Friday, September 5, 2014

වික්ටර් නැතිව වික්ටර් දකිමු. ( දෙවන කොටස )






වික්ටර්ගේ සංගීත දිවි‍යේ හැරවුම් ලක්ෂය ලෙස සඳහන් කළ හැක්කේ, 1973 ජූලි මස 20 වැනි දින කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී අරඹා 2012 ජූලි මස 20 වැනි දින එම ලුම්බිණි රඟහලේදී ම සමුදෙන්නට යෙදුණු වසර 40 කාලයක් සපිරූ, දර්ශන වාර 1450 ක් වේදිකාගතකළප්‍රසංගයයි.ප්‍රසංගය වික්ටර්ගේ සංගීත දිවියේ පමණක් නොවෙයි සුභාවිත සිංහල ගීතයේද හැරවුම් ලක්ෂය ලෙස සැලකීම නිවැරදියි. 



එය සිංහල ගායකයෙකුගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගයයි. එසේම සිංහල ගීතයට පුළුල් රසික ජනප්‍රසාදයක් ලැබුණේ වික්ටර්ගේ නිසා යැයි කිවහොත් එය වරදක් නොවේ. එසේ නොමැතිනම් කිසියම් ප්‍රසංගයක් දර්ශන වාර 1450 ක් ඉක්මවීමටත්, එසේම වසර 40 ක් තිස්සේ එක සේ ජනප්‍රියතාව රැකගෙන රට වටා වේදිකා ගතකිරීමටත් හැකියාව ලැබෙන්නේ නැත.  



මේ දවස් වල සිංහල ගීතය සමග පෙළහර කළේ විශාරද අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනියයි. වඩාත් භාවාත්මක සිංහල ගීතය රැගෙන ඔවුන් දෙදෙනා ගිය ගමන යම් වෙනසකට ලක් කරමින් වික්ටර් ප්‍රසංගය අරඹනවා. ඒ වික්ටර්ගේ මිතුරන් කිහිපදෙනෙකුගේ දැඩි උනන්දු කිරීම නිසා. ඒ අතර ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ආර්. ආර්. සමරකෝන්, බණ්ඩාර කේ විජේතුංග, සහ චින්තන ජයසේන ආදීන් වෙනවා. ප්‍රසංගයට කියන නම සුදුසුයැයි යෝජනා කළේ චින්තන ජයසේනයි. මේ අසන්නට යන්නේ ප්‍රසංගයේ වැයෙන එක් ගීතයක්. තුරුණුවියේ සිටි ප්‍රේමකීර්තිලාගේ වික්ටර්ලාගේ ප්‍රාර්ථනා බිඳවැටීමද ඔවුන් මෙම ගීතය හරහා කියන්න උත්සහ කරන්නේ. ඊයේ දවස ඇරඹුනේ ප්‍රාර්ථනා දහසක් පොදිබැඳගෙන. ඒත් දවස නිමාවී ආපසු හැරී බලනවිට ඉන් ඉටුවී ඇත්තේ කොපමණක්ද? බොහෝවිට ඉතිරිව ඇත්තේ හිස් බවක් විතරයි.

මතකය නම් වූ මළ පොත පෙරලා
මිය ගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ - කිසිත් නැත හිස් බවකිය ඇත්තේ........
ඒක එහෙම වුණත් අදත් හිරු පායනවා. හිරු තවත් දවසක් අරන් එනවා....
අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර හිරු තව දවසක් ගෙනැවිල්ලා......

ඉතින් මේ තාරුණ්‍යයේ පැතුම් බිඳවැටීමට ඔවුන් පිළිතුරු හොයන්නේ කෙලෙසද? එක එක යෝජනා එන්නට පුළුවන්. ඒත් ඔවුන් සොයන පිළිතුර මෙලෙසයි.

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත පුරවා ගන්නට
මියැසිවිරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ - එපමණයි පිලිසරණය වන්නේ.........

යෞවන විය විවිධ ගිරිදුර්ඝ මං මාවත් ඔස්සේ කාලතරණය කරණවා. ඒත් ඔවුන්ගේ හදවිත හිස්. මේ හිස් බව පුරවා ගන්නට ඔවුනට ඇති එකම පිලිසරණ මියැසි විරාමය පමණයි. ඒ නිසා ඔවුන්නම් එදා මේ හිස්බවට පිළිතුරු සොයා තිබෙන්නේ සංගීත කලාදියට යොමුවීමෙන්. ඒ හැර වෙනත් පිලිසරණක් ඔවුනට තිබී නෑ. පෙනී නෑ.

ගීතය මෙතැනින් රස විඳිමු.



 
ප්‍රසංගයේදී ඔය වගේ ගීත 25 ක් පමණ ගායනා වුණා. එම ගීත සමුච්ඡය පමණක්ම පරෙස්සමින් විමසා බැළුවත් වික්ටර් ගේ ගීත එකතුවෙහි ඇති විවිධත්වය මනාව ගම්‍යවෙනවා. දෘෂ්‍ය වර්ණාවලියේ රක්තවර්ණයේ සිට ජම්බුල වර්ණය දක්වා ඇති වර්ණ පැහැදිලි ලෙස එකිනෙකින් වෙනස් වනවා වගේ වික්ටර්ගේ ගීතාවලියේ ගීතද එකිනෙකින් පැහැදිලිව වෙනස්ව දකින්න පුළුවන්. ප්‍රේම ගීතයේ සිට මවුගුණ ගීත දක්වාද, බුදුගුණ ගීතවල සිට දේශානුරාගී ගීත දක්වාද ඒ අතරවෙනවා. වික්ටර්ගේ ප්‍රේම ගීත පමණක්ම වෙනම අරගෙන විමසා බැළුවත් එහිද මහත් පුළුල් බවක් වෙනවා. ප්‍රේමයේ සුන්දරත්වයේ සිට විරහවේ වේදනාව දක්වාද, හමුවීමේ ප්‍රීති ප්‍රමෝදය සේම වෙන්වීමේ කඳුළැල්ල දක්වාද ඒවා දිවයනවා. ඊට අමතරව හුදු සටන් පාඨ විරෝධාකල්ප නොවුණු එහෙත් සැබෑ විරෝධාකල්පයන් ගැබ්වුණු ගීත ඔහුගේ ගී තුළ අපිට ඇහෙනවා. බලන්න මේ ගීතය එවැන්නක් නොවෙයිද කියලා.

මෝහෙන් මුලා වෙලා - මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ...
රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ........

එදාට වඩා අද මිනිසා තණ්හාවෙන් ක්‍රෝධයෙන් ද්වේශයෙන් කටයුතුකරන බව පෙනී යනවා. මේ විදිහට දිනෙන් දින වෛරී දිවියක් වෙත යොමු වන මිනිසා අවසන නවතිනු ඇති තැන කුමක් වනු ඇතිද? එය එසේ වුවද විය යුත්තේ උතුම් මිනිස් ගුණය රැකීමමය.

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිසා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යනවා.......

මේ සත්‍යය බොහෝ දෙනා දනී. එහෙත් අභාග්‍යය නම් එය දැන දැනම නමුත් සිදු වන්නේ අනෙකක් වීමයි. තමන්ට වඩා අනෙකෙක් නැතැයි ඔහු සිතයි. අනෙකෙක් මතු වේ නම් එය වැලකීමට උගුල් අදී. වලවල් කපයි. මේ බොහෝමයකට අවසානයේ තමන් කැපූ වලටම වැටෙන්නටද සිදු වෙයි. මේ ගීතය ලියන්නේ සිරිල් ඒ සීලවිමල කවියායි. එය සංගීතවත් කරන්නේ ආර්. ඒ. චන්ද්‍රෙස්නයන් විසිනි.

ගීතය මෙතැනින් රස විඳිමු.

  

මීළඟට වැයෙන ගීතයෙන් අප අතර සිටින මිනිසුන්ගේ ඇතුළාන්තය මොන තරම් දකින්නට උත්සාහ කරල තියෙනවද කියල බලන්න......

ඉනිමං තබාලා නැගීලා බලයි
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනුවා සිතයි
තිබූ තැනද නැති වී පරාජේ වැටෙයි

සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ට අත දුන් අත සපාකනවා. නැගි ඉණිමගට පයින් ගහනවා. අතීතය මකා දමලා අමුතුම වර්තමානයක් ගොඩනගන්න හදනවා. හැබැයි අතීතේ නසලා දිනන්න හිතන මිනිස්සුන්ට තිබූ තැන පවා අහිමිවී අවසානයේ පරාජයේ පතුළටම කිඳාබහිනවා.

ගහේ වැල එතීලා යාවී හැදී
පසුව පිලිල වීලා සාරේ අදී
කාල බීල නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි......
ළිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා
ළිඳට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා ගඟට ආවඩයි....

තමන් නිතර ගැවසුන පළ ප්‍රයෝජන ගත් තැන් අවුල් කර දමන එක මිනිස්සුන්ට ඒ තරම් කජ්ජක් නොවෙයි. ජීවිත කාලයක් දිය බිවු ළිඳට ගල්ගහල දිය බොර කරන්න ඔවුන්ට ගතවෙන්නේ නිමේශයයි. ඊ ළඟ නිමේශයේදී ඔවුන් නැවත වතුර හොයාගෙන ගඟට පියමණින්න මැලිවෙන්නේ නෑ. අනතුරුව ළිඳට වඩා ගඟ අගය කිරීමද ඔවුන්ගේ පුරුද්දක්. ඉතා සාවධානව අසන්න. මේ අප අතරම ඉන්න සමහර මිනිසුන්ගේ කථාව නොවෙයිද?

ගීතය මෙතැනින් රස විඳිමු.



 
සිංහල ගීත සාහිත්‍යය තුළ මවු ගුණ ගී දහස් ගණනක් ලියැවිලා ගැයිලා තියෙනවා. ඒත් ඒ ගී වලින් හොඳ මවුගුණ ගී තියෙන්නේ කීයද. මේ තියෙන්නේ එහෙම අපි හොඳයි කියලා කියන මවු ගුණ ගී ඛණ්ඩ කිහිපයක්.

නන්දා මාලිනියගේ මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා....

කපුගේගේ දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුළෙ හංගාගෙන මා - ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ....


සුනිල් එදිරිසිංහයන්ගේ දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ - ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ - අම්මා........


දිවුල්ගනේගේ ගමට කළින් හිරු මුළුතැන්ගෙට වඩිනා.......


දීපිකාගේ කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා ....


විජේසිරිවර්ධන පොලොන්නෝවිටගේ විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ යශෝදරා ඔබ මා දුටු බුදුසිරිතේ......


ඒ වගේ හොඳ මවුගුණ ගීත කිහිපයක්.

එතකොට වික්ටර්ගේ එහෙම ගීත නැද්ද? බලන්න වික්ටර්ගේ මේ මවුගුණ ගීය අංක 1 ටද 2 ටද 3 ටද නැතිනම් කීයටද කියලා තෝරන්න පුළුවන්.

ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතුවූ
ඔබ මතු බුදුවන දවසේ - මා රාහුල කුමරුන්සේ
සෙවන පතා අදමෙන් පැමිණෙන්නෙමී - සුළැඟිල්ලේ එල්ලී......

අම්මා ආදරයේ උල්පත යැයි කීම කොතරම් නිවැරදිද. අපි කියන අනෙකුත් අතිශයෝක්තී කථා කෙසේ වෙතත් අම්මා ගැන කිවූ ඒ කථාව අතිශයෝක්තියක් වෙන්නෙ නෑ. මේ ගීතයේ ඊළඟ කොටස බලන්න. ගිහි සමාජයෙන් ඔබ්බෙහි වූ නිරාමිස සුවයක් ඇය ලබන දිනක ඇගේ පුතුද ඇගෙන් වරම් ලබා එවැනිම සුවයක් ලැබීමට බලාපොරොත්තු වෙනවා. හරියටම සිදුහත් කුමරුන් බුද්ධත්වය ලැබූ පසු රාහුල කුමරුන් බුදුන් සරණගොස් නිවන් දුටුවා සේ.... ඊ ළඟ දේ මවු සෙනෙහස පිළිබඳව සටහන් වන අපූරු වදන් පෙළ.

සඳ දිය කොට - කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා
දිවමතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා - නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දී පනදී
මා දැඩිකළ අම්මා....

ගීතය වාදනයවන විට වැයෙන සංගීත රටාවන් කෙරෙහි හොඳින් අවධානය යොමුකරන්න. ඔබට හොඳින් හුරු පුරුදු නාද රටාවක් ශ්‍රවනය වේවි.

ගීතය මෙතැනින් රස විඳිමු.

අපි බලමු මෙන්න මේ කොටස පද පමණක් හොදින් ශ්‍රවණය කරලා. සිතාරයෙන් වාදනය වන සංගීත ඛණ්ඩය අහල බලන්න. බලන්න ඒ ඇහෙන්නේ දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා කියන අපි හැමට හුරු පුරුදු නැලවිලි ගීයේ නාද රටාව නොවෙයිද කියලා. මේ ගීතය මෙතරම් අපේ සිත් සනසන්නට එයත් හේතුවක් වෙන්න ඇති.

එම කොටස මෙතැනින් රස විඳිමු.



ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ විග්‍රහයත් සමඟ ගීතය මෙතැනින් රස විඳිමු.

 
පියගුණ ගීත ලියැවිලා තියෙන්නේ අඩුවෙන් කියලා කාලයක් මහා ආන්දෝලනයක් තිබ්බා. ඒ හින්දම සමහරු අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ කියලා අම්මාවරුන් කෙරෙහි මහත් ඉරිසියාව ගැබ්වුණු ගීත ලිව්වා. එවැනි ගීතයක් වියතුන් සභා මැද උසස් පිය ගුණ ගීතයක් ලෙස පිළිගැණුනා. විචාරයට ලක්වුණා. ඒ බොහෝ විචාරකයිනුත් එම ගීතය මතුපිටින් දැකලා විචාරය කළා මිස ගැඹුරින් දකින්නට උත්සාහ කළේ නෑ. ඇත්තටම පිය ගුණ ගී ගැන උනන්දුවෙන් හොයල බලලද එහෙම ලිව්වේ......? මම හිතන්නේ නෑ. මොකද හෙව්වානම් හම්බවෙනවා. හම්බවුණානම් පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි, අම්මාවරුන් විතරද බුදුවෙන්නේ කියලා කියලා අහන්නේ නෑ. බලන්න එකවරම මතක්වෙන පියගුණ ගී ටික.

දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න...මම ඉස්සරම අහපු පියගුණ ගීය. අබේවර්ධන බාලසූරියගේ පියාණනී මා නැවත උපන්නොත් ඔබේම පුතුවේවා කියන ගීතය.....


මාලනී බුලත්සිංහලගේ පියාණනී ඔබ මෙතේ බුදුන් ලෙස මතු බුදුවන දවසේ...


දීපිකාගේ පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති කල.......


පේෂලා මෙන්ඩිස්‍ගේ මිදුලේ වැලි මාලිගාවෙ.....


දිවුල්ගනේ ගේ අන්දර යායේ වැවු තාවල්ලේ සක්මන් කරණා අප්පච්චී


ක්‍රිශාන්ත එරන්දකගේ අව්වේ මුතු කැට වපුරා - ඒ මුතු පනමට හරවා...


ගොඩක් පියගුණ ගී තියෙනවා. උදාහරණ කිහිපයක් පමණයි මේ. එහෙත් වික්ටර්ගේ හඞින් ඇහෙන මේ ගීතය මම හිතනවා ගොඩක් දෙනෙක් අහල නැති ගීතයක් කියලා. අහලම බලන්න වෙනවා කොයිතරම් හැඟුම් බර පියගුණ ගීතයක්ද කියලා. මවුවරුන්ගේ සෙනෙහස තරම් පියවරුන්ගේ සෙනෙහස මුදු මෙලෙක නෑ. ඒ නිසාම සමහරවිට පියාගෙ ආදරය ඒ තරම් මෘදුව දැනෙන්නේ නෑ. එත් මව ගෙදරනොමැති යාමයක එක්තරා ගොරහැඩි පියෙක් මලක් වැනිවූ තම පුත් සිඟිත්තාගේ මුව ආදරයෙන් සිපගන්නට වන මේ සූදානම කොයිතරම් අපූරුද කියල බලන්න. පියෙකුගේ ගත ගොරහැඩි වුණාට පියෙකුගේ හද කොතරම් මෘදුද කියලා එවිට ඔබට හිතේවි.

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුළ පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන්

මවා ගන්න මේ චිත්‍රය...මේ පියා තම පුත් සිඟිත්තා සුව නින්දේ සිටියදී විශාල පෙර සූදානමක් වෙනවා. ඔහු දිගුවට වැවී කුණු බැඳී අවලස්සන වූ තම දෑතේ නියපොතු ඉවත්කරණවා. ඇහැරුණු විට දරු සිඟිත්තා තම තුරුළට ගැනීම සඳහා. දිගුවට වැවී අවුල්වූ රැවුල කපනවා. තම සිඟිති පුතුගෙ මුව සිප ගැනීම පිණිස.

මවු නැති යාමේ - මා ළය මඩලේ
දෙතොල් හොවයි - කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැණුනිද පුතුනේ - දෙරණට මුසුවන නුඹ වෙනුවෙන්.........

වඩාගත්විට දරු සිඟිත්තා පියාගේ පපුවට මුහුණ ඔබාගන්නවා. පියාට දැනෙන්නේ සිඟිත්තා කිරි සොයනවා වගේ. ඒත් ඒ සමගම ඔහු හිතනවා පුතුට කිරිසුවඳ වෙනුවට දැනෙන්නෙ දහදිය දුගඳක් නොවේද කියා. ඒත් පියාගෙන් වැගිරෙන ඒ දහදිය ඒ සිඟිත්තාගේම අනාගතය වෙනුවෙන් හෙලන දහදිය නොවේද?

පද - සිසිර දිසානායක.
හඬ සහ ස්වර - වික්ටර් රත්නායක.

ගීතය මෙතැනින් රස විඳිමු.
 


මවුගුණ ගී පියගුණ ගී විතරක් නොවෙයි. ඇයි බුදුගුණ ගීත. බුදුගුණ ගීත කොච්චර තිබ්බත් අපේ හිතේ ඇඳිලා තියෙන්නේ ඒවාගෙන් අතලොස්සයි.

අඩවන් වූ දෙනෙතින් ගලනා - මෙත්මුදිතා කරුණා දහරා .... අමරදේවයන් එහෙම ගයනවා.

එතකොට නන්දා මාලිනිය බුදු කරුණා දෑස තෙමී....... ගීතය ගයනවා....................

සුනිල් එදිරිසිංහයන් ගේ නිදුකාණනේ ගීතය..............

ගුණදාස කපුගේ ගයන පිහිටක් නැති සරණක් නැති ගීතය...........................................

වික්ටර්ට අතිවිශිෂ්ඨ බුදුගුණ ගී 10කට වඩා තියෙනවා. අපි වික්ටර්ගේ අතිවිශිෂ්ඨ බුදුගුණ ගීත රැස අතරින් සම්පූර්ණයෙන් අහන්න තෝරා ගන්නේ එම ගීත අතරින් වඩා ජනප්‍රිය ගීවලින් එකක් නොවෙයි. සාපේක්ෂව ජනතාව අතර එතරම් නුහුරු කලා වැවේ දිය ගැඹරේ කියන ගීතය. රචනය මහාචාර්ය තිලක් රත්නකාරයන්ගේ. සංගීතය ඩී. ආර්. පීරිස්ගේ. එම අති විශිෂ්ඨ නිර්මාණය නිතර නොඇසෙන නිසයි මා එම ගීතය අසමු කියල හිතුවේ.

කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි
අවුකන බුදු පිළිම වහන්සේ..
නිසල නෙතින් බැළුම් හෙලා - නිහඞ මුවින් බණක් කියයි
අවුකන බුදු පිළිම වහන්සේ..

කලා වැවේ මහ දිය කඳේ රළ නැගෙන බිඳෙන ආකාරය හරියටම රංගනයක් වගේ. ඈත අවුකන බුදුපිළිම වහන්සේ තුරු හිස්වලට උඩින් කලා වැවේ මේ රැළි රැඟුම දෙස බලා සිටිනවා වගෙයි ගීත රචකයාට හැඟෙන්නේ.

නිසල නෙතින් බැළුම් හෙලා - නිහඞ මුවින් බණක් කියයි
අවුකන බුදු පිළිම වහන්සේ..

එම ශෛල නිර්මාණය තුළ ඇති නිර්මල ශාන්ත ගුණය ගීත රචකයා දකින්නේ සසල නොවූ නෙතින් ලොව බලන ජීවමාන බුදුන් වහන්සේ දකින ආකාරයෙන්මයි. නිසලව හා නිහඬව වැඩ සිටින පිළිම වහන්සේ එසේ නිහඬ මුත් ගැඹුරු දම් දෙසුමක් දෙසන අන්දමක් තමයි ගීත රචකයා දකින්නේ..ඔහු අවුකන පිළිම වහන්සේ දැකීමෙන් ලද පැහැදීම තමයි මෙලෙස ගීත රචනාවක් ලෙස ලියැවෙන්නේ. අනතුරුව ඉන් කියවෙන්නේ එහි ඇති විශිෂ්ඨත්වයයි. නොඑසේනම් ඔහුට එතරම් නිර්මාණාවේශයක් ලැබෙන්නේ නෑ.

ප්‍රඥාවේ යුග නගුළින් - ලොවේ කෙතේ සී සෑවා
සර්ධාවේ බිජු වටයෙන් - විමුක්තියේ පළ නෙළුවා......
කසී බමුණ මේ ගොවිතැන - බුදුන් අතින් ඉටුකෙරුනා
එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා.........

මෙම අදහස මතුවෙන්නේ කසී භාරද්වාජ නම්වූ සූත්‍රය මුල්කරගෙන. බුදුන් දවස කසී භාරද්වාජ නමැති බමුණෙක් හිටියා. ඔහු ගොවියෙක්. දිනක් ඔහුගේ ගොවිපළ අසලින් බුදුන්වහන්සේ පිණ්ඩපාතෙ වැඩියා. ඒ කසී භාරද්වාජ බමුණා ආහාරය සඳහා සූදානම් වෙලා හිටිය වෙලාව. බුදුන්වහන්සේ එතනට පිණ්ඩපාතෙ වැඩියාම බමුණා බුදුන් වහන්සේට මෙහෙම කියනවා.මම මහන්සිවෙලා බිම් සුද්දකරලා, නගුල් බැඳගෙන සී සාලා, බිජු වපුරලා, කෙත් රැකලා, අස්වනු නෙලලා ඉන් මගේ ආහාර සාදාගන්නවා. ඔබ වහන්සේ එසේ මහන්සි නොවී දහදිය නොහෙලා අනුන්ගෙන් ආහාර ඉල්ලා ගන්නවා. ඒ නිසා ඔබවහන්සේත් මම වගේ වෙහෙස මහන්සියෙන් ගොවිතැන්බත් කර තම ආහාරය සකසාගන්න එක තමයි වඩා සුදුසු.........මේ කථාව අසා සිටි බුදුන් වහන්සේ බමුණාට මෙසේ දේශනාකරනවා.

සද්ධා බීජං තපෝවුත්ථී
පඤ්ඤා මේ යුග නංගලං
කිරි ඊසා මනෝ යොත්තං
සති මේ පාල පාචනං

ශ්‍රද්ධාව මගේ බිජුවටයි තපස වර්ෂාවයි ප්‍රඥාව විය හා නගුලයි චිත්ත සමාධිය යොතයි මගේ සිහිය හී වැල හා කෙවිටයි...... මේ ආදී වශයෙන් ඇති ගාථා කිහිපයක අරුත ඉතා සංක්ෂිප්තව යොදාගනිමිනුයි ගීත රචකයා මේ ගීය ලියන්නේ. බ්‍රාහ්මණය මමත් ඔබ වගේම වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරනවා. මම ලෝකය නමැති කෙතෙහි වෙහෙස මහන්සිය නොබලා ප්‍රඥාව නමැති නගුලින් සී සානවා. එසේ අස්සැද්දූ ලෝකය නමැති කෙතේ ශ්‍රද්ධාව නමැති බිජුවට වපුරනවා. ඉන් විමුක්තිය නමැති ඵලය ලබනවා. ඉතින් කසී බමුණා සේම බුදුන් වහන්සේද වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරණවා. කෙත් යාය වෙනස්. හාන්නේ වෙනත් ආකාරයේ නගුලකින්. වපුරන්නේ වෙනස් බීජ වර්ගයක්. ලබන්නේ වෙනස් අස්වැන්නක්. මේ අස්වැන්න තමයි විමුක්තිය හෙවත් නිවන. මේ දෙසුම අසන බමුණා සෝවාන් තත්වයට පත්වෙනවා. පසුව නිවන් දකිනවා. අප ගීත රචකයා දකින්නේ අවුකන පිළිම වහන්සේ නිහඬව දේශනාකරන්නේ මෙන්න මේ දහම් කරුණ කියලා. නැවතත් ඒ ගීත ඛණ්ඩයෙහි වචන ‍දෙස හොඳින් බලන්න.

ප්‍රඥාවේ යුග නගුළින්
ලොවේ කෙතේ සී සෑවා
සර්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ පළ නෙළුවා......
කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටුකෙරුනා
එදා දෙසූ අමා දහම නිහඞ මුවින් පැවසෙනවා.........

ගීතය මෙතැනින් රස විඳිමු.



වික්ටර් නැතිව වික්ටර් දකිමු තුන්වැනි කොටසට මෙතැනින් පිවිසෙන්න.

- යසනාත් ධම්මික බණ්ඩාර -

No comments:

Post a Comment