Wednesday, September 30, 2015

හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ






පසු ගිය සතියේ මගේ බ්ලොග් සටහනේ එක් විශේෂිත ගීයක් පිළිබඳව කළ විමසුමට ලියූ පිවිසුම මෙහි යළි අමුණමි.

මල් ගීත රැල්ලක් ආවේ මේ යුගයේ වුණාට මල් ගීත ලිවීම ඇරඹුනේ අද ඊයේ නොවේ. ඩෝල්ටන් අල්විස් කවියා විවිධ මල් වල නම් වලින් ලියූ ගී රැසකට හිමිකම් කියයි. 



එම ගී ගැන විමසුමට පෙර ඔහු ගේ ගී ගැන ලියූ මුල් කොටස් නොකිය වූ ඔබට පහත පිවිසුම් ඔස්සේ එහි පිවිසිය හැකිය.

ඩෝල්ටන් අල්විස් ගී රස - පෙර කොටස් වෙත පිවිසුම්
පළමු කොටස -

දෙවන කොටස -

තෙවන කොටස -

සමහර මල් වල නම් ගීත වල යොදා ගැනීමෙන් මලට වත් ගීතයටවත් දෙකටම ගරුත්වයක් නොලබන අප්‍රසන්න ඒවා වෙයි. විවිධ වූ මල් අතරේ නියඟලා මලට, සියඹලා මලට මතු නොව කෙහෙල් මලටවත් මල්ගීත කරුවන්ගෙන් බෙරී සිටීමට නොහැකි වට පිටාවකි අද උදා වී ඇත්තේ. ඒවා කිසිදු නැවුම් බවකින් නොයෙදී බලෙන් ලියූ ගී සේ අපට ඇසේ. එහෙත් ඩෝල්ටන් අල්විසුන් ගේ එවන් කිසිදු ගීයක් එලෙස නොඇසෙයි.

අරුනළු මල්...
තුඹ මල්...
නිශා මල්...
අත්තන මල්...
සිංහල මල්...
නිල් බුනීල මල්...
චන්දන මල්....
බකිනි මල්...
සූරිය මල්....
සපු මල්...
දුනුකේ මල්...

මේ ඔහුගේ ගීතයන්ට සුවඳ දුන් මල්ය. මේ සමහර සුවඳ මල් ඇත්තෙන් ම මල් ම නොවේ.
අරුනළු මල්...
නිශා මල්...
සිංහල මල්...
මේ එවැනි මල් නොවන මල් කිහිපයකි. එහෙත් ඔහුගේ ගිතයේදී ද, මිනිස් හදවත් තුළදී ද ඒවා මල් යැයි හැඟෙයි.
මේ එවන් තවත් මල් වර්ගයකි. එක මලක් නොව මල් වර්ග ගොඩකි. ඒ මොන මොන මල්දැයි විමසා බැලිය යුතුම ය.

මල් ගීත රැල්ලක් සේ රසිකයිනට නොහැඟෙන සේ  ඩෝල්ටන් අල්විසුන් ලියූ මල් ගීත ගැන විමසුමය අද මගේ ව්‍යායාමය. එය ව්‍යායාමයක් ම වුව ඇඟ ඇදෙන, ඇට කැඩෙන ව්‍යායාමයක් නොවන්නේ, අති සුන්දර ගී රැසක් එහිදී විමසුමට බඳුන්වන බැවිනි.
මේ සමහර ගීයක් අප පෙර කොටස් වලින් කථා කර ඇත්තෙමු. එහෙත් එය නොතකා තැනක එවැනි ගීයක් පිළිබඳව පෙර පළ කළ අදහසක් යළි පළ වී තිබුණහොත් කමන්න. නැති නම් මේ සටහනට එය අඩුවක් විය හැකි වන නිසාය.
මේ සටහන ඇරඹුමේදී ම විජේසුන්දර වේරගොඩ ගේ හිතේ පිපෙන මල් ගීතය යොදා ගත්තේද එබැවිනි. 


අනෙක නම් එවන් සුන්දර ගීයක් තවත් වරක් ඇසීම පිනක් මිස පවක් නොවන හෙයිනි.

හිතේ පිපනෙ මල් - හිත රිදවන මල්
අනේ කුමට පිපෙනවාද
අහක බලන මල්

ගීතය අසන්න.....




තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් - රෙද්ද ඇඳල
බංදි වළලු දෑත දමාලා
මම දොර ළඟ බලා ඉන්නවා
අනේ තාම ආවෙ නෑනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

මෙහි ඇත්තේ කුමන මල්ද? තුඹ මල් ය. 


තුඹ මල් පිපී ඇත්තේ කොහිද? ඇය හැඳි චීත්ත රෙද්දේය. තුඹ මල් පිපුනේ කෙසේද? තුඹ මල් තුනේ තුනේ රටාවට ය. එවන් සොඳුරු චීත්තෙකින් සැරසී මේ රුවැත්තිය බලා සිටින්නේ යමෙක් එනතුරු ය. එහෙත් ඔහු තාමත් ඇවිත් නැත.
ඒ කුවුරුන්ද?
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා ය.
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා යනු අනංගයා ය. ඉලංදාරි යනු ඉල්ලන් දාරි හෙවත් දැරිවියන් ඉල්ලන්නා ය.
මේ අනුව මෙහි කියන්නේ තාමත් ඈට සිකුරා නොලැබූ බවයි. සිකුරා වඩින තුරු ඈ අතැඟිලි ගණිමින් හිඳී.

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් ඇරිය
ඒත් තාම ආවෙ නෑනේ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

අද මෙන් එකල විවාහයට නිසි වයස එළඹෙන්නේ නිසි වයස පැන්න පසුව නොවේ. මේ නිසා හිත් ගත් තරුණෙකු සොයා ගෙන දීග ගොස් පැළක් ගෙපැළක් පවත්වාගෙන යන්න, දරුවෙකු වදා හදා ගන්න හැකි වයස නිසි වයස නම් විය. ඒ වයස වන විට තරුණෙකුගේ හිත දිනා ගන්නට ඈ ප්‍රමාද නම් ඈ සිත ඇති හැඟුම් කැළඹුම් සහගතය. එවන් කැළඹුම් සහගත සිතක ඇති සිතුවිලි කැළඹිල්ල නොකැළඹුනු වචනාවලියක් ලෙසිනි ගීතයෙහි මතුවන්නේ. ඒ හැඟුම් අසන්නා විසින් වටහා ගත යුතුය.
මෙම ගීතයේදීද නැවතත් අල්විසුන් ගේ ගීත ආකෘතිය ඉස්මතු වෙයි. ඒ තුළ සංගීතඥයා පෙළහර පායි. රචනයෙහි ඇත්තේ

තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් - රෙද්ද ඇඳල
බංදි වළලු දෑත දමාලා
මම දොර ළඟ බලා ඉන්නවා
අනේ තාම ආවෙ නෑනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

එහෙත් ගීතයේ තනුව නිර්මාණය වෙද්දී එය මෙලෙසට දිගු වෙයි.

තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් - රෙද්ද ඇඳල
බංදි වළලු දෑත දමාලා
මම දොර ළඟ බලා ඉන්නවා
මම දොර ළඟ බලා ඉන්නවා
අනේ තාම ආවෙ නෑනෙ
ආවෙ නෑනෙ
ආවෙ නෑනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් තුඹ මල්
තුං තුඹ මල් - රෙද්ද ඇඳල
බංදි වළලු දෑත දමාලා


දැන් මෙහි රචකයා සිය රචනයෙහි ස්ථායී කොටස කෙටියෙන් කිරීම තුළය සංගීතඥයාට රචනාව දැක සිය සිත උපදින හැඟීම් උත්කර්ශයකට ගෙන ආ හැකි සේ සමහර පද නැවත නැවත ගායනා කරවීමට හැකියාව ලැබී ඇත්තේ. මේ සංගීතඥයා තේරුම් ගන්නා හැඟීම් යනු අර යෞවනිය තුළ වූ කැළඹිලි සහගත හැඟීම් සමුදාය නොවේද? ගීත රචකයා සංගීතඥයාව අවුස්සා තබා පසෙකට වී බලා සිටී. සංගීතඥයා එයින් නිර්මාණාවේශය ලබා සිය උපරිමය පෙරලා ඊට එක් කරයි. ගීතයේ චමත්කාරය මතුවන්නේ එවිටය.
මෙහි පළමු අන්තරා කොටස ගත්තද එලෙසින්මය. එවන් තත්වයක සිටිනා යුවතියකගේ සිත ඇති කැළඹීම මනාව මතුවන අයුරින් අවැසි තැන පද නැවත නැවත ගායානා කරවා ගන්නේ රචකයා නොව සංගීතඥයාය.

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් ඇරිය
ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් ඇරිය
ඒත් තාම ආවෙ නෑනේ
ආවෙ නෑනේ
ආවෙ නෑනේ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

ඔහු ගීත රචනයෙහි වෙසෙස් වන්නේ එබැවිනි. අන් ගීත රචකයින්ගෙන් ඔහු වෙනස් වන තවත් කරුණක් වන්නේ ද එයම ය.
ඔහු ඈ සිත ඇති තම වයසට අනුව පළමු පැතුම යලි කියනා විදිහ සැම ට ම වඩා වෙනස් ය.
රටක් වටිණ කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්න
උදව් වෙන්න ආවෙ නෑනේ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

මේ කොටසේදී ද සංගීතඥයා එම හැඟීම් වඩා උද්දීපනය කිරීම පිණිස සමහර පාද යළි යළි ගායනා කරවයි.


රටක් වටිණ කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්න
රටක් වටිණ කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්න
උදව් වෙන්න ආවෙ නෑනේ
ආවෙ නෑනේ
ආවෙ නෑනේ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා.....

තුං තුඹ මල් ගීතය අසමු.



සුදෝ සුදුවට හෝ ළා දම් පැහැයට පිපෙන අත්තන මල් සැබැවින්ම සුන්දරය.
සුන්දරය. රුවැතිය. 




මල කොපමණ සුන්දර වුව රුවැති වුව, මල තම කුස හොවා බිහිකරණු ලබන අත්තන ඵලයෙහි ඇට විස සහිත වෙයි. මේ ගීය අත්තන මල් ගැන නොවේ. අත්තන මල් වළල්ලක් මැද අරලිය මල් රිකිල්ලක සිටින මස්සිනා පොඩ්ඩක් ගැනය.

අත්තන මල්
අත්තන මල්
අත්තන මල් වළල්ලේ
පුංචි මස්සිනා හිටියා
අරලිය මල් රිකිල්ලේ....
හේනෙ ළිඳට මම කොට
පුංචි මස්සිනා හිටියා
අරලිය මල් රිකිල්ලේ....



සිරිපොද වැහි බිංදු නටන
හැන්දෑ වෙන වෙලාවේ
ළිඳට ගිහින් මම එනතුරු
මග බල බල
පුංචි මස්සිනා හිටියා
අරලිය මල් රිකිල්ලේ....

අත්තන මල් ගීතය අසමු.



මේ අතර නැවතත් පෙර සටහනක ලියූ ගීතයක් වෙත මා යා යුතු වන්නේ එම රචනාව තුළද මෙවන් මල් ඊට රුව සහ සුවඳ පුදකර ඇති බැවිනි.
විස්මය චිත්‍රපටයෙහි බහා අපට පුද දුන් අමුතු අමුතු අරුණළු මල් හිතේ පිපෙනවා නම් වන ගීය ගැන විස්තර රැසක් කළ ද මෙහි යළිත් ඒ ගැන කෙටි හැඳින්වීමක් වත තැබිය යුත්තේ යුතුකමක් වශයෙනි.
සිය උපන් රට ජාතිය වෙනුවෙන් ඇති අපමණ සෙනෙහසින් අල්විසුන් රචනා කළ ගීතය පිළිබඳව ඔහු තුළ තිබෙන්නට ඇතැයි හැඟෙන සිතුවිලි ගොන්න යළි යළි වුව සඳහන් කිරීම අප සතු යුතුකමකි.
එවන් උතුම් ගී ලිව නොහැකි මා සතුව අවමයෙන් එවන් උතුම් ගී ලියූ උතුමෙකු ගැන ඇති ඒ ගෞරවාන්විත බව හෙළි කිරීමේ යුතුකම හෝ පවතින බව කිව යුතුමය.
එබැවින්ම යළිත් පුරුදු ලෙස එදා මා එම සටහනට ලියූ මෙම ගීතය පිළිබඳ හැඳින්වීම යලි මෙහි අමුණමි.
එම සටහන කියවා ඇති තැනැත්තෙකුට ගීතය පමණක් අසා ඉතිරි කියවීම් සඳහා යොමු විය හැකිය. තවත් වරක් කියවනු රිස්සෙක් මෙය කියවාම යනු ඇත.

විස්මය සිංහල චිත්‍රපටය තිරගත වූ දිනය වූයේ 1978 මාරතු 10 දාය. එහි  කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය ජේ. කේ. චාල්ස් පෙරේරා ගේ ය.
මේ විස්මය චිත්‍රපටය මා නරඹන ලද්දේ ජාතික රූපවාහිනී ප්‍රදර්ශනයකිනි. විජය කුමාරණතුංග (ජනක) මාලිනී ෆොන්සේකා (නීතා) ප්‍රධාන චරිතය රඟ පෑ මෙම චිත්‍රපටයෙහි වැයුණු ලස්සන නම් නෑ පෙනෙන්නේ සහ අමුතු අමුතු අරුණළු මල් ගීත ද්වය අතිශයින් ජනප්‍රිය වුණි. ඒ ගී දෙකම ගායනා කරණ ලද්දේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා විසිනි.
මේ චිත්‍රපටයේ සහ ගීත වල සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සරත් දසනායක නම් මහා චිත්‍රපට සංගීතඥයා ය.  
සරත් දසනායක මහා චිත්‍රපට සංගීතඥයා යනුවෙන් කීම ගැන වෙනම ම කතා කළ යුතු බැවින් එය පසුවට තබමි.


( මේ සරත් දසනායක නම් මහා චිත්‍රපට සංගීතඥයා යන යෙදුම චිත්‍රපට මහා සංගීතඥයා දේ නිවැරදි විය යුතුයැයි යෝජනාවක්ද කෙරී ඇත. එහෙත් කියවන විට මට වඩා දැනෙනුයේ ඒ විදිහට ලිව්වොත් වන බැවින් එය එලෙසින් ම ලියමි.).

මේ හැඳින්වීම විස්මය චිත්‍රපටය පිළිබඳව විවරණයකට මුළ පිරීමට නොවේ. එහි එන අමුතු අමුතු අරුණළු මල් ගීතය ගැන කතා කිරීමට ය.

අමුතු අමුතු අරුණළු මල්
හිතේ පිපේවා
හිතේ සුවඳ මව් දෙරණේ
නිබඳ රැඳේවා

මට මතක හැටියට මේ චිත්‍රපටයේ දී ගීතය ගයන්නේ නෙත් අඳ පුද්ගලයෙකු විසිනි. ඔහුගේ චරිතයට පන පොවන්නේ විජය කුමාරතුංග විසිනි.
චරිතයට අනුව ගත් කල ඔහු අරුණළු මල් ඇසින් නොදකී. පිපෙන්නේ සිත්හි පමණි.

ඔහු තුළ ප්‍රාර්ථනයක් වෙයි.
අමුතු අමුතු අරුණළු මල් සිතේ පිපෙන ලෙසටය ඒ ප්‍රාර්ථනය. ඒ මල්වල සුවඳින් සිය මව් බිම සුවඳවත් වේවායි ඔහු සිය පැතුම උතුම් තැනකට ගෙන යයි.

මගේ පවර මව් භූමිය
සිඹින උතුම් ආශාවෙන්
නව නිවහල් පැතුම් රේණු
හිතේ නටනවා

ඔහු සිත පූදින්නේ අළුත්, වහල් බවින් මිදුනු හැඟීම් ය. සිතුවිලි ය. ප්‍රාර්ථනාවන් ය. ඒ හැඟීම්, සිතුවිලි, ප්‍රාර්ථනාවන් සිය මව් භූමිය සිඹගන්නා අදිටනින් යුතු ඒවා වෙයි.

අනාගතය දෙස පාවෙන
අතීයෛක සියුම් සුවඳ
ඉවසිලි නැති ආශාවෙන්
හිතේ නටනවා

සිනමා පටයේදී මේ නෙත් අඳ තරුණයා විසින් ගීය ගයනුයේ වීණාවක්ද වයමින් බව මට මතක් වෙයි. ගීතය ලියැවී ඇත්තේ ජවනිකාවට ගැලපෙන අයුරින්ද නැති නම් ගීතයට ගැලපෙන අයුරින් ජවනිකාව මැව්වාද යන්න මම නොදනිමි. නමුත් එහි ඇත්තේ එවන් ජවනිකාවකි. එම තරුණයාගේ නෙත් අඳ වුව ඔහු තුළ වන පිවිතුරු පැතුම තමන් ගයනා ගීය සිය මව් පොළොව පිස හමන මද සුළඟට මුසු වේවා යන්නයි.
දැන් ගීත රචකයාගේ චිත්ත සන්තානය ගීතයට සහ චිත්‍රපටයට බලපාන ආකාරය මෙහිදී සලකා බැලිය යුතුය.
මේ තරුණයා චිත්‍රපටය තුලදී තවත් ජනප්‍රියම ගීතයක් ගයයි.

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුට දේ.....


ඒ ද හොඳ ගීතයකි. ඒ ද ජනප්‍රිය ගීතයකි. එහෙත් එවන් ම වූ තවත් හොඳ ජනප්‍රිය ගීතයක් පමණක් ම නොවී එයට උත්තම ගුණයක් එක් කරණුයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාගේ ඉල්ලීම මත යැයි මම නොසිතමි. ඔහු ඉල්ලන්ට ඇත්තේ තැනට සුදුසු ගීතයක් කර දෙන ලෙසය. එහෙත් එයට සිය ආත්මය එක් කරමින් මෙවන් උත්තම ගණයේ තැනකට ගීතය ඔසවන්නේ ගීත රචකයායයි. ඒ ගීත රචකයා කවුරුන්ද? මා මෙම බ්ලොග් අඩවියේ මීට පෙර ලිපියේ කතා කරමින් සිටි ඩෝල්ටන් අල්විස් කිවිවරයාය.

වීණාවට තුරුළු වෙලා
ගයන ගීය මව් පොළොවේ
හමන සිහිල් මද පවනට
දීලා යනවා....

අමුතු අමුතු අරුණළු මල් ගීතය අසමු.



පෙර සටහන් වල කතා කළේ වුව, විවිධ මල් වර්ග වලින් සුසැදි  මෙවන් ගී පිළිබඳව යළි මතක් නොකර යාමට මා සිත ඇති අකමැත්ත සහ මට ඇති අපහසුව ඔබ වටහා ගනු ඇතැයි සිතමි. එමෙන්ම නැවත වරක් කඅයවූවා හෝ නැවත වරක් එම ගීත ඇසුවා යැයි එය ඔබට කරදරයක් නොවේයැයි ම ඔබ ගැන හිතන අයුර වරදක් නොවේ යැයි ඔබද අනුමත කරණු ඇතැයි හඟිමි.

මේ අනුව පසු ගිය සටහනක කතා කළද, බණ්ඩාර අතාවුදයන්ගේ 



නයන කළූ ඔබ මගේ කළූ ගීතය ගැන ද යළි සඳහන් නොකර බැරිය.


ආශාවේ මල් වැටෙන් එබී
නිළුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

බොහෝ අය ආදර ගීත වලට යොදා ගන්නේ සුදු කෙල්ලන්. කළු කෙල්ලන් යොදා ගත් අවස්ථා හරි අඩුයි. හැබැයි නැතුවා නොවෙයි.

කළු උක්ගස විලසා කළු - කළු නංගියේ
දර කඩලා බිම තියලා කොහිදෑ ගියේ....

මේ වික්ටර් රත්නායක මහතාගේ ගීතයක කොටසක්. මට එහි රචකයා නම් මතක නෑ. සුනිල් ආරියරත්නයන්ද කියාත් හිතෙනවා.
ඉතින් කළු උක්ගස වන් ඒ කළු යුවතිය සේ ම මෙහි දීත් මේ ගීතයට පන දෙන යුවතිය කළු එකියක්. ඈ කළු වුණත් ඇගේ නෙත් වශීකෘතයි. අන් නෙත් පැහැර ගන්නා සුළුයි. ඒවා හරියට නිල් මහනෙල් මල් වැනියි.
මේ යුවතිය එදින ඔහු දෙස බලන්නේ ආශාවේ මල් වැටෙන් එබිලායි. ආශාවේ මල් වැට යන්න ගැන විවිධ අය විවිධ ලෙස අරුත් ගන්වා තිබෙනයුරු මා දැක තිබෙනවා. ඒත් මම නම් හිතන්නේ මෙතැන මේ ආශාවේ මල් වැට යනු, මේ යුවතිය සිය සිත් ගත්, එහෙත් ඔහුට හෙළි නොකළ සිය හැඟීම් තව දුරටත් සඟවා ගත නොහී ඔහු දෙස හෙළන එකඟතාවයේ පළමු බැල්ම ලෙසටයි. ඒ බැල්මෙන් බලන කල උහුට ඈ පෙනෙනුයේ තවත් වශීකෘතව ය.

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලේ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ – මට කියනු කළූ

සඳවතිය නිදන්නේ රෑ අහසෙහිය. නිදනවා යනු මෙහි හිඳිනවා යන්න විය යුතුය. ඈ තමන් හැඳ සිටින සළු පිළි මිදුලේ එලයි. ඇගේ සළු රැළි යනු සඳ කිරණයි. අඳින සළු මිදුලේ එළුවා යැයි කියන්නේ සඳ කිරණ මිදුලෙහි දෝරෙ ගලා ඇති වගයි. ඒ දසුන ඒ මොහොත කොතරම් සුන්දරද? ඔහු සිතනවා ඈ ද ඒ සුන්දර මොහොතේ අවදිව ඇති කියා. මේ සුන්දර මොහොතේ ඔහු ගේ සිතේ වැඩ ඉන්නේ ඇය පමණයි. මේ සුන්දර මොහොතේ ඇයගේ සිතේ ඔහු පිළිබඳ අදහස් ලියලනවා දැයි දැන ගැනීමට ඔහු සිතේ ඇත්තේ අපමණ කැමැත්තක්.

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වේලූ නයන කළූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ – මට කියනු කළූ

සුන්දර සිනාවෙන් හැඩවුණු ඈ වත පායන පුර සඳ සේ යැයි ඔහුට සිතේ. ඒ සුන්දර මොහොතේ  ඈ වත ද එවන් ම සුන්දර සිනාවකින් හැඩ වී ඇතැයි ඔහුට සිතේ. නැවතත් ඔහුගේ සිතේ ඇති කුකුස ඔහුට සේ ම ඇයටද මේ සුන්දර මොහොතේ ඇගේ මතකයෙහි සිටින්නේ ඔහු පිලිබඳ මතකය ද යන්නයි.
අද වන විට එදා මා ලියූ ඒ සටහනට යමක් අළුතින් එකතු කිරීමට ඇත.
2015 සැප්තැම්බර් 28 දින මගේ උපන් දිනය දා මට විශේෂ තෑග්ගක් දුන්නේ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මා මිතුරු වෛද්‍ය අර්ජුන තිලකරත්න විසිනි. ඒ එදින මගේ උපන් දිනය බව ඔහු නොදැන ම ය.
තෑග්ග නම් ඒ දින සැදෑවේ තම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් අභිමුවේ ගී රස වින්දන වැඩ සටහනක් කරණ සේ මට ඇරියුම් කිරීමය. එය පැවැත්වුණේ රන්ටැඹේ කැලෑව මැද පිහිටි වන ජීවී භාරයේ පහුණු කඳවුරේ ශ්‍රවණාගාරයෙහි ය. ඔහු මේ තෑග්ගට තවත් බොහෝ වටිණා දෙයක් එක් කළේය. ඒ නම් බණ්ඩාර අතාවුද මහතා නිදසුන් ගැයුම් ඉදිරිපත් කිරීම පිනිස ඇරියුම් කිරීමය.
එම වැඩ මටහනට මා තෝරා ගෙන සිටි මේ ගීතයට මේ නිසා ලැබුණේ කොපමණ ආලෝකයක්ද?
මම මේ කළ විස්තරයට ඔහුද සිය හැඟීම් ඉදිරිපත් කළේය. එහෙත් ඔහු වැඩි අදහස් දැක්වීම මටම පැවරුවේය. මට ඔහුගෙන් අසන්නට පැණයක් විය.
තාරුණ්‍යෙය් සුන්දරතම අවධියේ මේ ප්‍රථම ප්‍රේමණීය අත්දැකීම සහිත සුන්දර ගීතය ඩෝල්ටන් අල්විසුන් විසින් රචනා කරණ විට අල්විසුන්ගේ වයස කීයද යන්නය. ඔහුගේ මතකයට අනුව නම් එවිට අල්විසුන්ට 40ක් පමණ වන්නට ඇති බව ය.
අල්විසුන් ගේ ගීත රචනා පෙළහරේදී එම තොරතුර අප ඇඟි හිරි වට්ටන කරුණක් නොවන්නේ ද?
තාරුණ්‍යෙය් සුන්දරතම අවධියේ මේ ප්‍රථම ප්‍රේමණීය අත්දැකීම සහිත සුන්දර ගීතය ඩෝල්ටන් අල්විසුන් විසින් රචනා කරණ විට අල්විසුන්ගේ වයස 40ක් පමණ වීම අප ඇඟි හිරි වට්ටන කරුණක් නොවන්නේ ද?

මා පෙර නොකී එදා වැඩසටහනේදී කියූ ඊ ළඟ කරුණ නම් මෙහි යෙදී ඇති ගුණදාස කපුගේ ගේ සංගීතයයි. 


මේ සුන්දර දිනයේ දී ඒ යෞවනයා තුළ වන්නට ඇති හැඟීම්ද ඔහු හද ගැහෙන රිද්මයද මනාව මතුවන සේ තනුව සහ සංගීතය යොදන කපුගේ ඊට කරණ අනෙක් වැදගත්ම දේ නම් එවන් තරුණයෙකු තුළ ඇති සඟවා ගත නොහැකි ප්‍රීති ප්‍රමෝදය දෝරේ ගලා යන්නට ඉඩ සැලසීමයි.
මේ ගීතය අනෙකෙකුට ගයන්නට නොව තමන්ටම ගයන්නට සේ ය ඔහු එහි සංගීත නිර්මාණය නිමකොට ඇත්තේ. මෙහි මූලික තනුව පමණක් ගායකයා විසින් ගැයුවේ නම් මතු වනුයේ කපුගේ ගේ හඬ ම ය. එලෙස වෙනත් ගායකයින් ගයන විට කපුගේ නිමැවූ තනු තුළින් කපුගේ ගේ හඬ ඇසෙන ගී එමට ඇත. ඒවා ගයන ගායකයින්ගේ හිත සුව පිණිස ඔවුනගේ නම් ගම් මෙහි නොලියමි.
කෙසේ වෙතත් මූලික තනුවට එක් කරණ අලංකාරයන් ඔස්සේ හැකි නම් ඒ තුළ තමන්ව මතුකර ගන්නැයි කියනා ආකාරයේ අභියෝගාත්මක තනුවකි කපුගේ නිමවන්නේ. මේ අභියෝගය බණ්ඩාර අතාවුද විසින් ජය ගන්නේ කපුගේ ගේ මූලික තනුවට සිය උපරිමය යොදා ගැයීමෙනි.
මේ බණ්ඩාර අතාවුද ගේ පළමු ගුවන් විදුලි සරල ගී ගායනයෙහි වූ ගීයකි. ඩෝල්ටන් අල්විසුන් විසින් ගුවන් විදුලියට මෙහා නිදහස් චතුරශ්‍රෙය් ගසක් යටදී කුඩා තුණ්ඩු කැබැල්ලක ය මෙම ගීතය බණ්ඩාර අතාවුදයන් ට ලියා දෙනු ලබන්නේ.
මේ තුණ්ඩු කැබැල්ලත් රැගෙන බණ්ඩාර අතාවුද යන්නේ එවකට ශබ්ද පරිපාලකයෙකු වුණු එහෙත් සංගීත විශාරදයෙකු ද වුණු ගුණදාස කපුගේ වෙත ය. අනතුරුවය මේ මිහිරි සුමිහිරි ගීතය අපට ලැබෙන්නේ.

ආශාවේ මල් වැටෙන් එබී ගීතය අසමු.






බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ //
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි , එඩ්වඩ් ජයකොඩි



සංගීතය - රෝහණ වීරසිංහ

මේ ගීතයෙහිද රචකයා අප කිවිවර ඩෝල්ටන් අල්විස් ම ය. සිය ප්‍රේමය දෙමාපියන්ට පැවසිමට පෙර පෙමින් බැඳී සිටින තරුණ දෙහදක පවතින කුතුහලය අතිශය සුන්දර අයුරිනුත් සංයමයෙනුත්, එමෙන් ම මේ තරුණයින් කුමන තරාතිරමක, කුමන පරිසරයක ජීවත්වන අයදැයි වර්ණනය වන අයුරිනුත් ගීත රචනය නිම ව ඇත. එහි පළමු පදය ඇසූ සැනින් මේ නම් සුන්දර ගැමි පෙමකැයි ඔබට වටහා ගත හැකියි. අනතුරුව ගෙත්තම් කරණ සියළු වචන ඒ ලකුණ සුරකින ඒවා වෙයි.
වචන වලින් ඒ ඩෝල්ටන් අල්විසුන් ඒ ලකුණ සුරකින අතුරතුරේ සිය සංගීත සංයෝජනයෙන් ඒ ලකුණ මතුකිරීමට රෝහණ වීරසිංහයන් මනාව සමත්ව ඇතැයි පමණක් පැවසීම ඔහුගේ දායකත්වයට දක්වන මදි පුංචිකමක් නොවේ.
එමෙන්ම මෙවන් ගීයක් ගායනා කිරීමට සුදුසුම කට හඩවල් දෙකක් ද තෝරාගෙන ඇති වග කිව යුතු ම ය. පුණ්‍යා කත්‍රිආරච්චි සහ එඩ්වඩ් ජයකොඩි දෙහඬෙහි සම්මිශ්‍රණය මේ ගීතයට එකතු කර ඇති ආලෝකය අපමණය.
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ ගීතය අසමු.



ඩෝල්ටන් අල්විසුන් ගැන ලියන කුඩා සටහන් ගොන්න වුව නිම කිරීමට මට තවත් බෝ දුරක් යාමට සිදුවන හැඩයකි. එබැවින් විරාමයක් ඇවැසිය. විරාමයෙන් පසු නැවත හමු වන්නේ ඔහුගේ ම ගී විමසුමකිනි.
-        යසනාත් ධම්මික බණ්ඩාර  -


4 comments:

  1. අද ආවෙ මෙ පැත්තට මැක්සා මචෝ. ලස්සනයි.ආයෙත් එන්නමි.
    වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
    http://aseniwesi.blogspot.com

    ReplyDelete
  2. බකිණි ගහේ බකිණි මලෙන් තමා ප්‍රියතම ගීතය.තුං තුඹ මලුත් දැන් නෑසෙන නමුත් මා බොහෝ ප්‍රිය කරන ගීයක්.අතු අගැ දිලි වන මල් ගීය ගැන පෙර ලිපියක ලියැවී තිබුණා කියලා මතකයි.එහි මලක් විශේෂ කොට නොදැක්වුවාට මල් සම්බන්ධ වූ ඉසොඳුරුම පෙම් ගීයක් එය.කලා ක්ෂේත්‍රෙය් යැයි කියා ගන්නා ඇතැම් උදවිය කලාව පරිහානිය කරා ගෙනයන්න කටයුතු කරන කාලයක සපුරා වෙනස් ක්ෂේත්‍රයක සිට මුත් ඔබ කලාව වෙනුවෙන් කරන දේ අපූරුයි.

    ReplyDelete
  3. ඩෝල්ටන් නම් වූ ඒ අපූරු මනුස්සයා කලා කරුවා ගැන ඔබ තැබූ මේ සටහන මනරම්

    ReplyDelete
  4. මේ ගීත ගැන වෙනවෙනම කිව්වම හැම ගීතයටම කියන්න වෙන්නේ ඉතාම කැමති ගීතයක් කියලා තමා

    ReplyDelete