Sunday, April 5, 2015

සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද කළුවර අහසට..... ( කිඳුරු ගීතය ගී සැඳෑව - හතරවන කොටස )





තුරුණු පෙම්වතෙක්හට තම පෙමවතිය කොතෙක්නම් සොඳුරු වස්තුවක්ද කියලා  කියැවෙන ගීතයක් මාතින් ලියැවුණා. ඒත් මට මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ මම ඒ ගීතය ලියා ඇත්තේ වෙනස් කෝණයකින් කියලා මට හිතෙන නිසා.
සාමාන්‍යයෙන් මෙවැනි ගී තතුළින් තම සිත ගත් යුවතිය වර්ණනා වෙන්නේ පරිසරයෙහි ඇති කිසියම් සුන්දර වස්තූවකට සමාන කරමින්. ඒත් මෙහි ඇත්තේ පරිසරයේ ඇති සියළු සුන්දරතාවනට හේතුවී ඇත්තේ ඇයයයි කීමයි.
මෙවැනි එක් උදාහරණයක් මතක්වෙනවා. ඒ තමයි ප්‍රේමකීර්ති ද අල්විස් 


ලියූ වික්ටර් රත්නායකයන්ගේ  


කුරුල්ලන්ට ගී ගයන්න ගීතය. එහි ප්‍රකට වන්නේ ඇයගේ සුන්දරත්වය රැඳී ඇත්තේ සොබා දහම මත නොව, සොබා දහමේ සුන්දරත්වය රැඳී ඇත්තේ ඇයගේ සුන්දරත්වය  නිසාවෙන්ය කීමයි.
කුරුල්ලන්ට ගී ගයන්න ගීත අසා යමු.

නමුත් මගේ ඇය වර්ණනා කරණ ගීතයක්මත් නොවෙයි. මෙහි ඇය පිළිබඳ වර්ණනාව ගැබ්ව ඇතිවා සේම ඇයගේ වියෝගය පිළිබඳව වන වේදනාවද එකසේම ගැබ් වෙනවා.

ප්‍රේමයේ පුර පස තුටු ගීතයට
මුදු වදන්දුන් නුඹ
ප්‍රේමයේ අවපස දුක් ගීතයට
දුක් වදන් දෙනු කෙලෙසද........

ප්‍රේමයේ සුන්දරතම කාලවකවානුවේදී සතුටු ගී පොකුරට මුදු වදන් ඇමිණූ ඇයම ප්‍රේමයේ  මළගම අභියස දුක් ගීතයට දුක් වදන් අමුනන හැටි පුදුමයකි.....

තරු කැකුළකට යුග නෙතේ කැන් පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....

රෑ අහස පුරා තරු කැකුළු දිලිසුනේ ඇගේ නෙත් වල කාන්තියෙනි.
යායට පිපුණු මල් වල පෙති පාට වුණේ ඇගේ මුහුණේ පැහැපත් කමෙනි.
ඒ දිනවල මහත් ප්‍රීති ප්‍රමෝදයෙන් ගැයුණු ගීත වලට අමුණා තිබුණේ ඇගේ මුවින් ගිලිහුණු ගීතයන් බඳුවූ මිහිරි වදන්ය.
මේ සියල්ල එක්කොට ඔහු දෙනෙත් ඉදිරියේ ඈ මැවුවේ සුව බර සිහිනයකි.....එහෙත්...
එදා එලෙස සතුටු ගීතයට සතුටු වදන් දුන් ඇයම අද මහ ම දුකක්වී ඒ  දුක් ගීතයට දුක් වදන් අමුණන අන්දම..... හරිම පුදුමය......

තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා
සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා
පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා
හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....

දිගු විසල් ගංගාවට ඒ හැඩය ලැබුණේ  ඇගේ දිගු කෙස්කළඹේ හැඩයෙනි...
අලංකාර සුදු මුතු පොටට රශ්මිය ලැබුණේ ඇගේ කිරි සුදු දත් පෙළේ පැහැයෙනි......
අළුයම පිණිපලස මත පිපී දිලිසෙන පිණි පොකුරු වලට තෙතමනය ලැබුණේ ඇගේ මෘදු හදවතේ සිසිලෙනි.....
ඉමිහිරිම පෙම් සිසිලෙන් ඔහු සිත සුවපත් කළේද ඇයමයි... එහෙත්... එදා ඒ සතුටු ගීතයට සතුටු වදන් දුන් ඇයම අද මහ ම දුකක් වී දුක් ගීය ගැයෙද්දී එම දුක් ගීතයට දුක් වදන් අමුණන අන්දම........ හරිම පුදුමයි.......

ප්‍රේමයේ පුර පස තුටු ගීතයට
මුදු වදන්දුන් නුඹ
ප්‍රේමයේ අවපස දුක් ගීතයට
දුක් වදන් දෙනු කෙලෙසද........

තරු කැකුළකට යුග නෙතේ කැන්පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....

තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා
සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා
පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා
හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - සුරේෂ් මාලියැද්ද
හඬ - දයාන් විතාරණ
ප්‍රේමයේ පුර පස ගීතය අසා යමු.

 =========================================================================

මෙය ප්‍රේම ගීයකැයි කිව නොහැක. ප්‍රේමය සහිව හෝ රහිත ඇසුරක කෙලවර විවාහ ජීවිතය තුළ මතුවන ගැටළුවක ගිතමය ප්‍රකාශනයයි. දහසක් බලාපොරොත්තු දල්වා එක් වී අවසන බොහෝ දෙනෙක් නොගැලපීම් 1000 කින් ගැලපීම් 100 ක් හදාගෙන කුටුම්බ ජීවිතය රැක ගැනීමට ගන්නා වෙහෙස හැර අන් දෙයක් නැති නුණොත් එය මොන අවාසනාවක් වනු ඇතිද?
මෙම ගීතය නිර්මාණය වුණු වට පිටාව ගැන යමක් කිව යුතුය.
මෙහි ගායකයා වෛද්‍යවරයෙකි. ඔහු ද මා මෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ අයෙකි.අප දෙදෙනාම වසර දෙකක පමණ කාලයක් එකම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් ලෙස සිට ඇත. ඒ ඔස්සේ ගොඩනැගුණු හිතවත් කම තවත් වැඩි වුණේ මා යම් කලා කටයුතුවල නියැලෙද්දී ඔහු ඒ දෙස ප්‍රමෝදයෙන් බලා සිටීම නිසායි. එපමණක් නොව ඔහුද එවන් කටයුතු වලට ඇළුම් කළ අයෙකි. පසුව ගුවන් හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙසට යම් කලක් සේවය කළ අතර පසුව ඉන් ඉවත්ව ස්වාධීනව වෛද්‍යවරයෙකු ලෙස සේවය ඇරඹීය. ඔහු නමින් ඈශ්ලි පෙරේරා ය.

‍මෙම ගීතයට සංගීත නිර්මාණය කරන්නේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සිටි දක්ෂ වාදකයෙක් සහ නිර්මාණකරුවෙක් විසිනි. නමින් හේ ප්‍රසන්න සංජීව නම් විය. 


ඔහු විශාරද ජූඩ් පීරිස් මහතාගෙන් සංගීතය මනාව ඉගෙන ගෙන සිටි අතර ගිටාර් වාදනය සම්බන්ධව ඉහලට උගෙන සිටි එහෙත් නිහඬ පුද්ගලයෙකි. මගේ ගීත කිහිපයකට ඔහුගේ සංගීතය මුසු වන්නේ මිතුරු ඈශ්ලි ගේ මැදිහත් විමෙනි. ඒ අනුව ය මේ ගීතය ඔහු විසින් සංගීතවත් කරණුයේ. ඒ සඳහා ඔහු යොදා ගෙන ඇති සුව්ශේෂ සංගීතය මහත් ප්‍රසාදයට හේතුවෙයි. මෙම ගීතයේ ඇත්තේ යම් උත්ප්‍රාසයක් සහිත අදහසකි. එය මතුකිරීම සඳහා සුදුසු තනුවක් සහ සංගීත සංයෝජනයක් ඊට එකතු කොට ඇත. එමෙන්ම මේ ගීතයේ රූප රචනයටද මම මහත් ප්‍රිය කරමි. මට මවන්නට ඇවැසි දෙදෙනාගේ වෙනසට සුදුසු අර්ථ කථනයක් ඒ තුළින් සැපයෙන බව මගේ අදහසයි.
මේ ගීතයේ අරුත ගැන මහා විවරණ අනැවැසිය. තේරුම එතරම් සැඟවුනු එකක් නොවන බැවිනි. මේ වැලිතලප සහ කේක් දෙචින්තනයේ වෙනසයි.

මං පෙම්වතාලු ඇගේ
ඒ වුණාට පෙම්කරන්න දන්නෙ නෑලූ
ඈ පෙමවතීලු මගේ
ඈ තරමට පෙම් කරන්න දන්නෙ නෑලූ

දුර දිගට ඉගෙන ගත්තත්
මොන මොන සහතික ඇතිවත්
ඒ සහතික වල
පෙම්කරනා හැටි කියල නෑලූ
මං පෙම් කරන්න දන්නෙ නෑලූ....

නෙක විසිතුරු අබරණ ඇතුවත්
මොන මොන සළුපිලි දැරුවත්
ඒ සළුපිලි වල
පෙම්වතීට ගැලපෙන හැඩ නෑලූ
මං පෙම් කරන්න දන්නෙ නෑලූ....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
හඬ : වෛද්‍ය ඈශ්ලි පෙරේරා
ස්වර: ප්‍රසන්න සංජීව
පෙමවතා සහ පෙම්වතී බලා යමු...


 ========================================================================
එක් අක්කා කෙනෙකුට නැගණියක් ඉන්නවා. මේ අක්කා බොහෝ දුකෙන් ඉන්නේ නැගණිය ගැන. ඇයට තාම සිකුරා ලබල නැති නිසා. ඒක එහෙමමත් නොවෙයි. ඇයට ඇය හිතන පතන ආකාරයේ පුර සඳක් පායා තිබුණා. ඒත් කිසියම් අවාසනාවකට ඒ සඳ ඇගේ අහසින් බැස ගියා. සමහරවිට සඳ ඇයව හැරදමා ගියා වෙන්න පුළුවන්. නැතිනම් විවිධ හේතු මත ඒ දිනවල දෙගුරුන්ගේ අවසරය නැතිවුණා වෙන්නත් පුළුවන්. ඉතින් අර අක්කණ්ඩිය නැගණියට මෙහෙම කියනවා.

සඳක් මැකුණු දා - සිකුරා වුණත් නොපිපි දා
එළි පොදක් අරන් හිස් අහසට පායා ආවට
ඔය සාප කතා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

නුඹ පැතූ සඳ මැකී ගියා. විවාහයට අධිපති සිකුරු ග්‍රහයා නුඹේ අහසයට පායන හැඩකුත් නෑ. ඉතින් එහෙම තියෙද්දී ඔය හිස් අහසට එළි පොදක් අරගෙන පායා එන සෙනසුරු ග්‍රහයට  වුණත් මගෙ නංගියේ උඹ සාප කථා නොකියා කැමති වෙයං.... මේ අක්කාගේ පැතුමයි.

අතැඟිලි නොබැඳී - රන්හුය පට නොලැබුණු කරුමෙට
පුන් කලස කැඩී ඉහිරී -  ගොළුවුණත් සිලෝ පද
හිස් කැදැල්ල ළඟ මල් පඳුරේ මල් නැති අරුමෙට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

රන් මිණි මුතු තිබුණානම් වස්සාන සිහිනය සැබෑවක් කරගන්න තිබුණා. ඒත් රන් හුයක් තිබුණේ නෑ පෝරු මස්ථකේ හිඳුවා නුඹලාගේ අතැඟිලි බඳින්න. සිහින පෝරුවේ සිහින පුන් කලස් කැඩී ඉහිරි සිලෝ ගීත ගොළුවුනේ නුඹගේ පමණක් කරුමෙට නොවෙයි. කැදැල්ලේ නුඹ තනියම ඉන්නකොට මල් පඳුරට මල් කොහෙන්ද?
ඇය විවාහය ගැන බොහෝ සිහින මවන්නට ඇති. ලස්සන පෝරුවක් මත පුන් කලස් සිලෝ ගීත මැද රන්හුයෙන් අතැඟිලි බඳින්න සිහින මවන්න ඇති. ලස්සන සාමකාමී පුංචි කැදැල්ලක තම පෙම්බරාණන් සහ දරු පිරිවරක් කැටිව ලස්සන දිවියක් ගෙවන්න සිහින මවන්න ඇති. ඒත් අද තනිකඩ ඇයට දරු සුරතල් කොයින්ද?

හදගිනි ඇවිලී -පෙම් ගී පද ගොළුවුණු යාමෙක
රන් තොරණ කැඩී ඉදිරී - මැලවුණත් සෙනේ සිත
ඉඳිකඩුල්ල ළඟනුඹ තනියම  - වැලපෙන හවසට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

පෙම් ගී පද සියල්ල ගොළුවී අවසානයට වැයුනේ දුක් ගී පදම පමණයි. රන් තොරන් කැඩී මැලවී ගියේ ප්‍රේමයෙන් සුපුෂ්පිතව තිබූ අහිංසක සිතයි. නුඹට දැන් උරුමව ඇත්තේ ඉඳිකඩුල්ල ළඟට වී කවදා හෝ ඔහු ඒදැයි හූල්ලන එක පමණයි.
ඉතින් මගෙ නංගියේ ජීවිතය නුඹ පැතූ ආකාරයට ඉටු නොවුණු බව සැබෑවයි. එත් නුඹටත් හෙටක් උදාවනු දැකීම මගේ ඒකායන පැතුමයි. ඒ නිසා අද නුඹේ ලෝකෙට කණාමැදිරි එළියක් හෝ අරගෙන එන්නේ සෙනසුරු ග්‍රහයා නම් ඒත් නුඹ මුවින් නොබැන ඒක සඳක් යැයි සිතපන්.... මේ අක්කාගේ පැතුමයි...

සඳක් මැකුණු දා -සිකුරා වුණත් නොපිපි දා
එළි පොදක් අරන් හිස් අහසට පායා ආවට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

අතැඟිලි නොබැඳී - රන්හුය පට නොලැබුණු කරුමෙට
පුන් කලස කැඩී ඉහිරී -  ගොළුවුණත් සිලෝ පද
හිස් කැදැල්ල ළඟ මල් පඳුරේ මල් නැති අරුමෙට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

හදගිනි ඇවිලී -පෙම් ගී පද ගොළුවුණු යාමෙක
රන් තොරණ කැඩී ඉදිරී - මැලවුණත් සෙනේ සිත
ඉඳිකඩුල්ල ළඟනුඹ තනියම  - වැලපෙන හවසට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - කරුණාරත්න විජේවර්ධන
හඬ - ප්‍රදීපා ධර්මදාස
(ප්‍රදීපා ධර්මදාසගේ කඳුළු තොටුපළ සි. ඩී.තැටියේ එන ගීතයකි.)

මේ ඇසුනු ගීතයේ විශේෂත්වයක් තියෙනවා මට. ඒක තමයි මේ ගීතය සී. ඩී. තැටියක් සඳහා තෝරා ගැනුනු මගේ ප්‍රථම ගීතය වීම. ඒකෙත් පොඩි කතාවක් තිබෙනවා.
මම මේ ගීය කරු ට කියා සංගීතවත් කරලා ප්‍රදීපා අක්කාගේ හඬින් ගායනා කරවා ගත්තේ මගේ කිඳුරු ගීතය ගීත පොකුර වෙනුවෙන්. 


එදා පටිගත කිරීමට ඩලස් අයියාත් ( පසුව ඩලස් නියෝජ්‍ය ඇමතිතුමන් සහ ඩලස් ඇමතිතුමන් වුණා. එහෙත් අපි ඊට පෙර ඔහුට කීවේ ඩලස් අයියා කියා වන බැවිනි ඒ විදිහටම මෙහි ලියුවේ.)පැමිණ සිටියා. ගීතය ගයා අවසන ප්‍රදීපා අක්කා සහ ඩලස් අයියා හදකලාව මුණු මුණු ගානු වරක් දෙවරක් දුටුවා. මෙය මට මහත් ගැටළුවක් වුණා. අළුත් අපේ ගීතය පිළිබඳ ඔවුන් සෑහීමකට පත් නොවීවත්ද? ඔවුන් එතැනින් නික්මුණේද යමක් නොකියාමයි.
පසුදා සෙනසුරාදාවක් විය. කැම්පස් නොයන නිසා හිටියේ බෝඩිමට වී පටිගත කළ ගීත ටික අසමිනි. තමන්ගේම ගීතයක් පටිගත වී අපි මහත් සේ ඇළුම් කළ ප්‍රවීන හඬකින් ඇසෙන විට දැනෙන්නේ පුදුමාකාර සතුටකි. ඒ අතරේ හදිසියේ කැබ් රථයක් බෝඩිමට විත් නැවතුනි. ඒ ඩලස් අයියා ගේ කැබ් රථයයි.

ඔහු පෙර දින කළ ගීතය ගැන කතා කර එය හොඳ බවද පවසා ගීතය අක්කාට ගයන්න ලැබීම ගැන සතුටු වන බවද පැවසීය.
මම මේ ළඟට යන අතරේ උඹලා ඉන්න තැනට එබිලා යන්න ආවේ.
ඔහුගේ පැමිණීමේ යම් අස්වාභාවික ස්වරූපයක් තිබුණද එය වටහා ගැනීමට ඒ අවස්ථාවේ මට නොහැකි වුනි. තවත් පැයක් දෙකක් ගෙවෙද්දී ඔහු නැවත පැමිණියේ ආපසු යන අතරේය. ඔහු පැමිණ ටික වේලාවක් ගත කර වැදගත්ම කතාවට මුළ පිරීය.
යසනාත් මල්ලී... මට උඹෙන් අහන්න බැරිවයි උදේ ආපහු ගියේ..... ප්‍රදීපා අක්කා අහන්නම කියා බල කරන නිසායි ආයෙමත් ඇවිත් අහන්න හිතුවේ. උඹට පුළුවන්නම් ඔය ගීතය අක්කාගේ ගීත එකතුවට දීපං....... අක්කා එකට දෙකක් ගායනා කරාවි උඹේ ගීත එකතුව සඳහා.....
කාරණය වටහුනේ එවිටය. මා ඔහුට කීවේ මගේ ගීත එකතුවක තිබෙනවාට වඩා ඇගේ ගීත එකතුවට එය එකතු වීම අළුත් අය වශයෙන් මටත් කරුටත් මහඟු අවස්ථාවක් වන බවයි. ඒ ගීතය ඇගේ ගීත එකතුවට ගියේ ඒ ලෙසයටය.
සඳක් මැකුණු දා ගීතය අසා යන්න.
http://www.topsinhalamp3.com/songs/pradeepa-dharmadasa-mp3-songs/sandak-makunu-da-mp3-song.php 
පස්වන කොටසින් හමුවන අදහසින් නවතින්නේ,
-         යසනාත් ධම්මික බණ්ඩාර -

2 comments:

  1. අදත් වෙනදා මෙන්ම ආවෙ ගීයක් දෙකක් රස විඳින්න. අක්කා නංගිලා උන්න නිවසක සිටිය නිසාවෙන් සඳක් මැකුණු දා -සිකුරා වුණත් නොපිපි දා ගීය අපූරු චමත්කාරයක් දකිනවා. ජීවිතේ මේ වාගෙ දුක් සුසුම් ලන සොයුරියන් හා මේ වාගෙ පැතුම් පතන සොයුරියන් අපි නිතරම දකිනවා නේද? ගීත දෙකම ලස්සනයි. මුල් ගීය අසා තිබුනේ නෑ. ප්‍රදීපාගේ හඬ හරියටම ඒ ගීයට ගැලපෙනවා කියල මට හිතෙන්නෙ.

    ReplyDelete
  2. මෙය මම ආස කරන ගීතයක්. ඇත්තෙන්ම මෙය යසනාත් සහෘදයා ගෙ බව දැනන් හිටියෙ නැහැ. සංගීතය කරු අයියගෙ කියල හිතුනෙත් නැහැ. මොකද ඒ හැඩතල වඩාත් සමීප වෙන්නෙ කපුගේ මාස්ටර් ට නිසා. අතුරු වාදනයේ ආරම්භක වයලින් වාදනය සහ "රන් හුයපට" කියන කොටස ගායනා වෙන තැන වාදනය වෙන වයලින් ෆිසිකාටෝ එක ඇහෙනකොට මතක් වෙන්නෙ ම කපුගේ. ඇත්තෙන් ම ගීතයේ වචන වල අර්ථය උදදීපනය කරන්න කරු අයිය ගේ සංගීතය සමත්වෙලා තියෙනබව නම් පැහැදිලියි. "රන්හුය පට" කියන තැන හුයක් බිඳෙන ශබ්දය වයලිනය හරහා සංගීතාත්මක ව දක්වා තිබීමෙන් වචනය ඉක්මවා හැඟීම් දැනවීම පිණිස සංගීතය යොදාගැනීමට ඔහු ගන්නා ප්‍රබල උත්සාහය පැහැදිලි වෙනවා.

    ReplyDelete