Saturday, October 31, 2015

ළසඳ ඈතින් බලා ඉන්නී - නිසල දෑසින් බලා ඉන්නී




එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ.....

මේ විදිහට අසන්නේ තොටියෙකි. කොහි සිටින තොටියෙක්ද? අනන්ත ගැඹුරු දියේ ඔරු පදින තොටියෙකි.අනන්ත ගැඹුරැති ේ ගඟ ෝමා ගඟ විය ොහැකිද? එබැවිනෝමා ග ඔරු පදින ොටියෙකු විය යුතුයැයි මට සිේ.

ගඟුල අනෝමැයි
අද මට වෙහෙසයි
යනවානම් එන්නේ
මම මේ ගගුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ

ඔහු අද බොහෝ වෙහෙසට පත්ව ඇත. ඒ ඔරු පැදීමෙන් විය යුතුය. අනන්ත ගැඹුරු දිය ඇති ගඟක එගොඩ මෙගොඩ ඔරු පැදීම මහත් වෙහෙසකර කටයුත්තක් බව සිතිය නොහැක්කේ කාටද?  එහෙත් සිය එගොඩ මෙගොඩ ගමන නිම කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී වුව ඔහු තමන් සමග එගොඩ වෙන්නට කැමැති ඕනෑම අයෙකුට එනවා නම් එන්නැයි ඇරියුම් කරයි. වග කිවයුතු මිනිසෙකුගේ හැසිරීම එයයි. ඔහු සිය කාර්යයෙන් ඉවත්ව ගියහොත් එගොඩ වන්නට බලා සිටින තවත් අය එගොඩ විය නොහැකිව ගං ඉවුරේ කරදර වනු ඇත. අඳුර වැටෙන්නට මොහොතකි. අඳුර වැටුණු පසු ඔහු නැත.

පමා නොවන්නේ
අදුර වැටෙන්නේ
යනවානම් එන්නේ
මම මේ ගඟුලේ
ඔරුවේ නැගලා
එගොඩ මෙගොඩ යන්නේ

බැලූ බැල්මට සාමාන්‍ය තොටියෙකු ගැන ලියැවුණු ගීතයක් යැයි හැඟුනද මෙය තොටියෙකු ගැන ලියැවුණු ගීතයක් නොවේය යන්නය සමහරුන් පවසන්නේ. මේ වැකිය ගැන විතරක් හිතුවොත් මා එයට එකඟ නොවන්නේ මේ තොටියෙකු ගැන ලියැවුණු ගීතයක් ම වන බැවිනි. එහෙත් ඒ එසේ මෙසේ තොටියෙකු ගැන නොවේ.
මේ ගීතයේදී තොටියාට උපමා කොට ඇත්තේ බුදුන්වහන්සේ ය.  


බුදුන් දෙසූ දහමය ඔරුවයි හබලයි වන්නේ. ගඟ නම් සංසාරයයි. එහා ඉවුර නම් නිවනයි.
ඒ අනුව යමෙක් එහි විශිෂ්ඨ පද රචනය මතුපිටින් විමසා මේ නම් අපව ගඟෙන් එගොඩ කරණ තොටියෙකු වෙනුවෙන් ගයන ගීතයකැයි වටහා ගෙන, එහෙත් එහි අද්විතීය සංගීත නිර්මාණයද ගැයුමද සලකා ගෙන මහත් රසයක් විඳී. තවත් අයෙක්, මෙම පද රචනයේ ගැඹුරට කිමිද, එහි උපමා උපමේයයන් විමසමින් ඒ නම් අපව සංසාරය නම් වන ගඟුලෙන් අපව එකළු කරණ බුදුරජාණන් වහන්සේ නමැති තොටියා ගැන ලියැවුණු ගීතයකැයි වටහාගෙන කරුණා රසය පෙරදැරි අති මහත් රසයක් විඳී.
මේ ගීතයේ රචකයා වන්නේ පසුගිය සති කිහිපයක් පුරා අප විමසූ ඩෝල්ටන් අල්විස් කවියාය.


සංගීත නිර්මාණය සහ ගැයුම ටී. ෂෙල්ටන් පෙරේරා විසිනි.

 එගොඩහ යන්නෝ ගීතය අසමු. 


අප විසින් මින් පෙර විමසන ලද ඩෝල්ටන් අල්විසුන් ගේ ගී ගැන සටහන් කියවන්න පහත මං පෙත් ඔස්සේ පිවිසිය හැකිය.
පළමු කොටස -

දෙවන කොටස -

තෙවන කොටස -

සිවු වන කොටස -

පස් වන කොටස -

පෙර ගීය ගැයූ ෂෙල්ටන් පෙරේරා ශූරීන් විසින් ම සංගීතවත් කොට ගයන තවත් අපූරු ගීයක් ද ලියැවී ඇත්තේ ඩෝල්ටන් අල්විසුන් අතින් බව කිව හොත් සමහරුන් පුදුම වනු ඇත. එය පුදුම නමුත් ඇත්තකි.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ

කොතෙකුත් ජනප්‍රිය මේ ගීතය ඩෝල්ටන් අල්විසුන් ලිවී යැයි කී විට සමහරුන්ට පුදුම හිතෙන්නේ අල්විසුන්ට ලිවිය නොහැකි මට්ටමේ ගීතයක්ය එය ලෙස සිතෙන නිසා නොවේ. සසර වසන තුරු, නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි, උඩඟු ලියන් ගොතා බඳින, නීල වරල නිල් චාමර ( කුණ්ඩල කේශී ), තුං තුඹ මල් වැනි හැඩයේ ගීත ලියන කවියෙකු මෙවන් හැඩයක ගීත ලියාවිද යන හැඟීම නිසාය. එහෙත් කිසියම් නිර්මාණ කරුවෙකු එක් තැනක කොටු විය යුතු නොවේ. ඩෝල්ටන් අල්විස් කවියාගේ මේ ගීය ඊට හොඳම උදාහරණයකි.

එයා පැළැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අබරණ අන්දන රන්වන් විහිළුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ...

ඔහු මෙහි කියන්නේ මොන තරම් සත්‍යයක්ද යන්න බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ නොකීවත් අත්දැකීමෙන් දනී. බොහෝමයක් අයට විවාහය යනු අබරණ අන්දන රන් වන් සිහිනයකි. කෙටි කලෙකින්ම එය රන්වන් සිහිනයක් නොව රන් වන් විහිළුවක් බව වැටහේ. එහෙත් මෙහි කතා නායකයා විවාහය යනු අබරණ අන්දන රන්වන් විහිළුක් බව වටහා ගන්නේ විවාහයේ බැඳෙන්නට පෙර දීම ය. ඇත්ත කරුණු දක්වා ලියන මේ ලිපිය කියවා ඇය හඬනු ඇත. එහෙත් එසේ හැඬුවත් ඔහුට කම් නැත. ඇත්ත ලිවිය යුතුය.

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අබරණ අන්දන රන්වන් විහිළුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසාන ලිපියක් ලියන විට කෙලෙස කොතනින් නවතන්නද යන්න හිතා ගත හැකි නොවෙයි. ලියන්නට කොතෙකුත් දේ නම් ඔහු සිතට එයි. සිත බොහෝ අසීරුවෙන් නැවතීමේ තිත තැබීමට සිත හදා ගන්නේ වුව, ඒ සිත සිතන දේ ලියා හුරු වූ පෑන නැවතීමේ තිත තැබීමට මැලි වෙයි. තවත් බොහෝ දේ ලියන්නට පෑන කියයි. එහෙත් ඔහු තද තීරණයක් ගෙන ඇත.
සමහර පෙම් සබඳතා විවාහයකින් කෙලවර නොවෙයි. ඒ සබඳතා කැඩී වෙනත් සබඳතා ඇති වන්නට සමහර විට ගත වන්නේ ඉතා කෙටි කලකි. ඒ කෙටිම කෙටි කාලය අපෙන් විමසන්නේ කුමක්ද? තිබුණු දිග කාලයේ තිබුණේ කුමන නම් වූ බැඳීමක්ද යන්න නොවේද?
මීට වඩා තව මොනවා නම් ලියන්නද? ලියූ දේ වැඩක් විනි නම් මෙලෙස අවසන් ලිපියක් ලියන්නට නොවනු ඇත. එහෙත් ලියූ දෙයින් ඵලක් නොවුණු තැන තවත් දේ ලිවීමෙන් ඇති ඵලය කිම?

අවසන් ලියුමයි ඔබට ලියන්නේ ගීතය අසමු.


අවසාන කොටස සඳහා මම ඉතිරි කර ගත්තේ ඔහුගේ ගී වල කූඨප්‍රාප්තිය යැයි වන සුපුරුදු හැඳින්වීමකින් එය නිම කිරීමට මගේ හිත ඉඩ නොදේ. සාමාන්‍යයෙන් අපි මෙවැනි දෑ ගැන ලියන විට එසේ වුවද මෙය එසේ නොවෙයි. මේ ගීයට වඩා මේ ගීය ඉදිරියෙන් යැයි කිව නොහැකි මට්ටමට සම මට්ටමේ වැජඹෙන ඔහුගේ ගීත රැසකි. එබැවින් කිව යුතුම දේ වන්නේ මෙම ලිපි පෙළ ලිවීමේදී දළ වශයෙන් හෝ සමාන හැඟුම් ගෙන දෙන ගී ඒ ඒ කොටස් සඳහා තෝරා ගත් බවයි. මේ කොටසට ගී තේරුවේද එලෙසින්ම ය.
නන්දා මාලිනිය මට මතක හැටියට අනූවේ දශකයේදී තාරකා ඇස් නමින් ගීත සංග්‍රහයක් එළි දක්වයි. එහෙත් එම ගී නිර්මාණය වුණේ අනූව දශකයේදී බවක් ඉන් අදහස් නොකෙරේ.

නන්දා ගේ මේ ගීත සංග්‍රහය නම් කොට තිබුණේ තාරකා ඇස් ලෙසිනි. තාරකා ඇස් ලෙසින් එය නම් කිරීමට තුඩු දුන් ගීතයයි මේ.

සුමුදු සුව දෙන සිහින යහනේ
තාරකා ඇස් වට වෙලා
මදෙස බලමින් කරණ කසු කුසු
මට ඇසේ මට ඇසේ

සුමුදු සුව දෙනුයේ සිහින යහනයි. ඈ දෙස වටව බලා සිටින්නේ තාරකාවනුයි. එසේ බලා නිකන්ම නොසිටී. ඔවුන් යම් කසු කුසුවකය. ඈ ගැන විය යුතුය. මේ කසු කුසුව ඈට ඇසෙයි. ඒ නම් සිහිනයක් ම ය.
මේ ගීය ලියන්නේ අප ගීත රචක ඩෝල්ටන් අල්විස් කිවිවරයා ම ය. මේ ගීයේ ඔහුගේ ගීතමය සිතුවිලි තුල ගැවසෙන රූපකාලංකෘත මොන තරම් නම් සොඳුරුද?
තාරකා ඇස්..... ඒ පළමු කොටසේ හමුවන සොදුරු යෙදුමකි. දෙවෙනි කොටසේද එවැනිම හෝ ඊටත් වඩා එහා ගිය යෙදුමක් වෙයි.

මිදුලෙ සේපාලිකා සුවඳින්
උමතු නලැඟිලි සසල වීලා
මගේ කෙහරැළි අවුල් කරණා
වෙලාවේ ඒ වෙලාවේ

පිපුණු සේපාලිකා මල් සුවඳින් උමතු වී ඇත්තේ සුළඟයි. සුළඟ විත් ඇගේ කෙහෙ රැලි අවුල් කරයි. එහෙත් ඔහු එය ලියන්නේ,
මිදුලෙ සේපාලිකා සුවඳින්
උමතු නලැඟිලි සසල වීලා... යනුවෙනි.
නලැඟිලි යනු සුළඟේ ඇඟිලි ය. සේපාලිකා සුවඳින් උමතු වූ සුළඟේ ඇඟිලි ය ඇගේ වරලස අවුල් කරනුයේ. මෙවැනි යෙදුම් ගීත සාහිත්‍යයේ බොහෝ අඩුය. මෙවැනි යෙදුමක් මෙහි ඇතැයි දැනේනේද බොහෝ අඩුවෙනි. සමහරුන්ට මෙවැනි යෙදුමක් මෙහි ඇතැයි හැඟෙන පළමු අවස්ථාව මෙය විය හැක.

ළසඳ ඈතින් බලා ඉන්නී
නිසල දෑසින් බලා ඉන්නී
මගේ මුහුලස අවුල් කරණා
වෙලාවේ ඒ වෙලාවේ...

සුමුදු සුව දෙන සිහින යහනේ ගීතය අසන්න.


චාමර පවන් සලා
නීල වරළ මුහුළ එලාලා
ගීතය ගයනුයේ විශාරද අමරා රණතුංග විසිනි. 


උත්තර භාරතීය රාගධාරී සංගීතාශ්‍රිත නිර්මාණයක් වන එය එවන් ගී අතර දැවැන්ත ගීතයක් බව අවිවාදිතය. එවන් දැවැන්ත ගීතයක පද රචනය මෙසේ වෙයි.

චාමර පවන් සලා
නීල වරළ මුහුළ එලාලා
ඔබ එන මං තලයේ
බලා හිඳින්නම්

චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ
සීතල සුවය දැනේ
හඳපානේ...

මේ එම දැවැන්ත ගීතයේ පද රචනාවේ පේලි අටයි. පේලි අටයි කොටස් දෙකයි. ආවේනික ගීතාකෘතියට අභියෝග කරණ මේ රචනාව තුළ ගැබ්වුණු රසභාවයයි ශාස්ත්‍රීය සංගීතය සමග මුසු කොට අමරා රණතුංග විසින් ගයනුයේ. ඩෝල්ටන් අල්විස් කවියාගේ සුවිශේෂම ලකුණ මේ සම්ප්‍රදායික ගීත රචනා ආකෘතියට කරනා අභියෝගය යැයි මට සිතේ.
මේ ගීතයේ තවත් විශේෂම දෙයක් නම් එහි අන්තර්ගතයෙහි ඇති දේ මතු පිටට පෙන්වන විදිහේ ඇති සූක්ෂම බවයි. මෙහි ඇත්තේ සිය ප්‍රියයා එනතුරු බලා සිටින ප්‍රියාවියකගේ චංචල හැඟුම් ය. වඩාත් පැහැදිලිව කිවහොත්, ප්‍රේමයට වඩා නුරාව වෑහෙන හැඟුම්ය ඈ තුළ මතුවන්නේ.
අනුරාගී හැඟුම් වඩවන නිශා යාමේ සසල ඈ සිතට පවන් සලනුයේ සඳ එළිය පමණක්මය. එහෙත් ඈ සිත ඇවිලෙන ඒ ගින්න සඳ එළියට කොපමණ කලකට නිවිය හැකි වේද? එය නිවිය හැක්කේ ඔහුට පමණි. ඔහු එනතුරු ය සිය දිගු නීල වරලස පලසක් සේ එළා ඈ බලා සිටින්නේ.
නමුත් මේ නුරාව වෑහෙන හැඟුම් සහිත ගීයේ එම නුරාව අනවැසි ලෙස මතු කර ගීත රචකයා සිය රසිකයින් තුළ ගිනි නොඅවුලවයි. එය සඳ එළිය තරම් සිසිල්ව සමනය කරමින් මතු කරයි.
චාමර පවන් සලා ගීතය අසමු.



කවුරුදෝ අර කවුළුවෙන්
සිනාසී එබිකම් කළේ
ඒ සිනාවෙන් මා වෙලන්නද
මා වෙලා ගෙන මට තලන්නද
ඈ සිනාසෙන්නේ....

මේ ගීතය අපට වඩාත් හුරු පුරුදු ශාන්ති ගීතදේව  


විසින් ගයනු වුව, මෙය සනත් නන්දසිරි 

විසින්ද ගයා ඇත. එය සිදුවූයේ කෙලෙසකද? යන්න මම නොදනිමි. එහෙත් පළමු ගීය ගැයුවේ ශාන්ති ගීතදේවයන් විසිනි. දෙදෙනාගේම ගායනා අසන්නට මෙහි අමුණමි.
මේ සනත් නන්දසිරි ගේ ගැයුමයි.
මේ ශාන්ති ගීතදේව ගේ ගැයුමයි.

මේ ගැයුම් දෙකම අතිශයින් රසපූර්ණය. මක් නිසාද යත් රාගාශ්‍රිත පදනමක් සහිතව බිහිවූ නිර්මාණය ගැයුමට දෙදෙනාම එක සේම සමතුන් ව ඇති  නිසාය.
ගීතයේ ඇත්තේ, පෙමට රිසි එහෙත් කුකුසකින් පෙලෙන හදක චංචල මනෝභාවයයි.

කවුරුදෝ අර කවුළුවෙන්
සිනාසී එබිකම් කළේ
ඒ සිනාවෙන් මා වෙලන්නද
මා වෙලා ගෙන මට තලන්නද
ඈ සිනාසෙන්නේ....

කෙනෙක් කවුළුවකින් එබී බලා සිනාවෙයි. කවුරුද ඒ යැයි ඇසුවාට සමහර විට ඈ නොදන්නා අයෙක් නොවිය හැකිය. ඒ සිනාවේ ඇත්තේ ඇරියුමකි. ඇරියුම පිලිගැනුමට ඇත්තේ චකිතයකි.
ඒ සිනාවට බැඳුන විට ඈ කෙරෙහි වෙලෙන්නට සිදුවෙයි. සිනාසී ඇරියුමින් පිලිගත්තද පසුව එය රිදුමකට මුළක්දැයි ඇති වන චකිතයයි ඔහු තුළ මේ ඇත්තේ.  
ඒ සිනාවෙන් මා වෙලන්නද
මා වෙලා ගෙන මට තලන්නද
ඈ සිනාසෙන්නේ....
යනුවෙන් පවසනුයේ එබැවිනි.

කතා නොකරණ තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්....

ඉතින් මට බෑ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්....

කොතෙක් චකිතයකින් සිටියද, සිත බැඳුනු කල ඇතිවන්නේ කුමන හැඟීමක්ද? ගීතයේ දෙවන සහ තෙවන කොටස් වලින් කියවෙන්නේ එයයි. කෙලෙසක නම් ඒ නුවන් දැහැනින් මිදී ඉවත යන්නද? අනතුරුව වැසුනු කවුළුවක් වුව හදින් විවර කොට ඈ නෙත් ළඟින් සිටින්නට ය පැතුම.

දැන් ඉතින් මේ දිගු සටහන් මාලාවේ අවසාන කොටසේ අවසානයට ළං ව ඇත. එහෙත් අවසන් කරන්නට පෙර නන්දා මාලිනිය ගයන ගීත 3ක් ගැන කතා නොකර බැරිය. ඉන් එක් ගීතයක් මේ අවසාන සටහනට ඉතිරි වුණේ අතපසු වීමකින්. ඒ ගීතය ඇතුළත් විය යුතුව තිබුණේ ලොකු නැන්ද එනව නැන්ද එනව, තුං තුඹ මල් තුඹ මල් ආදී වූ ගීත අතරට ය. ඒ ගී වල අදහස්වලට ය මේ ගීය වඩා වටින්නේ.
ඒ අනෙක් ගීතයක් නොවේ.

දීග නොගිය පුංචි නෑනො
නුඹත් ඇවිත් රබාන ළඟ වාඩි වෙයන්කෝ
වාඩි වෙයන්කෝ...
ගීතයයි. මේ නම් මොන තරම් සුන්දර ගීතයක්ද?
රබන් පද ඇසුරු කරමින්ද තමන් ලියන දෙයක් වුව අළුත් රබන් පදයක් සේම සමාන වන ලෙසද ඔහු සිය නිර්මාණය අත්‍යලංකාරයෙන් නිමවයි.

රබාන ළඟ මං නැතිවට
දුම්බර අක්කා අගේට
ගහන රබන් පදය තාම හරි මනමාලයි

දොංත දොදොං ලොකු දොඹ මල් චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා
දොංත රබන් පදය ගහන දුම්බර අක්කේ.
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ

මේ විෂයයෙහි ඔහු දක්වන බුහුටි කමට සාක්ෂියක් ලෙස මා මුළින් කී ගීත ඇතුළත් කොටසට මෙය ඇතුළත් කරන්නට අතපසු වීම ගැන මම කණගාටු වෙමි. ඒ ගීයේ සුන්දරත්වය ගැන වැඩි විස්තර කතා නොකර එය විඳගනිමු.

දීග නොගිය පුංචි නෑනො ගීතය අසමු.


නිසංසල රෑ
ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා
බමර සරයෙන් සවන පාරා
හද තුළට ආවා
දෑස කඳුළින් තෙමී වැසුනා

ඔහුගේ වෙණ නද ඈ සොයාගෙන පැමිණ ඇයට රිදුම් දෙන්නේද? නැති නම් ඈ සොයා පැමිණි ඔහුගේ වෙණ නද ඈට රිදුමක් වන්නේද? මේ ගැටය තවම ලිහමි. කෙසේ වෙතත් පැමිණි වෙණ නදෙහි බමර සරය ඈ හද තුළට වන් විට ඈ දෑස කඳුළින් තෙත් වෙයි.
මෙය විරහ ගීයක්ද? එසේ විය යුතු යැයි හඟිමි. එහෙත් ඒ ගැන බොහෝ දුක් ගැනවිලි සවිස්තරාත්මකව එහි නොවෙයි. රසිකයා විසින් ඒ දසුන් ගොනුකළ යුතුය. රසිකයා හට එවැනි කිසිදු දසුනක් ගොනු කරගත නොහැක්කේ වුව, මේ ගීතයේ අඩු රිද්ම හැඟුම් බර භාවයන් පිරි තනුව සහ සංගීත නිර්මාණය විසින්ද නන්දා මාලිනිය ගේ හැඟුම් බර ගැයුමෙන්ද මහා රසයක් යමෙකුට විඳිය හැකි වෙයි.
මේ ගීතයේ ස්ථායී කොටසින් මවන අර පෙර කී දෙගිඩියාව එහි දෙවන තෙවන පාද වලදීද විස්තර නොකොට තැබීමට ගීත රචකයා පරෙස්සම් ව ඇත. රසිකයිනි, තමනට රිසි පද යොදා ගෙන කතාව ගොඩ නගා ගනිල්ලා. ඔහු එසේ නොකීවත් නිර්මාණය විඳිය හැකි වන්නේ එලෙසිනි.

සහස් සුවහස් තාරකාවෝ
නෙත් අයාගෙන
කන් යොමා ගෙන
බල සිටියා නීල ආකාසේ

මේ ගීතයේ රසිකයන් සිටින තත්වයේමය නීල ආකාසේ දිලෙන, ඈ දෙස නෙත් අයාගෙන කන් යොමා ගෙන බලා සිටින, දහස් ගණනක් වූ තාරකාවන්ද සිටිනුයේ. දෙගොල්ලම මේ දෙස නෙත් අයාගෙන කන් යොමා ගෙන බලා සිටී. කළ හැකි අන් යමක් නොවයි.
මේ ගීතයේ වුව ආකෘතිය විසින් කර ඇති වෙනස අපූරුය. ඩෝල්ටන් අල්විස් කවියා සිය හැඟීම කවිය තුළට බහාලනවා මිස එහි පාද අතර සමානතාවක් නොසොයයි. එහෙත් ගීතයේ කාව්‍යයාත්මක බව පමණක් සුරකී. දෙවන පාදයේ පේලි ගණනට සමාන පේලි ගණනක් වත් ඔහු එහි නොලියයි.ඔහු එය නොතකයි.

නොලිව් ගීතය හිතේ ගුලිවී
නිදා සිටියා ඒ වෙලාවේ....
තෙවන පාදය සඳහා ඔහු ලියන්නේ එපමණකි.

ඔහු සිය කවිය අවසන් කරනුයේ එලෙසිනි. එහෙත් සංගීතඥයා සිය ගීතය නිම කරණුයේ එලෙසින් නොවේ.
සංගීතඥයා අතින් ගීතයේ දෙවන සහ තෙවන පාද උඩ යට මාරු වෙයි. එයින් ගීතයේ අරුත වඩාත් තීව්‍රැ වෙයි. ඔහු ගීතය අවසන් කරණුයේ
දෑස කඳුළින් තෙමී වැටුණා
යන පදය නැවත නැවත ගැයීමෙනි. වෙසෙස් සංගීතඥයෙකුගේ නියම කාර්ය භාරය මෙය යැයි හැඳින්වීමට හොඳම උදාහරණයකි මෙය. ඔහු කළ යුත්තේ ගීත රචකයා සිය කවිය ඔස්සේ සාදා දෙන ඉඟිය නමැති සරුංගල් රාමුවට සුදුසු හැඟුම් බර සංගීතය නමැති කොළ අලවා, කටහඬ නමැති හුයෙහි ගැට ගසා එය ඉහළ යැවීමයි. මෙහිදී එය මනාවට වී ඇතිවා නොවේද? මෙහි සංගීතඥයා අනෙකෙකු නොව මහා ගාන්ධර්ව අමරදේවයන් ය. 


දැන් අමරදේවයන් විසින් ප්‍රතිනිර්මාණය කරණ ගීතයට අනුව ගීතයේ පද මෙලෙස වෙයි.

නිසංසල රෑ
ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා
බමර සරයෙන් සවන පාරා
හද තුළට ආවා
දෑස කඳුළින් තෙමී වැසුනා

නොලිව් ගීතය හිතේ ගුලිවී
නිදා සිටියා ඒ වෙලාවේ....

සහස් සුවහස් තාරකාවෝ
නෙත් අයාගෙන
කන් යොමා ගෙන
බල සිටියා නීල ආකාසේ

නිසංසල රෑ ඔබේ වෙන නද ගීතය අසමු.


දැන් ඉතින් ඩෝල්ටන් අල්විසුන් පිළිබඳ මේ සටහනට තිත තැබීමේ අවස්ථාව එළඹ ඇත. මා මෙවැනි කවියෙකුගේ නිර්මාණ ගැඹුරින් නොවුණත් මතුපිටින් හෝ විමසන්නට ගත් උත්සාහය මට නම් ව්‍යායාමයක් බඳු විය. එහෙත් එම ව්‍යායාමයේදී මට වෙහසක් නොදැනුනේ ඉන් මා ද ලද රසය මහත් වූ බැවිනි. සිය දහස් වර පරිහරණය කළ, රස විඳ තිබුණු ගී වුව, මේ සටහනට ඇමිනීමේදී එතෙක් නොවිඳි  රසභාව විඳගත් බැවිනි. සොයන විට වැඩි වැඩියෙන් රස දැනේ. ඒ නිසා තව තවත් සොයන්නට සිත්වේ. ඒ සිතුවිල්ලට මම කැමැතිය. එහෙත් බාධකයක් වෙයි. ඒ කාලයයි. මගේ කාලය තුළ සෙවිය නොහැකි දේ කොපමණදැයි සිතෙන විට මහත් දුකක් ඇති වේ. එබැවින් මට ලැබී ඇති කාලය නිමවීමට පෙර හැකි තාක් සෙවිය යුතු යැයි සිතේ.
මා මොන තරම් සෙවුවත්, මා වටා ඇති සීමා කාරී සාධක නිසාවෙන්, මට හමුවන දේ පටු විය හැකිය. හමුවන දෙයින් මා ලියන දේ පටු විය හැකිය. ඒ නිසා පුළුල් දැක්මකින් මෙවන් නිර්මාණ පිළිබඳ සෙවිය යුතුය යන්න නැවත නැවතද සිතමි. එවන් සොයන්නන් සිය සෙවීම් අපට ඉදිරිපත් කරත්වායි පතමි.
මේ ද දැවැන්ත ගීතයකි. පමණින් සිඟිති රචනාවකින් සුසැදි, එහෙත් ගැබ්ව ඇති හැඟුමින් විසල් මේ ද දැවැන්ත ගීතයකි.

ඔබට මතක නෑ
මට මතකයි ...
පසුගිය වසන්ත කාලේ…

මේ කෙටි කවි පේලි ටිකෙන් මතු කරණ හැඟුමය බොහෝ අය සමහර විට මුළු ගීතයක් පුරා ම කියන්නට උත්සාහ ගන්නේ. ගෙවුනු වසන්තය ඈට මතක නම් ඔහුට අමතක නම් ආයේ ඒ ගැන තවත් කුමට විස්තර කරන්නද?

මා හද උයනේ එකම මලයි පිපුනේ...
ඒ මල ඔබ දෙස බලා සිටිත්දී
සැලී සැලී ආශාවෙන්…
නොසිතූ ලෙසින් ඔබ යන්න ගියේ
පසුගිය වසන්ත කාලේ...

ඈ හද උයනේ පිපී ඇත්තේ එකම එක පුෂ්පයකි. ඒ පුෂ්පය හැඳින්විය හැක්කේ කුමන නමකින්දැයි මම සොයමි. එය ඈ සිත උපන් කුළුඳුල් සහ එකම එක ආදරයේ පුෂපයයි. එහෙත් ඒ එකම පුෂපය දෙසවත් නොබලා ය ඔහු යන්නට ගියේ. ඔහුට අමතක ඈට මතක පසුගිය වසන්තයේ අඳුරු සිදුවීම එයය. සිදු වීම අඳුරු වුව එය කෙලෙස නම් අමතක කරන්නද?
පෙර ගීතයේ සේ ම මෙහිද රචනාවේ සම්ප්‍රදායික ආකෘතිය බිඳී ඇත. එහෙත් සොඳුරු ගීතයක් වන ඉඩ ඔහු අසුරා නැත. මේ රචනා හැදෑරීමෙන් පේලි ගණන මාත්‍රා ගණන පාද ගණන සමානව කරන්නට සිතන ගීත රචකයින්ට සේම එවන් ගී රැගෙන සංගීතවත් කරන්නට සිතන සංගීත රචකයින්ටද බොහෝ පාඩම් ඉගෙන ගත හැකිය.
ඔහු ආකෘතිය රැකීමට වඩා තම කවියට අවංක වීමට උත්සාහ කරයි. එබැවින් හෘදයාංගම කවක් නිමවයි. ඒ හෘදයංගම බවට ආකෘතිය රැකීමට ගන්නා වෙහෙසින්, මාත්‍රා ගණන රැකීමට ගන්නා වෙහෙසින් බාධාවක් නොවෙයි. එයම සංගීතඥයාට වැඩි අවකාශ සලසමින් සොඳුරු තනු රිද්ම සංගීත වර්ණ එළි දැක්වීමට අවස්ථාව සලසා දෙයි.
මේ ගීතයේ සොදුරු හැඟුම් බර, හැඬුම් බර සගීත නිර්මාණයද එහි ප්‍රතිඵලයකි. මෙහි සංගීත නිමැවුම සංගීඥ ඩන්ස්ටන් ද අල්විස් ගේ ය. නන්දා මාලිනිය සිය උපරිම හැඟුම් මුසු කර ගයන විට එය ඇත්තෙන්ම ඇයටම වුණු දෙයකැයි අපට සිතෙන තරමට තාත්වික වෙයි.
පසුගිය වසන්ත කාලේ ගීතය අසමු.


සබඳ,
ඉදින්,
මේ සටහනින් සමුගනිමි.
යළිත් හමුවන අදහසින්.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -




6 comments:

  1. කොටස් පහක් අවසන ලියැවුණු සය වැනි හා අවසාන කොටසයි මේ ඩෝල්ටන් අල්විස් නම් අනගි උල්පතෙන් බිහිවූ අපමණ රස මැවූ ගී රැසක් නැවත නැවතත් විඳින්නට ආරාධනාවක් වූ.

    නිමැවුමක් මැවුම්කරුවාට අයිති වන්නේ එය රසිකයාගේ සිත පත් වනතුරු පමණකැයි මට සිතේ. ඉන්පසු එය රසිකයාටම හිමි වේ. ඔහු එය විඳින්නේ ඔහුගේ සිතැඟි පරිදිය. එනමුත් තමන් නොදුටු ඒනිසාවෙන්ම තමන්ට මග හැරුණු රසයක් වෙත් නම් එය අළුතින් විඳීමට මෙවන් වූ කතිකාවක් මහත් අත්වැලක් නොවේද?

    ඔබගේ මෙවන් වූ ලිපි පෙළ හැමෙකක්ම එවන් මහත් උපකාරයක්මයි. මේ ලියැවිලි කියැවීම රස උපදවයි - ඒ රස තුළින් තුන්කල් ගමන් යාමට යාත්‍රාවක් සදයි. නොදන්නා දේ කියාදෙයි. එබැවින් ඒවා කියවා විඳින රස මෙතෙකැයි කීමට නම් මා පොහොසත් නැත.

    ඉනුත් මේ ලිපිය ඉතා රසවත්. ඩෝල්ටන් අල්විස් කිවිඳුන් ලියූ ගී රැසම බොහෝ රස මවන මුත් අතිරසම ගී පොකුර මේ සඳහාම තබා ගත්තාදෝ කියා සිතේ.

    ඒ ගී වලත් මෙතෙක් විඳි රසටත් වඩා රසක් විඳින්නට ඉඩ හසර සලසා දීම කෙතරම් පිනක්ද.

    නැවත වැඩි පමාවක් නොවී තවත් රස ලිපි පෙළ ලියැවේවා.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්න දැන් ටිකක් කාලය අඩුයි. ඒත් ලිවීමේ කටයුත්තක් නිසාමයි. ඒ වැඩේ මාස ගණනක් යන එකක්. පසුව කියන්නම් එය කුමක්දැයි.
      ස්තුතියි මේ අදහසට.

      Delete
  2. නියමයි යසනාත්.... දිගටම ලියන්න !

    ReplyDelete