Tuesday, March 24, 2020

කතා අස්සේ කතා - COVID 19 - අපේ කතාව නොවේවා



 Coronavirus concept

එක්සත් රාජධානිය කොරෝනා වසංගතයට දැඩිව මුහුණ දෙන රටකි. මේ වන විට එහි රෝගය දැඩිව පැතිර යන අතර, මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී. එය ඔවුන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතිදැයි සිතෙන තරම් වෙයි. ඔවුන් එය පාලනය කරගනු ඇතිද? තව දුරටත් පාලනයෙන් ගිලිහී යනු ඇතිද? අවසාන ප්‍රතිඵලය කුමක් වනු ඇතිද? එය වටහා ගැනීමට මතු ලියැවෙන සටහන වටහා ගන්නට උත්සාහ කරන්න.
 COVID-19 outbreak UK case counts.svg
මේ අනුව එම රෝගයේ පැතිරීම සහ එය එරට ජනතාව මත ඇති කරණ බලපෑම සම්බන්ධව ප්‍රකාශිත හැඩයන් තුනකි.

මේ පිළිබඳව වන අදහස් සංකීර්ණ සහ දිගු වන අතර මට හිමි කාලය අනුව ඒවා සාරාංශගතව ඉදිරිපත් කරමි.

රෝගය පැතිරීම පාලනය කිරිමට හෝ වේගය අඩුකිරිමට නම් ප්‍රතිපත්තිමය උපාය මාර්ග සහ සැලසුම් වැදගත් වෙයි. එයින් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වන අතරේම සෞඛ්‍ය සේවය මත ඇති කරණු ලබන බලපෑම අඩුවෙන් තබා ගැනීමට හැකි වනු ඇත. එම බලපෑම අඩුවන තරමට යළිත් මරණ සංඛ්‍යාව අඩු කරගෙන රෝගීන් සුවපත් කිරීමේ හැකියාව වැඩි වනු ඇත.

එහෙත් එම උපායමාර්ගික සැලසුම් පමණක් තනිව ක්‍රියාත්මක වූවාට අදාල කාර්යය ඉටු කර ගත නොහැකිය. ඒ සඳහා ජනතාවගේ දායකත්වය අති විශේෂයෙන් අවශ්‍යය. ඒ අනුව මේ සඳහා ජනතා දැනුවත් වීම සහ මැදිහත්වීම වඩ වඩාත් අවශ්‍යය. 

එවිට රෝගය සමාජය තුළ පැතිරෙන්නේ අඩු වේගයෙනි. එයින් සමාජය තුළ රෝගයට ප්‍රතිශක්තිය සහිත පිරිස වැඩි වන අතර ඒ ප්‍රමාණය යම් ප්‍රතිශතයක් දක්වා වර්ධනය වූ විට රෝගය සමාජය තුළ වසංගතයක් සේ පැතිරීම පාලනය වේ. මෙන්න මේ රෝගය කෙරෙහි වන සමාජ ප්‍රතිශක්තිය නිසි මට්ටමට වර්ධනය වන තෙක් හෝ රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ගන්නා කෙත් හෝ රෝගය අපගේ මැදිහත්වීම මත අවම වේගයකින් පැතිරීම පවත්වා ගතයුතුය.

ඒ සඳහා වන විවිධ දේ මා මේ සම්බනධව ලියූ මුල් ලිපිය තුළ අන්තර්ගත කළ අතර එය අවැසි කෙනෙකුට මතු පිවිසුම ඔස්සේ පැමිණ කියැවිය හැකිය.


මේ අනුව රෝගය පැතිරීම සිදුවිය හැකි ප්‍රධාන හැඩයන් තුනක් හඳුනාගත හැකිය.

මේ පළමු හැඩය අනුව ඉහත ආකාරයේ දැඩි මැදිහත්වීම සිදුකරණු ලබන්නේ නම් රෝගය පැතිරීම අවම මට්ටමක පවත්වා ගත හැකි අතර ඒ අනුව රෝගීන් ප්‍රමාණය අවම මට්ටමක පවත්වා ගත හැකිය. තත්ත්වය එසේ වූ විට සෞඛ්‍ය සේවය මත එල්ල කරණ බලපෑම අඩු වේ. එවිට අනෙකුත් අසාධ්‍ය රෝගීන්ද රැක බලා ගන්නා අතරේ මේ රෝගීන්ටද උපරිම රැකවරණයක් ලබා දිය හැකිය.

දෙවැනි ආකාරය වන්නේ ඉහත අයුරින් දැඩි මැදිහත්වීම් යම් කාලයක් කරණු ලැබුව හොත් රෝගය අවම මට්ටමකින් පවත්වාගත හැකි අතරේ යම් හෙයකින් එම මැදිහත්වීම ලිහිල් වුවහොත් රෝගීන් සංඛ්‍යාව වැඩි වනු ඇත. මෙය පසුව ශීත සෘතුවේදී වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.

එවිට ඒ තත්ත්වයේදී සෞඛ්‍ය සේවාව මත එල්ලවන බලපෑම යළි වැඩි වන අතර ඒ නිසාම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හැකිය. එහෙත් කිසිදු පාලනයකින් තොරව රෝගය පැතිර යාමක් වේ නම් එහිදී වන හානිය තරම් හානියක් සිදු නොවේ.

තුන්වැනි හැඩය යනු රෝගයට එරෙහිව දැඩි පාලන ක්‍රියාමාර්ග නැතිව එය පැතිර යන හැඩයයි. එහිදී එක් වරම රෝගීන් සංඛ්‍යාව උත්සන්න වෙයි. එය සෞඛ්‍ය සේවාවන් මත එල්ලවන බලපෑම අකි මහත්ය. අසාධ්‍ය වන රෝගීන් සංඛ්‍යාවට සරිලන සේවාවක් ලබා දිය නොහැකි වෙයි. එවිට දැඩි සත්කාර සේවාවන් නොලැබීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව විශාල අගයකට නගී. 

මෙන්න මේ නිසාය යම් රටක මේ රෝගය පැතිරීමේ වක්‍රය පැතලිව තබා ගැනීම (Flattening the curve ) කළ යුතුයැයි කියනුයේ. 

Flattening the curve refers to community isolation measures that keep the daily number of disease cases at a manageable level for medical providers.

එවිට අපට ලැබෙන්නේ මෙහි පළමුව කියූ හැඩයයි.

දැන් අප වෙනත් පැත්තකට යොමු විය යුතුය.

ඉහත පළමු හැඩය පවත්වාගැනීමට රට ( එක්සත් රාජධානිය ) යොමු වේ නම්, සැක සහිත අය නිවෙස තුළ ම නිරෝධායනය වීම, රෝගීන් හමු වේ නම් නිවෙස තුළ තනිකොට තැබීම, වයස 70ට වැඩි අය සමාජයෙන් ඈත් කොට තැබීම ඉතා දැඩිව පිලිපැදිය යුතුයැයි පර්යේෂණ වාර්තා කියා සිටී. එය සෞඛ්‍ය සේවාව මත ඇති විය හැකි උපරිම බලපෑම 2/3ක ප්‍රමාණයකින් අඩු කරන අතර, එබැවින් රෝගී මරණ සංඛ්‍යාව බොහෝ සේ අඩු කරයි.

ඊ ළඟට එක්සත් රාජධානියේ රෝගය පැතිරීම සම්බන්ධව නිල නොවන මට්ටමින් ඇසුනු කතා ටිකක් වෙයි.

එක්සත් රාජධානිය තුළ රෝගය දැඩි පාලනයකින් තොරව ක්‍රියාත්මක වේ නම් ඉදිරි සති කිහිපය තුළ එහි උපරිමයකට එළඹෙනු ඇත. එය සමාජය තුළ අධික වේගයෙන් පැතිර ගොස් ජූලි මාසය පමණ වන විට සමාජ ප්‍රතිශක්තියක් ඇති වී සමනය වී යනු ඇත. අනතුරුව කොවිඩ් වසංගතයක් ඇති නොවේ. නමුත් යම් කෝවිඩ් රෝගී සංඛ්‍යාවක් කලක් යන තෙක් හමුවනු ඇත. අපේක්ෂිත මරණ සංඛ්‍යාව ලක්ෂ 2ක් ඉක්මවනු ඇත.

රෝගය පැතිරයාම පාලනය කරණ ක්‍රමවේද සාමාන්‍ය මට්ටමකින් ක්‍රියාත්මක වේ නම් රෝගය අර මට්ටමට වඩා අඩු පැතිරීමේ වේගයක් දක්වන අතර මිය යන අයගේ සංඛයාවද ඊට බොහෝ සේ අඩු වනු ඇත. එහෙත් එවිට රෝගය වසංගතයක ස්වරූපයෙන් ලබන නොවැම්බරය පමණ වනකෙත් ඇදී යනු ඇති බවට අපේක්ෂිතය. එවිට මරණ 30000ක් පමණ විය හැකි යැයි අනුමාන කෙරේ.

රෝගය පෙර කී ලෙස දැඩිව පාලනය කරන්නේ නම්, රෝගය ඊ ළඟ අවුරුද්දේ මාර්තු මාසය පමණ වන තෙක් වසංගතයක් තත්ත්වයෙන් පවතින් අතර, එහෙත් එවිට එය සෞඛ්‍ය සේවාවන් විශේෂයෙන් දැඩි සත්කාර සේවාවන් සම්බන්ධව දැඩි බලපෑමක් එල්ල නොකරණ බැවින් සෑහෙන අඩු මරණ සංඛ්‍යාවක් පවත්වා ගනිමින් සමනය වනු ඇත.

කෙසේ වෙතත් එක්සත් රාජධානිය තුළ දැන් පවතින් ස්වරූපය අනුව 250000කට අධික මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි අපේක්ෂා කරණ අතර එය දැඩි සත්කාර සේවය මත ඉතා අධික බලපෑමක් එල්ල කරණු ඇතැයි අපේක්ෂිතය.

ලංකාවේ අප දැනට යාමට සැරසෙන්නේ දැනට එක්සත් රාජධානිය කරගෙන යන අයුරේ නොවේ. දැඩි පාලනයකටය. එවිට රෝගය රට තුළ වසංගතයක් ස්වරූපයෙන් වැඩි කාලයක් පවතින නමුත් සෞඛ්‍ය අංශ කෙරෙහි ඇති කරණ බලපෑම අවම වන බැවින් අඩුම මරණ ප්‍රතිශතයක් පවත්වා ගත හැකිය. එහෙත් මේ සඳහා අපට ඇති දරාගැනීමේ හැකියාවත්, අප තුළ ඊට වන කැපවීමත් විශාල බලපෑමක් එල්ල කරණු ඇත. අප අතරමගදී අතහැරිය හොත් යළි කොරෝනා දැඩි වසංගතයක් ලෙස මතුවී වැඩි හානියක් කරණු ඇත. අප දැඩි සේ එම ක්‍රියාවන්හි නිරත වේ නම් ආර්ථික වශයෙන් බොහෝ කැපකිරීම් රටක් වශයෙන් කරන්නට සිදු වනු ඇත. පෞද්ගලිකව බොහෝ කැපකිරීම් කරන්නට සිදුවනු ඇත.

මෙය දරා ගැනීමට  අප කොතෙක් සූදානම්ද යන්න මත සියල්ල පවතිනු ඇත.

මේ සමගම කිව යුතු තවත් දෙයක් ඇත. එය ආන්දෝලනාත්මක දෙයක් වන මුත් එය කිව යුතුව ඇත.

බොහෝ බටහිර රටවල වයස් ගත ජනතාව රැක බල ගනු ලබන්නේ රජයේ විශේෂ මැදිහත්වීම් මතය. එනම් ඔවුන් රජයට බරකි. මේ උවදුරේදී බොහෝ සේ මිය යන්නේද මේ වයස්ගත ප්‍රජාව ය. රෝගීන් සංඛ්‍යාව දැඩි සේ වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ මේ වයස්ගත ජනයාට දැඩි සත්කාර සේවාවන් ලබා නොදීම මතය. නැති නම් යම් වයස් සීමාවකට පසු ජනයාට නිසි ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙනි. එනම් ඔවුන් අතහැර දැමුවා වැනිය. 

සමහර රටවල අවුරුදු 65ට වැඩි අයකුට රෝගය වැළඳුනද රෝහලට වොපැමිණෙන සේ දන්වා ඇත. තවත් සමහර රටවල වයස කීය වුව රක්ෂනය නැකි නම් රෝහල් ගත නොකරයි. 

එය වක්‍රාකාරයෙන් රජයට වාසියක් වන බව එහි වෙසෙන සමහර අයගේ මතයයි. එය මතයක් පමණක් නිසා එය එසේම යැයි කිව නොහැකි වුවත්, බටහිර සමාජයේ මේ මානව හිමිකම්, වැඩිහිටියන් රැක බලාගැනීමට ඇති වැඩ පිලිවෙල වැනි දෑ ප්‍රශස්ථ තත්ත්ව යටතේ ඉහළ මට්ටමක තිබුණත් මෙවන් දුෂ්කර තත්ත්ව යටතේ ඔවුන්ගේ හැසිරීම සමහර විට ලාබ පාඩු මත තීරණය විය හැකිය. ඔවුන් එවැනි ලාබ පාඩු ගැන සිතා වෙනත් රටවල ජනතාවගේ මිලියන ගණන් මරණ වලට ලංසු තබන ආකාරය දකින විට එය එසේ වන්නට බැරි නැත. 

එහෙත් අපේ රටේ වැඩිහිටියන් බලා ගනු ලබන්නේ අපිමය. එබැවින් රජයට ඇත්තේ ඔවුන්ට හැකි උපරිම සෞඛ්‍යය ලබා දීමය. අප රජය එයට උපරිම වශයෙන් උත්සාහ කරණු ඇති බව මේ වන විට මේ ව්‍යසනයේදී හැසිරී ඇති ආකාරය මත පෙනී යයි. එහෙත් අපට එය කළහැකි වන්නේ රෝගය බෝවීමේ වේගය අවම මට්ටමකින් පවත්වා ගත හැකි නම් පමණි.

අප රටේද අර විදිහේ බටහිර ගැති, ඒ විදිහට සිතන රජයයන් තිබී ඇ.ත. ඔවුන් මේ වන විට බලයේ සිටියා නම් මේ හැසිරීම මීට වඩා වෙනස් වේය යන්නය මගේ හැඟීම. ඔවුන් යුද්ධය, පාස්කු ප්‍රහාරය වැනි අවස්ථා වල පෙන්නුම් කළවගකීම විරහිත ස්වභාවය අනුව එය එසේ සිතේ. 





-      යසනාත් ධම්මික බණ්ඩාර     -








No comments:

Post a Comment