Sunday, September 7, 2014

පතා ගෙන ම නූපන්නත් එක නුවර - සහෝදරව උන්නේ අප එක ගෙදර.......



එක්තරා කොවුළෙකුට......


අනුරපුරේ රජරට සේවයෙ වැඩද
රුහුණුකරේ තණබද්දේගම ගියෙද
කොළඹ රටේ යාළුවෙකුට කරදරද
නුඹට අවුරුද්ද කොවුළෝ අමතකද

ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුනී
නුඹේ සිංදු කණ ළග වාගෙම ඇසුනී
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුනී
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණී

පතා ගෙන ම නූපන්නත් එක නුවර
සහෝදරව උන්නේ අප එක ගෙදර
කතාවත් නොකර නුඹ ගිය දින බැහැර
හිතා ගන්න බැරි මේ ලෝකයෙ නපුර

මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන


මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් ලියවුණු කවියක්. එක්තරා මිනිසෙක් මියගොස් වසරක් ඇවෑමෙන් පසුව ලියවුණු කවියක්. මැරුණු මිනිසා කවියාගේ මිතුරෙක්. මැරුණු මිනිසා මිනිසෙක්....මින්සුන් අතර පිරිමැසිය නොහැකි මිනිසෙක්.... ඒ නිසායි රත්න ශ්‍රී මේ විදිහට ලියන්නේ....

මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන......

මේ කල්‍යාන මිතුදම නිසා උපන් කඳුළක කවියක්. හෙළූ අනන්ත කඳුළු වලින් පෙනෙන්නට ඉතිරි වූ කඳුළක්... ඒ කඳුළ කවියක්..... ඇයි මේ මිතුදම කඳුළකින් කෙළවර වුණේ.... තමන්ට පෙර මිතුරා තමන් හැර ගිය බැවින්. මේ මිතුරා කවුද?
මිතුරා සිංදු කියන මිතුරෙක්.

 
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුනී
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇසුනී
ඉබේ ඇහැ ඇරී ඒ සිහිනය බිඳුනී
හැබෑව නම් නුළ ළඟ නැති එක පමණී.....
 

නොසිතූ  මොහොතක සිංදු කියන මිතුරා ඔහුව හැර ගොසිනි.
ඒ මිතුරා කවුද?

මේ මිතුරා අනෙකෙකු නොව විශාරද ගුණදාස කපුගේ ය.


  

ගුණදාස කපුගේ මිය ගොස් වසරක් ඇවෑමෙන් පසු රත්න ශ්‍රී අතින් ලියවුණු ශෝක ප්‍රකාශයයි මේ.

මිතුරෙක් වෙනුවෙන් මිතුරෙක් මෙතරම් සංවේදී වන්නට නම් ඔහු කලණ මිතුරෙකුම විය යුතුමය.

රත්න ශ්‍රී වැනි සංවේදී කවියෙකුට කලණ මිතුරකු වන්නට එසේ මෙසේ මිනිසෙකුට හැකි නොවේ. ඔහුද එවන් ම සංවේදී අයෙකු විය යුතුය. ඒ සංවේදී පුද්ගලයා සත්‍ය මිනිසෙකු විය යුතුය. සත්‍ය මිනිසෙක් විය යුතුය යනුවෙන් කියුවේ මිනිසුන් ලෙස අප අතර ගැවසෙන බොහෝ මිනිසුන් මිනිසුන් නොවන නිසාය.

එසේම කපුගේ වැනි සංවේදී මිනිසෙකුට කලණ මිතුරකු වන්නටද හැමෝටම බැරිය. එසේ මිතුරකු වන්නාද කපුගේ සේම සංවේදී සැබෑ මිනිසෙකු විය යුතුය. 

එහෙත් රත්න ශ්‍රී ට කලණ මිතුරෙකු වන්නට කපුගේ සතුව අවශ්‍ය තරම් සුදුසු කම් තිබුණි. එසේම කපුගේ ට කලණ මිතුරෙකු වන්නට අවශ්‍ය තරම් සුදුසු කම් රත්න ශ්‍රී සතුවද තිබුණි. 





මේ සුදුසුකම් සාමාන්‍ය මනුෂ්‍යාත්මය තුළ පමණක් නොව ඔවුන් සංවේදී වූ කලා ක්ෂේත්‍රය තුලදී ද නොමදව තිබුණි. මේ බව ලිවිමට වඩා පහසුවෙන් උදාහරණ මගින් කිව හැකි යැයි සිතේ.

රත්න ශ්‍රි විසින් කපුගේ ට ලියූ මුල්ම ගීතය කුමක්දැයි රත්න ශ්‍රී විමසුවහොත් සොයාගත හැකි වුවත්, මම එය සොයන්නට උත්සාහ නොකළෙමි. මුළ්ම ගීතය කුමක් වුවත් ඔවුන් බැඳුනේ ආත්ම දෙකිනි. ඒ මේ මිනිසුන් දෙදෙනා තුළ වූ සුවිශේෂ මානුෂික ගුණාංග සේම ආත්ම ප්‍රකාශන බඳු නිර්මාණ නිසාවෙනි.

මහගම සේකර සහ අමරදේව යුගලය තුළ දුටු කලණ මිතුරු ඇසුර මම ඇසින් දැක නැත්තෙමි.  ඒ ඇසුර තබා සේකරයන්වත් මම සියැසින් දැක නැත්තෙමි. එහෙත් කපුගේරත්න ශ්‍රී ද සියැසින් දැකීමේ පින මතු නොව ඒ දෙදෙනාව ම සමීපව ඇසුරු කිරීමේ වාසනාවද ලද්දෙමි. ඒ බැවින්ම මේ දෙදෙනාගේ කල්‍යාන මිත්‍රත්වයටද මගේ දෑසම වුව සාක්ෂි දරයි.





ඔවුන්ගේ මිතු දම පිළිබඳව බොහෝ දේ කතා කළ හැකි වුවද මේ ඊට අවස්ථාව නොවේ. මේ උත්සාහය රත්න ශ්‍රී - කපුගේ කළ්‍යාන මිතුදම තුරුල්ලේ බිහි වූ නිර්මාණ කිහිපයක් විමසීමේ සරල උත්සාහයකි. මේ විමසුම තුළින් ඒ පිළිබඳව යම් හැඳින්වීමක් පමණක් අරමුණු කරගෙන කරන්නට උත්සාහ කළ නිසාවෙනි සරල උත්සාහයක් යැයි කීවේ. ගැඹුරින් විමසන්නෙකුට නම් මේ නිර්මාණ කුලකය මහඟු මිණකි.

කපුගේ යනු ගීතයක පද පෙළ තුළ සැඟුවුනු අරුත් රස සෙවූවෙකි. කවියා ගීතය රචනා කොට දීමෙන් අනුතුරුව රසිකයාට ඇහෙන්නේ ගායකයාගේ සහ සංගීතඥයාගේ හඬයි. ගීත රසිකයෙක් ගීතය තුළ ජීවත්වන ගීත රචකයාගේ ආත්මය දකින්නේ ඒ හඬ තුළිනි. සංගීතඥයා සිය තනුව සහ සංගීත නිර්මාණය තුළින් මතුකරණ තරමට අපට ගීතය තුළින් ගීත රචකයා පෙනෙයි. ගායකයා කරණුයේ වඩාත් ඔහු ව මතුකොට ගෙන බැබලවීමයි.

සංගීතඥයාගේ තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය ගී පද රචනය තුළ සැඟව සිටින ගීත රචකයා මතු කරන්නට අසමත් වුවහොත් අපට ඔහු සැම දා සැඟවුනු අමුත්තකු වනු ඇත. එහි අනෙක් අදහස නම් ගීත රචකයාට කියන්නට ඇවැසි වුණු දේ සැමදා බොර දිය යට සැඟවුනු මිණි කැටයක්ම වීමය.

මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට හොඳම උදාහරණයක් මේ දෙපළ අතින්ම බිහි වූ නිර්මාණයක් මගින්ම පෙන් විය හැකි වීම වාසනාවකි. ඒ ලෙසම යම් කාලයක ප්‍රමාදයකින් පසුව හෝ තමන් ලද ගී පද රචනය තුළ සැඟවුනු තම මිතුරු ගීත රචකයා සොයා ගැනිමට සංගීතඥ කපුගේ ගත් වෙහෙස ඉන් නිරූපනය වෙයි. තම තනු සහ සංගීත නිර්මාණය තුළ සැඟව අතර මං වූ තම මිතුරු ගීත රචකයා නැවත සෙවීමට කපුගේ ට සිය නිර්මාණාත්මක ශ්‍රමයද.... කාලය සහ මුදල් ද...... කට හඬද...... නැවත වියදම් කරන්නට සිදුවිය. එහෙත්ඔහු එසේ වියදම් කොට තම මිතුරු ගීත රචකයා තමන්ගේම නිර්මාණයෙන් ගලවා ගෙන තමන්ගේම නිර්මාණයක් තුළ බැබළවීය. කලණ මිතු දම එය නොවේද?

අප සැවොම දන්නා පුරුදු හොඳ ගීතයක් ගැනයි මේ පුරෝකථනය.... ඒ අනෙකක් නොව නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ ගීතයයි.
අසන්න මේ ගීතය..... ඔබට ඒ තුළ ගීත රචකයා නොපෙනේ. 




මේ ගීතය තුළ ඇත්තේ කුමක්ද? අනිවාර්යයෙන්ම මෙහි රත්න ශ්‍රී නොපෙනේ. ඒ අනෙකක් නිසා නොව තනුව විසින් රත්න ශ්‍රී ට මතුවන්නට ඉඩ දී නොමැති බැවිනි. රත්න ශ්‍රී ගේ පරිකල්පනය තුළ දුක් විඳින, එක් වීම යනු සිහිනයක් පමණක් වූ පෙම් යුවලකගේ හද පෑරෙන වේදනාව ඉන් මතු නොවෙයි. එවැනි දෙයක් එහි ඇති දැයි පවා නොසිතෙන තරමට එය ප්‍රාථමික වෙයි. ඒ මතු නොව ඒ ගීත විසින් කපුගේ නමැති සංගීතඥයා වත් කපුගේ නමැති ගායකයා වත් මතු නොකරයි. ඔහුගේම තනුව විසින් ඔහුවද සඟවා ඇත. හරියටම තමන්ගේ ම මිනිස්සු තමන්ව පැහැරගෙන ගොස් සඟවා ඇත්තා සේ ය.

නින්ද නැති රැයේ - සද කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී - නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී - රෝස පෙති කඩා හැලේ.....

කිලි පොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා - ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ - සිහිනයක් නොවේ
හෙට අදේම අවදි වී - යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ - දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ - පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා - මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි - සොඳුර ඒ මගේ....


සිය තනුවට අනුව නිම වුණු ගීතය කපුගේ විසින් සිය වර දහස් වර අසන්නට ඇත. විවිධ පොත පත කියවන එතුළ අරුත් තුළ කිමිදෙන සාහිත්‍ය දැනුමක් සහ රසයක් ඇති සංගීතඥ කපුගේ ට තමන් ගේ ම ගීතය තුළ තම මිතුරු රත්න ශ්‍රි වත්.... තමන් වත් නැති බව වැටහෙන්නට ඇත. ඒ නිසාම ඔහු ඒ තුළ රත්න ශ්‍රී වත් තමන්වත් සොයන්නට වෙහෙසෙන්නට ඇත. එහි ප්‍රතිඵලය කුමක්ද? එහි ප්‍රතිඵලයයි මේ.

නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ නව තනුව අනුව සැකසුනු ගීතය.




මේ පසුව යෙදුනු තනුව හා සංගීත නිර්මාණය විසින් රත්න ශ්‍රී ට එම කවෙන් කියන්නට අවැසිව තිබූ දේ කපුගේ විසින් සොයා ගෙන ඇති වග ඔබට ද දැනෙන්නට ඇත. ඒ අනුව දැන් එහි රත්න ශ්‍රී පෙනෙයි. දැන් එහි කපුගේ නමැති සංගීතඥයාත් ගායකයාත් පෙනෙයි. නොඑසේ නම් ඒ තුළ කැටි වුණු සැබෑ මිනිස් හැඟීම් ප්‍රකට වෙයි.

රත්න ශ්‍රී විසින් වචන වලට පෙරලා ලියා දෙන මිනිස් හැඟීම් සංඟීතවත් භාෂාවකට හරවා රසික ජනතාව වෙත හොඳින්ම ගෙන ගිය සංගීතඥයා කපුගේ ය. මා ඉහත තරමකින් ලියා තැබූ කලණ මිතු දමට හේතුව ඒ සංවේදීතාවමයි. ඒ තේරුම් ගැනීමමයි.

කොතරම් හොඳ පද පෙළක් තිබුණත් එය දුර්වල තනුවක් තුළ බහා දුර්වල සංගීතයෙන් සරසා හැඟීමක් නොමැති හඬකින් ගායනා කළාට එය රසබර හැඟුම් බර ගීතයක් නොවෙයි. මේ පිළිබඳව රත්න ශ්‍රී ගේ ම රචනයකට අනුව නිමවුණු ගීතයක් මවිසින් උදාහරනයට ගන්නේ එයම මා දැඩි ප්‍රහාරයකට ගොදුරු වන්නට හේතුවක් විය හැකි බව නොදැනුවත්ව නොවේ. එහෙත් පහන් ටැම් අසල ගැවසෙමින් එහි එළියම මිස පහන් ටැඹේ අඳුරු සෙවනැල්ල නොදකින අය මාත් සමග උරණ වනු ඇත. එළිය පමණක් විහිදුවන කිසිදු පහන් ටැඹක් නැත. තුන් පැත්තකින් එළිය විහිදවූවත් එක් පැත්තක හෝ එහි අඳුරු සෙවනැල්ල ඒ පස අඳුරු කරයි. පහන් ටැඹේ එළියට වශී වුනු අයෙක් මේ අඳුරද සැපයි යනුවෙන් දොඩනු අරුමයක් නොවේ. එහෙත් සමහරු අඳුරට අඳුර කියති. මේ එවැනි නිර්මාණයකි. රත්න ශ්‍රී ටත් දැවැන්තයෙක් වූ අපට නම් අති දැවැන්තයෙකු වූ අයෙකු ගේ නිර්මාණයකි. එමෙන්ම මේ ගීතය අනන්ත අප්‍රමාණව කතාබහට ලක් වුණු එකකි.

මෙය සංගීතවත් කොට ගයන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. ඒ මධුවන්ති නමැති ගුවන් විදුලියේ ඒ දිනවල අමරදේවයන් විසින් කළ වැඩ සටහන සඳහා නිම වූවක් යැයි මතකයක් මට ඇත. ඒත් ඒ මතකය නිවැරදිම දැයි නිච්චියක් නැත.

සුදු නෙළුම කෝ - සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකුණුව පංසලේ....


වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙළූ මල් මිට ලිහී විසිරී - එහා ඉවුරට පා වුණා....


සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුමි මල දෑස පියවී - මෙහා ඉවුරට පා වුණා.....


මේ ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් සිය සුදු නෙළුම ගීත සංග්‍රහයේ පසු කවරයේ මෙවැනි සටහනක් තබා ඇත.

ඒ මළගමට එදා විස්සකට තිහකට වැඩි පිරිසක් පැමිණ සිටියේ නැත. දෙමාපියෝ පවා සිය කුඩා දියණිය වෙනුවෙන් කඳුළු නොසැලූහ.
ජීවිතයේ බොහෝ දුක් අනුභව කොට සිටි ඔවුන්ගේ නෙත් සිඳී තිබිණ.

එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහල ට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී ඇතැම්හු කඳුළු සැලූහ

ඒ කඳුළු මල් නෙළන්නට ගොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී
මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?

දැන් මා මේ ගීය ගැන මගේ අදහස දක්වමි. එය සැමගේ අදහස විය යුතු නැත. අවමයෙන් එය රත්න ශ්‍රී ගේ අදහසවත් විය යුතු නැත. මට මේ ගීතය වින්දනය වන අයුරිනි මා එය දක්වන්නේ.

මට මේ ගීය සංවේදී වන්නේ ගීතය නිසා නොවේ. පද රචනය නිසාවෙනි.
මේ පොත මුද්‍රණය වන්නේ 1993 දීය. එය මාතට පත් වන්නේ 1995 දීය. මා මේ ගීත රචනය තුළ ඇති ඛේදවාචකය ගැන මුළින්ම සංවේදී වන්නේ තරුණ කවියෙකු වශයෙන්, වැඩිහිටි, ගුරු තනතුරේ ළා සැලකිය හැකි, විශිෂ්ඨ කවියෙකුගේ නිර්මාණ ඇසුරු කිරීමට විමසීමට ඉන් උගැනීමට ඒ නිර්මාණ අතර ගැවසෙන අවස්ථාවේ මේ රචනය ඇස ගැටුණු පසුව සිටය. එදා සිට මේ ගීතය ඇසීමේ පිපාසයෙන් සිටියත් තවත් වසර 5 ක් යනතුරු වත් මා හට එම ගීතය අසන්නට අවස්ථාව නොලැබුණි.

එම පද රචනය තුළින් මා ලද රසය තවත් වැඩි වන්නේ එක්තරා දිනක සිටය. ඒ අන් දිනක්නොව රත්න ශ්‍රී විජේසිංහයන් ගේ මුවින්ම මේ කතාව අසන්නට ලැබුණු එක්තරා සැඳෑ හමුවකින් අනතුරුවය. එහෙත් තවමත් මා එම ගීතය අසා නොතිබුණි. එය ඇසීමේ පිපාසය තවත් දැඩිව දැනුනි. මේ යුගයේ මා බෝඩිංගතව සිටියේ මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ සමගය. එකිනෙකා නිතර මුමුණන ගීත කිහිපයක් වෙයි. දුකා තමන් විසින් ලියූ සිලම්බුව කෝ කොවලන් නම් වූ ගී පද ටිකට තමන්ම තනුවක් යොදා මිමිනීම එකකි. තිඹිරි එවැනි ගීතයක් මුමුණනු අසා නැත. එහෙත් ඔහු රචනා වල ගැඹුර ගැන කියන අවස්ථා සමහර විට කඳුළු උපදවන සුළු විය. මහින්ද කුමාර දළුපොත නිතර මුමුණන්නේ සුදු නෙළුම කෝ සොර බොර වැවේ ගීතයයි. මගේ ගීතය වූයේ පබළු නගේ නාමල් තිලකේ - පුංචි ඔසරි මැණිකේ - සුමනෝ - නුඹ ඇයි නැත්තේ ගීතයයි.

මේ අනුව පළමුව මා සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතය ඇසුවේ දළුපොත ගේ හඬිනි.

ගීතය ඇසූ පසු ගීතය තුළින් පෙර මා රචනාව තුළ ඇති සාහිත්‍යය විඳීමෙන් ලද විඳීම නොදැනෙන සේ හැඟුනි. එහෙත් ඒ දළුපොත ට එය නිසි ලෙස ගයන්නට නොහැකි නිසා යැයි සිතුවෙමි. ඒ අනුව සමහර දිනවල සිංදු කනවා කියා දළුපොත ට ආඩපාලි කියන්නටද සිදු විය. මේ ලෙස තවත් වසර කිහිපයකට පසුවය කිසියම් ගුවන් විදුලියකින් මේ ගීතය අසන්නට ලැබුණේ. අනතුරුව මට දැනුනේ කුමක්ද? එදා දළුපොත ගේ ගැයුම ඇසූ විට දැනුනු දේමය.


අපි ගීතය අසා සිටිමු.




ඒ අනුව මට දැඩිව සිතුනු දේ නම් අමරදේවයන් විසින් රත්න ශ්‍රී ගේ ගීතය තුළ අප්‍රකටව සිටි රත්න ශ්‍රී ව සොයා ගොස් නොතිබුනු බවය. ඒ නිසා රචනාව තුළ සිටි රත්න ශ්‍රී අවසාන නිර්මාණය තුළින් දැකගත නොහැකි වුණි.  රචනයෙන් ලැබූ භාව කම්පනය අමරදේවයන් විසින් ගීතයට තනු නිර්මාණය කරණ විට එතුමන් නොලැබූ බවයි. එබැවින්ම ගීතයට යෙදුනේ බොහොම මතුපිට හැඟීමක් ගෙන දෙන තනුවක් බවයි.

මතු පිට හැඟිමක් දනවන තනුවක් යනු අවම හැඟීමක් ගෙන දෙනවාය යන්න වෙනත් විදිහකට කීමකි. මේ අනුව අමරදේවයන් ගේ ම තනුව තුළ ඔහුට ම ගයන්නට දෙයක් ඉතිරිව නොතිබුණි. මේ මට දැනෙන හැටිය. වෙනත් කෙනෙක් වෙනත් අයුරකින් දුටුවාට කම් නැත. 

දැන් නැවතත් හැරනේනේ රත්න ශ්‍රී විසින් සුදු නෙළුම කෘතියේ පසු පිටේ තබා ඇති ඉහත සටහන වෙතය. ඔහු එහි මෙසේ සඳහන් කරයි.

එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී ඇතැම්හු කඳුළු සැලූහ. ඒ කඳුළු මල් නෙළන්නට ලොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?

පිරිසක් ඒ ගීය ඇසීමෙන් කඳුළු සැලී නම් ඒ ඔවුනට එය හොඳින් දැනුනු නිසාය. මම හිතන්නේ ඒ පෙර සිට, මා මෙන්ම, ගීතයේ සාහිත්‍යමය පාර්ශවය දැන සිටි අය මිස සංගීතමය පාර්ශවය විසින් එය නොකළ බවයි. ඔවුන් හැඬුවේ ඒ පෙර විඳි අරුත් රසය නිසාවෙනි. එහෙත් ඒ සාහිත්‍යය තුළ කැටිව තිබූ හැඟීමට සංගීතමය උත්තේජනයද ලැබුණිනම් රත්න ශ්‍රීඒ සටහන ලියන්නේ මෙසේය.

එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී එහි සිටි සියල්ලම පාහේ  කඳුළු සැලූහ. ඒ කඳුළු මල් නෙළන්නට ලොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?

ගීතය අවසන එදින ප්‍රධානඅරමුණ වෙත පිවිසෙන්නට සැම දෙනෙකුටම පාහේ අවමයෙන් තවත් අඩ හෝරාවක කාලයක් වත් අවැසි වන්නට ඇත. මක් නිසාදයත් ඔවුනට දැනුනු උගුර හිරවීම... පපුව දැවීම.... සුසුම්ලෑම ක්ෂනයකින් නවතා ගන්නට ඒ බොහෝ දෙන අසමත් වු හෙයිනි.......

එහෙත් මේ කොටස එලෙස නොලියවුණේ ඇයි? ගීතයේ සාහිත්‍යමය පොහොසත් බව සහ සංගීතමය දුප්පත් බව නිසාය. 

******************************************************


මේ ගීතය මරණයක් පිලිබඳවය. මරණයේ ඇති සීතල බව අන් අයට දැනිය යුතුය. මරණය උණුසුම් එකක් නොවන නිසාය. ඉන් දැනෙන්නේ උණුසුමක් නම් එහි මරණයක් නිසා ඇතිවන දුක වේදනාව කම්පාව නොදැනී තිබෙනු ඇත.

එහෙත් රත්න ශ්‍රී විසින් ජානක වික්‍රමසිංහ ට ගැයීම සඳහා කපුගේ ට සංගීතවත් කිරීම පිනිස ලියා දුන් මේ ගීතය බලන්න. ඔහු එහි ඇතුළාන්තයට කොතරම් නම් රිංගා ඇතිද කියා. මේ ද එක්තරා මළගමක් පිළිබඳවය. බාහිරින් විමසුව හොත් කිඳුරු මළගමක් පිළිබඳවය. ගැඹුරින් විමසුවහොත් එහි ඇත්තේ කිඳුරු මළගමට මුවා වූ අන් මළගමකි.

සඳ කිඳරා මියැදුනා - ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....

කිසියම් හේතුවකට සඳ කිඳුරා මිය ගිහින්... මේ මළගම පිළිබඳ නොවරදවා සැලකල යුතු, එහෙත් අද වන විටත්  ගමේ නැති කෙනෙක් ඉන්නවා.... එයාට තමයි යම් කෙනෙක් මේ ගීතය ඔස්සේ ඇරියුම් කරන්නේ ගමට එන ලෙස. ඒ නංගී කෙනෙකි.

මේ නංගී කවුද?
ඒ නංගි සඳ කිඳුරාගේ කවුද?
සඳ කිඳුරා මේ නංගිගේ කවුද?


ගමේ නාඩගම් පොලේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට - කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් - හැඬුවා නුඹ ගැන කියා
හැඬුවා නුඹ ගැන කියා........

ඈ තමයි එදා ගමේ සඳ කිඳුරුව නටන වෙලාවේ කිඳුරියට ඇන්දේ.... කිඳුරාට ඇන්දේ ඔහුයි. නාටකයේදි වගේම ජීවිතයේදීද ඔවුන් සමීප වූයේ මේ බැඳීම නිසා.... ඒත් සියල්ල දවසක වෙනස් වුණේ ඈට ගමෙන් නගරෙට එන්නටත් කමතෙන් වෙදිකාවේ රඟන්නත් ඇරියුම් ලැබුණු දා සිටය..... කාගේවත් කැමැත්ත නොකතා ඈ ගිය නිසාය.....

කෙටි කලකින් ඈ නගරයේ ජනප්‍රිය නිලියකි. එහෙත් ඒ සඳහා ඈට විකුණන්නට වූ දේබොහෝය. හැකියාව රූපය සහ හැදියාව යන සියල්ල ඒ වෙනුවෙන් ඈට විකුණන්නට සිදු වුණි.

මේ ආරංචිය කිසිවෙක් නගරයේ සිට ගමට ගෙනාවේය. ගමේ පැතිරුණු ආරංචිය කිඳුරාගේ කණේ තියන්නට එමට අය සිටියහ.........
එදා සිට කිඳුරා සිටියේ මහත් වූ ශෝකයෙන්....


වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සී පද කියා
තනිව සිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණකෙනිනිය හඬන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා....

ඉතින් කිඳුරාට ජීවත්ව ඇති ඵලය කුමක්ද? හද සොවින් සිටි කිඳුරා දිනක් ළය පැලීමෙන් මියැදුණා... එක් අයෙක් පමණක්  කිඳුරු මළගම වෙනුවෙන් හැඬුවේ නෑ. ඒ කිඳුරිය ගැන අනන්තවත් කඳුළු සැළුව කණ කෙකිනියයි. කිඳුරිය ගැන ඈ කොතරම් කඳුළු සැලීද යත් කිඳුරා ගැන හඬන්නට තරම් කඳුළක්  ඒ වන විට ඈට ඉතිරිව තිබුණෙ නෑ... කාටත් මෙය පැහැදිලියි..... කිඳුරාට කිඳුරිය නැති වීම ගැන සොවින් ළය දැදුරුව මිය ගියා වැනි දෙයක් මෙහි මතුපිටින් කිය වුණත්....මේ කිඳුරියට ඈවම නැතිවීම ගැනයි මෙහි ඇත්තම කතාව තුළ දුවන්නේ....

තවත් ගැඹුරට හිතුවොත් අපේ සංස්කෘතිය සාරධර්ම දින දින යට යන අන්දම පිළිබඳව ශෝක ප්‍රකාශය නොවේද මේ. ඒ නිසයි මා කිව්වේ මේ නම් , ගැඹුරින් විමසුවහොත් කිඳුරු මළගමට මුවා වූ අන් මළගමක්ය කියා.

සඳ කිඳුරා මිය ගියා ගීතය අසමු. 




මේ ගීතයේ තනුව සංහ සංගීතය යෙදී ඇති සැටි එක විටක් ඇසු පමණින් වටහාගත හැක. එහි තනුව විසින් කර ඇත්තේ ගීතය තුළ රත්න ශ්‍රී ගේ පරිකල්පනය මතුකර උස් ආසනයක වැජඹෙන්නට සැලැස්වීමය. එහි තනුව එහි අදහස ප්‍රකම්පිත කරයි. තනුව මගින් ඉල්ලා සිටින සංගීත මුසුව තනුව හා නොදෙවෙනි ව සේවය කරන්නේ රත්න ශ්‍රී ගේ පද පෙළටය. මේ ගීතය ගයන්නේ ජානක වික්‍රමසිංහ ය. එහෙත් කුමන හේතුවක් දැයි නොදනිම්, මට එහි ඇසෙන්නේ ගුණදාස කපුගේ ගේ හඬයි. ජානක ගේ මෙහි ගායනය තුළ වරදක් දකිනවා නොවේ. එහෙත් ගීතයට සුදුසු ම කට හඬ දෙන්නේ ගුණදාස කපුගේ යැයි මට සිතේ. ජානක ගේ කට හඬේ ගැඹුරක් තිබුණද මේ ගීතයට කපුගේ ගේ ගැඹුරු හඬ ලැබුණා නම් මහත් ආලෝකයැකැයි මට සිතේ. ඒ අහි ආත්මය ඉල්ලා සිටින්නේ එවැනි දැවැන්ත කටහඬකි.

මේ කට හඬ ගැන කතා කරණ විට වරක් අපේ මිතුරු සමාගමක සැඳැ හමුවකදී ඇති වූ පැණසර වීමක් මට මතක් වෙයි. මේ හමුවේ මමත් සමග සිටි අනෙක් අය අතර වූයේ සංගීතඥ රෝහණ ධර්මකීර්ති, සංගිතඥ නවරත්න ගමගේ, ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ, මාධ්‍යව්දී බුලිත ප්‍රදීප් කුමාර, ගායක ඉමාන් පෙරේරා, මිතුරු කමලසිරි බණ්ඩාර ආදීන් ය. හමුවේදී  ගී ගැයුම් එමට විය. ගී ගැයුම් අතරේ ගී වැණුම්ද වෙයි. විශේෂයෙන් රෝහණ ධර්මකීර්ති සිටින හමු වල ගැයූ ගීය වැණුම සාමාන්‍ය දෙයකි. මේ ගී අතරේ කපුගේ ගේ ගී රැසක් ද අනිවාර්ය වෙයි. මතක හැටියට ගායනා කොට සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණේ පබළු නගේ ( සුමනෝ නුඹ ඇයි නැත්තේ ) ගීතයයි. එක් වරම රෝහණ පැණයක් නැගී.

කාටද කියන්න පුළුවන් ඇයි කපුගේ ගේ හඬට මිනිස්සු මෙපමණ කැමති කියලා?

පිරිස විවිධ පිලිතුරු කීහ. අවසානයේ එළඹුනේ මෙන්න මේ නිගමණයටය.

අපි කාටත් කියා නිම කරගන්න බැරි දුකක් හිතේ තියෙනවා. ඒ දුක කියන්න හොඳම කට හඬ තියෙන්නේ කපුගේ ට.....

මේ නිගමනයට එරෙහි කිසිවෙක් නොවීය. අවසන එවැනි දුක් කන්දරාවක් කියන්නට කපුගේ ගේ කට හඬ උපයෝගී වන විදිහට උදාහරණ ගැයෙයි. ඒ සුන්දර රාත්‍රිය මට මතකයට ආවේ ගීතයකට කට හඬ වැදගත් වන්නේ කෙලෙසකදැයි පැහැදිලි කිරීමට අතුරු කතාවක් ලෙසය.

මේ සඳ කිඳුරා මියැදුනා ගීතය දැනටත් විශිෂ්ඨය. එහෙත් කපුගේ විසින් ගැයුවා නම් එය අති විශිෂ්ඨ වනු ඇත. මක් නිසාදයත් එහි ගැබ්ව ඇති දුක කියන්නට හොඳම කට හඬ තිබුණේ එය සංගීතවත් කළ කපුගේ ට මය.
-                                                                             
 -       යසනාත් ධම්මික බණ්ඩාර      -

මී ළඟ කොටස බලාපොරොත්තුවෙන් ඉන්න.....

5 comments:

  1. යසේ...

    කළ යුතුම වැඩකට අතගහල තියෙන්නේ. මේ සුසංයෝගය මුල් කාලේ විහිදුනේ රජරට සේවය ඔස්සේ. එකල ගිතයේ නව ඉසව් සෙවිම කපුගේ විසින් ඒ නව ඉසව් ඔස්සේ නව ගීතනු අත්හදා බැලිම කරපු අවදියක් තිබුණා. විශේෂයෙන්ම කාලයේ රාවය ඇරඹි අසූව දශකයේ මුල මේ අලුත් ගිතවලට පණ පෙවුණ කාලෙ.

    මේ සංයෝගය පසුකාලිනව ගිතයේ මානව ප්‍රගමනයට හේතුවක් වුණා.මානව ප්‍රගමනය උදෙසා ගිතයේ දෘෂ්ටිය වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද? රත්න ශ්‍රී - ගුණදාස කපුගේ සංයෝගය මානව ප්‍රගමනය උදෙසා කෙසේ නම් දායක වීද? කවිකමේ ගුණ සුවඳ ගී මග පුරා අතුරන රත්න ශ්‍රී විජේසිංහගේ ගී වලින් ඒ මානව ප්‍රගමනය හඳුනාගැනිම මේ සටහන ඉතාම වැදගත්වන්නෙ ඒනිසා.

    විශේෂයෙන්ම කපුගේ පමණක් නොව රත්න ශ්‍රී - කපුගේ සබැඳියාවෙන් කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාරයන් මේ දෘෂ්ඨිය මනා සේ විඳගනිමින් එහි ආලෝකය සැබැලෙසම විඳගත් අයයි.

    මේ සටහන සම්පූර්ණ වෙන්න සෑහෙන කොටස් ගණනක් ලියන්න වේවි.

    කපුගේ ගැයූරත්න ශ්‍රී ලියූ මුල් ගිතය වුනේ “එන්න අම්මේ පාලු අහසේ අදුර අතරින් පායලා “ ගිතය . රත්න්‍රී දෙවනියට ගිතය ලියන්නේ බණ්ඩාර අතාවුදට නෙතු පියන් පියා මුතු දසන් වසා ගිතය. ඒසියල්ල සංගිතය කපුගේගේ. මේ ආරම්භය වැදගත් වෙන්නෙ ඒ නිසා.

    ReplyDelete
  2. මුකුත්ම නොලිව්වත් මම ඔබේ මේ බ්ලොගය ඉඩ හසරක් ලද හැම විටෙකම කියවනවා.
    කිසිවක් ම නොලියන්නට අනෙක් හේතුව වන්නෙ, ඔබේ ලියැවිල්ල අනුව මා අන්ත අසරණයකු වන නිසයි..!

    ReplyDelete
  3. රත්න ශ්‍රී මහත්මයාගේ ගීත රචනා කියවනකොට මට දැනෙන්නෙ සේකරයන්ගේ රචනා කියවනකොට දැනුන සිංහල බස පිළිබදව ඇති මගේ දුප්පත්කම.. ඒ වගේමයි සේකරයන්ගේ හෙවනැලි ගොඩක් මම රත්න ශ්‍රී මහත්මයාගෙන් දකිනවා..

    සුදු නෙළුම ගීතය ගැන මගේ අදහසත් ඔබගේ අදහසට සමානයි.. ලැබිය යුතු වූ එළිය ඒ ගීතයට ලැබුනේ නෑ, තනුව එතරම් ශක්තිමත් නැති නිසා කියන එකයි මගෙත් පුද්ගලික හැඟීම..

    යසනාත් මහත්මයා,
    ගල් බලාපොරොත්තුවෙන් මල් පුදපු ඔබට ජයවේවා!

    ReplyDelete
  4. හිතා ගන්නට බැරි සිදුවීමක්/ගැලපීමක්...
    සුදු නෙළුම මුලින්ම මට හමුවුනේ පත්තරයක කවි පිටුවකින්(මතක විදියට 92 හෝ 93) එය අමරදේවයන් ගයන බවත් සඳහන් වී තිබුනා.ඒ මොහොතේ පටන් මේ ගීය ඇසීමේ නොතිත් ආශාවකින් මා කොයි තරම් නම් බලා සිටියාද..
    "පබළු නගේ" ගීතයත්
    "තොටමුන බඩ සිටි රුවන්මලී" ගීතයත් අතරෙ සුදු නෙලුමේ තනුව සැඟවී ඇතැයි මුමුනමින් කොඳුරමින් සිහින දකිමින් එකල භද්‍ර යෞවනයකුවූ මා පසුවූවා.
    ඊට බොහෝ කලකට පසු මටත් අහම්බයෙන් ගුවන් විදුලියෙන් ගීතය අසන්නට ලැබුනා..
    අනේ දෙවියනේ....අමරදේව මොකක්ද මේ කරේ....
    මෙ ගීතය ඇසෙන වාරයක් පාස මට හිතෙනව රත්නශ්‍රීට ලියුමක් ලියන්න පිංසිද්දවෙයි මේ ගීතය වෙන කෙනෙකුට දීල අයෙම කියවන්නකො.. කියල
    ඇත්තටම මට එවැනි හීනයක් තියනව තවම. කවුරුන් හෝ මේක නැවත ගයයි කියල..........

    ReplyDelete
    Replies
    1. ඒ අතරමං වීමේම තමයි මමත් හිටියේ. පබළු නගේ අච්චුවේ ගීතයක් විය යුතුය යන්න තමයි මමත් කල්පනා කළ දෙය. එහෙත් එය එසේ නොවුණු කල ඇති වුණේ ඔබේ සිතුවිල්ලම තමයි.
      රත්න ශ්‍රී ගේ බොහෝ ගීත තුළින් රත්න ශ්‍රී ගේ ආත්මය මතු කරලා ගත්තේ කපුගේ. කපුගේ ට මේ ගීතය ලැබුණා නම් බිහි වන්නේ ඔබ කියන ආරේ ගීතයක්. මේක හොඳින්ම වටහා ගන්න පුළුවන් කපුගේ රත්න ශ්‍රී ගේ ම සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ ගීතයට යොදා ඇති තනුව සහ සංගීතය විමසන කල. එහෙත් එය එසේ වුණේ නෑ.

      Delete