Thursday, December 1, 2016

නරුමකම යනු එය නම්, ඒ නරුමයාට මම ආදරය කරමි.....





සුනිල් එදිරිසිංහයන්ගේ කලා භාවිතාව නරුම යැයි අදහසක් පසු ගිය දා ඉදිරිපත් වූයේ සුජිත් රත්නායක චිත්‍ර ශිල්පියාගෙනි. චිත්‍ර ශිල්පයට අමතරව ඔහු විවිධ දේ පිලිබඳව සිය නිදහස් පෙරළිකාර අදහස් ඉදිරිපත් කරන්නෙකි. විමසන්නෙකි. විඳින්නෙකි. 

ඔහුගේ සමහර අදහස් වලට මම එකඟය. සමහර අදහස් වලට ඇත්තේ ඇල් මැරුණු ප්‍රතිචාරයකි. සමහර අදහස් වලට මම විරුද්ධය. තදින්ම විරුද්ධ අවස්ථාද තිබේ.

අපි අදහස් අතින් ගැටුණු වාර බොහෝය. එහෙත් දිගින් දිගටම ඈත් නොවී සිටියෙමු. සමහර විට මම ඔහුව නිසි ලෙස තේරුම් ගෙන නැතිවා විය හැකිය. ඔහුද එසේ යැයි සිතමි. 

එයට හේතුවක් ඇත. අපි බොහෝ විට යමකින් සමස්ථය මනින්නට පුරුදුව ඇති නිසාය. ඒ නිසාම මම නොහිතන දේ පවා මගේ නම ද සඳහන් කරමින් ඔහු ලියා ඇති අවස්ථා දැක ඇතත් මා ඔහු හා කතා බහින් දුරස් නොවන්නට තීරණය කළේ ළඟින් සිට කතා බහ කරණ සමහර අයට වඩා ඔහු අවංක පුද්ගලයෙකැයි මට යම් හැඟීමක් ඇති වී ඇති බැවිනි. ඔහුද මා සමඟ අදහස් වලින් කොතෙක් ගැටුණද මා අතහැර නොයා සිටින්නේ මා හා සංවාදයෙන් යම් හෝ දෙයක් ඉතිරි වන බව පවසමිනි. 

කෙසේ වෙතත්, අපි යමක් දෙස බලා සමස්ථය එය යැයි සිතා එකිනෙකාව තේරුම් ගෙන සිටිමු. 

ඒ අනුව අපි, අපේ මිණුම් දඬු වලට ගැලපෙන සේ මනුෂ්‍යත්වයේ හිනි මගේ එක් එක් තැන් වල එකිනෙකාව තබා සිටිමු. මගේ මිණුමට මා සුජිත්ව තබා ඇති ස්ථානයට වඩා බොහෝ පහළ තැනක සුජිත් මාව තබා ඇති බව මම දනිමි. මට විශ්වාසය. මට එය ගැටළුක් නොවේ. ඔහු හා කතා බහට මට එය බාධාවක් නොවේ. එසේ වනුයේ මා අර කියූ මිනිසුන් මැනීමේ අපි කවුරුත් සතු දුරුවල කම ගැන මා දන්නා නිසාය.

යමකින් පමණක් විනිශ්චය නොකොට ගොඩක් දේ වලින් විනිශ්චය කළේ නම්, මේ එකිනෙකා තබා ඇති ස්ථාන මීට වඩා වෙනස් වනු ඇත. ඊට තව කාලයද ඇත. එබැවින් ඊට ඉඩ දී මේ කතාවට යොමු විය යුතුය.

මා මේ යමකින් සමස්ථය මැනීම ගැන කිවුවේ සුජිත් මා මැනගත් අයුරින් ඇති වුණු සිත් වේදනාවක් සමනය කරගනු වස් නොවේ. ඔහු සුනිල් එදිරිසිංහයන් ගැන ලියා තිබූ අදහසක් ගැන මගේ අදහස කීමට පිවිසුමක් ලෙසටය.

මේ ඔහුගේ එම අදහසයි.

දැන දැන පරස්පර වීම නරුමකමකි.
======================
''ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමු ද
නැසුණ ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ කව්රුන් ද''

මේ සුනිල් එදිරිසිංහ ගයන යුද්ධයට එරෙහි ගීතයකි. ඔහු පහත යුධවාදී ගීතය ද ගයන ලදි.පුදුමයට කාරණයනම් එකම කැසට් පටයකදී මට මේ ගී දෙක ම ඇසීමට ලැබීමයි. ඔහුගේ යුදවාදී ගීතය මෙසේ ය.

''රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා වෙලේ
ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ.''

මේ ගී දෙකේ ම අන්තරා කොටස් වල ගීත දෙකේ අන්තර්ගතය තවදුරටත් තීව්‍ර කොට ඇත. ගායකයකු කුමන හෝ අන්තවාදී රසභාවයක් රසිකයාට දීම ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය යනු එක මග නොයන අන්තයන් දෙකක රසභාව එක ම ගායකයකු විසින් සමාජයට දීමයි. මෙහි ඇති පරස්පරයත් එමගින් රසිකයා ගොනාට ඇන්දෙන බවවත් මේ අය නොදන්නා බබාලා නොවේ. දැන දැන පරස්පර වීම සහ එය දිගට පවත්වාගෙන යාමට හෝ එය නඩත්තු කිරීමට සිත ගල් කරගෙන සිටීමේ චිත්ත චෛතසික ස්වභාවය අපගේ ව්‍යවහාර බුද්ධියට අනුව හැදින්විය හැක්කේ ''නරුම'' චෛතසික තත්වයක් හැටියට ය. ඒ අනුව මට අනුව සුනිල් එදිරිසිංහ වනාහී නරුම කලාකරුවෙකි!.
-      සුජිත් රත්නායක    -


සුජිත් රත්නායක සුනිල් එදිරිසිංහයන් නරුම කලාකරුවෙකු වන්නේ මේ ගී දෙක ගැයීම හේතුවෙනි. ඔහුට අනුව දැන දැන පරස්පර වීම නරුම කමකි. දැන දැන පරස්පර වීම නරුම කමකි යන කීමේ වරදක් නැත. එහෙත් මේ ගීත දෙක පමණක් සැලකිල්ලට ගෙන  සුනිල් එදිරිසිංහ වනාහී නරුම කලාකරුවෙකි!. යනුවෙන් කීම මම හැඳින්වීමේම පෙන්වා දුන් යමකින් සමස්ථය මැන තීරණ ගැනීමේ දුර්වලතාව නිසා කියන්නකි. 

සුජිත් රත්නායකගේ මේ අදහසට සමාන අදහසක් ඉදිරිපත්වන ලිපියක් කියවන්නට මට අවස්ථාව ලැබුණි. ඒ ලිපියේ අන්තරගතයට ඇති එකඟතාව නිසා නොව සුජිත් රත්නායකගේ මේ ඉහතින් ඇති අදහසට සමාන අදහසක් එහි වන බැවින් එය මෙහි ඉදිරිපත්කරන්නට සිතුවෙමි.

“රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ....“

මේ උතුරු යුද්ධය ඉහළින්ම නැගෙද්දී නිතර ඇසුණු ගීතයකි. හදවතින් අප කිසි විට සොල්දාදුවන් තනි නොකරන බව කියමින් යුද්ධ බිමේ ඉදිරියට යන්නට ඔවුන්ට දිරි දෙන්නේ සුනිල්ගේ හඬ ය. සොල්දාදුවෝ මේ ගීතය අසා සැනහී යුධ බිමට ගිය හ. සමහරෙක් මිය ගිය හ. තවෙකෙක් දෙපා, දෙඇස් අහිමි ව යළි ආ හ. නිසොල්මන් සැඳෑවක ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ යළි පැමිණි අයට මේ ගීතය ඇසුණාට සැක නැත.

“ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා... සැරසෙමු ද?
නැසුනු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ... කවුරුන් ද?“

මේ උදාහරණය මා සමග කී නාට්‍යකරුවකු වන ධනංජය කරුණාරත්න මගෙන් ඇසුවේ දැන් සොල්දාදුවා කුමක් සිතනු ඇත් ද යන්න යි. ගීතය සුනිල්ගේ ය!

මේ ගීතයට ඉහළ ඉල්ලුමක් තිබුණේ චන්ද්‍රිකා යුගයේ ‘සුදු නෙළුම්‘ ව්‍යාපාර සමයේ ය. මහින්ද රජය යුද්ධයට අවතීර්ණ වන විට ‘රන් වැටක් ලෙස‘ පෙරට ආවේ ය. මෙකරුණ ඇසූ මගේ තවත් මිතුරෙක් එම තර්කයට තමන් විරුද්ධ යැයි කීවේ,
( උපුටා ගැනීම - වල් අජිත්ලා සහ හොඳ සුනිල් ලා - අවැසි අය මෙතැනින් ගොස් සම්පූර්ණ ලිපිය කියවන්න. වල් අජිත්ලා සහ හොඳ සුනිල් ලා )

සමහර අයට මිනිසුන් අතහැරීම පහසු කටයුත්තකි. සමහර දේශපාලන පක්ෂද මේ වැඩේ කරණු අපට දැක ගත හැකි වෙයි. ජනතාව සමගම අරගලයට යන්නට පොර බදන යම් දේශපාලන පක්ෂයක් තමන්ට එරෙහිව වචනයක් කී පමණින් එසේ කියන්නා ද්‍රෝහියෙකු සේ සලකා අතහැරීම ප්‍රකට කරුණකි. බලය රහිත වේලාවේ අතහැරියත්, බලය සහිත වේලාවේ නම් කුමක් කරණු ඇතිද යන්න යම් භීතියක්ද ගෙන දෙන කරුණකි. එහෙත් එය අතුරු කතාවකි. අප ප්‍රමුඛව කත කළ යුත්තේ සුජිත් රත්නායක මේ තරම් ඉක්මණින් පහසුවෙන් අතහැරියා සේ සුනිල් එදිරිසිංහයන් අතහැරිය හැකිද යන්නය.
මේ ගී දෙක කතා දෙකක් නැතිව බැලූ බැල්මට පරස්පර අදහස් ගෙන දෙන ගී දෙකකි. එහෙත් ඒ බැලූ බැල්මටය. විමසූ විට එහි එවන් පරස්පරයක් නැත. සුනිල් එදිරිසිංහයන්ගේ අදහස් ගරුකටයුතුය. එසේ වන්නේ මෙලෙසිනි. මේ බලන්න එහි වචන.
ඊට පෙර එම ගීතය අසා සිටිමු.


ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ කවුරුන් ද

එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට


වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට
-      
 බණ්ඩාර ඇහැලියගොඩ,  

රෝහණ වීරසිංහ,  

 සුනිල් එදිරිසිංහ

අජිත් ලා සුනිල් ලා ලිපියට අනුව නම් මේ ගීය මාකට් එකට ලියූවකි. අනතුරුව රන් මලක්ද මාකට් වෙයි. එහෙත් සුජිත් රත්නායක විසින් එම මාකට් කතාව එහි නොලියයි. මට අනුව නම්, සියල්ල මාකට් එකට කරණ දේ යැයි සිතන්නේ නම්, අජිත්ලා සුනිල්ලා ලිපියද එලෙසින්ම මාකට් එකට ලියූවකි. මක් නිසාද යත් කලක සාමයද, කලක යුද්ධයද මාකට් වුණා සේම, පශ්චාත් යුධ සහ පශ්චාත් මහින්ද සමයක ඒ අදහස් වලට හොඳ මාකට් එකක් හැදී ඇති බැවිනි. විශේෂයෙන්ම යුද්ධයකට පෙරාතුව නැති නම් යම් එවන් ව්‍යාපාරයකට පෙරාතුව අඩපණ බලවේග යළි බලගැන්වෙන කාලය තුළ මෙවන් දේට මාකට් හැදෙන බවද අපි දනිමු. අන් සියල්ල මාකට් එක සඳහාය තමන් කරණා සියල්ල මාකට් වෙන අයවලුන් හෙළි කිරීම සඳහාය යන අදහස ප්‍රකට වන සේ ඔවුන් අදහස් දැක්වීම නම් මනාව දැක ගත හැක.

සුජිත් රත්නායකගේ අදහස් දැක්වීම ඊට වඩා තර්කාන්විතය. එනම්, දැන දැන පරස්පර වීම නරුම කමකි යන්න. ඒ නිසා අර අජිත්ලා සුනිල්ලා කතාව මෙයට බැහැරින් තබා සුජිත් රත්නායකගේ අදහස් දැක්වීම මත මගේ අදහස් ලියා තබමි.

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ කවුරුන් ද

මෙහි අරුත් ලිහන්නට දෙයක් නැත. බොහෝම පැහැදිලිය. හිතාගන්නටත් බැරි තරම් සෙමින් සැදුණු ලෝකය දවසක සැනින් අවියෙන් වැනසෙනු නිසැකය. 

බුදුන් දෙසුවාද නැතිද හරියට නොදන්නා, ලෝකය විනාසයක් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් එදිනට පෙරාතුව එය අවියෙන් වැනසෙනු නිසැකය. ඒ දවස දක්වා වන කාලයේදී අපිද ලෝකය නසන්නට රුදුරු අවි අතැතිව යුධ වැදෙමුද යන්න එහි විමසයි. එය මිනිසත් බවින් යුතුව කරණා වූ විමසුමකි.

මේ අයුරින් විනාස වුණු ලෝකයක ජයපැන් බොන්නට කිසිවෙක් ඉතිරි වේද? කිසිවෙක් ඉතිරි වූවත් අන් කිසිවෙකුත් නොමැති ලොවක ජය පැන් බී ඵලක් වේද?

කෙසේ වෙතත් මේ ගීය අසන හැම විටම මට දැනෙන්නේ එහි ඒ පස නොවේ. අන් පසකි.
ඒ මෙහි කියවෙන දේ නිසා නොව. නොකියවෙන නමුත් මෙය අසද්දී මතුවන දෙයක් නිසාවෙනි. නිරර්ථක යුද්ධයන් අන් කිසිවෙකුගේ අවශ්‍යතාවකි. අන් දෙපසක් යුද්ධයට ඇද දමා අඩු වැඩිය සපයමින් යුද වදින්නට සලස්වා එහි ව්‍යාජ ජයක් ඔවුනට භුක්ති විඳිනඉඩ දී එහි සැබෑ ජය අනෙක් පාර්ශ්වයක් විසින් භුක්ති විඳීම ගැනයි. බොහෝ යුද්ධයන් පිසු පස ඇති සත්‍යය එයයි. ඒ සත්‍යය මෙහි මනාව කියැවෙයි.

එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට

මේ අපේ යුද්ධය ගැන කතා කරණ අවස්ථාවයි. ඇත්තටම නම් ජාතීන් වශයෙන් යම් යම් ගැටළු නැතිවා නොවේ. එහෙත් සුළු ජාතිය වුව මහ ජාතිය වුව මුහුණ දෙන ගැටළු සියල්ල ගත් විට ඉන් අති බහුතරය කොයි ජාතියටත් පොදු ඒවාය. ඒ ගැටළුවට එරෙහි වීමට ඇති එකමුතුව බිඳීමට අවැසි අර පෙර කී ජයපැන් බොන්නන්ටය. එහෙත් ඒ බව දන්නා මුත්, නොදන්නා සේ ඇණ කොටා ගනු ලබන්නේ වෙනත් දේකටය.

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

මෙන්න මේ යුද්ධය ජයගතහොත් එය දෙපාර්ශ්වයේම සැබෑ ජයක් වනු නිසැකය. එහෙත් ඒ ජය ලබන්නට නම් ඒ සටනට එළඹිය යුතුය. දෙපසට වී අවි එසවීමෙන් පමා කරන්නේ ඒ සටනයි. එබැවින් ඒ ජයයි.

මේ ගීතය අර මෙහි මා සඳහන් කළ එක් කතාවක සේ විකුණන්නට ලියූ ගීයක් දැයි මම නොදනිමි. ඒ අනුව නම් සුදු නෙළුම කාලයේ ඊට ගැලපෙන සේ ලියූ ගීයකි මෙය. ඒ අනුව ඒ කාලේ ඒ ගීයත් අනතුරුව රන් මලක් ලෙස ගීයත් විකිණූ බව කියැවෙයි. නිර්මාණ සේම නිර්මාණකරුවන්ද විකිණෙයි. සාමයද විකිණෙයි. යුද්ධයද විකිණෙයි. යුධ විරෝධයද විකිණෙයි. එ් නයින් ඒ හා බැඳුණු මිනිසුන්ද විකිණෙයි. සියල්ල විකිණීමටය යන අරුතින් බලන්නේ නම්, එවන් පසුබිමක නොවිකිණෙන්නේ යැයි කියන යමක් වෙත්නම් ඒ බව නිසැකව දැන ගන්නේ කෙසේද? 

යම් යම් කාල වකවානු වල දී ඒ හා බැඳුනු නිර්මාණ බිහිවීම ස්වභාවිකය. සාමය ගැන වැඩි කතා බහක් ඇති කාලයක සාමය පිළිබඳව වැඩියෙන් ලියැවිය හැකිය. ඒවා සියල්ලම විකිණීමටම යැයි කීම ඔළමොට්ටල කමකි. යුද්ධයක් උත්සන්නව තිබෙන සමයක යුද්ධයට පක්ෂපාතීව ලියැවිය හැකියි. විශේෂයෙන් ඉන් පීඩාවට ලක් වන තරමට පීඩිතයා ඉන් මිදීම සඳහා තමන්ට ලබා දිය හැකි සෑම ආකාරයේම දායක්තවයක් දක්වනු ලබයි. නිර්මාණකරුවාද එලෙසය. 

ඒ යුද්ධයට ගොදුරු වුණු උතුරේ වැසියන් ගැන ලියූ ගීත රචකයන්ම යද්ධයේ අවසාන භාගයේදී හමුදාවන්ගේ එඩි වඩන ගී ලියූවේ වෙළද වටිණාකමක් පිණිසම යැයි කියන්නේ නම් එය සත්‍යයම නොවේ. අද දවසේ එදා යුධ ජයට එරෙහිව අවලං කතා කියන බොහෝ අය එදා ප්‍රභාකරන් මැරෙන තුරු දින ගැන ගැන සිටි අය වේ යැයි මම සිතමි. එසේ නොවුනෙ නම් එවන් විශේෂිතයන්ද වෙත්. එහෙත් ඒ සැබෑ යුධ විරෝධය නිසා යැයි මම නොසිතමි.

දැන් ඉහත ගීයෙන් ඒ නිර්මාණයට දායක වූවන් මේ යුද්ධයේ සැබෑ තතු වටහා ගෙන ඇති වග අපට පෙන්වා දෙයි. ඒ තතු ඔවුන් පමණක් වටහා ගෙන සෑහේද? ඒ තතු එලෙසින් වටහා නොගත් පිරිසක් අවි ගෙන සටනට එළඹි කල එයට කුමක් කළ හැකිව තිබුණේද?
ඔවුන් කටයුතු කළේ මෙහෙයෙවීමකින් බව ඇත්තක් විය හැකිය. ඊට එරෙහි වන්නට වූයේද මෙහෙය වීමකිනි. අතරමග පිලිතුරු සෙවීම් විය. එහෙත් ඒවා අවංක නැති බව ජනප්‍රිය මතයකි. අවංක නොවූයේ එක් පාර්ශ්වයක් පමණක්ද? දෙපාර්ශ්වයම තම තමන් එතෙක් රැක ගත් දේ රැක ගනිමින් ගොඩ වැඩි කරගන්නට උත්සාහ නොකළේද?

මේ සියල්ල අස්සේ යුද්ධය බුර බුරා නැඟුණු කල, ඊට පිලිතුරු නොදී කළ හැකිව තිබු දෙය කිසිවෙකුත් නොකියයි. යද්ධයෙන් යම් ම්ලේච්ඡ කණ්ඩායමක් පරාජය කිරීම පිළිබඳව නොනවතින අරගලයක සිටී. පුදුමය නම් යුද්ධයේ අනෙක් පාර්ශවය පිලිබඳව ඔවුන් තුළ ඇති පුදුමාකාර අනුකම්පාවයි. එය වෙනත් කරුණකි.

සුනිල් එදිරිසිංහයන්ගේ සැබෑ පැතුම පළමු ගීතයෙන් කියැවෙයි. එහෙත් එය නොකතන පිරිසක් යුද්ධයට එළඹ අසීමාන්තික විනාසයක් කරණ කල, තමන්ගේ සැබෑ පැතුම එය යැයි කියා නිහඬව සිටීමට නොහැකිය. පසුව හමුදාවන්ගේ එඩි වඩන නිර්මාණ කළ අනෙකුත් අයද එසේමය. අප ද එසේමය. ඒ අවස්ථාවේ කළ යුතු දේ එය විය. රන් මලක් ගීතය කරලියට එන්නේ එබැවිනි.

රන් මලක් ගීතයට මම කැමැති නැත. එහෙත් මම අකමැති ගීයෙන් හෝ යම් එඩියක් ලැබ ඉදිරියට ගිය හමුදාවන් ජය ලැබීම කෙසේ වෙතත් යුද්ධයට නිමාවක් ලැබ දී හැමට හුස්ම ගත හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා ලබා දුන් ශක්තියට මම කැමැතිය. 
රන් මලක් ලෙස ගීතය අසමු.
 

එසේ නොකොට කළ හැකිව තිබුණේ කුමක්දැයි මගේ මේ කතාවට එරෙහි යමෙක් පැහැදිලි කරණු මැන.

රන් මලක් ගීතයට ඇති අකමැත්ත ගැනද මා කිව යුතුය. ඊට හේතුව රන් මලක් ගීතය බණ්ඩාර අතාවුද ගේ නන් සුරන් බැතියෙන් ගීතයේ විරිතට ලියැවී ඇති නිසාය. එහි සංගීතඥයාද රෝහණ වීරසිංහයි. රන් මලක්ද ඔහුගේ මය. රචනයද  
කුමාරදාස සපුතන්ත්‍රී 
ගේමය. සංගීතයද බොහෝ සමානය. මා වඩාත් කැමැති ඒ නන් සුරන් බැතියෙන් ගීතයට වන බැවිනි රන් මලක් ගීතයට මගේ වැඩි ප්‍රසාදයක් නැත්තේ.
අපි නන් සුරන් ගීතය අසමු.

 
සුනිල් එදිරිසිංහයන් මේ ගී දෙක ගයන්නේ දැන දැනමය. ඒ අදහස් දෙකක් දරණ නිසා නොවේ. හදවතෙහි පැතුම පළමු ගීතයෙහි පළ වුණද අවස්ථාවේ හැටියට කළ යුතු වූ යුතුකම ඔහු කළ යුතුය. එය නරුම බව නොවේ. ඔහු නරුමයෙකු වන්නේ එසේ නොකළානම්ය.
අපද දරන්නේ ඒ මතයය. ඒ අවස්ථාවේ ඒ දේ නොකළා නම්ය නරුමයෙකු වන්නේ යන්නය අපගේ අදහස වන්නේ.
ඔවුනගේ අදහස් දැක්වීමේ අයිතියට අපි ගරු කරමු. අන් මතද පැවැතිය යුතුය. ඔවුනට ඇති ඒ අයිතිය නිසාවෙනි පිලිතුරු දීමට ඇති මේ අයිතිය.
යම් කරුණක් දෙකක් නිසා මිනිසුන් සැනෙන් හැර දැමීමට සමහරෙකුට හැකිය. එය ඔවුනගේ හැකියාවක් සේම අයිතියකි. එහෙත් අප සලකන්නේ ඔවුනගේ ඒ හැකියාව දුර්වල කමක් සේය. එය හරියට මා අර කියූ රැඩිකල් අදහස් දරණ (දැරූ ) පක්ෂයේ ක්‍රියාකාරිත්වය සේමය. එහෙත් ඒ පක්ෂය මතක් කළේ ක්‍රියාවෙහි ඇති සාමානත්වය කීමට පමණි. ඒ පක්ෂය හා ඔහු අතර බැඳීමක් වේද නොවේද මම නොදනිමි.
සුනිල් එදිරිසිංහයන් නරුමයෙක්ද නැතිද යන්න මා පසක් කොට නොදනිමි. මා සිතනුයේ එසේ නොවන බවයි. කෙසේ වෙතත් මේ ගී දෙක ගැයූ නිසා නම් ඔහු මට නරුමයෙක් නොවන්නේමය. මට ඔහු නරුමයෙකු වන්නේ එසේ නොකළා නම් ය.


-      යසනාත් ධම්මික බණ්ඩාර  -

1 comment:

  1. ////අපි බොහෝ විට යමකින් සමස්ථය මනින්නට පුරුදුව ඇති නිසාය/////////
    සහතික ඇත්තය.

    ///යම් කරුණක් දෙකක් නිසා මිනිසුන් සැනෙන් හැර දැමීමට සමහරෙකුට හැකිය. එය ඔවුනගේ හැකියාවක් සේම අයිතියකි. එහෙත් අප සලකන්නේ ඔවුනගේ ඒ හැකියාව දුර්වල කමක් සේය. ////////
    මේකත් ඇත්තය්. නමුත් මේ කියන කතාව මට හිතෙන්නේ මේක දුර්වල කමක් කියා නොව, ශුකාණු කමක් කියාය. මේ සියල්ල කරන්නේ තම හෘද සාක්ෂිය සමගය. අපි ශුක්‍රාණුවෙන් පටන් ගත් ශුක්‍රාණුවෝම තමයි. ඕක හදන්න වෙන්නේ තව අවුරුදු පනහකට හැටකට පස්සේ. සෑඩ් මූනු දාන්න තරම් මට නෝ චාන්ස් ෆ්‍රොම් තාක්ශනෙන් :D

    ReplyDelete