සමන් ජයනාත් ජිනදාස |
ඔහු සිය මුල්ම
පෙම්වතිය වෙනුවෙන් සියතින්ම මෙසේ ලියයි.
නෙත් පියුම්
මත
කඳුළු දිය තවරා
කඳුළු දිය තවරා
දෙතොල්
ඉවුරෙන්
සඳ වතුර පිසදා
සඳ වතුර පිසදා
මගේ
අතැඟිල්ලෙන් මිදී ගිය
තනි තරුව ඔබ
තනි තරුව ඔබ
අනුත්තරා......
අනුත්තරාට
බැඳි පෙමද අනතුරුව ඇය සියතැඟිල්ලෙන් ගිලිහී ගිය අයුරුද ඉතා අපූරාවට සියතින්ම ලියා
තබන්නේ සමන් ජයනාත් යනු ගායනයට මතු නොව ගී පද රචනයටද මනා බුහුටි කමක් දක්වනනෙක්
බවට සාක්ෂි ඉතිරි කරමිනි. අනතුරුව ඔහු ගීත ලියූ බවක් මට මතක නැත. එය වාසනාවක්ද
අවාසනාවක්දැයි මම කල්පනා කරමි. පළමු ලියවිල්ල එය නම් අනතුරුව ඒ මගේ අත්දැකීම්
ලබමින් අභ්‍යාසයේ නියැලෙමින් ඔහු ගියේ නම් පසු කළෙක ම විසින් ඔහුට ලියන්නට යෙදුනු
ගීත 5-6 න් එකක්වත්
ලියන්නට මට අවස්ථාවක් ලැබෙනු ඇතිදැයි මම නැවත කල්පනා කරමි. එහෙත් ඒ නිසාම ඔහු ගීපද රචනා
ක්ෂේත්‍රයේ එතැනින් නැවතීම යෙහෙකැයි සිතන්නට මට නොපුළුවන. ඔහුගේ පළමු ගී පද බුහුටි
කම දුටු විට ඒ මඟ ඔහු නොයාම අපරාදයකැයි සිතෙන බැවිනි. මේ අරුතින් ඔහු ගැන අපරාදයකැයි නොසිතුනත් ඔහුගැන අපරාධයකැයි සිතන්නට
මට සිතෙන්නේ තව වසර කිහිපයක් ඇවෑමෙනි. ඒ අන් අවස්ථාවක් නිසා නොවේ. ඔහු වැනි
ගායකයෙකු ගායනා ක්ෂේත්‍රයෙන් ඈත්ව, විදෙස් රටක ඉංජිනේරු වෘත්තියේ නියැලෙමින්
ගායන දිවිය නිහඬ කරවන්නට ඔහුම තීරණය කළ දවසේ සිටය. එහෙත් ඊට බලපෑ බොහෝ හේතු ඔහුට
තිබෙන්නට ඇත. එබැවින් ඒ පිළිබඳව වගකීම ඔහුටම බැර කිරීම කළ නොහැක්කේ කලාවට සහ
කලාකරුවන්ට එතරම් හිත මිතුරු නොවූ පරිසරයක අප ජීවත්වන බැවිනි.
නැවත ගිතයට
යොමු වුවහොත් මේ ගීතය විරහ ගීයකි. එහෙත් අප අසන සමහර විරහ ගී වළින් නැගෙන අඳෝනාව
මෙහි නැත. ඇත්තේ ඇය පිළිබඳ වර්ණනාවකි. ඇය පිළිබඳ වැනුම යනු ඇගේ පෙම පිළිබඳ
වැනුමකි. එවන් ඇය ය තම අතැඟිල්ලෙන් රූටා ගිලිහී යන්නේ.
වළා කුළින්
මෑත් වෙලා
පුරහඳ කැඩපතක්
වෙලා
මට නුඹෙ සඳවත
පෙනෙනතුරා
බලා සිටියා
මතකයි අනුත්තරා...
ඔහු වළාකුළු
මෑත් වනතුරු දෑස් දල්වා සිටින්නේ සඳ දකිනු රිසියෙනි. එහෙත් ඒ සඳ දැකීමේ රිසියම
නොවේ. සඳවත තුළින් ඇය දකිනු රිසියෙනි. එහෙත් එසේ පෙරුම් පිරූ ඔහු ඇයට මතකදැයි ඔහුට
නිසැක නොවේ. එම නිසා ඔහු පැණසර වෙයි. අවමයෙන් එලෙස බලාසිටියා හෝ මතකදැයි
දැනගැනීමටය.
දොඩමළු පෙම්
රහස්කතා
ගඟ දිය රැළි
මත මැකිලා
කඳු ඉමේ
දුරින් ඇසෙන තුරා
අසා සිටියා
මතකද අනුත්තරා.......
මේ කුමන
පරිසරයක් දැයි මම නොදනිමි. සමන් අයියාගෙන් මේ ගැන ඇසීමේ හැකියාව හොඳාකාරවම
තිබියදීත් මම ඔහුගෙන් ඒ ගැන නොවිමසුවෙමි. එ නම් මෙහි කියැවෙන පරිසරය ඔහු ශිල්ප
හැදෑරූ පේරාදෙනිය සරසවිය අසබඩ සොඳුරු මල්වත්ත යැයි සිතන්නට මසිත ඇති කැමැත්තයි.
එහි මෙලෙස ඇතිවී වියැකී ගිය සොඳුරු සැමරුම් පමණක් අත ඇත්තන් බොහෝය. මේ තවත් එක් හදවතක
වේදනාව පමණි. අන් හදවත්වල වේදනාවන්ද වරින් වර ගීපද හා බැඳී අප සවනට කොඳුරා ඇත. එහෙත් කව් ගී වලට හා නොවුණු දුක් වේදනාවන් අපමණ තව ඇති බව සිතිය යුත්තේ ඒ වෙදනාවන් දෝත දරා නිහඬව කඳුළු මුසු සුසුම්ලන බහුතරය කවියන් ගීතරචකයන් නොවන නිසාවෙනි. ඒ බැව් පසෙක තබා සමන් ජයනාත් නම් වන ගීත රචකයාගේ පළමු පෙම්වතිය වන අනුත්තරාට අපි කන්දෙමු
අදහස සහ හඬ -
සමන් ජයනාත් ජිනදාස
ස්වර - ආනන්ද
පෙරේරා.
සමන් ජයනාත් ජිනදාස යනු ගායනය සඳහාම උපන්නෙක්ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු උපතින් ගායන හැකියාවක් සමග ඉපදුන අයෙකි. එසේ වන්නේ විශේෂ සංගීත ඉගෙනුමක් නොමැතිව, විශේෂ ඉගෙනුම විද්‍යා විෂය ධාරාවන් වෙත්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගාන්ධර්ව සභාවේදී එක්තරා වසරක හොඳම ගායකයා සම්මානය එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය සමන් ජයනාත් ජිනදාසට හිමි වූ නිසයි. හිමිවූවා යැයි කීම එක්තරා අතකට වැරදිය. දිනාගනු ලැබුවායැයි කීමය නිවැරදි. මක් නිසාද යත් එම සම්මානය සඳහා පවතින තරගය අති මහත් එකක් වන බැවිනි. එය ස්ටාර් තරගයක් මෙන් එස්. එම්. එස් සංඛ්‍යාව මත තීරණය වන එකක් නොවේ. සුවිශේෂ විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තම නිසග හැකියාව ප්‍රදර්ශනය කොට ඔවුන්ගේ අවධානය දිනා ගැනීමෙන්ම පමණක් දිනුම හිමිවන වැඩසටහනකි. අනතුරුවද ඔහු ඉගෙන ගන්නේ විද්‍යාවමය. එහිත් ඉංජිනේරු කර්මයය. එහෙත් ගාන්ධර්ව සභාවේ දී හොදම ගායකයා ලෙස අභිසෙස් ලැබීමත් සමගම ඔහු කෙරෙහි ඇරුණු ඇස් බොහෝය. ඒ අතර ප්‍රවීන කලාකරුවන් රැසකි. මතු නිර්මාණ වලදී නම් ගම් කියවෙන නිසා මේ අවස්ථාවේ නොලියමි.
දිනක්
ඇරියුමක් ලදිමි. ඒ සුදත් ගාමිණී බණ්ඩාරගෙනි. ඔහු එකල අපට වැඩි ජ්‍යෙෂ්ඨ කවියෙකි.
එහෙත් එකම පරපුරේ කවියෙකි. ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමට සූදානමින්
සිටී. ජපුර සරසවියේ වෛද්‍ය විද්‍යාව උගනිමින් සිටි සමයේ මගේ බෝඩිං සගයන් වූයේ
මුළින්ම මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර සහ වසන්ත බණ්ඩාර
දුක්ගන්නාරාල ය. වෛද්‍ය විද්‍යාව දේශන, රෝහල් වල සායනික පුහුණු සියල්ල පැහැර හැර
එහි යාමට නම් විශේෂ දහං ගැට ගැසිය යුතුය. තිබෙන්නේද බදුල්ලේය. එබැවින් දින 2 ක නිවාඩුවක්
අත්‍යවශ්‍යය. කෙසේ හෝ ගමනට එක්වන්නට හැකිවුණේ පෙර දින රාත්‍රියේ ය.
මමත් දළුපොතත්
දෙදෙනා පිටත්වූයේ එකටමය . අනෙකුන් කළින්ම පිටත් වී තිබුණි. මතක හැටියට රැයේ අටයි ගානකට
කොළඹින් ගමන් අරඹා අන්ධකාරයේ අපි මං හසර නොදන්නා කඳු පෙත් දිගේ ඇදුනු සී.ටී.බී. රාත්‍රී
බදුලු බස් රථය හාලි ඇලට එනවිට මැදුම් රැය පසුව තිබුණි. ඝන අන්ධකාරයේ එහේ යම්ද මෙහේ
යම්ද නොදැන පෙර අසා මිස පැමිණ නොතිබුණු හාලි ඇල නගරය මැද අපි සැහෙන වේලාවක් අතරමං වීමු. මහ රැයේ හාලි ඇල පැත්තේ ඇති අධික සීතල ගැන අපට කිසිදු හැඟීමක්
නොතිබුණි. කිසිදු සූදානමක් නැතිව
පැමිණියෙන් එහි ඇති සීතල පිළිබඳ කිසිදු හැඟීමක් නොවීමේ ආදානව වලට දැන් ඉතින් මුහුණ දිය යුතුය. සීත සුළං ප්‍රහාරයේ අසරණ ගොදුරු බවට පත්වන්නට අප දෙදෙනාට සිදුවුණි. අපි
ඔහේ, අරමුණක් ඇතත් අරමුණක් නැත්තන් සේ, නොදන්නා මාවතක ඇවිද ගියෙමු. අරමුණ වූයේ හාලි
ඇල ප්‍රදේශයේ යම් තැනක ඇති සුදත් ගාමිණී බණ්ඩාරගේ නිවස සොයා ගැනීමය. අරමුණක් ඇති අප අරමුණක් නැත්තන් බවට පත්කළේ පෙර සූදානමින් තොරව පැමිණ නින්දෙන් අඩනින්දෙන් බසයෙන් බැසගත් නිසාය. හිම මිදෙන්නට ආසන්න සීතල අපට මතක් වූයේ කොළඹ සිට හාලි ඇලටම පැමිණි පසුව වීම නිසාය. සීතල මදිවාට අන්ධකාරයේද අතරමං වන්නට වූ නිසාය.
මේ මහා රැයේ, අඳුරේ, සීතලේ එම
පුංචි නිවස සෙවීම පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුවක් සෙවීමක් බඳුවිය. බැය භාගයක් පමණ
යනවිට බලාපොරොත්තුවේ ආලෝකයක් දැල්විණ. එක දොර පියනක් පමණක් හැර ඇති දොරකින් පුංචි
ආලෝක කඳම්බයක් එළියට පැන අඳුර පලවා හරිනු නොහැකිව ඉකිබිඳිනු දැකගතහැකි වින. ඇරුණු
දොරපළුවද වැසී යනු මත්තෙන් අපි එතනයට ඇවිද්දාද දිවුවාද යන්න මට මතක නැත. එහි ගොස්
සුදත් ගාමිණී බණ්ඩාර පිළිබඳව කිවු විට ඔහු කවුද යන්න හඳුනාගැනීමට ඔවුනට වැඩි
වේලාවක් ගත නොවුනි. එහෙත් ඒ අපි ඔහුව හඳුනාගෙන සිටි ආකාරයට නොවේ. බදුල්ලේ හාලි ඇලින්
බොහෝ දුර ඈත සිටි අපි ඔහුව කවියෙක් විදිහට දැනගෙන සිටියද ඔවුන් ඔහුව හඳුනාගෙන
සිටියේ වෙනත් අයුරකටය. ඔහු හාලි ඇල මහා විදුහලේ උප විදුහල්පතිවරයා ලෙසය ඔවුන් ඔහුව
හඳුනන්නේ. ඔහුගේ කවි පොතක් එළි දක්වන බවට දැන දුර බැහැර සිට පැමිණියද අප, ඔවුන් අවම
වශයෙන් ඔහු කවි ලියන බවක් වත් දැන නොසිටියහ. අපි ඒ ගැන කණගාටු නොවුනෙමු. කවියන්ට
මෙරට ඇති තැන ගැන අපි එකලම දැන සිටියෙමු. අපි සතුටු වූ එකම දෙය, නොසතුටු මුහුණ
දැක්වුවද එහි සිටි පුද්ගලයෙක් තම පරණ ත්‍රීවීලර රථය අසීරුවෙන් පණ ගන්වා සුදත්
ගාමිණි බණ්ඩාරගේ නිවසට අපිව හැරලවීමට එකඟවීම ය.
කෙලවර අපි එම
නිවසට ළඟාවීමු. ඒ වන විට එහි, පුංචි සුන්දර හමුවීමක සුන්බුන් දැකගත හැකි
විය. ඒ හමුවට සහභාගිවීමට නොහැකි වීම ගැන මහා දුකක් ඇතිවිය. එහෙත් සීතල සැනින් ඒ
දුක යටපත් කරදැමීය. ඒ වෙලාවේ හැටියට උණුසුමට රස බොජුනක් ලැබුණි. අනතුරුව එළඹුනේ
දුෂ්කරක්‍රියාවකට මුළ පිරීමටය. ඒ හෝරා දෙක තුනක නින්දකට සුදුසු ස්ථානයක්
සොයාගැනීමය. යාන්තමට මේසයක් යට ඉතිරිව තිබූ ඉඩක් ඒ අවශ්‍යතාව ඉටුකරනු ලැබුනි. කුඩා
නිවසේ කොළඹ සිට ආ සෙනග පිරී තිබුණු නිසාත්, ගමන් වෙහෙසත් නිසා අපට සීතල නැතිව සුව
නින්දක් ලැබුණි. එදා ඒ නිවසේ රත්න ශ්‍රී විජේසිංහ, ඔහුගේ ප්‍රිය බිරිඳ
හේමමාලි අක්කා ඇතුළු පිරිස සමග රාත්‍රිය එසේ ගතවුණි. මේ කියන්නට යන්නේ සුදත්
ගාමිණී බණ්ඩාර පිළිබඳවයැයි ඔබ සිතනු ඇත. නැත. එහෙත් ඒ පෙර කතාව නොකියා පසු කතාවට
එන්නට නොහැකිය.
උත්සවය
බදුල්ලේදී ඇරඹුනි. ඒ අතරතුර ගැයුනු සුදත්ගේ ගීතයක් මදක් අසා පුරුදු එහෙත් මහත්
ඇළුම් කළ ගීයක් විය. මම නොහඳුනන ගායකයෙක් අති සුන්දර විදිහට එම ගීතය ගැයීය. ඒ ගීත
රාවය නැවත නැවතත් හදවත තුළ පිළිරුවු දෙමින් ඇසෙන්නට විය. එදා එකී උළෙලේදී එම ගායකයා
හා වචනයක් දෙකක් කථා කළද ඔහු මා කවියෙකු හෝ ගීතරචකයෙකු ලෙස හඳුනන බවක් දක්නට නොලැබීම
මාගේ සිත යම් මට්ටමකට කනස්සලු කරවීය. එහෙත් එය වෙනත් දෙයක් නිසා නොව හඬ නිසාම, ඔහු ගැයූ ගී
නිසාම මුල් බැඳීම ඇතිකරන්නට කාලය සැලසීය. ඔහු අනෙකෙකු නොව ජයනාත් ජිනදාස ය. ඒ ගීය
අනෙකක් නොව ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා ගීතයයි. එහෙත් ඒ ගීතය බිඳෙන්නේ
කවකිනි. සුදත් ගාමිණී බණ්ඩාරගේ දිනපොතේ ලිවූ කවි නම් වන කවි කිහිපය අතරින් දෙවැන්න
මෙයයි.
1983 - 05 - 02
තුමුළ
නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඬල
දුටු නෙත
රැවටුණා තමයි
කිමද මේ තරම්
ඒ ගැන
හිනැහෙන්නට
කාරණා
මුහුණ රතුවෙලා
දෙනෙතින්
කඳුළු පනින
තුරු එළියට
ඔහොම
හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
නුඹේ වත මඬල
සඟවා
මුවාවන ලෙසින්
අතුරන
සීත මීදුමේ
තිරපට
විරසකයි උමා
වළලු ලූ අතින්
ඉවතට
ඈත් කර හොරෙන්
හෙමිහිට
බලාපන් උමා
කන්ද උඩ
රුවින් දිදුලන
කන්ද කදිර
දේවාලය
අපට පිහිටවෙයි
කියලා
හිතනවද උමා
දෙජාතිය අමෝරා
ගත්
තියුණු අවි
සැණින පහතට
හෙළන ලෙස
සියළු දෙවියන්
යදිනවද උමා
අප වටා නැගෙන
උවදුරු
ඉවත්වී නොබෝ
කලකින්
පිච්ච මල්
සුවඳ විතරක්
ඉතිරි වෙද උමා
මෙම කවිය ඔහු
ලියනුයේ 1983 කළු ජූලියට
මාස 2 කට පමණ පෙරය.
අළු යට ගිනි පුපුරු මතුවෙමින් තිබෙන යුගයකය. දෙජාතිය අතර නොසන්සුන්තාව ගැටුමක
එළිපත්තේ තිබෙන සමයකය. මේ නිසාම තම ප්‍රේමයෙහි අනාගතය පිළිබඳව ඔවුන් තුළ වන සැක
සංකා කවියෙහි මනාව පිළිබිඹුව ඇත. මෙම කව සුළු වෙනස්කම් සහිතව ගීතයක් බවට පත්වී
සමන් ජයනාත් ජිනදාසගේ අනුත්තරා කැසට් පටයට ඇතුළත් වෙනවා. එහි සංගීත නිර්මාණය ආනන්ද
පෙරේරාගේ. මේ ගිතය එකල අතිශයින් ජනප්‍රිය වුණා. එම ජනප්‍රිය බව කියා පෑවේ අනෙකක්.
එනම් දෙවියන් සමග බහුතරයක් සිටින බව.
ලස්සනයි උමා
ගීතය රසවිඳින්න.
කවි පොතේ
උත්සවය අවසන බදුල්ලේ එකතරා තැනකදී රත්න ශ්‍රී විජේසිංහයන් ද ඇතුළුව අපේ පිරිසට
පුංචි සාදයක් ලැහැස්ති ව තිබින. මට මතක හැටියට ඒ ඌව ගැමි හා සංස්කෘතික කේන්ද්‍රය
වැනි තැනකි. පුෂ්පා රම්ලනී රත්නායක සොයුරිය ඇතුළු පිරිස ඒ සඳහා උනන්දු වී තිබින. ඒ
සාදයේදී සුදත් ගැනද සමන් ගැනද ඔවුනගේ නිර්මාණ ගැනද තවත් බොහෝ නිර්මාණ ගැනද සොඳුරු
කතා බස් දිගහැරිනි. මේ සොඳුරු කතාබස් වලට අකමැත්තෙන් මුත් සමුදෙන්නට සිදුවූයේ අපේ
ආපසු ගමන දුම්රියෙන් ගෙවන්නට සිතූ බැවිනි. කොළඹ දුම්රියට හොඳටම කාලය ළංව තිබුණි.
යන්නට පෙර දුම්රියේදී සප්පායම් වීමට අවශ්‍ය කළමනා ටිකක්ද සපුරා ගන්නට තිඹිරි සහ
ජයසිරි ජයසේකර සමත්ව තිබුනි.
හාලි ඇල
පසුකරගෙන හාලි ඇල දෙමෝදර ආදී සොඳුරු තැන් පසුකරගෙන දුම්රිය බණ්ඩාරවෙලට එළඹෙමින්
තිබින. ටික ටික රෑ දැඩිවෙමින් පැවතින. ඒ නිසාම සීතලද දැඩි වන්නට ඇත. එහෙත් අප සැම
ටිකක් රත් වී සිටි නිසා එය නොදැනින. ගීයක් දෙකක් මුමුණනන්ට සිත්විය. අන්‍යයන්ට
කරදරයක් නොවන සේ සොඳුරු ගීත ටිකක් මුමුණා සතුටු වන්නටය අරමුණ. පටන් ගැනුම ආසන්නම
සංවේදය ඇතිකළ සුදත් සමන් ආනන්ද පෙරේරා එකමුතුවේ නිර්මාණය ය. ඒ උමා ගීතයයි. මාද
ඇතුළුව මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර (තිඹිරි), ජයසිරි ජයසේකර, සුනිල් ජයසේකර, රාවයේ සමන් (
මතක හැටියට සමන් ලියනගේ ) ආදීන් ඇතුළු පිරිසකි එහි වූයේ. දෙතුන් විටක් ම නොනවත්වා
උමා ගැයීය. අනතුරුව ගීතය පිළිබඳව කෙටි සංවාදයකි. හපුතලේ දියතලාව හරියට එනවිට එය
අහවරය. ඊ ළඟටද සමන්ගේම ගීතයකි. ඒ දිනවල මට එය එතරම් අසා නොපුරුදු වුවත් පසුව එයද
යම් මට්ටමකට ජනප්‍රිය විය. එය ලියා තිබුණේ නිලාර් එන් කාසීම් විසිනි. සංගීතවත් කොට
තිබුණේ රෝහණ වීරසිංහයන්ය. ගීතයේ රචකයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු ප්‍රශ්නාර්ථයක් තුළ
රඳවනුයේ තමන්ගේම රැහේ එකියකට තමන්ගේම රැහෙන් ඉදිකර ඇති සංස්කෘතික සිර මැදුරේ
ඛේදවාචකයයි.
සලාම් කියාගෙන
ගෙට එන
ළසෝ ගිනි
මැදින් සුජනන
ස්නේහයෙන් හදට
වඩින
තාරකාවියේ
ෆර්දාවක සැඟව
සිටින
තාරකාවියේ
වළාකුළු වලින්
සළු ඇඳ
සදා තනි රකී
අඩ සඳ
ස්වර්ග
ද්වාරයේ පැතුමින
තාරකාවියේ
හිනා වෙන්න
මතක නැතිද
තාරකාවියේ
කුරාණයේ අක්ෂර
පද
නුඹේ නෙතට හමු
නොවීද
දුක්ඛ තාපයේ
සරනා තාරකාවියේ
පහන් තරුව
සොයා යමුද
තාරකාවියේ
සිංහළ දෙමළ
පෙම් කතාවක් ඔස්සේ ගැයෙන ගීතයක්ද මුස්ලිම් යුවතියක් පිළිබඳව සිංහල තරුණයෙකුගේ
දෘෂ්ඨියෙන් ගැයුන ගීතයක්ද ගයමින් සමන් මෙහිදී පිළිබිඹු කරන්නේ ජාතිවාදී යුද ගිනි
ඇවිලෙමින් පවති රුදුරු සමයක වුවද දෙවියන් සමග සිටින මිනිසුන් සිටින බවය.
සලාම් කියාගෙන
ගෙට එන ගීතය අසන්න.
දුම්රිය
අන්ධකාරය තුළ මං පෙත් හොයමින් අසීරු ගමනින් ඉදල්ගස්හින්න කන්ද නැගගෙන බිං ගෙවල්
අස්සෙන් රිංගමින් ඔහිය දෙසට ඇදේ. මෙහිදී ගීත ගැයෙන අතරතුර වුවද මතකයට නැගුණු
කරුණක් වෙයි. එනම් දුම්රිය ස්ථාන 2ක් අතරතුර වැඩිම බිංගෙවල් ගණනක් ඇත්තේ මෙම
කොටසේදී බවය. බිං ගෙවල් අස්සෙන් යනවිට අපේ හඬට වඩා දහසක් ප්‍රබල හඬකින් අපේ ගී හඬ
යටපත් කරයි. ඒ හරියටම එකල තාරැණ්‍යයට එරෙහිව පැවති බලවේග මෙනි. අපි නැවතත් අපේ හඬ
අවදිකරවූයෙමු. ඒත් සමන්ගේම ගීයක් ගැනය. මේ ගීයේත් රචකයා නිලාර් එන් කාසීම්ය.
සංගීතවත් කරන්නේ සමන්ත පෙරේරා විසිනි.
ඉගිලෙන නුවර
වීදියේ - තරගෙට වැටුණු වාහනේ
කොන්දොස්තර
ගිරවුණේ - මාල ගිරවුනේ.......
මගතොට යනෙන
හැම පැයේ
මුර ගා ගැයෙන
ගීතයේ
ලේ රහ වැඩියි
කටහඬේ......
ඩීසල් දුම්
වළා රොදේ
සිහිනය නොවෙද
සැගවුණේ
දුහුවිලි
හඹාගෙන ගියේ...
ප්‍රයිවට් බස්
රථ සහ එහි කොන්දොස්තර මහතුන් ගැන මතක්වන විට සමහරුන් තුළ නොසතුටක් සහ සියුම් තරහක්
මතුවීම සමහර දේ ගැන කල්පනා කරණවිට වරදක් සේද දැකිය නොහැක. එහෙත් මේ මිනිස් ඛාණ්ඩයේ
ජීවිත සටන පිළිබඳ ඇතුලාන්තයට පිවිසි කල එය කොතෙක් දුෂ්කර ජීවිකාවක්ද යන්න මෙනෙහි
වනු ඇත. මේ එලෙස එහි ඇතුළාන්තයට එබිකම් කිරීමට ගත් එක් කලාත්මක භාවිතාවකි.
කෙසේවෙතත් ප්‍රයිවට් බස් කොන්දොස්තර යන මිනිස් ඛාණ්ඩය දෙස ළතෙත් බවකින් දැකීමට ගත්
උත්සාහයකි.
ඉගිලෙන නුවර
වීදියේ ගීතය රස විඳින්න
දුම්රිය
අන්ධකාරය මැද පට්ටිපොල දුම්රියපොලේ නවතියි. එහි සැලකිය යුතු වේලාවක් දුම්රිය නවතින
බව පැවසේ. ඒ අනුව ගී ගැයීම මදකට නවතින අතර තුර එකිනෙකා සුළු සුළු අවශ්‍යතා සඳහා
එහෙට මෙහෙට වෙයි. මද වේලාවකින් නැවත පැමිණෙයි. සිරිලක උසින්ම පිහිටි දුම්රිය ස්ථානයේය
අප දැන් සිටිනුයේ. අප මේ දුම්රිය ස්ථානයට සේන්දු වුණේ සිරිලක වඩාත්ම උසකින් පිහිට
දුම්රිය බිංගෙය ඔස්සේය. එසේම එය සිරිලක වඩාත්ම දිග දුම්රිය උමග වන බවද සිහි කිරීම
වටී. ඈත හෝටන් තැන්න පිස එන අති සීතල සුළඟ අපව වෙලාගන්නේ හරියට මුව පොව්වෙක් වට කර
ගන්නා වෘක රැළක් මෙනි. නැතිනම් හයිනා රැළක් මෙනි. එහි සීතලට අමතරව වෙගයද කණ් අඩි
රිදුම් දෙවයි. ඒත් මද වේලාවකින් කණ් අඩි රත්කරගතහැකි මහඟු ඔසුවක් අපසතු වෙතැයි
දන්නා පිරිස මේ සීතල අරෝව විඳිමින් ඉනුදු යම් සතුටක් ලබයි. නැවත දුම්රිය ගමන්
ඇරඹෙයි. අප මදක් කණ් අඩි රත්කරගැනීම පිනිස පමණක් තවත් කෙටි වේලාවක් ගතිමු. දැන්
නැවත ගීත කඳුකර දුම්රිය දුර්ඝ මග ගෙවන්නට දුම්රියට ඉඩදී අප ගීතමය අඩවියට
පිවිසෙන්නට කල්පනා කළෙමු. පෙර දින හමු වූ රත්න ශ්‍රී ගේ ගීතයක් මෙහි නොගැයීම කුමන
නම් අඩුවක්ද? ඒ නිසා ඊට
යොමු වීමට ය කාලය.
නළල මතින් සද
මෝදු වෙවී එන මෙන්
වැටට උඩින්
නුඹ පායන්නේ කවදාද ඉතින්.......
ඉතාම සුන්දර
සහ නිවුනු ප්‍රේම ගීතයකි මෙය. සුවිශේෂ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයට අනගි
සංගීතයක් සපයා ඇත්තේ සමන්ත පෙරේරා විසිනි. මනාව ගැලපී ඇත. ඔහු, කෙදිනක හෝ තම
වැටට උඩින් ඇය පායාවි යැයි සිහින මවයි. ඒ අන් අයුරකිනුත් නොවේ තම නළල මතට මුදු සඳ
එළිය පතිතවනවා සේය. මේ බලාපොරොත්තුව ඔහු නොබිඳ රකී. කොතෙක්ද යත් වැහිලිහිණි
කුරුල්ලන් වැසි යදිමින් කරණ අයැදුමට පවා ඔහු බියවෙයි. මේ අයැදුම සඵල වී වැසි
වැටුණොත් ඔහු කොයි මොහොතේ හෝ සපැමිනෙන්නේ යැයි බලා සිටින ගෝමර මැණිකෙට පාර
වරදින්නට ඉඩ ඇත.
වැහි ලිහිණි
කුරුල්ලෝ නාද නොදී ඉඳපන්
නිල් අහස
වැසෙයි කළු වළාකුලක් ඇවිදින්
කන්ද උඩින් එන
ගෝමර මැණිකෙට
පාර
වැරදුනෝතින්.......
එහෙත් ඔහුට
කණස්සල්ලකි. ඇය තවමත් නැත. ඇය පමණක් නොවේ. වෙනදා අඹ ගහ මුදුණේ ගීත නාද පැවැත්වූ
කොවුළන්ද මෙදා වසන්තයේදී ඔහු අසල නැත. ඔහු කොවුළන්ට පැමිණෙන ලෙස ඇරියුම් කරයි.
හැබැයි තනිව පැමිණෙන ලෙස නොවේ. ඔහු කෙදින හෝ ඔහු වෙත එතැයි බලාපොරොත්තු දෑස් දල්වා
සිටින ඈවද කැටුව එන ලෙසයි.
අඹ ගහ මුදුනේ
සින්දු කිවූ කොවුලන්
මේ වසන්තයේ
නම් ආයෙ නොඑන්න ගිහින්
කෝකිලයෝ නුඹ
තනිවම නෑවිත්
ඈවත් කැටුව
වරෙන්....
අද දවසේ
මෙවැනි සුන්දර රචනා දුලබය. මෙවැනි රචනාවන් තෝරාගෙන ගයන්නන්ද දුලබය. එබැවින්ම
මෙවැනි ගීතද දුලබය. අප සමන් සහ සමන්ගේ පරපුරේ ගායකයන් වැණිය යුත්තේ එබැවිනි.
ගීතය රස විඳිමු
ගීතය රස විඳිමු
දුම්රියට ගමනේ
දුෂ්කර බව කෙමෙන් අඩුව ඇත. පට්ටිපොලින් පසු ඇයට ඇත්තේ පරෙස්සමින් පල්ලම බැසීමටය.
එහෙත් දින දෙකක් පුරා විවේකය අඩුවෙන් දිගු ගමණක යෙදුනු අපේ කණ්ඩායමට දැන් විඩා
බරය. එම විඩාවද සීත දුරලනු පිනිස ගත් ඖෂධයේ මත් බවද ඔවුනට ඇරියුම කළේ පැය කිහිපයක
නින්දකටය.
පෙර දෙදින දුෂ්කර ගමනේ විඩාව තවම නොදැනෙනවා නොවේ. එහෙත් ඒ විඩාවේ ගිලී වැඩ අවුල් කරගත නොහැක. එබැවින් සුපුරුදු සරසවි අධ්‍යාපන කටයුතු වල සහ රෝහලේ සායණික පුහුණුව සඳහා යොමුවිය යුතුය. ගමන් විඩාව කෙසේ වුවද සාහිත්‍ය සහ සංගීතය මුසු අත්දැකීම් සමග දෙදිනක් ගතකරන්නට ලැබීමෙන් මනසේ විඩාව නම් බොහෝ සේ දුරස්ව තිබුණි. වසර ගණනකට උඩදී කළ ඒ සංචාරයේ මතකයන් සමග සමන් අයියා නැවත කියවීමට මට පහසුම පිවිසුමට මා පැමිණියා යැයි සිතේ. දැන් ඒ කියවීම පහසුය. එහෙත් දැන් එවැනි සංචාර අඩුය. පැවරී ඇති රාජකාරිමය වගකීම් වැඩිය. දැඩිය. එබැවින්ම සාහිත්‍ය සංගීතය වැනි බෝධීන් වන්දනාවට ඇති කාලය සීමා සහිතව ඇති බැවින් ජීවිතයේ විඩාව වරින් වර දැනෙමින් නොදැනෙමින් පවතී. නමුත් ජිවිතේ දිගු වන්දනාවේ විඩා නිවන වෙනත් බෝධියක් මගේ මතකයට නැගෙයි. ඒ මතකයට තවත් නැවුම් බවක් ගෙන එන ගීතයක් සමන්ගේ ගීත ගොන්නේ වෙයි. එය .....................
පළමු කොටස නිමි. දෙවැන්න ඉදිරියෙනි.........
දෙවෙනි කොටස වෙත මෙතනින් පිවිසෙන්න.
http://www.yasanathsithuwili.blogspot.com/2014/07/blog-post.html
පෙර දෙදින දුෂ්කර ගමනේ විඩාව තවම නොදැනෙනවා නොවේ. එහෙත් ඒ විඩාවේ ගිලී වැඩ අවුල් කරගත නොහැක. එබැවින් සුපුරුදු සරසවි අධ්‍යාපන කටයුතු වල සහ රෝහලේ සායණික පුහුණුව සඳහා යොමුවිය යුතුය. ගමන් විඩාව කෙසේ වුවද සාහිත්‍ය සහ සංගීතය මුසු අත්දැකීම් සමග දෙදිනක් ගතකරන්නට ලැබීමෙන් මනසේ විඩාව නම් බොහෝ සේ දුරස්ව තිබුණි. වසර ගණනකට උඩදී කළ ඒ සංචාරයේ මතකයන් සමග සමන් අයියා නැවත කියවීමට මට පහසුම පිවිසුමට මා පැමිණියා යැයි සිතේ. දැන් ඒ කියවීම පහසුය. එහෙත් දැන් එවැනි සංචාර අඩුය. පැවරී ඇති රාජකාරිමය වගකීම් වැඩිය. දැඩිය. එබැවින්ම සාහිත්‍ය සංගීතය වැනි බෝධීන් වන්දනාවට ඇති කාලය සීමා සහිතව ඇති බැවින් ජීවිතයේ විඩාව වරින් වර දැනෙමින් නොදැනෙමින් පවතී. නමුත් ජිවිතේ දිගු වන්දනාවේ විඩා නිවන වෙනත් බෝධියක් මගේ මතකයට නැගෙයි. ඒ මතකයට තවත් නැවුම් බවක් ගෙන එන ගීතයක් සමන්ගේ ගීත ගොන්නේ වෙයි. එය .....................
පළමු කොටස නිමි. දෙවැන්න ඉදිරියෙනි.........
දෙවෙනි කොටස වෙත මෙතනින් පිවිසෙන්න.
http://www.yasanathsithuwili.blogspot.com/2014/07/blog-post.html
- යසනාත් ධම්මික බණ්ඩාර -
ඉතාම රසවත් ඇරඹුමක්....
ReplyDeleteMaxxa
ReplyDeleteමෙවන් රස හමුවීම් ගණනාවක ම සුන්දර අත්දැකීම් ලබා ඇති නමුදු, මේ ලියැවිල්ල මට අලුත් ම අත්දැකීමක් එකතු කළා. ඉඳිකටු විදින හීතලේ පාර හොයාගෙන ගිය අයත් එක්ක මාත් හිටියා කියල දැනුනා.
ReplyDeleteඅර කෝච්චියේ වාඩිවෙලා මාත් ආව කියල දැණුනා....
ඇටි කුකුලන් බුකුං ගහන සමයෙක, සමන් ජයනාත් වැනි මනා ශික්ෂිතයන් බලෙන් හෝ කැඳවාගෙන ආ යුතු යුගයක් මේක...
ගෙදර මේසය මත ඇති ගුරුලේත්තුවටත්, පාවෙන කළගෙඩියටත් හැර, සියලු ළිං, දිය කඩිති පුරා, විවෘත ආර්ථිකය නැමැති ඔද්දල්, කුණු ඝන්දස්කාරයෙන් ඔජ වුණු මේ මහා ජඩ ගංවතුර ප්‍රහාරය මැද උඩුගං බලා පීනන දෙතුන් දෙනා අතර උඹත් එකෙක් මල්ලී...!
Apurui......
ReplyDeleteමමත් හිතින් ඇවිද්දා ඒ දුම්රිය මගේ ...
ReplyDeleteමට සමන් අයියා මුනගැහුනේ කවදාදැයි හරියටම මතක නැත. එහෙත් ඒ දවස උදා වුයේ අනුත්තරා නැසට් පටය වෙළපොලට නිකුත් වීමෙන් පසුව දවසකය. ආසන්න වශයෙන් අනූව දශකයේ අවසාන හරියේ දී වාගේය. මුල්වරට ඒ දවස උදා වුයේ මතක හැටියට යසේ උඹත් එක්ක නැත්නම් දලුපොතත් එක්ක විය යුතුය. ඒ කොහුවල හන්දිය ආසන්නයේ පිහිටි සමන් අයියාගේ නවාතැනේදිය.එසා ඒ ඉර බැහැගෙන යන හැන්දෑවේ පැරණි ලීස්තර වැටකින් සැරසුන මහ කනුදෙකක් දෙපස පිහිටි සිංහල උලු වසා තිබූ ඒ නිවස ඉදිරිපිට වැරෙන්ඩිවේ තබා තිබු පුටු පේලියේ වාඩිවී අලුත් කවි සිංදු ගැන බොහෝ දේ කතාකළ බව යාන්තමට මෙන් මතකයේ රැඳී ඇත. ඉන් පසු කොළඹ නගරය ආශ්‍රිතව තිබූ විවිධ කලා වැඩසටහන් වලදී සමනි අයියා මුණගැහුණි. අවසන් වරට සමන් අයියා හමු වූයේ දෙමටගොඩ පිහිටි කන්ටේනර් පර්යන්තයක යකඩ ගොඩක් මැද පිහිටි ඔහුගේ කාර්යාලයේදිය.
ReplyDeleteයසේගේ මේ අපූර්ව විචිත්‍ර සටහන ඔස්සේ මමද සිතින් තනිවම රාත්‍රී තැපැල් දුම්රියෙන් ඒ මියුරු අතීතයේ රම්‍ය වූ කඳු තරණය කරමින් හිත සීතලෙන් ගුලි වෙවී ඒ කඳු වැටිවල හැපෙන සඳ එළියක් වන් අතීත මතකය රැන්දු සමන් අයියාගේ ගී ගඟුලේ කිමිද බැලුවෙමි. හරියටම රාත්‍රිය අපට දඬුවම් කරනවා වැනිය. සමන් අයියා දුර රටක වුවත් මේ අතීත මතයන් ඔස්සේ ඔහුද වැළිකතර තරණය කරමින් යසේත් තුසිතත් සොයා පියඹා එනු ඇත.
යසනාත් ඔබට බොහෝම පින් - ඔබ අප මේ කැඳවාගෙන ආවේ අපූරු රස ගමනක්. මට මේ දැනෙන විදිහට බොහෝ දෙනෙකුට එය දැනී ඇති හැඩයි. මේ ගමනේ අප විඳි දේ බොහෝයි -එකින් එක කීවොත් - සමන් ජයනාත් - අවට සිරි අසිරි - ප්‍රිය සමාගමය - රස ගී මිහිර මතුද නොව සීතල ද - දෙවැනි සංචාරය අප කැඳවාගෙන යනතුරු දිගු කලක් බලා ඉන්නට සිදු නොවේවා!
ReplyDeleteබොහොම හෘදයාංගම සටහනක් යසනාත්,දෙවෙනි කොටස පලකරන තෙක් නොඉවසිල්ලෙන් බලා ඉඳිමි.
ReplyDeleteතිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,
මේ සමන් ජයනාත්ගෙ මම බොහොම ප්‍රිය කරන තවත් ගීතයක්...
මෙහි තිසරු ලියන් වෙනුවට බිසරු ලියන් යන්නය නිවැරදි..... කෙසේ වෙතත්, ස්තුතියි ඔබට...
ReplyDeleteගොඩක් ලස්සන ගමනක්
ReplyDeleteමම අදයි යසේගෙ මේ ලියවිල්ල කියෙව්වේ. හරිම රසවත්. බටහිර වෛද්‍යවරයෙකු ලෙස අවිවේකී දිවියක් ගත කරමින් වුව මෙවන් අතීත මතක අප සමග බෙදා ගැනීම ගැන හරිම සතුටක් දැනුණ නිසයි මෙහෙම ලියන්න හිතුණේ.
ReplyDeleteවසර ගණනාවකට පෙර යසේ ගිය හාලිඇල ගමන ආයෙත් අප සමගත් ගියා වගේ දැනුණා.
සරසවි සිසුවකුව සිටි අවදියේ කී වතාවක් නම් රාත්‍රී බදුලු කෝච්චියේ එහා හමහා යන්න ඇද්ද?
ඒ රසවත් අතීතයත් ආයෙම සිහිපත් වුණා.
සිංහලෙන් ටයිප් කරන්න මන්දෝත්සාහී වන අප වැන්නවුන්ට යසනාත් කදිම උත්තේජනයක් සපයනවා.