Sunday, October 11, 2015

දොංත දොදොං තරිකිට දොංත දොදොං තරිකිට දොංත දොදොං තරිකිට කුන්ද කුඳත්තා....





දෙසතියකට ආසන්න විරාමයකට පසුව නැවත අප මේ පිවිසෙන්නේ ඩෝල්ටන් අල්විසුන් විසින් ලියූ ගී පිළිබඳව කෙරන දුප්පත් විමසුම ටය.
පෙර කතා බහ කළ ගී නිර්මාණ වලදී මා මුහුණ දුන් අභියෝගයනට වඩා වෙනස් අභියෝගයකට ද මෙහිදී මුහුණ දෙන්නට සිදුව ඇත. ඊට හේතුව නම් මේ ගී මා අසා ඇතත්, සමහර විට ඔබද අසා ඇතත්, තවත් වතාවක් ඇසීමට හෝ අසා නැතියෙකුට ඇසීමට ලබා දීම පිනිස සමහර ගීයක ලින්කුවක් සොයා ගත නොහැකි වීමයි. කෙසේ වෙතත් බොහෝ නිර්මාණ සඳහා එවන් ගැටළු වලට මුහුණ දුන්නේ නැත. එවන් ගීයක රචනාව පමණක් ගෙන හෝ කතා නොකලොත් එය අඩුවකි. එබැවින් අප අවමයෙන් එවන් ගීතයක රචනය දෙස හෝ විමසුම් ඇසින් බැලිය යුතුය.


ඩෝල්ටන් අල්විස් ගී රස - පෙර කොටස් වෙත පිවිසුම්

පළමු කොටස -



දෙවන කොටස -

තෙවන කොටස -
http://yasanathsithuwili.blogspot.com/2015/09/blog-post_24.html 


සිවු වන කොටස -

 

ලොකු නැන්ද එනව නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ
කොන්ද නමල කන්ද නැගල
ලන්ද දිගේ උනදැ එනව අපේ දිහාවේ...

මොනවා ගැන කතා කරන්නත් පෙර මේ ගීතයේ සමාන ශබ්ද නැගෙන වදන් රැසක් එකට යා වී ලබා දෙන ශබ්ද රසය කොතෙක් දැයි සිතා බලන්න. එවැනි ගී ඇති විට අරුත් සුන් හෝ අරුත් මද
නෝනා
නාන්න නම් නාන්න නෝනා
වැනි ගී අපට අවැසි දැයි බලන්න.
ඊ ළඟට ඒ ශබ්ද රසයට එක් කරණ අර්ථ රසය කොපමණද බලන්න.
ඊ ළඟට බලන්න ඩෝල්ටන් අල්විස් නම් නාගරික ගැමියා තුළ විසූ ග්‍රාමීය ගැමියාට වැඩි ගැමි කම ඇති ගැමියා දෙස. 


නැන්දා එන්නේ කොහොමද? වයස නිසා කොන්ද නමාගෙන ය. නැන්දා කොන්ද නමාගෙන එන්නේ මොන වගේ පාරකින් ද? කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ ය.
පළමුව නැන්දා යැයි අමතා නැන්දාට ඊ ළඟට කියන්නේ උන්දෑ කියාය. ඇය යැයි කීමට යොදන ගැමි වදනකි. මේ කෙටි කවි කොටසින් ඒ මුළු ගැමි පරිසරයම කොතරම් සවිස්තරාත්මක ව චිත්‍රනය වී ඇතිදැයි බලන්න.
සැබෑ ගීත රචකයා රචනා කරුවෙක් නොවේ.
කවියෙකි.
කවියෙකි.
කවියෙකි. 
දැන් ඉතින් මෙතරම් දුරු කතර ගෙවගෙනෙ ඈ එන්නේ කුමක් සඳහා දැයි සෙවිය යුතුය.

ලහි ලහියේ ඈ එන්නේ
අම්ම එක්ක අද මා ගැන
දීග දොඩන්නයි.....

මේ ඈ බලා සිටි ගමනකි. මෙතුවක් සිය පැතුම් ඉටු නොවුනු මේ යුවතියට ලොකු නැන්දා දීග දෙඩීමට එන පණිවිඩය පවා කර්ණ රසායන පුවතකි. ඈ සිත රබන් සුරල් වැයෙනු ඇසෙයි.

දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට කුන්ද කුඳත්තා....

රබන් පදය මට ඇහෙනව
ලොකු නැන්දා වඩින වෙලාවේ....

ඈ සිත රබන් සුරල් වැයෙනුයේ එලෙසිනි. ලොකු නැන්දා දීග දෙඩීම පිනිස එන වදන ඈ සිත මෙතරම් රබන් වයයි නම් ඒ දීගය හරි ගිය හොත් කොතරම් නම් සතුටකින් ඈ සිත පිරී යනු ඇතිද?
ඒ සතුට ගැන සෙවීමට පෙර ලොකු නැන්දා එන සතුට අසා සිටිමු.



විශාරද බී. වික්ටර් පෙරේරාගේ සොඳරු සංගීතයට නිමැවුනු මේ සොඳුරු ගීය ගියනයෙන් හැඩ කරණුයේ  චන්ද්‍රානි ගුණවර්ධන ය.



ඒ ගීතයත් සමගම ඊටම ගැලපෙන සේ ඈඳිය යුතු අන් කුමන ගීතයද මේ ගීතයට වඩා.

පුව තෙතෙයි පුව තෙතෙයි
ගෝනගලට මාව දෙතේයා....

මේ තමන්ට සුදුසු සහකරුවෙකු ලැබී විවාහය නියම වූ දිනෙන් දින විවාහය යමින් තිබූ ළඳකගේ සිත්හි ඇති වුණු ප්‍රීති ප්‍රමෝදයයි. ඩෝල්ටන් අල්විස් කවියා ඈ සිතේ ඇති මේ ප්‍රීතිය වැඩි විස්තරයක් නොකොට පහසුවෙන් කියා පාන්නේ ඇගේ පණිවිඩයට පෙර රබන් පදයක දෙපදක් ඇමිණීමෙනි.
මා මේ ගීයේ මුල් කොටස බලා මේ නම් විවාහය පමා වූ එකියකගේ සන්තුෂ්ඨියයැයි කියනුයේ කෙසේද? ඇත්තටම ඒ මුල් පද කිහිපය විමසා නොවේ. එය ඇත්තේ මතු ලියන පළමු අන්තරා කොටසෙහිය.

මගේ වයසෙ කළු කෙල්ලන්
ගමේ නැතේයා
ඒ ගොල්ලන් දීග ගිහින් දීග කතේයා
සිරි සැප දීග කතේයා....

අනෙක් කළු කෙල්ලන් දීග ගිය පසු අවසන ගමේ ඉතුරු වුණේ ඒ වයසේ ඈ පමණි. ගමේ සමහර වැඩිහිටි ගැහැනුන්ගේ ඇනුම් පදවලට ගොදුරු වූවා සේම ඈ දීග යන්නට බැරිව ගෙදරට නාකිවුණු එකියන්ට යම් සහනයක්ද ගෙන එන්නට ඇත. ඔවුන් ගිහින් කන දීගය කුමන රහදැයි ඇත්තටම ඈ නොදනී. මෙතුවක් නොලද සුව, ලද සුවයනට වඩා මිහිරකැයි සිතනා බැවිනි ඈ ඒ අනෙක් කෙල්ලන් ගොස් ඇත්තේ සිරි සැප දීගයකැයි ඈ සිතන්නේ.

මගේ දෑතෙ නටන කුල්ල
තාල දෙතේයා
හිතේ රැඳුන දහයිය පොතු
ඉගිල යතේයා....

මෙතෙක් ඈ කළ සියල්ල කළේ රොස් පරොස් සිතිනි. නිසි වයසට අවාහ විවාහ කරගන්නට අසමත් වුණු විට ඒ සිතුවිලි සාධාරණය. එහෙත් සිය ඉරණම් ගමන තීරණය වූ ඇති බව දැනුනු දා සිට ඈ අසීරු කාර්යයන් පවා කරණුයේ ප්‍රසන්න සිතිනි.. සිත තොසින් ඇති විට ජීවිතයේ සෑම දේට ම රිද්මයක් එක් වෙයි. කුල්ල දෑතේ නටනවා යැයි කියන්නේ එබැවිනි.
එමෙන්ම මෙතෙක් කල් කුල්ලෙන් පොලා ඈ ඉවත් කළ දහයියා පොතු ඉවත් වූයේ සහලින් පමණි. ඒවා ඇදී ගොස් බැඳුනේ ඇගේ තනිකඩ සිතෙහිය. දැන් ඒ දහයියා පොතු ගසා ගෙන යන සේ සුළඟක් හමා යයි.

මගේ ඉහේ මලක් පිපී
සුවඳ දෙතේයො
කියා ගන්න බැරි තරමට
සතුට සිතේයා...

මෙවැනි වාසනාවක් පෑදුනු විට ඉහේ මලක් පිපෙනවා යනුවෙන් වහරක් පවතී. ඒ මල නම් සිතේ සතුට සැනසීම ම නොවේද? පිපුණු මලකින් සුවඳ වෑහෙනවා සේම සතුට සොම්නස පිරුණු සිත් ද සුවඳ ය.

මේ ගීතය ඉතා සුන්දර එකක් වුව එය අසන්නට පෙන්විය හැකි මගක් මට නොවිය. එහෙත් ඒ උත්සාහය තවමත් අතහැර නැත. එවන් මගක් දන්නා පින්වතෙක් මට මග කියනු ඇත. එවිට මම ඔබටද ඒ මග පෙන්වමි.
ඩෝල්ටන් අල්විසුන් මේ සිදුවීම ලියන්නේ ගමේ කෙල්ලකගේ සිතුවිලි සමුදාය ඔස්සේය. අල්විසුන් හැදුනේ වැඩුනේ කොළඹ පරිසරයේ වුව, සිතුවිලි වලින් ඔහු ගැමියෙකි. මීට හේතුවක්ද තිබිය හැකිය. අදටත් කොළඹ අවට වුව, නාගරීකරණයට ලක්වුණු මහ පාර දෙපැත්තේ සිට කොයි පැත්තට වුව කෙටි දුරක් යන විට අර්ධ ගමත් අනතුරුව ගමත් හමුවන බැවිනි. නුගේගොඩ පසුකර දෙල්කඳ, විජේරාම, නාවින්න, මහරගම වැනි කොළඹට ඉතා ආසන්න ප්‍රදේශ වුව අද ද මෙය අසත්‍යයක් නොවේ. එසේ නම් එදා කොළඹට ගම මීටත් වඩා ළඟ වන්නට ඇත.
කෙසේ වෙතත්, සමහර ගැමියනට වඩා නගරයේ අල්විසුන් ගැමියෙකු බව කිව යුතුමය. මේ නාගරික ගැමියා හොඳ ගැමියෙකු වනවා සේම හොඳ හෙළයකුද වෙයි. අපි මෙතෙක් ඇසූ සම්පූර්ණ ගීතාවලියම ඒ ගැන අවශ්‍ය තරමටත් වඩා දෙස් දෙයි.
ඔහුගේ ගීත නිර්මාණ බොහෝ සේ සෞන්දර්යාත්මකය. විචිත්‍රය. එහෙත් සමහර ගීත වල ඒ සෞන්දර්යය සහ විචිත්‍ර බව තුළ සැඟවුණු දේශපාලන අර්ථයක්ද ඇත. අප ඒ දේශපාලන අර්ථය මෙතෙක් කියවූයේ බොහෝ සරලව ය. මතු පිටිනි. එය ගැඹුරින් කියවීමට මට වඩා වියත් අයෙක් ඉදිරිපත් වේවායි පතමි. එමෙන් ම ඒ සඳහා මීට වැඩි කාලයක්ද විමසීමේ ඉසිඹුවක්ද අවැසි වෙයි. මම ඒ තරම් වාසනාවන්ත නොවන්නෙමි.

ඇල් හේන දිගේ
පාන වගේ
කොයි යනවද නෑන මගේ

සෙවනැල්ල වගේ
යනෙන මගේ
දැලි ගෑවෙයි මූණෙ මගේ....

මේ සියල්ලම ගැමි ජීවිතයේ එදිනෙදා සිදුවීම් බැඳීම් විචිත්‍රවත්ව සටහන් කිරීම්ය. සිය සිත් ගත් යුවතියගේ සිත දිනා ගන්නා තෙක්ම ඇය යන එන තැන යාමත්, අයට රැකවරණය ලබා දෙමින් ඈ කැමැත්ත දිනා ගැනීමට උත්සාහ කිරීමත් ඒ කාලයේ ගමට අරුම දේ නොවේ. ඈ වෙනුවෙන් ඔහු වෙහෙසෙනු දකින විට සමර විට විවිධ අය ගම පුරා යම් යම් කයි කතන්දර  කීවද බොහෝ විට එයින් සිදුවනුයේ ඇය ඔහු සඳහා වෙන් කොට තැබුවාක් වැනි දෙයකි. ඉඳ හිට දුෂ්ටයින් නැතිවා නොවේ. එහෙත් සාමාන්‍යය එයයි.
කෙසේ වෙතත් මෙසේ තරුණෙක් තමනු පසු පස ආ සැනෙන් සිය බහ දීම සිදු නොවෙයි. ඔහු පිළිබඳ යම් විශ්වාසයක් ඇති වන තුරු ම ඈ සිය සිතුම් හෙළි නොකිරීමට වග බලා ගනී. එහෙත් ඉඳ හිට සියුම් ඉඟියකින් තමන් තුළ සපුරා අකමැත්තක් නැති බව දන්වා සිටී. එහෙත් සමස්ථයක් වශයෙන් ඈ පෙන්වන්නේ අකමැත්තකි.
ඉහත ගීත ඛණ්ඩය තුළ මේ කතාව මනාව නිරූපනය නොවන්නේද?

හේනේ ළිඳට මම යනවා
මා පසුපස ඔබ එනවා
ගම්මානය හිනැහෙනවා
ඔහේ ඔතැන නවතිනවා....

මේ ඈ සිය ව්‍යාජ අකමැත්තද ඒ අතරම ඔහු පිළිබඳ ව ඇති කැමැත්ත  නොකියා කියන අයුර ද යන දෙකම එකවර නිරූපනය වන විදිහයි.
මේ ගීතයේ ගැයුම කුමාරි බෝතොට සමග ප්‍රේමදාස මුදුන්කොටුව විසිනි.


ගීතය සංගීතවත් කොට ඇත්තේද ප්‍රේමදාස මුදුන්කොටුව විසින් ම ය.
මේ සංගීත රචනයේදී සංගීතඥයා විසින් යොවුන් වයසේ සිටින යුවතියකගේ හා යෞවනයෙකුගේ බාහිරින් නිරීක්ෂනය කළ හැකි හැසිරීම් රටාව සිය තනුව තුළින් ද නිරූපනය කරණු ලබයි.

ඇල් හේන දිගේ
පාන වගේ
කොයි යනවද නෑන මගේ

සෙවනැල්ල වගේ
යනෙන මගේ
දැලි ගෑවෙයි මූණෙ මගේ....

කොටස යම් වේග රිද්මයකින් වැයෙන අතරේ ඇය සිය හැඟීම් අවධාරණය කරමින් ගයන

හේනේ ළිඳට මම යනවා
මා පසුපස ඔබ එනවා
ගම්මානය හිනැහෙනවා
ඔහේ ඔතැන නවතිනවා....

කොටසේදී එම කොටස වැයෙන්නේ මද රිද්මයකට.
මේ අයුරින්ම ය ගීතයේ ඊ ළඟ කොටසේ තනුව නිර්මාණය සහ රිද්මය යෙදීම සිදු වන්නේ.

ඇයි ඔහොම අගේ
නෑනො මගේ
කරුණාවක් නැතුව වගේ.....

නියම කලට බහ දෙනවා
එතකොට සිත සැනසෙනවා
ඔබටත් හඳ පායනවා
අනේ එතෙක් ඉවසනවා.....

ඈ මෙහිදී බොහෝ දේ අවධාරණය කරණු ලබයි. ඉන් එකක් නම් නිසි කලට පෙර බහ දීමේ ආදිනවය. එවිට සබඳතා බිඳිය හැකිය. සිත් ද ඉන් බිඳේ. එහෙත් නිසි කලට බහ දීමෙන් කාගෙත් සිත් සැනසේ. එබැවින් ඇය කියනුයේ එතෙක් ඉවසන බවය. ඔහු ද ඉවසන්නේ නම් ඒ වන විට ඔහුගේ ද සිත සැනසෙන දෙයක් වනු ඇත. ඒ කාලය වන විට ඔහුට ඇයගේ කැමැත්ත ලැබෙන බව නොකියා කියයි.



නෙත් සඟලින් කියාපංකො
අනේ නෑනො කියාපංකො
මට නොකිව්ව ලස්සන ගීතේ

මම කොහොමද එය කියන්නෙ
හිතේ කව්ද කවි ලියන්නෙ
මලේ රුවට මල වටකර බමර විලාපේ

මේ ද තවත් එ වැනිම සුන්දර ගීතයකි. මෙහි ඇත්තේ නෑනා මස්සිනා ප්‍රේමය ආශ්‍රිතව ලියැවනු එකකි.
මේ නෑනා මෙතෙක් ඔහු බලාපොරොත්තුවෙන් සිටි ගීය ගයා නැත. ඔහු අයදින්නේ මුවින් ගයනු නො රිසි නම් නෙත් සඟලින් හෝ කියන ලෙසයි. නෙත් සඟලින් ගයන ගීත අනෙකුන්ට නම් නොඇසේ. එහෙත් පෙම්වතුනට ඇසේ.
ඈ කියනුයේ මලේ රුවට ඇදෙන ගී ගයන බමරුන් වෙනුවෙන් ඈ ගීත නොගයන බවකි.
ඊ ළඟට ඔහු තව දුරටත් අයදියි.

නෙත් සඟලින් කියාපංකො
අනේ නෑනො කියාපංකො
මට නොකිව්ව ලස්සන ගීතේ
නෙත් සඟලින්  නො කිව්ව ගීතේ

කළින් ඔහු අයැදියේ මුවින් නො ගැයූ ගීය නෙත් සඟලින් හෝ කියන ලෙස වුව මෙවර ඔහු අයදින්නේ නෙත් සඟලින් වත් නො කිව්ව ගීය නෙත් සඟලින් හෝ දැන්වත් කියන ලෙසට ය.

කණට තෝඩු කරට මාල
ඉනවට සළු සේල නැතිව
පැලේ පිලේ තනිවම හිඳ
මම කොහොමද එය කියන්නෙ
මා නොකිව්ව ලස්සන ගීතේ
නෙත් සඟලින් නොකිව්ව ගීතේ...

ඇය ඔහුට නොවලහා ම කියන්නේ තමන් මෙතෙක් බහ නොදෙන සැබෑම කතාවය. එනම් අත කර කණ කර හිඟ ඈ කෙලෙසක දීගෙක යන අදහස් හිතේ දරන්නද යන්නය. මේ සියළු දෑ ඈ තනිව උපයාගත යුතුව ඇති සේ ය.
ඩෝල්ටන්අල්විස් කවියාට ගෝචර වන ගැමි දිවියේ තවත් එක් සිදුවීමකි එසේ ගීතයට නැගෙන්නේ. එය එක් සිදුවීමක් වුවද එවන් සිදුවීම් ගැමි දිවියේ දුලබ නොවේ.


නෙත් සඟලින් කියාපංකො ගීතය අසමු.



ගීතය ඇසිය හැකි මගක් සොයා ගත නොහැකි වූයේ වුව මේ සටහනට ම මතු දැක්වෙන ගීතය ද ඇතුළත් කරගන්නට සිතුවේ මෙහි විමසූ අනෙක් ගීත සමග මේ ගීතයේ ඇති ගැලපුමයි.

මුතු මාල රුවන් පට සේල නැතත්
මම සෝක තැවුල් නොවෙමී

හඳ පාන ගලා යන මූණ පුරා
හස පාන ගියේ සොඳුරේ....

පෙර ගීතයේ කෙරුණු කතාවට විරුද්ධ අරුතකි මෙහි ඇත්තේ. එහි වූයේ මුතු මාල රුවන් පට සේල නොමැති නිසා බහ නොදෙන නෑනා කෙනෙකුගේ කතාවකි. මෙහි වන්නේ මුතු මාල රුවන් පට සේල නැතත් සෝක තැවුල් නොවන යුවලක් පිළිබඳව ය.

පන වාගෙ ළඟින් හිඳ කාලෙ ගෙවන්නට
රන් රස සේම වෙලී

සිත සෝක තැවුල් මතු කාල දිගේ
ගෙට ආව නමුත් බිය නෑ

ඔවුනගේ පැතුම පන වාගේ ළඟින් හිඳ සතුටින් සොම්නසින් කල් ගෙවීමය. එහි දී අනාගතයේ දිනක සෝ ලතැවුල් ගෙට ආවද ඒවාට නොබියව මුහුණ දී මැඩ පවත්වා ගත හැකිය යන විශ්වාසයෙන් ඔවුන් පසු වෙයි.

සුදු සිහින විමානය පාළු නොවී ඇත
මගේ හිතේ මැවිලා

බිඟු ගීත ගයා ගෙන රේණු හලා ගෙන
සුපිපි කුසුම් සනහයි

මේ ඩෝල්ටන් අල්විස් නාගරික ගැමි කවියා සිය නිර්මාණ ඔස්සේ ගම දකින අයුරයි. ගැමියන්ට පවා නියම ගම පෙන්වන අයුරයි.
තවත් මෙවන් නිර්මාණ විමසුම් කිහිපයකින් හමුවන තෙක් සමුගනිමි. කතා කළ යුතුම ඔහුගේ නිර්මාණ තවත් එමට ය.
-        යසනාත් ධම්මික බණ්ඩාර  -

සයවන කොටසට මේ ඔස්සේ පිවිසෙන්න. 

6 comments:

  1. / දෙසතියකට ආසන්න විරාමයකට පසුව නැවත අප මේ පිවිසෙන්නේ ඩෝල්ටන් අල්විසුන් විසින් ලියූ ගී පිළිබඳව කෙරන දුප්පත් විමසුම ටය. /

    යසනාත්, මෙතන දුප්පත් කියන වදනින් ඔබ අදහස් කලේ කුමක්ද? ඔබ අරුතකින් තොරව වදනක් නොයොදන බැවිනුයි මම එසේ විමසූයේ. මෙහි ඔබ සාකච්ඡා කොට ඇති ගීත ඇසීමට සැලැස්විය නොහැකිවූ නිසාවත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ..... ඔහු වැනි ගීත රචකයෙකුගේ ගී නිර්මාණ විමසුමට තරම් මා පොහොසත් නොවන බව කීමයි.
      ස්තුතියි විමසුමට.

      Delete
  2. කාලෙකට ඉහත අප රස වින්ඳ මේ ගීත එකතුව අද අහන්නට ලැබීමම සතුටක්. ස්තූතියි! ඔබට. මේ විමසුමට දුප්පත් විමසුම කීමට මගේ ද බලවත් විරෝධය. මෙවන් දෑ තව තවත් ලිවීමට ධෛර්යය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  3. නූතන පරම්පරාවෙ බොහෝ දෙනෙක් තමංගේ සෙවනැල්ල වැටෙන වපසරියෙන් පිට කිසි දෙයක් ගැන සොයන්නෙ නෑ.. කියවන්නෙ නෑ.. පරිශිලනය කරන්නෙ නෑ..
    ඒ නිසා එයාල ඊට එහා මුකුත් දන්නෙ නෑ..
    ව්‍යාකරණ දන්නෙත් නෑ.. භාෂාව දන්නෙත් නෑ.. තියෙන වචන සෙට් එකට එහා පණ ගැහෙන අකුරු තියෙනව කියල අහලවත් නෑ...
    දන්නැති නිසා හැඟීම් නෑ.. හැඟීම් නැති නිසා දැනෙන්නෙත් නෑ..
    අන්න ඒ මුකුත් නැති අය තමයි නිර්මාණ කියල වඩු වැඩ කරන්නෙ..
    නමුත් මේ පරම්පරාවෙන් එපිට අය ළඟ තිබිච්ච වචනවලට මොන තරම් දෙයක් කරන්න පුලුවන්ද කියල හොඳ උදාහරණ අපට අනන්තවත් දකින්න තියෙද්දිත් නූතන කවුරුවත් ඒව දිහා හැරිලවත් බලන්නෙ නැහැ..
    ඒ අකුරු මොන තරම් තෙත ද.. සුවඳ ද..බර ද..!!!

    ReplyDelete
  4. බොහොම සරල සුගම නිතර දකින වචන වලින් අගනා නිර්මාණ.. දුප්පත් කියුවට මේක පොහොසත් විමසුමක්..

    ReplyDelete
  5. මේ සටහන බුකියේ පොස්ටුවක දැමු විට ලැබුණා වූ වටිනා කොමෙන්ටුවක් මෙහි සටහන් කරන්න අවස්තාව දෙන්න ..
    //Prabath Rajasooriya - යසනාත් ධමිමික බන්ඩාරයෙන්ගේ මේ රස ගුලාව මහත් අභිරුචියකින් රසවින්දෙමි

    ඔබද ඇතුඵ නිර්මානකරුවන් විසින් හාවක්‌ හූවකින් තොරව නිහඩව පවත්වාගෙන යන මෙවන් බිලෝගයන් අප වැන්නවුන්ට දහස්‌ වටී

    බන්ඩාරයන්ගේ ගී විමසුම මා මෑත කාලයේ කියවූ රසවත්ම සටහන යෑයි මට සිතේ

    ඩෝල්ටන් අල්විස්‌ කවියාණන්ගේ සාහිත්‍ය රශ්මි ප්‍රභාව බන්ඩාරයන් විසින් දෙගුණ තෙගුණ නොව සියගුණයකින් පණගන්වනු ලැබ ඇත

    එහි සටහන් තබන්නට නොලැබුනු යමක්‌ සටහන් කරමින් මෙය අවසන් කරන්නට සිත්වී

    ්‍ර// මගේ දෑතෙ නටන කුල්ල
    තාල දෙතේයා
    හිතේ රැඳුන දහයිය පොතු
    ඉගිල යතේයා //

    මෙs කොටස වර්තමාන පරපුරේ අති බහුතර කොලු කෙළි ඇත්තෝ හා ඇතැමි විට ඔවුන්ගේ දෙගුරුන්ටද අණ්‌ඩර දෙමළයක්‌ විය හැකි බව නිසැකය

    කුල්ල ? ඒ මොකක්‌ද ???
    දහයියා ???? දසනායක අයියා ද ????

    ඒ ලෝ තතුය සියල්ල අනිත්‍යයය

    තවත් යමක්‌ කියමි

    ඔබ මෙතන සිටියා නමි බදාවැළඳ ගනිමි

    අප වැනි සාහිත හිගZන්නන් ට නිධානයන් වන
    මෙsවන් සුන්දර බිලෝගයන් වෙත අපව යොමුකරවන සත්කාර්යය ට

    පින්සිදු වෙsවා!!! //
    https://www.facebook.com/groups/1063823423631248/permalink/1212943675385888/?comment_id=1212981108715478&reply_comment_id=1212986252048297&notif_t=group_comment

    ReplyDelete