මේ සටහන
ලියැවෙන්නේ මා ලියූ ගී එකතුවක් ඇසුරින්
ඉදිරිපත් කෙරුන ගීත සැඳැවක පෙළක් ලෙසයි. මා ලියූ ගී මවිසින් ම ඉදිරිපත්කිරීම ගැන
කෙනෙකුට ගැටළුවක් විය හැකිය. ගැටළුවක් විය හැකිවා නොව ගැටළුවක් වුණු අවස්ථා අතීතයේ
තිබී ඇත. තමන් ම කළ නිර්මාණ තමන්ගේ ම නිෂ්පාදනයක් ලෙසින් ඉදිරිපත් කරණ, අපේ
කට්ටිය, රසික හවුල, මිතුරු කලා සංසදය ආදී නම් වලින් එහෙත් තමන්ගේ ම මැදිහත්වීමකින්
ඒවා එළි දක්වන උත්සව සංවිධානය කරණ වට පිටාවක තමන්ගේ නිර්මාණ එකතුවක් ගැන යම් යම් දේ
අඩංගු සටහනක් බ්ලොග් අඩවියක පළ කිරීම අපරාධයක් නොවේ යැයි සිතමින් මෙය මෙසේ පළ
කරමි.
මේ සටහන
ලියවෙන්නට හේතු වූයේ මා රාජකාරියේ නියැලී සිටින මේ ප්‍රදේශයේ විවිධ කාර්යාල වලින්
සහ සංවිධාන වලින් මවිසින් ලියා නිමැවූ ගීත අඩංගු ප්‍රසංගයක් කරණ මෙන් ලද
ආරාධනාවන් අනුවය. එහි ඉදිරිපත් කිරීම මිවිසින් ම කෙරුණ අතර ගීත බොහෝ විට විඩියෝ සහ
ඕඩියෝ පථ ලෙස ඉදිරිපත් කෙරිනි. මේ කාර්යයේදී මට වෙසෙස් සහයෝගයක් දෙනු ලැබුයේ මා
මිතුරු තුසිත කුමාර විසිනි. එය දැන්මම කෘතඥතා පූර්වකව මතකයට නගන්නේ පසුව අමතක
වුවහොත් විශාල වරදක් වන බැවිනි.
ඉතින් මෙතැන්
සිට මා ලියූ සමහර ගීයක වටපිටාව ගැන කතා බහ කරමින් එම නිර්මාණ ඔබ වෙත පාමි. දිගු
සටහනක් වන බැවින් කොටස් කිහිපයකට ඉදිරිපත් කරන්නට සිතමි. ගෙවූ කාලයට ලැබුණේ නීරසක්
නම් සමාව භජනය කරමි.
අපේ කිරි අම්මලා කිරි අත්තලා ජීවත් වුණේ කුරුණෑගල
දිස්ත්‍රික්කයේ ගම්වල. හරියටම කිව්වොත් පොතුහැර මාවතගම සහ පොල්ගහවෙල මාවත්තේ. කළේ
ගොවිතැන. ඉතින් ඒ නිසා අපි ගැමියෝ. ඒ වගේ ම ගොවි දරුවෝ. ඒ නිසාම ගොවියන්ගේ දුකේදි
අපි බොහෝ සංවේදියි.
අපේ දිස්ත්‍රික්කයේ වාරියපොල පැනලා
අනුරාධපුර පැත්තට යනකොට, නිකවැරටිය පැනලා ආනමඩුව
පැත්තට යනකොට, හබරණ පැනලා පොලොන්නරුව දිහාවට
යනකොට අහුවෙන්නේ හොඳටම වියලි කලාපය. මේ වියලි කලාපයේ ගොවියන්ට තම හේන් කුඹුරු
කරන්න වෙන්නේ අවට වැවු වලින් ලැබෙන ජල සලාකයෙන්. අදටත් මහවැලියෙන් ජලය නොලැබෙන
වැවු පිරෙන්නේ අහස් දියෙන්. ඉතින් අහස් දිය නිසිලෙස නොලැබුණොත්..... මහවැලි දිය
නොලැබුණොත්......එහෙම නැතිනම් වැස්ස වැඩිවෙලා, දිය කඳ වැව් බැම්ම කැඩෙන තරමට
රළුවෙලා, වැව් බැම්ම බිඳී ගියොත්....මේ මොන දෙයක් වුණත් අවසානයට වෙන්නේ ගොවියන්ට
ගොවි තැනට වතුර ටික නැතිවෙන එකයි.
මේ සන්තෑසිය ගැන අපේ අතින් බොහෝ කවු ගී
ලියැවී තියෙනවා.
විමලරත්න කුමාරගම කවියා වන්නිය
ආශ්‍රිතව රැකියාව කළ රජයේ නිලධාරියෙක්. ඒ. ජී. ඒ. මහත්තයෙක්. ඔහු ඉහළ රජයේ
නිලධාරියෙක් වුවත් වන්නියේ ගැමි ජීවිතය පිළිබදව විනිවිද දුටු අයෙක්.
ඔහු ලියනවා
මෙහෙම කවියක්.
අවුවට මැරී කුඩ මස්සෝ කුණුවෙනවා
දිය කලතමින් කණකොක් වැල පොරකනවා
අලිබෙටි හරක්බෙටි වතුරට දියවෙනවා
අලියා වැටුණු වැව මේ වැවු දිය බොනවා......
මේ වැනි කවු ගීත එමටයි. උදාහරණයක් දෙකක්
පමණයි මෙහි ලියන්නේ. එසේ කුමාරගම කවියා කවියෙන් මේ
ගැන කියද්දී මට මතක හැටියට කුමාරදාස සපුතනත්‍රී
කවියා තම ගීතයක මෙසේ කියනවා.
දර මිටි බැඳගෙන නියඟය අවුළා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවක දිරාගිය කඳ උඩ හිඳගෙන
කොකුනේ - කාටද හිනැහෙන්නේ.......
සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ඒ
ගීතයේ කියැවෙන්නේ මේ කථාවම නොවේද?
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ නිකන්ම නොවෙයි. දරමිටිත්
බැඳගෙන තව තවත් ගිනි අවුලමින්. මේ ගිනියමින් වැව හිඳිලා ගිහිල්ලා. ඒ වැවේ දිරාගිය
අත්තක් මත හිඳගෙන කොකෙක් හිනාවෙනවා අප රචකයාගේ මනැසට මැවෙනවා. ඒ හිනාවෙන්නේ අසරණ
ගොවි දරුවන්ටද යන්න රචකයා තුළ මැවුණු සිතුවිල්ල වියයුතුයි.
මෙවන් කව් ගී බොහෝයි. විවිධ රචකයින් තම
සිතුවිලි සහ පරිකල්පන පරාසයතුළ එහි විවිධ මානයන්ගෙන් ස්පර්ෂකර තිබෙනවා.
මගේ අතින් ලියැවුණු මේ ගීතයත් එහෙම එකක්එහි
පද පෙළ මුළින්ම බලමු.
වැවු තාවල්ලේ සුදුකොඩි බැඳලා
කාගෙද මළගම කණ කොකුණේ
ගොම්මන් යාමේ වෙසතුරු දා කවි
හඬින් ගයනවද කොරවකුණේ...
ඔන්න අර කිවුව වගේ දිය හිඳී ගිය වැවක් ළඟින්
මම යනවා. මට පෙනෙනවා ඉතිරි ව ඇති දිය සීරාවේ පණ රැකගන්නට උඩ පණින තිත්ත පැටවුන්
රෑනක්. ඒ විතරක් නොවෙයි තිත්ත පැටවුන් ගිල දමන්න ආව කණ කොකුන් රෑණකුත්. කණ කොකුන්
වසා සිටින විට සුද පෙනෙන්නේ නෑ. හේතුව උන්ගේ බාහිරින් ම තියෙන තටු සුදු පැහැ නොවී
දුඹුරු පැහැවී ඇති නිසා. කණ කොකුන් කියා කියන්නෙත් ඒ නිසා. කණ කොකුන්ගේ සුද පෙනෙන්නේ
පියාඹන විට. මෙහෙම පියාඹන කණ කොකුන් මට පෙණුනේ කාගෙ හරි මළගමකට ඇදපු සුදු කොඩි
වගෙයි. ඉතින් කාගෙද මේ මළගම? දන්නේ නැති නිසා තමයි මම ගීතයේ අහන්නේ කාගෙද මළගම කණ කොකුණේ කියලා.
ඒ වගේමයි තව ටිකක් හැන්දෑ වෙනකොට ඒ හරියෙන්
මට ඇහෙනවා කොරවකුන් රංචුවකගේ නාදයක්. මට ඒක ඇහෙන්නේ හරියටම කාගෙහරි මලගමකදී ගැයෙන වෙස්සන්තර ජාතකයෙහි කවි වගේ...මට කියන්න අමතකවුණා
පැරැන්නෝ මළගම් වලදි රාත්‍රිය පහන්වන තෙක් වෙස්සන්තර
ජාතකය සහ සඳකිඳුරු ජාතකය කවිකර කියන්න
පුරුදුවෙලා හිටි බව. ඉතින් එතකොට ඒ මලගම කාගෙද? හොයල බලමු කාගෙද කියලා....
ගැබ්බර මහ වැවු කණ්ඩිය පුපුරා
දියවර හිඳුනේ මොන පවිනේ
පිණිබර නිල් දළු ගොයමට ගිනිලා
කිම ඔරවන්නේ හිරු දෙවිඳේ....
ගැබ්බර අම්මා කෙනෙකුගේ කුසක් වගේ පිරී
තිබුණු මහ වැවේ කණ්ඩිය පුපුරා ගියේ කාගෙ පවටද කවුරු කළ පවටද කියලා දන්නේ දෙවියන්
කියලා කණ්ඩායමක් උඩ ඉන්නවානම් ඒ කණ්ඩායම පමණමයි. එහෙම වුණාට පස්සේ හිරු දෙවියන්
ඔරවන එරවිල්ලට පිණි බර ව නිලට තිබුණු දළු ගොයම දැවී අළු වෙලා යනවා. ඒත් ඇයි හිරු
දෙවිඳු එසේ පිණිබර නිල් දළු ගොයමට ගිනි තියන්නේ....හිරු දෙවිඳු නොදැනද එයින් දැවී
යන්නේ දළු ගොයම පමණක් නොවන බව අහිංසක දුප්පත් ගොවි ජන හදවත් ද ඒ සමග ම දැවී යන
බව....
රසබර ගී සී පද ගොළු වීලා
යාය පුරන් වී ඉඩෝරයේ
තොළ කට තෙමනා දියවර යදිනා
නියං කුරුල්ලෝ විලාප දේ....
ගොවි ජනතාවගේ දොතොළට නිබඳව ම හුරු පුරුදු
රසවත් හරවත් ගී සීපද ගැයෙන වට පිටාවක් ඔවුනට ඉතිරිව තිබෙනවාද? තමන් මුළු
සේසත ම දියකර මුළු ගතේ ම දහදිය හෙළා අස්වැද්දූ කුඹුරු යායයි ඉඩෝරය විසින් දවා හළු
කළේ. මී ළඟ කන්නය පුරා, තම අඹු දරුවන්ගේ කුස්, කුසගින්නේ නොතබන්නට ඉටාගත් දහසකුත්
එකක් බලාපොරොත්තු ද සමගිනි. ඔවුනගේ අහිංසක සිහිනය කෙත් යායත් සමගම පුරන් වී ඇතිනම්
කෙලෙස රස බර ගී සී පද ගයන්නද?
මේ පුරන්වූ කෙත්යායට ඉහළ අහසේ විවිධ කුරුළු පන්ති
විවිධ නාද පවත්වමින් ඉගිළ යති. මට ඇසෙන්නේ ඔවුන් වියලී පිපාසයෙන් දැවී ගිය තොළ කට
තෙමා ගැනීමට දියවර ඉල්ලා වැස්ස වළාහක
දෙවියන් වෙත කන්නලවු කරන්නාක් සේ ය. මේ කුරුළු පන්ති විසින් නාද දෙමින් කන්නලවු
කරන්නේ නියගෙන් දා ගිය කෙත් යාය අසල හිඳ පෑරුණු සිතින් අපේ පළාත්වල ගොවි ජනතාව කරණ
කන්නලවුව ම නොවේද?
ඉතින් මේ මළගම කාගෙද? මේ අපේ ගොවි
ජනතාවගේ ඉරණමේ මළගම නොවේද?
මේ ගීතය අරගෙන මමත් මගේ මිතුරු නවරත්න ගමගේත් විශාරද ගුණදාස
කපුගේ ළඟට ගියේ මේ ගීතයේ කියවෙන මේ දුක ගයන්නට තිබුණු හොඳම කටහඬ තිබුණේ විශාරද ගුණදාස කපුගේ ට වූ නිසා.
ඒ ගීතය ඔහුට ගයන්න
සුදුසුම අයුරින් සංගීතවත් කළ හැක්කේද ඔහුට ම බව අපි හිතුවා. ඒ සිතුවිල්ලේ එතරම්
වරදක් නැති බව පසුව පැහැදිලි වුණා.
වැවු තාවල්ලේ සුදුකොඩි බැඳලා
කාගෙද මළගම කණකොකුණේ
ගොම්මන් යාමේ වෙසතුරු දා කවි
හඬින් ගයනවද කණ කොකුණේ...
ගැබ්බර මහ වැවු කණ්ඩිය පුපුරා
දියවර හිඳුනේ මොන පවිනේ
පිණිබර නිල් දළු ගොයමට ගිනිලා
කිම ඔරවන්නේ හිරු දෙවිඳේ....
රසබර ගී සී පද ගොළු වීලා
යාය පුරන් වී ඉඩෝරයේ
තොළ කට තෙමනා දියවර යදිනා
නියං කුරුල්ලෝ විලාප දේ....
පද : යසනාත් ධම්මික
බණ්ඩාර.
ස්වර සහ හඬ : විශාරද
ගුණදාස කපුගේ.
වැවු තාවල්ලේ සුදුකොඩි බැඳලා ගීතය මෙතනින්
අසන්න.
මෙහෙම නියං ගිනි ඇවිලෙනකොට දැවී යන්නේ ළපටි
ගොයම, ළා තණගොබ, නිල් තුරු වැල්, අහිංසක සිත් සතන්
පමණක් නොවෙයි. තවත් දැවී යන දේ බොහෝයි.
ඉතින් ඔය කිවුව වින්නැහියේ අනිවාර්ය ඵල විපාක ගැන තමයි ඊළඟ ගීතයෙන් මම කියන්න
උත්සාහ කළේ. ඒ ගීතයේ පද මෙහෙමයි.
යහ බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත් ද වියලී.........
මෙහෙම නිහඟය නැති බැරි කමට වරම් දෙනවිට හිස
ඔවසන රකුසෙක් ඉන්නවා. ඒ තමයි මන්දපෝෂන රකුසා. ඉතින් මෙහෙම මන්දපෝෂණයෙන් පෙලෙන
අම්මා කෙනෙකුගේ පපුතුර ඉළ ඇට කූඩුවට ම ඇලෙන තරම් වියලිලා ගිහිල්ලා. එතකොට කෙහොමද ඒ
අම්මා කිරි කළ හතක් පෙරා දරුවට පොවන්නේ...ඒ නිසා තමයි මම ලිවුවේ
යහ බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත්ද වියලී
ඉතින් මේ පුංචි සිඟිත්තා වෙනුවෙන් කිරි කළ
හතක් පුරවපු ඒ කිරි බඳුනට මොකද වුණේ. මට හිතුණේ ඒ කිරිබඳුන කවුරුන් හෝ සොරකම් කළා
කියලයි. ඒ නිසා මම ඊළඟ කොටස මෙහෙම ලියන්නේ.
දුටුවාද කියන් - නුඹ - කවුද සොරුන්
කිරි බඳුන අරන් - වන වැදුණු සොරුන්
පුතු සිඟිති මුවින් නඩු කියණු අසන්
සුදු කෙකින්නියේ දුටුවාද කියන්.....
කුසගින්නේ හඬන බිළිඳාගේ හැඬුම් හඬ මට
ඇහෙන්නේ නඩුවකට කරුණු ගොණුකරණවා වගේ. ඉතින් මම එම නඩුව අහන්න තීරණය කළා. මේ හොරකම
සිදුවෙනවා දකින්නට ඇතැයි කියලා මට සැක හිතෙන කට්ටියක් මෙතන ඉන්නවා. ඒ තමයි මේ
කොකුන් රංචුව. ඉතින් මම ඒ කොකුන්ගෙන් ඇහැව්වා නුඹලාවත් දුටුවාද කියලා ඒ සොරුන්
කවුදැයි.
මම මොනවා ඇහැව්වත් කොකුන් රංචුව ඇසින් දුටු
සාක්ෂියක් කිවුවේ නෑ. ඒ නිසා මගේ සැකය වෙනත් අතකට යොමු වුණා.
කිරි සුදු ඇඳුමට - සුදු පාට කොහෙන්
සුදු කෙකින්නියේ - ගෙන ආද කොහෙන්
පුතු කිරි බඳුනේ - කිරි බිඳු සිඳුනේ
සුදු කෙකින්නියේ - ගෙන ආද සොරෙන්.....
සුදු කෙකින්නියන්ගේ කිරි සුදු ඇඳුමට සුදු
ගෙනාවෙ කොහෙන්ද කියලා අහන්න මට හිතුණා. පුතුගේ කිරි බඳුනේ කිරි සිඳුනේ ඇඳුමට සුදු තවරන්න කොකුන් විසින් කිරි
බඳුන සොරකම් කළ නිසාදැයි මම අන්තිමට ප්‍රශ්න කරණවා.... ඉතින් විෂම පරිසරයේ නිර්ධය
පහර කෑමට ලක්වූ නිර්ධනීන් පිරිසකගේ ශෝකාලාපය
මම තවත් පාරිසරික සාධක කිහිපයක් අනුසාරයෙන් ප්‍රශ්ණ කළා.
මෙම ගීතය මගේ මුළ්ම ගීත 5 ට ඇතුළත්වුණු
ගීතයක්. මගේ මුළ්ම ගී වැඩි ප්‍රමාණයක් සංගීතවත් කළ මා මිතුරු නවරත්න ගමගේ විසින් මෙහි ස්වර නිමැවූවා. හඬ සම්මාදම
සම්මානනීය ගායිකා ප්‍රදීපා ධර්මදාස විසින් කරණු
ලැබුවා.
යහ බොජුන් වැරී - කිරි ශිරා මැරී
කළ හතක් කොහිද නෑ - කිරට පෙරී
පපු පෙදෙස දැවී - කිරි ශිරා මැරී
උල්පත්ද වියලී........
දුටුවාද කියන් - නුඹ - කවුද සොරුන්
කිරි බඳුන අරන් - වන වැදුණු සොරුන්
පුතු සිඟිති මුවින් නඩු කියණු අසන්
සුදු කෙකින්නියේ දුටුවාද කියන්.....
කිරි සුදු ඇඳුමට - සුදු පාට කොහෙන්
සුදු කෙකින්නියේ - ගෙන ආද කොහෙන්
පුතු කිරි බඳුනේ - කිරි බිඳු සිඳුනේ
සුදු කෙකින්නියේ - ගෙන ආද සොරෙන්.....
පද: යසනාත් ධම්මික
බණ්ඩාර.
ස්වර: නවරත්න ගමගේ.
හඬ: ප්‍රදීපා
ධර්මදාස.
යහ බොජුන් වැරී
ගීතය මෙතනින් අසන්න.
දුක්බර ජීවිතය උරුම කරගෙන ජීවත්වෙන්නේ
ගොවියන් ගැමියන් පමණක් නොවෙයි. තවත් බොහෝ පිරිස් ගෙවන්නේ දුක් බර දිවියක්. මේ
ගීතයත් එවැන්නක්.
ඔන්න අපි විශ්ව විද්‍යාලයේ 4 වන වසරේ
වාර්ෂික විනෝද චාරිකාවෙ යෙදී ඉන්නවා. ගමන යන්නේ නුවර එළියට. ඉතින් ටිකටික කන්ද
උඩරටට ළං වෙනකොට පරිසරය කෙමෙන් වෙනස්වෙලා තේ වතු යාය මැද්දෙන් ගමන් මග වැටෙනවා. තේ
දළු නෙලන ළඳුන්ද අප නෙත ගැටෙනවා. තේ දළු නෙළන ළඳුන් ද සුන්දර තේ යාය ද හසුවන සේ
ඡායාරූප ගැනීමේ ආශාවක් සැමටම ඇතිවෙනවා. ඒ නිසා ගමන් කරණ වාහනය නවතිනවා.
පිරිසක් මේ අතර ගීයක් අරඹනවා. තේ දළු නෙළන
ලඳුන් ගැන ලියැවුණු යුග ගණනක් ජනප්‍රිය ගීය
උඩරට කඳුකර සිරියා පරදන -
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන -
තේ දළු නෙළන ලඳේ....
මේ ගිතයේ හැටියට නම් මේ තේ දළු නෙළන ළඳුන්
රූපයෙන් අගතැන්පත්. කොතෙක්ද කිවුවහොත් සුන්දර උඩරට කඳුකරයේ ඇති සුන්දරත්වය කැලේට
වැටෙන තරමට ඔවුන් සුන්දරයි. සුන්දර ඔවුන් තම සුන්දර දිගු ඇඟිලි තුඩු නවමින්
දිගහරිමින් තේ දළු නෙළන්නේ මුවග සුන්දර සිනාවෙන් පුරවාගෙන. ඔවුන්ගේ දිවිය ඒ තරමටම සැහැල්ලු
සුන්දර හැඩයකි. ඒත් මම කල්පනා කරණවා මේ කියන්නේ ඇත්තක්ද කියලා. උදේ පටන් රෑ
වෙනතුරු තේ කූඩයේ බර දරමින් වකුටු වුණු කොන්දක් සහිත ගැහැණුන් පෙළක් තමයි මට පෙනෙන්නේ.
ඔවුන්ගේ තොළ කට දවස පුරා හැපූ බුලතින් රතු පැහැති කළු පැහැයක් අරගෙන. ඔවුනගේ මුදු
නොවැටුණු අතැඟිලිවල නියපොතු තේ දළු කහටින් දුඹුරු කළුපැහැ වෙලා. මුහුණේ ඇත්තේ
උහුලාගත නොහැකි විඩාවක සලකුණු. හිනාවක් දැකගන්න අමාරු තරමට ඒ මුහුණුවල ඇත්තේ
විඩාවේ සලකුණුමයි. ඉතින් මම කල්පනා කරණවා මෙවැනි මිනිස්සුන්ගේ මේ ජීවිත රටාව අර
ගීතයෙන් කියවෙන තරමට සුන්දරද කියලා.. ඒ ගීතයේම තියෙනවා
රට පණ ගන්වන - ජාතිය සුරකින - ජාතිකධනය අපේ.... කියල
කොටසකුත්. ඒ කියන්නේ අපි හිස මුදුණින් පිළිගන්නවා මේ පිරිස මේ නෙළන්නේ ජාතික ධනය
බව. එහෙත් එහි ප්‍රතිලාබ පෙරළා ඔවුනට ලැබේ
නම් මෙවැනි ජීවන රටාවක් නොවෙයි ඔවුනට උරුම විය යුත්තේ. ඉතින් මම හිතනවා මෙම ගීතය
පවතින සත්‍යය විකෘති කරණ ලද ගීතයක් කියලා. මම ගීත රචකයෙක් නිසා එම ගීතය විවේචනය
කරලා නැවතුණොත් එය ද වරදක් වෙනවා. ඒ නිසා මම ඊට විකල්ප ගීතයක් ලියනවා. එහි මුළ් පද
පෙළ ඒ අවස්ථාවෙම මගේ මනසට එනවා. මම අතට හසුවුණු කොළ කැබැල්ලක එය කුරුටු ගානවා.
කහට පැහැවුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......
වැඩකරණ අතැඟිලිවල කහට නොතැවරී තියෙයිද? එහෙත් මෙහි
කියන්නේ අතේ කහට තිබුණට හිතේ කහට නැති බවයි. එය ව්‍යංගාර්ථයෙන් කීමක් පමණයි. නෙලන
ධනය ජාතියට පුද දී දුක් විඳින ඔවුන්ගේ හදවත් තුළ කහටක් නැතියි මම විශ්වාස කරන්නේ
නෑ. සමාජ අසාධාරණය සහ විෂමතාව පිළිබඳ ඔවුන් පන්ති නොගියට ඔවුනට ඒ බව නොවැටහෙතැයි
මම සිතන්නේ නෑ. ඒත් මම ඒක ඒ විදිහට කෙළින්ම කියන්නෙත් නෑ. මේ කොහොම වුණත් හෙට
උදෙත් ඔවුන් මේ දුකම විඳින්නට පැමිණිය යුතු වෙයි. නැතිනම් ජීවිතය ඊටත් වඩා දුක්ඛිත
වන නිසා. වැඩි දුකෙන් බේරෙන්න අඩු දුක තෝරා ගත යුතුයි. අත පයේ රුදා දැණුනත් හෙට උදෙත්
වැඩට පැමිණිය යුතුයි.
ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......
දළු උරේ බර පමණක් නම් ඔවුනට රැගෙන යාමට
ඇත්තේ එය ඔවුනට මහ බරක් නොවෙන්න තිබුණා. ඒත් ඔවුනට දළු උරේ බරත් ජීවිතේ බරත් යන
දෙකම රැගෙන යන්න වෙලා තියෙනවා එකවර. ඔවුනගේ හිතේ ඇත්තේ මොනතරම් බරක් වියයුතුද? එවැනි බරක්
රැගෙන යමින් නෙළණ කහවණු ලෝබ නැතිව දෙන්නේ කොහොමද? ඒත් ඔවුන් ගීතයේ
කියනවා එහෙම ලෝබ නැතිව දෙන බව. ඒක ඇත්ත නොවන බව තේරුම් ගැනීම රසිකයින් සතු
කාර්යයක්.
මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....
කන්දට නම් සිනාසෙන්න අනන්ත කරුණු ඇති. ලස්සන
දුහුල් මීදුම් ඔසරියේ පහස....රන් මිණි ලෙස දිදුලන පිනි යාය මීදුම් ඔසරිය වටා බඳින
හවඩිය....මේ කියන්නේ සුන්දර පරිසර වර්ණනාව ගැන...මම හිතනවා අපි කඳු නම් මේ පරිසර
වර්ණනාවෙන් මත්ව අපිද තුටු සිතින් සිනාසෙන බව. ඒත් ඒ අසරණියන්ට ඉන් ලැබෙන මහඟු ඵලය
කුමක්ද? ඒ නිසයි ඔවුන්
කියන්නේ නෙළන පින් කෙතේ වාසි කිසිවක් තමන්ට නැතත් තමණුත් සිනාසෙන බව. කළ හැකි අන්
යමක් නැති බැවින් සිනාසෙන බව නොවෙද එලෙස නොකියා කියන්නේ. එහෙම සිනාසෙන අය දවසක්
ලැබුණොත් මොනවා නොකරණු ඇතිද? මම මේ පදවැල සංගීතවත් කරන්න දුන්නේ එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාණන්ට. ගායනාකරන්න දුන්නේ විශාරද මාලනී බුලත්සිංහල මහත්මියට.
ඒ යෝනාව කළේ විශාරද ගුණදාස කපුගේ විසින්. මේ ගීතය කරනවිට මාලනී අක්කාගේ හිතේ ලොකුවට තිබුණා එතැන් පටන් තේ නැටුම් වලට බොහෝ අය මේ ගීතය යොදාගනී කියලා. ඒ
නිසාම මමත් හිතුවා. ඒත් ඒවා සිතුවිලි පමණයි. ඒක එහෙම වුණේ නෑ. ඒක එහෙම නොවුණත්
අඩුම ගණනේ එම ජන කොටස විණිවිද දකින්න ගත්ත උත්සාහයට හෝ ප්‍රතිචාර ලැබෙයි සිතුවත්
ඒකත් එහෙම වුණේ නෑ. ඒව එහෙම තමයි. ඒ නිසා
මා දුටු ඒ තේ දළු නෙළන ළඳුන් දකින්නයි ඔබට මේ කෙරෙන ආරාධනය.
කහට පැහැ වුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......
ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......
මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....
පද: යසනාත් ධම්මික
බණ්ඩාර.
ස්වර: එච්. එම්.
ජයවර්ධන.
හඬ: විශාරද මාලනී
බුලත්සිංහල.
ගීතය අසමු.
මේ විදිහට ජන ජීවිතයේ දුක ගැන කව් ගී ලියන්න
අපි හුරුවෙලා තියෙන්නේ මිනිස්සු දුක නිකන්ම කිවුවට කවුරුත් අහන්නේ නැති නිසා වෙන්න
ඇති. ඉතින් ඔය දුක් කඳුළු අතරේ වැඩිපුරම කවු ගී ලියැවුණේ ළසෝ දුක ගැනයි. ඒ නිසාම
එවැනි ගීතයක් අසන්න වෙලාව ඇවිත් කියලා මට හිතෙනවා.
මේ ගීතයට පෙර වදනක් සපයන්න මම උත්සාහ කරන්නේ
නෑ. මම ගීතයෙන් හිතපු දේ තවෙකෙකුට ඒ අයුරින්ම දැණුනාම තමයි මගේ සතුට වැඩිවෙන්නේ.
නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන විචාරකයින් කථා කළයුත්තේ එනිසයි. ඉතින් මගේ ගීතයක්
ගැන මා මිතුරු ගීත රචක ධම්මික බණ්ඩාරයන් විසින් සිළුමිණ පුවත් පතට සපයන ලද ලිපියක දක්වන ලද අදහස්
ටිකක් ඒ විදිහටම මෙහි අමුණනවා. ගීතය මෙහෙමයි.
අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම
හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම
සිහිනයක පිපී සුන්දර
රැදේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම
පද - යසනාත් ධම්මික
බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - කරුණාරත්න
දිවුල්ගනේ
ඉතින් මේ යසනාත්
ධම්මික බණ්ඩාර ගැන ඒ ධම්මික බණ්ඩාර ලියන්නේ
මෙලෙසයි.
ඔහුගේ නම යසනාත් ධම්මික
බණ්ඩාර ය. ඔහුගේ පදිංචිය කුරුණෑගල පොතුහැර ය. ඔහු ඉඳ හිට ගීතයක් ලියයි. අපි
අසල්වැසියෝ ය. මිත්‍රයෝ ය.
එහෙත් මේ සටහන මිත්‍රකම
වෙනුවෙන් ලියා තබන්නක් නොවේ. මීට වසර හත අටකට පෙර හදවත් සසල කළ අද නිතර නෑසෙන, යසනාත්
ගේ ගී පදමාලාවකින් මත් වී තබන්නාවූ සටහනක් ලෙස මම මෙය හඳුන්වමි. ඔහු විසින් රචනා
කරන ලද, ‘නොනිදා
ඉන්න එපා දේවී”
(ජානක වික්‍රමසිංහ) , “ගාන
තෙල් සඳුන් වරළස” (සමන් ජයනාත්) වැනි ගීත තරම්
මෙය ජනපි‍්‍රය වූ බවක් මට මතක නැත. ඒත් මේ ගීයේ කුමක් දෝ ගුප්ත රසයක් රැඳී ඇති
බවක් මට හැඟේ.
මහාචාර්ය ගම්ලත් වියතාණෝ “ශෝකයත්
රසයක් ද?” යනුවෙන්
ග්‍රන්ථයක් සම්පාදනය කළෝ ය. වාස්තවික ලෝකයේ දී ශෝකය රසයක් ගෙන නොදේ. එහෙත්
කලාකරුවාගේ කල්පනා ලෝකයේ දී ශෝකය රසයක් බවට පත්වේ. ප්‍රේමවන්තයන් ගේ විප්‍රයෝගය වූ
කලී වාස්තවික ලෝකයේ දී හද කකියවන්නකි. එහෙත් සාහිත්‍ය ලෝකයේ දී ඒ ශෝකය රසයක් බවට
පරිවර්තනය වේ. මෙය ද එබඳු වූ අවස්ථාවකි.
ඉර බැසයන විට සඳ නැඟ එයි. ඉරේ
එළියෙන් සඳ බැබළෙයි. එහෙත් හිරු බැසයාම පිළිබඳ ව සඳවතිය දුක් නොවෙයි.
එක ම මල්යායක පිපී වැනෙන මල්
පරවී යයි. එහෙත් මල් යාය දුක්වන බවක් නොපෙනේ. එසේ දුක් නොවන හේතුව අසා බලන ලෙසට
රචකයා ආයාචනය කරයි.
අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම
ස්වභාව ධර්මය පුරාම මෙබඳු
වෙන්වීම් රැඳී පවතී. එහෙත් මේ කිසිතැනක ශෝකය නොමැති බව රචකයා වටහා ගනී.
හිරු කුමරුන් සමුගැනීම ගැන සඳ
තනියම හෝ හඬා වැටෙන බවක් නොපෙනේ. තමා ළඟ සිටි මල් පරවීයාම පිළිබඳ කිසිදු මලක්
තනිවී හෝ හඬන බවක් ද නොපෙනේ. එහෙත් තනි වී හඬන කෙනෙකු සිටී. ඔහු කවුද?
හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම
දැන් අප ඉදිරියේ සිටින්නේ ප්‍රේමයෙන්
පරාජිත වූවෙකි. කවුරුන් හඬා නොවැටුණත් ඔහු ඇය වෙනුවෙන් හඬා වැටේ. ඔහු තුළ එක්
පැනයක් ඉතිරිව ඇත. සඳට මල් වලට නැති වියෝ දුකක් ඔහුට විතරක් කොයින් ද?
"ඇයි
මට විතරක් මේ
ඔබ හැර ගියාම”
මේ නිර්මාණය කූටාප්‍රාප්තියට
පත්කරන ප්‍රබලතම යෙදුම මෙයයි. ආලයේ විරහව භුක්ති විඳින්නට සිදුවන්නේ තනියම ය. එය
ඇට මිදුළු සිසාරා ගලායන නොනිමි වේදනාවකි. මට මහගම සේකරයන්ගේ කවි පදයක් සිහිවේ.
ඔබ හිනැහෙනවිට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ හඬනා විට
මුළු ලොව
ඔබ අත හැර සිනාසෙයි
(මහගම
සේකර)
දැන් ඔහුට ඇය ව දැකගන්නට
හැකිවන්නේ සීනයකින් පමණි. ඒ සිහිනය පවා ඔහුට සුන්දර ය. ඒ සිහිනයට ඔහු ගේ හද යහනේ
කුමන වේලාවක හෝ සැතපිය හැකි ය. ඔහු බලා සිටින්නේඒ සිහිනය හද යහනේ සැතපෙන තුරු ය.
සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...
රචකයා භාවිතා කරන “ඇයි
මට විතරක් මේ”
යෙදුම තුළ පාළු අනාථ ශෝකී භාවයක් අන්තර්ගත
ය. මුළු ගීතය පුරාවට ම ඒ පාළු ශෝකී භාවය රැඳී පවතී.
(උපුටා ගැනීම - සිළුමිණ පුන්කලස - ධම්මික
බණ්ඩාර)
ඉතින් යසනාත්
ධම්මික බණ්ඩාර වන මවිසින් ලියූ ගීතය ගැන සහෝදර ගීත රචක ධම්මික බණ්ඩාර විසින් ලයූ ඒ සටහනට ස්තුතිවන්ත වෙමි.
අර මෝදුවෙලා සිනා පුරණ ගීතය අසමු.
දෙවෙනි කොටසින් හමුවනතෙක් සමුගනිමි.
- යසනාත් ධම්මික බණ්ඩාර -
ටිකක් දිග වැඩී කියන පැමිණිල්ල ආයෙමත් කරන්න වෙනව ඒත් කියවගෙන යද්දි ඒ අතර මැදින් සිංදුව අහද්දි ඒක ඇත්තටම දැනෙන්නෑ කියන එක නං අතිශයෝක්තියක් නං නොවෙයි....
ReplyDeleteතවත් මේ වගේ රස වෑහෙන ලිපියක් කියවන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නව...
ජයවේවා
නිර්මාණ විචාරයත්, තවත් කෙනෙකුගේ නිර්මාණයක් දෙස බලා ඊට ඌණ පූරණ දීමත්, එය දිගැර බලා එහි ඇති සියුම් අංශූන් නැවත නැවතත් දිගු කොට රස විඳීමේ වපසරිය සහ නිර්මාණ ශිල්පියාගේ දැක්ම සමාජ ගත කිරීමත් අතිශයින් අවම ව පවතින මේ වකවානුවේ, තමන්ගේ ම නිර්මාණයක් තමන් විසින් ම නිර්වචනය කිරීම ආනන්තරිය පාප කර්මයක් වන්නෙ නැහැ මල්ලි.
ReplyDeleteඔබ ඔබේ නිර්මාණය ඉහළින් ම කළා සේ, එය අර්ථ පූර්ණ කරන්නෙ ඊටත් ඉහළින්.
නිර්මාණයක උපමා උපමේයයන් ගැන මහමෙරක තක්සේරුවක් කරන මට ඔබේ මේ අකුරු අතර ඇති උපමා උපමේයයන් ස්පර්ෂ කර ගන්න පුලුවන් උනෙත් ඔබේ ම නිර්වචනය නිසාවෙනුයි.
තමන්ට තමන් වෙිච්ඡේදනය කරල, දිග ඇරල පෙන්වන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනෙකුට විතරයි.
සියුම් සැතකින් සිරුර පලා, එතුළ ඇති අතිසියුම් රුධිර කේෂනාලිකා, ස්නායු පිරිසියුම් ව බලා කෙනෙකුගේ ජීවිතය සැඟව තිබෙන්නේ කොතැනදැයි සොයා බලන ඉසිවර වෙදනෙකු සේ ඔබ ඔබේ ම නිර්මාණය කියනවනවා. ඒක ඒ ආකාරයෙන් කරන පශ්චාත් මරණ පරීක්ෂණයක් නොවීම ම, ඔබේ ඉසිවර වෙද දැනුම අපට සාක්ෂාත් කරවනවා.
මට ගී කවි ලියන්න බැරි ඇයි කියල ලොකු කණස්සල්ලකුත්, මේ ලියන ලියැවිල්ල මට ලියන්න බැරි ඇයි කියල මහා ලෝකු ඊරිසියාවකුත් මට උඹ ගැන තියෙනව මල්ලි...!
මට කාලය අඩුයි. විවේකයත් අඩුයි. ලියන්න තියෙන්නේ විවේකය සඳහා තියෙන කාලය. ඒ නිසා විවේකය තවත් අඩුයි.
Deleteඅයියණ්ඩි,
මට වඩා ඔබට කාලය අඩුයි. ඒ නිසාම විවේකයත් අඩු විය යුතුයි. ඔබත් ලියන්නේ ඒ විවේකය තවත් අඩු කරගෙන විය යුතුයි.
ඔබ ඒ ඉතා අඩු විවේකයෙන් යම් කොටසක් මගේ මේ බ්ලොග් සටහන් කියවන්න වැය කිරීම ගැන මම මුළින් විමතියට පත් වුණා. පසුව සතුටකුත් නිහතමානී ආඩම්බරයකුත් ඇති වුණා.
ඒ කියවීමට අමතරව සැම දාම යම් අදහසක් ලිව්වාම මුළදි ඒක මට මහ බරක් වුණා. ඒ කියන්නේ බර වැඩි වුණා. පසුව එය දැනුනේ ලියූ වචන ටිකට වඩා ගොඩක් දේ කියන ලෙන්ගතු බවක් විදිහට.
දැන් ඉතින් විවාදාපන්න කොටස ඔබේ සටහනේ.....
///// මට ගී කවි ලියන්න බැරි ඇයි කියල ලොකු කණස්සල්ලකුත්, මේ ලියන ලියැවිල්ල මට ලියන්න බැරි ඇයි කියල මහා ලෝකු ඊරිසියාවකුත් මට උඹ ගැන තියෙනව මල්ලි...!//////
එක් එක් අයගේ රචනා ශෛලිය වෙනස්. ඔබ ඔබේ ජීවන අත්දැකීම් ලියන භාෂාව රටාව කොයි තරම් ළෙන්ගතුද? එලෙසම කොයි තරම් ඒ අත්දැකීම් ඔබ විඳ ඇතිද? අත අපට මොනවා තිබුණත් අපට කතා කරන්න තියෙන්නේ ප්‍රසාදයෙන් ඒ අතීතය බව ඔබ එහි මොනවට කියනවා නොවෙද. ඉතින් ඉරිසියා විය යුතු අපි නොවේද? ඔබේ පින්සල් පහරවල් පිලිබඳව...... ඔබට අවශ්‍ය හැටියට ඔබ යම් යම් වස්තූන්ගේසිට එන ආලෝකය අපට බැරි ලෙස සටහන් කරගැනීම පිළිබඳව....
හ්ම්ම්ම්.... ළඟින් ඉන්න හරි පෙරැම්පුරන්නේ.....
උපරිමයි....
ReplyDeleteජයවේවා කියමු …
ReplyDelete