මේ මරණය කුරිරුද සොඳුරුද යන්න ගැන සංවාදයකට එළඹීමේ
අවස්ථාවක් නොවේ. මට අවශ්‍ය වූවේ විවිධ අය මරණය පිළිබද දකින ආකාර කිහිපයක් දැක්වීමට
පමණි. ඒ ගැන ගැඹුරු විග්‍රහයක් නොවේ. ඒ විමසුම වෙනත් කටයුත්තකට මුළ පිරීම සදහාය.
මරණය යන වචනය
කෙනෙකු තුළ මවනුයේ භයංකර සිතුවිලි සමුදායකි. භයංකර රූප රාමු පෙළකි.
මරණයට කැමති කිසිවෙක්
නැතැයි මට සිතේ. එනම් මරණයට කැමති කිසිවෙක් ඇතැයි මා නොසිතන බවය. සැවොම මරණයට බිය ය.
මරණයෙන් පළා යාමට උත්සාහ කරයි. මරණය අභියස ජීවිතය ඉල්ලා හඬා වැලපෙයි.
මරණය ගැන මා
එසේ කීවද මරණයට අකමැති වුව මරණය පතන මිනිසුන් ද, මරණට අකමැති වුව මරණයට නොබියව
මුහුණ දෙන මිනිසුන් ද, මරණයට අකමැති වුව ජීවත් වවනවාට වඩා මරණය හොඳයැයි සිතන
මිනිසුන් ද, මරණය එනතෙක් දුක් විඳින මිනිසුන් ද, මරණය එනතෙක් නොසිට මරණය වෙත යන
මිනිසුන් ද අපට හමු වෙයි. මා මුළින්ම හැදින් වූ මරණයට බිය, මරණයෙන් පලා යන, මරණය අභියස ජීවිතය
ඉල්ලා හඬ වැටෙන මිනිසුන් වුව ජීවිතයේ යම් යම් අවස්ථාවල දිවියට වඩා මරණය යෙහෙකැයි
සිතූ සිතන අවස්ථා එමට තිබිය හැක.
මරණය යනු
ජීවයක අවසන බව විද්‍යාත්මක අදහස වෙයි. එයින් පසු ජීවය
ලෙස පැවතුන ස්කන්ධය අජීවී ද්‍රව්‍ය බවට පත්වෙයි. ඒවාද පසුව කුඩා සංයෝග සහ මූල ද්‍රව්‍ය
බවට පත්වෙයි. තව දුරටත් එහි ජීවයක් නොවෙයි.
එහෙත් බොදු
දහම මුළ් කොට ගත් ප්‍රකාශයක් කරණ බෙල්ලන ඥානවිමල
හිමියන් තැනක ප්‍රකාශ කර ඇත්තේ මරණය යනු දිවියක කෙලවර නොව දිවිය පැවතුන
එක්තරා විදිහක කෙලවර පමණක් බවත් කිසියම් ජීවියෙකු මැරුණු පසු ඒ ජීවියා තුළ පැවතුන
ජීවය වෙනත් ලෙසකින් අළුත් ජීවයක් ලෙස පවතින බවත්ය. එනම් මධ්‍යම කඳුකරයෙන් වෑස්සෙන
දිය සීරාව ජල පහරක් වීමත් එය පසුව ඇලක් බවට දොළක් බවට ඔයක් හෝ ගඟක් බවට පත්වෙමින් මුහුදට
එක් වන්නා සේ වරින් වර වෙනස් වනවා මිස අවසන් නොවන බවයි. මුහුදට වැටුණු ජල කඳ
වාෂ්පීකරණය වීමත් රට මැදට ඇදීමත් සිසිල් වන විට වැසි වළාකුළු වීමත් වැසි වළාකුළු වැස්ස වීමත් ලෙස නැවත මුළට ගමන් කරයි. දිවිය ද මෙබඳු යැයි එ හිමියන්
දරණ මතයයි. එවිට මරණය යනු පැවති ආකාරයේ නිමාවක් මිස කෙළවරක් නොවේ.
බුදු දහමට
අනුව මෙය වඩා ළඟින් පිළිගත හැක. ඒ අනුව ඉපදීම මරණය සමගද මරණය නැවතත් ඉපදීම සමග ද
එක්ව ගමන් කරයි. මෙය නිමා වනුයේ උතුම් වූ නිවනෙන් පමණි.
මා මිතුරු උදයසිරි වික්‍රමරත්න මගේ පාසැලේ ඉගෙනුම ලැබූ සගයෙකු ද වෙයි.
හේ
අමුතුම මිතුරෙක් වනුයේ සාමාන්‍ය පෙල විශිෂ්ඨ සම්මාන 8 ම සහිතව සමත් වී විද්‍යා හෝ
ගණිත විෂය ධාරාවන් ඉවත දමා කැමැත්තෙන් ම කලා විෂයයන් හැදෑරීමට මට මතක කාලය තුළ අප
පාසැල වන කුරුණෑගල මලියදේවයෙන් යොමු වූ ප්‍රථම
සහ එකම සිසුවා වීමෙනි. මේ හැර ඔහුගේ සුවිශේෂතා රැසකි. ඔහු ලෝකය ද කලාව ද අමුතු
ඇසකින් දකින මිනිසෙකි. එහෙත් මේ ඔහු පිළිබදව විමසීමේ වෙලාව නොවේ. අහම්බෙන් දුටු
ඔහුගේ සටහනක් සෘජුවම අදාල නොවුනත් යම් පමණකට මේ සදහා ද අදාල වේ යැයි හැඟුනු බැවින්
එය හඳුන්වා දීමටය. මේ ඔහු තබා තිබූ සටහනකි.
ටෝල්ස්‌ටෝයි
හා බුද්ධාගම
සැබෑ
අධ්‍යාත්ම විද්‍යාව වශයෙන් සැලකිය හැක්‌කේ දර්ශනය පමණි. මෙහිදී මා අදහස් කරන්නේ
ෂෝපන්හවර් පැවසූ "දර්ශන අධ්‍යයනය" නොවේ. දර්ශන අධ්‍යයනයේදී සිදුවන්නේ
පවතින සියලු දාර්ශනික දැනුම වර්ගීකරණය කොට ඒවාට අලුත් නම් දීම පමණි. එම ප්‍රයත්නයේදී
ජීවිතය පිළිබඳ සැබෑ ප්‍රශ්නය දාර්ශනිකයාගේ අවධානයෙන් ගිලිහී යයි. මා මෙහිදී සලකා
බලන්නේ එම දර්ශන අධ්‍යයනය නමැති ශාස්‌ත්‍රීය විෂයය නොව සැබෑ දර්ශනයයි. එහෙත් එහිදී
පවා පෙනී යන්නේ සැබෑ දර්ශනය මගින් ද ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට දී ඇත්තේ එකම
පිළිතුරක් පමණක් බවය. එනම් දර්ශනය තුළදී ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට සොක්‍රටීස්, ෂෝපන්හවර්, සොලමන්
සහ බුද්ධ
විසින් ලබාදී ඇත්තේ එකම පිළිතුරක් පමණි.
"අප
සත්‍යය කරා ළඟා වන්නේ ජීවිතයෙන් ඈත්වන තරමටය. බුද්ධිමත් මිනිසා ස්‌වකීය ජීවිත කාලය
පුරාම සොයන්නේ මරණයයි. ඒ නිසා ඔහුට මරණය භයානක අත්දැකීමක් නොවේ"
සොක්‍රටීස්
එසේ කිව් අතර ෂෝපන්හවර්
මෙසේ කියයි.
"ලෝකය
යනු අන් කිසිවක් නොව "කැමැත්ත" වේ. එනම් ස්‌වභාවයේ ධර්මයේ නොපෙනෙන ක්‍රියාවන්ගේ
සිට මිනිසාගේ දැනුවත් ක්‍රියාවන් දක්‌වා යන සියල්ල මෙම කැමැත්තෙහි ප්‍රතිඵල වේ.
අපට මෙම කැමැත්ත ස්‌වෙච්ඡාවෙන් අත්හැරීමට හැකිනම් හා විනාශ කර දැමිය හැකි නම් ඉහත
සියල්ල ද එකෙණෙහිම අතුරුදන්වී යයි. කාලය හා අවකාශය ඇතුළු සියලු සංවේදනා මෙම
කැමැත්තෙහි ප්‍රතිඵල වන අතර කැමැත්ත අහෝසි වී ගියහොත් ඒ සියල්ල අහෝසි වී යයි. වස්‌තු
සහ අරමුණු සියල්ල නැතිවේ. කැමැත්තෙන් තොරව සංකල්ප හෝ ලෝකය හට නොගනී. කැමැත්ත නැති
නම් කිසිවක්‌ම නැත. මෙසේ සියල්ල අහෝසිවීම දක්‌වා වන පරිවර්තන ක්‍රියාවලියට බාධාව
වන්නේ ද අප තුළ පවත්නා කැමැත්ත හා ජීවිතාශාවම වේ. මෙම කැමැත්ත විසින් අප හා ලෝකය
හටගැනීම සිදුවේ. අප මෙසේ අහෝසිවී යැමට දක්‌වන බිය වෙනත් වචනවලින් දක්‌වන්නේ නම්
ජීවත්වීමට දක්‌වන ආශාව මගින් හෙළිවන්නේ අප යනු අන් කිසිවක්‌ම නොව ජීවිතයට ඇති ආශාව
බවයි. ඒ අනුව මෙම කැමැත්ත සම්පූර්ණයෙන් නැති කළහොත් ඉතිරිවන කිසිම දෙයක් නැත. මක්
නිසාද යත් අප යනු මේ කැමැත්තම මිස අන් කිසිවක් නොවන බැවිනි. එසේම අනෙක් අතට මෙම
කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කළ පුද්ගලයන්ට නම් මෙම සියලු ඉර හඳ තාරකා ක්‌ෂීරපථ
සහිත ලෝකය සම්පූර්ණයෙන්ම ශුන්‍ය වූ තැනක් පමණි."
ෂෝපන්හවර්
එසේ කියන අතර සොලමන්
කියන්නේ මෙසේය.
"සෝබනේ
හා සෝබනේම හැර අන් දෙයක් නැත. මිනිසා විසින් දිවා රෑ දරනු ලබන වෙහෙසෙහි ඵලය කුමක්‌ද? එක්
පරම්පරාවක් සමුගෙන යයි. තවත් පරම්පරාවක් උපදියි. පවතිනු ඇත්තේ පැවැති දෙයමය.
කිරීමට ඇත්තේ කළ දෙයමය. මේ ඉරහඳ යට කළ හැකි අලුත් කිසිවක් නැත. අලුත් යෑයි කිව
හැකි කිසියම් හෝ දෙයක් තිබේද? එය
අතීතයේ දී ද එසේම තිබිණි. අද ද එය අප ඉදිරියේ එලෙසම පවතියි. හෙට ද එසේමය."
ඊළඟට
ජීවිතය පිළිබඳ ඉන්දියාවේ දැනුම මෙසේ ඉදිරිපත් කළ හැකිය.
"තරුණ
හා ප්‍රීතිමත් කුමාරයකු වූ ශාක්‍යමුනි
හදාවඩා ගන්නා ලද්දේ ඔහුට මහල්ලෙක්, ලෙඩෙක්
හෝ මළමිනියක් දැකීමට නොලැබෙන ලෙසිනි. එහෙත් එක් දිනක් ඔහුට තම රැළි වැටුණු දත්
හැලුණු මහලු මිනිසකු දකින්නට ලැබෙයි. ඉන් ඔහු මහත් විමතියට පත්වෙයි. ඒ නිසා ඔහු ඒ කවුද
හා මිනිසකු මෙවන් කනගාටුදායක, දුක්‌මුසු
හා සිත් කළකිරෙන සුළු ඉරණමකට ලක්‌වන්නේ කෙසේද යන්න ස්‌වකීය රියෑදුරුගෙන් අසයි.
එවිට ඔහුට පිළිතුරු වශයෙන් දැනගන්නට ලැබෙන්නේ මෙම ඉරණම සෑම මිනිසකුටම පොදු බව හා
ඔහුට ද එම ඉරණමටම මුහුණදීමට සිදුවන බවය. එය දැනගත් ඔහුට තවදුරටත් තමන් පැමිණි ගමන
යන්නට නොහැකිය. මේ ගැන තවත් සිතිය යුතුය. ඒ නිසා ඔහු යන්නට පැමිණි ගමන නවතා ආපසු
මාළිගාවට යයි. එසේ ආපසු මාළිගාවට යන තරුණ කුමරු ඒ ගැන දිග දුර කල්පනා කර යම්
ආකාරයකින් සිත් හදාගන්නට ඇත. ඒ නිසා පසු දිනක ඔහු යළිත් සතුටු සම්පන්න හැඟීමෙන්
මාළිගාවෙන් පිටතට යයි. එහෙත් එවිට ඔහුට යළි දකින්නට ලැබෙන්නේ ලෙඩෙකි. ඔහු එයින් ද
ඉමහත් විමතියට පත්වේ. ඔහු මේ තාක් ජීවිතයේ කිසිදු දිනක ලෙඩෙකු දැක නැත. ඒ නිසා
ඔහු ඒ කවුදැයි කියා විමසා ඒ ලෙඩෙකු බවත් සෑම මිනිසකුට ලෙඩ දුක් වැළඳීමට ඉඩ ඇති
බවත් ඒ අනුව තමන්ටත් ලෙඩ හැදීමට ඉඩ ඇති බවත් දැනගනියි. එයින් යළිත් කලකිරෙන ඔහු
පැමිණි ගමන නවතා ආපසු මාළිඟාවට ගොස් ඒ ගැන කල්පනා කරන්නට වෙයි. එහෙත් ඔහුට නැවතත්
යම් අස්‌වැසිලිසහගත සිතිවිල්ලක් හදාගන්නට හැකිවන්නට ඇත. තුන්වන දවසේත් ඔහු උයන්
කෙළි සඳහා පිටත්ව යන්නේ ඒ නිසාය. එහෙත් එවර ඔහුට තවත් අලුත් දර්ශනයක් දකින්නට
ලැබෙයි. ඔහුට මිනිසුන් එක්‌ව යමක් ඔසවා ගෙන යනු දකින්නට ලැබෙයි. ඒ මොකක්‌ද කියා
ඔහු අසයි. ඒ මැරුණු මිනිහෙක් යෑයි ඔහුට පිළිතුරු ලැබෙයි. මැරෙනවා යනු කුමක්‌ද
කියා එවිට ඔහු අසයි. එවිට ඔහුට පිළිතුර ලැබෙන්නේ මැරෙනවා යනු ඔහු දකින්නට ලැබුණු
තත්ත්වයට මිනිසකු පත්වීම බවය. කුමරු මළ මිනියට ළංව එය ඔතා ඇති රෙදිකඩ ඉවත්කර ඒ දෙස
බලයි. බලා මේ තැනැත්තාට දැන් කරන්නේ කුමක්‌ද කියා අසයි. එවිට ඔහුට අසන්නට ලැබෙන්නේ
මේ මළ මිනිය පොළවේ වළ දමනු ලබන බවය. එවිට ඔහු ඒ කුමක් නිසාදැයි කියා අසයි. එවිට
ඔහුට පිළිතුරු ලැබෙන්නේ යළි මේ මිනිය ජීවිතය කරා ආපසු නොඑන බවත් ඒ වෙනුවට කුණු ගඳ
හා පණුවන් එය කරා පැමිණෙන බවත්ය. "සියලුම මිනිසුන්ගේ ඉරණම එයද? මටත්
මෙලෙසම සිදුවේද?
මාවත් මෙලෙසම වළ දමාවිද? මා
වෙතින් ද මෙලෙසම ගඳ උපදීවිද? මට ද
මෙලෙස පණුවන් ගසාවිද? එය එසේ නම් උයන් කෙළියට යැමේ
තේරුමක් නැත. රථය ආපසු හරවනු."
ශාක්‍යමුනිට
ජීවිතය තුළ සැනසීමක් දැකිය නොහැකි විය. ජීවිතය වනාහී ලොකුම නපුර බව ඔහු වටහා
ගත්තේය. ඒ නිසා ඔහු ස්‌වකීය සියලු ශක්‌තිය ඒ ජීවිතය වෙතින් තමාව මුදා ගැනීම සඳහා
හා අන්‍යයන් මුදා ගැනීම උදෙසා යෙදවූවේය. ජීවිතය තුළදී පමණක් නොව මරණින් මතු ද යළි
ජීවිතය ඉපදීම සිදුනොවන පරිද්දෙන් ඔහු මුල් සමගම ඒ ජීවිතය මුලිනුපුටා දැමුවේය.
ඉහත
දක්‌වා ඇත්තේ ජීවිතය පිළිබඳ ඉන්දියානු ඥනයයි. ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට මිනිස්
දැනුම විසින් පිළිතුරු සපයා ඇත්තේ ඉහත දැක්‌වූ ආකාරවලිනි. එහෙත් මේ පිළිතුර මගින්
මට මගේ සිත සනසා ගැනීමට නොහැකි විය.
(ටෝල්ස්‌ටෝයි
තෙරුවන් සරණ ගිය අයකු නොවේ. ඔහුට බුදුදහම
තවත් දර්ශනයක් පමණි. කෙසේ වුවත් ජීවිතයේ දුක විස්‌තර කිරීමේදී ටෝල්ස්‌ටෝයි
එය කරන්නේ බෞද්ධයකු ලෙසින්ම බවක් අපට
හැඟී යයි. එහෙත් බුද්ධාගම
බටහිරට එන්නේ දුකින් මිදීමේ මාර්ගයක් ලෙසින් නොව තවත් දර්ශනවාදයක් ලෙසින් පමණක්
බව පෙනී යයි.)
-
උදයසිරි වික්‍රමරත්න -
මේ මරණය
කුරිරුද සොඳුරුද යන්න ගැන සංවාදයකට එළඹීමේ අවස්ථාවක් නොවේ. මට අවශ්‍ය වූවේ විවිධ
අය මරණය පිළිබද දකින ආකාර කිහිපයක් දැක්වීමට පමණි. ඒ ගැන ගැඹුරු විග්‍රහයක් නොවේ.
ඒ විමසුම වෙනත් කටයුත්තකට මුළ පිරීම සදහාය.
දැන් මරණය
සොඳුරුව දකින්නෝ වෙත්ද?
එසේ වෙත්නම් නම් ඒ ඉහත ලිපියේ මෙන් ජීවිතය සාමාන්‍ය
ඇසින් ඔබ්බෙහි සිට දුටු ඉහත අයුරේ දාර්ශනිකයින් විය හැක. නැතිනම් ඒ විවිධ කලා
කරුවන් විය හැක.
ග්‍රීක
දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස්ට මරණ දඬුවම
හිමිවන්නේ සත්‍ය ප්‍රකාශකිරීම නිසාය. විද්‍යාත්මක චින්තනය ගෙනහැර පෑම නිසාය. මින්
කලබල වුණු දෙකොටසක් සිටියහ. එක් කණ්ඩායමක් පාලකයන් ය. සත්‍ය ප්‍රකාශ වූ
විට පාලකයින්ට එරෙහිව ජනතාව කැරලිගසතැයි ඔවුන් බිය වූහ.
බොහෝ පාලකයින්
සත්‍යයට බියවෙයි. අසත්‍යය රජ වූ විට රජකම පහසුය. සත්‍යය හෙළිවනවාට බිය වුණු අනෙක්
වර්ගයා එසේ වෙතැයි සිතා ගැනීමටත් අපහසු කණ්ඩායමකි. ඒ අන් කණ්ඩායමක් නොව පූජකයින් ය.
ඔවුනද සත්‍යයට බිය වූහ. සත්‍යය මත පදනම් නොවූ සෑම ආගමකම පූජකයින් සත්‍යයට බිය ය.
එමෙන්ම ආගම සත්‍යය මත පදනම් වුවත් පූජකයින් ගේ පදනම අසත්‍යය නම් ඔවුනද සත්‍යයට බිය
ය. ඒ නිසා දෙගොල්ලම සත්‍ය ප්‍රකාශකරන්නවුන් ද්‍රෝහීන් ලෙස දකිති. සතුරන් සේ සලකති.
අවසානය වූයේ
දෙපසේම අවශ්‍යතාව මත සොක්‍රටීස් මරණයට නියම කිරීමයි.
සොක්‍රටීස්ට නියම වූ මරණ
දඬුවම හමුවේ ඔහුගේ ගෝල බාලයින් භයෙන් භ්‍රාන්ත වූහ. එහෙත් සොක්‍රටීස් නොවේ එසේ මරණය හමුවේ බිය වූයේ. මේ නිසාම එම ගෝල
බාලයින් සොක්‍රටීස්ට බේරී පැන යාමට යෝජනාකොට සැලසුම්
කළ අවස්ථා ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු මරණයට මුහුණ දුන්නේ නොබිය ව සතුටුනි.
ඒ වගේම
කිවයුත්තක් ඇත. සොක්‍රටීස් මරණයෙන් බේරී පැන
ගියේ නම් ඔහුට මරණ දඬුවම දුන්නවුන් පවා යටි සිතින් සතුටු වනු ඇත. ඔවුනට වඩා අවශ්‍ය
වූයේ සොක්‍රටීස්ව මරා දැමීම නොවේ. මරණය
ඉදිරියේ සොක්‍රටීස් බියෙන් මුසපත්වනු දැකීමය.
ජීවිතය ඉල්ලා හඬා වැටෙනු දැකීමය. එහෙත් මරණයට නොබියව මුහුණ දෙමින් දඬුවම විඳින්නට
ගත් තීරණය නිසා ඔවුනට තිබූ සොක්‍රටීස් භීතිකාව අහෝසි වුවද හිත යටින් මිය ගිය සොක්‍රටීස්ටත් ඔවුන් බිය වන්නට ඇත.
මරණ මංචකය
අභිමුව ඔහු ප්‍රකාශකළා යැයි සැලකෙන අදහස් කිහිපයක් මෙලෙස ගෙනහැර පාමි.
මට
හිතෙන්නේ මරණය ආශිර්වාදයක් කියායි. ඇතැමුන් සිතන අයුරින් - විශේෂයෙන් මේ මරණ දඬුවම
නියම කරමින් සැනසෙන්ට අවැසි අය සිතන අයුරින් එය බියකරු නැත.
මරණය
යනු කුමක්ද?
එය දෙයාකරයකින් පැහැදිලි කරන්න පුළුවන්.
මරණය
කියන්නේත් නින්දක්ම තමයි. අපි සාමාන්‍ය නින්දේදි සිහින දකිනවා. එහෙත් මරණය නමැති
නින්දේදි අපි සිහින දකින්නේ නෑ. ඇත්තෙන්ම එය එකම සුවබර දිගු නින්දක්. ඒ
නිසා ඒක දණ්ඩනයක් වන්නේ කොහොමද කියා මට වැටහෙන්නේ නෑ ? එය ප්‍රමෝදමත් ආශිර්වාදයක්
ලෙසයි මම නම් දකින්නේ.
අනෙක්
අතට එය පර්යටනයකේ. එක් තැනක සිට තවත් තැනකට යන චාරිකාවකේ. එක් තැනෙකින් මුදා හැරලා
තවත් තැනක රැඳවීමක්. මෙලොවින් මිදී එලොව යාමක්. එයද සිත ප්‍රීතියෙන් පුරවයි. මන්ද
මෙලොව හැරගිය සියල්ලෝ එලොව වසනා බැවිනි. ඒ නිසා එහිදී ඔවුන් මුණගැසේවි. එවිට ඔවුන්
ඇසුරේ කල් ගෙවිය හැක.
ඒ
නිසා මරණය දඬුවමක් වන්නේ කෙලෙසද ? සැබෑ
දඬුවම ජීවිතයද ?
මරණයද?
ඉදින්
ඔබ ජීවිතයට.....
මා
මරණයට.....
එහෙත්
වඩා නිවැරදි මාවතේ යන්නේ කවුරුන්දැයි
කාට
නම් කිව හැකිද........?
මරණය පිළිබඳ ව
වූ මෙවැනි විවිධ අදහස් එමට ය. මා මෙහි උත්සාහ කරනුයේ මරණය බියකරුය යන්න කීමට හෝ
මරණය සුන්දරය යන්න කීමට නොවේ.
විවිධ කලා
කරුවන් මරණයක් හෝ මරණය යන්න පාදක කොටගෙන ලියූ කවු ගී කිහිපයක් ගැන විමසුම සඳහා ඒ
දිගු හැඳින්වීම ඔස්සේ පිවිසුමක් ලබා ගැනීමය. මේ අදහස් කිහිපයක් පමණි. සියල්ලම
නොවේ.
ඔවුහු විවිධ
මරණ පිළිබඳ ව නිර්මාණාත්මකව ලියා ඇත. තම සමීපතමයින්ගේ මරණවල සිට ඊට වැඩි පුළුල්
අරුතින් අලි ඇතුන්ගේ මළගම, සතා සීපාවාගේ මළගම, පාරිසරික මළගම, සත්‍යයයේ මළගම,
සංස්කෘතියේ මළගම, සභ්‍යත්වයේ මළගම, ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම, නිදහසේ මළගම, ජාතියේ
මළගම ඈ ක්ෂේත්‍ර පිළිබදව නිර්මාණ තුළින් ස්පර්ෂ කර ඇති බව පෙනී යයි. තවත් ඔබ්බට ගොස්
ආර්ථික මර්මස්ථාන හා සේවා ආදිය ද ඒ සඳහා විෂයකොට ගත් බව පෙනී යයි. රාජ්‍ය බැංකුවල
මළගම, නිදහස් අධ්‍යාපනයේ මළගම, නිදහස් සෞඛ්‍යයේ මළගම ආදියද නිදසුන් සේ ගත හැක.
තම
සමීපතමයින්ගේ මරණ ගතහොත් මව පියා දරුවන් සහ වෙසෙසින් පෙම්වතා හෝ පෙම්වතිය හෝ ස්වාමි පුරුෂයා බිරිඳ පිළිබදව ලියැවී ඇති අයුරු
බොහෝ සේ දැක ගත හැකිය.
මරණය හා
බැඳුනු ගීත අතුරින් මා කුඩා සංදියේ මගේ මතකයට ඇතුළු වුණු මුළ්ම ගීතය වූයේ කේ. සේන විසින් ගායනා කළ
මවකගෙ
උණුසුම නොලබා සැපට නිදන පුතේ
නුඹටත්
මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
අප
දෙදෙනා අඳුරු ලොවක තනිකර දා පුතේ
නුඹෙ
අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ......
සිය සිඟිති
පුතු මතක් කරමින් පියෙක් ගයන මේ ගීය හොඳින් විමසූ විට ඇත්තටම එය පුතු වෙනුවෙන්
පියෙකු ගයන ගීයකට වඩා තරුණ බිරිය මිය ගිය තරුණ සැමියෙකුගේ ශෝකාලාපයක් බව පෙනී යයි.
මරණයක් පිළිබඳ සෝචනීය කතාවක් මෙහි ඇතුළත් වුවද මෙම ගීතය එකල මහත් ජනප්‍රිය වූ බව
මට මතකය. මෙකලද එය එසේම ජනප්‍රිය නොවුනද මෙහි ඇති ශක්තිය උපයෝගී කරගෙන සමහර නවක
ගායකයින් තමන්ගේ ආලෝක ධාරා ශක්තිමත් කර ගැනීම පිනිස මේ ගීතය යොදා ගන්නා අයුරු අපට
දැකගත හැකි වෙයි.
මවකගෙ
උණුසුම නොලබා ගීතය අසමු
ඔබ
මිය ගිය දුක
මිය
ගිය ඔබට නොව
ජීවත්
වන අපටමය.....
යනුවෙන් ශෝක
ප්‍රකාශ බැනරයක ලියා තිබෙනු මා දැක ඇත. එය ඇත්තකි. එහෙත් ඒ ඇයි.
අපි මිය ගිය
පුද්ගලයාට බොහෝ සේ ඇළුම් කළ නිසාද? නැති නම් මිය ගිය පුද්ගලයා අපට බොහෝ සේ ආදරය
කළ, රැකවරණය දුන්... කවා පොවා ඇතිදැඩි කළ හෙයින්ද? එම පුද්ගලයාගේ මිය යාම අපට මහත්
වේදනාවක්.... පාළුවක්... තනිකම්ක්..... ඵල ප්‍රයෝජන අහෝසිවීමක් වන නිසාද? මේ එකක්
දෙකක් කිහිපයක් ලෙස එය මිශ්‍ර හැඟීමක් වනු ඇත. ඉහත ගීතයේ ඇත්තේ මේ මිශ්‍ර හැඟිම
නොවේද?
රත්න
ශ්‍රී විජේසිංහයන් ලියූ මේ ගීය බලන්න.
බැස
ගියා නුඹ බැස ගියා
නිල්
තාරකාවියේ.
නුඹ
බැස ගියා.....
මේ
පාළු අහසේ තොටිල්ලේ
නුඹ
නැළවුණා මතකයි එදා
ඇල්
සුළඟ තාමත් හමන්නේ
මා
ගැයූ නැළවිලි ගී කියා
අකීතුරු
වීවා නොවේ
යායුතු
නිසා නුඹ බැස ගියා...
මේ
ජීවිතේ සිහිනයක්දෝ
සඳතරුවලින්
සරසා ගෙනා
පුරහද
පවා මුතුළැල් වෙලා
වැගිරේවී
හෙමිහිට ඉති ගසා
කඳුළක්
තරම්
සීතලදෙයක්
නැති
බව කියා දී නුඹ ගියා.....
මේ ගිතයේ කියවෙන්නේ
කවුරුන් ගැනද? කාගේ මරණය ගැනද?
කාගේ මරණය
වුවද මහත් කම්පාවක් ඇතිවන අයුරින් එය රචනා වී ඇත. එසේ නම් මේ ඉතා සමීප කෙනෙකුගේ
මරණයක් සමිබන්ධව විය යුතුය. ඉඟියක් සෙවිය යුතුය.
මේ
පාළු අහසේ තොටිල්ලේ
නුඹ
නැළවුණා මතකයි එදා
ඇල්
සුළඟ තාමත් හමන්නේ
මා
ගැයූ නැළවිලි ගී කියා
අකීතුරු
වූවා නොවේ
යායුතු
නිසා නුඹ බැස ගියා...
පාළු අහස
නමැති තොටිල්ලේ නිදියනුයේ ළදරුවකු හෝ ළදැරියකය. මව ළදරුවාට ගැයූ නැළවිලි ගීතිකා
ඇල් සුළඟ සමග විත් හදවතේ දෝංකාර දෙමින් තාමත් මතකය පාරවයි. මේ ළදරුවා බැස ගියේ
ඔවුන්ගේ සොඳුරු අහසින් ඔවුනට අකීකරු වූ නිසා නොවේ. ඉරණමේ යා යුතු ම බව කියා තිබූ
හෙයිනි. මේ පුතකුගේ මළගමක්ද? දියණියකගේ මළගමක්ද?
තාරකාවියේ
නිල් තාරකාවියේ... යනුවෙන් යෙදී ඇති නිසා මේ දියණියකගේ
මළගමකි. ඒ කාගේ දියණියද? රත්න ශ්‍රී ගේ නොවේ. රත්න ශ්‍රී ගේ දයාබර දියණියන් දෙදෙනාටම එවන්
අවාසනාවක් අත්පත් නොවුණි.
මේ එච්. එම්. ජයවර්ධනයන්ගේ සහ මාලිනි
බුලත්සිංහලගේ සිඟිති දියණිය ගැනයි.
මට මතක හැටියට මේ දියණිය ඉතා කුඩා
වයසේදී ම ඩෙංගු වැනි රෝගයකින් මිය ගියාය. එම දියණියගේ අකල් මරණය පිළිබඳ පවුලේ
හිතවත් ගීත රචකයෙකුගේ සංවේදී වදන් පෙළ ගැසීමයි මේ. ගීතය සංගීතවත් කළ කේමදාසයන් මෙහිදී ගීතයේ අරුතට මොන තරම් කිඳා බැස
ඇතිද යන්න පැහැදිලි කිරීමට ඇවැසි එහි එක් සුළු කොටසක් පමණි.
රචකයා ලියා ඇත්තේ
මෙලෙසිනි.
කඳුළක්
තරම්
සීතල
දෙයක්
නැති
බව කියා දී
නුඹ
ගියා.....යනුවෙනි. එහෙත් කේමදාසයන්
ගීතය සංගීතවත් කරණුයේ මෙලෙසින් ගැයෙන ලෙසිනි.
කඳුළක්
කඳුළක් කඳුළක් තරම්
සීතල
සීතල සීතල දෙයක්
නැති
බව කියා දී නුඹ ගියා ...... ලෙසිනි. එය ගීතයට එකතු
කළ සංවේදී බව මෙතෙකැයි කිව නොහැක.
පද - රත්න ශ්‍රී විජේසිංහ.
ස්වර - ප්‍රේමසිරි කේමදාස.
හඬ - මාලිනී බුලත්සිංහල.
බැස ගියා නුඹ
බැස ගියා ගීතය අසමු.
රත්න
ශ්‍රී ම ලියන මේ ගීය බලන්න. මෙරට ඉතිහාසයේ ඉතා අඳුරු
කාල වකවානුවකදී මරණයට බිය වුණේ මරණයට ගොදුරු වුණේ දකුණු ලක අප පමණක් නොවේ. උතුරු
ලක විසුවන් ද එහි සම ගොදුරක් විය. මේ එවැනි එක් ගොදුරුක් පමණි. පෙර මා කි ලෙස ම මරණය
ගැන වැලපෙන්නේ මරණකරු නොවේ. ජීවත්වන අයයි.
මන්නාරම්
කණ්‍යාරාමය ඇරිලා
වැලිපාරේ
මං ආවා
පේසාලෙයි
හන්දිය ළඟ
කණේරු
මල් ගහ පා මුළ
ඔබ
පරවී වැටිලා
පපුවෙන්
ලේ ගැළුවා....
ඔබ
නැතිව ගියේ මටමයි
මේ
රටට නොවෙයි
මහ
පොළොවට මිස
මිනිස්කමට
පෙම්
නොකරණ
රටට
නොවෙයි
නැගිටින්න
එපා
නැගිට
කොහේ යන්නද අපි
ඉතින්
කොවලන්......
කෙනෙකුගේ මරණය රටට මහත් පාඩුවකැයි මරණය වූ
ආසන්නයේ ම බොහෝ විට කියනු අප අසා ඇත. මේ වචන ටික කොතරම් නම් බොල්දැයි වැටහෙන්නේ
මරණය සිදුවී ටික කලක් යනවිටය. අනතුරුව හැකිතාක් ඉක්මණින් මළ මිනිසා අමතකකිරීමට වෙර
දරණ සමාජයක ය අප ඉන්නේ. එවන් සමාජයක අර වදන වලට ඇත්තේ අළුයම හෙළූ කෙළ පිඩක වටිණාකම
පමණි. එනිසාද නොව ඇය මෙසේ කියන්නේ...
ඔබ
නැතිව ගියේ මටමයි
මේ
රටට නොවෙයි......
ඊට වැඩි
පුළුල් අරුතක ඇති දෙයක් නිසාවෙනි.
ඇය එසේ
කියනුයේ මෙසේ හෙයිනි.
මහ
පොළොවට මිස මිනිස්කමට
පෙම්
නොකරණ රටට නොවෙයි........
ඉදින් මේ
දේශයේ ජීවිතයට වඩා මරණයට වැඩි වටිණා කමක් ඇත. ඒ නිසාම ඇය අයැද සිටින්නේ,
නැගිටින්න
එපා නැගිට කොහේ යන්නද අපි
ඉතින්
කොවලන්......කියාය.
මන්නාරම් කන්‍යාරාමය
ඇරිලා ගීතය අසමු.
පද - රත්න ශ්‍රී විජේසිංහ.
ස්වර - ප්‍රේමසිරි කේමදාස.
හඬ - රශ්මි සංගීතා.
මරණය යනු
කුමක්දැයි විවිධ අය විවිධ දේ කියා ඇතිවා විය හැක. කුමක්ද
මරණය යන මේ ගීතයෙන් සුනිල් ආරියරත්නයන් ඊට
වෙන අරුතක් සපයා ඇත.
කුමක්ද
මරණය
අස්ථිර
සුසුමක් නැවත නොගන්නට
සුළඟට
දන්දීමයි
ඒ
හිස් සුසුමට අරුතක් එක්කර
මරණය
උත්තම පූජාවක් කරමු...
මරණය අභියස
මරණයට නොබිය ව මුහුණ දෙමින් උතුම් අරමුණු වෙනුවෙන් ජීවිතය කැපකර මරණයට ළං වෙන
මිනිසුන් ඇතැයි මා ඔබට පෙර ද පැවසීය. මේ ගීත රචකයාගේ දෘෂ්ඨිය අනුව එවන් උතුම්
මරණයක් ගැන කියවෙන අවස්ථාවකි.
දිවිය රැක
ගැනීමට ගන්නා අස්ථිර සුසුම කොයි මොහොතේ හෝ නොවටිණා ලෙස වා තලයට මුසු වනු ඇත. එහෙත්
ඊට පෙර ඒ නොවටිණා සුසුමට අරුතක් එක් කළ හැකි නම්....
ඒ නොවටිණා
සුසුමට අරුතක් එක් කළ හැක්කේ කෙසේද? මරණය උත්තම පූජාවක් කළ විටදීය. එසේ නම් ඊ ළඟ
පැණය මරණය උත්තම පූජාවක් කරණුයේ කෙසේ ද යන්න ය.
නෙක
නෙක වෙස් බැඳ සබේට සපැමින
පිදේනි
ඉල්ලති ඇදුරුතුමෝ
උන්
හට දොළ දී බොරුවෙන් රුවටී
අපි
හැමදාමත් ඇට කටු ආතුරයෝ
පෙරදිග
මුතු ඇටයේ ඇට කටු මත
ඇස්
ඉස් මස් ලේ පුදමු
සත්‍යයයේ
නාමයෙන්.....
සෑමදාම අපට
හුරු රැවටීමය. රැවටීම අපගේ උරුමය වන්නට ගන්නේ එතැන් සිටය. රවටන්නන් කවුරුන්දැයි
අපි හොඳ හැටි දන්නෙමු. රවටන්නන්ගේ කෙරුවාවද හොඳ හැටි දන්නෙමු. එහෙත් රැවටීම යනු
උරුමය වන නිසා අපි හැමදාම ඒ හඳුනන රවටන්නන්ට රැවටෙන්නෙමු. මේ අයුරින් සැමදාමත් රැවටෙන
බොරුවට එරෙහි වී මිය යාම අරුතක් නැති මරණයට අරුතක් එක් කිරීමක් බව ය ගේය පද රචකයා
මතු කරණ දර්ශනය.
මේ යෝජනාව අගය
කළ යුතුය. එහෙත් ඒ යෝජනා පෙරදැරිව ඒ පාරේ ගිය ගමන් වාර ගැන නම් ඇත්තේ යම්
නොපැහැදිලි අදහස් ය.
කුමක්ද
මරණය
ගීතය අසමු
මිය ගිය හෝ අතුරුදන්වූ (
අතුරුදන්කොට මියයාමට සැලැස්වූ - සිංහලෙන් කියනවා නම් මරා දැමූ ) පුතෙකු පිළිබඳ
පියෙකුගේ මේ වැලපිල්ල රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි මනසින් මෙසේ පැමිණිල්ලක් ලෙසින් ලියවෙයි.
හන්තානේ කඳු දන ඇණ නමදින - සිරි දළදා
හාමුදුරුවනේ
ඔබ වහන්‍සෙ ළඟ ඉගෙන ගන්න ගිය - මගෙ
දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා ගෙන ආවළු
හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදුවන
හාමුදුරුවෙනේ....
මේ හන්තාන අඩවියට ධර්මය දැනගෙන
එන්නට ගොස් නිෂ්චිත තොරතුරක් නැති දරුවෙකු පිළිබඳව පියෙකුගේ විමසුමකි. ඔහු මේ
විමසුම කරණුයේ සිරි දළදා හාමුදුරුවන්ගෙනි.
මේ දරුවා ගියේ දළදා වහන්සේ ළඟටද?
කුමන ධර්මයක් දැන ගැනීම පිණිසද?
ඔහු ගියේ හන්තාන අඩවියේ ඇති
තක්සලාවකටය. ධර්මය යනු දැනුම ය.
මේ දරුවාට යම් අනතුරක්
අකටයුත්තක් වීඇත. ඒ පිළිබඳව මේ පියා විමසන්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් හන්තාන
සෙවෙනේ වැඩ වෙසෙන දළදා හිමියන්ගෙනි. සිරිලක්වාසීන් සිතනුයේ එවන් උතුම් දළදා හිමි
අභියස එවන් අනතුරු අකටයුතු කම් විය නොහැකි බවය.
දරුවාගේ ඇස් දෙක පියවා, සුදු
පිරුවට අන්දවා ගෙනැවිත් ඇත. ඒ මහණ කෙරුමට නම් නොවේ.
ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත්
නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනඟට අහු වුන මරු වැල
පෑගුන කෙනෙකුන්දො
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින්
දුකකින් නැත පෙළුනේ
දාඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ
ගැන නෑ දන්නේ.......
පියාණන්ට මියැදුනු දරුවකු
හමුවන්නේ දළදා මැදුර පෙනෙන නොපෙනෙන ඉමකදීය. මුහුණුවර සිය දරුවාගේ වැනි වුවද කෙලෙස
නම් පියෙකු එවන් දෙයක් අදහන්ද... අන්ත අසරන එහෙත් හැම සතයක්ම හොර මැරකම් වලින්
තොරව එකතු කර හදා වාඩා ගත්....ශිල්ප සතර දී වැඩිදුර දැනුම ගමට ගෙන එනු පිනිස
හන්තාන අඩවියට පිටත්කර එවූ දරුවෙකි මේ. ඒ දරුවා මෙලෙස අකල් මරණයකට පත් වූයේ කුමන මෘග
කැළකට ගොදුරු වීමෙන්ද?
මේ ගීතය අපට මතක් කර දෙන්නේ අප
රටේ තවත් එක් අඳුරු කාල පරිච්ඡේදයකි. පසු කාලීනව බොහෝ දෙනෙකු අමතක කළ, අමතක වුණු
මේ භීම යුගය වන් අන් යුගයක් අප දන්නා ඉතිහාසයේ මෙසිරිලක නොතිබුණි. එහෙත් කාලය සමහර
දේ වසා දමන්නේ කෙමෙන් කෙමෙන් නොවේ. විදුලි වේගයෙනි. ගිනි කඳු වේගයෙන් යට ගසා කුඩා
ගිනි පුපුරු ඊටත් වැඩි වේගෙන් මතු කරන්නට සාමාන්‍යෙයන් අපේ සමාජය වඩා ප්‍රිය කරයි.
මේ එවන් සැඟවුනු යුගයක එක් කඳුළු කතාවක් පමණි.
කාලය දීපය දේශය දන්නා මතු බුදුවෙන
හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්ඩ ගියේ පුතු හමුවුන
නැති වග නැත දන්නේ
බාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී
මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න
දැන්වත් ඇඳුරිඳුනේ...
ධර්මපාල නම් පියාගේ ගීතය අසමු.
මේ භීම සමයේ භීම භූමියක් වුණේ රටේ එක් කොටසක් පමණක් නොවේ. දකුණු ලකේ රත්න ශ්‍රී ට ද රජරටේ මහින්ද චන්ද්‍රෙස්කරට ද මේ අමිහිරි ළොමු දැහැගන්වන අත්දැකීම් කව් නිමිති ගී නිමිති
ඉතිරි කළේය.
මහින්ද චන්ද්‍රෙස්කරගේ මේ ගීත රචනය තෝරා ගැනීම ම එක්තරා අභියෝගයකි. එය සංගීතවත්කොට
ගැයීම තවත් අභියෝගයකි. කරුණාරත්න විජේවර්ධන සංගීතඥයා පළමු අභියෝගය නොපැකිලව භාරගනී.
භාරගෙන ඉතා හැඟුම්
බර අර්ථයට පූර්ණ වශයෙන් වග කියන, ගායකයෙකුට මහත් භාවයක්
මුසුකරමින් ගැයිය හැකි සංගීතයක් නිමවීය. වචන වල අර්ථ තුළට කිඳා බසිමින්ද, එක් යුගයක සත්‍ය වශයෙන් ම මිහිපිට සිදුවූ ඛේදවාචකයේ මතකයන්
අවදි කරමින් ඉන් පන්නරය ලබමින්ද ඔහු එහි සංගීතය නිමවයි. ඒ සඳහා ගීත රචනය ඔහුට මහත්
අනුබලයක් ලබාදෙයි.
සිත කුමුදු පිපුණු රාත්‍රියේ
ගං තෙරේ වැටී
නුඹ ඇයිද ඔතැන මල්ලියේ
කියන් මට ඉතින්.......
ඒ යුගයේ රාත්‍රීන්හි ඇත්තෙන් ම නම් පිපුණේ කුමුදු නොව ගිනි
මල්ය... ඒත් අප රචකයා කියනුයේ සිතෙහි
කුමුදු පිපෙන සීතල රාත්‍රියක් ගැනය. ඒ රාත්‍රියේ තම බාල සොහොයුරා නිවසට නොපැමිණීම
ගැන විමසිල්ටලන් සිටි එක්තරා සොහොයුරෙක් ගං තෙරේ වැටී සිටින තම සොහොයුරා දකී. ඔහුට
මෙය මහත් ම ප්‍රහේලිකාවකි. ඔහු මෙසේ වැටී සිටිනුයේ මල්වතු ඔය ගං තීරයේය.
අසනීපයකින් වත්ද? නැතිනම් පමණ ඉක්මවා මධුවිත ගැනීම
නිසා වත්ද? මේ මලනුවන් ජීවිකාව ලෙස කළේ එම ඔයේම වැලි ගොඩ දැමීමය.
ගං පතුළ සිඹින දෑත ඇයි - නිසසලව දෑලයේ
වැලි මාලිගා කඩා හැලේ - නුඹ දුටුව සිහිනයේ
වෙනදා වැලි සොයමින් ගං පතුළ සිඹින ලද දෑත අද නිසසලව දෑලයේ
ඇත. අනේ ඔහු දුටුව සිහිනයේ වැලි මාලිගා කැඩී ඉහිරී බිඳ වැටී ඇත. එහෙත් අහුර අහුර
නුඹ ගෙනා වැලි වලින් දවසක මහ පවුරක් බැඳෙනු ඇත. ඒ පවුර යට සදා කල් ම නුඹලා වැනි
මල්ලිලා වෙනුවෙන් රතු රෝස මල් පිපෙනු ඇත.
වැලි අහුර නුඹ හිසින් ගෙනා - මහ පවුර ඉදි කළේ
ඒ පවුර යට සදා කල් -
රතුරෝස මල් පිපේ
ශුද්ධ වූ බලාපොරොත්තුවක් වෙනුවෙන් තම මලණුවන් අකාලයේ තම
දිවිය පුදා ඇති බව දකින සංවේදී හදක් ඇති ගීත රචක අයියා කෙනෙකු තුළ ඇති වූ කම්පනය
පිටකළ හොඳම ක්‍රමය මෙය විය යුතුය. එලෙසින් ම
මීට වඩා උපහාරයක් ඒ මල්ලී වෙනුවෙන් ඔහුට කළ නොහැකිවනු ඇත.
මෙම විශිෂ්ඨ ගීත රචනයට ණය නොවන සංගීත රචනයක් කිරීමේ අභියෝගය
අප සංගීතඥයා සාර්ථකව බාරගෙන නිම කරයි. එහෙත් කිසියම් හේතුවක් නිසා එය ගායනා කිරීමේ
අභියෝගය බාර ගැනීමට සිටි ගායන ශිල්පියා විසින් එම අභියෝගය අත හැරීම නිසා එය ගැයුමට
භාර ගැනීමට සිදුවන්නේ ද සංගීතඥ කරුණාරත්න විජේවර්ධනට ම ය. මගේ පෞද්ගලික මතය නම් එය ඔහු විසින් ම ගායනා කිරීම
ගීතයේ වාසනාවකිය යන්නය. මන්ද යත් ගායනයේදී ඔහු ගීතයට එකතුකරන භාවය තවත් කෙනෙකු
විසින් එකතු කරාවිද යන්න සැක සහිත බැවිනි.
සිත කුමුදු පිපුණු රාත්‍රියේ
ගං තෙරේ වැටී
නුඹ ඇයිද ඔතැන මල්ලියේ
කියන් මට ඉතින්.......
ගං පතුළ සිඹින දෑත ඇයි - නිසසලව දෑලයේ
වැලි මාලිගා කඩා හැලේ - නුඹ දුටුව සිහිනයේ
වැලි අහුර නුඹ හිසින් ගෙනා - මහ පවුර ඉදි කළේ
ඒ පවුර යට සදා කල් -
රතුරෝස මල් පිපේ...
පද : මහින්ද
චන්ද්‍රසේකර.
ස්වර සහ හඬ :
කරුණාරත්න විජේවර්ධන.
සිත කුමුදු පිපුණු රාත්‍රිෙය් ගීතය අසමු
- යසනාත් ධම්මික බණ්ඩාර -
Hellօ, I enjoy reading аll of yоur article. I like tο write a little comment to support үou.
ReplyDeleteFeel free to visit my ɦomepage tert htyt
කොහෙ තිබුනිද මේ ගී .. මෙතුවක් මට නොපෙනී... යසනාත් අයියේ අගෙයි.. ඔබට බොහොම ස්තුතී
ReplyDeleteHarima vatina sampadanayak.Geethayen wagema kaviyenda maranaya gana liyu awastha bohomai.Obe uthsahaya godak watinawa
ReplyDelete