඉවත්කිරීමට පවා එහි ඇඩ්මින්වරුන්ට සිදුවුණා.
එම සිදුවීම ද නිසි රසිකත්වයක් නැති සමාජයකට වන හානිය පිළිබඳව උදාහරණයක් ලෙස සැලකීමෙහි වරදක් නෑ.
තවත් උදාහරණයක් කියන්නද?
මගේ පුතාට අවුරුදු 5 ක් වෙද්දී එයාගේ අම්මා එයාට නංගි කෙනෙක් ගෙනාවා. ඉතින් පුතා ඉස්කෝලේ ගිහින් එන්නේ නංගි බලන්න ආශාවෙන්. ආව ගමන් සියළු වැඩ පාසක දාලා කරන්නේ සෑහෙන වෙලාවක් නංගිව හුරතල් කරණ එක. ඔන්න එක දවසක් ඇවිත් එයා නංගිට සිංදු කෑල්ලක් කියනවා...
නොදැක ඉන්න බෑ මටනම්
මගෙ ආදරී..
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළදේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...
අවැසි කෙනෙක් වේ නම් ගීතය මෙතැනින් අසන්න.


මේ එයාට ඇහෙන දේ. අපේ ගෙදර දී හෝ අපේ වාහනයේදී නම් මේවැනි ගීත ඇහෙන්නේ නෑ.
ඒත් ස්කූල් බස් එකේ අයියලා පෙන් එකකට දාගෙන ඇවිත් ඩී. වී. ඩී. එකට ගහලා මේ සිංදු අහනවා කියන්නේ.
ඉතින් කොල්ලෙක් කෙල්ලෙකුට කියලා නහයෙන් අඬන සිංදුවක් තමයි එයා තමන්ගේම නංගිට මේ කියන්නේ.
අපේ කොල්ලා තවම පොඩි එකානේ. ඒ නිසා මේ විදිහට වැරදිවට එය තේරුම් ගත්තාට ලොකු හානියක් නෑ. හැබැයි මට කියන්න අවශ්‍ය වුණේ රසවින්දනයෙන් පහළ සමාජයට පොඩි එවුන් හිතනවාට වැඩි දුරක් හිතන්න බෑ කියන එකයි.
කෙසේ වෙතත් දැන් ඇහෙන ගීත දිහා බැළුවම රුවන් හෙට්ටිආරච්චිගේ මේ ගීතය නරකම ගණයට දාලා කතා කරන්න බෑ. එහි ඇති සරල විවෘත බවත් අඳෝනාවත් තමයි මට නම් ඇති ලොකුම ගැටළුව.
මේ ගීතය බලන්න.

සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන...

මුතුවරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට නොහි යනවද එබ මොනවද ඔය හිසේ


මේ දයාරත්න රණතුංග මහත්මයාගේ ගීතයක්. සඳක් වගේ ලස්සන තරුණියක් එකල තරුණ ඔහු අසලින් ගමන් ගන්නවා. ඉතින් ඔහුට හිතක් පහල වෙනවා ඇයගෙන් ආ ගිය තොරතුරු ටිකක් විමසන්න. ඒ සිද්ධිය ඒ කාලේ වචන වලින් ගීතයට නැගුනේ ඒ විදිහටයි.
මෙන්න අද කාලේ ඒ වගේ දෙයක් අහන විදිහ.

රම්බරි කියපං උඹෙ නොම්මරේ
තන්දුරි කමුද නොකා ජරබරේ....

අවැසි කෙනෙක් වේ නම් එම ගීතය මෙතනින් අහන්න


තේරෙනවද දන්නෙ නෑ එදා අහපු විදිහ කොච්චර ලස්සනද.... අද එය අහන විදිහ කොයිතරම් නම් කැතද කියා.

මේ බලන්න තවත් ගීතයක්.

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තනියව නුඹ මිනිපිරියන්ගෙත්
බර උහුලන්නේ ඇයි අම්මේ....
ගීතය අසන්න.



ඒ මිත්තනියක් එහෙම නැති නම් ආච්චි කෙනෙක් ගැන එදා හිටපු මිනිස්සු ගායනා කරපු ශිෂ්ඨ විදිහ.
මේ අද ඉන්න සත්තු ආච්චි කෙනෙක් ගැන ගායනා කරණ තිරිසන් විදිහ.

ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්
පුරුදු සතා බර අදිනව කණ්ඩ දෙනව නම්....

ඉතින් බලන්න උසස් රසයක් විඳින්නේ නැති....බාල රසය හොයන අයට වෙලා තියෙන දේ. එහෙම සමාජයක් ටිකෙන් ටික මිනිස් ආත්මයෙන් ඇත් වෙලා තිරිසන් ආත්මයට තමයි ළංවෙමින් ඉන්නේ.

පොදුවේ කලාව යනු කුමක්ද? කලාව ඇති වුණේ.... දැඩි වුණේ.... විකාශය වුණේ කොහොමද යන්න මූලිකව හෝ විමසන්න නම් මේ වැඩ සටහන දවසක් පුරාවත් තියන්න වෙනවා. ඒත් පැය දෙක තුනකට  ඒවා ගැන කියන්න බෑ. ඒ නිසා අපි ගීත ගැන විතරක් කතා කරමු. ගීතයත් කලාංගයක්නේ. ඒත් කලාව යා යුතු මග කුමක්ද කියන එක ගැන අපි යම් අදහසක් දරාගෙන මේ කතාබහ කළ යුතුයි. අපි මේ වැඩසටහනේ ගීත ගැන වැඩි දුර කතා කරණ නිසා ගීතය සංගීතය වැයිය යුත්තේ කා වෙනුවෙන්දැයි විමසා බලමු.

වාදකයාණනි - ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දොතොළෙහි ගීයට මුසු කළ මැනවි....

බොහෝ කලා වේදිකා ඉදිවන්නේ නැටුම් නැටවෙන්නේ රැඟුම් රඟදෙන්නේ වැයුම් වැයෙව්නේ මෙවන් වූ තැන් වල නොවේ. මෙවන් වූ අය වෙනුවෙනුත් නොවේ. ඒ නිසාමයි මේ නිර්මාණයෙන් මෙවැනි ඉල්ලීමක් කරන්නට සිදුව ඇත්තේ.

මේ තත්වය ඉස්සරත් බොහෝ විට එහෙමයි. දැනුත් බොහෝ විට එහෙමම තමයි.

අඩ අඳුරේ මන්මත් කළ රාගය
තොළ ගාමින් මෝහයේ සුරා විත
ආලිංගන නැටුමකට - සාදයක
කුමට වයන්නෙද එවන් සිතාරය...

ඒ විදිහටම වාදකයා විසින් සිය සංගීතය නොවැයිය යුතු තැනද එහි සඳහන් වෙනවා.
නැවත ගීතය අවසාන වෙන්නේ ඔහු සිය සංගීතය වැයිය යුතුම ස්ථානය කියා දෙමින්.
නව ළොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරණා සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය..

වාදකයාණනි ගීතය අසන්න.


අපි කලාව භාවිතා කළ යුතු වන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන්. නැතිව බඩගෝස්තරවාදීව පෞද්ගලික යහපත සඳහා නොවෙයි. කල්ලිවාදීවත් නොවෙයි. එසේම හොරුන් මං පහරන්නන් වෙනුවෙන් ද නොවෙයි.
බලන්න මේ විඩියෝ ක්ලිප් එක. මේ කලාව මොකක්දැයි බලන්න. අපි ඒ කලාව ගැන එය නරඹා කථා කරමු.


මොකක්ද මේකේ පෙන්නුවේ. නැටුම් පෙන්වලා හොරකම් කරණ හැටි. අපි කලාව පෙන්වලා කරන්නෙත් ඒ දේම නම්...? අන්න ඒ දේ වෙන්න බෑ කියන එකයි අර වාදකයාණනි ගීතයේ නොකියා කියන අරුත.

ඔයාලා මව් ගුණ ගීත අහලා තියෙනවාද?
හැමෝම අහලා තියෙනවා.
මේ තියෙන්නේ එයින් කිහිපයක්
1.   මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
2.   ආදරයේ උල්පත වූ අම්මා
3.   අම්මේ නුඹෙ ඇස් පියවුණු දාකට
4.   අම්මාවරුණේ
5.   දෙවැනි බුදුන් ලෙස
6.   කඳුළු හෙලා නෑඹිලියට
තව ඕනෑ තරම් කියන්න පුළුවන්.
දැන් මට කියන්න පිය සෙනෙහසට ඔය වගේ ඕනෑ තරම් ගීත ලියවිලා තියෙනවාද?
ඇයි නෑ කියන්නේ?
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී කියලා ගීතයකින්ම ගයන නිසාද? ඇත්තටම පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදිද?
මම නම් හිතන්නේ මවු ගුණ ගී තරමටම නැතත් පිය ගුණ ගීතත් සෑහෙනට ලියැවී තිබෙනවා කියලයි.
මේ බලන්න මම අසා ඇති වඩාත් කැමති පිය ගුණ ගීත ලැයිස්තුව දිහා
1.      දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න
2.      මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
3.      අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පණමට හරවා
4.      අන්දර යායේ වැව් තාවල්ලේ
5.      පියාණනී මා නැවත උපන්නොත්
6.      පියාණනී ඔබ මෙතේ බුදුන් ලෙස
7.      පිතු සෙනෙහේ පිදු පියෙක් නොමැති ලොව...
තව හෙව්වොත් තව තියෙනවා.ඒත් ප්‍රශ්ණය තියෙන්නේ හොයන්නේ නෑ. අපි අර ගීතය මත යැපෙමින් වැරදි උත්තරයක් දෙනවා.
මෙච්චර හොඳ ගීත රැසක් තියෙද්දී තමයි මදි මදි කිය කියා ආඩපාලි කියන්නේ. බලන්න පිය ගුණ ගීතයක් ලෙස වියතුන් සභා මැද වැජඹෙන්නේ මට නම් හිතෙන්නේ ඒ මට්ටමේ තැබිය යුතු ගීතයක් නොවේ කියායි. මට නම් ඒ ගීතය දැනෙන්නේ පියෙක් විසින් මව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බලන ගීතය ලෙසටයි. ඔබ හිතනවාද මවට වැඩි ගෞරවයක් දරුවන් විසින් දක්වන විට පියෙක් ඒ දෙස ඊර්ෂ්‍යාවෙන් බලනු ඇතැයි කියා.
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.... යන්න ඇසීමෙන්ම ගීතය විනාශ වී ඇති බවයි මගේ හැඟීම.
මේ බලන්න සැබෑ පිය ගුණ ගීතයක්.
මේ ගීතය සමහර අය අසා නැතිව ඇති. අසා තිබෙන අයත් ඉන්න පුළුවන්.
මේක රචනා කරළ් සිසිර දිසානායක විසින්. සංගීතවත් කොට ගයන්නේ වික්ටර් රත්නායක.

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මවු නැති යාමේ - මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැනුනිද පුතුනේ 
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්
මේ පියා බැලූ බැල්මට ගොරහැඩි පෙනුමක් ඇති කෙනෙක් කියා නිකමට හිතන්නකෝ. රැවුල වවාගෙන නියපොතු වවාගෙන ඉන්න.....හැම වෙලාවෙම බුලත් කෑම නිසා දත් ඔක්කොම දුඹුරු පැහැ වුණු... ගොරහැඩි පෙනුමැති කෙනෙක්. කැත්ත උදැල්ල නගුල පෝරුව සමග කුඹුරත් එක්ක හේනත් එක්ක ඔට්ටුවෙලා බිරිඳට දරුවන්ට කන්න අඳින්න දේ හොයනවා මිසක් කවදාවත් දරුවන්ව අතට ගෙන හුරතල් කරලා.... දරුවන් නළවලා, බෙහෙත් හේත් පොවලා,  කවල පොවලා නෑ. ඒවා ඔහුට නුහුරු වැඩ.
දැන් මේ තාත්තා එහෙම නොකළා කියා ඔහු තුළ දරුවන් කෙරෙහි ආදරයක් පිහිටා නැතිව ඇතිද? ඔහු දරුවන්ට මෘගයෙක් වගේ ඇතිද?
දිනක් ඔහුට සිදුවනවා කිසියම් හේතුවක් නිසා අළුත උපන් සිය පුතාව අතට ගන්න. සිඹින්න. නලවන්න. මේ බලන්න අපි අර විදිහට ගොරහැඩි විදිහට දකින තාත්තා ඒ සඳහා සූදානම් වන විදිහ.
නිය පෙළ සිඳලයි දෑත පාන්නේ තුරුළට ගන්නට ආදරයෙන්....
ඔහු දරුවා තුරුළට ගැනීම පිනිස දිගට වැවුනු කුණු පිරුණු සිය නියපොතු කපනවා.
දැලි පත සිදලයි කොපුල පාන්නේ මුව සිපගන්නට ආදරයෙන්...
ඔහු දරුවා සිපගැනීම සඳහා අවුල් වූ දුහුවිලි බැඳුනු නරි වලිගයක් වගේ වුනු සිය රැවුල කපනවා.
මට කියන්න අවශ්‍ය වුනේ බොහෝ විට පියාගේ ආදරය අම්මාගේ ආදරය වගේ පෙනෙන්නේ නෑ. පෙන්වන්නෙත් නෑ. ඒ නිසාම දැනෙන්නේත් නෑ. ඔහුගේ ආදරය ඔහු හිතේ හඟවාගෙන ඉන්නේ. ගත ගොරහැඩියි. නමුත් හිත මෘදුයි.
නියපෙළ සිඳලයි ගීතය අසන්න


සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීතය මම තෝරාගන්නේ විශේෂයෙන් මේ දරුවන් ගැනත් හිතලා. ඉස්සරවෙලා ගීතය අහල ඉන්නකෝ.


චන්ද්‍රමණ්ඩලේ සැතපුනු පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ...

දුවේ, නුඹ අපේ නිවසේ අපේ රැකවරණයේ හිටියේ හරියට හඳේ ඇඳුනු සි රුව වගේ. ඒත් දවසක නුඹ නොකියාම ගියේ හරියට පුංචි ලැයිම් කාමරේට එළිය දුන්නු පහණ නිවුවා වාගේ.
මේ පියාට දරා ගන්න බෑ ඈ ගියේ ඇයි කියා. ඔහු ඇගෙන් අහනවා නොකියාම මෙතරම් දුකක් දී ගියේ ඇයි කියා.

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගැහැණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ...

සරල බොල් අලංකාරයට රැවටුනු බවයි මේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ හැංගිලා ගියා යන්නෙන් අදහස් කරන්නේ. හැබැයි මේ විදිහට ගිය පළමු වැන්නී ඈ නොවේ. ඒ ඉස්සර ගිය අයට හොඳක් වූවා නම් මේ පියාට හිත හදාගන්නත් ඉඩක් තිබුණා. ඒත් ඒ කතා අහලා බැළුවාම ඒ බොහෝ දෙනාට වුණේ පාර වැරදුනු එකයි. ඒ නිසායි ඔහුට ඇති ලොකුම දුක.

මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සිංදු කී වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ...

මට නම් මැවෙන්නේ හම්පඩ ගැහිච්ච ඩෙනිම් කලිසමක් හැඳ, මිනී ඔළුවයි ඇට කටු දෙකයි ටී ෂර්ට් එක හැඳ, බලු දම්වැලක් වගේ ඝනකම සුදු යකඩ මාල කරවටේ බැඳගත්,  කුඩු කට් එක කපලා කොන්ඩෙ තඹ පාට කරපු, පරණ ට්‍රේල් බයික් කට්ටක නැගී කෙල්ලන් සිටින ගෙවල් අසලින් එහෙ මෙහෙ පැද යන රස්තියාදු කාර අයියා කෙනෙක්. අද කාලේ ස්ටයිල් එක මේකයි කියලා කොල්ලෝ කී දෙනෙක් මේ විදිහට රඟනවද...... අද කාලේ ස්ටයිල් ඒකයි කියා කෙල්ලෝ කී දෙනෙක් මේ වගේ උන්ට රැවටෙනවද..... ඒක සමහර විට දෙමාපියන් හෝ ගුරුවරුන් දැනගන්නේ පෙරහැර ගොස් ගොඩක් කාලෙකට පසුවය. ඊටත් ගොඩක් කාලෙකට පසුව සමහර විට ඔවුන් අපි ළඟටත් එනවා පිහිටක් පතාගෙන..... වෙච්ච වැරදි හදා ගන්න පුළුවන්ද අහන්න. ඒත් එවිට ඔවුන් ඒ වැරදි පාරේ ගිය දුර දිග වැඩියි.
මෙන්න මේ විදිහට තමන්ගේ දුවටත් මග වරදීය කියන බය මේ ගීය ලියන පියාට තිබෙනවා. ගීයේ ඉන්න පියාටත් තියෙනවා. මේ පියාට විතරක් නොවෙයි දරුවනේ ඔය දියණියන් සියල්ගේම මව් පියන්ට තියෙනවා. ඒ බව ගොඩක් දියණිවරුන් දන්නවා. ඒත් සමහර දියණි වරුන්ට මේ බව අමකත වෙනවා. මතක් වුණත් අර වගේ උරුලෑවෙක් දැක්කාම අමතක වෙනවා. ඒ නිසාම අමාරුවේ වැටෙනවා. තමනුත් තම දෙමාපියණුත් සහෝදර සහෝදරියනුත් අනන්ත දුකක හෙලනවා.
මේකත් කියන්නම ඕනෑ. මේ දේවල් සමාජයේ වෙන්නෙත් මේ ගීතයේ විදිහටමයි. කිසිම වෙනසක් නෑ. ඒකටත් හේතුවක් තියෙනවා.
දෙමාපියෝ සාමාන්‍යයෙන් දරුවන්ව විශ්වාස කරනවා. අනිත් සේරම දරුවෝ වැරදි කලත් තමන්ගේ දරුවා එසේ නොකරාවි යැයි සිතනවා දෙයක් අන්තයටම යනකල් එයාලාට නොපෙනෙන්නේ ඒ නිසයි සමහරවිට. ඒ විශ්වාසයයි සමහර දරුවෝ අයුතු විදිහට පාවිච්චි කරන්නේ.
මේ වැඩ සටහනට මට කතාකළේ ඇයි කියා ඔබට යම් ඉඟියක් කළින් ලැබිලා ඇති. අද මෙතැන මම ගැන හැඳින්වීමේදීත් මේ ගැන කියවුණා. කියවුනේ වෛද්‍යවරයෙකුට අමතරව මම කවියෙක් සහ ගීත රචකයෙක් කියා. දැන් ඔයාලා මෙහෙම හිතනවා ඇති
බොරුද කොහෙද ඒයි....
අපි අහලවත් නෑ මෙයාගේ නම....
එහෙම ගීත රචකයෙක් ඉන්නවාද ...
හිතුවා නේද එහෙම?
එහෙම හිතුවත් වරදක් නැත්තේ දැන් ඉතින් ගීත රචකයෝ සංගීතඥයෝ ගැන වැඩි කතා බහක් ගීත ප්‍රචාරයවන විට නැති නිසා. අනෙක අපේ සංගදාස මහත්තයාගේ හිස ගසා දැමුවා වගේ ගීතනේ දැන් වැඩිපුර යන්නේ. අපේ වගේ ඒවා නොවෙයි නේ. ඒ නිසා මගේ ගීතයක් දෙකකුත් මෙහි ඉදිරිපත් කරන්න හිතුවා.
අර කතාවකුත් තියෙනවානේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියා. ඒ නිසාම නොවෙයි. මගේ ගීතයක් දකකුත් අහල බලන්නකෝ.
මේ දැන් කාලේ තරුණයින් තමන්ගේ හිත ගත්තු ළමිස්සිව දකින විදිහ.

සූකිරි බට්ටිය මගේ චොකලට් කෑල්ල මගෙ
නුඹ ලොලැබුනොතින් මම පනිනව ලෝකාන්තේ....

ගීත අසන්නට ඇවැසි කෙනෙක් වේ නම් මෙතැනින් අහන්න



මේ අපි ඒ කාලේ එවන් තරුණියක් දැක්ක විදිහ.

සුවද මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මීරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා....

අපට ඒක දැනුනේ ඒ විදිහට. සූකිරි කෑලි.... චොකලට් කෑලි.... තල කෑලි..... කජු කෑලි..... පැනි කෑලි.... හැලප කෑපි විදිහට නොවෙයි....
සුවඳ මල් ගීතය අසන්න



අමරසිරි පීරිස් මහත්මයා මට නම් වර්තමානයේ සිටින දක්ෂම ගායකයින් දෙදෙනාගෙන් කෙනෙක්. සමහරුන්ට නම් නැමි පනාව ගහපු, අං තට්ටුව දාපු පඟර නැට්ටෝ තමයි හොඳම ගායකයෝ...
ඉතින් මට දැනෙන හොඳම ගායකයෙක් වන අමරසිරි පීරිස් මහත්මයාට ගීතයක් ලියන්න අවස්ථාවක් මට ලැබුණා. එය මට ලොකු අවස්ථාවක් වුණා.
මේ ගීතයේ මුල් පද මෙහෙමයි.

මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා
යන්න හිතෙන්නේ....

මට මේක ලියැවුනේ දිනක් කොළඹ මැජෙස්ටික් සිටි කියන වෙළඳ පරාදීසයට ගිහින් ආ පසුවයි. ඒ බොහෝම තරුණ කාලේ...ඒක හරියට සුර පුරයක් වගේ.... පාට පාට හිනයක් වගේ කියා විටෙක හිතුනා. තවත් විටෙක එහි සැරිසැරූ යුවතියන්... පෙම්වතුන් දුටු විට ඒක ආලවන්න වීදියක් කියා හිතුනා.
තවත් හිතුවොත් එහි වෙළඳ සල්පිල්....
මේකට වඩා අරකේ විසිතුරු බඩු භාණ්ඩ... ඒකට වඩා ඊ ළඟ එකේ... ඊටත් එහා එකේ. මේ විදිහට නිමාවක් නෑ.
මේ දේවල් පිළිබඳව ඇති වන ආශාවේ කෙළවරක් නෑ. එකක් අතේ තියාගෙන ඉන්න විට හිතෙන්නේ අනෙක ඊට වඩා සුන්දරයි. විසිතුරුයි කියා. මේ පාරිභෝගික සමාජයේ අතේ ඇති දෙයකින් සෑහීමට පත්වෙන්න බෑ. හිතන විසිතුරු බාණ්ඩයක් වුව සමහර විට ප්‍රේමණීය චරිතයක් වුව ඒ විදිහයි. අතේ ඉන්න කුරුල්ලාට වඩා පඳුරේ ඉන්න කුරුල්ලා හොඳයි කියා හිතෙන්නේ.

මේ සිතුවිල්ල ඇති වුණු නිසයි මම
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා
යන්න හිතෙන්නේ.... කියලා ලිව්වේ.

ඒත් සිහින වලින් වඩා සොඳුරු සිහින සොයමින් යන කෙලවරක් නැති මේ ගමනෙන් ලැබෙන්නේ සැනසීමක්ද? සිත් වේදනාවක්ද? ගීතයේ ඊ ළඟ කොටස් තුළ ඒ ගැන කිව යුතුයැයි මට හිතුනා.

මේ ආලවන්ත වීදියේ
සොදුරු වුණත් පාට හීන
වැඩි දුර නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරෙස්සමින් නොගත්තොතින්
සිහින බිඳෙන්නේ

වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන මේ ගමනෙන් සැනසීමට වඩා ඇති වන්නේ සිත් වේදනාවන් ය. පරෙස්සමින් නොගත්තොතින් සිහින බිඳෙනවා යැයි කිව්වේ ඒ නිසායි.
සුරේෂ් මාලියැද්දේ සංගීතඥයා විසින් සංගීතවත් කළ අමරසිරි පීරිසුන් විසින් ගයන මගේ ඒ ගීතය අසා සිටිමු.
ආලවන්ත වීදියේ ගීතය මෙතැනින් අසන්න


ඉතින් කාලය ගෙවෙන්නේ හිතන්නට බැරි වේගෙන්. ඒ සමගම මට ලැබෙන කාලය අවසන් බවයි ඉන් කියන්නේ. දැන් මම මේ කතාවට විරාමයක් තැබිය යුතුයි.
මේ වැඩසටහනේ අරමුණ වුණේ බිඳවැටෙමින් තිබෙන අපේ රසඥතාව නැවත බිඳුවක් හෝ ඔසවා තැබිමයි. මේ එක් වැඩ සටහනකටවත්..... මෙවන් වැඩසටහන් රැසකටවත්.... එය කරන්න බෑ. එය ඊට වඩා අතිශය පුළුල් දෙයක්. ඊට මැදිහත් විය යුතු අය බොහෝයි. ඒ සඳහා රටක් වශයෙන්ම යම් යම් ප්‍රතිපත්තිමය තීරණ වලට ආ යුතුයි. එය ඉටුවන දිනය බොහෝ ඈතක බව පෙනෙතත් එතෙක් නිහඬව සිටිය නොහැකි නිසායි මේ විදිහට හඬ අවදි කරන්නට අපි මෙතැනට ආවේ. ඉන් අද උදේ මෙතැනට ආ ඔබ රැගෙන ආ දේට වැඩි යමක් ආපසු අරන් යනවා නම් එයයි අපේ සතුට. මම නැවතත් කියන්නේ
රසයෙන් පිරිහුණු සමාජය
අසංවේදීයි.
පසුගාමීයි
කුහකයි.
ආත්මාර්ථකාමීයි
ඊර්ෂ්‍යාවන්තයි
දුෂ්ඨයි...
දරුණුයි.....
මාරාන්තිකයි.
ඕනෑම නරුම ඉලක්කයක් වෙත දක්කන්න ලේසියි.
ඒ නිසායි අප හොඳ රසවතුන් විය යුතු.
වැඩසටහනේ අවසන් ගීතය ලෙස ජනප්‍රිය වුණු මගේ පළමු ගීතය වාදනය කරණවා. අවසානයේ යම් කතාබහක් අදහස්දැක්වීමක් කරණවා නම් ඉඩ තබමින්...
ගාන තෙල් සඳුන් වරලස ගිතය.


සමාප්තයි.
-        යසනාත් ධම්මික බණ්ඩාර   -