Friday, September 5, 2014

අනුත්තරා, උමා සහ මහේෂිකාට පෙම්කොට අනෝමා ව සරණපාවාගත් සමන් ජයනාත් ජිනදාස...... (දෙවන කොටස)




බදුලු ගමනෙන් අනතුරුව නැවතත් යොමු වුණේ දුෂ්කර ක්‍රියාවනටය. බෝඩිමෙන් රෝහලේ සායනික පුහුණුවටද අනතුරුව කැම්පස් එකටද නැවත බෝඩිමටද ලෙසය. මේ ඒකාකාරී කල් ගෙවීම කොතරම් ගෝචර නොවුණත් දැන් ඉතින් බැඳගත්තු බෙරය ගැසිය යුතුමය. සහනයකට තිබුණේ අතර මග යෙදෙන විවිධ වූ කලා කටයුතු සඳහා පාඩමට ඉතිරිව තිබූ කාලය හෝ වැය කොට යා හැකි වීමය.

අමතරව ඕනෑම පාඩම් වැඩක්, ගීයක් අසමින් වුව කිරීමේ හැකියාවක් පිහිටා තිබුණු නිසා ගීත අසමින්ම ඒ වැඩ කිරීම ගිමන නිවා ගැනිමට හේතුවක් විය. සමන් ජයනාත් ආශ්වාදයෙන් මත්ව සිටි නිසා දිගටම මෙන් සමන්ගේ ගීත අසමිනි සිටියේ.

මෙය සිහිල් පැන් හලක් මෙනි. මෙවැනි විවිධ සිහිල් පැන් හල් ඒ ගමනේ විඩාව යම් මට්ටමකින් නිවා දැමීය. මේ ගැන මතක් වෙද්දී මතක් වන්නේ සමන් සහ ශාලිකා අරෝෂිනී පීරිස් ( දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ සොයුරිය ) ගයන,

ගිමන නිවනා සිසිලසදනා - සෙවනකි සරණ ඔබේ
ගීතයයි.

එම සොඳුරු ගීය මතක හැටියට රචනා කළේ කුලරත්න ආරියවංශයි. සංගීත මුසුව ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.

එය සොඳුරු පෙම් ගීයකි. එකිනෙකාගේ පෙම එකිනෙකාට කොතරම් සොඳුරු වීද යන්නය එහි ඇත්තේ.

ගිමන නිවනා - සිසිල සදනා
සෙවනකි සරණ ඔබේ
අඳුර දවනා - සතුට සදනා
රුවණකි දසුන ඔබේ

ගිමනක් වේ නම් යම් ඒ ගිමන නිවීමට සෙවනක් තරම් වන අන් දෙයක් නැත. කෙනෙකුගේ දිවියට එක් වන අයෙක් ගිමන නිවන සිසිල සදන අයෙක් වේ නම් මොන තරම් භාග්‍යයක්ද.

එවැනිමය දිවියේ අඳුර පලවා හැර සතුට ළඟා කරන රුවනක් වීම කෙනෙක් කෙනෙකුට.

ගීතයේ ඉතිරි කොටසත් දෙදෙනා දෙදෙනාට අන්‍යෝන්‍ය වශයෙන් ආලෝකයක් වන්නේ කෙසේද යන්න ගැනය.

ජීවිතේ රළු කතරේ
මං මුළා වූ ළදුනේ
නිමාවයි මේ ගමනේ
ඔබේ පා මුළ රැඳුනේ....

චේතනා වන උයනේ
පායනා සඳ ළඳුනේ
සදාතන සුව සහනේ
සැදේ මේ සිතු විමනේ

ගිමන නිවනා සිසිල සදනා ඒ ගීතය අසමු....



මේ ගීතයෙන් ගිමන නිවෙන්නේ තුරුණු පෙම් සිත් දෙකකය. එහෙත් ඕනෑම කෙනෙකුගේ ගිමන නිවෙන බෝධියක් ගැන ගීතයකුත් සමන්ගේ ගී අතර වෙයි. එහි ඇත්තේ නිරාමිස නිවීමකි.

ජීවිතේ දිගු වන්දනාවයි
විඩාබර ගමනේ
ගත සිත නිවනා - පින් ලබනා
බෝධියයි අම්මා......

මේ උතුම් බෝධිය යනු අනෙකක් නොව උතුම් මාතෘත්වයයි. සිංහල ගීත සාහිත්‍යයේ උතුම් මාතෘ ගුණය පිළිබදව ලියැවුනු ගීත දස දහස් ගණනකි. එහෙත් ඒ උතුම් මාතෘත්වයට ගැලපෙන ගීත ඇත්තේ අතලොස්සකි.

ගායකයෙක් හෝ ගායිකාවක් සිය ගීත එකතුව තුළට මව් ගුණ ගීයක් ගීයක් එකතුකරන්නට උත්සාහ ගනීනම් එයට හේතු  එකක් නොව කිහිපයක් ඇතැයි මා සිතන දෙයකි. කෙනෙකු තුළ ඇත්තේ මවට ඇති අසීමිත සෙනෙහස නිසාම තම ගීත එකතුව තුළට මව්ගුණ ගීයක් අවැසිය යන සිතුවිල්ල විය හැක. එහෙත් සමහරෙකුට ඇත්තේ ගීත එකතුවක අනුමත වට්ටෝරුව තුළට මව් ගුණ ගීයකුත් අවැසිමය යන අදහස යැයි මම කීවොත් ඔබ එය පිළිනොගන්නට වුවද ඉඩ ඇත. එහෙත් ඇත්ත එයය.

මේ නිසාම දැනෙන හෝ නොදැනෙන, මව් ගුණ ගීයක් නම් වන නිර්මාණයක් සිය නිර්මාණ එකතුවට එක්කර ගැනීමට ඔවුහු පෙළඹ සිටී. එහෙත් සැබෑ අවශ්‍යතාවය මත මවුගුණ ගීයක් සොයන ශිල්පියා අර මා කියූ දහස් ගණනක් මවුගුණ ගී අතුරින් අතලොස්සක් වූ උතුම් මවු ගුණ ගී වල හැඩය ඇති මවු ගුණ ගීයක් සොයනු ලබයි.

අප උතුම් මවු ගුණ ගී  යැයි හඳුනාගන්නා ගී අතර මේ ගී ඇතැයි ඔබටද සිතෙනු ඇත.


  1. වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ...
  2. සුනිල් එදිරිසිංහයන්ගේ දෙවැනි බුදුන් ලෙස - ලොවම උවම්කළ - ලොවක පිදුම් ලද - ලොවට උතුම් ළඳ - අම්මා...
  3.  දීපිකා ප්‍රියදර්ශනීගේ කඳුළු හෙලා නෑඹිලියට - සහල් ගරන අම්මා....
  4. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා...
  5. මාලිනී බුලත්සිංහලගේ අම්මාබුදු වේවා..
  6. නන්දා මාලිනියගේ මිහි මඬලේ අඳුරු කුසේ - දිය උල්පත අම්මා - අහස් තලෙන් මරු කතරට - වහින වැස්ස අම්මා


සමන් ජයනාත් ජිනදාස ගායකයා තම මවුද ඇගේ පරපුරේ අනෙකුත් මවුවරුන්ද  වෙනුවෙන් සොයන්නේ මේ උතුම් මවුගුණ ගී අතර අද්විතීයව තැබිය හැකි මවු ගුණ ගීයකි. ඒ අනුවය ඔහු ජීවිතේ දිගු ගමන් මගේ ගත සිත නිවනා බෝධිය වන්නේ සිය උතුම් අම්මාය යන අදහස ඇති ගීය අසීරුවෙන් සොයා ගන්නේ.

ලෝකය ගිනිගත් මායාවක් වූ දා
ලෝකය ගිනිගත් මායාවක් වූ දා
සිහිනෙන් අවදිව සිහිනෙන් දොවනා - දිය උල්පත අම්මා.....

අපාර සසරේ භවයෙන් භවයේදී
අපාර සසරේ භවයෙන් භවයේදී
සසර සරණ තෙක් පතමින් වඳිනා - නිවන් ලොවයි අම්මා.....

මේ ගීතයේ විශිෂ්ඨතම තැනක් ලෙස මා දකින්නේ මේ අවසාන පෙළයි. සසර සරණ තෙක් අපි අපේ අයව පතන අවස්ථා ඇත. එහෙත් සසර කෙළවර නිවනද පතමු. මෙහි එය කියැවී ඇති අයුර බලන්න.

සසර සරණ තෙක් පතමින් වඳිනා - නිවන් ලොවයි අම්මා

සසරින් එපිට නිවනක් ගැන සිතන අපිට සසරින් මෙපිට නිවන නොවේද අම්මා....

අම්මා පිළිබඳ මේ ගීය සිය මාතෘ මූලික පවුල  කෙරෙහි ඔහු තුළ ඇති මනා බැඳීම ප්‍රකට කරවන්නකි. එබැවින්ම ඔහුගේ පවුල් පසුබිම පිළිබදව යම් අදහසක් කීමද  වටී යැයි සිතේ.

සමන් උපත ලද්දේ පස්දෙනෙකු වූ අයියලා මල්ලිලා නංගිලා සිටින පවුලක අයියා ලෙසය. ඔවුන් උපත ලද්දේ හෙට්ටිආරච්චිගේ මේබල් සිල්වා මවට සහ විජේසේකර මුදියන්සේලාගේ ජිනදාස පියාට දාව සීතල බණ්ඩාරවෙලදීය. නන්දන ලක්මාල් ජිනදාස සහ ලසන්ත දම්මින්ද ජිනදාස ඔහුගේ බාල සොයුරන්ය. කුමාරි දිල්රුක්ෂි ජිනදාස සහ වසන්තා කල්යානි ජිනදාස ඔහුගේ නැගණියන් දෙදෙනාය.

සමන් ජිනදාස විවාපත් වූයේ අනෝමා ශාන්ති සමගය. ඔවුන්ගේ නෙතු යුග බඳු දූ පුතුන් වන්නේ බුද්ධිමා ලිහිණි විජේසේකර සහ ලලිත භාග්‍ය විජේසේකර ය.

සමන්ගේ ගීත ගැන කතා කිරීමේදී, යම් මට්ටමකට සමන් ගැනද, ඔහුගේ පවුල ගැනද, ඔහුගේ සමීපතමයින් ගැනද සමහර විට මගේ කතාද අපේ කතා ද නොකර බැරිය. එවැනි තැන් වලදී ඔබට විඩාවක් වූවා නම් කමන්න. නැවතත් ඔබව ගීතාවලියට කැඳවමි.

සමන් ජයනාත් ගේ අනුත්තරා ගීත එකතුවේ ගී වල තිබුණේ නැවුම් සහ නිවුණු බවකි. ඔහු ඒ සමගම රැගෙන ආවේ ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවකි. ඒ දිනවල මතුවුනු අනෙක් ගායකයා වූ ජානක වික්‍රමසිංහට සමහර දේ වලින් සමාන, සමහර දේ වලින් වෙනස් ගමනක් සමන්ට තිබුණි. ඒ නිසා සමාන ගායකයින් දෙදෙනෙකුට වඩා එකම මගක යන එහෙත් විවිධත්වයක් ඇති ගායකයින් දෙදෙනෙකු බිහිවන අයුර දැක රසිකයින් මහත් අස්වැසිල්ලක් ලැබූහ. මේ ගීත කිහිපය දෙස් දෙන්නේ ඊටය.

එපමණක් නොව ඊට තරමක් පසුව ඒ මගේම ගමනක යෙදුනු ගායක ගායිකාවන් කිහිපදෙනෙකුටම ඒ මග විශ්වාසයෙන් ඉදිරියට යාමටද සමන්ලාගේ ජානකලාගේ ගමන මහත් රුකුලක් විය. මේ නිසා සුභාවිත ගීතය හා තවදුරටත් ගණුදෙනු කරණ කිහිපදෙනෙකුම බිහි විය. ගායක ගායිකාවන්ට පමණක් නොව අළුත් ගීත රචකයින් සහ සංගීත නිර්මාණ ශිල්පීන්ද ඒ අතරේ වෙයි.

මේ අපූරු ගීතය බලන්න.

ඈත එපිට ආකාසේ - අරුන්දතී තාරකාව
නුරා නෙතින් මා කැඳවයි
අහස් තලාවේ - තරු ඕවිල්ලේ.....

හිරු ඈතයි - සඳු ඈතයි
හිස් අහසේ දිගන්තයේ
අපි දෙන්නා හරි ඈතයි
මේ භව කතරේ - ඈත අනන්තේ.....

රැය මිය යයි - අඳුර ගලයි
වියෝගයේ විරාමයයි
මතු භවයක අපි හමුවෙමු
වසන්ත උයනේ - මල් සැණකෙලියේ....

ගීතය අසන්න.



සමන් තම ගීත එකතුවට විවිධත්වයක් එක් කරන්නේ හුදු ප්‍රේමයම නිමිත්ත වුණු ගීතම තෝරා නොගෙන විවිධ නිමිති ඔස්සේ ලියැවුණු ගීත එක් කර ගන්නට දරණ වෑයමෙනි. ඒ සඳහා ඔහුට විවිධ සාහිත්‍ය කෘති කියවීමෙන් ලද පරිචය මනාව වැදගත් වෙයි.

සමන් ජයනාත් යනු කියවීමට මහත් රුචියක් දක්වන්නෙකි. මෙහි කියවීමට මහත් රුචියක් දක්වන වග කී විට බොහෝ දෙනෙකුට සිතෙනු ඇත්තේ කිව යුතු මොනවාද නොකිව යුතු මොනවාදැයි අමතකව තොරතෝංචියක් නැතිව පුරාජේරුව කියවන වර්තමාන සමහර ගායක ගායිකාවන් ගැනය. එහෙත් මේ එවන්  කට හැකර කියවීමක් ගැන  නොවේ. විවිධ සාහිත්‍ය කෘතීන් කියවීමට ඔහු තුළ තිබූ අභිරුචියයි.

ඔහුගේ රැකියාවේ ස්වභාවය අනුව බොහෝ විට ඔහු සිය නවාතැනට ගොඩ වන්නේ රෑ බොවී වුණත් ඇඟපත සෝදා සුළු ආහාරයක් ගෙන කෙටි වේලාවක් දවසේ පුවත් පතද අනතුරුව ඔහු පාන්දර යාමය වන තෙක්ම පොත පත කියවීමද කරණු ලබයි.  අතට ගත්ත පොතක් ඔහු දිගටම කියවයි. ඒවා විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ ලියැවුනු ඒවා වෙයි. ඒ අනුව ඔහු වසරකට සෑහෙන පත පොත ප්‍රමාණයක් කියවයි.
 
මේ ගීතයද විවිධ අරුත් සහිත ගීත තම ගීත එකතුවට එක් කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. සමන් තමන්ට රසවිඳිය හැකි සහ අනෙකුන්ටද ඒ රසය බෙදා දිය හැකි නිර්මාන එකතු කළා මිස විකුණනන්ට නිර්මාණ නොකළබව කාටත් වැටහෙනු ඇත.

කුරුළු කූඩුවක්
කෑලි කැඩී විසිරී ගිය
කුරුළු කූඩුවක්
කුරුළු ජෝඩුවක්
දෙපසට වීහඬා වැටෙන
කුරුළු ජෝඩුවක්...

කිරි හුරතල් සිඟිති සිනා හිටි අඩියෙම නිහඬ වුණා
පුංචි එවුන් ගෙයි තැන තැන වැටී නිදනවා
සෝඩි ටිකිරි නෙත් අතරට කඳුළු උනනවා....

මේ දක්වා අපි සැරිසැරුවේ සමන්ගේ ප්‍රථම ගීත එකතුව වූ අනුත්තරා හි ගීත නිර්මානවල මතකයන් ඇසුරේය. වසර කිහිපයක් ඇවෑමෙන් ඔහු තම දෙවන ගීත නිර්මාණ එකතුවද සඳ පහන් රැයක නමින් නිකුත් කළේය.

සඳපහන් රැයක් ගැන කතා කිරීමේදී හදිසියේ ඒ ගැන ලියන්න පෙර ලිවිය යුතුයැයි හැඟුනු දෙයක් ලියන්නට සිත්වෙයි. ඒ කොටස තුළ සමන්ට වඩා වැඩිපුර මා දුටුවොත් අමනාප නොවන්න.

මම කවි නිර්මාණකරණයේ යෙදෙමින් සිටයදී මගේ සහෝදර කවි මිතුරන් මගේ කවි එකතුවක් සඳහා මාව පෙළඹවීය. ඒ එකතුව නිකුත් කරණ තෙක්ම ඊට අවැසි සහයද ලබා දුනි. විශේෂයෙන් මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර හා වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ සිහිපත් කළ යුතුය. එකල මගේ බෝඩිං සගයන් වූයේ ඔවුන්ය. එකට එක වහල යට සිට කවි ගීත ලියුවේද ඔවුන් සමගය. පොත නිම විය. එහි  නිකුත්කිරීම උත්සවාකාරයෙන් සටහන් කරන්නට යෙදුනේ 1995 හෝ 96 දිනක කොළඹ මහවැලි කේන්ද්‍රයේදීය. මේ අවස්ථාවට ගීත දෙක තුනකුත් එකතුවිය යුතු බවට මිතුරන් ගේ අදහස විය. එහෙත් මා ගීත රචකයෙකු නොවූ හෙයින් මා සතුව ගීත රචනා නොවීය. මේ ගැන සිතමින් සිටින විට ඒ සඳහා මං පෙත් විවර විය.

මගේ පොත එළි දක්වන අවස්ථාවේදීම, සහෝදර තිඹිරියාගම බණ්ඩාර ගේ තීරු ලිපි එකතුවක් වූ බණ්ඩාගේ වාක්කිය කෘතියද එළි දැක්වීම සිදුවුණි. මේ අවස්ථාවේ වේදිකා අලංකරණ කටයුතු ඉටු කරගැනීම සඳහා සහ ආරාධනා කිරීම සඳහා කටුවන පියනන්ද හිමියන් මුණගැසීමට අපි ගියෙමු. උන්වහන්සේ සමග කතා බහ කරමින් සිටන අතරතුර විශාරද ගුණදාස කපුගේ මහතා අසනීපයෙන් පසුවන බව දැන ගන්නට ලැබුණි. ඔහුගේ නිවස තිබුණේ කටුවන හිමියන්ගේ උඩහමුල්ල පන්සලේ සිට සුළු දුරක් ඈතින් වූ බැවින් කපුගේ මහතාගේ සුව දුක් බැලීමටද ගොඩවන්නට තීරණය විය.

කපුගේ මහතාගේ සුව දුක් බැලීමට මිස ඔහුව අපේ උත්සවයට සහභාගිකරවා ගැනීමක් ගැන අපේ හිතේ නොතිබුණි. ඒ නිසා අවමයෙන් ඇරියුම් පතක් වත් ලියාගෙන නොගියෙමු.

ආ..... මල්ලිලා කොහෙ යන ගමන්ද මේ....

නෑ කපුගේ අයියේ..... කටුවන හාමුදුරුවෝ කිව්වා අයියා ටිකක් අසනීපයෙන් කියා.... ඒ නිසා සුව දුක් බලා යන්න ආවා......

අනතුරුව විවිධ කතා බස් ඇති වුණි. ඒ අතරතුරේ කිතුල් හකුරු කැබැල්ලක් සමග තේ කහට එකක්ද ලැබුණි. කතාව යන අතරේ නැවත පැණසර විය.

හැබැයි තවත් වැඩකට යන ගමන් වගේ පෙනෙන්නේ...... හාමුදුරුවෝ හම්බවෙන්න ගියේ මොකද? වැඩක්ද?

මේ ප්‍රශ්න හමුවේ බොරුවක් කියා යාමේ හැකියාවක් නොතිබුණි. ඒ නිසා කාරණාව කියන්නට සිදුවිය.

තිඹිරිගේ තීරු ලිපි නම් මම හැමදාම කියවනවානේ. යසනාත්ගේ කවි නම් කියවලා තියෙන්නේ ටිකයි.

මම ඔහු වෙත මගේ පොතේ අත් පිටපත පෑවෙමි..... ඔහු ඒවා මතුපිටින් කියවන අතරතුර උත්සවයේ කටයුතු ගැනද විමසීය.

උත්සවයේ ස්වරූපය ගැන කී විට ඔහු එක් වරම කිව්වේ මින් කවියක් සංගීතවත් කොට තමන්ද එදිනට ගායනා කරන බවයි. ඒ අනුව ඔහු ගීයක් කොට ගයන කවියද මා හට පෙන්වීය. එලෙස ආරාධනයෙන් තොරවම ඔහු මගේ උත්සවයේ ගීයක් ගයන්නට ඉදිරිපත් වුණි. තව අවැසි ගීත 2 කි.

අනෙක් ගීත දෙක සඳහා සුදුසු පද වැල් දෙකක් තෝරා වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල ( දුකා ) අත තැබුවේ ඔහු ඒ ගීත දෙකේ සංගීත නිර්මාණ කාර්යය සහ ඒවා ගායනා කරවීම මෙන්ම උත්සවයේ සංගීතය සැපයීමද තම මිතුරකු විසින් සිදුකරණ බව පැවසූ බැවිනි. ඒ මිතුරා කවුරුන්දැයි අසන්නට මට අවැසි නොවුනි.

එදින සංගීතය සැපයීම සඳහා පැමිණියේ මට වඩා වසර කිහිපයක් වැඩිමහල්යැයි සිතුණ, සිහින්, කොණ්ඩය කැරළි සහිත, තරමක් කලබල ස්වරූපයක් පෙන්වූ, උත්සවයේදී ගැයීමට පෙර තමන් කළ නිර්මාණය මට පෙන්වා කැමැත්ත අකමැත්ත විමසීමට උත්සුක වූ, මා කැමති යැයි කීවත් ඒ කැමැතියැයි කීම පිළිබඳව යම් සැකයකින් බැලූ පුද්ගලයෙකි. ඔහුගේ සහායට තවත් තිදෙනෙක් සිටියහ. ඉන් එක් අයෙක් දුෂාන් කරවිටයි. අනෙකා මට මතක හැටියට චමිල්ය.

උත්සවය ඇරඹුනි. කෘති පිළිබඳ කතා බස්ද, ඒ අතරට ගීතද එකතු විය. පළමු වරට මගේ ගීත 3 ක් සංගීවත්ව ගැයෙනු අසන්නේ එදිනය. එය මහත් ප්‍රමෝදයට කරුණක් විය. ඒ සමගම ඉන් එක් ගීතයක් ගයන්නේ මගේ ප්‍රියතම ගායකයා වීම සිහිනයකට වඩා වෙනත් දෙයක් ලෙස හැඳින්විය නොහැක. ඇත්තෙන්ම එය සිහිනයක්මය. එහෙත් අනෙක් ගීත දෙක ගයන අය පිළිබඳව සාපේක්ෂව අර තරම් උනන්දුවක් ඇති නොවුනි. ඒ ගීත ගැයුවේ සඳමාලි දිසානායක නම් නවක ගායිකාවක් විසිනි. ඈට ගායනයෙන් සහය වූයේ එම ගීත දෙක සංගීතවත් කිරීමද ඉටු කළ මම පෙර හැඳිනීමක් නොතිබුණු නවරත්න ගමගේ නමැති තරුණයායි.

ගීත තුන ම සිත් ඇදගන්නා සුළු විය. එහෙත් පෙර වැඩි විශේෂත්වයක් නොදැක්වූ තරුණ සංගීතඥයාගේ සංගීත නිර්මාණ දෙක පිළිබඳව විශේෂ ඇල්මක් ඇති වුණි. මේ නිසා උත්සවය අවසන නවරත්න ගමගේගේ තොරතුරු ඔහුගෙන් විමසීය. ඔහුගේ නිවස සහ මගේ බෝඩිං කාමරය අතර තුර කිලෝ මීටර දෙකකට වඩා නොවුනි. මේ නිසා ළඟදීම හමුවීමේ බලාපොරොත්තුවෙන් එදින වෙන්වීමු.

අනතුරුව එළඹි දින කිහිපය මහත් ප්‍රමෝදයෙන් ගතකළ දිනකිහිපයක් විය. ඒ ප්‍රමෝදමත් කාලය තුළ කවියේත් ගීත රචනයේත් ඇති යම් යම් සමාන සහ වෙනස් කම් හඳුනාගන්ට උත්සාහ දැරීමි. එහි ප්‍රතිඵලයක් ලෙස ගීත රචනා යැයි සැක කළ හැකි නිර්මාණ දෙක තුනක් බිහිවුනි. මේ අළුත් වස්තුවද රැගෙන මා එක් සැඳෑවක, නුගේගොඩ දෙල්කඳ හන්දියේ පිහිටි නවරත්න ගමගේලා සිටි නිවස වෙත ගොඩවීමි.

මද වේලාවක් සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව නවරත්න ගමගේ නැවත නැවත ඇසුවේ එදා ගීත දෙක පිළිබඳව සෑහීමට පත්වන්නේද යන්න ගැනය. එය ඔහු හට දනවන්නට කවි ලියමින් සිටි, ගීතද ලියන්නට උත්සාහ කරණ මගේ වචන පොහොසත් මදිදැයි වරෙක මට සිතුනි. අනතුරුව මම දැඩි ලෙස කිව්වේ ඔහු මට සුවිශේෂ බවය.

නවරත්න ගමගේගේ සංගීතයෙන් හැඩ වුණු එක් ගීතයක් පමණක් මේ වන විට මා අසා ඇති බව පසුව මට මතක් වුණි. ඒ එවකට සිරස එෆ්. එම්. හි නිතර වාදනය වුණු චන්ද්‍රෙල්ඛා පෙරේරාගේ

පහන් සිලට දැවිලා
සමන් පිච්ච වැල් - මංගල පෝරුව
පහස් සිලට දැවිලා .... නම් වන ගීතයයි. එය ඉතා මිහිරි ගීතයක් විය.

සමන් පිළිබඳ කතාව මා පිළිබඳ කතාවක් බවටත් අනතුරුව නවරත්න ගමගේ පිළිබඳ කතාවක් පත්ව ඇත. ඒ නිසා මේ කතා බහ තව දිගට ගෙන යා යුතු නැත. නවා ගැන ලියන්නට සිටින සටහනේ ඒවා නැවත ලිවිය යුතු බැවිනි. එහෙත් සමන්ගේ දෙවන සමයට ඒමට නම් මේ කතාව තව ටිකක් කිව යුතුය.

නවාගේ මේ හඳුනාගැනීම සහ හඳුනාගැනීමෙන් අනතුරුව සුවිශේෂ මිතු දමක් ගොඩ නැගීම ඔස්සේ එවකට යම් අළුත් සලකුණක් තැබූ ගීත කිහිපයක් එළි දැක්වීමට අපට හැකි වුණි. ඒ නිසාම නාට්‍ය සංගීත ක්ෂේත්‍රෙය් නමක් දිනා සිටි නවරත්න ගමගේ සිංහල ගීතය වෙත බර අඩි තබමින් පිවිසීමටද එය හේතුවක් විනි. ඉන් ගීත කිහිපයක් සමන් ජයනාත් වෙනුවෙන් නිර්මාණය වුණි.

දැන් නිතර නිතර මා ලියන ගී අරගෙන නවා බැලීමට යනවා පමණක් නොව, දන්නා අඳුනන අයගේ වැඩද නවාට පංගරාර්තු කිරීමට තරම් මම නවාට සමීපවී සිටියෙමි. ඒ සමහර දේ කරදරයක් වුවත් නවා චුරු චුරු ගගා ඒවා ඉටු කළේය. එවකට විරැකියාවෙන් පෙළුන නවාට සත 5 ක් වත් ලැබෙන වැඩ නොවේ ඒවා.... සමහර විට අතේ ඇති තුට්ටු දෙකටත් තට්ටු වන ආකාරයේ වැඩය.

දිනක් මම නවා මුණ ගැසෙන්නට ගියේ ජපුර සරසවියේ පළමු නළ මුදු සුවඳ කලා මංගල්‍යය සඳහා ඉදිරිපත්වන ගායිකාවක් සඳහා ගීතයකට තනුවක් සෑදිමට බාරදීමටය. නවා එම කටයුත්තද අකමැත්ත නොපෙන්වා බාරගත්තේය. එය සුන්දර තනුවක් ලෙස නිර්මාණය කිරීමට නවා සමත්ව තිබුණි. එමෙන්ම ආකර්ෂණීය තනුවකි. වරක් ඇසූවිට නැවත අසන්නට සිතෙන ආකාරයේ තනුවකි. එහි සංයෝජිත සංගීත ඛණ්ඩද එසේමය. මේ අනුව තරගයට ඉදිරිපත් වන ගායිකාව මහත් භාග්‍යකට හිමිකම් කීවා යැයි මට සිතුනි. කලා මංගල්‍යය පැවැත්විනි. පුදුමයකි. අර ගායිකාව ගැයුවේ වෙනත් තනුවකි. නවාගේ තනුව ඇයි නොගැයීය.

මේ කතාව දැන ගත්විට නවාට අසූ හාරදාහට තද  විය.

මොකක්ද යසේ..... උඹ මට දෙන කොන්ත්‍රාත්තු. දැන් බලපං..... මෙච්චර මහන්සි වෙලා සත 5 ක් වත් නැතිව වැඩක් කළත් අන්තිමට හිතේ අමාරුව විතරයි. හොඳ මෙලඩියක් අහක ගියා.

මම නවාට කිව්වේ හොඳ මෙලඩියක් කිසි දිනක අහක නොයන බවයි. ඒ වෙනත් අදිටනක් හිතේ ඇතිවය. එනම්, සාමාන්‍යෙයන් මම තනුවට ගී පද ලිවීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත්, මේ තනුවට නම් කෙසේ හෝ ලියනවාය යන අදිටනිනි. ඒ අනුව ඒ තනුවට පද ලිවීම ඇරඹුනි. එක හුස්මට එය සිදුවිය. අවැසි වූයේ පුංචි සැකසුම් කිහිපයක් පමණි. එයද කරදරයකින් තොරව ඉටු විය. දැන් අපට සුන්දර ගීතයක් අත ඉතිරි ව ඇත. වෙච්ච දේ හොඳයි කියා සිතුනි.

මේ අතර අතරින් පතර විශාරද කපුගේ ගේ නිවසට යන්න සිදුවූයේ වෙනත් කරුණකටය. ඒ ඔහු, ඔහුගේ නිර්මාණ සහ සම කාලීන සාහිත්‍ය කලා විමර්ෂණ කෘතියක් කිරීමට අප ( මම, මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර ) තීරණය කළ බැවින් ඒ හා සම්බන්ධ වැඩ වලටය. මේ අතරේ මගේ නිර්මාණ පිළිබඳව විමසීමටද ඔහු අමතක නොකරයි. ඔහුගේ අදහස වුණේ ඒ වන විට අත තිබූ ගී පද රචනා කිහිපයක් ගීත බවට පත්කළ යුතු මට්ටමේ තිබෙන බවය. එහෙත් ඒ කාලය වන විට ගීත එකතුවක් කිරීමට නිෂ්පාදකයෙකු සොයා ගැනීම දුෂ්කර වූ බැවින් ගීත නිර්මාණ කටයුතු වල ප්‍රමාදයක් ඇති වන බව ප්‍රකාශ විය. එසේම කරන දවසක කරනවා යැයි කියා ඉන් දෙකක් ඔහුටත් තව එකක් මාලනී බුලත්සිංහලටත් වෙන් කොට තබන මෙන්ද කීවේය.

ගීත රචනා ක්ෂේත්‍රයේ බලාපොරොත්තු ඉහළ නංවන දේවල්ය සිදුවෙමින් පැවතුනේ. ඒ බලාපොරොත්තු ඉහළ යන විට නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවුනි. එසේ වුවද, ඒවා නිම නොවන විට විටෙක සියුම් දුකකුත් මෝදු වුණු බවද කිව යුතුය.  එහෙත් නිර්මාණ එකතුවනු මිස ඒවා කෙරෙන දිනයක් පිළිබඳව තීරණයක් නොමැතිවම කාලය ගෙවුනි.

ඔය අතර විශාරද ගුණදාස කපුගේ පිළිබඳ අප විසින් කළ හඬ කෘතිය එළි දැක්වුණි. එය අතිශයින්ම සාර්ථක වූ වැඩසටහනක් බවට ඉබේම පෙරලී තිබුණි. මේ නිසාම කපුගේ අයියා සහ අපි අතර තිබූ මිතුරුදම තවත් දැඩි වුණි. අවසානයේ නිතර යන එන සේම කව් ගී ක්ෂේත්‍රය පිළිබඳ බොහෝ කතා බස් ඇති වුණු තැනක් බවට ඒ නිවස ඉබේම පත්විය.

මෙසේ සිටින විට මගේ නිර්මාණ පිළිබඳව අනිවාර්යයෙන්ම කතා බස් සිදුවිය. හොඳ ගීත 15-20 ක් එකතුව තිබෙනු දුටු කපුගේ අයියා දිනක් යෝජනාවක් කළේය. යෝජනාව ප්‍රීති ප්‍රමෝදයට හේතු වුවද පසුව කල්පනා කරන විට සරසවි සිසුවකු වශයෙන් එය දරාගත නොහැකි එකක් බවද වැටහින. යෝජනාව ආවේ මෙලෙසිනි.

යසනාත්, අපි නිෂ්පාදකයින් හොයාගෙන සින්දු කරන කාලය එනකොට ගොඩක් ප්‍රමාදයි. ඒ නිසා අපි එකතු වෙලා ගීත 5 ක් විතර කරමු. මමත් උදව් කරනවා. පුළුවන් හැම විදිහටම. මමයි මාලනියි තනි ගීත දෙකකුයි, යුග ගීයකුයි කියන්නම්. ඒවාගෙන් දෙකක් මම මියුසික් කරනවා. මාලනීගේ තනි ගීතය එච්. එම්.ට දෙමු. ඒ අයත් උදව් කරයි. මම කියන්නම්කො.

මේ ආරංචියත් රැගෙන කෙළින්ම ගියේ නවාගේ ගෙදරටය. කවදා පටිගත වේදැයි අරමුණක් නැතිව ගීත නිර්මාණය කරමින් සිටි නවාටද මෙයින් යම් අස්වැසිල්ලක් ලැබුණි. දැන් සිහින පටිගතකිරීම සඳහා සූදානමිනි. කපුගේ අයියා ගීත 5 ක් කරමු කියා යෝජනා කළාට නවාත් සමග එකතුව එය ගීත 7 ක් දක්වා වැඩි කරගෙන තිබුණි. මේ ගීත පටිගත කිරීම නමැති දුෂ්කර ක්‍රියාව ගැන වෙනම ම දිනක වෙනම ම සටහනක් ලිවිය යුතුය. එබැවින් දැනට මේ සටහන ලියා තබමි. යෝජනාව අනුව ක්‍රියාත්මක වුණු අප ගීත 7 ක සංගීත පසුතල ( Music Tracks ) නිමවන ලදි. ඒ සංගීත පසුතල වලට ගායක ගායිකාවන් හඬ කැවිය යුතුය. ඒ වන විටත් කිහිප දෙනෙකු තෝරාගෙන තිබුණත්  ගායක ගායිකාවන් කවුරුන්දැයි තීරනය කර නොතිබුණු ගීත දෙක තුනක්ද විය. මේ එක් ගිතයක් වූයේ මා පෙර කී නළ මුදු සුවඳ සඳහා නවා සංගීතවත් කොට එහෙත් එහි නොගැයුන ( ප්‍රතික්ෂේපිත ) ගීයේ සංගීත පසු තලයයි.

දැන් කපුගේ අයියාගේ මැදිහත්වීමෙන් කල ගීත සඳහා ඔවුන් හඬ කවයි. අනෙක් ගීත වලට සුදුසු ගායකයින් කවුරුන්දැයි විවිධ තර්ක විතර්කය. විශේෂ අවධානයක් යොමු වූයේ පෙර කී ප්‍රතික්ෂේපිත ගීතයටය.

විවිධ නම් යෝජනා විය. එක නමක් ළඟ වැඩි වාර ගණනක් නැවතින. විවිධ අයට සංගීත පසු තලය අසන්නට දෙමින් මේ විවිධ නම් නැවත නැවත ගෙන හැර පෑවෙමු. සියල්ලගේම පාහේ මතය වූයේ එකක්මය. අවසානයේ අර නම ළඟ නතරවීමු. ඒ නම අයිතිව තිබුණේ සමන් ජයනාත් ජිනදාසටය.

දැන් සමන් ජයනාත් ජිනදාස සමග තිබූ කෙටි දැන හැඳුනුම්කම ඔහුගේ  දුරස්ථ මතකයෙන් දුරස්ථදැයි සිතුනි. ඒ දුරස්ථ මතකය ඇති වූ සැටි පළමු ලිපියේ ලියැවුනි. එහෙත් ඉන් පසුව කිසිම සබඳතාවක් නොපැවැත්වුණු බැවින් ඒ කතාබහ අළුත් කරගත යුතුය. මේ නිසා මහා උත්සාහයකින් පසුව ඔහු ඉංජිනේරු වරයෙකු වශයෙන් එවකට සේවය කළ පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ පොදු දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට හැකි විය. මා පිළිබඳව කෙරුණු හැඳින්වීමේදී  යම් මතකයක් ඔහු ළඟ ඉතිරිව ඇති බව වැටහුණි. ඒ අනුව කථාව තරමක් පහසු විනි. මා ගීතයේ වචන ටික කියූ සැනින් ඔහු එයට ප්‍රසාදයෙන් කතා කළේය. එහෙත් ඒ සංගීත පසුතලය ඔහු වෙත යොමු කිරීමේ පහසුව අද මෙන් එකල නොතිබුණි. එබැවින් ශබ්දාගාරයට පැමිණ එය අසා ගැයීමට ඔහු එකඟ විය. නොසිතූ තරම් ඉක්මන් දිනයක් ලැබුණි. එනම් ඉදිරි දින 3 ට පසුව එම ගීතයද ඇතුළු තවත් ගීත කිහිපයක් සම්පූර්ණයෙන්ම නිම වනු ඇත.

එදින උදා විය. පැල්වත්තේ සිට පෙර දින රාත්‍රියේ කොළඹට පැමිණ මිතුරකුගේ නිවසක නැවතී සිටි සමන් ජයනාත් නුගේගොඩ, දෙල්කඳ නෙකෝ ශබ්දාගාරයේදී අපේම නිර්මාණ කටයුත්තක් සඳහා එකට මුණගැසුනි. පළමු අවශ්‍යතාව ඔහු වෙත සංගීත පසුතලය ඇසීමට සැලැස්වීමයි. ඔහු ඇසූ පළමු වාරයේම ඉන් ප්‍රමෝදයට පත්වූ බවක් මුහුණින් දිස් වුණි. වරක් දෙවරක් පසුතල සංගීතය ඇසූ ඔහු පෙරහුරු ගැයුමට පිවිසුනි. ඒ සඳහාද අවැසි වූයේ කෙටි කලකි. අනතුරුව එළඹුනු පැය 2 ක පමණ කාලය තුළ එම ගීතය නිමවුණි. එදින නිම වුණු තවත් ගීත 6කි. ජානක වික්‍රමසිංහ ගැයු නොනිදා ඉන්න එපා දේවී, ගුණදාස කපුගේ ගැයූ වැව්තාවල්ලේ සුදු කොඩි බැඳලා, මාලනී බුලත්සිංහල ගැයූ කහට පැහැ වුණත් අතැඟිලි සිතේ කහට නැතුවා, කපුගේ මාලිනී දෙදෙනා ගැයූ ඉරබටු තරුව වගේ පායන්නම්, නිර්මලා රණතුංග ගැයූ රන් ගිරි හිසේ රුක් දරුන් කෝ, වික්ටර් රත්නායකයන් සමග නිර්මලා රණතුංග ගැයූ ඉසුරුමුනි පෙම් වලප ඒ ගීත 6 යි. දවස අවසන් වන විට සුවිශේෂ සතුටක් රැගෙන යාමට අවැසි වස්තූන් අපට එදින තුළ ලැබුණි. එනම් අසන්නට ප්‍රිය ගීත 7 ක් අපට ලැබුණි.

මේ ගීත පටිගත කිරීමේ කාර්යයට නිර්මාන කටයුතු වලින්ද ධනයෙන්ද ගුණදාස කපුගේ දැක්වූ දායකත්වය ඇදහිය නොහැකි වුණි. මා අත ඇති මුදල මදිවන බව ඔහු කල්තියාම දුටුවේය. වැඩ කරන අතරතුර ඔහු ශබ්දාගාරයෙන් පිටව හදිසි ගමනක යෙදුනි. කවුරුත් සිතුවේ ඔහු පුරුදු වැඩේ සඳහා අසල ඇති රෙස්ටුරන්ට් එකකටවත් යනවාද කියාය. එළියට ගිය ඔහු ත්‍රී වීලරයකට නැග නොපෙනී ගියෙය්. අඩ හෝරාවකට පසුව ඔහු නැවත දසුන විය. මත්පැන් සැරක් ඔහු මුවේ නොතිබුනි. ඔහු ශබ්දාගාරයේ එදින වියදම ගෙවා ඊ ළඟ දිනට අත්තිකාරමක්ද චෙක් පත මගින් ගෙවා දමණු ලැබුණි. යම් දිනක මේ මුදල පියවමියි යන අදිටන හැර මට කරන්නට ඉඩ ලැබුණේ ස්තුති කිරීම පමණි.

සමන්ගේ ගීතය ගැයූ සැනින් ඔහු පිටත්ව ගියේ සුබ පතමිනි. මේ ගීතයට පැහැදිලි අනාගතයක් තිබෙන බව එහි සිටි සැවොම පිළිගත් දෙයක් විය. මේ ආරංචිය එහි සිටි විජේරත්න රණතුංගයන්ගෙන් සහ නිර්මලා රණතුංගගෙන්  සිය බෑණන්ඩිය වූ සිරස මාධ්‍යජාලයේ නිහාල් වික්‍රම එදිරිසූරියට දැන ගන්නට සැලසී තිබුණි. මට ඔවුන් කිව්වේ මෙම ගීත සංයුක්ත තැටියකට කවා සිරස වෙත ගොස් නිහාල්ට දෙන ලෙසය. ඒ අනුව දින කිහිපයකින් එය ඉටු විය. මේ ගීත සියල්ලම පාහේ අනතුරුව නිහාල්ගේ අළුත් සින්දු වැඩසටහනට පළමුව වාදනය වුණි. ඉන් ගීත 4 ක් සිරස රස රිසි ගී වැඩසටහනේ 3වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණියේය.

සමන්ගේගීතය ඇසීමට පෙර එදින පටිගතවුණු අනෙක්ගීත 6 මෙහි අමුණමි. ඒ ගීත ඇසීමට අකමැති රසිකයෙක් වේ නම් මේ ගීත 6 මග හැර ඉදිරි කොටසට පිවිසෙනු මැනවි.


නොනිදා ඉන්න එපා දේවී




වැව්තාවල්ලේ සුදු කොඩි බැඳලා



 කහට පැහැ වුණත් අතැඟිලි සිතේ කහට නැතුවා



 ඉරබටු තරුව වගේ පායන්නම්



රන් ගිරි හිසේ රුක් දරුන් කෝ



ඉසුරුමුනි පෙම් වලප


 
සමන්ගේ ගීතය සේම නොනිදා ඉන්න එපා දේවී ගීතයද එක වර ජනප්‍රියත්වයක්ලබා ගන්නට සමත්විය. මේ නිසා සමන්ටද, නවාටද, මටද ඒ ඔස්සේ සෑහෙන ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ලැබුණි. එය මා මේ ක්ෂේත්‍රයේ තැබූ පළමු බර අඩියයි. පළමු ස්ථාවර අඩියයි. ඒ නිසා ඒ පළමු බර අඩිය පිළිබඳව කතා කිරීමට තවත් කල් ඇරීම නොකළ යුතුය.

මතක් කළ බව මතකයි මෙය නවාගේ ප්‍රතික්ෂේප වුණු තනුවක් බව. මේ තනුව තුළ මට දැනුනේ කිසියම් ගැමි සුන්දරත්වයක්. එහි සරන්නේ සුන්දර ගැමි ලියක් යන්නය මගේ හිතේ ඇඳුනු දේ. ඒ සියල්ල එසේ වුවද යම් කිසි කෙළිලොල් දඟකාර ස්වරූපයක්ද ඉන් නොහැඟුනා නොවේ. ඒ මනෝමය දසුන අනුවය මගේ පද පෙළ ගැසෙන්නේ...... මේ ගීයේ සංගීතය ගත් විටද එහි විවිධ නාද රටාවන් ඇසේ. එහි විටක ජන සංගීත ආරෙන් බිඳ ගත් දේද තවත් විටක නවීන සංගීතයේ මිශ්‍රණයන්ද වෙයි. මේ සියල්ල අනුව පද සෙවීම යම් දුෂ්කර දෙයක් වුවද එය කිරීමේ අදිටන විසින් එහි පද මාලාව නිමවීය. ඒ පද මෙසේ විය.......

ගාන තෙල් සඳුන් වරලස - පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොලඟ - ඉසුණු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුණු මහේෂිකාවී......

සඳ හිනැහී එන යාමෙට - සුදු සඳරැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේෂිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දසන්තයේ මල් සුවඳින
දිගන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් පිනවන
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේෂිකාවී......

මෙසේ සමන් ජයනාත්ගේ හඬ එක්කිරීමෙන් අනතුරුව  වැඩ නිමවුනු ගීතය අදත් මගේ නම ගීත රචකයෙකු ලෙස හඳුන්වා දීමේදී අන් අයට පහසුවෙන්ම මතක් කළ හැකි ගීතය වීඇත.

මේ ගීතය පසුව මගේ නිර්මාණ 16 ක් එකතු කර නිමැවුණු කිඳුරු ගීතය සංයුක්ත තැටියේ සුවිශේෂම ගීතයක් විය. පසුව එම ගීතය සමන් ජයනාත්ගේ සඳ පහන් රැයක ගීත එකතුවටද එක් විය.
  
ගීතය අසමු.



තවත් කොටසක් බලාපොරොත්තු වන්න....

- යසනාත් ධම්මික බණ්ඩාර - 

3 comments:

  1. This may not be the most appropriate place to ask.
    But.... where can I buy the books : Pahan Bima, Mura Gala
    If not available to purchase, from where can I borrow ?

    thanks.

    ReplyDelete
  2. I just could not go away your site prior to suggesting that I actually enjoyed the standard info an individual provide for your guests?

    Is gonna be back often to check out new posts

    my webpage home improvement diy

    ReplyDelete
  3. මේ වගේ අත්දැකීම් අපට නැතුවුණත් ඒ හන්දම මේ වගේ සටහනකට වදනක් එකතු කරන්න නොහැකි වුණත් හරි අපූරු සටහනක් කියල හිතුන...
    හොදයි කියන නොව කැමති සිංදු එක්ක ගෙවුන අපූරු මොහොතක් විදියට දැනුනෙ...
    ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නෙ

    ReplyDelete