Friday, December 16, 2016

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 3






දයාළු දේශය බිහි වේවා
බිහි වේවා

නිදුක් නිරෝගී ශාන්ති වාදී
ප්‍රාර්ථනාවෝ පූර්ණ වූ
නිර්මල සත් වග බිහි වන්නා
දයාළු දේශය බිහි වේවා

මා පිය දූ දරු පෙම් බැඳි සෙනෙහේ
කැනි මඬලද දිගු ආයු ලබාවෝ
බාල ළමාවරු කිරුළු දරන්නට
ගණ දෙවියෝ නැණ නුවණ දෙවාවා

නේක කදෝ පැනි කුරා කුහුඹුවෝ
ප්‍රාණයසෙවුනා වුන් නොනසාවා
සාදුකාර දී සක්වල දෙවියෝ
පුවඟු මලින් පැන් ඉසුරු වඩාවා

මේ ගීතයේ තනුව  


 ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
යන්ගේය. 
එහි ගැයුම  


ඩබ්. ඩී. ආරියසිංහ
යන්ගෙනි. 
මේ පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙනි.

මා මෙහිදී ගී පද සඳහා වන ගෞරවය අවසානයට ම පුද කළේ ගී පද රචකයන් හා ඇති අරෝවක් නිසා නොවේ. එහි පද රචනා කරන්නට යෙදුනේ කේමදාසයන් විසින් පෙර නිර්මිත තනුවකට වූ බැවිනි. පෙර නිර්මිත තනුවකට වදන් යෙදීමේදී එය පහසු කටයුත්තක් නොවන වග, එවන් තනුවකට වගකීමෙන් වචන යොදන්නට උත්සාහ කළ අය දන්නා කරුණකි. ඒ අනුව ගත් කල,

 ආචාර්ය අජන්තා රණසිංහ 
යන් මේ තනුව සමග මහත් වූ ව්‍යායාමයක් කර ඇති වග පෙනී යයි. ඒ ව්‍යායාමයේ වූ මහත් බව නිසාම උත්සාහය ප්‍රශස්ත මට්ටමකට එස වී ඇත. 

කෙසේ වෙතත්, පෙර නිර්මිත තනුවකට යනුවෙන් ලියා තබා මේ ගැන කතා කළ හොත් එහි අඩුවක් වෙයි. ඇත්තම ඇත්ත කරුණ නම්, ඊට වසර බොහෝ ගණනකට පෙර නිර්මාණය කළ ජනප්‍රිය වූ රසික අගැයුමට ලක් වූ ගීතයක තනුවට අජන්තා රණසිංහයන් විසින් වචන යෙදීමකි මෙහිදී සිදු වුණේ යන්න නොලියා යාම නොමැණවැයි සිතේ. 

ඊට පෙර, ගීතය අසමු.

ඉහත දයාළු දේශය බිහි වේවා ගීතය නිමවන්නේ මා පෙර කොටස් වල කියූ ප්‍රේම සැඳෑවෝ ගීත එකතුව සඳහාය. එහි මුල් ගීතය වන ඔබේ සිනා විකසිත වේවා ගීතයේ තනුවට ය දයාළු දේශය බිහි වේවා ගීත රචනා වන්නේ.

ඔබේ සිනා
විකසිත වේවා
විකසිත වේවා

නිවා පහන් ටැඹ ප්‍රාර්ථනාවේ
දවා පැතුම් මල් මගේ ලොවේ
මා හැර ඔබ යන නැවුම් ලොවේ
ඔබේ සිනා
විකසිත වේවා
විකසිත වේවා

අපේ නිසංසල පෙම් කඳු රැල්ලෙන්
වළා රොදක් සේ ඈතට පාවී
ඔහු පා සෙවනට ඔබ යන ගමනේ
සුසුම් තැවුල් ඔබට නොවේවා
ඔබේ සිනා
විකසිත වේවා
විකසිත වේවා

ඔබේ අහිංසක නෙත් ගඟුලැල්ලෙන්
ගලා හැලෙන මුදු හසරැල් දහරේ
දැවටී සෙනෙහස ඔහු හද සෙවනේ
නැවුම් පැතුම් පියුම් පිපේවා
ඔබේ සිනා
විකසිත වේවා
විකසිත වේවා

මීට පෙර සටහනෙහි සඳ හොරෙන් හොරෙන් ගීතය පිළිබඳව අදහස් දක්වද්දී අප විසින් මතු කරන්නට යෙදුණු යම් තර්කයක් මෙහදී බිඳ නොවැටුණද, කෙනෙකුට ඒ තර්කය සිහිපත් වන දෙයක් මෙහිදී සිහි වෙතැයි මට හැඟේ. ඒ දයාළු දේශය බිහිවේවා ගීතය නිසාවෙනි. 

ඒ තර්කය නම්,
අමරදේවයන්ගේ ගීත වලට අන් අරුත් දුන්නද එහි රසය වෙනස් නොවන මුත්, කේමදාසයන්ගේ ගීත වලදී ඒවාට අන් අරුත් දුන් විට එහි රසය නැසේ, එසේත් නොමැති නම් නොපවතීය යන්නය. එහෙත් මේ ඔබේ සිනා විකසිත වේවා ගීතය විෂයයෙහිදී පසුව තනුවට ගීතය ලියූ ආචාර්ය අජන්තා රණසිංහයන් ඒ තර්කය බිඳවැට්ටවීමට ආසන්න වන තරමේ ගීතයක් ලියන්නේ, මේ මුල් ගීතයේ රචනාවෙහි ඇති අඩු ලුහුඬු කම් නිසා මිස, කේමදාසයන්ගේ ගීත නිර්මාණයන් විෂයයෙහි වන ඒ පොදු සාධකය අවලංගු වන නිසා නොවේ. මෙහි රචකයා කවුදැයි මම නිවැරදිව නොදනිමි. නමුත් උපකල්පනයක් කළ හැක. ප්‍රේම සැඳෑවෝ සඳහා සිය ගීත රචනාවන්ගෙන් නිර්මිත ගීත නොදුන්නේ කුලරත්න ආරියවංශයන් වූ බැවින් මෙය ඔහුගේ රචනයකැයි මට සිතේ.

ඔබේ සිනා විකසිත වේවා ගීතයේ පද රචනය කාගේ දැයි මට නිෂ්චිත නොවුණද එය සිංහල සිතුවම් පටයක අඩංගු වූවකැයි සිතමි. ජවනිකාවට අදාල අරුත ආයාසයෙන් ගෙන ලියන්නට යාමේදී මුල් ගීතයේ ව්‍යක්ත බව යම් අවචනයකට ලක් වූවාදෝයි මට හිතේ. එබැවින් එහි තනුව හා ගැයුම සේ රචනය බැබලෙන්නේ නැත. කෙසේ වෙතත්, ඒ අඩුව මතු වන්නේ මෙවැනි විමසුමකදීම මිස සාමාන්‍ය රස විඳුමකදීනම් නොවේ. සාමාන්‍ය රස විඳුමකදී කේමදාසයන්ගේ තනුවේත්, අමරදේවයන්ගේ ගැයුමේත් ආවරණය ලැබ ගීත රචනයේ යම් අඩුපාඩු සැඟව තිබේ. එය අති සුන්දර ගීයක් ලෙසින්ම හැඟේ. එහෙත් වෙසෙස් විමසුමකදී ඒ එක් එක් අංගය අනෙකෙන් වියුක්තව ගෙන විමසන බැවින් එකකින් වැසුනු අනෙකේ දුර්වල කම් මතුව පෙනෙයි.

මේවා දුර්වල කම් සේ හඳුන්වන්නේ දැවැන්ත නිර්මාණයන් එක් කුලකයකට ගෙන විමසන බැවින් බව සැලකුවමනාය. එසේ පවසන්නේ, අප සත්‍ය වශයෙන්ම දුර්වල යැයි බැහැර කරණ නිර්මාණ මීට වඩා ගව් ගණනක් අවරින් සිටින හෙයිනි. වෙසෙස් නිර්මාණ රැසක් ගෙන විමසන කල සුළු දුර්වලතාවන් පවා මහත් ලෙස දකින්නේ අප පතන මට්ටම එය වන බැවිනි.

ඉහත කී අවකාශය තුළ, ආචාර්ය අජන්තා රණසිංහයන් වැනි දැවැන්තයෙක් සිය පද පෙළහර පෑ විට අර තර්ක යම් මට්ටමකට යට යයි. එහෙත් තර්කය බිඳී නොයයි. මෙවන් තර්ක සෑම විටම සෑම දේට ම අදාල නැති බව ද දන්නෝ දනී. එහි මූලික හරය ය අප පිළිගත යුත්තේ.

ගීතය අසමු.

කේමදාසයන් ගීය තුළට කිමිද ගීය මතු කරන්නේ කෙසේද? අන් අය ගීය මතු පිට හිඳ සිය නිර්මාණය කරන්නේ කෙසේද යන්නට මේ ගීතයම තවත් අයුරක උදාහරණයක් සේ ගත හැක. ඒ මේ ගීතය තවත් සංගීතඥයෙකු අතින් සංගීතය සැපයී ගැයී ඇති බැවිනි. මතු පිට සුමට තැන අත ගා කළ සංගීතයකි එය. එහි රළු පරළු තැන් අතගා විඳවා කළ එකක් නොවේ. ඒ අනුව අරුත තුළ කිමිද එහි හැඟුම් සිය සංගීතයෙන් මතු කරණු හැමටම පුරුදු එකක් නොවේ. එය වෙසෙස් සංගීතඥයින්ට පමණක් හුරු එකකි. කේමදාසයන් විෂයයෙහි මෙය තවත් විශේෂ ය.



විශාරද රෝහණ බෝගොඩ  
නිර්මාණයක් වූ ඔබේ සිනා විකසිත වේවා ගීතයෙහි ඒ දෙවෙනි විදිහද අපි අසා සිටිමු.



රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

මේ ගීතයේ මේ ඉහත දැක්වෙන අයිතිකරුවන්ගේ තොරතුරු මට ලැබුණේ අන්තර්ජාලයෙහි කිසියම් තැනක මේ ගීතය පිළිබඳව සඳහන් තොරතුරු වලිනි. එහෙත්, අමරදේවයන්ගේ 


පිපුණු කුසුම  
ගීත එකතුවෙහි මේ ගීතයේ අයිතිකරුවන් පිළිබඳ දැක්වෙන තොරතුරු වල සඳහන් වනුයේ, මෙහි තනුව හා සංගීත නිර්මාණය  


සරත් දසනායක 
යන්ගේ බවය. මෙහි විශේෂත්වයක් වෙයි. විශේෂත්වය නම්, එහි සංගීතයද පැහැදිලිවම අමරදේවයන්ගේ සංගීතයෙන් වෙනස් ආරක එකක් වීමයි. 

මෙහි සංගීතය කේමදාසයන්ගේ යැයි වරදවා කෙනෙකු සඳහන් කරන්නට හේතුවන්නට ඇති කරුණය මට එම ගීතය මෙහිදී සඳහන් කරන්නට අවශ්‍ය කරුණ වූයේ. එනම්, ඉතා වැදගත් කරුණක් නම් එසේ සඳහන් කළ පුද්ගලයා පළමුව මෙය අමරදේවයන්ගේ සංගීතයක් නොවන බවට හඳුනා ගැනීමයි. අමරදේවයන්ගේ සංගීතය නම් මේ අයුරේය යන අච්චුවක් ඔහුගේ මනසේ ඇත. මෙය එම අච්චුවේ නොවේය. වෙනස් වෙනස් සංගීත නිර්මාණයන් නම් ඒවා කේමදාසයන්ගේය යන හැඟීමක් ඒ පුද්ගලයා තුළ නොවුණේ නම්, ඔහු කිසිවිටෙකත් මේ කේමදාසයන්ගේ නිර්මාණයකැයි නොලියණු ඇත. මෙය කේමදාසයන්ගේ එකක් නොවීම වෙනම කරුණකි.

නෝනාවරුණි, මහත්වරුණි, තරයේ මතක තබා ගත යුතු කරුණක් නම්, කේමදාසයන්ගේ සංගීත නිර්මාණයන් පවා අමරදේවයන්ගේ නිර්මාණ සේ සිතන බහුතර රසික සමාජය තුළ, අමරදේවයන්ගේ නොවන, එහෙත් කේමදාසයන්ගේත් නොවන නිර්මාණයක් කේමදාසයන්ගේ නම යටතේ සඳහන් වීම අතිශය දුර්ලභ දෙයක් වන බව.

මේ කරුණු වලින් නැවත නැවත කියැවෙන්නේ, වෙනස් සංගීතයක් නම් ඒ කේමදාසයන්ගේ නිර්මාණය යන්න සිතීමට රසික සමාජය තුළ යම් පෙළඹීමක් තිබී ඇති බවයි. සංගීත ලෝකයේ වෙනස් විදිහට සිතන පුද්ගලයින් අතර, කේමදාසයන් මතුව දැනුනු බවයි. එය යටපත් වුණු විදිහ මා මුල් කොටස් වලදී කියා ඇත.

රෑ දුරු රට මේ ගීතයෙහි සංගීත නිර්මාණයන් බොහෝ විට කේමදාසයන්ගේ සංගීත ඌරුවට සමපාත වෙයි. ඒ නිසාය එය සරත් දසනායකනාමයට නොව කේමදාස නාමය යටතේ ලියා තබන්නේ.

සංගීත උපකරණ භාවිතය, ඒවා වැයෙන විදිහ, බොහෝ විට සංගීත ඛණ්ඩ වලදී යම් තනි සංගීත භාණ්ඩයක් මතුව වැයීම වැනි බොහෝ දේ කේමදාස සංගීත ආරට සමානය. සරත් දසනායකයන්ගේ මේ සංගිත ආර හා කේමදාසයන්ගේ සංගීත ආර අතර ඇති සාම්‍යය කේමදාසයන්ගෙන් අනතරුව ලියැවෙන ලිපියෙහිදී වැඩිමනත් ලියන්නට සිතමි.

දැන් අපි රෑ දුරු රට මේ ගීතය අසා මේ සාම්‍යය ගැන අදහසක් ගෙන යමු.



සුජිත් රත්නායක සිත්තර මිතුරා ගේ මේ පිළිබඳ අදහස් දැක්වීම මවිසින් පසු ගිය කළඹෙහි මෙහි පළ කළෙමි. එහි යම් කොටස් වල වලංගුතාව මෙහිදී යළි මතු කළ යුතුය.


//// චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන් මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණය අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා ගන්නා ප්‍රමාණයට වඩා හැඩතල හදුනා ගන්නා ප්‍රමාණය ඉතා ම අඩුය. එය අතලොස්සක් තරම් ප්‍රමාණයකි. ඩයනාගේ ශරීරයට වඩා නිරෝෂා විරාජිනීගේ ශරීරයේ හැඩය වෙනස් ය. නිරෝෂාගේ ශරීරයේ හැඩයට වඩා පබාගේ ශරීරයේ හැඩය වෙනස් ය. පබාගේ ශරීරයේ හැඩයට වඩා නදී කම්මැල්ලවීරගේ ශරීරයේ හැඩය වෙනස් ය...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................... මේ වගේ හැඩ අතර වෙනස්කම් දෘෂ්‍ය සාක්ෂරතාවෙන් කියවන තරමට මේ එකිනෙකා දෘෂ්‍යමාන ව වෙනස් වන ''හැඩ තල'' කියවීමට හැමෝට ම බැරි ය. ( එසේ හැකි උවත් ඉදිරිපත් කිරීමට නොහැකි ය )
මෙය හරියට ගෙවල් හැදීම හා වාස්තු විද්‍යාව යනු දෙකක් වනවා වාගේ ය. මලළ ක්‍රීඩා උළෙළකට කරාටේ හෝ වුෂූ සටන් තරග වලට ඉදිරිපත් වනවාට වඩා ජීවමාන නිමිත්තක් පාදකව සටන් කරනවා යන්න දෙකක් වනවා වගේ වෙනස් ය. ආලෝකය සහ ආලෝකකරණය යනු දෙකක් වනවා වගේ වෙනස් ය.////
///// මට අමරදේව හැඩ බදු කතාවකි. කේමදාස හැඩතල බදු කතාවකි./////
///// කේමදාස සංගීතය මගින් අල්ලන්නේ පදරචනය මගින් ප්‍රකාශ කරන වස්තු විෂයේ සංගීතමය පිහිටවීමයි. සරළව කිව්වොත් කේමදාස හැඩතල ගැන සංවේදී වන විට අමරදේව සංවේදී වන්නේ හැඩ ගැනයි./////
///// පදරචන වල ඒ ඒ වස්තු විෂයේ මූලික මනෝභාවයන් හදුනාගෙන අමරදේව ඔහුගේ ගීත වල සංගීත නිර්මාණ වලට ඉන්දියානු රාග වල මනෝභාවයයන් ඒ අනුව ඒවාට කාවැද්දවීමයි කරනු ලැබුවේ. යමන් රාගය, කාෆි රාගය, බහිරවී රාගය .....ආදී ඕනෑ ම රාගයකින් ඉදිරිපත් කරන්නේ එක් මූල මනෝභාවයකි. ( ශෘංගාරය, කණස්සල්ල. ප්‍රීතිය, ආදී ලෙස)
නමුත් කේමදාස වස්තු විෂයට ඌණනය වී එය ම විදාරණය කරවීමයි කරනු ලබන්නේ.////
/////මම දකින්නේ ස්වදේශික අපේ ජන ජීවිතයේ නිදන්ගත සැබෑ දේශීය මනොභාවයන් හා එහි නිලයන් අල්ලාගෙන අලංකෘත කරනු ලැබූයේ අමරදේව නොව කේමදාසයි. යමෙකුට තුරුලු වන විට ඥානණය වන්නේ එම පුද්ගලයාගේ හැඩය නොව හැඩතලය වන්නාක් මෙන් තුරුලු වීමෙන් දැනවෙන එම හැඩතලය තුරුලු වීමක නිලය වන නිසාවෙන් එය පොදු ජනයා දන්නා එහෙත් කියා ගත නොහැකි දේ සංගීතයෙන් කේමදාස විසින් විදාරණය කර දෙන නිසා ත් අමරදේව ගැයූ ගී අතුරින් කේමදාස සංගීතවත් කළ ගීත යි වැඩි වශයෙන් පොදුජනකරණය වී තිබෙන්නෙ.////

මේ නම් බරපතල ප්‍රකාශයන් ය. ඒවා බරපතල වන්නේ කිනම් හේතුවක් නිසාද? ඒවා බරපතල වන්නේ අමරදේවයන්ගේ සංගීත ආර යම් විවේචනයකට බඳුන්වන නිසා නොවේද? ඒ නයින් අමරදේවයන් විවේචනයට බඳුන් වෙතැයි සිතෙන නිසා නොවේද? අමරදේවයන් යනු විවේචනයට බඳුන් නොවෙතැයි කල්පනා කරණ නිසා නොවේද?

මේ අමරදේවයන් පිළිබඳ විවේචනයක් නොවේ. කේමදාසයන් පිළිබඳ හුදු ඇගැයුමක්ද නොවේ. මේ අප සිතෙහි වැඩ සිටින ප්‍රතාපවත් මිනිසුන් දෙදෙනෙකුගේ නිමැවුම් පිළිබඳව සැසඳුමකි. ඒ සැසඳුම විවේචනයක් සේ යමෙකු සිතයි නම්, සිතා ගරහයි නම් ඒ අන් මත දැරීමට ඇති අයිතිය ගැන නොතකන බැවිනි. තමන් කැමැති මතයම පැවතිය යුතුයැයි සිතන බැවිනි. තමන් කැමැති දේට සහ කැමැති අයට අනෙකාද එලෙසින්ම කැමැති විය යුතු යැයි සිතන බැවිනි.

අපේ කැමැත්ත ඇත්තටම අපේද? මේ ප්‍රශ්ණයට අපි කී වරක් මුහුණ දී ඇතිද? මේ ප්‍රශ්ණයට අපි පිලිතුරු දී ඇතිද? සමහර විට මේ පැණය අපි ඉදිරියේ කිසි විටෙකත් මතුවී නැතිවා විය හැකිය. මතු වුවද මගහැර යනවා විනා පිලිතුරු සොයා නැතිවා විය හැකිය. ඇත්තටම අපි කැමැති අපිට කැමැත්තක් ඇති වුණු නිසාමද? නැති නම් අපේ කැමැත්ත අනෙකෙකු නිසා ඇති වුණු නිසාද? මෙය මගේම දෙයකින් කීමට කැමැත්තෙමි.

අපෙ නිවසට කැසට් යන්ත්‍රයක් ගෙන ආ විට අප්පච්චි ඒ සමග ගෙන ආවේ අමරදේවයන්ගේ පසුව පිපුණු කුසුම නමින් නිකුත් වුණු මෙහි අප කතා බහ කරණ යම් යම් ගීතද ඇතුළත් කැසට් පටයයි. එකල අවුරුදු 10 ක පමණ කොළුවෙක් වුවද, කොහොමත් හොඳ ගීත අසන්නට පෙළඹුනු වට පිටාවක සිටි බැවින් එය මට නම් අමා බොහො රස පිරි එකක් විය. එහෙත් ගෙදර තවත කෙනෙකුගේ කතා බහ ඊට වෙනස් විය.

අපේ අප්පච්චි උග්‍ර ජෝති විරෝධියෙකි. ඊනියා සුභාවිත ගී නාමයෙන් ඔහුගේ දෑස අඳුරු වුණු නිසා යැයි කාට හෝ කිවහැකිය. එහෙත් එය එයමත් නොවේ. ජෝතිගේ බොහෝ ගී අර්ථ රසයෙන් පොහොසත් නොවුනු නිසාය. මේ නිසා මටද ඒ අදහස් කා වැදී පැවතිනි.

මගේ, මට වඩා වයස 3ක් බාල මලණුවන් වඩා කැමැති වූයේ නිහාල් නෙල්සන්ගේ කැසට් පටයක් නිවසේ තිබෙනවාටය. එයද අප්පච්චිගේ අනුග්‍රහය නොලැබුණු දෙයක් වුණු බැවින් ඔහු එම ගීත ඇසුවේ හොරාට හොරාට ඉල්ලාගෙන ආ කැසට් පට වලිනි. 

අමරදේවයන් ගේ ගී නිතර වැයීම ගැන උරණ වූ ඔහු අමරදේවයන්ට එකල කීවේ තට්ට වඳුරා කියාය.

කාලය ගෙවෙද්දී, ගීත වල රස මුසු තැන් සොයද්දී, එහි විවිධ මානයන් වෙත යද්දී, අමරදේවයන් හැර රසට ගයන තවත් ගායක ගායිකාවන් කොතෙක්දැයි හැඟුනි. දැනුනි. අමරදේවයන් ගේ ගී හැර තවත් රසාලිප්ත ගී කොතෙක් දැයි හැඟුනි. දැනුනි.

මට සේම, මල්ලිටද, අප්පච්චිටද, තමන් දැඩිව කැමැති වුණු ගී අතරට තව කොතෙකුත් එකතු කළ හැකි රස වෙත්දැයි වැටහුනි. දැන් අමරදේවයෝ මල්ලිගේ ප්‍රියතම ගායිකින් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. අප්පච්චිටද ජෝතිගේ හොඳ ගීත රස විඳිය හැකිය. එමතු නොව අන් අයගේ රසවත් ගීත ද.

ඉතින් අර පෙර කැමැත්ත අපේමද? නැති නම් අනුන්ගේ කැමැත්තකට අප අපේ කැමැත්ත යයි කියමින් වසඟව සිටියෙමුද? 

අපේ කැමැත්ත අප සොයන්නේ නම් හා සොයා ගත් දේට කැමැති වන්නේ නම් රස වින්දනයේදී විසල් නිදහසක් ලැබිය හැකි වෙයි. කේමදාසයන්ගේ ගී එලෙස නිදහසේ රස විඳින්නට අප බොහෝ රසිකයින්ට ඉඩ ලැබුණේ නැත. ඔවුන් වෙනත් ප්‍රතාපවත් පුරුෂයෙකුගේ යටතේ සිටය කේමදාස නම් ප්‍රතාපවත් පුරුෂයා දෙස සහ ඔහුගේ නිර්මාණ දෙස බැළුවේ.

සුජිත් රත්නායකගේ හැඩ සහ හැඩ තල කතාවෙන් දෙන අදහස තරමක් ගැඹුරුය. එහෙත් රස වින්දන නිම් වළලු පුළුල් කර ගැනීමට කොතෙක්ද වටනේද? අප ගීත රස විඳිනවා යැයි බොහෝ විට කරන්නේද එවැනි දෙයක් වන නිසාය. ( අන් නිර්මාණ රසවිඳිනවා යැයි කියා කරන්නේද එය ම ය.).

කෙසේ වෙතත්, මේ හැඩ සහ හැඩ තල පිළිබඳව යම් අදහසක් චිත්‍ර ශිල්පයේදී මූලික අවදියේදීම ඉගැන්වේ. චිත්‍ර ශිල්පය තුළදී වුව එය වටහා ගන්නො අල්ප බව සුජිත් රත්නායකගේ මතයයි. ඔහු කියන අයුරින් බොහෝ අය හැඩයනට මිස හැඩ තලයනට සංවේදී නොවේ. කෙසේ වෙතත් එය චිත්‍ර ශිල්පයේදීටත් වඩා අන් නිර්මාණයන්ට ආදේශ කොට තේරුම් කර දීම අපහසුය. අන් නිර්මාණයක් දැක මේ නම් හැඩයකි. මේ නම් හැඩ තලයකි යනුවෙන් තේරුම් ගැනීම පහසු නැත. එහෙත් අවැසි නම් තේරුම් ගත හැකිය.
ඉතා සරල පින්තූරයකින් අපි හැඩ සහ හැඩ තල ගැන අවබෝධයක් ලබා ගනිමු.




වෘත්තය, චතුරශ්‍රය, ත්‍රිකෝණය ආදිය හැඩයන් ය.

වෘත්තයක් අඳින කෙනෙකුට ඒ වටා යම් සෙවනැල්ලක් ඇඳීමෙන් එය ගෝලයක් ලෙස පෙන්විය හැකිය. නැති නම් සිලින්ඩරයක් සෑදිය හැකිය.

චතුරශ්‍රයක් අඳින කෙනෙකුට එහි තවත් යම් යම් රේඛා සහ සෙවනැලි එකතු කර එය ඝනකයක් සේ කළ හැකිය.

ත්‍රිකෝණයක් අඳින කෙනෙකුට ඊටත් යම් යම් රේඛා සහ සෙවනැලි එකතු කර එය පිරමීඩයක් සේ කළ හැකිය. 

මේ ගෝලය, ඝනකය සහ පිරමීඩය තුළ අපි දකින්නේ හැඩයන් නොව හැඩ තලයි.

අපි බොහෝ විට අනෙකුත් නිර්මාණ තුළ ඇති හැඩ බලන්නෙමු. ඒවා තුළ ඇති හැඩ තල නොදකිමු. ඒවා දකිනු රිසි නම්, පළමුව, තමන්ගේ කැමැත්ත තමන්ගේ ම විය යුතුය.


කේමදාසයන්ට එල්ල කෙරුණු ප්‍රබල චෝදනාවක් වූයේ ඔහු බටහිර සංගීත විධි මෙරට සංගීත කෙතෙහි වපුරන්නට සදන බවටය. 


මෙරට සංගීත කෙත යනු කුමක්දැයි යන්තමින් හෝ වටහා නොගෙන කේමදාසයන් එවැන්නක් කළා දැයි වටහා ගත නොහැකිය. අමරදේවයන් සිංහල සංගීතයක් සාදන්නට වෙර දැරූ බවද, කේමදාසයන් විසින් ඔපෙරා සංගීතය සිම්පනි සංගීතය වැනි විවිධ සම්ප්‍රදායන් මෙහි ගෙනැවිත් අත්හදා බැලීම් කරන්නට වුණු බැවින් සිංහල සංගීත සම්ප්‍රදායන් සෑදීම කෙරෙහි එය යම් බලපෑමක් වුණු බවත් සමහර ප්‍රවීනයින් එළි පිටම නොකීවත් රහසේ කියා ඇත. ඔවුන් ඒවා එළි පිට කීවේ කේමදාසයන්ගේ අභාවයෙන් අනතුරුව ය.
 
කෙසේ වෙතත්, උත්තර භාරතීය සංගීතය හොඳින් ප්‍රගුණ කොට සිංහල සංගීත සම්ප්‍රදායක් ගොඩනගන්නට සුනිල් ශාන්ත වැන්නවුන් ගත් උත්සාහය තවදුරටත් ව්‍යප්ත කරන්නට අමරදේවයන් උත්සාහයක නිතර වුවද, එහි ඇති යම් යම් සීමා වන් හේතුවෙන් ඔහු සිය ගීත වලට බොහෝ විට උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රාගාශ්‍රිත පදනම භාවිතා කළ බව සංගීතය දත්තෝ දනී. මේ රාගාශ්‍රිත පදනමක් සහිත නිර්මාණ හැරුණුකොට ඊළඟට ඔහුට විෂයය වන්නේ හෙළ සංගීත නාද රටාවන්ය.

රන්වන් කෙත නෙළන ලියේ
රන් ගෝමර පැළඳි ලියේ
ගීතයෙිදී වුව,

රන් වන් රන් වන් රන් කිකිලී ( බිංදු බිංදු රන් ගෝමර මාලා) 

ගීතයෙහි වුව,

කරදර පොදි බැඳ ගැල පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා


ගීතයෙහි වුව,

ප්‍රකට වන්නේ එයයි. ඒ හැර තවත් උදාහරණ බොහෝමයක් ගත හැකි වෙයි. 

එහි මූලික රාමුව එකමය. මූලික ජන ගී නදට අතිශය සමීපව යන සංගීතයකි ඒවාගේ අපට ඇසෙන්නේ.

එහි අරුත කුමක්ද? එහි බොහෝ විට දැකිය හැක්කේ මූලික සම්ප්‍රදාය රකිමින් සිය නිර්මාණයන්ට ඒ හුරුව ලබා දෙනු මිස ඒ ඔස්සේ යමින්, එයින් වෙනස් වෙමින් කරණා වූ නිර්මාණ කටයුත්තක් නොවේ. එහෙත්, කේමදාසයන් එය ඊට වඩා හොඳින් විවිධ සංගීත ආරවල් සම්මිශ්‍රණය කරමින් වඩාත් නිර්මාණාත්මක තලයකට පිවිසෙයි. එහි විවිධ මානයන් ඔස්සේ සිය සංගීත ඥානය මෙහෙයවයි. හොඳම උදාහරණයක් වන්නේ,

මාල පබළු වැල් කරවට ලන්නට
තෝඩු අරුන්ගල් තෑගි ගෙනෙන්නට
දවසක් ඒවිලු බිනර මහේ... බිනර මහේ…

කෝළ කොමළ ඉඟි මුවින් සිනාසී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සීපද කාට ඇසේ කාට ඇසේ…

කේමදාසයන් ගීතයේ මේ කොටසේදී යොදා ගනු ලබන්නේ ජන ගීයට වඩා වැඩි නොවෙනස් තනුවකි. එය සරසන්නේද ජන ගී ආරට වඩාත් ළඟ සංගීත නාද රටාවන්ගෙනි. ඒ අනුව ඒ ගීතයේ හදවත ඉල්ලා සිටින ජන සංගීත නාද රටාවන් ඊට දෙන්නට ඔහු මැලි නොවෙයි. එහෙත්, ගීතයේ ඊ ළඟ පාදයට එන විට රසිකයින්ටත් හොරා ගීතයේ හදවතටත් හොරා එම නාද රටාවන්ගෙන් මිදෙන්නට ඔහු බුහුටි වෙයි.

ගිරා කොබෙයියෝ රංචු ගැසී
වැව් ඉස්සමත්තේ
ආල කතන්දර රහස් කියනවලු
උන් උන් අපි ගැන කතා කරනවලු
ළං ළං වීලා
ළං ළං වීලා

පෙළින් පෙළට ඔහු එම නාදරටාවන්ගේ යමක් රකිමින් ද, එහිම වන සමහර දේ කඩමින් ද වෙනස් තනුවක් ගොඩ නගයි. එහි ළය කෙමෙන් වැඩි වී ළං ළං වීලා හි දෙවන ළං ළං වීලා පෙළට එනවිට උපරිම ළයකට පැමිණෙයි. ඒ අනුව ජන කවි ආරේ ගීත රචනය, ගීයේදී, දෙබසකින් ගෙනෙන හැඟීම දනවයි. දෙදෙනෙකු අතරේ සංවාදයක් සේ ගොඩ නැගෙමින් නාටකීය රුවක් ගනියි.

ගීතයෙහි ඊ ළඟ කොටසේදී ද වන්නේ ඒ දෙයම ය.

හීන ඉසව්වේ පෙරුම්පුරා එන හීනේ....
හිතට හිතක් නැත මෙහෙම හිතක් නැත
බිනර මලක් ලඟ බඹර නදක් ඇත...
ළං ළං වීලා
ළං ළං වීලා

මාල පබළු වැල් කරවට ලන්නට ගීතය අසමු.



කේමදාසයන්ගේ සංගීතය වෙනස් විදිහකැයි කියන්නේ එබැවිනි. ඒ අනුව ගත් විට සිංහල ජන සංගීතය සිංහල ගීතය තුළට නිර්මාණාත්මකව ගෙන ආවේද කේමදාසයන් ම බව පසක් කර ගත හැකිය. 

දැන් අර හැඩ සහ හැඩ තල කතාව හරිමටම ගීත ඔස්සේ පැහැදිලි කළ හැක්කේ මෙන්න මෙතැනදී ය. අර පෙර ගීතයන් තුළදී අමරදේවයන් කර ඇත්තේ සිංහල ජන සංගීතයේ හැඩයන් ඊට යොදා ගැනීමයි, හැඩයක් යනු තලයකි. තලයක් නම් පැතැලිය. පැතලි නම් ගැඹුරක් නොවෙයි. එහෙත් හැඩයන් ලස්සනය. අමරදේවයන්ගේ ඒ ගී එබඳු ලස්සනෙන් අනූන ඒවාය.

මේ කේමදාසයන්ගේ ගීයෙහි ඇත්තේ මොනවාද? හැඩ තලයන් නොවේද? හැඩ තල පැතැලි නොවේ. පැතැලි නැතැයි යනු, ගැඹුරක් සහිත වන බවයි. ගැඹුරක් සහිත වන හැඩ තල වඩාත් ලස්සන රූප මවයි. ජන සංගීතයෙහි හැඩය රැගෙන යම් යම් වෙනස් කම් කොට ඔහු එහි හැඩ තල ද, එබැවින් ගැඹුරද, එබැවින්ම වැඩි ලස්සනද මවයි. කේමදාසයන් ගේ නිර්මාණ තුළ මේ අපට දැනෙන අමුත්ත එයයි. 

මේ සඳහා තවත් උදාහරණ අවැසි නම්, ඒ සඳහා වන හොඳම උදාහරණයක්  


ජයන්ත චන්ද්‍රසිරි 
ගේ දඬුබස්නා මානය ටෙලි නාට්‍යයේදී හමු වෙයි. එනම් එහි තේමා ගීතයයි. එය ගයන්නේ අමරදේවයන් නම් නොවේ. එහෙත් ජන සංගීතයෙන් උපුටා ගත් කවි පංතියක් අතිශයින් නිර්මාණශීලීව යොදා ගනිමින් එහි හැඩ නොව හැඩතලයන් මතු කළ අයුරු මෙහි ප්‍රකට වේ. එබැවින් අමරදේවයන්ගේ ගැයුමක් නොවුණත්, කේමදාසයන්ගේ එම නිර්මාණය උදාහරණ සේ මෙහි අමුණමි. අතිරේක රසයක්ම මිස අවුලක් ඇති නොවන බව දන්නා බැවිනි.

රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

මේ තේමා ගීතය සුනිල් රත්නායකගේ රචනයකි. එය කෝල්මුර කවි ඇසුරින් නිර්මාණය කරණ ලද්දකි.

කෝල්මුර කවි යනු යාදිනි කවි විශේෂයකි. මේවාට දීර්ඝ ඉතිහාසයක් ඇතැයි කියවේ. ඒවා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ ගායනා නොවන බවද, දළදා මාලිගයෙහි මෙහෙයන් ඉටු කරණු ලබන්නන් අත පමණක් ඇති ඒ ගායනාවන්හි තාල රිද්ම ආදිය සංගීත නිර්මාණයට පෙර කේමදාසයන් විසින් දැන නොසිටි බව ද කියැවේ. එසේම නිර්මාණය කළ පසුව වුව ඔහු ඒවා අසා නැති බව කියැවී තිබේ. කෙසේ වෙතත් එම නිර්මාණය දඬුබස්නා මානය ඔස්සේ ජනගත වූ පසු මාලිගාවට සම්බන්ධ කිසිවෙක් මේ තනු සහ ගැයුමේ ස්වභාවයන් එම මුල් නිර්මාණයන්ට යම් යම් සමාන කම් දක්වන අයුරින් නිමැවී ඇති බව පමණක් කේමදාසයන්ට දන්වා ඇති බවද කියැවේ. එහි සත්‍යායසත්‍යතාව නම් මම නොදනිමි.

මේ කවි වල සැබෑ තනුව නොදැන නිර්මාණ කාර්යයේ යෙදුනු කේමදාසයන්ට, සැබෑ තනුවෙහි ලකුණු රැගත් නිර්මාණයක් කරන්නට හැකි වුණේ අහම්බයකින් යැයි කෙනෙකුට කිව හැකිය. එසේම ඒ නම්, මේ වන් පද රැසක් තුළ තිබිය යුත්තේ මේවන් රිද්මයකි, මේ වන් ගැයුම් විලාසයකි, මේ වන් ආවේගයකි, මේ වන් හැඟීමකි යන්න සිය පරිකල්පන ශක්තියෙන් ලද අවබෝධය මත, අනුමානය මත නිර්මාණය කළා යැයි කෙනෙකුට කීමේ හැකියාවද ඇත. මා මෙතැනදී දරන්නේ අන්න ඒ අදහසයි. නොඑසේ නම් අර පෙර සේ අහම්බයක් වීමේ හැකියාව විය නොහැකි තරමේ දුලබ දෙයකි.

ජන සංගීතය සිය නිර්මාණ කාර්යට යොදා ගැනීමේදී කේමදාසයන්, අමරදේවයන්ට වඩා නිර්මාණශීලීව කළ බව මේ වැනි නිර්මාණ විසින් සහතික කරණු ලබයි. එසේම, වෙනත් තැනකින් උපුටා ගත් පද රචනයක් වුව, අදාල ටෙලි නිර්මාණයටම කළ එකක් සේ ජන මනස තුළ නිධන්ගත වන්නට තරම් ශක්තියකින් එය පිරී  ඇත්තේ ඒ හේතුවෙනි.

ජන ගී ජන කවි ඇසුරු කරමින්, එහෙත් එයම නොපා වඩාත් නිර්මාණශීලීව ඉදිරිපත් කළ හැක්කේ කෙසේද යන්නට හොඳම උදාහරණ මේවා ය. එහෙත් මොහොතකට මේ ගැන සිතන්න. යම් වියතෙක් සිංහල ගීතයට ජන සංගීතයේ ආබාසය ලැබුණේ කෙසේද යන්න විමසන දෙසුමක් කරන්නේ නම් උදාහරණ ලෙස ගනු ලබන්නේ එය වඩාත් නිර්මාණශීලීව යොදා ගත් අවස්ථාවන් ද නැති නම් එය ගෙඩිය පිටින් යොදා ගත් අවස්ථාවන්ද යන්න මට කියන්න. ගෙඩිය පිටින් යොදා ගත් අවස්ථාවන්ය. ඒ කුමක් නිසාද? තමන්ට වැටහෙන වපසරිය එය නිසාද? අනුන්නට වැටහෙන වපසරිය ඒ යැයි තමන් සිතන නිසාද? නැති නම් වැඩි කතා බස් නොකර පොල්ලෙන් ගැසුවා සේ මේ යැයි තේරෙන නිර්මාණ වන්නේ ඒවා වන නිසාද? එවන් නිර්මාණ දෙසුමට ගත් විට පහසුවෙන් අසන්නන් වෙත අදහස දී ඉක්මණින් වේදිකාවෙන් බැස යා හැකි නිසාද?

ඒ පිලිතුරු සෙවීම සෙමෙන් කරන්නට ඉඩ තබා අපි දඬුබස්නා මානයේ තේමා ගීතය අසමු.


මේ සැසැඳුම් මහත් වෙහෙසකරය. එහෙත් ඒ වෙහෙස රසබරය. මේ විමසුම හේතුවෙන්ම, මේ දෙදෙනාගේ නිර්මාණම එදාට වඩා වැඩියෙන් විඳින්නට මෙවර මට හැකි විය. එහෙත් වෙහෙස නොතකා කිවිය යුතු දෙයක් වෙයි.

ඒ දේ ලිවීමට මට එතරම් කාලයක් වැය නොවේ. අපි අතරේ ඇති වුණු යම් කතා බහක් පිටපත් කර ඇලවීමෙන් එය නිම කළ හැකිය. අපි යනු, මමත්, සුජිත් රත්නායකත්ය.

ස්තුතියි. ඇත්තටම හැඩ සහ හැඩ තල ගැන මට යම් අවබෝධයක් තිබෙනවා සුළු කාලයක් චිත්‍ර ශිල්පය හදාරා ඇති නිසා. මම අධ්‍යාපන විද්‍යාපීඨයක ගුරු පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරේ විභාගය කරලා තමයි වෛද්‍යවරයෙක් වුණේ. ඒ නිසා ඒ දිනවල ආශාවෙන් මේ දේවල් ඉගෙන ගත්තා. වෘත්තයක් හැඩයක්. ගෝලයක් හැඩ තලයක්. කොටුවක් හැඩයක්. ඝනකයක් හැඩ තලයක්. ගෝලයක් වුණත් සමහර විට වෘත්තයක් සේ දැකිය හැකියි. එහෙත් එය ෂේඩි වූ කල හැඩ තල මතුවෙනවා.  
Yasanath Dhammika Bandara

මේ අයුරින් යම් යම් දේ මට මතක ඇති නිසා ඔබේ සංකල්පය මා තුළ තිබෙනවා. එහෙත් එ් සඳහා ගීත වලින් උදාහරණ දීම පහසු නෑ. විශේෂයෙන් ඒ අදහස තුළ නොසිටින අයට.
නමුත් මම හිතන්නේ මා ලියූ විදිහ අනුව දැන් එය පැහැදිලි වෙනවා කියා. ඇත්තටම ලියූ සම්පූර්ණ කොටස මම ඔබට එවුවේ නැත්තේ පළමු වර කියවන විට ඇතිවන හැඟීම ඔබට නැති වන නිසා. මම එය පළ කරන්නම්. නමුත් වැඩ රාජකාරි අධික වීම නිසා මට එය කල් යනවා.
Yasanath Dhammika Bandara

මේ ලිපිය ලියන්නට සිටි මගේ ඉසව්ව බොහෝ සේ වෙනස් වුණා ඔබේ ලිපිය නිසා. දැන් මම වෙනත් විදිහකට ඒ ගැන හිතන්න ඕනෑ. මේ සමහර ගී මම උදාහරණ ලෙස ගන්නට හිතුවේ වෙනත් කරුණු පහදන්න. එහෙත් ඔබේ ලිපියේ කොටස් උපුටා දක්වමින් ලියද්දී මට ඒ සමහර ගීයක් ඔබේ කරුණු පහදන්න ගන්න වුණා. ඒ නිසා මට ඇවැසිව තිබූ අර කරුණු පහදන්න දැන් වෙනත් ගීත හොයන්න වෙනවා.
Yasanath Dhammika Bandara

කෙසේ වෙතත්, ලිපියේ යන ඉම වෙනස් වීම ගැන මම කැමැතියි. හැබැයි මේ ගැන සංවාදයක් ඇති වෙන්නේ නෑ. ඒ තරම් අපි පොහොසත් නෑ.
හොඳයි...
නියමයි...
වැඩක් නෑ...
අන්තිමයි...
වැනි කතා වලින් එහාට යන්න බැරි කාලය අඩු නිසාද? අදහස් නැති නිසාද? වැඩක් නෑ කියා හිතෙන නිසාද කියා මම දන්නේ නෑ.
Yasanath Dhammika Bandara

මේ සමාජය ගල් ගැසුණු සමාජයක්. සමාජ සංවාද කියන එක ඇල්මැරුණු තැනකයි තියෙන්නෙ. අපි මෙහෙ ම හරි පුලු පුලුවන් ආකාරයකට මේ වගේ සංවාද, අදහස්-උදහස් සමාජය සමග සම්මුඛ කරන්නෙ නැත්නම් කරන්න කෙනෙක් නැති තරම්. බලන්න ගීතය ගැන අද ඔබ කතා කරනවා. ඔබේ අදහස් නිසා ගීත වලට යම් යම් වටිනාකම් ලැබෙනවා. ගීතයකට අදාළ පූර්විකා, පසුබිම් කතා, උචිතානුචිතභාවය ආදී දේවල් ගැන ඇති තරම් අදහස් ඇති වන තරමටයි ගීතයක වින්දනය වැඩි වන්නේ. 
Sujith Rathnayake

ඔහුගේත් මගේත් සමහර අදහස් බොහෝ වෙනස්. සමහර අදහස් වල යම් සමානතාවන් තිබෙනවා. අපි බොහෝ තදබල විදිහට වාද කරගන්නවා. සමහර විවේචන දරුණුයි. ඒත් අපිට කතා කරන්න දෙයක් තිබෙනවා. අපි දිගටම කතා කරණවා. ඒ කතා බහට ඔබ එකතු නොවෙන කොට යම් හුදකලාවක් දුර්මුඛ බවක් දැනෙනවා. ඉතින් ඊ ළඟ සටහන සඳහා ඉසිඹුවක් ගන්නට ඉඩ දී ඔබේ හඬ අවදි කරන්න.




-  යසනාත් ධම්මික බණ්ඩාර    -

No comments:

Post a Comment