Friday, September 5, 2014

වික්ටර් නැතිව වික්ටර් දකිමු ( තෙවන කොටස )







වික්ටර්ගේ ගීත අසනවා සේම නරඹන්නත් පුළුවන්. ඒ කියන්නේ අරුතට නොගැලපෙන දර්ශන තිබෙන, අඩනිරුවත් නිලියන් රඟන, කරෝකේ ගීත නරඹනවා වගේ නොවෙයි. ස ප්‍රසංගයේ මේ ගීතය ගයද්දී ඔහුගේ ඉරියවු බලන්න. ඔහුට වාදනය කරණ අයගේ ඉරියව් බලන්න. එහි ඇති සජීවී බව බලන්න. ඒකයි ඔහුගේ ගී නරඹන්න පුළුවන් කියන්නේ. මේක නෘත්‍ය ගීතයක්. මම කිවුවනේ පුංචි කාලෙ ඉඳලම ටීටර් ගීත ගයන්න ඔහු හුරුපුරුදු වුනා කියල, පියාගෙ ආභාසය නිසා. ඉතින් ඒ හුරුව තමයි මේ. නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ මානාභරණ නූර්තියේ එන ගීතයක්. කණ් ප්‍රීති කරවන හඬ පෙලහර අසන්න. ඇස් ප්‍රීති කරවන රූප පෙලහර බලන්න.



වික්ටර්ගේ ගීත ඔහේ ගායනා කළ හැකි නොවේ. ඒවා ප්‍රගුණ කළ හඞකින් මිස ගායනා කළ නොහැකියි. ඔහුට වාදනය සපයන වාද්‍ය වෘන්දය දුටුවනේ. හිතන්න, මොහොතක නිදහසක් ඔවුනට තිබුණද කියලා. නිදහසේ වාදනය කරගෙන යාමක් ගැන සිතන්නවත් බෑ. ඔහුගේ ගීතවල තනු රචනා වාදකයින්ගෙන් ඉල්ලන්නේ ඉහළම පෙළේ වාදන පෙලහරක්. ඉතින් ඉතා ඉහළ වාදනයක් සඳහා වෙහෙසවී ශිල්ප දැක්වීමේ නිදහසනම් ඔවුනට උපරිම වශයෙන් දීලා තියෙනවා. ඉහත ගීතය නරඹන විට ඔවුන් ලැබූ ඒ නිදහස ඔබ මනාව දකින්නට ඇති. වික්ටර් තම ගීත ඔස්සේ ගීතය වෙත දායක කළ අළුත් දේත් බොහෝයි. ඉස්සරම ගීතවල පදපෙළ ගායනාකරණ අවස්ථාවේදී ගායකයා ගයන කොටස තුළ සංගීතය වැයෙන්නේ නැහැ. කටහඬට බාධාවක් වෙයි කියලා. එහෙත් මුල්වරට වික්ටර් තම ගීතවල පද පෙළ ගැයෙනවිට පසුබිමින් සිහින්ව සංගීත ඛණ්ඩ වාදනය කරමින් ඊට මිහිරක් එකතු කරනවා. එහි ගායනයට වැඩි මිහිරක් එකතු කරණ සංගීත ඛණ්ඩ කට හඞට බාධාවක් නොවන ලෙසින් සිහින්ව පසුබිමින් යොදාගන්නවා. ඒවැනි සංගීත ඛණ්ඩ සංගීත භාෂාවේදී counter parts ලෙසින් හඳුන්වනවා.

මීළඟට ගීත වැයෙන විට සමහර ගීතවල කටහඞ සමග වයලීනය බට නලාව ගිටාරය ආදිය counter parts ලෙස යෙදෙන අයුරු බලන්න.එසේම වික්ටර් පළමු වතාවට තලදෙකක ( ට්‍රැක් 2 ක ) තම කටහඞ යොදනවා මාලිනියේ ගීතයේදී. දැන්නම් එය තාක්ෂණික දියුණුව නිසා සරල කරුණක්. ඒත් ට්‍රැක් රෙකෝඩින් නොමැති එම යුගයේදී එය මහත් අභියෝගයක් වුණා. සිංහල ගීතය සඳහා එවැන්නක්යොදාගත් ප්‍රථම අවස්ථාව. තවත් අත්හදා බැලීමක්. වික්ටර් තමන් උගත් සම්භාව්‍ය රාගධාරී සංගීතය පොහොසත් ලෙස යොදාගත් ගීතයක් තමයි මී ළඟට අපි අහන්නේ. එම ගීතය ගයන විට ඔහු තුළ ඇති ජවය බලන්න. ඒ වගේම වාදක මණ්ඩලය එම ගීතය හැඩකිරීමට දක්වන වෙහෙස නරඹන්න. හෝ පළු වන පෙත කම්පිත කරමින් රඟන සුරූපිනිය කවුද? අංජන ගල්වා හැඩ කළාවූ නිල් නෙළුම් පැහැ ඇස් දරණ ඇය කවුද? වීනා වයමින් සත්සර හඞවන ඇය කවුද? සිහින් ඉඟක් ඇති පුළුල් උකුළක් දරණ ඇය කවුද



 
වික්ටර් එලෙස තමන් ප්‍රගුණ කළ උත්තර භාරතීය රාගධාරී සංගීතය බොහෝ විට තම නිර්මාණ සඳහා යොදාගත්තත් වික්ටර් තම නිර්මාණ සඳහා බටහිර සංගීතයේ ඇසුරද ප්‍රශස්ථ ලෙස යොදාගන්නවා. එසේම උත්තර භාරතීය රාගධාරී සංගීතයද බටහිර සංගීතයද මනාව මිශ්‍රකරනවා. හිනැහෙන්න රෝමියෝ, මල්සර උක්දඞු දුන්නෙන් පැණි බී, අපි සවුදිය පුරමු,ගිගිරි ගීත රාවේ, පාවේ වලා, පෙම් රස වෑහෙන මංගල ගීතේවැනි ගීත වලින් මේ බව මනාව ප්‍රකට වෙනවා. ඒත් මේ කිව්වේ ටිකයි. ඔහුගේ ගීත සයුරේ පිහිනන විට තවත් උදාහරණ බොහොමයක් හමුවේවි. මේ වැඩසටහන තුළදීත් එවැනි ගිත ඔබට හමුවේවි. ඒ නිසා මෙහි විශේෂයෙන් මතක් කරමින් එවැනි ගීත අමුණන්නේ නැහැ.

වික්ටර් මොන මොන මාතෘකා ඔස්සේ ගී ගැයුවත් මටනම් වික්ටර්ගේ ගී අතරේ වැඩියෙන්ම වටින්නේ ඔහු විසින් ගැයූ ප්‍රේම ගී රැසමයි. වික්ටර්ගේ ගීතාවලියේ බොහෝ ගීත හැඳින්විය හැක්කේ ප්‍රේම ගීත ගණයට. ඒත් අප අද අත්විඳින සරල සිල්ලර බොළඳ ප්‍රේම ගීත වලට වඩා හාත්පසින්ම වෙනස් ගීතාවලියක් එය. කෙනෙක් අහන්න පුළුවන් ප්‍රේමයට බොළඳ බව අවශ්‍ය නැද්ද කියලා. ප්‍රේමය සුන්දර කරන්නේ ඒ බොළඳ බව නේද කියල. ඒත් මම නම් හිතන්නේ ප්‍රේමය සුන්දර කරන්නේ බොළඳ බව නොව රොමෑන්ටික් බව කියලා. ඉතින් වික්ටර්ගේ ප්‍රේම ගීත තුළ සුන්දරත්වය කැටිවෙලා තියෙන්නේ හුදු බොළඳ බව නිසා නොවෙයි, අර කී රොමැන්ටික් බව නිසයි. නොඑසේනම් විචිත්‍රත්වය චමත්කාරජනක බව සහ ශෘංගාරත්වය නිසයි. වික්ටර්ගේ ප්‍රේමගීතාවලිය විමසන කල එහි කිසිම ගීතයක් ඔහුගේ තවත් ගීතයකට සමාන නොවන බව පෙනෙනවා. එතරම්ම විවිධත්වයක් තිබෙනවා. එබැවින්ම එක දිගටම වික්ටර්ගේ ප්‍රේම ගී පමණක්ම ඇසුවත් ඒකාකාරී බවක් දැනෙන්නේ නෑ. ප්‍රේම ගීත වුවත් වික්ටර් ස්ත්‍රී පුරුෂ පෙම සරල සිල්ලර ලෙස දකින්න උත්සහ කළේ නෑ. ඔහු එහි විවිධ පැතිකඩයන් හෙව්වා. වික්ටර්ගේ සමහර ප්‍රේමගීත මොන තරම් සුන්දරද? අවිහින්සකද? ඒ වගේම සරලද? කියල හිතෙන්නේ ඒවා ටිකක් කල්පනාවෙන් අහද්දි. ඒවාගේ යෙදී ඇති සංගීතය කොතරම් මනහරද? ගායනය කොතරම් සුගමද? අපි ප්‍රේම ගීයක් අසමුද? වික්ටර්ගේ නොවෙයි. අපේ අළුත් ගායකයෙකුගේ අද ඇසෙන ප්‍රේම ගීතයක්... 



ඒ අද ගායකයෙක් තම හිතගත් යුවතිය ගැන කියූ හැටි. මේ එදා වික්ටර් රත්නායක තම හිතගත් බින්දුමතී ගැන ගැයූ හැටි. බින්දුමතී ගැන විමසන්න පෙර මගෙ කැකිරි පළුව ගීතයේ පද විමසා බලමු. පැණි කොමඩු ගෙඩිය - කැකිරි පළුව සුන්දර ගම්මානේ....... මේ විදියට තමයි ඔහු තම හිතගත් සුදුකෙල්ල හඳුන්වන්න ඒ ගීතයේ උපමා පද යොදාගන්නේ. ඔව්...කොළඹ හතේ සමහර කොල්ලන්ට නම් සුන්දර ගම්මානවල සුන්දර ගැමි ලියන් පළු සහ ගෙඩි විතරයි. මෙතන තියෙන්නේ තම ආදරවන්තිය දෙස බලන අහිංසක බැල්මක්ද? ආදරණීය හැඟීමක්ද? නැතිනම් වෙනත් අදහසක්ද? ඇත්තටම මෙහෙම සභාවක ඔහොම හරි අහන්න පුළුවන් වර්තමාන ප්‍රේම ගීතයකුයි මම තෝරා ගත්තේ. සමහර ගීත මෙහෙම සභාවක අහනවා තියා හිතන්නවත් බෑ. වචන වලට අමතරව යෙදුණු සංගීතය ගැනත් බලන්න ඕනෑ. සංයමයෙන් කිවයුතු අදහසක් තමයි අසංවර වදන්වලින් අසංවර සංගීතයෙන් ගැයෙන්නේ... එහෙත් වික්ටර්ගේ බිංදුමතී ගීතය ඊට කොතරම් වෙනස්ද? සරල නමුත් මොනතරම් ආදරණීයද? අහිංසකද?, සුන්දරද? මං ආදර - පෙම් ආදර - බිංදුමතී පෙමා වඩන ලද බින්දුමතී පැණි කොමඩු ගෙඩිය ගීතයේදි වගේම මෙම ගීතයේදීත් ඇයව ආදරයෙන් උපමා කරණවා යම් යම් දේට? ඒත් අර වගේ ජුගුප්සාජනකද කියල බලන්න.... කළු උක් ගස විලසා - කළු කළු නංගියේ දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ ගොම්මං සමයමටා ගම - හොල් මං තියේ නුඹ එක්කා මා එන්නා - යම නංගියේ..... අපි බිංදුමතීට ළන්වෙමු.
 


තුරුණු පෙමට පුංචි පුංචි බාධක එමටයි. ඒ විවිද බාධක ඔවුනගේ සුන්දර හමුවීම් වලක්වලා තියෙනවා. ඉරිදාට පල්ලියෙදි සඳුදාට පන්තියෙදි අඟහරුවාදාත් නැවත හමුවෙන්න තරම් ඔවුනට නිදහසක් නෑ. ඒ නිසයි ඔවුන් මෙසේ ලියන්නේ. කෙසේද අත් බැඳ ඇවිදින්නේ - උයනේ වෙරලේ තුරුළුවෙමින් නෑ සිය මිතුරන් මග තොට හමු වන්නේ..... උකුසු ඇසින් අපි කෙලෙසද ගැලවෙන්නේ....... එහෙත් ඔවුන් අද දවසේ මෙන් එම බාධක බිඳගෙන හෝටල් කාමරයකට රිංගන්න සිතන්නේ නෑ. එහෙම රිංගලා ආදරයත් ආත්මයත් විනාශ කරගන්නේ නෑ. ඔවුන් සිතන ආකාරය පවා අතිශය සුන්දරයි. අහිංසකයි. අපි ඈතට ඈතට පා නගලා - ගන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ... කාත් කවුරුවත් නෑ ඉන්නේ - ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ බමරුන් විතරයි තනියට ළඟ ඉන්නේ........... මිනිස් වනාන්තරෙන් පිටමං ව ගණ වනන්තරේ ඈතට ඈතට පියමැණ ගොස් වසන්ත මල් ගොමුවක අතරමං වීමට ඔවුන් සිහින මවනවා. බමරුන් පමණක් තනියට සිටින තමන්ගේම පුංචි ලෝකයක තනිවීමයි ඒ සිහිනය. ඒත් එහෙම සිහින දකිනවා මිස ඒ සිහින හැබෑ කරගැනීමට වෑයම් කරන්නෙත් කෑ. මේක පුංචි දුක්ගැනවිල්ලක් විතරයි...... කෙසේද අත් බැඳ ඇවිදින්නේ - උයනේ වෙරළේ තුරුළු වෙමින් නෑ සිය මිතුරන් මගතොට හමුවන්නේ උකුසු ඇසින් අපි කෙලෙසද ගැලවෙන්නේ.... 





මෙයත් ප්‍රේම ගීයක්මයි. ලියැවුණු විදිහයි අපූරු.... දවසක් වික්ටර් ප්‍රේම් ඇතුළු මිතුරු කැල මුහුදු වෙරලක පුංචි හමුවක්.... සාදයක් කිවුවට වරදක් වෙන එකක් නෑ. අහල තියෙන හැටියට ත්‍රිකුණාමලයේ මාබල් බීච්. හොඳ නරක කෙසේ වෙතත් මෙවැනි හමුවලදී මධුවිතට විශේෂ තැනක් ලැබෙනවා. එදත් එහෙම දවසක්. සෑහෙන වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඔවුන් මධුවිත තොලගානවා. හැමෝටම ටික ටික වැඩිවෙනවා. එකිනෙකා වැල්ලෙම ටිකක් ඇලවෙනවා. පුංචි නින්දක්.... පුංචි නින්ද ලොකු වෙනවා. ඇහැරෙනවිට හොඳටම හවස්වෙලා....එකිනෙකා එකටම වගේ ඇහැරෙනවා. කට්ටියම ඇස් ඇරලා.....රත පිරිබඩ කළ අහස පෙනෙනවා..... ප්‍රේම්ට පෙනෙනවා ඈත සැන්දෑ අහසේ පායා ඇති ඉරබටුතරුව.... ඉරබටුතරුව පමණක් තවම තනිවම......ප්‍රේම් ඉරබටු තරුවට කෑගගහනවා....තනි තරුවේ කියලා.......මහ හයියෙන්... මුහුදු හුළඟ පරදා දෝංකාර දෙන්න. මේක හැමෝම හිනාවෙවී අහගෙන ඉන්නවා. පසුව ප්‍රේම් අතින් තනි තරුවේ ගීතය ලියැවෙනවා....... ප්‍රේම් තනිතරුවේ කියල ඇමතූ ආකාරය එදා වික්ටර්ට ඇසුනු නිසා වික්ටර් එහි ගායනය අරඹන්නේද ඒ අයුරින්මයි..
 


ගීත ගැන සමහර චිද්වතුන් සමහර නීති රීති කොටසකුත් හඳුන්වා දී තිබෙනවා. පුනරුච්ඡාරණය ගීතයේ යෙදෙන දුර්වලකමක් ලෙස හඳුන්වනවා. ඒත් ප්‍රෙමකීර්ති දෝෂයක්යැයි කියන පුනරුච්ඡාරණයම ගීතයට අලංකාරවත්ව යොදාගන්නවා. නෙතග නෙතග පැටලි පැටලි මුවග මුවග ඇලලි ඇලලි මගෙන් ඉවත ඇදිලා වෙන්වී...... මහද අරණෙ ළතැවි ළතැවි රැඳෙණු බැරිව ඉගිලි ඉගිලි දෙතෙක් දුරක් පැමිනී ..... ඉතින් අපි ඒ ගීතයට සවන් දෙමු. 

 


වික්ටර් නැතිව වික්ටර් දකිමු සිවුවන කොටසට මෙතැනින් පිවිසෙන්න


- යසනාත් ධම්මික බණ්ඩාර -

4 comments:

  1. පුනරුච්ඡාරණය දෝෂයක් නෙමෙයි..
    දෝෂයට කියන්නෙ පුනරුත් දෝෂය කියලා.

    පුනරුච්ඡාරණය කවියකට සවියක්..

    ReplyDelete
  2. ඉතාමත් රසවත් යසනාත්. ගීතයක් තනියම රසවිඳිය හැකියි. ඒත් ඒ ගී ගැන කතාබහ කිරීමත් ඉතාමත් රසවත් අත්දැකීමක්.

    "ඒත් අප අද අත්විඳින සරල සිල්ලර බොළඳ ප්‍රේම ගීත වලට වඩා හාත්පසින්ම වෙනස් ගීතාවලියක් එය. කෙනෙක් අහන්න පුළුවන් ප්‍රේමයට බොළඳ බව අවශ්‍ය නැද්ද කියලා. ප්‍රේමය සුන්දර කරන්නේ ඒ බොළඳ බව නේද කියල. ඒත් මම නම් හිතන්නේ ප්‍රේමය සුන්දර කරන්නේ බොළඳ බව නොව රොමෑන්ටික් බව කියලා. ඉතින් වික්ටර්ගේ ප්‍රේම ගීත තුළ සුන්දරත්වය කැටිවෙලා තියෙන්නේ හුදු බොළඳ බව නිසා නොවෙයි, අර කී රොමැන්ටික් බව නිසයි."

    මේ ඔබ කියන දේට මම 100% ක්ම එකඟයි. ඇතෙන්ම සිංහල ගී කෙතෙහි ප්‍රේමණීයම හඬ 'වික්ටර් රත්නායක' බව මගේ සිතුවිල්ලයි. ඔබ කියන්නසේම ඔහු ගැයූ එකකට එකක් වෙනස් වූ ප්‍රේම ගීත පමණින් කොපමණදැයයි පවා නොදනිමි. අදත් මා ඔහුගේ එවන්
    ගීයක් පලමුවරට ඇසුවෙමි. මේ සටහනට ඔබට පින්! 4 වැනි කොටස කියවනු රිසියෙන් ඉඳිමි.

    ReplyDelete
  3. ඉතා වැදගත් site එකක්..
    ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා.

    මෙහි තිබෙන සිංදු අහන්න බැහැනේ
    ඒක හදන්න පුළුවන් නම් ලොකු දෙයක්

    ReplyDelete
  4. මම කැමති කෙනෙක් සයිබර් අවකාශයේ කොටනවා.ඒකේ සැරිසරන මට ඔහුව අහමබෙන් හමුවෙනවා මොන තරම් අපූරුද......................
    වික්ටර් කියන්නෙ විප්ලවවාදී ගායකයෙක්. ගායකයින් ගීතයේ අරුතට බයවෙලා සමහර ගීත ප්‍රතික්ශේප කරන කාලෙ ඔහු බය නැතිව අපූරු අරුත් දෙන ගීග තෝරාගත්තා.ඔහු වගේම අමරදේවයන් වැන්නවුන් නොමැති කාලයක ඒ හිඩැස පුරවන්න පේනතෙක් මානයක කවුරුත් නැහැ.
    අනේ අපේ දරුවන්........................

    ReplyDelete