Tuesday, February 10, 2015

පූර්ව පුසූත අවධියේ යාඥාකරුවා.........





පූර්ව පුසූත අවධියේ යාඥාකරුවා යනු මා කළ පරිවර්තන කවි සහ ගී සංගෘහිත කෘතියට යෙදෙන නමයි. මේ නම බිඳගත්තේ, මා මේ නමින් ම  සිංහලට පෙරළූ poet Louis McNeice (1907 - 1963) ගේ Prayer Before Birth නම් කවෙනි.
පරිවර්තන කවි ගී යනු වෙනත් බසකින් ලියැවුනු කවියක් හෝ ගීතයක් සිය බසට නැගීමයි. මා මේ සියළු කවි ගීත සිය බසට නැගුවේ ඉංගිරිසි කවිය හෝ ගීතය ඇසුරිනි. මා දන්නා එකම අන් බස ඉංගිරිසිය පමණක් වීම නිසාය.
දන්නා එක ම අන් බස ඉංගිරිසිය පමණක් වේ යැයි පැවසූ විට මා ඉංගිරිසිය මැනැවින් දන්නෙකැයි කෙනෙක් හිතනු ඇත. එහෙත් සිය බසවත් මැනැවින් නොදත් මා ඉංගිරිසිය දන්නේ අල්පයකි.
දැන් ඔබට පැණයක් නැගෙනු ඇත. අල්පයක් ඉංගිරිසි දැනගෙන කවක් ගීයක් සිය බසට නගනුයේ කෙලෙස ද යනුවෙන්. ඔව් එය සාධාරණ සහ හොඳ පැණයකි. එහෙත් පිලිතුරු ලෙස මට කිව හැකි දේ අසාධාරණ එකකැයි නොසිතමි.
ඉංගිරිසිය මැනැවින් දන්නා අයගෙන්  වුව බොහෝ විට ඉංගිරිසි සාහිත්‍යය ඇසුරු කරන්නේ අල්පයකි. ඇසුරු කරන්නන්ගෙන් සාහිත්‍යයේ ගැඹුර හෝ රසය සොයන්නේ ඉනුත් අල්පයකි.ඒ අල්පයෙනුත් තවත් අල්පයකට ය ඒ රසය තවෙකෙකුට බෙදා දීමේ හැකියාව ඇත්තේ. වෙන විදිහකින් කිවහොත් එම සාහිත්‍ය කෘති කියවීමට රුචි වුවද ඒවා සිංහලට නගා කීමට ඔවුන් අපොහොසත්ය. කවියෙහි ගීතයෙහි දී මෙය තවත් ගැටළුදහසත වෙයි. ඒ සාහිත්‍ය ඇසුරින් ඔවුන් උකහා ගන්නා දේ කවි බසින් කීමට අපොහොසත් වෙයි.
ඉංගිරිසිය මද පමණින් දන්නා, එහෙත් ඉංගිරිසියෙන් ලියැවුනු කවියක ගීයක අරුත් විඳ එය ම සිය බසින් ප්‍රතිනිර්මාණය කළ හැකි අල්ප දෙනෙක්ගෙන් යුත් කුලකයක් ද වෙයි. එම හැකියාව අඩු වැඩි ව එකිනෙකාට පිහිටයි. මා අයත් වනවා නම් අයත් විය යුත්තේ එම කුලකයට ය. නැති නම් තවත් කුලකයක් ඇත. එනම් ඉංගිරිසිත් බැරි, ඒ නිසා ම ඉංගිරිසි කවි තේරෙන්නෙත් නැති, තේරුනත් සිය බසින් ප්‍රතිනිර්මාණය කළ හැකි පමණට කවිකමත් බැරි අය ඇතුළත් වන කුලකයයි. අර පෙර කී දෙවන කුලකයට මා ඇතුළත්  නොවන්නේ නම් ඇතුළත් විය යුතු මේ අවසනට කී කුලකයට ය. කුමන කුලකයට මා ඇතුළත් කරණවා දැයි යෝජනා කළ යුත්තේ මේවා කියවන විමසන ඔබයි. කියවන විඳින ලෙස නොකීවේ විඳින්න ට හැකි සේ ඉදිරිපත් කරන්නට මා පොහොසත් විනි දැයි නොදන්නා බැවිනි.
කවි ගී ඈ නිර්මාණකරණයේ යෙදෙන්නට නම් තමන් නියැලෙන බසෙහි වියතෙකු වීම වඩා යෝග්‍යය. එහෙත් බසෙහි වියතෙකු වූ පමණින් කව් ගී ලිවිය හැකි නම් එවැනි සැවොම කවියන් ගීත රචකයන් වනු ඇත. නමුත් ප්‍රායෝගික කරුණ නම් එය එසේ නොවන බවයි. මේ නිසා භාෂා හැකියාවත් කාව්‍යකරණයේ බුහුටි කමත් යන දෙකම මිශ්‍ර ව ඇති තැනැත්තා එම කාර්යය ඉටු කරයි. එම හැකියාවන් වැඩි වන විට නිර්මාණයේ උසස් බව වැඩි වෙයි. එකිනෙකා ද ඒ අනුව එකිනෙක නිර්මාණ ද මේ නිර්මාණ මං තලාවේ එක් එක් මට්ටමෙන් බැබලෙනුයේ එබැවිනි.
ඉතින් මේ එහි දී මා නෙළූ මල් මිටයි. යම් දිනක පොතකට ගොනු කරන අදහසින් වරකට කවි කිහිපයක් බැගින් මෙලෙස අමුණමි.
මුල් කවිය හෝ මුල් ගීතය ද නිර්මාණකරුවන් ගැන ද එහි වගතුග ද පරිවර්තිත කව ද ලෙස ඒවා මෙහි පළ වෙයි.
මා ඉන් ලැබූ යම් රසක් වේ ද එය බෙදා හදා ගැනීමට ගන්නා දුප්පත් වෑයමකි මේ. වඩාත් ම මේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතුන් සඳහා නොවේ. මා හා සම ව සිටින හිතවතුන් වෙනුවෙනි.
ඊට පෙර කිව යුතු යම් දෙයක් ද වෙයි. කවි මිතුරු, ජ්‍යේෂ්ඨ සොයුරු හෙන්රි වර්ණකුලසූරිය වරක් මේ පරිවර්තිත නිර්මාණ පිළිබඳ යම් අදහසක් පළ කළේය. ඒ පිළිබඳ ව මා මේ අදහස පළ කරන්නේ ඔහු හා විවාදයට පිවිසුමට නොවේ. එවන් සමහර අදහස් වලට මා එකඟ නොවන හේතුව යම් මට්ටමකින් කීමටය. මෙය උපුටා දැක්වුවා කියා ඔහු උරණ නොවන බව මා දන්නා කරුණකි. ඔහු එම අදහස දැක්වුවේ ද, ඒ සඳහා මගේ මේ ප්‍රතිචාරය ද එකම අරමුණක් සඳහා වන බව ඔහු දන්නා බව මා සිතන බැවිනි.
ඔහු වරක් පරිවර්තන කවි සඳහා වූ මුහුණු පොතේ පිටුවක මෙසේ කියා තිබුණි.
සමහර පරිවර්තිත/අනුවර්තිත කවි කාව්‍යාත්මක ගුණයෙන් තොරව අදහස සෘජු ලෙස කියාපාන ලෙස ලියැවෙනවා. සමහර විටෙක ඒ පද දිග හැරියොත් වාක්‍ය පමණයි.
හෙන්රි අයියාගේ මේ කියමන මවිසින් යම් මට්ටමකට පිලිගැනෙන අතර ම යම් මට්ටමක ට මගේ විවේචනයට ද හේතු වෙයි. එහෙත් ඊට පෙර නැවත ඔහුගේ කියමන මතකයට ගනිමු.
සමහර පරිවර්තිත/අනුවර්තිත කවි කාව්‍යාත්මක ගුණයෙන් තොරව අදහස සෘජු ලෙස කියාපාන ලෙස ලියැවෙනවා. සමහර විටෙක ඒ පද දිග හැරියොත් වාක්‍ය පමණයි.

පහර දීමකට පෙර .....
============================
ගී ගයති සොල්දාදුවෝ මරණයට යද්දීත්
නමුදු මරණයට මොහොතකට පෙර
හඬන්නට ඉඩ ඇත අයෙකු
යුද බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ
ළඟා වන බව දැනෙන විටයි
මරණය කඩිනමින්....

මෝටාර් වෙඩි පහරට හිම බිම හෑරෙන විට
තවත් නෑ සුදක් කළුම කළු පැහැ දූවිලි මිස
උණ්ඩයට ගොදුරුව මිතුරා මැරී වැටෙන විට
තවමත් ජීවත් වෙමි දැනදැනත්
ඊළඟ ගොදුර මා බව....

කාන්දමක් වේවිද මා
පියාඹා යන උණ්ඩ වලට

ඒත්....පිපිරුමක්......අහෝ...!

ඈත් විය තවත් වරක් මරණය මගෙන්
මිය ගොසින්ය ලුතිනන්වරයා මා අසලම වූ
නමුදු ශක්තිය ඇත තවම
නැවතී බලා ඉන්නට වැතිරී
අයිස් කඳු මත හෑරූ ආරක්ෂක අගල් වල...

අමතක කරන්නට
රුදුරු බව මන්ද මාරුතයේ
රස බලමු සීතල වොඩ්කා වල
සූරා දමමින්
අපේ නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ ලේ කැටි.
මේ හෙන්රි වර්ණකුලසූරිය විසින් කළ අපූරු පරිවර්තන කවකි. 


එය ඇසුරින් ම ඉහත ම විසින් උපුටා දක්වන ලද ඔහුගේ කියමනට ඇති මගේ විවේචනය  ඉදිරිපත් කරණු රිසි වෙමි. ඒ සඳහා මම හෙන්රි අයියාගේ ඉහත කවෙහි වැකි දිග හරිමි. පිලිවෙල වෙනස් කරමි. වැකි එලෙසින්ම නොවෙනස්ව තබමි.

මරණයට යද්දීත් සොල්දාදුවෝ පහර දීමකට පෙර  ගී ගයති.
නමුදු මරණයට මොහොතකට පෙර අයෙකු හඬන්නට ඉඩ ඇත.
යුද බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ මරණය කඩිනමින් ළඟා වන බව දැනෙන විටයි.

මෝටාර් වෙඩි පහරට හිම බිම හෑරෙන විට කළුම කළු පැහැ දූවිලි මිස තවත් සුදක්  නැත....
උණ්ඩයට ගොදුරුව මිතුරා මැරී වැටෙන විට ඊළඟ ගොදුර මා බව දැනදැනත්තවමත් ජීවත් වෙමි

පියාඹා යන උණ්ඩ වලට මා කාන්දමක් වේවිද?

අහෝ...! ඒත්....පිපිරුමක්......

මරණය තවත් වරක් මගෙන් ඈත් විය.
මා අසලම වූ ලුතිනන්වරයා මිය ගොසින්ය
නමුදු නැවතී අයිස් කඳු මත හෑරූ ආරක්ෂක අගල් වල වැතිරී බලා ඉන්නට තවම ශක්තිය ඇත.

මන්ද මාරුතයේ රුදුරු බව අමතක කරන්නට
අපේ නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ ලේ කැටි සූරා දමමින්
සීතල වොඩ්කා වල රස බලමු.

මෙය අරුත් දනවයි. එහෙත් කාව්‍යාත්මක හැඟීම් එහි දුලබ ය. එසේ වුව ද අරුතේ රසයත් ගද්‍යයේ රසයත් එය ඉවත හෙළීමට ලෝබ දෙයක් ලෙස අප අතේ ම දිගටම රඳවා තබයි. ඒ හෙන්රි වර්ණකුලසූරිය නමැති ඉංග්‍රීසි දැනුමැති පරිවර්තකයාගේ පරිවර්තනයයි.
මෙම වැකි වල ඇති වදන් ම ඔහුගේ කවි සිත මගින් සෙමෙන් පරෙස්සමින් තෝරා නිසි ලෙස පෙළ ගැස්සවා විරාම ලකුණු තබා ඇමිනූ විටය හෙන්රි වර්ණකුලසූරිය නමැති කවියා මතුවන්නේ. ඔහුගේ පරිවර්තිත කව නිම වන්නේ. එබැවින් කවිය කඩා වැකි හදනවාට වඩා අප උනන්දු විය යුත්තේ වැකි වල වදන් නිසි ලෙස පෙළ ගස්සවා ඒවාගේ කවි ගුණය සුරැකීමට ය.
ඒ අනුව ඉහත වැකි වල වදන් නිසි ලෙස පෙළ ගැස්වූ හෙන්රි වර්ණකුලසූරිය නම් වන මිනිසාගේ නොව හෙන්රි වර්ණකුලසූරිය නම් වන කවියාගේ පරිවර්තනය නැවත කියවමු. විඳිමු. මගේ අදහස පැහැදිලි වනු ඇත.

පහර දීමකට පෙර .....
============================
ගී ගයති සොල්දාදුවෝ මරණයට යද්දීත්
නමුදු මරණයට මොහොතකට පෙර
හඬන්නට ඉඩ ඇත අයෙකු
යුද බිමේ වඩාත් බිය ගෙන දෙන්නේ
ළඟා වන බව දැනෙන විටයි
මරණය කඩිනමින්....

මෝටාර් වෙඩි පහරට හිම බිම හෑරෙන විට
තවත් නෑ සුදක් කළුම කළු පැහැ දූවිලි මිස
උණ්ඩයට ගොදුරුව මිතුරා මැරී වැටෙන විට
තවමත් ජීවත් වෙමි දැනදැනත්
ඊළඟ ගොදුර මා බව....

කාන්දමක් වේවිද මා
පියාඹා යන උණ්ඩ වලට

ඒත්....පිපිරුමක්......අහෝ...!

ඈත් විය තවත් වරක් මරණය මගෙන්
මිය ගොසින්ය ලුතිනන්වරයා මා අසලම වූ
නමුදු ශක්තිය ඇත තවම
නැවතී බලා ඉන්නට වැතිරී
අයිස් කඳු මත හෑරූ ආරක්ෂක අගල් වල...

අමතක කරන්නට
රුදුරු බව මන්ද මාරුතයේ
රස බලමු සීතල වොඩ්කා වල
සූරා දමමින්
අපේ නියතුඩු අතර රැඳී වියැලුණු
අනෙකුන්ගේ ලේ කැටි.
-         හෙන්රි වර්ණකුලසූරිය   -

මේ පිලිතුර හෙන්රි අයියාට නොවේ. හෙන්රි අයියා කවි ලියමින් ම  විවේචනය කරන්නෙකි. ඒ අනුව ඔහුගේ විවේචනය කවියේ සාධනීය හෙටක් උදෙසා ය. එහෙත් කවි නොලියන, කවි ලියන්නට බැරි, රස විඳින්නට ද බැරි හුදු විවේචකයින් සමහරක්ද මෙවැනි මත දරන්නේ කවියේ හෙට දවස සුරකින්නට ම නොවේ. එහි අද දවසේ හවුල් කරුවන්ට ද පහර ගැසීමේ අරමුණ ද ඇතිවය. මේ පිලිතුර ඊට ගැලපෙන බහුතරයට ය. ( එම හැඳින්වීම අදාල නොවන අය මින් කලබල නොවනු ඇතැයි සිතමි. )
මෙවන් යම් සංවාදයකදී ම විසින් දැක්වූ අදහසක් ද මෙයට ඇතුළත් කරමි.
පරිවර්තන කවි මතු නොව,  සිය බසින් කරණ  කවි වල පවා, කවි නම්, කාව්‍යමය ගුණය සුරැකිය යුතුම ය. පරිවර්තන කවියටත් මෙය පොදු රීතියක් වෙයි. ඒ ගැන කිසිදු තර්කයක් නැත. පරිවර්තන කවියක දී ඒ තුළින් මුළ් කවෙහි හැඟීම් සහ අනෙකුත් ගුණ සුවඳ වහනය විය යුතුය, පරිවර්තනයෙන් පසුවත්. එමෙන් කාව්‍යමය ගුණය ද සුරැකිය යුතුය. ඒත් මේ කවි දෙකම එක ම අච්චුවක විය යුතුයි කියා කවුරුන් හෝ කිව්වොත් ඒ  අදහසට මම එකඟ නොවෙමි. Rhyme වන බටහිර කවියක් පරිවර්තනය වූ විට සමහර විට නිසඳැස් ආකෘතියේ විය හැකියි. එය සිංහලෙනුත්  Rhyme වන්නට සඳැසක් සේ බලෙන් ලියන්න ට ගියහොත් කොණ්ඩ කැවුම් හදන්න ගොස් හැඳි කැවුම් හැදුණා වැනි දෙයක් වනු ඇත. පරිවර්තකයා හුදු භාෂා දැනුමින් පමණක් සන්නද්ධ නම් මෙය වනු ඇත. එහෙත් පරිවර්තකයා කවියෙහි ප්‍රවීනයෙකු නොවුණ ද කවිකම හිතේ ඇති පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇය අතින් පරිවර්තනය වූ නිර්මාණයෙහි ද කවිකම ඇඳී තිබෙනු දැකිය හැකි වෙයි.
කෙසේ වෙතත් එකිනෙකා දකින සහ සිතන විදිහ මත මේ අදහස්  වෙනස් වනු ඇත. වෙනස් විය හැක. නිර්මාණකරණය තුළ කිසිම තැනක මේ පිළිබඳ නීතිය මෙය ය යන්නක් නැත. නිර්මාණකරුවාට බලපාන්නේ නිර්මාණකරණයේදී පනවා ගත් හැදියාවන් සමූහයකි. මර්ධනකාරී නීති රීති රටාවක්නොවේ. පරිවර්තකයා පෙර නිර්මාණයේ ගුණ හැකිතාක් සුරකින්නට වෙහෙස දරණුයේ මේ අරුත ද පෙරදැරිව ය. ඔහු අනෙකක් කිරීමේ අරුතින් සිය පරිවර්තනය නොකරයි. ඔහුට ඇත්තේ තමන් විඳි වෙනස් සාහිත්‍යයක අපූරු රසය තම බස හසුරුවන අය හා බෙදා හදා ගැනීමේ උතුම් අරමුණකි. එය ද පෙරදැරිව ඔහු සිය සාහිත්‍යමය කටයුත්ත ඉටුකරයි. එය සාහිත්‍ය මෙහෙවරක් වනුයේ ඉන් සමාජයට ලැබෙන යහ ප්‍රතිඵල මතය. එයට අගයක් ලැබෙනුයේ රසික සහ විචාරක ඇසින් විනිස වූ විට ය. එතෙක් ඔහු සිය නිර්මාණ කටයුතු ඉටුකරමින් සිටී. ඒ තුළින් අත්දැකීම් ලබමින් පරිනත බව ලබා ගනී. දියුණුව කරා එළඹෙයි. මෙය ය නිර්මාණකරණයේ රූපාන්තරණය.
අවසන, කිව යුතුම දෙයක් වෙයි. විදෙස් සාහිත්‍යයක හමුවන කාව්‍යමය ගුණය වෙසෙසින් රැකගෙන කළ නොහැකි කවි ගී නිර්මාණ එමට වෙයි. එවන් නිර්මාණයක් වෙත්නම්, කවියට හැකිතාක් සමීප සුමට බසින් හෝ එය පරිවර්තනය කල යුතු ය. එය කවි බසට පෙරළිය නොහැකි බැවින් එහි රස සපුරා විඳීමට කෙනෙකුට නොහැකි විය හැක. එහෙත් ඒ හේතුව නිසාවෙන් ඉන් බිඳක හෝ බැලීමට එම භාෂාවේ ප්‍රවීනයින් නොවන අයට තහනම් නොවිය යුතුය.
මේ කවි සියල්ල මා පරිවර්තනය කළේ ද ඒවා මෙහි පළ කරන්නේ ද එවන් අදහස් ඇතිව ය. ඉදින් මේ දිගහැරෙන්නේ ඒ උත්සාහයේ සමහර ඵලයන් කිහිපයකි.
මුළින් ම මේ කවි එකතුවට නම් ලැබීමට හේතු වූ කවෙන් ම එය අරඹමි.

Prayer Before Birth

I am not yet born; O hear me.
Let not the bloodsucking bat or the rat or the stoat or the
club-footed ghoul come near me.

I am not yet born, console me.
I fear that the human race may with tall walls wall me,
with strong drugs dope me, with wise lies lure me,
on black racks rack me, in blood-baths roll me.

I am not yet born; provide me
With water to dandle me, grass to grow for me, trees to talk
to me, sky to sing to me, birds and a white light
in the back of my mind to guide me.

I am not yet born; forgive me
For the sins that in me the world shall commit, my words
when they speak me, my thoughts when they think me,
my treason engendered by traitors beyond me,
my life when they murder by means of my
hands, my death when they live me.

I am not yet born; rehearse me
In the parts I must play and the cues I must take when
old men lecture me, bureaucrats hector me, mountains
frown at me, lovers laugh at me, the white
waves call me to folly and the desert calls
me to doom and the beggar refuses
my gift and my children curse me.


I am not yet born; O hear me,
Let not the man who is beast or who thinks he is God
come near me.

I am not yet born; O fill me
With strength against those who would freeze my
humanity, would dragoon me into a lethal automaton,
would make me a cog in a machine, a thing with
one face, a thing, and against all those
who would dissipate my entirety, would
blow me like thistledown hither and
thither or hither and thither
like water held in the
hands would spill me.

Let them not make me a stone and let them not spill me.
Otherwise kill me.
-         Louis Macneice   -



Louis Macneice විසින් The prayer before birth නම් වූ මේ කවිය ලියැවී ඇත්තේ ඒකපාත්‍ර භාෂනයක් ලෙස ය. ඒ දෙවන ලෝක මහා සංග්‍රාම පාදක කරගෙන ය. WAR යනු අකුරු තුනක වචනයක් වුව එහි අඳුරු විපාක මිනිය නොහැකි තරම් පීඩාකාරීය. හිංසාකාරීය. ඒ සෑම හැඟුමක් ම වචනයෙන් කිව නොහැකි තරමට කුරිරු ය . සංග්‍රාමයේ මේ කුරිරු ආදීනව උපදින්නට පෙරුම් පුරන නව ලොවට කෙසේ විඳින්නට වේද? මෙය නූපන් කලලයක් තමා හට වසන්නට වඩා යහපත් ලොවක් සාදා දෙන මෙන් පවතින ලෝකයෙන් කෙරෙන අයැදුමකි. එවන් ලොවක් තැනිය නොහැකි නම්.......? එසේ නම් දිනුමට වඩා මරණය යෙහෙකි...යනුවෙන් එම කලලය ලොවට කියයි.
මේ නම් කලලයක් උපදින්නට පස්මහ බැළුම් බලනවා සේ බලා මේ අඳුරු ලොවට තමන් ජනිත නොකරන ලෙස කෙරෙන අයැදුමකි ය වැනි මතුපිට අරුතක් නොවේ. කවියා යුද්ධය නම් කුරිරු පීඩාකාරී අත්දැකීමට ඇති සිය විරෝධය උත්ප්‍රාසයෙන් යුක්තව කීමට ගත් මෙවලමයි මේ කලල රූපය.
යුද්ධය අපට නුහුරු අත්දැකීමක් නොවේ. 30 වසරකට ආසන්න කාලයක් තිස්සේ අප විවිධ මට්ටමින් එහි පීඩාකාරී බව අත්දැක ඇත. එහෙත් එහි නියම පීඩාකාරී බව අත්දුටුවා යැයි කිව නොහැක. අපට බොහෝ විට ඇත්තේ එහි අත්විඳීම් ය.
සැබෑ යුද්ධයට මැදි වූවන්ගේ අත්දැකීම් අපට සිතිමට යම් පමණ හෝ හේතුවක් වන්නේ අප රටේ එලෙස පැවති පීඩාකාරී යුද්ධයයි. එහෙත් ලෝක සංග්‍රාමයකදී ලෝකය ම යුධ පිටියක් වූ පරිසරයක මේ තත්වය කෙබඳු වන්නට ඇතිද? මේ ඊට සංවේදී වූ එක් කවියෙකුගේ එක් නිර්මාණයක් පමණි.
පූර්ව ප්‍රසූත අවධියේ
යාඥාකරුවා...

තාම නූපන් මා අසනු මැන...

අවකාශ නොදෙනු මැන
ළංවන්න මා අසලට
උණු රුහිරෙන් යැපෙන
වවුළන්.....මීයන්... මුගටියන් ට සහ
උපතින්ම විරූපී අඟපසඟැති
වේතාලයින් හට.....

තාම නූපන් මා සනසනු මැන,

මම බියවෙමි
උස් පවුරු පදනම් තුළ කොටුවුණු
මිනිස් වංශිකයින්
වටකරතැයි මා ද එවන් ම උස් පවුරින්
නිද්‍රෝපගතකරතැයි මා
ප්‍රබල ඔසු වලින්
හසුකර ගනිතැයි මා
සත්‍යය මේ යැයි හැඟෙන සේ
සූක්ෂම ලෙස ගෙතූ
බොරුව නම් වූ ඇමට
කොටුකරතැයි මා අන්ධකාර රාමුවකින්
නහවා ලේ විලක සුනු විසුනු කරතැයි...

තාම නූපන් මට ලැබදෙනු මැන....
සිසිල් දිය මා වඩා සනසන
ළදළු තණපත් මා නමින් වැඩෙන
තුරු ලතා මා හට දොඩමළු වීමට
සොඳුරු වැට කඩොළු නැති අහස
මා හට ගී ගැයුමට
සියොතුන් සහ ධවල එළියක්
මගේ චිත්ත සන්තානය පසුපස සිට
මා හට නිසි මග කීමට.....

තාම නූපන් මා හට කමා කරණු මැන...
ක්ලේෂයන්ට මා තුළ ඇති
ලෝකයා මට බලෙන් පවරන
මා වදන්වලට
උන් මා හා විපිලසර වන විට
මා මුවින් පිටවෙන
මා සිතුවිලි වලට
අන් අය මා ගැන සිතන විට උපදින
රාජද්‍රෝහී බවට
මා පසුපස සිටින ද්‍රොහීන් විසින් උපදවන
මා දිවියට ඔවුන් වෙනුවෙන්
මාතින් ම ගෙළ සිඳින
මගේ මරණයට
ඔවුන් මා ජීවත්කරවන්නට සදන....

තාම නූපන් මා
හුරු පුරුදු කරනු මැන

මවිසින් දැක්විය යුතු ම ඉඟි නළුවලට
වෘධ වියතුන් මා හට දෙසන විට
නිලධරුන් තර්ජනයෙන් මා බියවද්දන විට
ගිරිකුළු පවා මා දැක රවන විට
ආදරවන්තයින් මා හට සරදම් කරණ විට
සුසුදු රළ මා අනුවන කම් වෙත කැඳවන විට
කාන්තාර මා විනාශය කරා කැඳවන විට
යාචකයින් පවා මා පඬුරු නොතකන විට
මගෙ ම දරුවන් පවා මට ශාප කරණ විට.....

තාම නූපන් මා අසනු මැන....
ඉඩ නොදෙන්
මෘගයින් වන්  මිනිසුන්ට හෝ
දෙවියන් තමන් යැයි
තමන්ම කියා ගන්නා මිනිසුන්ට
ළංවිමට මා අසලට....

තාම නූපන් මා සපුරනු මැන
ශක්තියෙන්
එරෙහි වීමට
මිනිසත් බව මා සතු
නොමිනිස් කෙරුමට
පැමිණෙන්නවුන් හට.....
මාරාන්තික අදිසි යාන්ත්‍රණය වෙත
මා තල්ලු කරන විට.....
විසල් යන්ත්‍රයක සිඟිති දැති රෝදයක් මෙන්
මා මෙහෙයවන විට......

එවනු මැන බලසම්පන්න යමෙක්
එරෙහි වන
මගේ සාකල්‍යය විසුරුවාලන
පුලුන් රොදක් සේ මා ඔබ මොබ ගසා ගෙනියන
අත්ල මත රැඳවූ දිය සේ මා වගුරවා විසුරුවන
බලවේගයන්ට.....

ඉඩ නොදෙන් ඔවුනට මා
සෙල්මුවා මිනිසෙකු කෙරුමට
හෝ
මා ඉහිරුවාලීමට....

එසේ කළ නොහැකිනම්
යහපති,
මා මරා දමනු මැන....!
ඉපදෙන්නට පෙරාතුව ම........
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.

යුද්ධය පිළිබඳ විවිධ දෘෂ්ඨිකෝණ වලින් බලා කළ නිර්මාණ කොතෙකුත් අපට හමු වෙයි. මේ එවැනි තවත් නිර්මාණයකි.

 Old poem
=============
At fifteen I went with the army,
At fourscore I came home.
On the way I met a man from the village,
I asked him who there was at home.

'That over there is your house,
All covered over with trees and bushes.'
Rabbits had run in at the dog-hole,
Pheasants flew down from the beams of the roof,
In the courtyard was growing some wild grain;
And by the well, some wild mallows.
I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.

I went out and looked towards the east.
While tears fell and wetted my clothes.

Arthur Waley



මෙම කවෙහි හිමිකරුවා අඥාත චීන ජාතික කවියෙකි. එම කවිය පසුව Arthur Waley නම් කවියා විසින් ඉංගිරිසියට පරිවර්තනය කරණ ලදි.
මෙහි කතාකායකයා හමුදා සොල්දාදුවෙකි. යුද්ධයට බැඳි ඔහු ගමෙන් පිටවන විට යන්තම් දැලි රැවුලක් සහිත ( අවුරුදු 15 ක ) යෞවනයෙකි. යුද්ධයෙන් අනතුරුව ඔහු නැවත ගමට එන විට ගමෙන් අරන් ගිය දැලි රැවුළ පුළුන් වන්පැසුනු එකකි. ( ඔහු අවුරුදු 80 ක පමණ මහල්ලෙකි. )
ගෙවුනු වසර ගණනක කාලය තුළ ඔහුගේ නිවසේ ග්‍රාමයේ ඇති වුනු වෙනස් කම් ගැන ය මෙහි කතාව. මේ වෙනස් කම් මොනවාද? වෙනස් කම් යනු අහිමි වීම් බව මේ කව තවත් කියවන විට වැටහෙනු ඇත.
ඔහු ගමට එන අතර මග ගමෙන් පිට ව යන මිනිසෙකු මුණ ගැසෙයි. ඒ එක ම මිනිසා හැර අන් කිසිවෙකු ඔහුට මුණ නොගැසෙයි. මුණගැසුනු ඒ එකම එක මිනිසාගෙන් ඔහු තම නිවස... නිවැසියන් ගැන විමසයි. එහෙත් ඔහුට ලැබෙනුයේ හිස් පිලිතුරකි.
ඔහු ගමට නිවසට පිවිසෙන්නේ දහසක්  පැතුම් පොදි බැඳගෙනය. තම සමීපතමයින්.... තම නිවහන.... තම ග්‍රාමය.... තම අසල්වැසියන්..... මේ සියල්ල දකිනු රිසියෙනි. ඒ රිසියාව කෙලෙස නම් විස්තර කළ හැකිද? එහෙත් ඊට ලැබෙන පිලිතුරු කුමක්ද?
සිය නිවස ගරා වැටී ඇත. වහළයේ උළු දුර් වර්ණ ය. තැන තැන උළු ගැලවී ඇත. වහළයට ඉහළින් වැසුනු කැලෑ රොදකි. ඉන් නිවසක්එහි තිබුණු බවක් හඳුනා ගත හැක්කේ උවමණාවෙන් ම බලන්නෙකුට පමණකිය
නිවසේ නිවැසියන් නැත. නිවැසියන් තබා නිවැසියන්ට හිතවත් ව සිටි සුනඛයින් වත් නැත. සුනඛ කූඩුව නිවහන කරගෙන සා-යුවලක් රජ ව සිටින්නේ එබැවිනි.
සත්‍යය නම් යුද්ධය නිමා වී එන විට තමන්ට කිසිත් ඉතිරිව නැති බවයි. දිනූවන් කවුරුද? පැරදුනවුන් කවුරුද? දිනූවන් ද අවසන පැරදී ඇතිවා නොවේද?
සියල්ල අහිමිවුන ද ඔහුට තවමත් සිය ගම.... නිවස.... සැනසිලි දායක තැනක් වෙයි. එබැවින් ඔහු එහි වෙසෙන්නට උත්සාහ ගනී. විවිධ බාධක ඔහුට බාධක නොවෙයි. කෑමට බීමට ඇති දේ මොනවා වුණත් ඔහුට කම් නොවෙයි. ඒ ඔහු මේ බිමේ පැලවුණු බීජයකින් උපන් රුකක් වූ බැවිනි.
අන් සියල්ල ජයගත හැකි නමුදු ඔහුට ජය ගත නොහැකි වන එක්දෙයක් වෙයි. ඒ හුදකලා බවේ මූසල කමයි. එය ඉවසනු නොහැකි වූ තැන ඔහු තව දුරටත්ගමේ සිටිය හැකිද යන තැනට පත් වෙයි. එහෙත් ඔහුම නැවත තම උපන් ගම නිවස හැර දමා යා නොහැකි මානසිකත්වයට එළඹෙයි. ඔහු නිවසට පිටුපා ඈත පෙරදිග දෙස බලයි. බලාපොරොත්තු සහගත ව බලයි. කිසිවෙකුත් ඒ දැයි බලයි. සිය කඳුලින් දෑස බොඳවී ඒ කඳුළ ගලාවිත් සිය කබාය මතට වැටී තෙත පැල්ලමක් ඇතිවන තේක් ම බලයි. එහෙත් කිසිවෙක් නො එයි. කිසිවකුත් නොපෙනෙයි. අවසාන උරුමය වන හුදකලා බව පමණක් ඔහුට තනි රකියි.


Old poem
==============
යන්තමට දැලි රැවුළ
උඩු තොළට උඩින් ගෙන
රණ බිමට පිය නැගිමි
වත පුරා පුළුන් වන්
සුදු රැවුළ පළඳාන
යළිදු ගම රට ආමි.....

අතර මග මා නැවත එන මග
දුටිමි මිනිසෙකු
ගම දෙසින් විත් කොහේ හෝ යන
ඇසිමි වග තුග
පුන පුනා නැගි කුහුළ අතරින
මගේ නිවහන.... නිවැසියන් ගැන...
***********************************
බොහෝ සරුවට වැඩී
රජ කරත් තුරු ලතා
නොපෙනේ උළු වහළ ඉන් වැසී....

පෙනුනත් නොවෙයි එහි රත
දිය සෙවෙළින් අඳුරු කර ඇත....

බලු කූඩුවේ ළගින්නේ
අහිංසක සා යුවලක්
නොමැතිව බියක් හැකක්.....

පියස්සේ කුරුපාවට අරක් ගෙන
පරවියෝ පෙම් කෙළිත්
කුරු කුරු හඬින් ගී ගයත්.....

උයනක සිරි පිරුණු ගෙමිඳුළ
මල් පැළ දුක් විඳිත්
යට වී
තරගයට දළුලන
ළඳු කැලෑවට.....

පාත්ති පුරා
සාරවත් එළවළු නොමැත දැන්
කැඳට වත් යමක් වේ නම් සරිලන
තෘණ පත් හෝ වල් පලා කොළ පමණමය.....

***********************************

පිසින්නෙමි කැඳ
ඉබේ වැඩුණු ධාන්‍යයෙන්
සදන්නෙමි සුපයක්
වල් පලාකොළ නෙලමින්......

පිසී අවසන්ය කැඳ ද සුපය ද
එහෙත් කා සමග
වළඳන්න ද එය...

ගමට බැඳි දෘඩ පෙමින
නොයා අන් නුවරක
රැඳෙනු රිසි වුව ගම් පියස
තවත් නම් දරාගත නොහේ මේ
හුදකලාව....
කටුක දුක....

ඉදින්  මම්
නිවසට පිටුපා ඈත
ඈත පෙරදිග දෙස බැලිමි...
බලාපොරොත්තු දල්වාන.....
කිසිවෙකුත් ඒදැයි
බලාපොරොත්තු දල්වාන
එහෙත් එන කිසිවෙකු නොවිනි.....

දසුන වූයේ නෙතට
ඈත කම්මැලි කමට නිදන
කඳු වැටි පමණි
මොහොතකින් ඒ කඳුවැටි ද
බොඳ වී මැකින
ඇස ඉනූ කඳුළින්

මම දෙ ඇස් පිස දමා
ආ මග දෙසම බලා සිටියෙමි
යන්නද සිටින්නද
නොම දැන...
කොහේ යන්නද......
කොහොම ඉන්නද.....
ඡායානුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.

කෙසේ වෙතත් ඉහත Old poem පරිවර්තන කාර්යයේදී මා මුළින්ම කළේ ඉහත පළ කර ඇති මුල් කවට අනුව කළ පරිවර්තනය නොවේ. එහිදී මා කළේ මුල් කවිය අනුව පරිවර්තන කවිය ලියමින් ඉන් ඒ හැඟීමම ජනිතවන මුත් සමහර අවස්ථා සම්බන්ධයන් වෙනස් කරමින් මුල් කවියේ ළඟ ඇසුරකින් නිමවුනු අළුත් කවියක් නිම කිරීමයි. ඒ මුල් කවට බොහෝ සමාන නමුත් එයට වඩා යම් වෙනස් කම් රැගත් කව තව ටිකකින් පළ කරමි.
ඒ අනුව කළ වෙනස් කම්ද මෙහි ලා ලිවිය යුතුය.
සොල්දාදුවා යුද්ධය නිම කොට ගමට එන අතර ඔහුට හමුවන මිනිසා ගමේ සිටි අවසන් මිනිසා ලෙස සලකායි මා එම නිර්මාණය කළේ. ඊ ළඟට මුල් නිර්මාණයේදී ගමට එන සෙබලා එහි කටුකත්වය මඩිමින් ජීවත් වන්නට යම් අරගල කරතත් මගේ ප්‍රති නිර්මාණය කළ කවෙහි ඔහු එක් දිනක් වත් ගමෙහි වසන්නේ නැත. අර මිනිසා කියන පණිවිඩය මත ඒ ගමේ තවත් ජීවත් විය නොහැකි බව ඔහු වටහා ගනී. යුද්ධයෙන් අනතුරුව දහසක් පැතුම් පොදි බැඳ ආවත් අතර මගදී ම ඒ පැතුම් කීතු කීතු ව ගොස් ඇත. ඒ නිසා කොහේ යම් දැයි නොදැන හේ ආපසු හැරී ඈත ආ මග දස බලයි. එවිට කළින් මුණ ගැසුනු මිනිසා ඈත තිත්ක් නොපෙනී යනු ඔහුට පෙනෙයි. ඔහු ඇසට උනන කඳුළින් ඒ දසුන ද බොඳ වී යයි. මෙය සෘජු පරිවර්තනය නොවේ. ඒ මුල්කවියේ බොහෝ දේ ගෙන කළ වෙනත් නිර්මාණයක් වෙයි. එහෙත් එය මුල් නිර්මාණය නොවන්නේ ද නොවෙයි. එය ද මෙහි පළ කරමි.

Old poem
==============
යන්තමට දැලි රැවුළ
උඩු කොළට උඩින් ගෙන
රණ බිමට පිය නැගිමි
වත පුරා පුළුන් වන්
සුදු රැවුළ පළඳාන
යළිදු ගම රට ආමි.....

අතර මග මා නැවත එන මග
දුටිමි මිනිසෙකු
ගමෙන් පිටවී කොහේ හෝ යන
ඇසිමි වග තුග
පුන පුනා නැගි කුහුළ අතරින
මගේ නිවහන.... නිවැසියන් ගැන...
***********************************
බොහෝ සරුවට වැඩී
රජ කරත් තුරු ලතා
නොපෙනේ උළු වහළ ඉන් වැසී....

පෙනුනත් නොවෙයි එහි රත
දිය සෙවෙළින් අඳුරු කර ඇත....

බලු කූඩුවේ ළගින්නේ
අහිංසක සා යුවලක්
නොමැතිව බියක් හැකක්.....

පියස්සේ කුරුපාවට අරක් ගෙන
පරවියෝ පෙම් කෙළිත්
කුරු කුරු හඬින් ගී ගයත්.....

උයනක සිරි පිරුණු ගෙමිඳුළ
මල් පැළ දුක් විඳිත්
යට වී
තරගයට දළුලන
ළඳු කැලෑවට.....

පාත්ති පුරා
සාරවත් එළවළු නොමැත දැන්
කැඳට වත් යමක් වේ නම් සරිලන
තෘණ පත් හෝ වල් පලා කොළ පමණමය.....

ඊයේ ම කුස ගිනි නිවුවේ
එවන් වල්
පලා කොළ සුපයකි.....

නිදා ගත් ගෙබිම
තුරුළු වූයේ මා හා
වැලි මැක්කන්ද
මදුරුවන් හා හෝහපුටන්ය......

ගමට බැඳි දෘඩ පෙමින
නොයා අන් නුවරක
රැඳුනද ගම් පියස
තවත් නම් දරාගත නොහේ මේ
හුදකලාව....
කටුක දුක....

ඉදින් මේ මම
යන ගමන් අන් නුවරක.....
***********************************
මම පිටුපා යන ඔහු දෙස බැලීමි....

නොපෙනී යන තුරා බැලීමි....

අනතුරුව දිස්වූයේ
ඈත කම්මැලි කමට නිදන
කඳු වැටි පමණි
මොහොතකින් ඒ කඳුවැටි ද
බොඳ වී මැකින.....

මම දෙ ඇස් පිස දමා
ආ මගට හැරුනෙමි
යන අතක් නොදැන
කොහේ හෝ යන්නට......

(මේ Old Poem මුල් කව සමීපව ඇසුරු කරමින් කළ නිර්මාණයයි )
 - යසනාත් ධම්මික බණ්ඩාර  -

යුද්ධය ඇසුරු කරගත් නිර්මාණ වලින් ඇරඹි නිසා මේ පෝස්ටුවේ ඉතිරි කවි ද ඒ හා ළඟින් යන අත්දැකීම් වලින් යුතු ඒවා විය යුතු යැයි සිතුනා. ඒ නිසා ඊ ළඟට තෝරා ගන්න හිතුවේ ඇමරිකානු ඉන්දියානුවන් ගේ කව යි. ඇමරිකානු ඉන්දියානුවන් ගේ කව ලෙස මෙය මෙහි හැඳින්වූවත් එය වඩා ප්‍රචලිත වූයේ Do not Stand at My Grave and Weep ( මා සොහොන අසල සිට නොහඬන්න ) යනුවෙනි.


Do not stand at my grave and weep

Do not stand at my grave and weep:
I am not there; I do not sleep.
I am a thousand winds that blow,
I am the diamond glints on snow,
I am the sun on ripened grain,
I am the gentle autumn rain.
When you awaken in the morning’s hush
I am the swift uplifting rush
Of quiet birds in circling flight.
I am the soft starshine at night.
Do not stand at my grave and cry:
I am not there; I did not die.
මෙම ශෝකාන්ත කව නිර්මාණය කර ඇත්තේ Mary Elizabeth Frye නම් කිවිඳියයි. ඇය විධිමත් අධ්‍යාපනයක් නොලත් උතුරු ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැලටිමෝර් නගර වැසි කාන්තාවක්. ඉතා කුඩා වියේදී ඈ ගෙවුවේ අනාත දිවියකි. පසුව වැඩි විය පැමිණි පසු ඈ විවාහ වී සිය සැමියා සමග ගත කරණ අතරතුර සිය යෙහෙළියක් වූ Margaret Schwarzkopf ගේ අත්දැකීමක් තමන් මත ඇති කළ පෙළඹවීම මත මෙම කවිය ලියූ බව සැලකේ.
Margaret Schwarzkopf ජර්මන් ජාතික තරුණියකි. එකල ජර්මනිය තුළ ලියලා වැඩුනු යුදෙව් විරෝධී සැහැසි ක්‍රියා හමුවේ ඇය සිටියේ බැලටිමෝරයේ ය. එහිදී ඇය Mary Elizabeth Frye ගේ සමීප මිතුරියක් වී එහි ම විසුවාය. ජර්මනිය තුළ උද්ගතව තිබූ තත්වය හමුවේ ඇයට සිය මවගේ මරණයටවත් යාමට ඈට ඉඩක් නොලැබුණි. දිනක් Mary Elizabeth Frye සහ Margaret Schwarzkopf නිවසට අවැසි බඩු බාහිරාදිය මිළ දී ගැනීම සඳහා නගරයට ගොස් පැමිණ මුළුතැන් ගෙයි බඩු අස්පස් කරමින් සිටින විට Margaret Schwarzkopf විසින් සිය දුක් බර අත්දැකීම විස්තර කරමින් කියූ වදන් කිහිපයක් Mary Elizabeth Frye ට මෙම කව නිර්මාණය කරන්නට මං හසර සැලසවීය. ඇයට වඩා සංවේදී වූයේ මෙන්න මේ කොටසට ය. "Even I couldn’t stand at my mother's grave and say goodbye".
Mary Elizabeth Frye  විසින් Margaret Schwarzkopf ට නොපෙනෙන්නට මේ කොටස කුස්සියේ තිබූ බ්‍රවුන් පේපර් කවරයකින් තීරුවක් ඉරා එහි සටහන් කොට ගෙන ඇත. Mary Elizabeth Frye  කියන පරිදි අනතුරුව මේ කව ලියැවුනේ නිරායාසයෙනි.
ඈ 1932 දී පමණ මේ කව නිර්මාණය කරණ විට එතෙක් ඈ කිසිදු කවියක් ලියා නැති බව සඳහන්. පසුව ඈ වෙනත් කවි ලියුවත් ඒ එකදු කවක් හෝ මෙම කවිය මෙන් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ වුනු බවක් සොයා ගත නොහැක.
කෙසේ වෙතත් Mary Elizabeth Frye විසින් මේ කව තමන් විසින් පළකිරීමක් කොට නැත. ඈ සිය මිතුරියට මේ කව ලියා දී ඇත. එය පෝස්ට් කාඩ් පතක ලියා ඇගේ සමීපතමයින් වෙත කණගාටුව පළ කරණු වස් යවා ඇත. කවියේ මේ ගමන් මග කොතරම් ශක්තිමත් සහ වේගවත් වූයේද යත් කෙටි කලකින් ම මෙය අවමඟුල් අවස්ථා වෙනුවෙන් කණගාටුව පළ කරනු වස් නිර්මාණය වන කාඩ් පත් වල ද සොහොන් කොත් ඵලක වල ද සටහන් වෙන්නට ගත් ජනප්‍රිය කවක් බවට පත් විය.
විධිමත් මාධ්‍යයක බුද්ධිමය දේපල හිමිකම් සමගින් පළ නොවුනු නිසා මේ කවිය යම් යම් අය විසින් සුළු සුළු වෙනස්කම් සහිතව ලියවෙන්නට ගත් අතර එය Mary Elizabeth Frye විසින් ලියූ බවට යම් යම් සමීක්ෂන සහ පර්යේෂන මගින් අනුමාන කරන්නට පෙර විවිධ අය විසින් තම නමට හිමි කරගෙන සිටියහ. එහෙත් වඩාත්ඈත සාක්ෂියට අනුව ගෙන ( 1938 ඉදිකළ සොහොන් කොතක් ) මෙම කවිය Mary Elizabeth Frye විසින් ම කරණ ලදැයි වර්තමානයේදී සලකයි.
විශේෂයෙන් එකල පැවති විවිධ යුද්ධයන් හිදී මිය ගිය සිය සමීපතමයින් සිහි කරණු වස් බොහෝ අය මෙම කවිය භාවිතා කළද සමහර විචාරකයින් මෙම කවිය කෙනෙකුගේ මරණයකට වැඩි පුළුල් අරුතක් සහිත එකකැයි පවසයි. ඒ අනුව පුළුල් අරුතින් ගත් කළ මේ කවෙන් කියවෙන්නේ ඇමරිකානු ඉන්දියානුවන් හෙවත් රතු ඉන්දියන් වරුන් ගැන යයි පිලිගැනීමයි.
මා මෙම කව වඩා පරසිදු Do not Stand at My Grave and Weep ( මා සොහොන අසල සිට නොහඬන්න ) යනුවෙන් නම් නොකොට ඇමරිකානු ඉන්දියානුන්ගේ කව ලෙස හැඳින් වූයේ එබැවිනි.


ඇමරිකානු ඉන්දියානුවන්ගේ කව....

මා සොහොන අස රැඳී
නොහඬන්න
නිදම් යැයි මම් එතුළ
නොහඬන්න....

හමන සුවහස් සිහිල් නල රැළි
මම වෙමි
උදා ළහිරු රැස් යහනේ
දිදුලන තුසර බිඳු ද මම වෙමි
ගොම්මනේ
අවසාන හිරු රැසේ  නැහැවෙන
පැසුනු තිරිඟු යායක රන්වන ද
මම වෙමි
සිසිල් හේමන්ත වැසි පොද ද
මම වෙමි.....

නුඹ පිබිදෙන හිමිදිරියේ
වාතලයේ හිස් බව මකන
සියොත් තුඩගින් ගිලිහෙන
මියුරු ගී සර මම වෙමි
රෑ ගන අඳුරු අහසේ
මං ලකුණු කියාදෙන
තරු මල් ද මම වෙමි

මා සොහොන අස රැඳී
නොහඬන්න
නොනිදම් ය මම් එතුළ
මළේ යැයි සිතා මා
නොතැවෙන්න
නොමළෙම් ය මම් තවම.....
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර    -

මී ළඟට පළ කිරීමට සිත් වූයේ Karen E. Budin කවියාගේ Would you care ? නම් කව ඇසුරින් මා කළ අනුවාදයයි. මේ එහි මුල් කවයි.

WOULD YOU CARE

Would you cared if I died, why should you?
You don't even know my name,
There is no way that you could have helped,
You are not the one to blame.

You cannot feel the hunger pains, the loneliness or thirst,
You do not live in a savage, war-torn land,

You live in an affluent, wealthy land,
Your poor are rich, compared to me,
You feed your children much more than they need,
Whenever they held out their hands.

I'm just a skinny black boy with no schooling and no home,
Under dirty, dusty streets, begging for a crumb.
I have a heart, I have a soul, I have a right to live,
When you balance your budget, isn't there any left to give?

If only I knew that somebody cared whether I lived or died,
If only I knew that somebody saw the pitiful tears I cry,
I would like to have dreams like your children,
Of what the future might mean to me,
But before I can ever have a dream, I have to have a future.
-         Karen E. Budin  -

මෙහි කියවෙන්නේ යුධ ගින්නෙන් දැවුනු දේශයක වෙසෙන දරුවෙකුගේ කතාවකි. කුඩා දරුවාට අතීතයක් තිබුණා විය නොහැකිය. ඔහුට වර්තමානයක්ද නැත. අතීතයකුත් වර්තමානයකුත් නැති තැනක අනාගතයක් පිළිබඳ තැබිය හැක්කේ කුමන බලාපොරොත්තුවක්ද?
ඔහු මුහුණ දෙන මේ වර්තමාන ඛේදවාචකය පිළිබඳව කවෙන් මනාව නිරූපනය වෙයි. එහෙත් වඩා වැදගත් දේ ඔහුගේ හෙට දවස පිළිබඳව ය. හෙට දවස කොතෙක් වැදගත් වුවද ඔහුට එය අමතක කර අද දවස වෙනුවෙන් සටන් වදින්නට සිදු ව ඇත. ඒ සටන කුමක් ද? අවමයෙන් කුසට අහරකි.

මිය ගිය දිනක මා
ඔබ කුමට දුක්වේද.....
මගේ නම හෝ නොදත් ඔබ
පිලිසරණ වෙන්නට මගක් නොවු ඔබ......

නොහඳුනයි ඔබ කුසගින්න
පවස හෝ තනිකම
මා වසන්නේ නිරයකය
යුදෙන් දා ගිය බිමකය
නමුදු  ඒ සැමට වැඩි
හුදකලා මරණයයි බියකරු.....

ඔබ සොඳුරු විජිතයේ
දුප්තුන්ද
අපට වැඩි පොහොසතුන්......

ඔබ ඔබේ දරුවන්
කවා පොවයි
නොතකා උන් ප්‍රතික්ෂේපය
අවැසි තරමට ද වැඩියෙන්.....

මා නොවටිණා
කෙසඟ කළු කොළුවෙක්
ඉගෙනුමක් තබා
හිසට වහලක් වත් නොමැති....
මා කෙළි බිම
බත් හුළක් යදිමින් ගෙයින් ගෙට යන
අපිරිසිදු වැලි ධූලි පිරි මාවතයි....

එසේ වුව මට ද ඇත
හදවතක්
හා
ආත්ම ගරුත්වයක්
එමතු නොව
ජීවත්වීමට අයිතියක්....

ඔබ ඔබේ අය වැය පියන විට
නොවේද ඉතිරිවන ඇබින්දක්
දිය හැකි දනට පිනට.....

මා මළේ ද
දිවි අතරද
සිතා කෙනෙකු තැවෙන බව
දැනේ නම්.....
මා දුකින් හඬන විට
ඒ කඳුළෙ රැඳුන දුක
දැනෙන සිත් ඇති වගක්
 දැනේ නම්....

මා ද යම් සිහිනයක්
දකිනු රිසි වෙම්
ඔබේ දරුවන් දකින සිහිනය ම
කුමක් වෙද කෙසේ වෙද
මට ලබන හෙට දවස......

එනමුදු,
ඒ සිහිනයට පෙරාතුව
යථාවක් වෙයි දැන් ම දිනන්නට
ඒ මගේ
අද දවස......
අනුවාදය - යසනාත් ධම්මික බණ්ඩාර.

මෙවැනි පරිවර්තිත කවි රැසකි පූර්ව ප්‍රසූත අවධියේ යාඥාකරුවා ට ගොනු වන්නේ. මා පෙර කීවා සේ මට දැනුනු දේ බෙදා ගන්නට ය. තවත් සතියක තවත් එවන් කවි කිහිපයක්ද ආශ්‍රිත තොරතුරුද සමගින් හමුවෙමු.
-         යසනාත් ධම්මික බණ්ඩාර   -



8 comments:

  1. කියෝල කියෝල හක්කත් උළුක්කු වෙලා...
    දිග වැඩියි හැබැයි අපූරුයි....
    ඊළග කොටසත් දමනකං ආසාවෙං බලං ඉන්නව.....

    ReplyDelete
    Replies
    1. ඔව්.... විශ්ව සාහිත්‍යයනේ. ඒ සමහර අත්දැකීම් ගැන කියන්න ලොකු හැදින්වීමක් අවශ්‍ය වෙනවා.ඔහොම ලිව්වෙත් කියවූ දෙයින් හැකිතාක් කෙටි කරලා අරගෙන. ඊ ළඟ කොටසත් ඉක්මණින් බලමු.
      ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  2. අගෙයි යසනාත් සහෝදරයා..............

    ඔබ විසින් අප වෙත ගෙනෙන දැනුම සහ රසවින්දනය මෙන්ම බ්ලොග් අවකාශයට පැමිණ අප සහෘදයන් හා කටයුතු කිරීම අගය කරනවා............. ස්තූතියි

    ReplyDelete
  3. Thanks... මුල්න්ම දීපු ආත්ම කනනය නං අපි හැමෝටම පොදුයි.. අනුවාදය කියන්නේ එකක් නම් ඡායානුවාදය කියන්නේ මොකක්ද? නොදන්න කමටයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතාචාරයට. මම නම් සිංහලෙහිත් ලොකු සමතෙක් නොවෙයි. නමුත් දන්නා පරිදි අනුවාදයේදී අපි මුල් කෘතියට හැකිතාක් කිට්ටුවෙන්න හදනවා. ඡායානුවාදයෙහි දී එම කෘතිය ඇසුරු කරමින් ම යම් නිදහස් ආරකටයි ඒ නිර්මාණය කරන්නේ. එවිට සමහර විට එම විදෙස් රටට අයත් සමහර දේ වෙනුවට අපේ හිතට වඩා සමීප දේ යොදා ගන්නවා. මුල් නිර්මාණයේ සෙවනැල්ලක් තමා පරිවර්තිත නිර්මාණයට වැටී ඇත්තේ.

      Delete
  4. මුල සිට අගට කැමත්තෙන් කියෙව්වා..
    ලොකු දැනුමක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඊ ළඟ කොටසිනුත් හමුවෙමු.

      Delete