මෑතකදී මහද වෙසෙසින් කැළඹූ ගීතයකි. එය එය කොතෙක් අලුත්ද
කොතෙක් පැරණි දැයි මම හරියටම නොදනිමි. ඒ ගැන සොයන්නටද නොයමි. නමුත් බොහෝ දෙනෙක්
මෙතෙක් එය අසා නැති වග පමණක් දනිමි. ඒ කාගේ වරදකින්ද?
හොඳ ගීත හොඳ රසික සවන් පත් වෙත යාමේ මාවත බොහෝ සේ ඇහිරී
ඇති බැවිනි.
ඔව්. දැන් ඔබට පැණයක් ඇති වග මම දනිමි.
නොහොඳ ගීත රසික සවන් පත් වෙත යාමේ මාර්ග බොහෝ සෙයින්
විවරව ඇතිදැයි ඔබ අසනු ඇත. එයට පිලිතුර ඔව් යන්නය.
අද වන විට සංසංදනාත්මකව ගත් විට නොහොඳ ගීත වෙනුවෙන් යෙදවෙන
මාධ්‍යයන්ගේ ඉඩකඩ හොඳ ගීත වෙත ලැබෙන ඉඩට වඩා බොහෝ සෙයින් වැඩිය.
හරියට මන්දිරයක් සැදීමට මුදල් ඇති අයට ඇත්තේ පර්චර්ස් 15කි,
පැළක් සෑදීමටවත් මුදල් නැති අයට අක්කර 15ක් තිබේ වැනි සේය.
මෙය ඉඩකඩම් මිල මුදල් වලින් නොගන්න. වපසරිය ගැන පමණක්
හිත යොමන්න.
අපි දැන් අර කී ගීය ගැන විමසමු.
එය
දීපිකා ප්‍රියදර්ශනී
පීරිස්
ගේ ගැයුමකි.
නිකන්ම ගැයුමක් නොවේ.
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ හද සසල
කරණා ගැයුමකි.
එය පුතෙකු ගැන ගීතයකි.
එය තමනට අහිමි වූ පුතෙකු ගැන
මවක ගයන්නාසේ ගැයෙන ගීතයකි.
එය පුතෙකු ගැන ගීතයකි.
එය පුතෙකු අහිමි වූ පියෙකු ගේ හද දුක හඳුනා ගත්
පියෙකු විසින් ලියන්නාක් සේ ලියූ ගීතයකි.
එසේම එය විසල් ඛේදවාචකයක් පිළිබඳ ගීතයකි.
මතක ඇති ඉතිහාසය තුළ අප රටට වන් විසල්ම ඛේදවාචකය
පිළිබඳවද ගීතයකි.
කෙසේ වෙතත් එම ගීතය වෙත සෘජුව පිවිසීමේ අදහස මගෙන්
බැහැරට රැගෙන යන්නේ එම ගීතයේ හැඟුම හා බැඳෙද්දී එය මවෙත මතක්කොට දෙන වෙනත් ගීතයක් නිසාවෙනි.
මෙහිලා එම ගීතයද විමසමින් මේ ගීතය ගැන සඳහන් කිරීමට මම සිතමි. මගේ රචනා ශෛලිය ගැන
දන්නා අය එය අමුත්තක්කොට නොගනිනු ඇත.
මතකයට නැගෙන එම ගීතයද
දීපිකා ම ගැයූ එකකි.
එම ගීතය ලියූවේ
කුමාර
ලියනගේ
නම් කවියාය.
කුමාර ලියනගේ නම් මගේ මිතුරාය.
සංගීතවත් කළේ
ආචාර්ය
රෝහණ වීරසිංහ
යන්ය.
එහෙත් මේ මිතුරුකමක් නිසා, වෙන ගීතයක් ගැන කතා කරණ තැනක
අන් ගීතයක් විමසීමේ වෑයමක් නොවේ.
අපි මේ ගීත විඳින විට කරණුයේ හැඟුම් ගනුදෙනුවකි. පළමු
නිර්මාණකරුවා වන රචකයා සංගීතඥයාගේ හැඟුම් සංවේදනය කරවයි. ඔහුගේ හැඟුම් මත බිහිවන
තනුව සංගීතය සහ අර මුල් රචනයේ අන්තර්ගතය ගායකයා හෝ ගායිකාවගේ හෝ හැඟුම් සංවේදනය කරවයි. ඒ හැඟුම්ය
තිදෙනාගේම එකතුවක් ලෙස රසිකයා වෙත රැගෙන යන්නේ. එසේ රැගෙන යන හැඟුම් සමුදාය අනුව
අවදිවන රසික සිත්හි හැඟුම් විවිධ මානයන් තුළ විහිදෙයි. ඒ ඒ මානයන් තුළ විහිදෙන විට
විවිධ වෙනත් සමාන හැඟුම් හා වෙනස් හැඟුම් දනවන ගීත ද මතකයේ නැගෙයි. එවිට ඒවා ගැන
අමතක කොට දමා යාමට සමහර විට අපට නොසිතෙයි.
අර ගීය අස්සේ මතකයට නැගුණු මේ ගීය ගැන කතා නොකොට නොයන්නේ
එබැවිනි.
තෝර පෙතියි අර වැට ළඟ නිදන්නේ
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ
මවකගේ මේ පැණය අළු කොබෙයියන්ටය.
ඒ තවමත් තම සෙවනට නොවැඩි සිය පුතු ගැණය.
ඇය අසන්නේ
මන්ද මපුතු මගෙ දෝතට නොදෙන්නේ යනුවෙනි.
සිය සෙවනින් පිටතට ගිය දරුවෙක් යළිත් සිය සෙවනට පැමිණීම
මවකට සිය දරුවා සිය දෝතට වැඩියා වැනි හැඟීමකි.
මේ හැඟීම ඇයට දැනවීමට දරුවාගේ වයස අදාල නැතැයි මට සිතේ.
දරුවෙක් කුසට පැමිණි ද සිට සිය ඇස් පියැවී දරුවන් හැර යන්නට සිදුවන දා දක්වාම ඇගේ
හැඟීම එයම ය.
ඇය සිතනුයේ අළුකොබෙයියන්
විසින් සිය පුතු සිය දෝතට නොදන බවයි.
බිඬර කළුවරට ගම් දොර බියේ නිදි වරා
පැලේ මිණි පහන රැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයිද පෙම්බරා
මෙහි යෙදෙන මේ බිඬර කළුවර යනු
කුමක්ද?
බිඬර යනු බිණර යන්නට
ගැමි ව්‍යවහාරයේ යෙදෙන විදිහකි. මේ බිණර කළුවර නම්
මෙරටේ අඳුරුතම කාලපරිච්ඡේදයක් වෙනුවෙන් යෙදූ සංඛේතාත්මක පදයකි.
මේ බිණර කළුවරට මුළු
ගමම සලිත වී ඇත.
පැළෙන් පිටත වියරු සැඩ සුළඟකි.
බියෙන් සලිතව ඔවුන් සිටිනුයේ නිදිවර්ජිතවය.
නිදිවර්ජිත ඔවුනගේ ප්‍රයත්නය සිය ගෙපැළේ අඳුර දුරලන මිණි
පහණ රැකගැනීමටය.
එහෙත් එය නිෂ්පල ප්‍රයත්නයක් වනුයේ හදිසි සැඩ සුළඟ පැළේ
දොර කවුළු විවරකොට පැමිණ ඒ පහන නිවා දමනා බැවිනි.
ඒ පහණ යනු කුමක් සදහා වන සංඛේතයක්ද?
දැන් ඉතින් ඔවුනට උරුම සදා අඳුරය.
කලකින් මේ බියකරු බිඬර කළුවර ඉකුත්
වී ගියේ වුව, යළි දුරුව නොයන සැඩ අඳුරකි එය. ඒ කුමන වූ අඳුරක්ද?
මේ සියල්ල සංඛේතයන්ය. අප අත්දුටු ඉතිහාසයේ අඳුරුතම,
බියකරුම, කෘෘරතරම යුගයේ රුදුරු බව හඟවන සංඛේතයන්ය. එහෙත් එහි තෙවැනි පාදයෙන් රසිකයින්
වෙත යම් ඉඟියක් දෙයි.
කොයිද පුතු කොයිද නාවේ ඇයිද පෙම්බරා
කොබෙයියනේ
අළු කොබෙයියනේ
බලෙන් ඇතුළු වූ සැඩ සුළඟ නිවා දැමූ පහණ කුමක්දැයි දැන්
පැහැදිලිය. සිය පැළට එළිය දුන් මිනි පහණ සිය පුතුන්ම ය.
දැන් කෙනෙකුට මේ නම් කුමණ අයුරේ කෘෘරතර යුගයක්දැයි
විමසන්නට සිතෙනු ඇත. ඒ, අද සිටින අලුත් පරපුරේ බොහෝ
දෙනෙක් මේ ගැන සිහිනයක සේයාවක් වැනි හැඟීමක්වත් නොමැති බැවිනි. ඔවුනට යම් කලක යම්
බියක් දැනුනිද ඒ දැනුනු භීතිය අප විඳි මහමෙරක් වන් බියකරු අත්දැකීම් අත්විඳීම්
අභිමුව ගඩොලක් බඳුය. එහෙත් ඔවුනට නම් ඒ ගඩොල අර මහමෙරට වඩා විසල් එකකි.
ඒ, නොදන්නා බැවිනි.
එහෙත් මේ ගීතය ලියන කුමාර
ලියනගේ ද, මේ සටහන ලියන යසනාත් ධම්මික බණ්ඩාර
නම් වන මම ද, ඒ කාලයේ තාරුණ්‍ය ගෙවූ අප දෙදෙනාගෙන් පරිබාහිර අන් බොහෝ අය ද, මේ
රුදුරු බියකරු බිඬර කළුවර ගෙවූ අය බැවින් ඒ
සිත සලිත කරවන හැඟීම කුමක්දැයි දනී.
යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා
තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පින්සරා
අනතුරුව ඇත්තේ සැමදා රෑ නින්දෙන් අවදිව සිය පුතුන්
වෙනුවෙන් වැලපෙන ඔහු මවගේ රුදුරු අඳුරු දිගු රාත්‍රීන්ය.
කොතැනක ගෙන ගියේද, කොතැනක සැඟවීද, මැරුණේද තවමත් ජීවතුන්
අතර සිටීද යන දෙගිඩියාවෙන් සුසුම් ලන, කවදා හෝ පැමිණ යළි සිය දෑස් මත පිපේය යන නොනිමි
පැතුමින් සිටින පියවරුන්ගේ රුදුරු අඳුරු දිගු රාත්‍රීන්ය.
තමන් මෙලොව එළිය දුටු කුසින් ම මෙලොව එළිය දුටු, තමන්
සමග එකට හැදී වැටුණු සිය සොහොයුරා පිළිබඳව හද කකියන මතකයන් සමග හූල්ලන සොහොයුරන්ගේ
සොහොයුරියන්ගේ රුදුරු අඳුරු දිගු රාත්‍රීන්ය.
ඔවුන් සියල්ල සිය පුතුට සිය සොයුරාට යළි තමන් අතරට
වඩින්නැයි ආරාධනාතමක කවි සී පද නිබඳ ගයනු ඇත.
සෙත් ශාන්ති පතනු ඇත.
ශක්තිය ධෛර්යය පතනු ඇත.
සැඟවුනේ මිස මිය ගියේ යැයි නොසිතනු ඇත.
එහෙත් ඒ සියළු හැඬුම් වැලපුම් මුසු ප්‍රාර්ථනාවන් මෙහි
ඇසෙන්නේ මවගේ හඬිනි.
මවගේ හඬෙහි ගැබ් වුණු අනු හඬවල් ඇසීමය රසිකත්වය කියන්නේ.
මේ ගීතයේ අරුත මතු කරමින් හද සසලන්නට සමත් තනුව හා
සංගීතය ආචාර්ය රෝහණ
වීරසිංහයන්ගේ බව මම කීවෙමි. මෙවන් ගීතයකට මීට වඩා වෙනත් සංගීත සංයෝජනයක්
තවත් නොවෙතැයි සිතෙන තරම් ප්‍රබලව එය මතු කරන්නට ඔහු සමත් වෙයි. එම පද රචනයේ අදහස,
තනු සහ සංගීත රචනයෙන් උත්කර්ෂයට නැගුණු කල, එය ගැයුමට නිසි හඬින් වෙසෙස් ගැයමක්
ඉදිරිපත් කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ය. ඇගේ ඒ ගැයුමද එම ගීය ගයන්නට ඊට වැඩි හඬක් නැතැයි හිතෙන තරම් ප්‍රබලය.
ළයාන්විතය. හැඟුම් බරය.
විශේෂම දෙය නම් මේ ගීය දීපිකා
ගයන්නට යෙදෙන්නේ වසයින් එතරම් මුහුකුරා නොගිය තරුණ වයසේදීමය. අවුරුදු විසි
ගණන් වලදී ය.
අපි අළු කොබෙයියනේ ගීත අසා
සිටිමු.
දීපිකාගේ ම අපේ අද දවසේ
විමසුමට පාත්‍රවන මුඛ්‍ය ගීතය එසේ රකුස් වෙස් ගත් (නො)මිනිසුන් විසින් පැහැර ගෙන
ගිය පුතෙකු ගැන නොවේ.
රකුසු වෙස් ගත් වෙනත් බලවේගයක් විසින් ඇදගෙන ගිය පුතෙකු
ගැනය.
එසේ ඒ පුතු ඇදගෙන ගියේ කවුදුරුන්ද? පළමු පද විමසීමෙන් එය
වටහා ගත හැකි වෙයි.
මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
වැල්ලෙ තැන තැන නටපු මගෙ මාළු පැටියාව
මහ මුහුද මට හොරෙන් ගෙනිච්චා.....
පද පෙළෙහි ගැඹුරට කිමිදීමට වඩා මේ පදපෙළෙහි සමහර වචන
යෙදුම් ගැන මුළින් කතා කරන්නට සිතෙයි.
මේ ගීය ලියන්නේ ගීත රචනයෙහි පමණක් යෙදෙන නිර්මාණකරුවෙකු
නොවේ. ඔහු ගීත රචකයෙකු වන්නට පෙර අද දක්වාම කවියෙකි. ඒ කවියාය ගීතය ලියන්නේ.
එබැවිනි ඔහු මෙසේ ලියන්නේ.
මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
ඔහු ගීත පමණක් ලියන අයෙක් වී නම් සමහර විට මේ දෙපද මීට
වඩා වෙනස් ලෙසින් ලියන්නට උත්සාහ කරණු ඇත. එහෙත් ඔහු තුළ සිටින කවියා මෙහි මතුව
ඉලිප්පී ගීත රචනයට මදක් ආගන්තුක කවියට වඩාත් සමීප මේ ආකාරය ගීතයට දායාද කර ඇත.
මට නම් එය විශිෂ්ඨය. අවංකය. නිර්ව්‍යාජය.
ඒ ඔහුට සැබෑවටම දැණුනු ආකාරයට වඩාත්ම සමීප ස්වරූපයයි.
එය අනවැසි ලෙසින් මටසිළුටු කොට අවංක බවින් වැඩි ඈතක ගෙන
ගොස් නැත.
මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා කිව්වාම ඒ වියරුවෙන් වෙරළ වෙත ඇදී ආ උදම් රළ විය
යුතුය. වියරුවෙන් ඇදී ආ ඒ වියරු උදම් රළ ගැන ඒ මොහොතේ ඔහුට පෙනෙන්ට ඇත්තේ මහ
මුහුදේ සිට වියරුවෙන් නැගිට වෙරළ කරා ඇදෙන දිය රකුසකු මෙනි. මෙසේ නැගිට වියරුවෙන්
ගොඩ බිමට ඇදී ආ දිය රකුසා සියල්ල සුනු විසුනු කරමින් ගොඩබිමෙත් මහ දුරක් ඇවිද්ද
නිසා නොවේද මේ විපත්තිය. එබැවින් එය ඔහු එසේ ලිවීම මට නම් ප්‍රසාද ජනකය.
එසේම ඔහු තුළ සිටින ගීත රචකයා අවදි වී ඔහු තුළ සිටින
කවියාගේ කැමැත්තකින් තොරව එය උදුරාගෙන වඩා මටසිළුටු කරන්නට නොසිතීම එක්තරා නිර්භීත
කමකි. ඔහු වඩාත් අවංක, අනවැසි විදිහට පිරිපහදු නොකළ නිර්මාණයය සංගීතඥයා වෙත
ගෙනියන්නේ.
හරියට සුදු සීනි වෙනුවට රතු සීනි වැනිය. සුදු සීනි සුදුය.
පැහැදිලිය. රතු සීනි මදක් අඳුරුය. දෙකම රසය. නමුත් සුදු සීනි සාපේක්ෂව අහිතකරය.
යළිත්, මේ සීනි කතාව කවියත් ගීත රචනයත් අතරේ ගැටුමක්
මැවීමට නොවේ. නමුත් ගීත රචකයා කවියෙකු වන කල එහි රස වෙනස් බව කීමටය. ගුණ වෙනස් බව
කීමටය.
මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
වැල්ලෙ තැන තැන නටපු මගෙ මාළු පැටියාව
මහ මුහුද මට හොරෙන් ගෙනිච්චා.....
අර කී ලෙස වියරුවෙන් නැගිට, වියරුවෙන් ගොඩ බිමට වැද,
වියරුවෙන් ගොඩ බිමේ ඇවිදි උදම් රළ ගෙන ගොස් ඇත්තේ මාළු පැටියෙකි. මාළු පැටියෙක්
වන් අහිංසක පුතු පැටියෙකි.
මේ අම්මා තාත්තා වෙරළ ඇසුරේ ඉපදුනු වෙරළ ඇසුරේම හැදුණු,
වෙරළ ඇසුරමේ වැඩුණු, වෙරළ ඇසුරේම වැටුණු (මෙහි වැටුණු යනු ඇදවැටුණු යන අර්ථය නොවේ),
වෙරළ ඇසුරේම වැටී එහිම ජීවත් වන යුවලකි.
ඔවුන් ජීවත් වෙන්නේ මසුන් මරා මසුන් විකිණීමෙනි. එහෙත් එසේ
වූ පමණින් මාළු පැටවෙකු කෙරෙහි ඇති සංවේදී කම ඔවුන් තුළින් ගිලිහී නොගොස් තිබෙන
හැඩ. මසුන් මරා ජීවිතය ගැටගසන, සිය දරුන් රකින ඔවුන්ට සිය හුරතල් සිඟිති පුතණුවන් ද
අහිංසක මාළු පැටවෙකු ලෙසින් ම පෙනුනු හැටි.
සුනාමි ව්‍යසනයෙන් මොහොතකට පසුව, දිය රළ විසින් ඇදගෙන
ගිය සිය පුතුන් දූවරුන් සොයුරු සොයුරියන්, මවු පියන් හොයමින් වෙරළේ උමතුවෙන් මෙන්
එහෙ මෙහේ දිව යන සමීපතමයින්ගේ ස්වරූපයය මේ මවගෙන් පියාගෙන් මැවෙන්නේ. ඔවුන්
ඔවුන්ගේ කවුරුන් හෝ වේවා, ඔවුන් සැමකෙක් තුළම තිබෙන්නට ඇත්තේ එකම කැළඹීමකි. එකම කඩා
විටීමකි. එකම හැඬුම් වැළපුම් සාගරයකි.
මේ ගීතය ඇසූ පළමු වතාවේම මට පපුව හිරවෙන්නාක් මෙන් හැඟුනි.
දෙනෙත් තෙත්වීගෙන ආවේ සැනිනි. අනතුරුව මහා පාළු මූසල හුදකලාවක අතරං වුණු බවකි.
මේ අන් දරුවෙකු නොවේ. මා දරුවෙකුමය යන හැඟීමකි.
කවියක් මේ තරම් රසික හදවත් ශෝකයෙන් බර කරයි නම් ඒ සැබෑ
හැඟීම කවරාකාර වන්නට ඇතිද?
දිය වැලට අසුවෙලා කළු ගලක වැදුණාද
මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද
මුහුදු පතුළේ අපව හැම තැනම සෙව්වාද
මාළුවන් වටවෙලා නුඹ එක්ක හැඬුවාද
නුඹ එක්ක හැඬුවාද
ගසා ගෙන ගිය දරුවා කුමන අයුරේ දැඩි වේදනාවන් විඳින්නට
ඇතිද යන්න ජීවත් වෙන අය නිතර නිතර නොසිතන්නේද? මේ අම්මා තාත්තාද එලෙසින්ම එය මෙනෙහි
කරයි. එහෙත්, ඔවුන් එය මෙනෙහි කරන්නේ මහා ලොකු කතාවක් ලෙස කියමින් නොවේ. යාළු
මාළුවන් හා සම්බන්ධ කරමිනි. එහෙත් රසිකයා තුළය ඒ පුංචි කතාව විසල් ගින්න
අවුලවන්නේ.
මෙහිදී රචකයා යොදා ගන්නා ගම්මු වහරණ බසද ප්‍රසාද ජනකය.
මගෙ රත්තරන් පුතේ නොකියා
මයෙ රත්තරන් පුතේ කියන්නේ එබැවිනි.
හොඳටම නොකියා හොඳටෝම කියන්නේ එබැවිනි.
ඔහු එයින් එම වචනයට
අතිරේක බරක් දෙයි.
හොඳටම රිදෙනවාට වඩා හොඳටෝම රිදුම සැඑ වැඩිය.
ඒ කවීත්වයේ විශිෂ්ඨත්වයයි. අන් යමක් නොවේ.
දිය වැලට අසුවෙලා කළු ගලක වැදුණාද
මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද
මුහුදු පතුළේ අපව හැම තැනම සෙව්වාද
මේ පද පේලි තුන කියන කතාව මවන්නේ මොන තරම් දුකක්ද?
ගින්දරක්ද?
අන්ත අසරණ බවට පත්ව මියෙන්නට මොහොතකට පෙර ඔහුට සිය
සමීපතමයින් ගැන මතක් වන්නට ඇත. එහෙත් ඒ කිසිවෙක් තමන් තනිව දුක් විඳින වේලේ තනියට
නැත. ඔහුට ඇති වන්නට ඇති ඒ තනිකම ගැනද මේ මව පියා දන්නේ, එබැවිනි මෙලෙස අසන්නේ.
මාළුවන් වටවෙලා නුඹ එක්ක හැඬුවාද
නුඹ එක්ක හැඬුවාද
අඩුම ගණනේ ඔහු තනියට යාළු මාළුවන් හෝ සිටියේ නම් ඔවුනට
සැනසුමකි. ඒ හැර හිටියා නම් ඉන්නට ඇත්තේත් මාළුවන්ම පමණි.
මේ කවර අතවර එල්ල වුව, වෙරළේ උපන් අයෙකුට වෙරළින් පිට
ජීවිතයක් නැත. ඔහු එය කියන ආකාරය මොන තරම් සංවේදීද?
මහ මුහුදු එක්කමයි තරහවක් නෑ සිතේ
වෙරළ ගැන දන්නෙ නැති මාළුවන් නෑ පුතේ
වෙරළේ ජීවත් වන ඔවුන් මිනිස්සුන්ට වඩා මාළුවන් සමීපව
දැකීම වරදක් නොවේ. ඔවුනගේ ජීවන අවශ්‍යතා වලින් බොහෝමයකට මාළුන් බැඳී සිටින බැවින්
විය යුතුය. ඒ අතින් ඔවුන්ද මාළුවන් සේ ම ය. මාළුන් තරමටම මුහුද ගැන දනී. මාළුන්
තරමටම වෙරළ ගැන දනී.
වෙරළෙහි ඇති සොඳුරු බව සේම එහි ඇති රුදුරු බවද ඔවුන්
එකසේම දන්නේ එබැවින් ම වෙරළේ රළු හැසිරීම් හා උරණ වී ඵලක් නැති බවද දනී. විටෙක
හිතවත් වන මුහුද විටෙක කිපෙන බව නොදන්නා වෙරළාශ්‍රිතයෙක් සිටීද,
වෙරළ ගැන දන්නෙ නැති මාළුවන් නෑ පුතේ
කියන්නේ එබැවිනි.
දැන් ඇත්තේ මහමෙරක් වන් වේදනාවක් පමණි. කිසිදා නොමැකී යන
වේදනාවක් පමණි.
සිය පුතු ගැන යළි බලාපොරොත්තු තබා ගත නොහැකි බව කොතරම්
දන්නේ වුව, මවකට පියෙකුට ඒ බලාපොරොත්තු අතහැරිය හැකිද? ඊ ළඟ පද ටික අපට කියන්නේ එය
නොවේද?
මාත් වැල්ලෙම වැටී සොයනවා දස අතේ
කොහොම හරි පීනලා එල්ලියන් මයෙ අතේ....
එල්ලියන් මයෙ අතේ....
මෙන්න මේ අයුරින් දරුවාට කරණා ආයාචනය ඔබව හඬවන්නේ නම් එය
පුදුමයට කාරණාවක් නොවේ. ගීයෙහි පද එතරම්ම සංවේදීය.
සිය අවිය වන කවියෙන් කවියෙකුට කළ හැකි දේ කොතෙක්ද?
අපි ගීතය අසමු.
මේ ගීය ලියන්නේ
අතුල ජයදේව
කවියායි.
එයට අතිශය සාධනීය සංගීතයක් මවමින් එම ඛේදවාචකය ඇති කළ කම්පනය අප සිත්හි යළි ජනිත
කරවන්නේ
සංගීතවේදී නවරත්න ගමගේ
ගේ තනු සහ සංගීත
නිර්මාණයෙනි. එම සංගීත නිර්මාණය නවාගේ මෑත
බිහි වූ විශිෂ්ඨතම නිර්මාණය ලෙසිනි මා හඳුනා ගන්නේ. එයට වෙන කිසිම අන් සංගීතඥයෙකුගේ
වෙනස් නිර්මාණයක් අපට අවැසි නොවෙයි.
සමහර නිර්මාණ අසද්දී මේ තනුව හා සංගීතය වෙන කෙනෙකු අතින්
මැවී නම් ගීතය මීට වඩා එසවෙනවා නොවේදැයි අපට සිතෙන අවස්ථා ඇත. එහෙත් මේ ගීතයේදී තව
කුමට මීට වඩා එය ඔසවන්නද? ගීතයට දායක වුණු එකෙුකට එකෙක් නොපරදින සම්මාදම ගීතය ඔසවා
තබා ඇත්තේ ඉහළම තලයකය.
අවාසනාවට මේ වන් ගීතයක් තවමත් අපට ඇසෙන්නේ නැත. සොයා ගෙන
ඇසිය යුතුව ඇත.
වර්තමානයේ පවතින හැට හුට හමාරක් විද්‍යුත් මාධ්‍යයන්
මෙවැනි ගී ඔසවා තබන්නේ කවදාද?
අතුල ජයදේව කවියා සිය
මල කොතැන පිපුණම මොකද
සංයුක්ත තැටියට සංගෘහිත මේ ගීය
අපට මොන තරමකින් ඔහුගේ කවීත්වය ගැන කියා දෙනවාද?
එය වෙනමම එකකි. වෙනස් රීතියකින් ලියැවුණු නැවුම් ගීතමය
අත්දැකීමක් ලබන්නට හැකි මහඟු ගීත සමුච්ඡයකි එය. එය සතු කරගැනීම භාග්‍යය මට නම් උදා
විය. මට එහි ඇත්තේ වෙනත් උසස් රසයකි. එය වෙනත් අතුරු කතාවකි.
මේ අතුල ජයදේව කවියා
පිළිබඳව මා යම් හැඳින්වීමක් කළ යුතුව ඇත. ඒ ඔහු ගැන ඊට වඩා දිග කතාබහකට පෙරාතුරව
මෙම සටහන වෙත ඔහුව හඳුන්වා දීමටය. එහෙත් මගේ වචන ඒ සඳහා කුමකටද, ඒ සඳහා ඔහුගේ
මිතුරෙකුගේ වචන යොදා ගන්නට සිතුවෙමි. ඒ මම මීට පෙර අතුල
ජයදේව කවියාගේ මල කොතැන පිපුණම මොකද
ගීතය වෙනුවෙන් කාලයකට පෙර තැබූ කෙටි සටහනකට ඔහුගේ ඒ මිතුරා තැබූ සටහනක උපුටා ගැනුමකි.
ඒ මිතුරා අන් කිසිවෙකු නොව ප්‍රවීන ඡායාරූප නිර්මාණ ශිලපී හා ඡායාරූප නිර්මාණ
උපදේශක ප්‍රවීන චිත්‍ර ශිල්පී
ඉන්ද්‍රනාථ
තේනුවර
මහතාගේ සටහනකි. මගේ වචන වලට වඩා තේනුවරයන්ගේ වචන ඔහුට ගෞරවයක් වනු නිසැකය.
ඊට පෙර අවැසි අයෙක් මගේ එම බ්ලොග් සටහන මෙහි කියවනු
මැණවි.
http://yasanathsithuwili.blogspot.com/2014/11/blog-post_29.html
http://yasanathsithuwili.blogspot.com/2014/11/blog-post_29.html
Athula Jayadeva කියන්නෙ 80
ගණන්වල “යොවුන් ජනතා“ පුවත් පත සමග ම, අපත් එක්ක ම හිටපු, අපත් එක්ක ම වැඩුණු එක
ගහේ වහපු සහෘදයෙක්.
අතුල අප අතර වඩා
ප්‍රසිද්ධ ව සිටියේ හයිකු ආරේ කෙටි කවියකු
ලෙසිනුයි. අතුලට මුලින් ම රැකියාවක් ලැබෙන්නෙ
තාක්ෂණික නිලධාරියකු ලෙසින්. ඔහු ඒ ඔස්සේ ඉහළට යන්නෙ කවිය අතහරිමින්...
බොහෝ කාලයක් නිර්මාණ දිවියෙන් සමු අරං හිටපු අතුල, එක වර නැවත
පිල් විදහාගෙන නැගිටින්නෙ ගේය පද රචකයකු වශයෙන්. අපූරු ගේය පද රැසක් ම සමගින්...!!
අපේ ගෙවල් පාරෙන් ම උදේ හවස ගියත්, මට කාලෙකින් අතුල හම්බ
උනේ නැහැ. පහන් වැටේ අප ඉඳහිට හමුවන අවස්තාවකවත් අපට අතුල හමු වන්නෙ නැහැ...
ඒත්....
නුඹ කොතැන හිටියට මොකද.....
උඹ තාම අපිත් එක්ක ඉන්න බව දන්නවා..!!
-
Indranatha Thenuwara November 4, 2015 at 5:37 PM - @ yasanathsithuwili.blogspot’com
මේ අතුල ජයදේවයන්ගේ ගීත
නිර්මාණ රැසක් පිළිබඳව කතා කරන්නට මට බොහෝ දේ ඇත. ඒවා ඉදිරියේදී කතා කරන්නට සිතා
සිටිමි. ඒ කාලය වැඩි ඈතක නොවනු ඇත. එහෙත්, එතෙක්වත් බලා සිටින්නට නොහැකි බැවිනි මේ
ගීතය ගැන මේ සටහන මෙලෙසට තැබුවේ.
ආයෙමත් හමුවන අදහසින් අදට නවතිමි.
- යසනාත්
ධම්මික බණ්ඩාර -
උඹේ මහන්සියට ස්තුති කරලා බෑ. ඒක ඊට වඩා හෘදයාංගමයි, මචං.
ReplyDeleteමේ හෘදය සංවේදී ගේය නිර්මාණ ද්වය ම යළි මතක අද්දරට ගෙන්නුවාට බොහොම ස්තූතියි මල්ලී.
ReplyDeleteඊටත් වඩා තමන්නේ ම පුරප්පට්ටුව ගසන්නට උවමනාවටත් වඩා ඉඩ හසර ඇති තැනෙක, ඔබ මේ අනුන්නේ නිර්මාණ ගැන කතා කිරීම ම මගේ සහෝදරත්වය තව තවත් කුළු ගන්වයි.
දීපිකාගේ විලාපනීය මධුර ස්වරයෙන් හැඩ ගැන්වුණු අප මිත්‍ර කුමාරගේ ගේය පද රචනාව, දයාබර රෝහණ අයියාගේ පරිණත බව නිසා තව තවත් හෘදය සංවේදී මීම අරුමයක් නොවෙයි.
අතුලගේ සංයුක්ත තැටියේ කවරය සඳහා ඡායාරූප අරං දෙන්නට ලැබීමත් අර පරණ මිතුරු කමේ ම තවත් එක් මතක සටහනක් වගේ ම ඔහුගේ ආගමනයටත් සුබ පැතීමක්.
නැවතත්
බොහෝ ම ස්තූතියි මලයණ්ඩී.
අද කාලෙ ඇහෙන්නෙම නැති ගීත දෙකක්... බෝම ස්තූතියි ඔබට. දීපිකාගෙ ලස්සනම ගීත බොහොමයක් අප්‍රකටයි කියල මට හිතෙන්නෙ...
ReplyDeleteඅප්‍රකට සංවේදී ගීත කිව්වම මට මතක් වෙන්නෙම ජානක වික්‍රමසිංහ ගෙ සඳකිඳුරා මිය ගියා කියන ගීතය... ඒකෙ තියන හිත පහුරු ගාන ගතිය කොච්චර අපූරුද...
මේ ගීත දෙකම ක්ලින් ඇහිල තිබුනාට හරියටම ඇහුවේ අද.... ස්තූතියි ඔබේ සටහනට,,, තවතවත් මෙවන් දෑ කිරීමට ශක්තිය ලැබේවා!
ReplyDelete++++++++++++++++
ReplyDeleteBrilliant..!!
ReplyDelete
ReplyDeleteයසනාත් ධම්මික බණ්ඩාරයන්ට අප වෙනුවෙන් කෙතරම් සේවයක් කරන්නට හැකි දැයි මට සිතෙන්නේ මෙවැනි පෝස්ටු කියවන විටය. එදා මෙන්ම අදත් නැවුම් බවක් ගෙන දෙන ගී රචනාවලින් යුත් ඔහුගේ "කිඳුරු ගීතය" සංයුක්ත තැටිය තවමත් මා ළඟ සුරැකිව ඇත. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන අපහාසාත්මක කතාවක් කියා සිය නම කෙලෙසා ගත් යසනාත් යළිත් තමන් දස්කම් දක්වන ක්ෂේස්ත්‍රයන්ගෙන් එකකට පිවිසී සිටිනු දැක්ම සතුටට කරුණකි.
ස්තූතියි, යසනාත්ට වගේම තේණුටත්. මිහිරි අතීතයක සුවඳත් එක්කම හොඳ නිර්මාණ සොයා ඒ ගැන අප රසිකයින් දැණුවත් කරණවාට.
ReplyDeleteයසනාත් ධම්මික බණ්ඩාරයන් එදා සිහිනයකි රෑ වැඩසටහනේදී මේ ගීතය ගැනත් එහි රචකයා වන අතුල ජයදේවයන් ගැනත් කල හඳුන්වාදීම හරිම අගෙයි. ඒ මිහිරි අතීතයේ සැඟවුණු රස කතා මං මාවත් එළි පෙහෙළි කරන තේනුවර සොහොයුරාටත් බොහෝම ස්තූතියි. මෙහි සඳහන් ගීත දෙකම වටිනා නිර්මාණ.
ReplyDelete2004ට පස්සෙ සුනාමිය ආයත් මාව ඇඩෙවුවා යසනාත් අයියේ
ReplyDelete