Friday, April 3, 2015

නිල් නෙත් ද අනෝතත්ත විලද - ඔය ගලා හැලෙන්නේ කඳුළුද ආදරයද ( කිඳුරු ගීතය - තුන්වැනි කොටස )




යසනාත් ධම්මික බණ්ඩාර කියන නම ඉස්සර කාව්‍ය රසිකයින් අතරේ කියවුණු නමක්. ගීත රසිකයින් අතරට මේ නම පැමිණෙන්නේ ගීත කිහිපයක් හරහා. ඒකට මග පෑදෙන්නේ අනූව දශකයේ මැද භාගයේ සිට අවසන් ගමන් යනතෙක් ම විශාරද ගුණදාස කපුගේගේ ඇසුර ලබන්නට මා භාග්‍යවන්ත වූ බැවින්. මගේ ගීත රචනා නිසි ඇගයීමකට ලක් කළේ මුළින් ම ඔහු විසිනුයි. ඒවා බලා ඔහු කිවුවේ මෙම රචනා අනිවාර්යයෙන්ම ගායනා විය යුතු තත්වයේ තිබුණත් ඒ යුගයේ ගීත නිර්මාණය අඩුවීම නිසා ඔහුටවත් ඒ අවස්ථාව ලබා දිමට හැකිවේදැයි සැක සහිත බවයි. හැබැයි එසේ කියා  නොනැවතුණු ඔහු ඒ සඳහා යම් යෝජනාවක් කළා. ඒ තමයි අපි එකතුවෙලා ගීත පහක් හයක් පටිගත කරමු කියන යෝජනාව කිරීම.
හොඳ අදහසක් වුණත් ඒ අදහස ඉටු කරගැනීමට එකල විශ්ව විද්‍යාල සිසුවකු වූ මට ඒ තරම් මුදලක් කොහෙන්ද? නමුත් ඔහුගේ යෝජනාව අහක දාන්න බැරි එකක් බවට ඔහු ම පත්කළා.

යසනාත් මල්ලි, මම ගීත 2 ක් සංගීතවත් කරලා ගායනා කරණවා. මට උඹෙන් සල්ලි ඕනෑ නෑ... . ඊට අමතරව මම මාලනීටයි  එච්.එම්. ටයි කියන්නම් උදවු කරන්න කියලා. අනෙක් අය ගැන නම් මට කියන්න බෑ.
ඔහු ඉනුත් නොනැවතී පළමු පටිගත කිරීම සඳහා වන ශබ්දාගාර ගාස්තුවද මට නොකියා ම ගෙවා පැමිණ ඒ දිනයට ගොස් අදාල පටිගත කිරීම් කරණ ලෙස පැවසුවා. ඉතින් ඔහු විසින්ම මැවූ ඒ සිහිනය සැබෑ කරදීම සඳහා ඔහුම වෙහෙසුන අතරේ ඒ සදහා අනතුරුව මා මිතුරු නවරත්න ගමගේත් මාත් බොහෝ වෙහෙසුනා.
නවා සහ මම එකතු වී නිර්මාණ රැස් කරන්න පටන් ගත්තේ පළමු පටිගතකිරීම සඳහා. ඒ සඳහා ගෙවූ කාලය වෙහෙසකර නමුත් අතිශ්‍යයින් සුන්දර වුණා. මේ සියල්ල කලේ මා අවසන් වසරේ වෛද්‍ය සිසුවකුව සිටියදීයි. ඉතින් පළමු පටිගත කිරීම සඳහා ගීත 8 යි. වැඩි කොටසක සංගීත නිර්මාණ නවා ගේ.
මේ ගීත කිහිපයට අයිතිවුණු එක ගීතයක් ලිවුවේ නවා කළින් සෑදූ මෙලඩියකට. නැතිනම් තනුවකට වචන යොදමින් නිමැවුණු ගීතයක්. මෙහි ඇති විශේෂත්වය තමයි මේ තනුව නවා නිර්මාණය කළේ මවිසින් නවාට මුණගැස්වූ විශ්ව විද්‍යාල ගායිකාවක් වෙනුවෙන්. ඒ ජපුරේ නලමුදු සුවඳ ප්‍රසංගය සඳහා. අද ඇය විශේෂඥ වෛද්‍යවරියක්. එහෙත් එම තනුව ඇය විසින් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමකු ලැබුවා. මෙය ඉතා සුන්දර තනුවක්. ඇය එම තනුව ප්‍රතික්ෂේප කළේ ඇයිද යන්නත් මට අපැහැදිලියි. ඒත් නවා හිතේ එම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එක්තරා සිත් තැවුළක් තිබුණා. සමහරවිට එහෙම වුණේ එකල නවාලට අපිට නමක් නොතිබුණු නිසාද කියාත් නොහිතුනා නොවේ.
දැන් මෙම තැවුළ නිවා අවුළ ලිහිය යුත්තේත් මමමනේ. එනිසා මම නිතර මෙම තනුව අසමින් මුමුණමින් ඊට වචන අමුණන්න වෙහෙසුනා. කොපමණ වෙහෙසුනත් බැරිවුණා. එහෙත් එක් සැඳෑවක නිරායාසයෙන්ම මේ ගීතයට වචන පෙළ ගැහෙන්න පටන් ගත්තා.

ගාන තෙල් සඳුන් වරලස - පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග - ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

මේ ගිතයේ වචනයෙන් වචනය ගෙන පැහැදිලි කිරීම අවශ්‍යයැයි මම හිතන්නේ නෑ. තුරුණු වියේ ප්‍රේමය පිළිබඳ මට ඇති සමහර අත්දැකීම් කටුක වුවත් තුරුණු වියේ ප්‍රේමයෙහි ඇති සුන්දරත්වය පිළිබඳව මට ඉවක් නැතිවා නොවෙයි. ඒ නිසා ඒ තනුව ටිකෙන් ටික මගේ හිතේ ඇන්දේ  යෞවන ප්‍රේමයේ සුන්දරත්වය පිළිබඳ චිත්‍රයක්. එම තනුව ඉල්ලා සිටියේ එවැන්නක්. ඒ නිසාම මෙම ගීතයට යෙදූ වචන පිළිබඳව නවා මහත් සේ සතුටු වුණා. අපි ගීත නිර්මාණය කරන්න අතගැහැවුවා පමණයි. අපට විශාල විශ්වාසයක් ගොඩ නැගුණා මේ ගීතය අපේ ගමන් මගේ පළමු අඩිය වනවා සේ ම එය බර අඩියක් වන බව.  ඒ නිසා නවායි මමයි මේ ගිතයට සුදුසු ම හඬ කුමක්ද කියා කල්පනා කළා. ඒත් ඊට පෙර ගිතයේ ඉතිරි ටික ලිවිය යුතුයි. මම නැවත නැවතත්  තනුව අසමින් වචන ගැලපුවා.

සඳ හිනැහී එන යාමෙට - සුදු සඳ රැස් විලට බසින
සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුණු - අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු - මහේසිකාවී......

මේ ගීයට සුදුසුම හඬ හොයමින් යන අපට ඊට මද කාලයකට පෙරාතුව මහත් ජනප්‍රියවූ තුමුළ නමුණුකුළ ගිරි හිස ගීතය ගැයෙන හඬ මතක් වුණා. එය ගායනා කළ ගායකයා වූ සමන් ජයනාත් ජිනදාසය එය ගැයුමට සුදුස්සා යැයි අපි සැනින් ඒකමතික ව තීරනය කළෙමු. ඔහු එකල සේවය කළේ පැල්වත්ත සීනි සමාගමේ ඉංජිනේරුවකු ලෙසය.ඔහු බොහෝ දුර බැහැර සිටි නිසා ගීතය ගැන කතා කිරීමට ඔහුව මුණ ගැසීමේ හැකියාවක් අපට නොතිබුණි. 


දුන් දුරකථන ඇමතුමෙන් ඔහු දැක්කේ වචනවල වර්ණය පමණි. තනුවේ රහ ගැන අවබෝධයක් ගන්නට අවස්ථාවක් නොලැබුණි. ඔහු කෙළින්ම පැමිණියේ පටිගත කිරීම සඳහා සූදානම්වය. නුගේගොඩ දෙල්කඳ නෙකෝ ශබ්දාගාරයටය. ඔහු එම තනුව ඇසුවේ එදාමවුවත් ඉතා කෙටි පුහුණු වීමකින් අනතුරුව ඔහු විසින් ගයන ලද ගීතය මනරම් යැයි අපට හැඟිනි. ඒ සමගම අපට හැඟුනු දෙයක් වූයේ මේ ගීතය රසික සමාජය තුළ යම් පෙරලියක් කරණු ඇති බවය. සිතුවා සේම එම ගීතය ඊට සම්මාදම් වූ අපි තිදෙනාටම මේ සංගීත මාවත තුළ දිගු දුරක් ගෙන ගිය වාහනයක් වුණි. 

ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

සඳ හිනැහී එන යාමෙට - සුදු සඳ රැස් විලට බසින
සුනිල පියුම් පෙති නෙලමින - මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

වසන්තයේ හිරු හිනැහෙන - දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන - කාන්තියේ නෙත් දිදුලන
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
නුඹම නොවෙද සිත රජවුණු මහේසිකාවී......

පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - සමන් ජයනාත් ජිනදාස
මෙතැනින් ගීතය අසා යන්න.

මගේ එම මුල්ම ගීත ගොන්න අතරේ තිබුණා අස්ථිර සේවක විලාපය මැයෙන් මා ලියූ කවියකින් ගීත රචනාවක් බවට පත්කරගත් නිර්මානයක්. එම නිර්මානය ගායනකෙරවා ගන්නට හිතා හිටියේ මගේ පියාණන් සමග එකම දින රැකියාවට බැඳුණු මගේ පියාණන්ගේ මිතුරකු වූ ගායකයෙකු ලවාය. මේ ගීතය ඔහුගේ හඬින් ගැයෙනු අසන්නට මගේ පියාද මහත් ආශාවකින් සිටියේය. ඉතින් මම එතුමන්ගේ දුරකථන අංකය සොයාගෙන ජපුර සරසවිය අසල විජේරාම හන්දියේ කමියුනිකේෂන් එකකින් ඔහුට ඇමතුමක් ගතිමි.

සෝ........... අංකල් මම පොතුහැර නවරත්න බණ්ඩාර ගේ ලොකු පුතා. අර අංකල් එක්ක එකම දවසේ රස්සාවට බැඳුනේ... මගේ නම යසනාත් ධම්මික බණ්ඩාර.
ආ...ඇත්තද? මේ අපේ නවේගෙ පුතා!!!??? ඉතින් පුතා කොහොමද? මොනවද පුතා දැන් මොනවද කරන්නේ?

සෝ........... අංකල් මම දැන් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්... ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ

ශාහ්හ්.....! හරිම සන්තෝෂයි.....! ඉතින් පුතා අප්පච්චි එහෙම සනීපෙන්නේ නේද, පුතා අද මොකද කථා කළේ....?

සෝ......... අංකල් මම ටිකක් කවි ගීත ලියනවා....මගේ ගීත රචනා එකතු කරලා සී. ඩී. තැටියක් කරන්න සූදානම් වෙනවා. කපුගේ අයියත් ගීත 2 ක් ගායනා කරණවා. සෝ......... අංකල්ට කියලාත් එකක් ගායනාකරවා ගන්න තියෙනවා.

අනේ පුතා තරහ වෙන්න නම් එපා. අප්පච්චී සමග යාළුකම වෙනයි. මම මේ තත්වයට නමක් හදා ගත්තේ ලොකු වෙහෙසකින්... ආවට ගියාට කරණ වැඩවලින් ඒ නම කැත කරගන්න බෑ.

සෝ........ අංකල්...... එකවරම තීරණය කරන්න එපා.  ගීතය කියවලා බලලා තීරණයක් ගන්නකෝ... 

නෑ පුතා....  කාලය නාස්ති කරන්න ඕනෑ නෑනේ. ඔය සමන්ලා ජානකලා වගේ අළුත් ගායකයො ඕනෑ තරම් දැන් ඉන්නේ...ඒ කාටහරි දීලා කියවාගන්න පුළුවන්නේ.....

ඒ දුරකතන සංවාදය එතැනින් අවසන්වුණි. ඒත් ඒ ගීතය එතැනින් අවසන්වුණේ නෑ. සෝ........ අංකල් ගේ හඬ ඊට නොලැබුණත් ඒ ගීතය ගොඩක් දුර ගියා.
මේ ගැන  සඳහන් කිරීමේදී එම ගායකයාගේ නම සඳහන් නොකරනනැයි යම් මිතුරු මිතුරියන් පිරිසක් විසින් කරණ ලද ඉල්ලීම සලකා ඔහුගේ සම්පූර්ණ නම මෙහි නොලියමි. එහෙත් මගේ පෞද්ගලික අදහස නම් එවැන්නන් ගැන ලිවිය යුතුය යන්නයි. මක් නිසාද යත් ඔවුන් රසික සමාජය තුළ පෙන්වන්නේ අන් මුහුණක්  නිසාවෙනි.

මේ ගීතයේ මූලික තේමාව වුණේ වැඩමුර ක්‍රමයට රාජකාරි කරණු ලබන, ඉහළ නිලධාරීන්ගේ බල පරාක්‍රමය ඉදිරියේ හඬක් නැති, රැකියා සුරක්ෂිතතාවක් නැති අස්ථිර සේවා වල නියැලෙන්නන් පිළිබඳවයි.

නොනිදා ඉන්න එපා දේවී - මට එන්න වේද දේවී
මමත් නොවෙයි - දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී.......

ඔහු රජෙක් නොවෙයි...ඇය රජ බිසවකුත් නොවෙයි....ගීතයෙහිදී ඔහු ඇයට දේවී ලෙස හඳුන්වනු ලබන්නේ කිසියම් උත්ප්‍රාසයක් මතුකිරීම සඳහා පමණි. ඔහු රජෙක් නම් ඇය බිසවක් නම් ඔහුට හෝ ඇයට මෙවන් දුකක් අත් නොවනු ඇති.
එදා ඔහු කලකට පසු ගෙදර එන බව කියූ දවසක්. ඒත් ඔහු වෙනුවට සේවයේ යෙදිය යුතු පුද්ගලයා සේවයට නොපැමිණි නිසා වියයුතුයි ඔහුට කී ලෙසට නිවසට එන්නට අවසරය නොලැබෙන්නේ. කොතරම් කන්නලවු කළත් දුක්ගැනවිලි කිවුවත් ඔහුට නිවාඩුවක් ලැබෙන්නේ නෑ. මේ නිවාඩුව විතරක් නොවෙයි නැවත කෙදින එන්න වේදැයි යන්නත් ඔහු නොව දෙවියන්වත් දන්නේ නෑ. දන්නේ එකම එක කෙනයි. ඒ ඉහළ නිලදරුවායි. ඉතින් ඔහු ඇයට කියනවා නොනිදා ඉන්න එපා...... පළක් නෑ මට එන්න වෙයිද නැතිද කියන එක මම තියා දෙවියන්වත් දන්නේ නෑ කියලා.

හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා උණුවෙන
උණුසුමින් උණු නොවී
සෙල් මුවා හදවතට දුක්ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොවු දොර බිඳලන කඳුළු පල නැතී

උණුසුමට යකඩ වුවත් උණුවෙයි. එහෙත් පාෂාන උණු නොවෙයි. ගිනිගෙන අළු දූලි වුවද පාෂාණ උණු නොවෙයි. යකඩ වැනි හදවත් වුවත් කොයි මොහොතක හෝ දුක ඉදිරියේ උණුවනු ඇත. එහෙත් ගල් වැනි හදවත් කොයිතරම් දුකක් ඉදිරියේ  වුවත් උණු නොවෙයි. එබැවින් නෙත් විලේ ඉවුරු කඩා බිඳගෙන කඳූළු ගංගා පිටාර ගලන්නට හැඬුවත් ඉන් කිසිදු පළක් නොවෙයි.

හිරු සඳු සේ දරු රැකගෙන
පැණි රස සේ දුක් විඳගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළුගලේ පිටවී එන්නටත් බැරී
කටු ඇනී රිදුම්ටදන හදවත සමග නැවතෙමී....

ඇයත් දරුවනුත් දැක ගන්නට ඇති ආශාව කොතෙක් වුවද මේ පීඩාකාරී ආධිපත්‍යයට එරෙහිව අභියෝග කළ නොහැක්කේ සිය අඹු දරුවන් නිසාමය. ඇයත් දරුවනුත් රැකගැනීමට නම්  දහසක් දුක් ගැහැට උහුළමින් වුවද මේ ජීවන මාර්ගය රැකගත යුතුය. මේ පීඩක ක්‍රමය තනි පුද්ගල සටන් වලින් වෙනස් කළ නොහැකිය. එක්ව සටන් වදින තෙක් හුදකලා සටන් නොකර ඔවුනගේ අනාගතය වෙනුවෙන් තවදුරටත් ඔහු දුක් විඳිය යුතුව ඇත. එබැවින් කළුගලේ හිස ගසා නොපැමිණී තවදුරටත්මේ දුක්ගැහැට විදිමින් ඔහු රැඳී සිටිය යුතුවෙයි. මේ ගීතය එම ක්‍රමයට එරෙහි නිහඬ විරෝධතාවකි.

නොනිදා ඉන්න එපා දේවී - මට එන්න වේද දේවී
මමත් නොවෙයි - දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී.......

හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා වැගිරෙන
උණුසුමින් උණු නොවී
සෙල් මුවා හදවතට දුක්ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොවු දොර බිඳලන කඳුළු පල නැතී

හිරු සඳු සේ දරු රැකගෙන
පැණි රස සේ දුක් විඳගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී
කටු ඇනී රිදුම් දෙන හදවත සමග නැවතෙමී....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - රෝහණ වීරසිංහ
හඬ - ජානක වික්‍රමසිංහ






අහිංසකාවී ගීතයත් නොනිදා ඉන්න එපා දේවී ගීතයත් එම යුගයේ තවත් තරුණ පරපුරකට ක්ෂේත්‍රෙය් දොර කඩොළු හැරෙන්නට ඇරඹුමක් වූ ගීත 2 ක් වූ බව කීම අතිශයෝක්තියක් නොවෙයි. ඒවාගෙන් සමන් සහ ජානකගේ ගමන් මග ශක්තිමත් වූවා සේම පළමු ගීත කිහිපය තුළ එවැනි ගීත 2 ක් අඩංගුවීම නිසා මගේ ගමන් මගටද එය විශාල ආශිර්වාදයක් වුණි. එමෙන්ම එම ගීත අතර තිබුණු දිවුල්ගනේ විසින් ගායනා කළ අප මීට පෙර කථාකළ අර මෝදුවෙලා සිනා පුරණ ගීතයත්  එකල බොහෝ ජනප්‍රිය වුණා. එම ගීත තුනද කපුගේ සහ මාලනී එක්ව ගායනා කළ අප පසුව අසන ඉරබටු තරුව වගේ පායන්නම් ගීතයද එකම කාලයේ සිරස රස රිසි ගී වැඩ සටහනේ අංක 10 ටත් වඩා ඉහළ ස්ථාන 4 ක එකවරම රැඳීමට තරම් අවස්ථාවක් ලැබුවා. මුළින්ම ක්ෂේත්‍රයට පිවිසුනු ගීත රචකයෙකුගේ නිර්මාණ රැසකට එවැනි ඉහළ ප්‍රතිචාරයක් ආරම්භයේදිම ලැබීම මා ලද විශාල භාග්‍යයක්වුණා. එයම නරකට හිටි අවස්ථාත් නැතිවා නොවෙයි.
ගීතය අසා යන්න...


මී ළඟ ගීතය ද මගේ නම ගීත රචකයෙකු සේ ක්ෂේත්‍රයේ ස්ථාවර වීමට හේතු වූ ගීතයක්. එය වසර 15 – 16  ක් පුරා එක දිගට ජනප්‍රියත්වය රැක ගැනීමට සමත් වූ ගීතයක්. කෙසේ වෙතත් මේ ගීතය ගැනත් අතුරු කථාවක් තියෙනවා. මේ ගීතය සහ අරමෝදුවෙලා සිනාපුරණ කියන ගීත 2 ම නිර්මාණය කළේ මගේ කිඳුරු ගීතය සී. ඩී. තැටිය වෙනුවෙන් කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාට ගායනා කිරීම සඳහා. අපි වැඩිපුර හිතුවේ ඔහු විසින් මී ළඟට අපි අසන ගීතය ගයන්නට තෝරාගනී කියලයි. ඒත් වුණේ අනෙකක්. දිවුල්ගනේ ගායනා ශිල්පියා විසින් ගයන්නට කැමතිවුණේ අර මෝදු වෙලා සිනාපුරණ කියන ගීතයයි. තනුව සහ සංගීතය නිර්මානය කොට තිබූ මේ ගීතය ඉතිරි වුණා.

ඉතින් මේ ගීතය කාලයක් තිස්සේ කවුරුන්ටවත් නොදී සුදුසු කෙනෙක් ලැබෙනතුරු නවාත් මමත් තියාගෙන හිටියා. ඒ අතරේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නළ මුදු සුවඳ කලා මංගල්‍යෙය්දී  අමරදේව සම්මානයෙන් පිදුම් ලැබූ ඉමාන් පෙරේරා තම සී. ඩී. තැටයකට ගීත සොයමින් සිටියා. ඉමාන් සැබෑ දක්ෂ ගායකයෙක්. ඔහු වරක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හමුවී ගීත ඉල්ලා සිටි අවස්ථාවක ගීත සොය සොය ඔයතරම් වෙහෙසෙන්නේ ඇයි යසනාත් ධම්මික බණ්ඩාර ලා නිලාර් එන්  කාසිම් ලා මේ කැම්පස් එක තුළම ඉඳිද්දී යැයි ප්‍රකාශකර තිබුණා. 


මේ අනුව ඉමාන් මගෙන් ගීත ගැන ඇහුවාම මම මේ ගීතයත් තවත් ගීතයකුත් ඔහුට දුන්නා. ඒ ගීතය පෙරලා මටත් ඉමාන්ටත් නවාටත් වාසනාව ගෙන ආවා.

ප්‍රේමය පිලිබඳ එකල මට තිබුණේ කොතෙක් අමිහිරි අතදැකීම් වුවද ප්‍රේමයේ ඇති මිහිර හොඳින්වටහා ගැනීමේ හැකියාවක්ද මට තිබුණා. ඒ අනුව අපි හිතන විදිහට හිතන නව යොවුන් පෙම්වතෙක් තම පෙම්වතිය දකින ආකාරය පිළිබඳවයි මේ ගීතයෙන් කියවෙන්නේ.

සුවඳ මල් රේණු පිස එන - හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන - මීරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා........

ඔහුට ඇයව පෙනෙන්නේ සුවඳ මල් වලට හාදු දී එහි ඇති මෘදු සුවඳ තවරාගෙන හාත්පස සුවඳවත්කරමින් පවන් සලන සිහිල් සුළං රොදක් මෙනි.
ඔහුට ඇගේ සිනා හඬ ඇසෙන්නේ හිමිදිරියේ පරිසරයම රසවත් කරණ ගීත ගයන කුරුල්ලන්ගේ ගීපද පෙළ ලෙසයි.

මේ මල් රේණු  සුවඳ, සියොත් ගී නද තරම් නැවුම් සහ සුපිරිසුදු පරිසර වර්ණනාවක් වේද, ඔහුට ඇයද එතරම්ම නැවුම් හා සුපිරිසිදු වෙයි.

සීත පිණි වතුළ සඳවත - මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින -කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා....

සීතල පිණි වැකුණු සඳවතිය අඳුරු රෑ අහස එකළු කරන්නාක් මෙන් ඇයයි ඔහුගේ ජීවිතයේ රාත්‍රිය ට එළිය ගෙනෙන සඳවතිය....
ඒ සඳ කැල්මෙන් අලංකෘත නීල විල තලයක පිපී සැලෙන කුමුදු මලක සුසිනිඳ පෙති තරම් සුසිනිඳු කොපුල් තල ඇති ඔහුගේ හද විලේ පිපි කුමුද ඇයය.......

අරුණු දොරකඩින් නැග එන - උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරලියට දිව යන හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා....

ලෝකය පුරා අණසක පතුරුවා අඳුර රජ කරවා සිටි රාත්‍රිය පහන් කර ලෝකය ආලෝකවත් කළ අරුණ කිරණ සේ ජීවිතය පුරා වෙලාගත් අඳුර දුරු කර දවස පුබුදු කළ,  ඔහුගේ දිවයට සූර්ය කිරණ ඇයමය....
ජීවිතයේ විවිධ වූ දුක්ඛ දෝමනස්ස පළවා හැර ලෝකය නමැති කරලිය තුළ ජීවන රැඟුම පෑමට ඔහු හදට යෝධ ශක්තිය දෙන උල්පත ඇයය.....
මේ මගේ කාලයේ මම වැනි තරුණයන් තම දිවියට එකතුවන යුවතිය සතු වියයුතු ගුණාංග ගැණ සිතූ ආකාරයයි.

සුවඳ මල් රේණු පිස එන - හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන - මීරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා........

සීත පිණි වතුළ සඳවත - මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින -කොඳ මලක සුමුදු දලපෙති
කොපුළ් තලාවා....

අරුණු දොරකඩින් නැග එන - උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරලියට දිව යන හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - ඉමාන් පෙරේරා





මේ ගීතයට සංගිතය සැපයීමේදී අපි ගායකයා පිළිබඳව ගොඩක් හිතුවෙමු. ඉමාන් යනු සිංහල ජන සංගීතය පිළිබඳව මහා හැදෑරීමක් කළ සී. ද ඇස් කුලතිලකයින් යටතේ ජන සංගීතය පිළිබඳව හැදෑරූ කෙනෙකි. ඔහුට ජන ගායනා ඉතා හොඳින් ගැයීමේ හැකියාවක් තිබුණි. ඒ නිසා ම මෙම ගීතයට ජන සංගීත ආරට කිට්ටුවෙන් යන සංගීතයක් තමයි අපි යොදාගන්නට සිතුවේ. එය එහි පද පෙළ විසින් ඉල්ලා සිටින සංගීතයද වෙනවා. ඉතින් ගීතයේ සාර්ථකත්වයට එයද හේතු වෙන්නට ඇති.
සුවඳ මල් රේණු ගීතය අසා යන්න....

ඉමාන් මගේ හොඳ මිතුරෙක්. සරසවි සගයෙක්. එහෙත් මිතුරු කම නිසා නම් ගීත ගයා නෑ. මේ සුවඳ මල් රේණු ගීතය සමගම ඔහු මගෙන් තවත් ගී පද පෙළක් ඉල්ලා ගනු ලැබුවා. ඒ පද පෙළ දුටු සැනින් ඔහුගේ නිගමනය වුණේ එය රෝහණ වීරසිංහයන්ට සංගීත නිර්මාණය පිණිස දිය යුතු බවයි. ඇත්තටම මටද ඒ ගීතය සඳහා තිබුණේ එවැනිම අදහසක්. මෙහි ඇත්ළාන්තයට කිඳා බැස ඊට සුදුසුම සංගීත සංයෝජනය ඔහු විසින් දෙනු ඇතැයි යන විශ්වාසය අපට උවමණාවටත් වඩා තිබුණා. ඒ අනුව නිර්මාණය වුණු තනුව ඇසූ සැනින් එහි ඇත්තේ ගීතය ලියන වෙලාවේ මා තුළ වූ හැඟීම්ම නොවේ දැයි මට සිතුණා.

නොලැබ නුඹෙ සෙනේ දිවි දිය
කිඳුරා මියැදුනා
දැන් කඳුළු වලින් පලක් වේද කින්නරාවියේ

මේ ගීතයේ කියැවෙන්නේ මළගමක් ගැන නොවේ. එහෙත් මෙම ගීතයෙහි සිටින කිඳුරා නොමළත් මළාක් වැනි අභාග්‍යකට පත්ව ඇත. පත්ව ඇතැයි කී විට ඒ හරි දෙයම නොවේ. ඒ තත්වයට කිඳුරාව ඇද දමා ඇත. කිඳුරා මියගියා යැයි කියන්නේ එබැවිනි. කිඳුරාව ඒ තත්වයට ඇද දැමුවේ කවුරුන්ද? කලක් සිය සෙනෙහස පුද දෙමින් සිට හදිසියේ සියල්ල අවලංගු කර වෙනතක ගිය කින්නරාවක විසිනි. අනතුරුව කිඳුරා ගෙවූ කාලය බොහෝ දුක් බරය. 

මට මේ ගැන ලියද්දී මතකයට නැගුණු ජවනිකාවක් වෙයි. එම ජවනිකාව සහ මගේ මේ ගීතයට පදනම් වූ අත්දැකීම අතර ඇති වෙනස් කම් අපමණ වුවත් සිදුවීම් වල ඇරඹුම වශයෙන් ගත්විට එහි යටින් දුවන සමානකම් ද දකින නිසා ඒ ගැන සඳහන් කිරීමට සිත්වෙයි.

කියවන ඔබගෙන් සෑහෙන පිරිසක් එක්ටැම් ගේ සිතුවම් පටය නරඹා ඇතැයි සිතමි. එහි තනිවේවි එක්ටැම් ගේ ගීතය ගයන්නේ පසුබිමෙහි ප්‍රදීපාගාරයක් තුළ දිවෙන ජවනිකාවක් වන අතරේය. ප්‍රදීපාගාර භාරකරුය බිඳුනු හදවතක් සහිතව එහි තට්ට තනියම සිටින්නේ. ජවනිකාවේ නිරුපනය වන්නේ ඔහු බිඳුනු ප්‍රේමය නිසා ඇති වුණු  සිය දිවියෙහි පාළුව හුදකලාව මත්පැනට සහ දුම්වැටියට බාර දී ඇති අයුරකි. මේ අතර ඔහුගේ දිවිය එවන් තැනකට ඇද දැමූ යුවතිය ඔහු බැලීමට එහි පැමිණෙයි. අවමයෙන් සිය හිත හදා ගැනීමට හෝ සිය හදවතින්ම තමන්ට එල්ල වන චෝදනා සහ ශාප කිරීම් වලින් යම් තරමකින් මිදීමට හෝ ඇය පැමිණෙයි. එම ජවනිකාව අවසන ඇය වෙන්ව යන මොහොතේ ඔහුගේ ප්‍රතිචාරය වනුයේ කාරා කෙළ පිඩක් ගැසීමය. ඒ ජවනිකාවේ අවසන් මොහොත පිළිබඳව මගේ හිතේ ප්‍රශ්ණ කිරීමක් ඇත. එය එසේ වුවද මා මේ ගීතයේ කියනවා සේම සියල්ල සිදු වී අවසාන වූ පසු පශ්චාත් මරණ පරීක්ෂනයට පැමිණ හඬා වැලපීමෙන් ඇති ඵලක් නැත.

උන්මාද සිතුවම් නැගේ බිඳේ
මිහිදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ.......

ගීතය අසමින් ජවනිකාව නරඹමු.



බිඳුනු පෙමින් ගිනිගත් හදකට හුදකලාවේ මරනීය වේදනාව දැනෙන්නට එක්ටැම් මැදුරක තනිවිය යුතු ම නැත. දහස් ගණනක් සෙනඟ අතරේ වුව ඔහු හෝ ඇය සිටිනුයේ තනිවමය.

නැවත මගේ දැන් කඳුළු වලින් පලක් වේද කින්නරාවියේ ගීතයට එමු.
ඉහත ගීතයේ දැනුනු ඒ හුදකලාව කාන්සිය වියෝ දුක මගේ ගිතයේදීත් දැනෙනාවද කියා බලන්න. එය තරමකට වත් දැනුනේ නම් මම තරමකට හෝ සාර්ථක යැයි සිතමි. කෙසේ වෙතත් මා සංසංදනය පිණිස ගත් උන්මාද සිතුවම් මැවේ බිඳේ ගීතයේ ඇති දැවැන්ත බව නිසාම මා මේ සැසඳුමේදී අසාර්ථක අඟුටුමිට්ටෙකු වන්නට ඇති ඉඩක් පිළිබඳව බියක් මා සතුව නොවුනා නොවේ. එහෙත් ඒ ගැන සසඳන්න මට අන් දෙයක් මතක් නොවුනු බැවින් ඒ අනතුර භාර ගන්නට මා සිතුවෙමි.

නොලැබ නුඹෙ සෙනේ දිවි දිය
කිඳුරා මියැදුනා
දැන් කඳුළු වලින් පලක් වේද කින්නරාවියේ

නිල් නෙත් ද අනෝතත්ත විලද
ඔය ගලා හැලෙන්නේ
කඳුළුද ආදරයද
ආදරය වුණත් පලක් වේද කින්නරාවියේ
කින්නරාවියේ

සිත් මල ද මලේ සුවඳ පොදද
ඔය උතුරා යන්නේ
සුසුම්ද ආදරයද
ආදරය වුණත් පලක් වේද කින්නරාවියේ
කින්නරාවියේ
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - ඉමාන් පෙරේරා


මේ ගීතය වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී මගේ ගී අඩංගු ප්‍රසංගයක් වෙනුවෙන් ඉමාන් විසින් ගයන විට එහි සිටි සමකාලීන සගයින්ගෙන් සමහරෙකුගේ ඇස් කඳුලින් පිරෙනු මම ඇස් දෙකින්ම දුටුවෙමි. ඒ නිසා බහුතරයකට කෙසේ වෙතත් යම් පිරිසකට මේ ගීය දැනෙන බව මම දනිමි.
කිඳුරා මියගියා ගීතය අසමු.

මේ ඉහත ඉමාන් ගැයූ ගීත දෙකට අමතරව අවශ්‍ය නම් මිතුරුදම හේතුවෙන් අපට එකතු වී සෑහෙන ගණනක් ගීත නිර්මාණ කළ හැකි වුවත් මිතුරුදම පමණක් හේතුවෙන් ගීත නිර්මාණය කරන්නට අප නොසිතූ බව කීවෙමු. එබැවින් නැවත සෑහෙන කලක් යනතුරු අපේ එකතුවෙන් ගීයක් නිර්මානය කරන්නට නොයෙදුනි. එම අවශ්‍යතාව නැවත මතු වුණේ ඉමාන්, ඉමාන් නමින් සිය ගීත අඩංගු සංයුක්ත තැටියක් නිර්මාණය කරන්නට වූ විටය. 

යසේ...... අළුතින් සිංදු ටිකක් කළා. සී. ඩී. එකකට සෙට් වෙන්න බලාගෙන. උඹෙනුත් එකක් ඕනෑ. පුළුවන්නම් නවාත් එක්ක එකතු වෙලා හදලාම දියං.....

කියන විටම මා එසේ නවාට හදන්න කියා දෙන්නේ කුමන ගීතය දැයි තීරණය කොට හමාරය. එසේ තීරණයක් ගැනීමට පහසු වූයේ මා කලින් කටුවට ලියා තිබුණු ගීතයක් යම් දවසක කරන්නේ නම් එහි ගායනයට සුදුසු හඬවල් අතර ඉමාන්ගේ හඬද මුලින්ම හිතේ තිබූ එකක් වූ බැවිනි. ඒ අනුව ගීත රචනය නවා ට ලබා දුන්නත් නවා වැඩේට අතගසන බවක් නොපෙනුනි.

ළඟ නොඉඳ නවාගෙන් වැඩක් ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. නවා සහ මා එක්ව කළ නිර්මාණ අතුරින් බොහෝමයක් මා නවා ළඟ සිටිමින් බලෙන් මෙන් ඊට යොමු කර නිර්මාණය කරගත් ඒවාය. 

අවසාන පටිගත කිරීම් කරමින් සිටියත් නවා තවමත් සූදානම් නැත. ඒ ගැන කියන විට ප්‍රතිචාරය වූයේ චුක්... චුක්.... ගෑමය.

හිටහංකෝ..... යසේ..... මම කොහොම හරි කරන්නම්. ඒකට ටිකක් හිතලා මෙලඩියක් දාන්න ඕනෑ. මට නිකං ෆිල්ම් එකක ටෙලියක ගීතයකට එන ෆීලිං එක තියෙන්නේ. සාමාන්‍ය සරල ගීයකට යෙදෙන සංගීතයට වඩා වැඩි දෙයක් කරන්න ඕනෑ..... ඔළුව නිදහස් නෑ මචං.... ටිකක් හිතලා කරන්නම්...උඹේ එකක් නැතිව සී. ඩී. එක කෙරෙන්නේ නෑ....

මගේ ඉවසීම යම් තරමකට අවසන්ව තිබුණද නවාගේ වැඩ පිලිවෙල දන්නා නිසා ඉන් එහා දෙයක් කීහම පලක් නැත.

දිනක් එච්. එම්. ජයවර්ධන කියූ දෙයක් සිහි වෙයි. මරුවා එන වෙලාවයි මෙලඩියක් එන වෙලාවයි කාටවත් කියන්න බෑ. ඉතින් නවාටද එලෙස කොයි මොහොතක හෝ සුදුසු මෙලඩියක් ඔළුවට පැමිණ මගේ ගී පද ගීතයක් බවට පත් වේවායි සිතමින් තවත් කලක් ඉවසන්නට තීරණය කළෙමි. කෙසේ වෙතත් ගීත එකතුවෙහි වැඩ අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා නිම වූ ගීතය සදහා නවා ඒ ලෙස කාලය ගැනීම අසාධාරණ නොවේ යැයි එම ගීතය ඇසුවාට පසුව මට සිතුනි.
එයද ප්‍රේම ගීතයකි. ප්‍රේමයේ විරහව පිළිබඳ ගීතයකි. විරහ වේදනාව විඳ ගනු පිනිස ලොවට හොරෙන් වැලපෙන එහෙත් ලොවට පෙනෙන්නට හිනාවෙන අයෙකි එහි කතානායකයා. ඔහු කතාවක් කියයි. පරිසරයේ යම් යම් සිද්ධීන් ඇසුරින් ඔහු කතාවක් කියයි. ඔහු එම කතාව නොකීවේ නම් අන් කිසිවෙක් ඒ නම් සොබා සිදුවීම් ලෙසම මිස  සොබා සිදුවීම් වල ගැබ් වුණු මේ අරුත වටහා නොගන්නවාට සිකුරුය.

කියාවි ඇසුවොත් ඉඳුවර මල් නම්
එළිවෙන සමයේ පෙති මත දිලිසෙන පිනියැයි
මා කී විදිහට පිලිපැදි හින්දම
නොකියා මා නෙතු රැයට මුවා වී හැඬු වග රහසෙම
කියාවි ඇසුවොත් ඉඳුවර මල් නම් පිනියැයි

අරුණු උදයේ ඉඳුවර මල් මතට පිනි වැටී දිලිසෙන විට ඒ තරම් ලස්සනක් කොහි වේද? සෑම අයෙක්ම සිතනු ඇත්තේ ඒ පිනිම ලෙසටය. ඒ මත කඳුළක් වැටී දිලිසුනද සිතනු ඇත්තේ එලෙසටමය. එයට හේතුවකුත් ඇත. බැරිවීමකින් හෝ කෙනෙක් මේ පිනි නොව කඳළුය යන්න සැක කොට ඇසුව හොත් ඔහු ඉඳුවර මල් වලට කියා ඇත්තේ ඒ කඳුළු නොව පිනිම යැයි කීමටය.

හිත ගිය වරුණට මලට රුවට
ඉඳුවර මල් සුවඳට
කොහිද ඉසිඹුවක් සොයන්න කෙනෙකුට
පිනිද හැඬූ කඳුළුද මේ මල් මත
මා කී විදිහට පිලිපැදි හින්දම
කියාවි ඇසුවොත් ඉඳුවර මල් නම්
පිනියැයි......

වසඟවු නෙතකට අළුයම වට
දිනකර රැස් දහරට
කොහිද ඉසිඹුවක් සොයන්න කෙනෙකුට
පිනිද හැඬූ කඳුළුද මේ මල් මත
මා කී විදිහට පිලිපැදි හින්දම
කියාවි ඇසුවොත් ඉඳුවර මල් නම්
පිනියැයි......
පද - යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර - නවරත්න ගමගේ.
හඬ - ඉමාන් පෙරේරා.
ගීතය මෙතනින් අසමු.

හතරවැනි කොටසින් හමුවන අදහසිනුයි අදට නවතින්නේ,
- යසනාත් ධම්මික බණ්ඩාර -

2 comments:

  1. කපුගේ අපේ අයිතිවාසිකම...
    ගිතය අනර්ගයි

    ReplyDelete
  2. ඉතාම ආසාවෙන් කියෙව්වා. මදකට හිත නිවා ගන්න එන්නෙ මේ සිතුවිලි අසපුවට. ගීත හැම එකක්ම හරිම මනරම්. ප්‍රේමය විරහව වෙන්වීම කඳුල හැම දේකම සුන්දරත්වයක් තියෙනවා. නොලැබ නුඹෙ සෙනේ දිවි දිය........... ගීතය හා නොනිදා ඉන්න එපා දේවී - මට එන්න වේද දේවී ගීතයට ඇසුව දා සිටම ආදරය කරනවා. නොනිදා ඉන්න එපා දේවී අපේ ජීවිත වලටත් හරිම සමීපයි. මගෙ මහත්තයා මට හමු උනේ පිට රටකදී. සමහර දාට රාත්‍රියේ වැඩ වටෙනවා. එන වෙලාවක් මා දන්නෙ නෑ. ඒ උනත් එයා එන තෙක් මග බලා ඉන්නවා. අපේ විවාහ දිවියට අවුරුදු 31ක් ගතවෙලා. ඒත් තාම අපි ආදරෙන් ඉන්නවා. මේ ගීත අසනා හැම මොහොතෙම ඒ සුන්දරත්වය අත්විඳින්නෙ හදවතේ තියෙන සෙනෙහස නිසාවෙන් මයි. කෙනෙක්ගේ හදවතට සැනසෙන ගීයක් දෙන්න පුලුවන් එක ලොකුම පිනක්.

    ReplyDelete