Saturday, March 24, 2018

දර්ශන රුවන් දිසානායක ගායකයා බේරා ගනිමු!





අමිල තේනුවරලාගේ දර්ශණ දිසානායකලාගේ අමරසිරි පීරිස්ලාගේ ඉකිගසා හඬන ගීතය දැන් අයිති ඒ කාටවත් නොවේ. රසිකයාටය. ඒ වෙනම අයිතියකි.


ඉකිගසා හඬන අතීතයක ගීතය අවැසි නම් අසා යන්න




එහෙත් රසිකයාගේ ඒ අයිතිය නිර්මාණකරුවන්ගේ අයිතිය හා ගැටෙන අයිතියක් නොවිය යුතුය.

මෙහි නිර්මාණකරුවන් යනු කවරහුද? 

ගීතයක නිර්මාණකරුවන් යනු එහි ගීත රචකයා සහ සංගීත රචකයායි. ගායකයා නිර්මාණයට හරි හරියට දායකවන්නෙකු ය යන්නය වඩා නිවැරදි. එහෙත්, ඔහු සිය ගායන කෞශල්‍යය තුළින් නිර්මාණකරුවන්ගේ දායකත්වය සේම දායක්තවයක් එයට සපයයි.

එක් ගීතයක ගීත රචනය එයමය. එයට යෙදෙන තනුවද එයමය. එහෙත් සංගීත රචනය වෙනස් විය හැකිය. එලෙස සංගීත රචනය වෙනස් වන්නේ එහි වැයෙන භාණ්ඩ සංකලනය කිරීම අවැසි නම් වෙනස් කළ හැකි බැවිනි. එපමණක් මතු නොව තනුව පවා එහි මූලික පාදම රැක ගනිමින් යම් යම් නව්‍යතාවකට අනුව ප්‍රතිනිර්මාණය කළ හැකිය. කෙසෙ වෙතත් එම ගීතයට එයද නොවෙනස්ය. ගීතයේ නීතිමය අයිතිය හිමි වන්නේ මෙන්න මේ වෙනස් නොවන අංග දෙක සඳහාය.

මා මේ කියන තනුව වැයෙන සංගීත භාණ්ඩ විවිධ ලෙස සංකලනය කළ හැකි බවක් ගැන ඔබට කියා ඇත්තෙමි. එම සංගීත භාණ්ඩ සමහර විට එහි මූලික තේමාවට හානියක් නොකර වෙනස් කළ හැකිය.

උදාහරණයක් ලෙස වයලිනය වැයෙන තැනක් ගනිමු. එහි වයලීනය ඉවත් කර සරපුවරුවෙන් වෙනත් නාදයක් ආදේශ කිරීම කළ හැකිය. ඩොල්කිය වැයෙන තැනකට තබ්ලාව අදේශ කළ හැකිය. සිතාරය වැයෙන තැනකට ගිටාරය ආදේශ කරන්නට හැකි විය හැකිය.

මා මේ කියා ඇත්තේ උදාහරණයන් පමණි. 

ගීතය ගැයෙන කට හඬ ද එක්තරා අයුරක සංගීත භාණ්ඩයක් වැනි ය. එය උදාහරණයක් වශයෙන් ජෝතිපාලයන් ගේ යැයි සිතමු. එය පසු කාලීනව ග්‍රේෂන් ආනන්දගේ හඬින්ද ගයන්නට හැකිය. එවිට එහි සමහර විට වෙනස් රසයක් ගැබ්වේ.

ගායක දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර විසින් රජරට සේවයට ගැයූ ගී පසුව ගුණදාස කපුගේ ගේ හඬින් ගැයෙනු අප අසා ඇත. 

මතක හැටියට ඩී. එම්. රාජරත්න ගැයූ
කුසුමලතා කුසුමලතා
නුඹ නාඬන් කුසුමලතා
කඩා හැලෙන කඳුළැලි වරුසාවේ
නාඬන් කුසුමලතා 

ගීතය දැන් ඇසනේනේ ක්‍රිශාන්ත එරන්දක ගේ හඬිනි. 


ජානක වික්‍රමසිංහ අද ගයන 

ප්‍රාණ සමානා මවුපියො නැතිවේ
වරිග තහංචියෙ බැල්ම හෙලා
නුඹෙ මුහුණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා


ගීතය එදා රජරට සේවයට ගැයුවේ අනෙකෙකි.

මතකය නිවැරදි නම් ඒ ද ඩී. එම්. රාජරත්න ය.

රාණි පෙරේරා මහත්මිය ගැයූ ගී පසු කාලීනව සුජාතා අත්තනායක මෙන්ම ලතා වල්පොල ගැයූ අවස්ථා ද අපි දැක ඇත්තෙමු. මා මේ කියන්නේ එවැනි අවස්ථාවන්ය.

පියවරුන්ගේ ගී පුතුන් ගයන, මවුවරුන්ගේ ගී දියණියන් ගයන අවස්ථා උදාහරණ කොට ගෙන මේ කතාව අවුලට ලක් කර නොගනිමි. නමුත් අවැසි නම් ඒවාද උදාහරණයන්ය.

මේ අතර එකම රචනයට වෙනස්ම තනු යොදා ගායක ගායිකාවන් වෙනස්ම අය යොදා ගැයුනු අවස්ථාද අපි දැක ඇත්තෙමු. 

රත්න ශ්‍රී ලියූ දිවුල්ගනේ ගැයූ 

ගලින් ගලට අඩි තිය තිය
ගලින් ගලට අඩි තිය තිය
හෙමින් හෙමින් අකුරට යන පුංචි නංගියේ
හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්තේ 



ගීතය ඊට පෙර නන්දා මාලිනිය විසින් වෙනත් තනුවකට ගැයූ එකකි. 

කියනවා නම් එවන් උදාහරණ එමටය.

දැන් දර්ශන රුවන් දිසානායක සංගීතඥයා තමන් අතින් සංගීතවත්ව අමරසිරි පීරිසුන් අතින් ගායනා වුණු ගීතය ප්‍රතිනිර්මාණයකොට ගැයීමෙන් ඇති වූ කතා බහ එන්නේ මේවා අතරටය.

එය කතා බහක සීමාව ඉක්මවා යන්නේ එක්කෝ බොහෝ අය මේ පසුබිම නොදන්නා නිසාවෙනි. තවත් අය යම් වෙසෙස් චරිතයකට උපදෙස් දෙන්නට පහර දෙන්නට ගරහන්නට ඇති කැමැත්ත නිසාවෙනි. ඊ ළඟට පෙනෙන පුද්ගලයා ප්‍රබලයාය. අදිසි පුද්ගලයා සාපේක්ෂව කුඩාය යනුවෙන් හිතා, ප්‍රබලයා තමන්ගේ මිනිසා කරගෙන ඔහු හෝ ඇය වෙනුවෙන් පෙනී සිටීමේ මානසිකත්වයකින්ද මේ රැවුම් ගෙරවුම් ගැරහුම් වලට සම්බන්ධවන්නෝ සිටිති. 

එකිනෙකා මේ ප්‍රතිචාර එක් එක් අයුරෙන් දුටුවද, මේ සියල්ල ස්වභාවිකය. හැබැයි ස්වභාවික හැමදේම හරි දේ නොවේ. කිරි අල ස්වභාවිකය. කන්නට හැකිය. නියඟලාද ස්වභාවිකය. කෑවොත් සුන්ය. අන්න ඒ වැනිය.

එකම පද රචනය විවිධ වූ අයුරින් ප්‍රතිනිර්මාණය කොට විවිධ හඬින් ගැයෙන ගී ලෝකයේ නම් එමටය. ඒ රසිකයින් සිය රසිකත්වයේ සීමාවන් තුළ ඒ ඒ ගීය රස විඳුනු විනා ඒ මත ආඩාපාලි කියා නොගනියි. නිර්මාණ දෙකක් ඇති විට තමන් වඩා රිසි දේ රස විඳුම පැත්තකට දමා ආඩාපාලි කීම අපට හුරු වන්නේ අප නිර්මාණ වලට වඩා වැඩි රසයක් විඳින්නේ අරකෙන් විය හැකි බැවිනි. එහෙත් අප කළ යුත්තේ අරක අතහැර නිර්මාණයට යොමු වීමය.

මම වරක් මගේ බ්ලොග් අඩවියට 

විලෙන් පුදසුනට නම් වන සටහනක් ලිව්වෙමි. කියවා ඇති අයෙක් වෙත් නම් මම එහි එය ලිව්වේ ප්‍රසිද්ධ ගීත දෙකක් ප්‍රති නිර්මාණය කරන්නට එහි නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට සිතෙන්නට ඇති දේ අනුමාන කරමිනි. එහි ඇත්තේ මීටම සමාන කතාවක් නොවේදැයි එය යළි කියෙව්වොත් ඔබට මතක් වනු ඇත. එබැවින් එය මෙහි අමුණමි.


දර්ශනටත් සිය නිර්මාණ යළි විමසද්දී මෙවැනි අදහස් මතුවෙනවා විය හැකිය. 

අප්ඩේට් වන නිර්මාණකරුවෙකු සිය නිර්මාණයක් නිමා කොට ඉන් සෑහීමකට පත් නොවේ. දක්වා තිබූ බොහෝ අදහස් වල ජනප්‍රිය වූ නිර්මාණයකට අත තැබීමට නිර්මාණකරුවාට කිසි ලෙසකින්වත් අයිතියක් නැත වැනි අදහස් තිබුණි. 

එහෙත් රසිකයා යම් නිර්මාණයකින් කොතෙක් සෑහීමකට පත් වූවද, නිර්මාණකරු ඒ පමණින් සෑහීමකට පත් විය යුතුම නොවේ. ලොව ලස්සනම දරුවන්ගේත් සමහර විට නහයේ ඇදයක් පැවතිය හැකිය. ඒවා දන්නේ ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාය. නිර්මාණද එවැනිය. එබැවින් නිර්මාණකරුවා ඉන් වඩා උසස් දෙයක් කරන්නට උත්සාහ කරණු දැකිය හැකි වෙයි. නැති නම් තමන්ගේ නිර්මාණය තුළ යම් වෙනත් භාවයන් ගැබ් කළ යුතු යැයි ඔහු පිපාසිත නම් ඔහු ඒ පිපිසාය නිවා ගැනීමට උත්සාහ ගනී.
එබැවින් නිමි නිර්මාණවල තනි අයිතිය තමන් සතු කරගන්නට සිතන රසික පිරිවර නිර්මාණකරුවා තුළ වන මේ වේදනාව වටහා ගත යුතුමය.

දර්ශන සිය නිමි නිර්මාණය එලෙසම තියා ඇත. එය පෙර නිර්මිත තනුවට අමරසිරි පීරිසුන්ම ගයයි. එය ගැයුමට ඔහුට තහනමක් නැත්තා සේම එය විඳුමට රසිකයාට බාධාවක්ද නැත.

දර්ශන ඒ නිර්මාණයෙන් වෙනත් නිර්මාණයක් කරයි. එය විඳින පිරිසක් අනිවාර්යයෙන් සිටිනු ඇත. සමහරුන් නිර්මාණ දෙකම විඳුනු ඇත. දෙවැන්න නොදිරවන අය, පළමුවැන්න වැළඳගෙන එයම විඳිනු ඇත. ඒ පළමුවැන්නද, දෙවැන්නද යන දෙකම දර්ශනගේය. අමිල ගේය. 

පළමුවැන්නට යම් සාධාරණ විශාල අයිතියක් අමරසිරි පීරිසුන්ට ඇත. එහෙත් එයින් වෙනස් නිර්මාණයක් අර මුළින් කී දෙදෙනා එක්ව කරන්නේ නම් එය වැලැක්වීමේ අයිතියක් පීරිසුන්ට නැත.

ඉකිගසා හඬන අතීතයක ගීතය මෙසේ ප්‍රති නිර්මාණය වන්නේ ඒ අනුවය.





මේ කියන අයිතියට ගරු කරණු විනා අයිතියට කුළල් කා ගත යුතු නැත. එවැනි කුළල් කා ගැනීමක් අමරදේව - කේමදාස  - ආරියසිංහ අවුලේදී අපි දුටුවෙමු. එහෙත් මෙහිදී අවුල ඇති කරන්නේ බාහිරින් අදහස් දක්වන්නවුන් විනා ඒ දෙගොල්ල නොවේ. එවිට එහි වරද කාගේ වනු ඇතිද?

අවසාන වශයෙන්, දර්ශන රුවන් දිසානායක යනු වෙසෙස් සංගීතඥයෙකු විනා වෙසෙස් ගායකයෙකු නොවන බව කියන්නට උත්සාහ ගත් පිරිසක්ද දුටුවෙමි.

ගායකයා වෙසෙස් වන්නේ ගායන හැකියාවෙන් මිස ගයා ඇති ගීත ගණනින් නොවේ. සිය ගණන් ගී ගැයූ වෙසෙස් ගායකයින් නොවන අය කොතෙක්ද?

එහෙත් මාගේ දැනුමේ හැටියට නම්, දර්ශන යනු වෙසෙස් ගායන හැකියාවකින්ද යුතු අයෙකි. දර්ශන නිම කළ සමහර නිර්මාණ ගැයූ ගායකයින්ට වඩා හොඳින් දර්ශනට එම ගී ගයන්නට හැකි බව මම පෞද්ගලිකවම දනිමි. ප්‍රසිද්ධියේ දන්නා අයද නොවන්නේ නොවේ. ඒ නිසා තම තම නැණ පමණ අනුව ගායනාවන් මණින්නට යාමෙන් සැබෑ ගාකයින්ට අසාධාරණයක් නොවිය යුතුය.

දර්ශන රුවන් දිසානායක නම් සංගීතඥයාගෙන්, දර්ශන රුවන් දිසානායක නම් ගායකයා ආරක්ෂාකර ගැනීම, දර්ශන රුවන් දිසානායක නම් සොහොයුරාගේ වගකීමක් විය යුතුය. ඒ නිසා ඒ දෙදෙනාම නිදහස් කර දෙදෙනාටම හරඹ දැක්වීමට ඉඩ දිය යුතුය. නැති නම් ඇත්ත ගායකයින් අඩු රටක, එය රසිකයින්ට කරණා අපරාධයකි. 

දර්ශන දැන් අභියෝගයක් ලෙස එය බාර ගත යුතුමය. ඔබ තුළ නැතැයි හරියට හඳුනා නොගත් අය කියන ඔබ තුළ සිටිනා නියම ගායකයා ඔවුනට පෙන්විය යුතුය.



-      යසනාත් ධම්මික බණ්ඩාර     -

2 comments:

  1. ග්‍රේෂන් ජයමහ ගායනාකල “ඔබ ළග නැති මේ සසරේ“ ගීතයටත් ඔය දේම නේද උනේ

    ReplyDelete
  2. Ai asanka priyamantha gayana kala "sanda ebennepa tharu siduru wasa" kiyana geethaya wenasma thanuwakin athula adhikari gayana karanee

    ReplyDelete