කෝවිඩ් 19 ( කොරෝනා ) වසංගතය හමුවේ මගේ රට ඉතාලියක් නොවන බව මගේ විශ්වාසය හා පැතුම වන බව යම්
දිනයක මම ලියා තැබුවා. බොහෝ දෙනාගේ පැතුම වන්නේද එය බව ඊට ලද ප්‍රතිචාර මත වටහා
ගත්තා.
අද දවස වන විටද ඒ ප්‍රාර්ථනයේ කිසිදු
වෙනසක් නැහැ. කුමක්දෝ හේතුවක් නිසා මට දැඩිව හිතෙන්නේ මෙහිදී ඉතාලියට අත්වූ ඉරණම අපට අත් නොවන බවමයි. එබැවින් ඒ විශ්වාසයද
එබැවින්ම ඒ ප්‍රාර්ථනයද යළි යලිත් අලුත් වෙමින් පවතිනවා.
කෙසේ වෙතත්, ප්‍රාර්ථනාවන්ට පමණක් ඒ
අනතුරින් අපව මුදවා ගන්නට බැහැ. අපගේ උපරිම කැපවීම මේ අවස්ථාවේ මේ වෙනුවෙන් ක්‍රියාත්මක
අනෙකුත් බලවේගයන් හා සමපාත වේ නම් මගේද අප රටේ බහුතරයකගේද විශ්වාසය හා ප්‍රාර්ථනය
පලුදු නොවන්නට එය හේතු වනු ඇති. එහෙත් අපගේ කැපකිරීම් ඒ බලවේගයන්ගේ කැපකිරීම් හා
අසමපාත වේ නම් ඒ විශ්වාසයද ප්‍රාර්ථනයද බිඳී යන්නට හේතු වන්නේය.
කොතරම් ඉහළ වුණත් උතුම්
වුණත් ඒ විශ්වාසයද පැතුමද බිඳීයන්නට හැකිය. ප්‍රාර්ථනාවෙන්ගේ උසස් බව පමණක් එය සඵල
වීමට නොසෑහේ. උතුම් හැසිරීමක්ද කැපකිරීමක්ද අවැසි වේ.
මේ සටහන ලියන මොහොත වන විට අප රටේ
වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 90කි.
හෙට වන විට එය කීයක් වේද? අනිද්දා ඉන් අනිද්දා වනවිට?
එය කාටවත් සංඛ්‍යා ලේඛණ ලැබෙන තෙක් නිෂ්චිතව කිව නොහැකිය. එහෙත් ඒ ප්‍රමාණය මේ
දැනට යන රටාවට වඩා කිසිසේත් වෙනස් නොවේවා යන්නය මා පැතුම.
කිසිදු රෝගියෙක් හමු නොවේවා යන පැතුම
මේ මොහොතට ප්‍රායෝගික නැත. එම පැතුමට කොතෙක් කැමැති වුව, ප්‍රායෝගික නැත.
ප්‍රායෝගික පැතුම වන්නේ එය දැනට යන flatten
ස්වරූපයෙන්ම
පවතීවා යන්නය.
අද දවස වනතෙක්ම රෝගී මරණ කිසිවක් නැත.
මේ මරණ සංඛ්‍යාව බිංදුවක් ලෙස ඉදිරියටත් පවතී නම් ඒ තරම් සතුටු වන දෙයක් නැත. එහෙත්
කිසිදු මරණයකින් තොරව මේ සටන ජයගැනීමට හැකිවේවායි යන පැතුම නිරපේක්ෂ එකක් වෙයි.
එබැවින් පැතුම සාපේක්ෂ එකක් විය යුතුය. යම් මරණ සංඛ්‍යාවක් සිදුවේ නම් එය අතිශයින්
අඩු සංඛ්‍යවක් වේවාය යන්නය පැතුම.
යථාර්ථයට ළංව මේ කතාව ගෙන ගියහොත්, අපට
අදද හෙටද අනිද්දාද ඉන්අනිද්දාද යන නිෂ්චිත දිනයක් නැති මුත් යම් දිනක ඒ අවාසනාවන්ත
ප්‍රවෘත්තිය කන වැකෙනු ඇත. ඇස ගැටෙනු ඇත. එහෙත්, එය අර ඉතාලියේ සේ නොවේවාය යන්නය
සදා පැතුම. ඒ පැතුමට මා හා ඔබද එක් වනු මැණවි. එය අප සැමගේම පැතුම විය යුතුය.
අප අතරම සිටිනා යම් නොමිනිසුන් පිරිසක්
රට මීනීපිටියක් වනු වුව දකිනු රිසින් සිටින බව මම දනිමි. ඔවුන්ගේ සමහර අදහස් නිසා
එය එසේ වටහා ගෙන සිටිමි. එහෙත් ඔවුන්ගේ ඒ කුරිරු පැතුම් පරදවා ඔබේත් මගේත් පැතුම්
සඵල වේවායි යළි යළිත් පතමි.
මේ වන විට සිටින රෝගීන් ගණන 90ක් බව
ඔබට මතක ඇත. මේ පිරිස් වලින් වැඩි පිරිසක් අපට හමුවූයේ අප ළඟ සිටියදීය. එනම්
නිරෝධායන මධ්‍යස්ථාන විලිනි. නමුත් දැන් දැන් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවන
රෝගීන් සංඛ්‍යාව අඩු විය යුතු අතර, හමුවන රෝගීන්ගෙන් වැඩි පිරිස සමාජයෙන් හමුවිය
යුතුය. අප අනතුරේ හෙලන්නේ මේ සමාජයෙන් හමුවන රෝගීන් පිරිසයි. එහෙත් මේ රෝගීන්ගෙන්
සමහර දෙනෙක්ද අනතුරේ හෙළුවේ නිරෝධායනයට ලක් නොවී පැන ගිය රෝගීන් විසිනි. ඒ පිරිස
එසේ නොකරන්නට අපට සාර්ථකව මේ තත්ත්වය මැඩ පවත්වන්නට ඉඩ තිබුණි. එහෙත් දැන් අප
කල්පනා කළ යුත්තේ මේ ඉන්න තැන සිට තවත් අවුලට යා නොදී එය වලක්වාගැනීමටය.
අපට හෙට දවස තුළ රොගීන් හමුවීම නොවැලැක්විය
හැකිය. එහෙත් වලක්වාගත හැකි සහ වලක්වා ගතයුතුම දෙයක් වෙයි. ඒ රෝගීන් හමුවීමේ ශීඝ්‍රතාව
වැලැක්වීමය. ඊට හේතුව කියැවෙන ප්‍රස්ථාරයක් මෙහි වෙයි.
මේ ප්‍රස්ථාරයට අනුව, අපට හමුවන රෝගීන්
සංඛ්‍යාව කිසියම්ම හෝ මොහොතක අපගේ සෞඛ්‍ය සේවාව සතු ධාරිතාව ඉක්මවා යාමට ඉඩ දිය නොහැකිය.
එය ඉක්මවා ගියහොත් ඉතාලියේදී වන දේ ලංකාවේදී වීම වැලැක්විය නොහැකිය. එබැවින් අපගේ
ජනතාව රෝගයට ගොදුරු වන ශීඝ්‍රතාව අඩු කළ යුතුය. එනම් රෝගය වැළඳීම කල්දමා ගත යුතුය.
රෝගය වැළඳීම වලක්වා නොගෙන කල්දමා
ගැනීමක් ගැන කතා කරණුයේ ඇයි දැයි ඔබ කල්පනා කරණු ඇත. ඔව් එය අසාධාරණ නැත. නමුත්
වසංගත තත්ත්වයක් යම් රටක පවතින විට ප්‍රායෝගිකව සිදුවන දේ ය අප කිව යුත්තේ. අපගේ
පැතුම එකදු පුද්ගලයෙකුවත් රෝගයට ගොදුරු නොවේවා යන්න වුව, එය ප්‍රායොගිකත්වය තුළ හමුවන පැතුමක් නොවනු ඇත. නමුත් අපේ රට ඉතාලියක් නොවේවා යන්න ප්‍රායෝගිකව කළ හැකි දෙයකි. ඒ
සඳහා කළ යුත්තේ මා ඉහත සඳහන් කළ රෝගයට ගොදු වන්නේ නම් එසේ වීම ප්‍රමාද කරගැනීමෙනි.
වඩාත් පැහැදිලිව කියනවා නම් යම් මොහොතක
අපේ රෝගීන්ට අවශ්‍ය වන්නේ දැඩිසත්කාර ඇඳන් 200ක් වැනි ප්‍රමාණයකට අඩු අගයක් නම්, අපට
රෝගී මරණ අවම කර ගතහැකිය. එහෙත් ඒ ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් අපට යම් රෝගී ප්‍රමාණයකට
දැඩි සත්කාර ලබා දීම කළ නොහැකි වනු ඇත. එවිට අපට යම් යම් රෝගීන් තෝරා ගන්නට වනු
ඇත. මේ තෝරා ගැනීම කුමක්ද? ජීවත් වන්නේ කවුද, මරණයට ලක්විය යුත්තේ කවුද යන්න
නොවේද? මෙන්න මේ තේරීමට අප කිසිසේත් කැමැති නැත. එය මනුස්සයෙකුට කළ හැකි දෙයක්
නොවේ. නමුත් යම් දවසක ඒ තේරීමට අපටද යොමු වන්නට වනු ඇත. එය වලක්වාලන්නට හැක්කේ ඔබට
පමණි. එනම් මා පෙර කිහිපවර කියා ඇති පරිදි රෝගය වැළඳීමේ ශීඝ්‍රතාව අඩු කරගැනීමය.
දැනට රෝගය පැතිරෙන රටාව දිගටම පවතීයැයි
අනුමාන කළ නොහැකිය. අනුමානය නම්, රට තුළ සැරිසැරූ රෝගීන් නිසා, ඔවුන්ගෙන් රෝගය
වැළඳෙන අය හමුවන විට එම රටාව වෙනස්වේය යන්නයි. ඔවුන්ගෙන් ඊ ළඟ වටයක් ලෙස රෝගය වැළඳුන
විට එළඹෙන අප්‍රියෙල් දෙවන සතිය නිම වන විට ඒ ප්‍රමාණය යම් උපරිමයකට ළං වේ යැයි
යන්නය. අප සටන් කළ යුත්තේ අන්න ඒ අප්‍රියෙල් දෙවන සතිය අගට යෙදෙන්නට ඉඩ ඇති
උපරිමයට ළං වීම ඊ ළඟ ඊ ළඟ මාස වලට කල්දමා ගැනීමය. එවිට රෝගීන් සෙමෙන් හමුවන අතරේ
රෝගීන් ක්‍රමයෙන් සුවපත්ව සමාජගත වීම සිදුවෙයි. එහෙත්, අර අප්‍රියෙල් මැදදී රෝගීන්
අතිශය විශාල සංඛ්‍යාවක් මතුවුවහොත්, එය ඛේදවාචකයක ඇරඹුම වනු ඇත.
එවිට අර රූප සටහනේ ඇති පරිදි අපගේ සෞඛ්‍ය
සේවාවේ සීමාවන් දෙදරවා යනු ඇත.
සැක සහිත අයව සොයා දෙන්න.
සැක සහිත අය ප්‍රතිකාර සදහා යොමු වන්න.
හැකිතාක් සිය නිවෙස්වලට වී අන් අයගෙන්
වෙන්ව සිටින්නට උත්සාහ කරන්න.
යම් අය හා ගනුදෙනු කරණ විට හැකිතාක්
පරතරයක් තබා ගන්න.
එවැනි අවස්ථාවල මුඛ වැසුම් මුව වැසුම්
භාවිතා කරන්න.
යමක් ඇල්ලූ පසුව දෑත් සබන් යොදා
සෝදන්න.
සේදිය නොහැකි හැම විටම ඇල්කොහොල් අඩංගු
සැනිටියිසරයකින් දෑත් පිරිසිදු කර ගන්න.
රජය දෙන තවත් උපදෙස් නිසි පරිදි පිලිපදින්න.
වැනි ඉල්ලීම් ඔබෙන් අප කරණුයේ මෙන්න මේ
වක්‍රය පැතිලිව තබා ගැනීමටය. එම වක්‍රය පැතලිව තබා ගැනීම යනු රෝගය වැළඳීම වන්නේ
සෙමෙන් සෙමෙන් යන්නය.
යම් වසංගතයක් ලෝක මට්ටමින් පවතින විට
යම් කාලයකට ගුවන්තොටවල්, වරායවල් වැසුවාට සදාකාලිකව එසෙ වැසිය නොහැකිය. එය රටක
ආර්ථිකයකට බලවත් පහරකි. විශේෂයින් මෙසේ වසා සිටීම අපවැනි රටකට දරා ගැනීමට අපහසුය.
එසේ නම් මෙහි යම් සීමාවක් තිබිය යුතුය. ඒ සීමාව නම්, සමාජයෙන් බහුතරයක් රෝගය සඳහා ප්‍රතිශක්තියක්
දක්වන වේලාවයි. අන්න ඒ අවස්තාව වන විට රෝගය වසංගතයක් ලෙස පැතිර යාම නවතිනවා. රෝගකාරකය
තිබුණත්, විශාල පිරිසක් රෝගයට ප්‍රතිශක්තිය සහිත අය වන නිසා අන් අයත් එයින් ආරක්ෂා
වෙනවා. මේ නිසා සෙමින් සෙමින් රෝගය පැතිරීමේ දිගුකාලීන වාසියකුත් තිබෙනවා. එවිට
නැවත ලෝකයට විවෘත වූ පමණින් රෝගය වසංගතයක් සේ පවතින්නේ නැහැ. හුදකලා රෝගීන් හමුවන්නට
පුළුවන්. නමුත් දැඩි බලපෑමක් එල්ල වන්නේ නැහැ.
දැන් අපිට ඇති යම් අභියෝගත් තිබෙනවා. ඒ
තමයි සමාජය තුළ නිහඬ රෝගය දරන්නන් සිටීම. එනම් රෝගය බොහෝමයක් දරුවන්ට සහ යෞවන
යෞවනියන්ට සෑදෙන්නෙ මද වශයෙන් බවයි අදහස. මේ නිසා රෝගය දරණ, මද රෝග තත්ත්වයක් පමණක්
ඇති නිසා ප්‍රතිකාර සඳහා යොමුවන්නට හේතුවක් නැති පිරිසක් සමාජය තුළ සිටිය හැකි වීම.
එහෙත් ඔවුන් මගින් අන් අයට රෝගය බෝ විය හැකියි.
අන් වයස් ඛාණ්ඩ වල අය බහුතරය වුව මෙසේ ඉතා
මද රෝග ලකුණු පෙන්වා සුව විය හැකිය. එවැට ඔවුන්ද
සමාජය ඉටු කරන්නේ වාහකයාගේ කාර්යභාරයයි. එබැවින් අප හිතනවාට වඩා රෝගය පැතිරීමේ
අවදානමක් ඇත.
මේ කෙසේ වුව, මගේ විශ්වාසය හා ප්‍රාර්ථනය
අපේ රට ඉතාලියක් නම් නොවනු ඇති බවය.
එහෙත් ඒ ඔබේද සම දායකත්වයෙනි. ඔබේ සම දායකත්වය
නොමැති තැන ඇත්තේ සියයට 50ක බලයකි. කොරෝනා සියයට හැටක හැත්තෑවක බලයක් පැතිරුවහොත්,
අපට ඊ ළඟ අවුරුදු කාලවල් වලදී කළ හැක්කේ අවුරුදු සැමරීම නොව, මළවුන් සැමරීමය.
එබැවින්, අපගේ ප්‍රාර්ථනාවන් සඵල කරගැනීම වෙනුවෙන් එකාවන්ව රොක්වෙමු.
රොක් වෙමු කීවාට,
පිරිසක් සිටින තැන, අවමයෙන් මීටරයකවත්
පරතරයක් තියන්න.
තැන තැන අල්ලා මුහුණු අතගෑමට පෙර දෑත්
හොදින් සෝදා ගන්න.
වීථි සංචාරය අවම කරන්න.
හිතවතුන් මුණගැසීම මාස කිහිපයකට කල් දා
ගන්න.
එකිනෙකාට සිනා මුහුණු පසුව පෙන්වතැහැකි.
මුහුණු ආවරණය කර ගන්න.
අතට අත පසුව දී ගතහැකියි. ආයුබෝවන් කියන්න.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ
කවියක
කොටසක් ලියා මට සටහන නිම කරන්නට සිතේ. එය මගේද ප්‍රාර්ථනය වන බැවිනි.
නිදුක් වී මගේ මව්බිම
නිරෝගිව මගේ මව්බිම
සුවපත් වේවා
ජාති ජාති මට මව්කුස යහන්
සදාවා...!
සුදු නෙලුම ගීත සංග්‍රහය
- රත්න ශ්‍රී විජේසිංහ.
-
යසනාත් ධම්මික බණ්ඩාර
-
විශිෂ්ඨ ලිපියක් යසනාත් මහත්මයා .බොහෝ කරුණු ඉගෙනගන්නා
ReplyDeleteස්තුතියි ඔබට.
Deleteසාමාන්‍ය ජනතාවට සරලව මෙහි ඇති බැරෑරුම්කම පැහැදිලි කරයි .ස්තුතියි
ReplyDeleteස්තුතියි ඔබට.
Deleteඅතිවිශිෂ්ටයි doc
ReplyDeleteස්තුතියි ඔබට.
Deletewonderful explanation & great expectation , agree with u yasanath
ReplyDeleteNARADA
Thanks Narada.
Deleteඉතාම වටිනා පැහැදිලි කීරීමක් ස්තුතිය වෛද්‍යතුමනි
ReplyDelete