Wednesday, March 4, 2015

මෙහි ජීවිතය මෙන් ම මරණය ද රමණීය ය......( ඔබ ජීවිතයට - මා මරණයට - දෙවන කොටස )




පළමු කොටස මග හැරුණු අයට පහත දිගුවෙන් කියැවිය හැකිය.


ඔබ ජීවිතයට - මා මරණයට.....( පළමු කොටස ) 
http://www.yasanathsithuwili.blogspot.com/2015/02/blog-post_23.html )
=========================================================================


මෙහි ජීවිතය මෙන් ම මරණය ද රමණීය ය. දිවි නසා ගැනීම නිවට බයාදු ක්‍රියාවක් නොවේ. දසයි ඔසමු තරම් හොඳට අන් කිසිවෙකු දිවි නසා ගැනිම වෙනුවෙන් තර්ක කරණු මා අසා නැත. නොරිකො මට ජීවිතයේ සෞන්දර්යය මෙන්ම මරණයේ සෞන්දර්යය ද පෙන්වා දුන්නා ය. කෙනෙකු දිවි නසා  ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනීමට ය.  කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම්, ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි.

මේ මහැදුරු සරච්චන්ද්‍රයන් ගේ මළගිය ඇත්තෝ කෘතියෙන් උපුටා ගත් අදහසකි. සරච්චන්ද්‍රයන් සිය කෘතියෙහි විවිධ තැනි හිදී මරණය පිළිබඳව මෙවැනි විවිධ අදහස් දැක්වීම් කර ඇත. ජපන් සංස්කෘතිය තුළ මරණය සහ දිවි නසා ගැනීම පිළිබඳව වන මේ අදහස් යම් අයුරකින් සෞන්දර්යවාදීව ඉදිරිපත් කළ ද අප සමාජය තුළ මරණය වර්ණනා කරනු හෝ දිවි නසා ගැනීම අනුමත කරණ අයුරින් අදහස් දැක්වීම හෝ කරණු නොලබයි. ජපන් සමාජයේ කෙනෙකු දිවි නසා ගන්නේ සිය ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම් එය කිලිටි කරගෙන ජීවත් වනවාට වඩා මරණය සැපකැයි සිතන බැවිනි. එසේ නම් අප රටේ මිනිසුන්ගෙන් බහුතරයක් දිවි නසා ගත යුතු ගොඩට ඇතුළත් වනු ඇත. බහුතරයක් සිය ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වෙමින් තිබියදීත් එසේ වන බව දැන සිටියදීත් තව දිනක් හෝ වැඩියෙන් ජීවත් වන්නට...අනෙකාගේ ආයුෂද රැගෙන ජීවත් වන්නට පෙරුම්පුරයි. අපේ රටේ දිවි නසා ගැනීමේ අරමුණු ඊට වඩා වෙනස් වෙයි. පොදු සෞන්දර්යය කිලිටි කරමින් හෝ ජීවත් වන්නට උත්සාහ කොට බැරිම තැන ය අපේ යමෙක් දිවි නසා ගන්නට සිතනවානම් සිතන්නේ. එහෙත් හදිසි ආවේගයෙන් මිස ජපනුන් සේ කල්පනා කර තමන්ගේ ජීවිත අවැඩ යැයි සිතා නොවේ. එබැවින් අප එය සලකනු ලබන්නේ බයාදු ක්‍රියාවක්ලෙසිනි. ගැටළුවට පිළිතුරු සොයනු වෙනුවට පළා යාමක් ලෙසිනි. කෙසේ වුවද අප රටේ වුව විවිධ නිර්මාණ සඳහා මරණය යන්න විවිධ අයුරින් යොදාගෙන ඇති බව දැකගත හැකිය.
අපි පසුගිය කොටසින් එවැනි නිර්මාණ සම්බන්ධයෙන් කෙරෙන අදහස් කතා බහකට මුළ පිරුවෙමු. අද අපි එවැනි තවත් නිර්මාණ කිහිපයක් පිළිබඳව කතා බහ කරමු. 

මෙම හැඳින්වීමෙහි දී මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ඇසුරින් අදහස් උපුටා දැක්වීමක් කළ හෙයින් එරයින් ම මූලාරම්භය ගැනීම යෝග්‍ය බව සිතමි. අනෙක් කරුණ නම් එය එවන් නිර්මාණ සදහා උදාහරණ ආකරයක් වීමය. සියළු උදාහරණ පිළිබඳව කතා කළ නොහැක්කේ එකක් දෙකක්පමණක් ගැන සටහන් කරමි.

ප්‍රවීන ගීත රචක රවි සිරිවර්ධන විසින් මේ හා ආශ්‍රිත  ගීත දෙකක් ම ලියා ඇත. එක් ගීතයක් නොරිකො සං වෙනුවෙන්ද අනෙක දෙවෙන්දොරා සං වෙනුවෙන්ද වෙන් ව ඇත. මේ දෙපාර්ශවය ම වෙන වෙන ම නියෝජනය වෙන ලෙස ගීත දෙකක් ලියන්නට හැකි වීම රචකයාගේ හැකියාව මොනවට කියාපෑමකි.

ඉන් එකක් ජීවත්වෙන නොරිකො සං විසින් මිය ගිය දෙවෙන්දොරා සං ට කියන ලද්දකි. අනෙක මිය ගිය දෙවෙන්දොරා සං විසින් ජීවත්වෙන නොරිකො සං ට කියන ලද්දකි. මේ ගීත දෙක ම දෙවෙන්දොරා සං ගේ මරණයෙන් පසු යුගයේ කඳුළු සිහිවටනයන් ය.

දෙවෙන්දොරා සං
නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
මං දවසක එනවා...
ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...

ඔබත් සමග ගිය මඟ තොට
නැතිවුණා ට ඔබ පෙර ලෙස
මං තනිය ම යනවා
කෝපි අවන්හල් දුටුවම
පිට පාරෙම එනවා

ඔබේ සුවඳ තැවරීගෙන
බිම වැතිරෙන සීතල හිම
නෙතට කඳුළු දෙනවා
කබුකි නැටුම් හල් දුටුවම
දරන්න බැරි වෙනවා...

 මෙහිදී ඇති විශේෂත්වයක් නම් මරණය සුන්දරය යනුවෙන් අදහන සහ දිවි නසා ගැනීම බයාදු කමකැයි නො අදහෙන ජපන් සංස්කෘතිය තුළම වුව ඇති  විවිධත්වය නව කතාකරුවා විසින් මනාව නිරූපනය කොට තිබීමය. එකම ආකාරයේ ප්‍රේමයෙන් දුක් කඳක් දරාගෙන සිටි දෙදෙනාගෙන් දිවි තොරකර ගන්නේ දෙවෙන්දොරා සං පමණි. නොරිකෝ තව දුරටත් සියළු දේ ඉවසමින් ජීවත්වන්නට ය තීරණය කළේ. මේ ස්වභාවය ම රවි සිරිවර්ධන විසින් සිය ගීත යුගලයෙන් ද මනාව ප්‍රතිනිරූපනය කරයි.



දෙවෙන්දොරා සං
නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
මං දවසක එනවා...
ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...

සිය දිවි හානිකොට ගත් දෙවෙන්දොරා ට ඇය පවසනුයේ තමන්ට ද ඔහු ළඟ ම ඉඩක් තබාලෙන සිටින ලෙසය. ඒ ඔහුට ඇති දෘඩ පෙම නිසාවෙනි. ඇය ද දවසක එහි ම නිදනු ඇත. එහෙත් ඒ දවසක ය. ඉක්මණක් ගැන නොකියවෙයි. එබැවින් ඈ ස්වභාවික මරණය තෙක් එහි නොනිදනු ඇතැයි මට සිතේ. ඈ ජීවත් වනු ඇත. එහෙත් ජීවත්වන සෑම තත්පරයක් තුළදී ම ඔහු ඈ සිතේ ජීවත් වෙයි. එබැවින් මැරි මැරී ඉපදෙමින් ඈ ජීවත් වනුයේ ඔහු නමිනි. මළවුන් ගේ අවුරුදු දා ඔහු ව හමුවීමට ය.

ගීතය අසමු.

මේ ගීතයෙහි සංගීත නිර්මාණය රෝහණ වීරසිංහයන් ගේ ය. ඔහු එකී සංගීත සංයෝජනයන් ඔස්සේ ජපන් සංස්කෘතියේ පැතිකඩක් අප ඉදිරියේ මවා තියයි. එලෙසට ම නොරිකො සං ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති වේදනාව සහ නොසන්සුන්තාව එහි මනාව ගැබ්ව ඇත. මෙහි කටහඬ නන්දා මාලිනියගෙනි



අප මේ නව කතා දෙකෙහිදී ම නොරිකො ගේ කටහඬ කුමක්දැයි මෙතෙක් අසා තිබුණේ නැත. සිතා තිබුණේත් නැත. එහෙත්  දැන් ඇයට කටහඬක් හිමිව තිබේ. ඇගේ කටහඬ නන්දා මාලිනියගේ කට හඬ බඳුය.

රවි සිරිවර්ධන පාළු සුසානයක ආදරයේ මතක සටහන් සමග පමණක් සැතපෙන දෙවෙන්දොරා සං ගයන ආකාරයට ලියා ඇති ගීතය ද සුවිශේෂය. එය ට සංගීතයෙන් සුරේෂ් මාලියැද්දේ ද හඬින් අමල් පෙරේරා ද පණ පොවා ඇත.




නොරිකො සං නිදියන්න
නොරිකො සං නිදියන්න
නිදියන්න හොඳට ම රෑ වෙලා
මට පාළු නෑ මේ හතර රියනට
ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා.......

ඔබට බෑ නවතින්න මා ළඟ
යා යුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලාගෙන ඇති
යන්න ඒ වෙත
මගේ මතකය
අතීතෙට පවරා

ඔබට බෑ වැල පෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටුපා
කුබුකි රංගන අළුත් වී ඇති
යන්න ඒ වෙත
මගේ සෝ බර
කරලියෙන් බැහැලා

ජීවිතයට වඩා මරණය සැපකැයි සිතා දිවි නසාගත් දෙවෙන්දොරා ය මෙම ගීතයේදී නොරිකෝ ට පවසනුයේ ඔහු ළඟ නොනැවතෙන ලෙස. ඈට ජීවිතයක් හිමි විය යුතු බව ය ඔහු සිතනුයේ. එවිට ඔහු ජීවිතය හැර යන්නට තීරණය කළේ අළුත් වන ලෝකයක ඈ හට ජීවිතය දෙන්න ද?

ඔබට බෑ වැල පෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටුපා
කුබුකි රංගන අළුත් වී ඇති
යන්න ඒ වෙත
මගේ සෝ බර
කරලියෙන් බැහැලා

මින් කියන්නේ එවැන්නක් නොවේද?
ගීතය මෙතැනින් රසවිඳින්න


මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තන් ගැන මාතින් ගියැවුනු ගීතය රචනයක් මට මතක් වේ. මෙතෙක් ගීතයක් නොවුණු එහි ඇත්තේ ද මේ අත්දැකීමම ය. එහෙත් මේ ජිවිතයක මළගම ගැන නොවේ. ප්‍රේමයකමළගම ගැන ය. එහෙත් සමහර විට ප්‍රේමයක මළගම යනු ජීවිතයක ද මළගමයි.

මට මල් වඩම් අනවශ්‍යයි
ඔබ නෑවිදින් ගියොතින් දුකයි
හුදකලා චිතකය සීතලයි
මට මල් වඩම් අනවශ්‍යයි

සීත මිටියාවත් පුරා
අපි දෑත් බැඳ ඇවිදිනයුරා
පිරි සිහින එකිනෙක අතැර දා
මම ඉතින් යන්නම් සයොනරා

මීන නෙත් විල් උතුරනා
ඔය කඳුළු කුමටද මට ගෙනා
එක මිහිරි හසරැල්ලක් තබා
ඔබ නික්ම යනු මැන සයොනරා.....



-        යසනාත් ධම්මික බණ්ඩාර    



මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තන් ට සමු දී අන් අතකට යොමු වෙමි. ඒ අපට හුරු තැනක් වෙත ය.
ගමේ ගං තොටුපළ වෙතට ය.
එහි සිටින කෙනෙක් තවත් කෙනෙක් සොයයි. නො එසේ නම් ඔහු එහි සිට ඈ සොයයි. මේ ඔහු කවුද... ? ඈ කවුද...?

දෙදරු බිසෝ
තොටු පලට වරෙන් ගොඩවී
ඔය ගඟ දිය යටින් මිදී
ගෙපැලේ පහනට එළිය අරන්
තොටු පලට වරෙන් ගොඩවී

ගඟට ගොස් නැවත තොටුපළට නො ආ ඈ දෙදරු බිසවකි. මේ දෙදරු බිසවට තොටුපලට එන ලෙසටයි මේ ගයන්නේ. ඈ බිසවක් නම් ඔහු රජෙක් විය යුතුය. ඔහුට රජෙකුත් ඈට බිසවකුත් වන්නට හැක්කේ සිහිනයෙන්වත් නොවේ. අතු මාලිගා සෙවනක දෙදරුන් නම් වන රට වැස්සන් ට පමණි. ඒ දෙදරුන්ට ඔහු පිය රජුය. ඈ මවු බිසව ය. මේ දෙදරු පියා ම ඒ දෙදරු මවට එන්න යැයි  ගයන්නට වූයේ ඇයි....? ඈ නො ආ බැවිනි. ඈ නො ආවේ ඇයි?

කිරි කුරහන් පැල මැලවෙනවා හේනේ
දරු පැටවුන් දුක උහුලනවා යහනේ
නෙළූ පලා අත ඉවුරට ඇවිදින්
දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී.......

ළදරු කුරහන් පැල වලට දිය වැක්කෙරුවේ ඇයයි. ඇය නැති සොවින් කුරහන් යාය මැලවී ගොසිනි. දරු පැටවුන් මව නැති යහනේ උණුසුමක් සොයමින් හූල්ලනු ඇසෙයි. ඇය නෙළා ගෙන ආ පලා අත ඇය නැතිව ම ඉවුරට පාවී විත් තිබුණි. ඇය නොමැතිව පලා අත පමණක් ඉවුරට පා වී ආවේ ඇයි?

තනිකඩ පාළුව ලැගගෙන පන් පැදුරේ
පිළ මත ඉඳගෙන උහුලනවා අඳුරේ
ගලා බසියි දුක  උතුරා දෙගොඩින්
දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී.......

ඇය නැති නිවසේ රජව ඇත්තේ මහා පාළුවකි. ඇය නැති පාළුව ඔහු විඳ ගන්නේ අඳුරේ පිල්කඩට වී හූල්ලමිනි. මේ සියල්ල නො ඇසූ කන් ඇතිව, නො දුටු නෙත් ඇතිව, ගඟ ගලනු ඇසේ. එහි ගලන්නේ  සැඩ බොර වතුර නොවේ. දෙගොඩ තලමින් ගලනුයේ ඒ හදවත් වල කැකෑරෙන දුකයි. 

ගඟට බට ඇය නැවත ඉවුරට නො ආවේ ඇයි? ගඟ දිය ඇය ව දිය පතුළෙහි සඟවාගෙන, මතුපිටට එන්නට ඉඩ නොදී සිටින බැවිනි.

එසේ නම් ගඟ දිය විසින් මරු තුරුළට රැගෙන ගිය දෙදරු මවක පිළිබඳ අනුවේදනීය කතා පුවතයි.

දෙදරු බිසෝ තොටු පලට වරෙන් ගොඩවී
ඔය ගඟ දිය යටින් මිදී
ගෙපැලේ පහනට එළිය අරන්
තොටු පලට වරෙන් ගොඩවී

මරණයක් විෂය කොටගෙන ලියූ ගී අතර මට විශිෂ්ඨත ම ගීතය වන්නේ රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ 

පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ නුඹ ඇයි නැත්තේ නම් වන ගීතයයි. දැන් කුමාර ලියනගේ ගේ මේ ගීතය ඒ අසලින් ම තබන්නට මම සිතමි.  එය එම සුදුසුකම ලබා ඇති බැවිනි.




පද: කුමාර ලියනගේ
ස්වර: කරුණාරත්න විජේවර්ධන.
හඬ: කරුණාරත්න දිවුල්ගනේ.
ගීතය අසමු.

ගං ඉවුරෙන් යන්නේ ගමේ වැවු ඉවුරට ය. ඇල ඉවුර ට ය. හැබැයි ඒ ගොම්මන් අඳුරේ ය. අඳුර කරුණු දෙකක් නිසාවෙනි.

පබළු නගේ - නා මල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...
නුඹ ඇයි නැත්තේ....?

සුමනා වැනි නමක් ගීතයකට කෙතරම් ගෝචර වෙද? එය නොගැලපෙන නමකැයි එක් වරම කෙනෙකුට සිතෙනු ඇත. එසේ සිතෙනුයේ මේ ගීතය අසා නැති කෙනෙකුට ය. එවැන්නෙක් සිටී නම් ඉක්මන් නොවන්න. තව මිනිත්තු 7-8 කින් මේ ගීතය ඇසූ පසු එය කිසිම නොගැලපීමක් ඇති නමක් නොවන බව වැටහෙනු ඇත. මේ ගීතය ගැන කතාව පසෙක තබා මට එලෙස ම තවත් නමක් සඳහා ලියැවුණු ගීතයක් මතකයට නැගේ. ඒ ගීතයේ රචකයා වන්නේ මහින්ද චන්ද්‍රෙස්කර ය. ගයන්නේ ක්‍රිශාන්ත එරන්දක ය. ගීතය වන්නේ 

කුසුම ලතා - කුසුම ලතා
නුඹ නාඬන් කුසුම ලතා
ගලා හැලෙන කඳුළැලි වරුසාවේ
නාඬන් කුසුම ලතා.....
 
මේ ගීතය මරණයක් හා සම්බන්ධ නොවෙයි. මට එය මතක් වන්නේ එය ද සුමනෝ වැනි ගීතවත් බවකින් තොර කුසුමලතා යන නමින් ලියැවී ඇති නිසාය. එසේ නම් ගීතවත් නම් මොනවාද?
දිල්හානි...... අංජලිකා..... දිලීප....... දුලීකා....... එවැනි නම් ය.

ව්‍යක්ත ගීත රචකයාට කුසුම ලතා හෝ සුමනා හෝ බණ්ඩාර මැණිකා වැනි ගීතවත් බවින් තොර නාමයන් ගැටළුවක් නොවන බවද මේ අතරේ මා පෙන්විය යුතු යැයි සිතමි. එබැවින් මරණයේ සෙවනැල්ල වැටුණු ගීත අතරේ එවැන්නක් ගැන නොකියවෙන කුසුම ලතා ගීතය අප අසා සිටිමු.


නැවත සුමනෝ නුඹ ඇයි නැත්තේ ගීතයට හැරෙමු.

පබළු නගේ - නා මල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...
නුඹ ඇයි නැත්තේ.?

සුමනා යනු අනෙකෙක් නොව රචකයාගේ ම පැටි සන්දියේ හිතවතියකි.  අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් හා එකට ඉගෙන ගත් යුවතියකැයි යන්නය මා අසා ඇත්තේ. එසේ කියුවේ රණ්බණ්ඩා ම ය.
සුමනා හැඳින්වීම සඳහා ඔහු භාවිතා කර ඇතිවචන විමසමු.

පබළු නගේ, නාමල් තිලකේ, පුංචි ඔසරි මැණිකේ....... මේ සියළු සොඳුරු ඇමතුම් සුමනා ට ය. මේ ඇමතීම් සියල්ල විමසන විට ඇය බාල සන්දියේ පාසැල් වියේ හමු වූ සාමාන්‍ය හිතවතියකැයි මට නොහැඟේ. ඇය විශේෂ හිතවතියක විය යුතු ම යැයි මට හැඟේ.
වෙනදා ඔහු සමග සිටි සුමනා අද නැත. ඒ ඇයි?

වැවේ දියේ ඇති - නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට - කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා


වැවේ නොගැඹුරු දිය තලාවෙන් මතුව පෙනෙන්නේ නිකින්නි යායේ නිල්ල ය. නිකින්නි නිල්ල අතරේ සුදු කෙකටිය කරටි පිපී නැවී ඇති සුන්දර දසුන පෙර ඔවුනගේ හමුවීම් වල සුන්දරත්වය තවත් වැඩි කළ දසුන් ය. එදා වැව් කන්ද මත බෝ ගස් හෙවනේ ඔළිඳ ගැන්නේ ඔවුන් දෙදෙනාය. අද ඔළිඳ ගනින්නේ ඔහු තනිවම ය. තනිවම ඔළිඳ ගනිනවා යන්නෙන් මට හැඟෙන්නේ අනෙකකි. ඒ නම් ඇත්තටම ඔළිඳ ගැනීමක් නොවේ. එතනදී  ඔළිඳ යනු කඳුළු විය නොහැකි දැයි මට සිතේ. ඔහු අද තනියම ගනින්නේ ඔළිඳ නොව කඳුළු ය. ඊට හේතුව නම්...

වෙනදා වාගෙ ම තල මල පිපිලා
තිබුණට ඇල ළඟ වත්තේ
සුමනෝ...
නුඹ ඇයි නැත්තේ..?

සුමනා නැති තැන ඔහුට කඳුළු හැර අන් දෙයක් තිබිය නොහැක. එසේ නම් මෙලෙස ඔහුට කඳුළ උරුම කර දී සුමනා කොහි ගොසින්ද?

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දී - හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ...
නුඹ ඇයි නැත්තේ....

ඔහු තනියම වැව් ඉවුරේ ඇළ ඉවුරේ සක්මන් කරයි. ඒ දරාගත නොහැකි වේදනාවක් පපු කැනැත්ත තුළ තුරුළු කරගෙනය. එදා සුන්දර කිසි දෙයක් අද ඔහුට සුන්දර නොවේ. ඈතින් ඔහුට පෙනෙනුයේ ඇගේ ගෙපැළෙහි නිවෙන්නට දඟලන පහන් සිළු දෙකක් මැද්දේ ඈ සිටින අයුරුය. පහන් දෙකක් මැද්දේ කෙනෙක් සිටිනුයේ ජීවතුන් අතර සිටින විට නොවේ. මිට ගිය විට ය. ඈට අන්දවා ඇත්තේ සුදු පිරුවට ය. තබා ඇත්තේ ඇඳක නොව පෙට්ටිය කය.ඈ නො ආවේ මේ නිසා නොවේද?
ඇළ දියට සඳ දිය මුසු ව ඇත. සඳ දිය මුසු වූ ඇල දිය මවන ඒ සොඳුරු  දසුන බොඳ කරන්නේ එයට වැටෙන මදටිය ඇටයක් දෙකකි. සාමාන්‍ය දවසක නම් සංසිද්ධිය මෙයයි. එහෙත් අද.... අද මෙහි රචකයා මදටිය ඇට ලෙස දක්වා ඇත්තේ කඳුළු විය නොහැකිද? මට හිතෙන්නේ ඒ මදටිය නොව කඳුළු ම කියායි.

පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
ගීතය අසමු.

තුන්වැනි කොටසට මෙතැනින් පිවිසෙන්න.
http://www.yasanathsithuwili.blogspot.com/2015/03/blog-post_12.html
-         යසනාත් ධම්මික බණ්ඩාර   -

5 comments:

  1. ඉදිරියටත් හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා .
    ජය වේවා ...

    සුදු තිර ඇද වටකල කාමරය මැද
    සුදු ඇතිරිලි එළූ සීතල යකඩ ඇඳ
    සුදු රෙද්දෙන් වැසූ
    සුදු සියුමැළි සිරුර

    වෙවුලන ඇඟිලි අගින් ගෙන
    රෙදි කඩ සෙමින් ඉවත් කර
    බැලූයෙමි
    ඇගෙ
    නිසල
    සුදු මුහුණ

    නෑසෙයි හුස්ම හෙලන හඬ
    අවට කිසිවෙකු කෙරෙන්
    සිනාසෙයි මඳ සිනා
    අඩක් විවරව දෙතොල
    සුරඟනන් හා සමඟ සිහිනයෙන්

    මම
    නිහඬවම
    අවට සිටියවුන්
    මුහුණු
    බලා
    රෙදිකඩ
    සෙමෙන් ගෙන
    මුහුණ
    යළි වැසුයෙමි.

    මහගම් සේකර - හෙට ඉරක් පායයි

    ReplyDelete
  2. සුමනෝ සිංදුව අහන හැම වාරයකම තාමත් ඇස් තෙමෙනවා..
    පදරචනය ගායනය අපේ උරැමයක්.

    ReplyDelete
  3. සිතුවිලි ඔස්සේ ඇවිදයාම තරම් හිත නිවන දෙයක් තවත් නම් නැහැ කියලයි මට හිතෙන්නෙ. ආදරය විරහව මරණය හැම දෙයක්ම සුන්දරව දකින්නට කලාකරුවාට හැකිනම් එයම තමා සොඳුරු නිර්මාණයකට පාදක වෙන්නෙ. තව තවත් සොඳුරු නිර්මාණකරනයට ඉඩ හසල ලැබේවා! ජයම වේවා!

    ReplyDelete
  4. 'සුමනෝ' ගීතය සනත් නන්දසිරි ගේ 'එදා මෙදාතුර' ගීයටත් වඩා මා සිත් ගත් ගීයකි.මරණය කාටත් පොදුය.'වෙනදා වාගෙම' තල මල පිපෙන්නේ එබැවිනි.(තල මල මරණය සංකේතවත් කරන බව ගැමියා තරයේ අදහන්නකි ) නමුත් 'සුමනා' අද නැත. මහා හිස් කමක් දරාගන්නට නගන කපුගේ ගේ වේදනාත්මක රාවය රංබණ්ඩා සෙනවිරත්නයන්ගේ හිස්කමේ,පාළුවේ වේදනාව අප හටත් සංවේදනය කරයි.
    සුන්දර ලියවිල්ලක්.. රසවිඳිමි.

    ReplyDelete
  5. ඔබ රස මුසු කරනවා පමණක් නොවේ.. රස බලන්නට ද කියා දෙයි.. තුන් වන කොටස එන තෙක් රස විදින්නට මග බලා ඉමි..
    ජය වේවා

    ReplyDelete