Monday, February 6, 2017

විලෙන් පුදසුනට.....





සමහර සංගීතඥයින් තුළ සිය සංගීත නිර්මාණ හැකියාව සේම ගායන හැකියාවද එක සේම වෙයි. එවැනි සමහර සංගීතඥයන් තමන් විසින් සාදා ගන්නා ගී රහට ගයයි. එවැනි උදාහරණ ටිකක් කිව්වොත්,

ආචාර්ය පණ්ඩත් අමරදේව
ආචාර්ය වික්ටර් රත්නායක
විශාරද ගුණදාස කපුගේ
රෝහණ බැද්දගේ
සිසිර සේනාරත්න
මර්වින් පෙරේරා
රූකාන්ත ගුණතිලක

වැනි නම් අපට මතක් වෙයි. කෙසේ වෙතත්, මේ, එවැන්නන්ගෙන් ටිකකි.

එහෙත් ගායන හැකියාවෙන් යුතු සමහර සංගීතඥයින් ගීත ගැයීමට මැලි කමක් දක්වනවාදැයි මට සිතුණු අවස්ථා එමටය. 

මේ සඳහා එක් හොඳම උදාහරණයක් වන්නේ අචාර්ය රෝහණ වීරසිංහයන්ය. ගැඹුරු මධුර කටහඬකින් ගයන ඔවු තමන් විසින් නිර්මාණය කළ ගීත ප්‍රමාණයේ හැටියට ගයා ඇත්තේ ගීත  ඉතා ස්වල්පයකි. ඔහු සංගීතඥයෙක් විදිහට ක්ෂේත්‍රය තුළ ගමන් කරන්නට සිතුවා මිස ගායකයෙකු වශයෙන් මතුවන්නට නොව සැඟවෙන්නට උත්සාහ කළා දැයි මට සිතේ.

මෙවන් තවත් බොහෝ උදාහරණයන් වෙයි.

මා සමග බොහෝ සමීපව ඇසුරු කර ඇති සංගීතඥයින් වන නවරත්න ගමගේ සහ කරුණාරත්න විජේවර්ධන නාමයන් දෙකද එවැනි හැකියාවක් ඇති මිනිසුන් දෙපළක් හඳුන්වන පුද්ගල නාමයන් වෙයි.

නවා සහ කරු සමග එක්ව අපි කළ නිර්මාණ පටිගතකිරීමේදී මට වැටහී ගිය කරුණක් වූයේ සමහර විට එය ගයන්නට සිටින ගායකයාට වඩා හොඳිනුත් හැඟුම්බරවත් තම මධුර තනු තමන් විසින්ම ගයන බවයි. එහෙත් ඔවුන් ගැයූ ගී ප්‍රමාණය ඉතා අඩුය. 

මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් අයෙකි සංගීතඥ සමන්ත පෙරේරා. ඔහුද සිය තනු එය සාදා දෙන ගායකයාට හෝ ගායිකාවට වඩා හොඳින් ගයන අයුරු මම ඇත්තෙමි.

එවන් අය තවත් බොහෝමයක් සිටිනු ඇත. මේ කෙටි සටහනකට මුල පිරුමක් ලෙසට කෙටි එක වරම මතක් වූ සහ මා සමීපව ඇසුරු කළ කිහිප දෙනෙකුගේ නම් පමණි.

අරුණ ගුණවර්ධන නම් සංගීතඥයෙකු ගැන මම දැන ගන්නේ අමරදේවයන් විසින් ගැයූ ගිමන් හරින දියඹ දිගේ ගීතය සහ අමරදේවයන් සහ උමාරියා ගයන හන්තාන සිහිනේ ගීත දෙක නිසාවෙනි. 

මේ කතාවට සෘජුව අදාල නොවුණත් අපි හන්තාන සිහිනේ ගීතය අසා යමු.





 අරුණ ගුණවර්ධන  
විසින් සංගීතවත් කළ අත්තම්මා ටෙලි නාට්‍යයේ තේමා ගීතයට මා ප්‍රිය කළත් එය ඔහුගේ නිර්මාණයක් බව දැන ගත්තේ කලකට පසුවය.
මට මෙහිදී අරුණව මතක් වන්නේද සටහනෙහි මා කියාගෙන ආ, සිය මධුර තනු වඩාත් හැඟීම්බරව ගයන්නට හැකි සංගීතඥ ගායකයෙකු වශයෙනි.

 ආචාර්ය පණ්ඩිත් අමරදේව 
යන් ගැයූ ගිමන් හරින දියඹ දිගේ ගීතය සීමිත සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් පමණක් යොදා ගෙන අරුණ ගැයූ විට මට ඔහු කෙරෙහි ඇති වූයේ මහත් සෙනෙහසකි. එම ගීය මුහුණු පොත ඔස්සේ මිතුරන් හා බෙදාගන්නට මා තැබූ සටහනෙහි සාරාංශය වූයේ ගීතයේ නියමය හැඟීම මතුවන්නේ අරුණගේ ගැයුමෙහි බවයි.

කෙසේ වෙතත්, අරුණ ගේ ඇති නිහතමානිත්වය හේතුවෙන් ඔහු එම අදහස බැහැර කරන්නට සූදානම් වුවද, එම ගීතයෙහි ගැබ්විය යුතු හැඟීම නම් අරුණ ගේ ගැයුමෙහි සේ ගැයීමමය.

මෙම ගීය අති මහත් සේ ජනප්‍රිය එකක් වන හෙයින් සහ, අමරදේවයන් විසින් සිය ගායන පෞරුෂය වැහැරී යන වෘධ අවස්ථාවක සිට ගැයුවා වුව,  අමරදේවයන් එතෙකුදු රසික සිත්සතන් තුළ වැහැරුණු පෞරුෂයක් නොවනු හෙයින්, බොහෝ දෙනෙකු මගේ අදහසට එකඟ නොවන්නට ඉඩක් ඇත. එහෙත් මා මගේ යසනාත් සිතුවිලි තුළ ඉදිරිපත් කරන්නේ මගේ සිතුවිලි ම වන බැවින් මා ලියන්නේ මට ඇත්තටම දැනුනු දේ ය. එබැවින් අමරදේවයන් වැනි මහා චරිතයක් ළඟ දැනට අරුණ සිඟිත්තෙකු බව ඇත්තක් වුව, ගීතයේ හැඟීම මම විඳින්නේ අරුණ ගේ ගැයුමෙහිමය.

ගිමන් හරින දියඹ දිගේ ගීතය අමරදේවයන් ගයද්දී එහිද මහත් රසක් ඇති බවද මේ අතර නොකියාම බැරිය. වයස දශක 7ක් අභිමුව ඔහු එය ගැයූ ආකාරය, යම් රෝගී තත්වයකින් කලක් බොහෝ සේ අඩපණව සිටි මේ මහා පුරුෂයා යළි නැගී සිට ගැයූ අයුර ආදී දේ ගැන මේ ගීය ඇසූ මුල්ම දවස් වල මට ඇති වුණේ ඇසට කඳුළක්ද නංවන ආකාරයේ සිතුම් සමුදායකි. ඔහු සිටි වයස සහ තත්ත්වය අනුව ඒ ගැයුම කොතරම් නම් හහළද? ඒ රස එලෙසින්ම තබාගෙන එහෙත් සිඟිති අරුණ ගේ ගැයුම මට ලොකුවට දැනෙන විට, එය නොකියා සිටීම මට නොරිසිය. මෙහිදී අරුණ සිඟිති යැයි කිව්වේ අරුණ දරුවකු නිසා නොවේ. දැවැන්ත අමරදේවයන්ගේ ප්‍රතිරූපය අබියස ඔහු දැනට සතු කරගෙන සිටින ප්‍රතිරූපයේ ප්‍රමාණය ගැන සලකා ය.

කෙසේ වෙතත්, අරුණ ගේ ගැයුමට පෙර අපි අමරදේවයන්ගේ ගැයුම අසා සිටිමු.



මේ සටහන තුළදී අමරදේවයන්ගේ ගැයුම අසන්නට දෙනවාදැයි මෙය පළ කිරීමට පෙර මෙය දුටු මගේ මිතුරෙක් ඇසුවේ එයින් අරුණ ට පාඩුවක් වනු අතැයි කියමිනි. මේ අරුණ ට වාසියක් කොට අමරදේවයන්ට අවාසියක් කිරීමේ සටහනක් නොවේ. නැති නම් අරුණ ගේ ගැයුම අමරදේවයන්ගේ ගැයුමෙන් වැසීමේ වෑයමක් නොවෙයි. මෙය රසභාවයන් පිළිබඳව කෙරෙනා සාකච්ඡාවකි. කෙනෙකු ගීතයක් රස විඳීමේදී ඔහු එහි සොයන සමහර දේ ගැන අන් අයට ඉඟි කරණු වස් ලියන සටහනකි.

වරකුත් කීවාක් සේ, අමරදේවයන්ගේ ගැයුමේ වන යම් යම් අඩුපාඩු, ඔහු එතෙක් සාදා ගෙන සිටි දැවැන්ත ප්‍රතිරූපයෙන් වැසී ගොස් අපට ඇසන්නේ අමරදේවයන්ගේ පෙර ගැයුම් සේ ම ය. එනිසා අරුණ ගේ ගැයුම සසඳද්දී රසිකයින් අමරදේවයන්ගේ මේ ගැයුමට පමණක් සීමා නොවී ඔහුගේ අර ප්‍රතිරූපයේ රැස් වළල්ල ද ඊට වැද්ද ගනී. ඒ මත ඒ බොහෝ දෙනෙකු අරුණ ගේ ගැයුමෙහි අරුමයක් නොදකින්නේ නම් එය ස්වභාවිකය. මේ ක්ෂේත්‍රෙයේ සමහර ගනු දෙනු වල ස්වභාවයට අතීත ප්‍රතිරූපය මහත්ව බලපාන බව මම දන්නා කරුණකි. එ් අතීතය නිර්ණායකයක් සේ ගෙන මැනීමේදී අරුණ ට යම් අවැඩක් විය හැකි වුවත්, අරුණ ගේ හැඟුම් බර ගැයුම නිසි පරිදි රසික සිත් සතන් තුළ තැන්පත් කිරීමට නම් සැසඳුමක් අවැසිම ය. එබැවිනි අප එම ගීතය අසා සිටියේ.
දැන් අප අරුණ ගේ ගැයුම වෙත යොමු විය යුතුය. අරුණ එහි ගයන්නේ අමරදේවයන් වෙත සාදා දුන් සංගීත පසුතලයෙහි සිටම නොවේ. ඔහු එහි ළය මදක් අඩු කර, සුපැහැදිලි සංගීත පසුතලයක් මැවීම සඳහා සංගීත භාණ්ඩ අවමයක් පමණක් යොදා ගෙන ය. අවමය යන්න තවත් විස්තර කළොත් භාවිතා කොට ඇත්තේ ගිටාරයක් පමණකි. එහෙත් ගිටාරය එහි විවිධ ස්වරූප වලින් හඬ තල කිහිපයක් නිමවා ඇත.

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරල ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා

මේ ගීතය ආදරය ගැන කියැවෙන ගීතයකි. මතු පිට ආදරයක් නොව හදවත ගැඹුරේ තැන්පත්ව කකියවන ආදරයක් පිළිබඳව ලියැවුණු ගීතයකි. ආදර ගීතයක් වුව එහි ඇත්තේ ආදරයේ ප්‍රමෝදයට වඩා එහි වේදනාව යැයි එහි පෙළ කියවන විට අපට වැටහේ. අරුණ ගුණවර්ධන සංගීතඥයෙකු සේ අල්ලා ගන්නේ ඒ නොහඬන හැඬුමේ දෝංකාරයයි. ඔහුට ගීතය තුළින් අවශ්‍ය වන්නේ ම අදහස මතුපිටින් කියා නිම කිරීම නොවේ. අසන හදවත තුළටම කිඳා බැසීමට සැලැස්වීමටය.

දැන් මෙහි දී මට යම් ගැටළුවක් මතු වේ. මේ ගැටළුවට පිලිතුරක් අරුණගෙන් ඇසුවොත් අරුණ ඊට නිසි පිලිතුර නොදෙනු නිසැකය. ඒ අරුණ ගේ වරදකට නොවේ.  නිහතමානී කමටය. එමෙන්ම ඔහු තුළ අමරදේවයන්ට ඇති අති මහත් සෙනෙහස නිසාය. 

මට ඇති ගැටළුව නම් ගීතය තවමත් ඉහළ ජනප්‍රියත්වයක තිබෙන වාතාවරණයකදී අරුණ ට මෙලෙස එහි සංගීතයද, එහි ළය ද, වර්ණයද, ගැයුමද වෙනස් කරන්නට සිත් වූයේ කුමන හේතුවක් නිසාද යන්නය. මේ පැණය රසිකයින්ගෙන් විමසූවොත් දෙනු ඇතැයි සිතෙන පිලිතුරක් දෙකක් මෙහි ලියන්නටද මට සිතෙයි. කෙනෙක් මෙසේ කියනු ඇත.

අමරදේවයන් නිසා ජනප්‍රිය වූ ගීතයේ ප්‍රභාව අරුණ විසින් ආරෝපනය කර ගැනීම සඳහා කළ උත්සාහයක්.

තවෙකෙක් මෙසේ කියනු ඇත.

තමන් හැදූ අමරදේවයන් වැනි මහා ගායකයෙක් ගැයූ ගීය තමන්ටත් කියා බලන්නට අරුණට ආශාවක් ඇති වූ නිසා.

නමුත් මට නම් හිතෙන්නේ ඒ දෙකටම වැඩි වෙනස් දෙයක්. ඇත්තටම මා තුළද ඒ ගැන අදහස් දෙකක් ඇත.

ඉන් පළමු වැන්න නම් 


ජානක සිරිවර්ධන  
ගේය පද රචකයාගේ රචනයන් අරුණ ගේ සංගීතයෙන් හැඩවී ගැයුනු ආදරයද මේ ( ගිමන් හරින දියඹ දිගේ ) ගීතයත්, බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ගීතයත් අති මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටයේ වුව, එය විවිධ මාධ්‍ය ආයතන වල විවිධ වැඩ සටහන් වලදී වෙන වෙන අය නිතර ගායනා කළේ වුව, ඔවුන් දෙදෙනාට මෙතෙක් කිසිදු වැඩසටහනකට ඇරියුම් නොකිරීම සහ ඔවුන් පිළිබඳව කතා බහ නොකිරීම තුළ  එම ගීත වලට අන් මවු පිය නාමයන් ලැබීමට ඇති වැඩි ඉඩ ගැන සිතා වන්නට ඇත. 

එවැනි කැත දේ මේ ලස්සන කලා ලෝකයේ එමට සිදුවන බව අප හොඳාකාරවම දනිමි. කෙනෙක් අනෙකුගේ නිර්මාණ කිසිදු හිරිකිතයකින් තොරව තමන්ගේ සේ සලකා ක්‍රියා කරණ අවස්ථා එමටය. එබැවින් එසේ සිතුවේ නම් එහි අසාධාරණයක් නැත.

එහෙත් මට දැඩිව හිතෙන ඊට වඩා වැඩි සාධාරණත්වයක් ඇති හේතුවකුත් ඇත. මතු දැක්වෙන්නේ එයයි.

මට හිතෙන්නේම ගීතය කොතරම් ජනප්‍රිය වුවද, අරුණ ගුණවර්ධන සංගීතඥයා පැතූ හැඟීම එහි ගැබ් නොවූ නිසා තමන්ගේ පෞද්ගලික රසය පිණිස හෝ එහි ඒ හැඟීම ගැබ් වන පරිදි ප්‍රති නිර්මාණය කළ යුතුය යන අදහස ඔහු තුළ උපන් බැවිනි යන්නයි. 

එහිදී ඔහු පෙර ගැයුමේ ලුහුඬුකම් මතු නොව සිය සංගීත පසුතලය පවා ඔසවා තබා ඇතැයි මට සිතේ. එහි ඇත්ත හැඟුම ඇත්තේ දැන්ය. රචකයෙකු වශයෙන් රචකයාගේ සිත්හි වන කම්පනයත්, සංගීතඥයෙකු වශයෙන් තමන් එයට නොමසුරුව මහන්සියෙන් එක් කළ කම්පනයත් තවත් එසවෙන අයුරින් ගැයෙන්නේ දැන්ය. පෙර ගීය එසේ නොවන්නට සාධාරණ හේතූන් මා පෙර ඉදිරි පත් කළෙමි.

අර තරම් උස් අමරදේවයන් ගැයූ ගීයට වඩා එය නූස් අරුණ ගුණවර්ධන විසින් ගයන විට මට දැනුනේ එබැවිනි. ඔබටත් එසේ දැනුනේ නම් ඒත් ඒ නිසාමය.

සිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැළුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසින් කියා දුන්නු ආදරයද මේ

ගීතයේ සංගීත පසුතලය තුළ ගිටාර් පථ 5ක් වෙයි. ඒ සියළු ගිටාර් පථ 


මහී පැස්කුවෙල් 
විසින් රහට වැයූ ඒවාය. අර හැඟීම උද්දීපනය කරණුයේ ඒ මියුරු හැඟුම් බර පැහැදිලි වැයුමෙනි. අරුණ ගුණවර්ධන විසින් පරෙස්සමින් තෝරා ගත් රිද්මයට ගොනු කළ පරෙස්සමින් තෝරා ගත් ස්වර පද්ධතිය ඔහු ඉතා උවමණාවෙන් වයා ඇත. ඒ සංගීත පසුතලය මතටය අරුණ සිය ළ ගන්නා කටහඬින් යළි යළිත් තට්ටු තට්ටු හැඟුම් තවරා ඇත.

නිල් කටරොළු නිල නැහැවුනු
මල් දළ මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

අපි දැන් අරුණ ගුණවර්ධන ගැයූ ආදරයද මේ ( ගිමන් හරින දියඹ දිගේ ) ගීතය අසමු.


අරුණ ගේ ගීතයට පසුව මේ කතාවට තවත් ගීතයක් එකතු කළ යුතුම වන්නේ එයද එ් අයුරින්ම යළි පටිගත වුණු ගීතයක් වන බැවිනි. එම ගීතයද යළි පටිගත වන්නේ තවමත් ගීතයේ ජනප්‍රියත්වය ඉහළම තලයක තිබියදීය. එය සංගීතවත්කොට ගයන්නේ  


අමිල දිල්හාන්  
විසිනි.

මේ ගීතයේ මුල් ගැයුම  

උමාරා සිංහවංශ 
ගෙනි. ගීතය වන්නේ 

වස්සානයට අත වනල ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ ගීතය උමාරා ගේ සංගීත දිවියේ කඩඉමක් සේ මට හිතුණත් උමාරා එය එවැනි කඩඉමක් සේ සිතන්නේදැයි මම නොදනිමි. උමාරා එතෙක් නියෝජනය කරණු ලැබුවේ වෙනත් සංගීත ආරකින් නිමැවුණු ගීත ධාරාවකි. එවැනි ගී වත්මන් තරුණ පරපුරේ යම් කුලකයක් අතරේ අතිශය ජනප්‍රිය වූවද, ඒ ගී වල පැවැත්ම පිළිබඳව මට නම් ඇත්තේ ලොකුම ගැටළුවකි. ඒවා හරියටම හතු සේ ය. ආයු කාලය කෙටි ය. මේ වස්සානයට වැනි ගීත ස්මාරකයන් බඳුය. බොහෝ කල් පවතිමින් අපගේ මතකය අවදි කරණු ලබයි.

එහෙත් යළිත් පවසනුයේ ඒ මගේ වැටහීමය. උමාරා ගේ වැටහීම කුමක්දැයි තවමත් මට එතරම් පැහැදිලි නැත.

වස්සානයට අත වනල ගීතයේ පද පෙළ අයිති එස්. මාධවටය. එය සරල ලස්සන හැඟුම් බර පද පෙළක් බව කිව යුතුය. වැඩිමනත් වශයෙන් තුරුණු සිත් ස්පර්ෂ කරන්නට සමත් අදහසක් එහි වෙතත් තුරුණු විය ඉක්මවූ අපටද දැනෙන දෙයක් එහි වීම ප්‍රසාද ජනකය. ඒ පද පෙළ මත සිය සංගීත හරඹ පාන අමිල ගේ මැදිහත්වීම ඉතා ළගන්නා සුළුය. පද රචනයෙහි ඇති හැඟීම තවත් උද්දීපනය කර ගායිකාව අත පත් කරන්නට ඔහු එහිදී සමත් වෙයි. 

උමාරා ගේ මෙ ගැයුම ප්‍රශස්ථ එකකි. ගැයුමටත් වඩා මෙවැනි ගීයකට ඈ පෙළඹීම මගේ ප්‍රසාදයට හේතුවෙයි. ඈ එය ඉතා හැඟුම්බරව ගයනු ලබයි. එය මිහිරිය. සුමටය. සිත් කාවදින සුළුය. එහෙත් ඒ අතරේම ඇගේ සිංහල උච්ඡාරණයේ ඇති යම් වෙනස අර හැඟීම මතු කරන්නට යම් බාධාවක් ව ඇතැයි මට සිතේ. ඇගේ සිංහල උච්ඡාරණය හොඳින් ඉංගිරිසි දත්, සිංහල එතරම් නුහුරු අයෙකුගේ වැනි එකකි. එහෙත් එය එසේ තිබියදී පවා එය හොඳ ගැයුමක් බව යළිත් කිව යුතුය.

උමාරා ගැයූ වස්සානයට අත වනල ගීතය අසමු.



මේ ගීතය ලැබූ අතිශය ජනප්‍රියත්වය කියා පාන්නේ ගීතය මිස ගයන්නා ගැන රසික සමාජය නොතකන බවය. උමාරා ගේ මේ ගීතය සමග ඇගේ වෙනත් ගීත නොඅසන රසික කුලකයකගේ සිත් සතන් තුළට පිවිසෙන්නට ඈ සමත් වෙයි. ඒ නිසා ඇය මේ ගීතය හරහා සිය රසික පරාසය පුළුල් කරගනී. එම පුළුල්වීම ඇගේ අවශ්‍යතාවක් වී දැයි විමසිය යුත්තේ අනතුරුව ඒ පුළුල් රසික සමාජයට මේ සා ගැලපෙන නිර්මාණයක් තිලිණ කරන්නට ඈ සමත් නොවන වටපිටාවකය.

අමිල දිල්හාන් ඈ ගැයූ මේ ගීය ඔහු විසින් ගැයුවේ ඇයිද යන්නට, අරුණ ගුණවර්ධන ආදරයද මේ ගීතය ගයන්නට හේතුවන්නට ඇතැයි රසිකයින් අනුමාන කරතැයි මා අනුමාන කළ හේතු දෙකම වලංගු විය හැකිය. එහෙත් එ් සඳහා මා පෞද්ගලිකව මට හැඟෙතැයි දැක්වූ හේතු දෙක සැලකුවහොත් ඉන් පළමුවැන්න මේ ගීතය ගැයුම සඳහා අමිල තුළ වුණු පෙළඹීමට අදාල නොවෙතැයි මට සිතේ. එහෙත් මා දැක්වූ ඊ ළඟ හේතුව ඊට වඩාත් ගැලපෙතැයි මට මෙහිදීද සිතේ. 

එනම්, එය අමිල ට ගැලපෙන සේ වෙනස් කර ගතහොත්,

මට හිතෙන්නේම ගීතය කොතරම් ජනප්‍රිය වුවද, අමිල දිල්හාන් සංගීතඥයා පැතූ හැඟීම එහි නොවූ නිසා තමන්ගේ රසය පිණිස හෝ එහි ඒ හැඟීම ගැබ් වන පරිදි ප්‍රති නිර්මාණය කළ යුතුය යන අදහස ඔහු තුළ උපන් බැවින් ඔහු එය ගයන්නට පෙළඹුනා යන්නයි. එහිදී ඔහු පෙර ගැයුමේ ලුහුඬුකම් මතු නොව සිය සංගීත පසුතලය පවා ඔසවා තබා ඇතැයි මට සිතේ. එහි ඇත්ත හැඟුම ඇත්තේ දැන්ය. රචකයෙකු වශයෙන් රචකයාගේ සිත්හි වන කම්පනයත්, සංගීතඥයෙකු වශයෙන් තමන් එක් කළ කම්පනයත් තවත් එසවෙන අයුරින් ගැයෙන්නේ දැන්ය. පෙර ගීය එසේ නොවන්නට සාධාරණ හේතූන් මා පෙර ඉදිරි පත් කළෙමි.

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

උමාරා ගේ ගීතය ඇරඹෙන්නේ එසේ වුවද අමිල සිය ගීතයේදී එය අරඹන්නට සිතන්නේ එහි පළමු අන්තරා කොටසෙනි. එය වටෙන් ගමන් නොගොසින් එක වරම එහි ආත්මයට ගමන් කරණ සේ හැඟුන වෙනසකි. ගීතය තුළ සිටින පෙම්වතාගේ කම්පනය සෘජුවම රසිකයා ළඟ තබන්නට ඒ නිසා ඔහු සමත් වෙයි. රසික හදවත් එක වරම කම්පා කරන්නට ඔහු ඒ අනුව සමත් වෙයි. ඔහු ගීතයේ ස්ථායී කොටස ගැයුමට පිවිසෙන්නේ ඉන් අනතුරුවය.

හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ ගීය සරල සුන්දර වුව, එහි ඇති හැඟුම් සරල නොවන්නේ එහි කියැවෙන්නේ ඇත්ත හැඟුම් වන බැවිනි. ඔහුගේ පැතුම නම්, හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ ඈ තුරුලටම වී පා වෙන්නටය. එහෙත් සිදු වන්නේ එය නොවී අනෙකකි.

ඔහු ඇගේ ඇස් වල ඔහුගේ රුව ඇඳුනු හැටි දකින විට තිබූ සිතුවිල්ල නම් මුළු සසරෙදීම ඔහු ඇගේ වනු ඇතිය යන්නය. එහෙත් අද වන විට එය වෙනස් ව ඇති දැයි ඔහුගේ සිත දවයි. අමිල ගීතයේ එක වරම පිවිසෙන්නේ මෙතැනටය. ඉන් එය වඩාත් ප්‍රබල වී යැයි මට සිතේ.

අපි ගීයක් කරද්දී සම්ප්‍රදායිකව ස්ථායී කොටස, අන්තරා කොටස් ආදී වශයෙන් බෙදාගෙන කරණ ආකෘතිය පිපිරෙව්වොත් සමහර විට ඊට වඩා ප්‍රබල ගීයක් තිබෙන ගීයෙන්ම නිමවා ගත හැකි බවට හොඳ නිදසුනකි මෙය.

වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

මේ හැඟුම් අප වෙත පාන්නට අමිල ම පෙර යොදා ගත් විදිහ අමිල අතින්ම අභියෝගයට ලක්ව ඇතැයි මට සිතේ. අර අරුණ ගේ ගීයේ ද එයම වී ඇතැයි මට එහි සඳහන් කරන්නට නොහැකි වුණද එහිදී වී ඇත්තේද එයමය. 

විය යුත්තේ එය නොවෙද? 

තමන්ගේම නිර්මාණයක් තමන් අතින්ම අභියෝගයට ලක් කරන්නට පෙළඹෙන්නේ තිබෙන දෙයින් වඩාත් හොඳ දෙයක් කරන්නට සිතන අයෙක් පමණි. එහෙත් එහි ඵලය කොතරම් නම් මියුරුද? අරුණවත්, අමිලවත් තමන් විසින්ම තමන්ව අභියෝගයට ලක් නොකළේ නම් මේ මියුරු ඵල දෙක අපට කොහින්ද?

අපි දැන් අමිල ගැයූ වස්සානයට අත වනල ගීතය අසා අදට මේ කතා බහට සමු දෙමු.







-  යසනාත් ධම්මික බණ්ඩාර -

No comments:

Post a Comment