මෙම ලිපි පෙළේ පළමු කොටස් 4 සඳහා වන පිවිසුම් මං පෙත්
මෙහි සඳහන්කොට මේ කොටසට එළඹෙමි.
මතු දැක්වෙන්නේ ආචාර්ය
කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩ වුණු චිත්‍රපට
නාමාවලියකි. මේ ලැයිස්තුව සොයා ගත්තේ කේමදාසයන්
ගැන විකිපීඩියා හි ඇති සටහනිනි. සමහර විට මෙහි
ඇතුළත් විය යුතු තවත් ඒවා තිබිය හැකිය.
1965
සප්ත සොයා පළමු ඒකල
අධ්‍යක්ෂණය
1966
සැනසුම කොතැනද? එක්සත් ලංකා රසික සංගමය (1966)
අතින් සම්මානයට පාත්‍ර විය
සීතල වතුර
කපටිකම - ලතා වල්පොල ගේ කුරුලු
රෑන් ගීතය සහ පසුබිම් සංගීතය
1967
රෑණ ගිරව්
මනමාලයෝ
1968
ගොළු හදවත සරසවි
සම්මානයට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සඟරාවේ සම්මානයට පාත්‍ර විය.
වනසරා
බයිසිකල් හොරා
1970
නාරිලතා සරසවි
සම්මානයට පාත්‍ර විය.
මොකද උනේ? විචාරක සම්මානය
1971
සීයෙ නෝට්ටුව
1972
නිධානය විචාරක
සම්මානය
1975
අහස් ගව්ව විචාරක
සම්මානය
1976
ජනක සහ මංජු
1978
බඹරු ඇවිත් ජනාධිපති
සම්මානය
1980
වසන්තයේ දවසක් OCIC සහ ජනාධිපති සම්මානය
හංස විලක්
1982
කලියුගය
සොල්දාදු උන්නැහේ ජනිධිපති
සම්මානය (පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී)
1983
යුගාන්තය OCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
වසන්තත්තිල් ඔරු මානවිල් දකුණු ඉන්දීය
චිත්‍රපටයකි. OCIC සම්මානයට
පාත්‍ර විය.
රිදී නිම්නය ජනාධිපති
සම්මානය
1984
තුන්වෙනි යාමය OCIC සම්මානය
1985
හිමකතර ජනාධිපති
සම්මානය
1986
යුගාන්තය OCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
1987
මල්දෙණියේ සිමියොන් OCIC සම්මානයට පාත්‍ර විය.
1990
සඳකඩ පහණ සරසවි
සම්මානයට පාත්‍ර විය.
සිරි මැදුර සරසවි, OCIC සහ ස්වර්ණ සංඛ සම්මානයට පාත්‍ර
විය.
1992
දොළොස් මහේ පහන සරසවි සම්මානය
මධුසමය OCIC සහ ස්වර්ණ සංඛ සම්මානය
1994
සුරබිදෙන ස්වර්ණ සංඛ
සම්මානය
ලොකු දුව
1995
මීහරකා ස්වර්ණ සංඛ
සම්මානය
1996
මාරුතය ස්වර්ණ සංඛ
සම්මානය
1999
ජුලියට්ගේ භූමිකාව OCIC සහ ජනාධිපති සම්මානයට පාත්‍ර විය.
2002
අග්නිදාහය සිග්නිස්
සම්මානය හා සරසවි සම්මානය
මතු යම් දවස
2005
ගරිල්ලා මාකටින් ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය සහ සරසවිය සම්මානය
2006
අම්මාවරුණේ ලෙස්ටර්
ජේම්ස් පීරිස් ගේ අවසන් සිනමා නිර්මාණය
2007
භේරුණ්ඩ පක්ෂියා සිග්නිස්
සම්මානය
2009
එකමත් එක රටක
කණ්‍යාවී
බැලූ සැනින් මෙහි අඩුපාඩු කිහිපයක් හමු විය. එබැවින් මේ
අසම්පූර්ණ ලැයිස්තුවකි. වාසනා, පූජා වැනි චිත්‍රපටවල නම් මෙහි අඩංගු නොවෙයි. කෙසේ
වෙතත් මට ඇවැසි වූයේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල සම්පූර්ණ නාමාවලියක් ඔබ
වෙත ලබා දීම නොවේ. ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඉටුකර ඇති භූමිකාවේ
මහත පෙන්වීමටය. එමෙන්ම ඔහු ඒ සඳහා සම්මානයෙන් පිදුම් ලැබ ඇති අයුරු පෙන්විමටය.
චිත්‍රපට සංගීතය යනු චිත්‍රපට ගීතය නොවේ. චිත්‍රපට ගීතයද
ඇතුළුව සමස්ථ නිර්මාණය සඳහා සංගීතයෙන් දෙනු ලබන දායකත්වයයි. චිත්‍රපටයකට සංගීතය
අවැසි මන්දැයි විමසන විට එහි අන්තර්ගතය අනුව එය දිගහැරෙන විදිහ අනුව සංගීතයේ අවශ්‍යතාවන්
විවිධ වෙයි. නමුත් පොදුවේ ගත් කල චිත්‍රපට සංගීතය අවශ්‍යවන්නේද චිත්‍රපටයෙහි ආත්මය
ස්පර්ෂකොට එහි යහ ගුණ වර්ධනයකොට පෑමටයි.
මෙවන් මට්ටමක සංගීතඥයෙකුගෙන් ගීත නිර්මාණය කරවා ගැනීම
පිණිස බොහෝ ගායක ගායිකාවන් ඔහු වෙත නිතර නොගියේ මන්ද යන පැණය මසිත නිරන්තරයෙන්
නැගෙන්නකි. ඒ සඳහා මා තුළ යම් යම් උපකල්පනයන් වෙයි. එනම්, කේමදාසයන් චිත්‍රපට සංගීතය වෙනුවෙන්ම වෙන් කොට තබා ගීත නිර්මාණය
කිරීම සඳහා අනෙකුත් සංගීතඥයින් තෝරා ගත්තාද යන්න එක් උපකල්පනයකි. එසේ නොවුණි නම්
වෙනත් ගීත සාදා ගැනීම සඳහාද ඔහු වෙත යොමු වීමේ ප්‍රවණතාවක් හඳුනා ගත හැකි වන්නට ඉඩ
තිබුණි. එහෙත් සමහර සංගීතඥයින් සේ ඔහු අතින් සාමාන්‍ය ගීත නිර්මානය වීම සාපේක්ෂව
අඩු බව මගේ හැඟීමයි. නොඑසේ නම් චිතුපට ගීත නොවන ගීත නිර්මාණය සඳහා ඔහුට ලැබුණු
ඇරියුම් අඩු වූ බවයි. එනම් ප්‍රවනතාවක් වශයෙන් එය හඳුනාගත නොහැකි වෙයි. එහෙත් එය එසේ වූවා නම්, සරල ගීතයෙහි සංගීතමය
ගැඹුර නිසැකව ම මීට වඩා වැඩි වනු ඇත.
එහෙත් එයට තවත් හේතුද ඇත. ඒ මෙවන් ඒවාය.
ඔහු සෘජුය,
මුරණ්ඩුය,
යම් අඩුවක් පාඩුවක් මුහුණටම කියන වර්ගයේ අයෙකි,
ගැයුම යන්තමින් කළ නොහැකි වෙයි,
යන්තමින් ගයන අය එබැවින්ම ඔහුගෙන් ගීත සාදා නොගනී.
ඔහුගේ සෘජු බව නිසාවෙන් ඔහු රළු යැයි සිතන පුරුද්දක්
ක්ෂේත්‍රෙයහි පැතිර තිබුණි. බොහෝ දෙනා ඔහු ගැන තමන් දන්නා දේ දෙගුණ තෙගුණ කොට
කීමෙන්ද, නොදන්නා දේ දන්නා සේ ගොතා කීමෙන්ද ඔහු ගැන සමහර මිනිසුන් සිතන මේ ආකාරය
තව තවත් වර්ධනය කළහ.
ඒ අතරේ ඊට තවත් ප්‍රබල හේතුවක් ද වෙයි.
ඔහුගේ තනුවක් ගැයීම යනු මහත් වූ ව්‍යයාමයක් වන හෙයින්
එවන් වෑයමක් දරණුයේ ඇයිදැයි සමහරුන් සිතූ බැවින්දඑසේ වන්නට ඇතැයි මට සිතීමය.
සැබැවින් ඒ කරුණත් මේ තත්වයට බොහෝ සේ ඉවහල් වන්නට ඇතිවා විය යුතුය.
එහෙත් ඒ නිසාම පෙර ද කීවා සේ, සිංහල සරල ගීයට එකතුවෙන්නට
තිබූ නිසැක ගැඹුරක් ඊට අහිමිව ගියේය.
ගීතයක සංගීතයෙහි ගැඹුර යනුවෙන් ගත් විට, කේමදාසයන් අතේදී එම ගැඹුර බොහෝ සෙයින් වැඩිය. ඒ ඔහු
පද රචනය මනාව කියවා අවබෝධකොට ගෙන, එහි අරුත් විනිවිද, සිය සංගීතයෙන් ඒවා මතුකොට
උද්දීපනය කරන්නට වෙහෙසෙන තරම නිසාවෙනි. ඔහු සිය සංගීතයෙන් අරුත්ද, හැඟුම්ද, චිත්ත
රූපද මවාලයි. සංගීතයෙන් චිත්ත රූප මැවීමේදී එසේ මැවූ ප්‍රමුඛතම සංගීතඥයා ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන්ය. ඒ අතින් ඔහු හා සම තත්වයට ආ සංගීතඥයන් මතකයට නැගීම අපහසු
තරම්ය.
කේමදාසයන් විසින් නිර්මාණය කර
දෙනු ලදුව අමරදේවයන් විසින් ගැයූ ගී
ගැන කතා කරමින් සිටින අපට ඉහත ගුණය පෙන්වා දීම සඳහා නිදසුනක් ලෙස ගත හැකි හොඳම
ගීතයක් වශයෙන් මට මතක් වෙන්නේ
හීන් සැරේ ඔබ ආවා ආව
රෑ සයනෙන් පිබිදී
ඔබ
ආවා ආවා
ගීතයයි.
වසන්තයේ දවසක් ( 1979 ) චිත්‍රපටයේ හමු වූ මෙම ගීයෙහි ගැයුම
අචාර්ය පණ්ඩිත් අමරදේව
යන්ගේය.
එය අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් යම් අරුමයක් ඇති කරණ කරුණක් මතු වන්නේ එහි
ගායිකාවගේ නම සඳහන් කළ විටය. ඈ රංගන ශිල්පිනී
සුනේත්‍රා සරච්චන්ද්‍ර
ය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලදී පමණක්
ඇගේ හඬ අසා පුරුදු අපට, ඈ මෙය ගයන බව ඇසීම යම් අරුමය දනවන කරුණක් වීමේ අසාධාරණයක්
නැත.
වසන්තයේ දවසක් චිත්‍රපටය නොබැලූ අයෙකිය, මේ ගීය තුළ ඇති රූප මවාගැනීමේ
සැබෑ වාසනාවට හිමිකම් කියන්නේ. මක් නිසාද යත් චිත්‍රපටය බලා ඇති කෙනෙකු තුළ
මැවෙන්නේ අධ්‍යක්ෂවරයා විසින් සාදා දුන් රූප රාමු වන නිසාය. එය නොබැලූ අයෙකු මවා
ගන්නේ රහි රසභාවයන් අනුව තමන්ගේ සිත මවනා රූප රචනාවයි.
හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී
ඔබ
ආවා ආවා
මේ වචන 11න් ද පුනරුච්ඡාරණය වූ වචන අතහැරියොත් ඇත්තේ වචන
9කි. එහි පුනරුච්ඡාරණය අවැසි වන්නට ඇත්තේ ආචාර්ය
කේමදාසයන්ට බව නිසැකය. ඒ එහි සැබෑ හැඟුම් මතු
කිරීමට ඒ පුනරුච්ඡාරණය මහත් මෙහෙයක් ඉටු කරණ බැවිනි.
හීන් සැරේ ඔබ ආවා කීමෙන් නොනැවතී ආවා ආවා කීමෙන්
එහි අරුත මහත් සේ දැනෙන වග ඔබට වැටහෙනු ඇත.
මේ වචන 11 හි අරුත කුළුගන්වන සංගීත නිර්මාණය අමරදේවයන් ගේ හඬින් ගැයෙද්දී ඒ මුල් කොටසෙහි
කියැවෙන්නේ කුමක්ද?
හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී
ඔබ
ආවා ආවා
ඈ ඇවිත් ඇත්තේ හෙමින් සැරේය. හෙමින් සැරේ ඈ ඇවිත් ඇත්තේ රාත්‍රියේ
සිය නිදියහනින් පිබිදීය. එබැවින් ඔහු ද ඈද නිදා සිට ඇත්තේ වෙන වෙනම සයනයන් වලය.
ඈ සමහර විට නිදා සිටියේ වෙනත් පිරිමියෙකු සමග විය හැකිය.
ඒ පිරිමියාට වෙනත් පිරිමියෙකුයැයි කීවේ ඒ වෙනත් ඔහු මේ ගීයේ සිටින පිරිමියා නොවන
බැවිනි. එසේ ඈ තවත් පිරිමියෙකු සමග සිටියේදෝයි යම් සැකයක් ඇති කරගත හැක්කේ ඈ හීන්
සැරේ අවදිව හීන් සැරේ ඇවිත් ඇති බැවිනි. මේ ගීයේ සිටින පිරිමියා නොවන ඒ පිරිමියා
ඇගේ ස්වාමියා විය යුතුය. ඈ හීන් සැරේ අවදිව පැමිණ ඇත්තේ ඔහුටද පොළොවටද නොදැනෙන සේ ය.
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා ආවා
ගීතයේ ආරම්භක කොටස පිරිමි හඬකින් පමණක් ගයන්නට
සලස්වන්නේ, අනතුරුව දෙවෙනි කොටසේදී එය පිරිමි සහ කාන්තා හඬවල් දෙකෙන්ම ගැයෙයි. එයද
ජවනිකා මැවීමකි. පළමු කොටසේදී මවන ජවනිකාව ඇගේ පැමිණීමේ ස්වභාවයයි. ඒ පැමිණීම තුළ
ඔහු චෛතසිකයේ ඇති වන කම්පනයයි. මා එය කම්පනයක් ලෙස කීවද එහි වචන වලින් එවන් කිසිදු
කම්පනයක් ගැන නොකියවෙයි.
එය කියැවෙන දෙයක් නොවේ. හඳුනා ගතයුතු දෙයකි.
දෙවෙනි කොටසේදී මවන්නේ ඔවුන්ගේ හමුවීමයි.
ඈ සයනින් අවදිව එනවිට ඔහු සිට ඇත්තේ අවදියෙන් විය යුතුය.
මක් නිසාද ඈ එක් සයනයකින් අවදිව පැමිණ අනෙක් සයනයක නිදි ගත් බවක් නොකියවෙන බැවිනි.
ඊ ළඟට සයනින් පිබිද ආ ඇයද
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා
ලෙසින් කියනා බැවිනි.
ඈ එක් යහනකින් අවදිව පැමිණ ඇත්තේ තවත් යහනක වැතිර ගෙනමය.
ඒ නම් නිදියහනක් නොවේ. පෙම් සිරි යහනය.
ඈ මෙතෙක් වැතිර සිට ඇත්තේ පෙම් සිරියහනාවක නොවේ. දැන් ය
ඈ පෙම් සිරියහනක වැතිරෙන්නේ.
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා ආවා
යැයි ඔහු කියන්නේ එබැවිනි.
මේ හමුව මොන තරම් කෙළිලොල්ද, සුන්දරද යන්න දැක්වීමට අප
සංගීතඥ කේමදාසයන් සැනින් ඊ ළඟ කොටසෙහි රිද්මය ගලා යාම වෙනස් කරණු ලබයි.
තරුවෙන් තරුවට
පැන පැන හිමිහිට
මලකින් මලකට
පියඹා හනිකට
මා දඟකාරිය - නාරිලතාවිය
කාන්සියේ මද අඳුර මකා හැර
හීන් සැරේ ඔබ ආවා ආවා
ඈ පැමිණී ඇත්තේ හරියට තරුවකින් තරුවකට පනිමින් මලකින්
මලකට පනිමින් රඟන්නා සේ දඟකාර විලාසයකිනි. ඈ පැමිණියේ ඔහු වටා වෙලා සිටි කාන්සිය
නමැති මද අන්ධකාරය පළවා ලමිනි.
අනතුරුව එළඹෙන කොටසේදීද ඔහු ඒ ප්‍රීති ප්‍රමෝදය අඛණ්ඩව
රඳවා ගනී.
මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින
අත් වැල් බැඳ නටමු නටමු
සිත් සැණකෙළියේ
සිත් සැණකෙළියේ
නීලඹ නිල් වියන යටින්
පින්න පිපුණු පළස මතින්
සුරංගනා රැඟුම් රඟමු
සඳ තරු එළියේ
සඳ තරු එළියේ
මේ ගීතයෙහි පද රචනය මත එළා ඇති මේ මියුරු සංගීත වියමන
කොතරම් සොඳුරු චිත්ත රූප මාලාවක් මවාලනු ලබන්නේද? මේ චිත්ත රූප මාලාවම මිස මේ සඳහා
නිමවෙන රූප රාමු පෙළකට ඒ චිත්ත රූප මාලාව අභිබවා යා හැකි වෙයිද? කේමදාසයන්ගේ සංගීතය පිළිබඳ මෙතරම් වැනුම් එබැවිනි. ඊ
ළඟට මේ පද රචනය පිළිබඳව නොකියාම බැරිය.
මෙහි පද රචනය
ආචාර්ය අජන්තා
රණසිංහ
යන්ගේ වන විටම මසිතට
නැඟුනු අදහසක් වනුයේ මෙය පෙර සපුරා නිම වූ රචනයක් නොවී කේමදාසයන් හා රණසිංහයන්
එක්ව හිඳිමින් වියූ වියමණක් වන්නට ඇති බවය. පද රචනය සියුම්ව විමසන විට එය එසේ විය
යුතුමය.
හීන් සැරේ ඔබ ආවා ආවා ගීතය අසමු.
දැන් මේ ගීතය නිමවූයේ වසන්තයේ
දවසක් චිත්‍රපටයේ ජවනිකාවක් හෝ යම් කිව යුතු කතාවක් වෙනුවෙනි. එහෙත් නිම වූ
ගීතය කොතෙක් ඊට වැඩියෙන් පොහොසත්ද යනු, කිසිදු රූපරාමු පෙළක් නොමැතිව දෑස පියාගෙන
ඊට සවන්දෙමින් මවන චිත්ත රූප සමුදාය සමහර විට චිත්‍රපටයේ දසුන් පෙලද අභිබවනු
නිසැකය. ඔහුගේ සංගීත ගැඹුර යනු එයයි. නැති නම් අප තැන තැන කතා කළ ද්විමාන නොව ත්‍රිමාන
සංගීතය එයයි.
රෑණ ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරේ
රෑණ ගිරා ජෝඩුවයි
එය හැඬවෙන්නේ ආචාර්ය
පණ්ඩිත් අමරදේවයන්
සහ විශාරද නන්දා
මාලිනියගේ මධුරස්වරයෙනි.
මෙහි පද මට මතක හැටියට
මෙහි පද මට මතක හැටියට
ධර්මසිරි
ගමගේ
ශූරීන්ගෙනි. එම ගීතය අතිශය සුන්දර ගීයක් සේ ගැබ් වෙන්නේ 1967 දී
නිර්මාණ වුණු ධර්ම ශ්‍රී කල්දේරා ගේ රැණ ගිරව් චිත්‍රපටයේ ගීතයක් වශයෙනි. චිත්‍රපටයේ
සංගීතය ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් අතින් නිමැවුණු බැවින් මේ ගීතයද සංගීතයෙන් හැඩ වෙන්නේ ආචාර්ය කේමදාසයන්
අතිනි.
චිත්‍රපටයක ගීයක් යනු ගෙලෙහි එල්ලන මුතුහරක් බඳු යමක්
නොවේ. එය පිටින් එල්ලා දිස්නය දෙන්නට යෙදූවක් නොවිය යුතුය. එය එහි ආත්මයෙන් නැගෙන
දෙයක් විය යුතුය. ආචාර්ය කේමදාසයන් චිත්‍රපටයකට
ගීයක් කිරීමේදී කරණුයේ එසේ එය චිත්‍රපටයේ ආත්මය සමග බද්ධ කිරීමය.
නිර්මාණයකට සංගීතය යෙදීමේදී එය සිදු කෙරෙන විධි
කිහිපයකි.
සමහරුන් සිය නිර්මාණය සෑහෙන දුරට නිම කර එයට සුදුසු
සංගීතයක් සොයයි.
සමහරුන් සිය සිනමා නිර්මාණය අතරතුර ඊට ගැලපෙන සංගීතය
සොයයි.
තවත් සමහරුන් නිර්මාණය එලීම හා සමගාමීවම සංගීතයද
අමුණන්නට වෙහෙසෙයි.
තවත් සමහර සිනමා නිර්මාණ පෙර නිර්මිත යම් සංගීමය කාර්යක්
වටාම ගොනු වෙයි.
මේ අනුව පෙර මා කියූ ඛාණ්ඩ හතරටම අනුව නිර්මාණය වුණු සංගීතයෙන්
යුතු සිනමා නිර්මාණයන් අපට හමුවෙයි. එහෙත් වඩා අඩු නිර්මාණ සංඛ්‍යාවක් ගොනු වන්නේ
එහි අවසන් ඛාණ්ඩයටය. එබැවින් ඒ සඳහා මට උදාහරණ ලෙස දැක්විය හැකි මතකයේ ඇති එකම
නිර්මාණය මෙහි ලියමි. එහෙත් එය කේමදාසයන්ගේ
සංගීතයෙන් හැඩ වූවක් නම් නොවේ. එහි සංගීතය දර්ශන
රුවන් දිසානායකයන්ගෙනි. සිනමා කෘතිය නම්, ජයන්ත
චන්ද්‍රසිරි සිනමා නිර්මාණයක් වූ සමනල
සංධ්වනියයි.
සමනල සංධ්වනිය කේන්ද්‍රගත වන්නේ දර්ශන විසින්
පෙර නිර්මාණය කර තිබූ මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
ගීතය වටාය.
කේසේ වෙතත්, මේ කියූ විධි අතුරින් බොහෝ විට සිනමා
නිර්මාණයේ ආත්මයට බද්ධ වන්නේ මා පෙර කී ලෙස නිර්මාණය එලීම හා සමගාමීවම සංගීත
නිර්මාණයත් සිදුවන විටය. එහෙත් අන් අවස්ථාවල එසේ ආත්මයට බද්ධ වූ සංගීතයන් හමු නොවන
බවක් ඉන් නොකියවෙයි.
කේමදාසයන්වෙත සංගීත කාර්යභාරයේ වගකීම පැවරූ බොහෝ අදියරුන් ඔහු
හා සමග සංගීතයද ඒ හා බැඳුනු ජවනිකා මේ මේ අයුරින් විය යුතුයැයිද පිළිබඳව සාකච්ඡා කරමින්ම සිය නිර්මාණය එලූ බව
එවන් සිනමා පටයන්හි ජවනිකා විමසන කල පෙනී යයි.
රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරේ
රෑණ ගිරා ජෝඩුවයි
මධුරතර තනු නිර්මාණයේදී කේමදාසයන්
දැක්වූ සාර්ථකත්වය මෙහිදීද අපට දැකිය හැකි වෙයි. එමතු නොව සමහර චිත්‍රපට වලදී
කතාවෙන් මිදී ගීතයට එන විට ඒවා බලෙන් එල්ලා ඇති සේ දැනෙන හැඟීම මෙවන් ගීතයකදී අපට
නොදැනෙයි. එය ඒ කතාවට අත්‍යවශ්‍ය කතාවෙන් වෙන්කළ නොහැකි දෙයක් සේ අපට දැනෙයි. ඒ
නිසාම එය සිතුවම් පටයේම දෙයක් මිස මතුපිටින් එල්ලූ දෙයක් නොවෙයි.
වනන්තරේ වෙනසක් නෑ
පෙම් සිතුවිලි පෑදේ
හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ
මේ ගීතයේදීද කේමදාසයන්
තමන්ට පුරුදු පරිදි කොටසින් කොටසට රිද්මය වෙනස් කරණා අයුරු පැහැදිලිව පෙනෙයි.
එමගින් ඔහු ගීතය තුලට මහත් සජීවී බවක් එකතු කරණු ලබයි. වඩාත් පැහැදිලිව කිවහොත්
ගායකයා සහ ගායිකාව ගීතය තුළ නිරූපනය කරණුයේ රංගධරයින්ගේ කාර්යයක් බඳු දෙයකි. එනම්
ඒ තුළ ඔවුන් වඩාත් දැනෙන්නේ ගායක ගායිකාවන් ලෙසට වඩා නළු නිළියන් ලෙස යැයි මට
හැඟේ.
වන රේඛා මැද සීතල සෙවනේ
අත්වැල් බැඳ යන ආදර ගමනේ
සුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ
සිනහ කුසුම් තොල් පෙති අග දිළුනේ
ගීතයේ ස්ථායී කොටස වූ රෑණ
ගිරා ජෝඩුවයි කොටසින් එහි පළමු අන්තරා කොටස වන වන
රේඛ මැද සීතල සෙවනේ යන කොටසට එන විට එහි තනුව සහ රිද්මය වෙනස් වෙයි. ඉනිදු
නොනැවතී ඊ ළඟ අන්තරා කොටසට එන විට එහි රිද්මයද තනුවද යළිත් වෙනස් වෙයි. මා මෙහි
පෙර සඳහන් කළ ගීතය තුළ සජීවී බව පවත්වාගන්නට එය මහත් පිටුවහලක්ව ඇත. එබැවින්මය ගීය
තුළ ගායක ගායිකාවන් ගායක ගායිකාවන්ම නොවී රංගධරයින් සේ පෙනෙනුයේ.
මල්පෙති උඩ පෙම් සෙවණැලි ඇඳිලා
දියරැළි ඒ දැක එබිකම් කරලා
කදු මුදුණේ සිට පහළට බැහැලා
විහිළු කරයි මේ ජෝඩුව දැකලා
රෑණ ගිරා ජෝඩුවයි ගීතය අසමු
ජනක සහ මංජු යනු කේ. ඒ. ඩබ්. පෙරේරාගේ
සිතුවම් පටයකි. එය තිරගතවීම ඇරුඹුනේ 1978 ජනවාරි 27 දිනදීය. එකල චිත්‍රපට, කලාත්මක
සහ ජනප්‍රිය ලෙස කුලක දෙකකට බෙදා කතාකිරීමේ පුරුද්දක් තිබුණි. මේ ජනක සහ මංජු වන් චිත්‍රපට වැටුණේ කලාත්මක යන කුලකයට වඩා ජනප්‍රිය යන කුලකය යටතටය.
මෙවන් චිත්‍රපටයක වූ සුවිශේෂ කරුණු වන්නේ සරල සුන්දර කතා
පුවතකුත් අතිශය සුන්දර ගීත කිහිපයකුත් සමගින් ඒවා නිමවීමයි. මේ බලන්න එහි අඩංගු ගී
කොතෙක් නම් සුන්දරද කියා.
ලෝකේ ජීවත් වන්නට – හඬ - ක්ලැරැන්ස්
විජේවර්ධන, ලතා වල්පොල – පද -ධර්මසිරි ගමගේ
කෝ මා පැතූ ඔබේ ආදරේ - හඬ - ටී. එම්. ජයරත්න,
පද - රංජිත් වීරසිංහ
සීත මෝසම් ගීත නාදෙන් – හඬ - එච්. ආර්. ජෝතිපාල,
පද – ධර්මසිරි ගමගේ
මේ ගී එදා ඇගේ හදින් – හඬ - ඩබ්ලිව්. ඩී. අමරදේව,
පද - අජන්තා රණසිංහ
සුවඳක් දැනේවි හදේහි – හඬ - ක්ලැරැන්ස්
විජේවර්ධන, පද – ධර්මසිරි ගමගේ
මේ තරම් සුන්දර ගීත සංගීතවත් කරමින් චිත්‍රපටය සංගීතයෙන්
ඔපවත් කළේ අනෙකෙකු නොව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය.
ආචාර්ය කේමදාස
යන් විශිෂ්ඨ
ගණයේ සංගීතඥයෙකු වුව, සිය චිත්‍රපට සංගීත නිර්මාණ කාර්යයේදී ඔහු කලාත්මක චිත්‍රපට
තුලට පමණක් ගොනු නොවූ වග මා පෙර ඉදිරිපත් කළ ඔහු සංගීතවත් කළ චිත්‍රපට ලැයිස්තුව
දුටු විට ඔබට පැහැදිලි වනු ඇත. ඒවා ගොනු වන්නේ කලාත්මක කුලකයටද, නැති නම් ජනප්‍රිය
කුලකයටද නොතකන ඔහු ඒ සියල්ල සඳහා සිය සංගීතයෙන් දිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඒ
නිසාම ඔහුගේ චිත්‍රපට ගීත සියල්ල එකට ගොනු කොට විමසුවහොත් ඒවා අතිශයෙන් මනරම්ය.
විචිත්‍රය. ළගන්නා සුළුය. අප මෙහිදී විමසනුයේ ඔහු අමරදේවයන්ට
පමණක් කළ ගී ගැන ය. නමුත් සැමට කළ ගී ලැයිස්තුව මෙහි ලියුවහොත් ඒ සමහරක් කේමදාසයන් විසින් කළැයි සමහරුන් සිහිනෙනුදු නොසිතන
බව මට පැහැදිලි අනෙකක් නිසා නොව, අප කළ එවන් කතා බස් වලදී එහි සිටි බොහෝ දෙන
අරුමයට ලක් වූ බැවිනි.
එවන් ගී රැස තුළ අපට ඉතා ගැඹුරු සංගීත මෙහෙයුම් සේම සරල
සොඳුරු සංගීත මෙහෙයුම්ද හමුවෙයි. නමුත් ඒ සියල්ල අවස්ථාවෝචිතය. නිර්මාණයේ ආත්මයට
බද්ධවන සේය.
අප මේ ගීතය මින් පෙර මෙහිම කොටසක තරමක් කතා බහට ලක්
කළෙමු. එහෙත් එය යළිත් මේ තොරතුරුද සමග ඉදිරිපත් කරන්නට සිතුවේ ජනක සහ මංජු හි අන් ගී තුන හා සැසඳූ විට පණ්ඩිත් අමරදේවයන්ට
ගයන්නට ලැබුණු මේ ගීය සපුරා වෙනස් එකක් වන බැවිනි.
මේ ගී එදා
ඇගේ හදින්
මා ඇසූ රාවයයි //
ඇගෙ පිළිරුව හිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී?
ලෝ සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ
රචනයක් වන මෙහි අවස්ථාවෝචිත වදන් පෙළහර සහ ඉන් දනවන හැඟීම් තව තවත් මතු කරන්නට ආචාර්ය කේමදාසයන්ගේ
සංගීත පෙළහර සමත්වෙයි. ගීතයේ එම සංරචක දෙක අවසන නිම කරණුයේ ආචාර්ය අමරදේවයන්ගේ
ගායන ආරට, සංයමයට, භාවයන්ට ගැලපෙන ගීයකි. සිනමා පටයේ අන් ගීත තුන හා සසඳන විට මේ
වෙනස මොනවට පැහැදිලි වෙයි.
මේ ගී එදා ඇගේ හදින් ගීතය අසන්න
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට සාදා දුන් ගීත ගැන මේ සටහන මෙතෙකින්ද නිම
කළ හැකි නොවෙයි. එබැවින් එය නිම කිරීම තවත් ඉදිරි සටහනක් වෙත යනු ඇත. සිව්වන
කොටසින් පසුව මේ පස්වන කොටස සඳහා ගත් කාලය අධික යැයි මට සිතේ. එහෙත් එහි සයවන සහ
අවසන් කොටස යැයි සිතන සටහනට එතරම් කාලයක් ගැනීමට අදහසක් නැත. එබැවින් කෙටි කලකින්
හමුවෙමු.
හයවැනි කොටස කියැවීමට පහත් ලින්ක් එක ඔස්සේ එන්න.
හයවැනි කොටස කියැවීමට පහත් ලින්ක් එක ඔස්සේ එන්න.
-
යසනාත් ධම්මික බණ්ඩාර -
-
No comments:
Post a Comment