Thursday, March 26, 2015

සංසාරේ හැටි තමයි - වියෝග ඇති වන්නේ... ( ඔබ ජීවිතයට - මා මරණයට 4 වන කොටස )





මුල් කොටස් මගහැරුණු අයට පහත දුගු වලින් කියැවිය හැක.





පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ

ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ….


සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..
ගායනය : ගුණදාස කපුගේ
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ



මේ ගීතය තුළ ඇත්තේ හුදු මරණය නොවේ. එහෙත් එහි මරණයේද වියෝගයේද හුදකලාවේද පැතුම් සුන්වීමේද මරණීය වේදනාව ගැබ්ව ඇත.
මෙම වියෝගය කාගේද? සිය දහස් ලක්ෂවර කියැවෙන ප්‍රේමයේ වියෝගය නොවේ මෙහි ඇත්තේ. එය වෙනත් වියෝගයකි. මේ වියෝගය තමන්ද ඇතුළු තම සහෘදයන්ගේ එකම පැතුම වූ විප්ලවීය අරගලයේ බිඳවැටීමයි. ඒ බිඳවැටීම තුළ අහිමි වූ සගයින්ගේ ජීවිත ගණන අපමණය. එබැවින් මරණයේ වේදනාවද එහි වෙයි. හුදකලා බව නම් විප්ලවය පැරදී, විප්ලවවාදියෙකු යැයි හංවඩු ගැසී, මරණ වරෙන්තුව ලියැවීම නිසා දිවි රැකගැන්මට  කැලෑගතවීමට සිදුවුනු බැවිනි. මේ සියල්ල ය පැතුම් සුන් වීමට බලපෑවේ....
මේ ගීතය 1971 අප්‍රේල් කැරැල්ලේ පරාජය පිළිබඳව පසුව ලියවුනකි. එය සෘජු ප්‍රකාශනයක් නොකර අන්‍යාලාපයෙන් මොනවට කියා ඇත.

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ

කැලේට වැටුණාම සතා සීපාවා හෝ මිනිසා කියා වෙනසක් නැත. සියල්ල එකම ඒකකයක් වෙයි. කැලේ නීතියද සොබා දහමද හැම දේම හැමටම පොදු වෙයි. ඇතිනම් ඇත්තේ ඉතා සුළු වෙනසකි. ඒ වෙනස නොගිනිය හැකි තරම් කුඩා ය.

ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ….

විප්ලවය ජයගැනීම පිරුණු කිරි කොතළයක් බඳු වූ පැතුමක් විය. එහෙත් අවසන එය ඉහිරුණු කිරි කොතළයක් විය. පරාජය අබියස ඇත්තේ දුකකි. එහෙත් විප්ලවවාදීන් දිගටම හඬා නොවැටෙයි. පරාජය යනු ජයග්‍රහණය වෙත යන මාවතේ අතරමග නවාතැනක් පමණක් සේ ඔවුන් සලකයි.

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ.....

විවිධ වියෝගයන් ඇති වීම සංසාරේ හැටියයි. මේ සංසාරය යනු අපි බුදු දහමේ කියන සංසාරය යැයි මම නොසිතමි. මෙහි සංසාරය යනු විප්ලවීය ගමන් මගයි. එහි ස්වභාවය තුළ ජය පැරදුම දෙකම ඇත. එහෙත් පරාජය පරදා දිනක ජය ගත යුතුය. දුක නිවෙන්නේ නිවනට ගිය දාටය. මෙහි නිවන යනු අනෙකකි. එනම් විප්ලවයේ ජයග්‍රහණයයි.
මේ ගීතයේ ඇති විශිෂ්ඨත්වය කුමක්ද? අර බිඳුනු හදවත් වල ඇති ශෝකී රාවයද... හුද කලාවේ ගල් මූසල සීතලද.... පැතුම් සුන්වීමේ පපුව හිරවීමද...... දිනක ජය ගැනීමේ අදිටනේ ප්‍රභාතයද මනාව ගැබ්වන සේ යෙදුනු සංගීත පදනමයි. මෙය සංගීතවත් කරන්නේ ගීතයක අරුත දැනෙන හදැත්තෙක් වීම නිසාම එහි සංගීත පාර්ශවය අප හදවත් වරෙක හැඟීමෙන් ගල් කරයි. එහා දෙයක් ගැන හිතන්නට පොළඹවයි. එය ගයන්නේ දැනෙන හදක් ඇත්තෙක් වීම නිසාම ඒ පද රචනයේ අරුතද සංගීත රචනයේ අරුතද මනාව ඔසවා තැබෙන සේ ගායනා කරයි. මේ සංගීතඥයා සහ ගායකයා කපුගේ වීම මේ ගීතය මේ සා අපට දැනෙන ප්‍රධානම හේතුව යැයි කිව යුතුමය. එය අන් කිසිවෙක් මෙතරම් හොඳින් ඉටු නොකරණු ඇත.
උළලේනෝ ගීතය අසමු.


ගුණදාස කපුගේ ශූරීන් ම සංගීතවත්කොට ගයන තවත් හැඟීම් බර ගීයක් වෙයි. එහිද අපට මරණයක් හමුවෙයි.



රෑ මැදියම අවදි වෙලා
මසිත හොරෙන් පියඹාලා
සුව නින්දේ ඔබ සැතපුනු
සොහොන් කොතේ නැවතිලා
ඔබේ නිහඬ  වත සිඹලා
නෙතු වැලපේ කඳුළු සලා......

පිපිලා සුදු අරලිය මල්
සොහොන් බිමේ ඔබේ රුවින්
මා ළඟ හිනැහෙනවා
ඔබේ සුවද හමා ඇවිත් අතීතයේ හමු වුනු දින
යළි අප හමුවෙනවා
රෑ මැදියම අවදි වෙලා

පවසා මුදු සෙනේ වදන්
හෙමින් සැරේ නෙත් හැරලා
ඔබ මා අමතනවා
නෙතේ කඳුළු ගලා ඇවිත්
අතීතයේ නටඹුන් මැද සිත මා වැලපෙනවා
සිත මා වැලපෙනවා

මෙහිදීද සිය හිතවතිය හෝ බිරිඳ මිය ගිය අවස්ථාවක් හමු වෙයි. මිය ගිය ඇය හා ගෙවූ අතීතයේ මතක සුවඳ ඈ මියගියා යැයි නැවතී නැත. එය සැමදාම හමා එයි. හමාවිත් ඒ අතීත මතකය අවුස්සයි.
මේ ගීතයේදී ද අන්තර්ගතයට මනාව ගැලපෙන තනුවක් නිම ව ඇත. එමෙන් ම එවන් දුක්පත් පෙම්වතෙකුගේ දුක ගැයීමට සුදුසු ම හඬ ඇති කපුගේ ගීතය මනාව ගයයි. එහි ගැබ්ව ඇති හැඟීම මෙතෙකැයි කිව හැකිද?
රෑ මැදියම අවදිවෙලා ගීතය අසමු.


කෙසේ වෙතත් මේ ගීය රසිකයින් අතර එතරම්ම ජනප්‍රිය වුණු ගීතයක් නොවේ.
එහෙත් මේ විදිහෙම අරුතක්ද ඇති හැඟිමක්ද ඇති ඉහත ගීයට වඩා අතිශය ජනප්‍රිය ගීතයක් මහාචාර්ය සනත් නන්දසිරිගේ හඬින් අප අසා ඇත්තෙමු. ඔව්... ඒ ඔබ හිතන ගීතයමයි.



එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල්
සුදුමැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා....

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්න යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේ මයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම්පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්වී
අපි ඉපදෙමු එකට ප්‍රියේ

මේ ගීයේ වදනින් වදන ලිහීමේ අවශ්‍යතාවක් නැත. අරුත පැහැදිලිය. සෘජුය. එහි ඇති දුක ශෝකය මනාව මතුවන තනුවක් නිමවී ඇති අතර එය ගයන මහාචාර්ය සනත් නන්දසිරි අතිශය හැඟීම්බර සහ සුපැහැදිලි අයුරින් එය ඉටුකොට ඇත.
එදා මෙදාතුර ගීතය අසමු.


ගීතයක අන්තර්ගතය විසින් ඉල්ලා සිටින තනුවක් ඇත. ඉල්ලා සිටින කට හඬක් ඇත. ගැයුමට එකතුවිය යුතු භාවයක් ඇත. ඒවා ලැබෙන විටය ගීතයක් හොඳ ගීතයක් වන්නේ.
හොඳ ගීතයකට හොඳ පද රචනයක්, හොඳ සංගීත රචනයක් සහ හොඳ ගායනයක් අවැසි වෙනවා. එහෙත් හොඳ පද රචනයක් තිබෙන.... හොඳ සංගීත රචනයක් තිබෙන.... ඒ අනුව හොඳ ගායනයක් තිබෙන ගීතයක් හැම විටම හොඳ ගීතයකුත් වෙනවාද?
මේ ඒකට උදාහරණයක් තමයි.
පද මසුරං..
තනුව සහ සංගීතය සුපිරි...
ගැයුම පට්ට.... ( එහෙමනේ දැන් කියන්නේ )
එතකොට ගීතය..... පට්ටද?
කාට වුණත් ක්ෂනිකව හිතෙන්නේ ගීතය පට්ටයි කියා ( හොඳයි කියා....) ඒත් ගීතය ශබ්ද රසය මූලික කරගෙන නොඅසා අර්ථ රසය මූලික කරගෙන ඇසුවොත් අවුළක් තියෙනවා..... මොකක්ද ඒ අවුල?
අපි අරුත විමසමු.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුණේ‍
කාටද රිදුනේ - කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ.......

මේ කවි පදය බලන්න....

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදුකිනි මෙසසර දුක් දුරලන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ...

කෙනෙක් මනුස්ස ආත්මයක් ලබන්නේ සංසාරේ අනේක ආත්ම දහස් ගණනක  ඉපදී පෙරුම් පිරීමෙන් බව බෞද්ධයින් වශයෙන් අපි විශ්වාස කරණවා. එසේ ලැබූ මනුස්ස ආත්මය අප විසින් නිවැරදිව භාවිතා කළ යුතුයි. මේ බෞද්ධ කවෙහි අරුත තුළත් ඒ ගැන සඳහන් වෙන්නේ එයයි.
මේ අනුව මිනිසත් බව ලබා ඉපදීමත් දුෂ්කර ක්‍රියාවක්. දැන් මේ විදිහට පතා ගෙන ලැබූ මිනිස් ආත්මයට මොකද වුනේ.... මේ බලන්න වෙලා තියෙන දේ...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ - පැතුමද සුනු විසුනුව වැටුණේ‍
කාටද රිදුනේ - කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ.......

ඇයි දුම්රිය මොහොතකට නතර වුණේ?
වෙන දෙයක් නිසා නොවෙයි අමාරුවෙන් ආත්ම භවය ලබා ගත් මේ මිනිසා කෝච්චියට බෙල්ල තිබ්බ නිසා....
පෙරුම්පුරාගෙන ආ සංසාරේ ගීතය අසමු. 


ඔන්න දැන් තමා ගීතය පට්ටම නෑ කියන තැනට එන්න වෙන්නේ. දැන් මේ ගීතය ගැයෙන්නේ කොහොමද? බොහෝම ප්‍රමෝදමත් ගැයුමක් එය.. එය දුක්බර ගැයුමක් නොවේ.
මිනිහෙක් කෝච්චියට බෙල්ල තිබ්බා නම්... ඉන් ඔහු මැරුණා නම්... කෙනෙක් ඒ ඛේදවාචකය ගැන පද රචනයක් කළා නම්.. එය ගීතයක් වුණා නම්..... එය ගයන්න වෙන්නේ ඒ මරණයේ වේදනාව අන් අයට දැනෙන ලෙසට.. ඒත් මේ ගීතයේ ගායන විලාසය තුළ ඒ මරණයේ වේදනාවට වඩා ඇත්තේ අඩේ මැරෙන එකත් හරි ජොලි වැඩක් අප්පා වගේ අදහසක්.

කවුද දැන් මෙතන වරද කර ඇත්තේ?
කවුද මෙය ගයන්නේ?
සේනානායක වේරලියැද්ද.... 


එතකොට වරද කර ඇත්තේ?
ගායක සේනානායක වේරලියැද්දද....?
නෑ... ඔහු නොවෙයි... ඔහුට එසේ ගයන්න පොළඹවාපු ගීතයේ තනුව සහ සංගීත සංයෝජනය.... එයයි වැරදි.
එය එහෙම වුණාට මේ එක් එක් අංග වෙන වෙනම ගත්තොත් වජිර මහකණුමුල්ලගේ පද රචනය - අති විශිෂ්ඨයි සර්....


තනුව හා සංගීතය - අති විශිෂ්ඨයි සර්...
ගායනය - අති විශිෂ්ඨයි සර්....
එහෙත් මේ තුනේ එක් වීම නැති නම් ගීතය ගත්තොත් - අති විශිෂ්ඨ නෑ සර්....
කොහොම වුණත්, මේ දුර්වල කම තිබුණත්, ඒ එක් එක් අංගවල ඇති අති ප්‍රබල බව නිසාම මෙයට මම මහත් ඇළුම් කරණවා. ඔබත් එසේමයි කියා හිතනවා.

( උපුටා ගැනුම - මවිසින් කෑගල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය උදෙසා කළ ගී රස වින්දන වැඩ සටහනකින් )
ගීතය අසමු බලමු.
පස්වන කොටසින් ඉක්මණින් හමුවන තෙක් සමුගනිමි.
මම,
-        යසනාත් ධම්මික බණ්ඩාර  -





5 comments:

  1. පෙර ලිපි 'සමරයිස්' කරලා වගේ... ඉල්ලීමක් කරන්නම්.. ඉක්මනින්ම ඊලඟ ලිපිය පල කරන්න.. රසයට බාධා නොවී ලිපිය විඳින්නට අපට හැකි වේවි.
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. මා මේ ලිපි ලියන්නේ මට ලැබෙන අවම කාලයේ ඊටත් වඩා අඩුවෙන් ලැබෙන විවේකයකදී. ඒ නිසා එක දිගට ලියන්න ඇති ඉඩ හරිම අඩුයි. ලැබෙන ඉඩේ ලියන නිසා තමයි මේ විදිහට පුංචි කොටස් ලෙස පළ කරන්න වෙන්නේ. නො එසේ නම් සෑහෙන කාලයක් ගන්න වෙනවා එක් පෝස්ටුවක් සඳහා. එය වටහා ගනු ඇතැයි සිතනවා. ස්තුතියි මෙහි පැමිණීම ගැන.

      Delete
    2. වෙදදුරෙකුගේ කාර්යබහුලත්වය වටහාගත හැකියි.බලපෑමක් නොවෙයි.. නැවත නැවත කියෙව්වාට එපා නොවෙන නිසා අළුත් ලිපිය කියවන්න කලින් මම නම් පරණ ඒවාත් අතගාගෙන මයි එන්නෙ... ඔබේ අදහස් අපත් සමඟ රසවත්ව බෙදාගැනීම ඉතාමත් වටිනවා.. ස්තූතියි.

      Delete
  2. මං කැමතිම ගීත ගොන්නක්. බෙහෙවින්ම ස්තූතියි. උලලේනෝ ගීතයේ අවසානයේදී ගීය අවසන් කරන උද්වේගකර සංගීත නාදය ඒ වාදනය ඔවුන්ගේ විප්ලවය අවසන් නැති බවක්, එය අලු යට ගිනි පුපුරු සේ පවතින බවක් අඟවන බව දැනෙනවා.

    ඒ වගෙම පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගීතයේ සේම ඔබ විස්තර කල ස්වභාවයක් තියෙන ගීයක් තියෙනවා දිවුල්ගනේ මහත්මයා ගයන. "මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්" කියන ගීය. ඒ ගීයත් පද රචනය හොඳ උනත් ගායන විලාසයෙන් ඒ සිදුවීම මහා ජොලියක් විදියටයි හැඟෙන්නෙ.

    ReplyDelete
  3. මාත් ඉතාම කැමතිම ගීත දෙකක් තියෙනවා. සනත් නන්දසිරි මහතාගෙ එදා මෙදා තුර හා ගුණදාස කපුගේ මහත්තයාගෙ රෑ මැදියම අවදිවෙලා ගීත දෙක. මේ සටහන් කියවන්නේ ඉතාම ආසාවෙන්. සංවේදී හදවත් ඇති මිනිසුන් තවත් ඇතැයි සිතන කොට දැනෙන්නේ සතුටක්. ඔබට ජයම වේවා!

    ReplyDelete