Monday, June 19, 2017

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 6.







මෙම සටහන් පෙළෙහි මුල් කොටස් වෙත පිවිසුම් පහත වෙයි.








පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

මේ ගීතය චිත්‍රපට ගීයක් නොවේ. එය නාට්‍ය ගීතයක්ද නොවේ. නාට්‍ය ගීතයක්  නොවූවද එහි නාටකීය බවක් රැඳී පවතී. මේ නාටකීය බව ගීතය වෙත පළමුව කැන්දාගෙන එන්නේ එහි රචකයා විසිනි. රචනය  


ආචාර්ය අජන්තා රණසිංහ 
යන්ගේ එකකි.

ගීතයෙන් නාටකීය බවක් අප තුළ මවන්නේ අපට හුරු කතා පුවතක ඡායාව වටා එය රචනාවීමෙනි. ඒ නම් සඳ කිඳුරු කතා වස්තුවයි. නැතිනම්, එනම් ජාතක කතාවයි. තවද එනම් නාටකයක්ද වෙයි. මේ සියල්ලේ මතකය නිසාවෙනි ගීතය තුළින් අපට නාටකීය බවක් මැවෙන්නේ.

එහෙත් ඒ පුරාණ කතාව නොවේ මේ. මේ අලුත් කතාවකි. ඒ අලුත් කතාව ද දැන් පරණය. එහෙත් එවන්ම සමාන අලුත් අලුත් කතා ද ඕනෑ තරම්ය. එබැවින්ම ගීතය තුළින් කිසිදා පැරණි නොවන බවක්, සදාකාලික බවක් මතු වේ.

පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

පාලොස්වක සඳක් පායනු වැන්නාවූ සොඳුරු කිඳුරු රුවක් ඔහු දකී. ඒ සොඳුරු කිඳුරු රුව දැක සිත උපදින ආල සිතුවිලි පාලනය කළ නොහැකි වන සඳ ඔහු එම නමට පෙම් බඳී. එහෙත් අර අතීත කතාවේ මෙන්, මේ අලුත් කතාවේ පෙම්වතුන් වාසනාවන්තයින් වෙත්ද? එවැනි වාසනාවක් ලබන්නට නම් පූරුවේ කළ පින් මහමෙරක් තරම් අවැසි වෙයි. එවැනි පින් කන්දක් තමන් සතු වෙත්දැයි ඔහු සැකෙනි. සැකය වඩාත් සත්‍යයට ළඟ බව ඔහුගේ හැඟීමයි.

සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා
එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා

ඈ ද, සිහිනෙනුදු දකිනුයේ, ඒ රුවමය. එක සිහිනෙකද නොවේ. සිහින සතක් පුරාම ඈ දකින්නේ අර ඔහු සොඳුරු කිඳුරු වතයි. ඒ රුව කවරාකාර වනු ඇතිදැයි එහි නොකියවෙයි. පිරිමි ලස්සන ගැයීම සාමාන්‍යයෙන් නොකරණ බැවින් විය හැක. එහෙත් ඒ කුමන අයුරක රුවක්දැයි අපට සිතුවිලි උපදවා ගතහැක.

ඈ වත සියුමැලිය. ඔහු වත ගැනවත් ගත ගැනවත් ඈ කිසිවක් නොකියයි. එනමුත් වත කඩවසම්, ගත හැඩි දැඩි විය හැකැයි හැඟේ. කඩවසම් වතක් හිමි, හැඩි දැඩි සිරුරක් හිමි ඔහු සිත මෘදු එකක් විය හැකියැයිද ඈට සිතුනි නම් එයද විය නොහැක්කක් නොවේ. ඒ අනුව ඈ සිත සොරා ගත් මේ යව්වනයා ඈ සිහින තුළ පවා සරයි.

ඈ ඔහු රුව ලස්සනැයි නොකිවද ඔහු ඈ රුව වණයි.

සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නඟනා
සවනත බිඟු ගී රැල් නඟනා
සවනත බිඟු ගී රැල් නඟනා

ඈ වත සියුමැලිය. වදන් මියුරුය. කර්ණ රසායනය. හරියට බිඟුන් ගයන ගී වැනිය. මේ සියල්ල අසන දකින ඔහු සිත ඈ කෙරෙහි මත් නොවී තිබෙනුයේ කෙලෙසින්ද? ආලයෙන් බැඳුනු සිත් මෙලෙසය. විශේෂයෙන් තමන් එකිනෙකා දකින විඳින අයුර කියන මුල් යුගයේ එය එක්තරා මත් බවක් බඳුමය.

කියා ගන්න බැරුවා
සිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා

ඈ සිත, ඔහු හා කියා ගන්න බැරිවුණු හා තවමත් කියාගන්න බැරි දේ දහසක් වෙයි. කියන්නට සිතෙන දේ තොල් අතරේ දැවටුණද වදන් සේ පිට නොවෙයි. සියල්ල කෙටි කොට ඈට කිව හැක්කේ ඈ සිත ඇති ආදරයයි. එහෙත් එයද සෘජුව කීමට ඈ සිත චකිතයක් වෙයි. කෙසේ වෙතත් ඈ එය ඔහුට පවසන්නේ අදහසක් ලෙස නොව පැණයක් ලෙසයි. එනම්,

මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා ලෙසිනි.

ඇගේ එම ප්‍රතිචාරයට ඔහු මනාප නොවනුයේ කුමන කරුණක් නිසාවෙන්ද? ඇත්තම නම් ඈගේ එම ප්‍රතිචාරය මෙතෙක් ඔහු බලා සිටියා නොවේද? එය හැඟෙන්නේ ඔහු පිලිතුරෙනි.

තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මාල පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

මේ පිලිතුර අනුව ඔහුද, ඈට නොකීමුත් ඉතා නුදුරේදී ඈ කැන්දන් යාම ගැන පවා සැලසුම් කර තිබුණු බව දැනේ.

පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවෙ කල පිං අපට කොයින්දා
පූරුවෙ කල පිං අපට කොයින්දා

මේ ගීතයෙහි යම් නාටකීය ස්වභාවයක් වන බව අප මුළදිම සාකච්ඡා කළෙමු. ඊට පළමු හේතුව එහි රචනය බවත්, එයට ඇසුරු වුණු අතීත කතාව බවත් මා කීවා ඔබට මතක ඇත. එමෙන්ම සඳ කිඳුරු නාටකය ගැන වන මතකයද ඊට හේතුවක් වන්නට ඇතැයි අප කීවෙමු. එහෙත් මෙය එහි එන ගීතයක් නොවෙයි. මෙය වෙනමම නිර්මාණයක් වෙයි. 

ගීතයේ සංගීතඥයාද මේ සියල්ල මනසේ මවාගෙන එහෙත් වෙනම රූපකායක් ඊට දෙමින් සිය නිර්මාණ කාර්යය හසුරුවයි. ඔහු නම් යළිත් අප කේමදාසයන්ම වෙයි. සංගීතයෙන් චිත්ත රූප මැවීමේදී එසේ මැවූ ප්‍රමුඛතම සංගීතඥයා  

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 
යන්ය යනුවෙන් මා මින් පෙර කොටසකදී ලීවේ ඒ නිසාමය.

ගීතය අසන්න....
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස




ඉනුවා නම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුලත්
වියලි සුළඟේ - සුළඟේ.....
දැනුනා නම් හද රිදුමක් දවසක
නිම විය ඒ දුක
සුපසන් ගෙපැලේ - ගෙපැලේ.....

එතරම් ප්‍රකට නොවන මේ ගීය අපට හමුවන්නේ මල්දෙනියේ සිමියොං සිතුවම් පටයෙහිය. එහි ගැයුම අමරදේවයන්ගෙනි. එහි සංගීතය මෙහි අප කතා කරණු ලබන කේමදාසයන්ගේම යැයි ඔබ අනුමාන කරණු ඇත. ඔව්. එය එසේමය.

රැඳි මන්දාරම සුළඟට හසුවී නිල්වන් අහසයි ගම්දොර දිළුනේ
පූදින ගොයමේ නාඹර සුවඳයි වදුළු පුරා වන මල් මත දැනුනේ

මා මල්දෙනියේ සිමියොන් සිතුවම් පටය නරඹා නැත. එහෙත්, ගීතය අසන විට මා තුළ යම් රූප මාලාවක් ඇඳෙයි. ඒ රූප මාලාව සිතුවම් පටයේ රූප මාලාවම නොවුණත්, එහි දෙන හැඟිම ඉන්ද දෙතැයි මට සිතේ. එසේ වන්නේ නම් ඊට හේතුව කුමක්ද? කේමදාසියානු සංගීතය රසික සිතුවිලි මත ඇති කරණා බලපෑම එය වන බැවිනි. ( මේ කේමදාසියානු සංගීතය යන හැඳින්වීම මිතුරු අමිත් ලියනගේ ට අයිති එකකි.).

ඊ ළඟට මේ ගීතය ගැයුමට සංගීතඥයා විසින් ගායකයා තෝරා දුන්නාද නැති නම් චිත්‍රපට අදියුරු ගායකයා වශයෙන් අමරදේවයන් තෝරා ගත්තාදැයිද මම නොදනිමි. නමුත් අමරදේවයන් ගීතය ගයන පරිසරයක, අමරදේව ගායන ශෛලිය තුළින් ගත හැකි හැඟීම් භාවයන් මිරිකා ගැනිමට කේමදාසියානු සංගිතය සමත් වෙයි.

ගම්මැද්දේ මහ වැව් ඉස්මත්තේ රොන් අරගන්ටයි තල මල පිපුනේ
කුළින් කුළට ගී සිංදු කියාගෙන බමර බඳින්ටයි බමරුන් ඇදුනේ...

ඉනුවා නම් එක කඳුළක් නෙතු අග ගීතය අසමු



කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

මේ ගීතය ගැයෙන්නේද  


ආචාර්ය පණ්ඩිත් අමරදේව 
යන්ගේ හඬිනි. ඔහුගේ සහායට  ගැයුම් ඉදිරිපත් කරණුයේ 


විශාරද නීලා වික්‍රමසිංහ 
සහ පිරිසයි. 
 
මෙයද ආචාර්ය කේමදාසයන්ගේ සංගිත නිර්මාණයකි. අවස්ථානුකූලව රිද්මය, සංගීතය, භාවිතාවන සංගීත භාණ්ඩ ආදිය වෙනස් කරණුයේ කෙලෙසින්ද යන්නට මෙය කදිම පිලිතුරකි. එහි යොදා ගැනෙන සංගීත භාණ්ඩ කේමදාසයන් සාමාන්‍යෙයන් යොදා ගන්නා සංගීත භාණ්ඩ වලට වඩා වෙනස් ය.

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න

පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

එය යාදිනි ගීයක් සේ සැලකිය හැකිය. යදින්නේ  


කදිර සුරිඳු 
න්ගෙනි. කදිර සුරිඳුන් යනු අපේ කතරගම දෙවියන්ය. යාදිනි ගීයක් වුව, කේමදාසයන් එයට සොයන්නේ යම් වේග රිද්මයකි. එහෙත් ඒ වේගවත් රිද්මය ඊට මනාලෙස ගැලපෙන්නේ අනෙකක් නිසා නොව කතරගම හා දැඩිව බැඳුනු අපට හුරු කාවඩි 


කාවඩි නැටුමේ 
රිද්මයද සිහිපත් කරමිනි. එහෙත් එය කාවඩි නැටුමේ රිද්මයම නොවන්නටත් කේමදාසයන් වග බලාගනී. කතරගම දෙවියන් ගැන කියැවෙන සමහර ගී වල කාවඩි රිද්මය එලෙසින්ම ඇසෙන බව සිහි කරන්න. එවිට එය නව නිර්මාණයකට වඩා අර රිද්මය මත යැපෙන්නක් මෙන් හැඟෙයි. එහෙත් එය මතකයේ තබා ගනිමින්, එයින් බිඳගත් නව නිර්මාණයක් කිරීම සැබැ නිර්මාණකරුවාගේ වගකීමක් වෙයි.

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි

මේ අන්තරා කොටස් වලදී අර මුල් රිද්මයෙන් නාදයෙන් සපුරා මිදෙන්නට හේ උත්සාහ කරයි. ගීතය මගින් කදිර සුරිඳුන්ගෙන් කරණා ඉල්ලීම් ඒ තුළ දැඩිව අවධාරණය වෙයි.

අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ



අප විසින් මේ දිගු ලිපි පෙළ ඇරඹුවේ යම් විවාදාතමක ප්‍රකාශයක් සමගිනි. එනම්, හෙළයේ මහා ගාන්ධර්වයා ලෙසින් හැඳින්වූවද ඒ නාමයට සැබෑ සුදුස්සා  අමරදේවයන් නොව කේමදාසයන්ය යනුවෙන් කියමිනි. එය අමරදේවයන් කිසිදු අවතක්සේරුවකට ලක් කිරීමේ අදහසකින් කීවක් නොවේ. සුදුසු ගෞරව නාමයකින් කෙනෙකුට කිර්තිය ගෙනෙනවා සේම නොගැලපෙන ගෞරව නාමයක් දැරීමෙන් වන්නේ එය නොවන බව කීමටය. හෙළයට පහළ වූ වෙසෙස් ගදඹුන් කිහිප දෙනෙක් හඳනා ගත හැකිය. අමරදේවයන්ද ඒ අතරේ වෙයි. කේමදාසයන් සිටිනුයේද ඒ අතරමය. මතු සටහන් වලින් කතාකිරීමට අදහස් කරන්නාවූ තවත් නාමයන් කිහිපයක්ද ඒ තුළ වෙයි. ඒ අතුරින් යමෙක් හෙළයේ මහා ගාන්ධර්වයා යන නමින් පිදුමන් ලබන්නේ නම් ඒ පිදුම ලැබිය යුත්තේ ආචාර්ය කේමදාසයන් බව කීම මගේ යුතුකමක් යැයි හැඟුනු බැවිනි මා මෙම ලිපි පෙළ ලිවිම ඇරඹුවේ. මා මෙන්ම එවන් අදහස් දරණ තවත් අය වෙයි. නමුත් ඔවුන්ගෙන් බොහෝ අය එවන් අදහස් දැරුවද මෙවන්  සටහන් නොලියයි. ඒ නිසා මාද නොලියා සිටින්නේ නම් වරදකැයි හැඟුනු අවස්ථා බොහෝමයක් තිබුණු බැවින් ලිවීමි.

ගායකයෙකු වශයෙන් අමරදේවයන්ගේ බැබලීම තුළ වුව, කේමදාස දායකත්වය කොතෙක් තුංග එකක්දැයි මේ සටහන් මාලාවේ ඔහු විසින් අමරදේවයන්ට සාදා දී ඇති ගීත ගොන්න දෙස බැලීමෙන් වුව වටහා ගත හැකියි. අමරදේවයන් විසින්ම සාදා ගන්නට ඇතැයි අප සිතා සිටි ගීත කොතෙක් නම් එහි වෙත්දැයි සිතන්න. ඒ අනුව කේමදාස සාධකය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ කොතෙක් ප්‍රබල එකක්දැයි සිතන්න.

මෙතැනින් මා ඔබව කැඳවන්නේ අමරදේවයන් විසින් මදක් වැඩි රිද්මයකින් ගායනා කරණු ලැබූ සුන්දර ගීතයක් වෙතයි.

ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ
නීල නයන කිඳුරා ලතා
නළල පැළදි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

කිඳුරු ලියකගේ වන් නිල් නෙත් ඇත්තා වූද, නළලට වට මද සුළඟේ සැලෙන කෙස් රොදකින් සිය සුන්දරත්වය තවත් වැඩි කරගත් යෞවනියන් සැඳෑවේ මවන්නේ ප්‍රේමයම නොවේ. සැඳෑව ප්‍රේම සැඳෑවක් බවට පත් කිරීමයි.


ක්‍ෂිතිජ ඉමේ තරඟ ලතා
වෙරළ වැලඳ කොමල ලතා
මඳ අඳුරේ සිදන්ගනා
සුරූපිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

මේ ගීතයෙන් කේමදාසයන් යළිත් දෙස් දෙන්නේ ගීතය තුළට ගැඹුරක් එක් කිරීමට මතු නොව සරල සුන්දරත්වය ගල්වා රසික සිත් සැනින් පැහැර ගරනීමට සිය නිර්මාණ ප්‍රභාව හැසිරවිය හැකි බවයි.

නීල නයන කිඳුරා ලතා
නළල පැළඳි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

සුසුම් කැළුම් පහස පතා
මුවින් මුවට අනග ලතා
පෙමින් පෙමට රස මදිරා
දෑස නුරාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

නීල නයන කිඳුරා ලතා
නළල පැළදි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

මේ ගීතයේ රචනය ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙනි. මේ අතරම ආචාර්ය අජන්තා රණසිංහයන් කේමදාස සහ අමරදේව අතර සංගීතමය බැම්ම සිය ගීත රචනය නමැති හුයෙන් තදින් බැඳ තැබූ අයුර කියා තැබිය යුතුමය.

ප්‍රේම සැඳෑවෝ ගීතය අසන්න.




මේ ගීතය 1966 දී තිරගත වූ 'සැනසුම කොතැනද' චිත්‍රපටියේ ආ ගීයකි.

සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා ...//

1967 වසරේ 4 වන සරසවිය සම්මාන උළෙලේදී අමරදේවයන්ට හොඳම ගායනය වෙනුවෙන් සම්මානය හිමි වූයේ මෙම ගීතය නිසාය.

එහෙත් එම චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් කේමදාසයන් එවර සරසවි සම්මානයෙන් පිදුම් ලද බවට සටහනක් නැත. නමුත් එම වසරේම පැවැති එක්සත් ලංකා රසික සංගමය මගින් පැවැත් වූ සම්මාන උළෙලේදී කේමදාසයන් හොඳම සංගීත සඳහා සම්මානය හිමි කරගත්තේය.

මේ ගීතයේ රචනය 


ධර්මසිරි ගමගේ  
ශූරීන්ගෙනි.

එම රචනය වෙසෙස් වන්නේ ගීතයේ අන්තරා කොටස් එකක් අනෙකට අසමාන අයුරින් මාත්‍රා පිහිටුවා ඇති අයුරයි. මේ නිසා කේමදාසයන්ට එක් ස්ථායී කොටසකට සෑදූ සංගීත අච්චුවක් තුළට අනෙක් ස්ථායී කොටස බැස්සවියි නොහැකි වෙයි. ඇත්තටම කේමදාසයන් ප්‍රියද එවන් ගීතයන්ටය. ගීත රචකයා සිය රචනය තුළින් සංගීතඥයා අභියෝගයට ලක් කරන්නට කරන්නට, වෙහෙසවන්නට වන්නට කේමදාසයන් වැනි සංගීතඥයෙකු නිර්මාණ කටයුත්තේ යෙදෙන්නා වූ පරිසරයක බිහි වන්නේ වෙසෙස් නිර්මාණයක්මය.

ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේෂ මවා මඟ අවුරන්නේ
සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සංසිඳිලා
ස්වර්ණ ලොවට යන මඟ මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ
සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

සතර පෙරනිමිති දුටුවේ සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට මුනිඳු බණ අසා

සැනසුම හමුවේ
සියලු දුක් නිවේ ..///


හෙළයේ මහා ගාන්ධර්වයෙක් වේ නම් ඒ කේමදාසයන්ය යනුවෙන් කීමට ලියන්නට ඇරඹූ මේ සටහන් මාලාව මීට වඩා බොහෝ අර්ථයෙන් රසයෙන් පුරවන්නට ඉඩක් තිබූ බව මම දනිමි. එය එසේ වීමට නම් අප අතර සිටින වෙසෙස් ලේඛකයෙකු විසින් එය කළ යුතුව තිබුණි. එහෙත්, එවන් රසයකින් එය පුරවන්නට මගේ දුප්පත් ලේඛණ හැකියාව සමත් නොවෙයි. එය එසේ වුවත්, මේ නිර්මාණ වලටත්, ඒවගේ පාත්‍ර වර්ගයාටත්, රසික ඔබටත් මට හැකි මට්ටමින් සාධාරණයක් ඉටු කරන්නට උත්සාහ ගතිමි. මෙවන් දීර්ඝ ලිපි සෑහෙන වෙහෙසකර කටයුත්තකි. එක දිගට ලියා නිම කළ නොහැකි විවිධ බාධක හේතුවෙන් නැවති නැවතී ලියන පරිසරයක් තුළ එය වඩාත් වෙහෙසකරය. එහෙත්, අවසාන වූ විට ඒ වෙහෙස පිස හැර මිහිරි සතුටක් මතුවෙයි. එබැවින්ම දිගින් දිගටම ලිවීමේ උනන්දුව පුරුද්ද නුසුන්ව පවතී. 

දැන් සටහනට ස්ථිර විරාමයක් දිය යුතුය. එහෙත් ඊට පෙර තවත් සුවුශේෂ ගීයක් ඉදිරිපත් කිරීමට රිසිමි.

එහිද රචනය ගමගේ ශූරීන්ගේම ය.

උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ යන කියමනක් වෙයි. එය ඇසුරු කොට ගෙන ලියූ මේ රචනාව කැළණිය රජමහා විහාරය ගැන හුදු වාර්තාවක් නොවී ඊට වඩා මහා උච්ඡයත්වයකට ගෙන ගොස් ඇති අයුරු බලන්න.

නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ
මැනික්‌ කොතින් අහස උසට බුදුරැස්‌ විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ

බැතිමතුන් සජීවීව එහි ගොස් වන්දනාමාන කරනයුරු අප කොතෙකුත් දැක ඇත. එහෙත් ගීත රචකයෙකු සිය නිර්මාණකුසලතාව අනුව වදන් හරක් අමුණා ඒ සිද්ධස්ථානය පුදන අයුරු මෙයින් අපට පෙනෙයි. ඒ අනුව ගමගේ ශූරීහු ගීත රචනය කරමින් කැළණි මහ වෙහෙර වඳී. ආචාර්ය කේමදාසයන් සිය ජව සම්පන්න සංගීත ආර මදක් පසෙකින් තබා කිසිවෙකුත් නොසිතක මහා සංයමයකින් යුතු තනුවක් සහ ස්වර පෙළහරක් පා සිය සිතින් කැළණිය වැඳ ඇති අයුර අපට දැකගතහැකි වෙයි.



සිය හදවත ගැඹුරෙන්ම මතුකොටගත් මහා හැඟීමකුත්, භාවයකුත්, බැතියකුත් සිය ගැයුමට මුසු කරමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කැළණිය වන්දනාමාන කර ඇති අයුර අපට දැක ගත හැකි වන්නේ ඒ වෙසෙස් උත්සාහයන් දෙක නිසාවෙනි. ඒ අනුව ගීතය අසන රසිකයන් තුළද ඒ බැති බර බව ඇති කරමින් මතුකරමින් ඔවුනද කැළණිය වන්දනාමාන කරණා මට්ටමකට පත් කරයි. නිර්මාණකරණය යනු එසේ මෙසේ බලපෑමක් කළ හැකි දෙයක් නොවන වග මේ ගීතය පමණක් ගෙන වුව අපට පැහැදිලි කරගත හැකි වෙයි.

නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ

සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ
පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ
වරක්‌ ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ
උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේ

ගීතය අසමු.


ඉදින්, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අප ගායන ලොවේ මුදුන් මල්කඩ යන්නට කිසිදු විවාදයක් නැත. එමෙන්ම ඒ ගැනද, වෙනත් දේ ගැනද ඔහු තුළ ඇති බහුශ්‍රැත බව පිළිබඳවද විවාදයක් නැත. එහෙත්, යම් අවැසිතාවක් මත, හෙළයේ මහා ගාන්ධර්වයා යන ගෞරව නාමය අමරදේවයන් වෙත යමෙක් හෝ කුදු හෝ මහත් හෝ පිරිසක් විසින් පළඳවන්නේ නම්, එයට නිසි හිමිකරු එතුමන් නොව, අප මෙතෙක් කතා බහ කළ වෙසෙස් ගී නිර්මාණ කළ, සහ අප මෙහි කතා නොකළ, ගීතයට වඩා මහා ගැඹුරක් ඇති සංගීත නිර්මාණතල කිහිපයක සැරූ  

 ආචාර්ය කේමදාස
යන්ය යනුවෙන් ලියා අදට සමුගනිමි.

එහෙත් හෙට දිනක පැමිණෙන්නේ මේ වගට තවත් දෙස් දෙන ලිපි පෙළකිනි. ඒ අමරදේවයන් වෙත අන් ගාන්ධර්වයින් සාදා දී ඇති ගීත රැස පිළිබඳව විමසමිනි.




 
 -      යසනාත් ධම්මික බණ්ඩාර      -