අමරදේවයන් වෙනුවෙන් කේමදාසයන් විසින්
සාදා දුන් ගීත ගැන කතා කරණ දිගු ලිපි පෙළෙහි දෙවැන්නය මේ. පළමුවැන්න නොදුටු අයෙක්
වේ නම් මේ ඔස්සේ යා හැකිය.
අසම්පූර්ණ ලැයිස්තුවකින් තෝරා ගත් මේ ගීත කුලකය තුළ ඇති
ගීත කොපමණ සම්පූර්ණදැයි ඔබට විමසා බැලිය හැකිය. අමරදේවයන්ගේ
හොඳම ගී යැයි සැලකෙන ගීත සියල්ල මේ ගීත ලැයිස්තුවෙන් නිම නොවුණත්,
මේ ගීත සියල්ලම,
කෙනෙක් තෝරණ ඔහුගේ හොඳම ගී අතරට
එක් නොවන්නේ දැයි බලන්න. ඊ ළඟට බැලිය යුත්තේ, ඔහුගේ ගී අතුරින් වෙනස් ගති ලක්ෂණ සහිත ගී කුලකයක්
තේරීමට වුවහොත් කෙනෙකු තෝරණ ගී ලැයිස්තුව කුමක්ද යන්න විමසීමය. අන්න එතනදී නම් මගේ
විශ්වාසය,
එම ගීත ලැයිස්තුවේ සෑහෙන ඉඩක්
මේ සටහන් වලදී අප කතා කරණ ගී රැස විසින් අත්පත් කර ගන්නා බවය.
මේ කතා බහ දිගු එකක් වන බැවින්,
අමරදේවයන් වෙනුවෙන් කේමදාසයන් විසින්
සාදා දුන් ගීතයක් අසා යාම මැනැවැයි සිතේ.
මේ ගී එදා
ඇගේ හදින්
මා ඇසූ රාවයයි
ඇගෙ පිළිරුව හිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී?
ලෝ සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
1978 ජනවාරි 27 තිරගත වූ කේ.
ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ
සලරුවේ ගීතයකි මේ. මෙහි ගේය පද ආචාර්‍ය
අජන්තා රණසිංහයන්ගේ වන අතර, කේමදාසයන්ගේ තනු සහ සංගීත නිර්මාණයෙන් පණ ගැන්වී අමරදේවයන් ගේ හඬින් ඔප් නැංවුණු ගීතයකි.
එහි පළමු සංගීත නිර්මාණය රැගත් චිත්‍රපටයේ ජවනිකාද
ඇතුළත් මේ විඩියෝ ඛණ්ඩය නරඹන්න.
එහි තනුව නිවුණු දැමුණු එකකි. තනුවට වැයෙන කේමදාසයන්ගේ චෛතසිකයේ උපන් සංගීත ඛණ්ඩයන් දඟකාරය. ඒ
දඟකාර සංගීත ඛණ්ඩයන්ට මුසු වන අමරදේවයන්ගේ හඬ
සංවරය. තාරුණ්‍යෙය් සිටියදී වුව අමරදේවයන්ගේ
හඬ සංවරය. කේමදාසයන් මේ දෙයාකාරය සම්මිශ්‍රණ
කිරීම ඔස්සේය සිය අනන්‍යතාව ප්‍රකට
කරනුයේ. ඔහුගේ සෑම ගීයකම පාහේ මෙවැනි යම් දෙයක් සොයා ගත හැක. නිර්මාණයේ ජීවී බව
පමණක් නොතකන ඔහු ඒ ජීවී බවට අරුතක් එක් කිරීමට ගන්නා වෑයම නිසාවෙනි මේ අපූර්වත්වය
මැවෙන්නේ.
අපි අමරදේවයන් විසින් පසු කලක ගායනා කළ එම ගීතය යළි අසා
යමු.
මේ අතර, අමරදේවයන් හා සසඳන කල, කේමදාසයන්ව තබන්නේ කුමන ස්ථානයේද යන්න යමෙක් විමසුව හොත්,
ඒ සඳහා හිතා ගත නොහැකි තරම්
විවිධ පිලිතුරු ලැබෙනු ඇත. මේ විවිධ පිලිතුරු වලින් වැඩි කොටසක් විෂම ඒවාද වනු ඇත.
විෂම ඒවා යන්නෙන් හැඳින්වූයේ, සමහර ඒවා දැන දැන නොදන්නා සේ කෙරෙන සැසඳීම් වන බැවිනි.
මගේ පෞද්ගලික අදහස නම්, අප රටේ බොහෝ සංගීත ගුරුකුළ,
කණ්ඩායම්,
කල්ලි නියෝජනය කරණ ප්‍රවීනයන්,
තම තමන් අතර යම් යම් අරෝවන්
පැවතියේ වුවද, කේමදාසයන් ට එදිරිව කෙරුණු
සීතල යුද්ධයේදී ඒ අරෝවන් පසෙක ලා එක්ව සටන් කළ බවයි. විශේෂයෙන් ඔහුට නිසි ඇගයුම
කෙරුමට සහ ලැබුමට ඉඩ නොදෙන පරිසරයක් සකස් කරමින් ඔහු දුර්මුඛ කිරීමට උත්සාහ ගත්
බවයි. එබැවින්ම, හෙළයේ මහා සංගීතඥයා
වැනි පටබැඳුම් ඔහුට අහිමි කොට යුගයේ පෙරලිකාර
සංගීතඥයා හෝ සිනමා සංගීතයේ හිතුවක්කාරයා ඈ
විශේෂණයක් භාවිතා කොට ඔහු වෙනුවෙන් වෙසෙස් හැඳින්වීම් නැති අඩුවද රසික ලෝකයට දැනෙන්නට
ඉඩ නොදුන්හ. ඔවුන් ඔහුට බොහෝ විට සිටින තැන කට පුරා මාස්ටර්
කියා නැති තැන අන් දේ කීහ. යම් යම් එවන් තැන්වල ගැවස ලැබූ අත්දැකීම් හේතුවෙන් මේ
දේ පසක් කොට ගතිමි. ඒ අයුරින් මේ හෙළයේ බිහිවූ, සංගීතය යනු නිමි අච්චුවල දා සාදා
ගන්නක් නොව ඒ පිළිබඳව වන දැණුමද, දැනීම්ද, හැඟීම්ද කලම්බා මතුකර ගන්නා දෙයක් බව ප්‍රකට
කළ සංගීතඥයාට ලැබෙන්නටතිබූ නිසි තැන නොලැබී යාමේ ලොවට දැනෙන අඩුව ලොවින් වසංගා
තැබූහ.
මේ කතාවේ බරපතලකම පිළිබඳව මම අවබෝධයෙන් සිටිමි. කතා කළ
හැකි බොහෝ අය ඔහු වෙනුවෙන් කතා නොකරණ වාතාවරණයක මේ කතාව තනිව කිරීම අපහසු
කටයුත්තක් බවද දකිමි. එහෙත් මට හැකි අයුරින් ලියා තබමි.
ආචාර්ය කේමදාසයන්
ඒ දවස්වල
නිතර උදාහරණකොටගත්
පණ්ඩිත් අමරදේවයන්ගේ
ගීයක් මෙම කතා බහට ඈඳා ගනිමි. ඒ එම ගීය අමරදේවයන්
වෙනුවෙන් කේමදාසයන් කළ ගීයක් වන නිසාවෙන්
නොවේ. අමරදේවයන් විසින්ම සංගීතය සපයා ගත්
ගීතයකි එය. එහෙත් අප කතා බහ වඩාත් හොඳ තලයකට ගෙන එන්නට ඒ තරම් හොඳ උදාහරණයක් තවත්
නැති සේ හඟින බැවිනි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
මාල ගිරා
තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දුටයි
මේ පොඩි ඇඳුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හද වැඩ දමල ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
හැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිහෙන ඇඳුම වියන්නේ
හැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිහෙන ඇඳුම වියන්නේ
ඒ කුලුදුල් දුව දීගෙක දෙන්නය්
මංගල ඇඳුම වියන්නේ.
සන්නාලියනේ සන්නාලියනේ
සීතල සඳ එළියේ
මැලවුණු මුනින් වෙව්ලන දැතින්
කාටද සලිව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය
අයගේ මිනිය වහන්නය්
සීතල සළුව වියන්නේ.
ඉන්දියානු කිවිඳියක් වූ
සරෝජිනී නායිදු
ගේ
කවියක් අනුව නිර්මාණාවේශය ලබමින් එය සිංහලට
නගා ඇත්තේ
මහා කවි මහගම
සේකරයන්
ය. එහි මධුර තනුව සහ සංගීත නිර්මාණය ආචාර්ය
පණ්ඩිත් අමරදේවයන්ගෙනි. එය එතුමන්ගේම
ගැයුමකි.
මේ ගීතයේ කියැවෙන්නේ කුමක්ද?
සන්නාලි පවුලකට උපන් දියණියකගේ විශේෂ අවස්ථාවන් තුනක් ගැනයි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
මාල ගිරා
තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දුටය්
මේ පොඩි ඇඳුම වියන්නේ
ඔවුන් ගෙත්තම් කරමින් සිටින්නේ මාල ගිරා තටු සේ අලංකාර
වූ ද නිල්වන් වූද සළුවකි. එසේ සළු වියන ඔවුගේ මුහුණුවර කෙසේ වේද?
ඔවුන් බොහෝ සතොස පිරි සිනා මුහුණින් යුතුව ඒ සළුව
ගෙත්තම් කරණු ලබයි. ඔවුන් සතු මේ සතුටට හේතුවක් වෙයි.
ඒ සිය අළුත උපන් දියණිය හේතුවෙනි. මේ සළුව ගෙත්තම්
කරණුයේ ඒ දියණිය වෙනුවෙනි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හද වැඩ දමල ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
හැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිහෙන ඇඳුම වියන්නේ
හැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිහෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දුව දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ
ගීතයේ ඊ ළඟ කොටසේදී ඔවුන් වියනා තවත් සළුවක් පිළිබඳව අප
කිවිඳිය විමසයි. ඒ සළුව වියන්නේ හැන්දෑ යාමකයක ය. එය කුමණ අයුරේ සළුවක් ද? හැන්දෑ
අහසේ රන්වන් පැහැයෙන් දිලිසෙන අලංකාරවත් සළුවකි. ඒ සළුව කුමකටද? තම පවුලට උපන්
කුළුඳුල් දියණිය දීග දෙනු වස් ය.
ඊ ළඟට ඔවුන් තවත් වෙසෙස් සළුවක් වියයි. ඒ සළුව වියනුයේ
සීතල සඳ එළියෙහිය. මැලවුණු මුහුණින් යුතුව, වෙව්ලන අතැඟිලි නවමින් දුග හරිමින්
ඔවුන් ඒ සළුව වියනු ලබයි. ඒ කුමකටද?
සන්නාලියනේ සන්නාලියනේ
සීතල සඳ එළියේ
මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය
අයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ
ඔවුන්ගේ පවුලේ මරණයකි. මිය ගියේ අර පෙර කී අවස්ථා දෙකේදී
සඳහන් වුණු දියණියයි. කණකොක් තටුවේ සුදුමැලි පැයෙන් යුතුව වියන මේ සළුව ඇයගේ මළ සිරුර
වසන්නටය.
අමරදේවයන් මේ ගීයේ සමස්ථ අරුතට ගැලපෙන පොදු තනුවක් නිමවයි. එය
හොඳින් සංගීතවත් කොට හොඳින් ගයයි. අසන්නටද ප්‍රිය වෙයි. භාවයන් මතුකරයි. සොඳුරු ගීතයක් අපට ඉතිරි කරයි.
මා ඉහත ගීතය අගැයීමේදී පොදු
තනුවක් නිමවයි යනුවෙන් කීවේ විශේෂ හේතුවක් ඇතිව ය. එනම්, ගීතයේ පද පෙළ විමසද්දී
පැහැදිලිවම දක්නට ලැබෙන දෙය නම්, මේ ඇගේ තෙමඟුල යන්නය. බුදුන් වහන්සේගේ තෙමඟලක්
ගැනද අප කතා කරණ හෙයින් මෙසේ ඇගේ එම අවස්ථා ත්‍රිත්වය තෙමඟලක් යන වදනින් හැඳින්වීමෙන්
බුදුන්ට අපහාසයක් වෙතැයි නොසිතනු ඇතැයි සිතමි. ඇත්තටම එය ඇගේ තෙමඟට වන බැවිනි.
සන්නාලි බිළිඳියකගේ උපත, ඇගේ විවා මඟුල, ඇගේ මරණය
පිලිබඳව කියැවෙන ඒ අවස්ථාවන් තුනටම ඔහු නිමවන්නේ පොදු තනුවකි. පොදු සංගීත
ඛණ්ඩයන්ය. එසේ පොදු තනුවක්, පොදු සංගීත ඛණ්ඩයන් සමගින් ගීතය නිමකිරීමෙන් පවා අප
වෙත සොඳුරු ගීතයක් ලැබෙයි. එහෙත්, මේ අවස්ථා තුන එකිනෙකට වෙසෙසින් වෙනස් අවස්ථා
තුනක් වන බැවින් ඒ ඒ අවස්ථාවේ යෙදෙන තනුවත් සංගීතයත් වෙනස් වෙමින් තැනුනේ නම් අපට
එය වෙනස්ම අත්දැකීමක් වනු ඇත.
මෙන්න මේ කියන වෙනස් විදිහට සිතන සංගීතඥයා නම් ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් නොවේද? මෙය මා විසින්ම කියන කතාවකුත් නොවේ. ඔහු මුණ ගැසෙන්නට මම වාසනාව
ලද අවස්ථා කිහිපයකදීම සඳහන් කළ දෙයකි. ඒ දිනවල අමරදේව
කේමදාස අරෝවක් පැවැති බැවින් ( ප්‍රේම සැඳෑවෝ
ගීත එකතුව හේතුවෙන් ) මෙවන් කතා නිතර මතු විය. අරෝව පැත්තකින් තබා එම ප්‍රකාශයෙහි
සත්‍යතාව විමසුව හොත් මේ ගීය ආචාර්ය කේමදාසයන් අතට පත්විනි නම් ඔහු විසින් නිමවන්නට ඉඩ
තිබුණු ගීතය කුමන නම් පෙළහරක් වනු ඇතිද? එය යම් මට්ටමකින් උදුම්බරා බඹරු ඇවිත් ගීතය බඳු තවත් අපූර්වතම එකක් වනු ඇත. පණ්ඩිත් අමරදේවයන් අතින්ද
නිමැවුණු හොඳම මට්ටමේ ගීතයක් බවට පත්ව ඇති සන්නාලියනේ
ගීතය ඔහු අතින් ( කේමදාසයන් අතින් ) අපූර්වත්වයෙන්
බබළනු නිසැකය. හොඳ යනු එකකි. අපූර්ව යනු තවත් එකකි. හොඳ සහ අපූර්වත්වය මුසු වූ කල
එය කොතරම් පෙළහරක්ද? ඒ විභවය තිබූ සංගීතඥයා කේමදාසයන්
නොවේද?
එසේ වී නම් ඔහු එහි එම කොටස් තුනේදී සංගීතය ක්‍රම ක්‍රමයෙන්
වෙනත් තල වලට ගෙන යනු ඇති. කෙමෙන් කෙමෙන් උච්ඡයකට යනු ඇතිද? එසේ සිතනුයේ තවත්
අතකින් ආවේනික සිතුවිලි ධාරාවට කොටු වූ විටය. එය එසේ කිව නොහැකිය. මරණය යනු අවසන්
අවස්ථාව බව සැබැවි. එහෙත් එය උච්ඡය යැයි කීමට නොහැකිය. එබැවින් සංගීත නිර්මාණය
ඇරඹුමේ සිට යම් ඉහළ තලයකට ගොස් නවතිනු ඇතැයි වැනි අදහසක් කීමට මට නොහැක. නමුත් ඒ ඒ
කොටස් වලදී ඒ ඒ හැඟුම් දනවන සේ එය වෙනස් වනු නිසැකය.
මේ අයුරින් ඒ ඒ කොටසේදී තනුව සහ සංගීතය වෙනස් වෙමින්
දනවන හැඟීම් සෑම ගීතයකටම අදාල නොවන බවද සැලකුවමනාය. එසේ කියන්නේ නො එසේ නම් කේමදාසයන් සංගීතවත් කළ සෑම ගීතයක්ම මවෙත පා ඒ ඒ
කොටස් වලදී සංගීතය වෙන් වෙන් වශයෙන් වෙනසකට බදුන්කොට නැතැයි මගෙන් විමසන්නට
අවස්ථාවක් උදා නොකරණු වස් ය. ඒ වෙනස් කම් සෑම ගීතයකටම නොගැලපේ. එහෙත් ගැලපෙන
ගීතයේදී එය එලෙස කළ යුතුය.
අපි සන්නාලියනේ ගීතය
අසා සිටිමු.
සුජිත් රත්නායක නමැති මහතෙක් මට මුණ ගැසෙන්නේ වත් පොතෙනි. ( ෆේස් බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙනි. ). මා
දන්නා පරිදි ඔහු දක්ෂ සිත්තරෙකි. එසේම ගුරුවරයෙකි. නිර්මාණ සහ සමාජ සංසිද්ධීන් විමසන්නෙකි. සමහර විට නිර්ධය
විවේචකයෙකි.
ඔහු ලියන සෑම දේම මට ගෝචර නොවුණද, ඔහු ලියන බොහෝ දේ
මවිසින් කියවා ඇත. මට ගෝචර වන දේ මම උකහා ගෙන ඇති අතර ගෝචර නොවන දේ ගැන සංවාද වාද
විවාද ද කර ඇත්තෙමි. ඔහු ගැන මෙහිදී මතක් කරන්නට යෙදෙන්නේ ඔහු වත් පොතට ලියූ
ලිපියක් හේතුවෙනි. එහි අඩංගු සියළු දේ මගේ පිලිගැනීමට ලක් නොවේ. එහෙත්, මේ ලිපියට
එය සෘජුවම අදාල බැවින් උපුටා ගන්නට ඔහුගේ අවසර පැතුවෙමි. ඒ අනුව ඔහුගේ එකඟතාව මත
එහි කොටස් හෝ සම්පූර්ණ ලිපිය මෙහි පළ කරන්නට සිතුවෙමි. එහි සියළු දේට එකඟ නොවුණත්
එය අනගි ලිපියකි.
එකඟ නොවනා විවිධ තැන් ඇත්තේ වුවද, එම ලිපිය
සම්පූර්ණයෙන්ම කියවීම වටී යැයි යන හැඟුමින් එය කිසිදු සංස්කරණයකින් තොරව ඔහු ලියා
ඇති විදිහටම පළ කරන්නට සිදුවෙමි. ඉස්පිල්ලක පාපිල්ලක හෝ වෙනසක් නොකරමි. මෙහි
දුඹුරු අකුරින් දක්වා ඇත්තේ ඔහුගේ එම ලිපියයි.
Shape සහ Form ( හැඩ සහ හැඩතල )
අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්
===========================
චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන්
මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණය අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා
ගන්නා ප්‍රමාණයට වඩා හැඩතල හදුනා ගන්නා ප්‍රමාණය ඉතා ම අඩුය. එය අතලොස්සක් තරම් ප්‍රමාණයකි.
ඩයනාගේ ශරීරයට වඩා නිරෝෂා විරාජිනීගේ ශරීරයේ හැඩය වෙනස් ය. නිරෝෂාගේ ශරීරයේ හැඩයට
වඩා පබාගේ ශරීරයේ හැඩය වෙනස් ය. පබාගේ ශරීරයේ හැඩයට වඩා නදී කම්මැල්ලවීරගේ ශරීරයේ
හැඩය වෙනස් ය. නදීගේ ශරීරයේ හැඩයට වඩා නෂ්රින් සන්සෝනිගේ හැඩය වෙනස් ය. නෂ්රින්ගේ
ශරීරයේ හැඩයට වඩා අයිරාංගනී සේරසිංහගේ ශරීරයේ හැඩය වෙනස් ය. අයිරාංගනීගේ ශරීරයේ
හැඩයට වඩා චන්ද්‍රලේඛා පෙරේරාගේ ශරීරයේ හැඩය වෙනස් ය. චන්ද්‍රලේඛාගේ ශරීරයේ හැඩයට
වඩා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශරීරයේ හැඩය වෙනස් ය. චන්ද්‍රිකාගේ ශරීරයේ
හැඩයට වඩා මදිවාදිනීගේ ශරීරයේ හැඩය වෙනස් ය....... මේ වගේ හැඩ අතර වෙනස්කම් දෘෂ්‍ය
සාක්ෂරතාවෙන් කියවන තරමට මේ එකිනෙකා දෘෂ්‍යමාන ව වෙනස් වන ''හැඩ තල'' කියවීමට හැමෝට ම බැරි ය. ( එසේ හැකි
උවත් ඉදිරිපත් කිරීමට නොහැකි ය )
මේ අයගේ රූප වල සෙවනැලි හැටියට ඥානණය වන
පැතලි ස්වරූපය හැඩය හැටියට සෙවනැල්ලෙන් තොරව යි අප තේරුම් ගන්නේ. අසවලාගෙ උකුල ලොකුය, පියුයුරු විශාල ය,
ඇගිලි කෘෂය, මහතය කෙට්ටුය ආදී ලෙස
බහුතරයක් ඥාණනය කර ගන්නේ හැඩ පිළිබද සංජානනයෙනි. නමුත් හැඩතල යනු පහසුවෙන්
නිෂ්ටාවක් ලබන සංජානණ මූලයක් නොවේ. හැඩතල හුදෙක් සෙවනැල්ලකින් හෝ මතුපිටින් ඥාණනය
නොවන්නකි. එය අස්ථි පඥ්ඥරය, මාංශ පේශි සහ සම ද ඇතුළු
සමස්තයක් හා ඒකාබද්ධව ඥානණය වන හැඩය රදා පවතින වස්තුවේ කේෂ්ත්‍රයයි. මෙය හරියට
ගෙවල් හැදීම හා වාස්තු විද්‍යාව යනු දෙකක් වනවා වාගේ ය. මලළ ක්‍රීඩා උළෙළකට කරාටේ
හෝ වුෂූ සටන් තරග වලට ඉදිරිපත් වනවාට වඩා ජීවමාන නිමිත්තක් පාදකව සටන් කරනවා යන්න
දෙකක් වනවා වගේ වෙනස් ය. ආලෝකය සහ ආලෝකකරණය යනු දෙකක් වනවා වගේ වෙනස් ය. චිත්‍ර
කතා සහ නව කතා යනු දෙකක් වෙනවා වගේ වෙනස් ය. ශබ්ද සහ නාද යනු දෙකක් වනවා වගේ වෙනස්
ය. මොන්ගොලයිඩ් ප්‍රභේදයේ ම වන චීන්නු සහ ජපනා යනු දෙකක් වනවා වගේ වෙනස් ය.
එල්.ටී.ටී.ය දිය කර දාපු රනිල් වික්‍රමසිංහ හා බංකොලොත් වූ එල්.ටී.ටී.ඊ. ශරීරයට
වෙඩි තැබූ මහින්ද රාජපක්ෂ යනු දෙකක් වනවා වගේ වෙනස් ය.
පුළුන් පිරවූ ටෙඩි බෙයාර් රූපයකට කටුවකින්
අනින විට අතට දැනෙන හැගීමයි ජීවමාන මනුස්සයකුගේ ශරීරය මත කටුවකින් අනින විට අතට
දැනෙන හැගීමයි දෙකක්. මෙන්න මේ ස්වභාවය දෘෂ්‍යමානව හෙළිදරව් කළ හැකි දෙයක්. මෙම
ස්වභාවය හෙළිදරව් කිරීමට උපකාරී වන්නේ හැඩ නොව හැඩතල ය. අප යමෙකු තුරුලු කර ගන්නා
විට හෝ අප යමෙකුට තුරුළු වන විට අප එම තැනැත්තා හෝ තැනැත්තීව අපට දැනෙන්නේ හැඩතල
අනුසාරයෙනි. අප යමකුගේ නලල් තලය හිසේ රුදාවක් සන්සිදවනු පිණිස පිරිමදින්නේනම් අපගේ
ඇගිලි තුළට ඔහු හෝ ඇයගේ නලල්තලය හැටියට දැනෙන්නෙ හැඩයක් නොව හැඩතලයකි. හැඩය යනු
මෙයයි කිව හැකි තරමට හැඩතලය යනු මෙයයි භාෂාවෙන් ප්‍රකාශ කිරීම අසීරුය. එහෙත් ඒ
පිළිබද තක්සේරුවක් ද හැගීමක් ද තමන් තුළ පැවතිය හැකි ය.
මට අමරදේව හැඩ බදු කතාවකි. කේමදාස හැඩතල
බදු කතාවකි. අමරදේව සංගීතවත් කොට ගැයූ ගීත වල පදරචනය වෙනත් අන්තර්ගතයක් මත
පිහිටුවා වෙනස් කොට එක ම තනුවට ම ගැයූවොත් පදරචනයේ තේරුම් අනුව වෙනස්කම් දැනුනත්
සංගීතමය වින්දනය වෙනස් නොවේ. නමුත් කේමදාසගේ සංගීත තනුවක් / සංගීත නිර්මාණයක් එම
පදරචනයෙන් පිට පිහිට වූ විට එය අයාලේ යයි. කේමදාස සංගීතය මගින් අල්ලන්නේ පදරචනය
මගින් ප්‍රකාශ කරන වස්තු විෂයේ සංගීතමය පිහිටවීමයි. සරළව කිව්වොත් කේමදාස හැඩතල
ගැන සංවේදී වන විට අමරදේව සංවේදී වන්නේ හැඩ ගැනයි. අමරදේව සංගීතවත් කළ ''පෙරදිනයක මා පෙම් කළ
යුවතිය සිය පුතු නළවනවා'' ගීතයට වියෝගය පාදක වෙනත් ඕනෑ ම
අද්දැකීමක් බහා එම තනුවට ම ගැයීය හැකි ය. ගුරුවරයකු, මිත්‍රයකු,
ඥාතියකු එහි සදහන් පෙම්වතිය වෙනුවට පිහිටුවා ගැයූවත් වින්දනය
වෙනස් නොවේ. මේ වගේ අමරදේව සංගීතවත් කළ ''පිපුණ කුසුම පර
වූවා'' ''බඹරෙකු හැඩුවයි'' ''ඇසේ
මතු වන කදුළු බිදු ගෙන'' ...ආදී ගීත වල වස්තු විෂය වෙනුවට
වෙනත් වස්තු විෂයයන් ඒවායේ මූලික ආවේදනයට හානි නොවන ආකාරයට බහා ගැයූවොත් වින්දනයේ
වෙනසක් ඇති නොකරයි. පදරචන වල ඒ ඒ වස්තු විෂයේ මූලික මනෝභාවයන් හදුනාගෙන අමරදේව
ඔහුගේ ගීත වල සංගීත නිර්මාණ වලට ඉන්දියානු රාග වල මනෝභාවයයන් ඒ අනුව ඒවාට
කාවැද්දවීමයි කරනු ලැබුවේ. යමන් රාගය, කාෆි රාගය, බහිරවී රාගය .....ආදී ඕනෑ ම රාගයකින් ඉදිරිපත් කරන්නේ එක් මූල
මනෝභාවයකි. ( ශෘංගාරය, කණස්සල්ල. ප්‍රීතිය, ආදී ලෙස)
නමුත් කේමදාස වස්තු විෂයට ඌණනය වී එය ම
විදාරණය කරවීමයි කරනු ලබන්නේ. අමරදේව ගැයූ කේමදාස සංගීතවත් කළ ''විකසිත පෙම් පොකුරු
පියුම්'' ''සද හොරෙන් හොරෙන් බලා'' ''පෙම්වතුනේ සිත දවනා පෙම්වතුනේ'' ''ප්‍රේම
සැදෑවෝ'' වගේ ගීත වල වස්තු විෂය ම මිස වස්තු විෂය ආවරණය
වන පොදු මනෝභාවයක් මත ඕනෑ ම අන්තර්ගතයක් බහා ගැයීය නොහැකි ලෙස කේමදාස වස්තු විෂයේ
හැඩතලයයි අල්ලන්නේ. කේමදාස සංගීතවත් කළ කිසිදු ගීතයක් සංගීතය හොදට දන්නා කෙනෙකුට
හැර විකෘති කළ නොහැක්කේ එබැවිනි. අමරදේව සංගීතවත් කොට ගයන ''පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා'' ගීතය ''පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකෙක්
දක්කනවා'', ''පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා''
වගේ විපර්යාස අමරදේවගේ තනු වලට කළ හැකි වූවාට කේමදාසගේ තනු වලට
කළ නොහැකි ය. කේමදාස ලංකාවේ ජන සමාජයේ මනෝභාවයන් හි හැඩතල හෙවත් තථ්‍යාකාරයයි
අල්ලන්නේ. එය ගලන ගගක ''ගලන බව'' වැනි ය. රෝස මලක ''රෝස බව'' වැනි ය. කුරුලු හඩක ''කුරුලු ගතිය'' වැනිය. කොල්ලෙකුගේ ''කොලු ගතිය'' වැනි ය. අර කුච් කුච් හෝතාහේ ගීතයේ මනෝභාවයක් හැටියට දැනෙන දගකාර වූ
නාඹර ප්‍රේමානන්දය දැනවෙනවා වගේ කේමදාස එ ඒ ගීතයේ වස්තු විෂය ම හැඩතලයක් හැටියට
අල්ලා ගන්නවා. මම දකින්නේ ස්වදේශික අපේ ජන ජීවිතයේ නිදන්ගත සැබෑ දේශීය මනොභාවයන්
හා එහි නිලයන් අල්ලාගෙන අලංකෘත කරනු ලැබූයේ අමරදේව නොව කේමදාසයි. යමෙකුට තුරුලු වන
විට ඥානණය වන්නේ එම පුද්ගලයාගේ හැඩය නොව හැඩතලය වන්නාක් මෙන් තුරුලු වීමෙන් දැනවෙන
එම හැඩතලය තුරුලු වීමක නිලය වන නිසාවෙන් එය පොදු ජනයා දන්නා එහෙත් කියා ගත නොහැකි
දේ සංගීතයෙන් කේමදාස විසින් විදාරණය කර දෙන නිසා ත් අමරදේව ගැයූ ගී අතුරින් කේමදාස
සංගීතවත් කළ ගීත යි වැඩි වශයෙන් පොදුජනකරණය වී තිබෙන්නෙ.
අමරදේව තුළ ඇති විශේෂත්වය නම් හැගීම්බර
පිරිමි කටහඩක් තිබීමයි. එම කටහඩ ප්‍රේමවන්තයකු හැටියට ද පියකු හැටියට ද වෙනත් ඕනෑම
පිරිමි තත්වයකදී ඉදිරිපත් කළ හැකි දුර්ලබ ගීතමය කටහඩකි. කේමදාසට ද ගී ගැයීමට හැකි
උවත් ඔහුට තම කටහඩ සමාජයට ගෙන යාමට අවශ්‍ය නොවී ය. කේමදාසට පියානෝව වැයීමට හැකි
උවත් ඔහුට වාදකයකු වීමට උවමනා නොවී ය. ඔහුට ආයතන වල මහ පුටු දුන්නත් ඔහුට ඒවායේ ඉද
ගැනීමට උවමනා නොවී ය. ඔහුගේ නිර්මාණාවේෂය අමරදේවගේ නිර්මාණාවේෂයට සපුරා වෙනස් ය.
ඔහුට ඔහුගේ සංගීත තනු හා සංගීත නිර්මාණ වලට ගන්නා ගායක ගායිකාවන් යනු අමුද්‍රව්‍ය
ය. ඔහුට එම අමුද්‍රව්‍ය නිර්මාණය තුළ නිර්මාණයේ අවශ්‍යතාවයක් මත පිහිටවනු විනා
සමාජ පිහිටවීම් මත ඒ ඒ අමුද්‍රව්‍ය ලොකු හෝ පොඩි කර ගන්නා කෙනෙකු නොවේ. ඔහු
නිර්මාණය ඉදිරියේ යක්ෂයෙකි. අමරදේවට ද කේමදාසගේ නිර්මාණයත් එක්ක බද්ධ විය හැක්කේ
ඔහුගේ නිර්මාණ ආධිපත්‍යයේ අණසකට යටත්ව ය. එසේ වන්නේ කේමදාස හැඩ නොව හැඩතල අල්ලන
සමුරායි කෙනෙක් හෝ ග්ලැඩියේටර් කෙනෙකු වන නිසා ය. කේමදාස සමග තවදුරටත් බද්ධ වීමට
ඇල්බට් පෙරේරා ''අමරදේව'' බවට පත් කළ අය ඉඩ නොදුන් අතර
අමරදේවගේ ගෝලයන් ද ඉඩ නොදුනි. ඒකට ප්‍රධාන හේතුව කේමදාසගේ සංගීත ප්‍රවේෂය බටහිර සංගීත
සම්ප්‍රදාය වීමයි. නමුත් කේමදාස සංගීතවත් කළ ජනප්‍රිය වූ ගී නිර්මාණ බටහිර ද
ඉන්දියානුද දේශීය ද යන්න සොයා ගත නොහැකි අමුතු හැගීමක් ඇති කරවන ඒවා බව මගේ
අදහසයි. ඊට හේතුව කේමදාස අල්ලන්නේ වස්තු විෂයේ හැඩතලය වන නිසා ය. අමරදේව ද
ඉන්දියානු සංගීත සම්ප්‍රදායෙන් පන්නරය ලබන්නේ නමුත් ඔහුගේ සංගීතය ද හුදෙක්
ඉන්දියානු ගතියට වෙනස් අමුතු හැගීමක් ඇති නොකරනවා නොවේ.ප්‍රශ්නය වන්නේ සිංහල ජන
විඥානය තුළ ඇති බටහිර විරෝධය කේමදාසට කුඩම්මාගේ සැළකිල්ලට බලපෑමයි. මගේ වැටහීම
අනුව කේමදාස බටහිර සංගීතයෙන් සංගීත ප්‍රවේෂය ලබන්නේ නමුත් ඔහුගේ නිර්මාණ නියම
දේශීය මනොභාවයන් කුළුගැන් වූ දේශීයකරණය කර ගත් සංගිත ශෛලියක් වන බවයි. ''අම්මාවරුණේ''''ළදුනේ''''පවනට සැලෙනා''...වැනි ජනාදරයට පත් වූ අනන්ත
අප්‍රමාණ ගීත කේමදාස විසින් කදිම ලෙස දේශීයකරණය කරන ලද ගීතයි. ගිතයක දේශීය
සංගීතාත්මය මත පදනම් කේමදාසට වඩා අමරදේව ''මහා චරිතයක්''
වන තරමට ලාංකිකයාට කේමදාස ''මහා චරිතයක්''
නොවූයේ කේමදාසගේ කට නිසා ය. කේමදාසගේ කටයි අමරදේවගේ කටයි
පැහැදිලි ව වෙනස් ය. කේමදාස මානසික අල්අලස් හෝ වෙනත් ඕනෑ ම අල්ලසක් මගින් අල්ලා ගත
නොහැකි නිර්මාණ උන්මාදයෙන් පෙළෙන මිනිසෙකි. ඔහු ගැන කව්රු ගුණ වැයූවත් ඔහු පෙරලා
ගුණ වැයීමට නොයන්නේ ය. ඔහු සිටින්නේ නිර්මාණාවේෂයක ය. ඔහුට අමතර කතා අදාල නැත. ඔහු
බොහෝ විට කෝපයෙන් බැන වදිනවා, හෝ අවනඩු දමා ගසනවා හැර ප්‍රශස්ති
නොගයන අයෙකි. කොටින් ම කේමදාසට ලං වීමට හැමෝ ම බය ය. කේමදාසගේ කට ඒ තරමට හොද නැත.
කට හොද නැති මේ මිනිසාගේ තනු නිර්මාණ තමයි දේශීය සමාජ දේහය පතුලේ ම නිදන්ගත වී ඇති
තනු නිර්මාණ වන්නෙ. මෙය අත්හදා බලන්න ඔබට මම යෝජනාවක් කරන්නම්. ''ජීවිතේ අමධාරා'' ''පවනට සැලෙනා''''ප්‍රේම සැදෑවෝ'' වැනි ගීත කුඩා දරුවන්ට ඇහෙන්න
සැලැස්සුවොත් අමරදේව තනු නිර්මාණය කළ ගීතයකට ඇදී එන පොඩි ළමයින්ගේ ප්‍රමාණයට වඩා
කේමදාස තනු හා සංගීත නිර්මාණය කළ ගීත ශ්‍රවණය පිණිස ඇදී එන ප්‍රමාණය වැඩියි. අර
අන්ධ ගායිකාවක් ගයන ''අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත
මොනවදෝ මුමුණනවා'' ගීතයේ වගේ වාලම්පුරියක ඇතුලතින් එන ''හෝ'' ගාන ශබ්දය වගේ මතුපිටට යටින් ''මොන මොනවදෝ'' මුමුණන කුල්මත්කාරක ස්වභාවයක්
කේමදාසගේ තනු හා සංගීත නිර්මාණ වල තියෙනවා. ජාතියේ මහා ගාන්ධර්වයා හැටියට අමරදේව
අභිෂේක ලබන්නේ නමුත් අමරදේවගේ මධුර කටහඩ සැබෑවට ම අර වාලම්පුරියක හෝ ගානා ශබ්දය
වගේ නිදන්ගත හැඩතල මතින් උත්කෘෂ්ටත්වයට පත් කළ කේමදාස මහා චරිතයක් නොවන්නේ හැඩ
හදුනා ගන්නා තරමට හැඩතල හදුනා ගැනීමේ සාක්ෂරතාව විරල සමාජයක් වන නිසා සහ ක්ෂේත්‍රයේ
කුහකකම නිසා ය. මම සිත්තරකු හැටියට අසීමිතව ප්‍රේම කරන්නේ අමරදේවගේ කටහඩට ය. නමුත්
මට අනුව අයස්කාන්ත දේශීය සංගීත ආත්මය ප්‍රේමසිරි කේමදාස ය.මෙම අදහස නිකන් ම නිකන්
පහළ වූවක් නොවේ. අමරදේව ප්‍රේමයෙන් දේශාභිමානයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් අප
සතපවන ලද නමුත් කේමදාස තනු හා සංගීත නිර්මාණ වලින් සෑම සමාජ පන්තියක ම සෑම සමාජ
සංසිද්ධි පාදකව තනු හා සංගීත නිර්මාණ කොට සිමාසහිත නොවී ය. මොන රෝගියාත් වෛද්‍යවරයකුට
රෝගියා වන්නා සේ කේමදාසට සංගීතයනම් ක්ෂේත්‍රය තුළ වස්තු විෂයයන් හැටියට ඒකමාන විය.
ඔහු සංගීතය මගින් රාජ්‍ය දෘෂ්ටිවාදයට හිතකර වස්තු විෂයයන් මත පමණක් නොපිහිටා
කටයුතු කළ අයෙකි. සැබෑ සංගීතාත්මයකි. අමරදේවට අප තුළ ගෞරවයක් ද භක්තියක් ද ඇති
නමුත් රාජ්‍යයේ සියලු රෙජිමයන් උපයෝගී කරගෙන අමරදේව දිව්‍යමය කොට අමරදේවගේ මධුර
කටහඩට සාධාරණය ඉෂ්ට කළ කේමදාසලා චූල කොට සබුද්ධික ව වෙනස්කම් කිරීම නිසා අපේ
දරුවන් වෙනුවෙන් අපට මෙසේ ලියන්න සිදු විය. අවසානයේ මට කිව යුත්තේ'' හැඩ හදුනා ගන්න ලේසියි. හැඩතල ගැන දැනෙන නමුත් හැඩතල හදුනා ගන්න
අමාරුයි.'' කියලා ය.
සුජිත් රත්නායක
මගේ සටහනට ඔහුගේ සටහන අමුණන්නට මුළින් සිතුවේ වෙනත්
තැනකදී වුවත් මෙහිදී එය අමුණන්නට සිතුවේ මී ළඟට කතා කරන්නට අවැසි ගීතයට එයින් මට
විසල් අදහසක් උපුටා ගැනීමට අවැසි බැවිනි.
මතු දැක්වෙන ගීතය පිළිබඳවද ආචාර්ය
කේමදාසයන් දැරූ අදහස පාදක කොට ගෙන ය
මගේ අදහස් දැක්වීම කෙරෙනුයේ.
සඳ
හොරෙන්
හොරෙන්
හොරෙන්
බලා
වළකුළක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
අසා සිටිනවා.......
ගීතයක් නිර්මාණය රිලේ
දිවිමකි. රිලේ දිවීමේදී යෂ්ඨි
හුවමාරුවක් වන බව අපි දනිමු. නිවැරදි ලෙස යෂ්ඨි හුවමාරුව සිදු කරමින් වේගයෙන්ම
තරගය නිමවන කණ්ඩායම ජයග්‍රාහකයින් වෙයි. මේ අයුරින් ගීත නිර්මාණ ගීත රචකයා සංගීතඥයා
සහ ගායකයාගේ රිලේ දිවීමක් බඳු වෙයි. ඒ ඒ
තරගයේදී ඒ ඒ ධාවකයා වැඩි වේගයක් සතු කරගන්නා සේ මේ ගීත නිර්මාණය නම් රිලේ දිවීමේදී
වරෙක ගීත රචකයාට වැඩි ස්ථානයක් හිමිවෙයි. විටෙක එය සංගීතඥයාටය. තවක් විටෙක ගායන
පාර්ශ්වයට ය. එහෙත් මේ සඳ හොරෙන් හොරෙන් ගීතයේදී
නම් එය නියත වශයෙන්ම හිමි විය යුත්තේ සංගීතඥයාටය. එනම් ආචාර්ය
ප්‍රේමසිරි කේමදාසයන්ට ය.
සඳ හොරෙන් හොරෙන් ගීතයෙහි රචකයා
කුලරත්න
ආරියවංශ
යන්ය. ඔහු ඉතා වෙසෙස් සහ දක්ෂ ගීත රචකයෙකි. සිහල ගීත ක්ෂේත්‍රයට කළ
දායකත්වය හේතුවෙන් නොමැකෙන නමුක් ඔහුට
හිමිය. එහෙත් සඳ හොරෙන් ගීතයේදී ඔහුගේ රචනයේ
දායකත්වයට වඩා වැඩි දෙයක් සංගීතඥ කේමදාසයන්
ඉටු කර ඇත. මුල්ම ගීත රචනය දෙස බැලූ විට එය සැනෙන් අවබෝධ වනු ඇත.
සඳ හොරෙන් බලා
වළාකුළක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
මේ මුල් ගීත
රචනාව ඇරඹෙන විදිහයි. එහෙත් එය
සඳ
හොරෙන්
හොරෙන්
හොරෙන්
බලා
වළාකුලක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
අසා සිටිනවා......
මේ දෙවිදිහේදීම සඳ හොරෙන් බලා සිටී. එහෙත් කේමදාසයන්ගේ විදිහේදී සඳේ මේ හොර බැල්ම කුමන නම්
මට්ටමකට ගෙන ගොස් කියා පාන්නේද,
සඳ
හොරෙන්
හොරෙන්
හොරෙන්
බලා
යනුවෙන් පුනරුච්ඡාරණය කරමින් ගයද්දී ඉන් ගීතයට ලැබෙන
ආලෝකය මෙතෙකැයි කියන්නට බැරිය. ඊ ළගට ඒ කොටස අවසන් කරණ විට
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
යනුවෙන් නිම නොකොට අසා සිටිනවා යන්න දෙවරක් ගැයීමෙන් එම
අසා සිටිමද වෙසෙස් තැනකට ගෙනයයි. ඒ අනුව මේ රිලේ රේස්
එකේදී කේමදාස නම් ධාවකයා වැඩි වේගයකින්
දිව යමින් ගීතය ජයග්‍රාහණයෙනුත් ජයග්‍රාහී මට්ටමකට ගෙන යයි.
සංගීතඥයෙකු වශයෙන් නොව ගායකයෙකු වශයෙන් අමරදේවයන්ගේ දායකත්වය මෙහිදී මොනවට ප්‍රකට වේ. කුලරත්න ආරියවංශයන් ගීත රචකයෙකු වශයෙන් සාධාරණ
වේගයක් පවත්වා ගනිමින් ලබා දෙන යෂ්ඨිය කේමදාසයන්
විසින් වර්ධනය කර නියත ජයග්‍රාහී වේගයක් බවට පත් කරනු ලබයි. සංගීතඥයෙකු වශයෙන් කේමදාසයන් තමන් වෙත වේගයෙන් දිව එමින් ලබා දෙන
යෂ්ඨිය අතට ගන්නා අමරදේවයන් එම වේගය අඩුවෙන්නට
නොදී ජය කණුව දක්වා සිය ගායන හැකියාව නමැති ධාවනය ඔස්සේ රැගෙන යන අයුරු ප්‍රකට
වෙයි. මෙහිදී සංගීතඥයා කේමදාසයන් නොවුණි නම්,
මේ ගීතයේ අපට මේ තරම් රසයක් නොදැනෙනු ඇතිය යන්න මගේ අවංක හැඟීමකි.
අපි සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ගීතය අසමු.
සුජිත් රත්නායකයන් කියා ඇති දෙයක් මෙහදී උපුටා දක්වනු කැමැත්තෙමි.
අමරදේව සංගීතවත් කොට ගැයූ ගීත වල පදරචනය වෙනත්
අන්තර්ගතයක් මත පිහිටුවා වෙනස් කොට එක ම තනුවට ම ගැයූවොත් පදරචනයේ තේරුම් අනුව
වෙනස්කම් දැනුනත් සංගීතමය වින්දනය වෙනස් නොවේ. නමුත් කේමදාසගේ සංගීත තනුවක් / සංගීත නිර්මාණයක් එම
පදරචනයෙන් පිට පිහිට වූ විට එය අයාලේ යයි. කේමදාස සංගීතය මගින් අල්ලන්නේ පදරචනය මගින් ප්‍රකාශ
කරන වස්තු විෂයේ සංගීතමය පිහිටවීමයි. සරළව කිව්වොත් කේමදාස හැඩතල ගැන සංවේදී වන විට අමරදේව සංවේදී වන්නේ හැඩ ගැනයි. අමරදේව සංගීතවත් කළ ''පෙරදිනයක
මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා'' ගීතයට
වියෝගය පාදක වෙනත් ඕනෑ ම අද්දැකීමක් බහා එම තනුවට ම ගැයීය හැකි ය. ගුරුවරයකු, මිත්‍රයකු, ඥාතියකු
එහි සදහන් පෙම්වතිය වෙනුවට පිහිටුවා ගැයූවත් වින්දනය වෙනස් නොවේ. මේ වගේ අමරදේව සංගීතවත් කළ ''පිපුණ කුසුම පර වූවා'' ''බඹරෙකු
හැඩුවයි'' ''ඇසේ
මතු වන කදුළු බිදු ගෙන'' ...ආදී
ගීත වල වස්තු විෂය වෙනුවට වෙනත් වස්තු විෂයයන් ඒවායේ මූලික ආවේදනයට හානි නොවන
ආකාරයට බහා ගැයූවොත් වින්දනයේ වෙනසක් ඇති නොකරයි. පදරචන වල ඒ ඒ වස්තු විෂයේ මූලික
මනෝභාවයන් හදුනාගෙන අමරදේව ඔහුගේ ගීත වල සංගීත නිර්මාණ වලට
ඉන්දියානු රාග වල මනෝභාවයයන් ඒ අනුව ඒවාට කාවැද්දවීමයි කරනු ලැබුවේ. යමන් රාගය, කාෆි රාගය, බහිරවී රාගය .....ආදී ඕනෑ ම රාගයකින් ඉදිරිපත් කරන්නේ
එක් මූල මනෝභාවයකි. ( ශෘංගාරය, කණස්සල්ල. ප්‍රීතිය, ආදී
ලෙස)
නමුත් කේමදාස වස්තු විෂයට ඌණනය වී එය ම විදාරණය
කරවීමයි කරනු ලබන්නේ. අමරදේව ගැයූ
කේමදාස සංගීතවත් කළ ''විකසිත
පෙම් පොකුරු පියුම්'' ''සද හොරෙන් හොරෙන් බලා'' ''පෙම්වතුනේ
සිත දවනා පෙම්වතුනේ'' ''ප්‍රේම සැදෑවෝ'' වගේ
ගීත වල වස්තු විෂය ම මිස වස්තු විෂය ආවරණය වන පොදු මනෝභාවයක් මත ඕනෑ ම අන්තර්ගතයක්
බහා ගැයීය නොහැකි ලෙස
කේමදාස වස්තු
විෂයේ හැඩතලයයි අල්ලන්නේ. කේමදාස
සංගීතවත් කළ කිසිදු ගීතයක් සංගීතය හොදට දන්නා කෙනෙකුට හැර විකෘති කළ නොහැක්කේ
එබැවිනි. අමරදේව සංගීතවත් කොට ගයන ''පෙරදිනයක
මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා'' ගීතය ''පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකෙක්
දක්කනවා'', ''පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා'' වගේ
විපර්යාස අමරදේවගේ තනු වලට කළ හැකි වූවාට කේමදාසගේ තනු වලට කළ නොහැකි ය. ( උපුටා ගැනුම - Shape සහ Form ( හැඩ සහ හැඩතල - අමරදේව
ගැන සිත්තරකුගේ ඇසින් - සුජිත් රත්නායක )
මේ බවට හොඳම උදාහරණය සැපයිය හැක්කේද ඉහතින් අප වරින් වර
කතා බහට ලක් කරණු ලැබූ ප්‍රේම සැඳෑවෝ හි ම එන
ගීතයකිනි. ඒ ගීතය සැකසෙන්නේ මේ අපි දැන් කතා කරමින් සිටි සඳ
හොරෙන් හොරෙන් ගීතය නිසාවෙන්මය. ඒ මේ නිසා ය.
ප්‍රේම සැඳෑවෝ හි සියළුම තනු කේමදාසයන්
විසින් අමරදේවයන්ට සාදා දුන් ඒවාය. ඒ බොහෝ ගීත
රචනා කළේ ආචාර්ය අජන්තා
රණසිංහයන් බව මා කී බව ඔබට මතක ඇත. එහෙත් එකක් දෙකක් අන් අයගේ රචනාවන් විය.
මේ සඳ හොරෙන් හොරෙන් ද එසේ වන බැව් දැන් ඔබ
දන්නා කරුණකි.
ආචාර්ය අජන්තා රණසිංහයන්
ආචාර්ය කේමදාසයන්ගේ තනු ආරියරිංහයන්
විසින් ගයනු කැමැති වූවාට අර අනෙක් කෙනා දෙන්නා අකමැති වූ බැවින්, ඉහත සුජිත් රත්නායක විසින් කියා ඇති කේමදාසයන්ගේ තනු මත බිහි වූ ගීත වලට වෙනත් වචන යොදා ඒ
සංගීතමය රසය දැනවිය හැකි ගීතයක් ප්‍රතිනිර්මාණය කළ නොහැකිය යන සත්‍යය බිඳින්නට වෙර
දරන්නේද අවාසනාවට කේමදාසයන් ම ය. ඒ ඉගැන්නුම්
බහකට, ඒ අවස්ථාවේ ඇති වුණු තරහවට වන්නට ඇත. කෙසේ වෙතත්, ඒ උත්සාහය මේ සුජිත් රත්නායකගේ කිවමන ඉතා මැනැවින් ඔප්පු කර සිටී.
සඳ හොරෙන් හොරෙන් තනුවට අජන්තා රණසිංහයන් විසින්
ලියූ පද වල මුළ මෙසේය.
කොඳ කුසුම් සෙමෙන් පවන් සලා
තුෂාරයට අමතලා
සැඳෑ සොඳුරු කල්පනා
කතා කරණවා
නෙතු පියන් සලා සලා
හුදෙකලා වියේ
කොපුල් තල බලා හිඳී යොවුන් රාත්‍රිෙය්
ප්‍රෙමාලිංගනේ
ප්‍රාර්ථනා සිතින්
සඳ හොරෙන් හොරෙන් තනුවට ලියූ කොඳ කුසුම් සෙමෙන්
පවන් සලා ගීතය අසමු.
මේ ගීතයේ පද පෙළ හා මුල් ගීතයේ පද පෙළ සසඳන විට මුල් පද
පෙළ සහ මේ පද පෙළ අතර ඇති පරතරය අති මහත් බව ඔබට වැටහෙනු ඇත. ඉන් එක කරුණක් නම්,
ආයාසයෙන් ලියන්නට වීමය. අනෙක් කරුණ නම් මහා ගීතයක් ලෙස වැජඹෙන ගීතයක් අභිබවා යන
අන් වචන පෙළක් ලියා ඒ දැනවුම කිරීම අති දුෂ්කර නිසා ය. වඩාලාත්ම නම් මට හිතෙන්නේ
අර සුජිත් කී කරුණය. කේමදාසයන්
අරුතට ලඝු වී තනුව හා සංගීතය නිමවා එයින්ම පුළුල් රසයක් මවන හෙයින් ඒ තනුව හා
සංගීතයට වෙනත් වචන යෙදීමෙන් අර පුළුල් රසය ලබා දිය නොහැකි බවය.
අප කීවාට පළක් නොවේ. ගීත දෙක සසඳා ඔබම විමසන්න. කෙසේ
වෙතත්. කොතෙක් ඇනුම් බැණුම් ඇසුවේ වුව, මෙහි දී අන් සියල්ලට වඩා ඉහළින් සිටින
මිනිසෙක් වෙයි. ඒ
ඩබ්. ඩී. ආරියසිහයන්
ය.
ඔහුගේ වෙසෙස් ගැයුමය. අර කී දුර්වලතාවයන් පරදා ඔහුගේ ගැයුම ඉහළින් ඇත.
මෙයිනුත් මේ කතාව නිම නොවේ. තව බොහෝ කතා ඉදිරියට ය. අදට
නවතිමි.
තුන්වැනි කොටස කියැවීමට පහත ලින්ක් එක ඔස්සේ එන්න.
- යසනාත් ධම්මික බණ්ඩාර -
සාරවත් ලිපියක්!
ReplyDeleteමට මෑතකදී බුද්ධිමත් තරුන දේශපාලකයෙක් සමග කතාකර කර ඉන්න පොඩි ඉඩක් ලැබුනා. ඔහු කියනවා අමරදේවයන්ගේ ඒ ප්‍රතිරූපය නිසාම කේමදාසයන් ගැන සාකච්ඡාවීම අතහැරිලා ගියා කියලා ඔහු පෞද්ගලිකව හිතනවා කියලා.
ඔපෙරා ගැන ලංකාවේ කේමදාසට තමයි උසස්ම දැණුම තිබ්බේ
ReplyDeleteහැමදාමත් වගේ ම අගේ ඇති ලිපියක්.
ReplyDelete