Tuesday, January 2, 2018

මං විතරක් ඇවිත් මොටද - නුඹ නොඑනා මල් යායට






දෙදෙනෙක් ආදරයෙන් හමුවන්නේ වෙන්වන්නට සිතා නම් නොවේ. සදාකාලිකව එක්ව වසන්නටය. 

මම කියන්නේ ආදරයෙන් හමුවන අය ගැන මිස ආදරය යැයි කියා අන් සිතකින් හමුවන අය ගැන නොවේ. 

චපල සිතැතිව, අන් අරුතින්, කෙටි කලකින් වෙන්වීමේ අදහස මුළ සිටම හිත අද්දරක තබා ගෙන, එහෙත් විවිධාකාර වූ ඉච්ඡාවන්ගෙන් එය වසාගෙන  එක්වන අය නැත්තේම නොවන බව නොකීවොත් එය මහත් වරදකි. 

සැබෑ ආදරණීය හැඟීමකින් එක් වන දෙදෙනෙකු එසේ එක් වන්නේ,

මැරෙන තෙක් එක්ව විසීමටය.... 

එක් කැදැල්ලක හිඳීමටය.... 

දරුමල්ලන් සැදීමටය.... 

ඔවුන් දැඩිමේනි කිරීමටය.... 

තමන් මෙලොවට වදා, වඩා, හදා සිය දෙමවුපියන් කළ කැප කිරීමම කරමින්, ලෝකය පෙරට ගෙන යාමේ කාර්යයට උර දීමටය.

සදාකාලයටම එක්ව වසන්නට පතා එසේ හමුවන අයගෙන් කීයෙන් කී දෙනාටද එම අවස්ථාව සැබැවින්ම ලැබෙන්නේ? නොසිතූ සේ වෙන් වන්නට වෙන අවස්ථාද සිතා මතා වෙන්වන්නට සිදුවන අවස්ථාද එන්නේ පසුවටය. 

සමහරුන්ට වෙන්වන්නට වන්නේ දෙදෙනාටම එක් වන්නට බැරි පොදු හේතු පැණ නැගීම නිසාය. නැති නම් එක් වීමේ අවශ්‍යතාව ඇතිව වුව, එක් වන්නට නොහැකිම කරුණු එකෙකුට පැන නැගීම නිසාය. සමහරුන්ට වෙන් වන්නට සිදු වන්නේ, අයෙක් හිතා මතාම මගහැරීම නිසාය. කෙසේ වෙතත්, මේ වියොවින් ලබන වේදනාව එකිනෙකාගේ ඇසුරට සාපේක්ෂව වෙනස් වෙයි. එකිනෙකාට දැනෙන අයුර අනුවද වෙනස් වෙයි. 

මෙසේ වෙන් වන අයවළුන්ගෙන්,

සමහරෙකුට දිගින් දිගටම වෙන්ව සිටින්නට බැරි වී යළි හමුව දිවි ගෙවයි. එහෙත් ඒ වාසනාව සැමටම ලැබෙන්නක් නොවේ.

තවත් කෙනෙක් වේදනාවෙන් බර ටික කලකට පසුව එය අමතක කොට වෙනත් අයෙකු හා බැඳෙන්නට අවැසි සේ සිත සාදා ගැනීමට සමත් වෙයි. එවැනි වාසනාවන්තයින් සිටියද අඩුය.

තවත් කෙනෙක් මුළු දිවිය පුරාම ඒ මත හැපී වැලපෙමින් ජීවත් වෙයි. තවත් කෙනෙක්, මතුපිටින් සිනා මුහුණ පෙන්වා, යටි සිතින් වැලපෙයි.

මේ කතා කරන්නට මුළ පුරන්නේ එසේ අත්වන වෙන් වීමේ වේදනාව ගැනම පමණක් නම් නොවේ. ජීවිතයේ යම් දවසක, කොහේදී හෝ ඔවුන් යළි මුණ ගැසුනොත් කෙසේ වේද යන්න ගැන සිංහල ගීතයෙහි කියා ඇත්තේ මොන මොන දේද යන්න විමසීමටය.

සමහරෙක් කිසිදු විටෙක අහම්බයෙන් හෝ වන මෙවන් හමුවීමක් ප්‍රාර්ථනා නොකරණු ඇත. ත‍වත් අයෙක් එය කොතරම් වේදනාබර අත්දැකීමක් විය හැකි වුවද ඇසිල්ලකටහෝ ඇය හො ඔහු යළි ඇසගැටුණොත් මැණවැයි පතණු ඇත. මිනිස් සිත් එලෙසය. විවිධය. එයට ගැහැණු හෝ පිරිමි හෝ යැයි භේදයක් නැත.

මේ ගැන මා අතින්ද සරලම සරල ගීතයක් ලියැවී ඇත. ඒ එක්තරා මිතුරු ඉල්ලීමකට අනුවය. 

මිතුරු, ප්‍රවීන සංගීතවේදී  


නවරත්න ගමගේ  
නිමල් ජයවීර නම් මිතුරෙකු සිටියේය. මා නිතර නවා ගේ නිවසේ කල් ගෙවූ කාලයේ අවස්ථා කිහිපයකදීම මට අර නිමල් ජයවීර මිතුරාද මුණගැසී තිබුණි. ඔහු එකල ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණයෙහි නිරතව සිටි අයෙකි. ක්‍රමයෙන් මිතුරු වූ පසු  ඔහුගේ ඉල්ලීම වූයේ සරලම සරල ගීයක් ලියා දෙන ලෙසටය. එහි ගැමිකම තිබිය යුතුය. ගමේ සිටින පෙම්වතෙකුට ගමේදී බැඳි පෙම අහිමි වීමත්, ඇය අන් අයෙකු හා ගමෙන් පිටවීමත්, වරින් වර ගම ආ විට අහම්බෙන් ඈ මුණගැසීමත් වැනි කරුණු මේ ගීතයට අන්තර්ගත වේ නම් මැණවිය යන්නත් ඔහුගෙන් කියැවුණේ.

ඒ අනුව ලියූ සරලම සරල ගීතය මෙසේය.

ගං දෑලවරේ මල් පිපිලා
සුවඳ ඉසින උදෑසනට
මං විතරක් ඇවිත් මොටද
නුඹ නොඑනා මල් යායට

සිය ගම් පියස අද්දරකින් ගඟක් ගලා යයි නම්, මේ ගං දෑල ඒ ගම අවට පෙම්වතුන්ට මොන තරම් මිහිරි මතකයන් ඉතිරි කරණවා ඇතිද? ඒ මිහිර අහිමි වුණු කල මොන තරම් වේදනා බර මතකයන් ඉතිරි කරණවා ඇතිද? 

මේ සරල වචන අස්සේ මට දෙන්නට අවැසි වූයේ ඒ වේදනාත්මක හැඟිමෙහි බරයි. වචන සරල බව ඇත්තකි. ගැඹුරෙහි කිමිදී සොයාගන්නට සැඟවුණු අරුතක් නැති බවද ඇත්තකි. ඒත් ඒ අතරේ සැඟවුණු වේදනාව ලිහා බැළුවොත් මහ මෙරක් සේ වනු ඇත.

සෘජුවම අදාල නොවුණත් මේ සරල වචන අස්සේ හැංගිය හැකි ඒ මහමෙරක් වැනි හැඟීම ගැන උදාහරණයක් විය හැකි මගේම වෙනත් කුඩා ගී ඛණ්ඩයක්  උපුටා ඇමිණීමට අවසර දෙන්න.

නුඹ යන්න ගිහින් පැදුරටවත් නොකියාම
සුවඳත් අරගෙන වහං වෙලා
පෙර මතක කුසුම් යළි මතකයේ පිපුණාම
හිත රිදවයි මහමෙරක් වෙලා

මගේ ඒ සරල වචන තුළ ගැබ්වුණු අර හුදකලා වූ පෙම්වතාගේ හුදකලාවීමේ මහාමේරු බර මතු කරන්නේ  විශාරද කරුණාරත්න විජේවර්ධන සුමිතුරු සංගීතඥයා විසිනි. ඒ බර කියන්නට සුදුසුම හඬ ඇත්තේ ගායක  කරුණාරත්න විජේවර්ධනට බව තීරණය කරණ සංගීතඥ කරුණාරත්න විජේවර්ධන, ඒ අනුව එය ඔහුට ගයන්නට දෙයි. ඔහු ගයන හැඟීම ගීතයේ වචන වල සරල බව අභිබවා නැගෙයි.

මේ සටහනට සෘජුවම අදාල නොවුණත්, රිස්සෝ, ගීතය අසනු මැණවි.

නුඹ යන්න ගිහින් පැදුරටවත් නොකියාම ගීතය.


අපි කියාගෙන ආවේ මා ලියූ, අර නිමල් ජයවීර මිතුරා ගැයූ ගං දෑලවරේ මල් පිපිලා කියන ගීතය ගැනය. එහෙත් දැන් අපි සිටින්නේ වෙනත් තැනකය. මගේ මේ වැල් වටාරං රචනා ශෛලිය ගැන මා විවිධ අවස්ථාවල ඔබේ සමාව භජනය කර ඇත. මම ඒ රචනා ශෛලියට මහත් රුචි බැවින් එසේ ලියමි. එය ඔබට කරදර වේදැයි යන්න ගැන පමණි සිතට ඇති යම් කුකුස.

මට මතක් වෙන්නේ සෝමතිලක ජයමහ ප්‍රවීන ගායකයාණන් විසින් ගයනු ලබන ගීතයකි. ඒ ගීතය ගැන මම දන්නේ මගේ ඔය ගං දෑලවරේ කියන ගීතය ගීයට වඩා වසර ගණනාවකට පසුව වුණත්, මගේ ගීයේ පළමු පද ටික තුළ ඇත්තේ මේ ගීතයෙන් විස්තර වන වේදනාවමය. එය වචන වලින් කියනවාට වඩා මේ ගීය ඉදිරිපත් කරමින් කීම වටී. එහෙත් ඒ සපුරා වෙනස් පරිසරයක් ගැන සපුරා වෙනස් වදන් වලින් ලිවීමක් වෙයි.

ගීතයෙහි පද ප්‍රසන්න චන්දන බණ්ඩාර ගේය. මගේ මතකය නිවැරදි නම් එහි සොඳුරු මියැසි මුසුව ප්‍රවීන සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ගේය.

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

දුක පිරුනු මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා ගීතය අසමු.



ඉතින් ඒ ගීතයේ පෙම්වතාගේ වියෝ දුකින්ම තමයි මගේ ගීතයේ පෙම්වතාගේත් හදවත බර වෙලා තිබුණේ.

එහෙම පෙම්වතෙකුට තමයි, සිය අතීත පෙම්වතිය ඇය හමුවුණු සහ ඇය වෙන්වුණු ඒ සොඳුරු පරිසරයේදීම යළි මුණ ගැහෙන්නේ.
ඈ අහිමිව හිමි වූ දුක මහමෙරක් සේ ම විය. ඒත් දැන් ඒ බරට තවත් බරක් එක් ව ඇත. ඒ අවමයෙන් ඈ තමන් දෙස හිස ඔසවා බලා යන්නට තරම් වත් කාරුණික නොවීම ගැනය. මේ ඒ ගැනයි.

පෑව සෙනේ සිත වැරුවද
තරහක් නෑ මසිත නුඹට
පුරුදු හිනා මල් නැතුවම
අමාවකයි හිත් අහසට

දීග ගියත් දුරු ගම රට
ආලවන්ත හිත අරගෙන
දෑස බිම බලන් යනකොට
හිතට දුකයි ගම ආවම

නවරත්න ගමගේ ගේ සංගීතයටයි නිමල් ජයවීර ගීතය ගැයුවේ කියා මා ඔබට කීවා මතකය. ඒ මුල් කාලයේ නවා මගේ ගීත වලට කොතරම් සොඳුරු සංගීත සළු පිළි පැළඳුවාදැයි මම තවම කල්පනා කරමි. මට ඒ කල්පනාවේ සිටින්නට ඉඩ දෙන්න. ඔබ ඒ ගීතය අසන්න. 
'


යළි හමුවීමකින් ඇති වන ක්ෂණික හැඟුම් සහ දිගු කාලීන බලපෑම් විවිධය. එකිනෙකට වෙනස්ය. ඒ සියළු අවස්ථාවන් ගැන ගීත වල ලියැවී නැතත් බොහෝ අවස්ථාවන් ගැන ලියැවී ඇත. මේ වෙනත් විදිහක කියවීමකි. කියවා ලිවීමකි.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ

මේ ගීතයේ අපට හමුවන ඔහු ඈ හමුවන්නට පැමිණ ඇත්තේ යැයි කිවහැකි නොවෙයි. ඔහු යළි පැමිණ ඇත්තේ ඈ මුණගැසීමටමය. හැර යාම නිසා ඈද සොවින් තැවෙමින් සිටියා නම් ඔහුගේ මේ යළි පැමිණීම මහත් සොම්නසට හේතු වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ පැමිණීම නම් ඈට එවන් සොම්නසක් ගෙනැවිත් නැතිවා සේය.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ ?

ලෙසින් විමසීමෙන්ම ඒ බව තහවුරු වේ.
ඊට යම් හේතුවක් තිබිය යුතුය. දැන් අප ඒ හේතුව විමසිය යුතුය. ඒ විමසුම අපට භාර කළා නම් ඇය වෙනුවෙන් ඊට සාධාරණ වන හේතූන් හොයන්නට අපට මැදිහත්ව කටයුතු කළ හැකිව තිබුණි. එහෙත් අපට හේතු සෙවීමට ඈ ඉඩ තබා නැත. ගීතයේ ඊ ළඟ කොටස් වලදී ඊට හේතු සාධක ඈ ම ඉදිරිපත් කරයි. නමුත් අප එම හේතු සාධක එලෙසින්ම පිලිගන්නවාද ප්‍රතික්ෂේප කරණවාද යන්නය ඊ ළඟ කාර්යය.

පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ

මේ හමුවීම ඔහු සිතේ ඇති වුණු යම් බලාපොරොත්තුවක් මත වුණු දෙයක් බව කිව හැකිය. එය කියන්නේ ඔහු නොවේ. ඈ ම ය.
ඈ දුටු විට ඔහු සිත මල් පිපෙණා බව ඈ දැන සිටි කරුණකි. ඒ පෙරදා මෙන් එදිනද ඈ දැකුමෙන් ඔහු සිත මලක් පිපුණු බව ඔහුගේ නෙත් දුටු විට ඈට කිව හැකිය. ඔහු නුවනග පුංචි සතුටු කඳුලක් මෝදු වී නොවැටී ඇති වග ඈට පෙනෙයි. අතීතය සොඳුරුය. අද නටඹුන් වූවද එය සොඳුරුම ය. ඒ අතීත නටඹුන් අතරේ මෝදුවන අළුත් සිහිනයක් ඔහුගේ සිතේ වන බව ඈ හොඳින් දනී. එබැවිනි ඈ විමසන්නේ,

අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ

ලෙසින්.

එහෙත් ඒ මන්දිරයට පදමනමක් වේද? එය වැල්ලේ තැනූ මාලිගාවක් සේ නොවේවිද?

අනතුරුව ඈ කියන්නේ ඈ සිත ගැනය. 

ඒ අනුව, 

වෙන්වීමෙන් ඈ සහනයක් ලැබුවා සේය.  වෙන්වීමෙන් ඈ තුළ සොවක් නොමැති වූවා සේය. එබැවින් වෙන්වීමෙන් ඈ දුක්වෙතැයි ඔහු දුක්විය යුතු නැති බවත් ඈ කියයි. 

එපමණක්ද? 

දැන් ඈ සිටින ස්වභාවය ස්වරූපය අනුව, ඈට ඔහුගේ අනුකම්පාවක් අවැසි නැති බවද ඈ කියයි. 

තවද,
තමන් සතුටු රාජ්‍යයක රජකම් කරණ රජෙකුගේ, සතුටින් සිටින රැජිණකැයිද ඇයම කියයි.

මා හට ගැටළුව ඇත්තේ එතැනය. ඒ අනුව, ඒ ගීයේ රසිකයෙකු වශයෙන් මට නම් ගන්නට වෙන්නේ අප පෙම්වතාගේ පැත්තය. මක් නිසාද යත් වෙන්වන්නට සිදු වුණු හේතු මෙහි ලියා නැත. වෙන්වන්නට මුල් වූයේ කවුරුන්දැයි මෙහි ලියා නැත. ඔහුව වහ කදුරු තිත්ත වන තරමට ඔහුගේ වරදක් වූ බවට, ඔහු ඈට වදයක්ව සිටි බවට ඉඟියක් හෝ වූයේ නම් ඇගේ මේ හැසිරීම ගැන සාධාරණව සිතන්නට ඉඩක් තිබුණි. එහෙත් එහි එවැනි ඉඟියක් නොවේ. 

කුමන හේතු මත වෙන් වුවද, වෙන්වීමට කවුරුන් ඉස්සර වුවද, ඔහු තුළ ඈ කෙරෙහි බැඳි පෙම නම් තවමත් නොවෙනස් බව පැහැදිලිය. එහෙත් තමන් තුළ එවැන්නක් නොවන බව ඈ කියනුයේ යම් උඩඟු හැඟුමකින් ද යුතුවය.

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

මේ යළි හමුවීම ඈට අපුළ වී ඇත්තේ, අන් උස් සහකරුවෙක් ලැබී ඇති බැවිනි. ඉන් ඈ තුළ යම් උඬඟු හැඟීමක්ද මෝදු වී ඇති බැවිනි. එසේ නොවුණා නම් ප්‍රතිඵලය කවරාකාර විය හැකි ව තිබුණේද? 

ඒ හමුවේ පළමු මිනිත්තු කිහිපය හුරු පුරුදු ප්‍රාර්ථනාවන්ගෙන් යළි එළිය කර ගන්නටත්, අවසන බිඳුනු හිතැතිව දිවියම අඳුරු කරගන්නත් ඔහුට සිදු වන්නේ ඒ බව ඔහුට කියන ඇගේ ස්වරයද නිසාවෙනි.

ගායනය - නිරංජලා සරෝජිනී
සංගීතය - නන්දා මාලිනී
ගී පද - දයා ද අල්විස්
ගීතය අසමු.



මේ අයුරින් ගිය අය යළිත් එන්නේ කයින් පමණක් නොවේ. සිතිවිලි ලෙසින් පැමිණෙයි. සිහින විලසින්ද පැමිණෙයි. සිසිලස ලෙසින්ද පැමිණෙයි. උණුසුම ලෙසින්ද පැමිණෙයි. සුළඟ ලෙසින්ද පැමිණෙයි. සුසුම් ලෙසින්ද පැමිණෙයි. හිරු කිරණ, සඳ කිරණ ඈ ලෙසින්ද පැමිණෙයි. මල් සුවඳක් සේද පැමිණෙයි. එවන් සියළු විධි වෙන වෙනම කැටිකොට ගීතයට නැගුණු අවස්ථා නැතිවා නොවේ. නමුත් සෘජුව මේ මාතෘකාවට අදාලව ඒ සියල්ල එකට කැටිකොට එවැන්නක් ලියවී ඇතිදැයි තවමත් මම සොයන්නෙමි.

කෙසේ වෙතත්, එලෙස වෙන්ව ගිය සිය පෙම්වතා සිහිනයකදී හමුවන ආකාරයේ කතාවක් සහිත ගිතයක් මා අතින් ලියැවී ඇත. ඒ ගීතය මගේ ගීයක් වන බැවින් එ් ගැන මෙහි ලියනවා ද නැතිද යන්න තරමක් කල්පනා කර යළි ලියන්නට සිතුවෙමි. මෙම තේමාවට අදාල ගීතයක් වන බැවිනි. එහෙත් මා මෙහි වඩාලාත් ලිවිය යුත්තේ අන් අයගේ නිර්මාණයන්ය යන්න ගැන මට අමතක නැත.

සිහිනයක් දුටුවා
නුඹත් එහි සිටියා
හැඳිනගන්නට බැරි තරම් නුඹ
වෙනස් බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා....

මෙය තේරුම් ගන්නට අපහසු තරමේ වක්‍රොක්තියෙන් යුත් ගීතයක් නොවේ. එහෙත් යම් සරල පැහැදිලි කිරීමක් කරමින් ඉදිරිට යනු කැමැත්තෙමි.

ඔහු වෙන්ව ගිය ඔහුව ඉන් පසුව මෙතෙක් සිහිනයෙන් වත් හමුව නොතිබුණි. එහෙත් එක් රැයක එක් සිහිනයක ඈ ඔහුව දකී. ඒ සිහිනයේ සිටින ඔහුව හඳුනා ගැනීමට ඈට එතරම් පහසු නොවෙයි. 

ඒ ඇයි?

ඔහු බොහෝ වෙනස්ව ඇති බැවිනි. 

ඒ 

ඔහු මහත් වෙලා

ඔහු කෙට්ටු වෙලා

ඔහුගේ කෙස් පැහිලා

ඔහු කළු වෙලා

වැනි ශාරීරික වෙනසක් ගැන අදහසකින් කියන්නක් නොවේ. මිනිසෙකු වශයෙන් ඔහුගේ පිරිහීම ගැන කියන්නකි.

ඔහු විසින් ඈව හැර දැමීම ගැන ඇය මේ වන විට හිත හදාගෙන ඇත. එහෙත් ඔහුගේ මේ අවරට වූ වෙනස ගැන නම් ඈට හිත හදා ගත නොහැකිය. එය ඈව සිහිනෙදිම හඬවන තරම්ය.

මම ඉකිගසා හැඬුවා
නුඹ එහෙත් ගී ගැයුවා
අරමයකි එහි නුඹේ කටහඬ
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා....

එදා ඈ හැඬී නම් සැනෙන් ඔහු ඇයව සනසනු ඇත. එහෙත්, මේ සිහිනයේදී, ඈ හඬත්දී ඔහු කළේ තුටු ගී ගැයීමයි. ඈ හට ඇති මහත් දුක එය නොවේ. එහි ඔහුගේ එදා හඬ ගිලිහී තිබීමයි. මේ හඬෙහි ගිලිහීම යන්නෙන් ඉඟි කරන්නේ කුමක්ද? මිනිසෙකු වශයෙන් වන ඔහුගේ පිරිහීමයි. ඈට ඉකි ගසා හැඬුමට නොසිතෙයිද?

නුඹ මලක් සේ පිපුණා
මම සිහිනයේ දුටුවා
අරුමයකි එහි නුඹේ සුවඳක්
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා

එදා ඈ සිත ඔහු මලකි. සුවඳ මලකි. අද, මේ සිහිනයේදීද, ඈ ඔහුව මලක් සේ දකී. එහෙත් ඇයට හැඬුම් යන කරුණකි. එහි ඔහුගේ සුවඳ නැත මේ ඔහුගේ සුවඳ ගිලිහී යාම තුළ යළිත් ඉඟි කරන්නේ මිනිසෙකු වශයෙන් වන ඔහුගේ පිරිහීමයි. ඈට ඉකි ගසා හැඬුමට නොසිතෙයිද?

රශ්මි සංගීතා යනු එකල ශාස්ත්‍රීය ගැයුම හාම බැඳුනු ගායිකාවක්, ආචාර්යවරියක් වූවාය. මම මගේ 

වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍රකුමරියේ කාටද නුඹගෙ ආදරේ
මටද ආදරේ 

ගීතයේ, චන්ද්‍රකුමාරිගේ හඬට පන දෙන්නට ඇයට ඇරියුම් කරණ විට ඈ ඊට එකඟ වුණේ දෙගිඩියාවෙනි. එහෙත්, ආරියසිංහයන් සමග එදා ගැයූ ඇගේ එම ගැයුමට අතිශය යහපත් ප්‍රතිචාර ලැබෙන විට සරල ගී ගැයුමට ඈ සිත තුළ වූ සෘණාත්මක හැඟුම් විසිර ගියේය. පසුව ඇය කළ සීත මිටියාවතේ ගීත සංග්‍රහයට මගේ ගීත දෙකක්ම ඉල්ලා ගත්තේ ඒ ප්‍රසාදාත්මක හැඟීම ඈ තුළ පැවැති බැවිනි.ඉහත සිහිනයක් දුටුවා ගීතය ඉන් එක ගීතයකි.

සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේය.

සිහිනයක් දුටුවා - නුඹත් එහි සිටියා ගීතය අසමු.


මේ තේමාවට ඇඳෙන ගීත ගොන්නකි. ලියන්නට මා සතු කාලය එපමණකින් වැඩි නැත. එහෙත් තව තව ගීත මතකයට වඩිමින් ඒ ගොඩට එක් වීමට පෙර ලියා අවසන් කළ යුතුය.

මේ සටහනට පෙර මා ලියූ සුගත් සෝමවීර කිවිඳුන්ගේ ගීත සංග්‍රහය පිළිබඳ සටහනේ ද සඳහන් කරන්නට යෙදුනු කොටසක් මෙහි යළිත් ඊට ආසන්නව සමාන වන ලෙසින් පළකරන්නට සිදුවීම ගැන කමන්න. ඊට හේතු වූයේ මේ මැයට අදාලව ලියැවුණු ගීත කිහිපයක් ගැන එහිද කතා කරන්නට සිදු වූ බැවිනි. එහෙත් එය එහි කතා කළ බැවින් මෙහි නොලියා සිටයහොත් මෙය අසම්පූර්ණ සටහනක් වනු ඇත. එබැවින් එය නොතකා මෙහිද ඒ ගී ගැන ලියා තබමි.

ධම්මික බණ්ඩාර කවියා සිය විශිෂ්ඨම ගීත එකතුවට එක් කළ මේ ගීතය මා හද මහත් පැහැර ගත් එකක් විය. එය එලෙසම මට ලියා ගන්නට බැරි වුණේ ඇයිදැයි මසිත දුකක් ඇති කරණ තරමට මට එය ප්‍රිය ගීතයක් විය.

ගීත රචනයට ප්‍රිය අයට අනෙකුන් ලියූ වෙසෙසින් දැනෙන ගීතයක් හමු වූ විට එවැනි හැඟීම් ඇති වේ. එය නිර්මාණ විෂයයෙහි වන ඉරිසියාව නොවේ. අර නිර්මාණය වෙත ඔහුගේ බැඳීම සහ ප්‍රසාදජනක බව ප්‍රකට වන සාධකයකි.

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

මේ ගීයට පෙර මට විමසන්නට හිතෙන්නේ මේ ගීයට බොහෝ කලකට පෙර අපි අසා තිබූ එදා සිට අද දක්වාමත් තවමත් එක සේම ප්‍රිය කරණ, එදා පළමු වරට ඇසුනු විට සේම ඒ විලසින්ම අප හදවත් අදත් කම්පනය කරණ ගීතයයි. මේ බලන්න ඒ ගීතය ඔබටත් එලෙසින්ම දැනෙන එකක් නොවේද කියා.

අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්

බොහෝ සේ පෙමින් බැඳී සිටියදී අනෙකා වෙන්ව ගිය කල, ඒ බොහෝ සේ පෙමින් බැඳී සිටි අයට දැනෙන මේ හැඟීම තුළ අපට කුමණ වූ වරදක් දැකිය හැකිද? මෙහි ලියා ඇත්තේ ඇත්තම ඇත්තය. ඒ අනෙකාට එය ලොකු බලපෑමක් නොවිය හැකිය. එහෙත්, ඇත්ත හැඟුමින්, විඳවමින් සිටින කෙනාට එය දැනෙනු ඇත්තේ මෙලෙසිනි.

ඔබ නාඳුනනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමු වී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

මා, පෙර, දෙදෙනා සසඳා කියූ දේ ගීතයේ මේ පාදයේදී සනාථ වන බව පෙනේ. අනෙකා නාඳුනන විරහ ගින්න තමන් පමණක් වින්ද බව කියන්නේ එබැවිනි. කාලෙකින් හමු වූ පසුවත්, අදත්, ඒ වේදනවා ඔහුට පමණමයැයි ඔහු සිතයි.

නිරපේක්ෂ ලෝකවල සරන, මහා උතුම් මනුෂ්‍යත්වයකින් හෙබි වෙසෙස් සත්ත්ව විශේෂයකිය තමන් ලෙස හඟවන අය “තමන් වේදනා විඳින්නේ නම් අනෙකා ද වේදනා විඳිය යුතුමය“ වැනි අදහසක් දනවන මේ කොටස නොවිය යුතුයැයි සමහර විට කියනු ඇත. එහෙත් සැබෑ ලොවෙහි මිනිසාට මේ හැඟීම් සාමාන්‍ය දෙයකි. අප එවැනි ලොවකදී වැරැදි යැයි කියනුයේ මේ මට්ටමට වඩා බොහෝ පහළට වැටෙන වෛරකාරී අදහස් වලටය.

සමුගන්නට නම් අහිමි ආදරෙන්
අයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ

මේ කොටස දුටු විට ඇති වන හැඟීම නම් ඔවුන් අහම්බෙන් නොව යම් උවමණාවකින් නැවත නැවත හමු විනිද යන්නයි. ඒ හමු වීම තුළිනුත් වේදනාව නම් ඔහුටම බවය ඉන් කියවෙන්නේ. ඊ ළඟ දේ නම්, මේ දෙවන හමු වීමේ වුව අවසන් ඵලය වෙන් වීම සහ එහි වේදනාව වන බවයි.

ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ

යන්නෙහි ඇත්තේ එය නැති නම් අන් කුමණ අරුතක්ද?
ගීතය අසමු.

ධම්මික බණ්ඩාර කිවිඳුන්ගේ ඔබ ආයෙමත් ඇවිදින් ගීතය ඇසූ සැනින් මට එක් වරම මතක් වූයේ ඉහත ජයමහ ශූරීන්ගේ ගීතයයි. මේ ගීතයේ අරුතද එයට බොහෝ සේ සමාන වන නමුත් එය ලියැවී ඇත්තේ හාත්පසින්ම වෙනස් අයුරකිනි. ගීතයේ සංගීතමය පාර්ශ්වය වුව අතිශයින් වෙනස් එකකි. එහෙත් දනවන හැඟීම නම් එයමය.

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

අමාරුවෙන් හිත හදා ගත් සැනින් ඇය යළිත් ආවේ නම් හදාගත් හිත කෙලෙස නම් පවතින්නද? එහෙත් ඔහු එය ඇගෙන් ප්‍රශ්ණ නොකොට ගීතයක් සේ ලියයි.

උන්නු දා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

මේ යළි හමුවීමට පෙර දිගු කලක් ඈ සිටියේ අත පොවනු බැරි මානයේය. ඒ දිගු කාලයේදී වුව, ඈ වෙනුවෙන් ඔහු නිදි වැරූ දවස් අපමණය. ඒ බොහෝ දවස් අවසනය යන්තමින් හිත හදා ගන්නට ඔහුට හැකි වූයේ. එහෙත් එසේ හිත හදා ගත් සැනින්, හදිසියේම ඈ ආපසු පැමිණියේ නම්, පැමිණ ඔහු මුණගැසුනි නම්, ඒ හදා හදාගත් හිත කෙලෙස නම් පවතින්නද?

දෑස් අග මල් පිපී සැළුනත් කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

මහාම ඛේදවාචකය නම් මෙයමය. ඈ ඔහුට මලක් නම්, අද අන් මල් සුවහසක් ඔහු වටා පිපුණේ වෙතත්, ඔහුට හැඟෙන්නේ ඒ කිසිදු මලක් ඈ මෙන් මුදු සුවඳවත් නොවන බවයි. ඒ තරම් ඔහු සිත හදා ගන්නට අසීරු අන් කරුණක් ඔහුට ඇතැයි සිතිය නොහැකිය. එලෙසින් අසීරුවෙන් හදා ගත් සිත සමග ටික දොහක් ගෙවද්දී හදිසියේම ඈ පැමිණියේ නම් අර හදාගත් හිත කෙලෙස නම් පවතින්නද?

ඩැනිස්ටර් පෙරේරාගේ තරමක් වේගවත් මුත්, හැඟීම සුරැකිව ඉතිරි කරගත් මියුරු සංගීතයට අමරසිරි පීරිසුන්ගේ ගැඹුරු හැඟුම් බර හඬ එක් වූ කල එය මොන තරම් සුන්දර ගීතයක්ව ඇතිද,

අපි එම ගීත අසමු.


මේ සමහර ගීත වල හඳුනාගත හැක්කේ සමාන අත්දැකීම් මත එම කව් ගී ලියැවීම හේතුවෙන් දසුන වන ළඟ නෑ දෑ කම්වල ලකුණුය. අවසන අපට ඒවාගේ මහත් සාම්‍යයක් පෙනෙයි. එවිට සමහර විට අත්දැකිම් වල සාම්‍යයට වඩා එම සමාන ළඟ නිර්මාණ සමීපව ඇසුරු කිරීම හේතුවෙන් ලද නිර්මාණාවේශය නිසා ඒවා ලියැවුණේදැයි හිතෙන මට්ටමට ඒ සමහර නිර්මාණ සමාන වෙයි. එහෙත් වෙසෙස් කවියන් අතින් නිමවන බැවින් යළිත් ඒවා එකිනෙකට වෙනස් නිර්මාණ සේ පෙනෙයි. 

රවි සිරිවර්ධන කවියාගේ අයෙමත් හමුවී ඔබේ ඇස් කාලෙකට පස්සේ ගීතය විමසන විට ඔබ ආයමත් ඇවිදින් ගීතයේ ඒ වදන් වලට සහ හැඟීම් වලට යම් සාම්‍යයක් දක්වයි. එහෙත් පසුව එහි අත්දැකීම් පරාසය සහ විහිදෙන ගැඹුර විමසන කල යළිත් එය වෙනස්ම ගීතයක් සේ පෙනෙයි. එය එසේ විය හැකිය. මක් නිසාද යත්, මේ සමාන අත්දැකීම් අත්විඳීම් ගෙන දෙනුයේ සමාන අකාරයේ වේදනාවන් නිසාය. එහෙත් කවියාගේ වියත් බව නිසා ඒවා වෙනත් නිර්මාණ සේ යළි පෙනෙයි.

ආයෙමත් හමුවී ඔබේ ඇස්
කාලෙකට  පස්සේ
නොසිතු සේ
හැඟුම් මහ වැසි ඇද හැලේ
ගිගුම් දී හදවත සැලේ
ආයෙමත් හමු වී

බොහෝ කලකට පසුව හදිසියේ නොසිතුව වෙලාවක වුණු මේ ඇසට ඇසක් හමුවීම ඔහුට දැනුනු විදිහ රවී මේ විදිහට ලියද්දී අපට දැනුනු දේ අනුව ඒ ඇත්තම හැඟුමම දැනුනා නම් හදවත පැලෙන තරමේ එකක් වනු නිසැකය. එහෙත් රවී සිරිවර්ධන කිවිඳුන් විසින් දුන් මේ රිදුම හොඳටම ප්‍රමාණවත්ය. එය අත් විඳිනු විනා අත්දකින්නට එවන් කිසිවෙක් ම කැමැති නොවනු ඇත. කෙසේ වෙතත්, මෙහි කවියාගේ විශිෂ්ඨත්වය මතු කරණ වෙසෙස් දෙයක් නම් ඔහුට මේ කවියේ

ආයෙමත් හමුවී ඔබේ ඇස්
කාලෙකට  පස්සේ
නොසිතු සේ
කඳුළු මහ වැසි ඇද සැලේ

ලෙසින් ද ලියන්නට තිබුණි. නමුත් ඔහු එහි ලියන්නේ කඳුළු මහ වැසි ලෙසින් නොව හැඟුම් මහ වැසි ඇද හැලේ යනුවෙනි. මේ හැඟුම් යන්න තුළ ඇත්තටම ඇත්තේ හඬන්නට බය පිරිමි කඳුළු විය යුතුමය. ගැහැණු කඳුළට හඬන, පිරිමි කඳුළට හිනැහෙන ලොවක එය එලෙස වීම වටහා ගත හැකිය. එහෙත් ගිගුම් දෙන හදවත සැලී සුසුම් ගඟුලක් නම් නිසැකවම පිට කරන්නට ඇත.

එදා සරසවි මාවතේ
රොබරෝසියා සෙවනේ
කතා කළ ඇස්මයි තාම ඔබගේ
කියාගනු බැරි යමක් තාමත්
දෙතොල් අග තෙරපේ

ගීතයේ මේ පාදය තුළදී කවියා සිය හැඟීම් තව තවත් වර්ධනය කරන්නට මිනිසුන්ගේ හදවතට සංවේදී සියුම් තැන් උකහා ගනී. එදා කතා කළ ඇස්මයි අදත් දුටුවේ යනුවෙන් කීමෙන් තාමත් ඔහු තම සිත තුළ ඈ තබාගෙන සිටින පිරිසිදු ස්ථානය පැහැදිලි වේ. නැති නම් ඔහුට එය දකින්නට හැකි වන්නේ අමුතු ඇස් දෙකක් විලසටය. ඔහු සිතට නැගෙන කියන්නද නොකියන්නද යනුවෙන් සිතෙන එහෙත් කියන්නට සිත් වුව කියාගනු බැරි දේ එසේ බැරිවීම තුළ ඔහුට කොතරම් නම් රිදුමක් වනු ඇතිද? සමහර විට එය කිසිදා වදන් බවට නොපෙරලී සදහටම ගොළු ව තිබෙණු ඇත.

එදා රඟහල භූමියේ
මට පෑව ඉඟිනළුවේ
සිනා මුව පියුමයි තාම ඔබගේ
නිමාවක් නැති පෙමක් තාමත්
කොපුල් මත කැළතේ

මේ ඔවුන් එකිනෙකා දෙස එකිනෙකා කෙරෙහි උවමණාවෙන් බැලූ, මතකයේ නොමැකෙන අයුරින් සටහන්ව ඇති පළමු දවස විය යුතුය. එදා නේද පළමු වරට ඈ සතු සුන්දරම සිනහව ඔහු දකින්නේ. අනතුරුව ඔවුන් ඇස් වලින් කතා කළ අයුරට නේද මේ පෑව ඉඟිනළුව ලෙසින් ඔහු හඳුන්වන්නේ. එදා ඒ සිනාවේ තිබුණු පිරිසිදු නැවුම් හැඟීමම හැර දා ගොස් සිටියදී යළි අහම්බයෙන් මෙලෙස හමු වූ විට ඔහුට දැනේ නම්, ඈ ඔහු තුළ සිටි පිරිසිදු අයුර කොපමණක්ද? ඈ හැර දා ගියේ එවැනි පෙමක් නොවේද?
මෙහි කවියා තවත් වෙසෙස් දෙයක් සඳහන් කරයි.

නිමාවක් නැති පෙමක් තාමත්
කොපුල් මත කැළතේ

නිමාවක් නැති පෙම කොපුල් මත කැළඹෙන්නේ කෙලෙසින්ද? කඳුළු යන වදනින් හැඳින්වූයේ නැති වුව ඒ ගලා යන කඳුළු නිසාවෙන් විය නොහැකිද?

මෙන්න මේ විලසින්ය, සමාන අත්දැකීම් සමහර විට සමාන වදන් යෙදුම් පවා යොදා ගෙන වෙනස් විදිහට කවියට නගන්නේ.

මේ සොඳුරු ගී පද වැලට මියුරු හැඟුම්බර තනුව සහ සංගීතය සපයන්නේ සංගීතඥ දර්ශන වික්‍රමතුංග විසිනි. එය ගයන්නට තෝරාගෙන ඇත්තේ වර්තමාන හැඟුම් ගැයුමේ ප්‍රමුඛයෙකු වූ හර්ෂණ දිසානායක ය. එය ඉතාමත් අනගි ගැයුමක් බවද සටහන් නොකොට බැරිය.

ගීතය අසමු.


මේ පද වැලටම තවත් බොහෝ ආසන්නයෙන් යන පද වැලක් මට හමු වූයේ ඉෂාරා උදයංගනී ගායිකාවගේ ආයමත් ඇවිදින් සිතට ඔබ යන ගීතයෙහිය.

ආයෙමත් ඇවිදින් සිතට ඔබ
ජිවිතේ නොසිතු වෙලාවක
සිත දුවන හැටි හැම වෙලාවෙම

නොකියාම ඇවිදින් වසන්තේ
නොකියාම ගිලිහෙයි මලක් සේ
මට තාම සුවඳයි අතීතේ
හිත තාම හිරවෙයි ගලක් සේ

එකිනෙකට සමීපව යන පළමු ගී දෙක තරම් හැඟීමක් දෙන්නට මෙම රචනය සමත්ව නැති වුවත් එය අදාල තේමාව විසින් සමාන අත්විඳුම ඇති හදවත් වල හැඟීම් ජනිත කරන්නට සමත් වන බව කිව යුතුය.

ගීතය අසමු.

සටහන තවත් දිගට ලිවිය නොහැක්කේ මේ අත්දැකීමැති ගීත තව කොතෙකුත් වන නිසාවෙනි. එහෙත්, සුගත් සෝමවීර කවිය‍ාගේ අතිශය සුන්දර මේ  ගීය පසෙක ලා සටහන නිමා කිරීමට හිත ඉඩක් නොදේ.

අලුත් වත්සුනු සුවඳකින් සැරසී
ඔබ ආයෙමත් ඇවිදින්
පුරුදු සුසුවඳ
තවම සිත පතුළේ ඉකිබිඳී
කඳුළකට මුවා වී

මේ ගීයෙහි වෙන්ව යළි හමුවන ඈ හමුවන්නේ පුරුදු සුවඳ සමගින් නොව අලුත් වත්සුනු සුවඳක්ද සමගිනි. එහෙත් ඒ අලුත් සුවඳ අභිබවා ඔහුට දැනෙන්නේ තමන්ට හුරු දුරුදු ඇගේ සුසුවඳය. ඒ දැනුම ඔහු සිත තුළ අවුළුවන ගින්නකි. එහෙත් එය දන්නේ දැවෙන ඔහුම පමණි.

මතක මං කඩ බොර කරණ සුසුමේ
සෙනෙහෙ දිය තවරා
නිහඬ වූ පෙම් දැහැන බිඳගෙන
නිදන සිත හඬවා
ඔබ ආයමත් ඇවිදින්

මෙහිදීද සිදුවන්නේ හදා ගත් සිත කඩා බිඳ වැටීමය. මෙවැනි අයෙකු සිය සිත හදාගන්නට කොතෙක් නම් වෙහෙසක් ගන්නට ඇතිද? ඊට පෙර අපමණ දුකක් විඳින්නට ඇතිද? එහෙත් එසේ අසීරුවෙන් හදාගෙන නිහඬ වූ සිත පාරාගෙන ඇය අයෙමත් පැමිණ ඇත.

සුගත් සෝමවීර කවියා මෙහිදී ගන්නේ මහත් විසල් අභියෝගයකි. ඔබ ආයෙමත් ඇවිදින් යන පද පෙළ එලෙසින්ම තබා ගනිමින් ඔහු එම අත්දැකීමම පාදක කොටගෙන වෙනස් නිර්මාණයක් කිරීමේ අසීරු අභියෝගය සීරුවෙන් ජයගෙන ඇතැයි කිව හැකිය. ඇත්තකි. එකම අත්දැකීම අත්විඳීම කවියන් දෙදෙනෙකුටම ලැබිය නොහැකි දෙයක් නොවේ. එහෙත් දෙදෙනාම කවි ලියන විට එකිනෙකා අතින් ඒ කවි වෙනස් වන සියුම් විදිහ මෙයයි.


සිහින ඇවිලී
අහිමි වූ පැතුමේ
විසිරි අළු අතරේ
සොරා ගෙන ගිය සිහින අරගෙන
අතීතය පාරා
ඔබ ආයමත් ඇවිදින්

අතීතය පාරා වේදනා සයුරක් මවා ඈ ඔහුගෙන් සොරාගෙන ගිය සිහිනයන්ම රැගෙන ඈ ආයෙමත් පැමිණ ඇත. අතීතයේ පාරා ගිය ඈ යළි පැමිණ වත්මනද අනාගතයද පෑරුමට මගක් පාදා ඇතිද? එය දන්නේ කවියා පමණමය. නැති නම් කවියාට මුවා වුණු අර පෙම අහිමි පෙම්වතා පමණකිය.

මේ සොඳුරු පද පෙළට උත්තර භාරතීය රාගාශ්‍රිත පදනමක් යොදමින් ශක්තිමත් කර සොඳුරු පෙළහරක් පාන්නට සංගීතඥ සුනිල් දයානන්ද කෝණාරයන් සමත්ව ඇත. ඔහුගේ ඒ වෙසෙස් නිර්මාණය සුපැහැදිලි, හැඟුම් බර හඬින් ගයන්නේ කිත්සිරි ජයසේකර ගායකයා විසිනි. එය ඉතා අගය කළ යුතු දායකත්වයකි.

ගීතය අසමු.

නිමාවට පෙර යළිත් මගේම රචනයකින් නිමැවුණු ගීතයක් ගැන කියා සටහන නිමකිරීමට ඉඩ දෙන්න. මේත් වෙන්ව ගිය අයෙකුගේ  යළි හමුවීමක් ගැන වන සිතුවිලි ධාරාවක් මත ලියැවුණු ගීතයකි.

නොලැබ නුඹෙ සෙනේ දිවි දිය
කිඳුරා මියැදුනා
දැන් කඳුළු වලින් පලක් වේද
කින්නරාවියේ
කින්නරාවියේ

මෙහිදී ඉඟි කරණු ලබන්නේ ප්‍රේමයේ වියෝවින් ආතුරව ජීවත්ව මිය ගිය පෙම්වතෙකුගේ දෙණ අසලට පැමිණ වැලපෙන පෙම්වතියක් ගැන කියැවෙන ආකාරයටය. එහෙත් එය ලියන මොහොතේ, සැබැවින්ම ජීවත් වන ඔහුව මරා දමන්නට මට ඇවැසි නොවුණි. නමුත්, ජීවත් වුවත් මළා හා සමාන ඔහු ජීවත්වන අයුරින් ලියන්නටද නොසිතුණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ එසේ කය ජීවත් වන සිත මිය ගිය ඔහුට ඈ මුණ ගැසීම, මිය ගිය ඔහුගේ මරණය අභියසට ඈ ආවාක් බඳු හැඟීමක් සහිතව නිවැමුණු ගීතයක් වීමය.

අද බොහෝ සේ කඳුළු හෙළන ඈ තුළ ඇති නිෂ්ඵල බව කියන්නා වූ ගීයක් විලසිනි.

එසේ යළි හමුවන ඈ ඔහු වෙනුවෙන් කඳුළක් හෙලයි. ඔහු එම කඳුළ ප්‍රශ්ණ කරයි.

දැන් කඳුළු වලින් පලක් වේද
කින්නරාවියේ
කින්නරාවියේ
කිඳුරා මියැදුනා.......

ඔහු එය ගැන පැණසර වන්නේ එලෙසිනි.

නිල් නෙත්ද
අනොතත්ත විලද
ඔය ගලා හැලෙන්නේ කඳුළුද ආදරයද
ආදරය වුණත් පලක් වේද කින්නරාවියේ....?

අනෝතත්ත විල නම්, කවුරුන්වත් දැක නැති, හිමාල අඩවියේ ඇතැයි විශ්වාසයේ පමණක් පවතින විලකි. එය කුතුහලයකි. අරුමයකි. වටහා ගත නොහැකි එක්තරා ප්‍රහේලිකාවකි. කඳුළු වගුරුවන මේ නීල ඇස් ද ඔහුට එවැනිම විය. නිල් නෙත්ද අනෝතත්ත විලද යනුවෙන් ඔහු විමසන්නේ එබැවිනි.

එහෙත්, දැන් පලක් නොවුණද, ඇය හඬනු දැක ඔහු සිත සංවේදී වෙයි. ඔහු ඇගන් යළි විමසයි. මේ ඇගේ අභ්‍යන්තරයේ හැබෑ සිතිවිලිද

ඔය ගලා හැලෙන්නේ කඳුළුද ආදරයද?

ඇය හඬනුයේ ඇත්තටම නම්, ඒ ගලන්නේ කඳුළු නොව ආදරය විය යුතුය. එහෙත් මිය ගිය ඔහු සිතට පන දෙන්නට ඒ ආදරයට අද හැකිද?

සිත් මලද
මලේ සුවඳ පොදද
ඔය උතුරා යන්නේ සුසුම්ද
ආදරයද
ආදරය වුණත් පලක් වේද කින්නරාවියේ
කින්නරාවියේ.....

පලක් නොවුණද, ඇය සුසුම්ලනු දැක ඔහු සිත සංවේදී වෙයි. ඔහු ඇගන් යළි විමසයි. මේ ඇගේ අභ්‍යන්තරයේ හැබෑ සිතිවිලිද? 

සිත් මලද
මලේ සුවඳ පොදද 

යනුවෙන් අසනුයේ එබැවිනි.

ඔය උතුරා යන්නේ සුසුම්ද ආදරයද?

ඇය සුසුම්ලනුයේ ඇත්තටම නම්, ඒ උතුරන්නේ සුසුම් නොව ආදරය විය යුතුය. එහෙත් මිය ගිය ඔහු සිතට පන දෙන්නට ඒ ආදරයට අද හැකිද?

මේ ගීතය මවිසින් ලියුවේ බොහෝම ඉස්සර දවසකය. ඒ එවන් වෙන්වීමකට පසුව වූ එවන් හමුවීමක් හේතුවෙන් නම් නොවේ. එවන් හමුවීමකින් තොරව, එහෙත්, එවන් අවස්ථාවක් උදාවූවෙකුගේ මනෝභාවයට පිවිසෙමිනි. 

එම ගීතය තමන්ට සුදුසුය යවුවෙන් සිතා ගැයුමට තෝරා ගත්තේ මිතුරු ඉමාන් පෙරේරාය. මගේ හැඟුමම සිය හැඟුම කරගනිමින් එය මටම අවැසි විදිහේ සංගීත නිර්මාණයක් බවට පත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. ඒ හැඟීම මට අවැසි විදිහටම ඉතා හොඳින් ඉමාන් විසින් ගැයූවද මේ ගීතය ගැන දන්නෝ නම් අල්පය. එහෙත් ඒවා එහෙමය.

අපි ඒවා පසෙක තබා ගීතය අසමු.



මේ බ්ලොග් අඩවියේ සටහන් වල, එකෙකුගේම වෙනස් වෙනස් ගී ද කිහිප දෙනෙකුගේ සමාන හැඟුම් දෙන ගී ද ඈ වශයෙන් අප සංවේදී වන ගීත කුලකයන් ගැන කතා කරමින් සිටින්නෙමු. ඒ නයින් ගත් කල, අද ගීත තුළ මතු කරණ හැඟීම විවිධ නිර්මාණකරුවන් අතින් එකම රසයක් දෙන්නට කොපමණ විචිත්‍රව නිමැවී ඇති දැයි යන්න පුදුමාකාරය. ඊට යම් හේතුවක් තිබිය හැකිය. මේ බොහෝ දේ සමහර විට අත්විදීම් වලටත් වඩා අත්දැකීම් ම වන්නට ඇති ඉඩ නිසාය.

යළිත් හමුවන තෙක්,
මම,



- යසනාත් ධම්මික බණ්ඩාර -

3 comments:

  1. බොහොමත්ම ස්තූතියි යසනාත්!!

    ReplyDelete
  2. මං විතරක් ඇවිත් මොටද - නුඹ නොඑනා මල් යායට

    අපූරු තේමාවක්.එක්වීම,වෙන්වීම. නැවත මුණ ගැසුනාම .............

    ReplyDelete
  3. ඔබ එන්න - ඔබ ඇවිත් යන්න එන්න.....

    ReplyDelete