ඉස්කෝලෙ යන
කාලෙ මගෙ යාළුවෙක් හිටියා අපේ පාසැල් බස් රථයෙන් ම යන එන. ඔහුට නැගණියක් හිටියා
ඉතාම සුන්දර... ඇය ඒ දවස්වල මට පෙනුනේ සුන්දරත්වය නිසාම උඩඟු වූ කිරිල්ලියක් වගේ... ඒ දිනවල බොහෝ සම වයස් තරුණයින්ගේ සිහින කුමරිය
ඇයයි.... ඒත් කිසිවෙක් ඇගේ පෙම පැතුවේ නෑ... බෑ කියන වචනය අහගන්න බැරි නිසා. ඈ
පසුව කාටහරි බහ දුන්නා දැයි මම දන්නේ නෑ.
ඈ රන් රුවැත්තියක්. මම උසස් පෙළ කරලා වෙන උසස් අධ්‍යාපනේට
යොමුවුණාට පසුව ඇයව දැකගන්න ලැබුණෙත් නෑ. මේය ඇය ගැන වර්ණනාවක් නොවේ. ඈ වැනි රන් රුවැත්තියක් ගැන වර්ණනාවකි. හැබැයි මට හැබැහින් හමු
වූ කෙනෙකු ගැනනම් නොවෙයි. සිතින් දුටු කෙනෙකු ගැන ය.
මේ ගීතයේ වචන
ලියනකොට මම උත්සාහ කළා ඒ වචන තුළින් වෙනම ශබ්ද රසයක් හොයන්න.
ඒකට හේතුවකුත්
තිබුණා.
ඒ දිනවල තමයි
මහැදුරු සුනිල් ආරියරත්නයන්
නෝනා
නාන්න නම් නාන්න නෝනා
නෝනා
නොනා නොනා නේන්න නෝනා
නම් වන ශබ්ද
රසය මත පමණත් පදනම් වුණු අරුත පැත්තෙන් බිංදුවක් හෝ බිංදුවට වඩා ටිකක් පමණක් ඇති
ගීතය නිර්මාණය කළේ.
මේ ගීතයේ පද
රචනා පාර්ශ්වය ගැන සහ නන්දා මාලිනිය මේ ගීතය
ගායනය කිරීම ගැන ප්‍රසාදවත් නොවන හැඟිමකුයි මා තුළ තිබුණේ. ඒ නිසාම ශබ්ද රසයත්
මතුවන අයුරින් එයට අර්ථයකුත් සැපයිය හැකිය යන අදහස තුළ පිහිටමින් තමයි ම විසින් මේ
ගීතය නිර්මාණය කළේ.
රුවැත්තී, සිතැත්තී, සොරාගත්තී, ප්‍රේමවන්තී වැනි වචන
එහිදී යොදාගෙන තිබෙනවා. තී...තී....තී... ලෙස අවසන් වන එම වචන වලින් යම් ශබ්ද
රසයක් මතුවන අතරේ ඊට ප්‍රේමනීය අදහසක් කවන්නට මා උත්සාහ කරණු ලැබුවා.
කෙසේ වෙතත් මේ
ශබද රසය මතුවන අයුරින් විවිධ ගීත රචකයින් යම් යම් වෙනස් ගීත රචනා කර ඇති බව සොයන
විට පසක් වෙනවා.
කවියන් ට පෙර
මේ ශබ්ද රසය භාවිත වහරෙහි යෙදෙන අවස්ථා ගමේ සමකාලීන කොල්ලෝ
කුරුට්ටන්ගෙන් මා පළමුව අසා ඇත. ඉන් එකකි,
ලෑලි
වලේ
ලූලා......
යන්න.
එවැනිම තවත්
එකකි,
චූටි
ට්චගෙ
චූටි
ටෝච්
එක.....
කවි ගීත
රචනාවලට ආවොත්, කුමාරතුංග මුනිදාස කිවිඳුන්ගෙන්
ඇරඹුව හොත්,
ලොල්
වඩමු
මල්
කඩමු
වැල්
ගොතමු
බෙල්ලෙ
ලමු....
යන කවියෙහිද
එවන් ශබ්ද රසයක් සමගින් අරුතක් මතුවනවා.
ඒ වගේම ජානක
වික්‍රමසිංහ ගයන මේ ගීතයේත් එවන් ශබ්ද රසයක් ජනිත වනවා.
නගේ
නුඹෙ සිරික්කියට
මුළු
වැයික්කියම
හිත
පයිත්තියං වී වගේ......
එහි ඇති වචන
වලින් මතුවන රසයේ මට්ටම වෙනස් වුවත් ඇත්තේ එවැන්නකි.
ඒ වගේම සංගීත්
විජේසූරිය ගයන මේ ගීතයෙත් යම් මට්ටමකින් එවන් රසයක් මතු වෙයි.
බඹර
වගේ විසේ කාරයා
මම
දෙඹර වගේ ගණනන් කාරයා
සමනලය
වාගේ හරි හැඩ කාරයා
මී
මැස්ස වාගේ හරි වැඩ කාරයා....
සංගීත් ම ගයන
මේ ගීතයේත් එවැනි ම රසයක් මතුකර ගත හැකිය.
මීයට
බෑ මී බඳින්න මී මැස්සට වාගේ......
ඉතින් එකම අක්ෂරය
විවිධ ස්වරූපයෙන් යොදාගෙන ශබ්ද රසය පමණක් ගෙන දෙනවාට වඩා ශබ්ද රසයද මතුවන අයුරින්
අර්ථ රසයකුත් මතුවේ නම් මැනවි ය යන්නය මා සිතුවේ.
මම මගේ ගීතයේ
අරුත ලිහන්නට නොයමි. එහි අරුත නොතේරෙන්නට තරම් සැඟවූ එකක් නොවන නිසාය. සරලව
වැටහෙනවා කාටත්.
මේ ගීතය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගයන්නේ වෛද්‍ය
ආනන්ද ගුණසේකර විසිනුයි. රන් රුවැත්තී ගීය
සඳහා රූප රචනයක් කෙරෙනවා රවීන්ද්‍ර මුණසිංහ විසින්.
එහෙත් මුළින්
කළ රූප රචනය ටික කාලෙකට පසුව වෙනසකට බඳුන් වෙනවා. ඒ වෙනසකට බඳුන් වූ රන් රුවැත්තී ගීතය
සඳහා පසුව කළ රූප රචනය සමගින් දකිමින් අසමු.
ඔය නම් මම
ලියපු රන් රුවැත්ති ගේ රූපය නොවෙයි.
ඔබ දුටුවේ ඔය
ගීතයට මුළින්ම කළ රූප රචනය නොවේ. මුළින්ම කළ රූප රචනය මා මෙහි පසුවට පෙන්වන්නම්.
මේ රූප රචනය, ගායකයා හෝ රූප රචකයා තුළ ගීත රචකයාගේ හදවත ක්‍රියාත්මක නොවන බවට එක්
උදාහරණයක්. එහෙත් මෙහි ඇති අභාග්‍යය වන්නේ ගීත රචකයාගේ හදවත ටික කලක් ඔවුන්ගේ
හදවත් තුළ ක්‍රියාත්මක වෙමින් පැවතී පසුවට එය වෙනස් වීමයි. එසේ කියන්නේ එහි
මුළින්ම කළ රූප රචනය කෙරෙහි මා තුළ පැහැදීමක් ඇතිව තිබූ නිසයි.
මා සිත තුළ
ජීවත් වූ රන් රුවැත්තිය මා උපන් හැදී වැඩුනු
ගැමි පරිසරයේ පිපි වන මලක් සේ සුන්දර රුවක් මිස අර රූප රචනයේ සිටින ආකාරයේ සංකර
යුවතියක් නොවේ. පසුවට පෙන්වන්නට සිටින එහෙත් මුළින්ම කළ රූප රචනයෙහි රඟන යුවතිය
යම් තරමකට මා සිත සිටි යුවතියට සමාන යැයි මගේ සිතට ට පිලිගත හැකිය. එහෙත් රුප
රචනයෙන් ඒ රුව පමණක් ඉවත් කර වෙනත් නොගැලපෙන රුවක් රූප රචනයට බලෙන් කාවද්දන්නට
ඔවුනට සිතුනේ ඇයි? මේ මට තවමත් ඇති ඔවුනගෙන් අසන්නට නොසිතෙක පැනයකි. එක්කෝ ඔවුන් (
ගායකයා හෝ රූප රචකයා ) මගේ හද හරියටම හැඳින නොසිටි නිසාය. නැති නම් ජනප්‍රියත්වය
සහ ට්‍රෙන්ඩ් එක කියන පාරිසරික සාධක වලට ඉව අල්ලා නිර්මාණය කිලිටි කරගත් නිසාය.
පළමුවෙන් කළ රූප රචනය ජන හදට සමීප නොවුනද මහදට සමීපය. දෙවැනිවට කළ රූප රචනය ජන හදට
සමීප වුවද ( එසේ වූවාදැයි නොදනිමි ) මහදට දුරස් ය. කිව යුත්තේ නිර්මාණකරුවාගේ හදට
සමීප වන්නේ ඊනියා ජනප්‍රිය නිර්මාණ ම නොවන බවය. ඒවා හෘදයංගම විය යුතු බවය.
රන් රුවැත්තී
මුළින්ම කළ රූප රචනය.
පද - යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර - ආචාර්ය රෝහණ වීරසිංහ.
හඬ - වෛද්‍ය ආනන්ද ගුණසේකර.
රූප රචනය - රවීන්ද්‍ර මුණසිංහ.
රත්න
ශ්‍රී විජේසිංහයන් විසින් රචිත
කපුගේ ගේ ගීතයක් තිබෙනවා මෙහෙම.
සොඳුර
නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඞන
මමද
ලිහිණියක වෙමි - කැඩුණු තටු පිරිමදින
අහිංසක
අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී
ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට
දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල
වයසින් මැරුණු - ප්‍රේමයකි තරු එළිය
මේ ගීතය මගේ
හදවතේ ඉතා තදින් ඇඳුණු ගීතයක්. දෙදෙනොම ඔවුනොවුන්ගේ ප්‍රේමකථාවලින් පරාජිතයින් ව
ඇත. එවැනි දෙදෙනෙකුගේ එක්වීම එක්වීමක් වී ඇතිද? ඇය රැයේ අඳුරට ගුළිව කඳුළු සයුරේ ගිලී සිටී. ඔහු ද සුසුම් ලමින් දිය සිඳී වේලී
ඉරිතැලූ ගංගාධාරයක ය. ඔවුනට එම ඉරණම අත්කර දුන් පාපය කළෝ කවුරුන්ද? සත්‍ය ප්‍රේමය
නමැති තාරකාව සඳක් සේ බබලන්නට පෙර මිය ගොස් ඇත. කාගේ හෝ වරදකින් එය සිදුව ඇත.
ඉතින් මේ පිළිබඳව සඳට දොස් කියා පළක් නැත....
මෙම ගීතය මසිත
ඇතිකළ කම්පනය නිසාදෝ මා අතින් මෙවැනි ගීතයක් ලියැවින. කෙසේ වෙතත් ඉහත ගීතයට මෙහි
සෘජු සම්බන්ධයක් නැත. ඒත් ඡායාවක් සේ එම ගීතයේ බලපෑම මෙහි ඇතැයි මට හිතෙනවා.
සඳ
කිඳුරු ලිය නුඹ
සඳ
කිඳුරාණ නුඹ
අහිමි
වූ - අහිමි වූ
පුන්
සඳ වත අහිමි වූ
සඳ
කිඳුරු ලිය නුඹ.......
මේ දෙදෙනාම
හරිම සමානයි..... සඳ කිඳුරන් වන නිසා.... ඒ වගේම තවත් සමාන කම් තියෙනවා... ඔවුන්
දෙදෙනාම මහමෙරක් බඳු දුක් කන්දරාවක් සිත්හි දරාගෙන සිටින නිසා. ඔවුන් දෙදෙනාටම
තමන්ගේ ආදරය නමැති ආකාසයේ පායා තිබූ පුන්සඳ මඩලවල් අහිමි වී ඇති නිසා...
මේ
ගං දෑලවර
මල්
- මල් උයන්තෙර
සිහිල
අහිමිව - වැලපෙනා
වැලපෙනා
සඳ
කිඳුරු ලිය නුඹ
සඳ
කිඳුරාණ නුඹ
ප්‍රථම ප්‍රේමය
සුන්දර ගංගාවක් නම් ඒ ගඟ අකල්හි සිඳී ගියේනම් සිසිල අහිමිව වැලපෙන, ගංගාධාරයෙහි
ඇති මල් උයන්වල මල් මෙන්ම මේ කිඳුරු යුවලටද තම තමන්ගේ ප්‍රථම ප්‍රේමය නමැති සිසිල අහිමිව වැලපෙන්නට
සිදුව ඇත.....
මේ
නිල් වියන යට
නිල්
විල් දියඹ මත
නිල්ල
අහිමිව - වැලපෙනා
වැලපෙනා
සඳ
කිඳුරු ලිය නුඹ
සඳ
කිඳුරාණ නුඹ
ප්‍රථම ප්‍රේමය
නිල්වන් අහසක් නම් ඒ අහසට නිල්ල අහිමිවූයේ නම්, ප්‍රථම ප්‍රේමය සුනිල්වන් දිය දරණ විලක් නම්
එවන් විලට එම නිල්ල අහමි වී නම්, ඒ අහස - ඒ විල් දිය වැලපෙනා සේ මේ කිඳුරු යුවලටද තම
තමන්ගේ ප්‍රථම ප්‍රේමය නමැති නිල්ල අහිමිව
වැලපෙන්නට සිදුව ඇත.....
මේ ගිතය ගැන
මා මේ අදහස් වරක් ෆේස් බුක් රසික සමාජයකට ඉදිරිපත් කළ විට මගේ මිතුරු ලැයිස්තුව
තුළ සිටින අතුල සිරිවර්ධන නමැති රසිකයෙක් ඊට
විරුද්ධව අදහස් දක්වමින් කියා සිටි දෙයක් මතක් වෙයි. ඒ නම්,
මගේ කිඳුරු
ගීතය කියන මේ නිර්මාණය සහ මගේ තවත් බොහෝ ගීත වළාකුළු බැම්මක් වැනි ඒකාකාරී පාදයෙන්
පාදය වෙනස් නොවන උත්කර්ශයක් නැති නිර්මාණ බවයි. එහෙත් රත්න
ශ්‍රී ගේ සොඳුර නුඹ ලිහිණියක ගීතය සෑ
රජිඳෙකු වැනි මට්ටමින් මට්ටම වෙනස් වෙමින් උත්කර්ශයකට යොමු වන ගීතයක් බවයි. ඒ
පිළිබඳව මා තර්ත නොකරමි. මගේ ගී රත්න ශ්‍රී ගේ
ගී ලෙස ම ඔහුට දැනිය යුතු යැයි හීනෙකිනුත් මා සිතා නැතියෙන. මා මෙහි කියන්නේ මේ
ගීතය සඳහා මට නිර්මාණාවේශය ලැබීමේදී රත්න ශ්‍රී
ගේ ඉහත නිර්මාණයත් විශාල ලෙස බලපෑවේය යන්නයි. වඩාත්ම මේ කරුණ ලියන්නට සිත් වූයේ අතුල සිරිවර්ධන වැන්නවුන් සමාජය තුළ අඩු වුවද
එවැන්නන් තව සිටිය හැකි බැවිනි. එවිට මගේ අදහස ඒ වැන්නන් හට වඩා පැහැදිලි වනු ඇත.
එවිට ඔවුනට ඒ ගැන වඩා වෙහෙසීමට සිදු නොවනු ඇත.
නැවතත් මගේ
ගීතයට යොමු වෙමු.
මේ දෙදෙනා එක්ව
ගයන්නේ වෙන් වෙන්ව ඔවුනොවුන් අත්විඳි ප්‍රථම ප්‍රේම වියෝව නොව දැනුනු ප්‍රේමයේ
වියෝ ගීතයයි.....
ගීතය තුළ කිඳුරාට සහ කිඳුරියට පණ පොවන්නේ කිත්සිරි ජයසේකර සහ හේමන්ති රණසිංහ යි. ඒ නවරත්න ගමගේ ගේ සංගීතයට.
සඳ
කිඳුරු ලිය නුඹ
සඳ
කිඳුරාණ නුඹ
අහිමි
වූ - අහිමි වූ
පුන්
සඳ වත අහිමි වූ
සඳ
කිඳුරු ලිය නුඹ.......
මේ
ගං දෑලවර
මල්
- මල් උයන්තෙර
සිහිල
අහිමිව - වැලපෙනා
වැලපෙනා
සඳ
කිඳුරු ලිය නුඹ
මේ
නිල් වියන යට
නිල්
විල් දියඹ මත
නිල්ල
අහිමිව - වැලපෙනා
වැලපෙනා
සඳ
කිඳුරු ලිය නුඹ
පද - යසනාත් ධම්මික
බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - කිත්සිරි ජයසේකර / හේමන්ති රණසිංහ
මේ ළදක් ගැන
ලියැවුණු ගීතයක්. ඇය සුන්දර ළඳකි. දුටුවෙකුට තව වරක් නොව කිහිප වරක් හැරී බැලීම
සිතන සුන්දර ළඳකි. ඇය කෙනෙකු හා පෙමින් බැඳී ඇත. පෙමින් බැඳුනද ඔවුනගේ අංක එක අධ්‍යාපනයය.
එහෙත් ප්‍රේමය අංක දෙකට තුනටවත් නොවුණා කීවොත් වැරදිය. ප්‍රේම කරණවා යැයි කියමින්
දෙදෙනාගේ අංක එකේ අරමුණට බාධාවන කිසිවක් නොකිරීම ඔහුගේ අරමුණ විය. ඇගේ අරමුණ
අනෙකක් විනැයි ඉන් අදහස් නොවේ. එහෙත් ඈ සතු රූප කාය ඒ අරමුණ කෙරෙහි බැඳුනු ඔහුගේ දැහැනට
වරින් වර බාධා කරයි. ඇගේ ඇගේ අඳුම් පැළඳුම් විලාසිතාද මේ දැහැනින් ඔහු මුදවන්ට වලි
කයි. හරියට මෙසේය.
පෙණ දමමින්
උතුරණ බීර ඔඩමක් දිව නොගා ඒ දෙස බලා සිටින්නට වීම මත් ලෝලියෙකුට නම් භාවනාවක්ම ය.
හිරිමල්
යෞවනයේ අවදිවන විවිධ උද්වේගකර හැඟුම් හමුවේ ඇය ඔහු ළඟ සිටින විට අංක එක අරමුණ වෙත
දැහැන්ගත වීමද එවැනිම දුෂ්කර භාවනාවකි.
පෙර කී ලෙස ඈ
වර ඔහුගේ මේ භාවනාවට බාධා කළාය. ඒ ඇයත් නොදැණුවත්වමය.
තරමක් පමණ
ඉක්මවා කර කපා ඈ අඳින සමහර ඇඳුම් අතරින් ඇගේ තුනු රූ සපුව දිස්වෙයි. භාවනාවට එරෙහි
වෙයි..... ඔහු හැඟුම් පුබුදුවයි. ප්‍රයත්නයකින් නැවත භාවනාවේ කිමිදෙයි. හැඟුම්
යටපත් කරයි.
පෙම්වතා ඒ
හැඟුම් වලට බිය වෙයි. ඒ ඔහුට හැඟීම් දැනීම් නැති නිසා නොවේ. අංක එකේ අරමුණ නමැති
අර භාවනාව සුරැකීමට ඔහු තුළ වූ කැමැත්ත නිසා ය.
ඇගේ එවැනි
ඇදුම් පිළිබඳව ඇය හා රණ්ඩුවූ වාර බොහෝ තිබෙන්නට ඇත. මේ එවන් පෙම්වතෙක් කවියෙකු
වූවා නම් ඔහු අතින් ලියැවෙන්නට ඉඩ ඇති කවියයි.
අනුරාගිනී
- නොබලන්න මා දෙස
මා
හද දැවෙයි - ඔය රාග ගිනි වැද
ආලය
නැසෙයි - අනුරාග හද ළඟ
අනුරාගිනී
- නොබලන්න මා දෙස
නොබලන්න
මා දෙස
වෙනත් වෙලාවක
ඈ ඔහුට උවැසියකි.... එහෙත් මෙහෙම එනවිට ඈ පෙනෙනුයේ අනුරාගිනියක් ලෙසය.... ඇගේ ඒ
පෙනුමට ඔහු බිය වෙයි. භාවනාව කැඩෙතැයි බිය වෙයි.
ඈ බැල්මෙන්
ඔහු හදවත ගින්නකින් දැවෙයි. ඒ ගින්නට කියන නම අනුරාගයි. අනුරාගයෙන් මත් වූ සිත ළඟ
ආදරය මියැදෙතැයි ඔහු බිය වෙයි.
ආදරය නසා
අනුරාගය ජීවත් කරවන්නට ඔහු අකමැති වෙයි. ඔහු අයැදියි. ඔය වැනි නුරා බැල්මෙන් සිත
ගිනි නොඅවුලන මෙන් අයැදියි.
අනුරාගිනී
- ළැම නීල දියවිල
මන
මෝහිනී - තුණු - පූර්ණ - රණ හස
මා
කළඹවයි - සමවැදුණු දම් බිඳ
කැළඹුණු
හදේ - මුදු ආල දම් නැත
අනුරාගිනී
- නොබලන්න මා දෙස.....
අනුරාගී ඇගේ
සුන්දර පිරුණු ළැම - පුළුලු උකුළ ඔහු අසීරුවෙන් සමවැදි ධර්මය සිඳ බිඳ දමා මසිත කළඹවාලයි. එලෙස කැළඹුණු හදේ
රාගී සිතුවිලි මිස මෘදු සුමුදු ආදරයක් නොරැඳෙයි. එබැවින් සොඳුරු යුවතිය ඔවැනි
බැල්මකින් මා අවුළුවාලීමෙන් වැලකුණ මැනවැයි ඔහු අයදියි....
අනුරාගිනී
- යස තාල සිහිනිඟ
අති
ශෝබනී - පුළුළුකුළ රිය සක
මා
කළඹවයි - හද විලම බොර කර
ඒ
බොරදියේ - සුදු ආල දිය නැත
අනුරාගිනී
- නොබලන්න මා දෙස.....
අනුරාගී නුඹේ
තාලයට රඟ දෙන්නාක් බඳු සිහින් ඉඟටිය - අතිශයින් සිත් පැහැර ගන්නා සුළු පුළුල්
උකුළ ඔහු හදවත නමැති සුපිරිසිදු දිය දරණ
විල කලඹවාලයි. එලෙස කැළඹුණු සිතේ ආදරය
නමැති සුපිරිසිදු දිය නොරඳයි. රාගය නමැති බොරදිය ම මතුවෙයි. එබැවින් සොඳුරු යුවතිය
ඔවැනි බැල්මකින් මා අවුළුවාලීමෙන් වැලකුණ මැනවැයි ඔහු අයදියි.
අනුරාගිනී
- නොබලන්න මා දෙස
මා
හද දැවෙයි - ඔය රාග ගිනි වැද
ආලය
නැසෙයි - අනුරාග හද ළඟ
අනුරාගිනී
- නොබලන්න මා දෙස
නොබලන්න
මා දෙස
අනුරාගිනී
- ළැම නීල දියවිල
මන
මෝහිනී - තුණු - පූර්ණ - රණ හස
මා
කළඹවයි - සමවැදුණු දම් බිඳ
කැළඹුණු
හදේ - මුදු ආල දම් නැත
අනුරාගිනී
- නොබලන්න මා දෙස.....
අනුරාගිනී
- යස තාල සිහිනිඟ
අති
ශෝබනී - පුළුළුකුළ රියසක
මා
කළඹවයි - හද විලම බොර කර
ඒ
බොරදියේ - සුදු ආල දිය නැත
අනුරාගිනී
- නොබලන්න මා දෙස.....
පද - යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර - නවරත්න ගමගේ සමග සුරේෂ්
මාලියැද්දේ.
හඬ - සමන් ජයනාත් සමග ඉන්දිකා
උපමාලි.
ගීතය අසමු.
විශේෂයෙන් කිව
යුතුය. මේ මගේ නිර්මාණයකට සුරේෂ් මාලියැද්දේ දායක
වන පළමු වතාවයි. ඉන් අනතුරුව ගීත කිහිපයක් එක්ව කිරීමට ඒ හඳුනා ගැනීම ප්‍රයෝජනවත්
වෙයි. මිට පෙර කොටසක ඔහු හා එක්ව කරන්නට යෙදුනු අමරසිරි
පීරිසුන් ගේ මේ ආලවන්ත වීදියේ ගීතය ඒ
හඳුනා ගැනීම අනුව කෙරුනකි. මතක් කළ නිසාම නැවත එම ගීතය මෙහි අමුණමි.
අමරසිරි
පීරිස් යනු වර්තමාන ගායකයින් අතර විශිෂ්ඨතමයා කියන එකට කවුරුත්
වාදයක පටලැවෙන එකක් නැත කියාය මා සිතන්නේ. ඒ ගායකයා විසින් කෙනෙකුගේ ගීත කිහිපයක්
ගායනා කරණවා නම් එය ඔහු හෝ ඇය ලබන වාසනාවකි. මට ද එම වාසනාව හිමි වුණි. ඔහු විසින්
අවස්ථා කිහිපයකදී මගේ ගීත කිහිපයක් ම ගායනා කරණු ලැබුවේය. ඉන් එකකි අර ආලවන්ත වීදියේ ගීතය. මේ එවැනි තව ගීතයකි. ගීතයේ සහාය
ගායිකාව නිරෝෂා විරාජිනී ය.
මේ ගීතයේ කියවෙන්නේ
එක්තරා පෙම් යුවලක් පළමු වතාවට ලොවට හොරා
තනිවෙන්නට උත්සාහ කළ මොහොතක් ගැනය.
රෑහි
හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ
තනියම මන්ද ඔතැන සොඳරියේ
පිනි
සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු
වෙමු එක මොහොතක්
ලොවට
හොරෙන් නිදහසේ.....
හිරු බැස ගියේ
රාත්‍රියට ඉඩ සලසා දී..... රාත්‍රිය පැමිණියේ ඔවුනට ඇරියුම් කරමින්...... ඒත් ඇගේ
හිත කිසියම් කැළඹිලි ස්වරූපයකින් අඳුරුවී ඇත. කැළඹුනු ඈ ඔහුගෙන් මදක් ඈත්ව
කල්පනාවක....
ඔහු සිතන්නේ
එලෙසය. එනිසයි ඔහු අරවිදිහට අහන්නේ...
රෑහි
හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ
තනියම මන්ද ඔතැන සොඳරියේ...
ඇය හිටි කල්පනාව
ඇයම හැර කවුරුන් දනී ද? ඇය මේ අළුත්
අත්දැකීම ගැන අකමැත්තකින් සිටිනවා නොව
නොසන්සුන් කමින් හිටිනවා පමණකැයි දන්නේ
ඇයම පමණි. එනිසාය ඇය මෙහෙමෙ පිළිතුරක් දෙන්නේ.
පිනි
සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු
වෙමු එක මොහොතක්
ලොවට
හොරෙන් නිදහසේ.....
අනතුරුව ඔවුන්
එකිනෙකා කෙරෙහි ඇති ඇල්ම බැඳීම කියවෙන කොටසකුයි එළඹෙන්නේ.
ඔහු කියනවා
ඇයට,
දෑල
මල් පිපුණු නිම්නේ - නිලන තුරක් නම්
විහඟ
වෙස් අරන් ගුවනේ පියඹා එන්නම්......
ඔබ, දෙපස මල් පිපී
ඇති ගංගා නිම්නයේ නිල් පැහැයෙන් දළු කොළ ලන රුක්ෂයක්නම් මම කුරුළු වෙස් අරගෙන ඔබ
කරා එන්නෙමි...
එවිට ඇය
පිළිතුරු දෙයි,
හැපෙන
බිඳෙන රළ වැල් ළඟ කෝල නොවෙන්නම්
මීන
වෙස් අරන් දියඹේ පිහිනා එන්නම්......
ඇය එන්නේ
කුරුළු වෙස් ගෙන නොවේ. මීන වෙස් ගෙනයි. මේ දෙන්නා එක අරමුණක හිටියට තවම යන්නේ එක
මාවතේ නොවන වගය මට ඉන් කියන්නට ඇවැසි වුණේ. ඔහු පියඹා යනවිට ඇය යන්නේ පිහිණා ය.
මෙයින් මට පෙන්වන්නට අවශ්‍ය වුණේ ඇය තුළ මෙම හමුවීම පිළිබඳව වූ චංචල බවයි.
මේ නිම්නය
ඔස්සේ ගලන ගංගාවේ රළ වැල් ළඟ කෝල නොවී මත්ස්‍ය වේශයක් රැගෙන ඔබ කරා පිහිනා
එන්නෙමි.....ඈ තෙපළයි
පාළු
අඳුරු හිස් අහසේ දුලන සඳක්නම්
සීත
පවන් රැල්ලක් සේ පාවී එන්නම්
ඔහු නැවත ඇයට
කියනවා, නුඹ පාළු අඳුරු ආකාශයට පායා එන සඳක් නම් මම නුඹ වෙත සීතල පවන් රෝදක් වී
ඇදී එන්නෙමි කියා....
එවිට ඇය කියන
කථාව තමයි මෙහි කූඨප්‍රාප්තිය වන්නේ. ඇය එහි කියන, නොකියන දේ කොතරම්දැයි බලන්න.
රුවට
දිලෙන තරු මල් යට ආල පුරන්නම්
මිහිරි
සිහිනයට ඉඩදී දෑස පියන්නම්....
නුහුරු
නුපුරුදු ආගන්තුක හැඟුම් පිරි රාත්‍රියක
අරුමයට ඉඩ දී දෑස පියන්නේ ඇයි?
එවිට ඇය
දකින්නේ මිහිරි සිහිනයකි. ඒ සිහිනය විස්තරාත්මකව කිමට මා අසමත්ය. එබැවින් දෑස්
පියාගෙන ඔබම අසන්න. ඈ දුටුව සිහිනය දකීවි දැයි බලන්න.
පද - යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර - කරුණාරත්න විජේවර්ධන.
හඬ - අමරසිරි පීරිස් සමග නිරෝෂා
විරාජිනී.
ඒ සිහිනයෙන්
සමුගෙන යමි. වෙනත් සිහිනයකින් හමුවෙන සිතැතිව.
-
යසනාත්
ධම්මික බණ්ඩාර -
No comments:
Post a Comment