Thursday, April 30, 2015

මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ......( හන්තානට බැඳුනු ගීත දෙවන කොටස....)







මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි.... ( හන්තානට බැඳුනු ගීත පළමු කොටස....) නොකියවූ අය මේ දිගුවෙන් කියවා දෙවන කොටසට යන්න.

http://yasanathsithuwili.blogspot.com/2015/04/blog-post_27.html

හන්තාන අඩවියද එහි සොඳුරු සරසවියද එහි අකුරු ඉගෙනුමට ගිය මානව මානවිකාවන්ද නිමිති කරගෙන ලියැවුන ගී වල සැමවිටම ගැබ්වුනේ ප්‍රේමයේ සොඳුරු බව හෝ විරහවේ අඳුරු බව පමණක් නොවේ.
එමෙන්ම ඔවුනගේ යොවුන් දිවියේ ප්‍රභාවට අඳුර එක් කළේ විරහව පමණක් නොවේ. තවත් බොහෝ දේ ඔවුනගේ සරසවි දිවිය අඳුරින් පුරවයි. එවැනි කරුණු නිමිතිකොට ගෙන ද ගී කව් ලියැවී ඇති බව විමසුමේදී පෙනී යයි.
අනෙකුත් සරසවි පෙමට බර ගී විමසුමට පෙර මේ එවන් ගීතයක් දෙකක් ගැන විමසුමකට පිවිසුමයි.


මතු විමසන ගීය ලියන්නේ ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් ය. එය සංගීතවත් කරමින් ගයනු ලැබුවේ විශාරද ගුණදාස කපුගේ විසිනි.






මහා දම්පල් ජාතකය පදනමද මෙසිරිලක එක් අඳුරු යුගයක සිදු වී අමිහිරි කතාවක් මතු අරුතද කොටගනිමිනි මේ ගීය ලියැවී ඇත්තේ.



හන්තානේ කඳු දන ඇණ නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්‍සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවළු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදුවන හාමුදුරුවෙනේ....

මේ හන්තාන අඩවියට ධර්මය දැනගෙන එන්නට ගොස් නිෂ්චිත තොරතුරක් නැති දරුවෙකු පිළිබඳව පියෙකුගේ විමසුමකි. ඔහු මේ විමසුම කරණුයේ සිරි දළදා හාමුදුරුවන්ගෙනි


මේ දරුවා ගියේ දළදා වහන්සේ ළඟටද? කුමන ධර්මයක් දැන ගැනීම පිණිසද?
ඔහු ගියේ හන්තාන අඩවියේ ඇති තක්සලාවකටය. හන්තාන අඩවියේ පිහිටි තක්සලාව යනු පේරාදෙණියේ සරසවියයි


ධර්මය යනු දැනුමයි.
මේ දරුවාට යම් අනතුරක් අකටයුත්තක් වී ඇත. ඒ පිළිබඳව මේ පියා විමසන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් හන්තාන සෙවෙනේ වැඩ වෙසෙන දළදා හිමියන්ගෙනි. සිරිලක් වාසීන් සිතනුයේ එවන් උතුම් දළදා හිමි අභියස එවන් අනතුරු අකටයුතු කම් විය නොහැකි බවය.
දරුවාගේ ඇස් දෙක පියවා, සුදු පිරුවට අන්දවා ගෙනැවිත් ඇත. ඒ මහණ කෙරුමට නම් නොවේ.

ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනඟට අහු වුන
මරු වැල පෑගුන කෙනෙකුන්දො
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුනේ
දාඩිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නෑ දන්නේ.......

පියාණන්ට මියැදුනු දරුවකු හමුවන්නේ දළදා මැදුර පෙනෙන නොපෙනෙන ඉමකදීය. මුහුණුවර සිය දරුවාගේ වැනි වුවද කෙලෙස නම් පියෙකු එවන් දෙයක් අදහන්නද... අන්ත අසරන එහෙත් හැම සතයක්ම හොර මැරකම් වලින් තොරව එකතු කර හදා වාඩා ගත්....ශිල්ප සතර දී වැඩිදුර දැනුම ගමට ගෙන එනු පිනිස හන්තාන අඩවියට පිටත්කර එවූ දරුවෙකි මේ. ඒ දරුවා මෙලෙස අකල් මරණයකට පත් වූයේ කුමන මෘග කැළකට ගොදුරු වීමෙන්ද?
මේ ගීතය අපට මතක් කර දෙන්නේ අප රටේ තවත් එක් අඳුරු කාල පරිච්ඡේදයකි. පසු කාලීනව බොහෝ දෙනෙකු අමතක කළ, අමතක වුණු මේ භීම යුගය වන් අන් යුගයක් අප දන්නා ඉතිහාසයේ මෙසිරිලක නොතිබුණි. එහෙත් කාලය සමහර දේ වසා දමන්නේ කෙමෙන් කෙමෙන් නොවේ. විදුලි වේගයෙනි. ගිනි කඳු වේගයෙන් යට ගසා කුඩා ගිනි පුපුරු ඊටත් වැඩි වේගෙන් මතු කරන්නට සාමාන්‍යයෙන් අපේ සමාජය වඩා ප්‍රිය කරයි. මේ එවන් සැඟවුනු යුගයක එක් කඳුළු කතාවක් පමණි.

කාලය දීපය දේශය දන්නා
මතු බුදුවෙන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්ඩ ගියේ පුතු
හමුවුන නැති වග නැත දන්නේ
බාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
කියන්න දැන්වත් ඇඳුරිඳුනේ...

මෙය අකල් මරණයකි. කුරා කුහුඹුවකුට හානියක් නොකළ එක තඹ දොයිතුවක් වත් හොරකම් නොකළ කන බත් කටක් බොන වතුර උගුරක් පාසා දැයට දුන් දෙයක් මිස කිසිවෙකුට ණයක් නැති තම සනුහරය මෙවැනි අකල් මරණයක් නොඉවසයි. හරියටම දම්පල් ජාතකයේ දම්පල් සිටුතුමා මෙනි.
හන්තානේ කඳු දන ඇන නමදින ගීතය අසමු.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මර්වින් පෙරේරා විසින් සංගීතවත් කළ නන්දා මාලිනිය විසින් ගයන මේ ගීතයෙන්ද හමා එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ.







හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සදළුතලා පිස
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ...
හන්තාන අඩවියේ
කුසුමවදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ......

හන්තාන අඩිවියේ කොතෙකුත් ප්‍රේමකතා ලියැවී ඇතිවා වුවද ඒ මානවක මානවිකාවන් විඳි අපමණ දුක් ගැහැට ගැන ලියැවී ඇත්තේ අඩුවෙනි. සරසවි සිසු සිසුවියන් විඳින එවන් විවිධ දුක් ගැහැට පිළිබඳව ලියැවුනු ගීත අතරින් වුව හන්තාන අඩවිය පාදක කොටගෙන ලියූ ගී ඇත්තේ ඉනුත් කිහිපයකි. මේ එවැනි විශිෂ්ඨ ගීයකි. 



කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරණා
මානව මානවිකාවන්ගේ
ගුගුරන මනසේ කකියන පැතුමයි...
ප්‍රේමයේ සුවඳ නොවේ....


මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ... ගීතය අසමු.


හන්තානේ කතාව යනු 1969 දී තිරගත වුණු සුගතපාල සෙනරත් යාපා ගේ සිනමා කෘතියකි. ස්වර්ණ මල්ලආරච්චි, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ ප්‍රධාන චරිත රඟපෑ මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වන්නේ විජය කුමාරතුංග සිනමාවට ප්‍රවිශ්ඨ වුණේ හන්තානේ කතාව තුළින් වීමය. 




මට මතක හැටියට මේ සරසවි ආදර අන්දරයක් සිංහල සිනමාවේ දිගහැරෙන ප්‍රථම අවස්ථාවයි.
ඒවගේම ප්‍රථම වරට දොතොල් සිපගැනීමේ ජවනිතාවක් ඇතුළත් වුණු චිත්‍රපටය ලෙස සඳහන් වන්නේද හන්තානේ කතාවයි. කෙසේ වෙතත් එම ජවනිකාව අපැහැදිලි ඡායාවක් වැනි දර්ශනයක් ලෙසය එහි ඉදිරිපත් වන්නේ.
මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේය. 


එහි හමුවන සරා සොඳුරු මල් පැටලී ගීතය අතිශය සුන්දර ගීතයකි. එහි ගැයුම වික්ටර් රත්නායක සහ නන්දා මාලිනිය විසිනි.



මෙම ගීතය වැයෙන විට ඇඳෙන ජවනිකා ඇතුළත් විඩියෝ පටයක් සොයා ගැනීමට උත්සාහ කළද එය තවමත් අසාර්ථක උත්සාහයන්ගේ ලැයිස්තුවට එකතු වූ එකක් වී ඇත. එම ජවනිකා නිරූපනය වූයේ හන්තාන අඩවියේ සරසවි උයන පසුබිම් කරගෙනද යන්නද මතකයේ නැත. කෙසේ වෙතත් චිත්‍රපටයේ පසුබිම් කතාව දිග හැරෙන්නේ පේරාදෙණිය සරසවිය පසුබිම් කරගෙන වන බැවින් මේ සොඳුරු ගීතය මෙහි එක් කිරිමට සිතුවෙමි.

සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි

කැකුළු සිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතු වේ
සැලේ මහද සැලේ සැලේ

වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිත වු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි....


ගලා හැලෙන සිලි සිලියේ
අමා හදක සුව ගෙන එයි
නිවේ මහද නිවේ නිවේ

කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පළුවයි
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි...

සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමණයි...


මෙම ගීතය පිළිබඳව මෑතක සිට දැන හඳුනා ගත් මිතුරෙකු වන අමිත් ලියනගේ සමග කෙටි සංවාදයක් ඇති වුණා. ඔහු සංගීඥයෙකුද වෙනවා. ඒ වගේම ක්ෂේත්‍රෙය් සමහර දේ පිළිබඳව උනන්දුවෙන් සිටින්නෙක් ඔහු. ඒ කතා බහ සරා සොඳුරු මල් පැටලී පෙර නිර්මාණය සහ පසු නිර්මාණය ගැනයි. පසු නිර්මාණය යනු නව සංගීතයට ගැයුනු ගීයයි.
 
පෙර නිර්මාණය කේමදාසයන්ගේ සංගීතයට ගායනා කළේ වික්ටර් සහ නන්දා මාලිනී ය. පසු නිර්මාණය යනු රෝහණ වීරසිහගේ නව සංගීතයට ජයන්ත රත්නායක සහ නන්දා මාලිනිය විසින් ගයනු ලැබූ ගීතය. මේ ගීතය සහ මුල් ගීතය සසඳද්දී කේමදාස තනුව සහ කේමදාස ස්වර රචනය දෙවැනි ගීතයෙහි වූවද කේමදාස ආර එහි නැති බව පැහැදිලිව දැනෙන දෙයකි. දෙවන ගීතයේ ඇත්තේ රෝහණ වීරසිංහ සංගීත ආරයි. අනෙක් කරුණ නම් ජයන්ත වික්ටර් ගේ අහලකින් වත් යන ලෙස ගීතය නොගැයීමයි. එම කෘතහස්ත කලාකරුවන් සුසංයෝගීව කළ විශිෂ්ඨ නිර්මාණය යම් මට්ටමකින් විනාස වීමකට වැඩි දෙයක් එහි නැති බව කිව යුතුය. පෙර නිර්මාණයේ ගෞරවය රකිනු වස් පසු නිර්මාණය මෙහි ඇමිනීමෙන් වැලකීමට සිතුවෙමි.

හන්තාන  පසුබිමේ වූ සියළු ගීත අතරේ වඩාත් නාටකීය ගීතය වන්නේ මෙය නොවේද?

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිම ගිරි අරණේ....

මේ නම් අපූරු ගීතයකි. එය අපූරු වන්නේ එහි රචනයෙන් පමණක් නොවේ. එහි තනුව සංහ සංගීතයද ගැයුම පිනිස යොදාගත් සියුම් ඉසියුම් ගී ගායනයට වඩා රඟබිමේ සජීවි ගැයුමට හුරු ගායක ගායිකාවන් දෙපොලක් තෝරා ගැනීම ආදියෙන්ද එය අපූර්ව වෙයි.
ගීතය තුළ ජවනිකා දෙකකි. එකක් රඟහල තුළය. අනෙක වේදිකාව මතය. රඟහල පිහිටියේ සරසවිය තුළයි. අන් සරසවියක ද නොවේ. හන්තාන අඩවියේ පිහිටි සරසවිය තුළයි. රඟහලේ දිගහැරෙන්නේ සැබෑ ජවනිකාවකි. පෙමින් බැඳුනු සරසවි සිසුවියකගේ හා සරසවි සිසුවකුගේ ජවනිකාවකි. වේදිකාව මත දිගහැරෙන්නේ නාටකයේ ජවනිකාවයි. නාටකය අනෙකක් නොව පතළ මනමේ නාටකයයි.
විජේරත්න වරකාගොඩ සිය හඬින් පන දෙන්නේ රඟහල තුළ සිට මනමේ නරඹන පෙම් යුවලේ පෙම්වතාගේ භූමිකාවටයි. නාටකෙයේ මනමේ කුමරියගේ භූමිකාවට ගීතයේ දී පන පොවන්නේ අනුලා බුලත්සිංහලයි.


මෙම ගීතය රචනා කර ඇත්තේ හඩ්සන් සමරසිංහ විසිනි. එහි සංගීතය ඔස්ටින් මුණසිංහ විසිනි. 







පද රචකයා මේ වත්මන් ජවනිකාව හා නාටකයේ ජවනිකාව එකවර මතු කරමින් කියන්නට හදන්නේ කුමක්ද? පතළ අතීත කතාවක සහ වත්මන් හෙළි නොවූ කතාවක සමාන සිදුවීම්ද? මා මේ ගැන තවමත් සිතමි. නිශ්චිත අදහස් රහිතව තවමත් සිතමි. කොතෙක් සිතුවද සමහර විට අවසන් නිගමනයකට ඒමට නොහැකි වනු ඇත. එබැවින්ම එහි රසය සහ ඒ ගැන ඇති කුතුහලය සැමදා නොනැසී පවතිනු ඇත.
මෙහි තනුව සහ සංගීතයේදී ඔස්ටින් මුණසිංහගේ නාට්‍ය සංගීතමය දැනුමද බුහුටි බවද මනාව මතු ව ඇත. එමෙන්ම අදාල චරිත දෙක සඳහා ආරවල් දෙකක් යොදා ගැනීමෙන් වත්මන් කතාව සහ අතීත නාටකීය කතාව අතරේ වෙනසක් පෙන්වමින් ද  නැවත එයම සුසංයෝග කරමින් ද අපූර්වත්වයක් බිහි කර ඇත.

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා

රඟහල දැන් ඇත අඩ අඳුරේ....

පද රචනය: හඩ්සන් සමරසිංහ
ස්වර - ඔස්ටින් මුණසිංහ
ගායනය: විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල


ප්‍රවීන ගීත රචක මා මිතුරු රවි සිරිවර්ධන ගෙන් හන්තාන පිළිබඳව ලියූ යම් ගීතයක් වේ දැයි විමසුවේ මිතුරු කමටම නොවේ. විවිධ ඉසව් ඔස්සේ විවිධාකාර වූ සංවේදී ගී රැසක් ලියූ හා ලියන වත්මන් ගීත රචකයින් අතර ඔහු ප්‍රමුඛයෙක් වන හෙයිනි. 


එහි දී ඔහු පැවසුවේ සරසවි පෙම පිළිබඳව ඔහු ලියූ මතු දැක්වෙන ගීතයේ හන්තාන අඩවියක් ගැන හෝ එහි ඇති පේරාදෙණිය සරසවිය, පේරාදෙණිය මල් උයන, මහවැලි ගඟ, ගඟ අද්දර මාවත පිළිබඳ කිසිවක් නාමිකව සඳහක් නොවුනද ඔහුට එය ලියන විට පසුබිමේ වූ සරසවිය පේරාදෙනිය සරසවිය පිළිබඳ සොඳුරු සිතුවිලි බවයි.
එය ඇත්තකි.
රවි පේරාදෙණි සරසවි සිසුවෙකුව සිට නැත. ඔහුගේ සරසවිය කොළඹ සරසවියයි. මමද පේරාදෙණි සරසවි සිසුවෙකුව නොසිටියෙමි. මම කැළණිය සහ ජ/පුර සරසවි වලින් ශිල්ප හැදෑරූවෙක්මි. එහෙත් සිතින් අප දෙදෙනාම ශිල්ප හැදෑරුවේ පේරාදෙණි සරසවියේය. ඇවිද ගියේ ඒ සරසවි පාරේය. අපි දුටු උයන අසල ඇති පේරාදෙණි මල් උයනයි. අපි යම් සරසවි අත්දැකීමක් ගීයකට කවියකට නැගුවේ නම් අචේතනිකව ඒ පේරාදෙණිය සරසවියේ ජීවත් වෙමිනි. අපට පමණක් නොව තවත් බොහෝ අයට මේ අයුරින් දැනී ඇතිවා නිසැකය.
ඔහු මෙසේ ලියයි.

ආයෙමත් හමු වී ඔබේ ඇස්
කාලෙකට පස්සේ
නොසිතු සේ
හැඟුම් මහ වැසි ඇදහැලේ
ගිඟුම් දී හදවත සැලේ....

එදා සරසවි මාවතේ
රොබරෝසියා සෙවනේ
කතා කළ ඇස්මයි තාම ඔබගේ
කියා ගනු බැරි යමක් තාමත්
දොතොල් අග තෙරපේ....

එදා රඟහල භූමියේ
මට පෑව ඉඟිනළුවේ
සිනා මුව පියුමයි තාම ඔබගේ
නිමාවක් නැති පෙමක් තාමත්
කොපුල් මත කැලතේ

මේ සරසවි පෙමක සුන්දර මතයකි. සැබෑ වුණු සිහිනයක් විලස අවසන් කරන්නට නොහැකි වුව, වේදනා බර හැඟීමක් තුරුළු කරගෙන වෙන්ව යන්නට සිදු වුව, නැවත හමු වුණු දිනෙක දැනෙන මේ එදා වාගෙම බව කොයි තරම් සුන්දරද? නැවත ඒ සුන්දරත්වය යටින් හිත පාරවයිද? උගුර හිර කරයිද? සුසුම් මතු කරයිද? කොතෙක් සිතෙහි වේදනාවක් ගෙනාවද නැවතත් එහි සුන්දර මතකය මතු නොවෙයිද?
මේ ගීතයේ මේ සුන්දරත්වය සහ වේදනාව යන ද්විත්ව හැඟීම මතුවනසේ මනාව සංගීතවත් කරණුයේ දර්ශන වික්‍රමතුංග විසිනි. එය හැඟිම් බරව ගයනුයේ දුමාල් වර්ණකුලසූරිය විසිනි. 






මෙහිදී අප දුමාල් ට ස්තුතිවන්ත විය යුත්තේ මෙවන් ගී ගායනයට යොමුවීම කෙරෙහිය. ඒ සමගම නැවතත් ගීත රචක රවී ට මේ පිළිබඳව ස්තුති වන්තු විය යුත්තේ දුමාල් වැනි තරුණ ගායකයින් තුළ මෙවැනි ගීත වලට ඇති ඇල්ම වැඩි කරමින් එවැනි ගීත වෙත ඔවුන් යොමු කිරීමෙහි ලා ඔහු ගන්නා වෙසෙස් වෙහසෙ නිසාවෙනි.
ආයෙමත් හමු වී ඔබේ ඇස් ගීතය අසමු.



රවි ගේ ඉහත ගීතයේ රොබරෝසියා මල් ගැන සදහන් වෙයි. සෑම සරසවි පාරකම පාහේ මේ රොබරෝසියා ගස් සිටවා ඇත්තේ හරියට පනවා ඇති නීතියකට අවනත වීමක් විලසිනි. නීතියකින් පැන වූ දෙයක් වුව කම් නැත. සරසවිය කුමක් වුව එයින් සරසවි පාරට ලැබෙන අලංකාරය අපමණය.
රොබරෝසියා සෙවනේ ඉඳන් පෙම් කළ හැටි ගැන කියවෙන සරත් ශාන්ත ජාගොඩ ලියූ මේ ගීතයෙන්ද මට මැවෙන්නේ හන්තාන අඩවියේ සරසවියම ය. 


එහෙත් ඔහු ඒ පද ලියුවේ කුමන සරසවියක් ගැන සිත්හි දරාගෙනදැයි මම නොදනිමි. මක්නිසාද යත් හන්තාන, මහවැලි ගඟ, මල් වත්ත හෝ නුවර වැව, කඳු වැටිය, වළා මීදුම් තිර වැනි වදන් එහි නොවන නිසාවෙනි.
දර්ශන වික්‍රමතුංග සංගීතය සැපයූ මේ ගීතයේ මියුරු ගායනය කරුණාරත්න දිවුල්ගනේගෙනි.



රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා සුළඟේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින්....

හසරැලි අරන් එන පෙම්වතුන්
කඳුළැලි දරන් යන පෙම්වතුන්
මට කියා දෙනවද කඳුළක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්...

ඔබ හමු වුණත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට නොදී ගිය තව කඳුළු ඇති නම්
එපා දෙන්නට ඔහුට නම්...

පෙම්වතුන් කොයි සරසවියෙදිත් හමුවෙයි. සරසවියෙන් පිටතදීත් හමුවෙයි. එහෙත් මේ ලියැවී ඇත්තේ සරසවි පෙමක් ගැන යැයි සිතන්නට බොහෝ දෑ මෙම ගීයෙහි ඇතැයි මට සිතෙයි. එමෙන්ම එම සරසවිය හන්තාන අඩවියේ පිහිටි සරසවිය යැයි ද මට සිතේ. ඇත්තටම එය එසේ නොවුන ද මට එලෙස සිතෙයි.
රොබරෝසියා හෙවනේ ඉඳන් ගීතය අසමු.


හන්තාන හා බැඳුනු ගී විමසන අතරේ සිතුවාට වඩා ඊට බැඳුනු ගී හමුවිය. එලෙසටම හෙටද හමුවනු ඇත. එලෙස ලියැවුණු සෑම ගීයක්ම ගැන මෙහි ලිවිය නොහැකි වුවත් නොලියා යා නොහැකි තවත් ගී ඉතිරිව ඇති බැවින් මේ දෙවැනි කොටසින් නවතින්නට හැකියාවක් නැත. එබැවින් තුන්වැනි කොටසකට ඉඩ මුළ පුරණු වස් විරාමයකට යමි. 
-   යසනාත් ධම්මික බණ්ඩාර    -
 

3 comments:

  1. රසවත් හා සංවේදී ගීත පෙලක් රසවින්දා.

    ReplyDelete
  2. එක මාතෘකාවක් ගත්තම කොච්චර නම් ගීත ඇත්ද කියා හිතුණා...

    ReplyDelete
  3. පේරාදෙනිය විශ්ව විද්‍යාලයට බාහිරව ඉඳ කවි ලියන අය සිතන දෙයක් තමයි විශ්ව විද්‍යාලයට ගිය සියලු දෙනාම පාහේ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අයිනේ පෙම් කරමින් ඉන්නවා කියා. නමුත් එතරම් සත්‍යයෙන් දුරස්ත වූ වෙනත් මිත්‍යාවක් නැති තරම්.

    අපේ කාලයේ දී නම් විශ්ව විද්‍යාලයේ දී පෙමින් බැඳුනේ සියයට දහයක් විස්සක් පමණ පිරිසක් පමණයි.

    ReplyDelete