Sunday, August 30, 2015

සිඹැ සිඹැ මී අඹ මල් උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්








ජය අපටයි ලංකාවේ
අතන මෙතන කොතැන ගියත් ලංකාවේ
ජය අපටයි
ජය අපටයි
ජය අපටයි ලංකාවේ



වීර පුරන් අප්පු සිනමා කෘතිය සඳහා සදහා නිර්මාණය වුණු ගීයකි මෙය.
මෙම ගීය අසා නැත්තේනම් ඒ වත්මනෙහි දරුවන්ව සිටින අය පමණක්ම විය යුතුය. වත්මනෙහි තරුණන් පවා සමහර විට ඒ අතින් දරුවන්ය. එබැවින් ඔවුනද මේ ගීය අසා නැති වුවහොත් එය අරුමයක් නොවේ. අරුමයක් නොවුනාට එය කරුමයකි. කරුමය වන්නේ මේ තරුණන් සහ මේ ළමයින් අතීතය ගැන දන්නේ බොහෝම ටිකක් වීමය.
ඔවුන් සාහිත්‍යය ගැන නොදනී. අතීතයට වඩා පැරණී ඉතිහාසය ගැන නොදනී.
මේ දෙවදන ගැන මේ අස්සේම ටිකක් කතා කළ යුතුය.
අද කලා විෂය ධාරාව හදාරණ සිසුන් සියයක් අරගෙන සරල විමසුමක් කරන්න.  ඔවුන් කියවා ඇති නව කතා මොනවාදැයි විමසන්න. ඔවුන් කියවා ඇති කෙටි කතා මොනවදැයි විමසන්න. ඔවුන් නරඹා ඇති වේදිකා නාට්‍යය මොනවාදැයි විමසන්න. ඔවුන් කියවා ඇති කවි මොනවාදැයි විමසන්න. අනිවාර්යයෙන්ම සියයට අනූ පහක්ම කියවා ඇත්තේ විෂය නිර්දේෂයට අදාල පත පොත ටික පමණි. නරඹා ඇත්තේ විෂය නිර්දේෂයට අදාල නාට්‍යය පමණි.
වරක් මා පොත් කඩයකට ගොස් පොත් පත් තෝරණ අවස්ථාවක දැරිවියන් දෙදෙනෙක් පැමිණ මළගිය ඇත්තෝ සොයන්නට වින. මම, මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා කෘති දෙකම තෝරා ඔවුනට දී ඒ කෘති දෙකෙහි ඇති බැඳියාව පහදා ඒ දෙකම මිල දී ගෙන කියවන මෙන් ඔවුනට උපදෙසක් දුනිමි. ඔවුනගේ අදහස වූයේ විෂය නිර්දේශයට ඇත්තේ මළගිය ඇත්තෝ පමණක් බවය. එහෙත් පොත් දෙකම කිය වූ විට අනෙක් පොත විමසීමේ පහසුව ද කියා දී එමෙන්ම එය කියවීමෙන් ලබන රසය තනි පොතක් කියවීමෙන් ලබන රසයට වඩා දෙගුණයක් නොව කිහිප ගුණයක් යැයි පැහැදීමෙන් අනතුරුව මා ලද ප්‍රතිචාරය වූයේ සිත කලකිරවන එකකි.
අවඥාසහගත සිනාවකින් දමා ගැසූ ඔවුන් මගෙන් මදක් ඈත් වී හෙමිහිට පැවසූ දෙය වූයේ අපි ගන්න පොත් ගැන හොයන්න ඒ මිනිහට ඇති රුදාව මොකක්ද ? යන්නය. මේ ප්‍රතිචාරය නිසා ඔවුන් ළඟට ගොස් මට නම් ඇති රුදාවක් නෑ ළමයිනේ යැයි කීමට මට නොහැකි වූයේ ඒ පිළිබඳව ඇත්තෙන්ම මට රුදාවක් තිබූ නිසාය.
මෙවන් තරුණන්ය හෙට අපේ සමාජයට වැඩි හිටියන් වන්නේ.
මෙවන් ළමයින්ය හෙට අපේ සමාජයට තරුණන් වන්නේ.


දැන් නැවතත් ජය අපටයි ලංකාවේ ගීතයට හැරෙමු.

ඒරොප්පෙන් ආවා
සුද්දන් රට කෑවා
සුද්දන් කළු සුද්දන් අද
යුද්දෙන් බැට කෑවා...

මේ දක්වා නොයෙක් දේ කතා කරමින් පැමිණුනද තවමත් අපි මේ ගීතයේ නිර්මාණකරුවන් කවුරුන්දැයි විමසා නැත. ඒ විස්තරත් කියන්නේ නම් මේ ගීයේ තනු රචකයා පණ්ඩිත් අමරදේවයන් යැයි අසා කියවා ඇත. එහෙත් චිත්‍රපටයේ පසුබම් සංගීත රචකයා වනුයේ ආචාර්ය කේමදාසයන්ය. මෙය යම් අමුතු මිශ්‍රණයකි. ගීත නිර්මාණය අමරදේවයන් කරද්දී පසුබිම් සංගීතය කේමදාසයන් විසින් සිදුකිරීමයි.
එවිට මේ ගීතයේ රචකයා වනුයේ කවුරුන්ද? මේ ගීතයේ රචකයා අන් කිසිවෙක් නොව මගේ බ්ලොග් අඩවියේ පසුගිය ලිපි හතරක් තුළම සැරි සරමින් එය පොහොසත් කළ අරිසෙන් අහුබුදු ශූරීහුමය.


ඒ අනුව මේ, අරිසෙන් අහුබුදුවන් පිළිබඳව මාතින් ලියැවෙන කොටස් පහකින් යුතු දිගු ලිපියේ අවසන් කොටසට පිවිසුමයි.
අහුබුදුවන් පිළිබඳ නැවත නැවතත් කිව්වද සෑහීමකට පත් නොවන දේ නම් අලංකාර සිංහල බස් වහර අලංකාරව යොදා ගනිමින් සිය නිර්මාණ අත්‍යලංකාර කිරීමට ඔහු දක්වා ඇති සමර්ථ කමයි. ඒසමගම  සමර්ථකම වර්ණනා කිරිමට මගේ බස් වහරේ ඇති දුර්වල කමද කිව යුතුය.

ජය අපටයි ලංකාවේ ගීතය අසන්න. ( ශ්‍රවණ සහ දර්ශන තත්වයෙන් බාල විඩියෝව ගැන කමන්න).



අහුබුදුවන් ගේ ගී පිළිබඳ මේ දිගු හැඳින්වීමේ ලිපි පෙළේ පළමු කොටස් 4 මෙතෙක් නොකියවූ අයෙක් වේ නම් ඔවුන් සඳහා එහි පිවිසුම් මං පෙත් දැන් ඉදිරිපත් කරමි. අවශ්‍ය නම් එහි පිවිස කියවා මේ අවසන් කොටස කියවිය හැකිය.

1. http://www.yasanathsithuwili.blogspot.com/2015/07/blog-post_15.html


මේ පණ්ඩිත් අමරදේවයන් ගයන ගීතයකි.


ලොව්තුරු පෙම් වතුරේ
නාවමි ඔබ මිහිරේ..
ඔබ හද රජ මැදුරේ
සතපනු මා මිහිරේ.......

මේ ගීතය පිළිබඳව මගේ අදහස් ලියන්නට සැරසෙද්දී ප්‍රවීන ගීත රචක සහ විචාරක, සුනිල් සරත් පෙරේරා විසින් රචිත ලිපියක ඒ ගැන වූ කෙටි සටහනක් තිබෙනු දැක එය මෙලෙස උපුටා ගැන්මට සිතුවෙමි.


කුමාරතුංගයන් මතු කළ ප්‍රාණලීය භාෂා රීතියේ ගමන් කරමින් අරිසෙන් අහුබුදුහු ජන වහර, බස් වහර, ගැමි වහර ප්‍රයෝජනයට ගෙන ජන ගීතයෙන් අලුත් ආකෘති නිර්මාණ කරමින් ද නෙකාකාරයේ අත්හදා බැලීම් කළ ඒ අතර



ලොව්තුරු පෙම් වතුරේ
නාවමි ඔබ මිහිරේ
ඔබ හද රජ මැදුරේ
සතපනු මා මිහිරේ.......
දැක්විය හැකිය.

මුනිදාස කුමාරතුංගයන් ගේ හා අරිසෙන් අහුබුදුවන් ගේ ගී වල ඇත්තේ භාෂාවෙන් මතු කරගත් ‘ශුද්ධ’ රීතියකි. ඒවායෙහි උපමා රූපක බහුල නැත. මේ කලාපයේ කිසිදු භාෂාවක නැති කොමළ බවක් සිංහලයෙහි ඇත. එම කෝමළ බවින් උපරීම ප්‍රයෝජන ගත්තේ ඔවුහුය.

මා මන මංගල රන් ඕවිල්ලේ
ඔබ හා නැළැවෙන්නම්
රුති රුති සුවඳැති බැති මල් මාලා
ලා ඔබ සරසන්නම්

ආදර කිංකිණි ඔබ හඬවද්දී
පෙම් රඟ රඟදෙන්නම්
රස බස් වීණා තාල නඟන විට
ගීයෙන් නළවන්නම්

ලොව්තුරු පෙම් වතුරේ ගීතය අසන්න.


සිංහල බස සුකොමල බසකි. එහෙත් දැන් දැන් එම සුකොමල ගති පසෙකට ලා කර්කශ ගති එක් රැස්කර ගනිමින් ගල් බොරළු පිරි මගක බස රැගෙන යනයුරු ය පෙනෙන්නේ.
සමහර විට මහා සිංහල ප්‍රාඥයින් සේ සිංහලෙන් ලියනවා යැයි කියන දෑ හි වැඩියෙන්ම ඇත්තේ සිංහල නොවෙයි. පාලි සකු වැනි අන් බසකට අයිති එහෙත් දැන් සිංහලකරණය වී ඇති බසකි එය.
අහුබුදුවන් ප්‍රකට වන්නේ සුකොමල සිංහල බස සුමටව යොදා ගනිමින් සාදා ගන්නා ලද රචනා රීතියක් ඇත්තෙකු ලෙසටය. ඒ එවන් ගීත එකක් දෙකක් සඳහා නොවේ. සිය සියළු ගීත මෙම රීතියෙන් ලිවීමට හේ උත්සුක වෙයි. සහ සමත් වෙයි.
ඒ බසිනි ඔහු, දෙස ගැන කීවද රැස ගැන කීවද මව ගැන කීවද වහරන්නේ.
අප පෙරද වෙසෙසින් කතා කළ එවන් ගී අතර වැදූ මවු ගුණය පිළිබඳව ඔහු අතින් ලියැවුනු ගීතයක් නොවමසීමු.
අපි මවක් ගැන විමසීමු. ඒ ලක් මව ගැනය. එබැවින් වැදූ මව ගැන ඔහුගේ බස හැසිරී ඇත්තේ කෙසේ දැයි අපි විමසමු.

සිඟිති තොළින් මා
ඔබෙන් ඉරූ කිරි
ආදරයේ සුවඳයි අම්මා
ආදරයේ සුවඳයි අම්මා....

තමන් මවගෙන් ඉරූ කිරිවල සුවඳ මතයේ තබා ගෙන සිට පසුව ප්‍රකාශ කරන්නෙක් වේද?
මගේ පිලිතුර නම් නැතිය යන්නය.
එහෙත් ඒ කිරි කුමන සුවඳකින් යුක්තදැයි කෙනෙකු ඇසුව හොත් මතුවිය හැකි විවිධ පිලිතුරු අතරේ හොඳම පිලිතුර මෙය නොවේද?
මේ ආදරයේ සුවඳැති කිරි කොහේ සිට එන්නේද? අපි අහුබුදුවන්ගේ ම වචන වලින් බලමු.

හද සීත ගඟුලින් මතු වී
මෙත් කරුණා මුදිතා ගංගා
පෙමා තෙමා ලොව අමා නමාලන
මිනිස් බිමේ සමනොළ කන්දයි අම්මා.....

සමනොළ කන්ද අපට දැනෙන්නේ කෙලෙසද යන්නට පිලිතුරු හොයනවාටත් වඩා ඒ හා සම්බන්ධ භූ ගෝලීය කරුණු සිය ගීතයේ අධ්‍යාත්මයට ඔහු බද්ධ කරගන්නා අයුර විමසීමට වටී.
අපි දන්නා සමනොළ කන්ද මුදුණින් පැන නැගෙන ගංගා කිහිපයකි.




මහවැලි කැලණි කළු වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා.....

මේ ඒ ගංගාවන්ය. මේ ගංගාවන්ගෙන් කුමන ගංගාවේ ඉහළම ඉහළ තැනක්ද සීත ගඟුල යන්න මට මතක නැත. එහෙත් එහි සීත ගඟුලක් ඇති බව නොදන්නේ කවුරුන්ද.
සමනොළ කන්දටද, සිරිපතුළටද, සීත ගඟුලටද, එහි සියුම් වැලි කැටයක් ගල් කැටයක් පාසාද අප දී ඇති වන්දනීය බව කොතෙක්ද මෙන්න මේ සියල්ල අනා මුසු කරමිනි ඔහු සිය ගීතයට මා පෙර කී අධ්‍යාත්මික ගුණය ලැබ දෙන්නේ.
එතෙක්ද?
ඔහු මේ කියන මිනිස් බිමේ අම්මා නම් සමනොළ කන්දෙහි හදවත නම් සීත ගඟුලෙන් පැණ නඟින්නේ පෙර මා කී මහවැලි, කැළණි, කළු, වලවේ යන ගංගාවන් නොවේ.
මෛත්‍රී, කරුණා, මුදිතා නම් වන ගංගාවන්ය. ඒ ගංගාවන්ගේ දිය වන් ප්‍රේමයේ සිසිලසෙනි මුළු ලෝකයම නිවා සැනසුම ලබන්නේ.
මේ අයුරින් මවු ගුණය කියූ තවත් අයෙක් වෙත්ද? නැත.
මුළු ගීතය පුරාම ඇත්තේ මෙවැනි උතුම් ගුණයන් ඈ වෙනුවෙන් සොඳුරු වදනින් ලියා තැබීමයි

ඔබ ශාන්ති වාදී ගුණයේ
දරු සෙනෙහේ මහ අනුහසිනේ
දුකඳුර මිහිරක් විලසින් ඉවසන
මිනිස් බිමේ සමනොළ කන්දයි අම්මා.....

සිඟිති තොලින් මා ගීතය අසන්න.



මවු ගුණ ගීයකින් බුදුගුණ ගීයකට මාරු වුව හොත්, මේ ගීය බලන්න. මෙයද සංගීතවත් කොට ගයන්නේ පෙර ගීතයේදී සේම ආචාර්ය වික්ටර් රත්නායකයන්ය.



එහිදී ද මතුවන්නේ අහුබුදුවන්ගේ සුවිශේෂ භාෂා පෙළහරමය.

සිල්ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සතහට පෑ මවු පේම
සමිඳේ බුදු සමිඳේ

දිනිඳුන් සිල් නොගත්තේ නම් දැඩි රැසින් අප දවන බව නොරහසකි. එහෙත් සිල්ගත් දිනිඳගෙන් අපට ලැබෙනු ඇත්තේ තෙදවන්ත එහෙත් දැමුණු මිහිරි එළියකි. අහුබුදුවන් බුදු තෙද උපමා කරණුයේ එලෙස දැමුණු හිරු එළියටය.
සුනිල් සරත් පෙරේරා කිවිඳුන්ගේ කිවමනකින් අහුබුදුවන් ලියූ ගීයක් සරසන්නට උපුටා ගත් කොටසක වූයේ අහුබුදුවන්ගේ ගී වල උපමා රූපක සුලබ නොවන බවකි.
මුනිදාස කුමාරතුංගයන් ගේ හා අරිසෙන් අහුබුදුවන් ගේ ගී වල ඇත්තේ භාෂාවෙන් මතු කරගත් ‘ශුද්ධ’ රීතියකි. ඒවායෙහි උපමා රූපක බහුල නැත.
හේ කියයි.
එහෙත් ඉහත සියළු ගී විමසන කළ. විශේෂයෙන් මේ අවසානයට ලියූ මවු ගුණ ගීය සහ බුදු ගුණ ගීය විමසන කල එම ගී සුනිලුන්ගේ ඉහත ප්‍රකාශයට අභියෝග කරන්නේ යැයි මට සිතේ. මීටත් වඩා උපමා රූපක ගීයකට කුමකටද?

පා සරොසින් ඇතු නාලාගිරි
දණ බිමැ අන්නාලා
පෑ විසිතුරු බුදු ලීලා
මගෙ බුදු සමිඳේ
මා හිමි සමිඳේ                                

සිඳැ බිඳැලා මර පාස
නංවා සදහම් ගෝස
මොක් මග පෑ අවිසේස
මගෙ බුදු සමිඳේ
මා හිමි සමිඳේ      

සච්ඡකාලවක වාදේ
ජය ටැඹ කළ සිය පාදේ
සිඹිමි සිඹිමි සිරි පාදේ
මගෙ බුදු සමිඳේ
මා හිමි සමිඳේ....

සිල්ගත් දිනිඳුන් සේම ගීතය අසන්න.





ලතා වල්පොල  
මහත්මිය ගයන මේ ගීය එදා මෙන්ම අදද එක සේ ජනප්‍රියය. එදා යනු කෙදිනද? එදා යනු 1960ය.

සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පනිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා

මේ නම් නැළවිලි ගීයකි. මේ නැළවිලි ගීය අන්තර්ගත වනුනේ අප මීට පෙර මෙහි කලින් ලිපියක ද කතා කළ චිත්‍රපටයකය. ඒ නම් සංදේශය චිත්‍රපටයයි.
මේ ගීතයේ රචකයා අරිසෙන් අහුබුදුවන්මය. 

තනු රචනය සුනිල් ශාන්තයන්ගේ වන අතර



සංගීතය ආර්. මුත්තුසාමිගේ ය.





සුරංගනා වරු එ වලා කුල ඔසවා ගෙන එන්නේ
හඳ මාමයි හිනා සිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා


 හඳපානේ මඳ සුළඟයි ‍ඒ පනිවිඩ කියවන්නේ
අහසෙ ඉඳන් තරු අකුරෙන් ගෙනියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා


තව මූණකි පුතුගෙ වගේ කන්ද උඩින් බැබලෙන්නේ
ඒ මූණයි මේ මූණයි තව ටිකැකින් සිපගන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා

සංදේශයෙහි එන සියළුම ගී අදටත් ජනප්‍රියම තලයක පවතී. එසේ වන්නේ එම ගී වල වූ කුමණ වෙසෙස් ලකුණක් නිසාද?
ගීතයේ තනුව සහ සංගීතය නිසාවෙන්ද? නොඑසේ නම් එහි ගායනාවන්ගේ ඇති සුවිශේෂත්වය හේතුවෙන්ද? එසේත් නැති නම් ඒවා විශිෂ්ඨ ගීත රචනාවන් වන නිසාවෙන්ද?
මේ ගී වල ඇති ජනප්‍රියත්වයට හේතුව ඉහත කී සියළු ගුණයන්ගේ සම්මිශ්‍රණය නිසා යැයි කීවොත් වඩාත් නිවැරදි වන්නේ එයයි. එහෙත් මනරම් තනු නිර්මාණයකට ඇරියුම් කර ඇත්තේ වෙසෙස් ගී පද රචනය බව පැවසුව හොත් එය වරදක් විය නොහැක්කේමය.
සුදට සුදේ වළාකුලයි ගීතය අසන්න.



මේ සංදේශය චිත්‍රපටයේම එන තවත් අතිශය ජනප්‍රිය ගීයක් වෙයි. එයද ලතා වල්පොලගේම ගායනයකි. බලන්න මේ ගීය එවන් ජනප්‍රියත්වයක් සහිත එකක් නොවේද කියා.

රෑන ගිරා රෑන අඹේ මී බිබී
රන ගිරවී රන ගිරවයි සොයන්නේ.
ඇගෙ මිහිරා ඈව සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා තාම නෑ....

මේ ගීයද සුනිල් ශාන්තයන්ගේ තනු රචනයකි. සංගීතය ආර් මුත්තුසාමිගේ ය. කෙසේ වෙතත් අරිසෙන් අහුබුදුවන්ගේ රචනාව මෙවන් මධුර තනුවක් සහ සංගීත රචනයක් සඳහා එම නිර්මාණ කරුවන්ට බලකර සිටී.

ඕළු නිළී මාල ගෙතී පේළි වී
ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ
වන බමරා ඈ මැ සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා මාගේ සුදා තාම නෑ...

විල් කුමරී රැල්ල නඟා රඟාලා
ඇගෙ මිහිරා එන මඟමැයි බලන්නේ
කඳුරැළියා ඈමැ සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා මාගේ සුදා තාම නෑ...

ඔහුගේ ප්‍රේම ගී වල ප්‍රේමය සොඳුරුතම සිත්තමක් බවට පත් කරන්නේ අත්‍යලංකෘත පරිසර වර්ණනාවන්ගෙන් සිය ගීය සරසමිනි. මෙහි ඇත්තේද එය මය. ඒ පරිසර වර්ණනාව මනරම් වන්නා සේම බස හැසිරවීමද නොදෙවෙනි වූ කල ඉන් ලැබෙන්නේ ඵලය අමයුරුය.
මේ ගීය ප්‍රේම ගීයක් වුව එය චිත්‍රපටය තුළ ඉදිරිපත් වන්නේ ප්‍රේම ගීයක් ලෙසින් නොව කිසියම් නාටකයක ජවනිකාවක් ලෙසය. එබැවින් මේ ගීයේ මිහිර ගීය තනිව අසනවාට වඩා වඩා රූපය සමග අසද්දී ලැබෙනුයේ අඩුවෙන් බවය මගේ හැඟිම. මේ නිසාම මේ ගීතය අසන්නට හැකි විඩියෝ මං සලකුණු අතරේ එකී චිත්‍රපටයේ ජවනිකාව සහිත විඩියෝව මෙහිදී මවිසින් සිතා මතාම අමතක කළ බව කිව යුතුය.
රෑන ගිරා රෑන අඹේ මී බිබී ගීතය අසන්න.



අතු අගැ දිළි වන මල්
පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල් 




ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කොට ගැයෙන මේ ගීතය අහුබුදුවන්ගේ ගී මගෙහි බරැතිම මං සලකුණදැයි මට පැණයක් නැගෙන්නේ ඔහු ගැන කතා කරණ ඕනෑම අයෙක් මේ අතු අගැ දිලි වන මල් ගීතය කතා කිරීමට අමතක නොකරණ නිසාවෙනි. නැති නම් ප්‍රමුඛ තැනක ලා කතා කරණ හෙයිනි.
අහුබුදුවන් සිය ගී එකතු කොට නිමැ වූ කෘතිය අතු අගැ දිළි වන මල් නමින් නම් කර ඇති බැවින් එතුමන්ගේ පෞද්ගලික ප්‍රියතාව ඇත්තේද මේ ගීතයට යැයි අනුමාන කළ හැකිය. 


මේ මොන කතා කීවත් නොකීවත්, අතු අගැ දිලි වන මල් ගීයට ප්‍රිය නොකරන්නෙක් සිටිය හැකිද?
මේ ගීය මොන විදිහෙන් ගත්තත් රස උල්පතක්ම ය. අහුබුදුවන්ගේ විශිෂ්ඨ රචනය මතු නොව, අමරදේවයන්ගේ මධුරතර තනුව සහ සුමියුරු සංගීතය පෙළහරක්ම ය.
ඔහු එහි යොදා ගෙන ඇති සංගීත නාද සංයෝජනයන් තුළ ඇති නැවුම් වර්ණය පුදුමාකාරය. පළමු සංගීත ඛණ්ඩයෙන්ම රසිකයා මෝහනයට පත් කරණ සංගීතඥයා අනතුරුව සිය රසිකයාව සිහිනයක් බඳු වූ නිර්මාණ චාරිකාවක  රැගෙන යයි. නිර්මාණ චාරිකාවක් යැයි සඳහන් කළේ, මෙය කේවල ගීතයක් වුව එහි රසය කේවල නොවීම නිසාය.

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

ලිය වැලක් යම් සේ තුරක් අත්වාරුව ලෙස ගෙන වෙලී නැගෙයිද, ඔබ මගේ අත්වැලයි. මා හැමදාම වෙලෙන්නේ ඒ අත්වැලෙයි.......
මේ අදහස පිරිසිදු සුකොමළ හෙළ බසින් මීටත් වඩා අලංකාරව ලියන්නේ කෙලෙසද.
අනතුරුව ඇත්තේ එම බසින්ම ලියැවුණු පරිසර වැණමේත් පෙම් වැණුමේත් සම්මිශ්‍රණයකි.


සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුවෙනි කැරැ ලොල්

අහුබුදුවන්ගේ ගී වණන ඕනෑම කෙනෙකු ඔහුගේ ගී පද පෙළහරේ වෙසෙස්ම නිර්මාණය ලෙස මෙය හඳුන්වා දෙන්නේ මේ නොසිඳෙන රස උල්පත නිසාම විය යුතුය.
අතු අගැ දිලි වන මල් ගීතය අසන්න.



ආදර හසුන සලරුව ටෙරන්ස් රාජපක්ෂගේ නිෂ්පාදනයක් සහ එච්. ඩී. ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. එහි ප්‍රධාන චරිත මැවූවෝ ජෝ අබේවික්‍රමයන් සහ වසන්ති චතුරාණි ය.  


එහි සොඳුරුතම ගී දෙකක් වෙයි.
සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එළා....
ඉන් එක් ගීයකි.
මෙම සටහනට සෘජුව අදාල නොවණත් සොඳුරු ගීතයක් වන බැවින් එය අසා යමු.



එහි එන අනෙක් සොඳුරු ගීය නම් මේ සටහනට සෘජුව ම අදාල ය.
ඊට හේතුව වන්නේ ඒ ගීයේ රචකයා අප අරිසෙන් අහුබුදුවන් වීමය.
සිරිසේන වීරසේකර ගේ සංගීතයට සුනිල් එදිරිසිංහ  


සහ පිරිස විසිනි මේ ගීතය ගයන්නේ.

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වළාකුලේ සැඟවෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ...

හෑල්ලු ඔරුකඳ දිය මත පාවේ
නැත සිඳු පතුළේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර අද නොදැනේ
සොම්නස් සයුරේ පා වෙන්නේ...

මේ සලරුවට පරිසරය වන්නේ මුහුදු කරයයි. මුහුදුකරයේ මිනිසුනුයි. ඔවුනගේ දිවියේ විවිධ සිදුවීම් හැල හැප්පීම් මේ සලරුවේ දිග හැරෙයි.
මේ ඔවුන් සිය සුපුරුදු රස්සාවෙන් මිදී රන් දෙවොල වෙත මුහුදු ගමනින් යන වන්දනා ගමනක ජවනිකාවකි. ගීතය පුරා කියැවෙන්නේ ඔවුනගේ දිවියට ලද ඉසිඹුවේ ඔවුන් තුළ ඇති සැහැල්ලුවයි. ඒ සැහැල්ලුව මතින් මතුවන මිනිසත් බවේ සලකුණුයි.

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටමැ යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනැ-
සිල්ල සොයා යමු රන් දෙවොලේ....

මේ ගීතයේ ඇති වඩාත් සංවේදී තැනක් වන්නේ මී ළඟට යෙදෙන කොටසයි. ඔවුන් අද සිය බඩ රස්සාවේ නොයෙදෙයි. ඔවුන් බඩ රස්සාවේ යෙදුනේ නම්, ඔවුනගේ දිවිය ජීවත් කරවන්නට දහසක් මින් රළට දිවි පුදන්නට වෙයි. එහෙත් අද දිනය වෙනස් දිනයකි.
අද සිත් තුළ දෙවියන් රජ යන දවසකි. ඒ දවසේ මෙත් සිත් පෙම් සිත් වැඩේ. පැතිරේ. අද මාළුවන්ට ඔවුන් යාළුවන්ය.

සිත් තුළැ දෙවියන් රජ යන යාමේ
මෙත් සිත පෙම් සිත ලොවැ පැතිරේ
මාළුවනේ අපි යාළුවොනේ අද
පෙම් කෙළිමින් යමු දිය වතුරේ....

රන් දොවොලින් බැස එන් දෙයියෝ ගීතය අසමු.



ඉතින් දැඩි ව්‍යායාමයක් වන් ලේඛනයක අවසනට එළඹ තිබේ. අහුබුදුවන්ගේ ගී ගැන විමසුමක් නොව හැඳින්වීමක් පමණක් මෙවන් දුෂ්කර ව්‍යායාමයක් වුණි නම් ඒ ගැන ගැඹුරු විමසුමක් කිරීම කොතරම් දුෂ්කර කටයුත්තක් දැයි සිතේ. එහෙත් එවන් කටයුත්තකට මෙතෙක් අත ගසා නොතිබීම අඩුවකි. මේ ලිපි පෙළින් ඒ අඩුව අංශුවකින් වත් පිරේ දැයි මම නොදනිමි. එසේ වන්නේ දැයි ඔබෙන්ද නොඅසමි.
අහුබුදුවන් දැවැන්තයෙකු බව එකලද මා ඇදහූවකි. එහෙත් ඔහුගේ දැවැන්ත බව තවත් දැනුනේ මේ ලිපි පෙළ ලියන අතරතුරදීය. බස....බස හැසිරවීම.... ඒ හැසිරවීම මගින් තමන්ගේ පරිකල්පනය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සතුවූ නිර්මාණාත්මක ශක්තිය අති දැවැන්තය. ඒ දැවැන්ත බව සිතන විට මට මතකයට නැගෙන්නේ අමරදේවයන්ගේ
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්.... ගීතයයි. ඒ අනෙකක් නිසා නොවේ. එම ගීතයේ ඇති මේ පද කිහිපය නිසා වෙනි.

ඉහළ නිල් වන් අහස විනි විද
නැගෙන ඔබගේ යෝධ බුදු බව
මගේ නෙත සිත දෝවනය කර
මගේ කුදු බව පසක් කර ඇත.....

ඒ යෝධ බුදු බව අභියස ගීතයේ රචකයා තමන්ගේ කුදු බව වටහා ගත්තා සේම, අහුබුදුවන්ගේ යෝධ ප්‍රතිරූපය හමු වේ මමද මගේ කුදු බව පසක්කොට ගත් බව කිව යුතුයි.
මා අහුබුදුවන්ට මගේ මේ කුඩා වෑයම උපහාරයක් කොට පුදමි. එහෙත් අර කී කුදු බව හේතුවෙන් එය ඔහුට උපහාරයක් නො වී නම් කමා කරන්නැයි අයදිමි.
අහුබුදුවන් සිය දෙස රැස පිළිබඳව දැක් වූ අපමණ සෙනෙහස, දෙස රැස පිළිබඳ හැඟීම් ශිඝ්‍රයෙන් ගිලිහෙන සමාජයකට නැවත පෑම පිණිස, දෙස රැස පිළිබඳ අපමණ ඇල්මෙන් ඔහු විසින් ලියූ මේ ගීතය නිමාව සඳහා තෝරා ගතිමි.
මේ ගීතය ගයන්නේ ආචාර්ය අමරදේවයන් ය. එය සංගීතවත් කොට ඇත්තේ සුනිල් ශාන්තයන් බවට සමහර සටහන් හමු වුවද ඒ පිළිබඳව යම් විවාදයක් පවතී. ඒ විවාදය සාධාරණයැයි සිතෙන්නේ මේ තනුව සහ සංගීතය සුනිල් ශාන්තයන්ගේ ආරට වඩා අමරදේවයන් වෙත නැමියාවක් ඇති බැවිනි.
සමහර තතු දත්තෝ කියනුයේ මෙය අමරදේවයන්ගේ නිර්මාණයක් වන බවය. එහෙත් ගුවන් විදුලියේ අදාල තැටියේ සුනිල් ශාන්තයන්ගේ නම සටහන් වීමෙන් මේ අවුල මතුව ඇති බවයි.
කවුරුන් විසින් තනුව සහ සංගීතය රචනා කළද එය අභිමානවත් ගීයකි. දෙසට රැසට සත්‍ය පිදුමකි.

වන්දනීය වූ පූජනීය වූ
මාතෘ භූමි මණරම්

වන්දනීය වූ පූජනීය වූ
මාතෘ භූමි මණරම් රකිම්
මාතෘ භූමි මණරම්.....

උතුම් දෑ මවක් වෙනුවෙන් දැයේ සැබෑ දරුවන්ගේ කකියන පැතුම මෙය නොවේද?

කීර්ති රාවයෙන් සුපතළතුම්
උදාර සිතුවිලි බැමි මණරම්
රජ දරුවෝ හෙළ විරුවො
විරුවෝ
නිජ බිම සරු කෙරුවෝ
මාතෘ භූමි මණරම් රකිම්
මාතෘ භූමි මණරම්.....

එදා හෙළ බිම දිනුවේ ගොඩ නැගුවේ සරු කෙරුවේ ශ්‍රේෂ්ඨ රජුන්, විරුවන් සහ වැසියන්ය. එවන් මාතෘ භූමියක් රැකීම අද අප සතු යුතුකමකි.
එමෙන්ම එදා ශ්‍රී විභූතිය පිළිබඳදව වන ප්‍රබෝධයෙන්යුක්තව අපිද මේ බිම රැක ගත යුතුය. සරු කළ යුතුය.

ඒ ප්‍රබෝධයෙන් ශ්‍රී විභූතියෙන්
අපිදු නිබඳ කැප වී රට වෙනුවෙන්
සූර වීර ගති පෙන්වා දැන්
පුද දෙමු ශ්‍රමය සදා බැතියෙන්
හෙළ පුතුනේ
ලක් පුතුනේ
පුතුනේ
නිජ බිම සරු කරමූ
මාතෘ භූමි මණරම් රකිම්
මාතෘ භූමි මණරම්......

ගීතය අසමු.



-         යසනාත් ධම්මික බණ්ඩාර   -








11 comments:

  1. මෙවැනි දේ යුගයේ අවශ්‍යතාවයකි .....මේවා "අලුත් පරපුරට " කෙසේ වෙතත් මතු පරපුරට නම් නිසැකවම මෙවැනි තොරතුරු වටිනා දායාදයකි ..ඔබට බොහොමත්ම පින් .... ..
    ජයවේවා !!!!

    සුකො­මළ අකු­රින්
    බිඳ­ලොළ මිහි­රින්
    නොප­හළ පැහැ­රින්
    හෙළ බස'පේ
    හෙළ බස'පේ
    හෙළ බස'පේ
    හෙළ බස'පේ
    රකිමු ඔපේ
    මහ විරු නිරි­ඳුන්
    මහ පඬි කිවි­ඳුන්
    මහ යුදු මිගි­ඳුන්
    හෙළ රැස'පේ
    හෙළ රැස'පේ
    හෙළ රැස'පේ
    හෙළ රැස'පේ
    රකිමු ඔපේ
    වට කළ සයු­රින්
    සුල කළ අයු­රින්
    ලොප­තළ රුසි­රින්
    හෙළ දෙස'පේ
    හෙළ දෙස'පේ
    හෙළ දෙස'පේ
    හෙළ දෙස'පේ
    රකිමු ඔපේ
    නොත­බන අඩු තැන්
    නොප­තන වැඩි තැන්
    නොල­බන සම­තැන්
    තෙ රුවන'පේ
    තෙ රුවන'පේ
    තෙ රුවන'පේ
    තෙ රුවන'පේ
    රකිමු ඔපේ”

    පද රච­නය - කුමා­ර­තුංග මුනි­දාස
    ගී තනුව, සංගී­තය හා ගාය­නය - සුනිල් සාන්ත

    ReplyDelete
    Replies
    1. //// මේවා "අලුත් පරපුරට " කෙසේ වෙතත් මතු පරපුරට නම් නිසැකවම මෙවැනි තොරතුරු වටිනා දායාදයකි .////
      ඇත්ත. "අලුත් පරපුරට " මේවා නයාට අඳුකොළ මෙන් විය හැකියි. නැති නම් එසේ පෙන්වනවා. එහෙත් මේවා ඇස නොගැටුණ, අැස ගැටුණොත් විඳින වර්තමාන කරුණ පරපුරක් නැතැයි කියන්න බෑ. ඒ නිසා ඒ අයට යම් සංවේදනයක් ලබා දීමට උත්සාහ කරණවා. එමෙන්ම, මේවා විඳ හුරු පුරුදු, නමුත් මේ වන විට මතකයෙන් ඈත්ව ගිය අයගේ මතකයට යළිත් ගෙන ඒ මේ පුංචි උත්සාහයක්.
      ස්තුතියි.

      Delete
  2. //අහුබුදුවන්ගේ ගී ගැන විමසුමක් නොව හැඳින්වීමක් පමණක් මෙවන් දුෂ්කර ව්‍යායාමයක් වුණි නම් ඒ ගැන ගැඹුරු විමසුමක් කිරීම කොතරම් දුෂ්කර කටයුත්තක් දැයි සිතේ///
    //අහුබුදුවන්ගේ යෝධ ප්‍රතිරූපය හමු වේ මමද මගේ කුදු බව පසක්කොට ගත් බව කිව යුතුයි//
    මෙතරම් අගේ ඇති විවරණයක් තුලත් ඔබ ඔතරම් නිහතමානිව සිතන්නේ නම් මගේ කුදු බව ගැන කවර කතාද? ඇසෙ මතුවන ගීතය වගේම රෑන ගිරා, සුදු මුදු රල පෙළ ගීත දෙකත් මගේ ගීත දර්ශකයේ හැමදාම උඩින්ම.. ස්තුතියි.

    ReplyDelete
  3. හරිම රසවත් රචනාවක්..ඔබටම සුවිශේෂී අාරකට ලියැවුණු රසවත් ලිපියක්... ජයවේවා

    ReplyDelete
  4. සතියකට එක ලිපියක් හෝ ලිය හැකි වන තරමට විවේකයක් හිමි වේවා.........

    ReplyDelete
    Replies
    1. සතියකට එක් ලිපියක් ලියන්න බැරි නෑ. හැබැයි මෙවැනි ඒවා නොවෙයි. කෙටි ලිපි. මෙවැනි ලියුමකට ටිකක් අධ්‍යයනය කර නැවත මතකය අළුත් කරගන්න වෙනවා. මොකද නැති නම් ඉන් බරපතළ වරදක් විය හැකි නිසා. කෙසේ වෙතත්, සති දෙකකට විතර සැරයක් වත් ඇවිත් බලන්නකෝ. අළුත් යමක් හමු වේවි.
      ස්තුතියි.

      Delete
  5. අහම්බෙන් නෙත ගැටුණේ. හරිම රසවත් රචනා ශෛලියක් මෙන්ම තොරතුරු සමුදායක්.
    දිගටම එන්නම්.

    ReplyDelete
  6. ස්තුතියි. අනෙක් ලිපිද කියවන්න. නැවත එන්න.

    ReplyDelete
  7. මේ ලිපියේ මුල කොටස විතරක්වත් කියවපං කියල මට මග පෙන්නුවෙ මහේෂ් රත්නායක. හදිස්සිය නිසා මුල කොටස විතරක් කියවනව කියලයි ආවෙ. මුළු ලිපියම අත නෑර කියවමින් ඇවිත් තියන අදහසුත් බැලුවා. ඔබට ජයවේවා මහේෂ්ට ස්තුති වේවා

    ReplyDelete