ජරමර අස්සේ බරකරත්ත වැනි ඇසකින් නොබලා මේ සටහන කියවන්නට සහ
එහි යම් රසයක් වේ නම් විඳින්නට මා ඔබට ඇරියුම් කරන්නේ, උවදුරු සමයක වුව, ඒ පීඩනයෙන්ම සිටිය යුතු නොවන බැවිනි. දැඩි
මානසික පීඩනයෙන් සිටීමෙන්ද ශාරීරික ප්‍රතිශක්තිය අවප්‍රමාණ විය හැකි බැවින් වරින් වර
ඒ පීඩනය දැරූවද මේ පවතින තත්ත්ව යටතේ වුව මෙවන් නිර්මාණ හා සබැඳි අදහස් කියවීමෙන්,
ගීත වලට සවන යොමු කිරීමෙන් සහ ඒ මත මනස මෙහෙයවීමෙන් එකී පීඩනයට යම් හෑල්ලුවක් ද දිය
යුතුය. දිය හැකිය. එබැවින් මෙවන් සටහනක් මේ මොහොතේ කළාට කම් නැත.
ඇත්තටම මේ සටහන මාද ලියන්නේ රකුසා ගැන මේ බ්ලොග් අඩවියටම ලියන 3වන දිගු සටහන ලියනා
අතරමැදමය. මගේ හිසද අවුල්ව ඇත්තේ ඒ අවුල ලිහන්නට මෙය මටද වැදගත් වන බැවිනි.
අචාර්ය නන්දරි කීඹියහෙට්ටි
දස්කම් දක්වන්නේ සිය ආචාර්ධූරය උසුලන ආර්ථික
විද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොවන බව කවියට පෙම් කරණ රසික පිරිවර හොඳින් දන්නා
කරුණකි. ඔහු කවියේ සිය ප්‍රතිභාව මතින් ගීත රචනයටද පිවිස ඇත්තේ දැන් යළිත් ගීත
රචකයෙකු සේ සිය ප්‍රතිභාව දක්වන නිර්මාණයක් සමග අප හමුවට පැමිණ ඇත.
ගීත රචකයෙකු සේ ඔහුගේ ප්‍රතිභාව මීට පෙර
පෙන්වූ නිර්මාණය ලෙස වඩාත් මගේ සිත් ගත්තේ,
දිසාපාමොක් ඇදුරු තුමණී
හොඳම සිසුවිය නොවී මගහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
ගීතයයි.
එය
එය
විශාරද සමන්ත පෙරේරාන්ගේ
සංගීත නිර්මාණයකින් හැඩ
වුණු අතර ගයන ලද්දේ
විශාරද ශානිකා සුමනසේකර
විසිනි.
මගේ මේ යසනාත්
සිතුවිලි බ්ලොග් අඩවියේ පළ කරන්නට යෙදුනු අමල්බිසෝ
දොර හැරියේ විනාසෙට නම් සටහනේ ගීත කිහිපයක් ගැන දැක්වූ අදහස් අතරේ එදා මම
එම ගීතය ගැන මෙසේ සටහනක් තැබුවෙමි.
මේ දේ සිදුවන්නේ කලාවේදී
පමණක් නොවේ. අන් බොහෝ තැන වලදීද සිදුවේ. ඒ නිසා මේ ගීතය ඇසීමට සුදුසුම අවස්ථාවේ අන්
ගීතයක් අසන්නට සලස්වන්නම මට හිතේ. ඒ ගැන කමත්වා.
ඒ අන් ගීතය ලියා ඇත්තේ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසිනි. එහි සංගීත නිර්මාණ
කාර්යය ඉටු කර ඇත්තේ සංගීතවේදී සමන්ත පෙරේරාය. ගීතය ගයන්නේ විශාරද ගායිකා ශානිකා සුමනසේකර ය.
දිසාපාමොක් ඇදුරු තුමණී
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මගහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
මෙහි කියන්නේ කුමක්ද? මේ සමහර වර්තමාන දිසාපාමොක්ලා තෝරා ගන්නා යම්
සිසුවියක් සිය හොඳම සිසුවිය කර ගැනීමට නම් සිසුවියකගෙන් බලාපොරොත්තුවෙන
කෙසෙල් ඇවරි, කිරි හට්ටි, පැණි මුට්ටි ආදිය ගැන නොවේද?
ඊට වැඩි පැහැදිලිව කිව්වොත්
රුවන් පළඳනා ( ගෝල්ඩ් මැඩලයක් ), පළමු පංති සාමාර්ථයක් සඳහා යුවතියක
නම් පිදිය යුතු දොළ පිදේනි පිළිබඳවය.
කෙසේ වෙතත් අර ගීත වල, කොළොඹ වේදිකාවේ රඟපෑමේ අවස්ථාවට, වේදිකාවෙන් සිනමාවට වරම්
ලැබුමට, සිනමාවේ ප්‍රධාන නිලි භූමිකාවට, ප්‍රධාන නිලි සම්මානයට බඳුන්
වීමට දොළ පිදේනි පිදූ සේ මේ සිසුවිය එසේ කර නැත. එබැවින්ම අර පෙර කී පංති සාමාර්ථ රන්
පදක්කම් ලැබී ද නැත. එහෙත්, ඇය ඊට වැඩි අගයකින් සැලකූ දෙයක් යළි ගමට යන විටද රැගෙන
යයි. ඒ නම් සිය පිරිසිදු කමයි.
මේ විදිහට කිව්වාම කඩු පොලු
අරන් එන ඊනියා කලාකරුවන් පිරිසකුත් අද දවසේ ඉන්නට බැරි නැත.
යුවතියකගේ පිරිසිදු කම රැකගන්නවා
යනු, ඈ සිය හැඟීම් සිර භාරයට පත්
කර අසීරු කාලයක් ගත කරණවාය වැනි අදහසක් දරණ කලාකරු යන නාමය යටතේ වර්ගීකරණයට ලක්වුණු
පිරිසක්ද අප අතරේ සිටින බැවිනි. එහෙත්, එසේ නොවන අයගේ අදහසට අනුව නම් ඇය
අගය කළ යුතු යුවතියකි. වටිණාකම් රැක ගත් යුවතියකි.
පුරා සූසැට කලාභූෂණ
රන් පදක්කම් දිනා ගෙළ පළඳන්න
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවන් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන්
අය සිය ශිෂ්‍ය කණ්ඩායමේ දක්ෂම
යුවතියකි. පළමු පංති සාමාර්ථයක් හිමි විය යුතුම මට්ටමේ යුවතියකි. එහෙත්, හැකියාව විනා, එය ලැබුමට, ඇඳි වත උනා දමන්නට ඇය සූදානම්
නැත. එලෙස පංති සාමාර්ථ රන් පදක්කම් දිනා උජාරුවට කළු උපාධි ලෝගුව පැළඳ ගියත්, අකල්හි ඇගෙන් නික්මෙන රුධිරයේ
අපකීර්තිමත් පැල්ලම් සිය සිත්හි හොල්මන් කරණු දක්නට ඈ කැමැති නැත. එබැවින් එවන් ගෞරව
සාමාර්ථ රහිතව,
සිය වටිණා කම් රැකගෙන පිටව යාමයට ඇගේ කැමැත්ත.
උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම්
කරණ බව දෙවියන්
දේවතා එළියෙන්
කෙසේ වෙතත්, ඈ සිත ඉපදෙන විසල් පැණයක්
නම්, මෙවන් ඇදුරන් මොන
හිතකින් මේ දේවල් කරන්නේද යන්නය. එය හරියටම පහන් අතැතිව දොවොලට එන යදියන්ගේ පහන් සොරකම්
කරණා දෙවියෙන් වේ නම් එලෙසිනි.
මෙම ගීතයේ මෙය සිදු නොවුණත්, එය සරසවි වල නිතර සිදුවනව
දෙයක් බවට පත්ව ඇත. එහෙත්, උසස් සාමාර්ථ ලබන සෑම සිසුවියක්ම එය ලබා ගන්නේ එලෙසිනැයි
යන්නද මින් අදහස් නොකෙරේ.
මෙහි රචනය සරසවි ඇදුරිඳු
කෙනෙකුගේම වීම සිය පාර්ශ්වයේ ගැටළුවක් දැක එයම විවේචනාත්මකව බැලීමේ හැකියාව සහිත මනසක්
සහ කොන්දක් ඔහුට හිමි බව මනාව ප්‍රකට කරන්නකි. එහි සංගීතය හදවත් කම්පා කරවන සුළුය.
ගීතය ගයන්නේ එවන් හැඟීම් ගයන්නට වර්තමානයේ සිටින හොඳම හඬක් සහ හැකියාවක් සතු ශානිකා සුමනසේකර ය.
අරුත් බර ගීත ගයන්නට හඬවල්
සොයා ගොස් හති වැටී සිටි අයට, ශානිකාගේ හඬ දායකත්වය මහෝගයකි.
අපි ගීතය අසමු.
මේ ගීතයේ කතා තේමාව අප බොහෝ වර ගීත තුළින්
රස විඳ ඇති මනමේ කතා වස්තුවය. නමුත් ඔහු එය
මෙතෙක් කිසිවෙකු නොදුටු ඇසකින් බලනු දැකිය හැකි වෙයි. එකම නිමිත්ත වුව, බොහෝ
කවියන් අතපත් වූ විට අවසන නිමවෙන්නේ විවිධ නිර්මාණයන්ය.
මෙහි යම් අරුමැසි දෙයක්ද වෙයි. එනම්
ගීත දෙකම අරඹා ඇත්තේ
දිසාපාමොක් ඇදුරු තුමණී
යනුවෙනි. එහෙත් එතැන් පටන් ඒ දෙක
සැබැවින්ම දෙකක් වෙයි.
කෙසේ වෙතත්, මේ මනමේ කතාව පදනම් වූ බොහෝ නිර්මාණයන් අපට හමුවෙයි.
එහෙත් මේ වචන ටිකම යොදා ගෙන ඇරඹූ තවත් ලස්සන ගීතයක මතකය මෙහි ලියා තබමින් අදාල ගීතය
වෙත යොමු වෙමි.
දිසාපාමොක් ඇදුරු තුමනි
දුටුව දා සිට මනමේ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි
තක්සලාවෙන් ඉවත යන්නෙමි..
තුරුණු ළැම හස වැසුණු වරළස
පොතට නොව වෙන අතක යයි සිත
ඇයද කිවිඳුන් කියන සුරලිය
සිතුම් විහඟුන් සොයති නිදහස..
ලියන අටුවා කථා විවරණ
සැලෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යමි
වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට.
උපාලි ධනවලවිතාන
රචනා කළ මේ ගීතය සංගීතවත් කරන්නේ
ප්‍රවීන ශ්‍රෙෂ්ඨ
සංගීතවේදී සරත් දසනායකයන්ය.
ගයන්නේ
ටී. එම්. ජයරත්නයන්ය.
එය අතිශය සුන්දර ගීතයකි.
මේ ටී.
එම්. ගේ ගීතය සෑම විටම මගේ පාසැල් කාලය වෙත මා සිත රැගෙන යයි. ඒ අපේ උසස් පෙළ විද්‍යා අංශයේ අංශාධිපතිව සිටි දිසානායක සර් සහ ඔහුගේ දුවණිය නිසාය. දිසානායක සර් අංශාධිපති වෙනවා සේම ඉගැන්වූයේ කෙමිස්ට්‍රි ( රසායන විද්‍යාව ) ය. අපි එදා මේ ගීතය
අපට අවැසි විදිහට වෙනස් කර ගැයූ අවස්ථා බොහෝය.
දිසානායක ඇදුරුතුමනී
දුටුව දා සිට ඔබගෙ දියනී
ඇගේ රුව මා මනස කළඹයි
මලියදේවෙන් ඉවත යන්නෙමි
පිරුණු ළැම හස නටන ඉඟ
සුඟ
සැලෙන හදකට මොන කෙමිස්ට්‍රිද
ඉතින් ගුරුසිත නොරිදවා
යම්
වෙනත් පෙදෙසක ශිල්ප
උගෙනට
මේ ගීතය විභාගයට ඔන්න මෙන්න කියා
ලැබුණු අවසන් නිවාඩුව ලබන දින ඔහුට ඇහෙන්නම ගැයූ බවද මතකය.
ගීතය අසමු.
ඒ මතකය එලෙස තබා යළි මේ සටහන වෙත
පිවිසෙමු.
දැන් ඒ පෙර ඇසූ ගීතයද ඇරඹෙන්නේ
දිසාපාමොක් ඇදුරු තුමණී
යනුවෙන්මය. එහෙත් එතැන් සිට කතාව වෙනස්ම
එකකි.
අපගේ කීඹියහෙට්ටි
කිවිඳුන්ද අර විදිහටම එය අරඹන්නේ
දිසාපාමොක් ඇදුරු තුමණී
ලෙසිනි. එහෙත් එතැන් පටන්
කතාව වෙනස්ම එකකි.
කෙසේ වෙතත්, මේ කිවිඳුන්ගේ මේ ගීතයේ මේ
කතාව අප මේ ගැන අසා ඇති සියළු කතා වලට වඩා වෙනස් වෙයි.
එදා වැදිරජු සමග යුද වැද
මළා සේ බිම බදාගෙන හිඳ
පලා ආ පෙම්බරාණන් මම
මගේ මනමේ කුමරියේ
මෙහි මනමේ
රජුන් මැරී වැටුණා යැයි ඇඟෙව්වේ වුව, නොමැරී ජීවත්ව ඇත. රඟපෑමෙන් මලා යැයි පෙන්වා
පසුව ඔහු පළා විත් ය මේ කතාව කියන්නේ. ඔහු ගීතය තුළ එසේ ජීවත් කළ බැවිනි මේ වෙනස්ම
කතාව අපට අසන්නට ලැබන්නේ.
කඩුව දුන්නද උදුරගත්තද
දෙනෝදාහක් පිළිවිසින සඳ
එකී ජාතක කතාකරුටත්
නොකීවෙමි මම සැබෑ වතගොත
ඇඟිලි සලකුණු මකා කඩු මිට
සේදුවා මං කුමරියේ
............
මෙහි වී ඇත්තේ සපුරාම වෙනස් දේකි. වුණේ
කුමක්දැයි දෙනෝ දහක් අහන්නේ දැන් ජීවත්ව සිටින ඔහුගෙනි. ඔහු අන්‍යයන් එසේ අසන බව
කියන්නේ අනෙකෙකුට නොව එදා එතැන සිටි කුමරියටය. එහෙත් ඔහු දන්නා සත්‍ය කතාව පසුව
තමන් සත්‍ය ලෙසින් සිතා කතාව පබඳින කතාකරුටවත් කියන්නේ නැත. ඒ මදිවාට කඩු මිටේ වන
ඇඟිලි සලකුණු පිරික්සීමට යම් ක්‍රමයක් වේ නම් එසේ නොකළ හැකි පරිද්දෙන් ඔහු ඒවා
සෝදා හැර ඇත.
මරණයෙන් බේරුණු රජ මෙසේ කරණුයේ කුමක්
උදෙසාද? එය බලන්නට අපට ඊ ළඟ කොටසට යන්නට වෙයි.
නුඹම සියුමැලි අතින් ගෙන
කග
මගේ හදවත සිදුරු කළ සඳ
ළතෙත් වී ඔබ කෙරෙහි වැදී
රජ
අදත් රහසක් සේ තබාගෙන
ඉන්නවා මං කුමරියේ
කඩුව ගෙන ඇන ඇත්තේ කුමරියමය. කුමාරිය
ලෝකාපවාදයෙන් බේරණු පිණිසය වැදි රජුන් එය තමන් කළ දෙයක් බවට ඉදිරිපත් වී ඇත්තේ. මේ
අනෙකෙකු වෙනුවෙන් වෙනකෙකු ඉදිරිපත්වීම අපරාධ කතාවල නොසිදුවන දෙයක් නොවේ.
කෙසේ වෙතත්, මනමේ
කතාව වෙනස් කර ලියද්දී මේ නම් අමුතුම පරිකල්පනයකි.
ගීතයට සුදුසු නාටකීය
සංගීතය විශාරද දර්ශන වික්‍රමතුංගගෙනි. එයට සිය ගැඹුරු හඬ පළඳනාව කරනු ලබන්නේ
ගායන ශිල්පී ඉන්දික
ලියනගේය.
මේ ඉන්දික
ගැන මගේ නොමද ප්‍රසාදයක් ඇත්තේ ඔහු තමන්ට ලැබෙන ගීත හොඳින් හැඟුම්බරව ගයනු
ලබන අතර, දුෂ්කරතාවයන් මධ්‍යයේ වුව හොඳ ගමනක් යන අදහසින් සෙමෙන් සෙමෙන්
නිර්මාණකරණයේ යෙදෙන ගායකයෙකු වන බැවිනි. ඔහු ක්ෂේත්‍රෙය් යම් ඉඩක් හදාගෙන සිටී. බොහෝ
මාධ්‍ය ආයතන අන් අයගේ ගීත ඔහුගේ හඬින් බොහෝ විට ඉතාම සුන්දරව ගායනා කරවා ගනු දැකිය
හැකිය. එහෙත් ශහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි ලබා දෙන් අවස්ථාව ඊට සාපේක්ෂව අඩු
ය. එය ඔහුගේත් අපගේත් අවාසනාවේ කොටසකි.
දැන් එම අලුත් ගීතය අසමු.
පද - නන්දසිරි
කීඹියහෙට්ටි
ස්වර - දර්ශන
වික්‍රමතුංග
හඬ - ඉන්දික
ලියනගේ
-
යසනාත් ධම්මික බණ්ඩාර -
No comments:
Post a Comment